වෙබ් ලිපිනය:

Sunday, July 22, 2018

හොරකම් කර සමාගම් වල ලාබ අඩු කළ හැකිද?


පහතින් තිබෙන්නේ පෙර ලිපියකට අපේ පාඨකයෙකු විසින් දැමූ ප්‍රතිචාරයකින් කොටසක්.

"වුලීස් හා කෝල්ස් පමණක් නොවේ, අයි ජී ඒ , අල්ඩි ඇතුළු හැම සුපර්මාර්කට් කාරයෙක්ම 200% - 500% අතර (හෝ ඊටත් වැඩි ) මාර්ක්අප් එකක් ඇතුව බඩු විකුනනවා. ඒ මදිවට ඒ සඳහා සේවය සලසා ගැනීමත් කස්ටමර්ටම බාර දුන්නාම, කස්ටමර් තමන්ටම සේවය සලසා ගන්නවා මිසක් වුලීස් ලාට වත් වෙස්ට්ෆාමර්ස් ලාටවත් සේවය සලසා දෙන්නේ #කේ අමාරුවටද ? මේ සෙල්ෆ් සර්ව් කවුන්ටර් වලට පාර්භෝගිකයන් විරුද්ධ කොපමණද?, ඒ හා සමානව සුපර් මාර්කට් සේවක/සේවිකාවනුත් විරුද්ධයි. එක අතකින් ඔවුන්ට තම රැකියාව අහිමි වන අතර අනිත් අතින් ඔවුනට පෙනී පෙනීම කිලෝ එක $20 වන කජු අරගෙන කිලෝ එක $1.50 ට විකිනෙන ක්‍රැකර් වල කෝඩ් එක ගහලා අරගෙන යනවා. කවුන්ටර් ස්ටාෆ් එකේ පඩිය ඉතුරු වෙන නිසා කස්ටමර්ස්ලා බඩු හොරෙන් ගෙනිච්චාට කඩේ ලාබය වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මේක විශාල අර්බුදයක් කියලා ඔබ කිව්වාට ඒ අර්බුදය ඇති කලේ සුපර්මාර්කට් කාරයෝ මිසක් ගනුදෙනුකරුවෝ නොවන බව නොකීම ලොකු අඩුවක්"

ඔහු මෙහි සටහන් කර ඇති දේ නිවැරදි නොවන බව නොකියා අර්ධ සත්‍යයක් බව කීම වඩා සුදුසුයි. ඔහු මෙහි සටහන් කරන පාරිභෝගික හා සේවක ආකල්ප හා හැසිරීම් පිළිබඳ තොරතුරු නිවැරදියි කියා මා සිතනවා. වූල්වර්ත්ස්හි සියලුම පාරිභෝගිකයින් හා සේවකයින් මේ අයුරින්ම සිතන බවක් මා නොසිතන නමුත් එසේ සිතන හා හැසිරෙන විශාල පිරිසක් සිටින බව පැහැදිලියි. ඔවුන්ගෙන් අති මහත් බහුතරය ලංකාවෙන් එහි ගිය අය හෝ වෙනත් රටවලින් එහි ගිය සංක්‍රමණිකයින්ම නොවන බව මගේ අදහසයි.

ඉහත කී පරිදි හිතන හා හැසිරෙන බොහෝ දෙනෙකුට අනුව සුපිරි වෙළඳසැල් වල ලාභ පිලිබඳව ප්‍රතිචාරයේ සඳහන් අදහස් නිවැරදි වුවත්, ඇත්තටම එය එසේ නැහැ.

පළමුව, සුපිරි වෙළඳසැල් වල විකුණන ඇතැම් භාණ්ඩ වලින් 200-500%ක පමණ මාර්ක්අප් එකක් තබා ගන්නවා වුවත්, මෙවැනි සුපිරි වෙළඳසැලක ඉතා අඩු මාර්ක්අප් එකක් තබාගෙන විකුණන බඩු වගේම ගත් මිලට වඩා අඩුවෙන් විකුණන බඩුත් තිබෙනවා. ඇතැම් බඩු කල් ඉකුත් වීම වැනි විවිධ හේතු නිසා කොහොමටවත් විකුණන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමස්තයක් ලෙස ගත් විට මෙවැනි සුපිරි වෙළඳසැලක විකුණන සියලුම බඩු වෙනුවෙන් තබා ගන්නා සාමාන්‍ය මාර්ක්අප් එක මෙහි සඳහන් ප්‍රතිශතයට වඩා ගොඩක් අඩුයි. මේ හා අදාළ නිශ්චිත සංඛ්‍යාලේඛණ ඉදිරි ලිපියක් සමඟ පළවනු ඇති.

දෙවනුව, පාරිභෝගිකයින් විසින් තමන්ටම සේවය සලසා ගැනීමේ වාසිය මුළුමනින්ම ලැබෙන්නේ අදාල සමාගමට කියන එක නිවැරදි නැහැ. ඔවුන් එසේ නොකළේනම්, අදාළ සමාගමට සේවකයින් වෙනුවෙන් වේතන සේ වැඩි මිලක් ගෙවන්න සිදුවන බව හා එම සේවකයින් ඉවත් කිරීමෙන් කිසියම් මුදලක් ඉතිරි වන බව ඇත්තක් වුවත් එසේ කිරීමේ වාසිය තනිකරම ගන්නේ සමාගම් විසින් නොවෙයි. වාසියෙන් සැලකිය යුතු කොටසක් පාරිභෝගිකයින්ටත් ලැබෙනවා.

සුපිරි වෙළඳසැල් අතර කිසියම් හෝ මට්ටමක තරඟයක් තිබෙන නිසා ඔවුන්ට තමන්ට අවශ්‍ය ඕනෑම තරමක මාර්ක්අප් එකක් තබාගෙන බඩු විකිණීමේ හැකියාවක් නැහැ. එක් සුපිරි වෙළඳසැල් සමූහයකට කිසියම් රටක ඒකාධිකාරයක් තිබෙන්නේ වුවත්  එසේ කළ නොහැකියි.

එය එසේ වන්නේ මිල යම් සීමාවක් ඉක්මවූ පසු ඕනෑම පාරිභෝගිකයෙකු භාණ්ඩයක් මිල දී නොගෙන ඉන්න නිසයි. ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ හා අදාළව මේ කරුණ පැහැදිලිව පෙනෙන්නේ නැතත්, මිල වැඩි වන තරමට විකිණෙන භාණ්ඩ ප්‍රමාණය අඩු වන බව පැහැදිලි කරුණක්. මේ මඟින් සාමාන්‍ය වශයෙන් සුපිරි වෙළඳසැලකට තබා ගත හැකි උපරිම මාර්ක්-අප් එක තීරණය වෙනවා.

සුපිරි වෙළඳසැලක් ඔවුන්ගේ සේවක වියදම් මෙන්ම ප්‍රාග්ධන ආයෝජන වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රතිලාභ ආවරණය කරගත යුත්තේත් භාණ්ඩ විකිණීමේදී තබා ගන්නා මාර්ක්-අප් එකෙනුයි. ඒ සියලු වියදම් ආවරණය නොවන්නේනම් සුපිරි වෙළඳසැලකට දිගුකාලීනව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ රැඳී සිටිය නොහැකියි. මේ මඟින් සාමාන්‍ය වශයෙන් සුපිරි වෙළඳසැලකට තබා ගත හැකි අවම මාර්ක්-අප් එක තීරණය වෙනවා.

අවම වැටුප් ඉහළ යාම, සේවකයින්ගේ සාමූහික හෙට්ටු කිරීම් හෝ බාහිර වෙළඳපොල තත්ත්වයන් හේතුවෙන් සේවක වියදම් ඉහළ ගිය විට සුපිරි වෙළඳසැලක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන අවම ලාභය දිගටම පවත්වා ගන්නනම් මාර්ක්-අප් එක වැඩි කරන්න සිදු වෙනවා. එවිට මිල ඉහළ ගොස් පාරිභෝගික ඉල්ලුමත් අඩු වෙනවා. වෙළඳපොළ තරඟය වැඩි වන තරමට මාර්ක්-අප් එක වැඩි කිරීම වඩා අසීරුයි. මේ ප්‍රශ්නයට කලින්ම මුහුණ දෙන්න වෙන්නේ සේවක වැටුප් වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කරන සුපිරි වෙළඳසැලකටයි.

ස්වයංකරණය හඳුන්වා දීමෙන් සුපිරි වෙළඳසැලකට මාර්ක්-අප් එක හා මිල ඉහළ නොදමා එලෙසම පවත්වා ගන්න ඉඩක් ලැබෙනවා. එයින් පාරිභෝගිකයින්ට සිදුවන්නේ ලාබයක්.

කෙසේ වුවත්, මෙහිදී කිසියම් සේවක පිරිසකට රැකියා අහිමි වෙනවා.  ඒ නිසා, ඉතිරිවන සේවකයින් පිරිසෙන් ඇතැම් අය අධෛර්යමත් වී හොරකම් සිදුවනු දකිද්දීත් නොදැක්කා මෙන් සිටීම විය හැකි දෙයක්.

ඒ වගේම, පාරිභෝගිකයින්ට භාණ්ඩ තමන් විසින්ම මිලදී ගන්නට සිදුවීමේ අපහසුතාවයට මුහුණ දෙන්නත් සිදුවෙනවා. එය වැඩි මිලක් නොගෙවා සිටීමේ වාසිය වෙනුවෙන් ඔවුන්ට කැප කරන්නට සිදුවන දෙයක්. ඇතැම් පාරිභෝගිකයින්ට මෙසේ සිදුවන අපහසුතාවයේ අවාසිය ලැබෙන වාසියට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම, ඇතැම් පාරිභෝගිකයින් මේ අලුත් වෙනසට විරෝධය දැක්වීමක් සේ භාණ්ඩ හොරකම් හෝ වංචා කිරීමට පෙළඹෙන්නත් පුලුවන්.

පාරිභෝගිකයින් විසින් වැඩි වැඩියෙන් භාණ්ඩ හොරකම් කිරීමත්, සේවකයින් එයට උඩගෙඩි දීමත් නිසා සිදුවන්නේ සමස්තයක් ලෙස ගණනය කළ විට සුපිරි වෙළඳසැලක මාර්ක්අප් එක අඩු වීමයි. එවිට ස්වයංකරණය හඳුන්වාදීමෙන් අපේක්ෂා කළ අරමුණ ඉටු නොවෙන්න පුළුවන්.

සමාගමක් මේ තත්ත්වයට කෙසේ මුහුණ දෙනු ඇත්ද යන්න කරුණු ගණනාවක් මත තීරණය වන දෙයක්. ඒ නිසා, සමාගමේ අවසාන උපාය මාර්ගික ප්‍රතිචාරය ලෙස නැවතත් සේවකයින් යෙදවීම සිදු විය හැකි වුවත්, එහිදී සමාගමේ පිරිවැය ඉහළ යන නිසා සමාගම විසින් අවශ්‍ය මාර්ක්-අප් එක පවත්වා ගැනීම තුළ මිල ඉහළ යා හැකියි. එහි අවාසිය පරිභෝගිකයින්ටමයි.

සමාගමක් විසින් ගන්නට ඉඩ තිබෙන අනෙකුත් විකල්පය වන්නේ හොරකම් වැළැක්වීම වෙනුවෙන් ආයෝජනය කිරීමයි. මේ වෙනුවෙන් අමතර සේවකයින් හෝ තාක්ෂනය යොදා ගන්න ඉඩ තිබෙනවා. ඒ දෙකෙන් කොයි එක කළත් අවසාන වශයෙන් සමාගම ඔවුන්ගේ මාර්ක්-අප් එක පවත්වා ගත යුතුයි. ඒ නිසා, එසේ කළත්, මිල ඉහළ යාම හරහා හොරකම් වල අවාසිය වැඩි වශයෙන්ම දරන්නට වෙන්නේ පාරිභෝගිකයින්ටමයි.

මේ පැහැදිලි කිරීම් සියල්ල කළත්, ඇතැම් පාරිභෝගිකයින්ට තිබෙන බව පෙනෙන මූලික සැක සංකාවක් මා මෙහි දුරලා නැහැ. ඒ වූල්වර්ත්ස් වැනි සුපිරි වෙළඳසැල් ඇත්තටම අධික ලාභ නොලබන්නේද කියන කරුණයි. ඒ ගැන කතා කිරීම අපි ඊළඟ ලිපියකට ඉතිරි කරමු.

(Image: https://thehighlife.com.au/woolworths-joins-qantas-mall/)

6 comments:

  1. පුළුල්, පැහැදිලි කිරීමක්. ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට අවශ්‍ය (work force) එක ඇත. එහෙත් ආකල්ප වර්ධනයක් අවශ්‍යයි.

    (දැනට තිබෙන තත්වය අනුව, ලාංකිකයෙකු වෙනත් රටවලට ගියත් තවත් ලාංකික කෙනෙකුට එම රටට සංක්‍රමණය කිරීමට නොහැකි කරනු ලබයි.)

    දේශපාලන කුහක කම් නිසා රටට වැඩදායි ඇවන්ට් ගාඩ් ආයතනය නවතා දැමීම ආර්ථික ඝාතනයක් ලෙස මා දකිමි. එම ආයතනය නිසා බිහි වූ රැකියා අවස්ථා ඉතා විශාලය. නිකන්ම ගෑනු සෞදි යවා කීයක් හරි හොයාගන්නවා වෙනුවට, ක්‍රමයෙන් එම තත්වය මග හරවා ගැනීමට තිබූ හොඳ අවස්ථාවක් රජය විසින් මග හැරගෙන ඇත. රජයේ ඉහල පෙලේ අයගේ ඇති නොතේරුම් කමත් දේශපාලන Agenda වලට වැඩ කිරීමත් මෙයට හේතු වී තිබේ.

    2005 - 2015 රාජපක්‍ෂගේ කාලෙදී "කොහොමහරි දියුනු වුන" සිංහල බෞද්ධ ව්‍යාපාරිකයො පිරිසක් බිහිවුනා. මේ ආණ්ඩුවේ ඉන්න ආර්ථික ඔස්තාද්ලා කලේ එයාලගෙන් පලි ගන්න එන.

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා ශ්‍රී ලංකා අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අලුත් වෙනසක් පිළිබඳ ආරංචියක් අනුව මේ කොමිසම සඳහා විශේෂඥ විමර්ශකයන් දෙසීය දෙනකු බඳවාගැනීමට තීන්දු කර තිබේ. මේ විමර්ශකයන් වෘත්තිකයන් වන බව ද එම ආරංචියෙහි සඳහන් ය. ඒ අනුව විශේෂඥ ගණකාධිකාරීවරුන්, බැඳුම්කර විශේෂඥයන්, ගිණුම් කටයුතු පිළිබඳ විශේෂඥයන් හා ඉංජිනේරුවන් ඉහත සඳහන් දෙසීයට ඇතුළත් වනු ඇත. මෙය දූෂණ වැළැක්වීමේ ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් ලෙස සඳහන් කළ හැකි ය. එලෙස ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හැරවුම් ලක්ෂයක් ලෙස ද එය සැලැකිය හැකි ය.

    නඩු පමාවන්නේ ඇයිදැ'යි සමහරු විමසති. විමර්ශන පමාවන්නේ ඇයිදැ'යි තව සමහරු විමසති. හොරුන්ට දඬුවම් නො ලැබෙන්නේ මන්දැ'යි සමස්ත ජනතාව ම විමසති. මේවාට හේතු තිබේ. ඇතැම් දූෂණ සිදු වී ඇත්තේ නූතන තාක්ෂණය භාවිත කරමින් ය. තව දූෂණ සිදු වී ඇත්තේ සූක්ෂ්ම ලෙස ගණන් හිලව් වෙනස් කරමින් ය. තවත් දූෂණ සිදු වී ඇත්තේ කිසිවකුටත් අල්ලාගත නො හැකි ලෙස ලේඛන සකස් කිරීමෙන් ය. මේවා අල්ලා ගැනීමට නම්; එකිනෙක ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ ඥානයක් ඇති වෘත්තිකයන් සිටිය යුතු ය. මීට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හා ඊට අදාළ තවත් ආයතන ක්‍රියාත්මක වූයේ කඩාපනින හමුදාවක් ලෙස පමණි. එහි එකනෙක විෂය ක්ෂේත්‍රවලට අදාළ විශේෂඥයන් සිටියේ නැත.

    අපේ රට තුළ සිදුවන දූෂණ - වංචා හා අක්‍රමිකතා සෙවීමට නම් පරීක්ෂණ හා විමර්ශන ආයතන බෙහෙවින් ශක්තිමත් විය යුතු ය. එලෙස ම ඒවායෙහි විධිමත්භාවයක් ද තිබිය යුතුය. නූතන තාක්ෂණය භාවිතයට ද‍ මේ ආයතන යා යුතු ය. රටේ සිදු වී ඇති දූෂණ දෙස බලන විට පෙනී යන්නේ ඉහළ සිට රාජ්‍ය සේවයේ අන්තිම පහළ නිලධාරියා දක්වා ද එය ව්‍යාප්ත වී ඇති බව ය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට චීන සමාගමකින් කප්පමක් ගැනීම පිළිබඳ චෝදනාවක් තිබේ. මේ චෝදනාව බලවත් ය. එය පරීක්ෂා කිරීමට නම් ලෝක සමාගම් පිළිබඳ අවබෝධයක් ඇති වෘත්තිකයන් පිරිසක් ද විමර්ශනවලට සහභාගි විය යුතු ය.

    බැඳුම්කරය ගැන බලවත් සංවාදයක් රට තුළ පැවැතිණි. එහෙත් බැඳුම්කර යනු කුමක්දැ'යි මේ විමර්ශකයන් කිසිවෙක් නො දනිති. විශේෂයෙන් රටේ ජනගහනයෙන් අති බහුතරය බැඳුම්කරයක් යනු කුමක්දැ'යි නො දනිති. එබඳු පරිසරයක් තුළ බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශන විධිමත් කරන්නේ කෙසේ ද? අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පමණක් නො ව අධිකරණයේ විනිසුරුවන් පවා බැඳුම්කර ගැන හොඳ අවබෝධයක් ඇති අය යැයි සැලැකිය නො හැකිය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව බැඳුම්කර විශේෂඥයන් සිය ආයතනයට බඳවාගන්නට යන්නේ එබඳු වටපිටාවක් තුළ ය. ඒ ගැන සතුටුවිය හැකි ය.

    සාමාන්‍ය පිළිවෙතට අනුව බලයට පත්වන ඕනෑ ම රජයක් නැතහොත් ආණ්ඩුවක් ගිය රජයේ නැතහොත් ගිය ආණ්ඩුවේ දූෂණ හා වංචා ගැන විවේචනය කරයි. එය ‍දේශපාලන වාසි සඳහා යොදා ගනී. එහෙත් විවේචනයෙන් හා ලාභ - ප්‍රයෝජන ලබාගැනීමෙන් ඉක්ම ගොස් විමර්ශන ආයතන ශක්තිමත් කිරීමට හෝ අධිකරණය සක්‍රීය කිරීමට හෝ නායකයන් උත්සාහ දරන බවක් පෙනී ගොස් නැත. දේශපාලන ඉතිහාසය විමර්ශනය කරන විට එය පැහැදිලි වේ.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේවල් ඇත්ත. විශේෂයෙන්ම අවසාන කොටස. උදාහරණයක් ලෙස අහම්බෙන් වගේ දුටු වීඩියෝවක ඇති සජිත්ගේ මෑතකාලීන පාර්ලිමේන්තු කතාවක විමල් වීරවංශගේ පසුකාලීන ක්‍රියාකරකම් කරුණු සහිතව දැඩි සේ විවේචනය කෙරෙනවා. නමුත්, මෙසේ විවේචනය කිරීමෙන් පමණක් අවසාන වශයෙන් ලැබෙන ප්‍රතිඵලයක් නැහැ. පැහැදිලි සාධක ඇත්නම් කළ යුත්තේ නාස්ති කළ හෝ වංචා කළ මහජන මුදල් නැවත අයකර ගැනීමට කටයුතු කිරීමයි. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් නැත්නම් සම්පත් සපුරා ගැනීමට කටයුතු කළ යුතුයි.

      Delete
    2. /* ඔබ කියන දේවල් ඇත්ත. විශේෂයෙන්ම අවසාන කොටස. */

      මේක මෑත කාලීන දිනමිණ කතුවැකියක් නේ!!!

      Delete
    3. ඒකත් එහෙනම් කොපි පේස්ට් එකක්!

      Delete
  3. ඉකොනො ලොව ප්‍රකට සුපිරි වීරයකු වන Avengers චිත්‍රපට මාලාවේ පැමිණෙන Iron Man ගේ මුල්ම ඇඳුම් කට්ටලය යම් කිසිවෙකු විසින් සොරකම් කර ඇති බවක් වාර්තා වේ.

    2008 වසරේ මුල් වරට තිරගත වූ Iron Man මංගල චිත්‍රපටයේ Iron Man ගේ චරිතය නිරූපනය කරන Robert Downey Jr. හැඳි Iron Man ගේ මුල්ම ඇඳුම් කට්ටලය මෙසේ නැතිවී ඇති බව ලොස් ඇන්ජලීස් පොලීසිය පවසයි.

    මෙම ඇඳුම් කට්ටල ගබඩා කර ඇති ස්ථානයෙන් එය යම් කිසිවෙකු සූක්ෂම ලෙස සොරා ගන්නට ඇති බව පොලීසිය මේ වන විට සැක පළ කරයි.

    Someone has stolen Iron Man's suit
    Actor Robert Downey Jr holds an 'Iron Man' mannequin in Sydney in 2008.

    ලොස් ඇන්ජලීස් නුවර පිහිටි මෙම ගබඩාවෙන් Iron Man ගේ මෙම ඇඳුම් කට්ටලය පසුගිය පෙබරවාරි සහ අප්‍රේල් 25 දින අතර නැතිවන්නට ඇති බව ලොස් ඇන්ජලීස් පොලීසියේ නිලධාරී Christopher No, AFP පුවත් සේවයට පැවසීය.

    මෙම ඇඳුම් කට්ටලය ඇමෙරිකානු ඩොලර් 325,000 ක් පමණ වටින බව New York Post පුවත්පත වාර්තා කර තිබුණි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: