වෙබ් ලිපිනය:

Wednesday, September 5, 2018

වන් ඇන්ඩ් ඔන්ලි සිලෝන්?


ලංකාව හැඳින්වෙන නිල නම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. ඔය විදිහට හැඳින්වෙන්නේ 1978 වසරේ ඉඳලයි.ඊට කලින් 1972 වසරේ ඉඳලා ලංකාව හැඳින්වුණේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජය වශයෙනුයි. ඊටත් කලින් රටේ නම නිකම්ම ලංකාව. ඉංග්‍රීසියෙන්නම් සිලෝන්.

සිලෝන් කියන ඉංග්‍රීසි නම විකාශනය වෙන්නේ ඊටත් පෙර ලංකාව හැඳින්වුණු සිහලදීප කියන නමෙන් බව සෑහෙන දුරකට පිළිගැනෙන මතයක්. මේ හා අදාළ වෙනත් මතත් තිබෙනවා.

සිලෝන් කියා කියූ විට බොහෝ දෙනෙක් අවුලක් නැතිව හඳුනාගන්නේ ඉන්දියාවට පහලින් තිබෙන දැන් ලංකාව සේ හැඳින්වෙන දිවයිනයි. ඒ වගේම ඒ නම ගෑවී තිබෙන දෙයක් හඳුනාගන්නේ ලංකාවට සම්බන්ධ දෙයක් ලෙසයි. මේ රටේ නම දැන් ඉංග්‍රීසියෙන් ලියන්නේ ශ්‍රී ලංකා කියා වුවත් සිලෝන් කියන නම තවමත් මුළුමනින්ම භාවිතයෙන් ඉවත් වී නැහැ.

උදාහරණයක් විදිහට ලංකා බැංකුව යන්න ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නේ බෑන්ක් ඔෆ් සිලෝන් කියලයි. ලංකා වාණිජ බැංකුව ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නේ කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් කියලයි. යම් විදිහකින් ලංකා රාජ්‍ය බැංකුව කියා බැංකුවක් ලංකාවේ තිබුණානම් ඕක ඉංග්‍රීසියෙන් ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන් කියා හැඳින්වෙන්න ඉඩ තිබුණා.



ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන් ලෙස හැඳින්වෙන බැංකුවක් ලංකාවේ නැතත් ඇමරිකාවේ එලෙස හැඳින්වෙන බැංකුවක් තිබෙනවා. එය තිබෙන්නේ මිනසෝටා ප්‍රාන්තයේ දකුණු කොණේ අයෝවා ප්‍රාන්ත මායිම කිට්ටුව තිබෙන සිලෝන් කියන ප්‍රදේශයේ. ඇමරිකාවේ 42වන උප ජනාධිපති වූ වෝල්ටර් මොන්ඩේලුත් මේ සිලෝන් කියන ප්‍රදේශයේ ඉපදුනු අයෙක්. මේ ප්‍රදේශය සිලෝන් ලෙස නම් කර තිබෙන්නේ ලංකාව හැඳින්වුණු සිලෝන් කියන නම අනුව යමිනුයි.


ලෝකයේ විවිධ රටවල් වල නම් වලින් හැඳින්වෙන ප්‍රදේශ ගණනාවක් ඇමරිකාවේ තිබෙනවා. ඒ බොහෝ ප්‍රදේශ එසේ නම් කර තිබෙන්නේ අදාළ රටවල් වලින් පැමිණි සංක්‍රමණිකයින් එවැනි ප්‍රදේශ වල පදිංචි වීම මත පදනම්ව වුවත් මිනසෝටා ප්‍රාන්තයේ සිලෝන් කියන ප්‍රදේශය එසේ නම් කරන්නට හේතු වී තිබෙන්නේ ඒ කරුණම නෙමෙයි.

ඔය සිලෝන් කියන හරියට සංක්‍රමණය වූ මුල් කණ්ඩායමේ පිරිසක් තමන්ගේ ජනපදයට දමන්න සුදුසු නමක් ගැන කතා කරගන්න කඩපිලකට එක්රැස් වෙලා විවිධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. මේ කතාබහ දිගින් දිගට ඇදෙද්දී උණුසුම් තේ සංග්‍රහයකුත් කෙරී තිබෙනවා. ඔය කාලේ ඉතිං තේ කියන්නේ සිලෝන් ටීනේ.

තේ කෝප්පේ ආපු ගමන්ම එක් අයෙක්ට මතක් වෙලා තිබෙන්නේ තමන්ගේ ජනපදයට සිලෝන් කියන නම නරකද කියන එකයි. යෝජනාවට හැමෝම කැමති වෙලා. ඔන්න ඔහොමයි ඔය ප්‍රදේශයට සිලෝන් කියන නම වැටිලා තියෙන්නේ. ඇමරිකාව හරහට දිවෙන ප්‍රධානම පාරක් වන I-90 පාරේ 93 පිටවුමෙන් 263 පාරට ඇවිත් හැතැම්ම දහයක් දොළහක් දකුණට ආවහම ඔය සිලෝන් කියන හරියට එන්න පුළුවන්.

මිනසෝටා ප්‍රාන්තයේ තිබෙන සිලෝන් කියන්නේ ඇමරිකාවේ තිබෙන එනමින් හැඳින්වෙන එකම ප්‍රදේශය නොවෙයි. අඩුම වශයෙන් තවත් ප්‍රාන්ත තුනක සිලෝන් ලෙස හැඳින්වෙන ගම් තිබෙනවා. ඒ ඔහායෝ, ඉන්දියානා හා පෙනිසිල්වේනියා කියන ප්‍රාන්ත වල.

ඔහායෝ වල තිබෙන සිලෝන් වලට යන්නනම්  I-90 පාරේ 118 පිටවුමෙන් උතුරට යන්න ඕනෑ. මේ ප්‍රදේශය තිබෙන්නේ පංච මහා විල් වලින් එකක් වන ඊරී විලට කිට්ටුව ඇමරිකාවේ උතුරු සීමාවේ.

ඉන්දියානා ප්‍රාන්තයේ සිලෝන් තිබෙන්නේ ප්‍රාන්තයේ නැගෙනහිර පැත්තේ ඔහායෝ මායිම කිට්ටුවට වෙන්න. ෆෝර්ට් වේන් නගරයේ සිට පැයකට අඩු කාලයකින් එහි ලඟා විය හැකියි.

පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ සිලෝන් තිබෙන්නේ එහි දකුණු මායිමේ වෙස්ට් වර්ජිනියා ප්‍රාන්ත සීමාව කිට්ටුව. පිට්ස්බර්ග් නගරයේ සිට පැයක පමණ කාලයකින් එහි ලඟා විය හැකියි.


ඇමරිකාවේ වගේම කැනඩාවේත් සිලෝන් ලෙස හැඳින්වෙන ප්‍රදේශ අවම වශයෙන් දෙකක් තිබෙනවා. ඒ ඔන්ටේරියෝ හා සැස්කටුවාන් ප්‍රාන්ත වල. ඔන්ටේරියෝ සිලෝන් තියෙන්නේ හූරොන් විල පැත්තට වෙන්න. සැස්කටුවාන් සිලෝන් තිබෙන්නේ ඇමරිකානු දේශ සීමාවට ආසන්නව.



උතුරු ඇමරිකාවේ වගේම එංගලන්තයේත් සිලෝන් නම තිබෙන තැන් තිබෙනවා. ඒ ලන්ඩන් වල හැමර්ස්මිත් හරියේ තිබෙන සිලෝන් රෝඩ් එක සහ නැගෙනහිර වෙරළ කිට්ටුව සවුත්එන්ඩ්-ඔන්-සී වල තිබෙන සිලෝන් රෝඩ් එකයි. සිලෝන් ලෙස හැඳින්වෙන තැනක් වගේම සිලෝන් රෝඩ් හා සිලෝන් ස්ට්‍රීට් ලෙස හැඳින්වෙන පාරවල් කිහිපයක්ම දකුණු අප්‍රිකාවෙත් තියෙනවා.


සිලෝන් රෝඩ් එකක් හා සිලෝන් ලේන් එකක් සිංගප්පූරුවෙත් තියෙනවා. ඒ වගේම මැලේසියාවේ කුවාලාලම්පූර් කිට්ටුව බුකිට් සිලෝන් (ලංකා කන්ද) කියා ප්‍රදේශයක් තිබෙනවා. ලොරොන් සිලෝන්, ජාලන් සිලෝන් ආදී ලෙස හැඳින්වෙන පාරවලුත් ඔය පැත්තේ තියෙනවා.

මේ ප්‍රදේශ ගැන වැඩි විස්තර දන්න අය කියවන අය අතර ඇති.

(ඡායාරූප සියල්ල අන්තර්ජාලයෙනි.)

8 comments:

  1. There is a place called as 'Baddaginnie' in Australia and it's said that name and few other place names around that area were given by a surveyor with s Sri Lankan connections. This article has more info - https://thuppahi.wordpress.com/2017/02/18/baddaginnie-in-victoria-its-sinhala-name-and-its-history/

    ReplyDelete
  2. සිලෝන් ගැන හරියටම දැනගත්තෙ අද

    ReplyDelete
  3. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තේත් ලංකාවට සම්බන්ධ නම් තියන පාරවල් සහ ප්‍රදේශ නාම කිහිපයක්ම තියනවා . Ceylon street තියෙන්නේ Nunawading (vic 3131) ප්‍රදේශයේයි. Colombo street තියෙන්නේ Mitcham (vic 3132) වලයි. කඳු සහිත පෙදෙසක් වන Thalloo ප්‍රදේශයත් ඊට යන මාර්ගය වන Thalloo road (vic 3825) දෙකටම නම ලැබී තියෙන්නේ එහි මැණුම් කල කාලේ වාහන තල්ලු කරමින් යාමට සිදු වූ නිසායි . Dimboola (vic 3414) මිනුම් කල මිනින්දෝරුවා ලංකාවේ දිඹුල සිහි වෙන්න ඒ නම තබා තියනවා. ඉහත තිසර ගේ පිළිතුරේ තියන Baddaginnie (vic 3670) නාමය ගැන එහි විස්තර තියනවානේ.

    ReplyDelete
  4. ඔබේ ලිපිත් ඒවාට දී ඇති ප්‍රතිචාරත් බලා අලුත් දැනුම ලබනවා . ස්තුතියි

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: