වෙබ් ලිපිනය:

Tuesday, December 14, 2021

ඉන්දියානු සහන පැකේජය ප්‍රශ්නයට විසඳුමක්ද?


ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත දැඩි අන්තරායකාරී මට්ටමකට පහත වැටී තිබේ. එසේ වුවද, පෙර ලිපියෙන් විස්තර කළ පරිදි, ශ්‍රී ලංකා රජය විසින් ජනවාරි මාසයේදී පියවිය යුතු ස්වෛරිත්ව බැඳුම්කරය හා අදාළ කූපන් පොලී මුදල ගෙවීම සඳහා දැනට මහ බැංකුවේ තිබෙන සංචිත ප්‍රමාණවත් බැවින් ජනවාරි අවසානය දක්වා ශ්‍රී ලංකා රජයට ණය පැහැර හැරීමට සිදු වීමේ අවදානමක් නැත. එහෙත්, ජූලි මාසයේදී පියවිය යුතු ඇමරිකන් ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරය හා අදාළ කූපන් පොලී මුදල ගෙවීම සඳහා දැනට තිබෙන සංචිත ප්‍රමාණවත් නොවන බැවින්, කිසියම් ආකාරයකින් සැලකිය යුතු විදේශ ණය මුදලක් ලබා නොගතහොත්, ශ්‍රී ලංකා රජයට ණය පැහැර හැරීමට සිදු වනු ඇත.

මාධ්‍ය වාර්තා අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට මේ වන තුරුද ආණ්ඩුව තීරණයක් ගෙන නැති අතර, ශ්‍රී ලංකා රජය ණය පැහැර හැරීමේ අවදානමෙන් බේරා ගැනීමට ඉන්දීය රජය සූදානම්ව සිටී. මේ ඉන්දීය සහන පැකේජය හරහා සිදු වනු ඇත්තේ කුමක්ද? 

ආහාර හා ඖෂධ අර්බුදයට සහනයක් කියා කියන විටම මතක් වන්නේ පූමාලයි මෙහෙයුම වුවත්, සිවිල් යුද්ධයෙන් පසු බොහෝ දුරට අමතක කරනු ලැබ ඇති ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය හා යෝජිත ඉන්දියානු විසඳුම් නැවත කාඩ් කුට්ටමේ උඩට පැමිණීම ඇතුළු ආර්ථික නොවන කරුණු අපි දැනට නොසලකා හරිමු. ඉන්දියාවෙන් ලැබෙන ඊනියා සහන වලින් කොටසක්, මාධ්‍ය වාර්තා වල සඳහන් පරිදිම කටයුතු සිදු වුවහොත්, ආයෝජන ලෙස ලැබෙනු ඇත. ඉතිරි කොටස වාණිජ ණය ලෙසත්, මුදල් හුවමාරු ගිවිසුම් යටතේත් ලැබෙනු ඇත. 

ඉන්දීය ආයෝජන වලින් ලංකාවේ ආර්ථික වර්ධනයට යම් තල්ලුවක් ලැබෙනු ඇති නමුත් මේ ආයෝජන ක්ෂණිකව හෝ දිගුකාලීනව ලංකාවේ ගෙවුම් ශේෂ හිඟයට පිළියමක් නොවනු ඇත. එමෙන්ම, මෙකී ආයෝජන වහාම සිදු වේයැයි සිතිය නොහැකිය. ගෙවුම් ශේෂ ප්‍රශ්නයට ක්ෂණික පිළියමක් විය හැක්කේ අදාළ ආයෝජන සිදු කිරීමේ ආරම්භක පියවරක් ලෙස ශ්‍රී ලංකා රජය සතු කවර හෝ භෞතික සම්පතක් ඉන්දීය සමාගමකට විකිණීමෙන් ක්ෂණිකව ලැබෙන මුදලක් පමණි. එවැනි විකිණීම් කොපමණ සිදු වනු ඇත්ද, ඒ හරහා කොපමණ මුදලක් ලැබේද යන්න ඉදිරි මාස කිහිපය හෝ වසර තුළ දැන ගන්නට ලැබෙනු ඇත. ඒ හැර, ආයෝජන සේ පැමිණෙන වෙනත් මුදලක් වේනම්, ඒ මුදල් නැවත ඉන්දියාවටම යනු ඇත. ලංකාවට පැමිණෙනු ඇත්තේ එම මුදල් වල වටිනාකමට සරිලන ආයෝජන භාණ්ඩයි.

වාණිජ ණය හේතුවෙන්ද ලංකාවට සෘජුව විදේශ විණිමය ගලා නොඑනු ඇත. මේ ණය මුදල් වලින් කළ හැක්කේ ඉන්දියාවෙන් ආහාර, ඖෂධ හා ඉන්ධන ආනයනය කිරීමයි. වෙනත් අයුරකින් කිවහොත්, ඉන්දියාව කරන්නේ පසුව මුදල් අය කර ගැනීමේ පදනම මත ආහාර, ඖෂධ හා ඉන්ධන සැපයීමයි. පාලනය කර තිබෙන විනිමය අනුපාතය යටතේ මෙසේ ඉන්දියාවෙන් ලැබෙන ආහාර, ඖෂධ හා ඉන්ධන ලාංකිකයින් විසින් සතුටින් පරිභෝජනය කරනු ඇති අතර ඒ වෙනුවෙන් පොලියද සමඟ මුදල් ගෙවීම අනාගතයට ඉතිරි වනු ඇත. බොහෝ විට මේ අනාගතය එතරම් දුරු අනාගතයක් විය නොහැකි අතර වැඩිම වුනොත් වසර කිහිපයක් වනු ඇත.

මුදල් හුවමාරු ගිවිසුම් හරහා ලැබෙන්නේ ඉන්දියානු රුපියල්ද එසේ නැත්නම් ඩොලර්ද යන්න නිශ්චිතව සඳහන් වී නැත. බොහෝ විට මෙසේ ලැබෙන්නේ ඉන්දියානු රුපියල් විය හැකිය. ඒ අනුව, එම මුදල් යොදා ගත හැකි වනු ඇත්තේද ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කිරීමට හා ඉන්දියාවට ගෙවිය යුතු ණය ගෙවීමට පමණි. අවසාන වශයෙන් මේ ඉන්දීය සහන පැකේජය හරහා ලැබෙන එක් සතයක් හෝ මුදල් ලෙස ලංකාවට නොලැබීමට ඉඩ තිබේ. 

චීනය විසින් මීට කලින්ම මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ලංකාවට ඩොලර් බිලියන 1.5කට පමණ සමාන යුවාන් ප්‍රමාණයක් ලබා දී ඇතත්, ඒ මුදල්ද මුදල් ලෙස ලංකාවට නොලැබෙන ණය පහසුකමක් පමණි. අදාළ මුදල් ප්‍රයෝජනයට ගත හැක්කේ චීනයෙන් භාණ්ඩ ආනයනය කිරීමට හා චීන ණය ගෙවීමට පමණි. දැන් ඉන්දියාව විසින් ලබා දී තිබෙන්නේද එවැනිම විකල්පයකි.

කෙසේ වුවද, මෙයින් අදහස් වන්නේ මේ සහන පැකේජ වලින් ලංකාවට ප්‍රයෝජනයක් නැති බව නොවේ. 

සංක්ෂිප්ත කිවහොත්, ලංකාවට වෙළඳ ගිණුම හරහා ඩොලර් ලැබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් හා යුරෝපයෙනි. ඉන්දියාව හා චීනය විසින් පසුගිය කාලය තුළම කළේ අපනයන හරහා එසේ ලංකාවට බටහිර රටවලින් ලැබෙන ඩොලර් ප්‍රමාණය එකතු කර ගැනීමයි. චීන මුදල් හුවමාරු ගිවිසුම හා යෝජිත ඉන්දීය සහන පැකේජය නිසා තාවකාලිකව ඉන්දියාව හා චීනය විසින් ලංකාවට බටහිරින් ලැබෙන ඩොලර් එකතු කර ගැනීම නවතිනු ඇත. එහිදී බටහිර රටවලින් හා ශ්‍රමික ප්‍රේෂණ ලෙස මැද පෙරදිගින් ලැබෙන ඩොලර් වලින් යම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයේ ණය ආපසු ගෙවීම සඳහා රට තුළ ඉතිරි වනු ඇත. මෙය ප්‍රශ්නයට තාවකාලික විසඳුමකි. 

සියල්ල මාධ්‍ය වාර්තා වල සඳහන් පරිදි සිදු වුවහොත්, මේ හරහා ජූලි මාසයේ ස්වෛරිත්ව බැඳුම්කරය පියවීමේ ප්‍රශ්නය විසඳෙනු ඇති අතර, ඇතැම් විට ලබන වසර අවසානය දක්වාම ගෙවුම් ශේෂ හිඟය කළමනාකරණය කර ගන්නට ඉඩ ලැබෙනු ඇත. එහෙත්, එපමණකින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

ආකෘතිමය ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් පවතින තාක් එම ශේෂය විදේශ ණය වලින් පියවන්නට සිදු වන නිසා මේ අයුරින් වරකට ලැබෙන සහන පැකේජයකින් සිදු වන්නේ තාවකාලිකව ප්‍රශ්නය කල් දමාගෙන හුස්මක් ගන්නට ඉඩක් ලැබීම පමණි. යම් ආකාරයකින් ඉදිරි වසර කළමණාකරනය කර ගත්තද, එතැනින් ඔබ්බට ඉදිරියට යන්නටනම් කොහෙන් හෝ දිගින් දිගටම මේ ආකාරයේ සහන පැකේජ ලැබිය යුතුය. එහෙත්, එවැන්නක් සිදු වීමේ ඉඩක් නැතුවාක් මෙන්ම ඉතා ඉක්මණින් මෙසේ අලුතෙන් ලබා ගන්නා ණයද ගෙවා දමන්නට සිදු වනු ඇත. එතරම් ඉක්මණින් මැතිවරණයක් නොපැමිණෙන බැවින් ප්‍රශ්නය තවදුරටත් මේ ආණ්ඩුවේම ප්‍රශ්නයක්ව පවතිනු ඇත.

ඉහත සන්දර්භය තුළ, ඉන්දීය සහන පැකේජය ලැබුණේ වුවද, එයින් පවතින තත්ත්වය බරපතල ලෙස වෙනස් නොවනු ඇත. මේ අලුත් තත්ත්වය යටතේ වුවද, මේ ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නට සිදුවීම ආසන්න අනිවාර්යතාවයකි.

Monday, December 13, 2021

ආණ්ඩුව අයිඑම්එෆ් යයිද?


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද නැද්ද කියා තීරණය කරන්න කැබිනට් මණ්ඩලය අද රැස් වන බව කියනවා. එය එසේනම් මේ වෙද්දී මේ සාකච්ඡාව සිදු වී තියෙන්න පුළුවන්. ලිපිය පළ වන විට තීරණය අරගෙන තියෙන්න පුළුවන්. මා මේ ලිපිය ලියන්නේ එවැනි තීරණයක් ගැන නොදැන.

ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබෙන බව මේ වෙද්දී හැමෝම වගේ එකඟ වන, ඇහැට පෙනෙන්න තියෙන දෙයක්. ලංකාවට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පාන්න වෙනවා කියන එක තව දුරටත් අනාවැකියක් නෙමෙයි. මෙතැනින් එහාට ප්‍රශ්නයේ ස්වභාවය වෙනස් වනු ඇත්තේ කොයි ආකාරයකටද?

වහා විසඳිය යුතු, කෙටිකාලීන ප්‍රශ්නය ඩොලර් හිඟයයි. ඒ ප්‍රශ්නය පසුපස දිගුකාලීන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ ප්‍රශ්න නිදහස ලැබූ දා සිට හා යම් තරමකට ඊටත් පෙර සිට, ඇතැම් විට සර්වජන ඡන්දබලය ලැබූ කාලයේ සිට, ලංකාවේ ක්‍රියාත්මක වූ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වූ ප්‍රශ්න. එහෙත්, වත්මන් ඩොලර් හිඟයට මුල් වී ඇති ප්‍රශ්නය උතුරේ සිවිල් යුද්ධය අවසන් වූ පසු ඇති වූ ප්‍රශ්නයක්. ප්‍රශ්නයේ මුල් පිළිබඳව විස්තරාත්මක තොරතුරු තවදුරටත් ලියන්න පුළුවන්. එය පසුවට තබමු.

ප්‍රශ්නයක මුල් ගැන කතා කළ යුත්තේ ප්‍රශ්නය විසඳීම සඳහා මුලින්ම ප්‍රශ්නය නිසියාකාරව හඳුනා ගෙන ප්‍රශ්නයේ මුල් ගලවා දැමිය යුතු නිසා මිසක් කාවවත් විවේචනය කරන්න නෙමෙයි. කෙටිකාලීන ප්‍රශ්නය විසඳීම සඳහා අප යෝජනා කිසිවක් ඉදිරිපත් කරන්නේ නැහැ. එයට පළමු හේතුව ඒ සඳහා වෙනත් අය යෝජනා කර නැති අළුත් යෝජනා කිසිවක් අපට නැති වීමයි. දෙවන හේතුව මේ කෙටිකාලීන ප්‍රශ්නය ඉදිරි වසර තුළ කවර ආකාරයෙන් හෝ විසඳෙන ප්‍රශ්නයක් වීමයි. වෙළඳපොළ බලවේග විසින් එය සිදු කරනු ලැබීම තවදුරටත් වැළැක්විය හැකි දෙයක් නෙමෙයි.

කෙටිකාලීන ප්‍රශ්නය මොන විදිහකින් විසඳුනත් දිගුකාලීන ප්‍රශ්න ඉතිරි වෙනවා. දිගුකාලීන ප්‍රශ්න ඉතිරිව තිබෙන තුරු, දැනට මොන විදිහකින් හෝ විසඳා ගත්තත්, කෙටිකාලීන ප්‍රශ්නය නැවතත් වසර කිහිපයකින් මතු වීම වැළැක්විය නොහැකියි. කෙටිකාලීන ප්‍රශ්නය විසඳාගන්න මේ වෙද්දී රටේ හැමෝටම වගේ උවමනාවක් තිබුණත්, දිගුකාලීන ප්‍රශ්න විසඳාගන්න එවැනි උනන්දුවක් තවමත් නැහැ. දිගුකාලීන ප්‍රශ්න පිළිබඳව තවමත් බොහෝ දෙනෙකුට අවබෝධයක්ද නැහැ. මේ අවබෝධය බොහෝ දෙනෙකුට ලැබෙනු ඇත්තේ මීට වඩා විශාල විනාශයකින් පසු වෙන්න පුළුවන්.

කෙටිකාලීන ප්‍රශ්න වලට විසඳුම් ගැන කතා කරන එකේ තේරුමක් නැතත්, දිගුකාලීන ප්‍රශ්න වලට තිබෙන විසඳුම් ගැන කතා කරන්න පටන් ගන්න මේ හොඳම අවස්ථාව කියා අප සිතනවා. ඒ වැඩේ අපි ඉදිරි වසර තුන තුළ කරමු. එසේ කර, දැනට පෙනෙන තෙක් මානයකවත් නැති ලංකාවට අවශ්‍ය දේශපාලන විකල්පය අනාගතයේදීවත් හැදෙයිද කියා බලා සිටිමු. 

හැබැයි ඊට කලින් ලංකාවට ක්ෂණිකව විසඳාගත යුතු කෙටිකාලීන ප්‍රශ්නයක් තිබෙනවා. මෙයට දැනට ඉදිරිපත්ව තිබෙන්නේ විසඳුම් දෙකක් පමණයි. පළමුවැන්න, හැකි ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මුල සිටම මේ අදහස වෙනුවෙන් පෙනී සිටියා. සජබයේ හර්ෂ ද සිල්වා වැනි අය දකින විසඳුමත් මෙයයි. සජබ නිල ස්ථාවරයද මෙවැන්නක් විය හැකියි. දේශපාලන පක්ෂයකට සෘජු සම්බන්ධයක් නැති ආර්ථික විද්‍යාඥයින් ගණනාවක්ද මේ අදහස දරනවා. දිගුකාලීනව ලංකාවේ ආර්ථිකය මෙහෙයවීම පිළිබඳ ජවිපෙ හා එජාප උපාය මාර්ගයන් අහසට පොළොව මෙන් දුරස්ථ වුවත්, කෙටිකාලීනව පවතින ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීම පිණිස ජවිපෙ දකින විසඳුමද එජාප විසඳුමෙන් වෙනස් බවක් පෙනෙන්නේ නැහැ. ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන්ද මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම තිබෙන එකම විසඳුම බව පිළිගන්නා තැනකට තල්ලු වී තිබෙනවා. ආණ්ඩු බලය එජාප හෝ සජබ සතුව තිබුණානම් මීට බොහෝ කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා හැකිව තිබුණා. එසේ වුනානම් අද තිබෙන ඩොලර් ප්‍රශ්නය මේ තරම් දරුණු මට්ටමකට ඔඩු දුවන්නේ නැහැ.

කෙටිකාලීන ප්‍රශ්නයට අප සතුව වෙනත් විසඳුමක් නැති බව අප කලින්ම කිවුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට විකල්පව ඉදිරිපත්ව තිබුණු දෙවන යෝජනාව ආණ්ඩුවේ දේශීය (homegrown) විසඳුමයි. මේ විකල්පය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටියේත්, ඒ අනුව ලංකාවේ ආර්ථිකය මෙහෙයවමින් ඉන්නේත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්. ඔහුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාම සඳහා හේතු ගණනාවක් තිබෙනවා. පළමු හේතුව ලංකාවේ ආර්ථිකයේ ප්‍රශ්නය දොස්තර කෙනෙකුගෙන් බෙහෙත් ගත යුතු නැති, කොත්තමල්ලි බී සනීප කරගත හැකි, පොඩි හෙම්බිරිස්සාවක් පමණක් වීමයි. දෙවන හේතු වන්නේ දොස්තර බෙහෙත් වල අතුරු ආබාධයි.

තමන්ගේ කොත්තමල්ලි විසඳුම පසුගිය ඔක්තෝබර් මාසය ආරම්භයේදී අධිපති කබ්රාල් විසින් රටට හා ලෝකයට ඉදිරිපත් කළා. වැඩි දෙනෙකු එතරම් බරපතල සේ නොසැලකූ මේ සැලසුමේ තිබුණු දේවල් මා පෙර ලිපියකින් විස්තර කළා.

"කබ්රාල්ගේ මාස හයේ මාර්ග සිතියම කුමක්ද? 

ඉතා කෙටියෙන් කිවුවොත්, කබ්රාල් විසින් කරන්න යන්නේ ඩොලරයේ අගය රුපියල් 199-203 අතර පවත්වා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ඩොලර් කෙසේ හෝ හොයා ගැනීමයි. වැල් වටාරම් ඉවත් කර මාර්ග සිතියමේ අදාළ කරුණු පමණක් ගත්තොත්, විණිමය අනුපාතය මේ මට්ටමේ පවත්වා ගැනීම සඳහා ඩොලර් හොයා ගන්න යන්නේ කොහොමද? 

- රජයක් විසින් රජයකට දෙන (G2G) ණය ලෙස කෙටිකාලීනව ඩොලර් බිලියනයක් (ඉදිරි මාස තුන ඇතුළත මිලියන 500ක්) ලබා ගැනීම.

- රාජ්‍ය දේපොළ විකිණීමෙන් ඩොලර් බිලියනයක් ලබා ගැනීම. 

- බදු සමා පනතේ උදවුවෙන් ඩොලර් මිලියන 100ක් හොයා ගැනීම.

- කෙටිකාලීන විණිමය හුවමාරු ගිවිසුම් හරහා ඩොලර් බිලියන 1.5ක් ලබා ගැනීම 

- රට තුළට රැගෙන විත් නැති අපනයන ආදායම් ඩොලර් බිලියන 1.8ක් (මාසයකට ඩොලර් මිලියන 300 බැගින්) රටට ගෙන්වා ගැනීම.

- ඩොලර් බිලියනයක සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම.

- ඩොලර් මිලියන 300ක පමණ සංවර්ධන බැඳුම්කර විදේශිකයන්ට විකිණීම. 

- බැංකු/ මූල්‍ය ආයතන විසින් ඩොලර් බිලියන 1.5ක විදේශ ණය ලබා ගැනීම.

දැන් මේ ටික එකතු කළොත් සාරාංශයක් ලෙස ඩොලර් හොයා ගන්න යන්නේ ඩොලර් බිලියන 4.3ක ණය ලබා ගැනීම, ඩොලර් බිලියන 1.1ක විදේශ ආයෝජන ගෙන්වා ගැනීම හා ආපසු නොයන ඩොලර් බිලියන 2.8ක් රට තුළට ගෙන්වා ගැනීම ලෙසයි. එකතුව ඩොලර් බිලියන 8.2ක් පමණ වෙනවා. 

ඉදිරි මාස හයක කාලය තුළ ඔය විදිහට ඩොලර් බිලියන 8.2ක් හොයා ගන්න පුලුවන්නම් එම කාලය තුළ ගෙවිය යුතු ණය ගෙවා, අපනයන වෙනුවෙන්ද අවශ්‍ය පමණ ඩොලර් වැය කර, සංචිතද නැවත ඉහළ නංවා ගන්න පුළුවන්. එවැනි ඩොලර් ප්‍රමාණයක් ලැබේනම් ඩොලරයේ මිල ස්ථාවරව තියා ගන්න බැරිකමක් නැහැ.

මේ ඇස්තමේන්තු කිසිසේත්ම ප්‍රායෝගික නැහැ. එහෙත් ඉලක්ක සේ සැලකුවොත් නරක නැහැ. දැන් අපට තියෙන්නේ ඉදිරි මාස හය තුළ අධිපති කබ්රාල්ගේ කාර්ය සාධනය දෙස බලා ඉන්නයි."

දැන් මේ සැලසුම ඉදිරිපත් කරලා මාස දෙකහමාරක් ගත වෙලා. එම කාලය තුළ අධිපති කබ්රාල්ගේ කාර්ය සාධනය කොහොමද? 

රටට විශාල හානියක් කරමින් ඩොලරයේ අගය රුපියල් 199-203 අතර පවත්වා ගැනීමට විශාල උත්සාහයක් දැරුවත් මේ වෙද්දී එය කර ගන්න බැරුව ඩොලරය රුපියල් 210 බැගින් මාරු කරන්න ඉඩ දෙන්න වෙලා. නමුත් ඒ ගාණට වුනත් ඩොලර් මාරු කරන්න කවුරුවත් කැමති නැහැ. කොත්තමල්ලි විසඳුමේ විදිහට බිලියන ගාණක් ඩොලර් හොයා ගන්න එක කොහොම වෙතත්, තමන්ට අවශ්‍ය මට්ටමේ විණිමය අනුපාතය නඩත්තු කරන්න මේ වෙද්දී තිබුණු සොච්චම් සංචිත වලිනුත් සෑහෙන කොටසක් විකුණලා. 

කොත්තමල්ලි විසඳුම කියා කිවුවේ කබ්රාල් මේ වචනය යොදාගත් නිසා මිසක් කොත්තමල්ලි බොන අයට කරන අපහාසයක් විදිහට නෙමෙයි. කොත්තමල්ලි කියන්නේ කෝකටත් තෛලයක් නොවන බව කොත්තමල්ලි බොන දන්නවා. ලංකාවට හැදිලා තියෙන ලෙඩේ කොත්තමල්ලි බීලා සනීප කළ හැකි පොඩි හෙම්බිරිස්සාවක් නෙමෙයි.

කබ්රාල් අධිපති ධුරය භාර ගත්තේ සැප්තැම්බර් මැද. සැප්තැම්බර් මාසය පටන් ගනිද්දීත් මහ බැංකුවේ ඩොලර් මිලියන 3,550ක සංචිත ප්‍රමාණයක් තිබුණා. නොවැම්බර් අවසාන වෙද්දී මේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,587 දක්වා පහත වැටිලා. කබ්රාල්ගේ කොත්තමල්ලි විසඳුමේ සාර්ථකත්වය මේ ගණන් දිහා බැලූ විටම පැහැදිලි වෙනවා.

කෙසේ වුවත්, ඔහුගේ පැත්තෙනුත් ප්‍රශ්නය දිහා බලමු. කබ්රාල් ඉදිරිපත් කළේ සයමාසික වැඩපිළිවෙලක්. ඒ වගේම, වැඩපිළිවෙළ ආරම්භයේදී යම් තරමකින් සංචිත අඩු වෙන බවත් ඔහු කිවුවා. ඒ නිසා තවත් මාස තුනකින් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හත අටක් වෙයි කියලා අපිට හිතන්න බැරිද? කබ්රාල් ඉදිරි මාස තුනේදී වැඩ පෙන්නයිද?

පළමුව, මේ වැඩපිළිවෙළ ප්‍රායෝගික නැති වැඩ පිළිවෙලක් බව මුලදීම බොහෝ දෙනෙකුට පැහැදිලිව පෙනෙන්න තිබුණා. ඒ හැමෝටම වැරදිලා කබ්රාල්ගේ ඇස්තමේන්තු නිවැරදි වෙන්නනම්, එහෙම වෙන බව මුල සිටම පෙනී යා යුතුයි. නමුත් පේන්නේ අනෙක් බොහෝ දෙනෙක් දුටු දෙය මිසක් කබ්රාල් දුටු දෙය නෙමෙයි. ඉතිරි මාස තුනේ මෙතෙක් සිදු නොවුණු අමුතු මැජික් එකක් වෙයි කියා හිතන්න බැහැ. කබ්රාල් මේ ඇස්තමේන්තු හා සැලසුම ඉදිරිපත් කළේ තනි පුද්ගලයෙක් ලෙස නොවන නිසා ආර්ථිකය වල පල්ලට දැමීමේ අපකීර්තිය සමස්ත මහ බැංකුවටම බාර ගන්න වෙනවා.

කබ්රාල් ඇතුළු ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ තරම් අසාත්මික වුනේ ඇයි? 

බන්දුල ගුණවර්ධන විසින් කියා ඇති පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියොත් ආණ්ඩුවට අයවැය පරතරය සියයට 5ට වඩා අඩු කිරීමට හා ඒ වෙනුවෙන් සේවක වැටුප් මෙන්ම විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම පවා සීමා කිරීමටත්, ගෑස් මිල ඉහළ දැමීමටත් සිදු වෙනවා. ඩොලරය පාවෙන්නට ඉඩ දිය යුතු වෙනවා. කබ්රාල් විසින්ද මෙවැනි ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබුණා.

කලින් විස්තර කර ඇති පරිදි, ණය ලබා දීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කොන්දේසි පනවන්නේ නැහැ. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමුපකාර සංගමයක් වැනි තැනක්. ඔවුන් සාමාජික රාජ්‍යයන්ට ණය ලෙස ලබා දෙන්නේ ලංකාව ඇතුළු සාමාජික රාජ්‍යයයන්ගේම මුදල්. එම මුදල් ආපසු ලැබෙන බවට ඔවුන් වග බලාගත යුතු වෙනවා. ඒ නිසා, ණය ලබා ගන්නා රටට තමන් රටේ තත්ත්වය යහපත් කරගෙන ණය ආපසු ගෙවන ආකාරය අරමුදලට කියන්න වෙනවා.

ඉහත ප්‍රකාශ අනුව පැහැදිලි වන්නේ රටේ ආර්ථික තත්ත්වය ණය ආපසු ගෙවිය හැකි මට්ටමකට වැඩි දියුණු කර ගැනීම සඳහා අයවැය පරතරය අඩු කර ගැනීම හා ඩොලරය පාවෙන්නට ඉඩ දීම වැනි දේ කරන්නම වෙන බව බන්ධුල ගුණවර්ධන, කබ්රාල් වැනි අයද විශ්වාස කරන බවයි. වෙනත් විසඳුමක් ඇත්නම් ඔවුන්ට ඒ විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමට හැකි විය යුතුයි. අනෙක් අතින් එයින් අදහස් වන්නේ කබ්රාල්ගේ කොත්තමල්ලි විසඳුම යම් හෙයකින් විසඳුනත්, එය තවත් ණය ගන්නා සැලසුමක් මිසක් එසේ ගත් ණය ආපසු ගෙවිය හැකි ආකාරයේ සැලසුමක් නොවන බවයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම මෙයින් වෙනස් වන්නේ එයද තවත් ණය ගන්නා සැලසුමක් වුවත් එසේ ගත් ණය ආපසු ගෙවිය හැකි ආකාරයේ සැලසුමක්ද එයට අඩංගු වීම යන කරුණ මතයි. එහෙත්, එවැනි සැලසුමකින් වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අලුතෙන් ගන්නා ණය ආපසු ගෙවන ආකාරය මිස ලංකාව කාලයක් තිස්සේ ගොඩ ගසා ගෙන සිටින දැවැන්ත ණය කන්දෙන් නිදහස් වීමේ සැලසුමක් අඩංගු නොවන නිසා නැවතත් වසර කිහිපයකින් පසුව ප්‍රශ්නයේ මුලට එන එක වලක්වන්න බැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ගැන ආණ්ඩුව මේ වෙද්දී සලකා බලමින් ඉන්නේ ඇයි?

මෙයට ආසන්න හේතුව මේ වන විට ලංකාවේ නිල සංචිත, රත්රන් ආදියද ඇතුළුව, ඩොලර් බිලියන 1.5 පමණ දක්වා පහත වැටී තිබීමයි. මේ තත්ත්වය යටතේ වුවද ජනවාරි මාසයේ පියවිය යුතු ඩොලර් මිලියන 500ක ස්වෛරිත්ව බැඳුම්කරය පියවිය හැකි වුවත්, ජූනි මාසයේ පියවිය යුතු ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරය පියවීමේ හැකියාවක් නැහැ. කබ්රාල්ගේ කොත්තමල්ලි වැඩසටහන වැඩ නොකරන බවත් ඉතා පැහැදිලියි. මේ තත්ත්වය යටතේ, දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියත්, අදාල කටයුතු අවසන් වීමට මාස හයකට වඩා වැඩි කාලයක් යා හැකි නිසා, වසර මැද ගෙවිය යුතු ඩොලර් බිලියන ගෙවිය නොහැකි වීමට ඉඩ තිබෙනවා.

ආණ්ඩුව අද ගන්නා තීරණය කුමක් වෙයිද?

මෙය තීරණය වන්නේ ආණ්ඩුවේ තක්සේරුව අනුව ජූලි මාසයේදී ඩොලර් බිලියනයක් ගෙවීමට රජයට තිබෙන හැකියාව මතයි. යම් හෙයකින් තව දුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයා සිටීමේ මතය තුළම ආණ්ඩුව රැඳී සිටියහොත් එයින් අදහස් වන්නේ වසර මැදදී මෙම බැඳුම්කරය පියවීම සඳහා ඩොලර් හොයා ගත හැකි වනු ඇති බවට ආණ්ඩුවට දැඩි විශ්වාසයක් ඇති බවයි. එසේ නොවී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට ආණ්ඩුව අද තීරණය කළහොත් එයින් අදහස් වන්නේ ආණ්ඩුවේ බහුතර මතය අනුවම ණය පැහැර හරින්නට සිදුවන තැනට ලංකාවේ රජය වැටී තිබෙන බවයි.

තව දුරටත් කොත්තමල්ලි විසඳුම තුළම රැඳී සිටින්නට ආණ්ඩුව තීරණය කළා කියා අපි හිතමු. එම විසඳුම තුළ වුවද, කීයටවත් ණය පැහැර හරින තැනකට වැටෙන්නට ආණ්ඩුවට අවශ්‍ය නැහැ. එවැනි තත්ත්වයක් ඇත්නම් ආණ්ඩුව අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යනවා. දැන් තිබෙන තත්ත්වය අනුව ජනවාරියේදී ස්වෛරීත්වය බැඳුම්කරය පියවීමට අනිවාර්යයෙන්ම ඩොලර් මිලියන 500ක් යන නිසා නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියනයක් දක්වා පහත වැටෙනවා. ද්‍රවශීල විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 600ක් පමණ දක්වා පහත වැටෙනවා. ඊට අමතරව, විණිමය අනුපාතය පවතින මට්ටමේ නඩත්තු කරමින් අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීම සඳහා දෙසැම්බර් හා ජනවාරි දෙමස තුළ තවත් ඩොලර් මිලියන 500-600 පමණ ප්‍රමාණයක් වැය විය හැකි නිසා වසර මැද දක්වා ඇද ගන්න එක කළ නොහැකි තරම් අසීරු දෙයක්.

ඉන්දියාවෙන් ලොකු ඩොලර් ප්‍රමාණයක් ලැබුනා කියා හිතමු. කොහොමටත් ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ වෙනුවෙනුත්, ඉන්දියාවට ගෙවිය යුතු ණය ගෙවන්නත් මේ මුදල් යොදා ගන්න පුළුවන්. චීනයෙන් දැනටමත් ලැබී තිබෙන ණය මුදල චීන ආනයන හා චීන ණය වෙනුවෙන් තව දුරටත් වැය කළ හැකියි. එසේ කළත් වසර මැද ඩොලර් බිලියනයක් ආපසු ගෙවන එක අසීරු ඉලක්කයක්. ඒ නිසා, මහ බැංකුවට ඊට පෙර අනිවාර්යයෙන්ම විනිමය අනුපාතය අවප්‍රමාණය කරන්න වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගියා කියා මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ.

ආණ්ඩුවේ වියදම් සීමා කර අයවැය හිඟය අඩු කර ගැනීමේ අවශ්‍යතාවය ගැන ආණ්ඩුව දැනටමත් කියා අවසන්. ඒ වගේම, ලබන වසරේ රාජ්‍ය සේවකයින් අලුතෙන් බඳවා නොගන්නා බවත් කියා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගියත්, එම අරමුදල විසින් දමන කොන්දේසි සේ ආණ්ඩුවට සම්බන්ධ අය විසින් හඳුන්වන ක්‍රියාකාරකම් කරන්න මේ ආණ්ඩුවට කොහොමටත් සිදු වෙනවා.

විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීම ගැන පමණක් අපි බලමු. මෙහි ප්‍රතිඵලයක් ලෙස අනිවාර්යයෙන්ම ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනවා. උද්ධමනය වැඩි වෙනවා. රජයේ විදේශ ණය වල රුපියල් වටිනාකම වැඩි වී අයවැය හිඟය ඉහළ යනවා. එය පියවීමට එක්කෝ තවතවත් සල්ලි අච්චු ගහන්න වෙනවා. නැත්නම් පොලී අනුපාතික විශාල ලෙස වැඩි වෙන්න ඉඩ දෙන්න වෙනවා. පොලී අනුපාතික විශාල ලෙස වැඩි වන විට ඒ හේතුවෙන්ද ආණ්ඩුවේ වියදම් වැඩි වී අයවැය හිඟය ඉහළ යනවා. සහන කපා බදු වැඩි කරන්න වෙනවා. ආණ්ඩුවේ කිසියම් ජනප්‍රියත්වයක් තවදුරටත් ඇත්නම් එයද පහළ වැටෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොගියා කියා මේ දේවල් වලක්වා ගන්න බැහැ.

විපක්ෂයේ පක්ෂ බලා ඉන්නේ මේ ටික වෙන තුරුයි. ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වෙද්දී විපක්ෂයට බලය ලැබෙනු ඇතැයි සජබ සිතනවා. ජවිපෙටද එවැනි යම් බලාපොරොත්තුවක් තිබෙනවා. යම් හෙයකින් ආණ්ඩුව මේ මොහොතේ වැටී විපක්ෂයේ පක්ෂයක් බලයට ආවොත් ඔවුන්ට තිබෙන එකම විකල්ප විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම හා එම අරමුදල වෙත යාමේ උදවුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. ඔවුන් සතු වෙනත් විකල්පයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම තුළ ඉහත අහිතකර තත්ත්වයන් වැළකෙන්නේ නැහැ. ඒ නිසා, ප්‍රශ්නය කවර ආකාරයකින් හෝ විසඳෙන තුරු ආණ්ඩු බලය ගන්න විපක්ෂයට ඇත්තටම අවශ්‍ය නැහැ.

කෙසේ වුවත්, මේ දේවල් වෙන්නේ ආණ්ඩුව මාරු වුනොත් පමණයි. ඒ වගේම, ආණ්ඩු මාරුවක් වීම පරිකල්පනීය අදහසක් පමණයි. අරමුදල් විකල්පය හෝ කොත්තමල්ලි විකල්පය යන දෙකෙන් කොයි එක තෝරා ගත්තත් ඇති වන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ මේ ආණ්ඩුවටයි.

මට පෙනෙන විදිහට ආණ්ඩුව විසින් කරන්නේ සියුම් දේශපාලන ක්‍රීඩාවක්. ආණ්ඩුව විසින් හිතාමතාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ප්‍රතික්ෂේප කරමින් එහි අහිතකර විපාක ගැන ජනතාව දැනුවත් කරමින් සිටිනවා. විපක්ෂය, විශේෂයෙන්ම එජාප සහ සජබ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන මෙන් ආණ්ඩුවට බල කරමින් සිටිනවා. මේ තත්ත්වය තුළ කොයි වෙලාවක හෝ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමෙන් පසු විපක්ෂයට තව දුරටත් ආණ්ඩුවට චෝදනා කරන්න ඉඩක් ඉතිරි වන්නේ නැහැ. ඉන් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිට තබා ආණ්ඩුවට අර "නරක දේවල්" සියල්ල පහසුවෙන් කළ හැකියි. කෝවිඩ් පාලනයේ සිට රසායනික පොහොර තහනම දක්වා බොහෝ අවස්ථා වලදී ආණ්ඩුව අනුගමනය කළේ මේ එකම උපක්‍රමයයි.

Friday, December 10, 2021

රෙගියුලේටර ප්‍රශ්නය


ලංකාවේ ගෑස් සිලින්ඩර වලට සම්බන්ධ කර තිබෙන උපාංග පිපිරෙන්න පටන් ගැනීම නිසා ඇති වූ ප්‍රශ්නය මේ වෙද්දී විසඳිලා වගේ. ගෑස් සිලින්ඩර වල පීඩනය වැඩි කිරීම මේ ප්‍රශ්නයට හේතුව බවයි කියැවුනේ. සමහර විට පීඩනය වැඩි කළත් පුපුරන්නේ නැති තරමට ප්‍රමිතියක් ගෑස් සිලින්ඩර වල තියෙන්න ඇති. එහෙත්, ගෘහස්ථ පාරිභෝගිකයෙක් සැලකුවාම ගෑස් සිලින්ඩරය, ගෑස් උදුන හා ඒ දෙක සම්බන්ධ කෙරෙන උපාංග සියල්ලම එකම පද්ධතියක කොටස්. මේ වගේ පද්ධතියක එක තැනක් බිඳ වැටෙනවා කියා කියන්නේ පද්ධතියම බිඳ වැටීමක්. 

කවර හෝ පද්ධතියක් බිඳ වැටෙද්දී බොහෝ විට මුලින්ම බිඳ වැටෙන්නේ එහි දුර්වලම තැනින්. පහත් තැනින් යයි ගලා ජලේ!

ගණන් හිලවු පැත්තකින් තියලා කතා කළොත්, ගෑස් සිලින්ඩරයක ගෑස් අසුරා තිබෙන්නේ විශාල පීඩනයක් යටතේ. ඒ වගේ පීඩනයක් යටතේ තියෙන දෙයක් එකවර නිදහස් වුනොත් කෙළවර වෙන්නේ විශාල විනාශයකින්. සිලින්ඩරයේ ගෑස් පාවිච්චියට ගැනීමේදී වෙන්නේත් මේ විදිහට විශාල පීඩනයක් යටතේ ගබඩා කර තිබෙන ගෑස් නිදහස් වෙන එක. හැබැයි ඒ වැඩේ වෙන්නේ පාලනයක් යටතේ. 

මේ විදිහට පාලනයක් යටතේ නිදහස් කර ගන්නා ගෑස් දහනය කරලා අපිට විවිධ දේවල් කර ගන්න පුළුවන්. ලංකාවේ වැඩිපුරම වෙන්නේ කෑම උයන එක. කෑම ඉවිල්ල ගින්දර පාලනය කරමින් කරන කලාවක්. ගෑස් වලින් උයද්දී ගින්දර පාලනය කරන්නේ ගෑස් සැපයුම පාලනය කරලා. ගෑස් හරියට පාලනය කරගන්න බැරි වුනොත් ගින්දරත් හරියට පාලනය කර ගන්න බැහැ. රෙගියුලේටරයෙන් කරන්නේ සිලින්ඩරයෙන් මුදා හැරෙන ගෑස් සැපයුම පාලනය කරන එක.

ඇමරිකාවේනම් ගෙවල් වල පාවිච්චියට කඩෙන් ගෑස් ගේන්න අවශ්‍ය නැහැ. ගෑස් සැපයුම් නල ගෙවල් වලට සම්බන්ධ කරලයි තියෙන්නේ. ප්‍රධාන ගෑස් නලයක් දිගේ එන ගෑස් රෙගියුලේටරයක් මගින් පීඩනය අඩු කරලා ගෙවල් වලට සපයනවා. ඒ නිසා, ගෙදර ගෑස් ඉවර වෙනවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ එවැනි යටිතල පහසුකම් නැති නිසා සිලින්ඩරේ ගෑස් ඉවර වෙද්දී කඩෙන් අළුත් ගෑස් සිලින්ඩරයක් ගේන්න වෙනවා. සමහර වෙලාවට ගෑස් ඉවර වෙලා කියලා දැන ගන්න ලැබෙන්නේ හොද්දක් බතක් බාගෙට ඉදී තියෙද්දී ලිප නිවුනාමයි. 

ලංකාවේ පාවිච්චි කරන ආකාරයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක ගෑස් ටිකෙන් ටික ප්‍රයෝජනයට ගනිද්දී සිලින්ඩරයේ පීඩනයත් ටික ටික අඩු වෙනවා මිසක් පීඩනය වැඩි වෙන්නේ නැහැ. මොකද සිලින්ඩරයෙන් ඒකේ තියෙන ගෑස් ඉවත් වෙනවා මිසක් ඇමරිකාවේ වගේ සිලින්ඩරේට ගෑස් එන මාර්ගයක් නැහැනේ. සර්වත්‍ර වායු නියමය අනුව ගෑස් සිලින්ඩරේ පරිමාව වෙනස් වෙන්නෙත් නැත්නම්, උෂ්ණත්වය වෙනස් වෙන්නෙත් නැත්නම්, සිලින්ඩරයේ තිබෙන ගෑස් අණු ගණන අඩු වෙද්දී පීඩනය අඩු විය යුතුයි. 

හැබැයි උෂ්ණත්වය වැඩි වෙද්දී ගේ ලුසැක්ගේ නියමය අනුව පීඩනය වැඩි වෙනවා. ඒ නිසා, සිලින්ඩරයෙන් මුදා හැරෙන ගෑස් නිසා එතුළ පීඩනය අඩු වුනත්, ඒ ගෑස් සිලින්ඩරය ආසන්නයේ දහනය කරද්දී යම් හෙයකින් සිලින්ඩරය ඇතුළේ ගෑස් වල උෂ්ණත්වය විශාල ලෙස ඉහළ ගිහින් ඒ හේතුව නිසා පීඩනය ඉහළ යාමේ බලපෑම වඩා වැඩිනම් සිලින්ඩරයෙන් ගෑස් මුදා හරිද්දී වුවත් ඇතුළේ පීඩනය ඉහළ යන්න පුළුවන්. පීඩනය ඔරොත්තු නොදෙන මට්ටමකට ආවොත් සිලින්ඩරේ පුපුරන්න වුනත් පුළුවන්.

ගෑස් සිලින්ඩර් ගැනත්, ඔය කියපු නියම ගැනත් මම වැඩිපුර දන්නේ නැහැ. ඒ නිසා, ඕවා ගැන නොදන්නා කෙනෙක් ඉන්නවානම් ජනාධිපති නියමය වගේ එකක් කියලා හිතන්නකෝ. ඒකනම් කවුරුත් වගේ දන්නවනේ. "සෑම ගැසට්ටුවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ගැසට්ටුවක් ඇත!".

ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නෙත් ටිකක් විතර ඔය ගෑස් සිලින්ඩරේ වගේ. ඉල්ලුම හා සැපයුම අතර වෙනසක් ඇති වුනාම සිලින්ඩරේ ඇතුළේ පීඩනයක් ඇති වෙනවා. නිදහස් වෙළඳපොළ යාන්ත්‍රනය කියන්නේ ඒ පීඩනය වැඩි වෙන්න නොදී මුදා හරින ස්වභාවික යාන්ත්‍රනය. සිලින්ඩරේ ඇතුළේ ලොකු පීඩනයක් හැදෙන්නේ නැත්නම් රෙගියුලේටරයක් අවශ්‍ය වන්නේ නැහැ. සිලින්ඩරේ විශාල වන තරමට යම් නිශ්චිත ගෑස් ප්‍රමාණයක් එහි ගබඩා කර ගැනීමේදී අඩු පීඩනයක් පවත්වා ගත හැකියි. බොයිල්ගේ නියමය!

ලංකාවේ ගෑස් සිලින්ඩර වලට පුරවා තියෙන්නේ ප්‍රොපේන් හා බියුටේන් මිශ්‍රණයක්නේ. මුලින් තිබී ඇත්තේ බියුටේන් 70%ක සහ ප්‍රොපේන් 30%ක මිශ්‍රණයක්. උපාංග පුපුරන්න පටන් අරන් තියෙන්නේ ඔය අනුපාතය 50:50 ලෙස වෙනස් කළාට පස්සේ. දැන් නැවතත් 70:30 අනුපාතයට යා යුතුයි කියලා රජය නියෝග කර තිබෙනවා. 

ප්‍රොපේන් හා බියුටේන් දෙවර්ගයම හයිඩ්‍රෝකාබන්. ඒ කියන්නේ මේවා හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ කාබන් වලින්. ප්‍රොපේන් අණුවක කාබන් පරමාණු 3ක් හා හයිඩ්‍රජන් පරමාණු 8ක් තිබෙනවා. බියුටේන් අණුවක කාබන් පරමාණු 4ක් හා හයිඩ්‍රජන් පරමාණු 10ක් තිබෙනවා. ඒ කියන්නේ බියුටේන් අණුවක් ප්‍රොපේන් අණුවකට වඩා බරයි. ඒ නිසා, බරෙන් සමාන ප්‍රොපේන් හා බියුටේන් ප්‍රමාණ ගත්තොත් ප්‍රොපේන් වල අණු ගණන වැඩියි. සර්වත්‍ර වායු නියමය අනුව, පරිමාව හා උෂ්ණත්වය සමානනම් පීඩනය තීරණය වන්නේ අණු ගණන මත කියලා කලින් කිවුවනේ. ඒ නිසා, වායු මිශ්‍රණයක බියුටේන් අඩු කරලා ප්‍රොපේන් වැඩි කරද්දී පීඩනය වැඩි වෙනවා. උපාංග පිපිරිලා තියන්නේ ඔය හේතුව නිසා.

අයවැය පරතරය නිසා ඇති වෙන පීඩනයත් ඔය ගෑස් සිලින්ඩරයක් ඇතුළේ හැදෙන පීඩනය වගේ තමයි. හැබැයි මේ සිලින්ඩරේට ඇමරිකාවේදී වගේ කෙළින්ම ගෑස් එනවා. කඩේ ගිහින් ගෑස් පුරවන්න අවශ්‍ය නැහැ. ගෑස් එන්නේ ගෑස් පාවිච්චියට ගන්න තරමටනම් සිලින්ඩරේ ඇතුළේ පීඩනය නියතව තියෙනවා මිස අඩු වැඩි වෙන්නේ නැහැ. නමුත් ගෑස් සිලින්ඩරේට එන වේගයෙන්ම පිට වෙන්නේ නැත්නම් සිලින්ඩරේ ඇතුළේ පීඩනය එන්න එන්නම ඉහළ යනවා. ඒකේ අනෙක් පැත්ත වුනොත් පීඩනය අඩු වෙනවා. 

ඔය විදිහටම රාජ්‍ය වියදම් වැඩි වෙද්දී අයවැය මත පීඩනය වැඩි වෙනවා. ආදායම් ඉහළ යද්දී පීඩනය අඩු වෙනවා. අයවැය හිඟය ඉහළ යන තරමට "සිලින්ඩරේ ඇතුළේ" පීඩනය වැඩි වෙනවා. පීඩනය හැදෙන්නේ වායු වර්ග දෙකක් නිසා. "දේශීය ණය" සහ "විදේශීය ණය". ඔය දෙකෙන් දේශීය ණය බියුටේන් වගේ. විදේශීය ණය ප්‍රොපේන් වගේ. විදේශීය ණය නිසා ඇති වන පීඩනය වඩා වැඩියි. හැබැයි ඔය දෙකෙන් කොයි එකෙන් වුනත් පීඩනය වැඩි වෙනවා.

වියදම් තරමට ආදායම් ඉහළ නොයද්දී අයවැය මත ඇති වන පීඩනය අඩු කර ගන්න කරන එක දෙයක් වන්නේ සල්ලි අච්චු ගැසීමයි. සල්ලි අච්චු ගහලා තාවකාලිකව අයවැය මත වන පීඩනය අඩු කර ගන්න පුළුවන්. සිලින්ඩරේ ගෑස් වේගයෙන් එළියට යද්දී ලිප වඩා හොඳින් දැල්වෙනවා. කෑම හොඳින් ඉදෙනවා. මේක තමයි ආර්ථික වර්ධනය.

හැබැයි මේ විදිහට සල්ලි අච්චු ගහලා අයවැය පීඩනය අඩු කරගෙන ආර්ථිකය වර්ධනය කළ හැක්කේ එක සීමාවක් දක්වා පමණයි. ගෑස් සිලින්ඩරයේ පීඩනය අඩු කරන්න වැඩියෙන් ලිපට ගෑස් එවලා ලිපේ ගින්දර වැඩි වුනොත් බත රොස් වෙනවා. කාමරයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒක තමයි උද්ධමනය කියන්නේ.

සිලින්ඩරයේ ගෑස් අඩු වෙද්දී ඒ තුළ පීඩනය අඩු වෙන්නේ කාමරයේ උෂ්ණත්වය නියතව තිබුණොත්නේ. හැබැයි ලිපේ දැල්ලේ සැර වැඩි වෙලා කාමරයේ උෂ්ණත්වය ඉහළ ගිහින් සිලින්ඩරයේ ගෑස් වල උෂ්ණත්වයත් ඉහළ ගියොත් සිලින්ඩරයේ ගෑස් පරිමාව අඩු වෙද්දී වුනත් පීඩනය ඉහළ යන්න පුළුවන්. එතකොට ගෑස් සිලින්ඩරය පුපුරන එක වලක්වා ගන්න තව තවත් වැඩි වැඩියෙන් ගෑස් නිදහස් කරන්න වෙනවා. ඒ ගෑස් ලිපේ දැවෙද්දී උෂ්ණත්වය තව තවත් ඉහළ යාම නිසා පීඩනය වැඩි වීමේ විෂම චක්‍රයක් හැදුනොත් මොකද වෙන්නේ? 

ඔය වගේ වෙලාවක මුලින්ම කළ යුත්තේ සිලින්ඩරයට ගෑස් එන සැපයුම සීමා කරන එකයි. ඒ කියන්නේ අයවැය හිඟය. සිලින්ඩරේට ගෑස් එන එක සීමා නොකර සිලින්ඩරෙන් පිට වෙන ගෑස් සැපයුම සීමා කළාම මොකද වෙන්නේ? 

කාමරේ රත් වෙන එක අඩු වෙන නිසා පීඩනය පොඩ්ඩක් අඩු වුනත් පිටවෙන තරමට වඩා වැඩියෙන් දිගින් දිගටම සිලින්ඩරයට ගෑස් එන නිසා සිලින්ඩරේ ඇතුළේ පීඩනය එන්න එන්නම වැඩි වෙන එකයි වෙන්නේ. ඔය පීඩනය නිදහස් වෙන්නේ කොයි වෙලාවක හෝ ගෑස් සිලින්ඩරේ පිපිරුවාමයි. දිගින් දිගටම ආදායම් ඉක්මවා වියදම් කරමින් මිල පාලනය හා විණිමය අනුපාතය පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කරන්න ගියාම ඇති වෙන්නේ ඔය වගේ තත්ත්වයක්.

සිලින්ඩරය පුපුරන එක වලක්වන්නනම් කොයි වෙලාවක හරි වෑල් ඇරලා ගෑස් නිදහස් කරන්නම වෙනවා. එහෙම කරන්න වෙන වෙලාවට කාමරයේ උෂ්ණත්වය ලොකුවටම වැඩි වෙනවා. කාට කාටත් උෂ්ණත්වය දැනෙන්න ගන්නවා. හැබැයි ඔය වැඩේ පරක්කු කිරීමෙන් වෙන්නේ  වෑල් ඇරලා ගෑස් නිදහස් කිරීමෙන් පස්සෙත් සිලින්ඩරය ඇතුළේ පීඩනය අඩු වෙනවා වෙනුවට වැඩි වෙන තත්වයක් දක්වා තත්ත්වය ඔඩු දුවන එක. මිල පාලනය හා විණිමය පාලනය නිසා දැන් ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වයත් ඔය වගේ!

ඩොලරයක මිලෙන් නොවැසෙන ආර්ථිකයේ හෙළුව


ඇමරිකාවේ ශීත සෘතුව හා වසරාන්ත නිවාඩු කාලය එළැඹෙමින් තිබෙනවා. මේ නිවාඩු සමයේ දන්නා කියන කීප දෙනෙක්ම ලංකාවට යන්න සූදානමින් ඉන්නවා. වසංගත තත්ත්වය නිසා බොහෝ දෙනෙකුට පෙර දෙවසර තුළ ලංකාවට යන්න ලැබුණේ නැහැ. ඔමික්‍රෝන් නිසා අනාගතය පිළිබඳව තිබෙන්නේද අවිනිශ්චිත තත්ත්වයක්. ග්‍රීක හෝඩියේ අකුරු ඉවර වෙනකම් කෝවිඩ් ප්‍රභේද අලුතෙන් එන එක ඉවර වෙන එකක් නැහැ. 

ඇමරිකාවේ ඉන්න ගොඩක් අය ලංකාවට යන්න මේ කාලය තෝරා ගැනීම තේරුම් ගත හැකියි. ගුවන් ගමන්පත් මිල වුවත් සාමාන්‍ය වසරකදී තරම් වැඩි නැහැ. එහෙත්, සංචාරය කරන්නෙකු විසින් අනුගමනය කළ යුතු නියාමන රෙගුලාසි ගණනාවක් තිබෙනවා. පෞද්ගලිකව සංචාරයට කොයි තරම් ලැදි කෙනෙක් වුවත්, සංචාරය කිරීමේදී සැපිරිය යුතු විවිධ කොන්දේසි එක්ක රටින් එළියට යන එක ගැන මටනම් තවමත් හිතන්න අමාරුයි. රට ඇතුළේ වුවත් ගුවනින් යන ගමනකින් සතුටක් ලැබිය හැකි තත්ත්වයක් තවමත් නැහැ.

ඇමරිකාවේ සිට ලංකාවට යන අයට කොහොමටත් ලංකාවෙන් විවිධ ඉල්ලීම් එනවා. ගොඩක් වෙලාවට මේ වගේ ඉල්ලීම් එන්නේ සාමාන්‍යයෙන් ලංකාවෙන් පිට සංචාරය නොකරන, බොහෝ විට රටින් එළියට ගිහින්ම නැති, නෑදෑයන් වගේ අයගෙන්. පෙනෙන විදිහට දැන් මේ තත්ත්වයේ වෙනසක් වෙලා. ලංකාවට යන ගොඩක් අයට මෙවර විවිධ ඉල්ලීම් කර තිබෙන බව පෙනෙන්නේ සාමාන්‍යයෙන් නිතර රටින් පිට සංචාරයෙහි යෙදෙන ඉහළ මධ්‍යම පාංතික යහළු යෙහෙළියන් විසින්. ගොඩක් අයට අවශ්‍ය මිල අධික සුඛෝපභෝගී භාණ්ඩ. විශේෂයෙන්ම විවිධ සන්නාම වල සුවඳ විලවුන්, චර්මාලේප වගේ දේවල් හා පරිගණක උපාංග, ඉලෙක්ට්‍රොනික උපකරණ ආදිය. 

ගොඩක් අය කියන්නේ "සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඔය බ්‍රෑන්ඩ් එකම ගේන්න. ලංකාවට ආවහම සල්ලි දෙන්නම්" කියලා ලංකාවේ යාලුවෝ කියනවා කියලයි. ටික දවසකට ලංකාවට යන මේ ගොඩක් අයට දැන් තිබෙන ප්‍රශ්නය ලංකාවේදී ලැබෙන රුපියල් වලට කරන්නේ මොකක්ද කියන එකයි. සාමාන්‍යයෙන් ලංකාවට යන අය සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ලංකාවේදී රුපියල් වලට මාරු කරන නමුත් මෙවර මේ ගොඩක් අය එහෙම කරන එකක් නැහැ. ඉලෙක්ට්‍රොනික බඩු, රූපලාවන්‍යය සඳහා අවශ්‍ය දේ පමණක් නෙමෙයි. ඉස්සර ලංකාවෙන් ඇමරිකාවට එද්දී කහ කුඩු අරගෙන ආපු අය දැන් ලංකාවට කහ අරගෙන යනවා. මම හිතන්නේ කොළඹ අවට ඉන්න දෙමළ අයට එහෙම කහ නැතුවම බැරි දෙයක්. 

මේ යන අයට ඒ අයගේ ලංකාවේ යාලුවෝ රුපියල් දෙද්දී ඩොලර් එකකට කීය ගානේ රුපියල් දෙයිද? හොඳ ප්‍රශ්නයක් වුනත් පෞද්ගලික කරුණක් නිසා ආපසු ආවට පස්සේ ඔය වගේ දේවල් හාරා අවුස්සා අහන්න බැහැ. සමහර විට නිල අනුපාතය වන රුපියල් 200 බැගින් හෝ පොඩ්ඩක් වැඩියෙන් දෙයි. 

ලංකාවේ ඩොලර් සංචිත පිළිබඳ අලුත්ම තත්ත්වය ගැන කිහිප දෙනෙක් විසින්ම දැනුවත් කිරීම් කර තිබුණා. නොවැම්බර් අවසානය වෙද්දී නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,587 දක්වා පහත වැටිලා. මේ ගණනට රන් සංචිත සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇති වත්කම් ආදියත් ඇතුළත්. නොවැම්බර් මාසය තුළ පමණක් මහ බැංකුව විසින් ඩොලරයේ මිල තිබෙන මට්ටමේ තියා ගැනීම සඳහා ඩොලර් මිලියන 311ක් විකුණා තිබෙනවා. 

ඔක්තෝබර් මාසය අවසාන වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් ඩොලර් මිලියන 1,260ක් පමණ දක්වා ඉහළ ගිහින්. බැංකු පද්ධතියම ගත්තොත් ඩොලර් බිලියන 4,180ක පමණ හිඟයක් තිබෙනවා. නොවැම්බර් මාසය තුළ මේ තත්ත්වය තවත් දරුණු වී තිබිය යුතු බව පැහැදිලියි.

විණිමය අනුපාතය පාලනය කිරීම නිසා ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන ඩොලර්ද විශාල ලෙස පහළ යමින් තිබෙනවා. මහ බැංකුව හදන්නේ මුදල් හුවමාරු කරන්නන් බය කර ඩොලරයේ කළු කඩ මිල පාලනය කරන්නයි. එයින් සිදු විය හැක්කේ කළුකඩය හරහා එන ඩොලර් වලින් කොටසක් අඩුවන එක පමණයි. ඩොලර් ඇති අය ඩොලර් රුපියල් නොකරන්නේ මිල සාධාරණ නැති නිසා. කළුකඩ විකල්පය නැති වුනා කියා මේ සල්ලි බැංකු පද්ධතියට එන්නේ නැහැ. යම් ප්‍රමාණයක් පමණක් එයි. බොහෝ විට එහි වාසියට වඩා ශුද්ධ ලෙස රටට ඩොලර් නොපැමිණීමේ පාඩුව වැඩියි. 

සංඛ්‍යාලේඛණ පිරික්සා නැතත් ලංකාවට එන සංචාරකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අය. විදේශයක පුරවැසිභාවය ලබාගත් අයෙක් සංචාරක වීසා මත රටට පැමිණෙන විට සංඛ්‍යාලේඛණ වල ඔවුන් පෙනෙන්නේ අදාළ රටෙන් පැමිණි සංචාරකයන් ලෙසයි. ඔවුන් වගේම ද්විත්ව පුරවැසියන්ද ලංකාවේ සංචාරය කරද්දී ඩොලර්, පවුම්, යුරෝ ආදිය අරගෙන ඇවිත් මාරු කරනවා. සංචාරක ඉපැයීම් වල මෙවැනි ලැබීම්ද සැලකිය යුතු කොටසක් තිබෙනවා. මා ලිපිය මුලින්ම විස්තර කළ තත්ත්වයන් යටතේ වෙන්නේ මෙවැනි ලැබීම් අහිමිව යාමයි. 

ඩොලරයේ මිල ස්ථිරව තියා ගන්න යාම නිසා ලංකාව විශාල වන්දියක් ගෙවා තිබෙනවා. වත්මන් අර්බුදයට පාදක හේතුව රජයේ අයවැය හිඟය වුවත් ආසන්නම හේතුව විදේශ ණය යොදවා ඩොලරයේ මිල පාලනය කිරීමයි. අයවැය හිඟය 1947 සිට පවතින ප්‍රශ්නයක් වුවත්, වත්මන් ඩොලර් හිඟයට හේතු වී තිබෙන අවුලේ ලංකාව පැටලුනේ 2010 වසරේදී. ඩොලරය 200 මට්ටමේ තියා ගන්නා තුරු සිදුවන්නේ විනාශය තවතවත් දරුණු වීම හා ඉක්මන් වීම පමණයි.

දැන්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ගොඩ දාගන්නවත් කාලයක් නැහැ. ලංකාවට ඉතා ඉක්මණින් ඉන්දියාවෙන්, චීනයෙන් හෝ බටහිර රටකින් ලොකු ඩොලර් ණයක් ගන්නම වෙනවා. ඉතිරිව තිබෙන සොච්චම් ඩොලර් ප්‍රමාණයෙන් ආර්ථිකයේ හෙළුව වහගෙන ඉන්න කොයි තරම් හැදුවත්, ඔය සොච්චම් ඩොලර් ටික පොඩ්ඩක් එහාමෙහා වූ විට කාලයක් තිස්සේ වහගෙන ඉන්න අවලස්සන දේවල් ඔක්කොම එළියේ!

(Image: https://cartoonmovement.com/cartoon/fistful-dollars-0)

Sunday, December 5, 2021

පල්ලියේ පන්සල


ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ බ්‍රයන් නගරය ඉතාම කුඩා නගරයක්. ජනගහණය 8,729ක් පමණයි. එයින් 95%ක් පමණම සුදු ජාතිකයින්. මා දන්නා තරමින් ශ්‍රී ලාංකික සම්භවය ඇති කිසිවකු එම නගරයේ නැහැ. එහෙත් ඔහායෝ ප්‍රාන්තයේ වඩා විශාල නගර වල හා යාබද ප්‍රාන්ත වල තැනින් තැන ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් විසිරී සිටිනවා. 

ඔහායෝ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික මෙතෝදිස්ත පල්ලියක් එහි වත්මන් හිමිකරු විසින් සඟසතු කර පූජා කිරීමෙන් පසුව මේ වන විට එය බෞද්ධ පන්සලක් හා භාවනා මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී තිබෙනවා. පන්සලේ විහාරාධිපති ධුරය දරන තලංගම දේවානන්ද හිමියන් එහි අතීත උරුමය පිළිබිඹු වන පරිදි Father John's Loving Kindness Meditation Society යනුවෙන් මෙම ස්ථානය නම් කර තිබෙන අතර එහි අතීත ගෘහ නිර්මාණ සැලසුම හා චිත්‍ර ආදිය එලෙසම නඩත්තු කරමින් ආරක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම මෙම ස්ථානය ඕනෑම ආගමිකයෙකුට විවෘතයි. 

දේවානන්ද හිමි කැලිෆෝර්නියා හා ඉන්දියානා ප්‍රාන්ත වල පිහිටි තවත් පන්සල් දෙකක ද විහාරාධිපති ධුරය දරනවා. සම්ප්‍රදායික ක්‍රිස්තියානි පල්ලියක් පන්සලක් වීම අපූරු අත්දැකීමක්. 


ඇමරිකාවේ ඕනෑ විදිහට පන්සල් හදන්න බැහැ. ඒ වගේම ඕනෑ විදිහට වෙනත් ආගමික ස්ථාන, ව්‍යාපාරික ස්ථාන හෝ නිවාස හදන්නත් බැහැ. ගෙදරක් කුලියට දීමේ නිදහස තබා ගෙදරක ඉදිරිපස හා පසුපස වැවිය හැකි ගස් ගණන තීරණය කිරීමේ නිදහස පවා ඇතැම් විට නිවාස හිමියාට නැහැ. ඒ වගේ දේවල් තීරණය වන්නේ කිසියම් ප්‍රදේශයක බහුතරයකගේ කැමැත්ත මතයි. එහෙත්, ඇමරිකාවේ බෞද්ධයින් ඇත්තේම නැති නගරයක වුවත් පල්ලියක් පන්සලක් කරන්න බැරි කමක් නැහැ.

ඡායාරූපය දේවානන්ද හිමිගේ වත්පොත් පිටුවෙන්.

ප්‍රියන්ත කුමාර දියවඩන


පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ආදි විද්‍යාර්ථී ප්‍රියන්ත කුමාර දියවඩනව ඉස්ලාම් අන්තවාදීන් විසින් ඉතා සාහසික ලෙස මරා දමන ආකාරය දැඩි කම්පාවක් ඇති කරන සිදු වීමක්. ඔහුගේ සිරුරට ගිණි තියන්නේ මිය යාමෙන් පසුවද, පණ පිටින්මද යන්නත් සැක සහිතයි. ප්‍රියන්තට විඳින්නට සිදු වී ඇති වද වේදනා අනුව ඔය දෙකෙන් කොයි එක සිදු වී තිබුණත් වැඩි වෙනසක් නැහැ. එක් පාදයක අස්ථි හැර ඔහුගේ සිරුරේ හැම ඇටයක්ම බිඳී ඇති බවත්, කොඳු ඇට පේලිය තුන් පොළකින් කැඩී ඇති බවත්, සිරුරේ හැම වැදගත් අවයවයකටම හානි වී ඇති බවත්, සිරුරෙන් 99%ක්ම පිළිස්සී ඇති බවත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්. එහෙත් මරණයට හේතුව සේ සඳහන්ව ඇත්තේ හිස්කබලට සිදුව ඇති හානි. 

ප්‍රියන්ත පකිස්ථානයේ වසර ගණනාවක් ජීවත්ව ඇති, විශාල පකිස්ථානුවන් පිරිසක් සේවය කරන සමාගම් වල ඉහළ මට්ටමේ කළමණාකරුවෙකු ලෙස සේවය කර ඇති අයෙක්. ඔහුට පකිස්ථානුවන් හිතන, ක්‍රියා කරන ආකාරය ගැන සැලකිය යුතු අවබෝධයක් නොතිබුණා විය නොහැකියි. වාර්තා අනුව ඔහු කර තිබෙන "වරද" ඉස්ලාම් ආගමික පාඨ අඩංගු වූ පෝස්ටරයක් ඉරා කුණු බක්කියට දැමීමයි. මෙවැන්නක් ඇත්තටම සිදු වුනා හෝ එවැනි කටකතාවක් පැතිරුණා විය හැකියි. 

ප්‍රියන්තව මරා දමන්නේ ඔහුගේ ආයතනයේම සේවකයින් විසින්. සේවකයින්ට ලොක්කා සමඟ තිබෙන තරහක් හෝ ලොක්කා විදේශිකයෙක් වීම නිසා තිබෙන තරහක් ආගමික අපහාසයක් එක්ක පැටලෙන එක පහසුවෙන් සිදු විය හැකි දෙයක්. මේ වැඩේට විශාල පිරිසක් හවුල් වෙනවා. ඒ අතරින් ප්‍රියන්තව බේරා ගන්න ඉදිරිපත් වන්නේ කිහිප දෙනෙක් පමණයි. එහෙත්, ගුටි කෑමේ අවදානම ගන්නා එවැනි අයද කිහිප දෙනෙක් හෝ ඉන්නවා. මේ වගේ පිරිසක් අතර රැල්ලට පිටින් යන බොහෝ දෙනෙක් සිටිනු ඇතැයි අපේක්ෂා කළ නොහැකියි.

මේ වගේ අවස්ථා වල මිනිස්සු ක්‍රියා කරන්නේ සාමාන්‍ය බුද්ධියෙන් නෙමෙයි. ඇතැම් විට හැඟීම් අනුව වුවත් බොහෝ විට දැකිය හැක්කේ හැඟීම් වලින්ද තොරව රොබෝ වරුන් සේ ක්‍රියා කිරීමක්. මේ ආකාරයේ සිදුවීම් වෙන්නේ ඉස්ලාම් ආගමික පසුබිමක පමණක් නෙමෙයි. හැම ආගමකම වගේ ආගමික අන්තවාදීන් ඉන්නවා. ආගමික නොවන අන්තවාදීන්ද ඉන්නවා. එහෙත්, වත්මන් ලෝකයේ අනෙක් හැම ප්‍රධාන ආගමකටම සාපේක්ෂව ඉස්ලාම් ආගමික සන්දර්භයන් තුළ ආගමික අන්තවාදීන් පෝෂණය වීම වැඩියෙන් දැකිය හැකි දෙයක්. 

මේ ක්‍රියාව ඉස්ලාම් ආගම සමඟ එකඟ නැති, ඉස්ලාම් ඉගැන්වීම් වලට විරුද්ධ දෙයක් බව බොහෝ දෙනෙක් කියයි. එසේ කියන අයට සාපේක්ෂව මේ කරුණ ඇත්තක් විය හැකියි. එහෙත් ප්‍රශ්නය ආගම් මෙන්ම ආගමික ඉගැන්වීම්ද පුද්ගලයාට සාපේක්ෂ වීමයි. මෙවැන්නක් ඉස්ලාම් ආගමට එකඟ බව සිතන අයද සිටිනවා. ඒ පිරිස, ලෝකයේ හෝ පකිස්ථානයේ ඉස්ලාම් ආගම අදහන අයගෙන් බහුතරය නොවිය හැකි වුවත් සැලකිය යුතු පිරිසක්. 

ලෝකයේ බොහෝ ආගම් ව්‍යාප්ත වී තිබෙන්නේ යම් සාහසිකත්වයක් සමඟයි. හින්දු ආගම ඓතිහාසිකව අද තිබෙන ආකාරයේ අවිහිංසාවාදී ආගමක් නෙමෙයි. යුදෙවු ආගමික ඉගැන්වීම් මත පදනම්ව අද දැකිය හැකි යුදෙවු සංස්කෘතියට වඩා බොහෝ පසුගාමී යුදෙවු සංස්කෘතියක් නඩත්තු විය හැකිව තිබුණා. බොහෝ දෙනෙකු අදහන ජේසුස් සහ ඓතිහාසිකව ජීවත් වූ ජේසුස් එක් අයෙක් නෙමෙයි. මේ සියලුම ආගම් අද තිබෙන තැනට පරිණාමය වී තිබෙන්නේ කාලයත් සමඟ ප්‍රතිසංශෝධනය වීමෙන්. මෙය දිගින් දිගටම සිදු වෙනවා. ඉස්ලාම් ආගම හා අදාළවද මෙය සිදු වුනත්, ඒ අනෙක් ආගම් වලට සාපේක්ෂව අඩුවෙන්. 

කිසියම් සංස්කෘතියක් ඉදිරියට යන්නේ එම සංස්කෘතියෙහි පසුගාමී චර්යාවන් විවේචනය වන තරමටයි. විවේචනයට ඉඩ නැති සංස්කෘතියක් එක තැන පල් වෙනු මිස ඉදිරියට යන්නේ නැහැ. ආගමක් හා අදාළව කරන විවේචනයක් හා ආගමික අපහාසයක් අතර ඉරක් අඳින එක ඉතාම අපහසු වැඩක්. ඒ නිසා, ආගමක් හෝ ආගමකට සම්බන්ධ චර්යාවක් විවේචනය කරන අයෙකුට ආගමික අපහාස චෝදනා එල්ල වීමේ අවදානම තිබෙනවා. මෙයින් වැඩිපුරම පීඩා විඳින්න වෙන්නේ අදාළ සංස්කෘතිය තුළම ජීවත් වන අයටයි.

ප්‍රියන්ත දියවඩන ඝාතනය සිදු වන්නේ පකිස්ථානයේ නීති රාමුවෙන් පිටයි. එහෙත්, පකිස්ථානයේ නීති රාමුව තුළම, ඉස්ලාම් ආගමට අපහාස කිරීම මරණ දණ්ඩනය ලැබෙන වරදක්. ආගමික අපහාස චෝදනා එල්ල වූ අයෙකු වෙනුවෙන් කතා කරන්න නීතිඥයෙකු සොයා ගන්න එකත් පහසු වැඩක් නෙමෙයි. බොහෝ විට එසේ ඉදිරිපත් වල නීතිඥයින්ටත් මරණය තෝරා ගන්න සිදු වෙනවා. ඒ වගේම, චෝදනාවට අදාළ පාඨය ගැන නැවත උපුටා දක්වමින් කතා කිරීමේ හැකියාවක්ද නැහැ. එසේ කළොත් එය ආගමික අපහාසයක් වෙනවා. නීති රාමුව තුළම වුවත් ආගමික අපහාස එල්ල වූ අයෙකුට බේරෙන්න තිබෙන්නේ ඉතාම සීමිත ඉඩක්.

මේ හා අදාළ පකිස්ථානයේ තත්ත්වය තේරුම් ගන්න මා කලින් ලිපි කිහිපයකින් විස්තර කර තිබෙන ජුනයිඩ් හෆීස් සිදු වීම ඉවහල් වේයැයි මා සිතනවා. මුස්ලිම් බහුතර රටක සේවයට හෝ සංචාරයට යන අයෙකු ඒ රටවල් වල ආගමික අපහාස සේ සැලකෙන දේවල් කොයි තරම් භයානක ප්‍රතික්‍රියාවන්ට හේතු වේදැයි හොඳින් අවබෝධ කරගෙන එවැනි රටකට ඇතුළු විය යුතුයි.

ජුනයිඩ් හෆීස්

අනෙකාගේ නහය කොන හඳුනාගැනීම (පළමු කොටස)

අනෙකාගේ නහය කොන හඳුනාගැනීම (දෙවන කොටස)

Tuesday, November 30, 2021

උතුරු මැද ගොඩ දා ගොඩ යා හැකිද?


ලංකාවේ පළාත් නවයෙන් ලොකුම පළාත උතුරු මැද පළාත. වර්ග කිලෝ මීටර 65,610ක් වන ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 10,472ක්ම තියෙන්නේ උතුරු මැද පළාතේ. ප්‍රතිශතයක් ලෙස 16.0%ක්. නමුත්, උතුරු මැද පළාතෙන් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය 5.4%ක් පමණයි. මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද?

හරිම සරලයි. කරන්න තියෙන්නේ විසඳන්න ප්‍රශ්නයක් නැති බව තේරුම් ගන්න එක පමණයි.

පළාතක භූමි ප්‍රමාණය හා එම පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය අතර සෘජු සම්බන්ධයක් තිබෙන්න හෝ තිබිය යුතු වෙන්න කිසිම හේතුවක් නැහැ. එහෙම සම්බන්ධයක් නොතිබීම ප්‍රශ්නයක් සේ පෙනීමම ශත වර්ෂ දෙක තුනකට පමණ පෙර පැවතුනු ලෝකය දිහා බලාගෙන හදපු න්‍යාය වලින් එහාට කිසි දෙයක් ගැන යාවත්කාලීන වී නැති අයගේ පසුගාමී අදහසක්. 

රටක නිෂ්පාදිතය හා භූමි ප්‍රමාණය අතර සම්බන්ධයක් තිබුණු කාලයක් තිබුණා. ඒ බොහොම ඉස්සර. කෝපි කාලෙටත් කලින්. ලෝකයේ භූමි ප්‍රමාණය සීමිත නිසා මිනිස්සුන්ට දියුණු විය හැක්කේත් එක්තරා සීමාවක් දක්වා පමණයි කියන අදහසටත් ඒ කාලයේ යම් පිළිගැනීමක් තිබුණා. මේ අදහසේම සාපේක්ෂව මෑතකාලීන වර්ෂන් එකක් වුනේ ලෝකයේ පොසිල ඉන්ධන සීමාසහිත නිසා පොසිල ඉන්ධන අවසන් වෙද්දී මිනිස් ශිෂ්ඨාචාරයේ දියුණුවත් නවතිනවා කියන එක. හැබැයි ඔය දෙකෙන් එකක්වත් වුනේ නැහැ.

සිංගප්පුරුවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 709යි. මුහුද ගොඩ කරලා එකතු කරගත් කොටසුත් එක්ක. සිංගප්පුරුවේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 340ක්. කසකස්ථානයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 2,724,900ක්. ඒ කියන්නේ කසකස්ථානය සිංගප්පූරුව වගේ 3,843 ගුණයක් ලොකුයි. නමුත්, කසකස්ථානයේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 170ක් පමණයි. සිංගප්පූරුවේ ප්‍රමාණයෙන් බාගයයි. එතකොට මොන්ගෝලියාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 1,564,116ක්. ඒ කියන්නේ මොන්ගෝලියාව සිංගප්පූරුව වගේ 2,206 ගුණයක් ලොකුයි. නමුත්, මොන්ගෝලියාවේ දදේනි ඇමරිකන් ඩොලර් බිලියන 14ක් පමණයි. ඒ කියන්නේ සිංගප්පූරුවේ දදේනි මොන්ගෝලියාවේ දදේනි වගේ 25 ගුණයක්.

දැන් මේ කසකස්ථානය, මොන්ගෝලියාව වගේ රටවල් මාක්ස්වාදී, සමාජවාදී, මධ්‍යගත සැලසුම් ක්‍රමයක් විශාල කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරමින් සූරාකෑම්, ආදායම් විෂමතා අඩු කරපු රටවල්නේ. ඒ නිසා, ධනවාදයයේ ප්‍රශ්නයක් කියලා කාටවත් ඇඟ බේරගන්නත් බැහැ. හැබැයි මේ වෙනසට ප්‍රධාන හේතුව සමාජවාදය නෙමෙයි. නූතන ආර්ථිකයකට වර්ධනය වෙන්න ඉඩම් අවශ්‍ය නැහැ. ඉඩම් තිබුණා කියලා නූතන ආර්ථිකයකට වර්ධනය වෙන්නත් බැහැ. එහෙම කවුරු හෝ හිතනවානම් ඒක යල් පැනලා, මුල් ඇදලා, අල බැහැලා, අලත් පැල වෙච්ච අදහසක්.

ආර්ථිකයේ ප්‍රමාණය භූමි ප්‍රමාණය එක්ක සසඳන එක කිසිම තේරුමක් නැති දෙයක් වුනත් ආර්ථිකයේ ප්‍රමාණය ජනගහණය එක්ක සසඳන එකේනම් තේරුමක් තිබෙනවා. උතුරු මැද පළාතේ ජනගහණය රටේ ජනගහණයෙන් 6.2%ක්. එහෙම බැලුවහම උතුරු මැද පළාතෙන් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය වන 5.4% පොඩ්ඩක් මදි. හැබැයි බස්නාහිර පළාත හැර ලංකාවේ අනෙක් හැම පළාතම තත්ත්වය ඕකයි. 

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 39.1%කටම දායක වන බස්නාහිර පළාතේ ඉන්නේ රටේ ජනගහණයෙන් 28.7%ක් පමණයි.  බස්නාහිර දායකත්වය වැඩි නිසා, අනෙක් හැම පළාතකම ජනගහන අනුපාතයට වඩා දදේනි දායකත්වය ටිකක් අඩුයි.

යම් කිසි අයෙකුට හෝ ප්‍රදේශයකට ආදායම සේ ලැබෙන්නේ එම පුද්ගලයා හෝ ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයින් විසින් දළ දේශීය නිෂ්පාදනයට ලබා දෙන දායකත්වය. ඒකනම් කලින් අදහස වගේ පසුගාමී අදහසක් නෙමෙයි. ධනවාදී අදහසක්. එහෙම බැලුවහම උතුරු මැද පළාතේ සාමාන්‍ය ආදායම බස්නාහිරට වඩා අඩුයි. හැබැයි ලංකාවේ අඩුම සාමාන්‍ය ආදායම තිබෙන පළාත උතුරු මැද පළාත නෙමෙයි. තව පළාත් හතරක්ම තිබෙන්නේ ඊට පහළින්. කොහොම වුනත්, බස්නාහිර පළාත ඇරුනහම අනෙක් පළාත් අටේ සාමාන්‍ය ආදායම් අතර විශාල වෙනසක් නැහැ.

ඒ කියන්නේ කොළඹට කිරි පිටට කැකිරිද?

එහෙමමත් නැහැ. කොළඹ ජීවත් වෙන්නේ සහ වැඩ කරන්නේ කොළඹ ඉපදුණු අයම නෙමෙයි. උතුරු මැද ඇතුළු හැම පිට පළාතකම අය කොළඹට එනවා. ඒ එන්නේ දළ දේශීය නිෂ්පාදිතයට වැඩි දායකත්වයක් දිය හැකි අය. උතුරු මැද ඉතුරු වෙන්නේ එහෙම බැරි අය. ඒ නිසා, උතුරු පළාතේ සාමාන්‍ය ආදායම පහළ ගිහින් බස්නාහිර සාමාන්‍ය ආදායම ඉහළ යනවා. හැබැයි පුද්ගලයින් වශයෙන් ගත්තොත් උතුරු මැද ඉපදුනු කෙනෙකුට ලොකු අවාසියක් වෙලා නැහැ. 

අනෙක් අතට බස්නාහිර පළාතේ රැකියා කරන බොහෝ දෙනෙක් බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකරුවෝ නෙමෙයි. අනුරාධපුරෙන් කොළඹ එන ගාමන්ට් නංගිලා, ස්පා නංගිලා බස්නාහිර පළාතේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළත් ඒ ආදායම උතුරු මැද පළාතට යනවා. පොළොන්නරුවෙන් කැම්පස් ගිහින් කොළඹ පදිංචි වෙලා ඉන්න දොස්තර අක්කලා, ඉංජිනේරු අයියලා බස්නාහිර පළාතේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු කරන දෙයිනුත් කීයක් හරි උතුරු මැද පළාතට යනවා. ඒ නිසා, උතුරුමැද පළාතේ දදේනි කියන්නේ උතුරුමැද පළාතේ ආදායම වුනත් උතුරුමැද පළාතේ පරිභෝජනයේ ප්‍රමාණය නෙමෙයි.


ඉතා පැහැදිලිවම උතුරු මැද පළාත ලංකා සිතියමේ ලොකුවට තිබෙන නිසා ඒ අනුපාතයට ඒ පළාතෙන් ලැබෙන දදේනි දායකත්වය වැඩි කරන්න සැලසුම් හදන එක ඉතාම සිඟිති, ඒ වගේම අන්තරායකාරී වැඩක්. ඔය වැඩේ අවසන් ප්‍රතිඵලය විදිහට තියෙන ජාතික ආදායමත් අඩු වෙන එක විතරයි වෙන්නේ.

හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. රටේ භූමි ප්‍රමාණයෙන් 16.0%ක් තියෙන උතුරු මැද පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට ලැබෙන දායකත්වය 8.7%ක් පමණයි. මෙයට සාපේක්ෂව රටේ ඉඩම් වලින් 5.6%ක් පමණක් තිබෙන, කුඩාම පළාත වූ බස්නාහිර පළාතෙන් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට 9.7%ක දායකත්වයක් ලැබෙනවා. දෙවෙනි ලොකුම පළාත වූ, රටේ භූමි ප්‍රමාණයෙන් 15.2%ක් තියෙන නැගෙනහිර පළාත ගත්තත් උතුරු මැද ප්‍රශ්නයම තියෙනවා. නැගෙනහිරින් දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික කොටසට ලැබෙන දායකත්වය 10.3%ක් පමණයි. අනෙක් අතට 8.5%ක භුමි ප්‍රමාණයක් තියෙන දකුණු පළාතෙන් 15.9%ක දායකත්වයකුත්, 8.7%ක භුමි ප්‍රමාණයක් තියෙන මධ්‍යම පළාතෙන් 11.5%ක දායකත්වයකුත් කෘෂිකාර්මික කොටසට ලැබෙනවා.

උතුරු මැද හා නැගෙනහිර පළාත් කියන්නේ දේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් වී ගොවිතැනේ හිරවෙලා ඉන්න පළාත්. හරියටම කිවුවොත් හිර කරලා තිබෙන පළාත්. මෙයින් වෙනස්ව තෙත් කලාපයේ හා මධ්‍යම කඳුකරයේ ඉඩම් බොහෝ විට යොදා ගැනෙන්නේ අපනයන කෘෂිකර්මය සඳහා. උතුරු මැද හා නැගෙනහිර පළාත් වලට ගෙවන්න වී තිබෙන්නේ අපි හදාගෙන අපි කන එකේ මිල. උතුරු මැද පළාතේ තත්ත්වය වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ මධ්‍යගත සැලසුමක් නෙමෙයි. උතුරු මැද ගොවියා නිදහස් කර ඉඩම් වෙළඳපොළ සක්‍රිය කරන පුළුල් ඉඩම් ප්‍රතිසංස්කරණයක්. 

රටක් දියුණු වෙද්දී ඒ රටේ කෘෂිකාර්මික නිෂ්පාදිතයේ පංගුව එන්න එන්නම කුඩා වෙනවා මිසක් ලොකු වෙන්නේ නැහැ. එහෙම ලොකු කරන්න හදන එකෙන් වෙන්නේ ආර්ථිකය පස්සට යන එකයි. කෘෂිකාර්මික නිෂ්පාදිතයේ පංගුව කුඩා වෙනවා කියා කියන්නේ කෘෂිකාර්මික නිෂ්පාදිතය කුඩා වෙනවා කියන එක නෙමෙයි. අනෙක් අංශ වඩා වේගයෙන් ප්‍රසාරණය වෙනවා කියන එක. මේ වැඩේ වෙද්දී ලොකු භුමි ප්‍රමාණයක් තිබෙන, ජන ඝනත්වය අඩු පළාත් වලින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වයේ ප්‍රතිශතය පහළ යන එක සාමාන්‍ය දෙයක්. එය සතුටු විය යුතු කරුණක් මිසක් කණගාටු විය යුතු හෝ වෙනස් කළ යුතු කරුණක් නෙමෙයි.

වෙබ් ලිපිනය: