වෙබ් ලිපිනය:

Sunday, August 5, 2018

ලංකාවේ වහල්ලු


යුරෝපීයයන් පැමිණෙන්නට පෙර ලංකාවේ වූ නීතිය පිළිබඳ හොඳම මූලාශ්‍රයක් සේ නීති නිඝණ්ඩුව සැලකිය හැකිය. එහි පළමු පරිච්ඡේදයේ දෙවන කාණ්ඩයේ නඩු විනිශ්චය කිරීමට පෙර දැනගත යුතු මූලික කරුණු සඳහන්ව තිබේ.

මෙහිදී පළමුව කෙරෙන්නේ "අය" හා "දෙය" නම් වූ අර්ථදැක්වීම් දෙකක් ඉදිරිපත් කිරීමයි. මෙහි "අය" යන්නට සියලු මිනිසුන් ඇතුළත්ය වන අතර "දෙය" යනු ඒ මිනිසුන් සතු සියලු චංචල හා නිශ්චල දේපොලයි.

"අය" හෙවත් මනුෂ්‍යයෝ වර්ග දෙකකි. ඒ "දහසුන්" හා "නිදහසුන්ය". නිදහසුන්ට තමන් කැමති තැනකට ගොස් රැකියාවක් කර ජීවත් විය හැකි වුවත් දහසුන්ට එසේ කළ නොහැකි විය. ඔවුහු ඔවුන්ගේ ස්වාමීන් සතු දේපොලක් සේ සැලකුණෝය.

නිදහසුන් වුවද සියලු මිනිසුන් සමාන වුණේ නැත. කුලය අනුව ඔවුහු නීතිය ඉදිරියේ වෙනස් ලෙස සැලකුණෝය. එයට අමතරව ගිහි හා පැවිදි සේද වෙනසක්ද තිබුණේය. මෑතකදී රටට පැමිණ පදිංචි වූ සංක්‍රමණිකයින්ද ඇතුළු නිදහසුන්ගේ කුල හා අදාළ අමතර අර්ථදැක්වීම් රාශියක් ඉන් පසුව ඇතත් මෙහිදී අපේ සාකච්ඡාව දහසුන් ගැන නිසා අපි ඒ වෙත අවධානය යොමු කරමු.

අන්තෝජාත, ධනක්කීත, කරමරානිත, සාමංදාස ව්‍යොපගත​ යනුවෙන් දාසයෝ වර්ග හතරකි.

අන්තෝජාත- කිසියම් නිවසක දාසයන් සේ පරම්පරාවෙන් පැවතෙන අයයි. නීති නිඝණ්ඩුවට අනුව මේ දහසුන්ගේ ආරම්භය සේ සැලකෙන්නේ විජය ඇතුළු හත් සියයක් පිරිසට විවාහ කරගැනීම පිණිස දඹදිවින් එවූ ස්ත්‍රීන් හත්සියය සමඟ එවූ රන් රිදී ඇතුළු දායාද වලටම අයත් වූ දාසියන් හා දාසයින්ය.

ධනක්කීත- අයිති ස්වාමියාගෙන් හෝ මවුපියන්ගෙන් මිල දී ගත් අයයි. මේ අනුව පෙනෙන්නේ දාසයින් පරම්පරාවෙන් උරුම වනවාට අමතරව ඔවුන්ව මුදල් ගෙවා මිල දී ගත හැකි සක්‍රිය වෙළඳපොළක්ද කාලයක් තිස්සේ ලංකාවේ තිබී ඇති බවයි.

කරමරානිත- මේ වර්ගයේ දාසයින්ද කොටස් තුනකි. වෙනත් රටකින් සොරකම් කරගෙන ආ අය, යුද්ධයකදී බලහත්කාරයෙන් පැහැරගෙන ආ අය හා කුලයට නොගැලපෙන හැසිරීම් හේතුවෙන් කුලයෙන් පන්නා දමනු ලැබ රජුගේ වහලුන් වූ කාන්තාවන් වශයෙනි.

සාමංදාස ව්‍යොපගත-මේ කාණ්ඩයට අයත් වන අය තමා විසින් ස්ව-කැමැත්තෙන්ම දාස බවට පැමිණි අයයි. රැකියාවක් නැති කම නිසාද, ආරක්ෂාව පිණිසද, තමන් විසින් කළ හොරකමකට හෝ අලාභහානියකට වන්දි ගෙවිය නොහැකි නිසාද, ගත් ණයක් ආපසු ගෙවීමට නොහැකි නිසාද යන හේතු හතර මත මෙහිදී නිදහසුන් ස්ව-කැමැත්තෙන්ම දහසුන් වී තිබේ.

ඉහත හතරවන කාණ්ඩය දෙස බැලූ විට පෙනෙන්නේ මේ තත්ත්වය අද අර්ථයෙන් ගත්තොත් තමන්ගේ කැමැත්තෙන්ම ශ්‍රමය විකිණීමක් මිස වහල්කමක් නොවන බවයි. ලංකාවේ මෙයද සැලකුණේ දාස භාවයට පත් වීමක් වශයෙනි. පසුකාලීනව සිංහලයින් කුලී ශ්‍රමිකයින් සේ සේවය කරන්නට අකැමැති වීමට හේතුව වූයේද එසේ කළ පසු තමන් තවදුරටත් නිදහසෙකු නොවන බවට වූ අදහසයි.

සාමංදාස ව්‍යොපගත වර්ගයේ දාසයෙකුගෙන් පැවත එන්නෝ දාසයෝ නොවෙති. පරම්පරා කිහිපයක්ම එකම ස්වාමියෙකු යටතේ සේවය කළද එහි වෙනසක් නොවේ. එමෙන්ම ගෙවිය යුතු ණයක් හෝ වන්දියක් වෙනත් අයෙකු විසින් පියවීමෙන් පසුව හෝ ඒ වෙනුවෙන් අවශ්‍ය පමණ කාලයක් සේවය කිරීමෙන් පසු එවැන්නෙකුට නිදහසෙකු විය හැකිය. ණයක් ගෙවීම පිණිස දෙමවුපියන් විසින් දරුවෙකු වහල් කමට දුන් විට ණය අවසන්ව නොතිබුණත් ලොකුමහත් වීමෙන් පසුව දරුවාට නිදහසෙකු වීමට බාධාවක් නැත.

ධනක්කීත ක්‍රමයට දාසයෙකු අයිති කර ගත හැක්කේ මුල් අයිතිකරුට නිරවුල් අයිතියක් ඇත්නම් පමණි. අයිතිය පිළිබඳ ව්‍යාකූල භාවයක් ඇත්නම් මුදල් ගෙවූ පමණින් දාසයෙකු හිමි නොවේ. දරුවෙකු දාසයෙකු සේ විකිණීමට මවු පිය දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය වේ. එක් අයෙක් හෝ විරුද්ධනම් දරුවෙකු විකිණිය නොහැකිය. මව හෝ පියා මිය ගොස් සිටියද මිය ගිය පාර්ශ්වයේ ඥාතීන් දරුවාට රැකවරණය සැපයීමට කැමතිනම් ඔවුන්ගේ කැමැත්තට විරුද්ධව දරුවා විකිණිය නොහැකිය.

දරුවෙකුට කිසියම් හෝ රැකියාවක් කර තමන්ගේ අවශ්‍යතා සපුරා ගත හැකිනම් මවුපියන් විසින් විකුණනු ලැබීමට විරුද්ධ වී ස්වාධීනව ජීවත් විය හැකිය. එමෙන්ම, දරුවෙකු වෙනත් අයෙකුට විකුණන්නේනම් ඒ මොහොතේ දරුවා දෙමවුපියන් සමඟ සිටිය යුතුය. දෙමවුපියන් විසින් විකුණා දැමූ බව පවසා වෙනත් තැනක සිටින දරුවෙකු අල්ලා ගත නොහැකිය.

දහසියකගේ කුසේ ඉපදෙන දරුවෙකු එම දහසිය අයිතිකරුගේ දේපොළකි. එහෙත්, නිදහසියකගේ කුසෙහි දාසයෙකුට ජාතකව උපදින දරුවෙකු දාසයෙකු නොවේ. වෙනත් අයුරකින් කිවහොත් දරුවෙකු උපතින් දහසෙකු හෝ නිදහසෙකු වන්නේ මව අනුව මිස පියා අනුව නොවේ.

දහසෙකුගේ අයිතිකරුට තමන්ගේ දාසයාව ත්‍යාග කරන්නට, විකුණන්නට හෝ නිදහස් කරන්නට පුළුවන. එහෙත්, දහසයාගේ කුලයට වඩා අඩු කුලයක අයෙකුට එසේ ත්‍යාග කරන්නට හෝ විකුණන්නට නොහැකිය. අඩු කුලයක අයෙකුට අකැමැත්තෙන් විවාහ කර දෙන්නටද නොහැකිය. දහසියකගේ අයිතිය පැවරීමෙන් පසුව ඇයගේ කුසේ උපන් දරුවන්ගේ අයිතිය පමණක් අලුත් අයිතිකරුට හිමි වේ.

ලංකාවට ඉංග්‍රීසින් මුලින්ම පැමිණි කාලය වහල් වෙළඳාම ලෝකය පුරා ව්‍යාප්තව තිබූ කාලයකි. මේ වහල් වෙළඳාමේ කේන්ද්‍රයක් වූයේ ඔටෝමන් අධිරාජ්‍යයේ කොටසක් වූ වත්මන් යේමනයේ අල්-මුඛා වරායයි. මෙහි වැඩිපුරම අළෙවි වී තිබෙන්නේ අප්‍රිකානු සම්භවයක් ඇති වහලුන් වුවත් මුස්ලිම් වෙළෙඳුන් විසින් ඒ කාලයේ ලංකාවේ ළමුන්ද රැගෙන ගොස් වහලුන් සේ විකුණා ඇති බව ඒ කාලයේ ඇතැම් වාර්තා අනුව පෙනේ.

බ්‍රිතාන්‍යය විසින් 1807 මාර්තුවේදී එහි වැසියන්ට වහල් වෙළඳාම තහනම් කළේය. මුලින්ම අප්‍රිකානු වහලුන් හා අදාළව පමණක් පැනවුණු මේ තහනම 1811 මැයි මාසයේදී සියලු වහලුන් හා අදාළව දිගු වූ අතර 1812 ජනවාරි 1 දින සිට ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය තිබුණු ප්‍රදේශ වලද මේ නීතිය බලාත්මක විය. ඉන් පසුව, 1813 දී කොළඹ අද්මිරාල් උසාවියේ විභාග වූ නඩුවක වාර්තා අනුව පෙනෙන පරිදි, එම වසරේදී සිංහල ළමුන් 15 දෙනෙකු වහලුන් සේ අරාබියට විකිණීම සම්බන්ධව බ්‍රිතාන්‍ය යටත් වැසියන් තිදෙනෙකුට හා විදේශිකයින් තිදෙනෙකුට චෝදනා ඉදිරිපත් වී තිබේ.

මේ විදේශිකයින් තිදෙනා අතරින් පළමුවැන්නා අල්-මුඛා සිට පැමිණි ජොහාන් බානි නම් වූ අරාබි නැවක නිලධාරියෙකු වූ අහමඩ් කාසිම් නමැත්තෙකි. අනෙත් දෙදෙනා මලක්කාවෙන් පැමිණි මැලේ මුස්ලිම් පූජකයෙකු හා දකුණු ඉන්දියානු (මලබාර්) හමුදා සාමාජිකයෙකි. යටත් විජිත වැසියන් තිදෙනා වන්නේ ගාල්ලේ මුස්ලිම් වෙළෙඳුන් දෙදෙනෙකු හා බර්ගර් ජාතිකයෙකි. 1813 ජනවාරිදී ජොහාන් බානි නැව ගාලු වරායට එන විට ඒ ප්‍රදේශයේ විශාල ආහාර හිඟයක් තිබී ඇති අතර කෑම වේලක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම්ව සිටි දරුවන්ගෙන් අඩුවක් තිබී නැත. එවැනි ළමුන් 15 දෙනෙකු නැවට දක්කාගෙන පැමිණ තිබෙන්නේ බත්ගමගේ සයිමන් නම් වූ අයෙකි.

බ්‍රිතාන්‍ය රජය පෙර කී අවස්ථාවේදී වහල් වෙළඳාම තහනම් කළත් වහලුන් ළඟ තබා ගැනීම තහනම් කළේ නැත. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ලාංකිකයින්ගේ විරෝධතා මැද එය සිදු වුණේ ඉන් පසු වසරකදීය. 1844 අප්‍රේල් 30 දින ප්‍රකාශයට පත් කර ඇති එංගලන්ත සභාවේ ප්‍රකාශනයක සටහන්ව ඇති පරිදි, (The Church of England Magazine No. 461) 1835 වසරේ සිදු කර ඇති ජන සංගණනයකදී පිරිමි 14,108 ක් හා ගැහැණු 13,289 ක් ලෙස වහලුන් 27,397ක් ගණන් ගැනී ඇත.

මෙසේ පසුව ඉංග්‍රීසින් විසින් ලංකාවේ වහල් වෙළඳාම මෙන්ම වහළුන් ළඟ තබා ගැනීමද තහනම් කළත් එය බලපෑවේ අන්තෝජාත, ධනක්කීත හා කරමරානිත යන කාණ්ඩ වලට අයත් වන වහලුන්ට පමණි. ඉංග්‍රීසි නීතිය යටතේ වුවද යමෙක් ස්ව-කැමැත්තෙන් සාමංදාස ව්‍යොපගත වහලෙක් වීම වැළැක්වීමට හැකි කමක් තිබුණේ නැත.

(Historical information: http://www.houghton.hk/?p=161)

24 comments:

  1. දැන් ඉන්නේ දේශපාලන පක්ෂ වහල්ලු. කුලමල බේදයක් නැතිව, කරාවෙද දුරාවේද බලන්නේ නැතිව උන් අපුරුවට පක්ෂ දේශපාලනයේ යහන්ගත වෙලා.

    ReplyDelete
  2. ඉකොනොමැට්ටාගේ මේ ලිපිය ලංකාවේ උගතුන් යෑයි කියන බටහිර දැනුම් වහල් අනුකාරකයන්ගේ අවිචාරවත් බවට කදිම නිදසුනක්‌. මෙහි මාතෘකාව ඉතිහාසය වුවද වාස්තවික වූ ඉතිහාසයක් නැත. අප සියළු දෙනාට ම ග්‍රහණය කිරීමට ඇත්තේ එකම ලෝකයක් පමණක් යැයි කියන (නො)දත් දොස්තරලාට නම් ඇත්තේ එකම ඉතිහාසයක් විය හැකි ය. අප එකිනෙකා ඉතිහාස දකින්නේ විවිධ ආකාරයෙනි.

    මෙ රට ඉතිහාසය සම්බන්ධයෙන් ගත්කල ඇතැම්හු "රාවණ ඉතිහාසය" ගැන කියති. ඇතැමුනට අනුව ඉතිහාසය පටන්ගෙන ඇත්තේ විජය කුමරු ගෙනි. ඇතැමුනට අනුව ඊනියා බටහිර විද්‍යාව මගින් බෙංගාලයේ ජනතාව හා සිංහලයන් අතර ජාන සම්බන්ධයක් ඇති බව හෙළි වී ඇත. ඒ විද්‍යාවට ම අනුව තවත් අයකු පවසා ඇත්තේ අද දකුණු ඉන්දියාව යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයෙහි හා ලංකාවේ ජනයා අතර ජාන සම්බන්ධයක් ඇත. වාස්තවික ඉතිහාසයක් තබා වාස්තවික භෞතික විද්‍යාවක්වත් නැත.

    ක්වොන්ටම් සංකල්පය වත්මන් බටහිර භෞතික විද්‍යාවෙහි ඉදිරිපත්කළ සුප්‍රසිද්ධ බටහිර භෞතික විද්‍යාඥයකු වූ මැක්ස් ප්ලෑන්ක්ට අනුව බටහිර භෞතික විද්‍යාවෙහි යම් මතයක් පිළිගැනෙන්නේ තර්කයෙන් හෝ ඊනියා ආනුභවික විධික්‍රමයකින් හෝ අදාළ විද්‍යාඥයන් ඒ අදහස සමග එකඟ වීමෙන් නොව පැරණි පරම්පරාව මිය යෑමෙනි.

    බටහිර ඉතිහාසයට බටහිර දන්ත වෛද්‍ය විද්‍යාවට ආදී විෂයයනට වඩා බෙහෙවින් වර්ධනය වී ඇති භෞතික විද්‍යාවෙහි ද තත්වය එබඳු නම් අනෙක් විෂය ගැන කියනුම කවරේ ද? බටහිර භෞතික විද්‍යාව නො හදාරා ජනප්‍රිය පොත-පත මගින් බටහිර භෞතික විද්‍යාව ගැන කරුණු දැනගැනීමට උත්සාහ කරන (නො)දත් දොස්තරලාට මේ කිසිවක් නොවැටහීම පුදුමයක් නො වේ. ඔවුන්ට අනුව ඇත්තේ එක් ලෝකයකි. එක් ඉතිහාසයකි.

    ReplyDelete
    Replies
    1. මෙය නූගතුන් රැවටිය හැකි කාලයක් නොවේ, මක්නිසාද යත් ඔවුන් නූගතුන් උවත් ඔවුන් බහුතරය හය හතර දත් බුද්ධිමතුන් බැවිනි.අද දවසේ රැවටිය හැක්කේ උගතුන් පමණි.

      විශේෂයෙන් මේ අන්තර්ජාල වල සමාජ ජාලා වල කරක් ගාන ඊනියා උගතුන් කෙප්ප දෙකකින් රැවැට්ටිය හැකිය. බොරුනම් චම්පිකගෙන් අහන්න.

      Delete

    2. AnonymousAugust 5, 2018 at 11:21 AM

      මුල් ලිපියට ලින්ක් එකක් දැම්මනම් ඉවරයිනේ!

      http://www.divaina.com/2014/03/09/nalin.html

      Delete
    3. //මුල් ලිපියට ලින්ක් එකක් දැම්මනම් ඉවරයිනේ!//

      මුල් ලිපියට ලින්ක් එකක් දැම්ම නම් ඉවර නැත. එය (මුල් ලිපිය) පොදුවේ ලියා ඇත ඉකොනොමැට්ටා වැනි බටහිර දැනුම් වහල් අනුකාරකයන්ට අදාළව මුල් ලිපිය වෙනස් කොට තිබේ. හැකිනම් මෙහි කරුණුවලට උත්තර දෙන්න නිකම් බයිල නොගහ.

      Delete
    4. //හැකිනම් මෙහි කරුණුවලට උත්තර දෙන්න නිකම් බයිල නොගහ.//
      කරුණාකරල උත්තර දෙන්න අවශ්‍ය ප්‍රශ්නය ඉදිරිපත් කරල ඉන්නවද?

      Delete
    5. හිතවත් ඉකොනො,

      ඔය උඩ ඇනෝ කමෙන්ට්කරු ආචාර්ය නලීන් ද සිල්වා මහතා කියල තිබෙන කරුණු මූලික කොටගෙන ඔහුගේ "බටහිර ඉතිහාසය" හා "බටහිර විද්‍යාව" යන සංකල්ප මත සිදුකරන විවේචන ඔබටත් මෙහි යොමු කර තිබේ. ඔහු/ ඇය ආචාර්ය නලීන් ගෙන් කොපිකර ඇති බව සත්‍යයක් වුවත් ඔබ මෙහි එම අදහස් වලට පිළිතුරු නොදී මූලාශ්‍රය පෙන්වා ලිස්සා ගොස් තිබෙන බවක් කෙනෙක්ට කිව හැකියි. (මේක හරියට හඳ පෙන්නුවාම ඇඟිල්ලේ ඇදයක් දැකීමක් වගෙයි.)

      කොහොම වුණත් එහි කියා ඇත්තේ ආචාර්ය නලීන්ගේ "බටහිර ඉතිහාසය යන විෂයය වියුක්‌ත දැනුම් පද්ධතියක්‌" බවත් ඊට හේතුව "බටහිර ඉතිහාසය යනු බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසන පට්‌ටපල් බොරු කතන්දරවලින් සමන්විත" බවත් "මහාවංසය ලියෑවී ඇත්තේ සංයුක්‌ත දැනුම් පද්ධතියක්‌ ලෙස" යන තර්කත් හේතුවන්නට පුළුවනි.

      කොහොම වුණත් ඇත්තටම මටනම් ඔය කියන බටහිර ඉතිහාසයත් ආචාර්ය නලීන්ලාගේ නැගෙනහිර (හෝ නාථ දෙයී) ඉතිහාසයත් ඉකොනොමැට්ටලගේ ආර්තික විජ්ජා රස කතාත් නිකම් කාලය නාස්ති කරන්න හොඳ අමු කෙබර කයිවාරු පමණයි.

      දැන් මේ ඉකොනොමැට්ටගේ ලිපියේ ලංකාවෙ වහල්ලු ගැන කියන කරුණු පට්ට කෙබර කියා වෙනත් අයෙක් කරුණු සහිතව ඔප්පු කරල ලිපියක් ලියයි. ඕනෙම නම් කට්ටිය අරක හරි මේක හරි කියල දෙතුන් පිලකට බෙදිලා වාද කර්යි? ඇත්තටම ඉන් ඇති වැඩේ මොකක්ද?

      Delete
    6. //ඔහු/ ඇය ආචාර්ය නලීන් ගෙන් කොපිකර ඇති බව සත්‍යයක් වුවත් ඔබ මෙහි එම අදහස් වලට පිළිතුරු නොදී මූලාශ්‍රය පෙන්වා ලිස්සා ගොස් තිබෙන බවක් කෙනෙක්ට කිව හැකියි. (මේක හරියට හඳ පෙන්නුවාම ඇඟිල්ලේ ඇදයක් දැකීමක් වගෙයි.)//

      මේ විදිහට වෙනත් අයෙකුගේ දෙයක් කොපි කරලා මෙහි දමන්නේ අඩු වශයෙන් එහි කියන දෙය තේරුම් අරගෙන තමන්ගේ වචන වලින් නැවත ලියන්න තරමටවත් අවබෝධයක් නැති අයයි. ඕනෑ "කෙනෙක්ට" තමන් කැමති දේවල් කියන්න පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් හෝ මට වැළැක්විය හැකි දෙයක් නෙමෙයි. වාරණය නොකර මෙහි ප්‍රතිචාර පළ කරන්නෙත් (අසභ්‍ය වචන හා මඩ ගැසීම් හැර) ඒ නිසයි. අනිත් අය ගැන නොහිතා ඔබ ගැන හිතා ඔබට පිළිතුරු අවශ්‍ය ප්‍රශ්නය ඔබට තේරෙන ආකාරයෙන් ඔබේ වචන වලින් ඇහුවොත් පිළිතුරක් දීම ගැන හිතා බලන්න පුළුවන්.

      //කොහොම වුණත් එහි කියා ඇත්තේ ආචාර්ය නලීන්ගේ "බටහිර ඉතිහාසය යන විෂයය වියුක්‌ත දැනුම් පද්ධතියක්‌" බවත් ඊට හේතුව "බටහිර ඉතිහාසය යනු බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසන පට්‌ටපල් බොරු කතන්දරවලින් සමන්විත" බවත් "මහාවංසය ලියෑවී ඇත්තේ සංයුක්‌ත දැනුම් පද්ධතියක්‌ ලෙස" යන තර්කත් හේතුවන්නට පුළුවනි.//
      මේවා නලින් ද සිල්වා විසින් කියා ඇති දේවල් නිසා ප්‍රශ්න තිබේනම් ඇසිය යුත්තේ මගෙන් නොව ඔහුගෙනි.

      //ඇත්තටම ඉන් ඇති වැඩේ මොකක්ද?//
      එය තීරණය කළ යුත්තේ ඔබයි. මට අනවශ්‍ය දෙයක්නම් මම ඒ වෙනුවෙන් දිගින් දිගටම කාලය නාස්ති කරන්නේ නැහැ.

      Delete
    7. //මේ විදිහට වෙනත් අයෙකුගේ දෙයක් කොපි කරලා මෙහි දමන්නේ අඩු වශයෙන් එහි කියන දෙය තේරුම් අරගෙන තමන්ගේ වචන වලින් නැවත ලියන්න තරමටවත් අවබෝධයක් නැති අයයි. //

      ඔබ මෙසේ කියන්නේ කුමන පදනමකින් ද? ඔබ මෙසේ ලියන අය ගැන සිදුකල පර්යේෂණ සහ ඒවායින් ලැබුණු ප්‍රතිඵල මෙහි පබ්ලිශ් කර එය ඔප්පු කළ හැකිද? මා ඔබේ මේ තර්කය ප්‍රතික්ෂේප කරමි. මෙය ඉතා පහසුවෙන් තේරුම් යන සරල බසින් ලියා ඇති යමක් මිස ශ්‍රෝඩින්ගර් සමීකරණය වැනි සංකීර්න ගණිත සමීකරණයක් නොවෙයි නේද?

      ඇතැම් විට මා සිතන්නෙ මේ කාලය ඉතිරිකරගැනීමට කරන උපක්‍රමයක් කියායි.

      ///ඕනෑ "කෙනෙක්ට" තමන් කැමති දේවල් කියන්න පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් හෝ මට වැළැක්විය හැකි දෙයක් නෙමෙයි. වාරණය නොකර මෙහි ප්‍රතිචාර පළ කරන්නෙත් (අසභ්‍ය වචන හා මඩ ගැසීම් හැර) ඒ නිසයි. අනිත් අය ගැන නොහිතා ඔබ ගැන හිතා ඔබට පිළිතුරු අවශ්‍ය ප්‍රශ්නය ඔබට තේරෙන ආකාරයෙන් ඔබේ වචන වලින් ඇහුවොත් පිළිතුරක් දීම ගැන හිතා බලන්න පුළුවන්.//

      මෙයට එකඟයි.

      //මේවා නලින් ද සිල්වා විසින් කියා ඇති දේවල් නිසා ප්‍රශ්න තිබේනම් ඇසිය යුත්තේ මගෙන් නොව ඔහුගෙනි.//

      නලීන් ද සිල්වා කියා ඇත්තේ ඔබ අප වැනි අය "බටහිර අනුකාරක කසිකබල් උගතුන්" කියායි. ඔහුගේ මතය පැහැදිලියි. ඔබ ඊට එකඟ වෙනවාද නැත්ද යන්න පුද්ගලිකයි. ඔබට එය දක්වා සිටීම හෝ නොදක්වා සිටීමට හැකියි. මගේ අදහස නම් මා ඉහත දැක්වූවා.

      //එය තීරණය කළ යුත්තේ ඔබයි. මට අනවශ්‍ය දෙයක්නම් මම ඒ වෙනුවෙන් දිගින් දිගටම කාලය නාස්ති කරන්නේ නැහැ.//

      එකඟයි. එය අප දෙදෙනාගේම විනෝදාංශයයි. ඉතින් මා ලියූ කරුණු ගැන කේන්ති ගන්න එපා. මේක පොඩි කොලොප්පමක් කියා සිතා සංසුන්වන්න. ඉඳල හිටල මේ වගේ පොඩි විහිලුවක් වත් කළේ නැත්නම් ලයිෆ් එක හෙන බෝරිං නේද ඉකොනො මේට්?

      Delete
    8. //ඔබ මෙසේ කියන්නේ කුමන පදනමකින් ද?//
      එය එවැනි ප්‍රතිචාර සම්බන්ධව මගේ සාමාන්‍ය අදහසයි.

      //ඇතැම් විට මා සිතන්නෙ මේ කාලය ඉතිරිකරගැනීමට කරන උපක්‍රමයක් කියායි.//
      එසේ වන්නට පුළුවන. එහි ප්‍රශ්නයක් නැතත් වෙනත් අයෙක් කොහේ හෝ කියා හෝ ලියා ඇති ඕනෑම දෙයක් මෙහි කොපි කර දැමූ පමණින් ඒවා ගැන අදහස් දක්වන්නට මා කාලය නාස්ති කිරීම තේරුමක් නැති දෙයකි. එමෙන්ම, මගේ ප්‍රතිචාරය කියවන්නට හෝ ඒ ගැන අදහස් දක්වන්නට එය මුලින්ම ලියූ පුද්ගලයා මෙහි නැති බැවින් එය සෑහෙන දුරකට පාළු ගෙයි වළං බිඳීමක් පමණි.

      //නලීන් ද සිල්වා කියා ඇත්තේ ඔබ අප වැනි අය "බටහිර අනුකාරක කසිකබල් උගතුන්" කියායි.//
      ඔහු මා ගැන කොහේ හෝ එසේ කියා තිබෙනවානම් ඔහුට සාපේක්ෂව එය නිවැරදි විය හැකියි. මා සම්බන්ධව මම මෙවැන්නෙක් හෝ මෙවැන්නෙක් නොවේ කියා ලේබල් ගහගෙන නැහැ. නමුත්, ඔබ ඔබට පෙනෙන ආකාරයට එවැනි ලේබලයක් ගහනවානම් එය ඔබේ ලෝක දැක්ම පිළිබඳ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මෙහිදී "විය හැකියි" කියා කීවේ තමන්ටම අවංක නොවී එවැනි ලේබල් ගහන අයත් ඉන්න නිසයි. නලින් ද සිල්වා එවැන්නෙක් කියා මම හිතන්නේ නැහැ. නමුත්, ඔහු ලියන දේ කොපි කරන අය අතර එවැනි අය සිටිය හැකියි.

      Delete
    9. තව දුරටත් කියනවානම්, ලොකුම උත්ප්‍රාසයක් වන්නේ "බටහිර අනුකාරක කසිකබල් උගතුන්" වැනි නලින් ද සිල්වාගේ වචන නිතර භාවිතා කරන ගොඩක් අය නලින් ද සිල්වාව අනුකරණය කරන්නට දඟලනු මිස එතැනින් ඔබ්බට යමක් හිතන්නට නොහැකි අය වීමයි. ඒ අයට නලින් ද සිල්වාව අනුකරණය කරන එකවත් හරියට කරගන්නට නොතේරෙන බව බොහෝ විට පෙනෙන දෙයකි.

      Delete
    10. //ඉතින් මා ලියූ කරුණු ගැන කේන්ති ගන්න එපා.//
      මේ කොටසට දැමූ ප්‍රතිචාරය පළ වී නැහැ. අදාළ ප්‍රකාශය කේන්තියෙන් ලියූවක් නෙමෙයි. ඉතාම නිරවුල්ව සිතා ලියූවක්. මෙහි ලියන දේවල් කිසියම් අයෙකුගේ මානසික ආතතියට හේතු වෙනවානම් නොකියවා සිටීමයි කළ යුත්තේ.

      Delete
  3. ඉකොනො මෙහි වහල්ලු ගැන කතා කරන්නෙත් හොඳම දේශපාලන වහලෙක්. මෛත්‍රී පාල සිරිසේන ජනාධිපති වෙලා ටික කලකට පසු "වහල්ලුන් හා නිදහසුන්" පිළිබඳ ප්‍ර‍සිද්ධප්‍ර‍කාශ ඉදිරිපත්කරදා පටන් ඉකොනොමැට්ටා වගේ උග්‍ර එජාප ක්‍රියාකාරිකයින්, ජ.වි.පෙ.ද, එජාපවාදී සිවිල් ක්‍රියාකාරිකයින්ද, මහින්දවාදීන්ට "වහල්ලු" කියා විශේෂණයක් යෙදුවේය.

    මේ කථාවේ තේරුම ශ්‍රී.ල.නි. පාක්ෂිකයින්, වඩාත් නිවැරදිව "මහින්ද හිතවාදී දේශපාලන ක්‍රියාකාරිකයින්" යනු මහින්දගේ දේශපාලන (මානසික) වහල්ලුන් බවය. නිදහස ශ්‍රී.ල.නි.ප.ය වහල් පක්ෂයක්ද ඉකොනො?

    ඉකොනො වහල්ලුන් යැයි කියන ශ්‍රී.ල.නි.ප.ය 1994 සිට අද දක්වා අවස්ථා 4 ක දී, සිරිමාවෝ, චන්ද්‍රිකා, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල යුග ලෙස මාරු වී තම පක්ෂ නායකත්වය වෙනස් කරගෙන ඇත. එම පක්ෂය 2015 දී වෙනස් වූ දේශපාලන තත්ත්වය යටතේ වර්තමානය වනවිට "පොහොට්ටු කල්ලිය" බවට පත් වි ඇත. ජී.එල්.පීරිස් දැන් එම පොහොට්ටු පක්ෂ කල්ලියේ නිල නායකයාය. බැසිල් රාජපක්ෂ උත්තරීතර මහා නායකයාය.

    2018 පළාත්පාලන ඡන්ද යේ ප්‍ර‍ගතියක් ලැබූ ජ.වි.පෙ ද 1994 සිට අද දක්වා සැගවුණ නායක සෝම වංශ අමරසිංහ සහ ජ.වි.පෙ. අයිතිකරු අනුර කුමාර යටතේ ජාතික නිදහස් පෙරමුණ -විමල්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය -කුමාර්, හා ජනතා සේවක පක්ෂය -සෝමවංශ, ලෙස පරිනාමවාදී නැති නම් අඩුමගානේ උප විශේෂ බවට හෝ පත් විය.

    නිර්මාතෘ අශ්රෝෆ්ගේ මරණින් පසු ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍ර‍ස ෆේරියල් අශ්රෝෆ් සහ රවුෆ් හකීම් යටතේ අපුරුවට මේ වනවිට මුස්ලිම් ජාතික නායකත්වය හකීම් ගෙන් රිෂාඩ් බදුර්දීන්ට පවරා ඇත. ඒඅනුව එහි යම් පරිනාමවාදීක ස්වභාවක් ඇත.

    උතුරු පළාත්වල ද්‍ර‍විඩ සන්ධාන පක්ෂයන් ආනන්දසංගරී, දේවානන්ද, සේනාධිරාජා, ටෙලෝ, EPRLF කණ්ඩායම් 2 ද, ඊරෝස් ද, අවසානයේ දී මේ මැතිවරණයේ දී සම්බන්ධන් හා පොන්නම්බලම් සන්ධාන 2 ලෙස පරිනාමවාදී වී ඇත.

    ල.ස.ස.ප.ය වාසු ප්‍ර.වා.පෙ. හා බාහු න.ස.ස.ප. ලෙසත් නැවත බාහු හා වමේහඬ/ නීල් හා ලීනස් ලෙසත් පරිනාමය විය. සිරිතුංග ගේ එක්සත් සමාජවාදී පක්ෂය ද මහින්ද දේවගේ ස.ප.ට පරිනාමය විය.

    ලංකාවේ/ ලෝකයේ අඩුම වේගයකින් පරිනාමය වන්නේ යැයි කවුද වරක් කී කොමියුනිස්ට් පක්ෂයත්, කේ.පී. සිල්වාගේ සිට ඩිව් ගුණසේකර යුගයට 2000 ආසන්නයේ දී නායකත්වය වෙනස් ව එතැනින් පරිනාමය නැවතී ඇතැයි කියනු ලැබේ.

    එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍ර‍මසිංහ පක්ෂ නායකත්වයට පත් වන්නේ 1994 දී ය. එතැන් සිට අද දක්වා වසර 24 ක් වහලුන් කොහි දැ'යි හා කවුරුන්දැ'යි සපථකළ වික්‍ර‍මසිංහ UNP පක්ෂ නායකත්වයේය. එජාපයේ පරිනාම නැවතී ඇත. පක්ෂ නායක රනිල් වික්‍ර‍මසිංහ ගල්,වැලි,දහයියා එකතුවන උණ්ඩුක-පුච්චයක් බවට පත්ව ඇත.

    ඉකොනො මේ ඉතිහාසය ලිව්වේ අනෙකාට "වහල්ලුන්" යැයි කියන ඉකොනොමැට්ටා වගේ පිරිසට සැබෑ වහල්ලුන් හඳුනා ගැනීමට කමටහන් දීමටය.

    විශේෂයෙන් ඉකොනොමැට්ටා වගේ එක්සත් ජාතික පක්ෂය යනු ධනේෂ්වර දේශපාලන ව්‍යාපාරයක් සේ සිතන ධනේෂ්වර ක්‍රියාකාරිකයින් එහි මේ ආකාරයේ දේශපාලනික වහල්ලුන් සිටිය නොහැකි සේ සිතන බව දේශපාලනිකව උලකල්පනය කළ හැකිය. එහෙත් මේ වත්මන් එක්සත් ජාතික පක්ෂය කල්ක්‍රියාවෙන් ගජ-මිතුරු ලිබරල් ධනවාදී පැවැත්මකට අත වනන හා ඒ අංග ලක්ෂණ හෙබි ගජ-මිතුරු ව්‍යාපාරයකි. හුදෙක් මිතුරු සමාගමකි. මේ පවතින්නේ ධනේෂ්වර විකෘතියකි. ඒ විකෘතිය නම් සැබෑ වහල්ලු ප්‍රති-නිර්මාණිත එකම ව්‍යාපාරය අද වන විට එක්සත් ජාතික පක්ෂය බව ලොවට කියාපෑමය. දැන් වහල්ලුන් තෝරා බේරා ගත හැක.

    ඔබ ඉකොනොමැට්ටා වගේ එජාප පාක්ෂිකයෙකු/ හිතවතෙකු නම් "පොහොට්ටු කල්ලිය"ට හෝ ශ්‍රී.ල.නි.ප.යට හෝ "වහල්ලුන්" යැයි ඇමතීම දැන්වත් කරුණාකර නවතා දමන්න.

    නි.ප.ය 1994 සිට අද දක්වා වසර 24 ට පක්ෂ නායකයින් 5 ක්; මැතිනි, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී හා ජී.එල්.ද, බැසිල් රාජපක්ෂ නම් සැබෑ නායකයාද, මහින්ද නම් අධ්‍යාත්මික නායකයා ද බිහිකළ පක්ෂයකි. ඔවුන් වහල්ලුන් නොවේ. කාලයෙන් කාලයට ගැලපෙන අයුරින් වෙනස් වූ/ වෙනස් වන/ පරිනාමවන පණ-ඇති පක්ෂයකි.

    ලංකාවේ සැබෑ වහල්ලුන් යනු 24 වසරක් එකම ශරීර කුඩුවක් නායකත්වයේ තබා ගෙන සෑම මැතිවරණයකින්ම එකපිට එක පරාජය වැලද ගන්නා පක්ෂයකි. අනුන්ගේ පිහිටෙන් ලැබෙන අගමැතිකම තබාගත නො හැකි පක්ෂයකි.

    රජා යැයි කීවත් මහින්ද රාජපක්ෂ පරාජයට පත් වූ පසු (රනිල්ගෙන් ඉල්ලගත්) හෙලිකොප්ටරයේ නැගී මැදමුලනට ගියේය. ඔහුගේ අනුගාමිකයින්ට "වහල්ලුන්" යැයි කියන ධනේෂ්වර ක්‍රියාකාරිකයින්ට, වීරවංශ ගේ කුරුඳුවත්තේ ලංසි පැපොල් ගෙඩියට කොපමණ වහල්ලුන් වී ඇති දැයි තම තම නැන පමණින් දැන ගතයුතුය.

    ඉකොනො කරුණා කර තවදුරටත් ශ්‍රී.ල.නි. පාක්ෂිකයින්ට "වහල්ලුන්" කියන්න එපා ! ඔවුන් කාලයෙන් කාලයට වෙනස් වී ඇත. එජාපය පමණක් එක තැන නතර වී ඇත.

    ReplyDelete
    Replies
    1. AnonymousAugust 5, 2018 at 12:32 PM

      මුල් ලිපිය විකෘති නොකර, අවශ්‍යනම් එයට ලින්ක් එකක් දැම්මනම් වඩා හොඳයි නේද?

      http://s.readsrilanka.com/2018/02/16/political-way-of-slfp-and-unp/

      Delete
    2. ඉකොනොමැට්ටා මතුකළේ ඉතා වැදගත් කරුණක්. යම්කෙනෙක් ෆැක්ට් එකක් තහවුරු කරන්න බොහොම වෙහෙස මහන්සි වෙලා තර්කයක් ගොඩනගමින් වෙබ් එකක දාන පොස්ට් එකක් ඊට ගැලපෙන එහෙත් සම්ප්පුර්නයෙන්ම වෙනස් අරුතක් එන සේ අවුට් ඔෆ් කන්ටෙක්ස්ට් ( Out ඔෆ් Context) වෙන විදිහට වෙනස් කර පබ්ලිශ්කිරීම එක පැත්තකින් තදබල උපහාසයක්. දැන් හිතන්න යම් පිද්ගලයෙක් යම්යම් ලේකනයක් ලිවුවාම, නිර්මාණයක් කලාම ඒක ඔහුගේ /ඇයගේ බුද්ධිමය දේපලක් (Intellectual Property ) වෙනවා. එතකොට බුද්ධිමය දේපල අපහරණය සදාචාරය අනුවත් වැරදියි වගේම මෙය ප්ලගිඅරිස්ම් (Plagiarism) නැමැති කරුණ අනුව නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. කෙනෙක් මූලාශ්‍ර සඳහන් නොකර තව කෙනෙක් ගේ බුද්ධිමය දේපලක් පාවිච්චි කරලා යම් ලේඛනයක් පබ්ලිශ් කළොත් නැත්නම් නිර්මාණයක් ඉදිරිපත් කලොත් ඒක ප්‍රතික්ෂේප කරන්න රාජ්‍ය/ පෞද්ගලික, රාජ්‍ය නොවන ආයතන සියල්ල බැඳී සිටිනවා. මේක රිසර්ච් පේපර්ස්/ ඩෙසටේශන්/ තිසිස් වගේ දවල්වලට විෂේශයෙන්ම අදාලයි. මූලාශ්‍ර හෝ මුල් අයිතිකරුවන්ගේ නම් සඳහන් නොකර තමන් ලීවා වගේ ලිවීම සිංහල බ්ලොග් වල පොදු ලක්ෂනයක්.

      බ්ලොග්වල පෝස්ට් /කමෙන්ට් කොපි කිරීමත් කලක් තිස්සේ සිදුවන තක්කඩි ක්‍රියාවක්. මගේ කමෙන්ට්ස් කීපයක්ම මෙසේ සොරකම් කොට වෙනත් බ්ලොග්වල දමා තිබුණා. මේ ඉකොනොමැට්ටා බ්ලොගයේ මා දැමූ ඇනෝ කමෙන්ට් පවා "ඉකොනොමැට්ටා" කැබැල්ල අයින් කොට (අදහසත් විකෘති කොට ඇතැම් විට.) කොපි කර තිබුණා. ඒ වගේම ඉකොනොමැට්ටා මුද්‍රිත පොත් වල තියෙන කතා එහෙම්ම ආයේ බ්ලොග්වල දාන එක බුද්ධිමය දේපල යටතේ වරදක් නේද? දැන් හැම නවකතා, කෙටිකතා පොතකම වගේ මුල් පිටුවලම මේක සදහන් කරලා නේද තියෙන්නේ? පොත්වල ස්කෑන් පින්තූර දමා එහෙම බ්ලොග් පෝස්ට් දැම්මම අපිත් රස විදිනවා තමයි. ඒත් ඒක සදාචාර වගේම නිත්‍යානුකූල නැහැ නේද? නවකතා කෙටිකථා ගැන විචාරයක් ඉදිරිපත් කරද්දී නම් කොටසක් උපුටා දැක්වුවාට මෙතන බ්ලොගර්ලා සිදුකරන්නේ එවැනි දෙයක් නොව මෑතක දී අපෙන් සමුගත් විචාරකත් ඉස්සර එවැනි දෙයක් සිදුකරළා. ඔහුත් පොත් පත් ආදිය ස්කෑන් කොට සම්පුර්ණයෙන්ම ඔහුගේ බ්ලොග් ලිපි මගින් පල කරනවා. ඒවා ගොඩක් වෙලාවට අදාළ පොතේ රචකයාට, මුද්‍රණකරුවාට, ප්‍රචාරකයට කරන අසාධාරණයක්. ඉතා පැරණි සොයා ගැනීමට අපහසු පොත් පත් බෙදා ගැනීම ගැන නම් නෙමෙයි මම කියා ඇත්තේ.

      මේ ගැන ඉකොනොමැට්ටා දරන අදහස කුමක්ද? ඒත් නිකන් ම ඉන්නවට වඩා කොමෙන්ට් මික්ස් ෆෘට් එකක් හරි දාන එක නරකම නැහැනේ. අනෙක ඉතින් මේ බ්ලොග් බලන ගොඩක් එවුන් ලංකාවෙත් පිටරටත් ප්‍රයිවෙට් එක්ටර් එකේ ජොබ් කරන නිසා උන්ට කාලය රන් හා සමානයි. ඔන්න ඉකොනොමැට්ටලා වගේ "ඉකොනොමික්ස්, එකොනොමික් අවුට්ලුක්, එකොනොමික් රිසර්ච්" කියල බොරු කතන්දර ගොතල ජාමෙ බේර ගන්න කට්ටියට , එතකොට ඔස්ට්‍රේලියාවෙ ආණ්ඩුවෙ ක්ලැරිකල් ජොබ් කරන අයිස් පප්පලට නම් ලියන්න ඕනෙ තරම් වෙලාව තියෙනවා, නමුත් කාලය හිඟ නිසා මේ අය මෙසේ කොපි කරන්වා විය යුතුයි. එහෙම නේද?

      Delete
  4. ලංකාවේ වහල්ලු...!

    මේ ලංකාවේ දේශපාලන පක්ෂ නායකයින් හැමෝම බටහිර වහල්ලු. බටහිර බලවේග වල උත්සාහය මේ රටේ බලය ජනතාව අතට පත් වන්නට නොදී ලංකා යටත් විජිතයේ බලය තව දුරටත් තම ග්‍රහනයේ තබා ගැනීමටයි.

    ඒ සඳහා ප්ලෑන් A,B,C වශයෙන් සැලසුම් ඇත.

    01. Plan A හැකිතාක් කල් යහපාලන කල්ලිය (UNP+SLFP+JVP+TNA+SLMC) පවත්වා ගෙන යාමයි.

    02. Plan A රැකගැනීමට බැරි වන විට Plan B සැලැස්මට මාරැ වී තරමක් අවාසිදායක තත්වයන් යටතේ හෝ යටත් විජිතය රැක ගැනීම ඔවුනගේ උපක්‍රමය වේ.

    03. Plan B වන්නේ රාජපක්ෂලා නැවත බලයට පත් කිරීමයි.

    ජනතා විප්ලවයකින් මේ ලංකාවේ රටේ බලය ජනතාවට අත් වනවාට වඩා රාජපක්ෂලා අතට පත් වනවා දැකීම බටහිරට පිලිගත හැකි විසදුමකි.

    ReplyDelete
  5. ඉතාම වැදගත් ලිපියක්. මේ කරුණ දැන සිටියේ නෑ.

    නමුත් තවමත් විවිධාකාරයේ වහල් සේවාවන් පවතිනවා. ඒ ගැන ක්‍රියාකරන ආයතන පවා තියෙනවා.
    http://www.antislavery.org.au/

    ලිබියාවේ අදත් වහල් වෙළදාම පවතින බවට ලිපි ඉකොනොමැට්ටා කියවා ඇතිනේ.

    ReplyDelete
  6. පියසේන කහඳගමගේ බින්තැන්න ගැන ලියපු පොතක ඒ ප්‍රදේශයේ "වාල්ලු" ගැන ලියල තියනව. ඒකෙන් තමයි මම දැනගත්තෙ වහල් කියන්නෙ වෙනම ක්‍රමයක් කියල, කුල ක්‍රමයට අදාල නෑ.

    ReplyDelete
    Replies
    1. ඔබ මේ කියන්න ප්‍රකට මිදෙල්ලව කෝරළේ රාල කියූ බව ජනප්‍රවාදයේ සඳහන්

      වැල්ලව වෙලේ වේවැල් වල වවුල් ලු
      විල් වල වේලි වල වැව්වල ලූල්ලු
      වලව්වෙ වී වේලුවා ලු වාල්ලු
      වැල්ලව වලව්වේ ලී ලෝළු ලෑලි ලු

      කියන දෙ-අකුරු කවියේ සඳහන් "වාල්ලු" යන පදේ ගැන වියයුතුයි. පියසේන කේ. ගමගේ ලිවූ "මා දුටු බින්තැන්න" (සමාජ සංස්කෘතික අධ්‍යයනයක්) පොතේ වාල්ලු ගැන විස්තර ලියා තිබුණා ද? නැත්නම් එම කරුණු තිබුණේ බින්තැන්න ගැන ඔහු ලිවූ වෙනත් පොතක්ද?

      Delete
    2. මට මතක විදිහට ඒ පොතේ.
      ඔහු බින්තැන්න ගැන පොත් 3ක් පමණ ලියා තිබෙනවා.
      මට වැටහුනු හා මතක තරමට වාල්ලු යනු කිසියම් කරුණක් නිසා (සහ සමහරවිට කාලයකට ) වහල් සේවය කිරීමට බැඳී සිටි අය. කුල ක්‍රමයේ තිබූ උසස්/පහත් ලෙස සැලකීම එයට අදාල නෑ මං හිතන්නෙ. උසස් යයි සැලකුන අයත් කිසියම් කාරණයක් නිසා වාල් කම් කල හැකියි. වාල්කම අවසන් වෙන්නත් පුලුවන්. සමහරවිට පුරාණ රෝම සමාජයේ තිබුන විදිහටද දන්නෙ නෑ. එහි වහලුන් නිදහස් කිරීමෙන් (manumission) පසුව freedmen ලෙස වැදගත් තනතුරුත් දැරුවා. ණය නිසා වහල් සේවයට ගිය හා යන්න වුන අය සිටියා.

      Delete
    3. //සමහරවිට පුරාණ රෝම සමාජයේ තිබුන විදිහටද දන්නෙ නෑ//

      ඔබ සියල්ල පටලවාගෙන, ඇත්තෙන්ම සිංහලෙන් වහලා/ වාලා යන වචන දෙකම "දාසයා" සහ මෙහෙකරුවා යන්නට සමාන පද වෙයි. පුරාණ රෝමයේ මෙන් බලෙන් රටවල් ආක්‍රමණය කරමින් ඒවායේ මිනිසුන් අල්ලා ගෙන උන් බලෙන් දවසට පැය 20ක් පමණ 365 දවසේම වැඩෙහි යෙදවු ක්‍රියාවලියක් ලංකාවේ තිබී ඇති බවට කිස්දු සාක්ෂියක් නැත.

      ඔතන "වහලා" සහ "දාස" යන දෙකම සමාන තේරුම් ඇති නාමපද දෙකක්‌ ලෙස හරිශ්චන්ද්‍ර විජේතුංගගේ මහා සිංහල ශබ්ද කෝෂයේ අර්ථ දක්වා ඇත. එම පොතේ "දාස" යන්නට "වහලා" යන අර්ථයත් "වහල්" යන්නට "දාසයා" යන අර්ථයත් ලබාදී ඇත. මෙයින් මට නම් වැටහෙන්නේ මේ වචන දෙකෙන්ම එකම මෙහෙවරක්‌ හැඳින්වෙන බවකි.

      කෙසේ නමුත් පැරණි ග්‍රීක/ රෝම/ ඇමරිකන්/ ඔස්ට්‍රේලියන් ක්‍රමවේදයට අනුව ඉතා සංවිධානාත්මක පුහුණු කණ්ඩායම් විසින් මිනිසුන් සිය ගම්බිම් වලින් බලෙන් පැහැරගෙන යාම, ඔඅවුන් ඉතා දැඩි දඬුවම්, නිරුවත්ව නිරාහාරව හික්මවීම් කරමින් ඔවුන්ගේ මනස බිඳුවා වහලුන් ලෙස හීලෑ කිරීම, ඉන්පසු ඔවුන් මාකට් එකට ගෙනැවිත් වෙන්දෙසි කර විකිනීම සහ මරව මරවා වැඩ ගැනීම් ගැන ලංකාවේ පැහැදිලි සාක්ෂ්‍ය නොමැත.

      යුද්ධවලදී අලාගත් සොළී ආදී සිරකරුවන් ආරාමවල වැඩට යෙදවූ බවට ලිඛිත සාක්ෂි ඇතත්, ඇතැම් බංකොලොත් වූ ප්‍රභුන් සේවකයන් විකිණූ බවත් සාක්ෂි තිබුණත් එම සේවකයන් දුගීබව නිසා යැපීමට වාල්කම්/ දාසකම්/ කැඹිරීම් කල බව පෙනෙන නමුත් 'සංවිධානාත්මක මිනිස් වෙළඳම් වහල් ක්‍රමයක්' ගැන ලංකාවේ සාක්ෂි නැහැ.

      Delete
    4. ස්තුතියි.

      රෝමය විසින් අල්ල ගත් විදේශික අය පමණක් නෙමෙයි , ඉතාලියේ වැසියනුත් වහලුන් ලෙස හිටියා. සමහරු දුප්පත්කම නිසා තමන්ම වහල් සේවයට විකිණුනා, ලමයින් විකුණුවා

      Delete
  7. //සාමංදාස ව්‍යොපගත-මේ කාණ්ඩයට අයත් වන අය තමා විසින් ස්ව-කැමැත්තෙන්ම දාස බවට පැමිණි අයයි. රැකියාවක් නැති කම නිසාද, ආරක්ෂාව පිණිසද, තමන් විසින් කළ හොරකමකට හෝ අලාභහානියකට වන්දි ගෙවිය නොහැකි නිසාද, ගත් ණයක් ආපසු ගෙවීමට නොහැකි නිසාද යන හේතු හතර මත මෙහිදී නිදහසුන් ස්ව-කැමැත්තෙන්ම දහසුන් වී තිබේ.//
    මේ වර්ගයේ උන් නම් දැනුත් ඉන්නවා. වැඩිපුරම ඉන්නේ දේශපාලන වේදිකාවේ!

    ReplyDelete
  8. ඇත්තටම සිංහල බාසාවෙන් වාලා, වහලා, දාසයා, බැලයා, කඹුරන්නා ආදී සියළුම වචනවලින් හඳුන්වන්නේ පැරණි ප්‍රභූවරුන්/ රජුන් ලඟ වැඩකල සේවකයින්. එය පැරැණි යුරෝපයේ ග්‍රීක/ රෝම වැනි අධිරාජ්‍යවල ආක්‍රමණය කොට යටත් කරගන්නා රටවලින් අල්ලාගෙන බලෙන් ඉතා බරපතල ලෙස වැඩෙහි යෙදූ මිනිසුන් හා ස්මාන නොවෙතත් එවැන්නන් ගැන හැඳින්වීමට සිංහල බසින් "වහල්" වචනය මෑතකාලයේ, එනම් නුවර යුගය වනවිට යෙදෙන්න ඇති.

    ලංකාවට ආ පෘතුගීසි/ ලංදේසි වෙලඳ සමාගම් අප්‍රිකානු රටවලින් බලාත්කාරයෙන් පැහැරගෙන කසපහර හා දැඩිදඬුවමින් හීලෑකරගෙන දැඩිලෙස වැඩෙහි යොදවමින් අපයෝජනයට ලක්කළ ස්ලේව්ස්ලා ලෙස ලංකාවේත් කෆීර් නම් පිරිස් නුවර යුගය වනවිට ගෙනැවිත් තිබුණා. වහල් යන පැරණි පදය මොවුන් හැඳින්වීමට යොදාගත් අතරම ලංකාවේ ඉන්ග්‍රීසියෙන් ස්ලේව් යන්නෙන් කියැවෙන වහල් නමින් මෙහෙයක් තිබුණේ නැතිබවයි ඉතිහාස විශේෂඥයින්ගේ මතය.

    ඔබ සිංහල ශබ්දකෝෂ වල බැලුවොත් "වහලා/ දාසයා/ සේවකයන්/ බර උසුලන්නන්/ පද්දන් ආදී සියල්ල්ම එකම ආකාරයේ පෝටර්ලා/ සර්වන්ට්ස්ලා වැනි කැටගරියකට වැටෙනු ඇති.

    ලේකයේ අශික්ෂිතම, දුෂ්ටම සහ ඉතා හිරිකිතම වහල් මෙයෙයන් පැවතියේ 1600-1863/64 කාලයේ ඇමරිකා එක්සත් ජනපදයේත් ඔස්ට්‍රේලියාව වැනි රටවලත් පැරැණි යුරෝපයේත්ය. ඇමරිකා එක්සත් ජනපදයේ නම් 1864 වහල් මෙහෙය තහනම් කොට මේ වනතුරුත් කළු මිනිසුන්ට ඉතා පහත් ලෙස සලකන අතර දකුණු අප්‍රිකාවේද මේ මෑතක්වනතෙක් කළුසමැති මිනිසුන් ඉතා පහත් ලෙස සැලකුණ අතර දැන් දැන් නීති මගින් බොරු සමානාත්මතාවක් කියා රැවටීමක් කරමින් එම වර්ගවාදයන් තාවකාලිකව වසාදමා පෙන්වන නමුත් යටින් ඒවා වඩාමෘදු ස්වභාවකින් ක්‍රියාත්මක වේ. මෑතදී මේ ජාතිවාද ඇවිස්සු ලෝකප්‍රකට එක් අවස්ථාවක් නම් පසුගිය ජනපතිවරණයේ ට්‍රම්ප් විරෝධීන් ට්‍රම්ප් සුදුජාතිවාදියෙක් බවට ගෙනගිය ප්‍රචාරය සැලකිය හැකිය.

    ඉකොනොමැට්ටා චිත්‍රපට බලනවානම් ට්වෙල්වෙ ඉයර්ස් ඈස් අ ස්ලේව් (12 ‍Years as a Slave ) වැනි චිත්‍රපට බැලුවොත් (Trailer - https://www.youtube.com/watch?v=9WkYKiltzJU) ඇමරිකන් ස්ලේවරි වහල් ක්‍රමයේ ඇති දුෂ්ට අශික්ෂිත හිරිකිත ඉතාම පිළිකුල් සහගත ස්වභාව පෙනෙනු ඇත. එම කතාවේ හැටියට නිදහස් කලුජාතිකයෑක් බලෙන් පැහැරගන්නා කාලකණ්ණි සුද්දන් පිරිසක් ඔහුව වෙනත් පළාතකට පැහැරගෙන ගොස් අතිශය අශිෂිත ලෙස වහල් සේවයේ යොදවන අතර එකල ඇමරිකා එක්සත් ජනපදය යනු මෙකලටත් වඩා අතිශයින්ම අශික්ෂිත කාලකණ්ණි පිළිකුල් සහගත රටක් බව එයින් තේරුම් ගත හැකියි. සැබෑ වහල් මෙහෙය ගැන මා ඩොකියුමෙන්ට්‍රි ෆිල්ම්ස් කිහිපයක් බලා ඇති අතර ඉන් ඇමරිකන් ස්ලේව් සේවාව මොනතරම් පිලිකුල්දැයි වැටහුණා.

    ඔස්ට්‍රේලියාව වැනි රටවලත් මැලේ සහ ආසන්න දූපත් වාසීන් ඉතා හිරිකිත ලෙස වහල් සේවයේ යොදා තිබී ඇති අතර දැනුත් ඔස්ට්‍රේලියානු සුදු හමැති පිරිස් තුළ කළු හමැති අපි කෙරෙහි දක්වන පිළිකුලට හේතුව මේ වහල් හිමියන් ලෙස එකල සිට පැවැති සංස්කෘතික පුරුදු විය හැකියි නේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: