වෙබ් ලිපිනය:

Thursday, July 5, 2018

හිරු නැග එද්දී පියුම් ලියුම් බෙදයි!


උදේ පාන්දරම අපේ වත්තට මෝටර් සයිකලයක් හරවනු පෙනේ. ඇමරිකාවේ අපේ වත්තට නොවේ. මගේ දෙමවුපියන් ජීවත් වූ ලංකාවේ අපේ වත්තටය. සති දෙක තුනකට පෙරය.

පුරුදු මූණක් නොවේ. ලංකාවේ අපේ වත්තට පැමිණෙන අමුත්තෙකුගේ මූණ මට නුපුරුදු වීම අමුතු දෙයක්ද නොවේ.

"කවුද මේ උදැහැනැක්කෙම?"

මම තරමක් විපිලිසර වීමි.

"ලියුම්කාරයා ලොකු අප්පච්චී! ඉන්න මම ගන්නම්..."

මල්ලීගේ ලොකු පුතා ලියුම් ගන්නට යයි.

"අම්මටසිරි! දැන් ලියුම් බෙදන්නෙ මෝටර් සයිකලෙන්ද?"

මගේ බිරිඳ අසන්නේ විමතියෙනි.

ලංකාවේ ලියුම් බෙදන්නන් මෝටර් සයිකල් භාවිතා කිරීම කලක සිටම සිදුවන්නක් බවත්, අමුතු දෙයක් නොවන බවත් පෙනේ. එහෙත්, මේ වෙනස අප ලංකාවෙන් සංක්‍රමණය වීමෙන් පසුව සිදු වී ඇති දෙයකි. පාගන බයිසිකල් වලින් මිස මෝටර් සයිකල් වලින් ලියුම් බෙදන්නන් ලංකාවේදී අපට මීට පෙර හමු වී නොතිබුණේය.

සමහරුන් කියන්නේ ලංකාව කවදාවත් දියුණු නොවන රටක් බවයි. එහෙත්, එය එසේ නොවන බව පෙනෙන්නේ වසර කිහිපයක් රටින් පිට ජීවත් වී නැවත ආපසු පැමිණි විටය.

වසර දෙක තුනකට පසු රටට පැමිණෙන විට බොහෝ අංශ වල කිසියම් හෝ දියුණුවක් පෙනේ. තවත් අංශ වල දියුණුවක් කියා හරියටම කිව නොහැකි වෙනස්කම් පෙනේ. මෙය සෙමින් එහෙත් අඛණ්ඩව සිදු වන වෙනස් වීමක ප්‍රතිඵලයකි. වෙනස් වන්නේ සෙමින් නිසා රටේ සිටින බොහෝ දෙනෙකු මේ වෙනසට සංවේදී නැතත් රටින් පිට සිට පැමිණි විට සියුම් වෙනස්කම් වුවද කැපී පෙනේ.

ලංකාවෙන් පිටත ජීවත් වන අයෙකු මානසිකව දකින ලංකාව තමන් රටින් පිටත් වෙද්දී දුටු ලංකාවයි. මේ මානසික ප්‍රතිරූපය තරමක් හෝ වෙනස් වන්නේ රටින් පිටතට සම්ප්‍රේෂණය වන සමාජ ජාලා ඇතුළු මාධ්‍ය වාර්තා වලිනි. නැවත ලංකාවට පැමිණි විට මේ මානසික ප්‍රතිරූපය යම් තරමකින් හෝ වෙනස් කරගන්නට සිදු වේ. දැන හැඳින සිටි අයෙකු වසර ගණනාවකට පසු නැවත හමු වූ විට ඇයගේ දැන සිටි මුහුණ එලෙසම දකින්නට නොලැබෙන අයුරිනි.

ලංකාවට කලකට පසු පැමිණෙන බොහෝ අවස්ථා වලදී ගොඩනැඟිලි, මංමාවත් ආදී පෞද්ගලික මෙන්ම රජයේ අයිතිය යටතේ ඇති භෞතික සම්පත් කලින් තිබුණාට වඩා දියුණු වී ඇති බව පෙනේ. සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන සංවර්ධනය මහ පොළොවේ දැකිය නොහැකිය යන්න බොරු කතාවකි. රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය මහ පොළොවේ දකින්නට බැරිකමක් නැත. ආදායම් විෂමතා තිබුණත් ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල සමාජයේ පහළ ස්ථර වෙත සම්ප්‍රේෂණය වී නැතැයි කීම මුසාවකි.

භෞතික දියුණුවට අමතරව කලකට පසු නැවත රටට පැමිණි විට ලංකාවේ මිනිසුන්ගේ චර්යාවන්ගේ වුවද හොඳ අතට සිදුව ඇති වෙනස් කම් දැකිය හැකිය. රටේ රැකියා වියුක්තිය පහළ යාම පිළිබිඹු කරමින් තැන් තැන් වල බෝක්කු උඩ රස්තියාදු වූ තරුණ කණ්ඩායම්ද නොපෙනී ගොස් ඇත. පෙර ලිපියක ලියූ පරිදි ලංකාවේ රථවාහන සමාචාර තවමත් බොහෝ අපිළිවෙළ වුවත් එහිද කිසියම් හෝ දියුණුවක් නැතැයි කිව නොහැකිය.

කෙසේ වුවත්, තවමත් ලංකාවේ භෞතික පහසුකම් වල තත්ත්වය මෙන්ම වෙනත් බොහෝ සමාජයීය හැසිරීම්ද බටහිර රටක තත්ත්වයට සාපේක්ෂව බොහෝ පසුපසින් බව කිව යුතු නැත. මිනිසුන්ගේ මූලික ප්‍රශ්න විසඳෙන තරමට ඔවුන්ට අනුන් ගැනත්, සමාජය ගැනත් හිතන්නට වැඩි ඉඩක් ලැබේ. සමස්තයක් ලෙස රටක ආර්ථිකය දියුණු වන තරමට මිනිසුන් වැඩි දෙනෙකුට තමන්ගේ මූලික ප්‍රශ්න විසඳා ගන්නට ඉඩ ලැබේ. බටහිර රටවල අද දැකිය හැකි භෞතික සම්පත් හා සමාජ චර්යාවන් අවුරුද්දකින් දෙකකින් සිදු වූ දියුණුවක ප්‍රතිඵල නොවේ.

"දැන් ලියුම් බෙදන්නේ මෝටර් සයිකල් වලින්ද?"

"ගොඩක් වෙලාවට මෝටර් සයිකලෙන් එනව, ලොකු අප්පච්චී...සමහර වෙලාවට බයිසිකලෙනුත් එනවා."

මල්ලීගේ පුතා පිළිතුරු දෙයි.

"මේල්මෑන්! මෝටර් සයිකලේකින්!!"

මගේ දරුවාද අපේ විමතියට හවුල් වෙයි. එහෙත්, ඔහු විමතියට පත් වන්නේ මා සහ බිරිඳ විමතියට පත් වූ හේතුව නිසාම නොවේ.

ඇමරිකාවේ මේල්මෑන් ලියුම් බෙදන්නේ මේල් වෑන් එකකිනි. ඇය රියෙන් නොබැසම නිවෙස ඉදිරිපිට ඇති මේල්බොක්ස් එකට ලියුම් දමයි. මගේ පුතා විමතියට පත් වන්නේ මේල්මෑන් මේල්වෑන් එකේ නොපැමිණ මෝටර් සයිකලයක පැමිණ ඇති බැවිනි.

මීට පෙර ලංකාවට පැමිණි විටෙක ලංකාවේ පොලිස් නිලධාරියෙකු පෙන්වූ විටද ඔහු මෙසේම විමතියට පත් විය.

"පොලිස් කොප් කෙනෙක්නම් කෝ එයාගෙ පොලිස් කාර් එක?"

ලංකාවේ පොලිස් නිලධාරීන් සියල්ලන්ටම පොලිස් කාර් නැති බව ඔහු මේ වන විට දැන සිටියත් ලංකාවේ මේල්මෑන්ලාට මේල්වෑන් නැති බව ඒ වන විටත් නොදනී.

ලංකාවේ ගෙවල් වලට ලියුම් බෙදන්නට මේල්වෑන් නැතත් අප කුඩා කාලයේ සිටම ලංකාවේ මේල් බස් හා මේල් කොච්චි ගැනනම් දැන සිටියෙමු. මේ සේවාවන් තවමත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේදැයි මා දන්නේ නැත. අපේ නිවස ආසන්නයේ වූ තැපැල් කාර්යාලයට නිශ්චිත වෙලාවකට පැමිණෙන සීඝ්‍රගාමී දුර ගමන් බස් රථයක නැඟී අඩු වෙලාවකින් යාබද ප්‍රධාන නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය වෙත යා හැකි බව කුඩා කළ මා අත්දැකීමෙන් දැන සිටියෙමි. ප්‍රධාන නගරයේ පුස්තකාලය තිබුණේ හරියටම තැපැල් කාර්යාලය ඉදිරිපිට නිසා බසයේ ගමන් කාලය අඩු වීමේ වාසියට අමතරව බස් නැවතුමේ සිට පුස්තකාලයට පයින් යාමේ කාලයද ඉතිරි කර ගත හැකි විය.

හිරු නැග එද්දී පියුම් පිපුණත්, පියුම් ලියුම් මල්ලත් රැගෙන බයිසිකලයෙන් පැමිණියේ හිරු නැඟී පැය දෙක තුනකට පසුවය. ජංගම දුරකථන, ස්කයිප් හෝ වයිබර් නොතිබුණු ඒ කාලයේ සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා තැපැල් සේවය නැතුවම බැරි දෙයක් විය. එහෙත් අද සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තැපැල් සේවය වෙනුවට වෙනත් විකල්ප ක්‍රම ඕනෑ තරම් තිබේ. ඒ නිසා, ඇමරිකාවට මෙන්ම ලංකාවටද තැපැල් සේවයේ වැදගත්කම අඩු වී ඇත. තැපැල් සේවය හා බැඳුනු මුද්දර එකතු කිරීම වැනි විනෝදාංශද අප කුඩා කාලයේදී තරම් දැන් ජනප්‍රියව නොපවතී.

විද්‍යුත් සන්නිවේදනය දියුණු වීම නිසා තැපැල් සේවයෙහි ඇති වැදගත්කම අඩු වී ඇති බව පෙනෙන්නට ඇතත්, අවම වශයෙන් ඇමරිකානු සන්දර්භයේදී, එහි තවත් පැත්තක් තිබේ. වසර තිහකට පමණ පෙර ජීවත් වූ ඇමරිකානුවෙකු මෙන් අද ඇමරිකානුවෙකු තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේ ළඟම ඇති වෙළඳසැලකින් පමණක් නොවේ. ඇතැම් විට සැතපුම් දහස් ගණනක් ඈත වෙනත් ප්‍රාන්තයක හෝ මුහුදෙන් එතෙර රටක සිට අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන වෙළෙන්දෙකුගෙනි. මෙසේ අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කළත් ඒ භාණ්ඩ නිවෙසට ප්‍රවාහනය කර දෙන්නට කාර්යක්ෂම ප්‍රවාහකයෙකු අවශ්‍යය.

ඇමරිකානු තැපැල් සේවය විසින් ඉහත ව්‍යාපාරික අවස්ථාව සාදරයෙන් වැළඳගෙන තිබේ. තාක්ෂනය විසින් එක් දොරක් වසන විට තවත් දොරක් අරී. දැන් අප බොහෝ විට මේල්මෑන් එනතුරු බලා සිටින්නේ ලියුමක් නොව පාර්සලයක් ලබා ගන්නටය.

ලංකාවේ තැපැල් සේවය බයිසිකල් වෙනුවට මෝටර් සයිකල් යොදාගෙන ඇති අයුරින්ම, ඇමරිකාවේ තැපැල් සේවයද එක තැන පල් වෙන්නේ නැත. එය විවිධ අමතර සේවාවන් සපයයි. අද දින මට ලැබෙන්නට නියමිත ලිපි, පාර්සල් හෝ වෙළද දැන්වීම් මොනවාදැයි දැනගන්නට මා මේල්මෑන් එනතුරුම සිටින්නට අවශ්‍ය නැත. මේ ලිපි පාර්සල් ආදියේ මුහුණත ස්කෑන් ඡායාරූප දිනපතා මගේ විද්‍යුත් ලිපිනයට එන නිසා ලැබෙන ලිපි හා පාර්සල් ගැන අදහසක් කලින්ම ගන්නට පුළුවන.

මේ සේවාවේ වැදගත්කම තේරෙන්නේ රටින් පිට සිටින විටය. ලංකාවේ මාසයක් ගත කරද්දී ලැබෙන ලියුම් පාර්සල් ආදී සියල්ල දමන්නට තරම් නිවස ඉදිරිපිට ඇති මේල්බොක්ස් එකේ ඉඩ නැත. ඒ නැතත්, ඒ ලිපි පාර්සල් ආදිය තැපැල් කාර්යාලයේම රඳවා තැබීම වඩා ආරක්ෂාකාරිය.

ඇමරිකන් තැපැල් සේවය ඉහත සේවාව සපයයි. රටින් පිට වීමට පෙර (අන්තර්ජාලය හරහා) දැනුම් දීමක් කළ විට ඔවුහු අදාළ මාසය තුළ ලැබෙන සියලු ලිපි, පාර්සල් ආදිය නොබෙදා තැපැල් කාර්යාලයේම රඳවා ගනිති. අදාළ කාලය අවසානයේදී මේ මල්ලම එකවර නිවසට ගෙනත් දෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලීමක් කළ හැකිය.

ඉහත පහසුකම නිසා නැවත ඇමරිකාවට පැමිණි පසු මාසයේම ලිපි එකවර අතට ලැබුණත් මේ ලිපි අතර කිසියම් හදිසි ලිපියක් තිබුනොත් ඒ ගැන ක්‍රියාකරන්නට ප්‍රමාද වැඩි වී තිබෙන්නට පුළුවන. එහෙත්, ලිපි මුහුණත් විද්‍යුත් තැපෑලෙන් දිනපතා ලැබෙන නිසා දැන් ඒ ප්‍රශ්නයත් නැත.

අන්තර්ජාල වෙළඳාම් වර්ධනය වෙද්දී තැපැල් සේවයට ව්‍යාපාරික අවස්ථාවන් වැඩි වන සේම එහි අනිත් පැත්තද සිදු වේ. තැපැල් සේවය ඇතුළු භාණ්ඩ ප්‍රවාහන සේවාවන් කාර්යක්ෂම වන තරමට අන්තර්ජාල වෙළඳාම සඳහා වන ඉල්ලුමද ඉහළ යයි. ඉදිරියේදී ලංකාවේද විශාල ලෙස වර්ධනය වීමට නියමිත අන්තර්ජාල වෙළඳාම් ප්‍රවර්ධනය කිරීම හා එමඟින් ලාභ ලැබීම ගැන සිතන්නේනම් ලංකාවේ තැපැල් සේවයටද නැවත පණ ගසා නැගිටින්නට හැකි වනු ඇත.

19 comments:

  1. මේල් බස් හා මේල් කොච්චි එයාකාරයෙන්ම තිබුනත් කුරියර් මල්ලිගේ බයික්කෙකේ බැඳ ගෙන යන මල්ල බස් එකේ යන මේල් මලු වලට වඩා බරයි.

    ReplyDelete
  2. ඉස්සර රත්නපුරෙන් උදේට හම්බන්තොට යන මේල් බස් එක ඇඹිලිපිටියට එහා තැපැල් කන්තෝරුවකට අතුරු පාරක් දිගේ යනව මේල් එක දාන්න. මම හිතන්නෙ ඒ බස් එක විතරද කොහෙද ඒ පාරෙ යන්නෙ. පස්සෙනං මල්ල ගන්න කෙනෙක් මගට ඇවිල්ල හිටිය.

    තැපැල් කන්තෝරුට ආසන්නයේම තියෙන අපේ ටවුමෙ නං බසිසිකල්, මෝටර් සයිකල් වලට අමතරව පයිනුත් එනව මේල් මෑන්.

    ReplyDelete
    Replies
    1. ලියුම්කාරයා ලියුම් බෙදන්නේ නැති ගම් (අහල ගමක කඩයකට ලියුම් බෙදන) ඔය පැත්තේ තාම තියෙනවද?

      Delete
    2. අහවල් කඩේ බාරේ කියල ඇඩ්‍රස් කරල තිබුනොත්නං එහෙම වෙනව.

      Delete
  3. //රටේ රැකියා වියුක්තිය පහළ යාම පිළිබිඹු කරමින් තැන් තැන් වල බෝක්කු උඩ රස්තියාදු වූ තරුණ කණ්ඩායම්ද නොපෙනී ගොස් ඇත.// දැන් බෝක්කු උඩ නෑ ෆේස් බුක් එකේ ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි. රැකියා නියුක්තිය ඉහළ යන විට බෝක්කු උඩ රස්තියාදු වෙන්න තියෙන අවස්ථා අඩු වුණත් ෆේස්බුක් එකේ රස්තියාදු වෙන්න තියෙන අවස්ථා වැඩි වෙනවනේ!

      Delete
  4. "දැන් බෝක්කු උඩ නෑ ෆේස් බුක් එකේ ඉන්නෙ"
    LOL

    ReplyDelete
  5. ටවුන්වල පයින් තමා

    ReplyDelete
  6. මා දන්නා තරමින් තැපැල් සේවකයන්ට මොටර් සයිකල් ලබාදී නැත.ඹවුන්ගේ පුද්ගලික මෝටරසයිකල් වලින් රාජකාරිය කරනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. මෝටර් සයිකල් මිල දී ගැනීමට ණය පහසුකම් ලබා දීම වැනි දෙයක් වුණේ නැද්ද?

      Delete
  7. ඉකොන්,ඔබට ඇමෙරිකාවේ Supai ගම්මානය වෙත තැපැල් සේවාව පවත්වාගෙන යන රසවත් (ප්‍රථමික) ආකාරය පිලිබද තොරතුරු මෙම ලිපියට එකතු කිරීම මග හැරුණ නේද?

    "මහා කැනියමේ" (Grand Canyon) පතුලේ පිහිටා ඇති "සුපායි" (Supai) නම් පිවිසීමට දුෂ්කරවූ පැරණි ඉන්දියානු ගම්මානය වෙත තැපැල් සේවාව තවමත් පවත්වාගෙන යනුයේ කොටළුවන්ගේ (පිරිමි බුරුවේකුට සහ වෙලබකට දාව ලැබෙන පැටවා - කොටළුවා) උපකාරයෙනිි.

    මේ පිලිබදව තොරතුරු සදහන් පහත ලින්කුව සටහන් කරන අතර මෙම පැරණි ඉන්දියානු ගම්මානය මෙන්ම එහි වෙසෙන ජනකොටස පිලිබද බොහෝ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ සොයාගත හැක.

    http://www.dailymail.co.uk/travel/travel_news/article-3025731/The-place-America-mail-delivered-mule-Inside-Indian-village-hidden-Grand-Canyon-eight-miles-nearest-road.html

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට ස්තුතියි, ඇනෝ!

      Delete
    2. Check the link bellow as well. (Unusual US mail delivery routes)

      https://uspsblog.com/mail-delivery-service-across-america-3/

      Delete
  8. // මේ ලිපි පාර්සල් ආදියේ මුහුණත ස්කෑන් ඡායාරූප දිනපතා මගේ විද්‍යුත් ලිපිනයට එන නිසා ලැබෙන ලිපි හා පාර්සල් ගැන අදහසක් කලින්ම ගන්නට පුළුවන.//

    මෙහෙම එකක් තියනවා කියල දැනගත්තේ මේ බ්ලොග් පොස්ට් එකෙන්. USPS එක මේක ගැන කිසිම ප්‍රසිද්ධියක් දුන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. නියාමක ව්‍යාපෘතියක් ලෙස තෝරා ගත් ප්‍රදේශ වල කලක සිටම ක්‍රියාත්මක වුවත් දීප ව්‍යාප්තව ලොකුවට වැඩේ පටන් අරන් වැඩි කලක් නැහැ. යම් ප්‍රදේශයක මේ සේවාව පටන් ගන්න විට අදාළ ප්‍රදේශයේ සේවාදායකයින් දැනුවත් කිරීමක් කරනවා. ඉන් පසු නොමිලේ ලබා දෙන මේ සේවය ලබා ගන්න USPS ගිණුමක් හදාගෙන ලියාපදිංචි විය යුතුයි.

      http://informeddelivery.usps.com

      https://itunes.apple.com/us/app/informed-delivery/id1068536939?mt=8

      Delete
    2. /USPS ගිණුමක් හදාගෙන ලියාපදිංචි විය යුතුයි./

      USPS කිව්වහම මතක් වුනේ "The Postman" ෆිල්ම් එක...

      https://en.wikipedia.org/wiki/The_Postman_(film)

      Delete
  9. ඉස්සර ජේවිපි භීෂණ කාලෙ නං මෙහෙම උනේ නෑ. ඒ කාලේ අයෙ ගේන්න ඕනා

    -වි.ජේ. කාලා

    ReplyDelete
  10. ඔබ දන්නවා ද, මා 1995 ලංකාවෙන් ආ පසු මා මගේ අම්මාට යැවූ එකදු ලිපියක්වත් ඇයට ලැබුණේ නැති බව?

    ඒ එක් ලිපියක් යාවත්කාලීන කිරීමට කියා යැවූ මගේ ඔටෝමොබයිල් ආයතනයේ රියදුරු බලපත්‍රයත් තිබුණා!

    එරෝග්‍රෑම් නම් අතරමග දී නැති නොවී නිවසට ලැබී තිබුණා!

    තුන්වෙනි ලිපිය ද නොලැබුණු පසු මා සාමාන්‍ය තැපෑලේ ලිපි යැවීම නතර කළා. ලියකියවිලි සහිත ලිපි ලියාපදිංචි කර යැව්වා. පසුව අම්මාගේ නිවසට දුරකථනයක් ලැබීම නිසා ලිපි ලිවීම අනවශ්‍ය වී ගියා!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: