වෙබ් ලිපිනය:

Friday, April 30, 2021

මෙන්න තවත් සංඛ්‍යාලේඛණ විජ්ජාවක්!


පසුගිය වසර සඳහා වූ මහ බැංකු වාර්තාව නිකුත් වී තිබෙනවා. ආර්ථිකය හා සම්බන්ධව සැලකූ විට, පසුගිය වසර නිදහසින් පසුව ලංකා ඉතිහාසයේ නරකම වසර වූ බව පැහැදිලි කරුණක්. එයට ප්‍රධානම හේතුවක් වුනේ ලොවටම ප්‍රශ්නයක් වූ කෝවිඩ් වසංගතය වුවත්, ලංකාව හා අදාළව ගත් විට ආර්ථිකය මෙවැනි නරක අඩියකට වැටෙන්න එකම හේතුව කෝවිඩ් වසංගතය නෙමෙයි. නිහඬ මාරයින් වූ නිදන්ගත රෝග කිහිපයක් ලංකාවේ ආර්ථිකය ගොළුබෙලි ගමනින් මරණය කරා දක්කමින් සිටියේ කාලයක සිටයි.

නිදහසින් පසු ලොකුම පසුබෑම වාර්තා කරමින් ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේදී 3.6%කින් හැකිලී තිබෙනවා. රටේ ඒක පුද්ගල ජාතික ආදායම 2014 මට්ටමෙන්ද පහළට වැටී, ඩොලර් 3,582 දක්වා අඩු වී තිබෙනවා. එහෙත් මේ ලිපියෙන් අප ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ ආර්ථික වර්ධනය පිළිබඳව නොව, පසුගිය වසරේ ලංකාවේ රාජ්‍ය මූල්‍යනය වෙතටයි.

පසුගිය වසර තුළ ලංකාවේ රාජ්‍ය ආදායම් රුපියල් බිලියන 1,373 දක්වා අඩු වී තිබෙනවා. පෙර වසරේ රාජ්‍ය ආදායම වූ රුපියල් බිලියන 1,899 හා සැසඳූ විට මෙය 28%ක පමණ දැවැන්ත අඩුවීමක්. රාජ්‍ය ආදායම අඩු වීමට හේතුව කෝවිඩ් වසංගතය නොවන බව කවුරුත් දන්නා දෙයක්. මේ අඩුවීමට ප්‍රධානම හේතුව වත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියයි. බදු අඩු කිරීම නරක දෙයක් නොවුනත්, සල්ලි අච්චු ගැසීම හරහා "උද්ධමන බද්දක්" ලෙස වක්‍ර ලෙස එම බද්ද අය කර ගන්නවානම් එයින් සිදු වන්නේ යහපතක් නෙමෙයි.

ඉහත කී පරිදි රාජ්‍ය ආදායමේ සිදුව ඇති දැවැන්ත කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස, දළ දේශීය නිෂ්පාදිතය 3.6%කින් පහත වැටී තිබෙන තත්ත්වයක් යටතේද, නිල සංඛ්‍යාලේඛණ අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%ක් දක්වා රාජ්‍ය ආදායම පහත වැටී තිබෙනවා. නිදහසින් පසුව මෙම ප්‍රතිශතය තනි ඉලක්කමක මට්ටමට වැටී තිබෙන්නේ ප්‍රථම වතාවටයි.

රාජ්‍ය ආදායම පෙර වසරට සාපේක්ෂව 28%කින් අඩු වෙද්දී රාජ්‍ය වියදම් ඇත්තටම 19%කින් වැඩි වී ඇතත්, බැලූ බැල්මටම අතේ මාට්ටු වන සංඛ්‍යාලේඛණ විජ්ජාවක් කරමින් මහ බැංකුව විසින් මේ වැඩි වීම 9%ක අඩුවීමක් සේ පෙන්වනවා. මහ බැංකුව විසින් එසේ කරන්නේ මුදල් අමාත්‍යාංශය කියන නිසයි (Adjustment for arrears as per the Ministry of Finance). මේ අනුව, 2020 වසර තුළ රජයේ වැය වලින් රුපියල් බිලියන 423ක මුදලක් පෙර වසරේ වියදම් වෙනුවෙන් පසුව ගෙවූ මුදල් සේ සලකමින් 2020 වියදම් වලින් අඩු කර 2019 වසරට එකතු කර තිබෙනවා. එහෙත්, 2021 වසර තුළ ගෙවනු ලැබූ 2020 වියදම් ඒ අයුරින් 2020 වියදම් වලට එකතු කර ඇති බවක් පෙනෙන්නට නැහැ. 

මේ අනුව 2020 වසරේ සැබෑ අයවැය හිඟය රුපියල් බිලියන 2,090ක් වුවත් එය පෙන්වා තිබෙන්නේ රුපියල් බිලියන 1,668ක් ලෙසයි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 14.0% මට්ටමට ඉහළ ගොස් ඇති බව පෙනෙන්නට ඇති අයවැය හිඟය පෙන්වා තිබෙන්නේ 11.1% ලෙසයි.

හොඳ ගණකාධිකාරී වරයෙකුට සංඛ්‍යා එහාට මෙහාට කර ලාබ ලබන සමාගමක් පාඩු ලබන ලෙසත්, පාඩු ලබන සමාගමක් ලාබ ලබන බවත් පෙන්විය හැකියි. එය දක්ෂකමක් ලෙස මිස වැරැද්දක් ලෙස සැලකෙන්නේ නැහැ. එසේ කිරීමෙන් සමාගමකට අඩුවෙන් බදු ගෙවීම වැනි වාසි ලබාගන්න පුලුවන්. එහෙත් ගණන් එහා මෙහා කර විජ්ජා පෙන්වීම ආර්ථික විද්‍යාවේ ක්‍රමය නෙමෙයි. එසේ කරන්න යාමෙන් වෙන්නේ තමන්ම මුලාවේ වැටීම පමණයි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුවද මේ අයුරින්ම සංඛ්‍යාලේඛණ විජ්ජා පෙන්වූ අතර ඉකොනොමැට්ටා වෙබ් අඩවිය ඒ බැව් මුලින්ම පෙන්වා දුන්නා. පවතින තත්ත්වය ඉතාම නරක හා සැඟවිය නොහැකි තරම් පැහැදිලි වූ විට අතීතය වෙනස් කර ප්‍රගතියක් පෙන්වීමේ ඉතිහාසය කොයි තරම් පැරණිද කියා මා දන්නේ නැහැ. ජෝජ් ඕර්විල් යන ආරූඪ නාමයෙන් ලියූ ඉංග්‍රීසි ලේඛක එරික් ආතර්  බ්ලෙයාර්ගේ "1984" කෘතියේ මෙවැනි තත්ත්වයක් විස්තර කෙරෙනවා.

පසුගිය වසරේ මහ බැංකු වාර්තාවට අනුව 2019 අයවැය හිඟය වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.8%ක් පමණයි. දැන් එය 9.6%ක් වෙලා. කෝවිඩ් නැතුවත් 9.6%ක අයවැය හිඟයක් තිබුණානම් දැන් 11.1%ක් වීම කොයි තරම් හොඳ තත්ත්වයක්ද?

"තෙමසකට පෙර දිනකට කෝවිඩ් රෝගීන් දස දහසක් පමණ වාර්තා වුනත් රජයේ කෝවිඩ් මර්දන වැඩ සටහනේ සාර්ථකත්වය පිළිබිඹු කරමින් මේ වන විට දිනකට හමු වන රෝගීන් ප්‍රමාණය දෙදහසකටත් වඩා පහළ මට්ටමකට වැටී තිබෙනවා."

ජෝජ් ඕර්විල් දැකපු අනාගතයේ බිහිවන ආණ්ඩු ඔය වගේ කතා කියන්න පුළුවන්. වර්තමානය හංගන්න බැරි වූ විට කළ යුත්තේ අතීතය වෙනස් කරන එකයි. මාස තුනකට කලින් තත්ත්වය කාටද මතක? වෙනත් අතීතයක් මතක තිබුණත් ඔප්පු කරන්නේ කොහොමද? විශේෂයෙන්ම අතීතය පිළිබඳ මූලාශ්‍ර තිබෙන්නේ රජයේ පාලනය යටතේනම්?

6 comments:

  1. ඉකොනොමැට්ටා,

    //යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුවද මේ අයුරින්ම සංඛ්‍යාලේඛණ විජ්ජා පෙන්වූ අතර ඉකොනොමැට්ටා වෙබ් අඩවිය ඒ බැව් මුලින්ම පෙන්වා දුන්නා.//

    මේක මුලින්ම මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ ලංකාවේ ආර්ථික විජ්ජාවේ මහා ජෝකර් වන එවකට විපක්ෂයේ හිටපු ගොන්දුල බණවඩන මන්ත්‍රීවරයා. අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් වලට ලොවෙත් නැති ගොඩනැගිලි සඳහා කුලී නමින් ජල්තරයක් කර ඇති බවට. මේ තොරතුරු ඔහුට මුදල් අමාත්‍යාංශයේ ඇතුලෙන්ම ලැබෙන්න ඇති. ඔබ 2016 මේ ලිපිය ලිවීමට මාස ගානකට කලින් ඔහු අයවැය පළමු වරට කියවන විටම මේ ගැන සඳහන් කළා. ඒ සමග මංගොංපිල ඇතුළු පොහොට්ටු කල්ලිය මේ ගැන මහත් විශ්වාසයකින් යුතුව හඬ නැගූ අතර පසුව ජවිපෙ හඳුන් සහ වෛද්‍ය නලීන් වැනි අයත් මේක මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ ඔබට බොහෝ කලකට පෙර වගේ මට මතක... ඇතැම් විට ඔබ මේ ගැන දැන ගත්තේත් ඒ මාධ්‍ය වාර්තා වලින් වෙන්න පුළුවන්. කොහොම වුනත් මම හිතන්නේ ජනතාවට සත්‍ය තොරතුරු ලබාදෙන්න අවශ්‍ය බවයි. මොකද මේ වගේ ගොන් පාට් වලින් රැවටෙන්නෙ තමුන්ම තමයි මිනිස්සුන්ට සත්‍ය තත්ත්වය ඇඟට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම

      //මේ අනුව, 2020 වසර තුළ රජයේ වැය වලින් රුපියල් බිලියන 423ක මුදලක් පෙර වසරේ වියදම් වෙනුවෙන් පසුව ගෙවූ මුදල් සේ සලකමින් 2020 වියදම් වලින් අඩු කර 2019 වසරට එකතු කර තිබෙනවා. එහෙත්, 2021 වසර තුළ ගෙවනු ලැබූ 2020 වියදම් ඒ අයුරින් 2020 වියදම් වලට එකතු කර ඇති බවක් පෙනෙන්නට නැහැ. //

      මම හිතන්නේ මේ මුදල් පසුගිය යහපාලන රජය සමයේ ලංකාවේ ප්‍රධාන ව්‍යාපෘති වල කොන්ත්‍රාත්කරුවන්ට සහ රජයේ සැපයුම්කරුවන්ට පමණක් නොගෙවා තිබූ රුපියල් බිලියන 242කට වැඩි මුදලින් රුපියල් බිලියන 226 ක් පමණ 2020 වසරේ මුලදීම වන විට ගෙවා අවසන් කළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මාධ්‍ය හරහා ප්‍රචාරය කළ එක සමග සම්බන්ධ කාරණයක් විය හැකි බවයි. මීට අමතරව තවත් බොහෝ රජයේ වියදම් ගෙවීම පැහැර හැර තිබුණා.

      උදාහරණයක් විදියට 2019 අගභාගය වන විට මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුට අවුරුද්දකට වඩා වැඩි කාලයක් සත පහක් වත් ගෙවා තිබුණේ නෑ. එමෙන්ම මා දන්නා රාජ්‍ය ආයතන වල කොන්ත්‍රාත් කළ කුඩා ප්‍රමාණයේ අයට මීටත් වඩා බරපතළ ඉරණමක් හිමි වී තිබුණේ. මගේ මිතුරෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් අලුත්වැඩියා කොන්ත්‍රාත් කළ අතර ඔහුට 2017 පමණ සිට වසර තුනක් පමණ මුදල් ඇරියස් තිබී 2020 ඔක්තෝබර් මාසයේ යාන්තම් හිඟ මුදල් ලැබුණේ. මුදල් නොමැති කම සහ එවකට පැවති අධික බදු අය කිරීම නිසා ව්‍යාපාර කරගැනීමට නොහැකිව තම නිවස විකුණා ඔහු 2019 තම සමාගම විසුරුවා හැර ඕමානයේ රැකියාවකට පිටත් වුණා. මේ වගේ තවත් මගේ මිතුරන් කිහිප දෙනෙක් ඉදිකිරීම් සමාගම්, උපදේශන සේවා සමාගමේ වසා දමා විදේශ රැකියා හෝ වෙනත් ක්ෂේත්‍ර වල රැකියා වලට යොමු වුණා.

      කෙසේ වෙතත් මෙලෙස කොන්ත්‍රාත්කරුවන්ට රජයේ සැපයුම්කරුවන්ට හිඟ තබා තිබූ මුදල් නැවත ගෙවීම නිසා ඔවුන් අතට මුදල් ගලාඒම තුළ ආර්ථිකයේ පිබිදීමක් වන බවට රජයේ නිලධාරීන් මාධ්‍ය හරහා ප්‍රචාරය කලත් එසේ වෙලා නෑ නේද? මේකට හේතුව කුමක්ද?

      කෙසේ වෙතත් විවිධ සංවර්ධන කටයුතු සහ රජයේ සැපයුම් සඳහා මුදල් නොගෙවීම තුළ වැලේ වැල් නැතිව නන්නත්තාර වෙලා සිටි සැපයුම්කරුවෝ සහ කොන්ත්‍රාත්කරුවන් යන්තම් ජාමේ බේරා ගත්තත් මේකෙන් රටේ සමස්ත ආර්ථිකයට දිගුකාලීනව හානියක් සිදු වූ බව නේද ඔබ කියන්නේ?

      //එහෙත්, 2021 වසර තුළ ගෙවනු ලැබූ 2020 වියදම් ඒ අයුරින් 2020 වියදම් වලට එකතු කර ඇති බවක් පෙනෙන්නට නැහැ. //

      අනිත් පැත්තෙන් මම හිතන්නේ ලබන අවුරුද්දේත් ලංකාවේ නූතන දූෂිත මහ බැංකු නිලධාරීන් දූෂිත නන්දසේන ආණ්ඩුවේ රෙදි සේදීම පිණිස මේ සෙල්ලම නැවතත් සුපුරුදු පරිදි කරන්න හදන්නේ. එනම් ලබන වසරේදීද රජයේ වියදම් අඩු කර ගැනීමට මේකෙන් චාන්ස් එකක් ලැබෙයි කියල මම හිතුවෙ. එහෙම කරන්න පුළුවන් වේවි ද ඉකොනො?

      Delete
    2. ලංකාවේ ආණ්ඩුව 2019 වසරේ රුපියල් බිලියන 2300කට වැඩි බදු ආදායකමක් උපයා ගැනීමට සැලසුම් සහගතව බලාපොරොත්තු වුව ද අධික බදු බර නිසා වූ ආර්ථිකය සංකෝචනය වීම හේතුවෙන් රැස් කරගත හැකි වූයේ රුපියල් බිලියන 1899ක් පමණක් බව වාර්තා වෙලා තිබුණා නේද?

      අනික ජනතාවගේ පැත්තෙන් බලනකොට මේ අධික බදු බර නිසා ජනතාවට මහත් විනාශයක් මිස සුගතියක් නොවූ බව පෙනුනා. බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැසී ගිය අතර රැකියා හිඟය සමග ජනතාවගේ ආදායම් සෑහෙන දුරට අඩු වුණා. ඇත්තටම රටක ආණ්ඩුවකට බදු අය කිරීමෙන් තොරව රටේ පාලනය ගෙනයා නොහැකි නමුත් ආණ්ඩුවක් බදු අය කළ යුත්තේ ඒ රටේ ව්‍යාපාරික ප්‍රජාවටද, සාමාන්‍ය ජනතාවට ද දැරිය හැකි මට්ටමකටයි. කොටින්ම බඹරා මල නොතලා රොන් ගන්නා ආකාරයට ජනතාව නොතලා බදු අය කළ යුතු අතර ඒ සඳහා කිසියම් මනාව සැලසුම් වූ බදු ප්‍රතිපත්තියක් හා කළමනාකරණයක් තිබිය යුතුයි. ඔහේ මීහරක් වගේ බදු ගහන එකෙන් රටටම කෙළ වෙලා ගියා.

      ඒ කාලේ පසුගිය යහපාලන ආණ්ඩුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමන්ගේ බදු ප්‍රතිපත්තිය සරදියෙල් ප්‍රතිපත්තිය බවයි. රවී කරුණානායක සහ මංගල සමරවීර ඇතුළු පිරිස කිව්වේ ඇති හැකි අයගෙන් හොඳින් බැරිනම් නරකින් හරි සල්ලි අරගෙන නැති බැරි අයට සහනාධාර දීමයි. එසේ වුවත් ඒ කාලේ ලංකාවේ හිටපු අපි දුටුවේ සරදියෙල් ප්‍රතිපත්තියක් නොව පාතාල ප්‍රතිපත්තියක්. පාතාලයන් ජීවත් වීම සඳහා කිසිදු ඉපැයීමක් කරන්නේ නැති නිසා ඔවුන්ගේ එකම ඉපැයීම් මාර්ගය බලෙන් කප්පම් ගැනීමයි. යහපාලන ආණ්ඩුවේද එකම ආදායම, බදු ආදායම පමණක් වූවා සේ මහත් බලපෑමක් යොදා බදු අයකළ. 2018 වසර මුලදිම අවුරුද්දේ අගදී ගෙවිය යුතු බදු කලින් predict කර ගෙවන ලෙස බල කළා. ඒ දවස්වල අපි විදේශ රටවලට උපදේශන සේවා ලබා දෙන සමාගමක් ලංකාවේ පවත්වාගෙන ගියා. අපටත් මහත් පීඩා සහගත ලෙස EPF, ETF මුදල් ආදිය ගෙවන ලෙස වූ දැඩි බලපෑම් නිසා අපේ ආයතනයේ සේවකයින් විසුරුවා හැර ඔවුන් කන්සල්ටන් වරු ලෙස පත්කර ලංකාවේ බැංකුවල ඇති ආයතනයේ ඩොලර් ගිණුම්වලට මුදල් බැර නොකර අපේ පිටරට පැවති ගිණුම් වලම මුදල් තබාගෙන අත්‍යවශ්‍යම මුදල් ප්‍රමාණය පමණක් ලංකාවට එවීමට සිදු වුණා.

      ඒ යහපාලන යුගයේ විශාල ගෙදරක්, ගොඩනැගිල්ලක් හැදුවත් බදු, රුපියල් ලක්ෂ 10-15 ක අර්ථසාධක ස්ථිර තැන්පතුවකින් ජීවත්වන විශ්‍රාමිකයාටත් බදු, රටට වැඩිම ආදායමක් ගෙන දෙන විදෙස්ගත ශ්‍රමිකයාගේ ඉපැයීම ලංකාවට එවන විට ඒකටත් බදු, ඇතැම් බදු මත නැවත බදු මේ වගේ මහා විකාරයක් බවට පත් වෙලා තිබුණා.

      ඒ වගේම යහපාලන රජයෙන් දේශීය ආදායම් බදු පනත කිසිදු මූල්‍ය උපදේශකත්වයක් නොමැතිව සංශෝධනය කිරීම නිසා සියලුම බදුපණත් සංශෝධනයන්හිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු පරිපාලන පද්ධතිය (රමිස්) ස්ථාපිත කළ සිංගප්පූරු සමාගමට රුපියල් බිලියන 3ක් බැඟින් වාර්ෂිකව ගෙවීමට සිදුවුණා.

      ලංකාවේ රජයට බදු අය කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ‘රමිස්‘ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කරන ලද්දේ 2006 දේශීය ආදායම් පනතට අනුකූලව, ඒ අනුව වැට් බදු සංශෝධනය, ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) හෝ වෙනත් බදු අනුපාතයන්ගේ වෙනස්වීම් හෝ එකතු කිරීම් අඩු කිරීම් කළ හැකිව තිබුණා. ඒ සඳහා ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 4කට අධික මුදලක් වැය කොට ආදායම් පරිපාලනය සහ කළමනාකරණ තොරතුරු ක්‍රමවේද පද්ධතිය "රමිස් - Revenue Administration and Management Information System" නමින් ආරම්භ කරන ලද්දේ 2006 දේශීය ආදායම් බදු පනත යටතේ බදු කඩිනමින් එකතු කර ගැනීම හා බදු ගෙවීම් මඟ හැර යන්නන් පහසුවෙන් සොයා ගැනීමටයි, එහෙත් ඒ කිසිවක් නොතකා එම පනත මුළුමනින්ම වෙනස් කර 2017 වසරේ අංක 24 දරන දේශීය ආදායම් බදු පනතක් ගෙන ඒමට යහපාලන රජය කටයුතු කිරීම නිසා මහත් අවුලක් ඇති කරමින් 2018 වසරේ සිට බදු පනත් සංශෝධනයේදී අදාළ සිංගප්පූරු සමාගමට අමතරව රුපියල් බිලියන 3ක් බැගින් ගෙවීමට සිදුවුණා. මේ නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු සම්බන්ධව දැඩි අර්බුදයකට පත්වූ අතර මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් පැවසුවේ පසුගිය යහපාලන රජය දේශීය ආදායම් බදු පනත මුළුමනින්ම වෙනස් කර නව පනතක් ගෙන ඒම නිසා නව පනත අනුව බදු අය කිරීමේ ක්‍රමවේදය, බදු ආපසු ගෙවීම, අභියාචනා ඉදිරිපත් කිරීම ආදී සියලු ක්‍රමයන් මුළුමනින්ම වෙනස් කර ඇති නිසා පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතු නිසා ඒ වෙනුවෙන් අදාළ සමාගමට විශාල වශයෙන් මුදල් ගෙවීමට සිදුවූ බවත් වත්මන් ජනාධිපතිවරයා විසින් දැනට ක්‍රියාත්මක බදු ක්‍රමවේදය (බදු අනුපාත නොවේ) ඉදිරි වසර 5ක කාලය තුළ නොවෙනස්ව පවත්වාගෙන යාමට කටයුතු කරන්නැයි උපදෙස් ලබා දී ඇකි බවක්ද පැවසුවේ. නමුත් මේ ආණ්ඩුව ගැනත් අපට විශ්වාස කරන්න අමාරුයි. මේ ගැන ඔබේ අදහස් මොනවද?

      Delete
    3. ලංකාවේ වර්තමාන ආණ්ඩුව බදු කපා හැරීම නිසා රජයට විශාල බදු ආදායමක් අහිමි වෙලා, 2020 දී ලංකාවේ රාජ්‍ය ආදායම් රුපියල් බිලියන 1,373 දක්වා අඩු වීම 2019 දී රාජ්‍ය ආදායම වූ රුපියල් බිලියන 1,899 හා සැසඳූ විට බිලියන 526 ක් පමණ. මේකෙන් බිලියන 250 ක් විතර අඩු වෙන එක සාධාරණයි නමුත් තව බදු ආදායම් බිලියන 250 ක් වත් වැඩි කර ගැනීම අවශ්‍යයි.

      රජයේ වියදම් බිලියන 2090 මේකෙන් බිලියන 250 ක් විතර පහුගිය යහපාලන ආණ්ඩුව පොලු තියල නන්නත්තාර කරපු විශාල කොන්ත්‍රාත් කරුවන්ට විය හැකියි. තවත් විශාල ප්‍රමාණයක් කුඩා පරිමාණයේ ආයතන වලට ගෙවපු ඒවා වෙන්න පුළුවන් තවත් බිලියන 100 ක් විතර. නමුත් බිලියන 423 සඳහා අපට වැඩි විස්තර දැන ගන්න පුළුවන් නම් හොඳයි නේද?

      වඩාත් වැදගත් දෙය තමයි ඔය බිලියන 500 ක් විතර වන ඒ අහිමිවීම හා අදායම ප‍්‍රතිපූරණය කරන මගක් ආණ්ඩුවට තිබිය යුතු බව. අනෙක් අතට ඒ ගැන ඉකුත් රජය බදු වැඩි කරනු ලැබුවේ වැඩි ආදායමක් ඉපැයීමට නමුත් එමගින් අපේක්ෂිත ආදායම නොලැබුණ බැවින් වත්මන් පාලනය බදු අඩු කිරීම ඔස්සේ ආයෝජන හා වැයකිරීම් වැඩිකර රාජ්‍ය ආදායම ඉහළ නංවාගැනීමට කල්පනා කරන බව කියන්නේ ඇත්ත ද?

      ඒ වගේම ආර්ථික විශේෂඥයින් පවසන්නේ ලංකාවේ බදු ආදායම හැමවිටම පැවතුනේ සංවර්ධනය වෙමින් පවතින රටක තිබිය යුතු බදු ආදායමට වඩා 6% – 7% අඩුවෙන් නිසා මේ තත්ත්වය තුළ ඇතිවන අයවැය පරතරය පියවීමට ණය ගැනීමට වුණා කියලා. ඒත් ඇත්තටම ලංකාව බදු ආදායම මූල්‍ය තත්ත්වය යළි නගා සිටුවීමේ මාර්ගයක් ලෙස භාවිතා නොකළ අතර ණය වාරික හා පොලී ගෙවීමට බදු ආදායම පාවිච්චි කළා කියලා තමයි පේන්නේ.

      සාමාන්‍යයෙන් ලංකාවේ ඕනෑම ආණ්ඩුවක් බදු ආදායමට ලොකු අවධානයක් යොමු කළත් නිෂ්පාදන ක‍්‍රියාවලිය එක්ක ලංකාවේ පෞද්ගලික ව්‍යාපාර/ ව්‍යවසායයන් එක්ක බදු පැනවීම් කරන්න කලින් ඉතා මැනවින් දිර්ඝ වශයෙන් සාකච්ඡා කරල හරියට කරනවා නම් ඇත්තටම ලංකාවේ ආර්ථිකය ඉහළ නැංවීමට පුළුවන් බව තමයි මට හිතෙන්නේ.

      ඒ වගේම රටේ රජයේ ඉපැයීම් වැඩි කර ගැනීම සඳහා වෙනත් innovative අලුත්ක‍්‍රම හොයා ගෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත තව තවත් වැඩි කර ගන්න ඕන. පහුගිය යහපාලන කාලේ ලංකාවට ආයෝජකයෝ ආවේ ඉතාමත් සුළු පිරිසක් හිටපු අයත් ඩොලර් එක ඉහළ යාම නිසා සහ අධික බදු බර, ආණ්ඩුවේ අස්ථිර අකාර්යක්ෂම පාලන ක්‍රමය නිසා 2016/ 2018 කාලයේ ලංකාවෙන් පිටට ගියා. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තයද බිද වැටුණ නිසාත් ලංකාවේ කිසිම ව්‍යාපාරයක් පණ ඇතුව ඉදිරියට යන තත්ත්වයක් තිබුණේ නැහැ. ඒත් ලංකාව මුහුණ පා ඇති අනෙක් බරපතළ ප‍්‍රශ්නය වන්නේ රාජ්‍ය වියදම් එන්න එන්නම වර්ධනය වීමයි. දැන් ජනාධිපතිවරයා වියදම් අඩුකිරීමේ ක‍්‍රියාමාර්ග ගෙන රාජ්‍ය ආයතන වල දේශපාලකයන්ගේ පින්තූර නොඑල්ලීමේ සිට ජනපතිගේම වාහන භාවිතය අඩු කිරීම, ජනපති කාර්ය මණ්ඩලය දෙසිය පණහකට සිමා කිරීම හා ජනපතිගේ සරල ඇවතුම් පැවතුම් වලට දිරි දීම මගින් මෛත්‍රීගේ බිලියන හතරක වියදම් බිලියන එකකට අඩු කරපු එක ලංකාවේ පතුල ගැලවුනු ආර්ථිකය පැත්තෙන් ආරම්භක මට්ටමේ වැදගත් පියවර වුණාට තවත් පැත්තකින් රාජ්‍ය ඇමතිවරු 40 ක් පත් කිරීම ආණ්ඩුවට බර වැඩියි. ඉන් සිදුවන්නේ තවත් වියදම් වැඩිවීමක්. එසේ කිරීමට ජනාධිපතිවරයාට දේශපාලන හේතු ඇතත් ලංකාව සම්බන්ධව ක‍්‍රියාකිරීමේදි දේශපාලනික හේතු දෙවෙනියට දාල දැන් වැඩ කරන්න ඕන.

      තව එකක් තමයි 2018 යහපාලන ආණ්ඩුව පරාජය සැඟවීමට අලුතෙන් ගෙනාපු විකාර පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය හින්දා එම ආයතන වල මහජන නියෝජිත සංඛ්‍යාව තුන් ගුණයක් විතර ප්‍රමාණයක් වැඩි වෙලා. ඒ සමගම කඩදාසියේ පටන් වැඩිවු අතිවිශාල වියදම ගැන නන්දසේන ජනාධිපතියගේ අවධානය යොමුවිය යුතුයි. එය මුලූමනින්ම නිශ්ඵල වියදමක් බව ඉතාමත් පැහැදිලි නිසා ඒ නව සීමානිර්ණ ක‍්‍රමය යළි වෙනස් කිරීමට ජනපති අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුයි. ඒ වගේම යහපාලන ආණ්ඩුවට රටකට දරාගන්න බැරි තරම් අධික ලෙස බදු වැඩි කිරීමට සිදුවූයේ රජයේ වියදම් පාර්ශ්වයත් දරා ගත නොහැකි අන්දමින් ඉහළ යාම නිසාය. ඒ නිසා ආණ්ඩුවට ප්‍රමුඛතා ලැයිස්තුවක් හහදාගන්න ඕන, මුදුනට ගන්න ඕන කේන්ද්‍රීය බරපතල ප‍්‍රශ්න, සහ ඒවා තාර්කිකව බලලා ජනපති සහ ටීම් එකම ඒකට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සරල දේ තමයි මේ ආණ්ඩුවේ බදු කප්පාදුව කළ විට සීමිතව තිබුණු රජයේ ආදායම තවත් පහළයාම, රටට මුදල් හම්බකරන මාර්ග නැති නිසා තිබෙන මූල්‍ය සංචිත ආරක්ෂා කර ගත යුතුයි. ඒකට වියදම් අඩු කරන්න, වියදම් පාලනය කරන එක කරගන්න බැරි වුණොත් ඊළගට කරන්න වෙන්නේ ණය ගැනීම විතරයි නේද? ජනපතිවරයා ජනතාවට දීපු පොරොන්දු එක්ක සෙසු කටයුතු පැත්තක තැබුවත් එම පොරොන්දු ඉටු කිරීමට පවා අති විශාල මුදලක් අවශ්‍යයි. මුදල් හම්බකරන නිසි සැලැස්මක් නැත්නම් ඕනෑම රටක් වගේ ණය ගැනීමම කෙරෙහි යොමුවීම, එතකොට ලංකාවේ ජනයා අකමැති එම්සීසී වැනි ගිවිසුම් වෙත ආණ්ඩුවට යොමුවීමට සිදුවන තත්ත්වයක්ද නිර්මාණය වෙනවා. ඒ වගේම ආදායම් නොඋපද්දවමින් වියදම් නොකරන පාලනයකට මහජන විරෝධයක්ද වර්ධනය වෙනවා.

      Delete
    4. ඉතින් මේ වගේ වෙලාවක රටේ නායකයා විස්වාස කරන හා මොඩ්ල් කර ගන්න ආර්ථික කළමනාකරණ ක්‍රමවේදයන් අතිශයින් වැදගත්, ඒ වගේම ආණ්ඩුවේ නාස්තිකාර වියදම් නතර කරන අතරම දුෂණයට ඉඩ නොතැබීමද ලංකාව වැනි ටයර් ගෙවී රිම් එකෙන් දුවන ආර්ථිකයක යලි නැංවීමට අත්‍යවශ්‍යයි. අනෙක් අතට මෙම බදු අඩු කිරීම පහුගිය යහපාලන ආණ්ඩුවේ කුප්‍රකට දින සියයේ වැඩ සටහන වැනි විගඩම් නොවී ජන සහය ඇතුව ගෙන යන්න ඕන නමුත් ඒක කරන්න ලේසි වෙන එකක් නෑ නේද?

      රටේ සමස්ත ආර්ථිකය දිහා බැලුවාම ලංකාව සාපේක්ෂව කුඩා ආර්ථිකයක් තියෙන රටක් නිසා ලංකාව ඇතුළෙම මිනිස්සු වැඩිපුර වියදම් කරලා ලංකාව ඇතුළේම වැඩිපුර ආදායම් ලබන්න පුළුවන් වෙයි කියලා මට නම් හිතන්න අමාරුයි, මොකද ලංකාවේ වෙළෙඳපොළ කුඩා වෙ‌ළෙඳපොළක් නිසා ලෝකයේ අනෙක් මිනිස්සුන්ගෙ වියදම් ලංකාවේ ආදායම් බවට පත්කරගැනීම තමයි ලංකාවට ගැලපෙනම දේ මේ වෙලාවේ. ඒ නිසා තමයි අපනයන වැදගත් වෙන්නෙ. උදාහරණයක් විදියට ලංකාවේ කුරුඳුවලට ලෝකයේ මිනිස්සු වැඩිපුර වියදම් කළොත් ලංකාවේ ආදායමක් බවට පත්කරගන්න පුළුවන්. ඇඟළුම්වලට මිනිස්සු වැඩිපුර වියදම් කළොත් එය ලංකාවට ආදායමක් බවට පත්කරගන්න පුළුවන්.

      රටේ ආදායම් වැඩිකරගැනීම සම්බන්ධයෙන් ලංකාවට මූලික වශයෙන්ම තියෙන්නෙ ඒ අභියෝගයයි. ආදායම් වැඩිකරගන්න නම් ලංකාවේ ආර්ථිකය සීඝ්‍රයෙන් විශාල කරගන්න අවශ්‍යයි. දැනට ඇමරිකන් ඩොලර් බිලියන 82ක් වගේ තිබෙන එය අර ඒ කාලේ වියත් මග කට්ටිය කියපු විදියටම තවදුරටත් වර්ධනය කරගත යුතුයි. ඒ වගේම ලංකාවේ ඒක පුද්ගල ආදායම තවත් වැඩිවෙනවත් එක්ක තමයි සංවර්ධනය වෙනව කියලා කියන්න පුළුවන්. මේ කියන සංවර්ධනය ඉලක්කයට අපි යනව නම් ආදායම් උපයාගන්න පුළුවන් නිසි ක්‍රමවේද අනුගමනය කරන්න අවශ්‍යයි නේද?

      Delete
  2. ඉකෝන්,

    මම හිතන්නේ මේ වන විට ලංකාවෙ ආර්ථික සංවර්ධනය සඳහා කුමන ආකාරයෙන් හෝ හැකි තරම් විදේශ විනිමය උපයන්න ගැනීමට කටයුතු කළ යුතු බව. ඇමරිකානු ඩොලර් එක ගැන තියෙන ලෝක පිළිගැනීම වඩාත් අඩුවන නිසා චීන මුදල්, ජපන් යෙන් වැනි මුදල් ඒකක වලට වඩා ලංකාවෙ ඩිජිටල් මුදල් ඒකකයක් බ්ලොක්චේන් ක්‍රමයට රජයේ මූලිකත්වයෙන් ආරම්භ කරන එක ගැන මොකද හිතෙන්නේ?

    ඒ වගේම ලංකාවෙ අපනයන ආදායම වැඩි කර ගන්නා ආකාරය ගැන සහ විදේශ ශ්‍රමික ප්‍රේෂණ, ඍජුවම විදේශ ආයෝජන වගේ විවිධ ආකාරයෙන් ඩොලර් එකතු කර ගැනීමට වගේම ලංකාවේ ආර්ථිකයේ වර්ධනයක් ලබා ගත්තොත් ණය අර්බුදයටත් සෑහෙන දුරකට කෙටි කාලයක් සඳහා විසඳුමක් ලැබෙනවා. ලංකාවෙ අවුරුද්දකට ණය ගෙවන්න ඩොලර් බිලියන 4.84ක් පමණ අවශ්‍ය නිසා තවත් අවුරුදු පහක් විතර යනකම් එවැනි මුදලක් ලංකාවට අවශ්‍යයි ඒක විශාල මුදලක්. 2018 වසරේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හම්බන්තොට වරාය අවුරුදු 198කට බදුදීලා අරගත්තෙ ඩොලර් බිලියන 1.2ක් වගේ පොඩි මුදලක්. දළ වශයෙන් එම මුදල වගේ හතර ගුණයක් පමණ අවශ්‍ය වෙනවා අවුරුද්දකට ණය ගෙවන්න, හම්බන්තොට වරාය අලෙවි කර ගත් මුදල වගේ 16 ගුණයක මුදලක් අවශ්‍යයි ඉතිරි අවුරුදු හතරේ ණය පමණක් ගෙවීමට. ඒක ඉතාමත් විශාල මුදලක් වුවත් සැලසුම් සහගත අරමුණකින් යුතුව මහන්සි වෙලා වැඩ කරලා අවශ්‍ය වන ඩොලර් උපයාගැනීමක් සිදු කළොත් යම් පමණක හෝ සහනයක් ලබාගන්න ලංකාවේ ආණ්ඩුවට පුළුවන් වෙයි. ඒ සඳහා ක්‍රම කිහිපයයි තියෙන්නෙ. අපනයන ආදායම් තවත් වැඩි කර අපනයන කරුවන්ගෙන් රජයට උපයාගැනීම එක ක්‍රමයක්, විදෙස් රටවල සිට ශ්‍රමිකයන් එවන විදේශ ප්‍රේෂණ තව ක්‍රමයක්, එහෙම නැත්නම් සෘජු විදේශ ආයෝජන හරහා එය ලබාගන්නත් පුළුවන්. ණය ගෙවීමේදී සිදුවන ප්‍රධාන ගැටළුව, අපි ණය ගෙවිය යුත්තේ අපේ මුදල්වලින් නෙවෙයි. අපි එය ගෙවිය යුත්තේ ඩොලර්වලින්. ඒ සඳහා අපි ඩොලර් උපයාගැනීම වෙනුවෙන් විශාල අවධානයක් යොමු කරන්න ඕන, ඒක තමයි අමාරු වැඩක් තියෙන්නේ. මේ දවස්වල ලංකාවෙ ආණ්ඩුවේ අදහස දේශීය වශයෙන් බදු වැඩි නොකර මුදල් නිකුත් කර ඒ වෙනුවට ආර්ථික කටයුතු නිෂ්පාදනයේ වර්ධනයක් ලබා ගෙන, අපනයන වැඩි කර ගනිමින් තවත් විදේශ විනිමය වැඩි පුර හොයා ගෙන ඒ හරහා රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම. මේක කළහැකිවෙයිද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: