Monday, July 9, 2018

පේරාදෙණි කසල...


පේරාදෙණියේ උපාධි ප්‍රධානෝත්සවයකින් පසුව ඉතිරි වූ කසල මේ දවස් වල රටම ගඳ ගස්වයි. කොටසක් මේ ඉතිරි වූ ආහාර තලු මරමින් රස විඳිද්දී, තවත් කොටසක් "බීල හිටියත්, නොබී හිටියත් ඒ ඔබමයි!" පදනමින් මේ ක්‍රියාව සාධාරණීකරනය කරන්නට දඟලති. ඒ අතර, මේ දෙස විවේචනාත්මකව බලන පේරාදෙණියේ ආදි විද්‍යාර්ථීන් කිසියම් ප්‍රමාණයක්ද දකින්නට ලැබේ.

මීට පෙර නවක වදය වැනි වෙනත් කාරණා හා අදාළවද මෙවැනි බෙදීමක් දකින්නට පුළුවන් විය. නවක වද විවේචකයින් අතර වැඩිපුරම සිටියේ ලංකාවේ රජයේ සරසවියකින් උපාධියක් ලබා නොගත් අයයි. රජයේ සරසවියක ඉගෙනුම ලබා තිබුණු බොහෝ දෙනෙකු කළේ තමන්ගේ "උප සංස්කෘතිය ආරක්ෂා කරගැනීම" ඉදිරියට දමමින් සෘජුව හෝ වක්‍රව නවක වදය වෙනුවෙන් පෙනී සිටීමයි.

ඉකොනොමැට්ටා කවර අයුරකින් හෝ ලංකාවේ රජයේ සරසවි වල පවතින නවක වදය අනුමත කරන්නේ හෝ සාධනීය දෙයක් ලෙස සලකන්නේ නැත. අවම වශයෙන් ලංකාවේ සරසවි වල තිබෙන උප සංස්කෘතිය මාාාාර එකක් කියා සිතන්නේද නැත. එසේ වුවත්, ඒ අවස්ථාවේදී නවක වදය ගැන විවේචනාත්මකව පළ වූ අදහස් බොහොමයක් කියවද්දී කිසියම් කොයිල් ගතියක් දැනුණේය. බොහෝ දෙනෙකු විසින් විවේචනය කර තිබුණේ සරසවි වල පවතින නවක වදය සේ ඔවුන් හිතා සිටි දෙයයි. නවක වදය කුමක්දැයි හරියටම දැනගෙනම එය විවේචනය කළේ සාරස නමින් මල්ලේ පොල් වියුණුව ලියූ කුමාර කළුආරච්චි වැනි ඉඳහිට අයෙක් පමණි.

නවක වදයට මුහුණ දී ඇති අයෙකුට එසේ නොවන අයෙකු ඒ ගැන කරන විවේචන වල ඇති අවුල් ගතිය එකවරම පෙනේ. ලංකාවෙන් පිටතට කිසිදා ගොස් නැති අයෙකු ඇමරිකාව විවේචනය කරන විට හෝ ඇමරිකාව ගැන අදහස් පල කරන විට ඒ බව පැහැදිලිව පෙනෙන එක වැලැක්විය නොහැකිය. එහෙත්, ලංකාවේ රජයේ සරසවි ගැන අදහස් පළ කිරීම සඳහා ඒ සරසවියකින් උපාධියක් ලබා තිබීම අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ. ඇමරිකාව විවේචනය කරන්නට ඇමරිකාවට ගොස් තිබිය යුතු නැත. හඳ ගැන කතා කිරීමේ අයිතිය තිබෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන් වැනි හඳට පය ගසා ඇති අතළොස්සකට පමණක් නොවේ.

ලංකාවේ සරසවි වල සිදුවන නවක වදය හෝ වෙනත් ක්‍රියාවක් විවේචනය කෙරෙන විට "කැම්පස් ගිහින් නැති කෙනෙක්ට කොහොමද ඕක තේරෙන්නෙ?" කියා ආපසු ප්‍රශ්න කිරීම විවේචනයට පිළිතුරක් නොවේ. මෙය විවේචකයාට මළ පනින ප්‍රතිචාරයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, බොහෝ විට සිදු වන්නේද එයයි. මේ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය ලෙස සිදු වී තිබෙන්නේ ලංකාවේ කැම්පස් එකකට ගොස් ඇති අයගේ කල්ට් එකක් ඇති වීම හා ඒ කල්ට් එකෙන් පිට අය කල්ට් එක කෙරෙහි වෛර කරන්නට පටන් ගැනීමයි. මෙය සිදුවන්නේ සරසවි හා අදාළව පමණක්ද නොවේ.

සමාජ ජාලා වල සංසරණය වූ පේරාදෙණිය උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු ක්‍රීඩාගාරයේ ඡායාරූපය හිත කම්පනය කරවන්නක් බව කිව යුතු නොවේ. උපාධි ප්‍රදානෝත්සවයෙන් පසුව ක්‍රීඩාගාරයේ තත්ත්වය එවැනි වීනම් එහි කතා කරන්නට දෙයක් තිබේ.

කියවන්නන් අතර නොදන්නා අය සිටීනම්, ඉකොනොමැට්ටා පේරාදෙණිය සරසවියේ වසර හතරකට වැඩි කාලයක් ගෙවා තිබේ. කොළඹ සරසවිය ඇසුරේද එපමණම කාලයක් ගෙවා ඇති අතර මොරටුව, ජපුර, කැලණිය හා රුහුණ සරසවි වලටද බොහෝ වර ගොස් තිබේ. ඇතැම් විට නැවැතී සිට තිබේ. එබැවින්, මේ කරුණ හා ලංකාවේ සරසවි හා අදාළ වෙනත් කරුණු වලදී ඉකොනොමැට්ටාගේ අදහස් ලංකාවේ සරසවි එතරම් ඇසුරු කර නොමැති අයෙකුගේ අදහස් වලට වඩා එවැනි ඇසුරක් ඇති අයගේ අදහස් වලට කිට්ටු වීමට ඉඩතිබීම ස්වභාවිකය. ඒ නිසා ඇතැම් පාඨකයින්ට මේ ලිපිය "මධ්‍යස්ථ" නොවන සේ පෙනෙන්නට පුළුවන.

ඉකොනොමැට්ටා ලංකාවේ සරසවි ඇසුරු කළ කාලයේ ලංකාවේ බොහෝ දෙනෙකු කසළ බැහැර කිරීම ගැන අද තරම් සංවේදීව සිටියේ නැත. ඒ කාලයට සාපේක්ෂව දැන් ලංකාවේ මංමාවත් බොහෝ පිරිසිදුය. කසල බැහැර කිරීම සඳහා පහසුකම් වැඩිය. කසල බැහැර කිරීමේ වැදගත්කම ගැන වැඩි දෙනෙකු දැනුවත්ය. ඉකොනොමැට්ටා පේරාදෙණියේ කල් ගෙවූ කාලය කසල කෙසේ හෝ, කොතැනකට හෝ බැහැර කර නිදහස් වෙන්නට ලංකාවේ බොහෝ දෙනෙක් මැලි නොවූ කාලයකි.

පේරාදෙණි සරසවි බිමේ කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය ඒ කාලයේදීත් ඉතා ප්‍රශස්ත මට්ටමක තිබුණේය. එහි ගෞරවය වැඩි වශයෙන්ම හිමි විය යුත්තේ සරසවි පරිපාලනයට වුවත්, පරිපාලනයට ඒ තත්ත්වය එසේ පවත්වා ගන්නට ඉඩ ලැබුණේ සරසවි සිසුන් අති මහත් බහුතරය ඇතුළු සරසවි ප්‍රජාවේ සහයෝගය නිසාය. ඒ දින වල රටේ බොහෝ තැන් වල සාමාන්‍ය දෙයක් නොවූවත්, සරසවි බිම තුළ අතේ දුරකින් කුණු බක්කියක් හොයා ගැනීම අමාරු දෙයක් වුණේ නැත. ඒ කුණු බක්කියකට කසල බැහැර නොකර කොහේ හෝ තැනක දමා එන අයෙකු වීනම් එය ව්‍යතිරේඛයක් මිස සාමාන්‍ය තත්ත්වය නොවීය.

පොදුවේ ගත් කළ දුම් බොන්නෝ ඉහත රීතියට ව්‍යතිරේඛයක් වූහ. මෙය ඇමරිකාව ඇතුළු බටහිර රටවලදීද නිරීක්ෂණය කළ හැකි චර්යාවකි. එමෙන්ම, පෝස්ටර් ගැසීමේදී සරසවි සිසුන් සුදුසු තැන් හෙව්වේ නැත. ඒ හැර, මගේ පෞද්ගලික අත්දැකීම් අනුව, හිතුමතේ කසල බැහැර කරන සරසවි සිසුන් නොසිටියේයැයි කිව නොහැකි නමුත් එවැන්නන් සිටියේ ඉතා අඩුවෙනි. උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුණු සරසවි ක්‍රීඩාගාරය හා පොදු කාමර වැනි තැන් සිසුන් එකතු වන විවිධ කටයුතු වෙනුවෙන් යොදාගත් අවස්ථා ඉතා සුලභ වූ අතර ඉකොනොමැට්ටා පෞද්ගලිකවද මෙවැනි උත්සව, රැස්වීම් හෝ හමු විශාල ගණනක සංවිධායකයෙකුව සිට තිබේ.

එවැනි කටයුත්තක් වෙනුවෙන් පොදු ස්ථානයක් ප්‍රයෝජනයට ගැනීමේදී පූර්ව කොන්දේසියක් වන්නේ අදාළ කටයුත්ත අවසන් වූ පසුව ස්ථානය හොඳින් පිරිසිදු කර මේස පුටු ආදිය කලින් පැවති ආකාරයටම නැවත අසුරා යථා තත්ත්වයට පත් කිරීමයි. පූර්ව කොන්දේසි අලිඛිත වුවද සංවිධායකයින් මේ වගකීමෙන් බැහැර වුනේ නැති අතර අනෙකුත් බොහෝ සිසුන්ගෙන්ද මේ අවසන් කාර්යයට නොමසුරු සහයෝගයක් ලැබුණේය. ඉකොනොමැට්ටා ක්‍රියාකාරීව සිටි විශාල සාමාජිකත්වයක් තිබුණු පේරාදෙණිය සරසවියේ ඇතැම් සංගම් වලින් රටේ වෙනත් තැන් වල කසල ඉවත් කිරීමේ වැඩසටහන් පවා ක්‍රියාත්මක කළ අතර එවැනි දේ තවමත් සිදුවෙමින් පවතී.

උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු ක්‍රීඩාගාරය පැවති තත්ත්වය ඉහත කිසිදු කරුණක් හේතුවෙන් සාධාරණීකරණය නොවන බව ඉතා පැහැදිලිය. ඒ නිසා, ඒ ඡායාරූපය දුටු විට සරසවි ඇසුර අඩු අයෙකුට කේන්තියක්ද, ඉකොනොමැට්ටා වැනි සරසවි ඇසුර හුරු අයෙකුට විමතියක්ද ඇති වන්නේ නිරායාසයෙනි.

"පේරාදෙණිය ගැන කැම්පස් ගිහිං නැති එවුං දන්නෙ මොනවද?" කියා ප්‍රශ්නය මඟ හැර යාමෙන් මේ කේන්තිය හෝ විමතිය අඩු වන්නේ නැත. එය එසේ වීමටනම්, කරුණු දන්නා කවරෙකු හෝ විසින් පැහැදිලි කිරීමක් කළ යුතුය.

පේරාදෙණියේ ඉංජිනේරු පීඨ ආචාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන (මගේ පෞද්ගලික මිතුරෙකු නොවන) අයිඑම්එස් සත්‍යප්‍රසාද් විසින් ඔහුගේ වත්පොත් පිටුව හරහා මේ අවශ්‍ය පැහැදිලි කිරීම කර තිබේ. මේ සටහන ඔහු විසින් පොදු අවකාශයට මුදා හැර ඇති නිසා ඔහුගේ අවසර රහිතවම මෙහි පහත පළ කෙරේ.

පේරාදෙණියේ උපාධි ප්‍රදානෝත්සවය සහ කසළ බැහැර කිරීම
-----------------------------------------------------------------
ශ්‍රී ලංකාවේ සියළු විශ්ව විද්‍යාල අතරින් ස්වකීය උපාධි ප්‍රදානෝත්සවය විශ්ව විද්‍යාලයය තුළම නොකඩවා පවත්වාගෙන එන විශ්ව විද්‍යාලයය පේරාදෙණි විශ්ව විද්‍යාලයයි. එක් වසරකදී දළ වශයෙන් තුන්දහසක් පමණ වූ වැඩිම සිසු සිසුවියන් පිරිසක් උපාධි ලබන්නේත් මෙහිය. මුලදී එක් සැසියක් ලෙස පැවැත්වුණු උපාධි ප්‍රදානෝත්සවය දැන් සැසි දෙකක් ලෙස පැවැත්වේ. මේ එක් සැසියකට දෙමාපියන්ද ඇතුළුව දෙදහස් අටසියයක පමණ පිරිසක් ශාලාව ඇතුළත සිට සහභාගිවේ. මේ උපාධි ප්‍රදානෝත්සවය සංවිධානය කිරීම මාස කිහිපයක් තිස්සේ අධ්‍යයන හා අනධ්‍යයන සේවක මණ්ඩල වල සාමාජිකයන් විසින් කරනු ලෑබේ. හැම වසරකම එහි සංවිධාන කටයුතු කිසියම් පීඨයක මූලිකත්වයෙන් පත්කරගන්නා කමිටුවක් විසින් සිදුකෙරේ. මම විවිධ අවස්ථාවන් වලදී මෙවන් කමිටු කිහිපයක සේවය කර ඇත්තෙමි. 2015 වසරේ උපාධි ප්‍රදානෝත්සවය ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ලද අතර එහි ප්‍රධාන උප කමිටු පහෙන් එකක් වන ආරක්ෂාව, රථවාහන පාලනය හා ප්‍රථමාධාර සම්බන්ධීකරණය සඳහා වූ උප කමිටු සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත්තෙමි. මෙය මාස ගණනක් තිස්සේ අභ්‍යන්තර හා බාහිර ආයතන රාශියක සහයෝගය ඇතිව කෙරෙන කටයුත්තකි. ප්‍රධාන කමිටුව මුලදී මාසිකව ද ඉන්පසුව සතිපතාම පාහේද රැස් වී සංවිධාන කටයුතු සමාලෝචනයක් සිදු කෙරේ. කිසියම් වසරක උපාධි ප්‍රදානෝත්සවයේ කටයුතු නිසිපරිදි සිදුකර ගැනීමට අවශ්‍යවන තීරණ මෙකී කමිටු විසින් ගනු ලැබේ. මේ ක්‍රමෝපායයන් සාමාන්‍යයෙන් වසරින් වසර මතුවන සුවිශේෂී අවශ්‍යතා අනුව වෙනස් වේ.
මේ සංවිධාන ව්‍යූහය ගැන පවසන්නට අවශ්‍ය වුණේ මෙවර උපාධි ප්‍රදානෝත්සව ශාලාවේ කසල ඉවත්කිරීම නිසි ලෙස සිදු නොවිනැ'යි කියා හෝ සිසුන් විසින් ශාලාව හැඩි කර තිබිණැ'යි නැගෙන මැසිවිලි නිසාය. මම ඒ ගැන මේ වසරේ එහි සංවිධාන කටයුතු සම්බන්ධීකරණය කළ විද්‍යා පීඨයේ සංවිධාන කමිටුවෙන් විමසීමි.
උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙන සැසි දෙක අතර පැයක් පමණ වූ කෙටි කාලය තුළ ශාලාව නැවත සකස් කිරීම දැඩි අභියෝගයකි. එසේම උපාධි ප්‍රදානයෙන් පසු ශාලාවෙන් පිටත්වන පෙරහැරේ අභිමානවත් භාවයත් රැකිය යුතු වේ. මෙකී කරුණු සැලකිල්ලට ගෙන උපාධිලාභීන්ට සහ දෙමාපියන්ට දැඩි ලෙස උපදෙස් දී තිබුණේ කිසිදු ආහාරයක් හෝ ජලය ශාලාව තුළට රැගෙන නො එන ලෙසටත් ඒවා ශාලාව තුළ දී බෙදා දෙන බවත් ය. එසේම උත්සවය අවසානයේ කිසිදු අපද්‍රව්‍යයක් ඉවත රැගෙන නොයන ලෙසත්ය. සිසුන් හා දෙමාපියන් විසින් මේ උවදෙස නිසි ලෙස පිළිපැද තිබුණි. අන්තර්ජාලය හරහා වැරදි පැහැදිලි කිරීමක් සහිතව හුවමාරු වුණේ දෙවන සැසිය අවසානයේ පිරිසිදු කිරීමේ කාලය තුළ යම් කිසිවකු විසින් ගන්නා ලද ඡායාරූප කිහිපයකි.

සත්‍යප්‍රසාද්ගේ පැහැදිලි කිරීමෙහි ඇතැම් කරුණු හා අදාළව විවිධ පුද්ගලයින් විසින් ප්‍රශ්න නඟා ඇති අතර මගේ අදහස අනුව ඔහු ඒ ප්‍රශ්න වලට සතුටු විය හැකි මට්ටමේ පිළිතුරු ලබා දී තිබේ.

සොඳුරු සිත අපරාදෙ හැබැයි තැන තැන දාපු බවක් පෙනුනෙ. කුනු දාන්න හරි, කුනු ටික එකතුකර ගන්න හරි ක්‍රමයක් තිබ්බ නම් තව ලේසි වෙනව.
Manage


2d
Ims Sathyaprasad .
ඔය තියෙන්නෙ පුටු ඉවත් කිරීමෙන් පස්සෙ දර්ශනයක්. ශාලාව තුළ කුණු ඉවත් කරන්න තිබුණු ඉතාම ප්‍රායෝගික සහ හොඳම ක්‍රමය තමයි මේ. මීට අමතරව ශාලාවෙන් ඉවත කුණු දමන භාජන සපයා තිබුණා අවශ්‍ය පරිදි. මේ ගැන කමෙන්ට් කර තිබුණු බොහෝ දෙනෙකුට මේ ඉවෙන්ට් එකේ විශාලත්වය ගැන අවබෝධයක් 
Rasika Harischandra Suriyaarachchi 
මෙහි ඇති වරද නම් කුණු එතැනම බිම දමා යන ලෙස නොකියා, නිසි පරිදි කුණු බැහැර කරලීමට අවශ්‍ය කුණු බක්කි සහ ප්‍රතිචක්‍රීකරණ බක්කි එහි නොතැබීමයි.

Manage


2d
Ims Sathyaprasad .
උපාධි ප්‍රදානෝත්සව ශාලාව තුළ කුණු බක්කි තැබීමට ඉඩක් නැහැ අවශ්‍ය වන පුටු සංඛ්‍යාවත් එක්ක. අනෙක, ඒවා එළියෙන් තිබ්බත් කුණු මළු අරගෙන උපාධි පෙරහැරේ යන එක වැලැක්විය යුතුව තිබුණා. ඒ නිසා අපද්‍රව්‍ය ආසන යටින් තබායන ලෙස උපදෙස් ලබා දී තිබුණා.

Manage


2d

2d
Rasika Harischandra Suriyaarachchi !
ප්‍රශ්නයේ මුළ කෑම බීම සැපයීමයි.
සත්‍යා ඔබ දන්නා පරිදි අපේ කාලේ නම් ඔහොම කෑම දීමක් තිබුණේ නෑ. මා 90 දශකයේ කොළඹ විවියේ සහ කැළනිය විවියේ උපාධි උත්සවවලටත් හි දී සහභාගී වී තියෙනවා. ඒ දිනවල වතුර බෝතල් පානයක් ද තිබුණේ නෑ.

කොටින්ම 2009 දී පමණ මා සහභාගී වුණු උත්සවයකදී හෝ මේ ආකාරයට කෑම පෙට්ටි කුණු ප්‍රශ්නයක් මා දැක්කේ නෑ. වතුර පවා අපි බිව්වා නම් ඒ අප රැගෙන ගිය ඒවා!

Manage


2d
සොඳුරු සිත අන්නේකනේ.කොටින්ම අපට ඒ ටික වෙලාවේ කොහොමත් කෑම කන්න වෙලාවක් නෑ.ආවා කතා ටික ඇහුවා පොළිමට ගියා ගත්තා. ගීය ගැයුවා ගියා. අපි එළියට එද්දිම අනිත් සෙට් එක එන්න සූදානම
Manage


2dEdited
Ims Sathyaprasad .
පැය පහක පමණ කාලයක් ශාලාව තුළ රැඳී සිටින්නට වන නිසා සහ එසේ ආහාර ලබා නුදුන් වසර කිහිපයක සිදුවුණු සෞඛ්‍යමය ගැටලු නිසා තමයි මේ තීරණය ගත්තේ මීට වසර කිහිපයකට කලින්. ඒත් එහි පාලනයක් අවශ්‍ය නිසා දියරමය නොවන හා කුඩු ලෙස විසිරෙන්නේ නැති ආහාර පමණක් කවරයක් තුළ කිරි පැකැට්ටුවක් සහ වතුර බෝතලයක් ලබාදෙනවා. මීට අමතරව වැඩිපුර වතුර ශාලාව තුළ සිටින ප්‍රථමාධාර කණ්ඩායම් වලින් ලබා ගත හැකියි.

Manage


2d
Bertie Ranaweerage ඔබේ පැහැදිලි කිරීම මා කියවූවා .නමුත් එමගින් අප ලිව් කරුණු වල නිවැරදි තාවය වෙනස් වෙන්නේ නැහැ පැමිණි දෙමාපියන් සහ සිසුන් කසල බිම දමා ගොස් ඇති බව පැහැදිලියි . කසල දැමීමට තැනක් නොතිබුනේ නම් එය සංවිධායකයන්ගේ දුර්වල තාවයක් අප විසින් ළමුන්ගේ තෑගි බෙදා දීමේ උත්සව වරින් වර පවත්වා තිබෙනවා එහිදී අප කරන්නේ හිස් බෝතල් සහ දවටන එකතු කිරීම සඳහා සිසුන් වෙත කීප දෙනෙකු යැවීමයි 
.එසේ කසල දැමීමට තැනක් නොතිබුනත් ඒවා තැන තැන විසි කිරීම නොකළ යුත්තක් . එම කසල දෙමාපියනට කෙසේ වෙතත් සිසුන්ට හෝ ශාලාවේ ස්ථාන කීපයක ගොඩ ගැසීමට තරම් වත් සිතීමට නොහැකි වීම පැහැදිලි කරන්නේ පරිසරය පිරිසිඳුව තබා ගැනීම පිළිබඳව ශික්ෂණයක් ඔවුන් ලබා නැති බවයි

Manage


2d
Ims Sathyaprasad .
සිසුන් හා දෙමාපියන් විසින් කර තිබෙන්නේ ඔවුන්ට කරන්නට උපදෙස් දුන් දේ. කුණු ශාලාවෙන් ඉවතට රැගෙන නොයන ලෙසත් ආසන වලට යටින් තබා යන ලෙසත් ඔවුන්ට දැනුම් දී තිබුණා. ඒ සඳහා සංවිධායකයන් අනුගමනය කළ සැලැස්ම මා පෝස්ට් එකේ සටහන් කර තිබෙනවා. එය ඔබට මගහැරෙන්නට ඇති. 
මේ ගැන කමෙන්ට් කරන බොහෝ දෙනෙකුට මේ උත්සවයේ විශාලත්වය ගැන නිසි අවබෝධයක් නැති බව පැහැදිලියි.

උපාධි ප්‍රදානෝත්සව ශාලාව තුළ කුණු බක්කි තැබීමට ඉඩක් නැහැ අවශ්‍ය වන පුටු සංඛ්‍යාවත් එක්ක. අනෙක, ඒවා එළියෙන් තිබ්බත් කුණු මළු අරගෙන උපාධි පෙරහැරේ යන එක වැලැක්විය යුතුව තිබුණා. ඒ නිසා අපද්‍රව්‍ය ආසන යටින් තබායන ලෙස උපදෙස් ලබා දී තිබුණා.

හේතු දෙකක් දක්වා තිබුණා මෙතන. එකක් කුණු පාර්සල් අරගෙන උපාධි පෙරහැරේ යන එක නවත්තන්න. එළියෙ තියෙන බැරල් එකකින් කුණු අරගෙන ගියත් ඇතුළෙන් එකතු කළත් එකම සේවක සමූහයක් යොදාගන්න වෙනව. මෙතනදි ඒ මහත්වරුන්ගෙත් අදහස වුණේ ශාලාව තුළ එකතු කිරීම පහසු බවයි. විශේෂයෙන්ම සැසි දෙක අතරදි කුණු එකතු කිරීම, අයිල්ස් වැකියුම් කිරීම සහ පේළි පිළිවෙලට සකස් කිරීම සඳහා වෙනම කණ්ඩායම් තුනක් යොදාගැනෙනවා. මෙහි විශාලත්වයත් එක්ක වඩාත්ම ප්‍රායෝගික ක්‍රමය පෙයයි.

Manage


2d

2d
Ajit Parakram පිරිසිදු කරන අයත් මිනිසුන් නිස ඔවුන් ගැනත් හිතලා කසල බඳුන් කීපයක් තියන්නට තිබුණා. අනෙක විශ්වවිද්‍යාලයක් නේ. පේරාදෙනියට අපි ඈෂ්ලි ජඩ් එක්ක ආ වෙලාවෙ අපි කළේ එහෙම. කසල බඳුන් අරන් යනවට අපේ අතින් ඒ සේවකයන්ට පොඩි කළගුණ සැලකීමක් කළා.
Manage


LikeShow more reactions
2d
Ims Sathyaprasad .
සිරිතක් වශයෙන් උපාධි ප්‍රදානෝත්සව ශාලාව තුළ කසළ බඳුන් තබන්නේ නෑ. බැල්කනි එකේ හැර. බැල්කනි එකේ කසළ එකතු කරන්නේ එහෙම. මීට අමතරව ශාලාවෙන් පිටත හිඳගෙන සිටින්නට පහසුකම් සපයා තිබූ තාවකාලික මඩු සහ කෑම අලෙවි කළ ස්ථානවලත් සජීව විස්තර ප්‍රචාරය ලබාදුන් දේශන ශාල
ා අසලත් සාමාන්‍ය දිනවලට වඩා විශේෂයෙන් කසළ එකතු කරන බඳුන් සපයා තිබුණා.

අනිත් කාරණය නම් මේ කසළ එකතු කිරීමේ සැලසුම් පිළිබඳ අවසන් තීරණ ගන්නේ ඒ සේවය ලබාදෙන සුළු සේවක මහතුන්ගේ අදහස් සැලකිල්ලට ගෙන බවයි. 2016 දී මා සංවිධායක කමිටුවේ සිටියදී ඒ මහත්වරුන් මේ ක්‍රමය වඩා පහසු බව තමන්ම යෝජනා කළා මතකයි. ඒ වාගේම ඒ මහත්වරුන්ට වැඩිපුර සේවය සඳහා විශේෂ ගෙවීමකුත් උදෑසන සිට රාත්‍රිය දක්වා ආහාරත් විශ්ව විද්‍යාලයෙන් සැපයෙනවා.

Manage

සත්‍යප්‍රසාද්ගේ පැහැදිලි කිරීම අනුව පෙනෙන පරිදි, මෙහිදී උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූ සිසුන්ගෙන් හා අමුත්තන්ගෙන් වැරැද්දක් සිදු වී නැත. ඔවුන් විසින් කර තිබෙන්නේ සංවිධායක කමිටුව විසින් ලබා දුන් උපදෙස් නිසියාකාරයෙන් අනුගමනය කිරීම පමණි. මෙය පැහැදිලි වීමෙන් පසුව බොහෝ දෙනෙකු විසින් ප්‍රශ්න කර තිබෙන්නේ සංවිධායක කමිටුව විසින් අනුගමනය කර ඇති ක්‍රියාපටිපාටියයි.

මෙය සංවිධානය කර ඇති ආකාරය එය කළ හැකි ප්‍රශස්තම ආකාරය කියා මා හිතන්නේ නැත. එහෙත්, සංවිධායක කමිටුව එසේ හිතනවානම් එය එසේ නොවේයැයි කීමේ හැකියාවක් මට නැත. මෙහිදී මතුවන මූලික ප්‍රශ්නය වන්නේ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් විසින් ක්‍රීඩාගාරය තුළ තමා සිටි අසුන යට ඉතිරි වූ ආහාර දමා යාම නිසා මතු වූ ප්‍රශ්නය කුමක්ද යන්නයි. 

පළමුව මෙය ප්‍රශ්නයක් වන්නේ පිරිසිදු කරන්නන්ටය. දෙවනුව උත්සව සංවිධායකයින්ටය. වෙනත් තෙවන පාර්ශ්වයකට මෙය ප්‍රශ්නයක් විය හැක්කේ අවසාන වශයෙන් පිරිසිදු කරන්නන් විසින් නිසි පරිදි මේ කසල බැහැර කර නැත්නම් පමණි. මෙහිදී එවැන්නක් සිදු වී නැත. එමෙන්ම පිරිසිදු කරන්නන් හෝ උත්සව සංවිධායකයින් විසින් මෙය ඔවුන්ට ප්‍රශ්නයක් වූ බවට චෝදනා නඟා නැත. සත්‍යප්‍රසාද්ගේ ප්‍රකාශය අසත්‍යයක් නොවේනම්, ඔවුන් දෙගොල්ලන්ම කියන්නේ මේ ක්‍රියා පටිපාටිය ඔවුන්ට පහසුවක් වූ බවයි.

අවුලට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ට සංවිධායකයින් විසින් කෑම ලබා දීමයි. එසේ කරන්නට සිදු වී තිබෙන්නේ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් පැය පහක හයක කාලයක් නිරාහාරව තැබීමෙන් මතු විය හැකි ප්‍රශ්න වලට මුහුණ දීම සඳහාය. මෙවැනි උත්සවයක් සඳහා විශාල පිරිසක් පැය පහක හයක කාලයක් ගාල් කර තැබීමේදී වෙනත් අතුරු ප්‍රශ්න රැසක් පැන නඟින්නට ඉඩ තිබේ. උපාධි උත්සව සැසි ගණන දෙකේ සිට තුන දක්වා වැඩි කර එක් සැසියක කාලය පැය තුනකට පමණ සීමා කර ගත්තේනම් ඇතැම් විට කෑම ලබා දීමේ අවශ්‍යතාවයක් මතු නොවිය හැකිව තිබුණි. 

සත්‍යප්‍රසාද් විසින් කියන පරිදි දිනක් තුළ තුන්දහසකට ආසන්න පිරිසකට උපාධි ප්‍රදානය කිරීම දැවැන්ත කාර්යයක් වුවත් එමෙන් දෙගුණයකට ආසන්න පිරිසකට දිනක් තුළ උපාධි ලබා දෙන අවස්ථා ගණනාවකට සහභාගී වී ඇති අත්දැකීම් අනුව මෙය නොකළ හැක්කක් නොවේ. එහෙත් ඉතා සැලකිල්ලෙන් සියලු කටයුතු සංවිධානය කළ යුතු සංකීර්ණ කටයුත්තකි. 

ඡායාරූප අවස්ථා ලබා නොදෙන්නේනම් මිනිත්තුවක් තුළ උපාධි දහයක් පමණ ප්‍රදානය කළ හැකි අතර එය ඊට වඩා අඩු කාලයකින් කළ හැකියයි මා සිතන්නේ නැත. එසේ කරන්නේනම්, පැය තුනහමාරක පමණ සැසි දෙකකින් මේ කටයුත්ත අවසන් කළ හැකිය. ඡායාරූප අවස්ථා වෙනුවෙන් සුළු කාලයක් ලබා දෙන්නේනම් මිනිත්තුවක් තුළ ප්‍රදානය කළ හැක්කේ උපාධි හතරක් පමණ ප්‍රමාණයකි. මෙහිදී අවම වශයෙන් මේ වෙනුවෙන්ම පමණක් වුවද පැය දොළහක පමණ කාලයක් අවශ්‍ය වෙයි. ගත වී ඇති මුළු කාලය මත පදනම් වූ දළ ඇස්තමේන්තුවක් ලෙස පේරාදෙණිය උපාධි ප්‍රදානෝත්සවයේදී මේ අතර වේගයකින් (මිනිත්තුවකට 6-8 දෙනෙකුට පමණ) උපාධි ප්‍රදානය කෙරෙන්නට ඇතැයි සිතිය හැකිය.

උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සැසි කිහිපයක් අතර බෙදා හැරීමෙන් එක් සැසියක කාලය කෙටි කරගත හැකි වුවත්, එවිට උත්සව සමාරම්භක කටයුතු හා කතා වෙනුවෙන් වැඩි කාලයක් ගත වන නිසා සැසි ගණනද ඉතා සැලකිල්ලෙන් තීරණය කළ යුතුය. වඩා හොඳ විකල්පය ලෙස මා දකින්නේ කතා ආදිය කෙටි කර, උපාධි ප්‍රදානය කිරීමේ වේගය වැඩි කර සැසියක කාලය උපරිම වශයෙන් පැය හතරකට සීමා කිරීමයි. එය කළ නොහැකිනම් කළ යුත්තේ සැසි ගණන තුනක් කිරීමයි. එවිට ආහාර ලබා දීමේ ප්‍රශ්නයක් මතු නොවේ. 

කෙසේ වුවද, බාහිර නිරීක්ෂකයෙකු පමණක් වන මට දැකිය නොහැකි බොහෝ දේ සංවිධායක කමිටුව විසින් දකින්නට ඇත. ඔවුන් සැසි දෙකක් සේ මේ උත්සවය පවත්වන්නටත්, උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ට ආහාර බෙදා දෙන්නටත් තීරණය කර තිබේ. උත්සව ශාලාවට ඇතුළු වෙද්දී ආහාර පාර්සලයක් ලබා දීමෙන් සැසියේ කාලය දිගු වන්නේ නැත. එක් එක් තැනැත්තාට තමන්ට අවශ්‍ය අවස්ථාවේදී ආහාර ගත හැකි නිසා උත්සව ශාලාව තුළ ආහාර ගැනීමද සැසියේ කාලය දිගු නොකරයි.

උපාධි ප්‍රදානෝත්සව සැසියක් නිසි වෙලාවට අවසන් කිරීම සඳහා උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සැලසුම්සහගත ලෙස අසුන් ගැන්වීම මෙන්ම ඔවුන්ට බාධාවකින් තොරව උපාධි ප්‍රදානය කරන වේදිකාව වෙත ඉක්මණින් යන්නට හැකි වීම අත්‍යාවශ්‍යය. මෙය සිදුවීමටනම් තමන්ගේ නම කැඳවෙන අවස්ථාව තෙක් එක් එක් තැනැත්තා සැලසුමට අනුව තමන් සිටිය යුතු අසුනේ සිටිය යුතුය. එසේ නැත්නම් සැලසුම අනුව අසුන මාරු කළ යුතුය. (පේරාදෙණියට සාපේක්ෂව විශාල උපාධි ප්‍රමාණයක් පිරිනමන උත්සවයකදී කෙරෙන්නේ දෙවැන්නයි.) එක් අයෙකු හෝ සැලසුම අනුගමනය නොකලහොත් සිදුවන්නේ (පිස්සු කෙළින එක් රියැදුරෙක් නිසා ලංකාවේ මහාමාර්ග වල ඇතැම් විට සිදුවන පරිදි) අවුල් ජාලයකි. 

ආහාර ලබා දීම හේතුවෙන් මතුවන ප්‍රධාන අතුරු ප්‍රශ්නය ඉතිරි වන ආහාර බැහැර කිරීමයි. මේ වෙනුවෙන් ක්‍රීඩාගාරය තුළ තැනින් තැන කුණු බක්කි තැබුවේනම් උත්සවය අවලස්සන වීමට අමතරව වරින් වර එක් එක් තැනැත්තා කුණු දමන්නට යාම නිසා ඇති වන්නේ අවුල් ජාලයකි. එය මෙවැනි උත්සවයක සැලසුම කණපිට හරවයි. ඒ නිසා එය ප්‍රායෝගිකව කළ හැකි දෙයක්යැයි මා සිතන්නේ නැත. දෙවන විකල්පය ලෙස මා දකින්නේ ගුවන් ගමනකදී ආහාර ලබා දීමෙන් පසු කරන අයුරින් පිරිසිදු කරන්නන් කිසියම් පිරිසක් යොදවා (ට්‍රෑෂ් බෑග් එකක් සමඟ අසුනෙන් අසුනට ගොස්) උත්සවය අතරතුරදීම කුණු එකතු කිරීමයි. මේ විකල්පයට ගියද සිදුවන්නේ පිරිසිදු කරන්නන්ගේ කාලය වැඩිපුර අවශ්‍යවීම හා උත්සවයේ රිද්මයට යම් තරමකින් බාධා වීම පමණි. 

මේ අනුව බැලූ විට සංවිධායකයින් විසින් ඉතිරි වූ ආහාර අසුන් යට තබා යන මෙන් සහභාගීවන්නන්ගෙන්  ඉල්ලා සිටීම නරක යෝජනාවක් නොවේ. මේ සැලසුම අනුව උත්සව සැසියක් අවසානයේදී අවම මිනිස් ශ්‍රමයක් යොදවා කසල බැහැර කළ හැකිය. සැලසුම පරිදිම එය සිදු වී තිබෙන අතර මේ සැලසුම හේතුවෙන් කිසිදු පාර්ශ්වයකට විශේෂ අයහපතක් වී නැත.

පේරාදෙණියේ උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු කසල බැහැර කර ඇති ආකාරයේ පෙනෙන පැහැදිලි ප්‍රශ්නයක් නැත. එහෙත්, මෙය බොහෝ දෙනෙක් විශාල ප්‍රශ්නයක් ලෙස දැක්කේය. කෙසේ වුවත්, මේ සිදුවීමෙන් පසුව වඩා පැහැදිලි වූ පරිදි, ලංකාවේ රාජ්‍ය සරසවියක උගත් හෝ දැනට ඉගෙන ගන්නා අය හැර ඉතිරි පිරිසෙන් කිසියම් පිරිසක් මේ සරසවි වල උපාධි ප්‍රදානෝත්සව දෙස බලන්නේද කසල බැහැර කිරීමක් දෙස බලන අයුරිනි. සරසවි නිෂ්පාදන ගැන රටේ ප්‍රතිරූපය එවැනි තැනකට වැටුණේ ඇයිද යන්න වඩා සැලකිල්ලක් දැක්විය යුතු ප්‍රශ්නයකි.


16 comments:

  1. 1. හැගෙන විදිහට පැය 5ක් චූ කරන්න යන්න වත් හෙලවෙන්න දීලා නෑ වගෙයි. එත් පැය 5ක් චූ නොකරා නම් පෙරේහැරේ අභිමානය රැක ගන්න අසීරු නිසා එහෙම සීමාවක් පනවන්න නැතුව ඇති.
    2. පැහැදිලි වෙන්නේ උත්සවයට සහභාගී වූ සිසුන්ට දොස් කීම අසාධාරණ බවත්, සියලු චෝදනා සංවිධායක මඩුල්ල විසින් බාරගතයුතු නමුත්, ඔවුන්ගේ අහංකාරය නිසා එය නොකළ හැකි බවත්, ෆොටෝ ගැහුවයි සැකකරන කීප දෙනෙකුටම ළඟදීම බඩුබනිස් වන බවත්ය.
    3. පැය 3කට වඩා කාලයකට මිනිසුන් ගාල් කිරීම තහනම් කිරීමේ නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවෂ්ඨාවටම ඇතුල්කල යුතුව ඇත.

    ReplyDelete
  2. This is only with regards to the garbage inside the gym. There was another explanation which explained what hapened. It simply says when you go to the toilet, you dont flush with each and every "betta". You finish the thing and flush. If you dont flush after the thing it is a problem. But if someone take a photo while you do the thing and start shouting that also a problem.

    ReplyDelete
  3. It is Better if all these worried bloggers can do something regarding garbage diaposal of allmost all VCs, UCs and MCs in Sri Lanka.there is a room for you to intervene and execute a good suggsuggest

    ReplyDelete
  4. මමත් මේක විවේචනය කලා. බොහෝ දෙනෙක් කරලා තිබ්බේ මේ ආකරයෙන් පැහැදිලි කිරීමක් නොකර විවේචකයන් විවේචනය කිරීම. නමුත් මේ පැහැදිලි කිරීමට අනුව මට හිතෙනවා මේක තමා මෙතැනදී වඩාත්ම සුදුසු ආකාරය කියලා.

    ReplyDelete
  5. ආකාර ලබා දීමට තීරණය කිරීම ඉතා මානුෂිය කරුණක්. අප දන්නා පරිදි කිසිදු උපාධි ප්‍රදානොත්සව ශාලාවකට ආහාර ගෙන යාමට ඉඩ දෙන්නේ නැහැ. ඒ පදනම මත සිට මාත් මේ ගැන කතා කරා. නමුත් අයිඑම්එස්ගේ පැහැදිලි කිරීම දුටු විට තේරුනා මෙතැන වෙනත් දෙයක් සිදුව ඇති බව. සාමාන්‍යෙයන් දිගම ෂෙසන්ස් තියෙන්නේ පේරා, ජපුර වගේ කැම්පස් වල තමා. ඒක නිසා පැය ගණන් මිනිසුන් අපහසුතාවයට පත් නොකර කෙටි ආහාරයක් ලබා දීමට කටයුතු කිරීම මානුෂිය කරුණක්. කැළි කසල ආසනය යට තබා පසුව ඉවත් කර ගැනීම හොදයි. නමුත් මේ සම්බන්ධව ඉදිරයේදි තවත් ක්‍රමාණූකූල වැඩ පිළිවෙලක් දියත් වෙයි කියල හිතනවා. ඒ කොහොම උනත් අපේ රටේ අනාගතය වන විශ්වවිද්‍යාල සිසුන්ගෙන් බහුතරයක් විනාශකාරි හැඟිම් හා ක්‍රියා තිබෙන අයයි. මේ ආකල්ප වෙනස් කිරීම බාලාංශයේ සිට සිදු විය යුතුයි.

    ReplyDelete
  6. මගේ ඇසේ පොල් පරාලයක් ඇති නිසා මට ඔය අනුන්ගේ කුණු කෑලි පේන්නේ ම නෑ!

    ReplyDelete
  7. විශ්වවද්‍යාලයක් යනු සියවසක් පැරණි සම්ප්‍රදායක් ආරක්‍ෂා කිරීම සඳහා පමණක් පෙනී සිටිය යුතු ආයතනයක් නොවේ.

    අද යුගයේ අවශ්‍යතාව නිසි කසල කළමනාකරණය නිසා, විශ්වවිද්‍යාලය එය තම අරමුණ කරගෙන ඒ වටා මෙවැනි උත්සව සංවිධානය කළ යුතුයි.

    මෙහි දී නොසිතා වරදක් වී ඇති බව පැහැදිළියි.

    කුණු එකතු කිරීම සඳහා බක්කි තබා තිබීම කැත දෙයක් නොව, අපේ නෙතට ප්‍රිය මනාප දසුනක් බවට පත් කළ යුතුයි!

    ReplyDelete
    Replies
    1. //කුණු එකතු කිරීම සඳහා බක්කි තබා තිබීම කැත දෙයක් නොව, අපේ නෙතට ප්‍රිය මනාප දසුනක් බවට පත් කළ යුතුයි!//

      +++++

      Delete
    2. කුණු එකතු කිරීම සඳහා බක්කි තැබීම ස්ථානයක් අවලස්සන කිරීමක් ලෙස මමත් දකින්නේ නැහැ. එහි තිබෙන්නේ ආකල්පමය ප්‍රශ්නයක් හා සම්ප්‍රදාය රැකගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. මගේ පියාගේ පියාගේ පරම්පරාවේ ඇතැම් ඥාතීන්ට නිවස ඇතුළේම වැසිකිළි හැදීම ගැන තිබුණේත් මෙවැනිම ආකල්පයක්. විශ්ව විද්‍යාල විසින් හැම විටම සම්ප්‍රදායයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියාත් මම හිතන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වූ විට සම්ප්‍රදාය වෙනස් කිරීමට ධෛර්යයක් තිබිය යුතුයි. අවශ්‍යමනම් රැවුලත් කැඳත් බේරෙන පරිදි පේරාදෙණියේ ගෘහ නිර්මාණ ආකෘතියට ගැලපෙන කුණු බක්කි නිර්මාණය කළ හැකියි. එය එසේ වුවත්, සිදුවී ඇති දෙය සැලසුමේ කොටසක්නම් මෙය නොසිතා හෝ සිදු වූ වරදක් කියා මම හිතන්නේ නැහැ. කුණු බක්කි තබා ඒවාට කුණු දමන සේ ඉල්ලීම වඩාත්ම සුදුසු විකල්පය නොවන අවස්ථා තිබෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් ගුවන් යානා ඇතුලේ කුණු බක්කි නැහැ. අවශ්‍යනම් ගුවන් යානයක් ඇතුලේ තැනින් තැන කුණු බක්කි තබා ඒවාට කුණු දමන සේ මගීන්ගෙන් ඉල්ලා සිටිය හැකියි. එවිට ගුවන් සේවිකාවන්ට කුණු එකතු කරන්න වෙන්නේ නැහැ. නමුත්, ඒ සඳහා වෙන් කළ යුතු ඉඩෙහි ආවස්ථික පිරිවැය, කුණු දමන්නට වරින් වර නැගිට යන මගීන් නිසා සිදු වන අවුල ආදිය සැලකූ විට එසේ නොකර වෙනත් විශේෂ කටයුත්තක නියැලෙන්නේ නැති ගුවන් සේවිකාවන් ඒ සඳහා යොදා ගැනීම වඩා ප්‍රායෝගික විසඳුමක්. මෙය මා දකින්නෙත් එවැනි විශේෂ අවස්ථාවක් ලෙසයි.

      Delete
    3. මේ ආකාරයේ පරිසරය අපවිත්‍ර කරන්නේ රාජපක්ෂ කල්ලියේ වහල් බයි හැතිකරයයි. මේ කාලකණ්ණි බයියෝ තවත් රටේ එමට සිටිති'යි යන කාරණය ඉතා බරපතලයි.

      පසුගිය කාලයේ මහ බයියා විසින් වශී බෝල කරකවමින්, පාරවල් ගොඩනැගිලි පුරා කුණු දමා අපිරිසිදු කරමින් රට ආපස්සට ගෙන ගිය ආකාරය පිළිබඳව මෙය ඉතා හොඳ උදාහරණයක් බව කිව හැක.

      මේ සියල්ලට වග කිව යුතු වන්නේ පසුගිය අන්ත දූෂිත රාජපක්ෂ මහ බයියා කියන මීහරකාගේ පාලනයේ පැවති වනචර දශකය තුල රාජපක්ෂලා විසින් ඇමරිකන් ඩොලර් ට්‍රිලියන ගණනින් හොරකම් කල දූෂිත කලු සල්ලි යොදවා මෙම සංවිධාන සහ ඒවා පවත්වාගෙන යන කුණුම කුණු ගොන් බයියන් තුල ඇතිකළ මර්දන්කාරී මානසිකත්වයයි.

      මේ නිසා වත්මන් රජයට කිසිදු කසල කලමණාකරන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට මෙම රාජපක්ෂ කල්ලියේ වහලුන් ඉඩ නොදේ. රටේ තීරන ගන්නා සෑම තැනකම සිටින්නේ මහින්දගෙ මිනිස්සු. මීට පිළියමක් ලෙස අප කළ යුත්තේ දූෂිත රාජපක්ෂ හොර පවුලත් ඒ සමග බූරුවංස, මංගොංපිල, වට්ටක්ක වාසු _කා ඇතුළු උන්ගේ නලාකාර රිලා සට්ටැඹියනුත් උන්ට ගෑවුණ කිසිම හාල්පාරුවෙක්ටවත් කිසිසේත්ම නැවත බලයට ඒමට ඉඩ නොදී ඔවුන් මුළුමණින්ම විනාශ කොට 2020 තනිකර 2/3 එජාප රජයක් බලයට පත්කොට ගෙන ඉන් පසු දිගටම එජාප රජයක් 2050 පමණවත් වෙනන් තෙක් බලයේ තබා ගැනීමය. විසඳුම එය පමණි. රනිල් ඇතුළු පිරිස ක්‍රම ක්‍රමයෙන් මේ ප්‍රශ්න සියල්ල එකින් එක විසඳා ඉතා ඉක්මණින්ම රට සංවර්ධනය කරනු නිසැකය. විපක්ෂය වශයෙන් ජවිපෙ / ටී.එන්.ඒ වැනි පිරිසිදු ප්‍රවීණ බුද්ධිමතුගෙන් සමන්විත් පක්ෂ පත්කොට වොඋන්ගෙන් එම රාජකාරිය කරගත යුතුය.

      Delete
  8. ඉවක් බවක් අනෙතුව තැන තැන කුණු බැහැර කරණ ජාතියක්, මෙහෙම කුණු ගැන සංවේදී වෙලා වාද විවාද කරණ එකම හොඳ ප්‍රවණතාවයක්..

    පැහැදිලි කිරීමට අනුවනම්.. මෙතන කිසි අවුලක් නෑ කියලා තමා මට හිතෙන්නේ.. ඕනෑම උත්සවයක පස්සේ කුණු එකතු විම සාමාන්‍ය දෙයක්.. වැදගත් වෙන්නේ ඒවා නිසි පරිදි ඉවත් කිරීම...

    ReplyDelete
  9. 1. නොමිලේ කෑම දෙන එක හොඳයි නමුත් එතන තේරීමක් නැති එක ප්‍රශ්නයක් ඒක නිසා කෑම අපතේ යන්න පුළුවන් . මම දන්නෑ ඇත්තටම දුන්නේ මොනවාද කියා. එලවළු බනිස් එකක් සමඟ සීනි නැති පානයක් නම් වඩා හොඳයි.
    2.මෙතන අවසන් ප්‍රතිපලය කව්රු හෝ ලෙස කලිං සැලසුම් කල ලෙස කුණු ඉවත් කිරීමක් සිදුවී තිබෙනවා . නමුත් මේක උපාධිධාරීන්ගේ වැරදි හැසිරීමක් ලෙස පෙන්වීමට උත්සාහ කරන අගේ මතයන් වෙනස් කරන්න බෑ. ඕකත් අර ටොයි , බයි මත වගේ තමයි. ඒක නිසා ඔය ගැන අපේ කාලය වැයකිරීම නිෂ්ළුලයි.
    3.කොහොම උනත් කෑම දාල දෙන බැග් එක කඩදාසි එකක් වුනානම් වඩා හොඳයි , මෙකද අන්තිමේදී කව්රු කසල බැහැර කලත් එකතුවෙන්නේ අපේ පරිසරයට නේ

    ReplyDelete
    Replies
    1. //නොමිලේ කෑම දෙන එක හොඳයි.//
      නොමිලේ කෑම දෙන්න ක්‍රමයක්නම් නැහැ. එක්කෝ මෙහි පිරිවැය උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ගෙන් ගාස්තුවක් සේ අය වී තිබිය යුතුයි. එසේ නැත්නම් ඒ වෙනුවෙන් බදු මුදල් වැය කළ යුතුයි.

      Delete
  10. ලයික් ගැනීම සඳහා ඇතැම් විට සැබෑ තත්ත්වය දන්නා අයෙකු විසින්ම අප්ලෝඩ් කරන ලද ඡායාරූපයක් අවසානයේ කතිකාවතක් ඇති කිරීම බුකි සමාජය ගැන හොඳ නිරීක්ෂණයක් - භූමියේ තත්ත්වය ගැන සැලකීමකින් තොරව දනිස් ගැස්මේ විචාර ලිවීමට බුකිය ලියන්නන් ප්‍රකටයි

    ReplyDelete
  11. ඔය පොටෝ එකක් දෙකක් බලලා බුකියේ කසල ඔස්තාද්ලා කියෙව්වට ඕවා පේරාදෙණියේ කරන්න බෑ. ඕක පාලනය වෙන්නේ නීති රීති වලින් නෙවෙයි මහා ලොකු කරගත්ත පේරාදෙණි සම්ප්‍රදායකින්. ඒක ඔලුවට ගත්ත සෙට් එකක් තමයි පාලක සභාවෙයි සනාතන සභාවෙයි ඉන්නේ. ඕක ඇතුළේ කසල බඳුන් තියන්නවත්, පෙරහැරේ යනකොට ඒවා අරන් යන්නවත්, අතරමගදි එකතු කරන්නවත් ඔය මහා සම්ප්‍රදාය ඉඩ දෙන්නේ නෑ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.