ප්‍රශ්නයේ මුල තියෙන්නේ ලංකාවේ ඉන්ධන වෙළඳපොළේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට තිබෙන ඒකාධිකාරය. කාට හරි කියන්න පුළුවන් ඉන්දියන් තෙල් සමාගමත් ඉන්න නිසා දැන් එහෙම ඒකාධිකාරයක් නැති බව. ඇත්ත. ඉන්දියන් තෙල් සමාගමේ සම්ප්‍රාප්තිය ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඒකාධිකාරයට සෑහෙන බලපෑමක් කළා තමයි. නමුත්, තවමත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ලංකාවේ ඉන්ධන වෙළඳපොළේ සෑහෙන තරමේ ඒකාධිකාරී බලයක් තියෙනවා.
මේ වන විට (සැප්තැම්බර් 21) ඇමරිකාවේ පැට්‍රෝල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 2.852ක්. ඇමරිකාවේ ඉන්ධන වලට ලංකාවේ වගේ නිශ්චිත මිලක් නැහැ. පාරේ අනිත් පැත්තේ හෝ අල්ලපු වැටේ මිල අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මිල විශාල ලෙස අඩු වැඩි වෙනවා. මෙහි සඳහන් කළේ ඒ ගණන් වල සාමාන්‍ය අගය. මේ එක් වෙළඳසැලක් ගත්තත් දිනපතාම මිල උච්ඡාවචනය වෙනවා.
අද ඩොලර් එකක මැදි මිල (ගැනුම් මිලේ හා විකුණුම් මිළේ සාමාන්‍යය) රුපියල් 168.72ක්. ඒ අනුව, ඇමරිකාවේ පැට්‍රෝල් ගැලුමක සාමාන්‍ය මිල ලංකාවේ රුපියල් වලින් 481.19ක්. ඇමරිකන් ගැලුමකට ලීටර 3.78541ක් තියෙනවා. ඒ කියන්නේ ඇමරිකාවේ පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් 127.12ක් වෙනවා. ලංකාවේ පැට්‍රෝල් ලීටරයක මිල මේ වන විට රුපියල් 149ක්. රුපියල් 22ක් පමණ වැඩියි.
ඩොලර් එකේ මැදි මිල 197.76ක් වුනොත් ඇමරිකාවේ හා ලංකාවේ පැට්‍රෝල් ලීටරයක මිල සමාන වෙනවා. නමුත්, රුපියල මේ යන ගැම්මටම ඒ තරමට අවප්‍රමාණය වෙයි කියා හිතන්න අමාරුයි. බොහෝ විට තව ටිකක් වැඩි වෙලා ස්ථාවර වෙයි. එහෙම නොවුණොත් මහ බැංකුව මොනව හරි සෙල්ලමක් දාල රුපියල අවප්‍රමාණය වෙන එක සීමා කරන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා, ලංකාවේ පැට්‍රෝල් ලීටරයක මිල ඇමරිකාවේ මිලට වඩා ඉහළින් තව ටිකක් කල් තියෙයි.
ලංකාවේ ඉන්ධන මිල තීරණය වෙන්නේ කාගේ හෝ පුද්ගලයෙකුගේ නැත්නම් කණ්ඩායමකගේ හිතුමනාපයට කියන එක කවුරුත් දන්න දෙයක්නේ. කාලෙන් කාලෙට මිල සූත්‍ර කතාත් ඇහෙනවා.
ඇමරිකාවේ මිල එක්ක සංසන්දනය කළොත් ලංකාවේ පැට්‍රෝල් මිල තව ටිකක් අඩු වෙන්න ඕනෑ. ඒ වුනත්. මගේ පෞද්ගලික අදහස ලංකාවේ පැට්‍රෝල් මිල තව ටිකක් ඉහළින් තිබුණත් ප්‍රශ්නයක් නෑ කියන එකයි. මම එහෙම කියන්නේ හේතු ඇතුවයි.
ඇමරිකාවේ පැට්‍රෝල් මිල ලංකාවේ මිලට වඩා අඩු වුවත් ඇමරිකාවේ ඉන්ධන විකුණන සමාගම් මේ වැඩෙන් පාඩු ලබන්නේ නැහැ. ඔවුන් මේ වගේ අඩු මිලකට ඉන්ධන විකුණන අතරේම සැලකිය යුතු ලාබයකුත් උපයනවා. ඒ එම සමාගම් වල කාර්යක්ෂමතාවය තුළින්. ඒ නිසා, එවැනි සමාගමක කොටස් හිමියන්ටත් සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබන්න අමාරුවක් නැහැ.
ලංකාවේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යක්ෂමතාවය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ලංකාවේ පැට්‍රෝල් මිල ඇමරිකාවේ මිලට වඩා වැඩි වුණත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දුවන්නේ පාඩු පිටයි. පාඩුවක් තියෙන තැනක පාඩුවට කරගහන කවුරු හෝ ඉන්නත් ඕනෑනේ. මේ පාඩුව අවසාන වශයෙන් දරන්නේ රටේ බදු ගෙවන ජනතාවයි.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. නමුත්, එය සිදුවන තුරු එම සංස්ථාව ලබන අලාබ වෙනත් අය මත පටවනවාට වඩා ඉන්ධන මිල ඉහළ දමා පාඩු පියවා ගැනීම සුදුසු බවයි මම හිතන්නේ. ඒ වගේම ඉන්දියානු තෙල් සමාගම ලංකාවේ වෙළඳපොළට පැමිණෙන්න පෙර කාලයට සාපේක්ෂව ඉන්පසු කාලයේදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යක්ෂමතාවය සැලකිය යුතු තරමින් ඉහළ ගිය බවත් නොකියාම බැහැ.
ඔය කියන පෙර කාලයේදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල නියම කළේ විශාල ලාභ ආන්තිකයක් තබාගෙනයි. නමුත්, ඒ ලාබ ආන්තිකයේ ප්‍රයෝජන රටේ ජනතාවට ලැබුණේ නැහැ. තබාගත් ඉහළ ලාභ ආන්තික නාස්ති කර දමමින් අකාර්යක්ෂමතාවය නඩත්තු කිරීම පමණයි සිදුවුණේ. අනූව දශකයේ මැද හරියේදී තමයි තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවය වාර්තා තබපු කාලය.
ඉන්දියානු තෙල් සමාගම පැමිණියාට පසුව තෙල් සංස්ථාව කිසියම් අර්බුදයකට ගියා කියන්න පුළුවන්. තෙල් සංස්ථාව තමන්ගේ තිබුණු අකාර්යක්ෂමතාවයන් එක්ක පාඩු නොලබන්නනම් කලින් වගේම ඉහළ ලාබ ආන්තිකයක් තබාගෙන මිල නියම කළ යුතුව තිබුණා. එහෙම කළානම් ඒ මිලටම විකුණා ඉන්දියානු තෙල් සමාගම දැවැන්ත ලාබයක් ලබනවා. එවිට තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවය කැපී පෙනෙනවා.
ඉන්දියානු තෙල් සමාගම පැමිණියාට පසුව ලංකාවේ ඉන්ධන මිල නියම කෙරුණේ කලින් යුගයට සාපේක්ෂව සැලකිය යුතු තරම් පහළිනුයි. එසේ කිරීමෙන් ඉන්දියානු තෙල් සමාගමේ ලාබ සීමා කරන්න හැකි වුනත්, ඔවුන් තව දුරටත් සැලකිය යුතු ලාබයක් ලැබුවා. අනෙක් අතට, තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන තැනකට වැටුණා.
පසුකාලීනව ලංකාවේ ආණ්ඩු තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබද්දී තෙල් මිල පහළින් තබාගත්තා. මේ හරහා රටේ උද්ධමනය කෘතීම ලෙස පාලනය කරන්න පුළුවන් වුණා. ඒ එක්කම ලංකාවේ දේශපාලන බලය තීරණය කරන මධ්‍යම පාංතික සමාජ ස්ථරය සතුටු කරන්නත් පුළුවන් වුණා. පහුගිය ආණ්ඩුව විසින් පටන්ගත් මේ වැඩේ මේ ආණ්ඩුව විසිනුත් දිගටම කරගෙන යනවා.
තෙල් මිල පහළින් තබාගැනීමේ දිගුකාලීන අවාසි ගණනාවක්ම තිබෙනවා. එයින් ප්‍රධාන අවාසිය ඉන්ධන ඉල්ලුම ඕනෑවට වඩා වැඩි වී ගෙවුම් ශේෂය මත පීඩනය ඉහළ යාමයි.
අද (සැප්තැම්බර් 21) වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 74.69ක්. මේ බ්‍රෙන්ට් හා WTI මිල ගණන් වල සාමාන්‍ය අගය. ඩොලරයක මැදි මිල රුපියල් 168.72ක්. ඒ අනුව, බොරතෙල් බැරලයක් රුපියල් වලින් 12,602ක් වෙනවා. 1990 අවසානයේදී මේ මිල රුපියල් 970ක් පමණයි. ඒ අනුව, බොරතෙල් බැරලයක මිල රුපියල් වලින් ගත්තහම 13 ගුණයකින් වැඩි වී තිබෙනවා. නමුත්, මේ කාලය තුළ ලංකාවේ පැට්‍රෝල් මිල වැඩි වී තිබෙන්නේ රුපියල් 30 සිට 149 දක්වා 5 ගුණයකින් පමණයි. 1990 මිල සූත්‍රය අනුව බැලුවොත් අද වන විට පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් 390ක් විය යුතුයි.
ඒ තරම් ඈත කාලයකට යන්නේ නැතුව 2005 වගේ අවුරුද්දකට ගියොත් බොරතෙල් බැරලයක මිල රුපියල් වලින් 2.25 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ වන විට තිබුණු මිල සූත්‍රය අනුව බැලුවොත් අද වන විට පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් 178ක් විය යුතුයි.
මේ ගණන් හැදීමේදී වෙනත් දේශීය සාධක වල බලපෑම සලකා නැහැ. පැට්‍රෝල් මිල මත බලපාන අනෙකුත් දේශීය වියදම් පිළිබඳ තොරතුරු සොයාගැනීම අපහසුයි.
" ඒ කියන්නේ ඇමරිකාවේ පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් 127.12ක් වෙනවා. ලංකාවේ පැට්‍රෝල් ලීටරයක මිල මේ වන විට රුපියල් 137ක්. රුපියල් දහයක් පමණ වැඩියි. "
ReplyDelete137ට පෙට්‍රල් තියෙන්නේ සිරිකොතේද
සමාවෙන්න, ඇනෝ! ටිකක් කලින් ලියූ ලිපියක් එඩිට් කර පළ කිරීමේදී සිදුවූ අතපසු වීමක්. මෙය නිවැරදි කළා. ඔබට බොහොම ස්තුතියි!
DeleteIf you compare the price of a leter of petrol, you must compare the Avarage income of a so called middle class person of these two countrcoun.
DeleteAnd you suggest that the fuel price in SL should further go up
Then what about the standard of living. People here should not live their lives.
Your this letter is not a balanced view as i see
http://ceypetco.gov.lk/marketing-sales/
ReplyDeleteමෙය නිවැරදි කළා. ඔබට බොහොම ස්තුතියි!
Deleteමිල සූත්‍රය ගැන රජයේ ඉහල නිලදරුවෙක් මා සමග පැවසුවේ තවම එය ඉතා ප්‍රාථමික මට්ටමක සමීකරණයක් බවයි. එහි නිරවද්‍යතාව පිලිබද සැක ඇති නිසා ප්‍රසිද්ධ නොකරන බවයි පැවසුනේ.
ReplyDeleteමෙහි තිබෙන ප්‍රශ්නය වන්නේ සූත්‍රයේ නිරවද්‍යතාවය මනින නිර්ණායකය (බෙන්ච්මාක් එක) කුමක්ද කියන එකයි. වෙළඳපොළ යාන්ත්‍රණය තුළ අපූරුවට ස්වයංක්‍රීයවම සිදුවන දෙයක් වඩා හොඳින් කරන්න පුළුවන්යැයි සිතමින් රජයයන් විසින් අතට ගත් විට ඔය වගේ ගැටළු පැන නගිනවා. කොහොම වුනත් ඔය වැඩේ කරන එක මහා ලොකු දෙයක් නෙමෙයි. මම කරනවානම් කරන්නේ මේ විදිහටයි.
Delete1. විචල්‍ය පිරිවැය- ලෝක තෙල් මිල හා ඩොලරයේ අගය වැනි කරුණු මත රේඛීයව වෙනස් වන ශ්‍රිතයක්.
2. ස්ථිර පිරිවැය- ඇස්තමේන්තුගත ඉල්ලුම වැඩි වෙද්දී ක්‍රමයෙන් අඩුවන ශ්‍රිතයක්.
3. ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ- දැනට තෙල් සංස්ථාව සතු වත්කම් සියල්ලේ වටිනාකම, වත්කම් ක්ෂය වන වේගය ආදිය මත තීරණය වන පොලී අනුපාතික මත වෙනස් වන ශ්‍රිතයක්.
මෙය කරද්දී බදු ඉහළ දැමීම වෙනුවට තෙල් සංස්ථාවේ ලාභ ඉහළ දැමීමෙන් රජයේ ආදායම් වැඩි කරගැනීම ඉලක්කය කර ගත යුතුයි. ඒ වගේම, ඩීසල් මිල සුබසාධනය කරනවානම් අවශ්‍ය මුදල අයවැයෙන් රජය විසින් තෙල් සංස්ථාවට ලබා දිය යුතුයි. (ලාබ වලින් මේ මුදලත් ආවරණය විය යුතුයි.)
per L net profit 10% වඩා වැඩි නම් ඕන තෙල් විකුණන company එකකට Tax එකක් ගහන්න ඕන නැත්නම් ඔය කරන විදියට වැඩිපුර වාසිය යන්නනේ IOC එකට.
Deleteමොකද ceypetco එක නම් ලොවත් ගොඩයන තැනක් නෙමෛ privatize කරනකම්...
per L net profit 10% වඩා වැඩි නම් ඕන තෙල් විකුණන company එකකට Tax එකක් ගහන්න ඕන නැත්නම් ඔය කරන විදියට වැඩිපුර වාසිය යන්නනේ IOC එකට.
Deleteමොකද ceypetco එක නම් ලොවත් ගොඩයන තැනක් නෙමෛ privatize කරනකම්...
මමත් හිතනවා ඒ වගේ දෙයක් කළාට ප්‍රශ්නයක් නැහැ කියලා. නැත්නම් IOC එකට පැත්තක ඉඳලා අනවශ්‍ය වාසියක් ලැබෙනවා.
Delete//ඩොලර් එකේ මැදි මිල 197.76ක් වුනොත් ඇමරිකාවේ හා ලංකාවේ පැට්‍රෝල් ලීටරයක මිල සමාන වෙනවා.
ReplyDeletehow?
මෙයින් අදහස් කළේ වචනාර්ථයෙන් අදහස් වන දෙයම නෙමෙයි, ඇනෝ. දැන් ඔය සමහර අය ඇමරිකාවට වඩා ලංකාවේ තෙල් මිල වැඩි වීම හා ඩොලර් එක වැඩි වීම කියන කරුණු දෙකම එක ගොඩේ දාලා විවේචනය කරනවනේ. අද වන විට ඩොලරය රුපියල් 197.76ක්ව තිබුණානම් ඇමරිකාවේ පැට්‍රෝල් මිලත් ලංකාවේ රුපියල් වලින් බැලුවහම ලංකාවේ ගානම වෙනවා. තවත් උඩින් තිබුණානම් ලංකාවේ පැට්‍රෝල් ලාබයි.
Deleteඔබ අහන ප්‍රශ්නය මට තේරෙනවා. ඇත්තටම ඩොලර් එක රුපියල් 197.76ක් වුනොත් ලංකාවේ පැට්‍රෝල් මිල දැන් මට්ටමේම තියෙන්න ඉඩක් නැහැ. ඒ නිසා ඔහොම දෙයක් වෙන්නේ නැහැ. එය වෙන්නනම් ලංකාවේ තෙල් කර්මාන්තයේ කාර්යක්ෂමතාවය ඇමරිකාවේ තරමටම ඉහළ යා යුතුයි.