වෙබ් ලිපිනය:

Friday, September 14, 2018

පුට් පුට් වෙද්දී බට් බුට් නොවීම


සිංහල අක්ෂර මාලාව සාමාන්‍යයෙන් සැලකෙන්නේ ශබ්දරූපී අක්ෂර මාලාවක් විදිහටයි. ඒ කියන්නේ භාෂාව කතා කරද්දී ඇසෙන වෙන් වශයෙන් හඳුනාගත හැකි ශබ්ද එක් එක් අකුරෙන් නිශ්චිතව නිරූපණය වන බව හා ලිඛිත භාෂාවේ වචන ඒ වචන වල තිබෙන අක්ෂර වලට අදාළ ශබ්ද ඇසුරෙන් ඉතා පහසුවෙන් උච්චාරණය කළ හැකි බවයි. නමුත්, සිංහල අක්ෂර මාලාව පරිපූර්ණ ශබ්දරූපී අක්ෂර මාලාවක් කියා කිව නොහැකියි. ඉහත රීතිය බිඳෙන අවස්ථා ගණනාවක් භාෂාවේ තිබෙනවා.

සිංහල අක්ෂර මාලාවේ තිබෙන ප්‍රධානම අඩුවක් වන්නේ භාෂාවේ ඉතාම සුලභ ස්වර ශබ්ද දෙකක් වන සංවෘත අ සහ ආ ශබ්ද නිරූපණය කිරීමට අක්ෂර නොමැති වීමයි. ඒ නිසා, මේ ශබ්ද නිරූපණය කෙරෙන්නේත් විවෘත අ සහ ආ ශබ්ද කෙරෙන අක්ෂර වලින්මයි. උදාහරණයක් විදිහට "වැඩ කරල මහන්සිද?" යන්නේ තිබෙන "කරල" කියන අකුරු තුනේ වචනයත් "වී කරල" කියන තැනදී ඒ විදිහටම ලියන වචනයත් ශබ්ද වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාර වලටයි. පළමුවැන්නේ තිබෙන්නේ සංවෘත ක හා විවෘත ල ශබ්ද. දෙවැන්නේ තිබෙන්නේ විවෘත ක සහ සංවෘත ල ශබ්ද. "සල්ලි වලට කරපු වැඩ නිසා වලට වැටිල ඉන්නේ" කියද්දී එකම විදිහට ලියන "වලට" දෙකේ තිබෙන වයනු වලත් මේ වෙනස දකින්න පුළුවන්.

ඔය වගේ තවත් තැන් තිබෙනවා. ජනප්‍රිය, දේශප්‍රේමී, කාලක්‍රියා, අක්‍රිය වගේ වචන ශබ්ද වන ආකාරයට ලියනවානම් ලිවිය යුත්තේ ජනප්ප්‍රිය, දේශප්ප්‍රේමී, කාලක්ක්‍රියා, අක්ක්‍රිය ආදී වශයෙන් වුවත් ලිවීමේදී මැද තිබිය යුතු අල් අකුර අත හැරෙනවා. තන හා තණ කියන වචන අවශ්‍යනම් වෙනස් ලෙස උච්ඡාරණය කරන්න බැරිකමක් නැතත් සිංහලයින් එහෙම කරනවා කියා මම හිතන්නේ නැහැ. වෙනස් ලෙස උච්ඡාරණය කළත් ඒ වෙනසට අපි සංවේදීත් නැහැ. (එවැනි අය ටික දෙනෙක් ඉන්න පුළුවන්.) ඒ වගේම ප්‍රායෝගිකව මහාප්‍රාණ (මහප්ප්‍රාණ) අක්ෂර බොහොමයක් උච්ඡාරණය කෙරෙන්නේ අදාළ අල්පප්‍රාණ අක්ෂර උච්ඡාරණය කරන විදිහටමයි. උදාහරණයක් විදිහට ධනුෂ්ක වගේ නමක් ගොඩක් අය උච්ඡාරණය කරන්නේ දනුෂ්ක ලෙසයි.

සිංහලයින් උතුරු ඉන්දියානුවන් මෙන් මහාප්‍රාණ අක්ෂර බරට ශබ්ද නොකරන්නේ ඇයි කියන එක ගැන මගේ පැහැදිලි කිරීමක් තිබෙනවා. එය අපි පසුවට තියමු. දැනට කෙටියෙන් කියනවානම් මෙය සිංහල අනන්‍යතාවය බිහිවුණු කාලයේ සිට පවතින තත්ත්වයක් මිස පසුකාලීනව සිදුවුණු වෙනසක් නොවෙන්න පුළුවන්. "ඔය මහප්පරාන අපිට තේරෙන්නේ නෑ" කියන ගැමියෝ තාමත් ඇති.

ඉහත කී ආකාරයේ ව්‍යතිරේඛ ගණනාවක් තිබුණත් සිංහල ලිවීම හා කියැවීම බොහෝ දුරකට අක්ෂරරූපී පදනමකින් කළ හැකියි. ඉංග්‍රීසි භාෂාව එසේ නැහැ. ඉංග්‍රීසි ලියන හා කියවන ආකාරයේත් නිශ්චිත රීති ගණනාවක් තිබුණත් සිංහල වලට සාපේක්ෂව ඉංග්‍රීසි භාෂාවේ ව්‍යතිරේඛ ගොඩක් වැඩියි. BUT හා PUT වචන වල U ශබ්ද වෙනස් ලෙස උච්ඡාරණය කෙරෙන්නේ ඇයි කියා පහසුවෙන් පැහැදිලි කරන්න අමාරුයි.

ඉංග්‍රීසි භාෂාවේ ස්වර අඩුම වශයෙන් පහළොවක්වත් තිබෙන නමුත් ස්වරාක්ෂර තිබෙන්නේ පහක් පමණයි. මේ ස්වර වලින් වැඩි ප්‍රමාණයක් සිංහල භාෂාවේ නැති නිසා සිංහලයින්ට ඉංග්‍රීසි වචන බොහොමයක් නිවැරදිව උච්ඡාරණය කරන්න අමාරුයි. ඉංග්‍රීසි කතා කරන රටක පදිංචියට ඇවිත් ජීවිත කාලයම ගත කරලා මැරිල ගියත් ගොඩක් අයට තමන්ගේ උච්ඡාරණය නිවැරදි කරගන්නවා තබා එහි තිබෙන අඩුපාඩුව තේරුම් ගන්නවත් හැකියාවක් නැහැ. එයට හේතුව සිංහල වගේ සෑහෙන තරමින් ශබ්දරූපී භාෂාවක් මවුබස වූ අයෙක් ස්වර හා ස්වරාක්ෂර අතර වෙනසට පවා සංවේදී නොවීමයි. මගේ පෞද්ගලික අත්දැකීම් අනුව, මේ අඩුපාඩුව "විද්‍යාත්මක ක්‍රමයකට" හඳුනාගෙන වැරැද්ද හදාගන්න උත්සාහ කළත් එය පහසු වැඩක් නෙමෙයි. සුද්දෝ (හෝ ඇමරිකන් කාරයෝ) වගේ ඉංග්‍රීසි කතා කිරීම පැත්තකින් තිබ්බත්, උන්ට අවුලක් නැතුව තේරුම් ගත හැකි විදිහට කතා කරන එකමත් ලොකු අභියෝගයක්.

කලින් කී ප්‍රශ්නය වැඩිපුරම තියෙන්නේ ලංකාවේදී ඉංග්‍රීසි ඉගෙනගෙන කාලයක් ඉංග්‍රීසි භාෂාව දැනගෙන ඉංග්‍රීසි කතා කරන රටකට එන අයටයි. ඉංග්‍රීසි මළපොතේ අකුරක් නොදැන ඉංග්‍රීසි කතා කරන රටකට එන කෙනෙක්ට අදාළ රටේ නිවැරදි ඉංග්‍රීසි උච්ඡාරණය ග්‍රහණය කර ගැනීම පහසුයි. (ඉංග්‍රීසි මළපොතක් තියෙනවද කියල අහන්න එපා.) එහෙම අය භාෂාව ඉගෙන ගන්නේ කුඩා දරුවෙක් ඉගෙනගන්න ආකාරයට කතා කරන අයට සවන් දීමෙනුයි. නමුත්, ලංකාවේදී ඉංග්‍රීසි ගෙන තිබෙන හෝ ඉගෙන ගන්නා  මා වැනි ගොඩක් අය එය කර තිබෙන්නේ හෝ කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ සිටයි.

ඉංග්‍රීසි හෝඩියේ තියෙන්නේ ස්වරාක්ෂර පහක් පමණයි. ඒ නිසා, සිංහල ක්‍රමයට හිතමින් ඉංග්‍රීසි භාෂාවේ තියෙන්නේ ස්වර පහක් පමණයි කියා අපි හිතනවා. එහෙම හිතලා ඉංග්‍රීසි වචන අපි දන්න සිංහල භාෂාවේ ශබ්ද වලට ගලපනවා. ගලපලා BUT කියන්නේ බට් බවත් PUT කියන්නේ පුට් බවත් ඔළුවට දාගන්නවා. නමුත්, BUT කියද්දී U අකුරෙන් නිරූපණය වන ස්වරය සිංහල අ ශබ්දය (හෝ එහි සංවෘත ස්වරූපය) නෙමෙයි. ඒ ස්වරය සිංහල භාෂාවේ නැහැ. ඒ වගේම, PUT කියද්දී U අකුරෙන් නිරූපණය වන ස්වරය සිංහල උයන්නේ ශබ්දය නෙමෙයි. ඒ ස්වරයත් සිංහල භාෂාවේ නැහැ.

අප දන්නා විදිහට සිංහල භාෂාවේ ස්වර වැඩි ප්‍රමාණයක් තිබුණත් මුල් බස ඉංග්‍රීසි වූ අයෙක්ගේ දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් සිංහල භාෂාවේ තිබෙන්නේ සීමිත ස්වර ගණනක් පමණයි. එකම ශබ්දයේ කෙටි හා දීර්ඝ ස්වරූප අප වෙනස් ස්වර සේ හඳුනාගත්තත් ඉංග්‍රීසි භාෂාවේදී මේ ශබ්ද එකම ස්වරයේ ස්වරූප දෙකක් ලෙස මිස වෙනස් ස්වර සේ සැලකෙන්නේ නැහැ. ඒ නිසා, අපි බිට් කියා උච්ඡාරණය කළත් බීට් කියා උච්ඡාරණය කළත් මුල් බස ඉංග්‍රීසි වූ අයෙක්ට ඇහෙන්නේ BEET කියලයි. අප BIT කියන ඉංග්‍රීසි වචනය බිට් කියා උච්ඡාරණය කළත් එහි I අකුරේ තිබෙන්නේ සිංහල ඉයන්නේ ශබ්දය නෙමෙයි. සිංහල භාෂාවේ නැති වෙනම ස්වරයක්. ඒ ස්වරය වෙනුවට ඉයන්නේ ශබ්දය ආදේශ කළ විට ඉංග්‍රීසි කණකට ඇහෙන්නේ ඉක්මණින් BEET කියා කියන බවයි.

ස්වරාක්ෂර වගේම ව්‍යංජනාක්ෂාර ගත්තත් ඉංග්‍රීසි භාෂාවේ තිබෙන අකුරු ප්‍රමාණයට වඩා ශබ්ද ප්‍රමාණය වැඩියි. "ද" හා "ත" ශබ්ද ඉංග්‍රීසි භාෂාවේ තිබුණත් ඒ ශබ්ද නිරූපණය කළ හැකි අනන්‍ය අකුරු ඉංග්‍රීසි හෝඩියේ නැහැ. ඔය අකුරු දෙකම බොහෝ විට නිරූපණය වෙන්නේ "th" ලෙසයි. The, This, That, There, Their, Then, Them, Though, Weather, Whether, Mother, Other ආදී "ද" ශබ්දය තිබෙන හැම තැනකම වගේ ඒ ශබ්දය නිරූපණය වෙන්නේ "th" ලෙසයි. වෙනත් යුරෝපීය භාෂා වල කෙසේ වුවත්, ඉංග්‍රීසි භාෂාවේ "ද" ශබ්දය d අකුරෙන් නිරූපණය වෙන්නේ නැහැ.

කොහොම වුණත්, සිංහල මුල් බස වූ අය ඉංග්‍රීසි ඉගෙන ගනිද්දී සිංහල භාෂාවේ බහුලව යෙදෙන ද ශබ්දය ඉංග්‍රීසි d අකුර සමඟ සම්බන්ධ කරනවා. එයට හේතු වන්නට ඇති ඓතිහාසික කරුණු කතා කරන්න මම මෙහි ඉඩගන්නේ නැති වුනත් මෙය ඉංග්‍රීසීන් ලංකාවට එන්න කලින් පටන්ගත් පුරුද්දක් කියා කියන්න පුළුවන්. කොහොම වුනත්, දහම් වගේ සිංහල නමක් අපි ඉංග්‍රීසියෙන් ලියන්නේ Daham කියා මිස Thaham කියා නෙමෙයි. දර්ශන කියන නම අප ලියන්නේ Darshana කියලයි.

ඉංග්‍රීසි භාෂාවේ ද ශබ්දය මෙන්ම ත ශබ්දයත් නිරූපණය වන්නේ th කියන අකුරු වලින්මයි. Thick, Theory, Theme, Thin, Think, Thirty, Thursday, Month, North, Anything, Athlete වගේ වචන උදාහරණයි. සිංහල නම් ගම් ඉංග්‍රීසි අකුරින් ලියන විටත් th අකුරු දෙක යොදාගන්නවා. තාරක කියන නම ඉංග්‍රීසියෙන් ලියන්නේ Tharaka ලෙසයි.

ඉංග්‍රීසි බස මුල් බස වූ අයෙක් th අකුරු දෙකෙන් ද හෝ ත ශබ්ද දෙකම හඳුනා ගන්නා නමුත් සිංහල මුල් බස වූ ගොඩක් අය th අකුරු දෙක ත ශබ්දය හා අනන්‍ය සේ සලකනවා. සිංහලයෙක් Thaham යන්න තහම් සේ මිස දහම් සේ කියවන්නේ නැහැ.

දෙමළ අය ඔවුන්ගේ නම් ඉංග්‍රීසියෙන් ලියද්දී අනුගමනය කරන්නේ සිංහල රීතියම නෙමෙයි. ඔවුන් ද ශබ්දය මෙන්ම ත ශබ්දයත් ඉංග්‍රීසි අකුරෙන් ලිවීමේදී භාවිතා කරන්නේ th යන අකුරු දෙකයි. දර්මන් (தர்மன்) යන දෙමළ නම ඉංග්‍රීසියෙන් ලියන්නේ Tharman ලෙසයි.  දෙමළ හෝඩියේ වුවත්, ත හා ද ශබ්ද නිරූපණය කරන්න වෙනස් අකුරු දෙකක් නැහැ. මේ ශබ්ද දෙකම නිරූපණය කෙරෙන්නේ එකම අකුරකින් (த).

(Image: https://pronuncian.com/introduction-to-vowels/)

14 comments:

  1. බොහොමත්ම ස්තූතියි ඉකෝන්....Very interesting indeed...:)

    ReplyDelete
  2. සංවෘත ස්වරය සඳහා ජේ . බී .දිසානායක සුරීන් පිල්ලමක් හඳුන්වා දී තිබෙනවා .එය භාවිතයට ගන්නවා අඩුයි .ඔබේ ලිපි ඉතා අගනායි .ස්තුතියි .

    ReplyDelete
  3. අපූරු පැහැදිලි කිරීමක්. noදැනුවත් කම නිසා හිතන් හිටපු ගොඩක් දේවල් කුඩුපට්ටං වෙලා ගියා. ටිකෙන් ටික තර්ජනීට කිට්ටු වෙනවා..

    මගේ ඉන්දියානු යාළුවෙක් ඉන්නවා දලපති කියලා
    මිනිහා නම ලියන්නෙත් thalapathi කියලා තමා..

    එතkoට දවසක් මට මිසරියෙක් කිව්වා අපි bluetooth කියන වචනෙ කියන විදිහ වැරදියි කියලා. මිනිහා සෑහෙන වෙලාවක් ඔට්ටු වුනා මට ඒක උගන්වන්න ඒත් මට ඒක අපි කියන විදිහට වඩා වෙනස් විදිහකට කියන්නම බෑ...

    bohoම රසවත් මාතෘකාවක්...

    ReplyDelete
    Replies
    1. මට තියෙන ප්‍රශ්නෙ දර්ශනී තර්ජනී උනේ කොහොමද කියලයි. ද යන්න හරි කියමුකො. ශ යන්නටයි ජ යන්නටයි දෙමළෙ වෙනම අකුරු දෙකක් තියේනෙ.

      Delete
    2. දෙමළෙ තිබුනට ඉංග්‍රීසියෙ නෑනෙ. මේ ඉංග්‍රීසියෙන් ලියපු එක නේද අල වෙලා තියෙන්නේ?

      Delete
    3. මෙහි ඉතිරි කොටසත් ලියා අවසන්ව තිබුණත් Praසන්ன විසින් අසා ඇති ප්‍රශ්නය වැදගත් එකක් නිසා එයත් පැහැදිලි කරමින්ම මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්නම්.

      Delete
  4. රසවත් මාතෘකාවක් අල්ලන් තියෙන්නේ. ඉකොන්ට ඕනම පුංචි දේකින් ලෝකු බෝලයක් හදන්න පුලුවන්.

    හරිම වටින ලිපියක්. ස්තුතියි

    ReplyDelete
  5. Write about the stressed syllables too. Apparently Srilankans stress the first syllable of certain English words when native English speakers stress the second or the third.

    ReplyDelete
    Replies
    1. You are correct. This is one of the main obstacles that the native English speakers face when trying to understand our English.

      Delete
  6. Th අකුර ශබ්ද ඉංග්‍රීසියේ ශබ්ද වෙන්නේ ද හෝ ත කියල නෙමෙයි. ස, ද, ත තුනේම මිශ්‍රණයක් විදියට. ඒ ශබ්දය සිංහලේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හරියටම කියනවනම් ඔබ නිවැරදියි. නමුත්, මෙය හැම වචනයකම එකම විදිහට ශබ්ද වෙන්නේ නැහැ. යෙදෙන තැන අනුව වෙනස් වෙනවා. ඇතැම් තැන් වල එය ද ශබ්දයට වඩා කිට්ටුයි. තවත් තැන් වල ත වලට වඩා කිට්ටුයි.

      Delete
    2. ඔව්. ඔබ හරි. The සහ Throughවගේ. ඇත්තම කියනවනම් මටත් ඔය ඉංගිරිසියේ ශබ්ද ගැන සැලකිල්ලක් ආවේ තෙවන බසක් ඉගෙනගත්තට පස්සේ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: