වෙබ් ලිපිනය:

Saturday, July 7, 2018

දවසින් වැඩේ කරගත්තා!


ලංකාවේ ගත කළ අවසන් දින කිහිපය අප නැවතී සිටියේ බිරිඳගේ වැඩිමල් සොහොයුරියගේ නිවසේය. ඇය සාමාන්‍යයෙන් පාන්දරින් නැඟිට බත් උයා, බත් මුලක්ද බැඳගෙන වැඩට යයි. මේ කියන දවසේ ඇය වැඩට යන්නට තරමක් ප්‍රමාදව සිටින බව පෙනුණේය.

"අද නැගිටින්න පරක්කු වුණාද?"

"අද නිවාඩුවක් දැම්මා. ඩ්‍රයිවින් ලයිෂන් එක අලුත් කරගන්න යන්න."

කල් ඉකුත් වී ඇති සිය රියදුරු බලපතෙහි කාලය දිගු කර ගැනීමේ අරමුණින් ඈ උදේ හතහමාර හෝ අට පමණ වෙද්දී නිවසෙන් පිටත් විය. ඇගේ නිවස පිහිටියේ අදාළ කාර්යාලය පිහිටි තැන සිට මහා දුරක නොවන බැවින් එහි යන්නට ඇයට පැය බාගයක් ප්‍රමාණවත්ය.

කෙසේ වුවත්, මේ කටයුත්තට දවසක්ම ගතවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මා සිතූ පරිදිම ඈ නැවත නිවසට පැමිණෙද්දී හවස පහ පසු වී තිබුණේය. ඇගේ මුහුණේ පෙනෙන්නට තිබුණේ දැඩි විඩාව ඇතුළේ හැංගුනු හීන් තෘප්තියකි.

"කොහොම හරි දවසින් වැඩේ කරගත්තා!"

"දවසම ඉවරයි නේද?"

"ඔව් ඉතිං පෝලිම්ම කීයක කියල යන්නද?"

ඈ විස්තර කරන ක්‍රියාපටිපාටිය වරක් හෝ ලංකාවේ රජයේ කාර්යාලයකට වැඩක් කරගන්නට ගොස් ඇති අයෙකුට විස්මය ගෙනදෙන්නක් නොවේ. අවසන් වරට මා මීට සමාන අත්දැකීමකට මුහුණ දුන්නේ තෙවසරකට පමණ පෙර ලංකාවට පැමිණ සිටි කාලයේදී ආගමන විගමන කාර්යාලයේදීය.

මුලින්ම, අදාළ අයදුම්පත ලබාගැනීම සඳහා පෝලිමකි. අයදුම්පත ලබාදෙන්නේ එය නිකුත් කරන නිලධාරියා විසින් ගමන් බලපත්‍රය පරීක්ෂා කර අයදුම්පතෙහි එම අංකය පිරවීමෙන් පසුවය. එයින් පසු තවත් පෝලිමකි. ඒ පෝලිමෙන් පසු එකතු වන්නට තවත් පෝලිමකි......

මුදල් ගෙවන්නට පෙර අයදුම්පත පරීක්ෂා කරන්නට නිලධාරියෙකි. එහි පෝලිමකි. මුදල් ගෙවන්නට වෙනම පෝලිමකි. මුදල් ගෙවූ රිසිට් පත පරීක්ෂා කරන්නට තවත් නිලධාරියෙකි. එහිද පෝලිමකි. එක පෝලිමකින් පසු එකතු විය යුතු ඊළඟ පෝලිම දැන ගන්නට කිසිදු මාර්ගෝපදේශනයක් නැත. ඇතැම් විට සෑහෙන වෙලාවක් සිටියේ වැරදි පෝලිමක බව දැනගන්නට ලැබෙන්නේ පෝලිමක අන්තයට යාමෙන් පසුවය. ඒ බව දැන ගැනීමෙන් පසු කලින් යා යුතුව තිබුණු පෝලිමට එකතු වී අවශ්‍ය කටයුත්ත කරගෙන මුල් පෝලිමේ අගට නැවත එකතු විය යුතුය.

බිරිඳගේ සොහොයුරිය විස්තර කළ ඇගේ අත්දැකීමද මීට වඩා වෙනස් නොවූයේය.

රජයේ අකාර්යක්ෂමතාවය ගැන කතා කරන විට බොහෝ දෙනෙක් සිතන්නේ මේ කියන්නේ රජයේ සේවකයින් වැඩ නොකර නිකම් සිටීම ගැන බවයි. එය එසේ වූ කාලයක් තිබුණේය. එහෙත්, රාජකාරි වෙලාවේ සොලිටෙයාර් ක්‍රීඩා කරන හෝ පත්තර බලන, දවල් වී වැඩට පැමිණ කලින්ම පනින, කෑම පැය දෙපැයක් කරගන්නා රජයේ සේවකයින් දැන් ලංකාවේ රජයේ කාර්යාල වල දශකයකට දෙකකට පෙර කාලයේ තරම්ම දකින්නට නැත. එසේනම් එයින් අදහස් වන්නේ රජයේ කාර්යක්ෂමතාවය විශාල ලෙස වැඩි වී ඇති බවද?

රජයේ අකාර්යක්ෂමතාවය පිළිබඳව ඇති විවේචන ගැන දැන් බොහෝ ආයතන ප්‍රධානීන් දැනුවත්ය. ඒ නිසා, සිය නිලධාරීන් නිකම් නොතබා වැඩක යොදවන්නට දැන් බොහෝ ආයතන ප්‍රධානීහු කටයුතු කරති. කෙසේ වුවත්, කිසියම් ආයතනයක සේවය කරන නිලධාරීන් වෙලාවට වැඩට පැමිණ මහන්සි නොබලා හවස් වන තුරු වැඩ කළ පමණින් ආයතනයක් කාර්යක්ෂම වන්නේ නැත. ඇතැම් විට අකාර්යක්ෂමතාවයන්ට හේතු වන්නේ මේ වැඩ කිරීමමය.

කාල් මාක්ස්ගේ කතන්දර වල කියා ඇති පරිදි කිසියම් කාර්යයක වටිනාකම ඒ වෙනුවෙන් යෙදූ මිනිස් ශ්‍රමයට සමානුපාතිකනම්  ලංකාවේ රජයේ සේවකයින් ඒ තරම්ම අකාර්යක්ෂම නැත. එහෙත්, එය එසේ නැත. කාර්යක්ෂමතාවය මිනිය හැක්කේ අවසන් වශයෙන් සිදු වූ කාර්යයෙහි ප්‍රයෝජ්‍යතාව මතය.

ලංකාවේ බොහෝ රජයේ ආයතන "කාර්යක්ෂම කිරීමේ" කාර්ය පටිපාටි සකස් වී තිබෙන්නේ සේවකයින් සියල්ලන්ම කිසියම් හෝ කටයුත්තක යෙදවීම අරමුණු කරගෙන මිස සේවාදායකයාගේ අවශ්‍යතාවය හැකි ඉක්මණින් ඉටු කරදීම අරමුණු කරගෙන නොවේ. මේ චින්තනය තුළ "සේවාදායකයාගේ අවශ්‍යතාවය හැකි ඉක්මණින් ඉටු කරදීම" ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුනා ගන්නේ අදාළ ක්‍රියාවලියේ කිසියම් නිලධාරියෙකු විසින් කළ යුතු කොටස ප්‍රමාද නොකර කර දීමයි. එහෙත්, ඇතැම් විට මේ නිලධාරියා විසින් "ප්‍රමාදයකින් තොරව" කරන කටයුත්තෙන්  සිදු කෙරෙන ප්‍රධාන කාර්යය සේවාදායකයාගේ අවශ්‍යතාවය ඉටු කිරීම ප්‍රමාද කිරීමයි.

ඒ නිසා, නිලධාරිනිය සම්මතය අනුව කාර්යක්ෂම නිලධාරිනියක් වුවද බොහෝ විට ක්‍රියාවලිය අකාර්යක්ෂමය. ඇය සම්මතය අනුව අකාර්යක්ෂම නිලධාරිනියක් වීනම් ක්‍රියාවලිය වඩාත් අකාර්යක්ෂමය.

ඇමරිකාවේ රියැදුරු බලපතක් ඇති අයෙකුද එය වසර කිහිපයකට වරක් අලුත් කළ යුතුය. අලුත් රියැදුරු බලපතක් නිකුත් කිරීමේ කාර්ය පටිපාටියට අවශ්‍ය ලියකියවිලි පරීක්ෂා කිරීම හා ඒවායේ පිටපත් ලබාගෙන ගොනුගත කිරීම, මුදල් අයකර ලදුපතක් නිකුත් කිරීම, ඇස් පරීක්ෂා කිරීම, ඡායාරූපයක් ලබා ගැනීම, රියදුරු බලපත මුද්‍රණය කිරීම ආදී අංග ගණනාවක් අයත් වේ. එහෙත්, මේ සියලු කටයුතු එක් නිලධාරියෙකු විසින් කරනු මිස සේවාදායකයා නිලධාරීන් ගණනාවක් වෙත යැවීමක් ඇමරිකාවේ රථවාහන කාර්යාංශ වලදී සිදුවන්නේ නැත. ලංකාවේදී නිලධාරීන් ගණනාවක් අතින් සිදුවන කටයුතු මෙන්ම, සේවාදායකයා විසින් කරන අයදුම්පත් පිරවීමේ සිට ඇය මුදල් ගෙවා බාහිර පෞද්ගලික තැනකින් ලබාගන්නා ඡායාපිටපත් හා ඡායාරූප ගැනීම වැනි කටයුතු සියල්ලද සිදුවන්නේ මේ නිලධාරිනිය අතිනි.

ඇමරිකාවේ රථවාහන කාර්යාංශයකට යන අයෙකුටද පෝලිමක සිටින්නට සිදුවේ. එසේ අවශ්‍ය නොවන තරමට නිලධාරීන් මහ පිරිසක් ඒ තැන් වල පුරවා නැත. එහෙත්, ඇත්තේ එවැනි එක් පෝලිමක් පමණි.

පෝලිමට එකතු වීම යනු නොම්මර නිකුත් කරන යන්ත්‍රයකින් නොම්මරයක් ගැනීමයි. ඉන්පසු නොම්මරය කැඳවන තුරු බ්ලොග් සටහනක් කියවීම වැනි තමන්ගේ වැඩක් කර ගත හැකිය. තමන්ට ලැබුණු නොම්මරය අනුව කැඳවීම ලැබෙන්නට ගත විය හැකි කාලය ගැන අදහසක් ගත හැකි නිසා අවශ්‍යනම් කෝපි කෝප්පයක් බී නැවත පැමිණෙන්නට වුවද පුළුවන.

රථවාහන කාර්යාංශයෙහි රියැදුරු බලපත් අලුත් කිරීමට අමතරව අලුතින් රියැදුරු බලපත් නිකුත් කිරීම, වාහන ලියාපදිංචි කිරීම , වාහන අයිතිය මාරු කිරීම ආදී කටයුතු ගණනාවක් සිදු වුවත් ඒ එක එක් කාර්යයන් වෙනුවෙන් වෙනම අංශ හෝ නිලධාරීන් නැත. ඒ නිසා, වැඩ අධීක්ෂණය කරන්නට අංශ ප්‍රධානීන් ගණනාවක්ද නැත.

එක් නිලධාරිනියක සිය කාර්යය නිම කළ පසු ඊළඟ නොම්මරය කැඳවේ. ඒ නිලධාරිනිය එවැනි නිලධාරිනියන් ගණනාවක් අතරින් කවර හෝ අයෙකු විය හැකිය. සේවාදායකයා පැමිණ සිටින්නේ කවර කටයුත්තක් සඳහා වුවද ඒ කටයුත්ත මුළුමනින්ම කර දී සේවාදායකයා හැකි ඉක්මණින් පිටත් කර යවන්නට ඈ සැදී පැහැදී සිටී. මුලින්ම යම් කාලයක් පෝලිමේ ගත කරන්නට සිදු වුවත්, නිලධාරිනිය සම්මුඛ වීමෙන් පසුව විනාඩි ගණනකින් පැමිණි කාර්යය අවසන්ය. ඒ කටයුත්ත කරන්නට අවශ්‍ය අධිකාරී බලය හා හැකියාව සියලු නිලධාරිනියන් සතුව තිබේ.

අවශ්‍ය කටයුත්ත කර දෙන්නට කිසියම් බාධාවක් ඇති සංකීර්ණ අවස්ථාද මේ අතර කලාතුරකින් හෝ තිබෙන්නට පුළුවන. එවැනි විටක ඉහළ නිලධාරිනියක මැදිහත් වීම අවශ්‍ය වුවද මුල් නිලධාරිනිය අසුනින් නැගිට ගොස් ඈ හමුවනු මිස සේවාදායකයාව එහි පිටත් කර හැරීමක් සිදුවන්නේ නැත.

ඇමරිකාවේ වෙනත් බොහෝ රජයේ ආයතන වල කටයුතු කෙරෙන්නේද මීට සමාන අයුරකිනි.

මෙවැනි කටයුතු කරන ඇමරිකන් නිලධාරීන් ලංකාවේ රජයේ සේවකයින්ට නැති ලොකු ඉගෙනුමක් හෝ පුහුණුවක් ලබා ඇති අය නොවේ. එවැන්නෙකු විසින් කරන සීමිත කටයුතු සියල්ල සුළු පුහුණුවක් ලැබීමෙන් පසු ලංකාවේ රජයේ සේවකයෙකුට කරන්නට බැරිකමක් නැත.

ඇමරිකාවේදී එක් අයෙක් කරන දෙය කරන්නට ලංකාවේ රජයේ නිලධාරීන් හත් අට දෙනෙකුවත් අවශ්‍යය. එහි ප්‍රතිඵලය සේවාදායකයාට පෝලිම් ගණනාවක රස්තියාදු වන්නට සිදුවීමයි. අන්තිමේදී මේ රජයේ සේවකයින් නිකම් සිටද නැත. ඔවුන් දවස තිස්සේ මහන්සි වී වැඩ කර තිබේ. එහෙත් හත් අට දෙනෙකු මහන්සි වී කර තිබෙන්නේ එක් අයෙකුට කළ හැකි දෙයකි.

එක් සුළු වැඩක වුවද වගකීම තනි පුද්ගලයෙකුට නොපවරා බොහෝ දෙනෙකු අතර පොදුවේ බෙදා හැරීම ලංකාවට ඉංග්‍රීසින්ගෙන් උරුම වූ ක්‍රමවේදයකි. ඇඟලුම් කර්මාන්ත ශාලාවකට මේ ක්‍රමය ගැලපෙන නමුත් රියදුරු බලපතක් අලුත් කිරීම වැනි කටයුත්තකදී මේ ක්‍රමය ඉතා අකාර්යක්ෂමය.

ඉංග්‍රීසින් ලංකාව ඇතුළු රටවල් ආණ්ඩු කරන්නට පටන් ගැනීමෙන් පසුව මෙවැනි ක්‍රමයක් හඳුන්වා දෙන්නට ඔවුන්ට හේතු තිබුණේය. ඉංග්‍රීසි පාලනයන් යටතේ ආණ්ඩු කරන්නට හවුල් වුණේ ඉංග්‍රීසින් පමණක්ම නොවේ. ලංකාවේදී සුද්දන් ලෙස පොදුවේ හැඳින්වුණු ඉංග්‍රීසි ආණ්ඩුවේ සිවිල් හා මිලිටරි නිලධාරීන් අතර වේතනයක් වෙනුවෙන් සේවය කළ ඉංග්‍රීසි නොවන වෙනත් යුරෝපීයයෝ ඕනෑ තරම් සිටියහ. ඉන්දියාව හා ජාවා රට වැනි අසල්වැසි රටවලින් රැගෙන ආ පිරිස්ද බොහෝ වූහ. ඊට අමතරව තෝරගත් ලාංකිකයෝද සිටියහ. මේ අසමජ්ජාතීන් (අසමජාතීය) කණ්ඩායම කළමනාකරණය කර අවශ්‍ය කටයුතු කර ගැනීමේදී  ඉංග්‍රීසින්ගේ ක්‍රමවේදය නරක එකක් වුණේ නැත. ඔවුන්ට දිගු කලක් ආණ්ඩු කරන්නට ලැබුණේ ඔවුන්ගේ ඉලක්ක වලට සාපේක්ෂව අදාළ ක්‍රමවේදය කාර්යක්ෂම වූ බැවිනි.

පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇති පරිදි ඉංග්‍රීසින් විසින් තමන් සංක්‍රමණය වූ සෑම රටකටම සමාන කාර්ය පටිපාටීන් හඳුන්වා දී නැත. කටුක දේශගුණය, බෝවන රෝග හා ඩීල් කිරීම අමාරු ස්වදේශිකයින් හේතුවෙන් වැඩි අභියෝග වලට මුහුණ දුන් තැන් වලදී ඔවුන් හඳුන්වා දී ඇති කාර්ය පටිපාටි එසේ නොවූ ප්‍රශස්ත දේශ වලදී හඳුන්වා දී ඇති කාර්ය පටිපාටීන්ම නොවේ. පළමු කී තැන් වලදී ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන්නේ කෙටි කාලීනව හැකිතාක් ලාබ ලැබීමයි. කවදා හෝ තමන්ට අතහැර දමන්නට සිදුවන බව දැන සිටි එවැනි තැන් වල දේපොළ අයිතිවාසිකම් තහවුරු කරන්නට ඉංග්‍රීසින් විසින් දක්වා තිබෙන්නේ අඩු උනන්දුවකි.

ප්‍රශ්නය වන්නේ ඉංග්‍රීසින් විසින් හඳුන්වා දුන් අකාර්යක්ෂම ක්‍රමවේදයන් පැරණි ඉංග්‍රීසි යටත් විජිත වල තවමත් පවතින්නේ ඇයිද යන්නයි. ඉංග්‍රීසීන් විසින් තමන්ගේම රටේදී පවා මෙවැනි අකාර්යක්ෂම ලෙස පැහැදිලිව හඳුනාගත හැකි ක්‍රමවේද වෙනස් කර තිබියදී ලංකාව, ඉන්දියාව වැනි රටවල් තවමත් එසේමය. ප්‍රශ්නයේ මුල සුද්දා සිටිනවා විය හැකි වුවත්, නිදහසින් අවුරුදු හැත්තෑවකටත් පසුව සුද්දාට බැනීම තේරුමක් නැති දෙයකි. ප්‍රශ්නය තිබෙන්නේ කොහේද?

මගේ බිරිඳගේ සොයුරියගේ රියැදුරු බලපත මෙන්ම මගේ ලංකාවේ රියැදුරු බලපතද කල් ඉකුත් වී ඇත. මෙය අලුත් කර ගැනීම සඳහා ලංකාවේ සිටින සීමිත කාලයෙන් දවසක් නාස්ති කිරීම තේරුමක් නැති දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

වියානා සම්මුතිය අනුව මගේ ඇමරිකන් රියැදුරු බලපත ලංකාවේදීද භාවිතා කළ හැකි වුවත් එහිදී මතු විය හැකි ප්‍රායෝගික ගැටළු මඟ හරවා ගැනීම සඳහා එක්කෝ ලංකාවේ මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් හෝ එසේ නැත්නම් ඔටෝමොබයිල් සංගමයේ ලංකාවේ ශාඛාවෙන් අමතර ලියවිල්ලක් ලබාගත යුතුය. ගෙවිය යුතු ගාස්තුව සමානය. මේ දෙකෙන් මගේ තේරීම වූයේ කුමක්ද යන්න කිව යුතු නැත.

අදාළ කටයුත්ත කරගැනීම සඳහා මම  ඔටෝමොබයිල් සංගමයේ ලංකාවේ ශාඛාවට ගියෙමි.

"සර්, ෆොටෝ එකක් ගෙනාවද?"

"ෆොටෝ එකක්නම් ගෙනාවෙ නෑනේ!"

"කමක් නෑ, සර්! අපි මේ ඩ්‍රයිවින් ලයිෂන් එකේ ෆොටෝ එක ස්කෑන් කරල ෆොටෝ එකක් හදා ගනිමු!"

(පසුගාමී මානසික තත්ත්ව විශ්ලේෂණය කිරීමේ විශේෂඥයෙකු වන ඇනෝගේ පහසුව පිණිස ලංකාවේදී මේ නිලධාරිනිය විසින්ද ඉකොනොමැට්ටාට සර් කියා කතා කළ බව විශේෂයෙන් අවධාරණය කළ යුතුය.)

ඇමරිකාවේ ඔටෝමොබයිල් සංගමයෙන් ලබාගෙන තිබුණු මගේ අන්තර්ජාතික රියදුරු බලපතෙහි වූ ඡායාරූපය ස්කෑන් කර එමඟින් නැවත ඡායාරූපයක් මුද්‍රණය කර අවශ්‍ය ලියවිල්ල මත අලවා සහතික කරන්නට ඇය වැඩි වෙලාවක් නොගත්තාය. මේ වෙනුවෙන් අමතර මුදලක් අය කෙරුණේද නැත. ඔටෝමොබයිල් සංගමයට නොගොස් අනෙක් විකල්පය තෝරා ගත්තේනම් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නට අසීරු නැත.

ප්‍රශ්නය ලංකාවේ හෝ ලංකාවේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් නොවේ. ලංකාවේ රජයේ ප්‍රශ්නයකි. කොහොම වුනත්, ලංකාවේ රජය කියන්නේත් ලංකාවේ මිනිස්සුය. එහෙමනම්, ඔටෝමොබයිල් සංගමයේ තිබෙන කාර්යක්ෂමතාවය රථවාහන කාර්යාංශයේ නැත්තේ ඇයි?

(Image: http://www.dailymirror.lk/105290/Sri-Lanka-Cost-of-Inefficiency-and-ineffectiveness-in-the-Public-Sector-)

18 comments:

  1. අපේ එයාපෝට් එකත් තව හොඳ උදාහරණයක් පෝලිම් අල කරන එකට. ආගමන විගමන නිලධාරීන් වගේම බෑග් චෙක්-ඉන් කරන්න ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කවුන්ටර් වලත්, එක නිළධාරියාට එක පෝලිම ගානේ තියනවා. අපේ පෝලිමේ ඉස්සරහ ඉන්න කෙනෙක් ගේ වැඩකට වැඩියෙන් වෙලාව යනවා නම්, ඒ පෝලිමේ ඉන්න අනිත් හැමෝටම අබ සරණයි.

    මම දැකපු අනිත් හැම ගුවන් තොටුපොලකම ඕනෙම වැඩක් පෝලිමේ ඉඳල කරගන්න තියනවා නම්, තියෙන්නේ එක පෝලිමයි. පෝලිමට එකතුවෙන පිළිවෙලට සේවාව හම්බ වෙනවා. පෝලිමේ ඉස්සරහින්ම ඉන්න කෙනා, ඊළඟට නිදහස් වෙන නිලධාරියා ගාවට යනවා (First In First Out). කාටවත් විශේෂ සැළකිලි නැහැ. ඒ වගේම අඩු සැළකිලිත් නැහැ.

    අපේ රටේ ක්‍රමේට අපිට ඕනේ නම්, අපි තෝරගත්තු නිලධාරියෙක් ඉන්න පෝලිමකට සෙට් වෙන්න පුළුවන්. දන්න කියන නිලධාරියෙක් ගාවට ගිහින් නීතියෙන් පිට වැඩක් කරගන්න පුළුවන් වෙන විදිහට අපේ සිස්ටම් එක හදල තියනවද කියලත් වෙලාවකට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ලංකාව කවදාවත් හදන්න බැරි...ගූ ගොඩක් කියලා සදහටම ලංකාව දාල ගිය එවුන්,
      තමන් ජීවත් වෙන රටේ සුපිරි සමාජයට අනුගතව සුවසේ ජීවත් නොවී, ඒ රටේ ප්‍රශ්නගැන එරට වැසියන් සමග සංවාදයේ නොදෙමින්...(ඒ රටේ පශ්න ගැන, ඒ රටේ මිනිහෙක් සමග FB එකේ සාකච්චා කරනවා මා කිසිමදිනක දැක නැත...එහෙම කරන්න එහේ සමාජයට වැද්ද ගන්න එපැයි...මේකටම රිංගන්නේ ඒකයි ). හදන්න බෑ කියල එයාලම කියන...මේ ගූ ගොඩේ ප්‍රශ්ණ ගැනම මෙහේ ඉන්න බයියන් සමගම පැටලෙමින්....හිත රිදවා ගනිමින්...වදවෙන්නේ ඇයි බං ?

      Delete
    2. මෑත කාලින ලංකාවේ සිදුවූ සියලු අපරාධ වල අග මුල සොයාගෙන, අපරාධකරුවන් අත්තඩංගුවට ගත් ශ්‍රී ලංකා පොලිසියට අපගේ ආචාරය මෙසේ පුද කර සිටිමු.

      Delete
    3. ඔය කියන පෝලිම් ක්‍රමය ලංකාවේ දැන් සමහර බැංකු ශාඛා වල ක්‍රියාත්මකයි. ඒ වගෙම ලංකා බැංකුවේ ශාඛා කිහිපයකම ටෝකන් එකක් ගෙන ඒකෙන් පෝලිම් මඟ අරවන ක්‍රමය ක්‍රියාත්මකයි.

      Delete
  2. ක්‍රමය වෙනස් කරනවාට වඩා වෙනත් රටක පුරවැසි භාවය ලබාගැනීම පහසු බැවින් මා මේදිනවල එම කටයුතුවල නියැලී සිටිමි

    ReplyDelete
  3. ඇත්තටම රජයේ කාර්යාල මට අත්දැකිම් තියන කොළඹ,ගම්පහට,ජාඇල,වත්තලට වඩා රත්නපුර රජයේ කාර්යාලවල සුහදබව සහ කාර්යක්ෂමතාවය වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඔටෝමොබයිල් සංගමයේ ලංකාවේ ශාඛාවට මිතුරෙක් සමග යන්න උනා මටත් දවසක් ඇත්තටම ඔහොම අත්දැකිම් මට නැති නිසාද වත් මන්දා මේතන හරි සෝක්නේ කියල හිතුනා

      Delete
  4. මම මානසික රෝග විශ්ලේෂණය කරන්න වෛද්‍යවරයෙක් නෙමේ. පසුගියදාමා හිතවත් වෛද්‍යවරයෙක් සමග කතා බහක නිරත වෙන්න අවස්ථාව ලැබුනා. ඔහුත් ලිපි ලියනා අයෙක්. ඔහුහේ ලිපියක ලියා තිබුනා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ මානසික තත්වය ගැන. ඒ ගැන කතාකරන්න මා එම වෛද්‍යවරයා සම්බන්ධ කරගත් විට ඔබගේ ලිපි ඇසුරින් ඔහු එම අදහස් පල කරේ.

    ReplyDelete

  5. ලංකාවෙ බොහොමයක් තැන් වල සිස්ටම් එක හදාගෙන තියෙන්නෙ අමතර ලාබයක් ලබා ගන්න පුලුවන් විධිහට.. පාරිබෝගිකයව අපහසුතාවයට පත් කරන්න අවශ්‍ය කරණ නීති ඕන තරම්. වැඩ කරණ උන් පොඩි වරදක් අල්ලන් නීතිය පෙන්වනවා ගානකපා ගන්න. ඕක තමා හුගක් තැන්වල සාමාන්‍ය සිස්ටම් එක..

    ReplyDelete
    Replies
    1. කැලේ මාරු උනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියන්නේ නිකමට නොවේ.

      මේ පසුගිය දිනයක බ්‍රිස්බේන් හි පැවති ශ්‍රී ලාංකේය සංගීත ප්‍රසංගයක් අවසානයේ එහි තිබූ "මහත්වරුන්ගේ" වැසිකිළියේ ඇතුළත තත්ත්වයයි. LInk මෙය ප්‍රසිද්ධියේ බෙදා ගැනීමට සිතුනේ ආගමික උත්සවයක අවසානයේ සහ විශ්වවිද්‍යාලයීය උත්සවයක අවසානයේ එම පරිශ්‍ර අපිරිසිදු කොට ඇති ආකාරය පෙන්වා දුන්විට තමන්ගේ වැරැද්ද පිළිනොගෙන, කල්ලි වලට බෙදී අනෙකාගේ වැරදි වලට ඇඟිලි දිගු කිරීමද අසංවර්ධිත දකුණු ආසියානු මානසිකත්වයේ ලක්ෂණයක් බව පෙනී යන නිසාය.

      Delete
  6. අනාත, නුගත් සිංහල කුකුල් පැටව් වන අපට ඔබතුමාගේ ඇමරිකානු රටේ ජීවිතය ගැන කියනා පුවත් සුරංගනා ලොවක් මෙනි. ඇමරිකානු උත්තමයෝ හඳේත් ඇවිදලා තියෙනවා නොවැ. එවැනි උත්තමයන් වෙසෙනා රටක වාසය කරනා ඔබතුමා ලොකු වාසනාවන්තයෙක්. ඔබතුමාට බුදුබව අත්වෙන්න ඕනි ඇමරිකාවේ මුල් පුරවැසියන් වගේ හොදට ඉන්න පුළුවන් කම තියෙද්දිත් අපි වගේ නුගත්, මෝඩ, අකාර්යක්ෂම සිංහලු ගැන අනුකම්පාවෙන් සැරින් සැරේ අපේ රටට ඇවිල්ලා අපිව බලලා අපේ වැරදි පෙන්නලා දෙන ඒකට.

    ReplyDelete
  7. කකුල් දෙක මැදින් රිංගල හෝ පෝලිමේ ඉස්සරහට පනින්න හදන මිනිස්සු ඉන්න රටක කවුන්ටර් සියල්ල ට පොදු එක පෝලිමක් පවත්වාගන්න බෑ, පෝලිම නියාමනය කරන්න කෙනෙක් දැම්මත් ඔහු එහාමෙහා වෙන පමාවෙන් කවුන්ටර් ඉස්සරහට පැනල හිටගන්නවා,

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කොහෙද ඔය රට? සෝමාලියාවද? ලංකාවේ මිනිස්සුනම් සාමාන්‍යයෙන් කියු ඩිසිප්ලින් රකිනවා පෝලිම් වලදි, හැබැයි කියු එකේ නොඉඳ අඳුනන එවුන් හරහා හොරපාරවල් හෙවීම, රජයේ බැංකු වගේ ඒවයෙ අටපාස් ආමිකාරයෝ "රණවිරු" ලේබල් එක අවභාවිතා කරන්ට උත්සාහ කිරීම් තාමත් නැවතිලාම නැහැ, හැබැයි දැන් සෑහෙන අඩුයි. දැන් ලංකාවෙ ගොඩක් ආයතනවල තියෙන Automated Que Management Systems (Audio Visual) නිසා නම් efficiency වැඩිවෙලා.

      Delete
  8. ඉකොනොමැට්ටාගේ අභිමතය, ඇමරිකානු රටේ ජීවිතය ගැන කියන එකේ ඇත්ත නැත්ත මම දන්නෙ නැහැ. හැබැයි එක දෙයක් නම් පෙනුනා,වෙනත් රටක වාසය කරන අපේ සිංහල එවුන්ට අපේ මේ රට ගැන තිබෙන ආකල්පය.

    මේ විදිහට හිතද්දි ඉතින් කොහොමද බන් අපිට අඩුමතරමේ චින්තාමය සංවර්ධනයක්වත් ලැබෙන්නෙ. ලොකේ වෙන රටවල් හැදුනත් අපේ මිනිස්සුන්ගේ මානසික මට්ටම හදන්න හරිම අමාරුයි. අපෙ මිනිස්සුන්ගෙ දැක්ක එක දෙයක් තමයි (බොහෝ දෙනෙක්) හැම දෙයක්ම කවුරු හරි අතට කරල දෙනකම් බලන් ඉන්නවා, නැත්නම් වෙනත් රටක දෙයක් දිහා බලලා අපේ රට විවේචනය කරනවා. වෙනසක් කරන්න තමන් උත්සාහ ගන්නෙ නැහැ.

    එවන් ආධ්‍යාත්මික වෙනසක් පටන ගන්න ඕනෙ වෙන කොහෙන්වත් නොවේ, තම තමන්ගේ ගෙදරින්. එය වෙනතාක් කල් මේ රට සංවර්ධනය කරන්න බැහැ.

    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. මොකද මාත් කැමතියි මගේ රට දිනෙක ලෝකයේ තිබෙන සුපිරිම රටක් වෙනවාට.

    මානව සංවර්ධන දර්ශකයට අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අනෙකුත් රටවල් වලට වඩා ඉදිරියෙන් සිටී. එනම් ජීවන මට්ටම අතින් සැලකූ කළ අපි ඉන්දියාව ඇතුළු අනෙකුත් දකුණු අාසියානු අාසියානු රටවල් වලට වඩා ඉදිරියෙන් සිටින බව සත්‍යයකි.

    එහෙත් ඉන්දියාව යනු මානව සංවර්ධන දර්ශකය ඇතුළු ගොඩක් දර්ශක වල පහළින් සිටින රටක් වුවත් සමස්ථ ආර්ථිකය අතින් බැලූ කළ ඉන්දියාව අපට වඩා ඉතා විශාල ආර්ථිකයකට හිමිකම් කියන ආර්ථික අතින් ඉතා බලවත් රටකි. එම නිසා රටවල් දෙකේ ආර්ථික මට්ටම් අනුව සළකා බැලූ කළ ඉන්දියාව අපිට වඩා ඉතාම ඉදිරියෙන් සිටන රටක් වී තිබුනා.

    මේ පේජ් එකෙන් හොඳ දෙයක් සමාජයට දෙන්න උත්සාහ කරන බවක් මට පේනවා. සුභ පතනවා ඇඩ්මින් ඉකොනොමැට්ටා ඔබට.

    ReplyDelete
  9. "එහෙම තමයි ඉතින්...."

    https://m.facebook.com/story.php?story_fbid=1951469661579949&id=119154468144820

    ඔන්න ඉකොනොමැට්ටා මාමේ අමෙරිකාවෙන් ආචාර්ය උපාදියක් තියන MIT කෙනාගේ උත්තරේ.
    අපේ O/L පාස් නැති 96 දෙනා මිට වඩා බුද්දීමත්නේ, ඔවුන්ට අහන ප්‍රශ්න වත් වටහෙනවනේ... ����

    ReplyDelete
  10. RMV , Passport Office විතරි නෙමෛ ලංකාවේ GOV. ආයතන other 99% වල
    රාජකාරි වෙලාවේ සොලිටෙයාර් ක්‍රීඩා කරන හෝ පත්තර බලන, දවල් වී වැඩට පැමිණ කලින්ම පනින, කෑම පැය දෙපැයක් කරගන්නා රජයේ සේවකයින් තමා ගොඩක් ඉන්නනෙ...

    ReplyDelete
  11. ඉකොනො,

    මේ තියෙන්නේ ලංකාවට ක්‍රිකට් ගහන්න එන ඩේල් ඉස්ටයින් කියන පර සුද්දා උන්ගේ බාසාවෙන් ලෝකෙටම පේන්න දාල තියෙන හරුපෙ;

    https://twitter.com/DaleSteyn62/status/1016202368059232256

    //Super impressed with Colombo. Streets are clean, roads are good, parks are well looked after. Massive difference to when I first toured here in 2006. Great to see//

    දකුණු අප්‍රිකාවෙන් ඇවිත් ඉන්න ඌ එහෙම කියද්දි මෙන්න ලංකාවෙ ඉන්න එකෙක් කමෙන්ට් කරන හැටි;

    Ashker Enoon @AshkerE 3h3 hours ago

    Replying to @DaleSteyn62

    Colombo was more cleaner under previous regime, 3 years back! The current regime doesn’t even want to maintain the good work which was done then, since they took over!
    All credit should go to @PresRajapaksa !

    ඉතින් හැබෑට ඒකෙත් හැටි?

    ReplyDelete
    Replies
    1. හයියෝ ශල්ලි!!

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: