වෙබ් ලිපිනය:

Friday, August 31, 2018

ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාව

ජනාධිපති ජේආර් ජයවර්ධන ඇමරිකන් ජනාධිපති රේගන්ව හම්බු වෙන්න ගිහින් අලි පැටියෙක් තෑගි කරපු කතාව ගැන අපි කලින් කතා කළානේ. ඔය සිද්ධිය වුනේ 1984 ජූනි 18 වෙනිදා. ඊට සතියකට දෙකකට කලින්, ජූනි 4-10 අතර දවස් වල රේගන් එංගලන්ත සංචාරයක නිරත වුනා. මේ ගමනේ අරමුණ වුණේ G7 රටවල් වල ආර්ථික සමුළුවට සහභාගී වීමයි. රොනල්ඩ් රේගන් ඔය සමුළුවට සහභාගී වෙමින් සිටින අතරතුරේදී නැන්සි රේගන් ලන්ඩන් සත්ත්වෝද්‍යානය බලන්න ගියා.


(Image: https://abc7chicago.com)

ලන්ඩන් සත්වෝද්‍යානයේ හිටපු සත්තු අතරින් නැන්සි රේගන්ගේ හිත ගොඩක් ඇදිල ගියේ කුඩා අලි පැටික්කියෙක් වූ ඩිල්බර්ටා වෙතටයි. ඩිල්බර්ටා ලංකාවේ අලියන් සාමාන්‍යයෙන් කරන විදිහට (කරන්න පුරුදු කරලා තියෙන විදිහට) හොඬවැල උස්සලා නැන්සි රේගන්ට ආචාර කලා.

මේ ඩිල්බර්ටාත් ඉපදිලා තියෙන්නේ පින්නවලදී. ලංකාවේදී ගීතා ලෙස හැඳින්වුණු ඇය ඩිල්බර්ටා වෙලා තියෙන්නේ එංගලන්තයට ආවට පස්සෙයි. 1980 ඔක්තෝබර් මාසයේදී ඉපදී තිබෙන ඇය එංගලන්තයට පැමිණ තිබෙන්නේ 1982 ජූනි 30 වෙනිදා. මේ සිද්ධිය වෙන කොට ඇයට වයස අවුරුදු හතරයි.

ඩිල්බර්ටා දැනට ජීවතුන් අතර නැහැ. ඒත් ඩිල්බර්ටා වගේ ලංකාවේ සිට ලෝකයේ විවිධ රටවලට යවනු ලැබූ අලි සහ ඔවුන්ගෙන් පැවතගෙන එන අලි විශාල ප්‍රමාණයකගෙන් සමන්විත ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාවක් මේ වන විට ලෝකය පුරා විසිරී සිටිනවා.

ලංකාවේ ඉපදුණු කමලා, ස්වර්ණා හා බණ්ඩාර කැනඩාවේ කැල්ගරි සත්ත්වෝද්‍යානයට එන්නේ 1976 අවුරුද්දේ මැයි 25 වෙනිදා. ඒ වන විට බණ්ඩාරට වයස අවුරුද්දයි. ස්වර්ණාට හා කමලාට මාස නවයක් විතර. මේ තුන්දෙනාගෙන් බණ්ඩාර 1991 නොවැම්බර් 25 වෙනිදා හෘදයාබාධයකින් මිය ගියා. ඒ වන විට බණ්ඩාරගේ වයස අවුරුදු දාසයයි.

බණ්ඩාර එක්ක කැනඩාවට පැමිණි ස්වර්ණා හා කමලා තවමත් ජීවත් වෙනවා. ඒ දෙන්නා දැන් ඉන්නේ ඇමරිකාවේ අගනුවර වන වොෂින්ටන් ඩීසීහි පිහිටි ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ. දැනට වයස අවුරුදු 43ක් වන මේ දෙන්නා කැනඩාවේ ඉඳලා ඇමරිකාවට එන්නේ 2014 මැයි 22 වෙනිදා. බණ්ඩාර අඩු වයසකින් මිය ගියත් ඊට පෙර කමලා එක්ක එකතු වෙලා දරුවෝ දෙන්නෙක් හැදුවා. ඒ දරුවෝ තවත් දරුවන් ගණනාවක් හැදුවා. දැන් ලෝකය පුරා විසිරිලා ඉන්න බණ්ඩාරගේ හා කමලාගේ දරුවන් හා මුණුපුරන් ගැන පසුව ලියන්නම්.

මේ වන විට ඇමරිකාවේ ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ ජීවත්වන වයස අවුරුදු 42ක් වූ ශාන්ති ඇමරිකාවට පැමිණියේත් බණ්ඩාර, කමලා හා ස්වර්ණා කැනඩාවට පැමිණි 1976 අවුරුද්දේදී. ඒ අවුරුද්දේ දෙසැම්බර් 29 වෙනිදා ඈ ඇමරිකාවට පැමිණෙන විට ඇගේ වයසත් අවුරුද්දකට අඩුයි. ශාන්තිටත් දරුවන් දෙදෙනෙක් හා මුණුපුරන් ගණනාවක් ඉන්නවා. එක් දරුවෙක්ගේ පියා බණ්ඩාරගේ හා කමලාගේ පුතෙක්.

ශාන්ති ඇමරිකාවට පැමිණෙන්න මාසයකට පෙර, 1976 නොවැම්බර් 3 වෙනිදා ඇමරිකාවේ චිකාගෝ නගරයේ පිහිටි ලින්කන් සත්ත්වෝද්‍යානයට පැමිණි බොසී දැන් ඉන්නේත් ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ. ඇමරිකාවට ලංකාවේ සිට පැමිණි පෙර කී අලි පැටවුන්ගේ සමකාලීනයෙකු වන බොසීටත් දැන් අවුරුදු 43ක්. ඇයටත් දරුවෙක් හා මුණුපුරන් ගණනාවක් ඉන්නවා.

උතුරු ඇමරිකාවට පෙර කී අලි පැටවුන් පස් දෙනා පැමිණි 1976 අවුරුද්දේදී යුරෝපයටත් ලංකාවෙන් අලි පැටවුන් පැමිණිලා තිබෙනවා. ඒ අවුරුද්දේ මාර්තු 24 වෙනිදා ස්විට්සර්ලන්තයේ සූරිච් සත්ත්වෝද්‍යානයට පැමිණි සීලා-හිමාලි එහි පැමිණෙන විට ඇගේ වයස මාස අටයි. දරුවන් හය දෙනෙකු වැදූ සීලා-හිමාලිට මුණුපුරු මිණිපිරියන් විශාල පිරිසක් ඉන්නවා.

ඔය කාලයේදීම පිලිපීනයේ මැනිලා සත්ත්වෝද්‍යානයට ලබා දුන් මාලිටත් දැන් වයස අවුරුදු 44යි. දරුවන්නම් නැහැ.

කලින් කී අලි පැටවුන් සමඟි පෙරමුණු ආණ්ඩුව කාලයේදී ලංකාවෙන් පිටරට පටවනු ලැබූ පළමු අලි කණ්ඩායම නෙමෙයි. අනුෂාව සහ කෝමලීව ලංකාවේ සිට සිංගප්පූරු සත්ත්වෝද්‍යානයට එවල තියෙන්නේ 1973 වසරේදී. ඒ වන විට අනුෂාට වයස අවුරුදු 28ක්. කෝමලීටනම් අවුරුදු 3ක් වුණා පමණයි. අනුෂා 1999 සැප්තැම්බර් 27 වෙනිදා මිය යන විට ඇයට වයස අවුරුදු 54ක්. දැන් වයස අවුරුදු 48ක් වන කෝමලී මේ වන විට සිංගප්පූරුවේ සිටින ජ්‍යෙෂ්ඨතම කෙණෙරයි.

යුරෝපයේදී හෝ උතුරු ඇමරිකාවේදී මෙන් මේ කෙණෙරන්ගෙන් පැටවුන් ලබා ගන්න සිංගප්පූරුව සමත් වී නැති නිසා ඔවුන්ගෙන් පැවතෙන්නන් කිසිවෙකු නැහැ. ඒ වුනත්, අනුෂා හා කෝමලී ලංකාවේ අලි සංස්කෘතිය සිංගප්පූරුවේ ප්‍රචලිත කර තිබෙනවා. සිංගප්පූරු සත්ත්වෝද්‍යානයේ දැනට සිටින විවිධ රටවලින් පැමිණි අලින්ගේ සම්බන්ධීකරණ භාෂාව ලංකාවේ අලි භාෂාවයි.

මීටත් කලකට පෙර බණ්ඩාරනායක ආණ්ඩුව කාලයේදී ලංකාවෙන් ජපානයට අවුරුදු තුනක අලි පැටියෙක් ලබා දී තිබෙනවා. හිරෝහිතෝ අධිරාජයාගේ මල්ලී වූ මිකාසා කුමරුට 1957දී තෑගි කෙරුණු, අගමැති පුතු ලෙසින්ම අනුර සේ නම් කර තිබෙන මේ අලි පැටවා දැන් වයස අවුරුදු 65ක අලියෙක්. ජපානයේ තමා සත්ත්ත්වෝද්‍යානයේ ජීවත් වෙනවා.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී කෝසල හා අනුලානම් වූ තවත් අලි පැටවුන් දෙදෙනෙකු ජපානයේ හිගශියමා සත්ත්වෝද්‍යානයට ලබා දී තිබෙනවා. 2007 ජූලි 28 වෙනිදා මේ අලි පැටවුන් ලබා දී තිබෙන්නේ රයිනෝසිරස් පැටවුන් දෙදෙනෙකු සමඟ හුවමාරුවක් ලෙසිනුයි. කෝසල ඉපදිලා තියෙන්නේ 2004 මැයි 10 වෙනිදා පින්නවලදී. ඔහුට දැන් වයස 14ක්. ඊට වසර තුනකට පෙර ඉපදුනු අනුලාට දැන් වයස 17ක්. මේ දෙන්නට දැන් ජපානයේදී උපන් සුරතල් දියණියකුත් ඉන්නවා.

ඉන්පසුව නැවතත් මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව හා ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වලට වසර හැටක් පිරීම නිමිත්තෙන් 2012 නොවැම්බර් 30 වෙනදා ජපානයේ තමා සත්වෝද්‍යානයට අලි පැටවුන් දෙන්නෙක් ලබා දී තිබෙනවා. ඒ, 2004 ඔක්තෝබර් 29 දා පින්නවලදී උපන් අමරා සහ 2007 අගෝස්තු 25 එහිදීම උපන් විදුර කියන අලි පැටවු දෙන්නා. දැන් මේ දෙන්නට වයස පිළිවෙලින් අවුරුදු 16ක් හා 11ක්.

ඊටත් පස්සේ 2013 සැප්තැම්බර් මාසයේදී ජපානයේ තොකුයමා සත්වෝද්‍යානයට නාමලී හා මිලින්ද නම් වූ තවත් අලි පැටවු දෙන්නෙක් ලබා දී තිබෙනවා. මේ දෙන්නට දැන් පිළිවෙලින් අවුරුදු 12ක් හා 10ක් වෙනවා. මෙයට අමතරව චිබා සත්ත්වෝද්‍යානයේ සිටින සුරතලා නම් වූ අලියාත් ලංකාවෙන් එහි ගිය අලියෙක් වෙන්න පුළුවන්.

රාජපක්ෂ ආණ්ඩුව කාලෙදීම 2007 පෙබරවාරි 16 වෙනිදා චීනයටත් අලි පැටියෙක් දීල තියෙනවා. 2001 ජූනි මාසේදී පින්නවලදී ඉපදිලා තිබෙන, දැනට බීජිං සත්ත්වෝද්‍යානයේ ඉන්න, මිගාර කියන මේ අලි පැටියට දැන් වයස අවුරුදු 17ක්.

දැනට ස්විට්සර්ලන්තයේ ප්‍රාග් සත්ත්වෝද්‍යානයේ ජීවත් වන තමරා සහ ජනිතා ලංකාවේ සිට එහි පැමිණ තිබෙන්නේ 2012 ඔක්තෝබර් 7 වෙනිදා. වැඩිමල් ජනිතාට වයස 14යි. තමරාට 13යි. මොවුන් එහි ගිහින් වැඩි දවසක් යන්න කලින් මියන්මාරයෙන් පැමිණ සිටි අන්කෝර් තමරාට වහ වැටෙද්දී වියට්නාමයේ සිට ආ මීකොන්ගේ කැමැත්ත ලැබෙන්නේ ජනිතටයි. මේ දෙන්නටම දැන් අවුරුදු දෙක පහු කළ පුත්තු ඉන්නවා.

මීට අමතරව 1977දී ලංකාවේ සිට පැමිණි දේවී ඇමරිකාවේ සැන් දියාගෝ සත්වෝද්‍යානයේ ජීවත් වෙනවා. ඇය එහි පැමිණ තිබෙන්නේ මාස නවයක කාලයේදී. දේවී මෙන්ම ඉපදී මාස කිහිපයකින් 1968දී එහි පැමිණි සුමති අඩ සියවසකට ආසන්න කාලයක් ජීවත් වී දෙවසරකට පෙර මිය ගියා.

පසුගිය ආණ්ඩුව කාලයේදී කොරියාවේ සියෝල් ග්‍රෑන්ඩ් පාර්ක් සත්වෝද්‍යානයටත් සුගලා හා ගජබා නම් වූ අලි පැටවු දෙන්නෙක් ලබා දීල තියෙනවා. සුගලා තවමත් ජීවත් වුනත් ගජබා මේ වන විට ජීවතුන් අතර නැහැ. පසුගිය 7 වෙනිදා මද කිපී සිටි වයස 14ක් වූ ගජබා අවාසනාවන්ත ලෙස මිය ගිහින්. කෙසේ වුවත් ගජබා මිය ගියේ පියෙකු වීමෙන් පසුවයි. 2016 ජූනි මාසයේදී උපන් ගජබාගේ හා සුගලාගේ දරුවාව නම් කෙරුණේ කොරිලංකා ලෙසයි.

පකිස්ථානයේ ලාහෝර් සෆාරි උද්‍යානයටත් ලංකාවෙන් අලි පැටවු දෙන්නෙක් ලබා දෙන්න නියමිත බව මාස දෙකකට පෙර වාර්තා වී තිබුණා. මේ වන විට යවල වෙන්නත් පුළුවන්.

ලංකාවේ සිට වෙනත් රටකට සංක්‍රමණය වන මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න බොහොමයකටම ලංකාවේ සිට වෙනත් රටකට යන්නට සිදුවන අලින්ටත් මුහුණ දෙන්න වෙනවා. මිනිස්සුනම් සංක්‍රමණය වන්නේ තමන්ගේ තීරණයේ තිබෙන හොඳ නරක කිරා මැන බැලීමෙන් පසුව කැමැත්තෙනුයි. නමුත් අලින්ගේ සංක්‍රමණ තීරණය ඔවුන්ගේ කැමැත්තෙන් සිදුවන්නක් නෙමෙයි.

17 comments:

  1. එක්සත් රාජධානියේ වේල්ස් හි පිහිටා ඇති ස්කන්ධ වේල් ආගමික ස්ථානයේ ඉන්න වල්ලි නම් ඇතින්න මෙම ස්ථානයට ලබා දී තියෙන්නෙ ජේ.ආර්. ජයවර්ධන අවුරුදු 34 පෙර.
    https://www.skandavale.org/animal-sanctuary/

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ සඳහන් අලින්ට අමතරව ඔබ කියන කෙණෙර ඇතුළු ලංකාවේ උපත ලැබූ තවත් අලි ගණනාවක් ලෝකය පුරා විසිරී ඉන්නවා. ජේආර් ජයවර්ධනගේ කාලයේදී, 1981 නොවැම්බර් 11 දිනයි වල්ලිව ස්කන්ධ වේල් කෝවිලට ලබා දී තිබෙන්නේ. 1980දී උපන් ඇගේ දැන් වයස අවුරුදු 38ක්.

      Delete
  2. ඉකොනො,

    ඩයස්පෝරාව ගැන කියද්දි මතක් වුණේ ලංකාවේ ව්‍යාපෘති කළමනාකරණය කිරීම විදේශ සමාගමකට පැවරීම සඳහා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව තිබෙනවා. එම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනාකර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපද සමාගමක් වන මැක්කින්සි (Mckinsey) සමාගමට ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කළමනාකරණය කිරීම පවරා දිය යුතු බවටයි. මෙම සමාගමට ව්‍යාපෘති කළමනාකරණ කටයුතු සඳහා ගෙවීමට යෝජනාකර ඇති මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 38 ක්.

    මැක්කින්සි සමාගම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ අපකීර්තියට පත් වූ සමාගමක්. මෙම සමාගම තම සේවාදායකයන්ගේ තොරතුරු විකිණීම සිදු කරනවා. උදාහරණයක් ලෙස කොටි සංවිධානයේ මූල්‍ය උපදේශකයෙකු වූ දැනට මූල්‍ය වංචා හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිර දඬුවම් විඳින රාජ් රාජරත්නම්ට මැක්කින්සි සමාගම තොරතුරු විකුණා තිබෙනවා. මේ රාජරත්නම් කොටි සංවිධානයේ මූල්‍ය උපදේශකයකු පමණක් නොවෙයි රවී කරුණානායකගේ ගජ මිතුරෙක්. එංගලන්තයේ රජ පවුලේ තොරතුරු රැගෙන ඒවා බොහෝ ආයතනවලට විකුණූ බවට මෙම සමාගමට එරෙහිව චෝදනා ඉදිරිපත් වී තිබෙනවා. මෙවැනි ජාවාරම්කාර සමාගමකට තමයි අද ‘ව්‍යාපෘති කළමනාකරණය’ නමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළමනාකරණය සහ රාජ්‍ය පරිපාලනය භාරදීමට යන්නේ. මේ ඉතාම භයානක තත්ත්වයක්.දැන් මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ විදේශ සමාගමක් උපදේශන සැපයීමේ මුවාවෙන් රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ කරවීමටයි.

    රාජ්‍ය පරිපාලනයේ මූලික වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. ඒ වගකීම කිසිදු ආණ්ඩුවකට පැහැර හරින්න බැහැ. ඒක ජනතාව ලබා දීපු පරමාධිපත්‍ය බලයෙන් ආණ්ඩුවට ලැබෙන දෙයක්. ඒත් මේ යහපාලන ආණ්ඩුව රාජ්‍ය පරිපාලනය විදේශ සමාගමකට පැවරීමට සූදානම් වෙනවා. මේකෙන් ආණ්ඩුව දෙන පණිවිඩය කුමක්ද?

    එක පැත්තකින් මේ ආණ්ඩුව රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කරමින් සිටිනවා. එමගින් රටේ ආර්ථිකය දුර්වල වෙනවා. අනෙක් පැත්තෙන් මූල්‍ය ක්‍ෂේත්‍රය චෞරයන්ට විවෘත කිරීම සඳහා පනත් කෙටුම්පත් ගණනාවක් රැගෙන ඒමට නියමිතයි. එසේ තිබියදී තමයි මේ කැබිනට් පත්‍රිකාව රැගෙන එන්නේ. මේ සියල්ල එකම න්‍යාය පත්‍රයක කොටස්.

    ReplyDelete
    Replies
    1. අපට ඉතාමත් පළපුරුදු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සිටිනවා ඉකොනොමැට්ටා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ආසියාවේ තිබෙන කීර්තිමත්ම රාජ්‍ය සේවයක්. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය මගින් ගෙවීගිය ඉතිහාසය තුළ විස්මිත ව්‍යාපෘති ගණනාවක් සිදුකොට තිබෙනවා. ඒ නිසා බලයට පත්වන ආණ්ඩුවක් කළ යුත්තේ මේ රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සපයා දීලා ඔවුන්ගෙන් විධිමත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබා ගැනීමයි. එහෙම නැතිව ජාවාරම්කාර විදේශ උපදේශන සමාගමකට රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය සතු බලතල පවරා දීම නොවෙයි.

      කොටින්ගේ මූල්‍ය උපදේශකයකු වූ රාජ් රාජරත්නම් සමඟ සමීප සබඳතා ඇති සමාගමකට ශ්‍රී ලංකාවේ සිදුකරන ව්‍යාපෘති සඳහා උපදේශන සැපයීමේ වගකීම පැවරීම සිදුවන්නේ කාගේ උවමනාවකටද?අපට සැකයක් තිබෙනවා (අපි සැක කරනවා) මේ ගනුදෙනුව පිටුපස දෙමළ ඩයස්පෝරාව සිටින බවට. ව්‍යාපෘති කළමනාකරණය ගුණාත්මක ලෙස ඉහළ නැංවීමට මේ ආණ්ඩුවට සැබෑ උවමනාවක් තිබෙනවා නම්, අපි යෝජනා කරනවා මේ ක්‍ෂේත්‍රයේ සිටින ඉකොනොමැට්ටා වගේ විශ්ව කීර්තියට පත් විදේස්ගත ශ්‍රී ලාංකික විද්වතුන්ගෙන් උපදේශන ලබා ගැනීමට කටයුතු කරන්න කියා, එසේ නොකොට දෙමළ ඩයස්පෝරාව හා සම්බන්ධ ඇමෙරිකානු සමාගමක් ශ්‍රී ලංකාවට ගෙන එන්නේ කුමකටද?

      ලංකාවේ රාජ්‍ය පරිපාලනයට සහ කළමනාකරණයට අදාළ රහස්‍ය තොරතුරු දෙමළ ඩයස්පෝරාවට ලබාදීමට නොවෙයිද ඉකොනො?

      Delete
    2. ඉකොනොමැට්ටා "විශ්ව කීර්තියට පත් විදෙස්ගත ශ්‍රී ලාංකික විද්වතෙක්" නෙමෙයි. ඒ වගේම මේ වෙලාවේ ව්‍යාපෘති කළමනාකරණය වැනි වැඩකට අත ගැහීමේ බලාපොරොත්තුවකුත් නැහැ. ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ මනා දක්ෂතාවයක් හා පළපුරුද්දක් තිබෙන ලාංකිකයින් රටේ සිටියදී විදේශිකයින්ට එවැනි කටයුතු පැවරීමට ලාංකිකයින්ගේ ආකල්පත් යම්තාක් දුරකට හේතු වෙනවා. හරියටම කියනවානම්, ලාංකිකයෙක් මෙවැනි කටයුත්තක නිරත වෙන කොට බොහෝ දෙනෙක් කරන්නේ සහයෝගය දෙනවා වෙනුවට වැරදි හොයන එකයි. නමුත්, විදේශිකයෙක් ඒ දේම කරන කොට මොනවා කිවුවත් කට වහගෙන කියන විදිහට වැඩේ කරනවා. මගේ පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් කියන දෙයක් මිසක් සාධාරණ ප්‍රකාශයක් නෙමෙයි.

      Delete
  3. ඉකොනො මේ විස්තර කොහොම හොයාගත්තද කියල පුදුමයි. ලංකාවේ වනජීවී එකේ නම් මේ විස්තර නෑ කියල දන්නවා.

    කොරියාවේ සියෝල් ග්‍රෑන්ඩ් පාර්ක් සත්වෝද්‍යානයට අමතරව තව කොරියානු නගරයක සත්වෝද්‍යානයකටත් ගිය ආන්දුවන් අලි ඇතුළු සත්තු කීපදෙනෙක්ම දුන්නා. ඒ එවකට රාජ්‍ය නායකයා ඉස්සර මන්ත්‍රී කෙනෙක් කාලේ කරපු කොරියානු සංචාරයකදී හොඳට සලකපු (නාරි) අයෙකුට ප්‍රති උපකාරයක් හැටියට.

    අලියා තාම ඉන්නවා උගේ වාසනාවට.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන අලින් ගැන තොරතුරු මා සතුව නැහැ, ඇනෝ. එම නගරයේ නම හෝ ප්‍රදානය සිදු කළ අවුරුද්ද වැනි අමතර තොරතුරක් දමන්න පුලුවන්ද?

      Delete
  4. ඉකොනොමැට්ටා ශ්‍රී ලංකාවටම අභිමානයක් වූ ගල්ගමුවේ දළ පූට්ටුවා හස්ථි රාජයා ඇත් දළ දඩයම්කරුවන් විසින් ඝාතනය කිරීම ඉකුත් දිනවල අතිශය කතාබහට ලක් වුණා. මේ අතර මිනිසුන් ඇටවූ උගුල් වලට හසුවී මිය ගිය අලි ඇතුන් පිළිබදවද නිරන්තරයෙන් පුවත් වාර්තාවුණා.

    ශ්‍රී ලංකාවේ අලි ගහනයට මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙලෙසින් තර්ජණ එල්ල වෙද්දි ලංකාවේ අලි ඇතුන් සම්බන්ධ තවත් ජාවාරමක් පිළිබදව වාර්තා වෙනවා. ඒ මවු ඇතින්නන්ගෙන් කුඩා අලි පැටවු වෙන් කරවාගෙන, එම අලි පැටවුන් මුහුදු මාර්ගයෙන් හොර රහසේ ඩුබායි අබුඩාබි ඇතුළු මැද පෙරදිග රටවලට යැවීමේ ජාවාරමක් පිළිබදවයි.

    මෙලෙසින් අලි පැටවුන් මහුදු මාර්ගයෙන් හොර රහසේ ඩුබායි අබුඩාබි ඇතුළු මැද පෙරදිග රටවලට යැවීමේ ජාවාරමක් පිළිබදව තොරතුරු ලැබී ඇත.

    පසුගියදා හම්බන්තොට වෙරළ තීරයෙන් සොයා ගැනීමට හැකිවූ අලි පැටවුන් තිදෙනා මුහුදු මාර්ගයෙන් හොර රහසේ ගෙන යෑමට සූදානමක් තිබූ බවට සැක කරනවා.

    වෙරළේ සිට බෝට්ටු මාර්ගයෙන් මෙම අලි පැටවුන් මුහුදේ යන නැව්වලට පැටවීමේ සූදානමක් තිබෙන්නට ඇත. කාලයක සිට මෙසේ මැද පෙරදිග රටවලට අලි පැටවුන් හොර රහසේ පැටවීමේ ජාවාරමක් සිදුවන්නට ඇත.

    මෙම අලි පැටවුන් තිදෙනාගේ මවු ඇතින්නන් සොයා මේ වන විට හම්බන්තොට හා ඒ අවට ප්‍රදේශවල ආරක්‍ෂක අංශ හා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.

    මුහුදු මාර්ගයෙන් අලි පැටවුන් රැගෙන යෑමේ ජාවාරම ගැන නාවික හමුදාවටත්, ගුවන් හමුදාවටත් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්‍ෂක අංශවලටත්, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද දැඩි අවධානයකින් සිටින ලෙස උපදෙස් ලබාදී තිබෙන බව ද සදහන්.

    ReplyDelete
  5. ඇත්තටම මට නම් ප්රෙහලිකාවක් ඉකොනො මොකද මේ අලි ගැන ලියන්න ගත්ත කියල? Economic ලිපි තමා අපි නම් වැඩිපුර කැමති...
    USD විදේශ නය අරගෙන කොහොමද LKR balance කරන්නනේ මහා බැංකුව? මේ ගැන ලියන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඔබේ ඉල්ලීම ඉදිරියේදී ඉටු කරන්නම්!

      Delete
  6. වැඩිය අහන්නට නොලැබෙන වැදගත් තොරතුරු රැසක් ඉකොනො. ඇත්තටම මේ තොරතුරු පිළිවෙලකට ලේඛන ගත වෙලා තියනවද?

    ReplyDelete
    Replies
    1. හීලෑ අලින් පිළිබඳ තොරතුරු පිළිවෙලකට එකතු කර ඇති තැන් තිබෙනවා. නමුත්, මෙහි ඇති තොරතුරු සියල්ලම තිබෙන එක් තැනක් ඇතැයි මා සිතන්නේ නැහැ.

      Delete
  7. ඉකොනො මේ දවස්වල ලෝකේ හැමෝම කතාවෙන ඔස්ටේ‍්‍රලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇමති ෆයිසර් මුස්තාෆාගේ ඥාති පුත‍්‍ර 25 හැවිරිදි මොහොමඩ් නිසාම්දීන් ඕස්ට්‍රේලියාවේදී අත්අංගුවට ගෙන ඇත්තේ සිඩ්නි නුවර සරසවියක සේවය කරමින් සිටියදි ISIS ත්‍රස්ත චෝදනා එල්ල කරමිනි.

    ලෝකේ භයානකම ත්‍රස්තවාදී කල්ලිය තමයි “ඉස්ලාමීය රාජ්‍යය” හෙවත් අයි. එස්. අයි. එස් ත්‍රස්තවාදී සංවිධානය. බොහොම වේගයෙන් ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත්වුණු මේ සංවිධානයට ශ්‍රී ලාංකිකයිනුත් බැඳිලා ඉන්නවා කියලා අහන්න ලැබෙනවා. මූලිකවම ඉරාකයේ සහ සිරියාවේ විවිධ ප්‍රදේශයන් අතර අණසක පතුරුවාගෙන ඉන්න අයි. එස්. අයි. එස් සංවිධානය කොයි තරම් අන්තවාදීද, කොයිතරම් භයානකද කියලා කිව්වොත් අල් කයිඩා වගේ ලෝකේ භයානකයි කියලා හිතාගෙන හිටපු ත්‍රස්ත සංවිධානත් මේ කණ්ඩායමේ අන්තවාදී බව විවේචනයට ලක් කරනවා. ප්‍රධාන වශයෙන් ඉරාකය සහ සිරියාව තුළ ප්‍රධාන ගොඩබිම් සැලකිය යුතු ප්‍රමාණයක් තමන්ගේ ආධිපත්‍යය යටතේ තියාගෙන ඉන්න අයි. එස්. අයි. එස් කණ්ඩායම තමන්ගේ අන්තවාදී ඉස්ලාමික මතයන්ට නොනැමෙන මුස්ලිම් හෝ මුස්ලිම් නොවන ඕනෑම කෙනෙක්ට දරුණු වධ බන්ධන පමුණුවලා මරණයට පත් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. වීඩියෝ කරලා සිරකරුවන්ගේ හිස් ගසා දාන්නත්, ඒ වීඩියෝ ලෝකේ පුරාම යවන්නත් මේ අය ප්‍රසිද්ධයි. ඒ වගේම බටහිර රටවල් කීපයකටම අභියෝග කරමින් ප්‍රහාර එල්ල කරන්නත් මේ කණ්ඩායම කටයුතු කරලා තිබුණා. පොදුවේ මේ අයව සැලකෙන්නේ ලෝකයටම තර්ජනයක් කියලා තමයි කියන්නේ, මේ ගැන ලියන්න බැරිද ඉකොනො?

    ReplyDelete
    Replies
    1. මේ විෂය ගැනනම් මට ඒ තරම් දැනුමක් නැහැ, ඇනෝ!

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: