Monday, July 23, 2018

වූල්වර්ත්ස් මාර්ක්-අප් එක කොපමණද?


වූල්වර්ත්ස් වෙළඳසැල් සමූහය වගේ සමාගමක් පාරිභෝගිකයින් පීඩාවට පත් කරමින් අසීමිත ලාභ නොලබන බවත්, සමාගමකට එසේ කිරීමේ හැකියාවක් නැති බවත් මගේ පෙර ලිපියේ සඳහන් කළ නමුත් එහි මා නිශ්චිත සංඛ්‍යාලේඛණ කිසිවක් ඉදිරිපත් කළේ නැහැ. එම සමාගමේ මූල්‍ය වාර්තා වලින් මේ සංඛ්‍යාලේඛණ සොයා ගත හැකියි.

2017 වසර සඳහා වූ ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් සමාගමේ මූල්‍ය ප්‍රකාශන අනුව එම වසර තුළ ඔවුන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 55,475.0 ක භාණ්ඩ අලෙවි කර තිබෙන අතර මේ භාණ්ඩ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 39,739.7ක මුදලක් ගෙවා තිබෙනවා. මේ අනුව, සමස්තයක් ලෙස ගත් විට එම සමාගමේ මාර්ක්-අප් එක විකිණුම් මිලෙන් 28.4%ක්. එය ඇතැම් පාරිභෝගිකයින් හිතන තරමේ විශාල මාර්ක්-අප් එකක් නෙමෙයි.

සමාගමක සේවක වියදම් ආදී සියලු අමතර වියදම් පියවා ගන්න වෙන්නේ ඉහත කී මාර්ක්-අප් එකෙනුයි. කොහොම වුවත්, ඒ වියදම් පියවා ගන්න විකිණුම් මිලෙන් 28.4%ක මාර්ක්-අප් එකක් අවශ්‍යද කියන ප්‍රශ්නයට පිළිතුරක් මෙහි නැහැ. අවශ්‍යනම් අපට මේ මාර්ක්-අප් එක වෙනත් රටවල් වල මේ ආකාරයේම කර්මාන්තයක නියැලෙන සමාගම් වල මාර්ක්-අප් සමඟ සැසඳිය හැකියි.

2018 ජනවාරි 31න් අවසන් වූ මූල්‍ය වසර සඳහා වූ ඇමරිකාවේ වෝල්මාර්ට් වෙළඳ සමූහයේ මූල්‍ය ප්‍රකාශන අනුව එම වසර තුළ ඔවුන් ඇමරිකන් ඩොලර් මිලියන 485,751ක භාණ්ඩ අලෙවි කර තිබෙන අතර මේ භාණ්ඩ වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 373,396ක මුදලක් ගෙවා තිබෙනවා. මේ අනුව, සමස්තයක් ලෙස ගත් විට එම සමාගමේ මාර්ක්-අප් එක 23.1%ක් පමණයි. මේ අනුව වෝල්මාර්ට් සමාගම තබා ගන්නා මාර්ක්-අප් එක වූල්වර්ත්ස් මාර්ක්-අප් එකට වඩා 5.3%කින් අඩුයි.

මේ ආකාරයෙන්ම අපට ලංකාවේ කාර්ගීල්ස් ආයතනයේ 2018 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වසර සඳහා වූ මූල්‍ය වාර්තාත් පිරික්සිය හැකියි. එම වසර තුළ ඔවුන් රුපියල් මිලියන 91,293.1 ක භාණ්ඩ අලෙවි කර තිබෙන අතර මේ භාණ්ඩ වෙනුවෙන් රුපියල් මිලියන 80,718.8 ක මුදලක් ගෙවා තිබෙනවා. මේ අනුව, සමස්තයක් ලෙස ගත් විට එම සමාගමේ මාර්ක්-අප් එක 11.6%ක් පමණයි.

එහෙමනම්, ලංකාවේ කාර්ගීල්ස් ආයතනය ඇමරිකාවේ වෝල්මාර්ට් ආයතනයට හා ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් ආයතයනයට වඩා කාර්යක්ෂමද?  එසේ නැත්නම් එම ආයතන දෙකට වඩා සාධාරණ වෙළඳාමක නියැලෙනවාද? එසේත් නැත්නම් ඒ සමාගම් දෙකටම වඩා වැඩියෙන් සේවකයින්ව සූරාකනවද?

ඉහත දත්ත සසඳමින් මේ කිසිවක් කීමේ හැකියාවක් අපට නැහැ. අප සැලකිල්ලට ලක් කළ එක් එක් රටේ සේවක වැටුප් තීරණය වන්නේ රටේ සමස්ත ආර්ථිකයේ තත්ත්වය හා කම්කරු නීති ආදිය මතයි. සුපිරි වෙළඳසැල් සමූහයකට කළ හැක්කේ ශ්‍රම වෙළඳපොළේ පවතින තත්ත්වයන් අනුව ඔවුන්ගේ ව්‍යාපාරික උපාය මාර්ග ප්‍රශස්ත ලෙස සැලසුම් කර ගැනීම පමණයි.

ඇමරිකාව හෝ ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටකට සාපේක්ෂව ලංකාවේ කම්කරු ශ්‍රමය ලාබයි. ඒ නිසා, සේවක වැටුප් ගෙවීමෙන් පසුවත් තමන්ගේ ප්‍රාග්ධනය වෙනුවෙන් අවශ්‍ය තරමේ ප්‍රතිලාභයක් ලැබීමට 11.6%ක මාර්ක්-අප් එක ප්‍රමාණවත්. ඒ වගේම රටේ පාරිභෝගිකයින්ගේ මිල දී ගැනීමේ හැකියාව ඇමරිකාව හෝ ඕස්ට්‍රේලියාව වැනි රටක තරමට ඉහළ නැති නිසා පවතින තරඟකාරී වෙළඳපොළ තුළ මේ මාර්ක්-අප් එක තවත් වැඩිකර ලාභ වැඩි කරගැනීමේ හැකියාවක් නැහැ. එසේ කළොත් සිදුවන්නේ භාණ්ඩ විකිණෙන එක අඩු වී ලාබ අඩු වීමයි.

ඒ වගේම අනෙක් අතට මෙවැනි එක් සමාගමකට පමණක් සේවක හෙට්ටු කිරීම් වැනි හේතුවක් මත සේවක වැටුප් ඕනෑවට වඩා වැඩි කරන්නට සිදු වුනොත් ඒ අමතර වියදම අල්ලන්නට මාර්ක්-අප් එක ඉහළ දමා පාරිභෝගිකයින් එලෙසම රඳවා ගන්න බැහැ. එවිට සිදුවන්නේ යොදන ප්‍රාග්ධනය වෙනුවෙන් අවශ්‍ය වන අවම ප්‍රතිලාභය හෝ නොලැබී යාම නිසා සමාගම වැසී යාමයි. එහෙත්, රටේ ආර්ථික වර්ධනයට හා පාරිභෝගිකයන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යාමට අනුරූපව ශ්‍රම වෙළඳපොළ මිල ගණන් අනුව යමින් සේවක වැටුප් ඉහළ දමන්නට සිදුවීමෙන් එවැනි ගැටළු මතු වන්නේ නැහැ.

රටක එක් සමාගමක මූල්‍ය ප්‍රකාශන පමණක් පිරික්සා ලොකු නිගමන වලට පැමිණීම නිවැරදි නැහැ. ඒ බව අමතක කර, මේ සමාගම් අදාළ රටවල සුපිරි වෙළඳසැල් නියෝජනය කරන සමාගම් සේ සැලකුවොත් ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් සමාගමේ මාර්ක්-අප් එකෙහි ඇමරිකාවේ වෝල්මාර්ට් සමාගමේ මාර්ක්-අප් එකට සාපේක්ෂව වුවත් කැපී පෙනෙන තරමේ වෙනසක් දැකිය හැකියි.

මෙයට හේතුවත් දෙරටේ ශ්‍රම වෙළඳපොළ සාධක වල වෙනස්කම් වෙන්න පුළුවන්. එය එසේනම්, ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් සමාගමට වැඩි මාර්ක්-අප් එකක් තබාගන්න අවශ්‍ය වෙන්නේ එරට කම්කරු නීති නිසා හෝ ශ්‍රම වෙළඳපොළේ ස්වභාවික තත්ත්වයන්ම නිසා සේවක වියදම් ඇමරිකාවේ සේවක වියදම් වලට වඩා වැඩි වීම විය යුතුයි.

ඇමරිකාවට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් වල භාණ්ඩ වැඩි ප්‍රමාණයක් හොරකම් කරනු ලැබීමත් මෙයට තවත් හේතුවක් වෙන්න පුළුවන්. පෙනෙන විදිහට සේවකයින් අඩු කරන විට හොරකම් ඉහළ යන නිසා වක්‍ර ලෙස ගත්තොත් මෙයට හේතුවත් ඕස්ට්‍රේලියාවේදී ශ්‍රමය සඳහා ගෙවිය යුතු මිල වඩා වැඩි වීමයි.

(Image: https://www.dailymercury.com.au/news/woolworths-standing-firm-on-no-nudity-at-melbourne/3435499/)

4 comments:

  1. ඒ ලොකු මාක්අප් එකක් තියෙන්නේ සාමාන්‍ය විකුණුම් මිල ගැන සළකන විටයි කියායි මා හිතන්නේ.

    මං නං බොහොමයක් භාණ්ඩ මිළට ගන්නේ ඩිස්කවුන්ට් මිළටයි. මේ සතියේ වූල්වර්ත්, ලබන සතියේ කෝල්ස්.

    උදාහරණයක් ලෙස, මා දවාලට කන ජෝන් වෙස්ට් ටූනා ටින් එකක [http://rasikalogy.blogspot.com/2015/11/eat-like-king.html] මේ දිනවල සාමාන්‍ය මිළ ඩොලර් දෙකයි.

    ඒ මිලට තමයි අද වූල්වර්ත්ලා විකුණන්නේ.
    https://www.woolworths.com.au/shop/productdetails/57053/john-west-tempters-tuna-chilli

    නමුත් මේ සතියේ කෝල්ස් එකේ ඒ ටින් එකකම මිළ ඩොලරයයි. ලබන සතියේ හෝ ඊළඟ සතියේ ඒ විශේෂ මිළට වූල්වර්ත් එකෙන් ගන්න හැකි වේවි.
    https://shop.coles.com.au/a//product/john-west-tempters-tuna-chilli

    මං කරන්නේ ඩොලරය ගානේ ටින් විස්සක් අරගෙන එන එකයි. ඒක මාසෙකට ඇති.

    බොහෝ භාණ්ඩ ඔහෙම තමයි.

    නමුත් සමහරු මේ ගැන ඒ තරම් සැළකිළිමත් වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මෙහේ වෝල්මාර්ට් එකේනම් සාපේක්ෂව මෙය සිදු වෙන්නේ අඩුවෙන්. ඔවුන්ගේ සාමාන්‍ය විකිණුම් මිල වුවත් අඩුයි. එහෙත්, වෝල්මාර්ට් බඩු වලට වඩා තත්ත්වය උසස් බව බොහෝ දෙනෙක් විශ්වාස කරන වෙනත් තැන් වල තත්ත්වය මෙවැනියි. සාමාන්‍ය මිල සැලකිය යුතු තරම් වැඩි වුවත් හැමදාම යම් භාණ්ඩ ප්‍රමාණයකට සැලකිය යුතු වට්ටමක් දෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ ගොඩක් දෙනෙක් (මම වුවත්) වට්ටම් සහිත බඩු පමණක් මිල දී ගෙන ආපසු නොපැමිණීමයි.

      Delete
  2. Walmart import or buy their goods. Sri lankan supermarkets work on 90-120 day credit from suppliers. By the time they pay for a consignment they have sold at least 10 more consignments. They benefit from that cash flows. My guess is large supermarkets cover their capital costs by this cash flow.

    Another point is some goods supermarkets lose out. Rice, sugar etc are sold at the same prices as grocery shops. They lose on vegetables too. Both these items are purchased and not on supplier credit,

    ReplyDelete
    Replies
    1. //Walmart import or buy their goods. Sri lankan supermarkets work on 90-120 day credit from suppliers. By the time they pay for a consignment they have sold at least 10 more consignments. They benefit from that cash flows. My guess is large supermarkets cover their capital costs by this cash flow.//
      Ian, you are correct that supermarkets benefit a lot from supplier credit. However, Walmart is not different from Sri Lankan supermarkets in that regard and they utilize supplier credit even more than Sri Lankan supermarkets benefiting from the market power of volumes. Though the “at least 10 more consignments” story could be correct for some items, on average the ratio is around 1.5 for this industry as a rule of thumb. Here are some numbers (Of course, I make some assumptions here).
      Walmart on 1/31/18:
      Inventory: US$ mn 43,783
      Accounts payable: US$ mn 68,859
      Ratio: 1.57

      Cargills on 3/31/18:
      Inventories: Rs mn 9,545.0
      Trade and other payables: Rs mn 13,221.7
      Ratio: 1.38
      Of course, the shrinkage of fresh food items is an important point which I did not discuss for brevity.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.