වෙබ් ලිපිනය:

Friday, July 27, 2018

කළුගඟ දිගේ උඩු ගං බලා...


මාස කිහිපයකට පෙර මෙහි අපේ අනන්‍යතාවන් ගැන ලිපි කිහිපයක් ලියා පළ කෙරුණා. සිංහල අනන්‍යතාවය හා බෞද්ධ අනන්‍යතාවය වැනි මාතෘකා යටතේ ටිකක් කතා කළත් මේ හා අදාළව ලියන්න තියෙන දේවල් වලින් ඉතා විශාල කොටසක් තවමත් ලියැවී නැහැ. මෙහි ලිපියක් හෝ කිහිපයක් ලියා පළ කර තිබෙන වෙනත් මාතෘකා බොහොමයක් හා අදාළව වුවත් තත්ත්වය ඔය වගේ තමයි.

එකම දෙයක් ගැන එක දිගටම ලිපි කිහිපයක් පළ කල විට පළමුව කියවන අයට ටිකෙන් ටික එපා වෙනවා. දෙවනුව, ලියන්න මුලින් තිබුණු උද්‍යෝගය අඩු වෙනවා. ඒ වුණත්, ලියන්න වෙනස් වෙනස් මාතෘකා ඕනෑ තරම් තිබෙන නිසා එහෙම වුණා කියා මෙහි ලිපි ලියන එකනම් නැවතෙන්නේ නැහැ. හැමදාම පිටාර නොදැම්මත් කළු ගඟ ගලනවා වගේ කොහොම හරි දිගටම කෙරෙනවා.

මහානාම හිමියන්ගේ සිට සිංහල අනන්‍යතාවය ගැන කතා කරන ගොඩක් අය කරන්නේ කිසියම් නිශ්චිත ස්ථානයක සිට ඉදිරියට එන එකයි. අපට අවශ්‍යනම් එය අනෙක් පැත්තට කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අද සිට පසුපසට යන එක. කවුරුත් හරියටම නොදන්නා මුලකින් පටන් ගන්නවාට වඩා එය ප්‍රායෝගිකයි.

ප්‍රබල සිංහල අනන්‍යතාවයක් තිබෙන විශාල පිරිසක් අද ඉන්නවා. මේ අයගෙන් වැඩි පිරිසක් ඉන්නේ ලංකාවේ වුවත්, සැලකිය යුතු පිරිසක් ලෝකයේ හතර දිග් භාගයේම විසිරිලා ඉන්නවා. අද දකින්නට හැකි සිංහල අනන්‍යතාවය දැන් තිබෙන තැනට පැමිණි ගමන් මඟ දිගේ ආපසු ගියොත් අපට හමුවන ප්‍රධාන මඟ සලකුණක් හා හන්දියක් වන්නේ උඩරට සිංහල හා පහතරට සිංහල කියන අනන්‍යතා වල වැදගත්කම අඩු වී දිය වී යාම.

අද තමන් සිංහල සේ හඳුන්වා ගන්නා බොහෝ දෙනෙක් උඩරට හෝ පහතරට කියන අනන්‍යතා වැදගැම්මකට ඇති දේ සේ සලකන්නේ නැහැ. විවාහ සම්බන්ධතා වැනි අවස්ථා වලදී මේවා තවදුරටත් එතරම් සීමාකාරී සාධක නෙවෙයි. ඒ නිසා, ගොඩක්ම තරුණ අයෙකුට මේ කියන දේ ඇඟට දැනෙන එකක් නැහැ.

කාල වකවානු අනුව බැලුවොත්, උඩරට පහතරට භේදය පසුගිය සියවසේ මුල් අර්ධය තුළ හෙමිහිටත්, දෙවන අර්ධය තුළ වේගයෙනුත් දිය වී ගියා කියා සැලකිය හැකියි. ඊට පෙර සියවස් දෙක තුනක කාලය තුළ මේ උඩරට පහතරට අනන්‍යතා වල භූමිකාව ඉතා ප්‍රබල එකක්.

යුරෝපීයයන් එන්න කලින් ඔහොම භේදයක් තිබුණේ නැහැ කියා කාට හෝ කියන්න පුළුවන්. ඒක ඇත්ත. සියවස් ගණනක් තිස්සේම ලංකාවේ කුල අනන්‍යතා හා ප්‍රාදේශීය අනන්‍යතා වලට ලොකු වැදගත්කමක් ලැබුණත් උඩරට පහතරට සේ සිදු වුනු බෙදීම යුරෝපීයයන් පැමිණීමෙන් පසුව සිදුවුණු දේශපාලනික බෙදීම හේතුවෙන් සිදු වූ දෙයක්. කොහොම වුනත්, උඩරට පහතරට අනන්‍යතා දියවී යන රැල්ලට කුල හා ප්‍රාදේශීය අනන්‍යතාවනුත් ගසා ගෙන යනවා.

පෘතුගීසින් හා ලන්දේසීන් විසින් ලංකාවේ උඩරට පළාත් පාලනය කළේ නැහැ. ඇතැම් ඓතිහාසික තත්ත්වයන් තරමක් වෙනස් වූවානම් ඉංග්‍රීසින් විසිනුත් උඩරට ප්‍රදේශ යටත් කර නොගනු හැකිව තිබුණා. වත්මන් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ ඉංග්‍රීසීන් විසින් පාලනය කලේ නැහැ. එහෙම වුනානම් අද වන විට මොන වගේ තත්ත්වයක් දකින්න ලැබෙයිද?

ආර්ථික වාසි හමුවේ තමන්ගේ චර්යාවන් වෙනස් කර ගැනීම මිනිස්සුන්ගේ ස්වභාවයක්. කලින් ඉහළ ස්ථරයේ සිටි රජු හා ඔහුගේ පාලනය වෙනුවට යුරෝපීයන් යටතේ ජීවත් වන්නට සිදුවීමෙන් පසුව පහතරට පෙදෙස් වල සිටි අය මේ අලුත් තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් ඔවුන්ගේ ආගම, ආහාර, ඇඳුම් පැළඳුම්, රැකියා, සමාජ චර්යාවන් ආදිය වෙනස් කරගත්තත් උඩරට ප්‍රදේශ වල එවැන්නක් සිදු වුණේ නැහැ. එයට සමාන්තරව මේ කණ්ඩායම් දෙක අතර ආවාහ විවාහ සිදුවීම පවා නැවතීම නිසා මේ සමාජ දෙක කාලයක් පරිණාමය වුණේ වෙන වෙනමයි. ඒ නිසා, භාෂා ව්‍යවහාර පවා යම් තරමකින් වෙනස් වුණා.

ඉංග්‍රීසින් විසින් උඩරට පළාතුත් එකතු කර ගැනීමෙන් පසුව උඩරට පහතරට කණ්ඩායම් වෙන් කළ දේශපාලන තාප්පය බිඳ වැටුණා. එහෙත්, ඒ වන විට මේ සමාජ දෙක කාලයක් තිස්සේ වෙනම ගමන් කර තිබුණු නිසා නැවත එකතු වෙන්නත් සෑහෙන කාලයක් ගියා. මතු පිටින් එකතු වීමක් වගේ පෙනුණත්, මෙහිදී වැඩිපුර සිදුවුණේ පහතරට සංස්කෘතිය උඩරටට ගලායාමක්. එහෙමත් නැත්නම් පහතරට ප්‍රදේශ වල කලින්ම සිදුවූ වෙනස්කම් කාල පමාවකින් පසුව උඩරට ප්‍රදේශ වල සිදු වීමක්.

මේ මිශ්‍ර වීමේදී ඇත්තටම සිදු වුණේ කුමක්ද කියා පැහැදිලි කරන්න උදාහරණයක් සේ අපට උඩරට මුල් ඇඳුම ගන්න පුළුවන්. අද ලංකාවේ පහතරට පෙදෙස්වල බොහෝ පිරිමින් විවාහ අවස්ථා වලදී උඩරට මුල් ඇඳුම අඳිනවා. එහෙත්, දැනට අවුරුදු තිහ හතළිහකට කලින් එවැනි අවස්ථා දැකගන්න ලැබුණේ නැහැ. දැන් මෙහි බැලූ බැල්මටම පේන්නේ උඩරට සංස්කෘතික අංගයක් පහතරටට පැමිණි බවයි. එහෙත්, මේ බැලූ බැල්මටම පෙනෙන වෙනසට යටින් තිබෙන්නේ වෙනස් කතාවක්.

ඔය උඩරට මුල් ඇඳුම කියන එක උඩරට පළාත් වල හැමෝම ඇඳපු ඇඳුමක් නෙමෙයි. එය ඇන්දේ කුල ධුරාවලියේ ඉහළින් සිටි අය පමණයි. කතාවට කිවුවේ මේ ඇඳුම එය ඇඳිය නොයුතු කෙනෙක් ඇන්දොත් වස් වදින බවයි. ඒ නිසා, වෙනත් ඇතැම් දේවල් වගේම මේ ඇඳුමෙනුත් කළේ උඩරට පළාත් වල සමාජ ධුරාවලියේ මැදින් ඉරක් අඳින එකයි. ඒ ඉරට යටින් හිටපු කෙනෙක්ට ධනවතෙකු වූ පමණින් ඉර පනින්න පුළුවන්කමක් තිබුණේ නැහැ. උඩරටට සාපේක්ෂව පහතරටදී යමෙකුට ධනවතෙකු විය හැකිනම් සමාජ ස්ථරයේ ඉහළට පහසුවෙන් නැඟ ප්‍රභූවරයෙකු වීමේ හැකියාවක් තිබුණා.

උඩරට හෝ පහතරට ඕනෑම පිරිමියෙකුට මුල් ඇඳුමක් කුලියට ගන්න මුදල් ගෙවන්න සූදානම්නම් දැන් ඒ අවශ්‍යතාවය සපුරාගන්න බාධාවක් නැහැ. කලින් ප්‍රභූවරුන්ට පමණක් මේ ඇඳුම ඇන්දවූ පරම්පරා වල දරුවෝ වගේම වෙනත් අලුත් අයත් දැන් මුදල් ගෙවන ඕනෑම කෙනෙකුට මේ ඇඳුම අන්දනවා. මතුපිටින් පෙනෙන දේ කුමක් වුවත් ඇත්තටම සිදු වෙලා තිබෙන්නේ උඩරට සම්මත බිඳ වැටී පහතරට සම්මත උඩරටටත් පැතිරීමයි.

ආගම ගත්තත් සිදු වුණේ මේ වගේම දෙයක්. පානදුර ප්‍රදේශය ආශ්‍රිතව ඇති වුනු බෞද්ධ පුනරුදය ගැන ගොඩක් අය කතා කරනවා. මෙහිදී ප්‍රචලිතම අදහස වන්නේ පානදුරා වාදය, අනගාරික ධර්මපාලගේ දේශනා ආදිය නිසා මේ පුනරුදය ඇති වූ බවයි. එය බොරුවක් නොවූවත්, මෙය සිදුවීම් කිහිපයක් හෝ පුද්ගලයින් කිහිප දෙනෙක් නිසා පමණක් ඇති වූ "සැපයුම මත" පමණක් පදනම් වී උඩ සිට පහළට පැමිණි දෙයක් නෙමෙයි. පානදුරා වාදය ඇති වන්නේත්, අනගාරික ධර්මපාල වැනි කෙනෙක් බිහිවන්නේත් ඒ සඳහා අවශ්‍ය "ඉල්ලුම" ඒ කාලය වන විටත් තිබුණු නිසයි. එය පසුපස සිංහලයින් අතරින් කිසියම් පිරිසක් වෙළඳ පංතියක් සේ හිස ඔසොවන්න දැරූ උත්සාහයත් තිබෙනවා වෙන්න පුළුවන්.

උදාහරණයක් ලෙස, අනගාරික ධර්මපාල චරිතය මතුවෙන්න දශකයට හෝ දෙකකට පෙර සිටම පානදුර පැත්තේ තැබෑරුම් එකින් එක වැහෙන්න පටන් ගෙන තිබුණු බව අදාළ කාලයේ ප්‍රාදේශීය සංඛ්‍යාලේඛණ පරීක්ෂා කර දැනගත හැකි දෙයක්. අනගාරික ධර්මපාල වැනි අයට මේ ඉල්ලුම සපුරාලන ප්‍රකාශකයෙකු වෙමින් පානදුර පැත්තෙන් පටන්ගත් රැල්ල රටපුරා පතුරුවන්න හැකි වුණා.

යුරෝපීයයන් යටතේ සිටියදී ආගම වෙනස් කර පසුව නැවත බෞද්ධයින් වූ පිරිස් එසේ ආපසු පැමිණියේ උඩරට පළාත් වල සිටි බෞද්ධයින් සිටි තැනටම නෙමෙයි. උඩරට පහතරට නැවත එකතු වන විට පහතරට නැවතත් බෞද්ධ වන බව මතුපිටින් පෙනුණත් පහතරට නැවත උපන් බෞද්ධයින්ගේ බුද්ධාගම උඩරටට ව්‍යාප්ත වීමක් ඒ අතර සිදු වූ බව අමතක කළ නොහැකියි. ඒ වගේම, පහතරට මිනිස්සුන් මෙන් වාණිජ භෝග වවන්නට උඩරට මිනිස්සුත් පටන් ගැනීමත් මේ සම්මිශ්‍රණය සමඟ සිදු වූ දෙයක්.

උඩරට පහතරට මිශ්‍ර වුණා කිවුවත් මෙය සිදුවන ක්‍රමයක් තිබිය යුතුයිනේ. කළුගඟ කියන්නේ පහතරට සංස්කෘතිය උඩරටට ගෙන ආ ප්‍රධාන නාලිකාවක්.

යාබද උස් කඳු ගණනක් තිබුණත්, සබරගමුවේ ප්‍රධාන නගර දෙකෙන් එකක් වන රත්නපුර නගරය මුහුදු මට්ටමේ සිට වැඩි උසක පිහිටි නගරයක් නෙමෙයි. රත්නපුරේට නිතරම ගංවතුර එන්නත් එය හේතුවක්. රත්නපුර නගරය ආසන්නයේදී වේ ගඟ කළු ගඟට එකතු වන දෙමුවාවත හරියෙන් පටන් ගත්තහම කළුතර දක්වාම වගේ කළු ගඟ ගලන්නේ ලොකු බෑවුමක් සහිතව නෙමෙයි. ඒ වගේම, මේ කොටසේ කළු ගඟේ සැලකිය යුතු තරමේ පළලක් හා ගැඹුරක් තිබෙනවා. ගල්පර, බාධක ආදිය අඩුයි. මේ හේතුව නිසා කළුගඟට කාලයක්ම ප්‍රවාහන මාර්ගයක් සේ විශාල වටිනාකමක් ලැබුණා.

මේ ප්‍රවේශ මාර්ගය පහතරට සංස්කෘතිය උඩරටට මුලින්ම වාගේ ගෙන ආ තැනක්. සියවස් කිහිපයකට පස්සේ උඩරට හා පහතරට අතර මිශ්‍ර විවාහ නැවතත් ආරම්භ වන විට රත්නපුර ඉදිරියෙන්ම සිටියා. [කළු ගඟේ සම්බන්ධයක් නැතත්, ලංකාවේ පසුකාලීන දේශපාලනය තීරණාත්මක ලෙස වෙනස් කරමින් බණ්ඩාරනායක හා රත්වත්තේ පවුල් සම්බන්ධ වීමත් මේ කතාවේ කොනකට ගෑවිය හැකියි.] අනෙක් උඩරට ප්‍රදේශ වලට වඩා කලින් කළු ගඟ දිගේ රත්නපුරේට පහතරට ඇඳුම්, කෑමබීම හා වචන ආදිය ආවා.

කළු ගඟ හරහා උඩු ගං බලා පාරු පදිමින් උඩරට හා පහතරට නැවත යා කිරීමේ පුරෝගාමී කාර්යයට දැන හෝ නොදැන මුල පිරුවේ කළු ගඟ දිගේ උඩු ගං බලා පාරු පැදපු කළුතර, පානදුර පැත්තේ මිනිස්සු. අදාළ දිශාවට නාභිගත වෙමින් නොවූවත්, මිණි ගං දෑළ ටෙලි නාට්‍යයේ කතා කරන්නේ මේ පුරෝගාමී මිනිස්සු ගැනයි.

රසික ඇතුළු සමහරු ප්‍රතිචාර හරහා කඩුල්ල ටෙලිනාට්‍යය ගැනත් කතා කරලා තිබුණා. කඩුල්ල කියන්නේ මට අනුව ලංකාවේ ටෙලිනාට්‍ය ඉතිහාසය තුළ හැදුණු හොඳම ටෙලි නාට්‍යයක්. එහි මුල් කොටස් වල කළු ගඟ ආශ්‍රිත ජන ජීවිතය ගැනත්, මිනිරන් කර්මාන්තය ගැනත් කතා කෙරෙනවා. ලංකාවේ ව්‍යාපාරික පන්තියේ නැගීම ගැනත්, මම මෙහි කතා කර ඇති පහතරට හා උඩරට සම්මිශ්‍රණය වීම ගැනත්, සිංහල අනන්‍යතාවය ගැනත් කඩුල්ලේ සාකච්ඡා වෙනවා..

කොහොම වුණත්, කඩුල්ල මිණි ගං දෑළ වගේ කළු ගඟ ඉහළට යන කතාවක් නෙමෙයි. එය කළුගඟේ මෝය කිට්ටුවෙන් පටන් අරගෙන එතනින් ගොඩ වී කොළඹ හරහා එංගලන්තය දක්වාම යන පසුගිය සියවසේ මුල් කාර්තුව ආවරණය කරමින් දශක තුනක පමණ කාලයක් පුරා දිවෙන කතාවක්. කඩුල්ල තිර පිටපත ලියන්න කලින් අදාළ කාලයේ ඉතිහාසය ගැන සැලකිය යුතු තරමේ හැදෑරීමක් කර තිබෙන නිසා එය බැලීම වෙහෙසකර නැහැ.

විචාරක දියණිය විසින් මැණික් නදිය ගලා බසී ටෙලිනාට්‍යය ගැනත් මතක් කර තිබුණා. මුලින්ම සෝමවීර සේනානායකගේ නවකතාව කියවීමෙන් පසුව මේ ටෙලිනාට්‍යයත් මම ඒ දවස් වලම බැලුවා. එය රත්නපුරේ මැණික් කර්මාන්තය ආශ්‍රිත ජීවිතය ගැන කතා කරන ටෙලි නාට්‍යයක් මිස කඩුල්ල වැනි අතීතයකට දිවෙන කතාවක් නෙමෙයි.

මිණි ගං දෑළේ චරිත කළු ගඟ දිගේ උඩහට, රත්නපුරය දක්වාම හෝ ඒ කිට්ටුවටම පාරු පදිනවා. කළු ගඟ දිගේ ඇවිත් නම්බපාන හරිය පහු කළ වහාම දිස්ත්‍රික්කය හා පළාත මාරුවෙනවා වගේම නිල වශයෙන් පහත රට සිට උඩරටට ප්‍රවේශ වෙනවා. ඒ සමඟ ක්‍රමක්‍රමයෙන් ගොඩක් දේවල් වෙනස් වෙන්න ගන්නවා. ඒත් ඒ දේවල් කෙරෙහි තිර රචකයා විසින් අවශ්‍ය පමණ අවධානය හෙළා ඇති බවක් පෙනෙන්නේ නැහැ.

මෙහිදී මගේ අරමුණ මඩ බිංදුවක් ඇඟේ නැතිව පතල් පොළෙන් එළියට පැමිණ, අපටත් මතක ඇති කාලයේ වෙළඳපොළට ආ වෛවර්ණ සරමක් ඇඳගෙන සිමෙන්ති බෝක්කුවක් උඩ වාඩි වී සිටින චරිත ගැන කතා කිරීම හෝ අඩු වශයෙන් මේ ටෙලි නාට්‍යයේ ගුණාගුණ කතා කිරීම නොවෙයි. මෙහි සඳහන් සිදුවීම් පාදක කර ගනිමින් පසුගිය සියවසේ මුල කළු ගං නිම්නයේ මේ මේ කොටසේ සිදු වූ වෙනස්වීම් ගැන කතා කිරීමයි. දැනගන්නට ලැබුණු පරිදි ප්‍රියාල් වීරසිංහ තිර පිටපත ලියන්නට පෙර කළු ගං නිම්නයේ පතල් ආශ්‍රිත ජන ශ්‍රැති ආදිය ගැන කිසියම් අධ්‍යයනයක් කර තිබුණත්, ගූගල් සෙවුමක දුරින් තිබෙන ඇතැම් ඓතිහාසික කරුණු මඟ හැර ගොස් ඇති බව පෙනීම එයට හේතුවයි.

කොහොම වුනත්, අදත් අවශ්‍ය තැනට එන්න කලින් වෙනත් දේවල් ගොඩක් ලියැවුණු නිසා ඒ දේවල් ගැන කතා කරන එක තවත් දවසකට ඉතිරි කරමු.

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: