Thursday, August 2, 2018

කුරුඳු, කෝපි සමඟ තේ...

ලංකාවේ ආර්ථිකයේ දකින්නට පුළුවන් මූලික මට්ටමේ ප්‍රශ්න වලින් එකක් තමයි අඛණ්ඩව පවතින ආනයන අපනයන පරතරය. එහෙමත් නැත්නම් සෘණ වෙළඳ ශේෂය. මේ සෘණ වෙළඳ ශේෂය පියවෙන තරමේ අතිරික්ත විදේශ විණිමය ප්‍රමාණයක් රට ඇතුළට ගලා එන ශ්‍රමික ප්‍රේෂණ වගේ වෙනත් යාන්ත්‍රණ තියෙනවනම් සෘණ වෙළඳ ශේෂයක් තියෙන එකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත්, එහෙම ලැබෙන විදේශ විණිමයත් ප්‍රමාණවත් නැත්නම්, දිගින් දිගටම විදේශ ණය හරහා මේ හිඟය ආවරණය කරගන්න වෙනවනම්, ඒ වෙලාවට වැඩේ කොහොම හරි ගොඩ දාගත්තත් එන්න එන්නම ප්‍රශ්නය උග්‍ර වෙන එක විතරයි වෙන්නේ.

මතුපිටින් බැලුවොත් පෙනෙන දෙයක් තමයි නිදහසින් පසුව ලංකාව දිගින් දිගටම විදේශ විණිමය අර්බුද වලට මුහුණ දුන් බව සහ මේ අර්බුද වලට විසඳුම් ලෙස ගහපු පැලැස්තර වලට යටින් එන්න එන්නම තුවාලය ඔඩු දුවපු බව. නමුත්, ඇත්තටම මේ ප්‍රශ්නයේ මුල් ඉංග්‍රීසි කාලය දක්වාම දිවෙනවා.

ලංකාව දැන් විදේශ විණිමය එකතු කර ගන්නේ බටහිර රටවල් වලිනුයි. මැදපෙරදිගිනුත් විදේශ විණිමය ලැබුනත් එයින් සෑහෙන ප්‍රමාණයක් නැවතත් ඒ කලාපයටම ආපසු යනවා. මේ විදිහට බටහිර රටවලින් එකතු කර ගන්න විදේශ විණිමය ගලා යන්නේ ඉන්දියාවට හා චීනයට.

ලංකාවේ විදේශ වෙළඳාමේ මේ ආකෘතිය වුනත් නිදහසින් පසුව ඇති වුනු අලුත් එකක් නෙමෙයි. දහනවවෙනි සියවසේ අග භාගය වෙද්දීත්, එවක බ්‍රිතාන්‍ය ඉන්දියාව හා ලංකාව අතර විශාල වෙළඳ හිඟයක් තිබුණා. එහි හිලවුවට බටහිර රටවලින් විදේශ විණිමය ගලා ආවා. ඒ වගේ ආකෘතියක් ඇති වුනේ කොහොමද කියන එක සාකච්ඡා කරන්න තරම් වැදගත් දෙයක්.

රටක විදේශ වෙළඳාමේ සිදුවන ආකෘතිමය වෙනස්කම් ඒ රටේ සමාජ ආකෘතියට විශාල බලපෑමක් කරනවා. විදේශ වෙළඳාමේ ආකෘතිය වෙනස්වීම නිසා සමාජ ආකෘතිය වෙනස් වෙනවා කියනවට වඩා මේ දෙකම එකට වෙනස් වෙනවා කියා කිවුවොත් වඩා නිවැරදියි. ලංකාව දිහා බැලුවත් මේ සමාන්තර වෙනස්වීම් (parallels) හඳුනාගන්න පුළුවන්.

ලංකාව සහශ්‍ර ගණනක සිට විදේශ වෙළඳාමේ යෙදුණු රටක්. මුල් කාලයේදී ලංකාවේ අපනයන භාණ්ඩ වුණේ අලි ඇතුන් හා මුතු මැණික් ආදියයි. කලක් යද්දී මේ ලැයිස්තුවට කුළුබඩුත් එකතු වෙනවා. විජය එන විට කුවේණි කපු කටිමින් සිටි බව කියවෙතත් ලංකාවට ආනයනය කළ භාණ්ඩ අතර රෙදි පිළි ඉහළින්ම තිබෙනවා. මුතු මැණික් වෙනුවට රන් රිදී රට ඇතුළට එන එකත් වෙන්න ඇති. අලි වෙනුවට අශ්වයෝ හුවමාරු වෙන්න ඇති.

යුරෝපීයයන් එන තුරුම ලංකාවෙන් අපනයනය කර තිබෙන දේවල් සියල්ලම වාගේ සැලකිය හැක්කේ ස්වභාවික සම්පත් ලෙසයි. ඒ කාලය වන තුරු හේන් කුඹුරු මිසක් වෙනත් වාණිජ භෝග කිසිවක් ලංකාවේ වගා කළ බවක් පෙනෙන්නේ නැහැ.

මහාවංශයේ ඉඳල ගොඩක් පැරණි මූලාශ්‍ර වල සඳහන් කරුණක් තමයි ඇතැම් කාල වල පොළොවෙන් වටිනා මැණික් මතු වූ බව. මෙය නිකම්ම කියන කතාවක් කියලා මම හිතන්නේ නැහැ. රටේ මැණික් ඉල්ලම් තියෙන පැති වල ඇළ දොළ ගංගා ඉවුරු වලින් මැණික් මතු වෙන එක සිදුවෙන්න ගොඩක් ඉඩ තිබුණු දෙයක්. සැලසුම් සහගතව මැණික් පතල් හාරන එක පටන් ගන්න කලින් මුල් කාලයේ ලංකාවෙන් හමු වූ මැණික් වැඩිපුරම ලැබෙන්න ඇත්තේ මේ විදිහටයි.

කාලයක් යද්දී ලංකාවේ අපනයන අතරට කුරුඳු එකතු වෙනවා. ලංකාවට පෘතුගීසීන් එන්නේ වැරදීමකින්ම නෙමෙයි. පෘතුගීසින් මෙහි එන්න ආසන්න කාලයේදී පෘතුගාලයේ රජු ලංකාවේ කුරුඳු ගැන උනන්දුවෙන් ඉඳල තියෙනවා.

මුල් කාලයේදී ඉබේ වැවෙන කුරුඳු ගස් වලින් අවශ්‍ය කුරුඳු පොතු ප්‍රමාණය එකතු කර ගන්නවා මිසක් සංවිධානාත්මක ලෙස කුරුඳු වැවීමක් සිදු වී නැහැ. ඒ නිසා, ඒ කාලයේදී කුරුඳු වුවත් සැලකිය හැක්කේ මුතු මැණික් වගේම ස්වභාවික සම්පතක් විදිහටයි.

අපනයනය සඳහා අලි ඇතුන්, මුතු මැණික් වගේම කුරුඳු එකතු කිරීමත් මුලින් සිදු වෙලා තියෙන්නේ ලංකාවේ සියවස් ගණනක් තිස්සේ තිබුණු ශ්‍රම වෙළඳපොළ ආකෘතිය එසේම තිබියදීයි. ශ්‍රම වෙළඳපොළ ආකෘතිය කියා කිවුවත් මේ කාලයේ ඇත්තටම එවැනි වෙළඳපොළක් නොතිබීමම තමයි මේ ආකෘතිය. පැවති රාජකාරි ක්‍රමය එසේම තිබියදී වෙනත් රාජකාරි වල යෙදුණු අයව කුරුඳු එකතු කරගැනීම සඳහා යෙදවීම මඟින් පැවති සමාජ ආකෘතිය එසේම තියෙද්දී වැඩේ ගොඩ ගිහින් තියෙනවා.

මේ තත්ත්වය වෙනස් වෙන්නේ සැලසුම් සහගත ලෙස කුරුඳු වැවීම පටන් ගැනීමත් සමඟයි. දකුණේ වෙරළබඩ කුරුඳු වැවීමට සමාන්තරව උතුරේ දුම්කොළ වගාවත් පටන් ගන්නවා. ලංකාවේ පළමු වාණිජ භෝගය කුරුඳුද නැත්නම් දුම්කොළද කියන එක හරියටම හොයා බැලිය යුතු දෙයක්. කොහොම වුණත් ලන්දේසි කාලයේදී වාණිජ භෝග ලෙස කුරුඳු වගේම දුම්කොළ වවන එකත් ප්‍රචලිත වෙනවා. ඉංග්‍රීසින් පැමිණෙන කාලය වන විට ලංකාවේ ප්‍රධාන අපනයනය කුරුඳු. ඉන් පසුව, කුරුඳු වෙනුවට කෝපිත්, කෝපි වෙනුවට තේත් ආදේශ වෙනවා.

වාණිජ භෝග ප්‍රචලිත කිරීමේදී යුරෝපීයයන් විසින් මුහුණ දෙන ලොකුම අභියෝගය වන්නේ මුදලට ශ්‍රමය විකුණන්න සිංහලයින්ගේ තිබුණු අකැමැත්තයි. සියවස් ගණනක් තිස්සේ රාජකාරි ක්‍රමයට පුරුදු වෙලා හිටපු සිංහලයන් වැඩි දෙනෙක් මුදල් වෙනුවෙන් තමන්ගේ පරම්පරා රස්සාව හැර වෙනත් රස්සාවක් කරන්න කැමති වෙන්නේ නැහැ.

මේ අඩුව පුරවන්නේ ඉන්දියානු ශ්‍රමිකයන් විසිනුයි. ඉංග්‍රීසින්ගේ කාලයේ කෝපි, තේ හා රබර් වගාව ප්‍රචලිත කරන කොට කණක පුල්ලේ ක්‍රමයට සංවිධානාත්මක ලෙස රැගෙන එනු ලැබූ ඉන්දියානු ශ්‍රමිකයින් පිළිබඳ සැලකිය යුතු තරම් නිවැරදි සංඛ්‍යාලේඛණ තිබෙනවා. නමුත්, ඊට පෙර කුරුඳු කර්මාන්තයට අවශ්‍ය වූ ඉල්ලුම සපුරමින් කේරළයෙන් පැමිණ ලංකාවේ පැළපදියම් වී පසුව සිංහලයින් වූ ශ්‍රමිකයින් හෝ දුම්කොළ කර්මාන්තයේ යෙදෙන්නට උතුරට පැමිණ පැළපදියම් වූ ශ්‍රමිකයින් ගැන එවැනි වාර්තා හොයාගන්න අමාරුයි.

කුරුඳු වවන්න ඉන්දියානුවන් යම් ප්‍රමාණයක් ලංකාවට පැමිණියත් ඒ හේතුව නිසා ලංකාවේ තිබුණු ආර්ථික ආකෘතිය ලොකුවට වෙනස් වුණේ නැහැ. රැකියා සොයා ලංකාවට පැමිණි මේ සංක්‍රමණිකයින්ගෙන් සෑහෙන පිරිසක් පසුව ලංකාවේ පැලපදියම් වුණත් එය සිදුවුණේ ලංකාවේ ආර්ථිකයට හා සමාජයට දරාගන්න අමාරු තරමේ වේගයකින් නෙමෙයි. මෙසේ මුල් කාලයේදී පැමිණි අය පදිංචි වුනේ ලංකාවේ ආර්ථික ඒකක වූ ගම් ආශ්‍රිතව මිසක් එයින් වෙන්ව නෙමෙයි. ඒ අයගේ ආහාර වැනි මූලික අවශ්‍යතා වෙනුවෙන් ඇති වූ ඉල්ලුම මේ ආර්ථික ඒකක ඇතුළෙම සැපිරුනා.

කුරුඳු යුගය අවසන් වෙලා මුලින් කෝපි වගාවත් පසුව තේ හා රබර් වගාවනුත් ව්‍යාප්ත වෙද්දී, කෙටි කාලයක් ඇතුළත විශාල සංක්‍රමනික පිරිසක් රට ඇතුළට පැමිණීමත් සමඟ මේ තත්ත්වය වෙනස් වුණා. මේ සමඟම ඇති වුනේ "එක රටක් ආර්ථිකයන් දෙකක්" වගේ තත්ත්වයක්.

හේනක් කුඹුරක් කරගෙන හිටපු ගොවීන්ගෙන් හා ඔවුන්ට සහාය සේවාවන් සැපයූ කම්මල්කරුවන්, කුඹල්කරුවන් වැනි අයගෙන් සමන්විත ආර්ථික ඒකක තවදුරටත් ඒ විදිහටම තිබුණා. ඊට පිටින් වතු ආශ්‍රිත ලයින් කාමර වල පදිංචි කරවනු ලැබූ ඉන්දියානු ශ්‍රමිකයින් මේ ආර්ථික ඒකක සමඟ ගැටුණේ ඉතාම අඩුවෙන්.

ඉන්දියානු ශ්‍රමිකයන් ලංකාවට ආවේ ලංකාවේ නවතින්න බලාගෙන නෙමෙයි. ඔවුන් ආවේ කාලයක් වැඩ කරලා මුදල් හොයාගෙන නැවත තමන්ගේ ගම් රටවලට යන්න බලාගෙනයි. දැන් ලංකාවෙන් මැදපෙරදිග රටවලට ශ්‍රමිකයින් යනවා වගේ. ඔවුන්ට තමන් පැමිණි වැඩේ කරනවා මිසක් ලංකාවේ ගම් සමඟ බද්ධ වෙන්න උවමනාවක් හෝ වෙලාවක් තිබුණේ නැහැ.

උදාහරණයක් ලෙස කොළඹ නුවර දුම්රිය පාර හදන කාලයේ ලංකාවට පැමිණි ඉන්දියානු ශ්‍රමිකයින් විශාල ප්‍රමාණයක් නැවත ආපසු ගිහින් තියෙනවා. දහනවවන සියවසේ අන්තිම කාලය වෙද්දී ලංකාවට අවශ්‍ය ඉන්දියානු ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම හා මෙහි රඳවා ගැනීම විශාල අභියෝගයක් වී තිබෙනවා.

ලංකාවේ තිබුණු ස්වාධීන ග්‍රාමීය ආර්ථික ඒකක වලට නිෂ්පාදනය ඉහළ නංවා තමන්ගේ ගම ඇතුළේ හෝ ආශ්‍රිතව ඇති වුනු ආහාර ඉල්ලුමේ වැඩිවීමක්  සපුරන්න හැකියාව තිබුණත් මේ ආර්ථික ඒකක වලට පිටින් වූ වතු ආශ්‍රිත සංක්‍රමණික ජනාවාස වල වැසියන්ගේ ආහාර අවශ්‍යතා සපුරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.

ඒ නිසා, මේ සංක්‍රමනික ශ්‍රමිකයින් වෙනුවෙන් හාල් හා කරවල ප්‍රධාන ආහාර ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය ඉන්දියාවෙන් ආනයනය කරන්න සිදු වුණා. ලංකාවේ ජීවත් වූ යුරෝපීයයන් වෙනුවෙන් ඒ වන විටත් කිසියම් ආහාර ප්‍රමාණයක් ආනයනය කළත් ඉන්දියානු සංක්‍රමණිකයින් වෙනුවෙන් ආනයනය කරන්නට අවශ්‍ය වූ ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය ඊට වඩා ගොඩක් වැඩියි. ඒ වුණත්, ලංකාවේ අපනයන ඇමරිකාවට හා යුරෝපයට මිසක් බ්‍රිතාන්‍ය ඉන්දියාවට ගියේ නැති නිසා ලංකාව හා බ්‍රිතාන්‍ය ඉන්දියාව අතර විශාල වෙළඳ ශේෂ හිඟයක් ඇති වුණා.

ලංකාව යන්ත්‍ර සූත්‍ර වැනි දේ ගෙන්නුවේ බටහිර රටවල් වලින් වුවත් ඒ රටවලට පළමුව කෝපිත්, දෙවනුව තේත් සෑහෙන තරමින් යවපු නිසා වෙළඳ ශේෂයේ අතිරික්තයක් තිබුණා. නමුත්, ලංකාවේ ආනයනය වල මිල විශාල ලෙස ඉහළ ගිය අවුරුදු වලදී හැර මේ අතිරික්තය බ්‍රිතාන්‍ය ඉන්දියාව සමඟ වූ වෙළඳ හිඟය පියවීමට ප්‍රමාණවත් නොවූ බැවින් ආර්ථික ආකෘතියේ මේ පරිවර්තනය සිදුවුනු මුල් දශක වලදී  සමස්තයක් ලෙස වෙළඳ ශේෂ හිඟයක් තිබුණා.

කිසියම් රටක අඛණ්ඩ වෙළඳ ශේෂ හිඟයක් තිබෙන විට ගෙවුම් ශේෂ අර්බුද නොඑන්නනම් එයට අනුරූප අඛණ්ඩ ප්‍රාග්ධන ප්‍රවාහ තිබිය යුතුයි. ඉංග්‍රීසි ආණ්ඩුව මහා බ්‍රිතාන්‍යයේ ආයෝජකයින්ව මොන අයුරකින් හෝ දිගින් දිගටම ආකර්ෂණය කරගත් නිසා ලංකාවේ ආණ්ඩුවට ගෙවුම් ශේෂ අර්බුද වලින් බේරී ඉන්න හැකි වුණා. ඔවුන්ට එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය රජය සතුව තිබූ ඉඩම් විකුණමින් ආණ්ඩුව අයවැය හිඟයක් ඇති වීම වලක්වා ගත්තා. මේ ඉඩම් මුඩුබිම් පණත හරහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් අයිති කරගත් ඉඩම්.

මුඩුබිම් පණත නිසා බොහෝ දෙනෙක්ට අයිතිය තහවුරු කළ නොහැකි වූ පෞද්ගලික ඉඩම් අහිමි වූ බව හැමතැනම වාගේ කියවෙන දෙයක්. නමුත්, ඒ සමඟ සිදුවුණු වැඩිපුර සාකච්ඡා නොවන දෙයක් තමයි ලංකාවේත් යුරෝපයේ මෙන් ඉඩම් හිමි පන්තියක් හා ඉඩම් අහිමි පන්තියක් ඇති වීම.

රජෙකුගෙන් සන්නසකින් හෝ වෙනත් ලියවිල්ලකින් ගම් වර ලබා තිබුණු අයගේ ඉඩම් වල තනි අයිතිය මුඩුබිම් පණත නිසා ඔවුන්ට හිමි වුණා. නමුත්, ඊට පෙර නින්දගමක් තිබීම කියන්නේ ඒ ආකාරයේ තනි අයිතියක්ම නෙමෙයි. මුඩුබිම් පණත නිසා නින්දගමකින් කොටසක් වෙනත් ඕනෑම අයෙකුට විකුණන්න, ස්ථිර ලෙස පවරන්න හෝ ඒවායේ පදිංචි වී සිටි මිනිසුන් හිතුමතේ එළවා දමන්න මේ ඉඩම් හිමියන්ට පෙර නොවූ හැකියාවක් ලැබුණා. ඒ එක්කම, කලින් පොදු අයිතිය යටතේ තිබුණු, හේනක් කොටා ගැනීම වැනි දේකට භාවිතා කළ හැකි වූ බිම් රජයට අයත් වීම නිසා තවත් විශාල පිරිසකට ඉඩම් නැතිකම දැනෙන්න වුණා.

මුල් කාලයේදී තිබුණු "එක රටක් ආර්ථික දෙකක්" තත්ත්වය කාලයත් එක්ක වෙනස් වුණා. එය ඉංග්‍රීසින් විසින් ලංකාවේ තිබුණු ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය සෘජුව කඩා බිඳ දැමීමක් කියා කියන්න බැරි වුනත් අවසානයේදී එවැනි දෙයක් සිදුවුනා.

කොහොමටත් මේ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය දැන් ඇතැම් අය හිතන තරම් සුන්දර එකක් වුණේ නැහැ. ඒ ක්‍රමය යටතේ ජනගහණය දිගුකාලීනව පවතින මට්ටමේ තබාගන්නවාට වඩා වැඩි දෙයක් සිදු වුණේ නැහැ. ගැහැණියක් දරුවන් දහයක් දොළහක් වැදුවත් ගොඩක් දරුවන් උපන්ගෙයිම හෝ කුඩා කාලයේදීම මිය ගියා. ඉඳහිට ඇතැම් අයෙක් අවුරුදු සීය ඉක්මවා ජීවත් වුවත් සාමාන්‍ය ආයු අපේක්ෂාව අදට සාපේක්ෂව ගොඩක් පහළයි තිබුණේ. කන්නයක් පාලු වුනාම තිබුණු ආහාර සංචිත වලින් අමාරුවෙන් ගොඩ දාගන්න හැකි වුණත්, කන්න කීපයක් එක දිගට පාලු වෙනකොට දුර්භික්ෂ හේතුවෙන් විශාල පිරිසක් මිය ගියා. දහනවවන සියවස ආරම්භ වන තුරු යුරෝපය ඇතුළු ලෝකයේ හැම රටකම වගේ තිබුණේ මෙවැනි තත්ත්වයක්.

යුරෝපීයයන් ලංකාවට නොආවත් කිසියම් අවස්ථාවක ලංකාවේ තිබුණු ආර්ථික ආකෘතිය වෙනස් විය හැකිව තිබුණා. යුරෝපීය පාලනය නිසා සිදුවුණේ එය තරමක් ඉක්මන්වීම පමණයි. ලංකාවේ ස්වයංපෝෂිත ආර්ථික ඒකක බිඳ වැටෙන්න පටන්ගත්තේ සෞභාග්‍යයට පාර තිබෙන්නේ සංවෘත ආර්ථිකයක් ඇතුළේ නොව වඩා විවෘත ආර්ථිකයක් හරහා බව ඒ ඒකක ඇතුළේ ජීවත් වූ මිනිස්සුන්ට ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැනෙන්න පටන් ගැනීමත් සමඟයි. ඒ එක්කම ක්‍රමයෙන් ගම් වලට පිටතින් තිබුණු ආණ්ඩුවේ පාලනයට යටත් වූ බාහිරට විවෘත වූ ආර්ථිකය ඇතුළට ලංකාවේ ග්‍රාමීය ආර්ථික ඒකක අවශෝෂණය වුණා.

ගම් වල මිනිස්සුත් හේන් කුඹුරු අත හැර වාණිජ භෝග වවන්න පටන් ගැනීමත් එක්ක රටේ ආහාර නිෂ්පාදනය අඩු වෙලා ආහාර ආනයනය කරන්න සිදු වුණා. මේ ආහාර ආනයනය කළේ ඉන්දියාව, චීනය ඇතුළු අසල්වැසි රටවලින් මිස යුරෝපයෙන් නෙමෙයි. නමුත්, ලංකාවේ අපනයන අළෙවි වුණේ බටහිර රටවලයි.

පසුගිය සියවසේ අග කාලය වෙද්දී තේ, රබර් ඉක්මවා ලංකාවේ ප්‍රධාන අපනයනය බවට ඇඟලුම් පත් වුණා. මැදපෙරදිග ශ්‍රමිකයින් ලංකාවේ ප්‍රධානම විදේශ විණිමය උල්පත බවට පත් වුණා. මේ සමඟම ලංකාවේ සමාජයේත් ආකෘතිමය වෙනසක් සිදු වුණා. ඒ ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස පිරිමින්ට තිබුණු තැන ක්‍රමයෙන් ගැහැණුන් අතට පත් වීම. ඒ එක්ක තවත් දේවල් ගොඩක් සිදු වුණා. කොහොම වුනත්, විදේශ වෙළඳාම සිදුවුණු ආකාරය ඒ හේතුව නිසා වෙනස් වුණේ නැහැ.

තවමත් ලංකාවේ විදේශ විණිමය හොයන්නේ බටහිර වෙළඳපොළවල් වලිනුයි. නමුත්, එහෙම හොයන සල්ලි වියදම් කරන්නේ ආසියානු කලාපයේ. හොයන සල්ලි වියදම් කරන්න ප්‍රමාණවත් නැති නිසා ලංකාව හැමදාමත් බලාගෙන ඉන්නේ කවදාවත් නොඑන ආයෝජකයෝ ඇවිදින් රට ගොඩදානකම්. ඒ වැඩේ කෙරෙන්නේ නැති වුණහම තිබෙන විකල්පය ආපහු මුලට ගිහින් රටේ ස්වභාවික සම්පත් මොනවා හෝ විකුණන එකයි.

මේ කෙටියෙන් ලියන්නේ ගොඩක් දිග කතාවක්. කතාවේ අටුවා ටීකා ගොඩක් තියෙනවා.

9 comments:

  1. //මේ කෙටියෙන් ලියන්නේ ගොඩක් දිග කතාවක්. කතාවේ අටුවා ටීකා ගොඩක් තියෙනවා//
    පැහැදිලි ලෙස සාරාංශය ලියල තියෙනවා.ස්තූතියි.

    රටේ ප්‍රධාන ආදායම මැදපෙරදිග ගෘහසේවිකාවො විකිණිම වුනාම මෙතන ලොකු අවුලක් තියෙන බව පැහැදි වුනට, ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි කියන එක පැහැදිලි නෑ

    අපි කම්මැලි ජාතියක්නිසාද?
    පැහැදිලි දේශපාලන නායකත්වයක් නැති නිසාද?
    උගතුන් රටහැර යන නිසාද?

    ලංකාවට ආයෝජකයො නො එන්නෙ ඇයි?
    යටිතල පහසුම නැති නිසාද?
    කොමිස්/ පගා/දූෂණ, පටන් ගැනීමට ඇති අපහසුකම්

    ලංකාවෙ බුද්ධිමතින්/උගතුන් පිරිච්ච රටක් කියලා කියන කතාව ඇත්තද?
    ඒක ඇත්ත නම් තියෙන සම්පත් විකුණගෙන කනව ඇරෙන්න, අපිට ලෝකෙට විකුණන්න යමක් නිෂ්පාදනය කරන්න බැරිවෙලා තියෙන්නෙ ඇයි?

    බොරු උද්ධච්චකම අත්හැරලා ක‍ටුක යථාර්ථය දෙස බැලුවොත් මතුවන ප්‍රශ්ණ තමා ඔය

    ReplyDelete
    Replies
    1. //යථාර්ථය දෙස බැලුවොත් මතුවන ප්‍රශ්ණ //

      DGMB, අපේ රටේ බහුතරයට ලොකු තියරීස් තියනව රට හදන ක්‍රම, දූෂණය නැති කිරීම, දේශපාලකයින්ගේ හා නිලධාරීන්ගේ වැරදි ආදිය ගැන.
      ඒත් එක් එක් පුරවැසියන් ලෙස අපේ විනය, අවංකකම, කාර්යක්ෂමතාව, තර්කානුකූල සිතීම ආදිය සෑහෙන්න දුර්වලයි. අපි දක්ෂ අනුන් හදන්න කතා කරන්න. රටක් හදන්න පුරවැසියන් බහුතරය හැදෙන්න ඕන. අපි මහන්සි නොවී, අපේ වැඩකරගැනීමට වංක ක්‍රම යොදමින්, මිත්යා විශ්වාස කරපින්නා ගෙන මේ රට හැදෙන්නෙ නෑ මුන් ඔක්කොම හොරු කියමින් ඉන්නවා, "මුන් ඔක්කොම"ට අපිත් අයිතියි !!!!
      දැන් නම් සෑහෙන්න අමාරුයි මොකද පැවතීම සඳහා බහුතරය යන මාර්ගයේ යාමට හැමෝටම වෙලා තිබෙන නිසා. කොහෙන් කවුරු හැදෙන්න පටන් ගන්නද කියලා හිතාගන්න බෑ

      Delete
    2. Pra Jay

      +++++

      රට හදන්න ලොරි ටෝක් දෙන අයියලා, කාර් එකට නැග්ගම බීපූ කිරි පැකට් එකේ කවරේ කාර් එකේ කාර්පට් එක උඩ තියන්න කැමති නෑ ඒක ජරා වෙනවා කියලා. බොහොම කැමැත්තෙන් දෙපාරක් හිතන්නෙ නැතිව ග්ලස් එක පාත් කරලා අර කවරේ පාරට විසිකරණවා.. ඔය චූටි උදාහරණයක් විතරයි..

      Delete
    3. Pra Jay, සෙන්නා
      //රට හැදෙන්නෙ නෑ මුන් ඔක්කොම හොරු කියමින් ඉන්නවා, "මුන් ඔක්කොම"ට අපිත් අයිතියි //

      මං හොයපු උත්තරෙ මෙතන තියනවා කියල හිතෙනවා

      Delete
    4. බස්සාගේ ප්‍රශ්න පත්‍රයේ ඉතා කෙටියෙන් අවශ්‍යම ප්‍රශ්න ටිකක් අහල තියෙනවා. මේවාට පිළිතුරු දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතුයි.

      Delete
    5. //මේවාට පිළිතුරු දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතුයි//

      එහෙම කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? ඉකොන්ගෙ ක්‍රමේ හොඳයි, හෙමිහිට කතාකරමු.


      Delete
  2. කෙටියෙන් ලියන්නේ නැතුව විස්තරාත්මකවම ලියනවා නම් වඩා හොඳයි... :)

    ReplyDelete
    Replies
    1. විස්තර අපි හෙමිහිට කතා කරමු.

      Delete
  3. ලංකාව හැමදාමත් බලාගෙන ඉන්නේ කවදාවත් නොඑන ආයෝජකයෝ ඇවිදින් රට ගොඩදානකම්. ඇඩෙනව.....

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.