වෙබ් ලිපිනය:

Wednesday, September 12, 2018

ඌවද ඌවද?


මාස කිහිපයකට කලින් අපි ලංකාවට ආපු වෙලාවේ එක දිගට සතියක් පමණ මාර්ග චාරිකාවක යෙදුණා. ගමන අවසන් වෙද්දී අපි ලංකාවේ පළාත් නවයෙන් හයක්ම ආවරණය කරලා තිබුණා. මේ ගමන යන්න පෙර පොත් සාප්පුවකට ගිය වෙලාවේ මම මගේ බාල දරුවාට ලොකු ලංකා සිතියමක් අරන් දුන්නා. ගමන අතර අපි නගරයෙන් නගරයට මාරු වෙද්දී ඔහු මේ සිතියමෙන් අපේ ගමන් මාර්ගය අධ්‍යයනය කරමින් හිටියා.

අන්තිමට අපි ගෙදර ආවට පස්සෙත් ලංකාව හා අදාළ භූගෝලීය කරුණු දැනගන්න දරුවාගේ තිබුණු උනන්දුව අඩු වෙලා තිබුණේ නැහැ. මගේ සහෝදරයාගේ දරුවෙක්ගේ සිතියම් පොතක පිටු පෙරළමින් ඔහු වැඩිදුර තොරතුරු හොයන්න පටන් ගත්තා. එහෙම කරන ගමන් දරුවා හදිසියේම මගෙන් ප්‍රශ්නයක් ඇහැව්වා.

"හරි වචනය ඌවද නැත්නම් ඌවද?"

ප්‍රශ්නය ටිකක් අවුල් වගේ නේද? මේ ප්‍රශ්නයේ "ඌව" කියා ලියා තිබෙන තැන් දෙකේදීම අදාළ වචනයෙන් දරුවා අදහස් කළේ ඒ නමින් හැඳින්වෙන ලංකාවේ පළාත මිසක් "ඌව කාලෙකින් හම්බ වුනේ!" වගේ තැනකදී අදහස් කෙරෙන වෙනත් තේරුමක් නෙමෙයි.

දරුවා අහපු ප්‍රශ්නය කුමක්ද කියා සිංහල අකුරෙන් ලියන්න බැහැ. එය ඉංග්‍රීසි අකුරු කලවමක් එක්ක ලිවුවොත් දරුවාගේ ප්‍රශ්නය වුනේ කුමක්ද කියන එක පැහැදිලි වෙයි.

"හරි වචනය Uvaද නැත්නම් Uwaද?"

මාර්ග චාරිකාවේ යෙදෙද්දී දරුවා අතේ තිබුණු සිතියම අනුව පළාතේ නම Uva. නමුත්, මගේ සහෝදරයාගේ දරුවාගේ සිතියම් පොත අනුව එය Uwa.

ලංකාවේ ඉපදිලා හැදී වැඩුණු, පළමු භාෂාව සිංහල වූ අයෙකුට ඔතන ප්‍රශ්නයක් නැහැ. ඕක Uva වුනත් Uwa වුනත් ඒ දෙකේ වෙනස ලංකාවේ ගොඩක් අය සංවේදී කරුණක් නෙමෙයි. "විජය" වගේ නම් ඉංග්‍රීසියෙන් ලියද්දී "V" වගේම "W"ත් හරි හරියට යෙදෙනවා. පළමු භාෂාව සිංහල වූ බොහෝ දෙනෙක්ට තේරෙන විදිහට ඉංග්‍රීසි හෝඩියේ ඔය අකුරු දෙකෙන්ම අදහස් වෙන්නේ "ව" ශබ්දයයි.

නමුත්, ඇත්තටම ඉංග්‍රීසි භාෂාවේ "V" හා "W" අකුරු දෙකෙන් අදහස් වෙන්නේ බොහෝ වෙනස් ශබ්ද දෙකක්. සිංහල "ව" ශබ්දය ඉංග්‍රීසි භාෂාවේ "V" හෝ "W" ශබ්ද දෙකෙන් එකකටවත් හරියටම සමාන නැහැ.  "V" හෝ "W" ශබ්ද දෙකෙන් එකකටවත් හරියටම හරියන සිංහල ශබ්දයක් හෝ සිංහල "ව" ශබ්දයට හරියටම හරියන ඉංග්‍රීසි ශබ්දයක් නැති නිසාත්, "V" හා "W" ශබ්ද සිංහල "ව" ශබ්දයට යම් තරමකින් සමාන නිසාත් අපි ඔය ශබ්ද දෙකම සිංහල "ව" ශබ්දයට සමාන සේ සලකනවා. සිංහල නම් ඉංග්‍රීසියෙන් ලියද්දී ඔය ඉංග්‍රීසි අකුරු දෙකෙන් කොයි එක යොදාගත්තත් අපට ප්‍රශ්නයක් නැහැ.

අපට මෙය ප්‍රශ්නයක් නොවූවත්, මගේ දරුවා වගේ පළමු බස ඉංග්‍රීසි වූ අයෙකුට මෙහි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දරුවාට තේරෙන විදිහට, Uva හා Uwa කියන්නේ වෙනස්ම වචන දෙකක්. හරියට පහළින් තියෙන වචන වගේ.

wet, vet

west, vest

wine, vine

worse, verse

went, vent

whale, veil

wane, vein

wiser, visor

while, vile

wheel, veal

why, vie

wiper, viper

wary, vary

weir, veer

weird, veered

we, V

දැන් ඔය උඩින් තිබෙන එකිනෙකට වෙනස් තේරුම් තිබෙන හා එකිනෙකට වෙනස්ව ශබ්ද වෙන ඉංග්‍රීසි වචන ඉංග්‍රීසි උච්ඡාරණය පිළිබඳ විශේෂ පුහුණුවක් නැති, මුල් බස සිංහල වූ බොහෝ දෙනෙක් උච්ඡාරණය කරන්නේ එක විදිහටයි. ලාංකිකයින් දෙන්නෙක් ඉංග්‍රීසියෙන් කතා කරද්දී ඕකේ අවුලකුත් නැහැ. මේ කියන්නේ මොකක්ද කියන එක අපට තේරෙනවා. නමුත්, මුල් බස ඉංග්‍රීසි වූ අයෙකුට මේ වචන පටලවා උච්චාරණය කෙරෙන විට සෑහෙන්න අවුල්.

මේ ප්‍රශ්නය එක් භාෂාවක් ඇසුරෙන් දෙවන භාෂාවක් ඉගෙන ගැනීමේදී ඇති වන ප්‍රශ්න ගණනාවක් අතරින් එකක් පමණයි. භාෂා වල අකුරු පරිණාමය වෙලා තියන්නේ අදාළ භාෂා වල මුල් වචන වල ශබ්ද නිරූපණය කිරීම පිණිසයි. නමුත්, වචන වල යොදා ගැනෙන ශබ්ද භාෂාවෙන් භාෂාවට වෙනස්. උදාහරණයක් විදිහට ඉංග්‍රීසි R ශබ්දය සිංහල ර ශබ්දයට හරියටම සමාන නැහැ. ඉංග්‍රීසි R ශබ්දය සිංහල ර ශබ්දයට වඩා මෘදු ශබ්දයක්. ස්පාඤ්ඤ R ශබ්දය ඉංග්‍රීසි R ශබ්දයට වඩා සිංහල ර ශබ්දයට සමීපයි.

අප අපේ මුල් බස ඉගෙන ගන්නේ වැඩි ආයාසයක් දරමින් නෙවෙයි. එය උපතින් පසුව අප ලෝකය හඳුනාගැනීමට සමගාමීව සිදුවන දෙයක්. මෙය මම සහ ලෝකය නිර්මාණය කර ගැනීමේ කොටසක් කියා කියන්නත් පුළුවන්. නමුත්, දෙවන බසක් ඉගෙන ගැනීම සිදුවන්නේ වෙනස් පසුබිමකයි. එය අප ඒ වන විට හදාගෙන තිබෙන ලෝකය ඇතුළේ සිට කරන වැඩක්. බොහෝ විට  අප දෙවන බසක් ඉගෙන ගන්නේ ඒ වන විට ඉගෙනගෙන තිබෙන මුල් බසට සාපේක්ෂවයි. ඒ නිසා සිංහලයෙක් ඉංග්‍රීසි ඉගෙන ගන්න මුල් කාලයේදී "මම ගෙදර යනවා" කියන එකේ පරිවර්තනය "අයි හෝම් ගෝ" කියා හිතෙන එකේ ලොකු අමුත්තක් නැහැ.

සිංහල භාෂාව මුල් බස වූ ගොඩක් අය ඉංග්‍රීසි ලියන්න ඉගෙන ගන්නෙත් ඔය විදිහටම තමයි. සිංහල නම් ගම් "හරියටම" ඉංග්‍රීසියෙන් ලියන්න පහසුවෙන් පුරුදු වුන අයෙක්ට ඉංග්‍රීසි වචන හරියටම ලියන එක ඒ තරම් පහසුවෙන් කරන්න බැහැ. ටේබල් යන්න ලිවිය යුත්තේ TEBAL ලෙස නොව TABLE ලෙස කියා දැන ගන්න බොහෝ විට අකුරු කටපාඩම් කරන්නම වෙනවා. නමුත්, ඉංග්‍රීසි භාෂාව මුල් බස වූ අයෙක්ට මේ ප්‍රශ්නය නැහැ. හැමවිටම නොවූවත් ඔවුන්ට බොහෝ විට කණට ඇහෙන ශබ්දය අනුව ඉංග්‍රීසි වචනයක් හරියට ලියන්න පුළුවන්. නමුත්, ඉංග්‍රීසි බස මුල් බස වූ අයෙක්ට සිංහල නමක් හෝ ගමක් සිංහලයින් ලියන විදිහට හරියටම ලියන එක පහසු වැඩක් නෙමෙයි. ඒ වගේම ඉංග්‍රීසි අකුරෙන් ලියා තිබෙන සිංහල නමක් හෝ ගමක නමක් කියවන එකත් එවැන්නෙකුට පහසු නැහැ.

මුල් බස ඉංග්‍රීසි වූ අයෙක් GAMAGE කියන එක ගැමේජ් කියා නොකියවා ගමගේ කියා කියවන්නනම් මේ නිවැරදි උච්ඡාරණය කලින් දැනගෙන ඉන්නම ඕනෑ. RASIKA කියන නම බොහෝ විට රැසිකා හෝ රැසයිකා කියා උච්ඡාරණය කරන්න ඉඩ තිබෙනවා. නමුත්, මෙතැන තියෙන්නේ අපි ඉංග්‍රීසියෙන් සිංහල නම් ගම් ලියන විදිහේ ප්‍රශ්නයක් මිසක් ඔවුන්ට කියවන්න බැරි වීමේ ප්‍රශ්නයක්ම නෙමෙයි. GAMAGE කියා නොලියා GUMMERGAY ලෙසත් RASIKA කියා නොලියා RUSICKER ලෙසත් ලිවුවොත් මුල්බස ඉංග්‍රීසි වූ අයෙක් මේ නම් වඩා නිවැරදිව උච්ඡාරණය කරන්න ඉඩ තියෙනවා.

මේ ලිපිය ලියන්න වස්තු බීජය වුණේ මේ දවස් වල නිතර කියැවෙන, තර්ජනී සිවලිංගම් ලෙස සිංහලෙන් ලියැවෙන නමයි. කොහොම වුනත් ලිපිය තවත් දික් නොකර සෙස්ස පස්සට ඉතිරි කරමු.

21 comments:

  1. ගොඩ දෙනෙක් දෙවන භාෂාවක වචන උච්චාරනය කරන්නෙ තමංගෙ මවු බාසාවට කට හුරු වෙලා තියෙන විදියට. දමිල පුද්ගලයෙක් සිංහල වචන කියන්න ගියත් වෙන්නෙ ඒ දේ. සිංහලෙන්ම කතාකරන අයෙකුට පැහැදිලිවම V සහ W දෙකේ උච්චාරන වෙනස කටින් පිටකරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මගේ දෙමල මිතුරෙක් කියපු දෙයක් මතක් උනා. ඔහු කියනවා ලංකාවෙ uncle ලා නෑ. ඒ නෑදෑයා සිංහල දරුවෙකුට අංකල් වන අතරෙ දෙමල දරුවෙකුට අංගල් වෙනවා. ඒ වචන දෙකම මුල් බස ඉංග්‍රීසි වූ දරුවෙකු ගේ වචනයට වඩා වෙනස්...

      Delete
    2. ඔබ හරි. ගොඩක් වචන ඔය වගේ තමයි. තවත් උදාහරණයක් ලෙස DOCTOR කියන ඉංග්‍රීසි වචනය ගත්තොත් සිංහල අය මේ වචනය ඩොක්ටර් ලෙසත් දෙමළ අය ඩාක්ටර් ලෙසත් උච්ඡාරණය කරනවා. දෙගොල්ලන්ටම තේරෙන්නේ අනිත් කණ්ඩායමට තමන්ට මෙන් හරියට ඉංග්‍රීසි උච්ඡාරණය කළ නොහැකි බවයි. නමුත් ඉංග්‍රීසි උච්ඡාරණය ඔය දෙකෙන් එකක්වත් නොවන නිසා ඔවුන්ට මේ දෙකම එක වගේ ආසන්න (එහෙත් එකිනෙකට වෙනස්) උච්ඡාරණ පමණයි.

      Delete
    3. ඔය අංගල් සීන් එක මම දෙමළ කෙනෙක්ගෙන් ඇහුව. එයා කිව්වේ දෙමළ අක්ෂර වින්‍යාසයට අනුව බිංදුවට පස්සෙ "ක" යන්න දාන්න බැරිලු. එකලු අංකල් වෙනුවට අංගල් කියල කියන්නෙ.

      Delete
  2. මාතෘකාව දැක්ක ගමන්ම මට හිතුනේ ඉකොනොට වැරදිලා කියලා.. කිව්වත් වගේ මටනම් ඔය අකුරු දෙකේ වෙනසක් ඇත්තෙම නෑ. මගේ මුල් වාසගම ලියද්දි ඔය 'ව' ශබ්ධය එන තැනට මම ඉංග්‍රීසි V අකුර යොදනවා. ඒ නිකම් මට හිතෙන නිසා මිසක් කවුරුවත් ඒ ශබ්ධයට අදාලා හරි අකුර V කියපු නිසා නොවෙයි.

    W හැදිලා තියෙන්නේ V අකුරු දෙකක් එකතු වෙලා නිසා එතනදි 'ව' ශබ්ධය ඩබල් වෙනව ද ? මටනම් නිකම් මංඥන් වගේ..

    මටනම් හිතෙන්නේ සිංහල අකුරු වලින් තරම් සාර්තකව ශබ්ධයක් ඉංඩ්‍රීසි අකුරු වලින් ලියන්න බෑ කියලයි..

    ReplyDelete
    Replies
    1. //මටනම් හිතෙන්නේ සිංහල අකුරු වලින් තරම් සාර්තකව ශබ්ධයක් ඉංඩ්‍රීසි අකුරු වලින් ලියන්න බෑ කියලයි..//
      මමත් සෑහෙන කාලයක් හිතාගෙන හිටියේ ඔහොම තමයි. මෙය වැරදි අදහසක් බව දැනගන්න කාලයක් ගියා. සිංහල අකුරු වලින් තරම් සාර්ථකව සිංහල ශබ්දයක් ඉංග්‍රීසි අකුරු වලින් ලියන්න බෑ ඒ වගේම, ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක ශබ්දයක් ඒ භාෂා සාමාන්‍යයෙන් ලියන අකුරු වලින් මෙන් සාර්ථකව සිංහලෙන් ලියන්නත් බැහැ.

      Delete
    2. //W හැදිලා තියෙන්නේ V අකුරු දෙකක් එකතු වෙලා නිසා එතනදි 'ව' ශබ්ධය ඩබල් වෙනව ද ? මටනම් නිකම් මංඥන් වගේ..//
      W හැදිලා තියෙන්නේ U අකුරු දෙකක් එකතු වෙලා කියා සිතීම වඩා නිවැරදියි- "ඩබල් යූ". W නිවැරදිව උච්ඡාරණය කරන්නේ U වගේම තොල් උල් කරලා.

      Delete
    3. මට හිතෙන්නෙ මෙහෙමයි, W ශබ්දය උච්චාරණය කරද්දි හල් වයන්නේ ශබ්දය ප්‍රමුඛ කරන්න ඕනි. V ශබ්දය උච්චාරණය කරද්දි සාමාන්‍ය වයන්න ප්‍රමුඛ වෙන්න ඕනි.
      මට මතකයි එකපාරක් නලින් ද සිල්වා මහතා කිව්ව අපි කොච්චර කරත් ඉංග්‍රීසි උච්චාරණය හරියට කරන්න බෑ කියල.

      Delete
  3. ඔය ප්‍රශ්නය ලංකාවේදි ලංකාවේ කෙනෙකුට වැඩිය බරපතලව දැනෙන්නේ නෑ. ඉකොනෝ අන්තිමට කිව්ව විදියට උච්චාරණය පෙනෙන් විදියට ලියනවනං ඒක කලින් නොදන්නා කෙනෙකුට පහසුවක් වේවි. එතකොට Ekonomattaද Economattaද හරි?? හැක්

    ReplyDelete
    Replies
    1. ශබ්ද වෙන ආකාරය අනුව Economatta හරි කියා කියන්න පුළුවන්. දළ රීතියක් ලෙස a,o,u ස්වර වලට පෙර ක ශබ්දය ආවොත් සාමාන්‍යයෙන් යෙදෙන්නේ c. නමුත්, i, e, y ස්වර වලට පෙර ක ශබ්දය ආවොත් සාමාන්‍යයෙන් යෙදෙන්නේ k. මේ දෙවනු කී අවස්ථා වල k නොදා c යෙදුනොත් ශබ්ද වෙන්නේ ක ලෙස නොව ස ලෙසයි.

      Delete
  4. දර්ශනී සිවලිංගම්, "තර්ජනී" සිවලිංගම් බවට පත් කිරීම සම්බන්ධව සිංහල "දෙමළ ප්‍රේමින්" නිහඬ වතක් අනුගමනය කිරීමයි මටනම් ඇති ලොකුම අවුල.

    මා දකින ආකාරයට මෙය මේ සිංහල රටේ දෙමළුන්ට දෙමළ වීම නිසාම සිදුව ඇති අසාධාරණයකට ඉතා හොඳ උදාහරණයක්. එය ආචාර්‍ය නලින් ද සිල්වා අවුරුදු 30ක් තිස්සේ අසන තවමත් කිසිවෙක් පිළිතුරු දී නැතැයි කියන ප්‍රශ්නයට ද පැහැදිළි උත්තරයක්.

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි එයාගෙ නම දර්ශණී ද එතකොට? මම ඒත් කල්පනා කළා ඇයි ඒ තර්ජනී වගේ අමුතු නමක් දාලා තියෙන්නේ කියලා..

      Delete
    2. කතා කතු ලියා ඇති දේ මට කියන්න අවශ්‍ය දෙයට ගොඩක් කිට්ටුයි.

      Delete
  5. මටත් ඔය පර්ශ්නය හරියට බලපානවා. මගේ පුතා English Medium ඉගන ගන්නේ. ගෙදරට call කරාම අච්චි සිය කියන දේවල් English වලට Translate කරලා මට එපා වෙලා තියන්නේ.
    අච්චි.. සිය.. ගෙන් අහගන්න සිංහල කදන්දර ඒවිදියටම රසවත් විදියට මට English තේරුම හොයන්න පුදුම වෙහෙසක් දරන්න වෙනවා.
    මෙය ලගදි අපේ පොඩ්ඩට මගේ පිය (සියා) නුවර පෙරහැර ගැන කියල(Next Time නුවර පෙරහැර තියන කලට ලංකාවට යන්න වෙනවා)
    තියන ලොකුම පර්ශ්නය එක නෙමේ පෙරහැර ගිහාම වහිනවා කියල අපේ තාත්ත පොරට කියල පොඩ්ඩට ඕක තමා තෙරන්නේ නැ....

    ReplyDelete
    Replies
    1. //අච්චි.. සිය.. ගෙන් අහගන්න සිංහල කදන්දර ඒවිදියටම රසවත් විදියට මට English තේරුම හොයන්න පුදුම වෙහෙසක් දරන්න වෙනවා.//
      මෙය ලේසි වැඩක් නෙමෙයි.

      Delete
  6. V අකුර වයන්නට බයන්න කලවන් වෙන සද්දයක් තියෙන්නේ. ඕක ලතින් වලින් එන කෙස් එකක් මහිතේ. ඉන්ග්ලිෂ් V අකුර වයන්න ඌරුවක් ගත්තට අනිත් යුරෝපියන් භාෂා වල බයන්න ප්‍රබලයි මහිතේ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. බ ශබ්ද වෙන්නේ තොල් ආශ්‍රිතව. V ශබ්ද වෙන්නේ දත් හා තොල් ආශ්‍රිතව. ඒ වගේම, විවිධ යුරෝපීය භාෂාවල මේ එකම අකුර ශබ්ද වෙන්නේ සමානව නෙමෙයි.

      Delete
    2. ඇරබික් අය P අකුර ශබ්ධ කරන්නේ "බ" කියලා..

      Please - බ්ලීස්
      Port - බෝර්ට්

      Delete
  7. https://www.youtube.com/watch?v=WiMuhg7U8-Q
    මේ ගිතයේ
    නාර්ද ජලාරා ජිතම් ජිමා ජතුරු දා අස්පෙ රෝ රෝ රෝ යා රෝ
    කෑල්ලේ තේරුම දන්න කෙනෙක් ඉන්නවද?
    රූපවාහිනී වැඩසටහනකදී සමන්ද සිල්වා කිව්වා ඕක ස්පාඤ්ඤ වාක්‍යයක් කියලා.

    ReplyDelete
  8. ඉකො ඔයා ඇමෙරිකා ඉදල ලංකාවට අපුවෙලව ලංකාවේ බඩුමිල And ඇමෙරිකා බඩුමිල ගැන හොද අවබෝදයක් එන්න ඇති. ඒ ගැන හොද comparison post එකක් දාන්න පුළුවන් ද? සමන්නයන් Avg family එකක් ගැන හිතල ලියන්න පුළුවන් නම් හොද...මොකද මට හිතන්නේ ලංකාවේ බඩු මිල වැඩි වගේ.
    shampoo & conditioner, baby creams & items , fuel prices, cheese, butter ,milk ... මේ ඔක්කොම බැලුවම ලංකාවේ එළවලු මිල සහ සහල් මිල පමණි අඩු...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: