වෙබ් ලිපිනය:

Friday, December 28, 2018

බටහිර සංවර්ධනය හා තෙල්

තෙල් කියා කියන්නේ කාලයක සිටම බටහිර සංවර්ධනයට තිරිංග හෙළන, බටහිර රටවල දේශපාලන ආධිපත්‍යයට අභියෝග කරන ප්‍රබල අවියක්. ඇමරිකාව ඇතුළේ සැලකිය යුතු තෙල් නිෂ්පාදනයක් සිදුවුවත්, ඇමරිකාවේ තෙල් පරිභෝජනය ඊට වඩා ගොඩක් වැඩියි. ඒ නිසා, ඇමරිකාව සියවස් තුන්කාලක සිටම තෙල් ආනයනකරුවෙක්. ඉතා මෑතක් වන තුරුම, ලෝකයේ ලොකුම තෙල් ආනයනකරු වුනෙත් ඇමරිකාවයි.

ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල් ශුද්ධ තෙල් ආනයනකරුවන් වීමේ වාසිය තෙල් නිපදවන රටවල් විසින් දිගින් දිගටම ලබාගත්තා. නිපැයුම සීමා කිරීම මගින් නිපැයුම් වියදම ඩොලර් දහයකටත් අඩු තෙල් බැරලයක් ඊට වඩා ගොඩක් වැඩි මිල ගණන් යටතේ විකුණන්න සවුදි අරාබිය වැනි රටවල් සමත් වුණා. ඒ විදිහට ඉපැයූ මුදල් අත දිගහැර වියදම් කරමින් අරාබි රටවල් හා ඇතැම් සමාජවාදී රටවල් විසින් සුබසාධන රාජ්‍යයන් නඩත්තු කළා. තෙල් සල්ලි වල උදවුවෙන් රජය විසින් රටේ මිනිස්සුන්ට බොහෝ දේ නොමිලේ දුන් නිසා මේ වගේ රටවල ඒකාධිපති පාලන ක්‍රම අභියෝගයට ලක් වුණේ නැහැ.

මෙහි නොමිලේ කියන එකෙන් අදහස් කළේ ඇත්තටම නොමිලේ කියන එකයි. ලංකාවේ වගේ අදාළ වියදම් බදු ආදිය හරහා අනික් පැත්තට මේ සුබසාධන පහසුකම් භුක්ති විඳපු මිනිස්සුන්ගෙන්ම අය කර ගත්තේ නැහැ. වක්‍ර විදිහට ඒ මුදල් අය කර ගත්තේ තෙල් ආනයනය කරන රටවල පාරිභෝගිකයින්ගෙන්. ඒ රටවල් අතර ඇමරිකාව වගේ බටහිර රටවල් වගේම ලංකාව වගේ අඩු ආදායම් මට්ටම් වල සිටි රටවලුත් තිබුණා.

තෙල් නිපදවූ බොහෝ රටවල තෙල් කර්මාන්තය තිබුණේ රජයේ පාලනය යටතේ. එය අදටත් එහෙමමයි. තරඟයක් නොතිබුණු නිසා කර්මාන්තයට කාර්යක්ෂම වෙන්න බල කෙරුණේ නැහැ. තෙල් බැරලයක් නිපදවීමේ ආන්තික පිරිවැය ගොඩක් අඩුවුණත්, මේ ගොඩක් රටවල් තෙල් බැරලයක් ඊට වඩා ගොඩක් වැඩි මිලකට විකුණා ලබන ලාබ වියදම් කරන්න ක්‍රම හදලයි තිබුණේ. ඒ නිසා, ආන්තික පිරිවැය අඩුවූ පමණින් අඩු මිලට තෙල් විකුණන්න මේ රටවල් වලට පුළුවන් කමක් තිබුණේ නැහැ. දැනටත් නැහැ.

තෙල් කර්මාන්තයේ ආන්තික පිරිවැය තීරණය වෙන්නේ නිෂ්පාදකයාගේ කාර්යක්ෂමතාවය මතම නෙමෙයි. එය බොහෝ දුරට තීරණය වෙන්නේ තෙල් නිධියේ ස්වභාවය අනුව. මැද පෙරදිග තෙල් වල ආන්තික පිරිවැය ගොඩක් අඩු ඒ තෙල් උඩට ගන්න එක පහසු නිසයි. ඒ තරම් පහසුවෙන් උඩට ගත හැකිව තිබුණු ඇමරිකන් තෙල් කලින්ම ඉවර වෙලයි තිබුණේ.

කොයි තරම් කාර්යක්ෂම නිෂ්පාදකයෙක්ට වුනත් ඇමරිකාවේ තෙල් නිධියකින් මැද පෙරදිගදී තරම් ලාබෙට තෙල් ගොඩගන්න බැහැ. ඒ නිසා, මැද පෙරදිග ඇතුළු තෙල් නිපදවන රටවල් ඇමරිකාවට ලොකු ලාබයක් තියාගෙන තෙල් විකුණුවත් ඒ ලොකු ගණන් පවා ඇමරිකාවෙන් තෙල් හොයන්න යන වියදමට වඩා ලාබ වූ නිසා ඇමරිකාවේ තෙල් කර්මාන්තය ලොකුවට දියුණු වුණේ නැහැ.

කොයි දේක වුනත් සීමාවක් තියෙනවනේ. 2008 මැද වෙද්දී පැවතුණු අධික තෙල් මිල ඇමරිකාවේ තිබුණු තෙල් සමතුලිතතාවය වෙනස් කළා. හයිඩ්‍රෝලික් විභේදන තාක්ෂණය දියුණු වී ශල්ක තෙල් එළියට එන්න පටන්ගත්තා. ඇමරිකානු තෙල් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ ගියා. ලෝකයේ අනෙක් තෙල් නිපදවන්නන් එක්ක එකතුවෙලා කාටල් හදන්න ඇමරිකානු නීතියෙන් ඇමරිකානු සමාගම් වලට ඉඩක් නැති නිසා ඇමරිකාවේදී වෙළඳපොළේ රැඳී සිටින්න ලැබෙන්නේ අඩුම මිලකට තෙල් නිපදවන වඩාත්ම කාර්යක්ෂම නිෂ්පාදකයින්ට පමණයි.

ඇමරිකානු තෙල් නිෂ්පාදනය ක්‍රමයෙන් ඉහළ යද්දී ඇමරිකාවේ තෙල් ආනයන ඉල්ලුම ක්‍රමයෙන් පහළ ගියා. එවිට ලෝක තෙල් ඉල්ලුමත් පහළ යන බව කිව යුතු නැහැ.

තෙල් මිල පහළ යන විට තෙල් නිපදවන රටවල ලාබ පහළ යනවා. එය වලක්වා ගන්න කරන්න තියෙන්නේ නිෂ්පාදනය සීමා කිරීමයි. නමුත්, නිෂ්පාදනය අඩු කිරීම නිසා සිදුවෙන පාඩුව මිල වැඩි වීමෙන් ආවරණය නොවුණොත් ඒ වැඩෙන් වෙන්නෙත් පාඩුවක්. නිෂ්පාදනය පාලනය කළ හැකි වුවත් මිල තීරණය වන්නේ වෙළඳපොළ සාධක මතයි. කෙසේ වුවත්, සිදු වුනේ වෙනත්ම දෙයක්.

ප්‍රශ්නයේ මුල තිබුණේ ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදනය. ඒ නිසා, සවුදි අරාබිය විසින් උත්සාහ කළේ ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය වැටෙන තෙක්ම මිල අඩු වෙන්න අරින්නයි.

සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග සම්ප්‍රදායික තෙල් ලිං වලින් අවුරුදු සිය ගානක්ම එක දිගට තෙල් ගන්න පුළුවන්. නමුත්, ඇමරිකාවේ ශල්ක තෙල් ලිං වලින් අවුරුදු තුන හතරකට වඩා කාලයක් එක දිගට තෙල් ගන්න බැහැ. ඒ නිසා, දිගින් දිගටම අලුත් තෙල් ලිං කණින්න ඕනෑ. මේ වැඩේට ආයෝජකයින් අත ගහන්නේ තෙල් මිල ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක තිබේනම් පමණයි.


සවුදි අරාබිය කළේ නිෂ්පාදනය වැඩි කර තෙල් මිල පහළින් තියාගෙන ඇමරිකාවේ ශල්ක තෙල් ලිං එකෙන් එක වැහෙන ආකාරය දෙස බලා ඉන්න එකයි. සැලසුම් කරපු විදිහටම ඇමරිකාවේ තෙල් ලිං ගොඩක් වැහුණා. අඩු තෙල් මිල නිසා වැහෙන ලිං වල හිලවුවට අලුත් තෙල් ලිං හැදුණේ නැහැ. කොහොම වුනත් මේ ටික වෙද්දී තෙල් නිපදවන රටවල් වල ලාබ ගොඩක් අඩු වූ නිසා ඒ රටවල් වල අයවැය හිඟයයන් විශාල ලෙස ඉහළ ගියා. අනික් අතට ඇමරිකාවේ තෙල් කර්මාන්තය වැටුණත් පහළ ගිය තෙල් මිලේ උදවුවෙන් අනෙක් බොහෝ අංශ වේගයෙන් වර්ධනය වුනා.

තෙල් නිපදවන රටවල් වලට දිගින් දිගටම තෙල් මිල පහළින් තියාගන්න උවමනා වුණේ නැහැ. එහෙම තියෙන්න අරින්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය සීමා වෙද්දී තෙල් මිල ටිකෙන් ටික නැවත ඉහළ ගියා. තෙල් නිපදවන රටවල් එයට ඉඩ ඇරියා.

කොහොම වුනත් ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය එක් නිෂ්පාදකයෙක් අතේ තිබෙන එකක් නෙමෙයි. මිල පහළ යද්දී කර්මාන්තයෙන් විසි වුණේ වඩාත්ම අකාර්යක්ෂම නිෂ්පාදකයින්. වඩා කාර්යක්ෂම, අඩු පිරිවැයකින් තෙල් බැරලයක් නිපදවිය හැකි නිෂ්පාදකයෝ වෙළඳපොළේ ඉතුරු වුණා. අලුත් අභියෝගය හමුවේ කර්මාන්තයේ කාර්යක්ෂමතාව තවත් ඉහළ නංවා ගත හැකි තාක්ෂනයන් බිහි වුනා. නිදහස් වෙළඳපොළක් කියන්නේ එහෙම තැනක්.

අන්තිමට ඇමරිකාවේ තෙල් ලිං ගොඩක් වැහුණත්, ඉතිරි වූ අයගේ කාර්යක්ෂමතාවය ඉහළ ගිය නිසා තෙල් ලිං අඩු වෙන තරමටම තෙල් සැපයුම අඩු වුනේ නැහැ. අනෙක් පැත්තෙන්, නැවත මිල ඉහළ යද්දී තෙල් ලිං ආයෙත් අලුතෙන් හැදුනා. තෙල් නිපදවන රටවල් විසින් කරපු දේවල් වලින් ලොකු වැඩක් වුණේ නැහැ.

උඩ රූප සටහන දිහා බැලුවහම මේ කරුණු පැහැදිලි වෙනවා. තෙල් මිල වැටිලා මාස තුනක් පමණ යන කොට එයට අනුරූපව ක්‍රියාකාරී තෙල් ලිං ප්‍රමාණයත් පහත වැටෙනවා. ඉන්පසුව මිල ක්‍රමයෙන් නැවත ඉහළ යද්දී නැවත තෙල් ලිං නැවත හැදිලා මිල ඉහළ යාම නවතිනවා. 2008දී වගේම 2014දීත් මෙය වුනත් 2014 වැටීමෙන් පසුව මිල ඉහළ යාම නවත්වාගන්න 2008 වැටීමෙන් පසුව තරම් තෙල් ලිං හැදෙන්න අවශ්‍ය වුනේ නැහැ. මොකද ඒ වන විට කර්මාන්තය තවත් කාර්යක්ෂම වෙලා.

පසුගිය නොවැම්බර් අවසාන සතිය තුළ වසර 75කට පසුව පළමු වරට ඇමරිකා එක්සත් ජනපදය ශුද්ධ තෙල් අපනයනකරුවෙකු වුනා. එය තාවකාලිකව එක් සතියක් තුළ පමණක් සිදු වූ දෙයක් වුවත් එවැන්නක් පවා 1973 සිට පැවති ඇමරිකානු සිහිනයක්. ඉහළ තෙල් මිල හේතුවෙන් ඇමරිකාවේ තෙල් නිෂ්පාදන කර්මාන්තයේ වගේම විකල්ප බලශක්ති හා ඉන්ධන පිරිමැසුම් තාක්ෂණ ආදිය වෙනුවෙන්ද ආයෝජන දිරිමත් වී තිබෙනවා. අනාගත ඇමරිකානු සංවර්ධනය තෙල් මත පෙර තරම් යැපෙන්නේ නැහැ.

අනෙක් පැත්තෙන් දැන් ලෝකයේ ලොකුම තෙල් ආනයනකරු ඇමරිකාව නෙමෙයි. චීනයයි. තෙල් මිල නිසා කලින් බටහිර රටවල් මුහුණ දුන් අභියෝග වලට දැන් මුහුණ දෙන්න සිදුවී තිබෙන්නේ චීනය, ඉන්දියාව වැනි රටවලටයි. ලංකාව වැනි රටවලුත් ඒ අතර තිබෙනවා.

6 comments:

  1. 2014 තෙල් මිල පහල දැමීමට ඇමෙරිකාව සහ සවුදි අරාබිය එකතුවී ක්‍රියා කලා වගේ මතකයි. එහෙම කලේ ක්‍රිමියාව බද්ධ කර ගැනීම සම්බන්ධයෙන් කියා හිතනවා. තෙල් මිල පහල යාමෙන් රුසියාවේ අපනයන ආදායම පහල හෙලීමට කල කුමන්ත්‍රණයක් වගේ තමයි මට මතක.

    ReplyDelete
    Replies
    1. වෙළඳපොළ ක්‍රියාකාරීත්වය ගැන නිසි අවබෝධයක් නැති අය තමන්ට නොතේරෙන දේවල් පැහැදිලි කරන්න උපයෝගී කරගන්න කෝකටත් තෛලය කුමන්ත්‍රණ න්‍යායයි. කුමන්ත්‍රණ සිදුවනවා වුවත් හැමදෙයක්ම කුමන්ත්‍රණ නෙමෙයි. ඇමරිකාවේ රජයට තෙල් මිල හෝ තෙල් නිෂ්පාදනය පාලනය කරන්න බැහැ. තෙල් සමාගම් වලට රුසියාවට පාඩු කරන්න තිබෙන උවමනාවට කියා තමන් පාඩු විඳින්න අවශ්‍ය නැහැ. යම් අයුරකින් තාවකාලිකව එවැනි දෙයක් කළා කියා නිකමට හිතුවත් ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය බිඳ වැටී තමන්ට වෙළඳපොළෙන් ඉවත්වන්න සිදුවන මරාගෙන මැරෙන මෙහෙයුමකට යන්න තරම් රුසියාව එක්ක තරහක් ඇමරිකානු තෙල් සමාගම් වලට තියෙන්න කවර හෝ තර්කානුකූල හේතුවක් තියෙනවද? අනෙක් පැත්තෙන් සවුදි අරාබි රජයට එහෙම කරන්න බැරිකමක් නැහැ. මොකද තෙල් කර්මාන්තය තනිකරම තියෙන්නේ සවුදි රජය අතේ. නමුත්, එහෙම කරන එකේ අවසන් ප්‍රතිඵලය සවුදි අරාබි රජයේ අයවැය හිඟය ඉහළ ගිහින් ඔවුන්ගේ සංචිත ක්‍රමයෙන් දිය වී යාමයි. එහෙම කරද්දී, ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තය වැටුණත් සමස්තයක් ලෙස ඇමරිකාව ඇතුළු තෙල් ආනයනය කරන රටවලට වාසියි. දිගුකාලීන වාසියක් නැතිව, රුසියාවට පාඩු කර, තමන්ටත් පාඩු කරගෙන ඇමරිකාව වෙනුවෙන් කඩේ යන්න සවුදියට උවමනාවක් තිබුණා කියන එක හිතන්න අමාරු කරුණක්. ඇමරිකාව හා සවුදිය අතර වූ වෙළඳ ගැටුම පැහැදිලි කිරීම ඊට වඩා ගොඩක් පහසුයි. මේ ගැන මම ඒ දවස්වලම ලිවුවා. ඒ ලිපිය ඔබට මතක ඇති. සවුදිය උත්සාහ කළේ ඇමරිකන් ශල්ක තෙල් කර්මාන්තය නැති කර දමන්න උත්සාහ කිරීමයි. නමුත්, එය ඔවුන්ට කරගත හැකි වූයේ නැහැ. නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය තාවකාලිකව පාලනය කළ හැකි වුවත් එය නැවත මතු වන එක වළක්වන්න අමාරුයි. පෙර ලිපියට ලින්ක් එකක් පහත තිබෙනවා.

      http://economatta.blogspot.com/2015/12/blog-post_23.html

      Delete
  2. නාසා ආයතනය යනු ඇමරිකාවේ අභ්‍යාවකාශ ඒජන්සිය මිසක් ලෝකයට පොදු අභ්‍යාවකාශ ඒජන්සියක් නොවේ. එම නිසා ඇමරිකානු ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නාසා ආයතනය වග කියන්නේ ඇමරිකන් ජනතාවට සහ එම ආණ්ඩුවට පමණයි.

    ඒ අනුව ඔවුන් සිය මෙහෙයුම් දියත් කරන්නේ ස්වකිය ජනතාවගේ බදු මුදලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගත හැකි දෙයකට මිසක් ලෝකයේ අනෙකුත් රට වලට සහ එම රටවල ජනතාවට ඕනා එපා හැටියට නොවේ. නාසා ආයතනය නැවතහඳ මතට මිනිසුන් නොයවන්නේ එම කාරණය නිසයි. මන්ද සඳ මතට මිනිසුන් සහිත යානා කිහිපවරක්ම යවා ඇති නිසා, නැවත වරක් ඇමරිකන් ජනතාවගේ බදු මුදල් විශාල ලෙස වැය කරමින් හද ගමනක් සංවිධානය කරනවට වඩා, තරණය කර නොමැති ක්ෂේත්‍ර ඔස්සේ මෙහෙයුම් දියත් කිරීම ඔවුන්ට වැදගත් වනවා.

    කෙසේවෙතත් නාසා ආයතනය ආරම්භයේ සිටම ඔවුන් අභ්‍යාවකාශ මෙහෙයුම් වලදී ගන්නා ජයාරූප, වීඩියෝ ආදිය කිසිදු බුද්ධිමය හිමිකාරීත්වයක් නොමැතිවම බෙදා හරිනවා. ඒ අනුව ලෝකයේ ඕනෑම රටක සිටිනා අයෙක්ට එම ජයාරූප, වීඩියෝ තමන්ට ඕනා ආකාරයකට භාවිතා කල හැකියි. නාසා ආයතනය මෙසේ ඔවුන්ගේ ජයාරූප, වීඩියෝ නොමිලේ ලබා දුන්නත් ජපානය, රුසියාව වගේ රට වල අභ්‍යාවකාශ ඒජන්සි ඔවුන් ගන්නා ජයාරූප, වීඩියෝ නොමිලේ ලබා දෙන්නේ නැහැ.

    ReplyDelete
  3. රට ජාතිය ආගම වෙනුවෙන් ඉරාකයේ සටන් වදින විරෝධාර ඇමරිකන් රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීමට නත්තල් නිවාඩුවේ ඉරාකයේ සංචාරය කෙරු ඇමරිකන් ජනාධිපතිධුරන්ද ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාට අපගේ ආචාරය !!!

    ReplyDelete
  4. විදුලි බලයෙන් දුවන වාහන රට තුල ජනප්‍රිය කරවීම ඉන්ධන ආනයනය අඩු කරන මගක්. ජර්මනියේ වෝක්ස් වාගන් සමාගම හයිබ්‍රිඩ් වාහන ව්‍යාපෘති සඳහා ඉදිරි වසර හතර තුල ඩොලර් බිලියන 40ක් වැය කිරීමට තීරණය කරතිබීම විදුලි බලයෙන් දුවන වාහන සඳහා ඇතිවන ඉල්ලුමට හොඳ උදාහරණයක්.තෙල් මිල අඩුවීමට වඩා අපට වැදගත් වන්නේ තෙල් ආනයනය අඩු කරන මගක්.

    ReplyDelete
  5. ජනතා විමුක්ති පෙරමුණන්ට පාර්ලිමේන්තුවේ සිටියේ මන්ත්‍රීවරු හයක් වුවත් දහ නවයේ හිල්වලින් රිංගීමට ගිය මහින්ද+මෛත්‍රී කුමන්ත්‍රණය පරාජය කළ ආකාරයටම හෙට සිට දහනමයේ හිල් හොයාගෙන රනිල් ප්‍රමුඛ එජාපයේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙලත් පරාජය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
    අනුර කුමාර මේ බව සඳහන් කළේ කිරුළපන පැවති ජන හමුවක් අමතමිනි.

    අනුර කුමාර මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ “මහින්ද+මෛත්ත්‍රී කුමන්ත්‍රණය දියත්වෙන කොට බොහෝ අය ඒ දෙස වෙනස් වෙනස් විදිහට බැලුව. සමහර අය රනිල් වෙනුවට මහින්ද වාඩි වුණා කියලා සතුටුවුණා. සමහරු රනිල් ඉවත්ක්ලා කියල දුක්වුණා. නමුත් මේ ප්‍රශ්නේ ජවිපෙ දැක්කේ උපන් ගෙයිම පරාජය කලයුතු දේශපාලන කුමන්ත්‍රණයක් ලෙසයි.”

    “ජ.වි.පෙ. අපි මහින්ද ඉවත් කරල දැම්මා, ඉන්පසුව රනිල් 19 හිල් අස්සෙන් රිංගලා ජාතික ආණ්ඩුවක් හදල ඇමති ධුර වැඩිකරගන්න අවොත් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්කරන බව අපි සහතික වශයෙන් කියනවා.”

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: