වෙබ් ලිපිනය:

Saturday, September 15, 2018

බුක් චැලේන්ජ්


මේ දවස් වල ෆේස්බුක් එකේ බුක් චැලේන්ජ් කියල එකක් තියෙනවනේ. අද මගේ දිගුකාලීන මිතුරියක් මේ වැඩේට මාවත් නම් කරලා තිබුණා. බැලූ බැල්මටම බොහොම අහිංසක කටයුත්තක් වගේ පෙනුණත් මේ කටයුත්ත ඇතුළේ නොදැනීම වාගේ සිදුවන්නේ ලංකාවේ විශාල පිරිසක් අපහසුතාවයට පත් කරන පිරමිඩ් ආකෘතියේ වැඩක්. එයින් කිසිවකු මුදල් උපයනවාද නැද්ද යන්න වැදගත් කරුණක් නෙමෙයි. මගේ මිතුරියට මා කාරුණිකව දැනුම් දුන්නේ මේ කටයුත්තට දායක වෙන්න මා සූදානම් නැති බවයි.

මොකක්ද මේ බුක් චැලේන්ජ් එක? මේකෙදී කරන්න තියෙන්නේ තමන් කියවා තිබෙන පොතක කවරය දිනපතා දින හතක් එක දිගට වත්පොතේ පළකරන අතරම තවත් කාව හරි අයෙක්ව දිනපතාම මේ වැඩේට එකතු කර ගන්න එකයි. මේ විදිහට එකතු කරගන්න සියලුම අයත් මේ වැඩේ කළොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද?

වැඩේ පටන් ගන්නා පළමු දවසේ අලුතෙන් එක් කෙනෙක් එකතු වෙනවා. දෙවන දවසේ දෙන්නයි. ඇයි අලුත් අයව නම් කරන්න දෙන්නෙක්ම ඉන්නවනේ. තුන්වන දවසේ මේ හතර දෙනා තවත් හතර දෙනෙක්ව නම් කරනවා. එතකොට අටයි. ඔයාකාරයට ගිහින් සතියක් ඉවර වෙන දවසේ 128 දෙනෙක් වැඩේට එකතු වෙලා.

අටවෙනි දවස වෙද්දී වැඩේ පටන්ගත් කෙනා මේ කටයුත්තෙන් ඉවත් වෙලා. ඒ නිසා, අලුත් අය නම් කරන්න ඉන්නේ 128 - 1 = 127 දෙනෙක් පමණයි. ඒ වගේම, නවවන දවස වෙද්දී දෙන්නෙක් ඉවත් වෙලා. මේ විදිහට දවස් හතකින් පසුව ඉවත් වීමත් සලකා පළමු සතියෙන් පසුව දිනපතා වැඩේට මේ විදිහට දායක වී සිටින ප්‍රමාණය අපට මේ විදිහට ලියන්න පුළුවන්.

N  = 2^T - 2^(T-7)

මෙහි T කියන්නේ ආරම්භයේ සිට ගත වී තිබෙන දින ගණන. සති තුනක් යද්දී ගණන මිලියන 2 පැනලා. ලංකාවේ ෆේස්බුක් ගිණුම් තියෙන්නේ මිලියන 1.2ක් පමණයි. මාසයක් (දවස් 31ක්) යද්දී ගාණ ලෝකයේම තිබෙන ෆේස්බුක් ගිණුම් ගණන වන බිලියන 2.3ට කිට්ටු කරලා. කොහොමද සෙල්ලම?

මේ වැඩේට සම්බන්ධ වන සෑම දෙනෙක්ම පොත් කවර හතක රූප උඩුගත කළ යුතුයි. ඔය වැඩේට සෑහෙන ඩේටා ප්‍රමාණයක් අවශ්‍යයි. ඉන් පසුව, ඒ අයගේ යාලු මිත්‍රයින් ෆේස් බුක් යද්දී ඔය රූප ලෝඩ් වෙන්න ඕනෑ. ලංකාවේ කෙනෙක්ට ඉන්ටනෙට් ඩේටා කියන්නේ බොහොම වටින, දුර්ලභ හා මිල අධික දෙයක්. ඔය වගේ රැළි හැදුණා කියා ලංකාවේ අන්තර්ජාල සේවා සපයන සමාගම් සතු ධාරිතාව ඉහළ යන්නේ නැහැ. තියෙන ධාරිතාව බෙදී යාම විතරයි වෙන්නේ.

දැන් ඔය වගේ රැල්ලක් දිගටම ගියොත් අන්තිම ප්‍රතිඵලය වන්නේ මොකක්ද? හදිසියකට අධ්‍යයන කටයුත්තකට අන්තර්ජාලයට යන පාසැල් සිසුවෙක්ට එහෙමත් නැත්නම් වෛද්‍යවරයෙක්ව චැනල් කරන්න උත්සාහ කරන කෙනෙක්ට ඒ වැඩේ කර ගැනීම වඩා වඩා අපහසු වීම පමණයි.

පොත් ගැන කතා කිරීම සුන්දර හා ප්‍රයෝජනවත් වැඩක්. අවුල තියෙන්නේ පොත් ගැන කතා කිරීමේ නෙමෙයි. මෙය සිදුවන පිරමිඩ් ආකෘතියේ.

8 comments:

  1. ඔය කිව්වට ඔය නම් කරන අයගෙන් කීයෙන් කීයද පොත් කවර දාන්නේ.. ලංකාවෙ ජනගහනයෙන් poth කියවන අය කී දෙනාද ඉන්නෙ? ලංකාවටනම් ඕකෙන් බලපෑමක් වෙයි කියලා හිතන්නම බෑ.

    ReplyDelete
    Replies
    1. පිරමිඩ් එකක් වෙන්න අඩුම වශයෙන් නම් කරන හත් දෙනාගෙන් එක් අයෙකුට වඩා මෙය ඉදිරියට ගෙන යාම ප්‍රමාණවත්. නමුත්, පිරමිඩ් වැඩි දුරක් ඉදිරියට යන්නේ නැහැ. දිගින් දිගට යද්දී අලුත් අය හොයා ගැනීම වඩා වඩා අසීරු වන නිසා යම් දුරක් යද්දී කඩා වැටෙනවා. ඒ නිසා ඔය වගේ රැළි බොහෝවිට ලොකු බලපෑමක් වෙන්න කලින් බිඳ වැටෙනවා.

      Delete
  2. මම නම් කරපු අයගෙන් එක්කෙනයි හරියට කරේ. මාව නම් කරපු පැතුමටත් උනේ ඒක. අන්න ඒ නිසා අපි තීරණය කලා ඒක ගේන්න. එත⁣කොට බුකි යෙ හිටියත් නැතත් තමන් කැමති පොත් හතක් විස්තර ඇතුවම දාන්න පුලුවන් නිසා. ොකද කියන්නෙ ඉකොත් ජාවාරමට එකතු වෙනවද??

    ReplyDelete
  3. අපොයි බය වෙන්න දෙයක් නෑ ඉකෝන්...ඔය කියන විදිහට ඔය වැඩේ කෙරෙන්නෙ නෑ.මම නම් කරපු හත්දෙනාගෙන් තුන්දෙනයි වැඩේ ඉස්සරහට අරංගියේ...:)

    ReplyDelete
    Replies
    1. එහෙනම් බය වෙන්න දෙයක් නෑ! :) (මාව නම් කරපු යෙහෙළියගේ පිළිතුර වුනෙත් ඕකමයි!).

      Delete
  4. අන්න මම ඕකට සම්බන්ධ වෙච්ච නැති එකට සාධාරණ හේතුවක්. හැක්..

    ReplyDelete
  5. අපි නොහිතන පැත්තක් එක.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: