වෙබ් ලිපිනය:

Thursday, August 3, 2017

යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති


මේ වන විට ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්නේ ඉතා සීමිත පිරිසකි. ආණ්ඩුව පිහිටවීමට මුල් වූ, ආණ්ඩුවට සෘජුව සම්බන්ධ පමණක් නොව ආණ්ඩුවේම කොටස් ලෙස සැලකිය හැකි බොහෝ දෙනෙක්ද දැන් ආණ්ඩුව වෙනුවෙන් කතා කරනු නොපෙනේ.

මෙය දෙවසරකට පෙර පැවති තත්ත්වයෙන් විශාල ලෙස අපගමනය වීමකි. ඒ දවස් වල රැල්ල තිබුණේ කලින් ආණ්ඩුවේ වැරදි පෙන්වන පැත්තේය. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීම ඒ දවස් වල ජනප්‍රිය රැල්ලයි. දැන් රැල්ල ආණ්ඩුවට බැනීමයි.

රටින් බැහැරව ජීවත් වන ඉකොනොමැට්ටාට ලංකාවේ වත්මන් ආණ්ඩුව සමඟ කිසිදු සෘජු සම්බන්ධයක් නැත. පරණ ආණ්ඩුවවට සම්බන්ධව සිටි, මේ ආණ්ඩුවට සම්බන්ධ නැති අය සමඟද කිසිදු සෘජු සම්බන්ධයක් නැත. අඩු වශයෙන් ලංකාවේ ජීවත් වූ කාලයේදීවත් ලංකාවේ රාජ්‍ය පාලනයට සම්බන්ධව සිටි හෝ නොසිටි කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ සෘජු සම්බන්ධයක් තිබුණේ නැත.

කෙසේ වුවද, ඇටෙන් පොත්තෙන් එළියට එන කාලයේ සිටම ඉකොනොමැට්ටාට ලංකාවේ දේශපාලනය ගැනත්, ලෝක දේශපාලනය ගැනත් උනන්දුවක් තිබුණේය. ඒ උනන්දුව තවමත් එසේම තිබේ. ලංකාවේ ජීවත්ව සිටියදීද අපට ලංකාවේ දේශපාලනය දෙස එයින් බාහිරව සිටිමින් බලන්නට හැකියාව තිබුණේය. රටින් බැහැරව සිටිද්දී එය වඩාත් පහසුවෙන් කළ හැකිය.

ආර්ථික විද්‍යාව යනු ඉකොනොමැට්ටා ඇටෙන් පොත්තෙන් එළියට එන කාලයේ සිටම අතැඹුලක් සේ දැන සිටි විෂයයක් නොවේ. එය අප පසුව හැදෑරූ විෂයයකි. එයට අමතරව එක පැත්තකින් මේ විෂයයේ ආකෘති (න්‍යාය) ගොඩනඟන්නට සුළු හෝ දායකත්වයක් දෙන්නටත්, අනෙක් පැත්තෙන් ලංකාවේ ආර්ථිකය මෙහෙයවන ආකාරය ගැන ප්‍රායෝගික අත්දැකීම් ලබන්නටත් අපට ඉඩකඩ ලැබී තිබේ. ඒ නිසා, ලංකාවේ ආර්ථිකය ගැන විමසන්නට අපට අනුන්ගේ කන්නාඩි අවශ්‍ය නැත.

එහෙත් එයින් කියවෙන්නේ අප මේ විෂයයේ කෙළ පැමිණ ඇති බව හෝ අප මෙහි ලියන හැම දෙයක්ම සර්ව සම්පූර්ණ බව නොවේ. අප ලියන්නේ අපේ නැණ පමණිනි. අප ලියන්නේ අප දන්නා දේ මත පදනම්වය. අප ලියන දෙයෙහි වැරැද්දක් හෝ අඩුපාඩුවක් ඇත්නම්, ඕනෑම කෙනෙක් විසින් නාමිකව හෝ නිර්නාමිකව එවැනි දේ පෙන්වාදීම පිළිබඳව අප අවංකවම සතුටු වන අතර පිළිගත හැකි අයුරින් පෙන්වා දුන් විටක එවැනි වැරැද්දක් හෝ අඩුපාඩුවක් පිළිගැනීමට අප පැකිලෙන්නේ නැත.

ප්‍රශ්නයක් විග්‍රහ කිරීමට වඩා සුදුසු ආර්ථික විද්‍යා ආකෘතියක් යොදා ගන්නටත්, එවැනි සුදුසු ආකෘතියක් නැති විට ප්‍රථම මූලධර්ම අනුව යමින් ගැලපෙන ආකෘතියක් හදා ගන්නටත් අපට බැරිකමක් නැත. එහෙත්, එසේ ආකෘති තෝරාගන්නට හෝ හදාගන්නට වෙන්නේ අප දන්නා තොරතුරු වලට සාපේක්ෂව වීම වැළැක්වීමට නොහැකිය. ඒ නිසා, නොදන්නා තොරතුරු දැනගන්නට ලැබෙන විට අප හිතන හා ප්‍රශ්න විග්‍රහ කරන ආකාරයද වෙනස් වන්නට ඉඩ තිබේ. අපට වඩා වැදගත් වන්නේ වඩා නිවැරදි දෙය සොයා යාම මිස ප්‍රතිරූප ගොඩනගාගැනීම හෝ පවත්වාගැනීම නොවේ.

අප නොදන්නා දේ බොහෝ වුවත්, මෙහි පළවන ඇතැම් බ්ලොග් ලිපි වල මාතෘකාවට අදාළ හැම දෙයක්ම පුළුල් ලෙස සාකච්ඡා නොකිරීමට එකම හේතුව එය නොවේ. බ්ලොග් ලිපි ලියන්නේ ඒවා කියවන සාමාන්‍ය පාඨකයින් ඉලක්ක කරමිනි. සිංහලයන් නොවන සුළු පිරිසක් මෙය කියවන පාඨකයින් අතර සිටියත්, මේ බ්ලොග් කියවන වැඩි දෙනෙකු සිංහලයෝ වෙති. මෙහිදී සිංහලයන් ලෙස අදහස් කරන්නේ වැඩි වශයෙන්ම සිංහලෙන් හිතන අයයි. මේ සිංහලයන් අතර ශ්‍රී ලාංකිකයින් නොවන සැලකිය යුතු පිරිසක්ද සිටිති.

ඉකොනොමැට්ටාගේ බ්ලොග් ලිපි කියවන රටවල් අය අතරින් 40%ක් පමණම ලංකාවෙන් පිට ජීවත් වන අයයි. වෙනත් බොහෝ සිංහල බ්ලොග් වල පාඨක සංයුතියද මීට සමානය. මේ අය අතර, තාවකාලිකව රටින් පිටව සිටින්නන් මෙන්ම ස්ථිර පදිංචිය සඳහා වෙනත් රටක් තෝරාගෙන ඇති ශ්‍රී ලාංකිකයෝද විශාල පිරිසක් සිටිති. ඔවුන්ගෙන් ඇතැම් අය මේ වන විට ශ්‍රී ලාංකිකයෝ නොවෙති. එහෙත්, ඔවුහු තවදුරටත් සිංහලයෝ වෙති. ජීවත් වන හෝ ඉපදුණු රට කුමක් වුවත් සිංහලයෙකුට හොඳින්ම තේරෙන්නේ සිංහලෙන් කියවන විටය.

ඉංග්‍රීසියෙන් කියවන අයට කියවන්නට දේවල් අඩු නැතුව තිබේ. එහෙත්, සාමාන්‍යයෙන් සිංහලෙන් ලියා ඇති දේ පමණක් කියවන අයට කියවන්නට එතරම්ම දේවල් නැත. ලංකාවේ සිට ඉකොනොමැට්ටාගේ බ්ලොග් ලිපි කියවන බොහෝ දෙනෙක් කියවීම සඳහා සිංහලෙන් ලියා ඇති දේ සොයන අයයි. ඔවුන් බොහෝ විට හොයන්නේ සිංහලෙන් කියවන්නට නොලැබෙන දේවල්ය.

ලංකාවෙන් පිට ජීවත් වන අය අතරත් වැඩිපුරම ලංකාවේ පත්තරම බලන, ලංකාවේ ටෙලිනාට්‍ය නැරඹීම සඳහා විශාල කාලයක් යොදවන, තමන් ජීවත් වන රටේ ජනමාධ්‍ය සාපේක්ෂව අඩුවෙන් පරිශීලනය කරන සැලකිය යුතු පිරිසක් සිටිති. එමෙන්ම, ඉංග්‍රීසියෙන් හෝ වෙනත් භාෂාවකින් ලියා ඇති දේ වැඩිපුර කියවන, ඒ අතරට සිංහල බ්ලොග් වැනි දේ වෙනුවෙන්ද යම් කාලයක් වැය කරන අයත් සිටිති. මේ අය සිංහල බ්ලොග් කියවන්නේ ලංකාවේ සංස්කෘතිය සමඟ තමන්ගේ ඇති ඓන්ද්‍රීය සම්බන්ධතාව නොකඩවා පවත්වා ගැනීම පිණිසය. ඔවුන්ට ලංකාවේ දේශපාලනය ගැනද උනන්දුවක් තිබේ.

අප බ්ලොග් ලිපි ලියන්නේ මේ සියලු වර්ග වල පාඨකයින් වෙනුවෙනි. බොහෝ විට, ඔවුන් උනන්දුවක් දක්වන මාතෘකා අපට පහසුවෙන් හඳුනාගත හැකිය. ඇතැම් විට, ඇතැම් දේවල් විස්තර කරන මෙන් අපට පෞද්ගලික (ඊමේල් හෝ ඉන්බොක්ස් හරහා) හෝ පොදු (කමෙන්ට් ලෙස) ඉල්ලීම් ලැබේ. අප අපේ අදහස්, විමර්ශන හෝ තොරතුරු ඉදිරිපත් කරන්නේ කාගේවත් පෞද්ගලික තීරණ බලහත්කාරයෙන් වෙනස් කිරීමට නොවේ. අපට එවැන්නක් කළ නොහැකිය.

අප විශ්වාස කරන පරිදි, ඒකීය පුද්ගලයන්ට තමන්ට හොඳම දෙය තෝරා ගැනීමට ස්වභාවික හැකියාවක් තිබේ. ඒකීය පුද්ගලයින් වෙනුවෙන් හිතන්නට සුවිශේෂී පුද්ගලයින් අවශ්‍ය නැත. එහෙත්, ඕනෑම පුද්ගලයෙකුට තමන්ට හොඳම දෙය තෝරා ගන්නට වෙන්නේ තමන්ගේ දැනුමට හා අත්දැකීම් වලට සාපේක්ෂවය. මේ දැනුම හා අත්දැකීම් සීමිතය. අප නොදන්නා දේ දන්නා දේ වලට වඩා බොහෝ වැඩිය. වෙනත් අයගේ දැනුම් හා අත්දැකීම් මගේ නිම්වළලු පුළුල් කරයි. එය වඩා හොඳ තීරණයක් ගැනීම පහසු කරයි. මෙහි ලියන ලිපි මඟින් ඉකොනොමැට්ටා අපේක්ෂා කරන්නේද එවැන්නක් අනෙකුත් අය වෙනුවෙන් පෙරළා කිරීමයි. ඉකොනොමැට්ටා විසින් ඉදිරිපත් කරන තොරතුරු හෝ විමර්ශන මත කැමති කෙනෙකුට කැමති තීරණයක් ගන්නට නිදහස තිබේ. කියන දේ අපැහැදිලිනම් පැහැදිලි කිරීමටත්, වැරදිනම් නිවැරදි කිරීමටත් ඉකොනොමැට්ටා සූදානම්ය.

මෙහි පළවන ලිපි කියවන හැම දෙනෙක්ම එක්කෝ තමන් විසින් මේ බ්ලොග් එක හොයාගත් අයෙකි. එසේ නැත්නම්, වෙනත් අයෙකුගේ මඟපෙන්වීම අනුව පැමිණි අයෙකි. ඉතා සීමිත අවස්ථා කිහිපයකදී හැර, ඉකොනොමැට්ටා විසින් ඔහුගේ පෞද්ගලික මිතුරන් තබා පවුලේ සමීපතම සාමාජිකයින් අතරවත් මෙය ප්‍රචාරණය කර නැත. ඒ ප්‍රචාරණයේ වැරැද්දක් ඇතැයි ඉකොනොමැට්ටා සිතන නිසා නොවේ. අප වැඩි බරක් තබන්නේ තබන්නේ මිනිසුන්ගේ රුචිකත්වයන් වෙනස් කර ගන්නට බලපෑම් කරමින් කෘතීම ලෙස ඉල්ලුමක් ඇති කිරීම කෙරෙහි නොව පවතින ස්වභාවික ඉල්ලුම හඳුනාගැනීමින් පවතින ඉල්ලුම සැපිරීම කෙරෙහි බැවිනි.

අපට ලංකාවේ ආණ්ඩු වෙනස් කරන්නට අවශ්‍ය නැත. ආණ්ඩු පවත්වාගෙන යන්නට උදවු කරන්නටද අවශ්‍ය නැත. ඒ තීරණ ලංකාවේ ඡන්දදායකින් විසින් සාමූහිකව ගත යුතු තීරණයි.

එහෙත්, ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ජීවත් වන මිනිසුන්ගේ අනාගත ජීවිත වඩා යහපත් වනු දකින්නට අප කැමතිය. ලංකාවෙන් බැහැරව සිටියත් ලංකාව යනු අපට තවත් එක් රටක් නොවේ. ලංකාවේ ආර්ථිකය හෝ සංස්කෘතිය විනාශ වනු දැකීම අපේ අභිප්‍රාය නොවේ.

ලංකාවේ ආර්ථිකය හා එහි විවිධ සංරචක පිළිබඳව අපේ න්‍යායාත්මක දැනුම, අපට ලැබී ඇති අත්දැකීම් හා අප විසින් පරිශීලනය කර ඇති සංඛ්‍යාලේඛණ මත පදනම් වූ විග්‍රහයක් අපට තිබේ. අප ලංකාවේ ආර්ථිකය ගැන ලියන්නේ මේ මූලික විග්‍රහය මත පදනම්වය.

අප දකින පරිදි, ලංකාවේ ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්න සියල්ලකම වාගේ මුල මූලික අසමතුලිතතාවන් දෙකකි. පළමුවැන්න, රාජ්‍ය අයවැය හිඟයයි. දෙවැන්න, ගෙවුම් ශේෂ හිඟයයි. අනෙක් ප්‍රශ්න බොහොමයක්ම මේ මූලික ප්‍රශ්න දෙකේ ව්‍යුත්පන්නයි. බොහෝ දෙනෙකු විසින් කතා කරන ණය අර්බුදයද හේතුවක් නොව ඵලයකි.

මේ මූලික ප්‍රශ්න දෙක මේ ආණ්ඩුව කාලයේ හෝ පසුගිය ආණ්ඩුව කාලයේ ඇති වූ ප්‍රශ්න නොවේ. ජේආර් විසින් විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු ඇති වූ ප්‍රශ්නද නොවේ. ලංකාව නිදහස ලැබූ කාලයේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ ප්‍රශ්න දෙකකි.

පැවති ආණ්ඩු විසින් වරින් වර මේ ප්‍රශ්න වලට විවිධ ආකාර වල විසඳුම් සෙවුවේය. ඒ විසඳුම් වලින් කිසිදු ප්‍රයෝජනයක් නොවූ බැව් අප නොකියමු. එහෙත්, සමස්තයක් ලෙස මේ ප්‍රශ්න කාලයත් සමඟ වර්ධනය වී තිබේ.

ඇතැම් අය අසන්නේ ධනවාදය නිසා ලංකාවට ලැබුණු දේ මොනවාද යන්නයි. ධනවාදය නිසා ලංකාවට මොනවා ලැබුණේද යන්න ප්‍රශ්නයක් වන්නේ කවදා හෝ ලංකාවේ ධනවාදයක් තිබුණේනම් පමණි. ලංකාවේ සාතිශය බහුතරය ධනවාදය කියා කියන්නේ කුමක්දැයි නොදන්නා බව මේ ප්‍රශ්නය විසින්ම පැහැදිලි කරයි.

වෙනත් අය තබා මේ ගැන බොහෝ කලක් යන තුරු අප දැන සිටියේද නැත. සමාජවාදය උගන්වන්නට ලංකාවේ බොහෝ අය සිටියත්, ධනවාදය කුමක්දැයි කියා දිය හැකි අය ලංකාවේ නොසිටි තරම්ය. ඒ නිසා, ධනවාදය ගැන අප දැන සිටියේද සමාජවාදීන් විසින් ඒ ගැන කියා දුන් දෙයයි. දුප්පතුන්ට මූලික පහසුකම්වත් නැතිව මැරෙන්නට අරිමින්, ධනවතුන්ට පමණක් රිසි සේ මුදල් සොයන්නට උදවු කරන ක්‍රමයක් වෙනුවෙන් කවර හෝ හෘද සාක්ෂියක් ඇති පුද්ගලයෙකුට පෙනී සිටින්නට නුපුළුවන. ධනවාදය ගැන සමාජවාදීන් විසින් කියා දුන් මේ දේවල් ගැන මෙන්ම ඇමරිකාව ගැනත්, වෙනත් බටහිර රටවල් ගැනත් අප "දැන සිටි" බොහෝ දේවල් ගැන අපට සැබෑවටම දැනගන්නට ලැබුණේ ඒ රටවල සමාජයන් හා ආර්ථිකයන් ක්‍රියාත්මක වන ආකාරය හරියටම නිරීක්ෂණය කරන්නට ලැබීමෙන් පසුවය.

අප ලංකාවේ පමණක් ජීවත්ව සිට තිබුණු කාලයේ උගත් බොහෝ ආර්ථික න්‍යායයන් සැබෑ ලෝකයේදී ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවක් අපට නොපෙණුනේය. වෙනත් බොහෝ අය මෙන්ම අප මෙය අවබෝධ කරගත්තේද න්‍යායයන්හි පවතින අඩුපාඩු ලෙසිනි. එහෙත්, මේ බොහෝ න්‍යායයන් වැරදි නොවන බවත්, ඒවා ක්‍රියාත්මක වන තැන් ලෝකයේ ඇති බවත් දැන් අප දනිමු. ලංකාවේදී, මේ දේවල් කියන අයුරින්ම සිදු නොවන්නේ ඇයිද යන්නත් අපට මේ න්‍යායයන් ඇසුරින්ම තේරුම් ගන්නට පුළුවන.

ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට පෙර ප්‍රශ්නයක් නිවැරදිව හඳුනාගත යුතුය. ඒ සඳහා ප්‍රශ්නයේ මුලට යා යුතුය. ප්‍රශ්නය හඳුනාගත්තද, ප්‍රශ්නයකට විසඳුම් ඇත්තේ එකක් පමණක් නොවේ. නිවැරදි විසඳුම් ගණනාවක් තිබෙන්නට පුළුවන. මේ විසඳුම් අතරින් හොඳම විසඳුම ඇතැම් විටක පැහැදිලිව පෙනෙන්නට තිබුණත් බොහෝ විට එය එසේ නැත.

කිසිවකු විසින් හෝ සාර්ථක ලෙස ධනවාදය ලංකාවට හඳුන්වා දෙනු නොලැබුවත්, බොහෝ දෙනෙකු විසින් පසුගිය සියවසේ මුල සිටම ලංකාවට සමාජවාදය හඳුන්වා දෙනු ලැබුණේය. මා මේ කතා කරන්නේ දාස් කැපිටාල්හි හෝ වෙනත් පොතක ඇති සමාජවාදයක් ගැන නොවේ. (කාල වේලා ලැබෙන පරිදි ඒ පැත්තත් කතා කිරීම වැදගත්යයි සිතන නමුත් මෙය විශාල කාලයක් වැය කළ යුතු කටයුත්තකි.) ලෝකයේ බොහෝ රටවල පැවති, විවිධ දේශපාලන පක්ෂ විසින් ලංකාවේද ක්‍රියාත්මක කරන්නට උත්සාහ කළ හා කරන මධ්‍යගත සැලසුම් ක්‍රමය ගැනය.

ඓතිහාසිකව ලංකාවට සමාජවාදය පැමිණියේ ධනවාදයේ අනෙකා ලෙස නොවේ. අධිරාජ්‍යවාදයේ අනෙකා ලෙසය.

යුරෝපීයයන් ලංකාවට පැමිණෙන්නට පෙර ලංකාවේ රාජ්‍යය වූයේ රජු හා ඔහු වටා සිටි සීමිත පිරිසකි. එහෙත්, මේ කාලයේ වුවද රාජ්‍යයේ අඬුපඬු සමාජ ජීවිතයේ සෑම අස්සක් මුල්ලකටම පැතිරී තිබුණේ නැත. මේ කාලයේ රටේ ජනතාවට නඩත්තු කරන්නට වූ රාජ්‍යය එතරම් විශාල නොවූ නිසා එහි ලොකු බරක් නොතිබුණේය. මෙයින්  අදහස් වන්නේ එසේ වූ කාල වකවානු නොතිබුණු බව නොවේ. සමාජයේ ස්ථර අතර පැහැදිලි ධුරාවලියක් තිබුණත් රජා බොහෝ විට "අපේම එකෙක්" විය. ඒ නිසා, ඒ රජාව නඩත්තු කිරීමෙන් ජනතාවට ලැබුණු මොනවා හෝ දෙයක් තිබුණේය. අඩු ගානේ "අපට රජෙක් ඉන්නවා" කියා කියන්නට හෝ හැකි විය. රජු  "අපේම එකෙක්" නොවූ විට එවැනි රජුන් එළවන්නට ජනතාව ඉදිරියට ආවේය. (එය සිදුවුණු ආකාරය පැහැදිලි කරන්නට අප මෙහි උත්සාහ දරන්නේ නැත.)

පැවති ධුරාවලිය රටේ මිනිසුන් විසින් පවතින තත්ත්වය ලෙස පිළිගෙන තිබුණු නිසා ඒ හේතුවෙන් ජනතාව පීඩනයකින් සිටියේ නැත. පීඩනයක් දැනෙන්නේ පවතින තත්ත්වය පැවතිය යුතු සාමාන්‍ය තත්ත්වය නොවන බව දැනගත් විටය. අතීතයේ ජීවත් වූ මිනිසුන් හිතූ පැතූ ආකාරය අද සංස්කෘතිය තුළ ජීවත් වන කෙනෙකුට අතීතයට රිංගා නිරීක්ෂණය කළ නොහැකිය.

රජුට රටේ ඉඩම් වල හිමිකම තිබුණු නිසා, ඕනෑම ගැටිස්සියක අන්තඃපුරයට කැඳවිය හැකිව තිබුණු නිසා හෝ රාජ සභාවේ කිවිසුමක් යැවූ අයෙකුගේ හිස ගසා දැමිය හැකිය වූ නිසා ලංකාවේ රාජ්‍යය අදට වඩා විශාල රාජ්‍යයක් වූ බව අයෙකුට කියන්නට පුළුවන. ඉහත වාක්‍යයේ ඇති බොහෝ දේ අර්ධ සත්‍යයි. රජවරුන්ට අභිමතය ක්‍රියාත්මක කරන්නට ලැබුණු පැහැදිලි රාමුවක් තිබුණේය.

යුරෝපීයයන් එන්නට පෙර ලංකාවේ වැසියන් හා රජු අතර තිබුණේ ඉතා ලිහිල් සම්බන්ධතාවයකි. සාමාන්‍ය මිනිසුන්ට කළ හැකි දේවල් ඒ කාලයේදී රජය විසින් කළේ නැත. රජය මඟින් අවධානය යොමු කළේ විදේශ වෙළඳාම ඇතුළු විදේශ ප්‍රතිපත්තිය, නීතිය හා සාමය රැකීම, නියාමනය (තහනම් කැලෑ ආදිය) ආදී රාජ්‍ය මැදිහත්වීමක් නැතිවම බැරි කරුණු කෙරෙහිය. වැව් අමුණු හැදීම හා වෙහෙර විහාර හැදීම වැනි මහා පරිමාණ ප්‍රාග්ධන ආයෝජන වෙත රජය යොමු වුණේ සමාජ අතිරික්තයක් තිබුණු අවස්ථාවලදී මිස බදු වැඩි කරමින් හෝ ණය ගනිමින් නොවේ. (වෙහෙර විහාර හැදීම ආයෝජනයක් වන්නේ කෙසේද යන්න තමන් දැන් ජීවත් වන සංස්කෘතික රාමුවෙන් පිටත දැකිය නොහැකි අයට ප්‍රශ්නයක් විය හැකිය.) රජයේ ආරක්ෂක වියදම් වැඩි කෙරුණේ රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වූ කාල වලදී පමණි. එවැනි කාල වලදී ඒ වියදම් දරන්නට ජනතාව ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් විය.

යුරෝපීයයන් ලංකාවට පැමිණීමත්, අන්තිමේදී ලංකාව බ්‍රිතාන්‍ය කොලනියක් වීමත් සමඟ ඉහත තත්ත්වයේ ආකෘතිමය වෙනසක් සිදු විය. 1815න් පසුව, ලංකාවේ රජය යනු බ්‍රිතාන්‍ය රජයේ කොටසක් විය. රජු තවදුරටත් "අපේ එකෙක්" නොවූ අතර, ඒ ගැන සතුටට පත් නොවූ රටේ ජනතාව විසින් තත්ත්වය වෙනස් කරගන්නට දැරුණු උත්සාහයන් සාර්ථක වුනේද නැත. ප්‍රායෝගිකව ලංකාවේ ජීවත් වූ හැම "සුද්දෙක්ම" වාගේ (බ්‍රිතාන්‍ය) රජයේ නියෝජිතයෙක් විය. ඔවුන් රජයේ රැකියාවක නිරතව සිටීම හෝ නොසිටීම මෙහිදී අදාළ කරුණක් නොවේ. සුද්දා සිවිල් සේවකයෙකු වුවත්, මිෂනාරියෙකු වුවත්,  වැවිලිකරුවෙකු වුවත් ඔවුන් සියල්ලන්ම විසින් කළේ බ්‍රිතාන්‍ය රජයේ පාලනය ලංකාවේ පවත්වාගෙන යාමයි.

ඉංග්‍රීසින් විසින් ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහයද විශාල ලෙස වෙනස් කළේය. මෙයින් සමස්තයක් ලෙස ලංකාවේ ආර්ථිකයේ නිෂ්පාදන ඵලදායීතාවය වැඩි විය. එහෙත්, එහි අතිරික්තය හිමි කර ගත්තේ ඉහතින් විස්තර කළ රජයේ පාර්ශ්වකරුවන් විසිනි. ඒ අතිරික්තයෙන් කොටසක් යටිතලපහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කෙරුණු අතර එවැනි ආයෝජන සිදු කළේ අනාගත ආදායම් ප්‍රවාහ අපේක්ෂා කරමින් මිස පාඩු ලබන්නට නොවේ. ආර්ථික ව්‍යුහයේ සිදුවූ වෙනස්වීම් නිසා රටේ ජනජීවිතයද සැලකිය යුතු ලෙස වෙනස් වූ අතර ඒ කෙරෙහි රාජ්‍යයේ බලපෑම තවදුරටත් නොසලකා නොහළ හැකි තරමට ව්‍යාප්ත විය.

ඉංග්‍රීසි පාලනයේ මුල් කාලයේදී රාජ්‍යය යනු ඉංග්‍රීසින් විය. ජනතාව වූයේ ලාංකිකයින්ය. ඒ නිසා, එක පැත්තකින් රාජ්‍ය විරෝධය යනු ආක්‍රමණිකයෙකුට විරුද්ධ වීමක් විය. රාජ්‍යය නඩත්තු කිරීම සඳහා ජනතාවට ගෙවන්නට වූ මිලට සරිලන දෙයක් ඉල්ලා සිටීමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණේය. ජනතාවට ආපසු දිය යුතු දෙය තීරණය කළේ රජයයි. යුරෝපීයයන් පැමිණෙන්නට පෙර තිබුණු රාජ්‍යය තුළද මෙය සිදු වුනේ මේ ආකාරයෙන්ම වුවත්, ඒ කාලයේ රාජ්‍යය එතරම් පුළුල්ව නොතිබුණු නිසා මෙය ප්‍රශ්නයක් වූයේ නැත.

ඉංග්‍රීසි පාලනය ව්‍යාප්ත වෙද්දී, ඇතැම් ලාංකිකයින්ටද ලංකාවේ පැවති (ඉංග්‍රීසි) රාජ්‍යයේ කොටස් බවට පත් වෙන්නට හැකි විය. නිදහස ලැබෙන කාලය වන විට ලංකාවේ පැවති ඉංග්‍රීසි රාජ්‍යයේ ඉංග්‍රීසින්ට වඩා සිටියේ ස්වදේශිකයින්ය.

පෙර කී පරිදි, ඉංග්‍රීසින්ගේ ආර්ථික උපාය මාර්ග හේතුවෙන් ලංකාවේ නිෂ්පාදන ඵලදායීතාවය සැලකිය යුතු ලෙස වැඩි විය. එහෙත්, මේ අතිරික්තයෙන් විශාල කොටසක් වත්මන් ලංකාවේ භූමි සීමා ඇතුළත නොරැඳුනේය. ඇමරිකාවේ කොලනි වල පදිංචිව සිටි ඉංග්‍රීසින්ගෙන් බ්‍රිතාන්‍ය රජය විසින් එකතු කරගත් බදු මුදල් වෙනුවෙන් පවා ප්‍රමාණවත් යමක් බ්‍රිතාන්‍ය රජය වෙතින් ඔවුන්ට ආපසු නොලැබුණු පසුබිමක, ලංකාවේ එවැන්නක් සිදුවන්නට ඉඩක් නොතිබුණේය.

ඉංග්‍රීසින් විසින් ලංකාව ලාභ මධ්‍යස්ථානයක් (profit center) ලෙස දිගටම පවත්වා ගැනුණු අතර, අතිරික්තයෙන් සැලකිය යුතු කොටසක් බ්‍රිතාන්‍යයට ගියේය. ඉතිරිය බ්‍රිතාන්‍ය රජයේ පාලනය ලංකාව තුළ පවත්වා ගෙන යන්නට උදවු කළ ලාංකිකයින් හා මෙහි ජීවත් වූ යුරෝපීයයන් අත ඉතිරි විය. මේ ක්‍රමය තුළ ඉංග්‍රීසි රාජ්‍යයෙන් බැහැරව සිටි විශාල ලාංකිකයින් පිරිස, විශාල ලෙස නොවූවත්, ශුද්ධ අලාභ විඳින්නෝ වූහ. පසුගිය සියවසේ මුල වන විට පැවතුණේ මෙවැනි තත්ත්වයකි.

ඉහත තත්ත්වය තුළ, වැඩ වර්ජන හා විරෝධතා වැනි "සමාජවාදී උපක්‍රම" ජනප්‍රිය වීම තේරුම් ගන්නට අපහසු නැත. නිදහසට පෙර ලංකාවේ සමාජය සියල්ලන්ටම සමාන අවස්ථා තිබුණු සමාජයක් නොවීය. (එය තවමත් එසේමය.) සාමාන්‍ය ජනතාවට පෙනුණු පරිදි පීඩකයා වූයේ සුද්දාය. සුද්දා සමඟ කළු සුද්දෝද සිටියහ. සුද්දා මෙන්ම සුද්දා වටා සිටි කළු සුද්දන් විසින්ද නියෝජනය කළේ රජයයි. ඒ නිසා, සාමාන්‍ය මිනිසුන්ට පෙනෙන්නට තිබුණු පරිදි රාජ්‍ය විරෝධය යනු ආක්‍රමණිකයෙකුට එරෙහි විරෝධයක්ද විය. මේ ආක්‍රමණිකයාව ඉතිහාසයේ වෙනත් ආක්‍රමණිකයින්ව එළෙවුවාක් මෙන් දුනු ඊතල වලින් සටන් කර එළවිය නොහැකි බව මේ වන විට ඔවුහු දැන සිටියහ. විකල්පයක් නැතිව සිටි මිනිසුන්ට පැරණි වාමාංශික පක්ෂ වල නායකයින් විසින් සතුරාව මෙල්ල කළ හැකි අලුත් ආයුධ හඳුන්වා දුන්නේය. ලංකාවේ වර්ජන හා විරෝධතා ජනප්‍රිය වුණේ එවැනි පසුබිමකය.

පැරණි වාමාංශික පක්ෂ වල හෝ වෘත්තීය සමිති වල මෙහෙයවීමෙන් වර්ජන හා විරෝධතා වලට එක් වුනු බොහෝ ලාංකිකයින්ට ලංකාවේ සමාජවාදය බිහි කරන්නට උවමනාවක් තිබුණේ නැත. එහෙත්, රාජ්‍යය හා වැසියන් අතර විශාල පරතරයක් තිබුණු මේ කාලයේ වර්ජන හා විරෝධතා යනු ඔවුන්ට තිබුණු අඩු හෙට්ටු කිරීමේ හැකියාව වැඩි කරගත හැකි සාර්ථක ක්‍රමයක් විය. සහනාධාර යනු තමන්ගෙන් එකතු කර ගන්නා බදු මුදල් වලින් කොටසක් ආපසු ලබාගත හැකි ක්‍රියාවලියක් විය.

වඩාත්ම නිවැරදිව කියනවානම් ලංකාවට වර්ජන සංස්කෘතිය හඳුන්වා දුන්නේ වාමාංශික පක්ෂ විසින්ද නොවේ. එක්සත් ජාතික පක්ෂයේ මූල පක්ෂයක් ලෙස සැලකිය හැකි කම්කරු පක්ෂය හා එයට අනුබද්ධ වූ වෘත්තීය සමිති විසිනි. වාමාංශික පක්ෂ වෘත්තීය සමිති තුළ පෙරමුණට පැමිණියේ කම්කරු පක්ෂය විසින් සංවිධානය කළ 1929 ලේක්හවුස් වර්ජනය අසාර්ථක වීමෙන් පසුවය. ඊට පෙර, කම්කරු පක්ෂයේ මෙහෙයවීම යටතේ සිදුවුණු වරාය, දුම්රිය සේවක ඇතුළු වර්ජන ගණනාවක් සාර්ථක ලෙස අවසන් විය. 1920 දශකයේදී ඇරඹුණු ඇතැම් වර්ජන පොලීසිය සමඟ ගැටී පොලීසි ගිණි තැබීම දක්වා දුර දිග ගියේය. (මේ කාලය ගැන අපේ පවුලේ දැනට ජීවත්ව නැති වැඩිහිටියන්ගෙන් දැනගත් තොරතුරුද අපේ මතකයේ තිබේ.) මේ කාලයේ ආණ්ඩුව "අපේ" නොවූ නිසා මේ වර්ජන සිදු වුණේ රජයට එරෙහිව මෙන්ම ආක්‍රමණිකයෙකුටද එරෙහිවය.

නිදහස ලබා ගැනීමෙන් පසුවද ලංකාව විසින් පවත්වා ගෙන ගියේ ඉන් පෙර පැවති සාර්ව ආර්ථික ආකෘතියමය. එහෙත්, එක් පැහැදිලි වෙනසක් සිදු විය. ඒ, විදේශ සමාගම් සතුව පැවති ව්‍යවසායයන් ක්‍රමයෙන් ලංකාවේ රජයේ පාලනය යටතට ගනු ලැබීමයි.

උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ලංකාවම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් වුවත්, එය එසේ වූ පමණින්ම එක රැයකින් ලංකාව ඉංග්‍රීසි ජාතිකයින්ට හෝ වෙනත් බටහිර රටවල උපන් අයට පැමිණ ජීවත් වන්නට හෝ ව්‍යාපාර කරන්නට සුදුසු ක්ෂේම භූමියක් වුනේ නැත. බටහිර රටක සිට ලංකාවට පැමිණ ජීවත්වීම ගැන හෝ ව්‍යාපාර කිරීම ගැන සිතන බොහෝ දෙනෙකුට අද මුහුණ පාන්නට සිදු වන ප්‍රශ්න බොහොමයක් එදාත් තිබුණේය. ඔවුන්ට සෞම්‍ය දේශගුණයක් වෙනුවට කටුක දේශගුණයක් තෝරාගන්නට සිදු විය. තමන්ගේ සංස්කෘතියෙන් දුරස් වන්නට සිදු විය. ලංකාවට රැගෙන එන ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ නිශ්චිත සහතිකයක් නොවීය. මේ සියල්ල පිළිබඳවම යම් තරමකින් සෑහීමකට පත් විය හැකි වුවත්, ලෝකය පුරා තිබුණු වැඩි ප්‍රතිලාභ ලබාගත හැකි වෙනත් බොහෝ තැන් සමඟ සසඳමින් තේරීමක් කළ යුතු විය.

මුල් කාලයේදී ඉංග්‍රීසි රජයට ලංකාවේදී දරන්නට සිදුවූ වියදම් ඔවුන් විසින් සොයාගත්තේ අසීරුවෙනි. ලංකාවේ ව්‍යාපාර කරන්නට, ජීවත් වන්නට හා සංචාරය කරන්නට මවු රටේ ජීවත් වූ ඉංග්‍රීසීන්ව පෙළඹවීමට ඔවුන්ට විශාල උත්සාහයක් දරන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, රජයේ මිලිටරි හෝ සිවිල් සේවකයින් නොවූ සාමාන්‍ය ඉංග්‍රීසි ජාතිකයෝද ක්‍රමයෙන් ලංකාවට පැමිණීමටත්, ව්‍යවසාය ඇරඹීමටත් පටන් ගත්තේය. මේ ඇතැම් ව්‍යවසාය අසාර්ථක විය. තවත් ඒවා සාර්ථක විය. පසුකාලීනව, ඉංග්‍රීසින් අනුයමින් වෙනත් බටහිර රටවල වැසියන්, ජාතික සමාගම් හා බහුජාතික සමාගම් ලංකාවේ ව්‍යාපාර ඇරඹුවේය.

නිදහසට පෙර ලංකාවේ පැවති විදේශිකයින්ට අයත් වූ ව්‍යාපාර බොහොමයක් ඉතා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කෙරුණු ලාභ ලැබූ ව්‍යාපාරයි. කිසියම් ව්‍යාපාරයක් ලාබ ලැබීම යනු ශ්‍රමය සූරාකෑමේ ප්‍රතිඵලයක් ලෙස ලඝු කළ හැකි දෙයක් නොවේ. එයට අවදානම් කළමනාකරණය, නවීන තාක්ෂනය, ව්‍යවසායකත්වය වැනි විවිධ කරුණු බලපායි.

සමස්තයක් ලෙස, බටහිර රටවල සිට ලංකාවට පැමිණ ව්‍යාපාර ඇරඹුවේ අවදානම් ගන්නට කැමති වුනු, ව්‍යවසායකත්වය අතින් ඉදිරියෙන් සිටි අයයි. මේ අය විසින් ඉපැයූ ලාභ සියල්ලම නොවේනම්, අඩු වශයෙන් එයින් වැඩි කොටසක් ඔවුන් විසින් අලුතින් නිර්මාණය කළ ධනයයි. එසේ නැතුව, ලංකාවෙන් හෝ වෙනත් අයගෙන් සූරාගත් ධනයක් නොවේ. ඔවුන් ලංකාවට පැමිණ ව්‍යාපාර නොඇරඹුවේනම් එවැනි ධනයක් ලංකාව තුළ නිර්මාණය නොවිය හැකිව තිබුණි.

කෙසේ වුවද, ඉහත කී අයුරින් ලංකාව තුළ විදේශිකයින් විසින් නිර්මාණය කළ ධනයෙන් සෑහෙන කොටසක් ඔවුන්ගේ මවු රටවලටම ගියේය. ලංකාව තුළ ඉතිරි වුණේ එයින් කොටසක් පමණි. එසේ වූ පමණින් ලංකාවට අයහපතක් වුණේද නැත. ව්‍යවසායයන්හි නැවත ආයෝජනය කළ ප්‍රාග්ධනය ලෙසත්, රජය විසින් බදු හරහා අය කරගෙන යටිතලපහසුකම් වෙනුවෙන් වැය කළ මුදල් ලෙසත්, රට ඇතුළත සිදු කෙරුණු පරිභෝජන වියදම් ලෙසත් ලාබයෙන් කොටසක් රට තුළ ඉතිරි විය. මේ ව්‍යවසායයන් වෙත ශ්‍රමය විකිණූ ලාංකිකයින් විසින් ලබාගත් අතිරික්තයක් ඇත්නම් එයත් ලංකාවට ලැබුණු ශුද්ධ ලාභයකි.

නිදහස ලැබෙන තුරු ලංකාවේ පැවතුණේ ලංකාවට විදේශ ප්‍රාග්ධනය ගලා එන රැල්ලකි. නිදහසින් පසු මේ ප්‍රාග්ධන ප්‍රවාහ ආපසු හැරුණේය. ලංකාවේ දේශපාලනය හා සංස්කෘතික සාධක මෙහි ජීවත් වූ ඉංග්‍රීසින් ඇතුළු බටහිරයන්ගේ අපේක්ෂිත අවම තත්ත්වයන්ගෙන් විතැන් වෙද්දී මෙය අපේක්ෂා කළ යුතු දෙයකි. කෙසේ වුවද, ලංකාවේ ආණ්ඩු විසින් ගත් ඇතැම් ක්‍රියාමාර්ග නොවීනම් මෙය සුමට ලෙස හා හානිකර නොවන ලෙස සිදු විය හැකිව තිබුණි.

ලංකාවේ ව්‍යවසායයක් පවත්වාගෙන ගිය ඉංග්‍රීසි ජාතිකයෙකු කවර හෝ හේතුවක් නිසා එය විකුණා දමා රටින් පිටවන්නට හිතන්නේනම්, එසේ විකුණන්නේ තමන්ට එය විකිණිය හැකි වැඩිම මිලටය. ලංකාව නිදහස ලැබීමෙන් පසුව ආසන්න කාලය වැනි, රට තුළ සංස්කෘතික වෙනස්කම් සිදුවන කාලයක මෙවැනි ව්‍යවසායයක් මිල දී ගන්නට බොහෝ විට ඉදිරිපත් වන්නේ දේශීය ව්‍යවසායකයින්ය. එවැනි දේශීය ව්‍යවසායකයින් අතරින් වැඩිම මිලක් ගෙවන්නට සූදානම් වන පුද්ගලයා යනු අදාළ ව්‍යාපාරයෙන් වැඩිම ලාභ අපේක්ෂා කරන්නාය. මේ පුද්ගලයා දේශීය ව්‍යවසායකයින් අතරින් අදාළ ව්‍යාපාරය වඩාත්ම කාර්යක්ෂම ලෙස කරගෙන යා හැකි පුද්ගලයාද වේ. ඒ නිසා, එවැනි පුද්ගලයෙකු විසින් මෙහෙයවෙන ව්‍යාපාරයක් පෙර තරම් ලාභ නූපයනු ඇති වුවත්, ලාබ විශාල ලෙස අඩු වන්නේද නැත. අනික් අතට ලංකාවේ දිගටම ජීවත් වන්නට අදහස් නොකරන විදේශිකයකු විසින් තමන්ගේ ලාභ වලින් කොටසක් හෝ රටින් පිටතට ගෙන යන නිසා ඉහත කී ආකාරයේ නිදහසේ සිදුවන ව්‍යාපාර හිමිකම් සම්ප්‍රේෂණයකදී ලංකාවේ නිර්මාණය වී ලංකාව තුළ ඉතිරිවන නව ප්‍රාග්ධනය ඉහළ යාමට සැලකිය යුතු ඉඩක් තිබුණේය.

මෙයට අමතරව, සිදුවෙමින් පැවති සංස්කෘතික වෙනස්කම් හමුවේ වුවද තවදුරටත් කිසියම් විදේශික ව්‍යවසායකයින් පිරිසක් රට තුළ රැඳී සිටිනු ඇති අතර ඔවුන් තවදුරටත් ලාභ ලැබුවත්, ඒ ලාභ රට තුළම රැඳෙනු ඇත. ඔවුන් කෙසේ වුවත්, ඔවුන්ගේ දරුවන් හෝ දරුවන්ගේ දරුවන් ක්‍රමයෙන් ලාංකික සංස්කෘතිය තුළට අවශෝෂණය වනු ඇත. නිදහස ලැබෙන විට ලංකාවේ සිටි බර්ගර් ජාතිකයින් ලෙස හැඳින්වුණු අයගෙන් පැවතෙන්නන් මෙන්ම විප්ලවයෙන් පසු චීනයෙන් සංක්‍රමණය වූ අයගෙන් පැවතෙන්නන්ද බොහෝ දෙනෙකු මේ වන විට සංස්කෘතික ලෙස සිංහලයෝය.

කෙසේවුවද, මේ ව්‍යවසාය හිමිකම් සම්ප්‍රේෂණය ඇත්තටම සිදුවුනේ මේ තරම් සුමට ලෙස නොවේ. ව්‍යවසාය ජනසතු කිරීමේ නාමයෙන් රජය සතු කිරීම ඇරඹුනේය. ඒ නිසා, රජය සතු වූ ව්‍යවසායයන්ගේ කළමණාකරුවන් වුණේ ස්වභාවික ලෙස මේ හුවමාරුව සිදුවන්නට ඉඩ හැරියේනම් ඒවායේ කළමණාකරුවන් විය හැකිව තිබුණු රට තුළ සිටි දක්ෂම ව්‍යවසායකයින් නොවේ. ජනසතු කිරීම් හමුවේ ඇතැම් විදේශිකයින් විසින් සිය ව්‍යවසායයන් කඩිමුඩියේ කීයකට හෝ විකුණා යද්දී ඒවා හිමි කරගත් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් වුවද, බොහෝ විට, ඒ ව්‍යවසායයන් කළමනාකරණය කිරීමට වඩාත්ම සුදුසු අය නොවීය.

එහෙත්, ජනසතු කිරීම් ලෙස හැඳින්වුනු රජය සතු කිරීම් ඒ කාලයේ ජනප්‍රිය තේරීම් විය. බොහෝ දෙනා මේ ක්‍රියාවලිය දැක්කේ ආක්‍රමණිකයා සතුව තිබූ සම්පත් "අපේ රජය" වෙත ලැබීමක් ලෙසය. මේ "අපේ රජය" තවදුරටත් අපේ නොවන රජයක් බව වැඩි දෙනෙකු තේරුම් ගෙන නොසිටි අතර මේ තත්ත්වය වසර හැත්තෑවකට පසුවද ලොකුවට වෙනස් වී නැත.

ජනසතු කිරීම් වලින් පසුව සිදු වූ හොරකම්, දූෂණ හා නාස්ති ගැන බොහෝ දෙනෙක් කතා කරති. මේවා විශාල ප්‍රශ්න බව ඇත්තකි. එහෙත්, මේ ජනසතු කිරීම් වල තිබුණු ලොකුම ප්‍රශ්නය හොරකම්, දූෂණ හා නාස්ති නොවේ. හොරකම් හා දූෂණ නිසා රජය සතු විය යුතු ධනයක් වෙනත් අයෙකු අතට යයි. එහෙත්, රටක් ලෙස සැලකූ විට මේ ධනය රට තුළ කාගේ හෝ අතේ තිබේ. නාස්ති සම්බන්ධව මේ තර්කය සම්පූර්ණයෙන් නිවැරදි නොවන නමුත් නාස්තියේ ස්වභාවය අනුව නාස්ති කරන මුදල් වලින් වුවද කොටසක් රට තුළ ඉතිරි විය හැකිය.

හොරකම්, දූෂණ හා නාස්ති ආදිය අප කිසිසේත්ම අනුමත නොකරන නමුත් රජයේ අකාර්යක්ෂමතාවය ලෙස අප හඳුන්වන්නේ මේ දේවල්ම නොවේ. හොරකම්, දූෂණ හා නාස්ති ආදිය හේතුවෙන් රජයට අහිමි වන්නේ කවුරු හෝ විසින් නිර්මාණය කළ ධනයයි. වෙනත් අයුරකින් කියනවානම් දිගින් දිගටම හොරකම්, දූෂණ හා නාස්ති කිරීම පිණිස වුවද අලුතින් ධනය නිර්මාණය කළ යුතුය. එසේ අලුතින් ධනය නිර්මාණය නොවේනම් කලක් යද්දී හොරකම් කරන්නටවත් දෙයක් ඉතිරි නොවේ.

රජයේ අකාර්යක්ෂමතාවය ලෙස අප මූලික වශයෙන් හඳුන්වන්නේ ඉහත කී අයුරින් කවරෙකු හෝ විසින් නිර්මාණය කළ ධනයක් රජයට සම්බන්ධ පිරිස් විසින් හොරකම් කිරීම හෝ විනාශ කිරීම නොවේ. රජයේ පාලනය හේතුවෙන්, වෙනත් අයෙකු විසින් නිර්මාණය කළ හැකිව තිබුණු අලුත් ධනයක් නිර්මාණය වීම සිදු නොවීමයි.

මෙය පැහැදිලි කර ගැනීමට අපි උදාහරණයක් දෙස බලමු.

අපේ උදාහරණය ලෙස අපි "නිල් මොණරා" නම් වූ මනඃකල්පිත ගුවන් සේවයක් ගැන සිතමු. මේ ගුවන් සේවය වෙනුවෙන් රජය විසින් රුපියල් බිලියනයක ආයෝජනයක් කර තිබේ. ගුවන් සේවය වසරකට රුපියල් මිලියන 10ක පමණ සාමාන්‍ය ලාභයක් උපයයි. ගුවන් සේවය සාමාන්‍යයෙන් පාඩු නොලබයි. එහි පරිපාලකයෝ කිසිවෙකු හොරකම් නොකරති. දූෂණ නොකරති. එසේනම්, මෙය කාර්යක්ෂමද?

රජය භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් වසරකට 10%ක පොලියක් ගෙවන්නේයැයි සිතමු. එසේනම්, රුපියල් බිලියනයක් වසරක් හිරකර තැබීමේ ආවස්ථික පිරිවැය රුපියල් මිලියන 100කි. එහෙත්, "නිල් මොණරා" ගුවන් සේවයට හිරකර ඇති රුපියල් බිලියනය වෙනුවෙන් වසරකට ලැබෙන්නේ රුපියල් මිලියන 10ක් පමණි. මෙවැනි ව්‍යවසායයක් පෞද්ගලික ව්‍යවසායකයෙකු විසින් කිසි විටකත් නඩත්තු කරන්නේ නැත. රජයකට වුවද එවැන්නක් දිගින් දිගටම නඩත්තු කිරීමේ හැකියාවක් නැත.

රජය දැන් මේ දිගටම ලාබ ලබන ගුවන් සමාගම රුපියල් මිලියන 800 කට විදේශ සමාගමකට විකුණයි. (රජය ඒ වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියනයක් හෙවත් මිලියන 1000කි.) එය එම සමාගම විකිණිය හැකි ඉහළම මිලයි. මෙය නරක තීරණයක්ද?

නැත. බැලූ බැල්මට රජයට රුපියල් මිලියන 200ක අලාභයක් සිදු වේ. එහෙත්, එය ගනුදෙනුවේ නියම අලාබය හෝ ලාබය නොවේ.

ගුවන් සේවය විකුණා ලැබුණු මුදල් නිසා රජයේ ණය බර රුපියල් මිලියන 800කින් අඩු කරගත හැකි වන අතර වාර්ෂික පොලී වියදම රුපියල් මිලියන 80කින් පහළ යයි. ගුවන් සේවයෙන් ලැබුණු වාර්ෂික ලාබය වූ රුපියල් මිලියන 10 අහිමි වී ඇතත්, ගනුදෙනුව නිසා රජයට රුපියල් මිලියන 70ක වාර්ෂික ශුද්ධ වාර්ෂික ලාබයක් ලැබේ. ඒ නිසා, මේ ගනුදෙනුව නරක නැත.

විදේශ සමාගම විසින් "නිල් මොණරා" ගුවන් සේවය මිල දී ගන්නේ ඔවුන්ට එයින් ලාබ ලැබිය හැකි බව දන්නා නිසාය. ඔවුන්ගේ කළමනාකරණය යටතේ එහි වාර්ෂික ලාභ රුපියල් මිලියන 200 දක්වා ඉහළ යයි. එහෙත්, ඔවුන් ලාබ වැඩි කරගන්නේ සමාගමේ සේවය කළ ලාංකිකයින්ව "සූරාකෑම" මඟින් නොවේ. සමාගම යටතේ සේවක වැටුප්ද ඉහළ යන අතර ගුවන් සේවයේ ගුණාත්මක භාවයද ඉහළ යයි. වාර්ෂික ලාභයෙන් රුපියල් මිලියන 50ක් බදු ලෙස රජයට ගෙවන අතර ඉතිරි රුපියල් මිලියන 150 රටෙන් එළියට යයි. එහෙත්, සමාගම විසින් එසේ රටෙන් එළියට ගෙන යන්නේ ඔවුන් විසින් අලුතින් නිර්මාණය කළ ධනයයි.

සමාගම විසින් ගෙවන බදු මුදල්ද සමඟ ගුවන් සේවය නිසා රජයට ලැබෙන වාර්ෂික වාසිය රුපියල් මිලියන 120 දක්වා ඉහළ  යයි. එහෙත්, විදෙස් සමාගම විසින් උපයන ඉහළ ලාභ දකින රජය සිය ගුවන් සේවය ආපසු මිල දී ගන්නට තීරණය කරයි. ඒ වෙනුවෙන්, රජයට රුපියල් මිලියන 1,500ක් ගෙවන්නට සිදු වේ. ඊට වඩා අඩුවෙන් එය ආපසු විකිණීමට සමාගම එකඟ කර ගත නොහැකිය.

රජය විසින් පත් කළ අලුත් විධායකයින් විසින් ගුවන් සේවයේ ලාබ සමාගම යටතේ පැවති මටටමේම දිගටම පවත්වා ගන්නා නමුත් මේ අය අවංක පුද්ගලයෝ නොවෙති. ඔවුන් යටතේ හොරකම් හා මූල්‍ය වංචා සිදු වේ. ඒ නිසා, සැබෑ ලාභය රුපියල් මිලියන 200ක් වුවත් ගුවන් සේවය විසින් පෙන්වන ලාබය රුපියල් මිලියන 100ක් පමණි. විදෙස් සමාගම විසින් ගුවන් සේවය පාලනය කරද්දී රජයට බදු ලෙස වාර්ෂිකව ලැබුණේ රුපියල් මිලියන 50ක් පමණි. මුලින්ම සිටි හොරකම් නොකරන අවංක විධායකයින් විසින් වාර්ෂිකව උපයා දුන්නේ රුපියල් මිලියන 10ක් පමණි. එසේනම්, අලුත් විධායකයින් විසින් හොරකම් කළත් ආණ්ඩුවට ලාබද?

ගුවන් සේවය විසින් රුපියල් මිලියන 100ක වාර්ෂික ආදායමක් උපයන නමුත් ගුවන් සේවය වෙනුවෙන් කර ඇති ආයෝජනයේ ආවස්ථික පිරිවැය (10%ක පොලිය) රුපියල් මිලියන 150කි. ඒ නිසා, ඇත්තටම දැන් රජයට සිදුවන්නේ රුපියල් මිලියන 50ක අලාබයකි. විදෙස් සමාගම විසින් ගුවන් සේවය පාලනය කරද්දී ලැබුණු, දැන් නොලැබෙන රුපියල් මිලියන 50ක බදු මුදලද සැලකූ විට ශුද්ධ අලාභය රුපියල් මිලියන 100කි.

රජය විසින් පත්කළ අලුත් විධායකයා විසින් හොරකම් නොකළේනම් ගුවන් සමාගමේ ලාබ රුපියල් මිලියන 200ක් විය හැකිව තිබුණේය. එහෙත්, ඔහු හොරෙකි. ඔහුට එසේ අවංකව කටයුතු කරන්නට උවමනාවක් නැත. හොරෙක් වුවත් දක්ෂයෙකු වන ඔහු සමාගම හොඳින් කළමනාකරණය කර ලාබ වැඩි කර ඇත්තේ ඔහුට හොරකම් කරන්නට ලැබුණු ඉඩප්‍රස්තාව නිසාමය.

එසේනම්, මේ හොරාව ඉවත් කර මුලින්ම සිටි අවංක විධායකයාව නැවත පත් කළ යුතුද? ඔහු හොරෙක් නොවේ. එහෙත්, ඔහු දෙවන්නා තරම් දක්ෂ පුද්ගලයෙකුද නොවේ. ඔහු විසින් හොරකම් නොකළත්, ඔහු යටතේ සමාගම විසින් උපයනු ඇත්තේ රුපියල් මිලියන 10ක ලාබයක් පමණි. ඒ නිසා, අවසාන වශයෙන් සිදුවන්නේ රජයේ වාර්ෂික ශුද්ධ අලාභය තවත් රුපියල් මිලියන 90කින් වැඩි වීම පමණි.

ජාතික අවශ්‍යතා වැනි වෙනත් කවර හෝ හේතුවක් නිසා ඉහත විකල්ප දෙක අතරින් ආර්ථික වශයෙන් වාසිදායක විකල්පය වන විදෙස් සමාගමකට ගුවන් සමාගම දීම අත හැරියොත් ඉතිරි වන විකල්ප දෙකම රජයට අවාසිදායක නරක විකල්පයි.  ඇතැම් වෙලාවට තේරීමක් කිරීම යනු නරක විකල්ප දෙකක් අතරින් අඩු නරක තෝරා ගැනීමයි. මේ උදාහරණයේදී මෙන්, ඇතැම් විටෙක දක්ෂ හොරෙක්, අවංක එහෙත් අදක්ෂ පුද්ගලයෙකුට වඩා හොඳ තේරීමක් වන්නට පුළුවන.

කෙසේ වුවද, ජනතාවගේ සිහිනය අවංක හා දක්ෂ පුද්ගලයින්ය. එසේ සිතා තෝරා ගන්නා පුද්ගලයින් බොහෝ දෙනෙකු කලින් හිතූ තරම් දක්ෂ නැති බව, අවංක නැති බව හෝ දෙකෙන් එකක්වත් නැති බව දැනගන්නට ලැබෙන්නේ තේරීම කිරීමෙන් පසුවය. එවිට එවැනි පුද්ගලයෙකු ඉවත් කර වෙනත් පුද්ගලයෙකු තෝරා ගන්නට සිදුවේ. මෙය රාජ්‍යය සම්බන්ධ මූලික ප්‍රශ්නයකි. රාජ්‍යය විශාල වන තරමට එවැනි තේරීම් වැඩි ගණනක් කරන්නට සිදුවේ. මධ්‍යගත පාලන ක්‍රමයක් අකාර්යක්ෂම වීමට බලපාන ප්‍රධාන හේතුව මෙයයි.

නිදහස් වෙළඳපොළ ක්‍රමය මේ ප්‍රශ්නය ස්වභාවික ලෙසම විසඳයි. මෙහිදී පුද්ගලයින් ස්වඅභිමතාර්ථය වෙනුවෙන් කටයුතු කිරීම වෙනත් අයට ප්‍රශ්නයක් නොවනවා පමණක් නොව, එයම පද්ධතිය කාර්යක්ෂමතාවය කරා මෙහෙයවන යාන්ත්‍රනය බවටද පත්වේ. අදක්ෂ පුද්ගලයින් ස්වභාවික ලෙසම ඉවතට විසිවන අතර, පුද්ගලයින් කටයුතු කරන්නේ තමන්ගේම අභිවෘද්ධිය වෙනුවෙන් නිසා මධ්‍යගත පාලන ක්‍රමයකදී මෙන් වංක භාවය ප්‍රශ්නයක් වන්නේ නැත. මෙවැනි ක්‍රමයක කාර්යක්ෂමතාවය සමඟ මධ්‍යගත සැලසුම් ආර්ථිකයකට කෙසේවත් තරඟ කළ නොහැකිය.

සැබෑ තත්ත්වය මෙවැන්නක්නම්, මුල් යුගයේ වාමාංශික නායකයින් විසින් ලංකාව රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් ආර්ථිකයක් වෙත තල්ලු කළේ ඇයි?

මෙය ඇත්තටම ඔවුන් විසින් ඒ කාලයේ කළ "වැරැද්දක්" බව කියන්නට නුපුළුවන. මේ නායකයින්ගෙන් බොහෝ දෙනෙකු රට වෙනුවෙන් හා සමාජය වෙනුවෙන් යමක් කරන්නට අවංකවම සිතූ හා ඒ වෙනුවෙන් ක්‍රියා කළ අයයි. මේ පරමාර්ථය වෙනුවෙන් ඔවුහු තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය වැය කළහ. ඉතිහාසය විසින් පෙන්වා දී ඇති පරිදි ඔවුන් මහන්සි වී ඇත්තේ අවසාන වශයෙන් අකාර්යක්ෂමතාවයට හා රටේ ජනතාවගේ අයහපතට හේතුවෙන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වීම වෙනම කතාවකි.

ආර්ථික දියුණුව කරා යාමේදී සමාජවාදී ප්‍රතිසංස්කරණ අකාර්යක්ෂම වුවත්, සමාජවාදී ප්‍රතිසංස්කරණ හරහා ආර්ථික විෂමතාවයන් අවම කිරීම වැනි වෙනත් ඉලක්ක කරා ළඟා වන්නට පුලුවන. කෙසේ වුවද, අඩු වශයෙන් විප්ලවයෙන් පසුව ගත වුනු මුල් අඩ සියවසක පමණ කාලය තුළ සෝවියට් දේශයට කැපී පෙනෙන ආර්ථික ජයග්‍රහණයයන්ද අත්පත් කරගත හැකි විය. සමාජවාදය මුල් කාලයේදී ජනප්‍රිය වීමට හේතු වුනේ මෙසේ ආර්ථික ජයග්‍රහණ හා වෙනත් ආර්ථික නොවන ඉලක්ක එකවර ළඟා කරගනිමින් සෝවියට් දේශය විසින් පෙන්වූ සාර්ථකත්වයයි. මේ ක්‍රමය යටතේ රජයේ මධ්‍යගත පාලනය යටතේ සිදුවුණු නිෂ්පාදන හා බෙදාහැරීමේ ක්‍රියාවලිය හරහා රජය විසින් උපයාගත් ලාභය රටේ ජීවත් වූවන්ගේ සමාජ සුබසාධනය වෙනුවෙන් වැය කෙරුණේය. මෙය සමාජයේ පහළ ස්ථර වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් රටේ ආදායම් විෂමතාවයන් අඩු කිරීමටත් හේතු විය.

රාජ්‍ය සුබසාධන ප්‍රතිපත්ති හේතුවෙන් රටේ පහළ ස්ථර වෙත සම්පත් සම්ප්‍රේෂණය වන විට එවැන්නන්ට තමන්ගේ රටේ ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක බව දැනේ. එහෙත් රජයකට සම්පත් නිර්මාණය කළ නොහැකිය. රජයක් විසින් සුබසාධනය හරහා බෙදා හරින්නේ, අදාළ සමාජයේම කිසියම් පිරිසක් විසින් නිර්මාණය කරන සම්පත් වලින් කොටසකි. එවැනි සම්පත් දායකයින් තමන්ගේ සම්පත් වලින් කොටසක් රජය විසින් උදුරා ගනු ලැබීම පිළිබඳව සතුටු නොවුවත්, ඒ පිරිස විශාල ධනයක් උපයන සුළු පිරිසක් හා ඔවුන් උපයන දෙයින් වාසි ලබන කණ්ඩායම විශාල පිරිසක්නම් එවැනි ක්‍රමයකට සැලකිය යුතු කාලයක් බිඳ නොවැටී පැවතෙන්නට පුළුවන. එහෙත්, කාලයත් සමඟ මෙසේ ධනය උපයන සුළු පිරිස අධෛර්යමත් වීමත්, ඔවුන්ගේ ධනය  ක්‍රමයෙන් ක්ෂය වීමත් සමඟ මෙවැනි ක්‍රමයක් අර්බුදයට යයි.

සුබසාධන ප්‍රතිපත්ති සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන සමාජවාදී නොවන රටවල් අදටත් තිබේ. ඒ අතර, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්කැන්ඩිනේවියානු රටවල් හා මැදපෙරදිග ඇතැම් රටවල් ඉහළින්ම සිටී. මේ රටවල පුරවැසියන්ට කිසිදු ආදායමක් නූපදූවත් රජයෙන් බොහෝ දේ ලැබේ. මේ රටවල් හා විප්ලවයෙන් පසු සෝවියට් දේශය එකතු කළ හැකි පොදු කුලකයක් තිබේ. ඒ, මේ රටවල් සියල්ලම එම රටවල ජනගහණයට සාපේක්ෂව විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයකට හිමිකම් කීමයි.

කිසියම් රටක අලුතින් ධනය නිර්මාණය වීමට හේතුව වන්නේ ඒ රටේ මිනිසුන්ගේ මහන්සියට වඩා වාසනාවනම්, එනම් කිසියම් රටක විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් ඇත්නම්, එවැනි රටක මිනිසුන්ගේ ව්‍යවසායකත්වය අඩු වුවද යහපත් ජීවන මට්ටමක් කාලයක් පවත්වා ගැනීමට බැරිකමක් නැත. එවැනි ස්වභාවික සම්පත් වල ප්‍රතිලාභ රටේ කිහිප දෙනෙකු අත තිබෙනවාට වඩා සියලු දෙනා අතර බෙදීයාම සාධාරණ වනවා පමණක් නොව එවැනි සම්පත් රජය විසින් කළමනාකරණය කිරීම හේතුවෙන් අකාර්යක්ෂමතා වැඩි වීමක් සිදුවන්නේද නැත (සාපේක්ෂ ප්‍රකාශයකි). මේ ස්වභාවික සම්පත් වලට ඉඩම්ද ඇතුළත්ය.

ලංකාව ඉහත කී රටවල් තරම් වාසනාවන්ත රටක් නොවේ. කුඩා ඉඩක සැලකිය යුතු ජනගහණයක් ගාල් වී සිටින ලංකාවේ මිනිසුන්ගේ බඩවල් පුරවන්නට ස්වයංජාත හාල් පහළ වන්නේ නැත. පවතින සීමිත සම්පත් උපයෝගී කර ගනිමින් රටට අලුතින් ධනය නිර්මාණය කිරීමට රටට ව්‍යවසායකයින් අවශ්‍යය. ව්‍යවසායකයින් දිරිමත් වන්නේ ඔවුන්ට ලාබ ලැබීමට ඇති හැකියාව තුළය. මේ ලාබ ඔවුන් විසින් අලුතින් නිර්මාණය කරන ධනය මිස වෙනත් අයගෙන් සූරාකන හෝ හොරාකන ධනයක් නොවේ. එසේ කරන්නෝ ව්‍යවසායකයෝ නොවෙති.

ලංකාවට සාපේක්ෂව විශාල ස්වභාවික සම්පත් සංචිතයකට හිමිකම් කියන ඇමරිකාවේ ආර්ථිකය ඉදිරියට එළවන්නේ ඒ සම්පත් වලින් නොවේ. ව්‍යවසායකත්වය තුළිනි. සමාජවාදී රටක් වුවත් දැන් චීනයේ සිදුවන්නේද එයයි.

සෝවියට් දේශයේ රාජ්‍යමූලික මධ්‍යගත සැලසුම් ආර්ථිකය අවසානයේදී බිඳ වැටුනත් එය සෑහෙන කාලයක් අල්ලා සිටියේය. එහෙත්, සමාජවාදය හේතුවෙන් වෙනත් රටවලට එවැනි ආර්ථික දියුණුවක් ලැබුණේ නැත. චීනය හැර අනෙක් සෑම සමාජවාදී රටක්ම වාගේ සෝවියට් දේශයෙන් අඩු වැඩි වශයෙන් යැපුණු පරපෝෂිතයෝ වූහ. කෙසේ වුවද, නිදහසෙන් පසු පළමු දශක තුන තුළ ලංකාවේ ආර්ථිකය සැලසුම් කළ ඇතැම් අයට සෝවියට් දේශය පරමාදර්ශී රාජ්‍යයක් ලෙස පෙනීම අදට සාපේක්ෂව බලා වැරැද්දක්යැයි කිව නොහැකිය.

ඉංග්‍රීසින් විසින් ලංකාව කළමනාකරණය කළේ පාඩු ලබමින් නොවේ. ලංකාවේ ආර්ථිකය හොඳින් කළමනාකරණය ඔවුහු එයින් සැලකිය යුතු ලාබයක් ලැබූහ. ලංකාවේ අනාගත යහපත ගැන හිතමින් නොවූවත් ඔවුහු ඒ ලාබයෙන් කොටසක් මෙහි ආයෝජනය කළෝය. ඉතිරිය රටෙන් පිටට රැගෙන ගියහ. මෙසේ රටෙන් පිටට ගෙන ගිය කොටස ගැන කතා කරන බොහෝ දෙනෙක් අමතක කරන්නේ ඔවුන් එසේ රැගෙන ගියේ ඔවුන් විසින් නිර්මාණය කළ ධනය බවයි. (මේ කියන්නේ ආර්ථික වටිනාකමකට වඩා වෙනත් වටිනාකම් ඇති, ලංකාවෙන් රැගෙන ගිය, ඔවුන් විසින් නිර්මාණය නොකළ ඇතැම් දේ ගැන නොවේ.)

නිදහසින් පසුව ඉංග්‍රීසි ආණ්ඩුව වෙනුවට "අපේ ආණ්ඩුවක්" ලැබීමෙන් පසු ලාංකිකයින්ට අවශ්‍ය වුනේ කලින් සුද්දා රැගෙන ගිය අතිරික්තය තමන් අතරේ බෙදාගෙන හැකි ඉක්මණින් භුක්ති විඳින්නටය. සුබසාධන ආණ්ඩු වලින් මේ ලාබ මිනිස්සුන්ට ලැබුණේය. ඒ නිසා, ආණ්ඩුව තමන්ගේ එකක් බව මිනිස්සුන්ට දැනුණේය.

ලංකාව නිදහස ලබන විට ඉංග්‍රීසීන්ගෙන් ලැබුණේ අද මෙන් අයවැය හිඟයක් හෝ ගෙවුම් ශේෂ හිඟයක් තිබුණු ආර්ථිකයක් නොවේ. දේශීය හෝ විදේශීය ණය ගොඩ ගැසුණු ආර්ථිකයක්ද නොවේ. රටේ සීමිත විදේශ ණය ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් විශාල විදේශ සංචිත ප්‍රමාණයක් ඉතිරිව තිබුණු ශක්තිමත් ආර්ථිකයකි. ඒ නිසා, සුබසාධන ආර්ථිකයක් පවත්වාගෙන යාම මුල් කාලයේදී ගැටලුවක් වූයේ නැත. ඒ කාලයේ රටේ සිටි දුප්පත් මිනිස්සුන්ට රජයෙන් ඇත්තටම යමක් ලැබුණේය.

මේ තත්ත්වය වෙනස්  වන්නට වැඩි කලක් නොගියේය.

(ඉන්පසු සිදුවුණේ කුමක්ද? මාතෘකාව ගැන කතා නොකරම වචන 5000ක් පමණ ලියැවී ඇත. ඒ නිසා, සෙස්ස පස්සට තබමු.)

(Image: https://www.colombotelegraph.com/index.php/two-immoral-acts-of-sirisena-ranil-government/)

22 comments:

  1. ඇත්තටම ඔබගේ ලිපිවලින් බොහෝ දේ ඉගෙන ගත හැකියි. සමහරවිට අප සිතාසිටි විදිය අභියෝගයකට ලක්වෙන අචස්ඨාද ඇත. ඔබගේ බ්ලොග් එක ප්‍රචාරය කිරීම සඳහා ඔබ උත්සාහයක් නොගැනීම ඇත්තටම කනගාටුවට කරුණකි.

    ReplyDelete
    Replies
    1. මෙය විනෝදාංශයක් ලෙස කරන දෙයක් පමණයිනේ serendipity. ලියන්න motivation එකක් ලෙස කියවන පිරිසක් අවශ්‍යයි. එවැනි පිරිසක් බ්ලොග් එක පටන් ගෙන වැඩි කල් යන්න පෙරම හැදුනා. ඒ ඇති.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Good analysis. Why we are so backward country is not just economics, big part is in out insincerity (horakama) this is in our DNA (from low level laborer to President) Everyone from top to bottom is trying have money without doing the hard work. People are expecting change every time with new leader, unfortunately nothing positive happening.

    ReplyDelete
  4. Dear Econo,

    I understand about your feeling. You got to face harsh criticisms on your last couple of posts. The reason is, those posts are some hot topics in SL these days. Most of the people are against the current government (I also voted for My3 but now me and many people like me feel ashamed about it to be honest) and as a result, the bond scam, SAITM issue, selling government assets to collect short term funds had made most of the people angry. However, you have written in favour of those decitions, may be you would have liberal democratic thoughts, I doubt.

    However, that had been made many viewers angry & might misunderstand that you as current Yahapalana regime supporter.

    Anyway better to write as much as independent & unbiased. We will read your blog. I appreciate your good work, writing valuable things in Sinhala & good luck for the coming days. Cheers.

    ReplyDelete
    Replies
    1. //You got to face harsh criticisms on your last couple of posts. //
      I am not disheartened or discouraged by criticisms, Ano, as long as they are relevant to the topic and within acceptable ethical boundaries. My regular readers should, by now, know who I am through what I have written. They too may get disappointed once in a while when what I write is not what they expect, but that is perfectly normal. I respect the feedback of readers and sometime plan my topics based on their preferences, but not the contents. I have written and will continue to write what I believe is right. I don’t care whether it helps or damages the image of any political party or group. Societies do not change overnight or even in decades, but take time to evolve naturally. I may be contributing to marginal changes, but do not intend to radically alter the status quo.
      Thank you very much for your concern and encouraging comments!

      Delete
  5. ඉකෝන්
    මේ පෝස්ට් එකටනම් අදාල නෑ.
    කරුණාකර පිස්කල් ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රතිපත්ති ගැන සහ ඒවායෙ වෙනස පැහැදිලි කරනවද.
    රවියගෙ කට උත්තරයක තිබිල දැක්කෙ.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක දුටු වෙලාවේ සිට පෝස්ට් එකක් ලියා දමන්නයි හිටියේ, ඇනෝ. නමුත්, වෙනත් වැඩකට හිර වුණා. හැකි විගස ලියන්නම්. එහෙත්, කෙටි පිළිතුරක් ලෙස මෙයින් ඔබ අදහස් කරන්නේ monetary policy හා fiscal policy බව පෙනෙනවා. monetary policy වලට නිවැරදි සිංහල වචනය මුදල් ප්‍රතිපත්ති යන්නයි. මූල්‍ය කියන එකෙන් අදහස් වන්නේ financial කියන එක. fiscal policy වලට නියම සිංහල වචනය රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති. ඒත් ගොඩක් අය ඔබ සඳහන් කර ඇති වචනත් භාවිතා කරනවා. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති කියන්නේ ආණ්ඩුව (මුදල් අමාත්‍යාංශය/ මහා භාණ්ඩාගාරය) විසින් කරන බදු වෙනස් කිරීම්, රාජ්‍ය වියදම් අඩු වැඩි කිරීම් වැනි දේ. මුදල් ප්‍රතිපත්ති කියන්නේ මහබැංකුව විසින් කරන මුදල් සැපයුම, පොලී අනුපාතික ආදිය පාලනය කිරීමයි. මේ දෙකෙන්ම කරන්නේ ආර්ථිකය සුමට ලෙස වර්ධනය වෙන්න ඉඩ සලසන එකයි. ඇතැම් විට මේ දෙක අතර conflict of interest (පිළිසිඳියා ගැටුම්?) ඇති වෙනවා. මහ බැංකුව රජයෙන් ස්වාධීන විය යුත්තේ ඒ නිසයි. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියේ කොටසක් වන භාණ්ඩාගාර සුරැකුම්පත් නිකුත්කිරීම මහ බැංකුව විසින් කිරීමේත් එවැනි අවුලක් තියෙනවා. වැඩි විස්තර සමඟ පසුව පෝස්ට් එකක් අනිත් බ්ලොග් එකේ දමන්නම්!

      Delete
  6. ඉතාම නිරවුල් ලියවිල්ලක්. එකවරක් කියවූ විට පහසුවෙන් වටහා ගත හැකි සේ නිරවුල්ව කරුණු ගොනු කිරීමට විශාල කාලයක් ගත කර අත්ති හැඩයි. ඊට ස්තුතියි.

    උග්‍ර ධනවාදී රට ජීවත් වීමට පැමිණීමෙන් පසුව යකා කියන තරම් කළු නැති බව වටහා ගත්තා.

    සමහර අයට සමාජවාදය යනු විවේචනය නොකළ යුතු, දෙවියන්ගේ පැවැත්ම මෙන් වස් වදින නිසා ප්‍රශ්න කිරීමෙන් තොරව ඇදහිය යුතු දෙයක්. ඒ අය ඇරුනම, අපේ බුද්ධියට අනුව පිළිගත හැකි තරමින් තාර්කිකව ඉදිරිපත් වී ඇති කරුණු කියවා දෙයක් දැන ගන්න කැමති අයත් ඉන්නවා. සාමාන්‍යයෙන් කියන්නේ රිවීව්ඩ් ජර්නල් ආර්ටිකල් එකක වුනත් සත්‍ය තිබෙන්නේ 60% පමණ කියා නේ. සදාකාලිකව
    100% නිවැරදි කරුණු කියවන්න බලාගෙන ඉන්නේ නැති අපි වගේ අයට ඔබේ ලිවීම ඉතා අගෙයි.

    ReplyDelete
  7. කෝ දැන් යහපාලනයේ පොලිසිය ,කොමිසෝන්
    ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ

    ප්‍රියන්ති ජයසිංහ මහත්මිය ඇයි පොලිසියට පැමිණිල්ලක් දැම්මේ නැත්තේ ඔය පොලිසිවල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ වල පැමිණිල්ලක් දාලා එකේ පැමිණිලි අංකය සහ පොලිස්ස්ථානය කොහෙද

    කෝ මේවට ගත්ත පියවර දොස්තරව ඇරස්ට් කලාද

    පපඩ ෂෝ නේද>>>> බ්ලොග් පොලිස්ඉයන්.... ඇනොගේ XXX ටෞකන්න සිතාගෙන ඇඩ්වාන්ස් සල්ලිගත්ත එකාටවත් බැරිද පැමිණිල්ලක් දාන්න ශ්‍රී ලංකා පොලිසියේ

    ReplyDelete
  8. Dear Ano

    This Dr. Kumara has openly supported MR & JO gang and further he used to expose the UNP bloggers like Aji D & Mr. I & their close friends & the clan.

    This is just a result of that & Dr.KK should ready to face the consequences. As independent viewers, we don't have objection towards this. Dr. KK should aware that UNP morons are the kings of mud campaign/ false propaganda with their LN web & above mentioned mud-news site. Don't worry, the intelligent viewers knows what happened but Dr. KK might face some financial losses due to the reduced number of patients as a result of this mud campaign by UNP bloggers & he should reimburse the cost from MR & the clan. That's it.

    ReplyDelete
  9. ඉතාම අනර්ඝයි. දුරවබෝධ විෂයයක් සරලව පැහැදිලි කිරීමට ඔබේ හැකියාව විශිෂ්ඨයි.

    එක් වරක් කියවූයෙමි. යලි දෙතුන් වරක් සාවධානව කියවිය යුතුය. අද සති අන්තය බැවින් මේ ඊට සුදුසු කාලය නොවේ....:)

    ReplyDelete
  10. හොඳ පැහැදිළි කිරීමක්. විශිෂ්ටයි..!

    ReplyDelete
  11. //AnonymousAugust 4, 2017 at 9:34 AM//

    I like your comment. This exposes the ugly face of politics behind media including Sinhala blogs. It's disappointing but this is the reality we have to live with.

    ReplyDelete
  12. අපිට පැටලිලා තියන ලන්කාවේ ආර්ථිකේ,
    දේශපාලනේ,හොරු, සුද්දො , ඉතිහාසේ .....
    එකී නොකී හැම දෙයක් ගැනම හොද පැහැදිලි කිරීමක් මේ ලිපිය ඇතුලේ තියනවා

    මාරම පිලිවෙලයි ලිවීමනම්,,,,,

    ස්තූතීයි ඉකොනො

    කොමෙන්ටුවක් නොදා බැරිම නිසයි දැම්මේ

    ReplyDelete
  13. ඔබට 100% ණය අවශ්යද? මම ඔබට ඔබේ මුල්යමය අවශ්යතා ඉටු කිරීම සඳහා අඩු ගැටළු ඇතිව සිටිමට අපි ඔබට අරමුදල් සපයන්නේ 2% ක් පමණි. ඔබේ තත්වය කුමක් වුවත්, ස්වයං රැකියාවක නියුක්ත විශ්රාමිකයෙකුට, බැංකු ණය ශ්රේණිගත කිරීමක් ඇත, අපි උදව් කළ හැකිය. අවුරුදු 1 සිට 30 දක්වා කාලයක් තිස්සේ ඉතිරි කිරීම.






    දිගු හෝ කෙටිකාලීන ණය සඳහා ඔබ සොයයි

    සම්පූර්ණ නම: ............................
    2 ඇමතුම් ලිපිනය: .......................

    3. රාජ්ය: .....................

    4. නිරීක්ෂණ: ...............

    5. අවශ්ය ණය මුදල: ....................
    6. කාලසීමා ණය: ...........
    7. සෘජු දුරකථන අංකය: .................

    බොහෝ ප්රේම,

    Comfortfrankloanfirm@gmail.com



    මම
    සුවපහසුව

    ReplyDelete
  14. Great post. Keep it up.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: