වෙබ් ලිපිනය:

Sunday, February 5, 2017

චතුර්වර්ණ මතු කරන වාහන බලපත්‍ර (පළමු කොටස)

පසුගිය 2016 වසර සඳහා වූ රජයේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා විසින් ඒ වන විට මහජන නියෝජිතයින්ට බදු රහිතව සහ රජයේ ඉහළ නිලධාරීන්ට බදු සහනයක් සහිතව වාහන ආනයනය කිරීම සඳහා වූ වරප්‍රසාදය ඉවත් කිරීමට යෝජනා කළේය. මුදල් ඇමතිවරයාගේ අයවැය කතාවේ 563 වන ඡේදය මෙවැන්නකි. පරිවර්තනය මගේය.

"ගරු කතානායක තුමනි, වාහන බලපත්‍ර යෝජනා ක්‍රමය මේ වන විට දේශපාලනීකරණය වී හා අවභාවිතා වී ඇති අතර එමඟින් රජයට වසරකට රුපියල් බිලියන 40ක අති විශාල ආදායමක් අහිමි වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන ආනයන බලපත්‍රද ඇතුළුව විවිධ යෝජනා ක්‍රම යටතේ ලබා දෙන සියළුම වාහන ආනයන බලපත්‍ර අහෝසි කරන මෙන් මම යෝජනා කරමි. කෙසේ වුවද, මේ මඟින් අවාසියක් සිදුවන සියළුම රාජ්‍ය නිලධාරීන්ට ඒ වෙනුවෙන් මූල්‍යමය ප්‍රතිලාභයක් ලබා දෙන බවට මම සහතික වෙමි. මෙයට අමතරව රජය වෙනුවෙන් මිල දී ගන්නා සියළුම වාහන සඳහාද අදාළ සියළු බදු ගෙවිය යුතු අතර ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන අයවැයෙන් වෙන් කර තිබේ."


මේ යෝජනාව හොඳ යෝජනාවකි. කෙසේ වුවද, මෙම යෝජනාවේ සඳහන් රාජ්‍ය නිලධාරීන්ට සිදුවන මූල්‍යමය ප්‍රතිලාභයේ ප්‍රමාණය ගැන සඳහනක් හෝ එම ප්‍රතිපාදන වෙනුවෙන් මුදල් වෙන් කිරීමක් කර ඇති බවක් අයවැය යෝජනා අතර පැහැදිලිව පෙනෙන්නට නැත. එමෙන්ම, මේ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වූයේද නැත


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන් සංගමය ඇතුළු සංවිධාන රැසක් විසින් මේ අයවැය යෝජනාවට එරෙහිව දැක්වූ විරෝධතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස හෝ එම විරෝධතාවන් හේතුවක් ලෙස පෙන්වමින් රජය විසින් වාහන බලපත්‍ර ක්‍රමය නැවතත් ස්ථාපිත කළේය. මේ අනුව, අළුතින් ක්‍රියාත්මක කර ඇති සංශෝධිත වාහන බලපත්‍ර ක්‍රමය හරහා සමාජයේ වරප්‍රසාද ලත් කොටසක් විසින් අඩු වරප්‍රසාද ලබන්නන්ගේ වියදමින් කලක් තිස්සේ ලැබූ මේ ප්‍රතිලාභය හා ඒ හේතුවෙන් රටේ ආදායම් විෂමතාවයට ලබාදුන් දායකත්වය තව දුරටත් පුළුල් කර ඇත. 

දැන් නැවතත් මහජන නියෝජිතයින්ට බදු රහිතව සහ රජයේ ඉහළ නිලධාරීන්ට බදු සහනයක් සහිතව වාහන ආනයනය කිරීමේ වරප්‍රසාදය හිමිව ඇත. මේ අනුව අටවැනි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකුට වටිනාකම, නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු (CIF අගය) ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 62,500ක්, යුරෝ 55,000ක් හෝ යෙන් මිලියන 7ක් නොඉක්මවන වාහනයක් බදු රහිතව ආනයනය කිරීමේ වරප්‍රසාදය හිමි වී තිබේ. මහජන නියෝජිතයෙකුගේ බදු රහිත වාහන ආනයන බලපත්‍ර හා අදාළ වූ මේ උපරිම සීමාව 2010 දක්වා ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 35,000ක්ද, එතැන් සිට එක්සත් ජනපද ඩොලර් 50,000ක් ද විය.

මගේ පෙර ලිපියෙහි විශ්ලේෂණය තුළ පුරෝකථනය කළ පරිදි මෙවැනි වරප්‍රසාදයක් හිමි වූ විට උපරිම සීමාවට වඩා අඩු වටිනාකමක් ඇති වාහනයක් ආනයනය කිරීම තර්කානුකූල තීරණයක් නොවේ. පෙනෙන්නට ඇති තොරතුරු අනුව පෙනෙන්නේ මේ උපකල්පනය නිවැරදි බවයි.
 

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හා අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් ජර්මනියෙන් ආනයනය කර ඇති ඇමරිකාවේ නිෂ්පාදිත මර්සිඩීස් බෙන්ස් GLS350 රථයේ වටිනාකම යුරෝ 53,727.42 ක්ද, නැව් ගාස්තු යුරෝ 1,253.00ක්ද රක්ෂණ ගාස්තු යුරෝ 19.58 ක්ද වන අතර එකතුව අහම්බයෙන් මෙන් හරියටම යුරෝ 55,000.00කි.

එමෙන්ම, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි විසින් සිංගප්පූරුව හරහා ආනයනය කර ඇති ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලෑන්ඩ් කෘෂර් ස්ටේෂන් වැගන් රථයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 61,400 ක්ද, නැව් ගාස්තු ඩොලර් 936 ක්ද රක්ෂණ ගාස්තු ඩොලර් 464 ක්ද වන අතර එකතුව පුදුම සහගත ලෙස හරියටම ඩොලර් 62,500 කි.

මලික් සමරවික්‍රම විසින් අමාත්‍ය ධුරය දරන ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමති වරයා වන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසින් ඕස්ට්‍රේලියාව හරහා ආනයනය කරනු ලැබ දින තුනක් ඇතුළත අලි අක්බාර් සලේබායි වෙත පැවරෙන රථයද විජේපාල හෙට්ටිආරච්චි විසින් සිංගප්පූරුව හරහා ආනයනය කර ඇති මාදිලියේ 2016 නිෂ්පාදිත ටොයෝටා ලෑන්ඩ් කෘෂර් ස්ටේෂන් වැගන් රථයකි.

නීතිය අකුරටම පිළිපදින අතර, තමන්ට නීතියෙන් හිමි වී ඇති වාසිය හරියටම අන්තිම සතයටම ලබාගැනීමෙන් මේ මහජන නියෝජිතයින් විසින් පෙන්වන කුසලතාවය අනුවනම් ඔවුන් වෙනත් අය වෙනුවෙන් ගන්නා අනෙකුත් තීරණ ගැන සැක සිතන්නට කිසිම හේතුවක් නැත.


වාහන බලපත්‍ර හිමිකම නිසා මලික් සමරවික්‍රමට වෙනත් අයෙකු 290% ක බදු මුදලක් ගෙවා ලක්ෂ 394.3 කට මිලදී ගන්නා වාහනයක් ලක්ෂ 303.3 ක් අඩුවෙන්, එනම් ලක්ෂ 91.0 කට මිල දී ගන්නට ලැබේ. මේ අයුරින්ම, විජේපාල හෙට්ටිආරච්චිට හා සුජීව සේනසිංහට රුපියල් ලක්ෂ 334.6 ක බදු වාසියක් ලබමින් පිළිවෙලින් රුපියල් ලක්ෂ 92.3 කට හා ලක්ෂ 89.8 කට මිල දී ගන්නට ලැබෙන්නේ ලක්ෂ 420 ඉක්මවන වෙළඳපොළ වටිනාකමක් ඇති වාහනයි. 

විජේපාල හෙට්ටිආරච්චි විසින් සිය වාහනය විවෘත වෙළඳපොළේ විකිණීම පිණිස පළ කර ඇති වෙළඳ දැන්වීම අනුව පෙනෙන්නේ ඔහු වෙළඳපොළ මිලට වඩා ලක්ෂ 30 ක් පමණ අඩුවෙන් මේ වාහනය විකුණන්නට බලාපොරොත්තු වන බවයි. ඒ අනුව සිය බදු රහිත වාහන ආනයන වරප්‍රසාදය වෙනුවෙන් ඔහු බලාපොරොත්තු වන මිල රුපියල් ලක්ෂ 300 ක් ඉක්මවන බව පෙනේ. ඔහු තරම් ඉවසිලිමත් නැති, ඉක්මණින් අතට සල්ලි ගන්නට බලාපොරොත්තු වන, වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් මෙවැනි වාහන බලපත්‍රයක් ඇත්තටම අලෙවි කරන මිල තරමක් අඩු විය හැකිය.

බදු රහිතව වාහනයක් ආනයනය කිරීමට ලැබීමෙන් මහජන නියෝජිතයෙකුට ලැබෙන වාසිය රුපියල් මිලියන 30 ඉක්මවන බව පෙනේ. පෙර ලිපියේ පැහැදිලි කර ඇති පරිදි, මේ වාහන බලපත්‍රයකින් සිදුවන ප්‍රධානම කාර්යය වන්නේ මහජන නියෝජිතයෙකුට ක්ෂණිකව මුදලක් උපයා ගැනීමට ඉඩ ලැබීම නිසාත්, මෙසේ ආනයනය කෙරෙන වාහන "කොහොමටත් ගෙන්වන්නට තිබුණු" වාහන නිසාත් මේ කාණ්ඩයේ බලපත්‍ර හේතුවෙන් රජයට සිදුවන අවාසියද නොලැබී යන බදු මුදලට සමානය. 


වෙනත් අයුරකින් කිවුවොත්, සුජීව සේනසිංහට වාහන බලපත්‍රයක් නොලැබුණද අලි අක්බාර් සලේබායි විසින් ටොයෝටා ලෑන්ඩ් කෘෂර් ස්ටේෂන් වැගන් රථයක් මිල දී ගනු ඇත. අලි අක්බාර් සලේබායි විසින් සිය වාහනය එසේ සෘජුවම මිල දී ගත්තේනම් ඔහු විසින් රජයට ගෙවිය හැකිව තිබුණු බදු මුදල රුපියල් 33,457,500.00 ක් වන අතර සුජීව සේනසිංහ හරහා එම වාහනය මිල දී ගැනීමෙන් ඔහු ඒ බදු මුදලින් කිසියම් මුදලක් ඉතිරි කර ගනී. එසේ අලි අක්බාර් සලේබායි විසින් ලබන ලාභය හැරුණු විට රජයට නොලැබී යන ලක්ෂ 334.6ක බදු මුදලින් ඉතිරි ප්‍රමාණය සුජීව සේනසිංහ විසින් සිය වාහන බලපත්‍රය වෙනුවෙන් ලබන මුදලයි.

කෙසේ වුවද, මෙසේ මහජන නියෝජිතයින්ට පූර්ණ බදු රහිතව නිකුත් කෙරෙන වාහන ආනයන බලපත් ප්‍රමාණය සීමිත ප්‍රමාණයකි. මේ ගණන හරියටම නොදන්නා නමුත් වසරකට මෙසේ නිකුත් කෙරෙන බලපත් ප්‍රමාණය 200-300 නොඉක්මවන්නට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ අනුව, මේ "දෙවන කාණ්ඩයේ" බලපත් හේතුවෙන් රජයට සිදුවන අවාසිය රුපියල් බිලියන 6-10 මට්ටම නොඉක්මවයි.

රවී කරුණානායක විසින් කියා ඇති පරිදි මෙන්ම මුදල් අමාත්‍යාංශ වාර්තා උපුටා දක්වන පුවත්පත් වාර්තා අනුව වාහන බලපත් හේතුවෙන් වසරකට රජයට අහිමි වන බදු ආදායම රුපියල් බිලියන 40ක් පමණ වේ. එසේනම්, රජයට සිදුවන මේ පාඩුවෙන් වැඩි කොටස සිදු වෙන්නේ රජයේ ඉහළ නිලධාරීන්ට ලබා දෙන "පළමු කාණ්ඩයේ" වාහන බලපත්‍ර හේතුවෙන් විය යුතුය.


රජයේ නිලධාරීන්ට ලබාදෙන වාහන බලපත්‍ර ගැන කතා කිරීම අපි දෙවන කොටසකට ඉතිරි කරමු.

9 comments:

  1. මහ දවාලේ, ප්‍රසිද්ධියේ කෙරෙන හොරකම්....!

    ReplyDelete
  2. ගරු කටයුතු සමාජ සේවකයෝ, ඔවුන්ට ගරු ක‍ළ යුත්තේ මන්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මුන්ට ගරු කියන්නේ ඇයි ? ඉස්සර අපිට ඉගැන්නුවේ ගරු කියලා අමතන්නේ මුදල් නොගෙන සේවය කරාණ අයට කියලා.. බලන් යද්දි මු මුදල් ගන්නාවා විතරක් නෙමේ ඇස් පනාපිට කිසිම හිරිකිතයක් නැතුව හොරකම් කරණවානේ.. ඉතින් මේ බල්ලන්ට ගරු කියන්නම ඕන ද ?

      Delete
    2. ගරු = Honourable - ඉන්ගලන්ත (තවත් රටවලද ඇත ) පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ට සම්ප්‍රදායිකව අමතන විදිහ (Honourable Member for ......). සාමිවරුන්ගේ දරුවන්ටත් ෆෝමල් වශයෙන් ආමණ්ත්‍රනයක් (Hon., Rt. Hon,) විනිශ්චයකරුවන්ටද එසේය.

      ගරු = Honorary වැටුපක් හෝ දීමනාවක් නොමැතිව දරන නිලයක්
      Honorary Treasurer/Secretary/Consul

      සිංහලෙන් ඔය දෙකටම ඇත්තේ ගරු නිසා පටලැවෙනවා.

      එයට අමතරව කතාවකදී හැමෝටම ගරු යයි කීම ලඟදී ඇතිවූ පුරුද්දක්. ගරු ස්ථිර ලේකම්තුමා, ගරු අධ්‍යක්ෂකතුමා වැනි පාර්ලිමේන්තු හෝ අධිකරණ සම්ප්‍රදායකට ගරු හෝ වැටුප් නොමැති නිසා ගරු යන දෙකටම නැති විකාර ආමණ්ත්‍රණ දැන් සුලබයි.

      ලඟදීම ක්‍රිකට් කණ්ඩායමේ ගරු නායක, ගරු පුහුණුකරු, ගරු කඩුලු රකින කියන්නත් බැරි නෑ

      Delete
    3. ගරු (Honourable) ප්‍රාජේ මැතිතුමාගේ ගරු (Honorary) පැහැදිලි කිරීම පිළිබඳව අපගේ ස්තුතිය! "ආර්ථික විද්‍යා භාෂාවෙන්" මෙහෙම කිවුවොත් හරි ඇති නේද?

      Honourable/ Honorable = මුදල් වැය නොකර වෙනත් අය මුදලට ගන්නා දේවල් ඒ අයගේ කැමැත්තෙන් ලබා ගැනීමේ දක්ෂතාවය ඇති අය.
      Honorary = තමන් විසින් මුදල් වාසියක් නොලබා වෙනත් අය වෙනුවෙන් යමක් කර ඒ වෙනුවෙන් ලබන මුදල් නොවන වාසිය.

      Delete
    4. සිංහලෙන් පටලැවෙන නිසා මෙන්න මගේ විකල්ප යෝජනාව..


      ගරු සභාපති තුමා

      හොරු පා.ම. තුමා / ඇමති තුමා

      :D

      Delete
  3. රවීගේ යහපාලන අයවැය යෝජනාවේ තිබ්බ හොඳ යෝජනාවක් තමයි වාහන බලපත්‍ර අත්හිටුවීමේ යෝජනාව.දේශපාලකයෝ තරමට දුෂිත නිලධාරීන් එකතු වෙලා ඒ වැඩේ නතර කර ගත්තා.මේ විදියට දෙගොල්ලොන්ට අවාසියක් වෙන තැනදී දෙගොල්ලොම හෙමිහිට එකතු වෙනවා.මේ විදියට වාහන බලපත්‍ර ලබාගන්නා දේශපාලකයින්ට,නිලධාරීන්ට රජය මගින් නඩත්තු කරන වාහන ලබා නොදිය යුතුයි.

    ReplyDelete
  4. මේ 225 දෙනාගේ ප්‍රශ්න ටික විසඳලා දෙනකම්, රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. ඒකයි ඇත්ත. ඊට පස්සේ තව සෙට් එකක් පලාත් සභාවල. ඊට යටින් තව සෙට් එකක්. අපි රජය වෙලා.උන් පුරවැසියෝ වෙලා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: