වෙබ් ලිපිනය:

Friday, August 17, 2018

ජේආර් සමඟ ඇමරිකා ගොස් හාමතේ මියගිය ඈ...


සමගි පෙරමුණු ආණ්ඩුව පරාජය කර හයෙන් පහක බලයක් ලබාගත් ජේආර් ජයවර්ධන ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවකට මුල පිරුවා. අඩුපාඩු තිබුණත් ජේආර්ට ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම පිළිබඳව දැක්මක් තිබුණා. නිදහසින් පසු ලංකාවේ ආර්ථික ව්‍යුහයේ එක දිගටම තිබුණු හා තවමත් තිබෙන මූලික ප්‍රශ්නයක් වන රුපියල ඕනෑවට වඩා ශක්තිමත් වීම නිසි අයුරින් හඳුනාගත් එකම රාජ්‍ය නායකයා ජේආර් ජයවර්ධනයි. මේ කරුණේදී රනිල් වික්‍රමසිංහ ඉන්නෙත් ජේආර්ට වඩා ගොඩක් පස්සෙන්.

ජේආර් ප්‍රසිද්ධ වී තිබෙන්නේ ඇමරිකාවට ලැදි පුද්ගලයෙක් ලෙසයි. ඇමරිකාවට ජේආර්ගේ ලැදිකමක් තිබී ඇති බව පිළිබඳව සැකයක් නැතත්, එය ඔහු පෙන්වූ තරමටම තිබුණා නොවෙන්නත් පුළුවන්. ඊට වඩා සිදුවී තිබෙන බව පෙනෙන්නේ තමන් ඇමරිකාවට ලැදි පුද්ගලයෙක් බවට ප්‍රතිරූපයක් හදාගන්න ජේආර් විසින්ම කාලයක් තිස්සේ කටයුතු කර තිබීමයි. ඔහුගේ රාජ්‍ය ප්‍රතිපත්ති ඇමරිකාවට වඩා කිට්ටු සිංගප්පූරුවටයි.

ජේආර් විසින් හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ නිසා ලංකාවේ ආර්ථික වර්ධනය තරමක් වේගවත් වුනත්, උතුරේ කැරළි පටන් ගැනීමෙන් පසුව තත්ත්වය හිතූ තරම් හොඳ වුණේ නැහැ. මේ ප්‍රශ්නයේ ඉතිහාසය ඈතට දිවෙන්නක් වුවත්, ලංකාවේ ආර්ථිකයට හා ජන ජීවිතයට සිවිල් යුද්ධයේ බලපෑම දැනෙන්න පටන් ගත් අවුරුද්ද සේ සැලකිය හැක්කේ 1983 අවුරුද්දයි.

මේ විදිහට උතුරේ ත්‍රස්තවාදී ක්‍රියා ආරම්භ වී වසරකට පමණ පසු ජේආර් ඇමරිකාවේ සංචාරයක යෙදුණා. එවකට ඇමරිකානු ජනාධිපති වුණේ රොනල්ඩ් රේගන්. සංචාරයේ පසුබිම ඇතුළු දේශපාලනික කරුණු ගැන කතා කරන එක අපි දැනට පැත්තකින් තියමු.

ජේආර් ඇමරිකාවට ගියේ රේගන්ට දෙන්න තෑග්ගකුත් අරගෙනයි. ඒ කිරි බොන වයසේ හිටපු මාස 18ක සුරතල් අලි පැටික්කියක්. බර රාත්තල් 285ක් පමණයි. ජයතු ලෙස නම් කර තිබුණු මේ අලි පැටික්කී වලක වැටිලා ඉඳිද්දී බේරාගෙන තිබුණු අනාථ අලි සිඟිත්තියක්. ජේආර් මේ අලි පැටික්කිව කිහිල්ලෙ ගහගෙන ඇමරිකා යන කාටුන් එකක් ඒ දවස් වල ඇත්තේ හෝ වෙනත් පත්තරේක නැත්නම් සඟරාවක තිබුණා වගෙත් මතකයක් තියෙනවා.

රටකින් රටකට තෑග්ගක් දෙනකොට යන ගමන් ලක්සලෙන් මොකක් හරි අරන් ඔතාගෙන යනවා වගේ ලේසියට ඔය වැඩේ කරන්න බැහැ. ඊට කලින් අනුගමනය කළ යුතු රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාපටිපාටීන් තියෙනවා. මේ අතරින් වැදගත්ම මූලික කරුණක් වෙන්නේ තෑග්ග භාරගන්න අදාළ රට කැමති වීමයි.

මේ අලි පැටික්කිව භාර ගන්න ඇමරිකාව මුලින්ම කැමති වෙලා නැහැ. එයට හේතුව මේ තරම් පොඩි වයසක අලි පැටික්කියක් ඇමරිකාව වගේ නුපුරුදු දේශගුණයක් තියෙන රටකට ගෙනත් හදාගන්න පුළුවන් වෙයිද කියන සැකය. ඒ නිසා, ඇමරිකාව පැත්තෙන් මුලින් කියල තියෙන්නේ තෑග්ග ලෙස ටිකක් ලොකු, කිරි වරපු අලි පැටියෙක් දෙන්න පුළුවන්නම් වඩා හොඳ බවයි.

අලි පැටියෙක් කිරි වරන්න අවුරුදු තුනක්වත් යනවා. ඒ වෙන කොට පැටියා සෑහෙන්න වැඩිලා නිසා ඒ වයසේ පැටියෙක් ඇමරිකාවට ගෙනියන්නනම් වෙනම ගුවන් යානයක් අවශ්‍ය වෙනවා. ඒ තරම් වියදමක් ලංකාවේ භාණ්ඩාගාරයට දරා ගන්න අපහසු බව ඇමරිකාවට දන්වමින් කොහොම හරි අන්තිමට ජේආර් මේ පැටියාව භාර ගන්න ඇමරිකාව කැමති කරගෙන තියෙනවා. ඒ අනුව, සාමාන්‍ය ජම්බෝ ජෙට් යානයකට පැටවූ තොටිල්ලක මේ අලි පැටික්කී ජේආර් එක්ක ඇමරිකාවට එනවා. ඉන්පසුව, ජේආර්ගේ වගේම රේගන්ගේත් දේශපාලන පක්ෂ වල සංකේතයක් වන මේ අලි පැටික්කිව ජේආර් විසින් රොනල්ඩ් රේගන්ට තෑගි කරනවා.

කොහොම වුණත්, කෙටි කලකට හෝ ජේආර්ගේ වගේම රේගන්ගේත් ආදරය ලබන ජයතු නම් වූ මේ අලි සිඟිත්තිය ඇමරිකාවට පැමිණීමෙන් පසුව ජීවත් වෙන්නේ දින 78ක් පමණයි. මුලින්ම, ලංකාවෙන් ගෙන ආ ළදරු කිරිපිටි ආහාරයට ගනිමින් රාත්තල් 130ක් පමණ බර වැඩි කරගන්නා ඇය එසේ ගෙනා කිරිපිටි ඉවර වී වෙනත් වර්ගයක් ලබාදෙන්නට පටන් ගැනීමත් සමඟ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. දිගින් දිගටම ආහාර ප්‍රතික්ෂේප කරද්දී බටයකින් ආහාර ලබා දුන්නත් ඇගේ බඩවැල් ආසාදනය වී පාචන තත්ත්වයක් ඇති වෙන අතර ආහාර අවශෝෂණය කරගැනීම ක්‍රමයෙන් අඩු වී ඇගේ බර විශාල ලෙස පහත වැටෙනවා. අවසානයේදී මේ අලි සිඟිත්තිය උපන් බිමෙන් බොහෝ ඈත රටකදී ඉතා අඩු වයසකින් ජීවිතය හැර යනවා.


(Image: https://de.wikipedia.org/wiki/Datei:Jayewardene_presents_elephant_to_Reagan.jpg)

8 comments:

  1. එදා එතුමා ගැන මිනිස්සු කීවේ ලෝකේ ඉන්න ඉතා පරිණත නායකයෙක්,ඒ වගේම එයා කීවොත් ඇමරිකාව ඕනෑම දෙයක් කරනවා කියා.ඒ ගැන හරියට තේරුණා පසුවට.ඔබේ ලිපියේ මේ අහිංසක සතා ඇමරිකාව හරහා පරලොව යවපු එකෙන් වඩ වඩා එතුමාගේ බුද්ධිය ගැන වැටහෙනවා.දැන් ඉන්න එයාගේ පක්ෂය නියෝජනය කරන කෙනා මෙයාටත් වඩා දක්ෂයෙක්.කතාවෙන්,වැඩවලින් කදිමට පේනවා.කොහොමත් ලංකාවේ නිදහසින් පසු හිටියෙම ලොකේ හොඳම මොළ.ඒ හාමුලා කෙරුවේ අපේ මොළ හෝදපු එක,හෝදන එක.

    ReplyDelete
    Replies
    1. //එදා එතුමා ගැන මිනිස්සු කීවේ ලෝකේ ඉන්න ඉතා පරිණත නායකයෙක්,ඒ වගේම එයා කීවොත් ඇමරිකාව ඕනෑම දෙයක් කරනවා කියා.//
      මේ කාලයේ ඇතැම් සීඅයිඒ වාර්තා තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ දැන් කියවිය හැකියි. ලංකාවේ ඔය වගේ අදහසක් තිබුණත් ජේආර් ගැන ඒ කාලයේ ඇමරිකාව හිතපු ආකාරය ඒවායින් පිළිබිඹු වෙනවා. පසු අවස්ථාවක මේවා ගැන ලියන්නම්.

      Delete
  2. රේගන්ගේ ප්‍රසිද්ධ ජෙලි බීන් ගැනත් මෑන් ඔතන කියනව නේද? පැටියට දුන්න වගේ.

    කොයිතරම් මෝඩ වැඩක් ද කිරිබොන පැටියෙක් යැවීම !
    ලොකු පැටියෙක් ගෙනියන්න වියදම දරන්න ලංකාවට බැරි නිසා?
    මොකක්ද ඒ කිරිපිටි වර්ගය. ලංකාවෙ විතරක් තියන එකක් නම් ඒක ලංකාවෙන් ගෙන්වීමේ වියදම ඇමරිකාවට දරන්න පුලුවන්නෙ. ඒව හිතනකොට ( හිතුවනම් ) බැක්ටීරියා ආසාදනය වෙලා ඉවර ඇති

    ReplyDelete
    Replies
    1. ලංකාවේදී දීල තියෙන්නේ බ්‍රිතාන්‍ය කිරිපිටි වර්ගයක් බවයි සඳහන්ව තිබෙන්නේ. මේ පිටි මාරු වීමේ ප්‍රශ්නය අලි පැටවුන්ට පමණක් නෙමෙයි අපේ දරුවන්ටත් කුඩා කාලයේ මුහුණ දෙන්න සිදු වූ බැරෑරුම් ප්‍රශ්නයක්. අලි පැටියා මුහුණ දුන් තත්ත්වයට සමාන තත්ත්වයකට මගේ දරුවෙකුත් මුහුණ දුන්නා. එක විදිහකින් බැලුවහම අලි පැටියා මුහුණ දුන් ප්‍රශ්නය පොදුවේ සංක්‍රමණිකයින් මුහුණ දෙන ප්‍රශ්න පැකේජයේ කොටසක්.

      Delete
  3. ජේ ආර්ට වාමාංශිකයෝ කියන්නේ යැංකි ඩිකී කියලයි - හැබැයි මම නම් හිතන්නෙ ජේ ආර් අර ජපානයේ ලිබරල් පක්ෂයේ (කියන කන්සර්වේටිව් පක්ෂයේ) අය වගේ දක්ෂිණාංශික සංරක්ෂණවාදී ජාතිකවාදියෙක් -
    ඉකොනො - මේක අතුරු කතාවක් - පසුගියදා බුකියේ විවාදයකදී මගේ මිත්‍රයෙක් පැවසුව සංඛ්‍යාලේඛන අනුව සමඟි පෙරමුණු ‍70 -1977 යුගයේ දි current USD වලින් ගත්තම GDP වැඩිවීම ජේ අාර් ගේ මුළු කාලයටම එනම් 1977 -1988 current USD GDP වැඩිවීමට වඩා වැඩි බවත් ඒ නිසා ජේ ආර්ගේ ආර්ථ්ක පිබිදීම overblown බවත් - මේ ගැන ඔබගේ අදහස කුමක්ද ? (constant USD හෝ constant රුපියල් රේට් එක ගත්තම මේ අගයන් වෙනස් වනවා - 1977 දෙවැනි භාගයේ සිටම රුපියල සීඝ්‍ර ලෙස අවප්‍රමාණ වීම සැලකිල්ලට ගන්න ඕන )

    ReplyDelete
    Replies
    1. ඔය GDP කතාව පැහැදිලි කරලා පසුව පෝස්ට් එකක් දමන්නම්. මෙහි වැදගත් පොයින්ට් එකක් තිබෙනවා.

      Delete
    2. ඔව් මේක නම් වැදගත් Post එකක් මොකද මටත් තාම හරියට තේරෙන්නේ නැ කොහොමද USD market එකට දාල Central Bank එකෙන් USD control කරන්නනේ කියලා....

      Delete
  4. ඔව් මේක නම් වැදගත් Post එකක් මොකද මටත් තාම හරියට තේරෙන්නේ නැ කොහොමද USD market එකට දාල Central Bank එකෙන් USD control කරන්නනේ කියලා....

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: