වෙබ් ලිපිනය:

Friday, August 10, 2018

අපිට ලැබෙන නම්බු නාම

මේ බ්ලොග් එක කියවන ඇතැම් පාඨකයෝ අපට වරින් වර විවිධ නම්බු නාම දීල තියෙනවා. පහළින් තියෙන්නේ දවස් තුන හතරකට කලින් ලැබුණු ඒ වගේ නම්බු නාම දෙකක්. ඇතැම් විට නම්බු නාම දෙකම දීලා තියෙන්නේ එකම පාඨකයා වෙන්න පුළුවන්.

"ඉකොනොමැට්ටා වගේ උග්‍ර එජාප ක්‍රියාකාරිකයින්"

"ඉකොනොමැට්ටා වැනි බටහිර දැනුම් වහල් අනුකාරකයන්"

සමහර විට මේ වගේ නම්බු නාම දෙන අය ඔය වගේ ප්‍රතිචාරයක් දැම්මහම අපිට කේන්ති යනවා කියල හිතලා, කේන්ති ගිය ඉකොනොමැට්ටෙක්ව හිතින් මවා ගෙන සතුටු වෙනවා ඇති. ඒ විදිහට හෝ කවුරු හරි සතුටක් ලබනවානම් ඒකෙත් ඒ හැටි වැරැද්දක් නැහැ. ඔයිට වඩා හොඳ නම්බු නාමත් මේ බ්ලොග් එක නිසා අපිට ඇතැම් අයගෙන් ලැබිල තියෙනවනේ. මම හිතන හැටියට මේ වගේ ප්‍රතිචාර දමන එකේ ඊට වඩා වෙනස් දේශපාලනික අරමුණුත් තිබෙනවා.

දැන් ඔය පළමුවෙනි ලේබල් එක ගහන්නේ ඉකොනොමැට්ටා උග්‍ර එජාප ක්‍රියාකාරිකයෙක් කියල කිවුවහම නෑ එහෙම නෙමෙයි ඉකොනොමැට්ටා මධ්‍යස්ථයි කියල පෙන්වීම සඳහා මෙහි එජාපය විවේචනය කරලා පෝස්ට් දෙක තුනක්වත් දමයි කියන බලාපොරොත්තුවෙන් වෙන්න පුළුවන්. හැබැයි ඉතිං ඉකොනොමැට්ටාට එහෙම තමන් ඉන්න තැන කාටවත් පෙන්වන්න දඟලන්න අවශ්‍ය නැහැ.

ඉකොනොමැට්ටා ලියන දේවල් ආශ්‍රයෙන් කැමති කෙනෙක් කැමති නිගමනයකට එන එකේ ලොකු  ප්‍රශ්නයක් නැහැ. ලිවීමේ අඩුපාඩුවක් නිසා ලියන දෙයකින් වැරදි අදහසක් සන්නිවේදනය වුනොත් විතරක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉඳහිට මෙහි එන කෙනෙකුට මිස නිතර මෙහි එන කෙනෙකුට එවැනි ප්‍රශ්න ඇති වෙන්නත් ඉඩකඩ අඩුයි.

කොහොමටත් ඔය මධ්‍යස්ථ කතාව ඒ තරම් තේරුමක් නැති එකක්. කෙනෙක් මධ්‍යස්ථද නැද්ද කියන එක එය නිර්ණය කරන පුද්ගලයාගේ අදහස් මත තීරණය වන දෙයක්. ඒ නිසා, කෙනෙක් මධ්‍යස්ථ සේ දකින කෙනෙක්ව තවත් කෙනෙක් අන්තවාදියෙක් සේ දකින්න පුළුවන්.

වෙනත් අයෙක් ගහන ලේබල් එකක් නිසා හිත් රිදීමක් ඇති වෙන්නේ ඒ වගේ ලේබල් එකකින් තමන් තමන්ටම ගහගෙන ඉන්න ලේබල් එකක් වැහිල යන විටයි. උදාහරණයක් විදිහට තමන් මාර බුද්ධිමතෙක් හෝ උගතෙක් කියා හිතාගෙන හෝ පෙන්නගෙන ඉන්න කෙනෙක්ට වෙන කෙනෙක් මෝඩයෙක් කියලා ලේබල් එකක් ගැහුවම රිදෙන්න පුළුවන්. තමන් "පිරිසිදු" සිංහලයක් කියලා හිතාගෙන හෝ පෙන්නගෙන ඉන්න කෙනෙක්ට පරම්පරාවේ කලවමක් ගැන කියන කොට රිදෙන්න පුළුවන්. මටනම් ඔය කොයි ලේබල් එකෙත් ඒ තරම් වෙනසක් නැහැ.

ඒ තරම් කියලා කිවුවේ ඔය ලේබල් ප්‍රශ්නයක් වෙන වෙලාවල් නැත්තෙම නැති නිසා. අසූ අට අසූ නවය කාලය පහු කරපු අය දන්නවා ඒ කාලයේ කාට හරි දේශද්‍රෝහී ලේබලය හෝ ඒ වගේම අනික් පැත්තෙන් හේතුවක් නැතුව ජේවීපී ලේබල් එක වැදුනානම් විය හැකිව තිබුණේ කුමක්ද කියන එක. "කොටි", "සිංහල කොටි" වගේ ලේබලුත් ඔය වගේ.

එහෙම බැලුවහම  "උග්‍ර එජාප ක්‍රියාකාරිකයෙක්" කියන එක ගණන් ගන්න තරම් වැදගත්කමක් තියෙන ලේබල් එකක් නෙමෙයි. අපි පේරාදෙණියේ හිටපු කාලයේදීනම් කවුරු හෝ සිසුවෙක්ට ඔය ලේබල් එක වැදෙන එකේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. එයින් හැඟවුනේ අනෙක් "පොදු" සිසුන් හැම වෙලාවෙම පරිස්සම් විය යුතු, ආණ්ඩුවේ ඔත්තුකාරයෙක් වගේ දෙයක්. ඒ විතරක් නෙමෙයි "චින්තන කාරයෙක්", "විකොසේ එකෙක්" වගේ ලේබල් වලින් වුනත් කියවුණේ "අපෙන් එකෙක් නොව මේ මිනිසා" වගේ අදහසක්.

කලින් කී උග්‍ර එජාප ක්‍රියාකාරිකයෙක් කියන නම්බු නාමය දුන්න කෙනා ඒ ලියා තිබෙන දේ ලිවුවේ අවංකවම කියා අපි මොහොතකට හිතුවොත් ඔහු හෝ ඇය එවැනි අයෙක්ව හඳුනාගන්න නිර්ණායකය කුමක්ද කියන ප්‍රශ්නය මතු වෙනවා. ඉකොනොමැට්ටා හා අදාළවනම්, එය මේ බ්ලොග් එකේ ලියන දේවල් මත සිදු කෙරෙන්නක් විය යුතුයි.

ඔය ලේබල් එකෙන් ගැලවෙන්න කරන උත්සාහයක් ලෙස කියන දෙයක් නොවුණත්, ඉකොනොමැට්ටා ලංකාවේ සිටියදී කිසිම දවසක කිසිදු දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙකුව සිට නැහැ. අවම වශයෙන් ශිෂ්‍ය දේශපාලනය ඇතුළේදී පවා. මැතිවරණ බොහොමයකදීම අඩු වශයෙන් ඡන්දයවත් දමා නැහැ. එජාපයටනම් කවදාවත්ම ඡන්දයක් පාවිච්චි කර නැහැ. කොහොම වුනත්, මේ මොන දේවල් කිවුවත් ඉකොනොමැට්ටා "උග්‍ර එජාප ක්‍රියාකාරිකයෙක්" නොවේ කියන එක තහවුරු වෙන්නේ නැහැ.

ඉකොනොමැට්ටා ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙකුව සිට නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි වගේ පතෝල ප්‍රතිපත්තියක හිටියා හෝ ඉන්නවා කියන එක නෙමෙයි. ලංකාව (වගේම ලංකාවෙන් බාහිර ලෝකයත්) දැන් තිබෙනවාට වඩා හොඳ තැනක් වෙනවට ඉකොනොමැට්ටා කැමතියි. ඒ නිසා, ලංකාව දැන් ඉන්න තැනින් ඉහළට උස්සන්න හෝ පහළට වැටෙන එක නවත්වන්න වැඩිපුරම දායක වෙන ප්‍රතිපත්ති අනුගමනය කරන දේශපාලන පක්ෂයක් ලංකාවේ බලයේ ඉන්නවානම් ඉකොනොමැට්ටා කැමතියි.

දැන් මෙහෙම කිවුවහම මතුවෙන මූලිකම ප්‍රශ්නය තමයි ඔය ඉහළ හෝ පහළ හෝ කියන්නේ මොකක්ද කියන එක.

මාක්ස්වාදීන් කියා තමන්ව හඳුන්වා ගන්නා අයගේ කටවල් වලින් නිතර එළියත පනින වචන දෙකක් තමයි ප්‍රගතිශීලීන් හා ප්‍රතිගාමීන් කියන වචන දෙක. මේ අදහස අනුව, ප්‍රගතියේ දිශාවට යන අය ප්‍රගතිශීලීන්. එයින් විරුද්ධ දිශාවට යන අය ප්‍රතිගාමීන්. ටික කලකට පෙර මම ලියූ ලිපියක මාතෘකාවට යොදාගත්තේ ඉදිරිගාමීන් සහ පසුගාමීන් කියන වචන. කියැවෙන අදහසේ එහෙමට වෙනසක් නැහැ. මාක්ස්වාදීන් වැඩිපුර පාවිච්චි කළත් ඔය වචන ඒ අයටම සින්නක්කරේට ලියල දෙන්න බැහැ.

දැන් මේ වචන වලින් අදහස් වෙන්නේ ප්‍රගතියේ දිශාවක් හා ඊට විරුද්ධ දිශාවක් තිබෙන බවයි. මාක්ස්වාදීන්ට අනුව මේක සමාජය පරිණාමය වන ආකාරය ගැන මාක්ස් උගන්වා තිබෙන ප්‍රවාදයේ විස්තර කෙරෙන දිශාවයි. වෙනත් කෙනෙක්ට ඒක භාවනා කරලා සිත යම් කිසි තත්ත්වයකට පත් කර ගැනීම වගේ වෙනස්ම දෙයක් වෙන්න පුළුවන්. රේඛීය සිතීමක් කියා මේ ප්‍රගතිය කරා යෑම කියන අදහස අවඥාවෙන් බැහැර කරන ඇතැම් අය පවා පවතින තත්ත්වය වෙනස් විය යුතු ආකාරය ගැන යෝජනා කරන එකෙන් පේන්නේ ඒ අයට සාපේක්ෂව පවා ප්‍රගතියේ දිශාවක් තිබෙන බවයි.

ප්‍රගතියේ දිශාව කියන අදහස බැහැර කළොත් එතැනින් එහාට හිතාමතා කරන්න දෙයක් නැති තරම්. කොහොම වුනත්, මේ ප්‍රගතිය කියන එක පුද්ගලයාට සාපේක්ෂයි.

කලින් ලිපියකත් ලියා තිබෙන පරිදි, කිසියම් නිශ්චිත මොහොතක අප ගමන් කරමින් සිටින්නේ ප්‍රගතියේ දිශාවටද කියන එක අපිට ස්ථිරවම කියන්න අමාරුයි. එහෙත්, අද අප සිටින තැනට පැමිණි ගමන් මාර්ගය දෙස ආපසු හැරී බැලූ විට ඒ පාර දිගේ ඉදිරියට ගිය කාල පරාස, නැවතී සිටි තැන් වගේම, ආපසු ගිය කාල පරාසත් යම් නිරවද්‍යතාවයකින් යුතුව හඳුනා ගන්න පුළුවන්. ඒ හඳුනා ගැනීමම වුනත් සාපේක්ෂයි. ඇතැම් විට දැන් ආපස්සට යාමක් වගේ පෙනෙන දෙයක් ඉදිරියට යන ගමනේදී කළ යුතුම දෙයක්ව පැවතුනා වෙන්න වුවත් බැරි නැහැ.

සමාජ සත්ත්වයින් ලෙස හෝමෝ සේපියන්ස්ලා ඔවුන්ගේ ඉතිහාසය තුළ විශාල දියුණුවක් ලබා ඇති බව, එනම් ඉදිරියට ගමන් කර ඇති බව මා විශ්වාස කරන දෙයක්. ඒ විශ්වාසය මගේ පෞද්ගලික අත්දැකීම්, මා ඉගෙනගෙන තිබෙන දේවල් ආදිය මත පදනම් වන්නක්.

අප ඉතිහාසය කියා හිතන දෙය, එතකොට පරිණාමවාදය වගේ ප්‍රවාද පැත්තකින් තියමු. පළමුව, මට මතක තිබෙන මගේ ජීවිත කාලය තුළ සමස්තයක් ලෙස ලංකාව ජීවත් වීම සඳහා වඩා සුදුසු තැනක් වුණා කියා මම හිතනවා. දෙවනුව, සමස්තයක් ලෙස ගත්තහම ඇමරිකාව වැනි බටහිර රටක් ලංකාවට වඩා ජීවත් වීමට සුදුසු තැනක් කියා මම හිතනවා. ඒ වගේම, දශක ගණනාවකට පෙර තිබුණු ඇමරිකාවට වඩා අද තිබෙන ඇමරිකාව ජීවත් වීමට සුදුසු තැනක් කියලත් මම හිතනවා.

දළ දේශීය නිෂ්පාදිතය, භෞතික ජීවන තත්ත්ව දර්ශකය වගේ කිසියම් රටක කිසියම් අවස්ථාවක පවතින තත්ත්වය එම රටේ වෙනත් අවස්ථාවක පැවති තත්ත්වය හෝ එම අවස්ථාවේදී වෙනත් රටක පවතින තත්ත්වය සමඟ සැසඳිය හැකි සම්මත නිර්ණායක තිබෙනවා. මේ නිර්ණායක වල අඩුපාඩුත් තිබෙනවා.

පෙර කී නිර්ණායක වලින් ඊටත් පෙර කී මා හිතන ආකාරය තහවුරු කරනවා. නමුත්, පළමු කී මම හිතන ආකාරයට පාදක වෙන්නේ මූලික වශයෙන්ම මගේ පෞද්ගලික අත්දැකීම් මිසක් දෙවනුව කී නිර්ණායක නෙමෙයි. මගේ පෞද්ගලික අත්දැකීම් සමඟ ගැලපෙන නිසා පෙර කී නිර්ණායක රටවල් දෙකක් හෝ අවස්ථා දෙකක් සැසඳීම සඳහා හොඳ නිර්ණායක කියා මම හිතනවා. නමුත්, පරිපූර්ණ, අංග සම්පූර්ණ නිර්ණායක කියා හිතන්නේ නැහැ. පෞද්ගලික අත්දැකීම් හරහා දැනෙන දෙයට යම් තෝරගත් නිර්ණායක හා අදාල සංඛ්‍යාලේඛණ පිරික්සා ලබාගන්නා දැනුම සමකරන්න බැහැ.

කොහොම වුනත්, මගේ අත්දැකීම් තිබෙන තැන් වලදී ඒ අත්දැකීම් එක්ක මේ වගේ නිර්ණායක පෑහෙන එක පදනම් කර ගනිමින් මම මට එවැනි අත්දැකීම් නැති තැන් ගැන සැසඳීමක් කරන්න මේ වගේ නිර්ණායක භාවිතා කරනවා. උදාහරණයක් ලෙස උගන්ඩාවට වඩා නවසීලන්තය ජීවත් වෙන්න සුදුසු රටක් කියා මම හිතන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් මත පදනම්ව නෙමෙයි. මේ විදිහට එක තැනක් හා අදාළ අත්දැකීමක් වෙනත් තැන් වලට සාධාරනීකරණය කරද්දී වැරදෙන තැන් තියෙන්න පුළුවන්. ඒ වගේම එහෙම කරන එකට දාර්ශනික පදනමක් තිබෙන්න හෝ නොතිබෙන්න පුළුවන්. එය මම එතරම් වැදගත් දෙයක් සේ සලකන්නේ නැහැ.

ඉකොනොමැට්ටාට ලැබිල තිබෙන දෙවන නම්බු නාමය "බටහිර දැනුම් වහල් අනුකාරකයන්" කියන එකයි. "උග්‍ර එජාප ක්‍රියාකාරිකයින්" කියද්දී මෙන්ම ඇතැම් අය විසින් අපහාසාත්මක අර්ථයකින් යොදාගන්නා මේ ලේබල් එක නලින් ද සිල්වාගේ නිර්මාණයක්. නමුත්, මේ වෙලාවේ මේ ලේබල් එක ඉකොනොමැට්ටාට ගහල තියෙන නිර්නාමික පුද්ගලයා හෙවත් බ්ලොග් භාෂාවෙන් ඇනෝ (හිතන විදිහට) නලින් ද සිල්වා නෙමෙයි. ඇනෝ කරල තියෙන්නේ නලින් ද සිල්වා විසින් වෙනත් අයෙකු අරභයා ලියූ දෙයකට ඉකොනොමැට්ටාගේ ලිපිය සම්බන්ධ කර සුළුවෙන් වෙනස් කර මෙහි දැමීමයි.

නලින් ද සිල්වාට බටහිර විද්‍යාව ගැනත් බටහිර දැනුම් ආධිපත්‍යය ගැනත් විවේචනයක් තිබෙනවා. ඔහු එය කරන්නේ කිසියම් පදනමක පිහිටලා. වැදගත්ම කරුණ වන්නේ ඔහු බටහිර විද්‍යාව විවේචනය කරන්නේ බටහිර විද්‍යාව හා එහි විධි ක්‍රම හැදෑරීමෙන් පසුව වීමයි. නමුත්, ඔහුව අනුකරණය කරන ඇතැම් අය, විශේෂයෙන්ම සමාජ ජාලා වල වාද විවාද වලට පැටලෙන අය, බටහිර විද්‍යාව හෝ නලින් ද සිල්වා කියන දේවල් යන දෙකෙන් එකක්වත් හරියට ග්‍රහණය කරගෙන නැති බවයි ඔවුන් දමන ප්‍රතිචාර වලින් පෙනෙන්නේ.

මේ කියන්නේ හැමෝම ගැන නෙමෙයි. නලින් ද සිල්වාගේ අදහස් පිළිගන්න ඇතැම් අය බටහිර විද්‍යාවත් ඉහළටම හැදෑරූ අය. එවැනි අයට නලින් ද සිල්වාව අනුකරණය නොකර ඔහුගේ අදහස් තමන්ට ග්‍රහණය වන ආකාරයෙන් නැවත කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට ජානක වංශපුර වගේ අය.

පේරාදෙණියේ නවක වදයට ලක් වූ කෙනෙක් නවක වදය විවේචනය කරන කොට එහි යම් වෙනසක් තිබෙනවා. ඒ වගේම බටහිර විද්‍යාවේ විධික්‍රම ඉගෙනගත් කෙනෙක් ඒවා විවේචනය කරන කොට එය පැහැදිලිව පෙනෙනවා. එහෙම නැති, මං මුලා වී පාර සොයාගෙන යන අයගේ වෙනසත් ඒ විදිහටම පෙනෙනවා.

නලින් ද සිල්වාව උපුටා දක්වමින් මෙහි නිර්ණාමික ප්‍රතිචාර දමන අය ඔහුව අනුකරණය කරන්න උත්සාහ කරන අය වෙන්න ඉඩ තිබෙනවා වගේම ඔහුව බයිට් එකට ගන්න උත්සාහ කරන ඔහු කියන දේවල් වලින් රිදෙන අය වෙන්නත් පුළුවන්. කොපි පේස්ට් ඇනෝ ප්‍රතිචාරයකින් මේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකේ සාමාජිකයින් වෙන් කර හඳුනාගන්න අසීරුයි. ඒ නිසා, මේ ප්‍රතිචාර වලට පිළිතුරු දෙන්න යාමෙන් සිදු වෙන්නේ එය දැමූ තැනැත්තාගේ උපක්‍රමයට අහුවීමක් වෙන්න පුළුවන්. එහෙම තියෙද්දී, සෝමක්කා එක්ක ඔට්ටු දාන්න ගිය ඇම්ඩ වැටුණු අමාරුවේ වැටෙන්නෙ මොකටද?

අනුකරණය කියන එක කවුරුත් කරන දෙයක්. අපි කුඩා කාලයේදී මුලින්ම අපේ දෙමවුපියන්ව අනුකරණය කරනවා. මගේ දරුවෙක් දැන් ටික දවසක සිට උදේ නැගිට්ට ගමන්ම නානවා. එහෙම කරන්න කියා ඔහුට කවුරුත් කියා නැහැ. ඔහු එසේ කරන්නේ ඔහුගේ පියා වන මාව අනුකරණය කරමිනුයි. අප කන කෑම, අඳින ඇඳුම් වගේ බොහෝ දේවල් අනුකරණ තමයි. එවැනි අනුකරණ නොකරන කෙනෙක් නැහැ.

මම හිතන විදිහට බටහිර රටවල් ලංකාවට වඩා ජීවත්වීම සඳහා සුදුසු තැන් බව මම කළින්ම කිවුවා. මේ කරුණේදී මා සමඟ එකඟ නොවන අය එක්ක වාද කරන්න මට අවශ්‍ය නැහැ. මෙය මා හිතන විදිහයි. වෙනත් අයෙකු වෙනස් ලෙසකින් හිතීම සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි.

බටහිර රටවල් ලංකාවට වඩා ජීවත්වීම සඳහා සුදුසු තැන් කියා මම කියන්නේ යටිතල පහසුකම් වැනි භෞතික සම්පත් ඇතුළු ආර්ථික කරුණු මත පමණක් පදනම්ව නෙමෙයි. සමස්තයක් ලෙස සමාජය දෙස බලමිනුයි. ඒක පුද්ගල ආදායම අනුව බැලුවොත් ඇමරිකාවටත් වඩා ටිකක් ඉහළින් ඉන්න, ලංකාවේ ඇතැම් අයගේ පරමාදර්ශී රටක් වන සිංගප්පූරුව වැනි රටක් ඇමරිකාව තරම් ජීවත් වීමට සුදුසු රටක් කියා මම හිතන්නේ නැහැ. ඒක පුද්ගල ආදායම අතින් ඉහළ මැදපෙරදිග රටවල් ගැන වුවත් මගේ අදහස එවැන්නක්. කොහොම වුවත්, ආර්ථික වශයෙන් වඩා දියුණු රටක් ජීවත් වීම සඳහා වඩා සුදුසු රටක් වෙන්න වැඩි ඉඩකඩක් තිබෙනවා.

ඒ වගේම ඇමරිකාව පරමාදර්ශී රටක් කියලත් මම හිතන්නේ නැහැ. ඇමරිකන් ජීවිතයේ මම අගය කරන අංග වගේම වෙනස් විය යුතුයි කියා හිතන දේවලුත් තිබෙනවා. ඒ වගේම ලංකාවේත් මම අගය කරන අංග වගේම වෙනස් විය යුතුයි කියා හිතන දේවල් තිබෙනවා. ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ වෙනස් විය යුතු දේවල් වැඩියි.

මොන අතින් හෝ තමන්ට වඩා සාර්ථක පුද්ගලයෙක් දිහා බලාගෙන හැදෙන එකේ මම වරදක් දකින්නේ නැහැ. ඒ වගේම, රටක් වඩා සාර්ථක වෙනත් රටක් දිහා බලාගෙන හැදෙන එකේත් වරදක් නැහැ. ඇමරිකාව වගේ ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්න රටක් දිහා බැලුවහම ඒ වගේ රටක් අද ඉන්න තැනට එන්න උපකාරී වුනු දේවල් කරන්න වගේම බාධාකාරී වූ දේ නොකර ඉන්නත් පුළුවන්. එහෙම දෙයක් යෝජනා කළ විට "බටහිර දැනුම් වහල් අනුකාරකයන්" වෙනවානම් එය අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස මම සලකන්නේ නැහැ.

ලංකාවේ අනෙක් දේශපාලන පක්ෂ වලට සාපේක්ෂව, මේ අවස්ථාව වන විට, ආර්ථික ප්‍රතිපත්ති අතින් බැලුවොත් සමස්තයක් ලෙස වඩාත්ම ඉදිරිගාමී පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ඉතිහාසය දිහා බැලුවත් බොහෝ විට අනෙක් ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරලා තිබෙන්නේ කිසියම් කාල පමාවකින් පසුව එජාපය සිටි තැනටම එන එකයි. ජවිපෙ පවා අන්තිමට කැරකිලා එන්නේ ඒ පාරටමයි.

අනික් අතට, බොහෝ විට සිදු විය හැකි පරිදි, ජනප්‍රියත්වය සෑහෙන තරමට පිරිහිලා තිබෙන මේ ආණ්ඩුව පැරදිලා රාජපක්ෂලාගේ ආණ්ඩුවක් ආවත් ආර්ථිකයේ තිබෙන මූලික ආකෘතිය ලොකුවට වෙනස් කෙරෙන්න විදිහක් නැහැ. කිසිසේත්ම හොරකම් අනුමත කරන්නේ නැති වුනත් හොරකම්, දූෂණ වැළැක්වූ පමණින් ලංකාව සුරපුරක් කළ හැකියි කියා මා නොසිතන නිසා වැඩිපුර හොරකම් කරන්නේ කවුද කියන ප්‍රශ්නය ගැන මම එතරම් වද වෙන්නේ නැහැ. හොරකම් සිදු නොවනවානම් හොඳයි තමයි. නමුත්, හොරකම් මැද්දේ වුවත් මොනවා හෝ නිෂ්පාදනය වෙලා ආර්ථිකය ඉදිරියට තල්ලු කෙරෙන ක්‍රමයක් හොරකම් නැති වුනත් හොරකම් කරන්න දෙයක්වත් නිෂ්පාදනය නොවන ක්‍රමයකට වඩා හොඳයි.

මම මේ ආණ්ඩුවේ ඇතැම් කටයුතු විවේචනය කරල තිබෙන්නේ හදාගන්නවානම් වැරදි හදාගෙන ඉදිරියට යන්න උදවු වෙන්න මිසක් ආණ්ඩුව ගෙදර යවන්න හෝ ආණ්ඩුව එක්ක වෛරයකින් නෙමෙයි. එහෙම කරලා තිබෙන්නේ රටක් වශයෙන් ලංකාව ඉදිරියට අඩියක් හෝ තියනවට තියෙන කැමැත්ත නිසා මිසක් ආණ්ඩුවට තිබෙන පක්ෂපාතිත්වය නිසාත් නෙමෙයි. මේ ආණ්ඩුව වෙනස් වෙලා වෙනත් ආණ්ඩුවක් ආවත් මම කරන්නේ ඔය ටිකමයි. සෘජු හෝ වක්‍ර සම්බන්ධයක් තිබෙනවාද කියා හරියටම නොදන්නා නමුත්, ඉකොනොමැට්ටාගේ වියුණු හරහා පසුගිය කාලය මුළුල්ලේ වරින් වර කර තිබෙන යෝජනා වලින් ඇතැම් ඒවා ඒ යෝජනා කර සිදු කර ටික කලකට පසුව ක්‍රියාත්මක වී තිබෙනු දැකීම සතුටට කරුණක්.

එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති අනෙක් විකල්ප වලට සාපේක්ෂව ඉදිරිගාමී බව කීමෙන් අදහස් කෙරෙන්නේ අඩු වශයෙන් ආර්ථික ප්‍රතිපත්ති හා අදාළව හෝ එජාපය කරන හැම දෙයක්ම නිවැරදි බව නෙමෙයි. එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති වල හා ඒවා ක්‍රියාත්මක කිරීමේ තිබෙන අඩුපාඩු සියල්ලම වගේ අනෙක් දේශපාලන පක්ෂ වලටත් පොදු බවයි. එජාප ආර්ථික ප්‍රතිපත්ති සියල්ලම අනුමත නොකළත්, ලංකාවේ ආර්ථිකය නිවැරදි මාර්ගයට ගන්න කළ යුතු දේ ලෙස මම හිතන දේවල් සමඟ මේ වෙලාවේ වඩාත්ම සමපාත වන්නේ එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති.

ආණ්ඩුව විසින් ආර්ථිකය හැසිරවීමේදී කිසියම් කරුණක් හා අදාළව කරන්නේ ආර්ථිකය හසුරුවන එක ඉකොනොමැට්ටා බාර ගත්තත් කරන්න පුළුවන් හොඳම දේ නම්, යෝජනා කරන්න වෙන ප්‍රායෝගික විකල්පයක් ඉකොනොමැට්ටාට පේන්නෙත් නැත්නම්, ආණ්ඩුව කරන දෙයක වැරැද්දක් අඩුපාඩුවක් පෙනුණත් එය විවේචනය කිරීම සාධාරණයි කියා මම හිතන්නේ නැහැ. අප විශ්වාස කරන නිවැරදි ක්‍රියාමාර්ගයක් කවර හෝ ආණ්ඩුවක් විසින් ගන්න විට ඒ වෙනුවෙන් පෙනී සිටිනු මිස බොරුවට එය විවේචනය  කිරීමේ කුහක ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න අපට හැකියාවක් නැහැ. එහෙම නොකරන්නෝ "උග්‍ර එජාප ක්‍රියාකාරිකයින්" කියා කවුරු හෝ හිතනවානම් එය ඒ අයගේ ප්‍රශ්නයක් මිසක් මගේ ප්‍රශ්නයක් නෙමෙයි.

ඔය "බටහිර දැනුම් වහල් අනුකාරකයන්" එහෙම නැත්නම් "උග්‍ර එජාප ක්‍රියාකාරිකයින්" වගේ ලේබල් වලින් මට රිදෙන්නේ නැතුවා වගේම ඔය ලේබල් නිසා මම ආඩම්බර වෙන්නේත් නැහැ. ඕවා නිකම්ම නිකම් ලේබල් පමණක් බව දන්න නිසා මම ඕවා දිහා බොහොම උපේක්ෂාවෙනුයි බලන්නේ.

හැබැයි සතුටු වෙන්නේ නෑ කියන්නමත් බැහැ. මෙහි ඇවිත්, ඉකොනොමැට්ටා ලියන "ආර්තික විජ්ජා රස කතා" හෝ වෙන මොනවා හෝ වැල්වටාරමක් කවුරු හෝ කියවන්නේ එයින් මොනවා හෝ සතුටක් ලැබෙන නිසයි. ඒ ගැන ඉකොනොමැට්ටාට නිහතමානී සතුටක් තිබෙනවා. වෙන තැනකින් කොපි කරගෙන ඇවිත් හෝ මෙහි කමෙන්ට් එකක් දමන අය කරන්නේ මේ ලිවිල්ල දිගටම ඇදගෙන යාම දිරිමත් කරන එකයි. ඒ නිසා ඒ ගැන වුවත් තිබෙන්නේ සතුටක්. ඒ නිසා, මෙහි ලියන දේ හෝ ඒ මත පදනම්ව ඉකොනොමැට්ටාව විවේචනය කරන අයට මම අවංකවම කියන්නේ ඔබ ඔබටම අවංකනම් ඔබ කරන දේ දිගටම කරන්න කියලයි. ඔබ හිතන ආකාරය දැන ගැනීම මට ඇත්තටම සතුටක්!

පහුගිය අවුරුදු තුනකුත් මාස තුනකට කිට්ටු කාලයක් පුරා ලිපි හාරසිය ගණනක් ලියමින් පැමිණි ගමනට දිරි දුන් අය අතර අපව අගය කරමින් ප්‍රතිචාර දැක්වූ අය, විවේචන කළ අය වගේම දෝෂාරෝපණ කළ අයත් එක සේ ඇතුළත්. ඒ වගේම කිසිවක් නොකියා නිහඬව ලියන දේ කියවන විශාල පිරිසත් එයට ඇතුළත්. හැම ප්‍රතිචාරයකටම පිළිතුරු නොසපයන්නේ ඇතැම් ප්‍රතිචාර වල ස්වභාවය අනුව අමුතුවෙන් කියන්න තරම් යමක් නැති නිසා. ඇතැම් විට කාලයත් හරස් නොවෙනවා නොවෙයි.

අපේ පාඨකයින්ව අපි හැම වෙලාවේම අගය කළත් ඒ ගැන ඉඳහිට හෝ නොකීවොත් අප ඔබව කොයි තරම් අගය කරනවාද කියන එක දැනෙන එකක් නැහැ. ඒ නිසා, නැවත වරක් අවධාරණයෙන් යුතුව මතක් කරන්නේ මෙහි පැමිණ අප ලියන දේ කියවන හා කවර හෝ ආකාරයේ ප්‍රතිචාරයක් දැමීමට තමන්ගේ වටිනා කාලය යොදවන ඔබ සැමව අප ඉතාමත්ම අගය කරන බවයි.




30 comments:

  1. අල වගේද ගෝවා ..... මැට්ටාට මල පැනලා කවුරුත් සර් කියපු නැති නිසා

    පාරේ යන හාලකැලි එකතුවත් එක්ක 5,00,000 ආවට මල්රිට් එකක්

    ReplyDelete
    Replies
    1. හාල් කෑලි ඔය තරම්ම පාතට දාන්න එපා, ඇනෝ! හැමෝටම වෙල් විදානෙ කම් නෑනේ!

      Delete
    2. මට නං ඉකොනොමැට්ටා කිව්වම මතක් වෙන්නේ ප්‍රවීන බ්ලොග් ලේඛක මාතලන් ඔබට ලබා දුන්නු නම්බුනාමය. ඒ තමයි පොන්නයා කියන එක. හතර දෙනාම පොන්නයෝ කියලා මාතලන් කිව්වේ.

      ඉකොනොමැට්ටා,රසික,සිරා සහ තව කාටද.

      (පොන්නයා කියන්නේ ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව තුලත් භාවිතා වන වචනයක් නිසා එම වචනය එලෙසම මෙහි භාවිතා කලෙමි.)

      Delete
    3. //හතර දෙනාම පොන්නයෝ කියලා මාතලන් කිව්වේ රසිකොලොජිස්ට් (Rasikologist), ඉකොනොමැට්ටා, සිරා සහ තව කාටද? //

      හතර රාජ් හෙවත් මෞර්ය රාජ් (රාජ්ගෙ නවාතැන - raj1st.blogspot.com) කියන අසූචිලොජිස්ට් කියන බ්ලොග්ලොව ඊර්ෂ්‍යාකාර දූෂිත නරුම වනචර අධම රටගොන් බයියාට ගොට්ට අල්ලපු තවත් හාදයෙක්.

      Delete
  2. මගේ චෝදනාව ඔබේ ලිපි දිග වැඩි බවයි

    ReplyDelete
    Replies
    1. මුල සිටම තියෙන චෝදනාවනේ...උණ පුරුකෙ දැම්මත් ඇද අරින්න අමාරුයි. මොනව කරන්නද?

      Delete
    2. මගේ චෝදනාව තොගේ දුව හදාගත්තේ නැති බවයි.

      Delete
    3. මෙහි ලියන ලිපි කිසියම් අයෙකුගේ මානසික ආතතියට හේතු වෙනවා නම්, ලිපි දිග වැඩි බවට බොරු බහුබූත නොකිය (බොරු චෝදනා නොකර) ලිපි නොකියවා සිටීමයි කළ යුත්තේ. එහෙම නේද ඉකොනොමැට්ටා?

      Delete
  3. කියවමි
    ඕනෑකමින්
    කුමට ගරුසරු
    උපන් දෙරණින්
    "රසික" අදහස
    ගරු කරමින්
    ලියනු මැන
    තව තවත්
    යහමින්

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ අපේ ඉතිහාස කතාවේ ඉතුරු කොටස, අපිට සුද්දො දීපු නම්බුනාම ගැන ලිපියක් කියලයි:)
      ඔය චෝදනා, අදහස් ප්‍රකාශ කිරීමේ පූර්ණ නිදහසේ අතුරුඵල ආයිබෝං:)

      Delete

    2. AnonymousAugust 9, 2018 at 7:25 PM
      බොහොමත්ම ස්තුතියි!

      බස්සා:
      අදහස් ප්‍රකාශ කිරීමේ පූර්ණ නිදහස නැති කළා කියලා කියවන අය හිතන විදිහ වෙනස් වෙන්නේ නෑනේ, බස්සා. එය මට දැනගන්න තිබෙන අවකාශය නැති වෙන එක විතරයි වෙන්නේ.

      Delete
  4. I am regular reader of this blog. I agree with Rasika it's too long. However I get lot of knowledge about lot of things from this (keep writhing machang)

    Don't worry about those who have lot of free time and free Internt on their hand and born green/blue/red and no wisdom understand the difference of 'hodi and kaly'.

    I had a doctor friend who agreed with Mangala S, that MR has stolen USD 80 bil (since it's down to 12 bil) and deposited in a Dubai bank. He had no idea about our GDP (so much for my educated friend).

    I work for a country/govt where even 50$ international in/out patterns are monitored (since 911 in US) and shared with central banks and intelligence world over. Why not Mangala S. give us a call? May be you know the answer.

    ReplyDelete
  5. කෙනෙක් අතිශයින්ම individualistic වෙනකොට හැම පැත්තෙන්ම අය හිතන්නෙ ඔහු තමන්ට විරුද්ධයි කියල. මම ඉස්කෝලෙ යන කාලෙ ඉඳම්ම පෞද්ගලික මිත්‍රකම් තබා ගත්තට ආගම, ජාතිය, පවුල, පාසල, ඉන් පසුව වෘත්තිය, දේශපාලන මත, රට, සංස්කෘතිය මත කණ්ඩායමකට අයත් වෙන්න බැරිවුනා මොකද මට හිතෙන්නේ individual කෙනෙක් විදිහට නිසා. මං සමහර දේවල් වලට කැමති / අකමැති ඒවා බටහිර හෝ නැගෙනහිර නිසා නෙමේ මන් පුද්ගලයෙක් විදිහට ඒවට කැමති / අකමැති නිසා ඒවා එස්කිමෝ වුනත් මං කැමති නම් මට හොඳයි.
    ඒත් ප්‍රශ්නෙ වෙන්නේ හුඟක් අය ලේබල් වලට කැමතියි, කණ්ඩායම් , ජාති, ආගම්, පක්ෂවලට අයිති වෙන්න කැමතියි. ඔවුන්ගේ කැමති අකමැති විශාල ප්‍රමාණයක් තීරණය වෙන්නේ ඒ ලේබල්වල parameters ඇතුලේ.
    එතකොට ඔවුන්ගේ ඒ කණ්ඩායම් මතවලට විරුද්ධ මතයක් තියන කෙනෙකුට ඔවුන් ඉබේම වෙන ලේබලයක් අලවනවා. ඒක හුඟක් ස්වාධීනවීමට කැමති අයට තියන occupational hazard එකක් :-D

    මම දන්නෙ නෑ ඔබ individualistic කෙනෙක්ද, වෙන agenda/ulterior motive එකක් තියන, කණ්ඩායමකට අයිති කෙනෙක්ද කියලා. මට අදාලත් නෑ. මං කැමති නම් කැමතියි , අකමැති නම් අකමැතියි. කොහොම වුනත් ඔබේ අදහස් මං සලකන්නේ individual කෙනෙක්ගේ මත ලෙස, කණ්ඩායම් සාමාජිකයෙක්ගේ මත ලෙස නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. PRA Jay ඔබවගේ කැපුවත් කොළ පාට ලේ තියන උග්‍ර එජාප ක්‍රියාකාරිකයින්ගේ (Pra Jay වගේ පහළ සමාජ ස්ථරයන්ගේ) මෙන්ම ලංකාවේ ප්‍රභූ පංතියේ මෙන්ම සුළු ජාතික ඡන්ද පදනමද සහිත එජාපය දැනට ලංකාවේ ක්‍රියාකාරීව පවතින පැරණිතම දේශපාලන පක්ෂය වුනත් වසර ගණනාවක සිට පිපාසයෙන් පෙළෙමින් සිටි කොළපාට රුධිරය හිමි ජනතාවට සිය පවස යම් තරමකට හෝ සංසිදුවා ගැනීමේ බලාපොරොත්තුවක් සිත් තුළ පහළ ‍වී ඇතැයි සිතිය හැක. ඒ අන් කවරක් නිසාවත් නොව එජාප නායකත්වය සඳහා කොළඹ හතේ පරම්පරාව අභිබවමින් හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස කරළිය තුළ වැජඹෙමින් සිටින බැවිනි.

      එජාප ක්‍රියාකාරිකයින්ගේ (Pra Jay වගේ) කඩවූ බලාපොරොත්තු සඵල කිරීමට යල් පැනපු පරණ UnP ආර්ථික න්‍යායයන්, ප්‍රතිපත්ති, ක්‍රම විසින් සිදුකළ පීඩනය දරාගැනීමට නොහැකි වූ කළ එහි වත්මන් නියෝජිතයා වූ රනිල් වික්‍රමසිංහ සමාජයේ උදහසට ලක්වූ අතර ජනප්‍රිය දේශපාලන නායකත්වයක් සතු විය යුතු ගුණාංග අහිමිවීම මත තව දුරටත් රනිල් වික්‍රමසිංහ මෙන්ම එජාපයද තව තවත් ජනතාව අතරින් ප්‍රතික්ෂේප් විම මත සජිත් මෙතෙක් අනුගමනය කර ඇති දේශපාලන දර්ශනයට සමගාමීව ඔහු විසින් දියත් කිරීමට නියමිත ආර්ථික,දේශපාලනික දර්ශනය ගැන යම් විමසීමක් සිදුකළ හැක.

      ජාතික දේශපාලනයේ තීරණාත්මක චරිතයක් වත්ම ඔහුගේ බොහෝ අදහස් වලින් එජාපය විසින් ඉදිරියට ගෙන යනු ලබන නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය විවේචනයට ලක්වූයේ එය බටහිරවාදී වූවක් බව අඟවමිනි.

      Delete
    2. සජිත් ඊට එරෙහිව විසින් සුබසාධන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ යැයි කිව හැකි වුවද, එමඟින් රටේ සමස්ත ආර්ථිකයේ ගමන්මාර්ගය ගැන අදහසක් ලබාගත නොහැක. විශේෂයෙන් මේ වන ඔහු විසින් දියත් කර තියෙන වැඩසටහන් පිළිබඳව නිරීක්ෂණය මඟින් පැහැදිලි වන්නේ ඒවා ජනප්‍රියවාදී වැඩසටහන් මිසක රට පිළිබඳව ඉදිරිදැක්මකින් යුතු ඒවා නොවන බවයි.

      හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කරන "ජන සුවය" ප්‍රජා සත්කාරක වැඩසටහන මඟින් දිස්ත්‍රික්කය පුරා යම් යම් සුභසාධන ක්‍රියා ප්‍රමාණයක් දියත්කරද එමඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ව්‍යූහාත්මක තලයේ ආර්ථික, සමාජයීය දේශපාලන වෙනසක් කිරීමට අපොහොසත් විය.

      සජිත්ගේ අදහස් දැක්වීම් තුළදී වුවද වෙනසක් වීමේ අවශ්‍යතාවයක් ගැන සඳහන් වුවද එකී වෙනස විනිවිද දැක එය යථාර්ථයක් බවට පත්කරගැනීමේ පළල් දෘෂ්ඨියක ලක්ෂණ පෙනෙන්නට නැත.

      ඒ වෙනුවට ලිබර්ල්වාදී වෙළඳපොළ ආර්ථිකය විසින් සිදුකරන්නාක්‍ මෙන් සමාජයේ පීඩිත බහුතරය සුභසාධනය කිරීම සඳහා යම් යම් 'දේවල්' ටිකක් කිරීමට උත්සාහ දැරීමක් පමණක් දැකගත හැක.

      සරලව ගතහොත් සජිත් ප්‍රේමදාස විසින් ‍රටේ ප්‍රශ්ණ ලෙස හඳුනාගෙන ඇති 'මන්දපෝෂණය' 'මූලික අවශ්‍යතාවන් ඉටු නොවීම' 'විරැකියාව' වැනි දහසකුත් කාරණා සඳහා ඔහු විසින් සිදුකර ඇත්තේ ගැබිණි මාතාවන්ට පොෂණ මලු ලබාදීම, දුප්පත් පාසැල් සිසුන්ට පොත්පත් ලබාදීම, පෙරපාසැල් දරුවන්ට කිරිවේලක් දීම වැනි 'දේවල්' ටිකකි. සිවිල් පුරවැසියෙකු ලෙස මෙ ආකාරයේ දායකත්වයක් දැක්වීම් සතුටුදායක වුවද ජාතික නායකත්වය සඳහා පිවිසෙන පුද්ගලයෙකු තුළින් මීට වඩා පළල් දර්ශනයක් මත පදනම් වුණු දේශපාලන ආර්ථික ක්‍රම වේදයක මූලාරම්භයක් දැකිය යුත්තේ 1994 න් ආරම්භ වුණු දේශපාලන ගමන් ම‍‍ඟෙහි වන අත්දැකීම් හා අධ්‍යාපන පසුබිම ඒ සඳහා ප්‍රමාණවත් දුප්පත්කම වැළැක්වීම සඳහා යැයි කොටි ගණනින් මුදල් රට තුළට පොම්ප කරමින් රාජ්‍ය නොවන සංවිධාන හරහා ක්‍රියාත්මක වූ ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග තුළද දක්නට ලැබුණේ මෙ ආකාරයේ තත්ත්වයක්ම මිස ‍අන්කිසිවක් නොවේ.

      සජිත්ට නායකත්වය පිළිබඳ ඉව වැටුණු සැනින් ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කය පමණක් නොව සමස්ත රටම ආවරණය වන පරිද්දෙන් සිය සුභසාධන වැඩකටයුතු ව්‍යාප්ත කරන ලදී. එහිදී "සසුනට අරුණ" මඟින් වෙහෙර විහාර නඟාසිටූවීමටද, රනිල්ගේ නායකත්වය මඟින් දියත්කළ "ග්‍රාම චාරිකා" වට එරෙහිව "ග්‍රාම සංවර්ධන චාරිකා" ද ක්‍රියාත්මක වුනි.

      රටේ තිබෙන ප්‍රශ්ණ අතරින් කේන්ද්‍රීය ප්‍රශ්ණයක් වනුයේ බෞද්ධ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය යැයි ඔහු විසින් තීරණය කිරීම මඟින් සෘජුවම දක්නට හැක්කේ එය ජනප්‍රියවාදී වූවක් මෙන්ම ඒ පසුපසින් තිබෙන සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදයේ නැඹුරුවයි. මහින්ද රෙජිමය මඟින් උත්කර්ෂයට නංවනලද මෙ කී සංකල්ප ක්‍රියාත්කම කිරීම මඟින් ක්ෂණිකවම රටේ තිබෙන අධිපතිවාදී බෞද්ධ සමාජයේ සහයෝගය තමන්ට ලබාගැන්මට හැකිවේ යැයි ඔහු උපකල්පනය කරන්නට ඇත.

      රනිල් වික්‍රමසිංහ මෙන්ම කොළඹ රෝයල් ගිය අයෙකු වුවද (රනිල් උසස් අධ්‍යාපනය ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් වන අතර සජිත් එංගලන්තයෙනි) තමන්ගේ වන ගොඩේ පෙනුම මඟින් ජාතික සහ‍යෝගය ලබාගැනීම ඉලක්ක කොටගෙන ඇත. ඒ අනුව මෙතෙක් සජිත් විසින් ඉදිරිපත් කරන්නට යෙදී ඇති ප්‍රායෝගික වැඩපිළිවෙළ මඟින් ඔහු සතුව දිගුකාලීනව රටට ඵලදායීව වැදගත්විය හැකි දැක්මක් හෝ සැලැස්මක් දක්නට නෑත. ඒ වෙනුවට මෙතෙක් ලංකාවේ දේශපාලනයේ දේශපාලඥයින් විසින් යහමින් කරගෙන යන "අවස්ථාවාදී දේශපාලනය" පමණක් දක්නට හැක.

      රටක් ලෙස පශ්චාත් නිදහස් කාලසීමාව තුළ විඳවමින් සිටින ප්‍රශ්ණ සඳහා පිළිතුරු ඇතුලත් පළල් දේශපාලන ආර්ථික දැක්මක් සජිත් ‍සතු වේ යැයි ඉඟියක් වත් මෙතෙක් පළව නැත. ඒ අතරින් යුද්ධයෙන් කෙළවර නොවූ ජාතික ගැටළුවට පටු මානසිකත්වයකින් බැලීමත්, බටහිර ධනවාදය දෙසට නපුරු බැල්මක් හෙළමින් ඊට විකල්පයක් ඉදිරිපත් නොකිරීමත් පැහැදිලිව දැකගත හැක.

      ඒ අනුව රටට හිතැති ජනයා වෙත දැන්වීමට ඇත්තේ සජිත් යනු එජාපයට කෙසේ වුවත් රටටනම් කණාමැදිරි එළියක් වත් වේද යන්න සැකසහිත බව පමණි.

      Pea Jay වෙත ප්‍රශ්ණයක්???

      අනාගතයේ උදාවන දේශපාලන සන්දර්භයකට සාපේක්ෂව ඉදිරිපත්වන හොඳම දේශපාලන උපායමාර්ය ලෙස සජිත් ප්‍රේමදාස රටේ නායකයා ලෙස පත්කිරීමට ජවිපෙ සහයෝගය දෙන තත්ත්වයක් උදාවිය හැකිද?

      Delete
  6. නිතර කමෙන්ට් නොකලත් නිරන්තරයෙන් කියවන අඩවියක්.සුබපැතුම් ඉකනෝ. !

    ReplyDelete
  7. මේ ටිකනම් කියල තියෙනවා නියමෙටම. ශ්‍රී ලංකා ගොන් හැතිකරේට ඉතින් කියල පුදන්න බැහැනේ.
    //ලංකාවේ අනෙක් දේශපාලන පක්ෂ වලට සාපේක්ෂව, මේ අවස්ථාව වන විට, ආර්ථික ප්‍රතිපත්ති අතින් බැලුවොත් සමස්තයක් ලෙස වඩාත්ම ඉදිරිගාමී පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ඉතිහාසය දිහා බැලුවත් බොහෝ විට අනෙක් ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරලා තිබෙන්නේ කිසියම් කාල පමාවකින් පසුව එජාපය සිටි තැනටම එන එකයි. ජවිපෙ පවා අන්තිමට කැරකිලා එන්නේ ඒ පාරටමයි.//

    ReplyDelete
    Replies
    1. මේ ආකාරයේ ගොන්කම් කරන්නේ රාජපක්ෂ හොර කල්ලියේ වහල් බයි හැතිකරයයි. මේ කාලකණ්ණි වහල් බයියෝ තවත් ශ්‍රී ලංකා රටේ එමට සිටිති'යි යන කාරණය ඉතා බරපතලයි.

      පසුගිය කාලයේ මහ බයියා විසින් වශී බෝල කරකවමින්, හොරකම් කරමින් රට ආපස්සට ගෙන ගිය ආකාරය පිළිබඳව මෙය ඉතා හොඳ උදාහරණයක් බව කිව හැක.

      මේ සියල්ලට වග කිව යුතු වන්නේ පසුගිය අන්ත දූෂිත රාජපක්ෂ මහ බයියා කියන මීහරකාගේ පාලනයේ පැවති වනචර දශකය තුල රාජපක්ෂ හැතිකරේ විසින් ඇමරිකන් ඩොලර් ට්‍රිලියන ගණනින් හොරකම් කල දූෂිත කලු සල්ලි යොදවා මෙම හොර කල්ලි සහ ඒවා පවත්වාගෙන යන කුණුම කුණු ගොන් බයියන් තුල ඇතිකළ මර්දන්කාරී ගොන් මානසිකත්වයයි.

      මේ නිසා වත්මන් රජයට කිසිදු කලමණාකරන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට මෙම රාජපක්ෂ හොර කල්ලියේ වහලුන් ඉඩ නොදේ. රටේ තීරන ගන්නා සෑම තැනකම සිටින්නේ මහින්දගෙ මිනිස්සු.

      මීට පිළියමක් ලෙස අප කළ යුත්තේ දූෂිත රාජපක්ෂ හොර පවුලත් ඒ සමග බූරුවංස, මංගොංපිල, වට්ටක්ක වාසු _කා ඇතුළු උන්ගේ නලාකාර රිලා සට්ටැඹියනුත් උන්ට ගෑවුණ කිසිම හාල්පාරුවෙක්ටවත් කිසිසේත්ම නැවත බලයට ඒමට ඉඩ නොදී ඔවුන් මුළුමණින්ම විනාශ කොට 2020 තනිකර 2/3 එජාප රජයක් බලයට පත්කොට ගෙන ඉන් පසු දිගටම එජාප රජයක් 2150 පමණවත් වෙනතෙක් බලයේ තබා ගැනීමය. විසඳුම එය පමණි.

      රනිල් ඇතුළු පිරිස ක්‍රම ක්‍රමයෙන් මේ ප්‍රශ්න සියල්ල එකින් එක විසඳා ඉතා ඉක්මණින්ම රට සංවර්ධනය කරනු නිසැකය. විපක්ෂය වශයෙන් ජවිපෙ / ටී.එන්.ඒ වැනි පිරිසිදු ප්‍රවීණ බුද්ධිමතුගෙන් සමන්විත පක්ෂ පත්කොට ඒ බුද්ධිමතුගෙන් එම රාජකාරිය කරගත යුතුය.

      Delete
  8. ඉකොනොමැට්ටා,

    ආර්ථික ප්‍රතිපත්ති අතින් බැලුවොත් සමස්තයක් ලෙස වඩාත්ම ඉදිරිගාමී පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියා ඔබ කිව්වත් දැන් මේ ආණ්ඩුව නැවත කරන්නේ මහින්ද රාජපක්ෂ රජය විසින් 2005-2015 කළ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තියයි.

    ප්‍රජාතන්ත්‍ර ප්‍රතිපත්ති ගැන කතා කලාට ලංකාවේ අපේ මිනිස්සු පොඩි කාලේ ඉඳල පුරුදු කාගේ හරි දැඩි පාලනයක් මත ජීවත් වෙන්න. නිදහස දුන්න ගමන් හත්පොලේ ගා ගන්නවා. එහෙව් සමාජයකට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නේ ඇමක් ලෙස මිසක් රටක් හදන්න නෙමෙයි.

    මහින්ද රාජපක්ෂ වටා රොක්වෙලා ඉන්නේ තනි මිනිහෙක්ගේ පාලනයක් අවශ්‍ය බව හොඳට තේරුන් ගත් පිරිස. ප්‍රජාතන්ත්‍රවාදය අපිට හරි යන මගුලක් නොවන බව ඔයාට දැන් තේරෙන්න කාලේ හරි.

    කොන්ද කෙලින් තියාගෙන පණ ඇතුව වගකීමක් අරගෙන ඉන් වැඩක් කරන්න පුළුවන් හරිහමන් කෙනෙක්ට මේක දෙන්න ඕන නිසා තමයි මහින්ද රාජපක්ෂ වටා මිනිස්සු රොක් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. //දැන් මේ ආණ්ඩුව නැවත කරන්නේ මහින්ද රාජපක්ෂ රජය විසින් 2005-2015 කළ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තියයි.//
      ඔබ සමඟ යම් තරමකට එකඟයි. මිනිස්සු එජාපය විසින් කළ වෙනස්කම් අගය නොකරන පසුබිමක අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඔවුන් දිගින් දිගටම නියම පාරේ ගිහින් දේශපාලනිකව සියදිවි නසා ගනු ඇතැයි බලාපොරොත්තු වෙන්න අමාරුයි. මට තිබෙන කණස්සල්ලත් එයයි. අනික් අතට රාජපක්ෂලා නැවත බලයට ආවොත් කලින් කරගෙන ගිය ක්‍රමයටම නැවත ආපසු යන්න ඉඩ තිබෙනවා. (මම මේ කියන්නේ හොරකම් ගැන නෙමෙයි.) මගේ අපේක්ෂාව වුනේ බලය නැතිව සිටින කාලය තුළ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වල තිබුණු අඩුපාඩු ගැන ස්වයං විවේචනයක යෙදී වැරදි හදාගන්න යොමුවෙයි කියලයි.

      //අපේ මිනිස්සු පොඩි කාලේ ඉඳල පුරුදු කාගේ හරි දැඩි පාලනයක් මත ජීවත් වෙන්න. නිදහස දුන්න ගමන් හත්පොලේ ගා ගන්නවා.//
      මෙය පරම්පරා හත අටක් ඇතුළත ඇති වුනු තත්ත්වයක්. ඉංග්‍රීසින් විසින් හඳුන්වා දුන් වාණිජ ආර්ථිකය ඇතුළට ඊට පෙර වූ ග්‍රාමීය ආර්ථිකයන් අවශෝෂණය වන තුරු එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. නිෂ්පාදනය ක්‍රියාවලිය ඉදිරියට මිස ආපස්සට යා නොයුතු වුවත්, ඉංග්‍රීසින් කාලයේදී ඇති වුනු ආණ්ඩුවේ දැඩි පාලනයක් යටතේ කැමැත්තෙන්ම ජීවත් වීමේ වහල් පුරුද්ද නැති විය යුතුයි. මෙය කරුණු සහිතව විස්තර කළ යුතු දෙයක්.

      Delete
  9. නිතර කමෙන්ට් නොකලත් අනිවාර්යෙන්ම කියවන blog එකක්. ඔබේ ලිපි වලින් ආර්ථිකය ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා. සුබපැතුම් ඉකනෝ..!

    ReplyDelete
  10. මාතලන්ගේ බ්ලොග් අඩවියද ඉකොනොමැට්ටාගෙ බ්ලොග් අඩවියද නිතර කියවමී.

    ලිපිය අවසානයේ හිතන්න යමක් ඔබගේ ලිපියකින් නොවැරදීම මට ලැබේ.

    බ්ලොග් කියවීමෙන් දැනුමක් ලබා ගැනීම මාගේ එකම අරමුණයී
    ස්තූතීයි
    ඔබගේ ලිපි වලට

    ReplyDelete
  11. මමත් ඉඩ ලැබෙන හැම වෙලාවෙම කියවන බ්ලොගයක්... වඩා කැමති සාහිත්‍යය සහ ඉතිහාසය ගැන කියවන්න... හැබැයි පොදුවේ මම මේ බ්ලොගය කියවන්න කැමති... ඔබ යම් කිසිදෙයක් ඉදිරිපත් කරන තර්කානුකූල ස්වභාවය නිසයි.

    ලේබල් ගැන කියද්දි.. නානා ප්‍රකාර 'හොඳ' ලේබල් වැදුනත් මේ බ්ලොග් එකේ ලේබල් එක නම් දකිනකොටත් මොකද්ද වගේ... මීට කලින් මීට වඩා හොඳ ලේබල් එකක් තිබ්බ නේද? අනික ඉකොනො උනත් මැට්ටා කියලා සෙල්ෆ් ලේබලයක් ගහගෙනනෙ ඉන්නෙ. :)

    ReplyDelete
  12. කෞශල්‍යAugust 13, 2018 at 10:32 PM

    ආයුබෝවන් ඉකොන්, මමත් ඔබේ නිහඬ රසිකයෙක්. ආර්ථිකය කියන්නේ මගේ කියවන ලැයිස්තුවේ තියෙන දෙයක් නොවුනත්, කලින් තිසර කියල තියෙන්නා වගේ ඔබ කරුණු ඉදිරිපත් කරන විදියට කැමති නිසා මම නැවත නැවතත් එන blog එකක්. ඔබගේ උත්සාහයට සුබ පැතුම්.

    ReplyDelete
  13. I am a frequent reader. Thank you for the new ideas put in orderly passion.
    Always learnt something about economics, or about the world around us. And To see things from different angles. How to forgive and tolerate stupids trying to distract / discourage a good work.
    Thank you and please carry on.

    ReplyDelete
  14. ඉකොනොගේ අඩවිය මා නිතරම කියවන්නක් මෙන්ම මගේ බ්ලොග් දර්ශකයක්ද වනවා - සුබපැතුම් එක් කරන අතරම නලින් ද සිල්වා‍ගේ වාග් ව්‍යවහාරයෙන් ඔබට අනුකාරකයෙක් කියූ පසුගිය කොමෙන්ට් බොහෝ දුරට නලින්ට ‍හා ඔහුගේ මතවාදයට කෝචොක් කිරීම සඳහා කිසියම් පුද්ගලයෙක් විසින් එක් කරන ලද ඒවා විය යුතුයි -

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: