වෙබ් ලිපිනය:

Saturday, April 10, 2021

ටොමී හිල්ෆිගර්- නින්දිත සූරාකන්නා


ලංකාවේ ඇඟලුම් සේවිකාවකගේ මාසික වැටුප රුපියල් 34,000ක්. ඈ විසින් මහන ටොමී හිල්ෆිගර් සන්නාමය සහිත ෂෝටක් ඇමරිකාවේ ඩොලර් 55කට විකිණෙනවා. එය ලංකාවේ මුදලින් රුපියල් 11,000ක්. මේ දවස් වල ඩොලරයක රුපියල් මිල ඉහළ යන වේගයට මෙය කියවන මොහොත වෙද්දී එකොළොස්දාහටත් වැඩි ඇති! ඒ කියන්නේ ලංකාවේ ලංකාවේ ඇඟලුම් සේවිකාවකට තමන්ගේ මාසික වැටුපෙන් මිල දී ගන්න පුළුවන් ඔය ෂෝට් තුනයි.

"මීට අවුරුදු 10 කට විතර කලින් වෘත්තීය සමිතියකින් රිසර්ච් එකක් කරලා තිබුනා. ඒක අනුව ඔක්කොම ගණන් හදලා බැලුවම ඇඟලුම් සේවිකාවක් තමන්ට දිනකට ලැබෙන වැටුපට සමාන ලාභයක් විනාඩි 25 ක් වැඩ කළාම හොයල ඉවරයි. ඉතිරි පැය 7 යි විනාඩි 35 ම සමාගමේ ලාභය.

(ඒ ගාණ හැදුවෙ ඉඩම්, ගොඩනැඟිලි, අමුද්‍රවය ඇතුළු සියලු පිරිවැය සලකලා සහ ඔවුන් වැඩකරන්නෙ දවසට පැය 8 යි ලෙස සලකලා.)

ඔන්න ඕකයි තත්වෙ. නින්දිත සූරා කෑමක්!
ඕක තමයි ධනවාදය!"

ඉහත ප්‍රකාශය ඇත්තනම් ලංකාවේ ඇඟලුම් සේවිකාවක් විනාඩි 25කදී තමන්ගේ දිනක වැටුප හොයනවා. නමුත් දිනකට පැය අටක්, ඒ කියන්නේ විනාඩි 480ක් වැඩ කරනවා. ඒ අනුව තමන් උපයන වැටුප වගේ 480/25 = 19.25 ගුණයක ලාබයක් හොයනවා. ඒ කියන්නේ සූරාකෑමක් නැත්නම් ඇගේ නියම මාසික වැටුප රුපියල් 652,800ක් විය යුතුයි. 

කොහොම වුනත් ධනවාදයේ නින්දිත සූරාකෑම නිසා ලංකාවේ ඇඟලුම් සේවිකාවකට ලැබෙන්නේ ඇගේ නියම වැටුපෙන් 1/19.25ක් පමණයිලු. ලංකාවේ අනෙක් අයගේ වැටුප් හැදෙන්නත් ඔය පදනම යටතේ කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඩොලර් 3,830ක් වන ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 73,700ක් පමණ විය යුතුයි. ඇමරිකාවේ ඒක පුද්ගල ආදායමටත් වඩා වැඩි අගයක්!

මේ සල්ලි සූරාකන සමාගම මොකක්ද කියලා හරියටම කියලා නැහැ. ලංකාවේ සමාගම වෙන්න බැහැනේ. එහෙමනම් ඔය සූරාකාපු සල්ලි ලංකාවේ තියෙන්න ඕනෑනේ. ඔය කියන සමාගම ටොමී හිල්ෆිගර් සන්නාමයට සම්බන්ධ සමාගමක් විය යුතුයි. 

මේ වෙද්දී ටොමී හිල්ෆිගර් සන්නාමය අයිති පීවීඑච් (පිලිප්-වැන් හුසේන්) සමාගමට. කැල්වින් ක්ලේන්, වැන් හුසේන් වගේ සන්නාම අයිතිත් මේ සමාගමට. පීවීඑච් සමාගම ලෝකයේ ලොකුම ඇඟලුම් සමාගමක්. පසුගිය (2021 ජනවාරි 31න් අවසන් වූ) වසර තුළ ඇඳුම් විකුණා ලබා තිබෙන ආදායම ඩොලර් මිලියන 7,133ක්. ලංකාවේ ඇඟලුම්ද ඇතුළු මුළු කාර්මික අපනයන ආදායමට කිට්ටු මුදලක්. ඇඳුම් වල වියදම ලෙස වැය වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 3,356ක් පමණයි. ඒ කියන්නේ ඇඳුම් විකුණලා තියෙන්නේ වියදම වගේ දෙගුණයකටත් වඩා වැඩියෙන්. විකිණුම් මිලෙන් 53%ක්ම ලාබ!

හැබැයි මේ විදිහට විකිණුම් මිල හා පිරිවැය අතර වෙනස සමාගමක ලාබ විදිහට සලකන එක අන්තිම බොළඳ වැඩක්. මේ පිරිවැය විචල්‍ය පිරිවැය. සේවක වැටුප්, ගොඩනැගිලි කුලී, ප්‍රවාහන වියදම්, ප්‍රචාරන වියදම් වගේ තවත් වියදම් අටෝරාසියක් තිබෙනවා. ඒවා ස්ථිර පිරිවැය. ෂෝටක් ඩොලර් 55කට විකුණන්නනම් ඔය පිරිවැය දරන්නම වෙනවා. එහෙම නැතුව පදික වේදිකාවේ දාලා විකුණන්න බැහැ. ඇඳුම් විකිණුවත් නැතත් මේ ස්ථිර පිරිවැය එහෙම්මම තියෙනවා. නියම ලාබය වන්නේ මේ ස්ථිර පිරිවැයත් අඩු කළාට පසු ඉතිරි වන කොටසයි.

පීවීඑච් සමාගම විසින් කාව හරි හූරං කාලා මහා ලොකු ලාබයක් ලබනවානම් ඔය සමාගමේ කොටස් මිල දී ගන්න මිනිස්සු පෝලිමේ එනවා. ඇමරිකාවේ සමාගමක කොටස් මිල දී ගන්න එක මහා ලොකු වැඩක් නෙමෙයිනේ. ටොමී හිල්ෆිගර් ෂෝට් දෙකක් මිල දී ගන්න සල්ලි වලින් සමාගමේ කොටසක් මිල දී ගන්න පුළුවන්. කෝවිඩ් පැතිරෙන්න පටන්ගත් පහුගිය 2020 මාර්තු මාසයේදී ඔය කොටසක් ඩොලර් 30ට පමණ බැස්සා. ඒ දවස් වල ගත්තානම් ලංකාවේ ඇඟලුම් සේවිකාවකගේ සතියක වැටුපෙන් වුනත් කොටසක් මිල දී ගන්න තිබුණා.

පසුගිය අවුරුද්දේ පීවීඑච් සමාගමේ මෙහෙයුම් පිරිවැය ඇතුළු අනෙකුත් වියදම් අඩු කළාට පස්සේ ඇත්තටම ඩොලර් මිලියන 1,193ක පාඩුවකුයි වෙලා තියෙන්නේ. මෙය විශාල පාඩුවක්. පාඩුවට හේතුව කෝවිඩ් නිසා ඇමරිකාවේ ඇඟලුම් වලට තිබෙන ඉල්ලුම විශාල ලෙස පහළ යාමයි. අලෙවිය අඩු වෙද්දී ආදායම් අඩු වන අනුපාතයට වියදම් අඩු නොවන නිසා එකට එකක ලාබ ආන්තිකයක් තියාගත්තත් එයින් ස්ථිර පිරිවැය ආවරණය කර ගන්න බැහැ. මෙය සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යාපාරයක ස්වභාවයයි.

පීවීඑච් වගේ සමාගමක් ව්‍යාපාරය මෙහෙයවන්නේ පාඩු ලබන්න නෙමෙයි. සාමාන්‍යයෙන් මේ වගේ සමාගමක් ලාබ ලබනවා.  එවිට සමාගමේ කොටස් හිමිකරුවන්ට ලාභාංශ ලැබෙනවා. නමුත් ඔවුන්ට පාඩු ලැබීමේ අවදානමද දරන්න වෙනවා. 2020 ජනවාරි 31න් අවසන් වූ පෙර වසරේදී පීවීඑච් සමාගම ඩොලර් මිලියන 444ක් ලාබ සේ උපයා තිබෙනවා. එක් කොටසක් වෙනුවෙන් ඩොලර් 5.60ක ලාභාංශ ලැබී තිබෙනවා. පීවීඑච් කොටසක මිල ඩොලර් 100කට ආසන්න නිසා මෙය 5.6%ක පමණ පොලී අනුපාතිකයකට සමානයි. අවදානම සැලකූ විට මෙය ඉහළ පොලී අනුපාතිකයක් නෙමෙයි. 

පීවීඑච් වගේ සමාගමක අයිතිකාරයෝ කියා කියන්නේ අමුතු මිනිස්සු කොට්ඨාශයක් නෙමෙයි. ඇමරිකාවේ හෝ ඇමරිකාවෙන් පිටත ජීවත් වෙන අපි වගේ සාමාන්‍ය මිනිස්සු. අද දවස අවසන් වෙද්දී පීවීඑච් කොටසක මිල ඩොලර් 110.50ක්. මට අවශ්‍යනම් ඔය මුදල ගෙවා කොටසක් මිල දී ගන්න පුළුවන්. නමුත් මම එහෙම නොකරන්නේ අවුරුද්දකට ඩොලර් 4ක ලාභාංශ කියා කියන්නේ මහා ලොකු ලාබයක් නොවන නිසා. වෙන සමාගමක කොටස් වල ආයෝජනය කළත් ඔය වගේ මට්ටමකින් ලාභාංශ උපයන එක අමාරු දෙයක් නෙමෙයි.

ධනවාදී ක්‍රමයක් යටතේ තරඟකාරී වෙළඳපොළක් තිබේනම් ශ්‍රමය වෙනුවෙන් එහි ආන්තික ඵලදායීතාවයත්, ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ඵලදායීතාවයත් හරියටම ලැබෙනවා මිස අමුතු ලාබයක් කාටවත් ලැබෙන්නේ නැහැ. සූරාකෑම කියන එක මාක්ස්ගේ කතන්දරයක්. හැබැයි ඔය වචනේ සීනියර් අයියලාගේ මුඛ පරම්පරාවෙන් වනපොත් කරලා ගිරවු වගේ වමාරන ගොඩක් අයට සූරාකෑම කියලා මාක්ස් කියන දේ ගැනවත් හරි අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නේ නැහැ.

මාක්ස්වාදයට අනුව නිර්ධන පන්තිකයින් හා ධනපතියන් කියලා මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. නිර්ධන පන්තිකයෝ කියා කියන්නේ තමන්ගේ ශ්‍රමය හැර කිසිදු ප්‍රාග්ධනයක් නැතිව උපදින අය. ඒ අයට විප්ලවයක් නොකර කවදාවත් විමුක්තිය ලබා ගන්න බැහැ. ජීවත් වෙන්න සොච්චමක් පමණක් දීලා ඉතුරු ටික ඔක්කොම ධනපතියෝ සූරා කනවා. ඒ නිසා විප්ලවයක් කරලා නිර්ධන පන්ති ආඥාදායකත්වයක් හදන තුරු ඒ කට්ටියට බලාගෙන ඉන්න වෙනවා. මාක්ස්ගේ අර්ථකථනය අනුව ඇමරිකාවේ වුනත් ධනපතියෝ ඉන්නේ බොහොම ටිකයි. අති මහත් බහුතරයක් ඇමරිකානුවන් උපදින්නේ ප්‍රාග්ධනයක් නැතුවයි. හැබැයි ඇමරිකානුවන් වැඩි දෙනෙක් ඉපදුනු විදිහටම මැරෙන්නේ නැහැ.

තෝමස් ජේකබ් හිල්ෆිගර් හෙවත් ටොමී හිල්ෆිගර් කියා කියන්නෙත් උපතින් උරුම වූ ප්‍රාග්ධනයක් නැතිව සාමාන්‍ය ඇමරිකානු පවුලක ඉපදුනු දරුවෙක්. මාක්ස්වාදී අර්ථකථනය අනුවනම් නිර්ධන පාන්තිකයෙක්. දරුවන් නව දෙනෙකුගෙන් යුත් ඔරලෝසු හදන්නෙකුගේ පවුලක දෙවැනි දරුවා. ගොඩක් ඉහළට ඉගෙන ගත් අයෙකුත් නෙමෙයි. 

ඇමරිකාවේ බොහෝ දරුවන් වගේම කුඩා ටොමීත් පාසැල් කාලයේ සිටම කීයක් හරි හොයා ගන්න පැට්‍රෝල් ෂෙඩ් එකක වැඩ කරනවා. මේවා ඇමරිකාවේ පහළම මට්ටමේ රැකියා. බොහෝ විට ලැබෙන්නේ අවම වැටුප. වැඩ කරන පැය ගණන අනුව. එහෙත් ඇමරිකන් දරුවෙක් තමන්ට මේ විදිහට වැඩක් කරලා කීයක් හෝ හොයා ගන්න තිබෙන අවස්ථාව අගය කරනවා මිස බුදු අම්මෝ මගෙ ශ්‍රමය සූරාකනවෝ කිය කියා මොර දෙන්නේ නැහැ. පෙට්‍රෝල් ෂෙඩ් එකේ රැකියාව කරලා අමාරුවෙන් උපයන සල්ලි එකතු කරන ටොමී හිල්ෆිගර් වයස අවුරුදු 17ක් වෙද්දී ඩොලර් 150ක ප්‍රාග්ධන හිමියෙක් වෙනවා. 

මේ විදිහට ටොමී හිල්ෆිගර් ඩොලර් 150ක මුදලක් ඉතිරි කර ගන්නේ 1968 අවුරුද්දේදී. ඒ මුදලේ දැන් වටිනාකම ඩොලර් 1000ක් පමණ වෙනවා. ලංකාවේ ඇඟලුම් සේවිකාවකගේ මාස හයක පඩිය. ඇමරිකාවේ පහළම මට්ටමේ රැකියාවක් කරන කෙනෙක් සති දෙක තුනකින් පමණ හොයන මුදලක්. තවත් යාලුවෙක් එක්ක එකතු වෙලා මේ මුදලින් බෙල්බොටම් කලිසම් 20ක් මිල දී ගන්න ටොමී ගාණක් තියාගෙන ඒ කලිසම් තමන්ගේ පාසැලේ මිතුරන්ට විකුණනවා. 

අවුරුද්දක පමණ කාලයක් ටොමී සහ ඔහුගේ යාලුවා ලැරී මේ බිස්නස් එක කරනවා වගේම එය තවත් දියුණු කර ගන්නවා. ඔවුන්ගේ මේ පුංචි ව්‍යාපාරය කරගෙන යන්න උදවු වෙන්නේ තමන්ගේ වයසේ අය කැමති මෝස්තර ගැන තිබෙන ටොමීට තිබෙන ඉව. ටොමී සහ ලැරී නිවුයෝර්ක් නගරයේ අහුමුලු පීරලා තමන්ගේ වයසේ අය අතර විකුණන්න පුළුවන් මෝස්තර වල ඇඳුම් හොයා ගන්නවා. 

ඔය කාලය තරුණයන් අතර හිපි ජීවන ක්‍රමය ජනප්‍රිය වී තිබුණු කාලයක්. හිපි මෝස්තරයේ ඇඳුම්, ආභරණ ආදිය අඩුවට හොයා ගන්න ටොමී මේ ඇඳුම් තමන්ගේ කාර් එකේ ඩිකියේ තියාගෙන ලාබයක් තියාගෙන තමන්ගේ යාළුවන්ට, ඔවුන්ගේ යාළුවන්ට හා වෙනත් තරුණ තරුණියන්ට විකුණනවා. වැඩේ නැගලා යනවා.

නීල් ආම්ස්ට්‍රෝං හඳට ගිය 1969 අවුරුද්ද වන විට ටොමී අවුරුදු 18ක තරුණයෙක්. කාර් එකේ ඩිකියේ තියාගෙන ඇඳුම් විකුණලා ඒ වෙද්දී ඔහු පොඩියට නමක් හදාගෙන. ඔය කාලයේ සමහර රටවල තරුණයෝ මාක්ස්ගේ කතන්දර වලට රැවටිලා රාජ්‍ය බලය පැහැරගෙන සූරා කෑම් නැති තමන්ගේ සිහින රාජ්‍යය ගොඩ නැගීමේ අරමුණින් කැලෑ වැදිලා අවි පුහුණුව ලබනවා. තමන් ප්‍රාග්ධනයක් නැතිව ඉපදුනේ තමන්ගේ වැරැද්දකින් නොවුනත්, ප්‍රාග්ධනයක් නැතිව මැරෙන්න වුනොත් එය තමන්ගේ වැරැද්දක් බව දන්න ටොමී තවත් පියවරක් ඉදිරියට තබමින් බේස්මන්ට් එකක තමන්ගේම ඇඳුම් කඩයක් අරිනවා.


ජනතා වෙළඳසැල (පීපල්ස් ප්ලේස්) නම් වූ මේ රෙදි කඩේ පටන් ගන්නේ ඉතාම සුළුවෙන්. අතින් ඇඳපු බෝඩ් එකක් මිසක් හරියකට බෝඩ් එකක්වත් නැහැ. ටොමී සහ ඔහුගේ යහළුවා පූර්ණකාලීනව කඩේ වැඩ කරනවා. වෙනත් යහළුවන් අර්ධකාලීනව වැඩ කරනවා. ඒ වෙනත් යහළුවන්ගේ ශ්‍රමය වෙනුවෙන් ටොමී ඔවුන්ට ඇඳුම් වලින් ගෙවනවා. ඒක සූරාකෑමක් කියලා කවුරුවත් ඔහුට චෝදනා කරන්නේ නැහැ. 

වැඩි කල් යන්න කලින් පීපල්ස් ප්ලේස් නම ජනප්‍රිය වෙනවා. නිවුයෝර්ක් ආසන්න විශ්ව විද්‍යාල ආශ්‍රිතව එහි ශාඛා ගණනාවක් අරින්න පුළුවන් වෙනවා. ඔය විදිහට ශාඛා 10ක් දක්වා මේ ව්‍යාපාරය පුළුල් වුනත් 1975 වෙද්දී මේ ව්‍යාපාරය බංකොළොත් වෙනවා. ව්‍යාපාර කිරීම අවදානම් වැඩක්!

පාසැලෙන් ඉවත් වූ ගමන් ඇඳුම් ව්‍යාපාරයට බහින ටොමීට තරුණ තරුණියන් කැමති විලාසිතා පිළිබඳව හොඳ ඉවක් තිබුණත් ව්‍යාපාරයක් ඉදිරියට ගෙනයන්න අවශ්‍ය ව්‍යාපාරකරණය, ගිණුම්කරණය වගේ දේවල් ගැන හොඳ දැනුමක් තිබුණේ නැහැ. මුලදී ඔහු මේ දේවල් එතරම් වැදගත් සේ සලකන්නේ නැහැ. එහෙත් ව්‍යාපාර බංකොලොත් වුනාට පස්සේ ඔහුට තමන්ගේ අඩුපාඩුව පැහැදිලිව පේන්න ගන්නවා. ඉන්පසුව තමන්ට අවශ්‍ය දැනුම ලබා ගැනීමට කාලය හා මුදල් ආයෝජනය කරනවා.

ඉන්පසුව ටොමීට මෝස්තර සැලසුම්කරුවෙකු ලෙස මුල සිට ජීවිතය පටන් ගන්න වෙනවා. දැන් නැවතත් ඔහු සතු ප්‍රාග්ධනයක් නැහැ. ඒ වන විට ඔහු තමන්ගේ වෙළඳසැලක සේවය කළ සේවිකාවක හා විවාහ වෙලා. ආදායමක් උපයන්න වෙන්නේ මේ දෙන්නා එක්කම මෝස්තර සැලසුම්කරණයේ යෙදෙමින් තමන්ගේ ශ්‍රමය විකුණලා. හැබැයි ඔහුට මේ වැඩේ කරන්න වෙන්නෙත් අවුරුද්දයි. දෙන්නාටම එකපාර රස්සා නැති වෙලා නැවතත් පාරට වැටෙනවා.

අතේ ලොකු මුදලක් නැතත්, මෝස්තර සැලසුම්කරුවෙකු ලෙස හොඳ වැටුපක් ලැබිය හැකිව තිබියදීත්, ටොමී කැමැත්තෙන් ඉන්නේ ගිලෙන්න හරි බලාගෙන නැවතත් වතුරට බහින්නයි. ඇඟලුම් ව්‍යාපාරයේ දැවැන්තයෙකු වූ මෝහන් මුර්ජානි මේ වෙද්දී මෝස්තර සැලසුම්කරුවෙකු හොයමිනුයි ඉන්නේ. මුර්ජානි සමාගම සමඟ එක් වන ටොමී තමන්ගේම සන්නාමයකින් වැඩ පටන් ගන්නවා. ඒ තමයි ටොමී හිල්ෆිගර් සන්නාමය.

ටොමී හිල්ෆිගර් සන්නාමය යටතේ ඇඳුම් නිර්මාණය වන්නේ 1985 වසරේදී. මුලින් මුර්ජානි සමාගම සමඟ වැඩ කරන ටොමී පසුව ඔවුන්ගෙන් අයින් වෙනවා. 1988 වන විට ටොමී හිල්ෆිගර් සන්නාමයේ අලෙවිය ඩොලර් මිලියන 25ක්. 1995 පමණ වන විට ඩොලර් මිලියන 500ක්. 2000 වන විට ඩොලර් බිලියනයක්. 2004 වන විට ටොමී හිල්ෆිගර් සමාගම ඩොලර් බිලියන 1.8ක අලෙවියක් තිබෙන, සේවකයින් 5,400කට රැකියා සපයන දැවැන්ත ව්‍යාපාරයක්. 2005 වසරේදී ටොමී හිල්ෆිගර් විසින් තමන්ගේ සමාගම ඩොලර් බිලියන 1.6ක මුදලකට බ්‍රිතාන්‍ය ආයෝජන සමාගමකට (Apax Partners) විකුණා දමනවා. පීවීඑච් සමාගම විසින් 2010 වසරේදී ඩොලර් බිලියන 3ක් ගෙවා ටොමී හිල්ෆිගර් සන්නාමය මිල දී ගන්නේ එම සමාගමෙන්.

තමන්ගේ ශ්‍රමය හැර වෙනත් ප්‍රාග්ධනයක් නැතිව ඉපදී, ඇමරිකාවේ පවතින ධනවාදී ක්‍රමයේ උදවුවෙන් හා තමන්ගේ මහන්සියෙන් හා උනන්දුවෙන් සැලකිය යුතු ප්‍රාග්ධනයක් උපයාගත් වෙනත් බොහෝ ඇමරිකානුවන් වගේම මේ "නින්දිත හූරාකන්නා" විසින්ද විවිධ ජනහිතකාමී කටයුතු වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය විශාල ලෙස වැය කර තිබෙනවා. 1995 පමණ සිටම තරුණයින් සවිබල ගැන්වීම වෙනුවෙන් හා ඔවුන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍යය නගා සිටවීම වෙනුවෙන් වැඩ කර තිබෙනවා. මේ වෙද්දී ජනහිතකාමී කටයුතු ටොමී හිල්ෆිගර්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවය කියා කියන්න පුළුවන්.

ටොමී හිල්ෆිගර් විසින් ඔහුගේ ජනහිතකාමී කටයුතු සිදු කර තිබෙන්නේ ඇමරිකාව තුළ පමණක් නෙමෙයි. ලෝකය පුරාම ළමුන්, පරිසරය, සෞඛ්‍යය ආදී විවිධ ක්ෂේත්‍ර වල පැතිරී තිබුණු ඔහුගේ ජනහිතකාමී කටයුතු මේ වෙද්දී ටොමීකෙයාර් සංවිධානය හරහා සිදු වෙනවා. 

අද වෙද්දී ලොකු අධ්‍යාපනයක් නොලැබූ ලංකාවේ තරුණියකට මසකට රුපියල් 34,000ක පමණ ආදායමක් ඉපැයිය හැකිව තිබෙන්නේ ටොමී හිල්ෆිගර් වැනි ව්‍යවසායකයන්ගේ පුරෝගාමී මෙහෙවර නිසයි. ලංකාවේ ඇඟලුම් ව්‍යාපාරය නොතිබෙන්නට මේ තරුණියන්ටත් සිදු වන්නේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට බෝඩ් අල්ලාගෙන ඉන්න හෝ බස් වලට නැගී කැට හොල්ලන්නයි. නැත්නම් තමන්ගේ විප්ලවවාදී ජීව ගුණය පෙන්වන්න අශූචි කානු වල ඉන්න මීයන් මරාගෙන කන්නයි. ඔවුන් තමන්ගේ මහන්සියෙන් උපයන මේ මුදලින් කොටසක් රජය විසින් බදු හරහා සූරාකමින් රටට ඵලදායී සේවයක් නොකරන පරපුටුවන් පිරිසක් නඩත්තු කරද්දී විවිධ වෘත්තීය සමිති ආදිය විසින්ද ඔවුන්ගේ වැටුපෙන් තවත් කොටසක් සූරාකනවා.

32 comments:

  1. ටොමී හිල්ෆිගර් ගැන ඉකොන්ගෙ මේ පෝස්ට් එක කියවද්දි මට හිතුනු දෙයක් තමයි සාමාන්‍යයෙන් අපේ ඔලුවට දාල තියෙන්නෙ ජීවිතයේ දියුණුව කියන්නෙ හොද රස්සාවක් හරි හොද බිස්නස් එකක් හරි කරගෙන ඒවිදිහටම ඒක පවත්වාගෙන යැම කියලා. නමුත් මේ ටොමී හිල්ෆිගර්-සූරකන්නගෙ වගේ විස්තර කියවද්දි ඔවුන්ගෙ ජීවිත එක පාරක් නෙවෙයි කීප සැරයකම එකපාරටම පොලවෙ ගැහුවා වගේ කඩාගෙන වැටිලා, නමුත් ඒ හැම සැරේම ඔවුන් අලුත් skills ඉගෙනගෙන, අලුත් ආකල්ප වර්ධනය කරගෙන, අලුත් partnerships හදාගෙන නැවත නැවත ජීවිතය පටන් ගන්නවා, from scratch. ඔවුන් කර්මයට, සූරකන්නන්ට දොස් කියන්නෙ නැතුව ඇති. Difficult roads often lead to beautiful destinations කියන්නෙ මේකයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. මෙහි ලියා නැතත් හොඳටම දියුණු වුනාට පස්සේ අන්තිම කාලයේ නැවතත් ව්‍යාපාරය කඩා වැටෙනවා. ඊට පස්සේ තමයි ආයෙත් එය ගොඩ දාලා විකුණලා දමන්නේ. මතුපිටින් බැලුවහම පෙනෙන්නේ අනික් පැත්ත වුනත් ධනවාදී දියුණුව පසුපස බොහෝ විට තියෙන්නේ අත් හැරීම. තමන් කාලයක් තිස්සේ එල්ලිලා ඉන්න දේවල් අවදානමක් අරගෙන බය නැතිව අත ඇරලා දමන්න පුළුවන් අය ඒ අත් හැරීම තුළින්ම දියුණු වෙනවා. ඇලීම වැඩි මිනිස්සු එහි මිල ගෙවනවා. ඇමරිකානුවෙක් පාසැල් කාලය ඉවර වෙද්දීම ගමට, ප්‍රදේශයට තිබෙන බැඳීම අතාරිනවා. ගැලපෙන කොහේ හෝ තැනකට සංක්‍රමණය වෙනවා. රස්සා වල එල්ලී ඉන්නේ නැතිව රස්සා මාරු කරනවා. සරසවියට ගියාට පස්සේ පාඨමාලාව මාරු කරනවා. පශ්චාත් උපාධියක් කරන විට සමහර විට නැවත මාරු කරනවා. (සහකරු හෝ සහකාරිය නොගැලපෙනවානම් එයත් මාරු කරනවා). බිල් ගේට්ස්, සකර්බර්ග් වගේ අය හාවඩ් උපාධිය අතාරිනවා. තව ගොඩක් ධනවතුන් සමාජ සම්මතයේ දියුණුව කියා කියන දේ අත ඇරලා තමන්ගේ ආත්මීය හඬ පසුපස ගිය අය. මේ මිනිස්සු ධනවතුන් වී සිටියත් සල්ලි පස්සේ පන්නපු මිනිස්සු කියන්න බැහැ. තමන්ගේ ආත්මීය හඬ පසුපස හඹා යාම තුළ අන්තිමේදී ධනවතුන් වී නවතිනවා. මිනිහෙකුට ලෝකයට අගය එකතු කිරීමක් සාර්ථකව කළ හැක්කේ තමන් කරන දෙය තමන්ගේ ආත්මීය හඬ සමඟ සුසර වූ විටයි. ඒ අගය එකතු කිරීමේ නියම වටිනාකම ලබා දෙන්නේ පවතින සමාජ ක්‍රමය විසින්. සාමූහිකත්වයක් වෙනුවෙන් තමන්ගේ ආත්මීය හඬ යටපත් කළ විට අගය එකතු වීමේ ක්‍රියාවලියද නවතිනවා. මිනිස්සුන්ට "රස්සා" කරනවා වෙනුවට තමන් සතුටු වන දෙයක් කරන අතර එයින්ම යැපෙන්න පුළුවන් වෙන්නේ වෙළඳපොළ පුළුල් වන තරමටයි.

      Delete
  2. මහත්තයා ටොමී හිල්ෆිගර්ගේ සාප්පුවේ වෙළඳ සේවකයෙක්ද?

    ReplyDelete
  3. ටොමි හිල්ෆිගර් කවද හරි ප්‍රකාශයක් කළාද එයානෙ නිෂ්පාදන සුදු ජාතිකයන්ට පමණයි කියලා. මම එහෙම කතාවක් කොහෙදි හරි කියවපු මතකයක් තියනවා. ටොමි හිල්ෆිගර් ඇඳුමක් දකිනකොට මට ඒක මතක් වෙනවා... ඒකේ මොකක් හරි ඇත්තක් තියනවද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියනවානම් මම පෞද්ගලිකව ඇඳුම් වල සන්නාම පිළිබඳව ඉතාම අඩු උනන්දුවක් දක්වන කෙනෙක්. මෙහි ලියා තිබෙන බොහෝ දේවල් අළුතින් කියවපු දේවල්. මගේ සමහර ඇඳුම් වලත් ඔය සන්නාමය තිබෙන බව දැක්කේ මේ ගැන හොයන්න පටන් ගත්තට පස්සේ. හැබැයි හිතලා අරගෙන නෙමෙයි. පහත ලින්ක් එක අනුව ඔබ සඳහන් කරන දෙය තනිකරම කාගේ හෝ බොරු ප්‍රචාරයක්. එහෙත් එම බොරු ප්‍රචාරයෙන් සන්නාමයට අහිතකර බලපෑමක් වී තිබෙන බව පේනවා.

      https://www.truthorfiction.com/tommy/
      https://ca.answers.yahoo.com/question/index?qid=20061216083646AA36a9A

      Delete
  4. මිලියන 7000ක ජනගහනයක් ඉන්න ලෝකයක ඩොලර් බිලියනපතියන් 2153ක් ද ඩොලර් මිලියන පතියන් මිලියන 47ක් පමණද සිටින බව කියවෙනවා.කොවිඩ් ලෝකයටම වසංගතයක් වෙලා තියෙද්දිත් මේ දානපතියන්ට එකතුවෙලා විසඳුමක් සොයන්න බැරිද? ඉන්දියාව මිලියන 100කට දැනටමත් එන්නත දීලලු. මිලියන 22ක ජනගහනයක් ඉන්න අප තවමත් ඉන්නේ මිලියනයකටත් අඩු එන්නත්කරණයක. ධම්මික පෙරේරා වත් ටොමි හිල්ෆිගර් වෙනතුරු බලාඉමු.

    ReplyDelete
  5. එකොනෝ,

    1. ඔබ විසින් අපට හඳුන්වා දෙන්නට යෙදුන පරිදි C-D ආකෘතියට අනුව නිශ්පාදනයේ ප්‍රමාණය (Y) රඳා පවතින්නේ ප්‍රාග්ධනය(K) සහ ශ්‍රමයේ(L) අගයන් සහ එහි යම් බලයක ගුණිතයකින්. ඒ කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා මේ අස්තිත්වයන් දෙකම අවශ්‍යයයි. නමුත් ඔබගේ  අප්‍රේල් 10 ලිපියෙන් මෙහෙම දෙයක් කියනවා.

    //...ලංකාවේ ඇඟලුම් ව්‍යාපාරය නොතිබෙන්නට මේ තරුණියන්ටත් සිදු වන්නේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට බෝඩ් අල්ලාගෙන ඉන්න හෝ බස් වලට නැගී කැට හොල්ලන්නයි. ..//

    ලංකාවේ (හෝ කොහේ හෝ) ඇඟලුම් සේවක/සේවිකාවන් නොසිටියා නම් ටොමී හිල්ෆිගර් තවමත් න්‍යායාත්මකව  ගැසොලින් කඩේ වැඩ නේද කියන කාරණාවට  ඇයි ඔබ  අසංවේදී වුනේ ? එනම් වෙන විධියකින් අහනවා නම් පිටකොටුවේ දී  ඇඟලුම් සේවකයන් උද්ඝෝෂණය කරන්නේ වක්‍රව නිව්යෝක්හි ඉන්න ටොමීට එරෙහිව නේද? එනම් , wL සහ rK අතර අනුපාතයට එරෙහිව නොවේද කම්කරුවන් මේ අවිඤ්ඤානිකව හෝ පාරට බහින්නේ?

    C-D ආකෘතියෙන් ශ්‍රමිකයා සහ ප්‍රාග්ධන හිමියාට අනලස් සබඳතාවය පෙන්වා දුන්නත් ඇත්තටම සිද්ධ වෙන්නේ (හෝ බොහෝ දුරට සිද්ධ වෙන්නේ) ප්‍රාග්ධන හිමියා මොන ගේමක් දීලා හරි උඩටම එන්න හදන එක බව නොවෙයිද යථාර්ථය ?මම යෝජනා කරනවා සමහරවිට අතපසු වීමකින් ඔබට මෙතැනදී C-D ආකෘතියේ හරය මඟ හැරුණ බවට.

    විවාහක රූ රැජින තරඟයේදී තරඟකාරියන් කොපමණ හිටියත්, තරඟයේදී ජයග්‍රාහකයා කලින්ම තීරණය වෙලා තියෙනවා වාගේ, පාස්කුදා ප්‍රහාරයේ මහා මොලකරු කවුද කියලා කොමිසම් දාන්නත් පෙර හඳුනාගෙන තියෙනවා වාගේ, ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර වන තීරණාත්මක සටනේදී දිනන්නේ කවුද කියලා කලින්ම තීරණය වී හමාරයි. ප්‍රාග්ධනයේ විචල්‍යයන් පරීක්ෂා කර අනාවැකි පුරෝකතනය කර බලන tools  අත්‍යන්තයෙන්ම සැකසී ඇත්තේ ප්‍රාග්ධන හිමියාට වාසි ගෙන දෙන ආකාරයට මිස ශ්‍රමිකයාට වාසි සාදන හෝ සාධාරණ ආකාරයටද? පිටකොටුවේ පිකට් බෝඩ් උස්සන් කෑ ගහන එක, වැඩ වර්ජන, කැට හෙල්ලිලි තමයි ඉතින් ශ්‍රමිකයා භාවිතා කරන ප්‍රාථමික tools. හරි යන්න හෝ වරදින්න මේවා තමයි ශ්‍රමිකයාගේ උපකරණ. කම්කරු පනතියට තම class consciousness  එක පිටතින් ගේන්න ඕනේ කියලා Gramsci තදින්ම  කිව්වෙි මේ නිසායි කියලා නලින් ද සිල්වාටවත් නොතේරුනේ මේ නිසායි.

    මෙයට එක හේතුවක් ලෙස මා දකින්නේ ටොමී හිල්ෆිගර් ගෙන්ම උදාහරණයක් ගතහොත් තමන්ගේ ව්‍යාපාරය තමන්ට උවමනා දිසාවට යන්නේ නැති වුනාම තමන් ඒ සිද්ධිය අධ්‍යනය කරනවා. එතකොට ප්‍රාග්ධනයට තමන්ගේ හිමි තැන හරියටම පේන්න පටන් ගන්නවා. නමුත් ශ්‍රමයේ කොටස් කරුවන් හට තමන්ගේ ශ්‍රමය හරියටම ගෙවන්නේ නැති බව දැක්කාම ඔවුන් මොනවාද කරන්නේ? අද්දැකීම මඟින් කියන්නේ ඔවුන් කිසිවක් කරන්නේ නැහැ. එසේ නොකිරීමට බලපාන හේතුත් තියෙනවා.

    තවත් එකක් තමයි, ප්‍රාග්ධනයේ හිමිකාරිත්වය  මේ සන්ධර්භයට ඇතුල වෙන්නේ අතරමඟින් වීමයි. තෝමස් හිල්ෆිගර් පලමු ඩොලර් 150 save කර ගත්ත ක්‍රියාවලිය පිටුපස ප්‍රාග්ධන සහ ශ්‍රමය අතර වූ සහ සම්බන්ධය ඔහු (හෝ,ඔබ) පරීක්ෂා කර බැලුවේ ධනවාදය විසින් හඳුන්වා දුන් ක්‍රමවේදයකට අනුව බව මම අවධාරණය කරමි. එය සාධාරණ ද?

       ඔබ කැමතිද  සමස්තයක් ලෙසට ප්‍රාග්ධනයේ ආරම්භය පරීක්ෂා කර බලන්න? එහි propagation එක තුල විතරයි ටොමීගේ ඛන්ඩාංකය හරියටම පේන්නේ. මේ දෙය මතුපිටින් විග්‍රහ කර ගැනීමට ප්‍රාග්ධනයේ ආරම්භය -Origin of Capital formation අමතක කර එහි යෙදවුම ගැන පමණයි C-D ආකෘතිය සැලකිලිමත් වන්නේ .

    ඒ වාගේම එකොනෝ, ඔබට පුලුවන්ද..මාක්ස්වාදී ආර්ථික ක්‍රමයේ සීමාව පෙන්වා දුන් පරිදිම  C-D ආකෘතියේ සීමාව පෙන්වා දෙන්න?

    මාක්ස්වාදී ආර්ථික විද්‍යාව වැරදියි, මෙතැනයි එහි සීමාව. period .. කියලා කෙසේ වෙතත් එය  හරියටම ඔබ පෙන්වා දී නැත. කේන්සියානු , ෆ්‍රීඩ්මාන් ආර්ථිකය හදාරපු විධියටම, මාක්ස්වාදී ආර්ථික විද්‍යාව ඔබ හැදෑරුවා නම් කියන වාක්‍ය මම  සමාන කරනවා අයිසැක් නිව්ටන් භෞතික විද්‍යාව නොව ආර්ථික විද්‍යාව හැදෑරුවා නම් කියලා ඔබම කී වැකියට.

    ඒ වාගේම, මම නිවැරදිමයි කියලා මට නොහිතුනත්,  අන්තිමට මේ ධනවාදයේ අරගලය ඉදිරියට යාමට බැරිව  නවතින්නේ Nash equilibrium එකක්  වාගේ ප්‍රාග්ධන හිමිකරුවන් දෙදෙනකු අතර ඇතිවන  බලු පොරයකින් කියලා තමයි මට හිතන්නේ. මෙය ඔබ අනාගතයේදී ලියයි කියා මම හිතනවා.

    CP-C

    ReplyDelete
    Replies
    1. //ඔබ විසින් අපට හඳුන්වා දෙන්නට යෙදුන පරිදි C-D ආකෘතියට අනුව නිශ්පාදනයේ ප්‍රමාණය (Y) රඳා පවතින්නේ ප්‍රාග්ධනය(K) සහ ශ්‍රමයේ(L) අගයන් සහ එහි යම් බලයක ගුණිතයකින්. ඒ කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා මේ අස්තිත්වයන් දෙකම අවශ්‍යයයි.//

      //ලංකාවේ (හෝ කොහේ හෝ) ඇඟලුම් සේවක/සේවිකාවන් නොසිටියා නම් ටොමී හිල්ෆිගර් තවමත් න්‍යායාත්මකව ගැසොලින් කඩේ වැඩ නේද කියන කාරණාවට ඇයි ඔබ අසංවේදී වුනේ ?//

      ඉතා පැහැදිලිවම ඇඟලුමක් නිෂ්පාදනය වී පාරිභෝගිකයෙකු අතට පත් වෙන ක්‍රියාවලිය තුළ ශ්‍රමය හා ප්‍රාග්ධනය කියන සාධක දෙකම එක සේ වැදගත්. එක සේ කියන එකෙන් අදහස් කළේ එකම අනුපාතයකින් කියන එක නෙමෙයි. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ශ්‍රමය සපයන අයට ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය හිමි වෙනවා. ප්‍රාග්ධනය සපයන අයට ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය හිමි වෙනවා. අනුපාතය තීරණය වන්නේ ඒ මතයි. ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය කොපමණද කියන එක සපයන ශ්‍රමය මත වගේම සපයන ප්‍රාග්ධනය මතත් පවතින තාක්ෂනය මතත් තීරණය වෙනවා. ඒ වගේම, ඔබ ඉතා නිවැරදිව කියන පරිදි, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය කොපමණද කියන එකත් සපයන ප්‍රාග්ධනය මත වගේම සපයන ශ්‍රමය මතත් පවතින තාක්ෂනය මතත් තීරණය වෙනවා.

      අපි ලංකාවේ හෝ කොහේ හෝ සිටින ඇඟලුම් සේවිකාවන් පැත්තකින් තියලා අන්තිම ඩොලර් 30 අගය එකතු වන කොටසට එමු. මොන විදිහකින් හෝ ඇඟලුම නිෂ්පාදනය වෙලා ඇමරිකාවට එනවා. ඒ එන විට ඇඟලුමේ වටිනාකම ඩොලර් 25ක් පමණයි. එය ඩොලර් 55ක් වෙන්නේ ඇමරිකාවේ සිල්ලර වෙළඳසැලකදී. ඊට කලින් සිදු වන සමස්ත ක්‍රියාවලිය දැනට අමතක කළොත් මේ අන්තිම කොටසේදී ඩොලර් 30ක අමතර වටිනාකමක් ජනනය වෙන්න ශ්‍රමය හා ප්‍රාග්ධනය දෙකම අවශ්‍යයි. ඇඳුමේ ඒ වන විට වටිනාකම වන ඩොලර් 25 ආයෝජනය කර එම ආයෝජනයේ අවදානම ගැනීම, වෙළඳසැලේ කුලිය, විදුලි බලය වැනි විවිධ බිල්පත්, ප්‍රවාහන වියදම්, ප්‍රචාරන වියදම් ආදිය දරන්න වෙන්නේ ප්‍රාග්ධන හිමියාට. නමුත් ඔය ඇඳුම් විකුණන්න සේවකයින් අවශ්‍යයි. ඔවුන්ගේ ශ්‍රමය නැත්නම් අගය එකතු වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රාග්ධනයට ප්‍රතිලාභ ලැබෙන්නෙත් නැහැ. ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ ශ්‍රමය මත රඳා පවතිනවා.

      දැන් මෙය වෙන්නේ මේ කර්මාන්තය හා අදාළව ඝර්ෂණ ඉතාම අඩු, බොහෝ දුරට සුමට වෙළඳපොළක් තිබෙන ඇමරිකාවේ. ඒ නිසා, මේ කර්මාන්තය වෙනුවෙන් ප්‍රාග්ධනය යොදවන අයෙකුට ශ්‍රමයේ ප්‍රශ්නයක් නිසා හෝ වෙනත් ප්‍රශ්නයක් නිසා එයින් ප්‍රමාණවත් ලාබ නොලැබෙනවානම් තමන්ගේ ප්‍රාග්ධනය වෙනත් කර්මාන්තයකට විතැන් කරන්න පුළුවන්. කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔය වගේ වෙළඳසැලකට ශ්‍රමය සපයන ශ්‍රමිකයෙකුට තමන්ගේ ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ නොලැබෙනවානම් බෝඩ් අල්ලාගෙන විරෝධතා දක්වන්න අවශ්‍ය නැහැ. ඉතාම සරලව අස් වෙලා වෙන තැනකට යන්න පුළුවන්. එහෙම යන්න තැන් ඕනෑ තරම් තිබෙනවා. තනිව ගත්තොත් කිසිදු ශ්‍රම ඒකකයක් හෝ ප්‍රාග්ධන ඒකකයක් අත් හැර නොදැමිය හැකි තරම් වටින්නේ (indispensable) නැහැ.

      මෙහිදී ප්‍රාග්ධනයට තිබෙන අවස්ථා සියයට සියයක්ම ඒ විදිහටම ශ්‍රමයට තිබෙනවා කියා මම කියන්නේ නැහැ. ශ්‍රමයට ප්‍රාග්ධනයට සාපේක්ෂව අවාසියක් තිබෙන්න පුළුවන්. එය වෙළඳපොළ ප්‍රමාණවත් තරමට දියුණු වී නොතිබීමේ ප්‍රශ්නයක් මිසක් වෙළඳපොළ ක්‍රියාවලියේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇමරිකානු සන්දර්භයේ මේ අවාසිය ඉතාම අඩුයි. එහෙම වෙලා තිබෙන්නේ ඇමරිකාවේ ධනවාදය ක්‍රියාත්මක වීමට බාධා අඩු නිසා. වෙළඳපොල දියුණු වන තරමට තිබෙන යම් ඝර්ෂණයන් ඇත්නම් ඒවා එකින් එක අඩු වී යනවා. ඇමරිකාවේ සන්දර්භයේදී ශ්‍රමය සපයන්න කවුරුවත් නොසිටියානම් කියන එක අර්ථවිරහිත ප්‍රකාශයක්. මොකද ධනවාදී වෙළඳපොළක් තිබෙනවා කියා කියන්නේම එවැනි පිරිසක් ඉන්නවා.

      දැන් අපි මුල් ඩොලර් 20 හෝ 25 වටිනාකමෙන් කොටසක් හැදෙන ලංකාවට යමු. මේ කොටස හැදෙන නිෂ්පාදන ක්‍රියාවලියටත් ශ්‍රමය හා ප්‍රාග්ධනය අවශ්‍යයි. අනුපාතය වෙනස් එකක් විය හැකියි. ඒ වගේම ඉහත අනෙකුත් තර්ක බොහොමයක් මෙයටත් අදාළයි. ඉතා පැහැදිලිවම මම ඩොලර් 110ක් ගෙවලා අද PVH කොටසක් මිල දී ගත්තොත් මට එයින් ලැබෙන ලාබය ලංකාවේ ඇඟලුම් සේවක/සේවිකාවන්ගේ ශ්‍රමය මත තීරණය වෙනවා. ඒක හරි.

      අපි හිතමු ලංකාවේ ඇඟලුම් සේවක/සේවිකාවන් සියලු දෙනාම සමූහයක් විදිහට ඇඟලුම් ව්‍යාපාරය වෙනුවෙන් ශ්‍රමය යෙදවීම ප්‍රතික්ෂේප කළා කියලා. උදාහරණයක් විදිහට රටේ සිදුවන දේශපාලන වෙනසකින් පසුව කියමු. මේ වැඩෙන් එම නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් ප්‍රාග්ධනය සපයන ඇමරිකානු සමාගමක් පාරට වැටෙන්නේ නැහැ. ලංකාවේ ශ්‍රමය වෙනුවට ඉතා පහසුවෙන් වියට්නාමයේ හෝ චීනයේ ශ්‍රමය ආදේශ කරන්න පුළුවන්. ඔය හැම රටක්ම ශ්‍රමය සැපයීම ප්‍රතික්ෂේප කළොත් ඇමරිකාවෙන් ශ්‍රමය හොයා ගන්න පුළුවන්.

      Delete
    2. හැබැයි මේ විකල්ප තියෙද්දී යම් සමාගමක් ලංකාවේ ශ්‍රමය ලබා ගන්නේ එය ඔවුන්ට තිබෙන හොඳම විකල්පය නිසයි. ඒ නිසා ලංකාවේ ශ්‍රමය වෙනුවට වියට්නාමයේ ශ්‍රමය ආදේශ කරනවා කියන්නේ යම් පාඩුවක් වෙනවා කියන එකයි. නමුත් එම පාඩුව සාපේක්ෂව පොඩි පාඩුවක්. හිල්ෆිගර්ට නැවත පෙට්‍රෝල් ෂෙඩ් එකේ වැඩට යන්න හේතු වන පාඩුවක් නෙමෙයි.

      ලංකාවේ ශ්‍රමිකයන් හා අදාළව එවැනි තත්ත්වයක් නැහැ. ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉන්න සේවිකාවන් බොහෝ දෙනෙකුට ඔය රස්සාව නැති වුනොත් වෙන කරන්න දෙයක් නැහැ. ඇඟලුම් ලංකාවට නොආවානම් ගම් වලට වෙලා බත් තම්බ තම්බ පිරිමින්ගෙන් ගුටි කකා ළමයි හද හදා ඉන්න වෙනවා. ඇඟලුම් කර්මාන්තය නිසා ලංකාවේ සිදු වූ ආර්ථික දියුණුවටත් වඩා සමාජයීය වෙනස ඉතාම විශාල හා ප්‍රගතිශීලී එකක් කියා මා හිතනවා. ලංකාවේ උපාධිධාරීන් බොහෝ දෙනෙක් පවා මසකට රුපියල් 34,000ක වැටුපක් ලබා ගන්නේ නැහැ. එහෙම එකේ අඩු අධ්‍යාපන මට්ටමක් තිබෙන මේ තරුණියන්ට වෙනත් විකල්පයක් ලැබෙන්නේ නැහැ. ඒ විකල්ප ඇහිරී තිබෙන්නේ නිදහසෙන් පසු දිගින් දිගටම ලංකාවේ ක්‍රියාත්මක වූ පසුගාමී සමාජවාදී ප්‍රතිපත්ති නිසා.

      මා සංකේතාත්මකව කියූ පරිදි ලංකාවේ ඇඟලුම් ව්‍යාපාරය නොතිබෙන්නට මේ තරුණියන්ද සමාජවාදීන්ට රැවටී කොටුව දුම්රියපොළ ඉදිරිපිට බෝඩ් අල්ලාගෙන ඉන්න හෝ බස් වලට නැගී කැට හොල්ලන්න ඉඩ තිබුණේ වුවත් ඔවුන් නැති වුනා කියා ඇමරිකාවේ හිල්ෆිගර් කෙනෙකුට නැවත පෙට්‍රෝල් ෂෙඩ් එකේ වැඩට යන්න වෙන්නේ නැහැ. ඒ වගේම ඇමරිකාවේ ඇඟලුම් ව්‍යාපාරයේ සිටි අයගේ රැකියා ලංකාව වැනි රටවල් වලට යද්දී ඒ රැකියා කළ අයට බෝඩ් අල්ලාගෙන ඉන්න වෙලත් නැහැ. ඒ වෙනසට හේතුව ඇමරිකාවේ ධනවාදය හා ලංකාවේ සමාජවාදයයි.

      ඉතිරි කොටස් වලට එකින් එක ප්‍රතිචාර දමන්නම්.

      Delete
    3. //එනම් වෙන විධියකින් අහනවා නම් පිටකොටුවේ දී ඇඟලුම් සේවකයන් උද්ඝෝෂණය කරන්නේ වක්‍රව නිව්යෝක්හි ඉන්න ටොමීට එරෙහිව නේද? එනම් , wL සහ rK අතර අනුපාතයට එරෙහිව නොවේද කම්කරුවන් මේ අවිඤ්ඤානිකව හෝ පාරට බහින්නේ?//

      ඇත්තටම ලංකාවේ ඇඟලුම් සේවකයින්ව උද්ඝෝෂණ සඳහා යොදවා ගන්න ලංකාවේ වාමාංශික පක්ෂ සෑහෙන්න උත්සාහ කළත් එය සිදු වන්නේ ඉතා අඩුවෙන්. මේ ශ්‍රමිකයන් තමන්ගේ සහජ ඉවෙන් එම සහජ ඉව මොට කරගත් වාමාංශික පක්ෂ වල සාමාජිකයන්ට වඩා ඉදිරියෙන් ඉන්න පිරිසක්. ධනවාදයට හෝ සූරාකෑමකට සම්බන්ධ නැති, උද්ඝෝෂණ කළ යුතු සැබෑ ප්‍රශ්න තිබෙන අවස්ථා ඉඳහිට තිබෙනවා. ඒ හැර ඇතැම් විට නොදැනුවත්කම හා මුලාව නිසා ඔවුන් එසේ කරනවා වෙන්න පුළුවන්. මොකද ලංකාවේ අධිපතිවාදී මතවාදය මාක්ස්වාදය. මේක තමයි මම මතු කරන ප්‍රශ්නය. මේ ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවය ලැබෙනවා. මොකද එක පැත්තකින් ඇමරිකාවේ (හා වෙනත් බටහිර රටවල) මේ කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයන් අතර විශාල තරඟයක් තිබෙනවා. අනෙක් පැත්තෙන් ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ව්‍යවසායකයන් අතර ශ්‍රමිකයන් වෙනුවෙන් විශාල තරඟයක් තිබෙනවා. මේ තරඟය තුළ ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ලංකාවේ හෝ ලංකාවෙන් පිටත සිටින ව්‍යවසායකයෙකුට ඔවුන්ට මීට වඩා වැඩි වැටුපක් ගෙවීමේ හැකියාවක් නැහැ. එසේ හැකියාවක් තිබුණානම් අනිවාර්යයෙන්ම ඔවුන්ට එය ගෙවන්න සිදු වෙනවා. ඔවුන්ට ලැබෙන්නේ ඔවුන්ගේ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය පමණයි. ඒ නිසා wL සහ rK අතර අනුපාතයට එරෙහිව පාරට බැසීමේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ මේ ශ්‍රමිකයන්ට දැන් ලැබෙන දේ අහිමි වීම පමණයි. යම් සුවිශේෂී අවස්ථාවන් තිබෙන්න පුළුවන්. මම කියන්නේ පොදු තත්ත්වය ගැන. රජය විසින් මේ අයගේ ශ්‍රමය සූරාකන ක්‍රම ගණනාවක් තිබෙනවා. එක ක්‍රමයක් වන්නේ ඩොලරය එහි නියම මිලට වඩා පහළින් තබා ගැනීමයි. ඒ මගින් රජය විසින් ඇඟලුම් හා තේ කර්මාන්ත වල ශ්‍රමය යොදවන කාන්තාවන්ට හා මැදපෙරදිග සේවය කරන කාන්තාවන්ට ලැබිය යුතු නියම වැටුපෙන් කොටසක් වක්‍ර ලෙස එකතු කර ගන්නවා. ඒ කොටස අවසානයේ යන්නේ වැඩිපුර ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන ලංකාවේ දේශපාලනය බලය හිමි මධ්‍යම පාන්තිකයන්ටයි. මාක්ස්වාදී අදහස් දරන අය බොහෝ දෙනෙක් ඉන්නෙත් ඔය සමාජ ස්ථරයේ.

      Delete
    4. //C-D ආකෘතියෙන් ශ්‍රමිකයා සහ ප්‍රාග්ධන හිමියාට අනලස් සබඳතාවය පෙන්වා දුන්නත් ඇත්තටම සිද්ධ වෙන්නේ (හෝ බොහෝ දුරට සිද්ධ වෙන්නේ) ප්‍රාග්ධන හිමියා මොන ගේමක් දීලා හරි උඩටම එන්න හදන එක බව නොවෙයිද යථාර්ථය ?මම යෝජනා කරනවා සමහරවිට අතපසු වීමකින් ඔබට මෙතැනදී C-D ආකෘතියේ හරය මඟ හැරුණ බවට.//

      ඉතා පැහැදිලිවම ප්‍රාග්ධන හිමියා මොන ගේමක් දීලා හරි උඩටම එන්න හදනවා. ඒ වගේම ශ්‍රමිකයාත් මොන ගේමක් දීලා හරි උඩටම එන්න හදනවා. ධනවාදයේ කාර්යක්ෂමතාවය ඇති වන්නේ මේ තරඟය තුළයි. ඔය ගේම දෙන්න සියල්ලන්ටම සමාන අවස්ථා තිබෙනවානම් අන්තිමේදී කාට වුනත් ලැබෙන්නේ හරියටම තමන්ගේ කොටසයි. මොන ගේමක් හරි දීලා කිවුවත් ධනවාදී ක්‍රමයක බොහෝ දෙනෙකුට ඔය ගේම දෙන්න පුළුවන් එක ක්‍රමයකට පමණයි. ප්‍රාග්ධන හිමියෙකුටනම් වැඩි ප්‍රතිලාභ තිබෙන තැන් බලමින් ආයෝජන මාරු කිරීම. ශ්‍රමිකයෙකුටනම් වැඩි ප්‍රතිලාභ තිබෙන තැන් බලමින් රස්සා මාරු කිරීම. රජය හරහා අනෙක් අයට නැති වාසි ලබා ගැනීම වැනි වෙනත් දේවල් කළ හැක්කේ ලංකාවේ වගේ සමාජවාදී රාමුවක.

      //විවාහක රූ රැජින තරඟයේදී තරඟකාරියන් කොපමණ හිටියත්, තරඟයේදී ජයග්‍රාහකයා කලින්ම තීරණය වෙලා තියෙනවා වාගේ, පාස්කුදා ප්‍රහාරයේ මහා මොලකරු කවුද කියලා කොමිසම් දාන්නත් පෙර හඳුනාගෙන තියෙනවා වාගේ, ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර වන තීරණාත්මක සටනේදී දිනන්නේ කවුද කියලා කලින්ම තීරණය වී හමාරයි. ප්‍රාග්ධනයේ විචල්‍යයන් පරීක්ෂා කර අනාවැකි පුරෝකතනය කර බලන tools අත්‍යන්තයෙන්ම සැකසී ඇත්තේ ප්‍රාග්ධන හිමියාට වාසි ගෙන දෙන ආකාරයට මිස ශ්‍රමිකයාට වාසි සාදන හෝ සාධාරණ ආකාරයටද?//

      එසේ වන්නේ ලංකාව, චීනය වැනි සමාජවාදී ආකෘතියේ රටවල. මේක තමයි සමාජවාදී රාජ්‍ය ආකෘතියේ තිබෙන ප්‍රශ්නය. සාධාරණ තරඟයක් නැහැ.

      Delete
    5. //පිටකොටුවේ පිකට් බෝඩ් උස්සන් කෑ ගහන එක, වැඩ වර්ජන, කැට හෙල්ලිලි තමයි ඉතින් ශ්‍රමිකයා භාවිතා කරන ප්‍රාථමික tools. හරි යන්න හෝ වරදින්න මේවා තමයි ශ්‍රමිකයාගේ උපකරණ.//

      මේක අපි ටිකක් මූලධාර්මික ලෙස බලමුකෝ. මට තේරෙන විදිහටනම් මෙය මාක්ස්වාදය පැත්තෙන් බැලුවත් ඇත්තටම මාක්ස්වාදී නොවන ප්‍රතිසංස්කරණවාදී ප්‍රවේශයක්. සමහර විට ඔබට මේ සම්බන්ධව වෙනත් පිළිතුරක් ඇති. අපි හිතමු මාක්ස්ගේ අර්ථයෙන් සූරාකෑම කියා දෙයක් තිබෙනවා කියලා. එම අර්ථයෙන්ම ප්‍රගතිය කියා කියන්නේ ධනවාදය කඩා වැටීම. ධනවාදය කඩා වැටෙන්නේ ඔය සූරාකෑම ටිකෙන් ටික වැඩිවෙලා ශ්‍රමිකයාට යාන්තම් ජීවත්වෙන්න දෙයක් පමණක් ලැබෙන මට්ටමට වැටුනහම. දැන් මේ වගේ උද්ඝෝෂණ කරලා ශ්‍රමිකයාගේ ප්‍රතිලාභ වැඩි කරගත්තහම වෙන්නේ ඔය ක්‍රියාවලිය අඩාල වෙලා ධනවාදය දිගටම පවතින එක. ඒ කියන්නේ මාක්ස්වාදය අනුව බැලුවොත් මේ වගේ උද්ඝෝෂණ ප්‍රතිගාමීයි. මගේ තර්කයේ වැරැද්ද කුමක්ද?

      වෙළඳපොළ තර්කනය අනුව යම් හෙයකින් ප්‍රාග්ධන හිමියා සුපිරි ලාභ ලබනවානම් එම හේතුව නිසාම ඔහු වෙනත් තරඟකරුවන් ආකර්ශනය කර ගන්නවා. එවිට ප්‍රාග්ධන හිමියන් අතර තරඟය නිසා සුපිරි ලාභ අහෝසි වී යනවා. කර්මාන්තයේ සුපිරි ලාබ නැත්නම් ශ්‍රමිකයන් උද්ඝෝෂණ කළා කියා කිසිවක් ලැබෙන්නේ නැහැ. මොකද එහෙම දෙන්න පුළුවන් ලාබ නැහැ. උද්ඝෝෂණ කරලා යමක් ලබාගත හැකිනම් එයින් අදහස් වන්නේ කර්මාන්තයේ සුපිරි ලාබ තිබෙන බවයි. සුපිරි ලාබ තිබෙනවා කියන්නේ කර්මාන්තය අකාර්යක්ෂම බවයි. උද්ඝෝෂණ කරලා එහි ප්‍රතිඵලයක් ලෙස යමක් ලැබේනම් එහිදී වෙන්නේ ප්‍රාග්ධන හිමියා විසින් දැනට ලබා ගන්නා සුපිරි ලාබ ශ්‍රමිකයා විසින් ලබා ගැනීමයි. එහි සදාචාරාත්මක වැරැද්දක් නැහැ. නමුත් එයින් වෙන්නේ අකාර්යක්ෂමතාවය ආයතනගත වීමයි. දැනට සිටින සේවකයන්ගේ තත්ත්වය හොඳ වන නමුත් අලුත් සේවකයන්ට අවස්ථාව අහිමි වෙනවා. ඒ වගේම මේ තත්ත්වය යටතේ ශ්‍රමිකයා හා ප්‍රාග්ධන හිමියා අතර නිරන්තර ගැටුමක් ඇති වෙනවා. සුපිරි අතිරික්තයක් තිබෙන නිසා කණ්ඩායම් දෙකම උත්සාහ කරන්නේ එය ලබා ගන්නයි. මෙය අනවරත අරගලයක්. තරඟකාරී වෙළඳපොලක මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ. මෙවැනි ප්‍රශ්න තරඟකාරී වෙළඳපොළක් නොතිබීමේ ප්‍රශ්න. වෙළඳපොළ තරඟයක් ඇත්නම් ශ්‍රමිකයන් බෝඩ් උස්සනවා වෙනුවට වෙනත් ආයතනයකට ගොස් තමන්ගේ නියම ප්‍රතිලාභය ලබා ගන්නවා.

      Delete
    6. //නමුත් ශ්‍රමයේ කොටස් කරුවන් හට තමන්ගේ ශ්‍රමය හරියටම ගෙවන්නේ නැති බව දැක්කාම ඔවුන් මොනවාද කරන්නේ? අද්දැකීම මඟින් කියන්නේ ඔවුන් කිසිවක් කරන්නේ නැහැ. එසේ නොකිරීමට බලපාන හේතුත් තියෙනවා.//

      ඇමරිකාවේ එහෙම වෙන්නේ නැහැ. ශ්‍රමිකයෝ ඉතා කෙටි කාලාන්තර තුළ රැකියා මාරු කරනවා. ලංකාවෙත් පෞද්ගලික අංශයේ මේ වැඩේ සැලකිය යුතු තරමකට වෙනවා. එක තැනකටම වෙලා ඉන්නේ තමන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයට වඩා වැඩි දෙයක් ලබා ගන්න අය. ලංකාවේ කම්කරු නීති නිසා ඔවුන්ට එසේ කරන්න හැකි වී තිබෙනවා. ඇමරිකාවේනම් ඉතා ඉක්මණින් රස්සාව නැති වෙනවා. මෙයත් ලංකාවේ සමාජවාදී ආකෘතියේ ප්‍රශ්නයක්. රැකියාවක එල්ලී ඉන්න අයට මෙය වාසිදායක වුවත් සමස්තයක් ලෙස මෙයින් වෙන්නේ රැකියා නැති වීමක්.

      ඉතිරි කොටස් වලට පසුව ප්‍රතිචාර දමන්නම්. හොඳටම මහන්සියි.

      Delete
    7. //මේ දෙය මතුපිටින් විග්‍රහ කර ගැනීමට ප්‍රාග්ධනයේ ආරම්භය -Origin of Capital formation අමතක කර එහි යෙදවුම ගැන පමණයි C-D ආකෘතිය සැලකිලිමත් වන්නේ .//

      මම කලින් පැහැදිලිව කීයූ පරිදි C-D ආකෘතිය හා ධනවාදය අතර කිසිම සම්බන්ධයක් නැහැ. එය කිසියම් මොහොතක පවතින නිෂ්පාදන ක්‍රියාවලියේ ස්වභාවය විස්තර කරන ආකෘතියක්. ගතික ආකෘතියක් වන සොලෝ ආකෘතියෙන් Capital formation විස්තර කරනවා. සොලෝ ආකෘතිය සඳහා C-D ආකෘතිය අවශ්‍ය නොවුනත් එය යොදාගත් විට තේරුම් ගන්න පහසුයි. සොලෝ ආකෘතිය C-D ආකෘතියට වඩා ගොඩක් සංකීර්ණ එකක්. ගතික අවකල සමීකරණ විසඳිය යුතුයි. අවශ්‍යනම් එය තවදුරටත් විස්තර කළ හැකියි. ප්‍රශ්න මතු නොවූ නිසා වැඩිදුර යන්න ඉඩක් ලැබුණේ නැහැ. ඇත්තටම සොලෝ ආකෘතියෙන් වුවත් පවතින තත්ත්වය යටතේ Capital formation සිදුවන ආකාරය මුළුමනින්ම විස්තර කරන්න බැහැ. නමුත් ඊට වඩා සංකීර්ණ ආකෘතියක් විස්තර කළ හැක්කේ සොලෝ ආකෘතිය තේරුම් ගත හැකිනම් පමණයි. සොලෝ ආකෘතිය හෝ ඊට වඩා සංකීර්ණ එවැනි ආකෘතියක් ගත්තත් ඒවායින් Capital formation විස්තර කරනවා මිස Origin of Capital formation විස්තර කරන්නේ නැහැ. ආකෘතිය පටන් ගනිද්දීම ප්‍රාග්ධනය කියා දෙයක් තිබෙනවා. Origin of Capital formation කුමක් වුවත් අපට නැවත අතීතයට ගොස් අතීතය වෙනස් කරන්න බැහැ. පෞද්ගලිකව මට වැදගත් වන්නේ මේ මොහොත හා මේ මොහොතේ අප කරන දේවල් වලින් අනාගතය වෙනස් වන්නේ කොහොමද කියන එකයි.

      //ඔබ කැමතිද සමස්තයක් ලෙසට ප්‍රාග්ධනයේ ආරම්භය පරීක්ෂා කර බලන්න? එහි propagation එක තුල විතරයි ටොමීගේ ඛන්ඩාංකය හරියටම පේන්නේ.//

      ප්‍රස්තුත කරුණ හා අදාළව මට සාපේක්ෂව මෙය වැදගත් හෝ අවශ්‍ය කරුණක් නෙමෙයි. මොකද ප්‍රාග්ධනයේ ආරම්භය කුමක් වුවත් මේ වෙන විට ප්‍රාග්ධනය හැදිලා ඉවරයි. එය හැදුනේ කොහොමද කියන එක මත මේ මොහොතේ හා අනාගතයේ සමාජ ක්‍රමය පැවතිය යුතු හා/හෝ වෙනස් විය යුතු ආකාරය තීරණය විය යුතුයි කියා මම පෞද්ගලිකව හිතන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳව අඥේයවාදී ස්ථාවරයක් දරමින් අනෙකුත් තීරණ ගන්න පුළුවන්කම තිබෙනවා. නමුත් එය ඔබට වැදගත් කියා ඔබ හිතනවානම්, ප්‍රාග්ධනයේ මූලාරම්භය අමතක කර මේ මොහොතේ පවතින තත්ත්වයේ සිට ඉදිරියට යාමේ වැරැද්දක් ඔබට පෙනෙනවානම් ඒ ගැන කතා කරන්න හෝ අවශ්‍යනම් ඔබට වැදගත්යැයි ඔබ සිතන මා හදාරා නැති යමක් ඇත්නම් හැදෑරීමක් කරන්න වුවත් මම සූදානම්. එහි පූර්ව කොන්දේසියක් ලෙස ඔබ විසින් ප්‍රාග්ධනයේ මූලාරම්භය අමතක කර මේ මොහොතේ පවතින තත්ත්වයේ සිට ඉදිරියට යාමේ වැරැද්ද පැහැදිලිව පෙන්වා දිය යුතුයි.

      //තවත් එකක් තමයි, ප්‍රාග්ධනයේ හිමිකාරිත්වය මේ සන්ධර්භයට ඇතුල වෙන්නේ අතරමඟින් වීමයි. තෝමස් හිල්ෆිගර් පලමු ඩොලර් 150 save කර ගත්ත ක්‍රියාවලිය පිටුපස ප්‍රාග්ධන සහ ශ්‍රමය අතර වූ සහ සම්බන්ධය ඔහු (හෝ,ඔබ) පරීක්ෂා කර බැලුවේ ධනවාදය විසින් හඳුන්වා දුන් ක්‍රමවේදයකට අනුව බව මම අවධාරණය කරමි. එය සාධාරණ ද?//

      එය එසේ විය හැකියි. නමුත් වැදගත් ප්‍රශ්නය තෝමස් හිල්ෆිගර් පලමු ඩොලර් 150 save කර ගත්ත ක්‍රියාවලිය පිටුපස තිබෙන ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර වූ සහ සම්බන්ධය විස්තර කරන ක්‍රියාවලියේ වැරැද්ද හෝ අඩුපාඩුව කුමක්ද කියන එකයි. ඔබ ඔබේ ශ්‍රමය යොදවා උපයන දෙයින් ඉතිරි කරන දෙය ප්‍රාග්ධනය බවට පත් වෙනවා. එම ප්‍රාග්ධනය නැවත ප්‍රාග්ධනය බිහි කරනවා. ඒ වගේම නැවත ශ්‍රමය බිහි කරනවා. එසේ නැවත බිහි වන ශ්‍රමය හා ප්‍රාග්ධනය විසින් තවත් ප්‍රාග්ධනය නිර්මාණය වෙනවා. මෙය දිගින් දිගටම වෙනවා. මාක්ස්වාදී අර්ථකථනය අනුව නිර්ධන පාන්තිකයෙකු වන ඕනෑම කෙනෙකුගෙන් මේ ක්‍රියාවලිය පටන් ගන්න පුළුවන්. මෙය බොහෝ ඇමරිකානුවන් හා සම්බන්ධව ප්‍රායෝගිකව සිදුවන දෙයක්. මේ ක්‍රියාවලිය අතීතයේ ප්‍රාග්ධනය ගොඩ නැගුනේ කොහොමද කියන එකෙන් බොහෝ දුරට ස්වායත්තයි. යමෙක් උපතින් ප්‍රාග්ධන හිමිකරුවෙක් වුනත් නැතත් එය ඔහු දිගටම මාක්ස්වාදී අර්ථයෙන් නිර්ධන පාන්තිකයෙකුව සිටීම හෝ නොසිටීම තීරණය කරන්නේ නැහැ. එය තීරණය වන්නේ පුද්ගලයෙකු කොපමණ පරිභෝජනවාදීද කියන එක මත හා සමාජ ක්‍රමය මතයි. විශාල ප්‍රාග්ධනයක් උරුමයෙන් හිමිවෙන කෙනෙක් වුවත් අධිපරිභෝජනය තුළ ණයකරුවෙක් විය හැකියි. මෙය ඉතාම සරල දෙයක්.

      Delete
    8. //ඒ වාගේම එකොනෝ, ඔබට පුලුවන්ද..මාක්ස්වාදී ආර්ථික ක්‍රමයේ සීමාව පෙන්වා දුන් පරිදිම C-D ආකෘතියේ සීමාව පෙන්වා දෙන්න?//

      ඉතා පැහැදිලිවම පුළුවන්. සීමාවන් ගණනාවක් තිබෙනවා. නමුත් එම සීමාවන් පෙන්වා දුන්නා කියා ඔබේ කිසිදු ප්‍රශ්නයකට විසඳුම් ලැබේයයි මම හිතන්නේ නැහැ. මොකද මම කලින් පැහැදිලිව කීයූ පරිදි C-D ආකෘතිය හා ධනවාදය අතර කිසිම සම්බන්ධයක් නැහැ. එයින් විස්තර කරන්නේ නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය. ඇතැම් කර්මාන්ත හා අදාළව මේ ආකෘතිය ගැලපෙන්නේ නැහැ. නමුත් බොහෝ කර්මාන්ත වලට මෙය ගැලපෙනවා. මම මෙය යොදාගත්තේ ධනවාදයට හා සමාජවාදයට සෘජුව අදාළ නැති දේවල් (උදාහරණයක් විදිහට ඔබ පහත විස්තර කරන පරිසරය පිළිබඳ අදහස්) බැහැර කර මේ දෙකේ වෙනස වෙත සෘජුව අවධානය යොමු කිරීම පහසු කරන්න. කිසියම් සංසන්දනයක් කරන්න අපට පොදු දෙයක් යොදා ගන්න වෙනවා. මෙය එවැනි දෙයක්. C-D ආකෘතිය ඇසුරෙන් සමාජවාදය හා ධනවාදය අතර මූලික වෙනස පහසුවෙන් පැහැදිලි කළ හැකියි. මේ ආකෘතියෙන් බැහැර වෙන්න අවශ්‍ය වන්නේ ප්‍රස්තුත කාරණය සම්බන්ධව එය යොදාගැනීමේ වැරැද්දක් පෙනෙන්න තිබේනම් පමණයි.

      Delete
    9. //මාක්ස්වාදී ආර්ථික විද්‍යාව වැරදියි, මෙතැනයි එහි සීමාව. period .. කියලා කෙසේ වෙතත් එය හරියටම ඔබ පෙන්වා දී නැත. //

      එවැන්නක් කිරීම පහසු නොවන බව ඔබට පැහැදිලි විය යුතුයි. මොකද මාක්ස්වාදී සාහිත්‍යය ඉතා විශාල එකක්. එහි විවිධ ගුරුකුල ගණනාවක් තිබෙනවා. මම එවැනි සීමාවක් පෙන්වූ වහාම වෙනත් අයෙකුට එය එසේ නොවන අවස්ථාවක් කොහෙන් හෝ හොයාගෙන පෙන්වන්න පුළුවන්. මාක්ස්වාදියෙකුට මේ විදිහට ගෙන ආ හැකි ප්‍රතිතර්ක හා ඒ ආශ්‍රිතව අහන්න පුළුවන් ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මම මගෙන්ම අහලා තිබෙනවා. ඒ ප්‍රශ්න වලට පිළිතුරුත් තිබෙනවා. නමුත් ඒ සියල්ල ලියන එක විශාල කාලයක් අවශ්‍ය වැඩක්. ඔබ ප්‍රශ්නයක් මතු කළොත් ඒ හැම විටකම මට පිළිතුරු දිය හැකියි. වෙනත් ප්‍රශ්න තිබෙන බව පිළිගනිමින්, දැනට මම සීමාවක් පෙන්වා තිබෙනවා. ඒ සීමාවේ වැරැද්ද ඔබ විසින් පෙන්වා දෙන තුරු මම මාක්ස්වාදයේ වැරැද්ද පෙන්වා දී තිබෙනවා. එම සීමාවේ වැරදි ඔබ විසින් පෙන්වා දීමෙන් පසුව මට අමතර පැහැදිලි කිරීම් කළ හැකියි. ඔබ එසේ නොකරන තුරු අමතර පැහැදිලි කිරීම් කිරීමේ අවශ්‍යතාවයක් මතු වන්නේ නැහැ.

      මාක්ස්වාදයේ මූලික ප්‍රශ්නය මම මේ විදිහට නැවත සරලව පැහැදිලි කරන්නම්.

      ප්‍රශ්නය: නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ජනිත වන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යා යුත්තේ කෙසේද?

      ධනවාදී පිළිතුර: ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමය ලබාදුන් අයටත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනය ලබාදුන් අයටත් හිමි විය යුතුයි.

      මාක්ස්වාදී පිළිතුර: ප්‍රාග්ධනය වෙනුවෙන් කිසිවක් හිමිවිය යුතු නැති අතර ශ්‍රමය ලබා දුන් අයට මුළුමනින්ම හිමි විය යුතුයි.

      මාක්ස්වාදී පිළිතුරේ වැරැද්ද: ධනවාදී පිළිතුරෙන් විසඳුම් නොදෙන කිසිම ප්‍රශ්නයකට මාක්ස්වාදී විසඳුම පිළිතුරු නොදෙන අතර මාක්ස්වාදී පිළිතුර නිෂ්පාදනය වර්ධනය වීමේ වේගය අඩාල කිරීම හරහා සමාජ ප්‍රගතියට අකුල් හෙළයි. එහෙයින් මාක්ස්වාදී විසඳුම අනිවාර්යයෙන්ම අකාර්යක්ෂම එකකි.

      මෙය ඉතා සංකීර්ණ කරුණක් ගැන සාකච්ඡා කිරීමට ප්‍රවේශ විය හැකි සරලම තැනක් කියා මම හිතනවා. ඔබ මාව නැවත ප්‍රශ්න කරන තුරු දැනට මගේ පැත්තෙන් "මාක්ස්වාදී ආර්ථික විද්‍යාව වැරදියි, මෙතැනයි එහි සීමාව. period".


      //කේන්සියානු , ෆ්‍රීඩ්මාන් ආර්ථිකය හදාරපු විධියටම, මාක්ස්වාදී ආර්ථික විද්‍යාව ඔබ හැදෑරුවා නම් කියන වාක්‍ය මම සමාන කරනවා අයිසැක් නිව්ටන් භෞතික විද්‍යාව නොව ආර්ථික විද්‍යාව හැදෑරුවා නම් කියලා ඔබම කී වැකියට.//

      නැහැ. මේ දෙක දෙකක්. අයිසැක් නිව්ටන්ට හදාරන්න ඒ දවස් වල ආර්ථික විද්‍යාවක් කියා දෙයක් තිබුණේ නැහැ. තිබුණු ටික ඔහු හැදෑරුවා. ඔහුට අනාගතය ගැන හිතන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. නමුත් මාක්ස්වාදී ආර්ථික විද්‍යාව දැන් අවුරුදු 150කට වඩා පරණයි. මාක්ස්වාදී ආර්ථික විද්‍යාව පසුගිය කාලය මුළුල්ලේම න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව බිඳ වැටී අවසන්. ඔබ කතා කරන්නේ අජිත් ධර්මා වගේ කෙනෙක් කතා කරන ධනවාදයට විකල්පයක් ලෙස අනාගතයේදී බිහිවිය හැකි අප දැනට නොදන්නා කුමක් හෝ ක්‍රමයක් ගැනනම් මේ සංසන්දනය නිවැරදියි.

      //ඒ වාගේම, මම නිවැරදිමයි කියලා මට නොහිතුනත්, අන්තිමට මේ ධනවාදයේ අරගලය ඉදිරියට යාමට බැරිව නවතින්නේ Nash equilibrium එකක් වාගේ ප්‍රාග්ධන හිමිකරුවන් දෙදෙනකු අතර ඇතිවන බලු පොරයකින් කියලා තමයි මට හිතන්නේ. මෙය ඔබ අනාගතයේදී ලියයි කියා මම හිතනවා.//

      මට එවැනි අදහසක් නැහැ. ඔබ කියන "ධනවාදයේ අරගලය" කුමක්ද කියා මට පැහැදිලි නැහැ.

      ඔබේ ප්‍රතිචාරයේ මුල් කොටසට පිළිතුරු සපයා අවසන්. පහළ කොටසට පිළිතුරු දෙන්න වෙන්නේ දවසේ හදිසි වැඩ අවසන් කළාට පසුව.

      Delete
  6. මාර්තු 28 ලිපියේ කොමෙන්ටු කොටසට අදාලවයි.

    එකොනෝ, එහිදී ඔබ තැනක මෙසේ කියනවා:

    //..මගේ පළමු ප්‍රශ්නය වන්නේ ඝර්ෂණ සියල්ල අමතක කර සෛද්ධාන්තිකව මෙවැනි ගතික සමතුලිතතාවයක් පැවතිය හැකිනම් ඒ ගතික සමතුලිතතාවය පිළිබඳව ඔබට ප්‍රශ්න තිබෙනවාද කියන එකයි...//

    ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර ගතික සමතුලිතතාවය යනු මානව හිතවාදී ලෙසට මිනිසා සහ පරිසරය අතර ඇතිවිය යුතු සමතුලිතතාවය නම් (හෝ මෙයට ආසන්න දෙයක් නම්) මට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. අනික , මම හෝ කවුරුවත් හෝ කොහොමද ස්වභාවික තත්ත්වයට එරෙහි වන්නේ? එසේ කරන්න බැහැ. නමුත් ඔබම දන්නා විධියට  යෝජිත  ධනවාදය මෙන්ම සමාජවාදය ඇතුලේදී වෙන්නේ මෙය එක් අන්තයකට විචල්‍ය වීමයි. සෝවියට් සමාජවාදී  ක්‍රමය විසින් ඒරල් මුහුදට කල විපත්තිය පැහැදිලි කල හැක්කේ මාක්ස්-ලෙනින්වාදයේ කුමන න්‍යායයට අනුවද? චීනය , කොමියුනිස්ට් පක්ෂයේ හයිය අරගෙන ලංකාවේ port city එක හදන්න ලංකාවේ මහද්විපික  සමුද්‍ර පරිසරය විනාශ කලේ මාඕ වාදයේ කුමන න්‍යායයට අනුවද? ඇමරිකන් සහ ඕස්ට්‍රේලියානු -චීන සමාගම් සමඟ එක්වී ග්‍රීන්ලන්තයේ මහ පොලොවෙන්  ආන්තරික මූල ද්‍රව්‍ය ගන්න එහි පරිසරය විනාශ කරන්න යන්නේ ෆ්‍රීඩ්මාන් එසේ කියා ඇති නිසාද?

    පරිසරය කියන කොටසට ආර්ථික පරිසරය කියන කොටසත් ඈඳුවාම මෙි විග්‍රහය තවත් පුළුල් වෙනවා. එතකොට එකොනෝ අර ඔබ මීට කලින් ලිව්ව ' මිනිස් ජීවිතයක වටිනාකම කුමක්ද ?' යන ලිපිය ආයේ අපට සාකච්ඡාවට ගන්න වෙනවා.

    තවද ඔබ මෙසේත් අසනවා:

    //...වෙනත් විදිහකින් කිවුවොත් "ඇත්තටම නිදහස් වෙළඳ පොල තුල අප (ප්‍රාග්ධන හිමියා සහ ශ්‍රම හිමියා) අපේක්ෂා කරන තත්ත්වයත් මෙයයි." කියද්දී මෙහි "අප" කියන එක ඇතුළේ ඔබ සිටිනවාද?...//

    ඇත්තටම මම එක හෙලා එතැන හිට ගන්නවා. නමුත් නිදහස් වෙළඳ පොල කොහේද තියෙන්නේ? වෙළඳපොල තුල තීරණ ගැනීමට අවශ්‍ය සියලු සාධක මට විවෘතද? වෙළඳ පොල නිදහස්ද? ප්‍රාග්ධන හිමියා මෙන්ම පාරිභෝගිකයා එකිනෙකාගෙන් ස්වායත්ත ද? Manipulations කොහේවත්  මේ වෙළඳ පොල තුල නැද්ද ? දැන්විම් ආයතන , ප්‍රචාරක billboards ගලවලාද? වෘත්තීය සමිති දෙපැත්තටම නිදහස්ද?...

    නිදසුනක් ලෙසට  ලෝක වෙළඳාම තුල තේ වල මිල සහ සැපයුම තීරණාත්මක ලෙස පාලනය කරන්න ලයිම් කාමරවල හැන්දෑවට බීගෙන එන තේ දළු කඩන ගැහැණියකට පුලුවන්ද? බැරි නම් ඒ ඇයි?

    තවද ඔබ,
    //...කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ඇසුරෙන් මා ලියූ ලිපි පෙළේ ඉලක්කය වූයේ මේ ආකාරයේ ගතික සමතුලිතතාවයක් මාක්ස්වාදය විසින් යෝජනා කරන ක්‍රමයට වඩා සාධාරණ හා කාර්යක්ෂම බව පෙන්වා දීමයි. ඔබ එය පිළිගන්නවානම් ඔබේ ප්‍රතිචාරයේ ඉතිරි කොටස් පිළිබඳ පැහැදිලි කිරීම් කළ හැකියි. (සමහර විට තවත් ආකෘති ගණනක් විස්තර කරමින් හා ලිපි ගණනකින්.)...// කියා කියනවා.

    මම වඩාත්ම ඇලුම් කරන්නේ මෙි අධ්‍යයනය තුලින්  ඔබ මේ ඉදිරිපත් කරන අවංක බවටයි. (නලින් ද සිල්වාට මේ අවංක බව නැත.)  ඒ අවංකබව අපගේ සමහර ආධානග්‍රාහීත්වය/predudices අතහැර දමන්නට අපට බල කරනවා.

    මානවයා විසින් අත්පත් කර ගත්  ජයග්‍රහණයන්හි වාසිය භේදයකින් තොරව මුලු මිනිස් සංහතියටම ලැබේ නම්, (යුවාල් නෝවා හරාරි) ඒ කාර්යක්ෂමතාවය සහ සාධාරණත්වය වෙනුවෙන් මම පෙනී සිටිමි. නමුත් එකොනෝ, ඒ කාර්යක්ෂමතාවය සහ සාධාරණත්වය තුල සමාජ පන්තීන් අහෝසි වන බවට ඔබට සහතිකයක් දිය හැකිද? එහෙම නොවුනොත් ආයේ ලොකු වටයක් ගිහින් අපි එන්නේ මුලටම නේද?

    //.. නමුත් ඔබට මෙහි ඔබ විසින් නිවැරදිව අවබෝධ කරගෙන විස්තර කර තිබෙන ආකාරයේ ගතික සමතුලිතතාවයක් පිළිබඳව කවර හෝ ප්‍රශ්නයක් තිබේ නම් අප ඉදිරියට යා යුත්තේ එම ප්‍රශ්න විසඳාගෙනයි...//

    මේ ගතිකත්වය පිලිබඳව මට ප්‍රශ්න රාශියක් තිබෙනවා. දැනටමත් මෙහි ඇතැම්  පාඨකයන් .//.C-D නම් එපා ..//කියමින් සිටින තත්ත්වයක් තුල න්‍යායාත්මක ප්‍රශ්න අප  කතා කල යුත්තේ අනිකාට වාතයක් නොවන ආකාරයටයි කියලා මට හිතෙන්නේ.

    අවසානයට පෙර මෙයත් කිව යුතුයි.ඔබ කියනවා:

    /...ඔබ අසා තිබෙන ප්‍රශ්න නිවැරදි, සාධාරණ හා වැදගත් ප්‍රශ්න. ඒ වගේම සාධාරණ වශයෙන් ගත් විට ආර්ථික විද්‍යාඥයින් විසින් මේ මොහොතේ විසඳුම් හොයන්නේ හා විසඳුම් යෝජනා කරන්නේ මේ ආකාරයේ ප්‍රශ්න වලටයි. නමුත් විසඳුම් ගැන කතා කරන්න කලින් අපට විසඳුමක ඉලක්කය විය යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව එකඟ වෙන්න වෙනවා. එය යම් තරමකින් දේශපාලනිකයි...//

    විසඳුම්වල ඉලක්කය පැහැදිලියිනේ. ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර සාධාරණ සහ කාර්යක්ෂම විසඳුමකට එන එක තමයි ඉලක්කය. එහිදී, මිනිසා සහ ජෛවිය ගෝලයයේ සමතුලිතතාවය විනාශ නොකරන්න, ප්‍රාග්ධනයේ ඉතිහාසය ගවේෂණයට  සාධාරණ ප්‍රවේශයක් ගනිමු, වාස්තවිකත්ව යථාර්ථයක් හෙලිදරව් වේ නම් එය නොවලකමු...වැනි ඉල්ලීම් පුබලව මේ අතරට ⁣එනවා. එතැනදී, ඔබ කියනා ලෙසට..//..එය යම් තරමකින් දේශපාලනිකයි..// ඒ වාගේම මිනිසා යනු අධ්‍යාත්මයකි සහ ස්ප්‍රීතුවක්/Spirit  සහිත සත්ත්වයකු බවට හෙලිදරව් වුනොත් එය පිලිගැනීමට අපෙන් කී දෙනෙක් සූදානම්ද?

    CP-C

    ReplyDelete
    Replies
    1. //ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර ගතික සමතුලිතතාවය යනු මානව හිතවාදී ලෙසට මිනිසා සහ පරිසරය අතර ඇතිවිය යුතු සමතුලිතතාවය නම් (හෝ මෙයට ආසන්න දෙයක් නම්) මට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. අනික , මම හෝ කවුරුවත් හෝ කොහොමද ස්වභාවික තත්ත්වයට එරෙහි වන්නේ? එසේ කරන්න බැහැ. නමුත් ඔබම දන්නා විධියට යෝජිත ධනවාදය මෙන්ම සමාජවාදය ඇතුලේදී වෙන්නේ මෙය එක් අන්තයකට විචල්‍ය වීමයි.//

      මෙතැනදී ඔබ පොඩ්ඩක් මූලික සාකච්ඡාව මග හැර යන බවක් දැනෙනවා. සමහර විට මම ඔබව හරියට තේරුම් ගෙන නැතුව ඇති. නමුත් මෙය හරියටම පැහැදිලි කර ගැනීම මට ඉතාම වැදගත්. ඔබම ලියා ඇති පරිදි පාරිසරික ගැටළු තිබෙන්නේ ධනවාදය හා සමාජවාදය බෙදන අක්ෂයෙන් බැහැර වෙනම මානයක. ඒ නිසා පාරිසරික ප්‍රශ්න පටලවා ගැනීමෙන් වෙන්නේ මේ සංවාදය වඩා සංකීර්ණ වී අවුල් වෙන එක පමණයි. අපි හිතමු අපි කතා කරන්නේ පරිසරය විනාශ කරමින් නිපදවන අතිරික්තයක් ගැන කියලා. එහෙමනම් එම අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යා යුතු ආකාරය ගැන අපට එකඟ විය හැකි හෝ නොවිය හැකි තැන කුමක්ද? එය අවුල් වගේනම් අපි හිතමු අපි කතා කරන්නේ මොන විදිහකින් හෝ පරිසරය විනාශ නොකරමින් නිපදවන අතිරික්තයක් ගැන කියලා. එහෙමනම් එම අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යා යුතු ආකාරය ගැන අපට එකඟ විය හැකි හෝ නොවිය හැකි තැන කුමක්ද?

      පරිසරය විනාශ කරමින් අතිරික්තයක් හැදුවත් එසේ නොකරමින් අතිරික්තයක් හැදුවත් මූලික ප්‍රශ්නය එකමයි. මට පාරිසරික ප්‍රශ්න මගහැර යන්න අවශ්‍ය නැහැ. ඔබේ ප්‍රමුඛතාවය පාරිසරික ප්‍රශ්නනම් මේ ප්‍රශ්න ගැන කතා කළ හැකියි. නමුත් එසේ කතා කරන්න වෙන්නේ ධනවාදී රාමුවක සිටයි. ඔබ මා යෝජනා කරන ධනවාදී රාමුව නොපිළිගන්නවානම් ඒ කතා කිරීමේ තේරුමක් නැහැ. ඒ නිසා මූලික ප්‍රශ්නය මුලින් විසඳාගත යුතුයි.

      ස්වභාවික තත්ත්වය කියන එකත් මට එතරම් වැදගත් කරුණක් නෙමෙයි. ස්වභාවික තත්ත්වය එලෙසම භාර ගන්නවානම් අපිට කරන්න දෙයක් නැහැ. මම හිතන විදිහට ධනවාදය වේවා සමාජවාදය වේවා දේශපාලනය කියා කියන්නේම දෙන ලද තත්ත්වය එළෙසම භාර නොගැනීම. හැබැයි ඒ කියන්නේ පවතින තත්ත්වය හැම විටම අනිවාර්යයෙන් ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි. පවතින තත්ත්වය එකම හෝ හොඳම තත්ත්වය ලෙස භාර නොගැනීම. එහෙත් පවතින තත්ත්වය හොඳම තත්ත්වය වීමද විය හැකියාවක් ලෙස භාර ගැනීම.

      Delete
    2. //ඇත්තටම මම එක හෙලා එතැන හිට ගන්නවා. නමුත් නිදහස් වෙළඳ පොල කොහේද තියෙන්නේ? වෙළඳපොල තුල තීරණ ගැනීමට අවශ්‍ය සියලු සාධක මට විවෘතද? වෙළඳ පොල නිදහස්ද? ප්‍රාග්ධන හිමියා මෙන්ම පාරිභෝගිකයා එකිනෙකාගෙන් ස්වායත්ත ද? Manipulations කොහේවත් මේ වෙළඳ පොල තුල නැද්ද ? දැන්විම් ආයතන , ප්‍රචාරක billboards ගලවලාද? වෘත්තීය සමිති දෙපැත්තටම නිදහස්ද?...

      නිදසුනක් ලෙසට ලෝක වෙළඳාම තුල තේ වල මිල සහ සැපයුම තීරණාත්මක ලෙස පාලනය කරන්න ලයිම් කාමරවල හැන්දෑවට බීගෙන එන තේ දළු කඩන ගැහැණියකට පුලුවන්ද? බැරි නම් ඒ ඇයි?//

      මේ හැම දෙයක් ගැනම පැහැදිලි කළ හැකියි. නමුත් ඒ පැහැදිලි කිරීම් සියල්ල ගොඩ නැගෙන්නේ මා මුලින් ඉදිරිපත් කළ ධනවාදී රාමුව තුළයි. ඒ නිසා මූලික එකඟතාවයක් නැතිව මේ කිසිම දෙයක් ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. මේ හැම එකක්ම ධනවාදී රාමුවක විසඳිය හැකි ප්‍රායෝගික ප්‍රශ්න.

      //නමුත් එකොනෝ, ඒ කාර්යක්ෂමතාවය සහ සාධාරණත්වය තුල සමාජ පන්තීන් අහෝසි වන බවට ඔබට සහතිකයක් දිය හැකිද? එහෙම නොවුනොත් ආයේ ලොකු වටයක් ගිහින් අපි එන්නේ මුලටම නේද?//

      කණගාටුවෙන් වුවත් මට කියන්න තිබෙන්නේ එවැනි සහතිකයක් නැති බවයි. එය එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. මෙය තීරණය වන්නේ ධනවාදයෙන් බැහැර වෙනත් මානයක. දැන් සිදුවන ආකාරයෙන් ජාතිකවාදයන් ප්‍රවර්ධනය වීම තුළ වඩාත් බෙදුණු අනාගත ලෝකයක් නිර්මාණය විය හැකියි. සමාජවාදය නිසා සමාජ පන්තීන් අහෝසි වන බවටද කිසිම සහතිකයක් නැහැ.

      //මේ ගතිකත්වය පිලිබඳව මට ප්‍රශ්න රාශියක් තිබෙනවා. දැනටමත් මෙහි ඇතැම් පාඨකයන් .//.C-D නම් එපා ..//කියමින් සිටින තත්ත්වයක් තුල න්‍යායාත්මක ප්‍රශ්න අප කතා කල යුත්තේ අනිකාට වාතයක් නොවන ආකාරයටයි කියලා මට හිතෙන්නේ.//

      මේ "ප්‍රශ්න රාශිය" මට ඉතාම වැදගත්. ඔබ මේ ප්‍රශ්න සියල්ලම එකින් එක ඉදිරිපත් කරන තුරු මට ඉදිරියට යන්න බැහැ. කේන්ද්‍රීය ප්‍රශ්න තිබෙන්නේ මේ ගොඩේ. ඒ ප්‍රශ්න මග හැර අවශේෂ ප්‍රශ්න කතා කිරීම කාලය නාස්ති කිරීමක් පමණයි. මම නැවතත් මාක්ස්වාදය සම්බන්ධ මගේ විවේචනය සරලව ඉදිරිපත් කරන්නම්.

      මූලික ප්‍රශ්නය: නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ජනිත වන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යා යුත්තේ කෙසේද?

      ධනවාදී පිළිතුර: ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමය ලබාදුන් අයටත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනය ලබාදුන් අයටත් හිමි විය යුතුයි.

      මාක්ස්වාදී පිළිතුර: ප්‍රාග්ධනය වෙනුවෙන් කිසිවක් හිමිවිය යුතු නැති අතර ශ්‍රමය ලබා දුන් අයට මුළුමනින්ම හිමි විය යුතුයි.

      මාක්ස්වාදී පිළිතුරේ වැරැද්ද: ධනවාදී පිළිතුරෙන් විසඳුම් නොදෙන කිසිම ප්‍රශ්නයකට මාක්ස්වාදී විසඳුම පිළිතුරු නොදෙන අතර මාක්ස්වාදී පිළිතුර නිෂ්පාදනය වර්ධනය වීමේ වේගය අඩාල කිරීම හරහා සමාජ ප්‍රගතියට අකුල් හෙළයි. එහෙයින් මාක්ස්වාදී විසඳුම අනිවාර්යයෙන්ම අකාර්යක්ෂම එකකි.

      මම ඔබේ ප්‍රශ්න හෝ විවේචන ලැයිස්තුව බලාපොරොත්තුවෙන් ඉන්නවා.

      Delete
  7. ලංකාවේ හුඟක් අය දන්නෙ උනන්දුවෙන් වැඩක් කරන්න නෙවෙයි. කරන වැඩේ ඇදයක් දකින්නයි.

    ඊයේ අපේ ගෙදරට මිතුරන් කිහිප දෙනෙක් ආවා. වෙනදාට ඔවුන්ට එකතු වෙන සගයෙක් ආවේ නෑ. ඔහු පුද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරන්නෙක්. මෝටර් රථයක් පවා හිමි කෙනෙක්.
    "කො අරයා?" එක්කෙනෙක් විමසුවා.

    "අන්න ඌ පමුණුව පාර අයිනේ ජංගි විකුනනවා!"
    එහෙම කියනකොටම මට හිතුණේ ඒ වදන්වල හැංගුණු අවමානය. පාරේ අයිනක රෙදි වෙළෙඳාම් කිරීම පහත් වැඩක්ද?

    අවුරුදු දවස්වලට පමුණුව පාරේ අයිනක තට්ටුවල වෙළෙඳාම් කිරීම ලේසි වැඩක් නෙවෙයි. කට්ට අව්වේ, සෙනඟ ගොඩේ. කෑ ගසමින් මිනිස්සු අද්දාගන්න තරමට තමයි සරු වෙන්නේ. (පමුණුව පාරේ ඊයේ තිබුණු තදබදය ජාත්‍යන්තර මාධ්‍යවලත් ඊයේ තිබුණු බව මට පෙන්නුවෙත් මගේ මිතුරෙක්.)
    මට හොඳටම විශ්වාසයි මේ දවස් දෙක-තුනේදී අපේ මිතුරා සෑහෙන මුදලක් උපයාගන්න බව.

    හොඳම කාරණේ ඒ හාදයාට ඔහොම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවය කියලා මට කවදාවත් හිතිලා නොතිබුණු එකයි!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ගොඩක් අය හිතන විදිහට නොහිතා මේ වගේ වැඩක් කරන්න සෑහෙන ධෛර්යයක් තිබිය යුතුයි. රැකියා සම්බන්ධ පංති භේදය ලංකාවේ ලොකුම ප්‍රශ්නයක් සහ රටේ දියුණුවට විශාල බාධාවක්.

      Delete
  8. Econo, in my opinion only few has the potential to move beyond the competitors in the market system. Therefore, eventually all the capable people will be the business leaders while incapable people will end up as workers. My question is in the context they are incapable and in the instance of no capacity to improve, how would they thrive or take an alternate route to move forward in the social ladder. Do you think that such a situation would destroy the capitalist system eventually?

    ReplyDelete
    Replies
    1. @ ගස්ගෙම්බා

      මම කැමති කතාවක් මෙතන කියනවා, ඒ කියන්නේ යම්කිසි වෘත්තීය සුදුසුකමක් යටතේ යම් හැකියාවක් දියුණු කරගෙන රැකියාවකට යන්න කියන එක. හැබැයි එතනදි ලොකු පඩි බලන්න එපා, පටන්ගන්න කොතනින් හරි, හරියට මේ කියන ටොම් ඇඟලුම් සැලසුම් කරණය හරහා දියුණු වුණා වගේම.

      මම ගැන කියනවා නම් මම 2009 වසරේ උසස් පෙළ විභාගය අසමත් වීම නිසා ජර්මන් කාර්මික අභයාස ආයතනයෙන් පුර්ණකාලින පාඨමාලාවට බැඳුණේ. ඒ පාඨමාලාව අවසන් කරලා 2011 වසරේ මුල, ඒ අවුරැද්දෙම අගෝස්තු මාසයේ මම යනවා අබු ඩාබි වලට එක්සත් අරාබි ඩිරාම් 1,800ක වගේ කුඩා පඩියක් ගන්න, ඒ වෙනකොටත් මගේ යාලුවෝ ලන්කාවේ රුපියල් 80,000කට වඩා පඩි ගන්නවා. ලංකාවේ රාජ පක්ෂ ආණ්ඩුව විසින් ඩොලර් එක ඉහළ මට්ටමක තියාගෙන හිටපු නිසා ඒ දවස්වල ඩිරාම් එකක් රැ 28 ක් විතරයි. අපට ඒ දවස්වල ම කන්න ඩිරාම් 300ක් විතර යනවා. ආයතනයේ නවාතැන්, ප්‍රවාහන පහසුකම් සහ නිල ඇඳුම් දීලත් මට ඉතුරැ උනේ රැපියල් 25,000 වගේ මාසෙකට. තරුණ කාලේ නිසා සල්ලි නාස්ති නොකර කල්පනාවෙන් ඉන්න අමාරුයි.

      කොහොම හරි මෙතන වැඩ කරනවා අවුරැදු තුනකට ආසන්නව. හැබැයි මම හොදට මගේ Trade එක ගැන පට්ට විදියට experience ගන්නවා, මගේ දැනීමේ හැටියට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරම් වෙන කොහොවත් නෑ, වෙනත් මැද පෙරදිග රටවල් උනත් හොඳයි මේකට. ආයතනයේ වැටුප් වැඩි වුණේ ඩිරාම් 4,800 ක් දක්වා විතරක් නිසා ඊට පස්සේ 2013 මම මගේ experience & skill එක
      මත වෙන රැකියාවකට යනවා. එතන මට ඩිරාම් 7,800 මූලික වැටුපක් ලැබෙනවා .., (ඒ කාලේ හැටියට රු 250,000 ආසන්නව මාසෙකට). මම එතන අවුරුදු දෙකක පමණ රැකියාවෙන් පසු New Zealand එනවා ස්කිල්ඩ් මෛග්‍රේසන් එකක් විදියට. දැන් මම මාසකට ලන්කාවේ මුදලින් 350,000 වඩා TAX එක පමණක් ගෙවනවා මගේ වැටුපෙන් ..., ඒත් එදා රැ 54,000 මම ලන්කාවෙන් එන තිරනේ ගත්තේ නැත්නම් මම තාමත් ලන්කාවේ .., මගේ යාලුවෝ ගොඩක් තාමත් ඒ රුපියල් 80,000 පඩියට තව 120,000 පමනයි වැඩිකරගෙන තියෙන්නේ රැකියාවක් කරන අය.., ගරාජ් දාගෙන වාහන සර්විස් ස්ටේෂන් සහ වාහන අමතර කොටස් ව්‍යාපාර කරන අය මාසේ ලාබය රුපියල් ලක්ෂ දහයක් පමණ හොයනවා. ඒත් මම හිතන්නේ skill එක මත ඔබේ රැකියාව ඔබ කොතනින් හරි ආරම්භ කරන්න කියන එක.

      මේ ගැන වෙනස් ඇසකින් දකිනවා නම් කමක් නැහැ ඔබේ අදහස් කියන්න පුළුවන්.

      Delete
    2. Gasgemba,
      As you correctly say, only the capable people will be business leaders. But a country does not need everyone to be a business leader. Theoretically, even if there are two competitive businesses (owners of capital), unless they collude, the competition between the two firms will allow laborers to earn their marginal productivity. In practice, the number is not two and sufficiently large to ensure no collusion. Therefore, the wage earners can change their jobs until they earn their marginal productivity and that way they can climb up the social latter as laborers. If they spend less than what they earn they can invest their savings in businesses and earn the same margin as the original owners. So, their incapability to run a business is not an impediment to climb up the social ladder not only as a laborer but also as an owner of capital. Any person can end up being an owner of capital, no matter they have the capabilities to become business leaders or not, as long as they limit their consumption and start investing early.

      Delete
  9. මම හිතන්නේ මේ ප්‍රශ්න සියල්ලටම හේතුව ලංකාවෙ මේ දවස් වල පාලකයන් වන පරිසර නාශක දූෂිත නන්දසේන ඒකාධිපති මිලිටරි ජුන්ටාව විසින් විපත් මග නමැති දේශපාලනික ගොබෙල්ස් කල්ලිය හරහා ලංකාවෙ සමාජගත කළ ආර්ථික සංවර්ධන මොඩලය ඇමරිකානු සහ යුරෝපයේ ආර්ථික සංවර්ධන මොඩලය වූ නව ලිබරල්වාදයෙන් වෙනස් වීම නිසා බවයි. එම මොඩලය තුළ නැගෙනහිර ආසියාවේ රටවල මෙන් "රාජ්‍යය" රටේ ආර්ථික සංවර්ධනයේ ප්‍රමුඛ භූමිකාවක් භාර ගනී. රාජ්‍යය නම් සංවර්ධන මූලික රාජ්‍යයක් (Developmental Oriented State) බවට පත්වේ. ඒ අනුව දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය තුළ සිදු වූවාක් සේ රාජ්‍යයට සම්බන්ධ තාක්ෂණික, කළමනාකරණ නිලධාරී තන්ත්‍රයක් විසින් ආර්ථික ක්‍රියාවලිය හසුරුවනු ලබයි. එය සැලසුම් සහගත ධනවාදයක් ලෙස ඇතැම්විට හඳුන්වනු ලබනවා. මේ මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය ඇතුළු රටවල් අනුගමනය කළ මාර්ගය ද අඩු වැඩි වශයෙන් දකුණු කොරියාව, හොංකොං, තායිවානය, සිංගප්පූරුව ගත් මගට සමානයි. ඒ සියලු දෙනාට පසුව ආසියාවේ භයානක ගිනි මකරා වූ චීනය අවදි වූයේද සාමාන්‍යයෙන් අධිකාරීමය ධනවාදය වශයෙන් හඳුන්වනු ලබන නැගෙනහිර ආසියාතික ධනවාදයේ මග අනුගමනයෙන්.

    මේ නිසා වත්මන් යුගයේ නව ලිබරල්වාදයේ අර්බුදයත් කොරෝනා වයිරස් වසංගතයත් පසුබිම් කොට ගෙන අධිකාරීමය ධනවාදය දෙසට හැරීමේ ප්‍රවණතාවක් දැන් ලෝකය පුරාම නිර්මාණය වී ඇත.

    කෙසේ වෙතත් විපත් මග හරහා වත්මන් පරිසර නාශක දූෂිත නන්දසේන රාජපක්ෂ මිලිටරි පාලනාධිකාරය ආර්ථික සංවර්ධන මොඩලයක් ගැන කතා කිරීම සමකාලීන ගෝලීය දේශපාලන ආර්ථික යථාර්තය තුළ අභව්‍ය කාරණයක් ද?

    මම හිතන්නේ එය සැබවින්ම අපේක්ෂා කළ යුතු තත්ත්වයක් මෙන්ම හුදෙක් දේශපාලන වාගාලාපයක් ද නොවන බව. නිදසුනක් ලෙස, උපාධිධාරීන් දස දහස් ගණනකට එක විටම රාජ්‍ය අංශයේ රැකියා ලබා දීම වැන්නක් පහුගිය 2015 ජනවාරි විප්ලවයෙන් බලයට පත්වූ නව ලිබරල් යහපාලනවාදී ආණ්ඩුවෙන් කෙසේවත් අපේක්ෂා කළ හැක්කක් නොවූ නමුත් නූතන ලාංකීය අධිකාරීමය ධනවාදය තුළ ප්‍රයත්න දැරෙන්නේ උපාධිධාරී ශ්‍රම බලකාය සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශ වර්ධනය කිරීමේ සහ නියාමනය කිරීමේ පුහුණු බලකායක් බවට පරිවර්තනය කිරීමට ය. පහුගිය වසරේ ලංකාවේ අලුත බඳවාගනු ලැබූ උපාධිධාරීන් හට පැවරුන ප්‍රථම කාර්යයක් වන්නේ තම ප්‍රදේශවල එවන් ව්‍යවසායක අංශ හඳුනාගෙන ඒවා ගැන පර්යේෂණ නිබන්ධන සැපයීමයි. යම් යම් තෝරා ගත් අපනයන භාණ්ඩ සඳහා රාජ්‍ය දිරි ගැන්වීම් කිරීම මෙන්ම ඇතැම්විට ආනයන සීමා කිරීම ද මේ නව ප්‍රතිපත්ති රාමුවේ අංගයන්. ඒ අනුව විවිධ මට්ටමේ අලුත් ද්‍රව්‍ය 3,000 ක් පමණ ලෝකයේ විවිධ රටවලට අපනයනය කිරීමට මේ වන විට කටයුතු කර තිබෙන බව අපට ආරංචියි.

    කෙසේ නමුත් මේවා කිසිසේත්ම 1960 දශකයේ ආනයන ආදේශක උපාය මාර්ගය සමග සරල ලෙස සමාන කළ නොහැක. එදා මෙවන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූයේ කේන්සියානු රාජ්‍ය සුභසාධනවාදී රාමුවක් තුළ නම් අද ඒවා ක්‍රියාත්මක වන්නේ අධිකාරීමය ධනවාදී රාමුවක් තුළින්. මේ ගැන දීර්ඝ ලෙස විවේචනය කර ජනතාව දැනුවත් කිරීමට අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. මේ වගේම මේ සියල්ල ප්‍රජාතන්ත්‍ර විරෝධී දූෂිත ෆැසිස්ට්වාදී රාජපක්ස ඒකාධිපති පාලනයක් සඳහා යොදා ගන්නා කුප්‍රකට විසි වන සංශෝධනය සමග සම්බන්ධ වන්නේ කෙසේද?

      මේ ගැන මගේ අදහස් වලට අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් වූයේ ජේ. ආර්. ජයවර්ධනගේ ආර්ථික විවෘතකරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන රාමුව සැකසීම සඳහා වූයේ යම් සේද, එපරිදිම විසි වන සංශෝධනය ඉදිරිපත් වන්නේ වත්මන පරිසර නාශක ඒකාධිපති නන්දසේන රාජපක්ෂ මිලිටරි ජුන්ටා දූෂිත ෆැසිස්ට්වාදී පාලනාධිකාරය විසින් පෙරට ගෙන එනු ලබන ලාංකීය ස්වරූපයේ අධිකාරීමය ධනවාදය සඳහා අවශ්‍ය දේශපාලන රාමුව සැකසීම පිණිස බවයි.

      මේ ගැන විපත් මග කල්ලියේ ආර්ථික විද්‍යාව ගැන ආචාර්ය උපාධිය හැදෑරූ මහාචාර්ය රංජිත් බණ්ඩාර වැනි කපටි දේශපාලකයින් අපට නොපවසන දේ වන්නේ මේ රාජ පක්ෂ ආර්ථික මොඩලය ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන සහ සමාජ නිදහස බරපතල ලෙස සීමා කරන්නට සිදු වන බවයි. ආර්ථික සංවර්ධනය සඳහා දේශපාලන නිදහස කැප කළ යුතුය යන්න ලී ක්වාන් යූව්ධ්ගේ සහ මහතීර් මොහම්මද්ගේ ආසියාතික වටිනාකම් සහිතවූ රාජ්‍ය මූලික ධනවාදයේ ප්‍රධාන ඉගැන්වීමක්. (ඒ වගේම වයෝවෘද්ධ මහතීර් මොහම්මද් සරදම් සහගත ලෙස මැලේසියාවේ ප්‍රජාතාන්ත්‍රික අරගලයේ සංකේතාත්මක නායකයා බවට පත් වීම වෙනම විසුළු කාරණයක්.

      ලංකාවේ මෑතකදී ගෙනා විසි වන සංශෝධන යෝජනාවේ දේශපාලන සමාජ ආර්ථික වටපිටාව මෙයයි. මේ ගැන දීර්ඝ ලෙස සාකච්චා කිරීමට අවශ්‍යතාව පවතින අතර ඉදිරියේදී එන ශක්තිමත් ප්‍රජාතාන්ත්‍රවාදී සමාජ දේශපාලන ව්‍යාපාරයක් 2015 ජනවාරියේ පරිවර්තනය හසු වූ ආකාරයේ අවාසනාවන්ත ඉරණමකට හසු නොවන ලෙසකට වඩාත් ශක්තිමත් බලවත් සහ කල්පවත්නා ආකාරයකට ගොඩ නගන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි ප්‍රබල වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාව පවතින අතර ඉකොනොමැට්ටා වැනි අයගේ බුද්ධිමතුන්ගේ දායකත්වය ලබාගැනීම ඉතාමත් වැදගත් අවශ්‍යතාවයක්.

      ලංකාවේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා මෙය ඉතාම තීරණාත්මක සහ කාලීන ගැටලුවක් සේම අප ඉහත මතු කරන ගැටලුව ප්‍රායෝගික තලයේදී විසඳීම අතිශය අසීරු කාර්යයක් ද වනු ඇති බව මගේ හැඟීමයි. ඒ මන්ද යත් වත්මන් ඒකාධිපති නන්දසේන පාලනාධිකාරයේ සමාජ දේශපාලන ආර්ථික වැඩ පිළිවෙලට එදා 1977 ජේ.ආර්. ජයවර්ධනගේ ආර්ථික විවෘතකරණ වැඩ පිළිවෙලට වෙනස්ව අතිශයින්ම සක්‍රීය මහජන කැමැත්තක් ගොඩ නැගී තිබීම නිසායි. අනික් පැත්තෙන් මේ බලවත් මහජන කැමැත්ත සංවිධානය කිරීම සඳහා සක්‍රීයව මැදිහත් වන ඓන්ද්‍රීය බුද්ධිමතුන් කණ්ඩායමක්ද එය සතුයි. මෙහිදී මා යළිත් අවධාරණය කිරීමට කැමති කාරණයක් නම් රාජපක්ෂ ව්‍යාපෘතියේ පළමු අදියර සහ දෙවන අදියර අතර යම් යම් සමානකම් මෙන්ම කැපී පෙනෙන වෙනස්කම් ද පවතින බවයි. මේ දෙකම සමගි ජන බලවේග බුද්ධිමතුන් කණ්ඩායම විසින් හුදෙක් සිංහල බෞද්ධ ජාතිකවාදයේ නැගීමේ ප්‍රතිපල ලෙස හැඳින්වීමට යාම අසාර්ථක ප්‍රවේශයක් වන බව මගේ අදහසයි. නන්දසේන රාජපක්ෂ ව්‍යාපෘතියේ ජයග්‍රහණය සඳහා බලපෑ දේශපාලන ආර්ථික සමාජ සාධක මීට වඩා ගැඹුරින් අධ්‍යනය කරන්න පුළුවන් නම් හොඳයි නේද?

      Delete
  10. සුබ උදෑසනක් සමග සුබ දවසක් වේවා ඉකොනොමැට්ටා,

    මේ නිව්ස් එක ඇත්ත ද? මේකේ බලපෑම් අනුව ඉදිරි කාලෙදි රුපියලේ අගයට මොකක් වෙයිද? රේට් එක බහී ද? ලංකාවට ඉක්මනට සල්ලි යවන්න ඕන ද නැත්නම් අවුරුදු ඉවර වෙලා නැවත රුපියල පහළ යාවී ද? මේ ගැන ඉක්මනින් විස්තර කරලා ලියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    https://www.newsfirst.lk/2021/04/12/government-signs-usd-500-mn-loan-agreement-with-china/

    ReplyDelete
  11. මේ දවස්වල ලංකාවේ ආණ්ඩුවේ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ස්වේච්ඡා උපදේශක කටයුතු කරන ජෝන් කීල්ස් සමූහයේ හිටපු සභාපති කෙන් බාලේන්ද්‍ර ලංකාවේ ව්‍යාපාර නායකයන්ගේ ලෝකයේ, බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ ජ්‍යෙෂ්ඨයෙකු වුණත් තවමත් ක්‍රියාකාරීව, නායකත්වයේ මෙහෙවරෙහි යෙදෙයි. කෙන් බාලේන්ද්‍ර ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයකි. චරිතයකි. නායකත්වයට පූර්වාදර්ශයකි. ජාත්‍යන්තරයට ගිය ශ්‍රී ලාංකිකයෙකි. පහුගිය දවස් වල පොදු ජන පෙරමුණේ ජාතික සංවර්ධන සැලසුම් වලට සහ වියත් මග ආරාධිත දේශකයෙකු වශයෙන් ක්‍රියාත්මක වූ ඔහු පිළිබඳ සෙවීම, විමසීම, අධ්‍යයනය කිරීම යනු දැනුම් සම්භාරයක් ලබා ගැනීමයි. මේ ඔහු පැවසූ කරුණු කීපයක්;

    "ප්‍රමාද වෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්‍යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා."

    කෙන් බාලේන්ද්‍ර නම් දැවැන්තයා ඇතුළේ තව කවුද ඉන්නෙ?

    සතුටින් හිනාවෙලා ඉන්න සරල මනුෂ්‍යයෙක්. හරියි කියලා හිතෙන දේ නොබියව කරන, මහන්සිවෙලා වැඩකරන, තමන් එක්ක වැඩකරන මිනිස්සුන්ව බලා ගන්න බොහොම ආදරණීය මනුෂ්‍යයෙක්.

    මොනවද අද ඔබ මේ රටට කරන්නේ?

    දැවැන්ත සමාගම්, බැංකු මොන තරම් කතා කළත් මං පඩියට වැඩ කරන එක නැවැත්තුවා. දැන් මං වැඩ කරන්නෙ, වෘත්තීය පුහුණු හා නිපුණතා අමාත්‍යාංශය යටතේ කෙරෙන වැඩසටහන්වලට විතරයි. ඒ, එක සතයක් හෝ නොගෙන. තරුණ ජනයාගේ වෘත්තීය පුහුණුව රටේ ආර්ථිකයට ප්‍රබලව බලපාන සාධකයක්.

    ඔබේ විශේෂඥ දැනුම තිබෙන්නේ, ව්‍යාපාර ක්ෂේත්‍රයේ. ඇයි වෘත්තීය පුහුණුවට යොමු වුණේ?

    තෘප්තියට. අද අපේ රටේ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථා මිලියන එක හමාරකට වඩා තිබෙනවා. පුහුණු ශ්‍රමිකයන් නැහැ. ඉදිකිරීම්වලට පිටරටින් සේවකයො ගේන්න වෙලා. ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ අවුල් නිසා ගොඩක් තරුණ අය ත්‍රිවිල් පදවමින් වයසට යනවා. ලංකාවට කෝ තරුණ ශ්‍රමය? තරුණ ජවය? වෘත්තීය පුහුණුවට තියෙන ඉල්ලුම ලෝකෙ අති විශාලයි. අපේ තරුණ පරපුරට මං මුලා නොවී හොඳ රැකියාවක් කරන්න සහ ආර්ථිකය හදාගන්න අත්වැලක් වෙන්නයි මං මේ වැඩේට බැස්සේ.

    ඔබ දැක්මක් ඇති නායකයෙක්. (Visionary Leader). ඒ නායකත්වය ඔබේ අනුගාමිකයන්ට දුන්නෙ කොහොමද?

    හොඳම උදාහරණය අද ජෝන් කීල්ස් සභාපති සුසන්ත රත්නායක, නියෝජ්‍ය සභාපති, අජිත් ගුණවර්ධන වගේ අය. හැකියාවන්ගෙන් පිරිපුන් තරුණ විධායක නිලධාරින් සමඟ ඒ කාලෙ මං ‘2020 Team’ එකක් හැදුවා. මේ දෙන්න ම ඒ ටීම් එකේ අය. නොබියව කතා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලය විවේචනය කිරීම, වගකීම, වගවීම, කණ්ඩායමෙන් බැහැර යන අය නැවත කණ්ඩායම තුළට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම වැනි පොදු අරමුණු ගණනාවක් මේ 2020 ටීම් එකෙන් නිරන්තර සිදුවුණා. ඒ හරහා නායකත්වය සඳහා අඛණ්ඩව අනුගාමිකයන් බිහිවුණා. ඔවුන්ගේ සිතිවිලි සෑම විටම සාමූහිකයි. ඒ වගේම, ආයතනික කේන්ද්‍රීයයි.

    ඔබට අනුව හොඳ නායකයෙක් වෙන්නේ කොහොමද?

    නායකයා යනු, විල්ලුද රෙදි කඩකින් එතූ යකඩයක්. කාරුණිකව කටයුතු කිරීම වගේ ම අවශ්‍ය තැනදි ඔහු තදට සිටිය යුතුයි. ඔහුට ප්‍රතිඵලයයි, මූලික. ආයතනික අරමුණු ඉලක්ක අබිබවා යන ආකාරයයි ඔහු නිතර සිතිය යුතු. තමන්ගෙ නිෂ්පාදන හෝ සේවාවේ විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම, තමන්ගේ සමස්ත සේවක මඩුල්ල කොයි තරම් විශාල වුවත් ඔවුන් තමන්ගෙ දැක්ම තුළ රඳවා ගැනීම අතිශය වැදගත්. සේවකයන්ගෙන් බලාපොරොත්තු වන විනය ඔහු තුළත් තිබිය යුතුයි. මේ වගේ කාරණා බොහෝමයක් තිබෙනවා.

    හොඳ නායකයෙක් නොකළ යුතු දේ මොනවද?

    සේවකයන් හා ගනුදෙනුවේදි පාවිච්චි කරන වචන උඩින් පල්ලෙන් අතපත ගෑ වදන් නොවිය යුතුයි. හරවත් දේ හැර මුසාබස් නොකිව යුතුයි. සේවකයන් රැවටීම, හංගාගෙන කතා කිරීම, ලොකුකම ආරූඪ කර ගැනීම ඔහුට තරම් නොවන දෙයක්. කිසියම් ප්‍රධානියකුට තමන්ගෙ සේවකයන්ට හිනාවකින් හෝ සංග්‍රහ කිරීමට නොහැකි නම් ඔහු සේවකයන්ගේ හිත්වලින් ඈත් වන්න පටන් ගන්නෙ එතැනින්. ඔහු අනවශ්‍ය ලෙස සතුරන් ඇති නොකර ගත යුතුයි. වංචා නොකළ යුතුයි. කේළම් ඇසුවොත් සමහර විට ඔහු නැති කර ගන්නෙ තමන්ගේ හොඳම සේවකයා. ඒ වගේ ම අනවශ්‍ය කාන්තා ඇසුර හා ඔවුන්ගේ අතකොලු බවට පත් නොවිය යුතුයි. එසේ වුවහොත් ප්‍රධානියා විතරක් නොවෙයි, ආයතනයත් විනාශ වෙනවා.

    ReplyDelete
    Replies
    1. ආයතනයක් දියුණුවෙන්න බලපාන හොඳ ම සාධකයක් කියන්න.

      ටීම් එකක නායකයා, අග්‍රගණ්‍යයේ ‘ප්ලේයර්’ කෙනෙක් විය යුතුයි. වයසක අධ්‍යක්ෂවරු මත ම ‍නොයැපී තරුණ ජවය හා තරුණ අදහස් ගන්නත් ඒවා ක්‍රියාත්මක කරන්නත් දක්ෂයෙක් විය යුතුයි. ආයතනයකට බොස්ලා වැඩක් නැහැ. අවශ්‍ය, වැඩදන්න හොඳ නායකයො පමණයි.

      මොකක්ද ඔබේ මුල් ම රස්සාව?

      හපුගස්තැන්න වතු යායේ ‘ක්‍රීපර්...’. මං සෙල්ලම් කරපු රගර් මැච් බලන්න ජේම්ස් ෆින්ලේ සමාගමේ යුරෝපීය ජාතික, ජෙනරල් මැනේජර් නිතර ආවා. එයා තමයි මට ෆින්ලේස් එන්න ආරාධනා කළේ. මං අවුරුදු හතක් ගත කළේ තේ සහ රබර් එක්ක. ටයිම් කීපින්... ඉංග්ලිෂ්... ඇතුළු බොහෝ දේ ඉගෙන ගත්තෙ දියුණු කරගත්තෙ මගේ ඒ පළවෙනි රස්සාවෙන්.

      මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ Turning point එක...

      ‍ජෝන් කීල්ස් සමාගමේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වීම. බොස්ටොක් සහ බ්ලැක්ලර් සුදුජාතික මහත්වරුන්ට පස්සෙ සභාපති වුණේ මං. මම ඉල්ලුම් කරලා ආව එකම රස්සාව, ජෝන් කීල්ස් පමණයි. එතැනින් උඩට මං යන්නෙ පර්ෆෝමන්ස්වලින්. මට ම හදාගත්තු වටිනාකම්වලින්. ඒ වටිනාකම්වලට ලැබුණු ආරාධනා මතයි ඉතිරි සෑම දෙය ම සිද්ධ වුණේ.

      වෘත්තීය ජීවිතය පුරා ම ඔබ ඉතා සතුටින් වැඩ කළ කෙනෙක්. මොකක්ද රහස?

      කාරණා දෙකක් තියෙනවා. එකක් රෝයල් එකේ ඉගෙන ගැනීම. දෙක රගර් ගැසීම. ඉතා දක්ෂ හොඳ ගුරුවරු යටතේ ඉගෙන ගත්තා. ගෙදර සහ පාසලෙන් ලැබුණු විනය අපිව හොඳ මිනිසුන් කළා. රගර් ගැසීමෙන් ලද පන්නරය දරා ගැනීම, හික්මීම සතුටින් වැඩ කරන්න හේතු වුණා. අනික තමයි, මේ වගේ හොඳ දේවල් එක්ක මං ගොඩනැඟුණු එක. මගේ ස්ටාර් එකත් හොඳ වෙන්න ඇති.

      ජෝන් කීල්ස් සමාගමට ඔබ කළ හොඳ ම වෙනස කුමක් ද?

      දෙයාකාරයි. එක ‘2020 Team’ එක හදපු එක. අනික ගැහැනු අයව ‘බෝඩ්’ එකට පත් කළ එක. අනුෂියා කුමාරස්වාමි, රජී ගුණවර්ධන වැනි හතර පස් දෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලයට ආවේ ඒ වෙනසෙන්.

      ඔබට තවමත් සමාගම්වලින් ආරාධනා ලැබෙනවද?

      ඔව්. විදේශීය සමාගම්වලින් පවා. මං ජෝන් කීල්ස් සමාගමෙන් අයින් වුණාට පස්සෙ ඉන්ටර්නැෂනල් කම්පැනි කිහිපයක විධායක නොවන සභාපති, අධ්‍යක්ෂ තනතුරුවල හිටියා. තේරුමක් නැහැ. තීන්දු තීරණ ගන්නෙ පිටරට තිබෙන මවු සමාගම. හැබැයි ඉන්නවට අපිට හොඳට ගෙවනවා. වැඩක් නොකර නමට විතරක් පඩියක් අරන් මොකටද? මං ඒ තැන්වලින් අයින් වුණා.

      හැබැයි ඔබ හිටපු බොහෝ සමාගම්වල ඔබ ස්වර්ණමය යුගයක් හැදුවා.

      එහෙම කළා නම් කළේ යථාර්ථවාදි දර්ශනයක් හරහා පමණයි. ඒකට කණ්ඩායම් හැඟීමෙන් යුතු ප්‍රායෝගික මනුෂ්‍යයෙක් වීම ප්‍රමාණවත්. ඒ හරහා සියල්ල ළඟා කර ගත හැකියි. ඉලක්ක අරමුණු සාක්ෂාත් කර ගත හැකියි.

      කොයි තරම් ප්‍රායෝගික වුණත් සභාපතිවරයකුට පතුලට බැසිය හැකි සීමාවක් තිබෙනවා.

      ඒ ගැන මං උදාහරණයක් කියන්නම්. එතකොට මං වෝකර්ස් ටුවර්ස් සමාගමේ සභාපති. නිකොමාන් සමාගමේ සංචාරකයො සියලු දෙනාව ම එව්වෙ අපිට. දවසක් මට කෝල් එකක් ආවා එයාර්පෝට් එකෙන්. ‘මෙහෙ ලොකු කලබලයක්. ඔයාලගේ සංචාරකයන්ගෙ බෑග් සංවිධානාත්මකව කට්ටියක් බලෙන් අරන් ගිහින් බස් එකට දාලා සල්ලි ගන්නවා කියලා. මං ගියා එයාර්පෝට්. ඊළඟ ෆ්ලයිට් එකේ ආපු හැම දෙනාගෙ ම බෑග් මම බස් එකට පටවන්න ගත්තා. පහුවැනිදා පත්තරේ මුල් පිටුවෙ ගියා ලොකු පින්තූරයක් ‘වෝකර්ස් සමාගමේ සභාපති, සංචාරකයන්ගේ බෑග් උස්සාගෙන යන අයුරු.’ කියලා. මේ තමයි මගේ විදිය. මගේ පෞරුෂත්වය.

      කවුද ඔබට පූර්වාදර්ශ වූ ව්‍යපාර නායකයන්?

      හපුගස්තැන්න වතුයායෙදි මට මුණගැහුණු මගේ පළමු බොස්, සේපාල ඉලංගකෝන් මහත්මයා. ඊළඟට ජෝන් කීල්ස් සමාගමේ මාක් බොස්ටොක් සහ ඩේවිඩ් බ්ලැක්ලර් මහත්වරු. ඔවුන්ගේ විශිෂ්ට ගුණාංග. මං මගේ ජීවිතයට ගත්තා වගේ ම මාව අනුගමනය කළ අයගෙ ජීවිතවලටත් ඒ දේවල් කා වැද්දුවා.

      ඒ දේවල් ඔබේ ජීවිතයේ හැබෑවටම තිබුණ ද?

      ඒ නිසා තමයි, ලංකා බැංකුවෙ, විනිමය හුවමාරු කොමිසමේ සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ විධායක නොවන සභාපතිව හිටි කාලයේ එක සතයක වැටුපක් නොගෙන වැඩ කළේ. එක වෙලාවක චන්ද්‍රිකා ජනාධිපතිතුමිය මගෙන් අහනවා, ‘කෙන් ඔයා මට හරි කරදරයක්. ඔයාට පඩි තුනක් ගෙවනවා. වාහන තුනක් තියෙනවා. සෙකට්‍රීස්ලා තුන්දෙනෙක් ඉන්නවා. මේ මුකුත් ම නොගන්න එක ප්‍රශ්නයක්...’ කියලා. මැඩම්! ඒක මගේ ප්‍රතිපත්තිය. ඒ වගේ ම, මගේ කොන්දේසිය...’ එච්චරයි. මං කිව්වෙ. රාජ්‍ය සේවයට මං, එදා වැඩ කළෙත් නොමිලේ. අද වැඩකරන්නෙත් නොමිලේ.

      මොකක්ද, ඔබට ම ආවේණික Management Style එක...

      ඒක, විශ්වවිද්‍යාලෙ ගිහින් ලොකු තියරිවලින් ඉගෙන ගත්තු එකක් නෙවෙයි. විශ්වවිද්‍යාලෙ නොගියට ජෝන් කීල්ස් සමාගමේදි මං විසිදාහක් විතර පාලනය කළා. මගේ ක්‍රමය තමයි, පහළ ම සිට උඩට යන කල් හැම සේවකයා එක්ක ම සමීපව වැඩ කිරීම. මගේ ළඟ පංති භේද නැහැ. ‘මහ ජාතිත්’ නැහැ.

      Delete
    2. ඔබ අනුගමනය කළ සුහදශීලී නායකත්වය හැම විට ම සාර්ථක වුණා ද?

      ජෝන් කීල්ස්, සමාගමේදි වගේ ම මං විධායක නොවන සභාපති වෙලා හිටපු ලංකා බැංකුව වගේ රාජ්‍ය ආයතනවලදි පවා බෝඩ් මීටින්වලට පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්‍යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා. යම් මීටිමකට කවුරු හරි පරක්කු වෙලා එනවා කියන්නෙ එතැන ඉන්න අනිත් අයගෙ විශාල මිනිස් පැය ගණනක් විනාශ කර දැමීමක්. ඒක ආයතනයකට හොඳ තත්වයක් නෙවෙයි.

      බ්‍රැන්ඩික්ස් සමාගම, ඔවුන් ගේ නවීන කාර්යාල ගොඩනැඟිල්ල ඔබ වෙනුවෙන් නම් කළා නේද?

      ඔව්. ජෝන් කීල්ස් සමාගමෙන් රිටයර් වුණාට පස්සෙ ඔවුන් මට ආරාධනා කළා, බ්‍රැන්ඩික්ස් සභාපති ධුරයට. අවුරුදු දහයක් මං ඔවුන් එක්ක වැඩ කළා. ඒ කාලය පුරා ආයතනය ලැබූ ප්‍රගතිය, දැක්මක් ඇති කණ්ඩායමක් බිහිකිරීම වැනි කාරණා මුල් කරගෙන තමයි ඔවුන් මේ ඇගැයීම කළේ. බ්‍රැන්ඩික්ස් හෙටත් ඉදිරියට යන්නෙ මං හදපු ඒ සමහර සංකල්ප එක්ක. ඒ ගැන මට හරි සතුටුයි.

      ළමා කාලෙ ගැන ඔබට තිබෙන හොඳ ම මතකය කියන්න.

      පුංචි කාලෙ අපි හිටියෙ කොල්ලුපිටියෙ 25 වැනි ලේන් එකේ පොඩි කුලී ගේක. අපේ ගෙවල් පිටිපස්සට වෙන්න, ඒ කියන්නෙ අද ලිබර්ටි ප්ලාසා එක තියෙන තැන ඔක්කොම තිබුණෙ මුඩුක්කු ගෙවල්. ළමයි ගොඩයි. අපි ඒ ළමයි එක්කත් සෙල්ලම් කළා. තාරවත් දමලා නැති ගුරුපාරක් වෙච්චි ඩුප්ලිකේෂන් පාරෙ තමයි අපි ක්‍රිකට් ගැහුවේ. බයිසිකල් පැද්දෙ. ලිබර්ටි ප්ලාසා පහුකරන හැම වෙලාවක ම ඒ ලස්සන අතීතෙ මට මතක් වෙනවා.

      එතකොට ඉස්කෝලෙ ගියේ?

      ඩුප්ලිකේෂන් පාරේ ඉඳන් රෝයල් එකට මිනිත්තු පහළොවක දුරක්. අපි හැමදාම ගියේ පයින්. ඉඳහිට රික්ෂෝ එකේ. අපේ ගේ ළඟ තිබුණා ‘ජෝන් ඇන්ඩ් කම්පනි’ ස්ටුඩියෝ එක. ඒකෙ අයිතිකාර මහත්තයයි එයාගෙ පුතයි ඉඳහිට අපිව කාර් එකෙත් දාගෙන ගියා.

      එ‍තකොට යාපනෙත් එක්ක තිබුණු සම්බන්ධතාව මොකක්ද?

      මං ඉපදුණේ යාපනේ. ඉනුවිල් ඉස්පිරිතාලේ. ආච්චි සීයා එහේ. නංගිව මල්ලිව ලැබෙන්න ඉන්නකොට අම්මා හැම වාරෙකම යාපනේ ගියා. තාත්තා නිවාඩු කාලෙට අපිවත් අරන් තාත්තගේ ‘රේල්වේ වොරන්ට්’ එකෙන් යාපනේ ගියා. ඉතින් මුළු නිවාඩු කාලෙ ම අපි ගත කරන්නේ නෑයන්ගේ ළමයි එක්ක.

      ඔබ වගේ කෙනෙක් ළමා කාලෙත් අදක්ෂයෙක් වෙන්න බැහැ.

      මං දක්ෂ ව‍ුණේ සෙල්ලම් කරන්න. තාත්තා වැඩට යන්න ලෑස්තිවෙලා පාන්දර හතරහමාරට අපිවත් ‘පඩි... පඩි... පඩි... (පාඩම් කරන්න... පාඩම් කරන්න) කිය කියා කූද්දනවා. මං අනිත් පැත්ත හැරිලා බුදියනවා. ඕ ලෙවල්ස්වලින් මං ක්‍රෙඩිට් පාස් පහක් ගත්තා. හැබැයි මෙඩිකල් කොලේජ් යන්න ම හිතාගෙන ලියපු යුනිවර්සිටි එන්ට්‍රන්ස් ෆේල්.

      ළමයෙක් හැටියට ඔබට තිබුණු හීන සහ අරමුණු මොනවද?

      අම්මා තාත්තාට ඕනෙ කළේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න. මං ආසා කළේ ශ්‍රී ලංකාවේ ටීම් එකට රගර් ගහන්න. ඒත් ඒක බැරිවුණා. 1957, 58, 59, 60 මුළු කාලෙ ම ඉස්කෝලෙට රගර් ගැහුවා. බ්‍රැඩ්බි කුසලානෙට ට්‍රිනිට් එකත් එක්ක සෙල්ලම් කරපු එකයි, සි‍ලෝන් බාබේරියන්ස් ටීම් එකේ සෙල්ලම් කරපු කාලෙයි තමයි මගේ හොඳ ම කාලෙ. රෝයල් එකෙන් අස් වෙන‍කොට මං රග්බි ටීම් ‍එකේ වයිස් කැප්ටන්.

      ජීවිතයේ අරපිරිමැස්ම... අඩුපාඩුකම් කවදාවත් විඳලා තියෙනවද?

      ‘ජැෆ්නා ටැමිල්’ මිනිස්සුන්ට අරපිරිමැස්ම අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඒක ඔවුන්ගේ ඇ‍ඟේ ම තියෙනවා. නගර සභාවේ රස්සාව කරපු තාත්තගෙ පඩිය රුපියල් හත්සිය පණහයි. ළමයි පස්දෙනෙක්. හිටියෙ කුලී ගේක. අම්මා - තාත්තා දරුවො ඇතුළු හත් දෙනෙක් ජීවත් වුණේ ඒ පඩියෙන්. සරල කෑම් බීම්, සරල ඇඳුම් පැලඳුම්...

      අඩුපාඩුකම් දරා ගනිද්දිත් ඔබ එහෙම ම හිතුවද?

      කවදාවත් ඒවා ලොකුවට හිතුවෙ නැහැ. එන හැටියට මුහුණ දුන්නා. දවසක් GOH එකේ ලොකු මඟුල් ගෙදරකට අපේ හිතවතකුගෙන් අයියටත් මටත් ආරාධනා ලැබුනා. ඇඳුම් තියෙන්නෙ අයියට විතරයි. මට නැහැ. ඉතින් මොකද කරන්නේ, ඉස්සරවෙලා අයියා ගියා. එයා ගිහින් ගෙදර ආවම ඒ ඇඳුමම ඇඳගෙන මාත් ගියා. අඩුපාඩුකම් ඉදිරියේ අපි ජීවිතේ සමහර දේවල් බෙදා ගත්තෙ එහෙමයි.

      ඔබ වගේ කෙනෙක් ඇයි හැමදාම අනුන්ට විතරක් වැඩකළේ?

      ෆින්ලේස් හැරුණුකොට ජෝන් කීල්ස්... වෝකර්ස් ටුවර්ස්... චෙව්රෝන් ලුබ්රිකන්ට්ස්, ටුබැකෝ, ඇමරිකන් ටුබැකෝ... බ්‍රැන්ඩික්ස්... මේ හැම තැනකම මං හිටියෙ ඉහළ ම තනතුරුවල. ඔවුන් මට හොඳට ගෙව්වා. මාව බලා ගත්තා. මං රටවල් තිහ හතළියකට ගියා. ගුවන් යානයක ගියත් ඒ පළවෙනි පංතියේ. මං හුඟක් කැමැති නැව් සංචාරවලට. ඇති තරමට ඒවත් ගියා. ඉතින් වෙන මොනවද... මට කවදාවත් හිතුණෙ නැහැ, මගේ ම බිස්නස් එකක් කරන්න.

      කෝ ඔබ තුළ හිටි ක්‍රීඩකයා?

      තව ම ඉන්නවා. සතියකට දෙපාරක් ගොල්ෆ් සෙල්ලම් කරන්නෙ, තුන් හතර දවසක් ජිම් යන්නෙ ඒ ක්‍රීඩකයා ම තමයි. වයස 76යි. ඒ වුණාට මට එහෙම හිතෙන් නෑ. දැනෙන්නෙත් නැහැ. මගේ වයිෆ්ට ඕනෙ දැන් මට යෝගා කරවන්නත්.

      Delete
    3. ‘ජැෆ්නා ටැමිල්’ මිනිස්සුන්ට අරපිරිමැස්ම අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඒක ඔවුන්ගේ ඇ‍ඟේ ම තියෙනවා. නගර සභාවේ රස්සාව කරපු තාත්තගෙ පඩිය රුපියල් හත්සිය පණහයි. ළමයි පස්දෙනෙක්. හිටියෙ කුලී ගේක. අම්මා - තාත්තා දරුවො ඇතුළු හත් දෙනෙක් ජීවත් වුණේ ඒ පඩියෙන්. සරල කෑම් බීම්, සරල ඇඳුම් පැලඳුම්...


      අහෝ මොනතරම් කාලකන්නි කතාවක්ද?
      මේ මිනිසා නිසිම ලැජ්ජාවක් තැතිව සිංහලයන් මුස්ලිමුන් පමණක් නොව රටේ අනෙක් ප්‍රෙද්ශවල වසන දෙමළුන්වත් පහත්කර කතා කරන හැටි
      83 කළු ජූලිය වැනි සිදුවීම් වලටත් මුල මේ වගේ ස්වෝත්තම වාදී දෙමළුන්ම නේද?
      මේ මිනිසා හදන්නේ තවත් කළු ජූලියක් ගෙනෙන්නද?

      ශ්‍රී ලාංකිකයෙක් හැටියට මට මේ මිනිහා ගැන හරි ලැජ්ජයි.
      මම කවදාවත් මේ විදියට ජාතිවාදී කතා කියන සිංහලයෙක් දැක නෑ.

      කරුණාකර මෙම සාකච්චාව උපුටාගත් වෙබ් පිටුව ලබා දෙන්න මට එහි මේ දෙමළ පිස්සාට විරුද්ධව කොමෙන්ටුවක් දැමීමට අවශ්‍යයි.

      Delete
  12. ඉකෝන් ඔබ අද වන විට ශ්‍රී ලංකාවේ ඇත්ත තත්ත්වය නම් රටටම දැඩි මූල්‍ය බංකොලොත් තත්ත්වයක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය අමතා ප්‍රකාශ කළ බව ඔබ දුටුවා නේද? මේ කතාව ඇත්ත නේද?

    ඒ වගේම එම හේතුව නිසා ලංකාවට තෙල් සමාගම් විසින් තෙල් සැපයීම අදිමදි කරමින් සිටින බවද ඔවුන් තරයේ පවසනවා.

    ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 2,600ක මුදලක් ඉන්ධන සදහා තෙල් සංස්ථාව විසින් ගෙවිය යුතු බව සමගි ජන බලවේගයේ අදහස වන අතර දැනට ලංකාවේ ඇති ඩොලර් බිලියන 4ක විදේශ සංචිතයෙන් ඉන්ධන බිල ගෙවා දැමුවොත් ලංකාව ක්ෂණිකවම බංකොලොත් වන බවද සමගි ජන බලවේග කණ්ඩායම සඳහන් කළා.

    ලංකාවේ වර්තමාන වංචනික අසාර්ථක නන්දසේන රාජපක්ෂ ආණ්ඩුව විසින් තෙල් සඳහා වන මුදල් පියවීම සඳහා අවුරුද්දක කාලයක් රජයට සහනයක් ලෙස ඉල්ලා ඇති බවත් සමගි ජන බලවේග කණ්ඩායම මාධ්‍ය අමතා ප්‍රකාශ කළ බව ඔබට මතක ඇති. මේකේ බලපෑම් කොහොම වේවිද ලංකාවේ ඉදිරි ආර්ථිකය සහ දේශපාලන කටයුතු සඳහා? මේ ගැනත් විස්තර කරන්න පුළුවන් නේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: