වෙබ් ලිපිනය:

Friday, January 31, 2025

අවධමනය 4% මට්ටමට!


ජනවාරි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ අවධමනය -4.0% මට්ටම තෙක් පහත වැටී තිබෙනවා. ආහාර අවධමනය -2.6%ක් වන අතර ආහාර නොවන අවධමනය -4.7%ක්. මෙවැන්නක් සිදුව තිබෙන්නේ හාල් සහ පොල් වැනි ඇතැම් භාණ්ඩ වල මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබියදී වීම විශේෂත්වයක්.

උද්ධමනය යනු භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාමේ වේගයයි. අවධමනය යනු භාණ්ඩ හා සේවාවන්හි මිල අඩු වන වේගයයි. මහ බැංකුව විසින් රටේ උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගත යුතු අතර -4% මට්ටම ඊට වඩා 9%කින් අඩු මට්ටමක්. 

මෙම අවධමන තත්ත්වය ඉදිරි පෙබරවාරි මාසයේදී තවත් උග්‍ර වීමේ ඉඩක් පෙනෙන්නට තිබෙන අතර -5% සීමාව ඉක්මවා පහත වැටිය හැකියි. එමෙන්ම වසර මැද තෙක්ම පැවතිය හැකියි. 

පසුගිය ජනවාරි මාසය දක්වා වූ වසරක කාලය තුළ හාල් සහ පොල් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇතත්, තිරිඟු පිටි පාන්, මාළු, කුකුළු මස්, බිත්තර, සීනි, එළවළු හා පළතුරු මිල ගණන් පහත වැටී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි. මත්පැන් හා දුම්වැටි මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, විදුලි ගාස්තු, ජල ගාස්තු, ඉන්ධන හා ප්‍රවාහන වියදම් පහත වැටී තිබෙනවා.


Thursday, January 30, 2025

සහල් වෙළඳපොළ තනි වෙළඳපොළක් නොවේ!

විවිධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රම තුළ ලංකාවේ සහල් වෙළඳපොළ ගතිකත්වයන් වෙනස් විය හැක්කේ කෙසේද? මෙය තේරුම් ගැනීම පිණිස අප විසින් පළමුව ලංකාවේ සහල් වෙළඳපොළෙහි ස්වභාවය මනා සේ හඳුනාගත යුතුයි.

- ලංකාවේ සහල් ඉල්ලුම බොහෝ දුරට දේශීයව සැපිරෙනවා. දිගුකාලීනව (2010-2023) රටේ සහල් නිෂ්පාදනය සහල් අවශ්‍යතාවයෙන් 93.2%ක් පමණ වෙනවා.

- ලංකාවෙන් අපනයනය කෙරෙන්නේ රටේ සහල් නිෂ්පාදීතයෙන් ඉතා සුළු කොටසක් (0.3%) පමණයි. මෙම සහල් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ඉලක්ක කර අපනයනය කෙරෙන අතර ඉතා ඉහළින් මිල කෙරෙනවා. 

- රටේ සහල් නිෂ්පාදනය හොඳ මට්ටමක ඇති විට පොදු පරිභෝජනය සඳහා සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙත්, එවැනි වසර වලදීද සහල් සුළු ප්‍රමාණයක් ආනයනය කෙරෙනවා. මෙසේ ආනයනය කෙරෙන්නේ බාස්මතී වැනි මිල අධික සහල් වර්ගයි. මෙම සහල් ඉල්ලුම සාමාන්‍යයෙන් රටේ සහල් ඉල්ලුමෙන් 1%කට වඩා අඩුයි.

- එහෙත් රටේ සහල් නිෂ්පාදනය අඩු වන වසර වලදී පොදු පොදු පරිභෝජනය සඳහා සහල් ආනයනය කිරීමට සිදු වෙනවා. මෙම අවශ්‍යතාවය රටේ සහල් ඉල්ලුමෙන් 25%ක් පමණ දක්වා ඉහළ යා හැකියි. 

- ඉහත පරිදි සහල් ආනයනය කෙරෙන්නේ රටේ සහල් සැපයුම අඩු වකවානු වලදී බැවින් එවැනි අවස්ථා වල සාමාන්‍යයෙන් දේශීය සහල් මිල තිබෙන්නේ ඉහළ මට්ටමකයි. ඒ නිසා, කලාපයේ රට වලින් ඊට වඩා අඩු මිලකට සහල් ආනයනය කළ හැකියි. 

කෙසේ වුවද, සහල් යනු සමීප ආදේශක ගණනාවක් හඳුන්වන තනි වචනයක් මිස සමජාතීය භාණ්ඩයක් නෙමෙයි. විවිධ සහල් වර්ග ගණනාවක් තිබෙනවා. ලංකාවේ සහල් භාවිතයේ විවිධත්වය පහත පරිදියි.

සුදු කැකුළු - 17.8%

සුදු කැකුළු සම්බා - 2.2%

රතු කැකුළු - 23.9%

රතු කැකුළු සම්බා - 1.0%

සම්බා - 15.6%

රතු නාඩු - 3.5%

සුදු නාඩු - 33.7%

බාස්මතී - 0.2%

වෙනත් - 1.9%

රටේ දිස්ත්‍රික්ක ගණනාවකම ජනප්‍රියම සහල සුදු නාඩු සහලයි. මෙම දිස්ත්‍රික්ක රටේ මැද කොටසේ සහ නැගෙනහිර පළාතේ පිහිටි දිස්ත්‍රික්කයි. දකුණු, බටහිර හා උතුරු කලාප වල වෙරළබඩ දිස්ත්‍රික්ක වල වෙනස් රුචිකත්වයන් හඳුනා ගත හැකියි. සුදු නාඩු වඩාත්ම ජනප්‍රිය දිස්ත්‍රික්ක වල ඊළඟට ජනප්‍රිය සහල සුදු කැකුළු හෝ සම්බා සහලයි. මෙම දිස්ත්‍රික්ක වල රතු කැකුළු ඇතුළු රතු සහල් වර්ග භාවිතා වෙන්නේ ඉතා අඩුවෙන්. පහත තිබෙන්නේ දිස්ත්‍රික්ක කිහිපයක සුදු කැකුළු, සම්බා සහ සුදු නාඩු භාවිතයේ ප්‍රමාණයයි. 

අනුරාධපුර - 95%

පොළොන්නරුව - 96%

කුරුණෑගල - 97%

පුත්තලම - 96%

කෑගල්ල - 94%

මහනුවර - 91%

මාතලේ - 96%

ත්‍රිකුණාමලය - 90%

අම්පාර - 87%

ගම්පහ දිස්ත්‍රික්කයේද ජනප්‍රියම සහල් වර්ග තුන ඉහත තුනම වුවත් ඒ අතරින් වඩා ජනප්‍රිය සම්බා සහලයි. රතු කැකුළු එතරම් ජනප්‍රිය නැහැ.

ගම්පහ - 88%

මෙයින් වෙනස්ව දකුණේ ජනප්‍රියම සහල රතු කැකුළු සහලයි. දෙවන තේරීම සුදු කැකුළු සහලයි. ඌව පළාත තුළ සුදු කැකුළු මුල් තැනට පමණ රතු කැකුළු දෙවන තැනට පැමිණෙනවා. නාඩු භාවිතය ඉතා අඩු එම ප්‍රදේශ වල රතු කැකුළු හා සුදු කැකුළු සහල් භාවිතය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. 

ගාල්ල - 84%

මාතර - 95%

හම්බන්තොට - 96%

රත්නපුර - 84%

බදුල්ල - 87%

මොණරාගල - 93%

උතුරේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල ජනප්‍රියම සහල රතු නාඩු සහල වන අතර රතු කැකුළු සහ සම්බා ඔවුන්ගේ ඊළඟ තේරීම් දෙකයි. මුලතිවු සහ වවුනියා දිස්ත්‍රික්ක වලදී රතු කැකුළු මුල් තැනට පැමිණෙන අතර, මන්නාරමේදී සම්බා මුල් තැනට එනවා. එම ප්‍රදේශ වල සුදු නාඩු සහල් ජනප්‍රිය නැහැ. අදාළ දිස්ත්‍රික්ක වල රතු නාඩු, රතු කැකුළු සහ සම්බා සහල් භාවිතය පහත පරිදියි.

යාපනය - 95%

කිලිනොච්චි - 84%

මුලතිවු - 85%

වවුනියා - 74%

මන්නාරම - 79%

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක වල දැකිය හැක්කේ මිශ්‍ර රටාවක්. කොළඹදී සම්බා සහල් සහ කළුතරදී රතු කැකුළු සහල් මුල් තැනට පැමිණෙන නමුත් ලංකාවේ ජනප්‍රිය අනෙකුත් සහල් වර්ග භාවිතයද ආසන්න මට්ටම් වල තිබෙනවා. 

මේ අනුව, ලංකාවේ සහල් රුචිකත්වය අනුව ප්‍රධාන කලාප හතරක් සහ අතුරු කලාප ගණනාවක් හඳුනා ගත හැකියි. ඒ අතරින් විශාලම කලාපය සුදු නාඩු - සුදු කැකුළු - සම්බා කලාපයයි. එහි අනු කලාප තුනක් තිබෙනවා.

සුදු නාඩු - සුදු කැකුළු ප්‍රදේශ 

සුදු නාඩු - සම්බා ප්‍රදේශ 

සම්බා - සුදු නාඩු ප්‍රදේශ 

සම්බා භාවිතය රුචිකත්වයට වඩා ආදායම් මට්ටම මත තීරණය වන්නක් විය හැකියි.

දෙවන ප්‍රධාන කලාපය කැකුළු කලාපයයි. ඒ තුළ රතු කැකුළු අනු කලාපයක් සහ සුදු කැකුළු අනු කලාපයක් තිබෙනවා.

තෙවන ප්‍රධාන කලාපය උතුරේ රතු නාඩු - රතු කැකුළු - සම්බා කලාපයයි. එහිද අනු කලාප තුනක් දැකිය හැකියි. 

සිවු වන ප්‍රධාන කලාපය මිශ්‍ර කලාපයක් වන අතර එය ඉහත පළමු කණ්ඩායම් දෙකේ මිශ්‍රණයක් ලෙසද සැලකිය හැකියි.

සාමාන්‍ය වසරකදී ඉහත සියලු පාරිභෝගික කණ්ඩායම සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය වෙනවා. එහෙත් එම සහල් නිපදවෙන්නේ රටේ එක් කොටසකයි. සහල් අතිරික්ත කලාපය ලෙස හඳුනාගත හැකි එම කලාපයන් බාහිරව සහල් හිඟ කලාප දෙකක් තිබෙනවා. ඒ නිරිතදිග තෙත් කලාපයේ දිස්ත්‍රික්ක දහයක් අයත් විශාල කලාපය සහ උතුරේ යාපනය දිස්ත්‍රික්කයයි. මේ කලාප වලට සහල් අතිරික්ත කලාපයෙන් සහල් සැපයෙනවා.

එහෙත් අස්වනු අඩු වසර වලදී රටේ සහල් අවශ්‍යතාවය සඳහා සහල් ආනයනය කිරීමට සිදු වෙනවා. එවැනි අවස්ථා වලදී මෙන්ම සාමාන්‍ය වසරකදී වුවද සහල් හිඟ කලාපයේ වැසියන්ට අවශ්‍ය වන්නේ හැකි තරම් අඩු මිලට සහල් මිල දී ගැනීමටයි. එහෙත් සහල් අතිරික්ත කලාපයේ වැසියන්ට අවශ්‍ය වන්නේ හැකි තරම් වැඩි මිලකට තමන්ගේ වී අස්වනු විකුනා ගැනීමටයි. රජය විසින් ආනයන බදු හා ආනයන පාලනය මගින් මේ කණ්ඩායම් දෙකේ අවශ්‍යතා අතර තුලනයක් පවත්වා ගන්නවා. 

මතු සම්බන්ධයි.

Wednesday, January 29, 2025

ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොවේ!


මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින 8% මට්ටමෙහි නොවෙනස්ව තබා ගැනීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම රජය විසින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන්, දැනට පවතින අවධමන තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ තවත් "දරුණු" වනු ඇතත්, එය තාවකාලික තත්ත්වයක්. මහ බැංකුවේ නිගමනය වී තිබෙන්නේද එයයි. 

මහ බැංකුව විසින් විශේෂ බලපෑමක් හෝ සංඥාවක් නොකළද, වෙළඳපොළ පොලී අනුපාතික පහත වැටෙමින් තිබෙනවා. අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී දින-91 (මාස තුන) බිල්පත් ඵලදා අනුපාතිකය 7.93% දක්වා පහත වැටී තිබෙනු දැකිය හැකියි. මේ අයුරින් වෙළඳපොළ පොලී අනුපාතික මහ බැංකුවේ ඉලක්ක පොලී අනුපාතිකයද ඉක්මවමින් 8% මට්ටමෙන් පහතට වැටී තිබෙන්නේ විශාල කාලයකට පසුවයි. දින-364 (වසර-1) ඵලදා අනුපාතිකයද 8.47% දක්වා පහත වැටී තිබෙනවා.

මේ වන විට මුදල් වෙළඳපොළෙහි අතිරික්ත ද්‍රවශීලතා තත්ත්වයක් පවතින අතර අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ පොලී අනුපාතික 7.75%-8% පරාසයේ විචලනය වෙනවා. මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට තීරණය කිරීමෙන් පෙනී යන්නේ මහ බැංකුව විසින් මුදල් වෙළඳපොළට තව දුරටත් ද්‍රවශීලතාවය සැපයීමට අදහස් නොකරන බවයි. 

ඉදිරි මාස කිහිපය තුළ විදේශ විණිමය වෙළඳපොළ තුළ යම් පීඩනයක් පැවතිය හැකි බැවින් මහ බැංකුවට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමේ හැකියාව සීමා වෙනවා. ඒ නිසා, ඒ ක්‍රමයට වෙළඳපොලට රුපියල් එකතු වීමද සීමා වෙනවා. 

Saturday, January 25, 2025

ලාබය වී මෝල්හිමියාටද නැත්නම් වී ගොවියාටද?


ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාව ගැන ජනප්‍රිය කතාවක් තිබෙනවා. ඒ කතාව අනුව, වී මෝල්හිමියා කරන්නේ මේ වගේ වැඩක්.

"අස්වනු කැපෙද්දී තමන්ගේ නියෝජිතයෝ දමලා කුඹුරටම ගිහින් වී ටික කුණු කොල්ලෙට ගන්නවා. දැන් වී ටික තියෙන්නේ මෝල්හිමියා ළඟ. ඊට පස්සේ ඒ වී තොග සහල් කර එළියට දමන එක පාලනය කිරීම මගින් කෘතීම සහල් හිඟයක් හදනවා. ඒ සහල් හිඟය පෙන්වා එහි උදවුවෙන් සහල් මිල වැඩි කරනවා. ඊට පස්සේ දිගින් දිගටම වැඩි මිලට සහල් එළියට දමනවා. නමුත් එහෙම කරන්නේ සැපයුම පාලනය කරමිනුයි. මේ විදිහට සැපයුම පාලනය කිරීම මගින් සහල් හිඟය පෙන්වමින් මිල තව තව වැඩි කරනවා. එසේ කරමින් ලාබ එකතු කර ගන්නවා. ඔය විදිහට මිල ඉහළ මට්ටමක තියාගෙන ඉඳලා ඊළඟ කන්නේ අස්වනු කැපෙන්න කිට්ටු වෙද්දී අර එකතු කරගත් වී මහා පරිමාණයෙන් සහල් කර අඩු මිලට වෙළඳපොළට දැමීම මගින් සහල් මිල බස්සනවා. එහෙම සහල් මිල බස්සලා එහි උදවුවෙන් නැවතත් වී ටික කුණු කොල්ලෙට ගන්නවා."

මම හිතන්නේ ඔය වගේ දෙයක් වෙනවා කියලා විශ්වාස කරන, නමුත් කතාව හරියට පැහැදිලිව ගලපාගන්න අමාරු අයට ඔය විස්තරය කියෙවුවහම "හරියටම හරි! ඕක තමයි වෙන්නේ" කියලා හිතෙයි. මෙය විස්තරාත්මක සහ බැලූ බැල්මටම තර්කානුකූල සේ පෙනෙන කතාවක්. ඔය දේ ඔය විදිහටම වෙනවා කියන එක කෙනෙකුට ඒත්තු ගන්වන්න අපහසු නැහැ. ඒ වගේම, වරින් වර මහ පොළොවේ පෙනෙන සංයුක්ත නිරීක්ෂණ එක්ක මේ කතාව ගලපන්නත් පුළුවන්. 

මෙහි මම ලියා තිබෙන තරම් සංක්ෂිප්තව සහ නිරවුල්ව විස්තර කරන්න අමාරු විය හැකි වුවත්, මෙය කියවන විශාල පිරිසක් වුවද ඇත්තටම සිදු වන දේ ලෙස හිතන්නේ මීට කිට්ටු දෙයක්. වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැන හොඳ දැනුමක් සහ අවබෝධයක් තිබෙන අයෙකුට හැර වෙනත් අයෙකුට මේ කතාවේ තිබෙන වැරදි හා අඩුපාඩු පැහැදිලි කරන එක සෑහෙන්න අමාරු වැඩක්. ඒ අවබෝධය තිබෙන බොහෝ දෙනෙකුට වුවත්, මේ කතාවේ අවුලක් තිබෙන බව තේරුණත්, අවුල පහසුවෙන් විස්තර කළ හැකියයි මම හිතන්නේ නැහැ. 

ඇත්තටම වෙන්නේ ඔය වගේ දෙයක් කියන නිගමනයට ආවට පස්සේ ප්‍රශ්නය විසඳිය හැකි ක්‍රමය යෝජනා කරන්න අමාරු නැහැ. පළමු පියවර සහල් වලට පාලන මිලක් නියම කිරීම. මේ ප්‍රවාදය විශ්වාස කරන බොහොමයක් අයට අනුව, සහල් වලට පාලන මිලක් නියම කරපු ගමන්ම වී මෝල්හිමියෝ සහල් සැපයුම තව දුරටත් සීමා කරලා සහල් හිඟයක් ඇති කරනවා. ඒකට විසඳුම රජය මැදිහත් වෙලා වී මෝල්හිමියන් සතු වී තොග සහල් කර පාලන මිලට වෙළඳපොලට නිකුත් කරන බවට වග බලා ගැනීම. 

නමුත්, මේ ප්‍රවාදය විශ්වාස කරන අයට අනුවම, ඔය විදිහේ මැදිහත් වීමක් කළාට පස්සේ ඊළඟ කන්නයේදී වී මෝල්හිමියන් විසින් වී මිලදී නොගෙන ඉන්න පුළුවන්. එහෙම වුනොත්, වී ගොවීන්ට තමන්ගේ වී ටික විකුණගන්න බැරි වෙනවා. ඒකටත් විසඳුමක් තිබෙනවා. ඒ තමයි රජය මැදිහත් වී සහතික මිලකට වී ටික මිල දී ගන්න එක. ඒ වැඩේ මේ වෙලාවේ හදිස්සියේ කළ නොහැක්කේ ඒ සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් රජය සතුව නැති නිසා. ගබඩා ප්‍රශ්නය විසඳාගත් විට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. ඊට පස්සේ වී මිල තීරණය කරන්නේ රජය. සහල් මිල තීරණය කරන්නෙත් රජය. 

තව දුරටත් ඉතිරි වන ප්‍රශ්නයක් වන්නේ රටේ සහල් නිෂ්පාදනය රටේ සහල් පරිභෝජන අවශ්‍යතාවයට වඩා අඩු මට්ටමක තිබීම. මේකටත් විසඳුම් තිබෙනවා. ඒ තමයි දිගුකාලීනව රටේ සහල් නිෂ්පාදනය වැඩි කර ගන්නා අතර, එම ඉලක්කයට යන තුරු හරියටම ඉල්ලුම හා සැපයුම අතර වෙනසට සමාන සහල් ප්‍රමාණයක් පමණක් ආනයනය කිරීම සහ ඒ විදිහට ආනයනය කරන සහල් රජය විසින් නියම කර ඇති පාලන මිලට විකිණීම. දැන් ඒ ප්‍රශ්නයත් විසඳිලා. එකම දේ මේ වැඩේ කරන්න රටේ සහල් පරිභෝජනය සහ සහල් සැපයුම පිළිබඳ දත්ත හරියටම අවශ්‍ය වෙනවා. නැත්නම් වැඩේ වැරදෙන්න පුළුවන්.

මේ සමස්ත විසඳුම ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් කළ යුතු විශාල කාර්ය භාරයක් තියෙනවා. පළමුව, වී ගොවියාගේ පිරිවැය රජය විසින් හරියට ගණන් හදලා, වී ගොවියාට සාධාරණ ලාබයකුත් තියලා වී මිල තීරණය කරන්න වෙනවා. වී ගොවියාගේ ලාබය කොපමණ විය යුතුද කියන එක තීරණය කරන්නේ රජය. ඊළඟට වී එකතු කර ගබඩා කර තබා ගැනීමේ, සහල් කිරීමේ හා බෙදා හැරීමේ පිරිවැය හරියටම නිවැරදිව ගණනය කරන්න වෙනවා. වෙළෙන්දන්ගේ ලාබය කොපමණ විය යුතුද කියන එකත් තීරණය කරන්න වෙනවා. මේ අනුව තමයි සහල් මිල තීරණය කරන්නේ. ඔය සියල්ලම කරන්නේ රජය විසින්. 

ඕකට තමයි සමාජවාදී මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමය කියා කියන්නේ. මේ ක්‍රමය ඇතුළේ රජයට සෘජු සම්බන්ධයක් නැති වී ගොවියෝ, වී මෝල්හිමියෝ, තොග හා සසිල්ලර වෙළෙන්දෝ, ආනයනකරුවෝ ඉන්න පුළුවන්. එහෙම හිටියා කියලා මෙය මධ්‍යගත සැලසුම් ක්‍රමයක් නොවෙන්නේ නැහැ. මොකද ඔය ක්‍රමය ඇතුළේදී වී ගොවියෝ, වී මෝල්හිමියෝ, තොග හා සසිල්ලර වෙළෙන්දෝ, ආනයනකරුවෝ ඇතුළු සියල්ලන්ම ඉන්නේ රජයේ මධ්‍යගත සැලසුම ඇතුළේ. ඒ අය රජය නොවන්නේ නමට පමණයි. 

වී ගොවියාගේ ලාබය තීරණය කරන්නේ රජය. වී මෝල්හිමියාගේ, තොග හා සිල්ලර වෙළෙන්දාගේ, ආනයනකරුවගේ ලාබය තීරණය කරන්නෙත් රජය. ඒ හැමෝම මධ්‍යම සැලසුම් යාන්ත්‍රණයේ දැති රෝද පමණයි. කිසිවෙකුටත් ස්වාධීනව කටයුතු කර තමන්ගේ ලාබ හොයන්න බැහැ. 

ධනවාදී වෙළඳපොළ ආර්ථිකයක් කියා කියන්නේ වෙළඳසැල් වල ගොඩනැගිලි සහ ඒවායේ අයිතිකරුවන් හා සේවකයින් නෙමෙයි. ඒ භෞතික දේවල් වලින් එහාට ගිය සංකල්පයක්. සමුපකාර හෝ රජයටම අයිති ව්‍යාපාර ක්‍රියාත්මකව තිබුණත්, මූලික ලක්ෂණ අනුව රටක තිබෙන ආර්ථික ක්‍රමය ධනවාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒ වගේම, පෞද්ගලික අංශය විශාල ලෙස ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින අතරම සමාජවාදී මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ ආර්ථිකය ක්‍රියාත්මක වන මූලික මූලධර්ම මොනවද කියන එකයි.

ඉහත හේතුව නිසාම, ධනවාදී වෙළඳපොළ ආර්ථිකයක් පැවතීම සඳහා රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැති වෙන්න අවශ්‍ය නැහැ. එහෙම තැන් ලෝකයේ නැහැ. වැදගත් වෙන්නේ රජය මැදිහත් වෙන්නේ වෙළඳපොළ කාර්යක්ෂමතාවය වැඩි කරන විදිහටද එහෙම නැත්නම් වෙළඳපොළට බාධා වෙන විදිහටද කියන එකයි. 

නැවත මුලට ගියොත්, දුෂ්ඨ වී මෝල්හිමියාගේ කතාවේ එක කොටසක් මේ වෙද්දී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ තමයි වී මෝල්හිමියන් විසින් සහල් තොග සඟවනවා කියන කතාව. ජනතාව අනුරව ගල් ගුහාවට යැවුවේ එහි සිටින බව විශ්වාස කළ ගිණි මකරාව මරන්න. ගල් ගුහාව ඇතුළේ ඔය කියන විදිහේ ගිණි මකරෙක් නැති බව ඩඩ්ලි සිරිසේන වගේ වී මෝල්හිමියන් විසින් දිගින් දිගටම කිවුවා. නමුත් ගල් ගුහාවට ගිහින් නැති මිනිස්සු ඒ කතා විශ්වාස කරන්නේ නැහැ. 

ගල් ගුහාවට ගිහින් නැති අපි වගේ අය ගල් ගුහාවේ ගිණි මකරෙක් ඉන්න විදිහක් නැහැ කියන්නේ ලෝකයේ ගිණි මකරු කියා ජාතියක් ඉන්න බවට සාක්ෂි නැති නිසා සහ ඇතැම් මූලික දැනුම් අනුව ඒ කියන විදිහේ සත්තු වර්ගයක් සිටිය නොහැකි නිසා. ඒ හැර ගල් ගුහාවට ගිහින් පරීක්ෂා කර බලලා නෙමෙයි. දැන් අනුර ගල් ගුහාවේ ගිණි මකරෙක් නැති බව කියන්නේ ගල් ගුහාව පරීක්ෂා කරලා. ඒ විදිහට පරීක්ෂා කර තහවුරු කරගත්තට පස්සේ ඔහු ගල් ගුහාවේ ගිණි මකරෙක් නැති බව කීමෙන් නොනැවතී ගල් ගුහාවේ ගිණි මකරෙක් ඉන්න විදිහක් නැත්තේ ඇයි කියන එකත් පැහැදිලි කරනවා.

එක දෙයක් ගැනනම් ජනාධිපති අනුරව විශේෂයෙන්ම අගය කළ යුතුයි. ඒ මහජනයා ඉදිරියට ඇවිත් මේ විදිහට පැහැදිලි කිරීම් කරන එක ගැන. මේක තමයි මහජන දේශපාලනය. සන්නිවේදන හැකියාවන්ගේ සීමාවන් නිසා හෝ හැම දෙයක්ම මහජනයා දැනගත යුතු නැතැයි සිතපු නිසා මීට කලින් රාජ්‍ය නායකයෝ කවුරුවත් ඔය මට්ටමට ගිහින් පැහැදිලි කිරීම් කළේ නැහැ. ඒ අනුව, පැහැදිලි කිරීම් වල මොන තරම් වැරදි හා අඩුපාඩු තිබිය හැකි වුවත්, මෙය ඉතාම හොඳ පූර්වාදර්ශයක්.

අනුර කියන විදිහට වී මෝල්හිමියන් විසින් වී හංගන්නේ නැහැ. එහෙම හංගන්න තර්කානුකූල හේතුවකුත් නැහැ. හැබැයි ඔහු එහෙම කිවුවා කියලා මුලින්ම විස්තර කරපු ජනප්‍රිය ප්‍රවාදය අවලංගු වෙන්නේ නැහැ. වී හැංගුවේ නැතත්, කතාවේ විස්තර කෙරෙන ආකාරයට වී කුණු කොල්ලෙට ගැනීම සහ පසුව වැඩි මිලට විකිණීම කරන්න පුළුවන්නේ.

හැබැයි අනුර බිඳ දමන්නේ වී මෝල්හිමියන් විසින් වී හංගන්නේ නැහැ කියන මතය පමණක් නෙමෙයි. ඔහු එතැනින් එහාට ගිහින් වී මෝල්හිමියන් විසින් කුණු කොල්ලෙට වී මිල දී ගන්නවා කියන මතයත් බිඳ දමනවා. අනුර කියන විදිහට දැන් වෙන්නේ මී මෝල්හිමියන් විසින් "ඕනෑවට වඩා" වැඩි මිලකට වී මිල දී ගන්න එක.

අනුරට අනුව, වී මෝල්හිමියන් විසින් දැන් වී මිල දී ගන්නේ කිලෝව රුපියල් 140ක පමණ මිලකටයි. ඒ මිලට වී අරගෙන කිලෝව රුපියල් 220ට හාල් විකුණන්න බැහැ. රුපියල් 220ට හාල් විකුණන්නනම් රුපියල් 117ට වී මිල දී ගන්න වෙනවා. ඒ කියන්නේ වී සහල් කිරීමේ පිරිවැය පිළිබඳ රජයේ හෝ අනුරගේ ඇස්තමේන්තු සහ ආණ්ඩුවේ මධ්‍යගත සැලසුම අනුව අතරමැදියන් විසින් ලබා ගත යුතු ලාබ එකතු කළාට පස්සේ වී සහ සහල් කිලෝවක මිල ගණන් අතර අනුපාතය 1.88 පමණ වෙනවා. මේ අනුපාතය අනුව, රුපියල් 140ට මිල දී ගන්න වී සහල් කර විකුණන්න වෙන්නේ රුපියල් 263ක පමණ මිලකටයි. 

අනුර කියන විදිහට දැන් රතු කැකුළු සහල් විකිණෙන්නේ රුපියල් 280 වැනි මිලකට. වී මෝල්හිමියන් විසින් වී හංගා නැතත්, වී කුණු කොල්ලයට අරගන්නේද නැතත්, ඔවුන් ඕනෑවට වඩා ලාබයක් ලබනවා කියා තව දුරටත් තර්ක කරන්න පුළුවන්. කොහොම වුවත්, ඒ ලාබය කවර හෝ ක්‍රමයකින් "අවශ්‍ය ප්‍රමාණයට" සීමා කළත්, ආණ්ඩුවට අවශ්‍ය මිලට පාරිභෝගිකයාට සහල් ලබා දීමේ හැකියාවක් නැහැ. එවැන්නක් කළ හැක්කේ වී ගොවියාට ගෙවන මිල අඩු කිරීම මගින් පමණයි. පෙනෙන විදිහට අනුර ඉලක්ක කරන මැදිහත්වීම තුළ සිදු වෙන්නෙත් එයයි. නිශ්චිතව සූත්‍රගත කළොත් අතරමැදියාගේ ලාබ සීමා කිරීමෙන් නොනැවතී "වී ගොවියා විසින් උපයන අසාධාරණ ලාබය සීමා කිරීම". ඒ සඳහා රජය සතු වැඩ පිළිවෙලක් තිබෙන බවයි අනුර කියන්නේ.

සහල් වෙළඳපොළේ ඇති වී තිබෙන ප්‍රශ්නය කුමක්ද? මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ කොහොමද? මේ ප්‍රශ්න වලට පිළිතුරුත් එක්ක විවිධ ආර්ථික ක්‍රම ගැන සන්සන්දනයක්ද කරමින් ඊළඟ ලිපියෙන් හමුවෙමු! 

මේ සමඟ පළ කරන පළමු ඡායාරූපයේ තිබෙන්නේ ඊයේ දිනයේදී අපේ ගෙවල් ළඟ තිබෙන වෙළඳසැලකදී ගත් රතු කැකුළු සහල් කොට්ටයක ඡායාරූපයක්. මා රතු කැකුළු ලෝලියෙකු නෙමෙයි. එහෙත් අවශ්‍යනම් එම වෙළඳසැලෙන් අවශ්‍ය පමණ රතු කැකුළු සහල් මිල දී ගන්න පුළුවන්. තවත් ලංකාවේ සහල් වර්ග ගණනාවක් මිල දී ගන්නත් පුළුවන්. ලෝකයේ වෙනත් රටවල නිපදවන වෙනත් සහල් වර්ග විශාල ප්‍රමාණයක් මිල දී ගන්න වගේම පොල් සහ පොල් නිෂ්පාදනත් කිසිදු හිඟයකින් තොරව මිල දී ගන්න පුළුවන්. ගාපු පොල්, පොල් කිරි ටින්, ලෙලි ගැසූ පොල්, ලෙලි සහිත පොල්, කුරුම්බා, කොට්ට පොල්, පොල් වතුර ආදී බොහෝ දේවල් එම වෙළඳසැලේ ඇති තරම් තිබෙනවා. දෙවන ඡායාරූපයේ තිබෙන්නේ ලෙලි ගැසූ පොල් තොගයක්. අපිනම් අවශ්‍ය වූ විට ආහාර පිසින්න භාවිතා කරන්නේ පොල් කිරි ටින් සහ ගාපු පොල්. පොල් ගාන්න මහන්සි වෙනවාට වඩා මේවා භාවිතා කරන එක පහසුයි. රසේ එහෙමට දැනෙන වෙනසකුත් නැහැ. 

අපට අවශ්‍යනම් ගාපු පොල් වලින් සම්බෝල හදාගන්න පුළුවන්. පොල් මිල දී ගෙන පොල් ගාලා සම්බෝල හදාගන්නත් පුළුවන්. ලෙලි සහිත පොල් මිල දී ගෙන ලෙලි ගහලා, පොල් ගාලා සම්බෝල හදාගන්නත් පුළුවන්. අපට ප්‍රශ්නයක් නැත්නම් සහ අවශ්‍ය මිල ගෙවන්න සූදානම්නම්, පොල් නාස්ති වෙනවද නැද්ද කියන එක කවුරුවත් ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මේ හාල් පොල් හැම දෙයක්ම දුර කතර ගෙවා අපේ අත ලඟට එන්නේ රජයේ කිසිදු මැදිහත් වීමක් නැතිවයි. ඒ තමයි වෙළඳපොළ ක්‍රමයේ අපූර්වත්වය! 


Thursday, January 23, 2025

මෝල්හිමියෝ වී හංගනවද?

ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාවක් ඇති බවත්, අස්වනු කැපෙද්දී වී මෝල්හිමියන් විසින් කුණු කොල්ලයට මිල දී ගන්නා වී තොග පසුව සහල් කර අධික ලාබයක් තියාගෙන විකුණන බවත් ජනප්‍රිය කතාවක්. මේ කතාව "පොදු ජනයාගේ" කතාවක් මිස මාලිමාවේ කතාවක් නොවුනත්, මාලිමාව විසින් කාලයක් තිස්සේ මේ ජනප්‍රිය අදහස උස්සාගෙන ගියා. මාලිමාවට ප්‍රතිවිරුද්ධ සම්ප්‍රදායික දේශපාලන කඳවුරද අඩු වැඩි වශයෙන් මේ අදහස වෙනුවෙන් පෙනී සිට ඇති බවත් මෙහිදී මතක් කළ යුතුයි. 

වෙළඳපොළ ක්‍රියාකාරිත්වය හා අදාළ මූලික සිද්ධාන්ත පිළිබඳ දැනුමක් ඇති අයෙකුට මෙවැන්නක් සිදු විය නොහැකි බව තේරුම් ගැනීම සඳහා හමුදාව සමඟ ගොස් වී මෝල් පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. වී නිෂ්පාදනය සහ සහල් පරිභෝජනය පිළිබඳ දත්ත සියයට සියයක් නිවැරදිව අවශ්‍ය වන්නේත් නැහැ. වෙළඳපොළ මිල ගණන් නිරීක්ෂණය කිරීමෙන් පමණක් පහසුවෙන්ම පිළිතුර හොයා ගන්න පුළුවන්.

එහෙත්, මේ අයුරින් වෙළඳපොළ මිල ගණන් නිරීක්ෂණය කර ඉහත ප්‍රශ්නයට පිළිතුර සොයා ගැනීම සඳහා එක්කෝ යම් තරමකින් වියුක්ත ලෙස සිතන්නට හැකි විය යුතුයි. එසේ නැත්නම් ආර්ථික විද්‍යා ප්‍රවාද "විශ්වාස කළ" යුතුයි. කෙසේ වුවත්, අදාළ ප්‍රවාද තේරුම් ගත හැකි අයෙකු එසේ එම ප්‍රවාද විශ්වාස කළ යුතු වන්නේ නැහැ. වියුක්ත ලෙස සිතීමේ හැකියාව ප්‍රගුණ කර නැති, ආර්ථික විද්‍යා ප්‍රවාද විශ්වාස නොකරන අයෙකුට ඇත්ත තත්ත්වය දැන ගැනීම සඳහා සංයුක්ත නිරීක්ෂණ අවශ්‍ය වෙනවා. ඇතැම් අයට ඒ සඳහා තමන්ට විශ්වාස කළ හැකි අයෙකු විසින් සිදු කරන තහවුරු කිරීමක් ප්‍රමාණවත් විය හැකියි. 

ඉතා දක්ෂ මහජන සන්නිවේදකයෙකු වන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වී මෝල්හිමියන් විසින් වී තොග හංගන්නේ නැත්තේ ඇයි කියන කරුණ ඉතා හොඳින් සහ කෙටියෙන් පැහැදිලි කර තිබෙනවා. මේ සමඟ පළ කර තිබෙන වීඩියෝවේ තිබෙන්නේ ඔහුගේ එම පැහැදිලි කිරීමයි. 

රටකට ඉදිරියට යාම සඳහා අවශ්‍ය වැදගත්ම දෙයක් වන්නේ හැකි තරමින් දැනුමෙන් සන්නද්ධ වීමයි. ඒ අනුව, ජනාධිපති දිසානායක විසින් කෙටි කාලයක් ඇතුළත මේ හා අදාළ නිවැරදි දැනුම උකහාගෙන වෙනත් අයද දැනුවත් කිරීම අගය කළ යුත්තක්. 

මෙහිදී ජනාධිපති දිසානායක විසින් ලබා දෙන්නේ පහත ආකාරයේ පිළිතුරක් නෙමෙයි.

"අපි ගිහින් පරීක්ෂා කළා. වී මෝල් වල තොග හංගාගෙන නැහැ."

ඉහත ආකාරයේ පිළිතුරක් හැඳින්විය හැක්කේ දේශපාලනික පිළිතුරක් ලෙසයි. එවැනි පිළිතුරකින් මේ මොහොතේ ඔය කියන විදිහේ ප්‍රශ්නයක් නැති බව තහවුරු කළ හැකි විය හැකියි. එහෙත්, එවැනි පිළිතුරකින් ප්‍රශ්නයට සාධාරණ (general) පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මේ මොහොතේ වී මෝල්හිමියන් විසින් තොග හංගාගෙන නොසිටියත්, සාමාන්‍යයෙන් එසේ කරන්නේය යන අදහස තව දුරටත් ඉතිරි වෙනවා. නමුත් ජනාධිපති දිසානායක විසින් ලබා දෙන්නේ වඩා වියුක්ත, එහෙයින්ම වඩා නිවැරදි හා සාධාරණ (general) පිළිතුරක්. 

කෙසේ වුවත්, ජනාධිපති දිසානායකගේ පැහැදිලි කිරීමෙන් පසුවද එක් නිවේදකයෙකු විසින් අසන්නේ "ඔබ වී මෝල් ඇතුළට ගොස් පරීක්ෂා කර බලා තහවුරු කර ගත්තාද?" මාදිලියේ ප්‍රශ්නයක්. එයින් පෙනෙන්නේ ලංකාවේ නිවේදකයින් සිටින තැනයි. ඇතැම් විට එම නිවේදකයා ලංකාවේ "පොදු ජනතාව" වෙනුවෙන්, ඔවුන් නියෝජනය කරමින් එම ප්‍රශ්නය ඇසුවා විය හැකියි.

මේ ප්‍රශ්නය මෑතකදී මගේ පෞද්ගලික මිතුරෙකු විසින්ද මතු කර මා සමඟ වාදයක පැටලුනු ප්‍රශ්නයක් (මා සාමාන්‍යයෙන් එවැනි වාද වල පැටලෙන්නේ ඉතා හොඳ මට්ටමේ පෞද්ගලික මිතුරුකමක් ඇත්නම් පමණයි. ඒ නිසා මෙවැන්නක් සිදු වන්නේ කලාතුරකින්). සක්‍රිය මාලිමා ක්‍රියාකාරිකයෙකු වන ඔහු තමන්ගේ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. එහෙත් ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප ගැන අදහසක් ඔහුට තිබුණේ නැහැ. 

වී මෝල්හිමියෙකුට තමන් කැමති පරිදි සහල් මිල වැඩි කිරීමේ හැකියාවක් නැහැ. සහල් වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම සෑහෙන තරම් අනම්‍ය වුවත් එය පූර්ණ අනම්‍ය ඉල්ලුමක් නෙමෙයි. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් ලංකාවේ සහල් වෙළඳපොළේ සැපයුම් අංශයේ පූර්ණ ඒකාධිකාරයක් නැහැ. එහි සැලකිය යුතු තරඟයක් තිබෙනවා. යම් හෙයකින් ඔය දෙකම ඔය විදිහට සිදු වී වී මෝල් හිමියෙකුට අභිමත පරිදි මිල තීරණය කළ හැකි (උපකල්පිත) තත්ත්වයක් තිබුණත්, ව්‍යාපාරිකයෙකු විසින් තමන්ගේ ලාබ වැඩි කරගන්නේ භාණ්ඩයක මිල පුලුවන්ම තරම් වැඩි කිරීම මගින් නෙමෙයි. එය කරන්නේ පිරිවැටුම වැඩි කර ගැනීම මගින්. මිල යනු පිරිවැටුම වැඩි කරන එක් සාධකයක් පමණයි. වී තොග නොවිකුණා තියා ගැනීමෙන් බොහෝ විට වී මෝල්හිමියෙකුට සිදු වන්නේ පාඩුවක්.

ලංකාවේ අතරමැදි වී මෝල්හිමියන් විසින් කරන්නේ වී කොටා සහල් බවට පත් කිරීම පමණක් නෙමෙයි. එම වී ගබඩා කර තබා ගැනීම හා බෙදා හැරීම කරන්නේද ඔවුන් විසින්.

මෙම වීඩියෝවේ ජනාධිපති දිසානායක විසින් පැහැදිලි කරන පරිදි සහල් වල ගුණාත්මක භාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා වී තොග මාස දෙකක පමණ කාලයක් ගබඩා කර තියා ගන්නට සිදු වෙනවා (මෙය සියලුම සහල් වර්ග වලට එක සේ බලපාන දෙයක් නොවිය හැකි බව මගේ අදහසයි). ඊට අමතරව, ලංකාවේ වී සැපයුමේ ස්වභාවය අනුව, මාස හයක් දක්වා කාලයක් වී ගබඩා කර තබා ගන්නට සිදු වෙනවා. ඒ වී අස්වනු කැපෙන කන්න දෙකක් අතර කාලයයි.

වී ගබඩා කර තබා ගැනීම වියදම් අධික වැඩක්. වී ලෙස ගබඩා කෙරෙන්නේ තමන්ගේ හෝ ණයට ගත් ධනයයි. ණය පොලිය 10% ලෙස සැලකුවහොත්, මාස හයක කාලයක් සඳහා 5%ක පොලියක් ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, මිල දී ගන්නා වී වැඩි කාලයක් සහල් නොකර තියා ගන්නවා කියන්නේ දවසින් දවසම පිරිවැය ඉහළ යාමක්. ඊට අමතරව ගබඩා වල වී සුරක්ෂිත ලෙස තබා ගැනීමේ පිරිවැයක්ද තිබෙනවා. මේ තත්ත්වය යටතේ ඕනෑම වී මෝල්හිමියෙකු විසින් ඉදිරි කන්නයේ අස්වනු කැපෙන්නට පෙර තමන්ගේ වී තොග සහල් කර විකුණා ගැනීම අපේක්ෂා කළ හැකි දෙයයි. එය ජනාධිපති දිසානායක විසින් කෙටියෙන් වුවත් හොඳින් පැහැදිලි කරනවා. 

විපක්ෂයේ සිටින විට මුවන් සමඟ දුවන අතරම වෘකයින් සමඟ දඩයමේ යන්නත් පුළුවන්. නමුත් ආණ්ඩුවක් කරද්දී එහෙම කරන්න බැහැ. පාරිභෝගිකයින්, වී ගොවීන්, සුළු වී මෝල්හිමියන් ඇතුළු විවිධ කණ්ඩායම් එකවර සතුටු කළ හැකි විසඳුම් හොයන එක ලේසි වැඩක් නෙමෙයි. ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව අනුර කුමාර දිසානායක විසින් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැන ඔහුගේ අවබෝධය වැඩි දියුණු කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම සහල් වෙළඳපොළ හා අදාළව, ඔහුගේ මෙම දැනුම හා අවබෝධය ඉදිරි මාස හයක සිට වසරක් දක්වා කාලය තුළ තව දුරටත් බොහෝ වැඩි දියුණු වීමට නියමිත බවයි දැනට පෙනෙන්නට තියෙන්නේ. තැත් වරද ක්‍රමය වියුක්තව තේරුම් ගැනීම අසීරු දේවල් තේරුම් ගැනීම සඳහා හොඳ ක්‍රමයක්!

Wednesday, January 22, 2025

දෙවන ට්‍රම්පාගමනය


මේ වන විට ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති ලෙස දෙවන වරටද වැඩ භාරගෙන අවසන්. ඔහුගේ දෙවන ධුර කාලය තුළ වඩාත් ආක්‍රමණශීලී ප්‍රතිපත්ති අනුගමනය කෙරෙනු ඇති බව මේ වන විටද ප්‍රදර්ශනය වී අවසන්. ජනාධිපති ට්‍රම්ප් දෙවන වරට ධවල මන්දිරය වෙත පිවිසෙන්නේ පළමු වර පැමිණියාට වඩා බෙහෙවින්ම ශක්තිමත් විධායකයෙකු ලෙසයි.

ජනාධිපති ට්‍රම්ප් පළමු වර තේරී පත්වීම බොහෝ දෙනෙකු විසින් දුටුවේ අහම්බයක් ලෙසයි. බොහොමයක් පුරෝකථන අනුව ජනාධිපති තරඟය තුළ ඉදිරියෙන් සිටියේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටනුයි. එහෙත් මෙවර ඔහුගේ තේරී පත් වීම පිළිබඳව මුල සිටම එතරම් සැකයක් තිබුණේ නැහැ.

ඇමරිකාවේ මැතිවරණ ක්‍රමය අනුව පළමු වාරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති සේ පත් වුවද, එම ජනාධිපතිවරණයේදී ඔහු ලබා ගත්තේ හිලරි ක්ලින්ටන් විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා මිලියන 2.9කින් පමණ (2.1%කින්) අඩු ඡන්ද සංඛ්‍යාවක්. එහෙත් මෙවර ඔහු ප්‍රතිවාදී අපේක්ෂිකාවට වඩා මිලියන 2.3ක (1.5%ක) ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.

පළමු වර ධවල මන්දිරය වෙත පැමිණියේ එතරම් අත්දැකීම් නොමැති ජනාධිපතිවරයෙක්. එහෙත්, මෙවර නැවත ධවල මන්දිරය වෙත පැමිණෙන්නේ වසර හතරක් ජනාධිපති ධුරයේ කටයුතු කර අත්දැකීම් ඇති අයෙක්. ඒ නිසා, ඔහුට මෙවර "ඉගෙන ගැනීම සඳහා" කාලය අවශ්‍ය වන්නේ නැහැ. 

ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පළමු දිනයේදීම ජනාධිපති ට්‍රම්ප් විසින් විධායක නියෝග ගණනාවකට අත්සන් කළා. මේ කිසිවක් අනපේක්ෂිත තීරණ නෙමෙයි. බලයට පත් වූ වහාම ඔහු ක්‍රියාත්මක කළේ ජනාධිපතිවරණ සමය තුළ ඔහු විසින් දිගින් දිගටම කියා සිටි දේවලුයි. මෙම විධායක නියෝග දෙස බැලීමෙන් ඉදිරි වසර හතරක කාලය තුළ ඇමරිකාවේ දිශානතිය පිළිබඳව අදහසක් ගත හැකියි.

ඇමරිකාව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මනා බල සමතුලනයක් ඇති රටක්. එබැවින්, ජනාධිපතිවරයෙකු විසින් නිකුත් කරන විධායක නියෝග අධිකරණයේදී අභියෝගයට ලක් කළ හැකියි. ජනාධිපති ට්‍රම්ප්ගේ විධායක නියෝග ගණනාවක්ම ඒවා නිකුත් කළ සැණෙකින්ම මෙන් අධිකරණය තුළ අභියෝගයට ලක් කර තිබීමද නිරීක්ෂණය කළ හැකියි. 

A) රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග:

1. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම පිණිස අලුත් දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කිරීම: මෙහි අරමුණ මෘදුකාංග භාවිතය, ඩිජිටල්කරණය, ස්වයංකරණය ඇතුළු නවීන තාක්ෂණ ක්‍රමවේද යොදා ගනිමින් රාජ්‍ය අංශයේ කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීමයි. මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඊලන් මස්ක්ව නම් කර තිබෙනවා. මෙම දෙපාර්තමේන්තුවේ ආයතනික ව්‍යුහය දැනටමත් අධිකරණයේදී අභියෝගයට ලක් කර ඇතත්, එමගින් එහි ආයතනික ව්‍යුහය පවතින නීති රාමුවට අනුගත වීම හැර වෙනත් දෙයක් සිදු වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ.

2. රාජ්‍ය අංශයේ සියලු සිවිල් බඳවා ගැනීම් අත්හිටවීම: මෙම නියෝගය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අංශයේ දැනට පවතින පුරප්පාඩු පිරවීම සහ අලුත් තනතුරු ඇති කිරීම අත්හිටවා තිබෙනවා.

3. රාජ්‍ය අංශයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීම සඳහා ලබා දී තිබුණු අවසරය ඉවත් කිරීම: මේ අනුව, රාජ්‍ය අංශයේ සේවකයින්ට නැවතත් පෙර මෙන් දිනපතා සේවයට වාර්තා කිරීමට සිදු වෙනවා. අපේ ප්‍රාන්තය වැනි ඇතැම් ප්‍රාන්ත රජයයන් විසින්ද ෆෙඩරල් රජය අනුගමනය කරමින් මෙම අවසරය ඉවත් කර තිබෙනවා.

4. රාජ්‍ය අංශයේ අනාගත බඳවා ගැනීම් මුළුමනින්ම කුසලතාවය මත පදනම්ව, ඉක්මණින් හා කාර්යක්ෂම ලෙස සිදු කෙරෙන පරිදි වැඩ පිළිවෙලක් සකස් කිරීම. 

B) සුළුතර කොටස් වලට තිබුණු විශේෂ වරප්‍රසාද හා/හෝ පිළිගැනීම් අහෝසි කරමින් ගෙන ඇති ක්‍රියාමාර්ග:

1. දින 60ක කාලයක් ඇතුළත රජයේ බඳවාගැනීම්, සේවා සැපයීමේ කොන්ත්‍රාත්තු ආදියේදී "විවිධත්වය, සමානාත්මතාවය සහ සියල්ලන් ඇතුළු කරගැනීම" තහවුරු කිරීම පිණිස ඇති කර තිබුණු සියළු තනතුරු අහෝසි කිරීම, මේ හා අදාළ පුහුණු කිරීම් සිදු කිරීම සඳහා ලබා දී තිබුණු කොන්ත්‍රාත්තු අවලංගු කිරීම.

2. ෆෙඩරල් රජයේ නිල ප්‍රතිපත්තිය ලෙස, ස්ත්‍රී හා පුරුෂ යනුවෙන්, වෙනස් කළ නොහැකි, උපතේදී ජාන අනුව තීරණය වන, ලිංග දෙකක් පමණක් ඇති බව පිළිගැනීම සහ එම ලිංග දෙකට අමතරව වෙනත් ලිංග ලෙස හඳුනාගෙන තිබෙන සංක්‍රාන්ති-ලිංගික වැනි අර්ථදැක්වීම් පිළි නොගැනීම.

3. ගුවන් නියමුවන් බඳවා ගැනීමේදී "විවිධත්වය, සමානාත්මතාවය සහ සියල්ලන් ඇතුළු කරගැනීම" යන පදනම මත අඩු කුසලතා ඇති අය බඳවා ගෙන ඇත්නම් ඔවුන් වෙනුවට වැඩි කුසලතා ඇති අය ආදේශ කිරීම. 

4. උතුරු ඇමරිකාවේ උසම කන්ද වන ඇලස්කාවේ පිහිටි ඩනාලි කන්ද මැකින්ලි කන්ද ලෙස නැවත නම් කිරීම. මැකින්ලි යනු ඇමරිකාවේ 25වන ජනාධිපති වරයාගේ නම වන අතර 2015 දක්වා මෙම කන්දේ නිල නමයි. ඩනාලි යනු ස්වදේශිකයින් විසින් සියවස් ගණනක් තිස්සේ භාවිතා කළ නමයි.

C) පාරිසරික නීති ඉවත් කරමින් හා පාරිසරික ක්‍රියාමාර්ග නොසලකා හරිමින් ගෙන ඇති ක්‍රියාමාර්ග:

1. දින 60ක කාලයක් ඇතුළත රජයේ බඳවාගැනීම්, සේවා සැපයීමේ කොන්ත්‍රාත්තු ආදියේදී "පාරිසරික යුක්තිය" තහවුරු කිරීම පිණිස ඇති කර තිබුණු සියළු තනතුරු අහෝසි කිරීම, මේ හා අදාළ පුහුණු කිරීම් සිදු කිරීම සඳහා ලබා දී තිබුණු කොන්ත්‍රාත්තු අවලංගු කිරීම.

2. විදුලි වාහන සඳහා ලබා දී ඇති විශේෂ සහන ඉවත් කිරීම.

3. මාළුන් රැකගැනීමට වඩා මිනිසුන් රැක ගැනීම වැදගත් බැවින් පාරිසරික හේතු මත නවත්වා ඇති ජාල සම්පාදන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම.

D) සංක්‍රමණික වරප්‍රසාද සීමා කරමින් ගෙන ඇති ක්‍රියාමාර්ග:

1. මෙතෙක් ඇමරිකාවේදී ඉපදෙන සියලු දරුවන්ට හිමි වූ උපතින් ලැබෙන පුරවැසි අයිතිය අහෝසි කිරීම. මේ අනුව, ඇමරිකානු පුරවැසියෙකුගේ හෝ ස්ථිර පදිංචිකරුවෙකුගේ ජීව විද්‍යාත්මක දරුවෙකු නොවේනම්, දින 30ක කාලයකින් පසුව (පෙබරවාරි 20 දින සිට), ඉපදෙන දරුවන්ට පුරවැසිකම හිමි නොවේ. මෙම විධායක නියෝගය දැනට අධිකරණයේදී අභියෝගයට ලක් කර ඇති අතර ඒ අනුව මෙම නියෝගය ව්‍යවස්ථාවට අනුකූලද යන ප්‍රශ්නය ඉතිරි වී තිබෙනවා.

2. ජනාවාරි 27 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සරණාගතයින් ඇමරිකාවට ඇතුළු කර ගැනීම අත් හිටවා තිබෙනවා.

3. ඇමරිකාවේ දකුණු මායිමේ භෞතික තාප්පයක් බැඳීම, එම මායිමේ නීතියේ පාලනය දැඩි කිරීම සහ එම දැඩි පාලනය දිගටම පවත්වා ගෙන යාම. අවේක්ෂණය සඳහා මිනිසුන් රහිත නිරීක්ෂණ උපකරණ යොදා ගැනීම.

4. රට තුළ දැනට සිටින නීති විරෝධී සංක්‍රමණිකයින් අත් අඩංගුවට ගැනීම,  පිටුවහල් කරන තුරු තාවකාලිකව රඳවා තබා ගැනීම සහ රටින් පිටුවහල් කිරීම. නීති විරෝධී සංක්‍රමණිකයින්ට අපරාධ දඬුවම් නියම කිරීම. නීති විරෝධී සංක්‍රමණිකයින්ට පහසුකම් සලසන්නට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.

5. ඇමරිකාවේ දකුණු සීමාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සහ එම සීමාව හරහා රටට ඇතුළු වීමට උත්සාහ කරන්නන් ආක්‍රමණිකයින් ලෙස හඳුනා ගැනීම.

E) නීතියේ පාලනය දැඩි කරමින් ගෙන ඇති ක්‍රියාමාර්ග:

1. මරණ දඬුවම පැනවිය හැකි වැරදි සඳහා මරණ දඬුවම පැනවීමට ප්‍රතිපත්ති තීරණයක් ගැනීම. ඒ සඳහා අවශ්‍ය පහසුකම් (විෂ එන්නත් ආදිය) අවශ්‍ය පමණ ඇති බව තහවුරු කිරීම. වෙනත් සාධක කවරක් වුවද (අ) නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකු ඝාතනය කර ඇති විට; සහ (ආ) නීති විරෝධී සංක්‍රමණිකයෙකු විසින් මරණ දඬුවම පැනවිය හැකි වරදක් කර ඇති විට මරණ දඬුවම පැනවිය යුතුයි.

F) බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම පිණිස ගෙන ඇති ක්‍රියාමාර්ග:

1. ජාතික බලශක්ති හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම.

2. ඇලස්කා ප්‍රදේශයේ බලශක්ති නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා කටයුතු කිරීම.

G) ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග:

1. ඉදිරියේදී ඇමරිකාවට සිදු කෙරෙන ආනයන මත අය කෙරෙන බදු ඉහළ දැමෙනු ඇත.

2. අලුතෙන් නියාමන නීති පැනවීම අත්හිටුවා ඇත.

H) ජාත්‍යන්තර සම්බන්ධතා හා අදාළ ක්‍රියාමාර්ග:

1. ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වේ. එම සංවිධානය වෙනුවෙන් තවදුරටත් මුදල් වැය නොකෙරේ.

2. එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාස පිළිබඳ සම්මුතීන්ගෙන් (පැරිස් සම්මුතියෙන්) ඇමරිකාව ඉවත් වනු ඇති අතර අදාළ කටයුතු වෙනුවෙන් තවදුරටත් මුදල් වැය නොකෙරේ.

මෙම විධායක නියෝග වලින් ඇමරිකාවට හා ලෝකයට තිබෙන බලපෑම ගැන ඉදිරියේදී කතා කරමු.



Friday, January 17, 2025

දෙවන පිරිපහදුව, චීන මුදල් හුවමාරු ණය සහ විදුලි බිල


මෙය එකිනෙකට සෘජු සම්බන්ධයක් නැති කරුණු තුනක් ගැන සටහනක්. යෝජිත දෙවන තෙල් පිරිපහදුව, චීන මුදල් හුවමාරු ණය ගිවිසුම අලුත් කිරීම සහ යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම කියන කරුණු තුන සහ මේ දේවල් වල අපේක්ෂිත බලපෑම ගැන. පළමු කරුණු දෙකම චීනයට සම්බන්ධයි.

මුලින්ම මම 2023 නොවැම්බර් 27 දින පළ කළ "දෙවන පිරිපහදුව චීනයට" ලිපියේ මුල් කොටස උපුටා දක්වන්නම්.

"ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම වූ වයිටාල් සමාගම තරඟයෙන් ඉවත් වීම නිසා ඉතිරි වී තිබෙන්නේ සිනොපෙක් සමාගම පමණයි.

දැනට ශ්‍රී ලංකාව සතු එකම තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 50,000ක් වන අතර රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සැපිරීම සඳහා දිනකට බොරතෙල් බැරල් 110,000ක් පමණ පිරිපහදු කළ යුතු වෙනවා. ඩොලර් බිලියන 4.5ක් ආයෝජනය කොට හම්බන්තොට ඉදි කෙරෙන අලුත් පිරිපහදුවේ ධාරිතාව නිශ්චිතව නොදන්නා නමුත් එය අවම වශයෙන් බොරතෙල් බැරල් 100,000ක්. මෙහි ඉලක්කය ලංකාව තුළ බොර තෙල් පිරිපහදු කර අපනයනය කිරීම සහ නැව් වලට ඉන්ධන සැපයීමයි."

ඔය දැන් ආවා කියන ආයෝජනය ඕකම තමයි. නමුත් මුදල ඩොලර් බිලියන 3.7 දක්වා අඩු වී තිබෙනවා. ඇතැම් විට යෝජිත පිරිපහදුවේ ධාරිතාව කලින් සැලසුම් කළාට වඩා අඩු වෙලා වෙන්න පුළුවන්. එය එසේනම්, එය ලංකාවට අවාසියක්. 

මේ ආයෝජනය අරන් ආවේ රනිල්ද, අනුරද කියන එක ගැනත් දැන් යම් විවාදයක් ඇති වෙලා තිබෙනවා. ඒ තරම් තේරුමක් නැති ප්‍රශ්නයක් වුනත්, රනිල්ට හෝ අනුරට අවශ්‍ය වුනා කියලා ඔය වගේ ආයෝජන රටට ගේන්න බැහැ. මේ වගේ ආයෝජන ලංකාවට එන්නේ චීනයට ක්‍රමෝපායිකව අවශ්‍ය නිසා. රනිල්, අනුර, සජිත්, නාමල් වගේ කවුරු හිටියත් චීනයට අවශ්‍යනම් ඔය වැඩේ විය හැකිව තිබුණා. අනුර යටතේ ආයෝජනය එන එකේ ප්‍රධාන වෙනස මේ ගැන විවේචන නැති වී තිබීම.

ඔය ආයෝජනය ගැන මුලින්ම කියවුණු කාලයේ මාලිමාව පැත්තෙන්ම ආපු විවේචනයක් වුනේ රුපියල් වෙළඳපොළට එන මේ වගේ ආයෝජන වලින් රටට වැඩක් නැහැ කියන එක. මේ තර්කයට පදනමක් නැතුවම නෙමෙයි. රුපියල් වෙළඳපොළට එන විදේශ ආයෝජන වලින් ලංකාවට ලැබෙන්නේ සාපේක්ෂව අඩු වාසියක්. නමුත් වැදගත් කරුණ එය තව දුරටත් වාසියක් මිස පාඩුවක් නොවීමයි. 

පළමුව, මේ ආයෝජනය නිසා ආරම්භයේදී රටට එන මුදල සැලකුවොත්, ඒ මුදල බොහෝ දුරට ආනයන ලෙස නැවත චීනයටම ආපසු යන මුදලක්. අනෙකුත් බොහෝ රටවලින් වෙනස්ව චීනය විසින් සිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ශ්‍රමයද සිය රටින්ම රැගෙන එන නිසා ශ්‍රමයේ පංගුව ලෙස වුවද විශාල මුදලක් රටේ ඉතිරි වෙන එකක් නැහැ. නමුත් දේශීය අමු ද්‍රව්‍ය හා ශ්‍රමය යම් තරමකින් හෝ යොදා ගන්න අවශ්‍ය වන නිසා සංචිත වලට හෝ අනෙකුත් විදේශ විණිමය අවශ්‍යතා වෙනුවෙන් යම් හෝ මුදලක් ඉතිරි වෙයි. 

මේ වැඩෙන් මුල් වසර වලදී සිදු වනු ඇත්තේ ආනයන වියදම් ඉහළ ගොස් වෙළඳ හිඟය තවත් වැඩි වෙන එකයි. ඒ හේතුව නිසාම, දැනට අතිරික්තයක්ව පවතින ජංගම ගිණුමේ ශේෂය නැවතත් හිඟයක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් එම හිඟය පියවන්න අවශ්‍ය විදේශ විණිමය ප්‍රමාණය චීනයෙන් රටට එන නිසා මෙය විදේශ විණිමය තුලනය කෙරෙහි නරක විදිහට බලපාන්නේ නැහැ. 

චීන ණය සහ අනෙකුත් ණය අරගෙන ආයෝජන කරද්දීත් සිදු වුනේ ඔය වැඩේට කිට්ටුවෙන් යන වැඩක්. එක පැත්තකින් ආනයන වැඩි වෙද්දී අනෙක් පැත්තෙන් විදේශ ණය විදිහට විදේශ විණිමය රටට ඇවිත් විණිමය වෙළඳපොළ තුලනය වුනා. නමුත් එය සිදු වුනේ අනාගත ණය ගෙවීමේ වගකීම් නම් වූ කාල බෝම්බයේ නූල පත්තු කරමිනුයි. කාල බෝම්බය පිපිරුණු ආකාරය අපි හැමෝම හොඳින්ම දැක්කා.

ණය ගැනීමට කිට්ටුවෙන් යන දෙයක් වුනත් දැන් මේ පිරිපහදුව සඳහා අවශ්‍ය අරමුදල් එන්නේ ආයෝජන ලෙස මිස ණය ලෙස නෙමෙයි. ඒ නිසා, රටට විණිමය අර්බුදයකට මුහුණ දෙන්න වෙන්නේ ඔය ආයෝජනය ආපසු අරගෙන ගියොත් පමණයි. මේ වගේ ආයෝජන වල ස්වභාවය නිසාම එවැන්නක් සිදු වෙන්නේ නැහැ. රටේ විදේශ බැරකම් ඉහළ ගියත්, තෙල් පිරිපහදුව රටට අයිති නැති වත්කමක් ලෙස රට ඇතුළේ ඉතිරි වෙනවා. 

ගොඩක් අයට ප්‍රශ්නයක් වී තිබුණේ තෙල් විකුණන්නේ රුපියල් වලින් වුවත්, මේ වගේ සමාගම් විසින් ඔවුන්ගේ ලාබ ඩොලර් ලෙස රටෙන් අරගෙන යනවා කියන එක. කතාව ඇත්ත. නමුත් වැදගත් ප්‍රශ්නය මේ හේතුව නිසා ශුද්ධ වශයෙන් විදේශ විණිමය රටෙන් එළියට යාමක් සිදු වෙනවද කියන එක. බැලූ බැල්මට පෙනෙන්නේ නැති විය හැකි වුවත්, එවැන්නක් වෙන්නේ නැහැ.

ලංකාවේ බොර තෙල් නැති නිසා ලංකාවේ ඉන්ධන අවශ්‍යතාවය සඳහා අවශ්‍ය වන බොරතෙල් ප්‍රමාණය කොහොමටත් ආනයනය කරන්න සිදු වෙනවා. ඒ වෙනුවෙන් විදේශ විණිමය වැය කරන්න සිදු වෙනවා. ඒ විදේශ විණිමය යම් ක්‍රමයකින් හොයා ගන්නත් සිදු වෙනවා. රටේ ඉන්ධන පිරිපහදු කිරීමේ ධාරිතාවය සීමිත නිසා, පිරිපහදු කළ ඉන්ධනද සැලකිය යුතු ප්‍රමාණයක් ආනයනය කරන්න වෙනවා. ඒ වෙනුවෙන්ද විදේශ විණිමය උපයා ගන්න සිදු වෙනවා.

චීන පිරිපහදුව ලංකාවට ආවාට පස්සේ වෙන්නෙත් ඔය ටිකමයි. කලින් තෙල් සංස්ථාව හරහා එළියට ගිය විදේශ විණිමය ප්‍රමාණයෙන් කොටසක් දැන් සිනොපෙක් සමාගම හරහා රටෙන් එළියට යනවා. මෙහි විශේෂ වාසියක් හෝ පාඩුවක් නැහැ.

එතකොට ලාබ කොටස? ඔව්. ලාබ කොටසත් විදේශ විණිමය ලෙස එළියට යන්න පුළුවන් තමයි. නමුත් තව දුරටත් දේශීය ඉන්ධන මිල තීරණය කරන්නේ තෙල් සංස්ථාව හරහා ශ්‍රී ලංකා රජය නිසා සිනොපෙක් සමාගමට හෝ වෙනත් සමාගමකට ඊට වඩා වැඩියෙන් ඉන්ධන විකුණන්න බැහැ. 

තෙල් සංස්ථාව තෙල් විකුණන්නේ යාන්තමින් පිරිවැය ආවරණය වන මිලකටයි. අනෙක් තරඟකරුවන්ට ඒ මිලටම තෙල් විකුණලා ලාබයකුත් හොයා ගන්න වෙනවා. ඒ සඳහා හැකි තරම් අඩු මිලකට තෙල් ආනයනය කරන්න වෙනවා. එහිදී විදේශ විණිමය ඉතිරියක් වෙනවා. අවසාන වශයෙන් ඒ ඉතිරි වන විදේශ විණිමය ටික හෝ එයින් කොටසක් තමයි ලාබ විදිහට රටෙන් එළියට යන්නේ. ඒ නිසා, ශුද්ධ වශයෙන් මෙයින් විණිමය තුලනය කෙරෙහි ලොකු බලපෑමක් වෙන්න ඉඩක් නැහැ.

ප්‍රායෝගිකව, සිනොපෙක් වැනි සමාගම් වලට රට ඇතුළේ තව දුරටත් ව්‍යාප්ත වීමේ උවමනාවක් තිබෙන නිසා ඔවුන්ගේ ලාබ රටෙන් ගෙන නොයා නැවත රට තුළම ආයෝජනය කරන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම, මෙම සමාගම් වල ලාබ වලින් රජයට බදු එකතු වෙනවා. එය රාජ්‍යමූල්‍ය තුලනය කෙරෙහි හිතකර ලෙස බලපානවා. පාරිභෝගිකයින්ට වාසියක් ලැබෙන එකනම් ඉක්මණින්ම වෙන එකක් නැහැ. එය සිදු වනු ඇත්තේ තව දුරටත් වෙළඳපොළ ප්‍රමුඛයා වන තෙල් සංස්ථාවේ කාර්යක්ෂමතාවය වැඩි වන ආකාරය අනුවයි. හැබැයි යම් කාලයකට පසුව හෝ එය සිදු විය යුතුයි.

පසුගිය වසරේ ප්‍රසිද්ධ වී තිබුණු තොරතුරු අනුව යෝජිත දෙවන පිරිපහදුවේ ධාරිතාවය ලංකාවේ පිරිපහදු ඉන්ධන අවශ්‍යතා හිඟය ඉක්මවා යන්නක්. ඒ අනුව, සැලසුම වී තිබුනේ රට තුළ ඉන්ධන පිරිපහදු කර අපනයනය කිරීමයි. රට අසලින් යන නැව් වලට ඉන්ධන සැපයීමද ඉන්ධන අපනයනය කිරීමට සමාන දෙයක්. මෙවැන්නක් සිදු වන තරමට, ඒ හේතුවෙන් රට තුළ සිදු වන අගය එකතු කිරීම ඉහළ යනවා. ඒ කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යනවා. ආයෝජනයේ ප්‍රමාණය කොපමණද යන්න වැදගත් වන්නේ ඒ නිසා. මුලින් යෝජනා වී තිබුණු ඩොලර් බිලියන 4.5 ආයෝජනය ඩොලර් බිලියන 3.7 දක්වා අඩු වී තිබෙන්නේ පිරිපහදු ධාරිතාවයේ අඩු වීමක්ද සමඟනම්, එසේ නැති වෙන්නේ මෙම ගනුදෙනුවේ වාසිදායකම කොටසකුයි. කෙසේ වුවත්, දේශීය ඉන්ධන වෙළදපොළ ඉලක්ක කර පිරිපහදුව හැදුවත් එයින් අපේක්ෂිත වාසිය අඩුවීමක් මිස පාඩුවක් සිදු වන්නේ නැහැ. 

මුලින් සඳහන් කළ දෙවන කරුණට ගියොත්, චීනයෙන් ලබාගත් යුවාන් බිලියන දහයක මුදල් හුවමාරු ණය ආපසු ගෙවීමේ කාලය තවත් වසර තුනකින් දීර්ඝ කරගෙන තිබෙනවා. මේ අනුව, 2027 වසර අවසන් වන තුරුම එම ණය මුදල ආපසු ගෙවිය යුතු වන්නේ නැහැ.

මේ යුවාන් වලින් වැඩක් ගන්නේ නැත්නම් ආපසු නොගෙවා තියාගෙන ඉන්නේ ඇයි කියන ප්‍රශ්නය කෙනෙකුට අහන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කිවුවොත් රටක නිල විදේශ සංචිත කියා කියන්නේනම වැඩක් නොගෙන තියාගෙන ඉන්න අරමුදල්. මේ අරමුදල් තියාගෙන ඉන්නේ හදිසියකදී ප්‍රයෝජනයට ගන්න බව ඇත්ත. නමුත් ඕනෑම රටක් උත්සාහ කරන්නේ එවැනි හදිසි ඇති නොවන බවට වග බලා ගැනීමටයි. 

දැන් ලංකාවේ ඉලක්කය වී තිබෙන්නේ ටිකෙන් ටික සංචිත ගොඩ නගා ගැනීම මිසක් තියෙන සංචිත "ප්‍රයෝජනයට ගැනීම" නෙමෙයි. ඒ නිසා ප්‍රායෝගිකව චීන මුදල් හුවමාරු ණය වලින් වෙන්නෙත් ඉතිරි සංචිත වලින් සිදු වන දෙයමයි. ඒ කියන්නේ විණිමය වෙළඳපොළ ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා එම සංචිත උදවු කර ගැනීම. මෙම ගිවිසුම අලුත් කිරීම නිසා ලංකාවට "නියම ක්‍රමයට" සංචිත ගොඩ නගා ගැනීමට තවත් අවුරුදු තුනක කාලයක් ලැබෙනවා. ඒ කියන්නේ සංචිත ඉලක්ක වලට යාම වඩා පහසු වෙනවා. ඩොලරයක මිල ඉහළ යාමේ අවදානම අඩු වෙනවා. එහි හොඳ වගේම නරකත් තිබෙන එක වෙනම කරුණක්.

තුන්වන කරුණ යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම. අනුමත වුවහොත්, මෙය සැලකිය යුතු අඩු කිරීමක්. ගාස්තු අඩු කිරීම සිදු කර තිබෙන්නේ පිරිවැය පදනම සලකා බලමින් කියා මම හිතනවා. එය එසේ නොවුනත්, මේ ලිපියේ අරමුණ ඒ ගැන සාකච්ඡා කිරීම නෙමෙයි.

යෝජිත විදුලි ගාස්තු අඩු කිරීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස දැනට පවතින අවධමන තත්ත්වය කලින් අපේක්ෂා කළ පරිදි ඉක්මණින් "යථා තත්ත්වයට" පත් වෙන එකක් නැහැ. සංකල්පීය ලෙස ගත්තොත් උද්ධමනය කියන්නේ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීමම නෙමෙයි. නමුත් උද්ධමනය මනින්නේ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීම ලෙසයි. ශ්‍රී ලංකා මහ බැංකුවට 5% උද්ධමන ඉලක්කයක් ලබා දී තිබෙන්නේත් මෙම දර්ශකය හා සම්බන්ධ කරමිනුයි.

උද්ධමනය හා පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීම ආසන්න ලෙස හෝ එකට යන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම අනුව මල ගණන් වෙනස් වන්නේනම් පමණයි. නමුත් විදුලි ගාස්තු වෙනස් වෙන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම අනුව නෙමෙයි. එය සිදුවන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් හරහා පරිපාලනමය තීන්දු ලෙසයි. ලංකාවේ විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි පරිභෝජන ඉල්ලුම පහත වැටී නැති අතර විදුලිබල සැපයුමේ විශාල වැඩිවීමක්ද සිදු වී නැහැ. එහෙත් විදුලි ගාස්තු අඩු වී තිබෙනවා. වර්ෂාපතනය වැඩිවීමේ බලපෑමක් ඇති.

මහ බැංකුවට මිල මට්ටම ස්ථාවරව පවත්වා ගත හැක්කේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම පාලනය කිරීම මගිනුයි. එය කරන්නේ පොලී අනුපාතික වෙනස් කිරීම මගින්. කලින් පෙනෙන්නට තිබුණේ මහ බැංකුව විසින් පොලී අනුපාතික 8% මට්ටමේ පවත්වා ගැනීමට ඉඩ තිබුණු බවයි. උද්ධමනය 5% මට්ටමකට ගැනීම සඳහා පොලී අනුපාතික තව දුරටත් අඩු කළ යුතු වූයේ නැහැ. එහෙත්, විදුලි ගාස්තු සැලකිය යුතු ලෙස අඩු වුවහොත් මහ බැංකුව විසින් පොලී අනුපාතික තව දුරටත් අඩු කිරීමේ ඉඩක් දැන් පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව, පොලී අනුපාතික 7.5% වැනි මට්ටමකට පහත වැටීමේ ඉඩක් අපට පෙනෙන්නට තිබෙනවා.

Tuesday, January 14, 2025

නොවැම්බර් අවසානයේදී රාජ්‍ය අයවැය තුලනය


පසුගිය (2024) වසරේ නොවැම්බර් මාසය අවසන් වෙද්දී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 927.85 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සැප්තැම්බර් මාසය අවසානයේදී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 784.89ක් වූ අතර එය සාමාන්‍ය අගයක් ලෙස මාසයකට රුපියල් බිලියන 87.21ක ඉතිරියක්. එම ඉතිරියට ඔක්තෝබර් හා නොවැම්බර් මාස දෙකේදී තවත් රුපියල් බිලියන 142.96ක් එකතු වී තිබෙනවා. අවසන් මාස දෙකේදී එකතු වූ සාමාන්‍ය අගය දෙසැම්බර් මාසය තුළදීද එකතු වී තිබේනම් වර්ෂය අවසන් වන විට ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් ට්‍රිලියනයක් පමණ මට්ටමක තිබිය යුතුයි.

පසුගිය වසරේ අවසන් කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය තවමත් ඇස්තමේන්තු කර නැතත්, එම අගය එකතු වූ විට පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් ට්‍රිලියන 30ක් පමණ විය හැකියි. ඒ අනුව, පසුගිය වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනි ප්‍රතිශතයක් ලෙස 3.3%කට ආසන්න මට්ටමක පැවතිය හැකියි. එසේ වුවහොත් එය දිගුකාලීන ආර්ථික ස්ථායීකරණ ඉලක්ක පසු කර යන මට්ටමක්. 

Monday, January 13, 2025

කුඩා වී මෝල් හිමියන්ට ණය සහනයක්!


රජය විසින් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති සඳහා සහන ණය ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියෙකුට හෝ සමුපකාර සමිතියකට රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් 7%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ලබා ගත හැකි අතර, අදාළ ණය මුදල දින 180ක් ඇතුළත ගෙවා අවසන් කළ යුතුයි. 

මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීමේ අරමුණ වී තිබෙන්නේ ඉදිරි මහ කන්නයේදී (2024/25) රජය විසින් ප්‍රකාශයට පත් කෙරෙන අවම මිලක් යටතේ වී මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමුපකාර සමිති වලට පහසුකම් සැලසීමයි. යෝජනා ක්‍රමය යටතේ මැයි 15 දක්වා කාලය ඇතුළත රුපියල් මිලියන 10,000ක් දක්වා මුදලක් නිදහස් කිරීමට නියමිතයි.

මෙම ණය යෝජනා ක්‍රමය ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ලෙස (Pledge Loan Scheme) හඳුන්වා දී ඇතත්, ණය සඳහා රජය විසින් ඇප වන බවක් සඳහන්ව නොමැති බැවින් ණය සඳහා ඇපකරයක් ඉදිරිපත් කිරීමේ වගකීම ණය අයදුම්කරුවන් විසින් කළ යුතු බවකුයි පෙනී යන්නේ. ඒ අනුව, ඔවුන්ට මෙමගින් ලැබෙන විශේෂ වාසිය වනුයේ වෙළඳපොළ පොලී අනුපාතික වලට වඩා අඩු පොලී පිරිවැයක් දරන්නට සිදු වීමයි. 

රජය විසින් මෙවැනි මැදිහත් වීමක් සිදු කර යම් පිරිසකට වාසියක් සලසන විට එම වාසිය වෙනුවෙන් තවත් කවර හෝ පිරිසකට පාඩුවක් දරන්නටද සිදු වෙනවා. ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වනුයේ බැංකු හරහා බැවින් මෙහිදී බැංකු වලට සිදු වන පාඩුව යම් ආකාරයකින් ප්‍රතිපූරණය විය යුතුයි. එහෙත්, රජය විසින් මෙම ණය සහනයේ පිරිවැය බැංකු වලට ප්‍රතිපූරණය කරන බවක් සඳහන්ව නැහැ. 

ලංකාවේ සහල් වෙළඳපොළෙහි රජය විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කරනවා. එම ප්‍රශ්නයනම් වී මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින් සහල් වෙළඳපොළ පාලනය කිරීම හේතුවෙන් වී නිෂ්පාදකයින්ට අඩු මිලක් ලැබෙද්දී පාරිභෝගිකයින්ට සහල් සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදු වී තිබීම සහ අතරමැදි වී මෝල් හිමියන් විසින් විශාල ලාබයක් ලැබීමයි. මෙය ලංකාවේ බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරන, එහෙත් කිසිවකු විසින් තහවුරු කර නොමැති ආඛ්‍යානයක්.

කාලයක් තිස්සේම වත්මන් ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ දේශපාලන මතය වූයේද ලංකාවේ සහල් වෙළඳපොළෙහි රජය මැදිහත් වී විසඳිය යුතු ප්‍රශ්නයක් ඇති බවයි. ඒ අනුව, එම මතය දැරූ ලංකාවේ බොහෝ දෙනෙකුව වත්මන් ආණ්ඩු පක්ෂය විසින් දේශපාලනිකව නියෝජනය කළා. තමන් බලය ලබා ගැනීමෙන් පසුව මෙම ප්‍රශ්නයට විසඳුම් ලබා දීම එම කණ්ඩායමේ ඡන්ද පොරොන්දුවක්. දැන් ආණ්ඩුව විසින් කරන්නට යන්නේ එම ඡන්ද පොරොන්දුව ඉටු කිරීමයි. 

දැනට ප්‍රසිද්ධ කර ඇති තොරතුරු මත පදනම්ව නිගමනය කළ හැක්කේ මෙම ණය යෝජනා ක්‍රමය ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා බැංකු එකඟ කර ගැනීමට ආණ්ඩුව සමත්ව ඇති බවයි. එහෙත්, එහිදී රජය විසින් බැංකු වලට සිදු වන පාඩුව ප්‍රතිපූරණය නොකරන බැවින්, මෙහිදී සිදු වනු ඇත්තේ මෙම ණය සහනයේ පිරිවැය පොදුවේ බැංකු වල තැන්පතු කරුවන්ට සහ අනෙකුත් ණය අයදුම්කරුවන්ට දරන්නට සිදු වීමයි. එය සිදු වනු ඇත්තේ බැංකු වල තැන්පතු පොලී පහළ යාමක් සහ අනෙකුත් ණය සඳහා අය කෙරෙන පොලී අනුපාතික ඉහළ යාමක් ලෙසයි. කෙසේ වුවත්, මෙම මැදිහත් වීමේ බලපෑම ඒ තරම්ම විශාල නොමැති බැවින් එමගින් පොලී අනුපාතික වලට දැනෙන බලපෑමක් සිදු වීමේ ඉඩක් නැහැ. 

පසුගිය (2024) දෙසැම්බර් මාසයේදී සමස්තයක් ලෙස වාණිජ බැංකු වල ස්ථිර තැන්පතු සඳහා ගෙවූ බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය 9.27%ක්. ස්ථිර තැන්පතු නොවන පොලී රහිත හෝ අඩු පොලී තැන්පතුද සැලකූ විට එම පොලී අනුපාතිකය 7.53%ක්. වාණිජ බැංකු විසින් ණය ලෙස නිකුත් කරන්නේ මේ අයුරින් තැන්පතුකරුවන්ගෙන් ලබා ගන්නා අරමුදල් වන බැවින් තැන්පතු වෙනුවෙන් දැරිය යුතු පිරිවැය එම අරමුදල් සැපයීමේ සෘජු පිරිවැයක්. 

ඉහත තැන්පතු පොලී පිරිවැයට අමතරව බැංකු විසින් ඔවුන්ගේ පරිපාලන වියදම් පියවා ගත යුතු අතර කොටස්හිමියන් විසින් ආයෝජනය කර ඇති ප්‍රාග්ධනය වෙනුවෙන් අවදානමට සරිලන ප්‍රතිලාභයක්ද ගෙවිය යුතුයි. ඒ නිසා, ණය ලෙස අරමුදල් ලබා දිය හැක්කේ සාමාන්‍ය තැන්පතු පොලිය ඉක්මවන පොලී අනුපාතිකයකටයි.

ජනවාරි පළමු සතියේදී වානිජ බැංකු විසින් ඔවුන්ගේ හොඳම පාරිභෝගිකයින්ට ණය ලබා දී තිබෙන සාමාන්‍ය පොලී අනුපාතිකය 8.74%ක්. මෙම හොඳම පාරිභෝගිකයින් යනු ණය පැහැර හැරීමේ අවදානම අඩුම පාරිභෝගිකයිනුයි. එම අවදානම ඉහළ යාමට අනුරූපව බැංකු විසින් පිරිවැය ආවරණය කර ගැනීම සඳහා අය කළ යුතු පොලී අනුපාතිකයද ක්‍රමයෙන් ඉහළ යනවා. උදාහරණයක් ලෙස කිසියම් කාණ්ඩයක ණයහිමියන් අතරින් 1%ක් ණය ආපසු නොගෙවීමට ඉඩ ඇත්නම්, එම හානිය වලක්වා ගැනීම සඳහා අදාළ කාණ්ඩයේ සියලුම ණයහිමියන්ගෙන් 1%ක අමතර පොලියක් අය කරන්නට සිදු වෙනවා. 

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් විසින් ණය පැහැර හරිනු ලැබීමේ අවදානම සාපේක්ෂව වැඩියි. එබැවින් මෙම සහන ණය ක්‍රමය නොපැවතියේනම් ඔවුන්ට ණය ලබා ගත හැකි වනු ඇත්තේ 11%-13% වැනි පොලියකටයි. ඒ අනුව, 7%ක වාර්ෂික පොලියකට ණය ලැබෙද්දී ඔවුන්ට 4%-6% පමණ ණය සහනයක් ලැබෙනවා. එය මාස හයක කාලයක් සඳහා ලබා ගන්නා ණය මුදලෙන් 2%-3% පමණ වූ ණය සහනයක්.

මේ අනුව, මෙම ණය යෝජනා ක්‍රමයෙන් එක් ණයහිමියෙකුට ලැබෙන සහනය රුපියල් මිලියන 1.0-1.5 පමණ වන අතර සමස්තයක් ලෙස බැංකු පද්ධතියට මේ වෙනුවෙන් රුපියල් මිලියන 200-300 පමණ වූ අමතර පිරිවැයක් දරන්නට සිදු වෙනවා. බැංකු පද්ධතිය විසින් පෞද්ගලික අංශයට ලබා දී තිබෙන මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන අටක් පමණ වන අතර, මාස හයක කාලයක් ඇතුළත එම ණය වලින් 5%ක් අලුත් වන බවත්, එම අලුත් ණය වෙනුවෙන් 10%ක පොලී අනුපාතිකයක් අය කෙරෙන බවත් උපකල්පනය කළහොත්, එම අලුත් ණය කොටසේ මාස හයක පොලී ආදායම රුපියල් බිලියන 20ක් පමණ වෙනවා. ඊට සාපේක්ෂව රුපියල් මිලියන 200-300ක මුදලක් එතරම් විශාල මුදලක් නොවන බැවින්, බැංකු වලට පොදුවේ ණය පොලිය 0.10-0.15%කින් වැඩි කර හෝ තැන්පතු පොලී එපමණකින් අඩු කර ණය සහනයේ අලාභය පහසුවෙන්ම පියවා ගත හැකියි. එමගින් එක් තැන්පතුකරුවෙකුට හෝ සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියකු හෝ සමුපකාර සමිතියක් නොවන අලුත් ණයහිමියෙකුට ඒ තරම් විශාල පාඩුවක් සිදු වන්නේ නැහැ. 

මෙහිදී ආර්ථික විද්‍යාවේදී අකාර්යක්ෂමතාවය අර්ථදක්වන්නේ කෙසේද යන්න පිළිබඳවද යම් මතක් කිරීමක් කළ යුතුයි. රජය මැදිහත් වී එක් අයෙකුගෙන් යම් මුදලක් ගෙන එම මුදලම වෙනත් අයෙකු වෙත ලබා දේනම් එහිදී ආර්ථික විද්‍යාව අනුව කාර්යක්ෂමතා හානියක් සිදු වන්නේ නැහැ. ඊට හේතුව, මෙම මැදිහත්වීමෙන් පසුවද අදාළ මුදල කවර හෝ අයෙකු සතුව තිබීමයි. මෙවැන්නක් කිරීම සාධාරණද නැද්ද යන්න ආර්ථික විද්‍යාවෙන් පරිබාහිර දේශපාලනික කරුණක්.

ආර්ථික විද්‍යාවේදී රාජ්‍ය මැදිහත්වීම අකාර්යක්ෂම බව පවසන්නේ මේ අයුරින් මැදිහත් වීමක් කරද්දී එක් අයෙකුගෙන් රජය විසින් ලබා ගන්නා මුදල එලෙසම වෙනත් අයෙකුට නොලැබෙන බැවිනුයි. එහිදී මුල් මුදලෙන් යම් කොටසක් කිසිවකු සතුව නොමැති බැවින් කාර්යක්ෂමතා හානියක් සිදු වෙනවා. 

ඉහත උදාහරණය වෙත පැමිණියහොත්, බැංකු විසින් තැන්පත්කරුවන්ගේ පොලිය අඩු කිරීම හෝ අනෙකුත් ණයහිමියන්ගේ පොලිය වැඩි කිරීම නිසා ඔවුන්ට සිදු වන පාඩුවට හරියටම සමාන වාසියක් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමුපකාර සමිති වලට ලැබේනම් එයින් කිසිදු කාර්යක්ෂමතා හානියක් සිදු වන්නේ නැහැ. එහෙත් මේ සඳහා කිසියම් රාජ්‍ය කාර්යාංශයක් පිහිටුවනු ලැබුවහොත් ඒ සඳහා යන පිරිවැය ඉහත අයුරින් සම්ප්‍රේෂණය වන්නේ නැහැ. 

උදාහරණයක් ලෙස කිසියම් බද්දක් අය කර අස්වැසුම වැනි සහනාධාරයක් ලබා දෙන විට එකතු කරන මුළු බදු මුදලම අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබා දීමේදී කාර්යක්ෂමතා හානියක් සිදු නොවන නමුත් අදාළ නිලධාරීන් වෙනුවෙන් එම බදු මුදල් කොටසක් වැය වන බැවින් එකතු කරගන්නා මුළු බදු මුදල් ප්‍රමාණයම අස්වැසුම ප්‍රතිලාභීන්ට ලැබෙන්නේ නැහැ. එහිදී කාර්යක්ෂමතා හානියක් සිදු වෙනවා.

මේ ආකාරයෙන් රජය සෘජු ලෙස මැදිහත් නොවී බැංකු මගින් අවශ්‍ය කටයුත්ත කර ගැනීමේදී වුවද කාර්යක්ෂමතා හානියක් සිදු වන නමුත් මෙම ලිපියෙන් අවධානය යොමු කිරීමට අවශ්‍ය මුඛ්‍ය කරුණ එය නොවෙයි. එම මුඛ්‍ය කරුණ මෙමගින් දේශීය සහල් වෙළඳපොළට කවර බලපෑමක් වේද යන්නයි.

මේ වන විට ලංකාවේ වී ගොවීන්ගෙන් වී මීල දී ගැනීම, වී ගබඩා කර තබා ගැනීම, සහල් බවට පත් කිරීම සහ එම සහල් වෙළඳපොළට නිකුත් කිරීම බොහෝ දුරට සිදු කරන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින්.  සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට ඔවුන් සමඟ තරඟ කළ නොහැකියි. ඒ ඇයි?

මෙයට හේතු කිහිපයක් පාදක වෙනවා.

1. ප්‍රාග්ධනයේ වාසිය: මහා පරිමාණ වී මෝල් හිමියන්ට සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට වඩා අඩු පොලියකට බැංකු ණය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මීට හේතුව ඔවුන් විසින් ණය පැහැර හරිනු ලැබීම අවදානම අඩු මට්ටමක පැවතීමයි. මගේ තක්සේරුව වනුයේ සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියකු විසින් ණය ලබා ගැනීමේදී 11%-13% වැනි පොලියක් ගෙවිය යුතු වුවත්, මහා පරිමාණ වී මෝල් හිමියෙකුට 9%ක පමණ පොලියකට බැංකු ණය ලබා ගත හැකි බවයි. තමන්ගේ අරමුදල් මේ වෙනුවෙන් යෙදවීමේ හැකියාව කණ්ඩායම් දෙකටම තිබෙන නිසා මා ඒ ගැන සලකා බලන්නේ නැහැ.

2. පරිමාණයේ වාසිය: මහා පරිමාණ වී මෝල් හිමියන් සතු ප්‍රධානම වාසිය පරිමාණයේ වාසියයි. 

3. කීර්ති නාමයේ වාසිය: මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් මේ වන විට ගොඩ නගා ගෙන ඇති කීර්ති නාමයක් තිබෙනවා. ඒ නිසා ඔවුන් වෙළඳපොළට නිකුත් කරන සහල් වල ගුණාත්මක භාවය අමාරුවෙන් තහවුරු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

දැන් ඉහත තත්ත්වය වෙනස් වෙන්නේ කෙසේද?

සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට 7% පොලියට ණය ලැබීමත් සමඟ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ඉහත පළමු වාසිය නැතිව යනවා පමණක් නොව එම කරුණ හා අදාළව අවාසිදායක තරඟයකට මුහුණ දීමටද සිදු වෙනවා. එහෙත්, දෙවන හා තෙවන වාසි වලට බලපෑමක් සිදු වන්නේ නැහැ. 

සහන ණය ලබා ගන්නා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට පනවා ඇති එක් කොන්දේසියක් වන්නේ රජය විසින් නියම කරන අවම මිලට වී මිල දී ගත යුතු බවයි. මෙමගින් සිදු වන බලපෑම කුමක්ද? 

වී කිලෝවක සහතික මිල රුපියල් 100ක් සේ සැලකුවහොත් සහන ණය ලෙස ලබා දෙන රුපියල් මිලියන 10,000ක මුදලෙන් වී කිලෝග්‍රෑම් මිලියන 100ක් පමණ මිල දී ගත හැකියි. එම ප්‍රමාණය මහ කන්නයේ වී සැපයුමෙන් 4%ක පමණ ප්‍රමාණයක් පමණයි. ඒ නිසා, මෙම සහන ණය හේතුවෙන් ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා මහා පරිමාණ වී මෝල් හිමියන්ට විශාල තරඟයකට මුහුණ දීමට සිදු වන්නේ නැහැ. එමෙන්ම ගුණාත්මක භාවයෙන් අඩු (තෙත) වී මිල දී ගෙන භාවිතයට ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂනය තිබෙන්නේද මහා පරිමාණ වී මෝල් හිමියන් සතුවයි. මේ අනුව, අරමුදල් සහන පොලියකට ලැබුණද, සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට කළ හැක්කේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් වී මිල දී ගන්නා මිලට හෝ ඊට වඩා වැඩි මිලකට වී මිල දී ගැනීමටයි. මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් රජය නියම කර තිබෙන අවම මිලට වී මිල දී ගන්නේනම් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ටද අවම වශයෙන් ඒ මිලම ගෙවන්නට සිදු වෙනවා. 

ණය සහනය නිසා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට, මහා පරිමාණ වී මෝල් හිමියන්ට සාපේක්ෂව, 2%ක පමණ වන (= 9% - 7%) ප්‍රාග්ධන පිරිවැය අඩු වීමේ වාසියක් ලැබෙනවා. මෙය මාස හයකට 1%ක පමණ වාසියක්. එනම්, වී කිලෝවකට රුපියලක පමණ වාසියක්. මෙම රුපියලේ වාසියේ උදවුවෙන් මහා පරිමාණ වී මෝල් හිමියන් සතු පරිමාණයේ වාසිය සහ කීර්ති නාමයේ වාසිය ඉක්මවා යමින් අඩු මිලකට සහල් නිපදවීමට ඔවුන්ට හැකි වනු ඇත්ද? 

මගේ අදහසනම්, මහා පරිමාණ වී මෝල් හිමියන් සතු පරිමාණයේ වාසිය සහ කීර්ති නාමයේ වාසිය වී කිලෝවකට රුපියලක වාසියට වඩා වැඩි බවයි. ඒ නිසාම, මෙම ණය සහනය ලබා දුන්නද, සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට මහා පරිමාණ වී මෝල් හිමියන් සමඟ තරඟ කළ නොහැකි බවයි. එය එසේනම්, මෙම මැදිහත්වීම නිසා වෙළදපොළ සිල්ලර සහල් මිල කෙරෙහි කිසිදු බලපෑමක් සිදු වීමේ ඉඩක් නැහැ.

යම් හෙයකින් මහා පරිමාණ වී මෝල් හිමියන් සතු පරිමාණයේ වාසිය සහ කීර්ති නාමයේ වාසිය වී කිලෝවකට රුපියලකට වඩා බෙහෙවින්ම වැඩිනම්, උදාහරණයක් ලෙස රුපියල් පහක් පමණ වේනම්, මෙම සහන ණය ලබා දීමෙන් පසුවද සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට ප්‍රමාණවත් ලාබයක් ලබා ගැනීමට හැකි වන්නේ නැහැ. කෙසේ වුවත්, එවැන්නක් විය හැක්කේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් විශාල "අනිසි ලාබයක්" නොලබන්නේය යන උපකල්පනය යටතේයි.

යම් හෙයකින්, ආණ්ඩුව විශ්වාස කරන පරිදි, මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් විශාල "අනිසි ලාබයක්" උපයන්නේනම් සිදු විය හැක්කේ කුමක්ද? එය එසේනම්, මෙම සහන ණයෙහි වාසිය කුඩා හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ ලාබ බවට පරිවර්තනය වනු ඇති අතර වෙළඳපොල සහල් මිල ගණන් තව දුරටත් තීරණය වනු ඇත්තේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් කරන සැපයුම මත බැවින් සිල්ලර සහල් මිලෙහි විශාල වෙනසක් සිදු වීමේ ඉඩක් නැහැ. මෙයින් අදහස් වන්නේ වී සැපයුම ඉහළ යාමෙන් සහල් මිල පහත වැටීම සිදු නොවන බව නෙමෙයි. සහන ණය ක්‍රමය හරහා සිදු කරන රාජ්‍ය මැදිහත්වීම හේතුවෙන් එවැන්නක් සිදු වීමේ ලොකු ඉඩක් නැති බවයි. අවසාන වශයෙන් සිදු වන්නේ තැන්පතුකරුවන්ට පොලී ලෙස ලැබෙන්නට තිබුණු මුදලක් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් සුළු පිරිසක් වෙත විතැන් වීම පමණයි.

කෙසේ වුවත්, වී මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින් සහල් වෙළඳපොළ පාලනය කිරීම හේතුවෙන් වී නිෂ්පාදකයින්ට අඩු මිලක් ලැබෙද්දී පාරිභෝගිකයින්ට සහල් සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදු ඇති බව සහ අතරමැදි වී මෝල් හිමියන් විසින් විශාල ලාබයක් උපයන බව ලංකාවේ බොහෝ දෙනෙකු විසින් විශ්වාස කරන බැවින් මෙවැනි මැදිහත්වීමේ පරීක්ෂණයක් සිදු කර ප්‍රතිඵල දෙස බලන එක නරක දෙයක් නෙමෙයි. 

Friday, January 10, 2025

පසුගිය වසරේ ශ්‍රමික ප්‍රේෂණ


ගෙවුණු (2024) වසර ඇතුළත ශ්‍රී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 6,575.4ක මුදලක් ලැබී තිබෙනවා. මෙම මුදල පෙර වසරේ එම අගය වූ ඩොලර් මිලියන 5,969.6ට වඩා 10.7%කින් වැඩි අගයක්. 

පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල කැපී පෙනෙන අඩු වීමක් දැකිය හැකි වුවත්, දෙසැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ නැවතත් වර්ධනය වීමෙන් පෙනී යන්නේ එය තාවකාලික තත්ත්වයක් බවයි. ඇතැම් විට ඩොලරයක මිල පහත වැටීම නිසා සීමා වූ ශ්‍රමික ප්‍රේෂණ ඩොලරයක මිල ඉහළ යද්දී නැවත යථා තත්ත්වයට පත් වුනා විය හැකියි. 

පසුගිය එක් එක් වසර වලදී ශ්‍රී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලැබුණේ පහත පරිදියි. සියලුම අගයයන් ඩොලර් මිලියන වලින්.

2012 - 5,985

2013 - 6,407

2014 - 7,018

2015 - 6,980

2016 - 7,242

2017 - 7,164

2018 - 7,015

2019 - 6,717

2020 - 7,104

2021 - 5,491

2022 - 3,789

2023 - 5,970

2024 - 6,575

Tuesday, January 7, 2025

වසර අවසානයේදී නිල විදේශ සංචිත


ගෙවුණු 2024 වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,091ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්තා කර තිබෙනවා. මෙම ප්‍රමාණය 2024 නොවැම්බර් අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,451ට වඩා ඩොලර් මිලියන 360කින් අඩුයි. පසුගිය මාසය ඇතුළත නිල සංචිත ප්‍රමාණය එපමණකින් අඩු වී තිබෙනවා. මහ බැංකු අධිපති විසින් රූපවාහිණී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී කියපු විදිහට මේ විදිහට නිල සංචිත ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ මහ බැංකුව විසින් ණයක් ගෙවපු නිසා. 

මාසය තුළ මහ බැංකුව විසින් සිදු කළ වෙළඳපොළ මැදිහත්වීම් ගැන හරියටම දැනගන්න වෙන්නේ මහ බැංකුව විසින් අදාළ තොරතුරු ප්‍රසිද්ධියට පත් කළාට පසුවයි. දෙසැම්බර් මාසය තුළද ශුද්ධ වශයෙන් වෙළඳපොළෙන් යම් ඩොලර් ප්‍රමාණයක් මිල දී ගත්තා විය හැකියි. (පසු එකතු කිරීම: දෙසැම්බර් මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 208.8ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. ඒ අනුව, ඩොලර් මිලියන 500 ඉක්මවන මුදලක් මාසය තුළ ණය ගෙවීම වෙනුවෙන් යොදවා තිබෙනවා.)

වසර අවසන් වෙද්දී පවත්වා ගත යුතු සංචිත ප්‍රමාණය තියාගෙන වැඩිපුර තිබුණු සංචිත ණය පියවීම සඳහා යොදා ගත්තා වෙන්න පුළුවන්. එය එසේනම්, දෙසැම්බර් මාසය ඇතුළත මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වල සැලකිය යුතු වර්ධනයක් සිදු වී තිබිය යුතුයි. නොවැම්බර් මාසය අවසන් වන විට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,451ක්ව පැවතුණත්, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් තිබුණේ ඩොලර් මිලියන 313ක් පමණයි. අවසන් වශයෙන් අවශ්‍ය වන්නේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය වැඩි කර ගැනීමටයි. 

ගෙවුණු වසර ඇතුළත වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් වැය වනු ඇති බව මහ බැංකුව විසින් අපේක්ෂා කළ බවකුත් කියැවුනා. වාහන ආනයනය ප්‍රමාද වූ නිසා එම මුදල ඉතිරි වීමත්, ඒ නිසා වසර අවසානයේදී එම මුදල ණය පියවීම සඳහා යොදා ගනු ලැබීමත් සිදු වුනා විය හැකියි. 

පසුගිය 2023 වසර අවසානයේදී නිල සංචිත ප්‍රමාණය තිබුණේ ඩොලර් මිලියන 4,392 මට්ටමේ. මේ අනුව, පසුගිය වසරක කාලය තුළ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,699කින් ඉහළ ගොස් තිබෙනවා. එයින් අදහස් වන්නේ රටේ විදේශ විණිමය ඉපැයීම් සහ විදේශ ණය ගැනීම් වලින් විදේශ විණිමය වියදම් සහ ණය ආපසු ගෙවීම් සිදු කිරීමෙන් පසුව එපමණ මුදලක් ඉතිරි වී ඇති බවයි. 

පෙර (2023) වසර තුළ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,494කින් ඉහළ ගොස් තිබුණා. මේ අනුව, පසුගිය දෙවසර තුළ රටට පැමිණි විදේශ විණිමය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 4,193ක් සංචිත ලෙස මහ බැංකුවේ ඉතිරි වී තිබෙනවා.

Friday, January 3, 2025

අමුතු දොස්තර සහ ඇමති දොස්තර


කලපුව රෝහලේ ශීතකරණය කැඩිලා. ඉහළට දන්වලා කාලයක් වුනත් කැඩුණු ශීතකරණය ඒ විදිහටම තියෙනවා. ඒ නිසා, රෝගීන්ට අත්‍යවශ්‍ය ඇතැම් ඖෂධ වර්ග ශීත කර ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් නැහැ. මේ තත්ත්වය හමුවේ අමුතු දොස්තර තමන්ගේ සල්ලි වලින් කලපුව රෝහලට ශීතකරණයක් අරන් දෙනවා. ප්‍රශ්නය විසඳෙනවා.

ඔය සිද්ධිය වෙන්නේ මේ දවස් වල විකාශනය වෙන අමුතු දොස්තර ටෙලි නාට්‍යයේ. පසුව ඔය විදිහටම රෙදි සෝදන යන්ත්‍රයකුත් අරන් දෙනවා. 

සටහනට අදාළ නැති නිසා අමුතු දොස්තරගේ අනෙක් අමුතු වැඩ පැත්තකින් තියමු. ඔය ශීතකරණය රෝහලට අරන් දුන්න වෙලාවෙම මගේ ඔළුවට එක පාරටම ආවේ තව අවුරුදු කිහිපයකට පස්සේ ඔය ශීතකරණයට කුමක් වෙයිද කියන එක. 

අමුතු දොස්තර දිගටම කලපුව රෝහලේ ඉන්න එකක් නැහැ. මාරු වෙලා යන දවසක ඔය ශීතකරණය ගෙදර අරන් යන එකකුත් නැහැ. ඊට පස්සේ ශීතකරණයේ ඉරණම කුමක් වෙයිද? රෝහල් ඉන්වෙන්ට්‍රියේ ඔය ශීතකරණය තියෙනවද? ශීතකරණය කැඩුනොත් හදන්නේ කවුද?

සාමාන්‍යයෙන් ඔය වගේ කල් තබා ගත හැකි භාණ්ඩ රෝහල් වලට එක එක ගන්නේ නැහැ. එක පාරම විශාල ප්‍රමාණයක් මිල දී ගෙන රෝහල් වලට බෙදන එකයි කරන්නේ. එකම සමාගමකින් එකම වර්ගයෙන්. යම් කාලයකට සේවා කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන එකත් වෙනවා. 

ඊට පස්සේ වුනත් නඩත්තු කටයුතු කරන්න වෙනම කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලයට අදාළ ශීතකරණ මොඩල් එක ගැන විශේෂ පළපුරුද්දක් තියෙනවා. මොකද හැම රෝහලකම තියෙන්නේ ඔය එකම මොඩල් එක. ඒ මොඩල් එකේ නඩත්තුව සඳහා නිතර අවශ්‍ය වන අමතර කොටස් බොහොමයක් ඉන්වෙන්ට්‍රියක තියෙනවා.

අමුතු දොස්තර අරන් දුන්න ශීතකරණය කැඩුනොත් ඔය එක දෙයකින්වත් වැඩක් නැහැ. අමුතු දොස්තර අරන් දුන්න ශීතකරණය නිසා ඒ වෙලාවේ කලපුව රෝහලේ දැවෙන ප්‍රශ්නය විසඳුනත්, අන්තිමට ඔය ශීතකරණයම ප්‍රශ්න ගොඩකට හේතුවක් වෙන්න පුළුවන්. 

අමුතු දොස්තර අරන් දුන් ශීතකරණය හදිසියේ මතක් වුනේ ඇමති දොස්තර නලින්ද ජයතිස්සගේ කතාවක් ගැන මේ දවස් වල කෙරෙන විවේචන දැකලා. ඔය වගේ කතා ගැන මුළු සන්දර්භයම දිහා නොබලා පොඩි කොටසකින් පමණක් ලොකු නිගමන කරන්න අමාරුයි. කතාව කරන ස්වරූපයේ, අඩු වශයෙන් සමාජ ජාලා වල ප්‍රචාරය වන තෝරාගත් කොටස් වල, පැහැදිලි අවුල් තිබෙනවා. නමුත් මේ කියන කතාව පදනමක් තියෙන කතාවක්.

කවුරු හෝ කෙනෙක් තවත් කෙනෙකුට ස්වේච්ඡාවෙන් යමක් දෙනවා කියන්නේ දෙන දේ ගන්න කෙනා කට වහගෙන දෙන දේ දෙන විදිහට ගන්න අවශ්‍යයි කියන එක නෙමෙයි.  මුදල් හුවමාරුවක් සිදු වුනත් නැතත් මේ වගේ දෙයකදී සිදු වෙන්නේ ගනුදෙනුවක්. ගනුදෙනුවේ පාර්ශ්ව දෙකටම ගනුදෙනුව ගැන හෙට්ටු කරන්න, හෙට්ටු කරලා එකඟ වෙන්න සමාන අයිතියක් තියෙනවා. නිකම් දුන්නා කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ.

භාණ්ඩයකට අපි ඉංග්‍රීසි භාෂාවෙන් good කියා දෙනවා. ඒ good වචනයේම යහපත කියන අර්ථයත් තියෙනවා. අපිට තවත් කෙනෙකුට දෙන්න පුළුවන් හැම දෙයක්ම good කියන අර්ථදැක්වීමට අයිති වෙන්නේ නැහැ. සමහර දේවල් නිකම් දුන්නත් කවුරුවත් ගන්නේ නැහැ. ඒවා bads මිසක් goods නෙමෙයි. 

කුණු වගේ දේවල් බැහැර කරන්න මිලක් ගෙවන්න වෙනවා. ඔය විදිහට මිලක් ගෙවා බැහැර කරන්න වෙන්නේ කුණුම පමණක් නෙමෙයි. ශුද්ධ වත්කම් සෘණ පැත්තට ගිහින් තියෙන ශ්‍රීලන්කන් ගුවන් සේවය වගේ එකක් වුනත් කාට හෝ දෙනවානම් දෙන්න වෙන්නේ සල්ලිත් එක්කයි. එහෙම නැත්නම් එහි ණය ටික තියාගෙන. ඒ කියන්නේ bad කොටස තියාගෙන good කොටස පමණක් දෙනවා කියන එක.

සමහර වෙලාවට කෙනෙක් bad එකක් ලෙස සලකන දෙයක් තවත් කෙනෙකුට good එකක් වෙන්න පුළුවන්. අසරණ කමට හෝ වෙනත් හේතුවකට කුණු බක්කි වල තියෙන දේවල් එකතු කරන අයත් ඉන්නවානේ. ඒ වගේම, ගොඩක් අයට bad එකක් ලෙස පේන ශ්‍රීලන්කන් ගුවන් සේවය වගේ එකක් සමහර අයට good එකක් වගේ පේන්න පුළුවන්. ඒ නිසා, ඔය වගේ සමහර කුණු ගොඩවල් ක්ලීන් ශ්‍රී ලංකා වගේ ව්‍යාපෘති වලට අහු වෙන්නේ නැහැ.

ඔය හේතුව නිසාම තමන් නිකම් දෙන දෙයක් වෙන කෙනෙක් භාර ගත යුතුයි කියා හිතන්න තවත් කෙනෙකුට අයිතියක් නැහැ. දෙන පුද්ගලයා good එකක් සේ සැලකුවත් ගන්න පුද්ගලයාට එය bad එකක් වෙන්න පුළුවන්. මේ හේතුව නිසා මුදල් හුවමාරුවක් සිදු නොවන ගනුදෙනුවකදී වුනත් දෙපාර්ශ්වයේ එකඟතාවය ඉතාම වැදගත්. 

ලංකාවේ විවාහ උත්සව වැනි අවස්ථා වලදී සමහර අය තෑගි ලෙස සල්ලි දෙනවා. ගොඩක් අය විවිධ භාණ්ඩ තෑගී විදිහට දෙනවා. සමහර විට ඔය තෑගි පාර්සල් ලෙහා බලද්දී එකම වර්ගයේ භාණ්ඩම පහක් හයක් තිබෙනවා. මේ වෙනුවෙන් තෑගි දෙන පුද්ගලයා මුදල් වැය කරලා වුනත් තෑගි ලබන්නාට එහි ඒ වටිනාකමම නැහැ. උදාහරණයක් විදිහට එක එක විදිහේ මේස ලාම්පුම හත අටක් මොනවා කරන්නද? අඩු වශයෙන් එක වර්ගයේනම් ගැලපීමක් හරි තිබෙනවා. 

තෑගි විදිහට සල්ලි දුන් විට මේ ගැටලුව නැහැ. මුදල් ලබන තැනැත්තාට තමන්ගේ රුචිකත්වය අනුව කැමති දෙයක් මිල දී ගන්න පුළුවන්. ඒ නිසා දුන්න තෑග්ගේ වටිනාකම ලබන්නාට ඒ විදිහටම ලැබෙනවා.

සමහර අය අහන දෙයක් තමයි IMF එක එක පැත්තකින් ඉන්ධන, විදුලිය ආදිය සුබසාධනය කරන එකට විරුද්ධ වන අතරම අස්වැසුම වගේ සල්ලි බෙදන වැඩසටහන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි කියන එක. සුබසාධනය සඳහා වඩාත්ම ඵලදායී ක්‍රමය සල්ලි බෙදන එක.

ඉන්ධන, විදුලිය වගේ දේවල් සුබසාධනය කළාම එහි වාසිය ලබා ගත හැක්කේ ඒ දේවල් වැඩියෙන්ම පරිභෝජනය කරන අයටයි. ඒ අය බොහෝ විට සුබසාධනය කිඊමක් අවශ්‍යම අය නෙමෙයි. ඒ වගේම, සුබසාධනය අවශ්‍ය අයට අවශ්‍ය මොනවාද කියන එක වඩා හොඳින්ම දන්නේ ඒ අයම මිසක් ආණ්ඩුව නෙමෙයි. ඒ නිසාම, දෙන්නේ නිකම් කියලා ආණ්ඩුව විසින් දෙන දේ තීරණය කරන එක හැමවිටම හොඳම ක්‍රමය නෙමෙයි.

ඇමරිකාවේනම් විවාහ උත්සවයකට කලින් විවාහ වන යුවල විසින් තමන්ට අවශ්‍ය දේවල් ලැයිස්තුවක් හදනවා. තෑගි දෙන්න කැමති අයට කරන්න තියෙන්නේ ඒ ලැයිස්තුවේ තිබෙන දේවල් වලින් තමන්ට පුළුවන් දෙයක් අරන් දෙන එක. මේ වැඩෙන් අලුත් යුවලකට ජීවිතය පටන් ගන්න අවශ්‍ය ගොඩක් දේවල් තෑගි විදිහට ලැබෙනවා. පිගන්, කෝප්ප, ඇඳ රෙදි වගේ ඕනෑම දෙයක් ලැයිස්තුවට දමන්නේ තමන් විසින්ම නිසා කවුරු තෑගී දුන්නත් ලැබෙන්නේ තමන්ට අවශ්‍ය පාට. තමන්ට අවශ්‍ය මෝස්තරය. 

මේ වැඩෙන් එකම දේ කීප දෙනෙක් දෙන එක වැළකෙනවා. නොගැලපෙන දේවල් තෑගී ලෙස ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම තෑගි දෙන අයටත් දෙන්නේ මොනවද කියලා ඒ තරම් හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විවාහ උත්සවයෙන් පස්සේ කරන්න තියෙන්නේ තමන්ට අවශ්‍ය දේවල් වලින් කාගෙන්වත් තෑගි සේ නොලැබුණු දේවල් ටික පමණක් මිල දී ගන්න එකයි. සමහර විට ඔය වැඩේ දැන් ලංකාවෙත් වෙනවා වෙන්න පුළුවන්. 

මම හිතන්නේ ඇමති දොස්තර කියන්නෙත් ඔය කතාව. රෝහල් වලට තෑගි ලෙස විවිධ දේවල් පරිත්‍යාග කරන එක හොඳයි. නමුත් ඒ වගේ පරිත්‍යාගයකින් වඩාත්ම හොඳක් වෙන්නේ රෝහලට අවශ්‍යම දේ දෙන එකෙනුයි. ඒක දන්නේ පරිත්‍යාග කරන පුද්ගලයා නෙමෙයි. පරිත්‍යාගය අවශ්‍ය පුද්ගලයා. 

රටවල් වලට විදේශාධාර දෙද්දී වුනත් දැන් අනුගමනය කරන්නේ විදේශාධාර අවශ්‍ය රටේ ඉල්ලීම් අනුව ආධාර කරන ක්‍රමය. ලංකාව එපා කියපු ඩොලර් මිලියන 500ක MCC ආධාරය වුනත් දෙන්න හැදුවේ ලංකාව ඉදිරිපත් කරපු ව්‍යාපෘති යෝජනා දෙකක් ක්‍රියාත්මක කිරීමටයි. 

ගොඩක් අය පහසුවෙන්ම අමතක කර ඇතත්, ලංකාවේ ජාතික සෞඛ්‍ය සේවය මධ්‍යගත ලෙස සැලසුම් කර ඇති එකක්. ඒක එහෙම වුනේ මාලිමා ආණ්ඩුව බලය ගත්තට පස්සේ නෙමෙයි. හැමදාමත් තිබුනේ ඔය මධ්‍යගත ආකෘතිය. පළාත් සභා ආවට පස්සේ යම් විමධ්‍යගත කිරීමක් සිදු කර තිබුණත්, ප්‍රායෝගිකව තවමත් තියෙන්නේ ඊට පෙර තිබුණු මධ්‍යගත ක්‍රමයම තමයි.

ඔය මධ්‍යගත ආකෘතිය ඔය විදිහටම දිගටම පවත්වා ගත යුතුද කියන එක වෙනම දේශපාලනික කරුණක්. නමුත් කාලයක් තිස්සේම රෝහල් පරිපාලනය සිදු වන්නේ මධ්‍යගත ආකෘතියක් ඇතුළේ කියන එක කරුණක් ලෙස පිළිගත්තට පස්සේ කාට හෝ පරිත්‍යාගයක් කරන්න අවශ්‍යනම් එය කළ යුත්තේ මධ්‍යගත සැලසුමට අනුගත වන විදිහට කියන එක හරි. 

ලංකාවේ රෝහල් පරිපාලනය වගේම පාසැල් පරිපාලනය සිදු වෙන්නෙත් මධ්‍යගත ආකෘතියක් ඇතුළෙයි. නමුත් රෝහල් වලටත් වඩා පරිත්‍යාග වලින් දුවන්නේ පාසැල් පද්ධතිය. ඒ වැඩේ වෙන්නේ මධ්‍යගත ආකෘතියට පිටින් ඉතාම විමධ්‍යගත විදිහටයි. පාසැල් අතර විශාල සම්පත් විෂමතා ඇති වී තිබෙන්නේත් මේ හේතුව නිසා. රෝහල් හා අදාළව ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදය පාසැල් හා අදාළවද ඒ විදිහටම ක්‍රියාත්මක වෙයිද කියන එක බලා සිටිය යුතු දෙයක්.

Thursday, January 2, 2025

ආණ්ඩුවට පොල් ගහද්දී ආණ්ඩුව පොල් ගානවද?

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2024 දෙසැම්බර් මාසයේදී පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 168.90ක්. 2023 දෙසැම්බර් මාසයේදී එම මිල රුපියල් 111.67ක්. ඒ කියන්නේ වසරක කාලයක් ඇතුළත 51.24%ක මිල ඉහළ යාමක්!

මේ විදිහට වසරක් ඇතුළත පොල් මිල 51.24%කින් ඉහළ ගිහින් තියෙන්නේ රටේ සමස්ත මිල මට්ටම 1.7%කින් පහත වැටෙද්දී. ඒ කියන්නේ අවධමනයක් තියෙද්දී. දෙසැම්බර් මාසය තුළ පමණක් පොල් මිල 15.10%කින් ඉහළ ගිහින් තිබෙනවා. 

මීට සාපේක්ෂව, වසරක කාලය සහ මාසයක කාලය තුළ හාල් මිල ඉහළ ගොස් තියෙන්නේ පහත පරිදියි. 

පසුගිය වසරක කාලය:

රතු කැකුළු - 15.08%

සුදු කැකුළු - 11.25%

සුදු නාඩු - 8.81%

රතු නාඩු - 10.19%

සම්බා - 14.48%


පසුගිය මාසයක කාලය:

රතු කැකුළු - 5.77%

සුදු කැකුළු - 6.61%

සුදු නාඩු - 4.09%

රතු නාඩු - 4.91%

සම්බා - 1.63%

පොල් මිල වගේම හාල් මිලත් ඉහළ ගිහින් තිබුනත්, හාල් මිල ඉහළ යාමෙහි පොල් මිල ඉහල යාමේ පෙනෙන තරම්ම අමුත්තක් නැහැ. නමුත්, මේ මිල ඉහළ යාම් දෙකට ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාර වලින්.

හාල් මිල ඉහළ යාම සම්බන්ධව කර්මාන්තයේ අතරමැදියන්ට සෘජුව චෝදනා එල්ල කෙරෙනවා. ඊට හේතුව එම කර්මාන්තයේ අතරමැදියන් අතර පහසුවෙන් ඇඟිල්ල දික් කළ හැකි, ඇහැට පෙනෙන පුද්ගලයින් සිටීම. නමුත් පොල් කර්මාන්තයේ ඒ වගේ පහසුවෙන් ඇඟිල්ල දික් කර පෙන්විය හැකි අතරමැදියෝ නැහැ. ඒ නිසා, ඒකේ වැරැද්ද පටවලා තියෙන්නේ පැත්තක ඉන්න රිලවු මත. 

හාල් මිල ඉහළ යාමේ ප්‍රශ්නය වගේම පොල් මිල ඉහළ යාමේ ප්‍රශ්නයත් වසර හතරකට පමණ වරක් චක්‍රීය ලෙස ඇති වන, සාමාන්‍යයෙන් එකටම එන, ප්‍රශ්න දෙකක්. මේ ප්‍රශ්නයට ප්‍රධාන හේතුව කාලගුණ රටාවන්හි දැකිය හැකි චක්‍රීය විචලනයන් නිසා සැපයුම චක්‍රීය ලෙස විචලනය වීම. නමුත් ලංකාවේ හාල්, පොල් පරිභෝජනයේ ස්වභාවය අනුව ඔය දෙකේම දේශීය ඉල්ලුම බොහෝ දුරට නියතයි. 

ඉල්ලුම නියතව තියෙද්දී සැපයුම විචලනය වන කර්මාන්තයක ඉල්ලුම්-සැපයුම් පරතරයේ විචලනය වීම් අනුව මිල විචලනය වීම සාමාන්‍ය තත්ත්වයක්. ඉල්ලුමට සාපේක්ෂව සැපයුම අඩු වෙද්දී මිල වැඩි වෙනවා. ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වෙද්දී මිල අඩු වෙනවා. මිල වැඩි වෙද්දී පාරිභෝගිකයෝ කෑ ගහනවා. මිල අඩු වෙද්දී නිෂ්පාදකයෝ කෑ ගහනවා. කවුරු හෝ කෑ ගහන කණ්ඩායම එක්ක ඒ වෙලාවේ විපක්ෂයත් කෑ ගහනවා. 

ලංකාවේ සාමාන්‍ය පාරිභෝගිකයාට වගේම සුළු පරිමාණ ගොවීන්ටත් ඉල්ලුම හා සැපයුම අනුව මිල විචලනය වීම ගැන හොඳ අවබෝධයක් නැහැ. කිසිම දේශපාලන කඳවුරක් ඔවුන්ව දැනුවත් කරන්නෙත් නැහැ. ඒ වෙනුවට හැම විටම මෙන් කරන්නේ ආණ්ඩුව පැත්තට ඇඟිල්ල දික්කරන්න ඔවුන්ව පුහුණු කරන එක. ඒ නිසාම, මෙහි ආණ්ඩුව විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් තිබෙන බව මිනිස්සු හිතනවා.

වත්මන් ආණ්ඩුවේ ඉන්නේ මේ විදිහේ ප්‍රශ්න වෙළඳපොළ විසින් ස්වයංක්‍රීය ලෙස විසඳනු ලැබීමට එරෙහිව දිගින් දිගටම ජනතාව දැනුවත් කළ සහ සක්‍රිය රාජ්‍ය මැදිහත්වීම් හරහා පාරිභෝගිකයින්ට වගේම නිෂ්පාදකයින්ටත් සහන සැලසීමේ හැකියාව ගැන දිගින් දිගටම කතා කළ සහ දැනටත් කතා කරන කණ්ඩායමක්. ඒ නිසාම, හාල් පොල් මිල ගණන් ඉහළ යද්දී මිනිස්සු රාජ්‍ය මැදිහත්වීමක් අපේක්ෂා කරනවා.

ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම කාලයක් තිස්සේ හාල් කර්මාන්තයේ අතරමැදියන්ට චෝදනා කළ පිරිසක්. ඒ වගේම ඒ සම්බන්ධව යමක් නොකිරීම ගැන පෙර ආණ්ඩු වලට චෝදනා කළ පිරිසක්. ප්‍රශ්නයට හේතුව අතරමැදියන් කියා, ඇතැම් විට අවංකවම, තවමත් හිතන පිරිසක්. වෙළඳපොළ ගැන අවබෝධයක් නැති අයෙක් ඔය විදිහට හිතන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි.

හාල් කර්මාන්තයේදී මෙන් පොල් කර්මාන්තයේදී වැරැද්ද පැටවිය හැකි අතරමැදියන් සොයා ගන්න අමාරුයි. ඒ නිසා, වැරැද්ද පටවලා තියෙන්නේ රිලවු මත. නමුත් ප්‍රශ්නය තියෙන්නේ විපක්ෂ කණ්ඩායමකට ඔය විදිහට හේතුවක් ඉදිරිපත් කරලා ප්‍රශ්නය විසඳීමේ වගකීම ආණ්ඩුව පැත්තට තල්ලු කළ හැකි වුනත්, ආණ්ඩු බලය තිබෙන කණ්ඩායමකට එසේ කළ නොහැකි වීමයි. මිනිස්සුන්ට විසඳුම් මිසක් හේතු ඉදිරිපත් කිරීම් වලින් වැඩක් නැහැ. 

මේ හේතුව නිසා හාල් මිල හා පොල් මිල මත පදනම්ව බොහෝ අය ආණ්ඩුවට පොල් ගහනවා. තව සමහර අය ආණ්ඩුව පොල් ගානවද කියලත් අහනවා. 

පැහැදිලි ලෙසම ලංකාවේ රිලා ප්‍රශ්නයක් තිබෙනවා. ඉත්තෑ, මොණර ආදී ප්‍රශ්නත් තිබෙනවා. ඒ ප්‍රශ්න විසඳිය යුතු ප්‍රශ්න. නමුත් වත්මන් හාල් මිල ඉහළ යාමට හේතුව අතරමැදියන් නොවන්නාක් මෙන්ම පොල් මිල ඉහළ යාමට හේතුව රිලා ප්‍රශ්නයද නෙමෙයි. ඒ වගේම, මැතිවරණ වලින් පස්සේ එක පාරටම රටේ රිලා ගහණය වැඩි වුනේ නැහැ. මොකද මැතිවරණ ප්‍රචාරණයට හෝ ඡන්දය දමන්න කියලා පිටරටින් රිලවු ආවෙවත්, ඇවිත් ලංකාවේ නැවතුනේවත් නැහැනේ. ඔය ඉන්නේ මැතිවරණ වලට කලිනුත් රටේ හිටපු රිලවුම තමයි. 

ආණ්ඩුව විසින් පොල් මිල ඉහළ යාමේ ප්‍රශ්නය නිෂ්පාදන ප්‍රශ්නයක් ලෙස හඳුනා ගන්නා බව පේනවා. නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කළ යුතු දේවල් කළ යුතු වුවත්, මේ ප්‍රශ්නය නිෂ්පාදනය අඩු වීමේ ප්‍රශ්නයක් නෙමෙයි. අණ්ඩර දෙමළයක් මෙන් එක පාරට පෙනී යා හැකි වුවත්, යම් දුරකට මෙය නිෂ්පාදනය වැඩි වීම නිසා ඇති වූ ප්‍රශ්නයක්. ඒ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්.

මේ සමඟ පළ කෙරෙන කෘතීම බුද්ධිය උපයෝගී කරගෙන හදා තිබෙන පොල් ගස් දෙකක රූපය සමාජ ජාලා වල සංසරණය වූ එකක්. එහි සඳහන් පරිදි "සීයා යද්දී" පොල් ගස් තිබිලා තියෙන්නේ ඔය විදිහටයි. මෙයින් කියන්න හදන්නේ මේක "සීයා" දීලා ගිය ප්‍රශ්නයක් බවයි. 

ඔය කතාව කියන්නේ සමච්චලයට බව ඉතාම පැහැදිලියි. එහි කියන්න හදන දෙය "සීයා යද්දී" පොල් ගස් තිබුණේ ඔය විදිහට නෙමෙයි කියන එකයි. හැබැයි ඇත්තටමනම් සීයාගේ කාලයේ පොල් ගස් ඔය විදිහට නොතිබුණත් සීයාගේ අවුරුදු දෙක ඉතිහාසයේ වැඩිම පොල් අස්වැන්නක් ලැබුණු අවුරුදු දෙකක්. 

පහත තිබෙන්නේ මහ බැංකුවේ දත්ත අනුව, පසුගිය අවුරුදු දහයක කාලයේ ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදිතය පොල් ගෙඩි මිලියන වලින්.

2014 - 2,870

2015 - 3,056

2016 - 3,011

2017 - 2,450

2018 - 2,623

2019 - 3,086

2020 - 2,792

2021 - 3,120

2022 - 3,391

2023 - 3,170

ඔය අවුරුදු දහයක කාලය ඇතුළත වැඩිම පොල් අස්වැන්නක් ලැබී තියෙන්නේ 2022දී. දෙවෙනි වැඩිම අස්වැන්න 2023දී.

මේ විදිහට සීයාගේ කාලයේදී පොල් අස්වැන්න වැඩි වුනේ සීයාගේ පිං මහිමයෙන් කියලාවත්, සීයා කෙමක් කරපු නිසා කියලාවත් මම කියන්නේ නැහැ. පොල් අස්වැන්න වැඩි වුනේ අඩු වශයෙන් සීයාගේ ආණ්ඩුවෙන් කරපු විශේෂ දෙයක් නිසාවත් නෙමෙයි. තනිකරම මෙන්, ආණ්ඩුවකට පාලනය කළ නොහැකි, ස්වභාවික හේතු නිසා. හැබැයි කරුණක් ලෙස එම වසර දෙකේදී පොල් අස්වැන්න විශාල ලෙස ඉහළ ගියා. ඔය අවුරුදු දෙකේදීත් රටේ රිලවු හිටියා. 

දැන් පොල් අස්වැන්න අඩු වී තිබෙන්නේත්, මේ ආණ්ඩුවේ හෝ කලින් පැවැති ආණ්ඩුවේ වැරැද්දක් නිසා නෙමෙයි. රිලා ප්‍රශ්නය නිසාත් නෙමෙයි. වසර 3-4කට පමණ වරක් සිදු වන කාලගුණ රටාවන්ගේ චක්‍රීය විචලන වල බලපෑම නිසා.  2015/16, 2019, 2022/23 පොල් අස්වැන්න වැඩියි. 2014, 2017, 2020 වගේ අවුරුදු වල පොල් අස්වැන්න අඩුයි. 2024 පොල් අස්වැන්න අඩු වෙන අවුරුද්දක්. පොල් අස්වැන්න අඩු වෙද්දී මිල ඉහළ යනවා. ඔය චක්‍රයම හාල් වලටත් බලපානවා.

පොල් අස්වැන්න වෙනස් වී සැපයුම අඩු වැඩි වෙද්දී දේශීය පොල් ඉල්ලුම ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. පහත තිබෙන්නේ දේශීය පොල් පරිභෝජන ඉල්ලුම පොල් ගෙඩි මිලියන වලින්.

2014 - 1.830

2015 - 1,874

2016 - 1,787

2017 - 1,656

2018 - 1,794

2019 - 1,807

2020 - 1,826

2021 - 1,833

2022 - 1,848

2023 - 1,850

වාර්ෂික පොල් ඉල්ලුමේ සාමාන්‍ය අගය පොල් ගෙඩි මිලියන 1,810ක්. මෙහි සම්මත අපගමනය පොල් ගෙඩි මිලියන 60ක් පමණයි. මීට සාපේක්ෂව වාර්ෂික පොල් සැපයුමේ සාමාන්‍ය අගය පොල් ගෙඩි මිලියන 2,957ක් වුවත් සම්මත අපගමනය පොල් ගෙඩි මිලියන 278ක්. ප්‍රශ්නයේ මුල තියෙන්නේ ස්වභාවික හේතු නිසා සිදු වන ඔන්න ඔය විචලනය. 

ලංකාවේ ජනතාව, විශේෂයෙන්ම සිංහල ජනතාව, සියවස් ගණනක් තිස්සේ පොල් ආහාරයට ගන්නවා. ලංකාව ඒක පුද්ගල පොල් පරිභෝජනය ඉහළම රටක්. ඒ වගේම, ලංකාවට කවදාවත් පරිභෝජනය පිණිස පොල් ආනයනය කරන්න සිදු වී නැහැ. රටේ පොල් නිෂ්පාදනය හැමදාමත් පරිභෝජන අවශ්‍යතාවයට වඩා ඉහළින් තිබුණා.

ලංකාවේ බොහොමයක් ගෙවල් වල, නාගරික ප්‍රදේශ වල පවා, අඩු වශයෙන් පොල් ගහක් හරි තියෙනවා. පොල් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් සිදු වෙන්නේ කුඩා පොල් ඉඩම් වලයි. ගෙදර පොල් ගහක් හෝ කීපයක් තිබෙන අය සාමාන්‍යයෙන් තමන්ගේ ගෙදර ගස් වල පොල් පරිභෝජනය සඳහා ගන්නවා. කඩෙන් පොල් මිල දී ගන්නේ මදි පාඩුවට. 

ගෙදර පොල් ගස් කීපයක් පමණක් තිබෙන ගොඩක් අය පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා පොල් තිබුනා කියලා තමන්ගේ පොල් විකුණන්නේ නැහැ. පොල් නොකඩා පොල් වැටෙනකම් සිටීම, වැටෙන පොල් වේලෙන්න ඇරීම, ඉඳහිට කුරුම්බා වල්ලක් බා ගැනීම වගේ දේවල් වලින් සැපයුම සහ පරිභෝජන අවශ්‍යතාවය අතර වෙනස තුලනය වෙනවා. කාලයකට කලින්නම් ගෙවල් වලම තෙල් හිඳින වැඩේත් සිදු වුනා.

පොල් අස්වැන්න අඩු වෙද්දී කුරුම්බා බාන එක වගේ දේවල් සීමා වෙනවා. තැඹිලිත් පොල් වෙන්න අරිනවා. යාන්තම් පැහෙද්දී පොල් කඩවනවා. ඔය වගේ දේවල් කරලා සැපයුම අඩු වෙන එක යම තරමකින් පාලනය කරන්න පුළුවන්. පරිභෝජනය වුනත් යම් තරමකින් සීමා කරන්න පුළුවන්. 

ලංකාවේ ගොඩක් ගෙවල් වල ඔය විදිහට නිවාස ඒකකය ඇතුළේම පොල් ඉල්ලුම සහ සැපයුම සෑහෙන මට්ටමකට තුලනය වන නිසා ඒ ගෙවල් වලින් කඩෙන් පොල් මිල දී ගන්න තිබෙන ඉල්ලුම සීමිතයි. එහෙත් මේ පාරිභෝගික කණ්ඩායමට අමතරව හැමදාම කඩෙන් පොල් ගන්න වෙනම පිරිසක් ඉන්නවා. 

පොල් අස්වැන්න එක සීමාවක් ඉක්මවා පහත වැටුණු විට වෙන්නේ අර සාමාන්‍යයෙන් කඩෙන් පොල් මිල දී නොගන්න හෝ අඩුවෙන් මිල දී ගන්න විශාල පිරිසට එක වරටම කඩේ පොල් අවශ්‍ය වීම. මේ හේතුව නිසා, පොල් අස්වැන්න යම් සීමාවක් ඉක්මවා අඩු වුනාට පස්සේ වෙළඳපොළේ පොල් ඉල්ලුම එක වරම කිහිප ගුණයකින් ඉහළ යනවා. ඒක වෙන්නේ පොල් පරිභෝජනයේ ඉහළ යාමක් නැතිවයි. බොහෝ විට පරිභෝජනය අඩු වෙන අතරදී. 

මේ විදිහට පොල් ඉල්ලුම එක පාරටම ඉහළ යන්නේ ලොකු පොල් වතු වලත් අස්වැන්න අඩු වෙලා වෙළඳපොලට එන පොල් සැපයුම අඩු වෙලා තිබෙන වෙලාවකයි. එක පැත්තකින් සැපයුම අඩු වෙද්දී අනෙක් පැත්තෙන් ඉල්ලුම ඉහළ යනවා. මෙහි ප්‍රතිඵලය මිල එකවර විශාල ලෙස ඉහළ යාමයි. 

මෙය වාණිජ කෘෂිකර්මයට සාපේක්ෂව ගෘහාශ්‍රිත කෘෂිකර්මය ව්‍යාප්තව තිබීමේ අතුරුපලයක් කියා කියන්නත් පුළුවන්. ගෙවල් වල පොල් ගස් හිටවා නොගෙන හැමෝම කඩෙන්ම පොල් මිල දී ගන්න පුරුදු වී සිටියානම් මේ තරමේ මිල විචලනයක් සිදු වන්නේ නැහැ. ගෘහාශ්‍රිත කෘෂිකර්මයේදී පොල් ගස් වලට සාත්තු කිරීමක් නොකෙරෙන නිසා මෙහි බලපෑම තවත් වැඩියි. (මෙය ගෘහාශ්‍රිත කෘෂිකර්මය අධෛර්යමත් කිරීම සඳහා දෙන උපදෙසක් නෙමෙයි). 

ඔය චක්‍රය අනෙක් පැත්තට යද්දී ගෙවල් වලින් එන පොල් ඉල්ලුම ටිකෙන් ටික අඩු වෙලා යනවා. ගෙදර ගහේ පොල් හැදෙද්දී කඩෙන් පොල් මිල දී ගන්න අවශ්‍ය නැහැ. හැමදාම කඩෙන් පොල් මිල දී ගන්න පාරිභෝගිකයෝ ටික පමණක් ඉතිරි වෙනවා. අනෙක් පැත්තෙන් පොල් සැපයුම ඉහළ ගිහින්, අතිරික්තයක් හැදිලා පොල් මිල පහත වැටෙනවා.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව, 2020 දෙසැම්බර් මාසයේ අවසාන සතියේදී මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 96.67ක්. නමුත් 2019 දෙසැම්බර් මාසයේ අවසාන සතියේදී එම මිල 56.75ක් පමණයි. ඒ කියන්නේ වසරක් ඇතුළත 70.6%ක මිල ඉහළ යාමක්. 

නමුත් 2023 දෙසැම්බර් මාසයේ අවසාන සතියේදී මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 105.71ක් පමණයි. ඒ කියන්නේ 2020-2023 අතර වසර තුනක කාලය ඇතුළත පොල් මිල ඉහළ ගිහින් තියෙන්නේ 9.4%කින් පමණයි. ඒ ඔය අවුරුදු තුන ඇතුළත සාමාන්‍ය මිල මට්ටම 83.3%කින් ඉහළ යද්දී. ඒ කියන්නේ ඔය වසර තුනක කාලය ඇතුළත පොල් මිල නාමිකව 9.4%කින් වැඩි වී තිබුණත්, අනෙක් භාණ්ඩ හා සේවා මිල ගණන් එක්ක බලද්දී විශාල මිල අඩු වීමකුයි සිදු වෙලා තියෙන්නේ.

මේකට හේතුව කලින් කියපු "සීයාගේ කාලයේදී" සිදු වූ නිෂ්පාදනය ඉහළ යාම. නමුත් එය වාරිකව සිදු වූ දෙයක් පමණයි. දැන් නිෂ්පාදනය සාමාන්‍ය මට්ටමට පහත වැටෙද්දී පොල් මිල රටේ පැවති උද්ධමනය හා ගැලපෙන මට්ටමකට ඉහළයමින් තිබෙනවා. මේ වැඩේ කෙටි කාලයක් තුල සිදු වෙන නිසා පාරිභෝගිකයින්ට දැනෙනවා. නමුත් ඔය වැඩිවීම දිගින් දිගටම සිදු වෙන එකක් නෙමෙයි. යම් මට්ටමකට වැඩි වෙලා ස්ථාවර වුනාට පස්සේ තවත් අවුරුදු තුනක් පමණ ඒ මට්ටමේ තියෙයි.

හාල් මිල විචලනය වෙන්නෙත් ඔය විදිහටම තමයි. ඒක අතරමැදියන් විසින් සැලසුම් කර කරන මිල වැඩි කිරීමක් නෙමෙයි. 

රිලවු ප්‍රශ්නය විසඳිය යුතු ප්‍රශ්නයක් වුනත් ඒ ප්‍රශ්නය විසඳුවා කියලා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඇතැම් විට ප්‍රශ්නය තවත් උග්‍ර වෙන්න වුනත් පුළුවන්. 

රිලවු නිසා සිදු වන අස්වනු හානිය පාලනය වුනොත් නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඉහළ යයි. එය හොඳ දෙයක්. එහෙත් ඒ නිසා සැපයුමේ සිදු වන කාලික විචලනයන් නවතින්නේ නැහැ. නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය වැඩි වෙද්දී ඊට අනුරූපව විචලනයන්ද වැඩි වෙන එකයි සාමාන්‍යයෙන් වෙන්නේ. චක්‍රයේ අස්වනු ඉහළ යන අවස්ථාවේදී මිල දැනටත් වඩා පහත වැටෙයි. ඒ නිසාම, අනෙක් අදියරේදී එකවරම දැනටත් වඩා මිල ඉහළ යයි. මිල අඩු වෙන එක ගැන කවුරුවත් කතා කරන එකක් නැහැ. නමුත් එක වර මිල වැඩි වෙද්දී නැවතත් ඔය දැන් කෙරෙන සාකච්ඡාව මතු වෙයි.

දැනට තිබෙන හාල් ප්‍රශ්නය වගේම පොල් ප්‍රශ්නයත්, ආණ්ඩුව කිසිවක් නොකළත්, ස්වභාව ධර්මය සහ වෙළඳපොළ විසඳීමට නියමිතව තිබුණු ප්‍රශ්න. ඒ සඳහා යම් කාලයක් යයි. සමහර විට තව මාස හයක් පමණ ගත වෙන්න පුළුවන්. ඊට පස්සේ තව වසර දෙක තුනකට හාල් මිල හෝ පොල් මිල මාතෘකා බවට පත් වීම නවතියි. 2028 පමණ වෙද්දී නැවතත් මේ ප්‍රශ්න දෙක උඩට එයි. ඕකට හොඳම විසඳුම බොරු බිල්ලෝ මවන්නේ නැතිව වෙළඳපොළ යාන්ත්‍රණය ගැන ජනතාව දැනුවත් කරන එක. එහෙම කළොත් අඩු වශයෙන් ඊළඟ චක්‍රයේදී මිනිස්සු මේ නැති ප්‍රශ්නය නැති ප්‍රශ්නයක් බව තේරුම් ගනියි. 



Wednesday, January 1, 2025

ක්ලීන් ශ්‍රී ලංකා 2025...

 

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුත් අවුරුද්ද පටන් ගන්නේ "ක්ලීන් ශ්‍රී ලංකා" තේමාව ඉදිරිපත් කරමිනුයි. වචනාර්ථය පමණක් සැලකුවහොත්, මෙයින් අදහස් වන්නේ භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක්. එහෙත්, මෙම තේමාවෙන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ ඊට වඩා පුළුල් පිරිසිදු කිරීමක් ගැන බව පැහැදිලියි.

භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක් පිළිබඳ අදහස අලුත් එකක් නෙමෙයි. මෙම අදහස ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත වන්නේ රටේ මධ්‍යම පංතිය ප්‍රසාරණය වීමට සමාන්තරවයි. 

ලංකාවේ මධ්‍යම පංතිය ප්‍රසාරණය වෙද්දී, ඊට පෙර රටේ සුළු පිරිසකට පමණක් කළ හැකි දෙයක් වූ, සංවර්ධිත රටක සංචාරය කිරීමේ අවස්ථාව බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ලැබුණා. ඒ වගේම, ස්ථිර පදිංචිය පිණිස සහ රැකියා පිණිස විදේශගත වීම් ඉහළ ගියා. සමාජ ජාලා ව්‍යාප්ත වීමත් සමඟ එවැනි අවස්ථා නොලද තවත් බොහෝ දෙනෙකුටද රටෙන් පිටත ලෝකය ලංකාවේ සිටම ඇස් දෙකින් දැක ගැනීම සඳහා අවස්ථා උදා වුනා.

අප කාලයක් ජීවත් වූයේ පාරවල් අයිනේ තැන් තැන් වල කුණු ගොඩ ගැසී තිබුණු, පොදු ස්ථාන බොහොමයක්  පිරිමින්ගේ විවෘත වැසිකිලි වූ ශ්‍රී ලංකාවකයි. කලකට පෙර මා පළමු වරට සිංගප්පූරුවට ගොඩ බසිද්දී ලංකාව සහ එරට අතර වෙනස පැහැදිලි ලෙස දෘශ්‍යමාන වන්නට පටන් ගත්තේ ගුවන් තොටුපොලේදීමයි. ගුවන් තොටුපොළෙන් එළියට පැමිණ රට ඇතුළට යද්දී දිගින් දිගටම පෙනුනේ මේ වෙනසයි. 

නමුත් දැන් ලංකාව සහ වෙනත් සංවර්ධිත රටක් අතර ඒ තරමේම වෙනසක් නැහැ. රට භෞතික වශයෙන් පිරිසිදු තැනක් බවට පත් කිරීම සඳහා ආණ්ඩු විසින් වරින් වර දියත් කළ වැඩ සටහන් මෙන්ම ජනතාවගේ ආකල්ප ක්‍රමයෙන් වැඩි දියුණු වීමද මේ සඳහා හේතු වුනා. මේ වෙනස සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලැබුණු දායකත්වයද අමතක කළ නොහැකියි. 

දශක ගණනකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව ලංකාව භෞතිකව බොහෝ පිරිසිදු තැනක් වුවත්, කිසිසේත්ම මේ අතින් අංග සම්පූර්ණ තැනක් නෙමෙයි. දැනට පවතින තත්ත්වය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා රජයේ මෙන්ම සමස්ත ජනතාවගේ ආකල්ප වෙනසක් අවශ්‍යයි. 

මේ ආණ්ඩුව බලය ඉල්ලද්දී "පාර්ලිමේන්තුව සුද්ද කිරීම" ගැන කතා කළා. එයින් අදහස් කළේ හොරුන් නොවන අය පාර්ලිමේන්තුවට පත් කර යැවීමයි. පාර්ලිමේන්තුවේ සිටි හැම දෙනෙක්ම හොරෙක් ලෙස හැඳින්වීම නිවැරදි නොවෙනත්, පාර්ලිමේන්තුවේ හොරුන් සිටි බව බොරුවක් නෙමෙයි. එහෙත්, බොහෝ විට සිදු වුනේ හොරුන්ව පාර්ලිමේන්තුවට පත් කර යැවීමකට වඩා පාර්ලිමේන්තුවට පත් කර යවනු ලැබූ අය පසුව හොරුන් බවට පත් වීමකුයි. ඇතැම් විට මෙසේ දේශපාලනඥයින් හොරුන් බවට පත් වීම ඊට පෙර ප්‍රාදේශීය දේශපාලන අදියර වලදී සිදු වුනා.

ජනතාවගෙන් ඉල්ලා සිටි පරිදිම "හොරුන් වීමේ ඉඩක් නැති" කණ්ඩායමක් ජනතාව විසින් පාර්ලිම්න්තුවට පත් කළ යැවුවා. ඒ අනුව, දැන් පාර්ලිමේන්තුව "සුද්ද වී" තිබිය යුතුයි. 

පාර්ලිමේන්තුව ඇතුළු රජයේ ඉහළ ස්ථරය "සුද්ද වී" තිබීමේ ප්‍රධාන වැදගත්කම වනුයේ මෙම ඉහළ ස්ථරයට බැඳියා පිළිගැටුම් නොමැතිව සමස්ත රාජ්‍ය යාන්ත්‍රනය පිරිසිදු කිරීම සඳහා නායකත්වය දීමට හැකි වීමයි. මම හිතන්නේ "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩ සටහනේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ මේ කාර්යයට අත ගැසීම බවයි.

රාජ්‍ය යාන්ත්‍රණයේ කුණු ඉවත් කිරීම මෙම ආණ්ඩුවෙන් රටේ බොහෝ දෙනෙකු විසින් අපේක්ෂා කළ සහ අපේක්ෂා කරන කාර්යයක්. ඒ වගේම, රටේ පොදු ඉල්ලීමක්. තමන් හැර අනෙක් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ආකල්ප වෙනස් කිරීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කැප වී කටයුතු කරන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ඉන්නවා. ඒ ගැන අත්දැකීම් ලබා ගැනීම සඳහා ත්‍රිරෝද රථයකට ගොඩවීම ප්‍රමාණවත්. 

මැතිවරණ ජයග්‍රහණ වලට පෙර අනුර කුමාර දිසානායක විසින් කිහිප වරක්ම නැවත නැවත කියා තිබෙන. දැන් එතරම් කතා නොකෙරෙන, කරුණක් මා නැවත මතක් කරන්නට කැමතියි.

"කවදා හරි අපි බලයට පත් වුනොත් එය එසේ වෙන්නේ රටේ ජනතාවගේ විශාල ආකල්ප වෙනසක් සිදු වීමෙන් පසුවයි. ඒ කියන්නේ, ඒ වෙද්දී ඉන්නේ දැන් ඉන්න ජනතාව නෙමෙයි. වෙනම ජනතාවක්. ඒ නිසා, දැන් කළ නොහැකි දේ ඒ ජනතාව සමඟ කළ හැකියි."

මෙසේ මා මතකයෙන් ලියන්නේ අදහස පමණයි. හරියටම වචන මට මතක නැහැ. 

අරගලය සමයේ ජනතාවගේ යම් ආකල්ප වෙනසක් ප්‍රදර්ශනය වුනත්, දැන් ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ජනතාවක් කියා මා හිතන්නේ නැහැ. මේ ඉන්නේත් බොහෝ දුරටම කලින් ලංකාවේ සිටි ජනතාවමයි. එය එසේ නොවන්නේනම් ජනාධිපති අනුර කුමාර දිසානායකට "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩ සටහනක් දියත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. 

එක්කෝ අනුර කුමාර දිසානායකගේ දේශපාලන කියැවීම වැරදුනා. එසේ නැත්නම් ඔහු තමන්ගේ කණ්ඩායමට මේ තරම් ඉක්මණින් බලය ලැබේයැයි විශ්වාස කළේ නැහැ. බොහෝ විට සිදු වුනේ දෙවැන්න විය හැකියි. කෙසේ වුවත්, දැන් අනුර කුමාර දිසානායක ජනාධිපති වී සිටින අතර ඔහුගේ ආණ්ඩුව විසින්  "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන දියත් කර තිබෙනවා.

රාජ්‍ය සේවය "ක්ලීන් කිරීම" සඳහා ආණ්ඩුවේ පැත්තෙන් කළ හැකි දේ බොහොමයක් තිබෙනවා. මෙය කළ යුත්තේ නීති හා චක්‍රලේඛ වලට පිටින් කටයුතු කිරීම සඳහා රාජ්‍ය සේවකයින් හෝ ජනතාව පෙළඹවීම මගින් නෙමෙයි. අවශ්‍ය වෙනස්කම් නිසි පරිදි කිරීමෙන්. එහෙත්, එවැනි වෙනස්කම් සිදු නොකර කළ හැකි දේවල්ද බොහෝ තිබෙනවා.

ලංකාවට බ්‍රිතාන්‍යයෙන් උරුම වූ අතිශයින්ම ධුරාවලිගත රාජ්‍ය ආකෘතිය දැන් බ්‍රිතාන්‍යයයේද නැති අකාර්යක්ෂම ක්‍රමයක්. ලංකාවේ රාජ්‍ය ආයතනයකට සුළු වැඩක් කරගන්නට ගියත් ඒ සඳහා නිලධාරීන් ගණනාවකට සම්බන්ධ වීමට සිදු වෙනවා. ආකෘති පත්‍රය ලබා දීමට එක් කෙනෙක්, එය භාර ගැනීමට තවත් කෙනෙක්, මුදල් ගෙවීමට වෙනම කවුන්ටරයක් ආදී වශයෙන්. මේ ක්‍රමවේදය තුළ කිසිදු තනි නිලධාරියෙකුට අදාළ කටයුත්ත කාර්යක්ෂම ලෙස කිරීම පිළිබඳ වගවීමක් නැහැ. 

බොහෝ සංවර්ධිත රටවල දැන් දැකිය හැක්කේ පාරිභෝගිකයා කේන්ද්‍රකරගත් රාජ්‍ය සේවයක්. එහිදී එක් පාරිභෝගිකයෙකු වෙනුවෙන් වගකීම ගන්නා නිශ්චිත නිලධාරියෙක් ඉන්නවා. රාජ්‍ය සේවකයින්ගේ කාර්ය සාධනය වාස්තවික ලෙස සංසන්දනය කිරීමද පහසුයි. දැනටද රාජ්‍ය සේවය තුළ කාර්ය සාධනය පරීක්ෂා කෙරෙන ක්‍රමවේද හඳුන්වා දී ඇතත් ප්‍රායෝගිකව එය සිදු වන්නේ ඉහළ නිලධාරියාගේ රුචි අරුචිකම් මත පදනම්වයි. 

රාජ්‍ය ආදායම් ගැන කතා කරද්දී බදු පැහැර හරින්නන් ගැන ලොකුවටම කතා වෙතත්, ඒ සඳහා අදාළ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් දායක වන ආකාරය ගැන කතා කෙරෙන්නේ අඩුවෙන්. ආණ්ඩුවක් මේ වගේ දේවල් වලට අත ගහන එක දැලි පිහියෙන් කිරි කෑමක්. 

ආණ්ඩුවක පැවැත්ම රාජ්‍ය ආදායම් මත තීරණය වෙනවා. රාජ්‍ය ආදායම් එම ආදායම් එකතු කරන ආයතන සහ නිලධාරීන් මත තීරණය වෙනවා. ඒ නිසා, මෙවැනි ආයතන "සුද්ද කරන්නට යාම" භයානක අවදානමක් ගැනීමක්. මෙවැන්නක් කළ හැක්කේ මේ ආණ්ඩුව වැනි ආණ්ඩුවකටම පමණයි. ඒ වගේම, හරියට කළ හැකිනම්, ඉතාම ප්‍රතිඵල දායක අවදානම් ගැනීමක් සහ දිගුකාලීන දේශපාලන ආයෝජනයක්. 

යුක්තිය පසිඳලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම කියන්නේත් විශාල "සුද්ද කිරීමක්" අවශ්‍ය අංශයක්. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආණ්ඩුවේ කැප වීමයි. ජනතාව විසින් "පාර්ලිමේන්තුව සුද්ද කර" දී ඇති මේ මොහොත තරම් ඒ සඳහා සුදුසු තවත් මොහොතක් නැහැ.

ආර්ථික සංවර්ධනය ගැනනම් කතා කරන්න වෙන්නේ තරමක් වෙනස් ප්‍රවේශයකිනුයි. මේ ආණ්ඩුවටම සම්බන්ධ අය කියපු දෙයක් ලෙස මතකයේ ඇති දෙයක් වන්නේ "අධ්‍යාපනය තුළින් ආර්ථික සංවර්ධනය" යන්නයි. කිවුවේ කවුද කියලා අහන්න එපා. මම ඔය වගේ දේවල් සංරක්ෂණය කරන්නේ නැහැ. 

"ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය අධ්‍යාපනය" ගැන කතා කරනවානම් ඔය කතාව සම්පූර්ණ ඇත්ත. අධ්‍යාපනය ලබා දීමේ කාර්යය වඩා සාර්ථක වන්නේ ගුරුවරයා පිළිබඳව ශිෂ්‍යයෙකුගේ විශ්වාසය වැඩි වන තරමටයි. මේ මොහොතේ විශේෂත්වය වන්නේ "ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය අධ්‍යාපනය" අවශ්‍ය පිරිස් ආණ්ඩුව සමඟම සිටීමයි. මෙතෙක් "ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය අධ්‍යාපනය" ලබා ගන්නට මැලි වූ බොහෝ දෙනෙකු තෙමසකට පෙර සිදු වූ දේශපාලන වෙනසින් පසුව එම අධ්‍යාපනය ලබා ගනිමින් සිටිනවා. 

"ක්ලීන් ශ්‍රී ලංකා" ප්‍රතිඥාවේ සඳහන්ව ඇති පරිදිම, ආර්ථික සංවර්ධනය සඳහා "රටක් ලෙස අපට මග හැරුණු සහජීවනය" නැවත ගොඩ නගා ගැනීමට අවශ්‍ය වෙනවා. අනෙකාට වෛර කිරීමේ දේශපාලනය වෙනුවට අනෙකාගේ දියුණුව අගය කරන ආකල්ප වෙනසක් ලංකාවට අවශ්‍ය වෙනවා. අනෙකාගේ ලාබ වලට ඊර්ෂ්‍යා කරන දේශපාලනය වෙනුවට අනෙකාගේ ලාබ ලැබීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ආකල්ප වෙනසක් ලංකාවට අවශ්‍ය වෙනවා. රටක් ලෙස ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ එවිටයි.

ලංකාවේ ආර්ථික සංවර්ධනයට ප්‍රධාන බාධාවක්ව පවතින වෙළඳපොළ විරෝධී ආකල්ප නමැති කුණු ගොඩ ඉවත් කර "ක්ලීන් කිරීම" පහසු කාර්යයක් නෙමෙයි. මේ කුණු ගොඩ ඉවත් කළ හැකි හැකි එක් ක්‍රමයක් වන්නේ වෙළඳපොළ විරෝධී ක්‍රියාමාර්ග අනුගමනය කර ඒවායේ ප්‍රතිවිපාක වෙළඳපොළ විරෝධීන්ට අත්දැකීමෙන්ම දැනගන්නට ඉඩ සැලැස්වීමයි. වෙළඳපොළ විරෝධී ආකල්ප සමඟ කාලයක් ජීවත් වී ඇති, වියුක්ත ලෙස යමක් තේරුම් ගැනීමේ හැකියාවක් නොමැති, අයට තැත් වරද ක්‍රමයට නිවැරදි දේ අවබෝධ කරගන්නට ඉඩ සැලැස්වීම දිගුකාලීන ආර්ථික සංවර්ධනය සඳහා ඒ තරම්ම නරක ප්‍රවේශයක් නෙමෙයි. 

ලංකාව දැනට පවතින තත්ත්වය අනුව තැත් වරද ක්‍රමයට සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පරීක්ෂාවට ලක් කළ නොහැකියි. එවැන්නක් කිරීම සඳහා උත්සාහ කළහොත් එය කෙළවර වන්නේ ආණ්ඩුවේද සිය දිවි නසාගැනීමක් වන විශාල විනාශයකිනුයි. ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුවේ ඉහළම ස්ථරය මෙය නිවැරදිව තේරුම් ගෙන ඇති අතර සාර්ථක ලෙස පහළ ස්ථර දැනුවත් කිරීමටටද සමත්ව තිබෙනවා. අධ්‍යාපනය අවශ්‍ය පිරිස තමන්ගේ කඳවුරේම සිටීමේ වාසිය මෙයයි.

කෙසේ වුවත්, ක්ෂුද්‍ර ආර්ථික ප්‍රතිපත්ති හා අදාළව ආණ්ඩුව සිටින්නේ වෙනස් ප්‍රවේශයකයි. මේ හා අදාළව වුවද, ඇතැම් විට ආණ්ඩුවේ ඉහළම ස්ථරය නිවැරදි තැනක සිටිනවා විය හැකියි. එය එසේනම්, වෙළඳපොළ විරෝධී ක්‍රියාමාර්ග වල ප්‍රතිවිපාක සිය පහළ ස්ථර වලට පෙන්වා දීම සඳහා තෝරාගත් අංශ වල රාජ්‍ය මැදිහත්වීම් සිදු කිරීම හොඳ ප්‍රවේශයක්. ටින් මාළු වෙළඳපොළ වැනි ක්ෂුද්‍ර වෙළඳපොලක සිදු වන විකෘතියක හානිය නිසා ලංකාවේ සමස්ත ආර්ථික දේහයම අර්බුදයට යන්නේ නැහැ. එවැනි මැදිහත්වීමක තිබෙන අධ්‍යාපනික වැදගත්කම දිගුකාලීනව සැලකූ විට කෙටිකාලීන වෙළඳපොළ විකෘතියේ හානියට වඩා වාසිය වැඩි විය හැකියි.

වෙළඳපොළ පිළිබඳ දුර්මත වලින් හිස පුරවාගෙන නොමැති සීමිත පිරිසට මේ මොහොතේ කළ හැකි දෙයක් වන්නේ මග හැරුණු සහජීවනය නැවත ගොඩ නගා ගැනීමට ආණ්ඩුවට සහ වෙළඳපොළ විරෝධී කණ්ඩායම් වලට උදවු වෙමින්, ඇතැම් අයගේ ඔලු වල කාලයක් තිස්සේ පිරී තිබෙන වෙළඳපොළ විරෝධී කුණු ඉවත් කරගැනීම සදහා ඔවුන්ට හැකි තරම් උදවු කිරීමට සහ ඒ මගින් ආණ්ඩුවට රට හරි පාරට දමා ගැනීමට උදවු කිරීමට අධිෂ්ඨාන කර ගැනීම සඳහා "ක්ලීන් ශ්‍රී ලංකා" පුරවැසි ප්‍රතිඥාව සමඟ එක් වීමයි.

පොහොසත් රටක්! ලස්සන ජීවිතයක්!!

වෙබ් ලිපිනය: