වෙබ් ලිපිනය:

Sunday, April 4, 2021

එකොළොස් දාහේ කොට කලිසම


වත්පතේ විශාල ලෙස සංසරණය වුනායැයි සඳහන් සටහනක් අපේ වියුණුවේ ප්‍රතිචාර කොටසේ දෙවරක්ම පළ වී තිබුණා. පළමු වර ප්‍රතිචාරයක් නොදැම්මත්, දෙවන වරටත් මෙය නැවත පළ වීමෙන් පසුව කෙටි ප්‍රතිචාරයක් දැම්මා. ඒ ප්‍රතිචාරය ගැන අප සමඟ නිතර අදහස් හුවමාරු කර ගන්නා පාඨකයෙක් විසින් විමසීමක්ද කර තිබුණා.

කාගේ හෝ අදහසක් බොළඳ හෝ මෝඩ අදහසක් ලෙස වර්ග කර නොසලකා හැරීම හොඳ දෙයක් කියා මම හිතන්නේ නැහැ. අද ලෝකය මුහුණ පාන ගොඩක් ප්‍රශ්න වල හේතු වී තිබෙන්නේ උගතුන් හෝ බුද්ධිමතුන් ලෙස තමන් ගැන හිතන අය අනෙක් අයව කාලයක් තිස්සේ නොසලකා හැරීමයි. අන්තිමට ඒ වලේම වැටීම මගේ ඉලක්කයක් නෙමෙයි. මේ වියුණුව පටන් ගත්තේම බොළඳ හෝ මෝඩ අදහස් ලෙස බැහැර නොකර කාගේ වුවත් අදහස් වලට ඉඩක් විවර කර දිය යුතුයි කියන විශ්වාසය පෙරදැරිවයි. 

එය එසේ වුවත් අපගේ කාලයේ විශාල ආවස්ථික පිරිවැයක් තිබෙනවා. විවිධ පාඨකයින් අපගෙන් විවිධ දේ අපේක්ෂා කරන නමුත් ඒ හැම ඉල්ලීමක්ම ඉටු කිරීමේ හැකියාවක් අප‍ට නැහැ. ඒ නිසා ප්‍රමුඛතා හඳුනා ගැනීමක් කරන්න වෙනවා. බොළඳ හෝ මෝඩ අදහසක් ලෙස වර්ග කර බැහැර නොකළත් අපේ වියුණුව කියවන බවක් අප නොදන්නා කොහේවත් ඉන්න කෙනෙක් කොහේ හෝ කියා තිබෙන දෙයක් ගැන අදහස් දක්වන්න කාලය යොදවන එකේ ප්‍රයෝජනයක් තිබෙන්නේ එවැන්නක් අප මෙහි කතා කරන කරුණකට සම්බන්ධ වන මානයක් ඇත්නම් පමණයි. 

ප්‍රස්තුත ප්‍රතිචාරය ඇමරිකාවේදී රුපියල් 11,000ක පමණ මිලකට විකිණෙන රුපියල් 34,000ක මාසික වැටුපකට සේවය කරන ලංකාවේ ඇඟලුම් සේවිකාවන් විසින් මහන කොට කලිසමක් ගැනයි. ප්‍රතිචාරයේ ටොමී හිල්ෆයිටර් ලෙස සඳහන්ව තිබෙන්නේ ටොමී හිල්ෆිගර් සන්නාමය පිළිබඳව විය යුතුයි.

ෂැං‍ග්‍රිලා හෝටලය හදපු ශ්‍රමිකයෙකුට ෂැං‍ග්‍රිලා හෝටලය සල්ලි වලට ගන්න බැහැ වගේම එහි කාමරයක් කුලියට ගෙන නැවතී ඉන්න හෝ දිනපතා එම හෝටලයෙන් දවල් කෑම කන්න බැහැ. ඇමරිකාවේ බෝයිං සමාගමේ වැඩ කරන සේවකයෙකුට තමන්ගේ දායකත්වයෙන් හදපු ගුවන් යානයක් මිල දී ගන්න බැහැ. ටොමී හිල්ෆිගර් සන්නාමය දරන කොට කලිසමක් මහන්න දායකත්වය ලබා දෙන ඇඟලුම් සේවිකාවකට තමන් මහන කොට කලිසමක් මිල දී ගන්න පුළුවන් විය යුතුයි කියා සිතීම ඉතාම බොළඳ අදහසක්.

මේක අලුත් සංසිද්ධියක් නෙමෙයි. කතාවට කියන්නේ වඩුවාගේ ගෙදර පුටුවක් නැහැ කියලා. වඩුවාගේ ගෙදර පුටුවක් නැත්තේ වඩුවාට පුටුවක ලොකු වටිනාකමක් නැති නිසා. වඩුවා වැඩ නැතිව ගෙදර ඉන්න දවස් තිබෙනවා. එහෙම දවසක ඕනෑනම් මහන්සි වෙලා තමන්ගේ ගෙදර පාවිච්චියට පුටුවක් හදාගන්න බැරිකමක් නැහැ. නමුත් වඩුවාට ගෙදර පාවිච්චියට පුටුවක් හදනවාට වඩා ඒ දවස විවේකයෙන් ගත කරන එක වටිනවා. වටිනාකම් කියන ඒවා සාපේක්ෂයි.

දැන් මේ සකලබුජන් කොට කලිසම් තර්කයේ පදනම ලංකාවේ ඇඟළුම් සේවිකාව විසින් රුපියල් 11,000ක වාස්තවික වටිනාකමක් තිබෙන කොට කලිසමක් නිර්මාණය කරලා තිබෙනවා කියන එකයි. එහෙමනම් කාට වුනත් මේ කොට කලිසමක් රුපියල් 11,000ක් වටින්න ඕනෑ. ඒක එහෙම නොවන බව අපි දන්නවා. ඔය ඇඟලුම් සේවිකාවට මාසේ වැටුප් නොගෙවා හිල්ෆිගර් කොට කලිසම් හතරක් දුන්නොත් ඇය එය බාර ගනියිද?

කොට කලිසමක් රුපියල් 11,000ක් වටිනවානම් කලිසම් හතරක් රුපියල් 44,000ක් වටිනවා විය යුතුයි. ඒ කියන්නේ ඇඟලුම් සේවිකාවගේ මාසික වැටුප රුපියල් 10,000කින් වැඩි වෙලා. නමුත් එය එසේ නොවන බව කාට වුනත් තේරෙනවා කියා මම හිතනවා. මාසික වැටුප වෙනුවට ඔය කොට කලිසම් හතරක් නෙමෙයි දහයක් දුන්නත් ඇය එම අර්පණය භාර ගන්නේ නැහැ. ඇයට ඔය කොට කලිසමක් සමහර විට රුපියල් දාහක්වත් වටින්නේ නැහැ.

මෙතැන තියෙන්නේ ධනවාදය තමයි. හැබැයි ලංකාවේ ඇඟලුම් සේවිකාව විසින් නිර්මාණය කරන රුපියල් 11,000ක අතිරික්ත වටිනාකමකින් සොච්චමක් ඇයට ඉතිරි කර ඉතිරි කොටස ඇගෙන් සූරාගැනීමක් නෙමෙයි. මසා අවසන් වෙද්දී බොහෝ විට රුපියල් දාහක්වත් නොවටිනා කොට කලිසමේ අගය නිදහස් ගනුදෙනු හරහා රුපියල් 11,000ක් දක්වා ඉහළ යාමකුයි මෙහිදී වෙන්නේ. එහි වාසිය විශාල පිරිසක් අතර ඉතාම සාධාරණ ලෙස, ඔවුන්ගේ දායකත්වයට සමානුපාතිකව, බෙදී යනවා. මෙය සිදු වන ආකාරය ඉදිරියේදී විස්තර කරන්නම්.

දැන් ඩොලර් එක රුපියල් 200ක් පමණ. ඒ කියන්නේ රුපියල් 11,000ක් කියා කියන්නේ ඩොලර් 55ක් පමණ. ඔය වගේ මුදලකට හිල්ෆිගර් කොට කලිසමක් ඇමරිකාවේදී විකිණෙනවා කියන එක ඇත්ත. දැන් මේ කොට කලිසම ලංකාවේ මුදලින් රුපියල් 11,000ක් වෙන්නේම ඩොලරය රුපියල් 200ක් වීම නිසා. 

මීට අවුරුදු පණහකට පෙර ඇමරිකන් ඩොලරයක් රුපියල් පහක්වත් වුනේ නැහැ. විණිමය අනුපාතිකය ඒ මට්ටමේම තිබුණානම් මේ කොට කලිසමේ මිල රුපියල් වලින් 260ක් වගේ ගණනක්. ඒ වගේ මිලක් ලංකාවේ ඇඟලුම් සේවිකාවකට දරා ගන්න බැරි මිලක් නෙමෙයි. ඇමරිකන් ඩොලර් 55 රුපියල් 260ක් නොවී රුපියල් 11,000ක් වෙලා තියෙන්නේ ඩොලරයක මිල රුපියල් 4.76 ලෙස නොතිබී රුපියල් 200 වී තිබෙන නිසයි. මෙතැනදී වෙනස් වී තිබෙන්නේ ඇමරිකානුවන්ගේ වටිනාකම් ලංකාවේ මිනිස්සු දකින මිනුමයි.

රුපියල් 4.76ට තිබුණු ඩොලරය අවුරුදු පණහකට පස්සේ රුපියල් 200 වී තිබෙන්නේ කොහොමද? ඔය කාලය තුළ රුපියලේ වටිනාකම එපමණ බාල්දු වන තුරු සල්ලි අච්චු ගැසීම නිසා. සල්ලි අච්චු ගහන්න සිදු වී තිබෙන්නේ ඇයි? රජයේ අයවැය හිඟය නිසා. රජයේ අයවැය හිඟයට හේතුව කුමක්ද? ආදායම ඉක්මවා වියදම් කිරීම. 

නිදහසෙන් පස්සේ ලංකාවේ රජය විසින් දිගින් දිගටම කරලා තියෙන්නේ ආදායම ඉක්මවා වියදම් කිරීම. ඇමරිකාවේ ඩොලර් 55ට විකිණෙන ටොමී හිල්ෆිගර් කොට කලිසමක් රුපියල් 260ක් නොවී රුපියල් 11,000ක් වී තිබෙන්නේ ලංකාවේ රජය විසින් සල්ලි අච්චු ගැසීම හරහා දිගින් දිගටම කර තිබෙන, තවමත් කරන සූරාකෑම හරහා. ඔය සූරාකෑමට වග කියන්න ඕනෑ කවුද? එක පැත්තකින් මාක්ස්. අනෙක් පැත්තෙන් කේන්ස්.

ඇමරිකාවේ ඩොලර් 55කට විකිණෙන කොට කලිසමක රුපියල් අගය ලංකාවේ තරුණයෙකුට විහිළුවක් වන මට්ටමට රුපියල පිරිහී තිබෙන්නේ ලංකාවේ ඉපදුනු මාක්ස්ගේ දරුවන් හා කේන්ස්ගේ දරුවන් අතර සහජීවනය නිසා. 

6 comments:

  1. 1980 දශකයේ මැද , මා කෙට් කලක් සේවය කල සමාගම සතු කෘත්‍රිම මල් සැරසිලි නිපදවන කම්හලක් තිබුනා. එකල, එහි නිපදවන මල් සැරසිල්ලක විකුණුම් මිල ඇමරිකානු ඩොලර් 40 ක් පමණ උනා. ඒ මිලට ඒවා බොහෝ රටවලට අපනයනය කරනු ලැබුවා. මේ කම්හල තිබුන ප්‍රදේශයේ දුප්පත් කාන්තාවන්ට උදව්වක් හැටියට මේ මල්, ගෙදර සිට assemble කර කම්හලට සැපයීමේ ව්‍යාපෘතියක් ප්‍රදේශයේ පල්ලිය මැදිහත්වී ක්‍රියාත්මක කළා. මේ කාන්තාවන්ට පුහුණුවක් ලබා දී, එක එක කොටස් ගෙදර සිටම assemble කර කම්හලට බාර දුන් විට ගෙවීම් කල නමුත්, ඔවුනට කම්හලෙන් ලබාදෙන parts කොතරම් ලබා දෙනවාද කියන එක එතරම් ගැඹුරට හොයා බැලුවේ නැහැ. මෙසේ ටික කලක් ගෙවුන පසු මගේ ලොක්කා දිනක් මට කිව්වේ, මේ කාන්තාවන්ට ලබාදෙන මල් කොටස් ඔවුන් එකමුතු වී සම්පුර්ණ මල් සැරසිල්ලක් ලෙස සකස් කර, ප්‍රදේශයේ සති පොලේ එකක් රුපියල් 10 බැගින් විකුණන බවයි. ඩොලරයක් රුපියල් 25 වැනි වටිනාකමක් තිබුන එකල, රුපියල් 1000 වටිනා මල් කළඹක් එයින් 1/100 කට සමාන වූ රුපියල් 10 වැනි මුදලකට පොලේ විකිණුනේ එහෙමයි.

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා,

    මම හිතන්නේ මීට වඩා ලංකාවේ පහුගිය අවුරුද්දේ නන්දසේන මිලිටරි ජුන්ටා ආණ්ඩුව විසින් ප්‍රවර්ධනය කරන "ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම" නමින් හැඳින්වෙන චීන පන්නයේ රාජ්‍ය ධනවාදයේ සංකල්ප ක්‍රියාත්මක කිරීමට එරෙහිව ජනතා අරගලයක් අත්යඅවශය බව. මේ ගැන සමගි ජන බලවේගය පැහැදිලි මතයක සිටියද මේ ගැන තවමත් තීරණයක් නොගෙන සිටි නමුත් 1971 කැරැල්ලේ පණස් වන සංවත්සරයට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ දේශපාලන කමිටු වලදී දිගටම සාකච්ඡා උනා. මේ ගැන සියලු විපක්ෂ කණ්ඩායම් සමගි ජන බලවේගයේ නායකත්වය සමග එකඟතාවයකට පැමිණීමට නියමිත අතර ඒ අනුව මීට එරෙහිව ඉදිරි කාලයේදී දේශපාලන ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇති.

    කෙසේ වෙතත් මට වැටහෙන ආකාරයට සිංගප්පුරුවේ ආර්ථිකය වර්ධනය උනේ (මේව ඇත්තටම රටවල්වලට වඩා වෙළද නගර කියල හදුන්වන එක නිවරදියි ඒවයෙ ප්‍රමාණය සහ ජනගහනය සැලකුවාම) අර ගෝඨ ගේ වියත් මග කල්ලියේ කෙහෙල් මල් ජාතික ආර්ථික දේශපාලනික ගේම් වල බලපෑම මත නොව වෙළදාම සහ නිදහස් ආයෝජන කලාපයක් ලෙස ප්‍ර්‍රවර්ධනය කරපු නිසා. මේක ඇත්තටම කරන්න රාජ්‍ය ධනවාදයක් අවශ්‍යද යන්නත් ප්‍රශ්නයක්. මොකද ඕකම හොංකොං කරා ප්‍රජාතන්ත්‍රවාදය සහ වෙළදපොළ ක්‍රමය ඇතුලෙ. සිංගප්පුරුවෙ උනත් නිතියේ ආධිපත්‍යය කියන එක සහ වෙළදපොළ නිදහස කියන එක චීනයට සංසන්දනය කරන්නට බෑ. මං කියන්නෙ නෑ නිශ්චිත අවස්ථා තියෙන්න බෑ කියා රාජ්‍ය ධනවාදයෙන් ආර්ථික දියුණුවක් (අඩුම තරමේ සුළු පිරිසක් අතට විශාල ධනයක් අත්පත්වෙන එකක් හරි) ඇති කරන්න බෑ කියා. හැබැයි ඒකට අඩුම තරමින් ජාතික ආර්ථික අභිලාශ වෙනුවෙන් එය ක්‍රියාත්මක වෙන්න ඕන. සිංගප්පුරුවෙ එය වූ බවයි පේන්නෙ. අඩුම තරමින් මේ දක්වා (මේක ඕනෑම වෙලාවක පීලි පනින්නට පුළුවන් පත්වෙන නායකයා මත. ඒ නිසා මේ සිස්ටම් එච්චර රෝබස්ට් නෑ. කොරෝනා වගේ දේවල්වලදි සිංගප්පූරු මොඩල් එක අභියෝගයට ලක් උනා. මට හිතෙන්නෙ තායිවානය වැනි ප්‍රජාතන්ත්‍රවාදී වෙළදපොල ක්‍රමය ඇති රටවල් වඩා සාර්ථකව මිනිස්සුන්ට අවම හානියක් කරලා ඒකට මුහුණ දුන්න බව). මට කියන්න අවශ්‍ය උනේ 'චීනයෙ සහකරුවෙක් වෙලා' රාජ්‍ය ධනවාදයෙන් ගොඩයන්නනං බැරි බවයි (එවැනි මතයක් ප්‍රධාන ධාරාවෙ තියෙනවා. විශේෂයෙන්ම ගෝඨාභය වාදී සිංහල ජාතිවාදීන්/ ව්‍යාවසායකයන් අතර). මොකද චීනයෙ රාජ්‍ය ධනවාදී මොඩලයෙ ප්‍රධානම එන්ජිම තමයි ලාභ ශ්‍රමය. සිංගප්පුරුව වගේ නෙවෙයි චීනය පවතින්නෙම කරන්සි එක ඩීවැලිව් කරලා රට ඇතලෙ ලාභ ශ්‍රම බලකායක් පවත්වාගෙන යාම මගින්. ඒකත් එක්ක කවදාවත් චීනයට 'සංවර්ධනය වෙන රටක්' කියන තැනින් එළියට එන්න අමාරු වෙයි හරි ආර්ථික දත්ත එළියට දැම්මොත්. ඒකත් එක්ක ලංකාව හෝ ලංකාව වැනි වෙනත් රටකට චීනෙත් එක්ක වින් වින් සිටුවේෂන් එකකට යන්න බෑ කියලයි මං හිතන්නෙ. ඒ කතාවට ඔබ වැනි අයගෙන් පැහැදිලි පිළිතුරක් මෙතෙක් ලැබිල නෑ. එය සනාථ වෙන උදාහරණ පමණයි ඇත්තෙ.

    ලංකාවේ ගත්තොත් පහුගිය දශකයේ රුපියලේ අගය අව-ප්‍රමාණය වීමත් සමග ලංකාවේ ශ්‍රමිකයින් සූරාකෑමට ලක් වන බව ජවිපෙ සහ වාමාංශික විකල්ප කණ්ඩායම් දැඩි ලෙස විවේචනය කරමින් අවධාරණය කරන කාරණයක්. කෙසේ නමුත් ලංකාවේ වාමාංශික ව්‍යාපාර උග්‍ර ලෙස ඇමරිකානු විරෝධයක් පෙන්වූවත් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් තරම් ඍජුව චීනය විවේචනය කිරීමට මැළි වීම නිසා තමයි මෙය තවමත් ශක්තිමත් ලෙස ලංකාවේ සමාජ ගත කිරීමට අපහසු වී තිබෙන්නේ. මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද?

    ReplyDelete
    Replies
    1. සිංගප්පූරු ආකෘතිය පිළිබඳව ඔය හැම දෙයක් වගේම විවිධ ලිපි වල විස්තරාත්මකව ලියා තිබෙනවානේ, ඇනෝ. ඒ වගේම ලියපු සමහර දේවල් නිවැරදි බව මේ වන විටත් ඇස් පනා පිට පෙනෙන්න තිබෙනවා.

      සිංගප්පූරු සිහිනය

      ලී ක්වාන් යූ මිථ්‍යාව

      සිංගප්පූරු ආකෘතිය


      //කවදාවත් චීනයට 'සංවර්ධනය වෙන රටක්' කියන තැනින් එළියට එන්න අමාරු වෙයි හරි ආර්ථික දත්ත එළියට දැම්මොත්. //

      චීනය පැරණි සෝවියට් දේශයට සාපේක්ෂව සාර්ථක වෙයි කියා මම හිතනවා. නමුත් මෙතෙක් පැවති ආර්ථික වර්ධන වේගයනම් එලෙසම දිගටම පවත්වා ගැනීම පහසු වෙන්නේ නැහැ. ඉතා ඉක්මණින්ම චීනය විසින් දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ දත්ත එළියට දමන එක නවත්වනවා.

      //ලංකාව හෝ ලංකාව වැනි වෙනත් රටකට චීනෙත් එක්ක වින් වින් සිටුවේෂන් එකකට යන්න බෑ කියලයි මං හිතන්නෙ. ඒ කතාවට ඔබ වැනි අයගෙන් පැහැදිලි පිළිතුරක් මෙතෙක් ලැබිල නෑ.//

      මම හිතන්නේ ප්‍රතිචාර කොටස් වල මේ කරුණ පැහැදිලි කර තිබෙනවා. ලියපු තැන් හොයන්න අමාරුයි. ඇත්තටම කියනවානම් වෙනත් හේතු මත මේ කතාවම ඇමරිකාව හා අදාළවත් සත්‍යයක්. විශාල භුමි ප්‍රදේශයක්, ජනගහණයක් හා පැතිරුණු ආර්ථිකයක් තිබෙන රටක් එක්ක, තමන්ගේ රටේ ස්වාධීනත්වය යම් පමණකින් හෝ කැප නොකර පොඩි රටකට වින්-වින් තත්ත්වයකට යන්න අමාරුයි. මෙහිදී පොඩි රටක් ඉතාම උපක්‍රමශීලී ලෙස කටයුතු කළ යුතුයි. ලොකු රට කරන දේවල් එලෙසම නොකර ලොකු රටකට නැති පොඩි රටකට තිබෙන සාපේක්ෂ වාසි පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. උදාහරණයක් විදිහට ඊශ්‍රායලය ලොකු රටක් නෙමෙයි. ලෝකයේ අනෙක් හැම රටකටම කලින් කෝවිඩ් අර්බුදයෙන් ගොඩ යන්නේ ඊශ්‍රායලයයි.

      චීනය ගැන වඩා විස්තරාත්මකව ලියන්න සමාජවාදය ගැන ටිකක් විස්තර කරලා ඉන්න වෙනවා. කියවන පාඨකයින් ගණනාවකටම සමාජවාදය කියා කියන්නේ ආත්මීය කරුණක් (ඇඟේ කෑල්ලක්) නිසා සමාජවාදය ගැන පැහැදිලි කරන එක සීරුවෙන් කරගෙන යා යුතු දෙයක්. ටිකක් කෙටියෙන් කිවුවොත් රාජ්‍ය ධනවාදය කියා එකක් නැහැ. ඕක තමයි මාක්ස්වාදය අනුව හැදෙන්න පුළුවන් අනාගතයේ හැදෙනවානම් හැදෙන කොමියුනිස්ට් සමාජයක් හා ධනවාදය සම්බන්ධ කරන පුරුක ලෙස හඳුනා ගෙන තිබෙන සමාජවාදී සමාජය. ලෝකයේ හැම තැනකම සමාජවාදය නමින් හැදුනේ ඕක.

      ධනවාදය එහි දියුණුවත් එක්ක ස්වයං කඩා වැටීමකට ලක්වෙනවා කියන මාක්ස්වාදී ප්‍රවාදය කවදාවත් සිදු නොවුනා වගේම සිදු වන බවක් පෙනෙන්නේත් නැහැ. ඒ වෙනුවට බටහිර ධනවාදී රටවල් තුළ ශ්‍රමිකයන්ගේ තත්ත්වය එන්න එන්නම වඩා හොඳ වී තිබෙනවා. බටහිර රටවල් වල ධනවාදය සමඟ ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් නිදහස පිළිබඳ අදහස් පැකේජ් වී නොතිබුණානම් තත්ත්වය වෙනස් විය හැකිව තිබුණා. නමුත් කොහේවත් එවැන්නක් වෙලා නැහැ. වෙළඳපොල විසින් හැම ප්‍රශ්නයක්ම විසඳනු ඇතැයි සිතන අය ඉතාම අඩුයි. එය අන්තවාදයක්. නමුත් වෙළඳපොළ තුළ ප්‍රශ්නයක් ඉතිරි නොවන බොහෝ විට වෙළඳපොළ ක්‍රියාකාරිත්වය වලක්වන හඳුනාගත හැකි බාධාවක් තිබෙනවා. ධනවාදය දියුණු වීම කියන්නේ මෙවැනි බාධාවන් නිරන්තරයෙන් හඳුනා ගනිමින් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය සුමට කිරීමයි. එහි ඝර්ෂණ අඩු කිරීමයි. ඒකාධිකාර කියා කියන්නේ වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට ලොකුම බාධාවක්. ඒකාධිකාරී ප්‍රාග්ධනයට ශ්‍රමය සූරාකන්න පුළුවන්. මාක්ස් ධනවාදය කඩා වැටෙනවා කියා උපකල්පනය කළේ ටිකෙන් ටික ප්‍රාග්ධනය එකම තැනකට රැස් වී කේන්ද්‍රගත වීම තුළයි. බටහිර රටවල එවැන්නක් සිදු වුනේ නැහැ. ඒ නිසා ධනවාදය කඩා වැටුනේත් නැහැ. දැන් චීනය විසින් කරන්නේ මාක්ස් විසින් පුරෝකථනය කළ ආකාරයේ, ඇත්තටම ධනවාදය නොවන, අනාගත ධනවාදය ලෙස මාක්ස් විසින් හැඳින්වූ උපකල්පිත තත්ත්වය රාජ්‍යය මැදිහත් වී කෘතීම ලෙස හදන එක. රාජ්‍ය ධනවාදය ලෙස ඇතැම් අය විසින් හඳුන්වන්නේ ඔය ආකෘතිය. එවැන්නක් මාක්ස් විසින් පුරෝකථනය කළ ආකාරයට කඩා වැටෙන්න පුළුවන්. ඊට කලින් තව ගොඩක් දේවල් වෙන්න පුළුවන්.

      Delete
    2. //නමුත් වෙළඳපොළ තුළ ප්‍රශ්නයක් ඉතිරි නොවන බොහෝ විට වෙළඳපොළ ක්‍රියාකාරිත්වය වලක්වන හඳුනාගත හැකි බාධාවක් තිබෙනවා.//

      නිවැරදි කිරීම: නමුත් වෙළඳපොළ තුළ ප්‍රශ්නයක් ඉතිරි වන බොහෝ විට වෙළඳපොළ ක්‍රියාකාරිත්වය වලක්වන හඳුනාගත හැකි බාධාවක් තිබෙනවා.

      //ලංකාවේ වාමාංශික ව්‍යාපාර උග්‍ර ලෙස ඇමරිකානු විරෝධයක් පෙන්වූවත් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් තරම් ඍජුව චීනය විවේචනය කිරීමට මැළි වීම නිසා තමයි මෙය තවමත් ශක්තිමත් ලෙස ලංකාවේ සමාජ ගත කිරීමට අපහසු වී තිබෙන්නේ.//

      චීනය විවේචනය කළ යුත්තේ ඇයි? ඇමරිකාව වගේම චීනයත් වැරැද්දක් කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ තමන්ට වාසිදායක දේ. චීනය සමඟ කරන ගනුදෙනු වලදී ලංකාවට අවාසියක් වෙනවානම් එය ලංකාවේ පැත්තේ අඩුපාඩුවක් මිසක් චීනයේ වැරැද්දක් නෙමෙයි. ඇමරිකාව, ඉන්දියාව හෝ වෙනත් රටක් ගත්තත් කතාව ඕකම තමයි. දිගින් දිගටම රටින් බාහිර යක්ෂයෙකු මත වැරැද්ද පටවන්න වෙනවානම් එයින් ප්‍රදර්ශනය වන්නේ රටක සාමූහික විඥානයේ බෙලහීන කම පමණයි.

      Delete
  3. එන්නට නොහැකි විණි දින දෙකකින් විතර
    පමුණුවෙ සෙනඟ උතුරයි පැය විසි හතර
    දැන් අමතකය කෝවිඩ් හදනා යතුර
    ඇඳුම් ගන්න පොරකනවා එක පැහැර

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: