වෙබ් ලිපිනය:

Wednesday, December 26, 2018

මාලිනා හා මාලිලා


නත්තල් දවසේ එක දිගට චිත්‍රපට තුනක් බැලුවා. අලුත්ම චිත්‍රපට කියා කිවහැකි මේ තුනේම යම් සමානතා වගේම වෙනස්කමුත් තිබෙනවා. ආසියානු රටවල් තුනක  සංස්කෘතික පරිසර තුනක හැදුණු,  මිනිස් මනස තුළට කිඳා බහින, තරමක් දුරට නාට්‍යාකාරී එහෙමත් නැත්නම් අධි-තාත්ත්වික රංගනයන් තිබෙන, සිනමා නිර්මාණ ලෙස ගත්තහම හොඳයි කියන්න පුළුවන් නිර්මාණ තුනක්. බටහිර ඇහැකින් බැලූ විට චිත්‍රපට තුනේම තිබෙන්නේ ආගන්තුක සංස්කෘතික පසුබිම් තුනක් වුවත් ඒ තුන එකිනෙකට හාත්පසින්ම වෙනස්.

පළමුව බැලුවේ ඝරසර්ප. ඒ ගැන කිහිප දෙනෙක්ම කලින් ලියා තිබෙන නිසා වැඩි යමක් ලියන්නේ නැහැ. දෙවැන්න මාලිනා  (Marlina). ඉන්දුනීසියානු චිත්‍රපටයක්. තුන්වැන්න මාලිලා (มะลิลา) තායි චිත්‍රපටියක්.

මාලිනා හා මාලිලා චිත්‍රපට දෙකම දැනටත් සම්මාන ගණනාවක් දිනා තිබෙනවා. මේ නම් එක කිට්ටුවෙන් ශබ්ද වුවත් එය අහම්බයක්. මාලිනා කියන්නේ චිත්‍රපටයේ කථානායිකාවගේ නම. චිත්‍රපටයේ සම්පූර්ණ නම "මිනීමරු මාලිනා ගැන ජවනිකා හතරකින්"(Marlina the Murderer in Four Acts). මාලිලා යන්නේ අදහස මම හිතන විදිහට "පිච්චමල". ඉංග්‍රීසි ටයිටලය "සමුගැනීමේ මල" (The Farewell Flower).

මාලිනා ස්ත්‍රීවාදී චිත්‍රපටයක්. කතාව දිග හැරෙන්නේ ඉන්දුනීසියාවේ සුම්බා දූපතේ. මේ දූපත ආර්ථික හා සමාජයීය අතින් පසුගාමීම ප්‍රදේශයක්. ඉන්දුනීසියාව ලෝකයේ වැඩිම ඉස්ලාම් ජනගහනයක් සිටින රට වුවත් සුම්බා දූපත ඉස්ලාම් ආගමිකයින් වැඩිපුර සිටින ප්‍රදේශයක් නෙමෙයි. දූපතටම ආවේනික "මරාපු" ආගම ආගමක් සේ නොසලකන නිසා බොහෝ දෙනෙක්ට ඉස්ලාම් හෝ ක්‍රිස්තියානි ආගමක් තමන්ගේ ආගම සේ හඳුන්වා දෙන්න සිදු වී තිබුනත් මේ ගොඩක් අය "හදවතින්ම මරාපු". සම්ප්‍රදායික "මරාපු" ආගම විස්ථාපනය කරමින් විවිධ ක්‍රිස්තියානි ආගම් දූපතේ ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මේ කරුණු ටික චිත්‍රපටයේ පෙන්වන්නේ නැහැ.

මාතෘකාවෙන් කියවෙන ආකාරයෙන්ම චිත්‍රපටය ඉදිරිපත් කරන්නේ ජවනිකා හතරක් ලෙසයි. කොල්ලකෑම, ගමන, පාපොච්ඡාරණය හා උපත ලෙස මේ ජවනිකා නම් කර තිබෙනවා.

සත්ත්ව ගොවිපොලක ජීවත්වන මාලිනා ඇගේ සැමියාගේ මරණය ගැන කම්පා වෙමින් තනිව සිටිද්දී ගහෙන් වැටුණු ගෑණිට ගොනා ඇන්නාක් මෙන් මාකස් ප්‍රධාන මැරවරයන් හත් දෙනෙක් ඇගේ ගොවිපොළට කඩාවදිනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ ඇගේ සතුන් පැහැරගෙන ඇයව සමූහ දූෂණයකට ලක් කිරීමයි. මුලින්ම ඇයට සිදුවෙනවා මේ මැරවරයින් වෙනුවෙන් කෑම පිළියෙළ කරන්න. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඇය රසවත්ව උයන කුකුළුමස් සූපයට වස මුසුකරන නමුත් ඊට පෙර ෆ්‍රාන්ස් ඇතුළු මැරවරයන් දෙදෙනෙකු ඇගේ සතුන්ද ලොරියක පටවාගෙන ගොවිපලෙන් පිටත් වෙනවා.

වයස්ගත මාකස් ඇතුළු කාමරයේ ඇඳේ සිටියදී මාලිනා ඉතිරි කොල්ලකරුවන් සිවුදෙනාට වස සහිත අවසන් භෝජනය පිළිගන්වනවා. එහෙත්, මාකස්ගෙන් ගැලවෙන එක ඇයට පහසු වෙන්නේ නැහැ. මාකස් වෙත ලිංගික සන්තර්පණය සපයන අතරම මස් කපන ලොකු පිහියක් ක්ෂණිකව අතට ගන්නා මාලිනා එක පහරකින් ඔහුගේ හිස කඳින් වෙන් කරනවා. ඉන් පසුව, කිරි හට්ටියක් සේ මාකස්ගේ හිස ලණු බෑගයක දමා එල්ලා ගන්නා මාලිනා පොලීසිය වෙත පිටත් වෙනවා.

නගරයට යන බසයේදී මාලිනාට ගැබ්බර නොවීව හමුවෙනවා. දරු උපතට කාලය එළැඹ අවසන් වුවත් කලලයේ හිස පහතට හැරී නැති නිසා ඇගේ දරු උපත පමාවෙමින් තිබෙනවා. මේ ආකාරයෙන් දරු උපත පමා වන්නේ දරුවා අවජාතකයෙකු වීම නිසායැයි විස්වාස කරන නොවීගේ සැමියා උම්බු ගෙදර එන්නේ නැහැ. නොවී ඔහුව සොයාගෙන යනවා.

නගරයට යන අතරතුරදී මොවුන්ට කලින් පිටත් වූ කොල්ලකරුවන් දෙදෙනා හමු වෙනවා. මාලිනා විසින් මාකස්ව ඝාතනය කර ඇති බව දැනගන්නා ඔවුන්, මාලිනා ගමන් කළ බසය පැහැර ගන්නා නමුත් මාලිනා අසෙකු පිට නැගී පලායන්නට සමත් වෙනවා. ඇය ඉතා අසීරුවෙන් පොලීසියට ගොස් දූෂණයට හා කොල්ලකෑමට ලක් වූ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළත් පොලීසිය කිසිදු ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. ඔවුන් කියන්නේ ඇයව දූෂණයට ලක්ව ඇති බව පරීක්ෂා කිරීමට වෛද්‍ය ගාස්තු ගෙවීම වෙනුවෙන් ප්‍රතිපාදන නැති නිසා හා වෙනත් වැඩ තිබෙන නිසා පැමිණිල්ල විභාග කරන්නට මාසයක්වත් කල් ගත වනු ඇති බවයි.

මේ අතර නොවීව ප්‍රාණ ඇපකරුවෙකු කරගන්නා ෆ්‍රාන්ස් ඇය ලවා දුරකථන ඇමතුමක් ලබා දී මාකස්ගේ හිස සමඟ මාලිනාව නැවත ඇගේ නිවසට ගෙන්වා ගන්නවා. එහිදී නොවීට කෑම පිළියෙළ කරන්නට අණ කරන ෆ්‍රාන්ස් මාලිනාව දූෂණය කරද්දී නොවී පැමිණ ෆ්‍රාන්ස්ගේ හිස කඳින් වෙන් කරනවා. මේ වන විටත් දිය බෑගය සිදුරුව සිටින ඇය පසුව මාලිනාගේ උදවුවෙන් ඇය සිය දරුවා වදනවා.

මාලිලා ජීවිතයේ අනිත්‍යය හා මරණය ගැන අවධානය හෙළන ථෙරවාද බෞද්ධ පසුබිමක් තිබෙන කතාවක්. දිනෙක කුණු වී, පණුවන් ගසන සිරුරට ලොබ බැඳීම ගැන කියන කතා බෞද්ධ සාහිත්‍යයේ සුලබයි. එහෙත්, මේ කතා බොහොමයක ඒ විදිහට කතා වෙන්නේ ගැහැණු සිරුරකට ලොබ බඳින පිරිමියෙක් ගැනයි. එයින් වෙනස්ව මාලිලාහි කතාව ගලායන්නේ සමලිංගික සම්බන්ධයක් වටා.

සමලිංගික පෙම්වතුන් යුවලක් වන ෂේන් හා පිච් දෙන්නාගෙන් පිච් ගම හැර යනවා. ඉන් පසුව, ෂේන් විවාහ වී දියණියකද ලබන නමුත් ඇයව පිඹුරෙකු විසින් ගොදුරු කරගැනීමත්, පසුව මත්පැනට ඇබ්බැහි වන ඔහුව හැර දමා බිරිඳ පිටත්ව යාමත් නිසා ජීවිතය ගැන කලකිරෙන ෂේන් තාවකාලික පැවිද්ද ලබා ගැනීමට අසපුවකට පැමිණෙනවා.

මේ අතර, නගරයට යන පිච්ට පෙනහළු පිළිකාවක් වැලඳෙනවා. විකිරණ ප්‍රතිකාර වලින් ඔහුගේ සිරුර කෘෂ වී, කෑම රුචිය නැති වී, කෙස් හා ලොම් හැලී ගියත් පිළිකාව සම්පූර්ණයෙන් සුව වන්නේ නැහැ. වෛද්‍යවරුන් තවත් වටයක් විකිරණ ප්‍රතිකාර ලබා ගත යුතු බව කියද්දී බටහිර ප්‍රතිකාර අත්හැර දමන පිච් සම්ප්‍රදායික ප්‍රතිකාර කෙරෙහි යොමු වෙනවා. විකිරණ ප්‍රතිකාර නැවැත්වීමෙන් පසුව ඔහුගේ අතුරු ආබාධ නැතිව යනවා.

හිතේ සැනසිල්ල පතා ෂේන් සිටින අසපුවටම පැමිණෙන පීච් කරන්නේ කෙසෙල් කොළ වලින් හා පිච්චමල් වලින් "බායි ශ්‍රී" සැරසිලි හදමින් ගඟේ පාකර යැවීමයි. එසේ කිරීමෙන් ඔහුට සහනයක් දැනෙනවා. මේ අතර පීච් හා ෂේන් අතර පෙර වූ සම්බන්ධය නැවත අළුත් වෙනවා. පීච්ගේ පෙනහළු පිළිකාව මේ වන විට සුව වී තිබෙනවා විය යුතුයැයි ෂේන් හිතනවා. තාවකාලික පැවිද්ද අවසන් කිරීමෙන් පසුව තමන් හා ජීවත් වීමට පැමිණෙන ලෙස ෂේන් පීච්ට ආරාධනා කරනවා. කෙසේ වුවත්, පීච්ගේ පිළිකාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. හදිසියේම දවසක ඔහු මිය යනවා.

කතාවේ දෙවන කොටසේදී ෂේන් තාවකාලික පැවිද්ද වෙනුවට ස්ථිර පැවිදි ජීවිතයක් තෝරා ගන්නවා. පැවිදි වන්නට පෙර විශ්‍රාමික හමුදා කර්නල් වරයෙකුව සිට ඇති සන්චායි භික්ෂුවද සමග ඔහු ආරක්ෂක හමුදා භාරයේ තිබෙන වනගත ප්‍රදේශයකට යනවා. මේ ප්‍රදේශයේ මළ මිනී තිබෙන්නට ඉඩ තිබීම එයට හේතුවයි. ඔවුන්ගේ භාවනාවට නිමිත්ත වෙන්නේ කුණු වී පණුවන් ගසන මළ සිරුරක්. කෙසේ වුවත්, භාවනාව නුපුරුදු ෂේන්ට මිනිය දුටුවනම ඔක්කාරය හැදෙනවා.

චිත්‍රපටය අවසන් වෙද්දී ෂේන්ට මළ මිනිය තුළින් පීච්ව පෙනෙනවා. ඉන්පසු මළ මිනිය සෙලවී එතුළින් පීච් නැගිට එන්නාක් වැනි දෘෂ්ඨි මායාවක්ද ඔහුට පේනවා. ඔහු තමන්ට පෙනෙන ෂේන්ව වැළඳගන්නවා. එහෙත් ඔහු සැබවින්ම වැළඳගන්නේ ඔහු ඉදිරිපිට තිබෙන කුණුවී ගඳ ගසන මළ සිරුරයි.

මාලිනා හා මාලිලා යන චිත්‍රපට දෙකම ඇමරිකාවේ ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපට. එහිදී සංක්‍රමනික තායි හා ඉන්දුනීසියානු ප්‍රේක්ෂකයින්ව ඉලක්ක කර ඇතැයි මා හිතන්නේ නැහැ. බොහෝ විට ඉලක්කය පොදු ඇමරිකානු ප්‍රේක්ෂකයා විය හැකියි. වෙනත් සංස්කෘතියක් මත පාදක වූ චිත්‍රපටයක් ඇමරිකාවේදී සාර්ථකව ප්‍රදර්ශනය වේනම් එයින් අදහස් වන්නේ අදාළ සංස්කෘතිය පිළිබඳව සාමාන්‍ය ඇමරිකානුවන්ගේ ආකල්ප සමඟ චිත්‍රපටයේ අන්තර්ගතය සුසර වන බවයි.

13 comments:

  1. AnonymousDecember 26, 2018 at 8:41 AM
    ඉකොනොමැට්ටා ඔබතුමා ඇමරිකාවේ ග්‍රීන් කාඩ් ලාබි ඇමරිකාවේ වෙසෙන පුරවැසියෙක්ද නැතහොත් ලංකාවේ දැනට වාසයකරන ලංකික පුරවැසියෙක්ද එසේනොමතිනම් ද්විත්වපුරවැසියෙක්ද...//

    මිට ඉහත ලිපියේ ඇනෝ කොමන්ටුව දැමු ඇනෝ හට ඔබවිසින් පිලිතුරක් නොදී තිබු නිසා අපහට හුදෙක් දැනගැනීම සඳහා පමණක් මෙයට පිළිතුරක් ලබා දෙනු මැනවි

    ReplyDelete
    Replies
    1. ඔබ මෙය මුල සිටම කියවූ අයෙක් නොවන බව පෙනෙනවා. මා මෙය ලියන්නේ ඇමරිකාවේ සිට.

      Delete
    2. බොහොම ස්තුතියි ඔබට! එතකොට ඔබ ලංකාවේ පුරවැසියෙක්ද නැතහොත් ඇමරිකාවේ පුරවැසියෙක්ද
      ඇමරිකන් පුරවැසි යෙක් නම් මෙපමන් හොදින් සිංහලෙන් සරලව ලිපි ලියන්න ඉංග්‍රීසි බසින් ලියා එය ගුගල් ට්‍රාන්ස්ලේට් මගින් පරිවර්තනය කර පල කරනවාද

      Delete
    3. කුසලතාවයක් ලෙස සැලකිය හැකි කිසියම් භාෂාවක ප්‍රවීණතාවය හා නෛතික කරුණක් වන පුරවැසිකම කියන්නේ වෙනස් කරුණු දෙකක්නේ, ඇනෝ. සිංහල භාෂාව මවු බස වූ අය වගේම, මවුබස නොවුණත් මනා ප්‍රවීණතාවයක් තිබෙන අය ලොව පුරා විසිරී සිටිනවා.

      Delete
  2. අපේ අය නම් බටහිර රටවලට ගියත් වෙනස් වෙන්නේ නැහැ. මම ළඟදී ජිනීවාවල ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ගියා. අපි බොහෝවිට අපේ හිතමිත්‍රයන්ගේ තැන්වල ඉන්නේ. එයාලා ඒ රටවල පුංචි ලංකාවක් හදාගෙනයි ජීවත්වෙන්නේ. ගෙදර කන්න උයන්නේ පරිප්පුයි බතුයි. එකතුවෙලා පුංචි පන්සලක් එහෙම හදාගන්නවා. මේක නම් පසුගාමීත්වයක්. මම වතාවක් කටාර් ගියා. අපි යද්දී හොඳ පිළිගැනීමක් එක්ක කිරිබත් හදලා තිබුණා. මහන්සි වෙලා හදලා තිබුණේ. ඒත් මම හිත නොරිද්දාම කීවා මම මෙහෙන් යනකල් මට ලංකාවෙ කෑම නම් එපා කියලා. මම වෙන රටකට ගියොත් එහේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා ආවේ නැත්නම් වැඩක් නැහැ. එහේ ගිහිල්ලත් කිරිබතුයි ලු‍ණුමිරිසුයි කන්නෙ ඇයි? මේවා විකෘති.

    කේ.ඩී. ලාල්කාන්ත, Anidda Newspaper

    ReplyDelete
    Replies
    1. මෙහි දෙපැත්තක් තිබෙනවා. ඇතැම් අය වෙනත් රටකට යාමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ රටේ සංස්කෘතිය ගැන දැන ගැනීම වගේ දේවල් වෙන්න පුළුවන්. එවැනි අය මෙහි ලාල්කාන්ත කියා තිබෙනවා වගේ විදේශ රටකට ගියහම ඒ රටේ කෑම වර්ග හොයනවා. නමුත්, එහෙම නොවන අයත් ඉන්නවා. කුමක් හෝ සම්මන්ත්‍රණයක් වගේ දෙයකට බටහිර රටකට එන ඇතැම් අය දවස් ගණනක් කටට සැරට කෑමක් නැතුව ඉඳලා සංක්‍රමනික ලාංකිකයෙකුගේ ගෙදරට එන්නෙම ලංකාවේ විදිහට වේලක් කන්න.

      බටහිර රටකට යන ලාංකිකයෙක් පරිප්පුයි බතුයි කන එක විකෘතියක් කියා හෝ පසුගාමීත්වයක් කියා කියන කතාවට මම එකඟ නැහැ. කෑම රුචිකත්වය කියන එක අතිශය පෞද්ගලික කරුණක්. ඇමරිකාව ගත්තොත්, තමන්ගේ මුල් රටේ ආහාර සංස්කෘතිය දිගටම පවත්වා ගන්නේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පමණක් නෙමෙයි. චීනය, රුසියාව, කියුබාව, ඉතාලිය, ජර්මනිය වගේ ඕනෑම රටකින් එන සංක්‍රමණිකයෙක් එය කරනවා. කෙනෙක් එක් රටකින් වෙනත් රටකට සංක්‍රමණය වෙන්නේ සමස්තයක් ලෙස එය වඩා හොඳ විකල්පයක් වීම නිසා වුවත්, මුල් රටේ හැම දෙයක්ම එපා වීම නිසා හෝ ගමනාන්ත රටේ හැම දෙයකටම කැමති නිසා නෙමෙයි. ගොඩක් දේවල් වෙනස් වෙද්දී මුල් රටේ ඇතැම් දේවල් ඒ විදිහටම පවත්වා ගත හැකි වීමේ යම් සහනයක් තිබෙනවා. ඇමරිකාව වගේ ලෝකයේ ඕනෑම රටක කෑමක් මිල හොයා ගැනීම අමාරු නැති රටකදී මුල් රටේ කෑම පුරුදු පවත්වා ගැනීම අපහසු නැහැ.

      අද කඩේ ගිය වෙලාවේ රඹුටන් දුසිමේ පෙට්ටි දෙකක් අරන් ආවා. ලංකාවේ අපේ ගෙදර රඹුටන් ඇති වෙන්න තිබෙනවා. රඹුටන් වලට මම ආසයි. රඹුටන් වගේම අඹ, අන්නාසි, ගස්ලබු වගේ ආනයනික ඝර්ම කලාපීය පළතුරු අපි මෙහෙදී නිතර මිල දී ගන්නවා. ඇපල්, මිදි, ප්ලම්, ස්ට්‍රෝබෙරි, බ්ලුබෙරි වගේ ඇමරිකාවේ අප සිටින පැත්තේම හැදෙන පළතුරුත් ගන්නවා. ලංකාවේ හෝ ඇමරිකාවේ නැති ලෝකයේ වෙනත් රටවල පළතුරුත් මිල දී ගන්නවා. වැඩි තේරීම් ප්‍රමාණයක් තියෙද්දී ලංකාවේ දේවල් අතාරිනවා කියන්නේ ඒ තේරීම් වලින් ප්‍රයෝජන නොගැනීමක්.

      විදේශ රටවල සිටින ලාංකිකයින් බොහෝ දෙනෙක් අඩු වැඩි වශයෙන් ලංකාවේ ආහාර පිළියෙළ කරනවා. විශේෂයන්ම ලංකාවේ සිට එන ලාල්කාන්ත වගේ දේශපාලනඥයෙකුට නැත්නම් කලාකරුවෙකුට නොමිලේ නවාතැන් දෙන අයෙක් කියන්නේ ලංකාව සමඟ දිගටම දැඩි සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් සිටින අයෙක්. එහෙම කෙනෙක්ගේ ගෙදරක බොහෝ විට ඉදෙන්නේ බත් පරිප්පු තමයි. ලංකාවේ කෑම සංස්කෘතියෙන් සම්පූර්ණයෙන්ම අයින් වූ සංක්‍රමණිකයෙක් ලංකාවේ සිට එන කෙනෙකුව ගෙදර නවත්වා ගනී කියා හිතන්න අමාරුයි.

      මෙතැන අවුල තියෙන්නේ ලංකාවේ සිට එන කෙනෙක් ශ්‍රී ලාංකිකයෙකුගේ ගෙදර නවාතැන් පහසුකම් ලබා ඒ රටේ සංස්කෘතිය ඒ ගෙදර ඇතුළෙන් හොයන්න යාමයි. ඒ රටේ සංස්කෘතිය ගැන දැන ගන්න අවශ්‍යනම් වෙන විකල්ප ඕනෑ තරම් තියෙනවා. හැබැයි ලංකාවේ අයෙක්ගේ ගෙදරක නවතින තරම් ලාබ නැති නිසා අඩු වියදමෙන් ගොඩදාගන්න අමාරුයි. ඔය දෙකම කරගන්න අවශ්‍යනම් කරන්න තියෙන්නේ ගෙදර අයට තමන්ගේ රුචිකත්වය කුමක්ද කියා පැහැදිලි කරන එකයි.

      Delete
    2. හිටපු ගමන් ෆෝන් එකෙන් එන්ටර් ද ඩ්‍රැගන් බලනවා කේ.ඩී. ලාල්කාන්ත..
      ...

      ජනතා විමුක්ති පෙරමුණට මිනිස්සුන්ගේ සංස්කෘතික ජීවිතය ගැන නිල මතයක් තියෙනවාද?

      දේශපාලනය ඉලක්ක කරගත් ඍජු මාතෘකා තමයි බොහෝ වෙලාවට සාකච්ඡා වෙන්නේ. ආදරය, විවාහය, ලිංගිකත්වය වගේ සංස්කෘතික මාතෘකා විෂයන් විදියට සාකච්ඡා වෙන ප්‍රමාණය අඩුයි. ඒත් අපි 1994 දක්වා තිබුණු සැඟවුණු දේශපාලනයෙන් එළියට එද්දී පාක්ෂිකයන්ට සමාජය එක්ක ජීවත්වීම සඳහා දැනුම අවශ්‍ය වුණා. ඒ වෙනුවෙන් අධ්‍යාපන කවයක් පටන්ගත්තා ‘සංස්කෘතිය හා සමාජවාදය’ කියලා. එහිදී සාකච්ඡා වුණ දේවල් මට මතකයි. පක්ෂයට සංස්කෘතික ජීවිතය ගැන නිශ්චිත ප්‍රතිපත්තියක් නැහැ. ඒත් ඒ මාතෘකා ගැන අර වගේ කවයන්හිදී සාකච්ඡා කරලා තියෙනවා. සමහර අය ඒ වගේ දේවල් ග්‍රහණය කරගන්නේ නැහැ. ඒවා ගැන පක්ෂයේ විවිධ අය ඉදිරිපත් කරන මතවල පුංචි පුංචි වෙනස්කම් තියෙනවා.

      අධ්‍යාපන කවයෙන් පස්සේ සංස්කෘතික ජීවිතය ගැන හිතන්නේ මොකක්ද?

      ඕනෑම සත්වයෙක් ස්වාභාවිකව කරන දේවල් තියෙනවා. කන බොන එක, ලිංගික ක්‍රියාවලිය වගේ දේවල්. ඒත් මිනිස්සු ඒ හැම දෙයක්ම කරන්නේ අනෙක් සතුන්ට වඩා වෙනස් විදියට. මිනිස්සුන්ට ආහාර සංස්කෘතියක් තියෙන බව අවබෝධ කරගත්තාම හැන්දෙන් කන එක, අතින් කන එක සංස්කෘතියක් විදියට දකිනවා. ලිංගිකත්වය ළමයින් හදනවාට වඩා වින්දනයක් විදියට පාවිච්චි කරන බව අපි දැනගන්නවා. ඒක දැනගත්තාම ඔබ ලිංග ිකත්වය විඳින විදිය මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම කරන විදිය ඔබට අදාළ නැහැ. කරදරයක් නොවෙන තාක් කල් අදාළ නැහැ. අඳින පළඳින එකත් ඒ වාගේ. ඒක සංස්කෘතික වැඩක්. සීත පළාත්වල ලෝගු අඳිනවා. උෂ්ණ පළාත්වල විවෘතව අඳිනවා. ග්‍රීස්ම කාලේ තියෙන රටක උපරිම ග්‍රීස්මය එද්දී ඇඟේ ඇඳුම් කෑලි තියෙන්නේ චුට්ටයි. එහෙම නැතිව ඒ මිනිස්සුන්ට ජීවත්වෙන්න ක්‍රමයක් නැහැ. මෙහෙට තමයි මැජික් එක.

      ඒත් ලංකාවේ සංස්කෘතිය කියලා කියන්නෙ වෙන දෙයක්. රංගන ශිල්පිනියක් චිත්‍රපටියක නිරුවත් දර්ශනයක් රඟපෑවත් සංස්කෘතිය විනාශ වෙනවා කියලයි කියන්නේ. ඒ කියන සංස්කෘතියයි, ජනතා විමුක්ති පෙරමුණ නිතර පාවිච්චි කරන දේශප්‍රේමයයි එක ළඟින් යනවා නේද?

      අපි ඒවා තේරුම් ගන්න ඕනෑ ඒ ඒ සන්දර්භය ඇතුළේ. චිත්‍රපටියකට කතාවක් තියෙනවා. චරිතයක් උපරිම නිරුවත් වෙනවා ඇති. ඒ දර්ශනය චිත්‍රපටියෙන් වෙන්කරලා තිබුණොත් තමයි ඒක කුණුහරුපයක් වෙන්න. ඒත් ඒක චිත්‍රපටිය ඇතුළේ තියලා බලද්දී කුණුහරුපයක් නෙවෙයි. යමක් බලන්න ඕනෑ ඒ සන්දර්භය ඇතුළේ. අපි හිතමු රූ රැජිණ තරගයක් ගැන. ඒකෙදී ඇඟේ සුළු කොටසක් හැර සියල්ල පෙන්වන්න වෙනවා. ඒක ඒ සන්දර්භය ඇතුළේ බලනවා මිසක් ගෙදර ගිහින් බලන්න ඕනෑ නැහැ. ලංකාවේ එක කාලයක තනපට අඳින්න බැහැනේ. ඒක ප්‍රභූන් සාමාන්‍ය මිනිස්සුන්ව පීඩාවට පත් කරන්න දාපු නීතියක්. ප්‍රභූවරුන්ගේ කාන්තාවන්ට විතරයි අඳින්න පුළුවන්. දැන් අපි ඒක කළොත් හිතන්නේ මොකක්ද. අදත් උඩුකය නිරුවත් පින්තූරයක් කලාගාරයක තියෙන්න පුළු‍වන්. ඒවා රසවිඳින්න මනස හදාගත්තාම ප්‍රශ්නයක් නැහැ. සංස්කෘතිය එක තැන පල්වෙන්නේ නැහැ. නව ලෝකයට, නව දැනුමට නොගැළපෙන දේවල් තියෙනවා නම් වෙනස් කරගන්න ඕනෑ.

      මත්පැන් බීමට සීමා වැටෙන්නේත් ඔය සංස්කෘතික, සදාච ාරවාදී චින්තනය නිසා නේද?

      තව කෙනෙක්ව පීඩාවට පත්වෙන්නේ නැත්නම් ඕනෑ දෙයක් අවුලක් නැහැ. කාල්මාක්ස් කියලා තියෙනවා මානුෂීය වූ කිසිවක් මට අරුචි නොවේ කියලා. අපි මෙතැන බෝතලයක් ගහනවා කියලා හිතමු. අපි ඉන්නේ අපේ පෞද්ගලික අවකාශයක. සද්දබද්ද නෑ. ඉතින් ඒක මානුෂීයයි නේද? අපි දෙන්නා බොන ගමන් පරණ කතා මතක් කරනවා කියලා හිතමු. කාටවත් මොකක්ද තියෙන ප්‍රශ්නය. හැබැයි මට පොඩි සීමාවක් තියෙනවා. මොකද දැන් කෝල් එකක් එන්න පුළුවන් හදිසි තත්ත්වයක් තියෙනවා, එන්න කියලා. අපට සමාජ වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි ටිකක් නොබී ඉන්නවා නම් මම නොබී ඉන්නේ. ඒ කාලේ ඉඳන් ආර්ථික අමාරුකම් එක්ක පක්ෂයේ හැදුණ මත්පැන් නොබොන සංස්කෘතියක් තියෙනවා. තව කෙනෙක් අහන්න පුළු‍වන් නොකා නොබී ජීවත්වෙලා ඇති වැඬේ මොකක්ද කියලා. අපේ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා, ඉස්කෝලේ 83 කණ්ඩායම වාර්ෂිකව සාදයක් එහෙම දානවා. එතකොට මම යනවා. උංගෙන් ඉතින් බේරෙන්න බෑ බීපං කියලා. ඉතින් චුට්ටක් බොනවා. ඒක මට බොන්න තියෙන වුවමනාවක් නෙවෙයි. ඒත් ඒක තමයි එතැන මම පවත්වන මානුෂීය සම්බන්ධයේ ස්වරූපය.

      Delete
    3. මෑත කාලයේ ලංකාවේ ඉන්න ලොකුම සංස්කෘතික පොලි ස්කාරයා සමකාමී ප්‍රජාවට දැවැන්ත අපහාසයක් කරන්න උත්සාහ කළා. ඔබ විශ්වාස කරන සංස්කෘතික නිදහස සමකාමීන්ට ලැබිය යුතුද?

      කලින් කී මාක්ස්ගේ කියමන මෙතැනට අදාළ වෙනවා. යම් කිසි දෙදෙනෙක් හෝ කිහිපදෙනෙක් කැමැත්තෙන් ලිංගික ජීවිතය භූක්ති විඳිනකොට කාටවත් මොකද. කාලයක් වෛද්‍ය විද්‍යාවේ කතාකළානේ සමලිංග ිකත්වය ලෙඩක්ද කියලා, අද ලෝකය පිළිගන්නවා ඒක ලෙඩක් නෙවෙයි කියලා. සංක්‍රාන්ති ලිංගි කත්වයත් ඒ වගේ. මම ඉපදෙන කොට පිරිමි සිරුරක් ලැබෙනවා. ඒත් මම කැමති කාන්තාවක් වගේ ඉන්න කියලා හිතමු. පිරිමියෙක් වගේ ඉපදිලා පිරිමියෙක් වගේ අඳින කෙනෙක්ට, ගැහැනියක් වගේ අඳින්න කියලා බලකරනවා වගේම තමයි සංක්‍රාන්ති ලිංගික කාන්තාවකට පිරිමියෙක් වගේ ඉඳපන් කියලා බල කරන එක. ලෝකයේ සංස්කෘතින් ගැන අඩු දැනුම නිසා මේ අනන්‍යතාවන් තව කෙනෙකුට පහරදීමේ අවි විදියට පාවිච්චි වෙනවා. ඒත් ඒවා ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නැහැ. මම නම් ඔය හැම ලිංග ික කටයුත්තක්ම කරලා තියෙනවා. විවෘතව කියන්නම්. පොඩි කාලේ මම ස්වයං-ලිංගික කටයුතු කරලා තියෙනවා. තරුණ වයසට එද්දී පිරිමි යාළුවොත් එක්ක ලිංගික කටයුතු කරලා තියෙනවා. ඒ වයසේදීම ගෑනු ළමයි එක්කත් ලිංග ික කටයුතු කරලා තියෙනවා. මම දන්නවා වෙන අයත් ඒ හැමදේම කරලා තියෙනවා. මම කාටවත් බලහත්කාරකමක් කරලා නැහැ. ඒ ලිංගිකත්වය මම අනිවාර්යයෙන් තියාගන්න ඕනෑ කියලා පවත්වාගෙන යන්නේත් නැහැ. ලිංගික ප්‍රජාවක් පදනම් කරගෙන මාතෘකාවක් ගොඩනඟන එකම පසුගාමීයි කියලා මම හිතනවා. ඒක ඒ ඒ අයගේ පෞද්ගලිකත්වය.

      විවාහය, ලිංගිකත්වය වගේම ප්‍රේමය ගැනත් සංස්කෘතික සීමා තියෙනවා. ‘අනියම් ප්‍රේමය’ කියන එක අද මාධ්‍ය පවා බොහෝවිට පාවිච්චි කරන වචනයක්?

      චිත්‍රාල් සෝමපාල සහ උමාරියා ගයන සිංදුවක පදයක් තියෙනවා, ‘පෙම රසයි රසයි රහසින් හන්දා’ කියලා. මිනිසා බිහිවුණ දා පටන් මිනිස් සමාජයේ සම්පූර්ණ ඉතිහාසයෙන් ගත්තොත් ඉතාම පුංචි කාලයක් විතරක් පාවිච්චි කළ අදහසක් තියෙනවා. ජීවිත කාලයේම එකම පිරිමියෙක් සහ එකම ගැහැනියක් අතර තියෙන සම්බන්ධය තමයි හොඳම සම්බන්ධය කියන අදහස. මිනිස් ඉතිහාසය එක්ක ගත්තාම ඒ කාලය කතාකරන්නවත් තරම් නැති පුංචි කාල සීමාවක්. එකම කෙනෙක්ට සීමාවෙන බව කියනවා නම්, ඊට වඩා හොඳයිනේ තනියම කරගන්න එක. ඒක ඊටත් වඩා පිවිතුරුයිනේ. එංගල්ස් කියනවා එහෙම ගත්තොත් ලෝකයේ ඉන්න පවිත්‍රම සතා පටිපණුවාලු‍. මොකද උගේ හැම පුරුකක් ගානෙම ලිංගික අවයව දෙකම තියෙනවා. ඌ තනියම ප්‍රජනනය කරගන්නවා. කාටවත් කරදරයක් නැහැ.

      බොහෝ පවුල් එකට පවතින්නේ බලහත්කාරයෙන්. භෞතික බලහත්කාරයම නෙවෙයි. ආකල්පමය බලහත්කාරය, ආර්ථිකය විසින් ඇතිකළ බලහත්කාරය, නීති පද්ධතියෙන් හැදූ බලහත්කාරය, සමාජීය බලහත්කාරය වගේ විශාල බලහත්කාරයක්. සංකීර්ණ බලහත්කාර යාන්ත්‍රණයක් විසින් තමයි පවුලක දෙන්නෙකු එකටම තබන්නේ. එකිනෙකා කෙරෙහි තියෙන ආදරය සහ රුචිකත්වය මතම නෙවෙයි එකට ඉන්නේ. පවුල කියන්නේ සිරගතවීමක්. ඉස්සර කතාවක් තියෙනවානේ ආර්ථිකය ගැන. ඉස්සරහ දොරින් දුප්පත්කම එද්දී ආදරය පස්සා දොරින් පලායනවා කියලා. ලංකාවෙ බහුතරයකට පවුල් ජීවිතය විඳින්නත් බැහැ. එකට චිත්‍රපටියක්, නාට්‍යයක් බලන්න වෙලාවක් නැහැ. ඒක ඇතුළේ ආදරය පලායනවා. ආර්ථික ප්‍රශ්නවලට මුහුණදෙන්න හැකියාව තියෙන අය ආදරය පලායද්දී දික්කසාද වෙනවා. පීඩිතයන්ට ඒක කරන්න බැහැ. මං හිතන්නේ සීයක් විවාහ වෙද්දී විසිපහක් විතර දික්කසාද වෙනවා. මම කියන්නේ අපි විවාහය පිළිබඳව එකතුවෙන තැනදී දික්කසාද වීම ගැනත් එකඟ විය යුතුයි. හැබැයි, නිදහස ගැන කතාකළා වගේ නෙවෙයි. ප්‍රායෝගිකව පෙන්වන්න ඕනෑ. මගේ බිරිඳට වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් මට පුළුවන් වෙන්න ඕනෑ ඒක පිළිගන්න. ඒක එයාගේ කැමැත්ත නම් මම මොකටද ඒකට ඇඟිලි ගහන්නේ. සමහර ලිබරල්යැයි කියාගන්නා අයත් තමන්ගේ බිරිඳ හෝ සැමියාට ප්‍රශ්නය ආවාම කලින් කී කතා ඉවරයි.

      පරණ දේ විනාශ නොවී අලු‍ත් දෙයක් නිර්මාණය වෙන්නේ නැති බව කියනවා. මේ පවුල් ක්‍රමය නරකයි කියලා හිතන්න බැහැ. මේක තමයි දැන් තියෙන ක්‍රමය. මේක විනාශ වෙද්දී තවත් හොඳ පවුල් ක්‍රමයක් නිර්මාණය වේවි. ඉතිහාසයේදී තිබුණු එක ගෙයි කෑම, විස්තෘත පවුල වගේ ක්‍රම දැන් නැතිවෙලා. මේ ක්‍රමය ඇවිත්. ඉදිරියේදී තව හොඳ ක්‍රම ඇතිවේවි. එංගල්ස්ගේ ‘පවුල, පෞද්ගලික දේපළ හා රජය’ ඇතිවූ හැටි කියන පොත කියෙව්වොත් ඔළු ගොඩාක් සුද්ධවෙයි.

      කොහොම වුණත් ප්‍රකට දේශපාලන නායකයෙක් විදියට ඔබ කියන මේ කාරණා ලොකු වාදවිවාදවලට ලක්වෙන්න ඉඩ තියෙනවා නේද?

      දැන් කලින් තිබුණු ආකල්ප පද්ධතිය බිඳවැටෙනවා. ඒ නිසා තමයි ලොකු පිපිරීමක් තියෙන්නේ. මම කියන්නේ ඒ පිපිරීම හොඳයි කියලා. ඒ පිපිරීම විසින් තමයි මීට වඩා මානුෂීය තැනකට සමාජය යන්නේ. ඉතිහාසයේ ඉඳන් මේ දක්වා සමාජයට ඉදිරියට ඇවිත් තියෙන්නේ එහෙම.

      Delete
    4. ඔබ වරක් කියා තිබුණා ගෙවල් ඇතුළේ ෆැක්ටරි ටික එළියට යන්න ඕනෑ කියලා. ඒ කතාව මොකක්ද?

      අපේ රටවල තිබුණු නිෂ්පාදන ක්‍රමයට ආසියාතික නිෂ්පාදන රටාව කියලයි කියන්නේ. නිෂ්පාදනය කියන එක පෞද්ගලිකව තිබුණේ. මෙහෙම හිතමු. ඉස්සර බත් පිඟානක් ගත්තොත් බත් පිඟාන පුරාම ඉන්නේ තාත්තා. දැන් බත් පිඟාන ගත්තොත් මුළු ලෝකයම ඉන්නවා. හාල් එක රටකින්. සෝස් තිබුණොත් ඒක තව රටකින්. ව්‍යංජනයක් තව රටකින්. පිඟාන තවත් රටකින්. සමාජය ඉස්සරහට එනකොට පෞද්ගලිකව නිෂ්පාදනය විදියට ගේ ඇතුළේ තිබුණු නිෂ්පාදන ගෙයින් එළියට යනවා. ඒක අපේ රටට තේරුම් කරන්න තියෙන හොඳම උදාහරණය තමයි මහන මැෂිම. පරම්පරාවකට කලින් හැම ගෙදරකම මහන මැෂිමක් තිබුණා. ගෑනු ළමයෙක්ට දෑවැද්දට මැෂිමක් ඕනෑමයි. දැන් මහන මැෂිමක් අරන් යන්න කිසිම ගෑනු ළමයෙක් කල්පනා කරන්නේ නැහැ. එදා මැහීමේ කර්මාන්තය තිබුණේ ගේ ඇතුළේ. අද ඒක ගෙයින් එළියට ගිහින්. ඒත් තව ෆැක්ටරි කිහිපයක්ම ගේ ඇතුළෙන් එළියට යා යුතුයි. දැන් ගොඩාක් අය ගෙදරට වොෂින් මැෂින් එකක් ගෙනෙන්න බලනවා. අපි කියන්නේ, වොෂින් මැෂින් ගෙනැල්ලා රෙදි සේදීම ගේ ඇතුළේම තියාගන්න එපා. ඒක රෙදි හෝදලා මැදලා දෙන තැනකට බාරදෙන්න.

      ඒ ටික එළියට ගිය පවුල් දැනටම ඉන්නවා. අපේ සමාජයේ පන්ති භේදයක් තියෙනවා. ඉහළ ආදායම් තියෙන අය එළියට දීලා. ගොඩක් අය මේවා ඇතුළේ තියාගෙන ඉන්නෙ බැරිකමට. ආර්ථික ප්‍රශ්නයක්. අපේ ගේ ඇතුළෙ තවත් ගොඩක් තියෙනවා. කෑම කැපීම, කෑම ඉවීම, වළං හේදීම වගේ. තව දේවල් තමයි ළමයින් බලා ගැනීම හා වැඩිහිටියන්ට සැලකීම. පවුලේ දෙන්නා රස්සාවට යන්නත් ඕනෑ. අන්තිමේදී දරුවන්ට, වැඩිහිටියන්ට සහ ජෝඩුවට යුක්තිය ඉටුවෙන්නේ නැහැ. ඒ වැඩ පවා එළියට යන්න වෙනවා. දරුවන් රැකබලා ගැනීමට හොඳ මධ්‍යස්ථාන අවශ්‍යයි. දරුවාව සතුටින් තියන, දරුවා ගැන දන්න අයව අවශ්‍යයි. දෙමාපියන්ට සියලු‍ පහසුකම් දුන්නත් කාමරයක් ඇතුළේ අම්මෙක් තාත්තෙක් ඉන්න එක ලොකු අපරාධයක්. එයාලාට පුළුවන් නම් තමන්ගේ වයසේ, තමන්ට ඇසුරු කරන්න පුළුවන් අය එක්ක විනෝදයෙන් ඉන්න. ඒක ලොකු දෙයක්. අපි හිතනවා අපේ සංස්කෘතිය අනුව ගේ ඇතුළේ මාපියන් රැකබලාගැනීම තමයි හොඳම දේ කියලා. ගෙවල් පන්සීයක් වෙන වෙනම උයනවාට වඩා හොඳ නැද්ද ගෙදරින් එළියේ, රසටම උයන තැනකින් කෑම කන එක. තනි තනි ගෙවල්වල නිෂ්පාදනය වෙන දේවල අතිරික්තය අපතේ යෑමත් නවතිනවා. ඉතින් ආර්ථිකයටත් යහපත්.

      අපේ අය නම් බටහිර රටවලට ගියත් වෙනස් වෙන්නේ නැහැ. මම ළඟදී ජිනීවාවල ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ගියා. අපි බොහෝවිට අපේ හිතමිත්‍රයන්ගේ තැන්වල ඉන්නේ. එයාලා ඒ රටවල පුංචි ලංකාවක් හදාගෙනයි ජීවත්වෙන්නේ. ගෙදර කන්න උයන්නේ පරිප්පුයි බතුයි. එකතුවෙලා පුංචි පන්සලක් එහෙම හදාගන්නවා. මේක නම් පසුගාමීත්වයක්. මම වතාවක් කටාර් ගියා. අපි යද්දී හොඳ පිළිගැනීමක් එක්ක කිරිබත් හදලා තිබුණා. මහන්සි වෙලා හදලා තිබුණේ. ඒත් මම හිත නොරිද්දාම කීවා මම මෙහෙන් යනකල් මට ලංකාවෙ කෑම නම් එපා කියලා. මම වෙන රටකට ගියොත් එහේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා ආවේ නැත්නම් වැඩක් නැහැ. එහේ ගිහිල්ලත් කිරිබතුයි ලු‍ණුමිරිසුයි කන්නෙ ඇයි? මේවා විකෘති.

      ඔබ රසවිඳින කලාකෘති මාක්ස්වාදී, ප්‍රගතිශීලී ඒවා විය යුතුද?

      මම ඕනෑ කලාකෘතියක් රසවිඳිනවා. අමරදේව මහත්තයාගේ සිංදුවක තියෙනවා, ‘බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා – සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා’ කියලා. මේකෙ තියෙන්නේ සෞන්දර්යයනේ. මේක විඳින්න පුළුවන්. කෙනෙක්ට අහන්න පුළුවන් ඔබ මාක්ස්වාදියෙක්නේ. ඔබට මේකෙ සෞන්දර්යයෙන් ඇති වැඬේ මොකක්ද කියලා. ඒකෙන් සමාජ ප්‍රගමනයට වෙන්නේ මොකක්ද කියලා. සමාජ ප්‍රගමනයට හේතුවෙන කලා නිර්මාණත් තියෙනවා. ඒක විතරක්ම තියෙන්න ඕනෑද කියන එකයි ප්‍රශ්නය. පණිවුඩයක් එක්ක සෞන්දර්යාත්මක දෙයක් කියන කලා නිර්මාණත් තියෙනවා. ඒත් හැම එකකින්ම පණිවුඩ ඕනෑ නැහැ. කොහොම වුණත් සමහර නිර්මාණවල අන්තර්ගතය ප්‍රතිගාමීයි. එහෙම නිර්මාණ ගැන විවේචනයක් තියෙනවා. කලාව වෙනුවෙන් මට ඕනෑ තරම් වෙලාව තියෙනවා. හැම වෙලාවෙම වාහනයෙන් යද්දී සිංදුවක් අහනවා. හිටපු ගමන් ෆෝන් එකෙන් ‘එන්ටර් ද ඩ්‍රැගන්’ බලනවා. මම බෲස්ලිගේ ෆිල්ම්වලට කැමතියි. කව්බෝයි ෆිල්ම්වලටත් කැමතියි. ජිම් කෙලීගේ ෆිල්ම් බලනවා. ‘ද ගුඞ් ද බෑඞ් ද අග්ලි’ වගේ පරණ ෆිල්ම් බලනවා. හිටපු ගමන් බන්දු ටෙනීගෙ ෆිල්ම් එකකුත් බලනවා. ගෙදර ඉද්දී ටී.වී. එකේ චැනල් මාරු කරගෙන යනවා. පොතක් බලාගන්න ඉඳගත්තොත් ඒකත් කරනවා. සුචරිත ගම්ලත් තමන්ගේ පොතක පෙරවදනේ කියලා තියෙනවා, ‘සාහිත්‍ය කලාවෙන් විහීන කෙනෙක්ට අඩු අංතට්ටුවකුත් වලිගයකුත් විතරයි’ කියලා. ‘එහෙම අය තණකොල බුදින්නේ නැති එක ගොනුන්ගේ වාසනාව’ කියලා.■

      - තරිඳු උඩුවරගෙදර, අනිද්දා පුවත්පත

      (ඔන්න ලාල්කාන්තගේ සම්පුර්ණ සාකච්චාව. ඉකොනෝ වගේ ලංකාවෙන් ඇමරිකාවට ගියත් තාම ලංකාව ගැන හිත හිතා, ලංකාවේ නාට්‍ය, චිත්‍රපට ඉන්ටර්නෙට් එකෙන් බල බලා ඉන්න විකෘති පසුගාමින් ගැන තමයි කියලා තියෙන්නේ. ඇත්තටම ඉකොනෝ ඇමරිකාවේ ජිවත් උනාට දෙහිඅත්තකණ්ඩියේ මනසික්තවයෙන් ඉන්නේ ඇයි?)

      Delete
    5. මම ඔය සාකච්ඡාව කලින් කියවා තිබුණා, ඇනෝ. ලාල්කාන්ත ඔහු හිතන හා ක්‍රියා කරන විදිහ ගැන අවංකවම කතා කර ඇතැයි මා සිතනවා. ඔහු කියන ඇතැම් දේ සමඟ මම එකඟයි. නමුත්, හැම දෙයක් ගැනම එකඟ නැහැ. ඔබ කියන දෙහිඅත්තකණ්ඩියේ මානසිකත්වය කුමක්ද කියා මම දන්නේ නැහැ. නමුත්, මම ඉඩ ලැබෙන පරිදි ලංකාවේ නාට්‍ය, චිත්‍රපට ආදිය බලනවා. ඇමරිකාවේ ඒවත් බලනවා. ලංකාවේ හෝ ඇමරිකාවේ නොවන වෙනත් රටවල ඒවත් බලනවා. මා කරන්නේ මට සතුටක් ලැබෙන (වෙනත් අයට කරදරයක් නැති) දේවල්.

      Delete
  3. ඉකොනොමැට්ටා,

    මේ වනවිට ලෝකය පුරා අධිරාජ්‍ය වාදයත් ධනවාදයත් ප්‍රතිගාමී ධනපති සමාජ ආර්ථික ක‍්‍රමයත් තම අසාර්ථකත්වය සහ දුෂ්ටත්වය වඩ වඩාත් වැඩියෙන් පෙන්වමින් සිටී. 1888 චිකාගෝ කම්කරු සගයින් දිවි පුදා සටන් කොට දිනාගත් පැය 08 වැඩ දිනයද අහෝසි කරමින් සිටින අතර විවිධ නීති මගින් එම පැය 08ක වැඩ දිනයේ අයිතිය පවා යළි උදුරා ගැනීමට කැස කවමින් සිටී. ධනවාදය තුළ තවදුරටත් වැඩකරන ජනතාව ඇතුළු පීඩිත ජනතාවගේ අයිතීන් රැකගත නොහැකි බවත් දිනා ගත් අයිතිය පවා ධනපති ක‍්‍රමය තුළ අහෝසි වෙමින් තිබෙන බවත් භාවිතයෙන් ඔප්පු වී තිබේ. එබැවින් ධනවාදය ලෝක පරිමාණයෙන් පරදා නව-සමාජයක් වෙනුවෙන්, වැඩකරන ජනතාවගේ පාලනයක් වෙනුවෙන් සංවිධානය වීම හැර අන් විකල්පයක් දැන් වැඩකරන ජනයා ප‍්‍රමුඛ පීඩිත ජනයාට ඉතිරි වී නැත.

    මේ වනවිට ලෝකයේත් ලංකාවේත් ප්‍රතිගාමී ධනපති ක‍්‍රමය පවතින්නේ විසඳිය නොහැකි අර්බුදයකය. දිනෙන් දින උග‍්‍රවන ධනවාදයේ අර්බුදය විසින් වැඩකරන ජනතාව මත මහා බරක් පටවනු ලැබ තිබේ. ඔවුන් මත බදු බර පැටවීමත් රැකියා අහිමි කිරීමත් වැටුප් ඇතුළු අයිතීන් කප්පාදු කිරීමත් දිගටම සිදු වේ. ඉන් වැඩකරන ජනයා ඇතුළු පීඩිත ජනතාව විශාල දුෂ්කරතාවන්ට ලක්ව සිටියි.

    අනික් පැත්තෙන් ප්‍රතිගාමී ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ දුෂ්ඨ අධිරාජ්‍යවාදීහු ලෝකයේ රටවල සම්පත් කොල්ලකෑම සඳහා විශේෂයෙන් මැද-පෙරදිග තෙල් සම්පත කොල්ලකෑම සඳහා මෙන්ම එම රටවලට යුද අවි වෙළඳාම් කිරීම සඳහා එම රටවල් එකිනෙකා කෙටවීම, ඒවා ආක‍්‍රමණය කිරීම, තර්ජනය කිරීම දිගටම කරගෙන යමින් සිටිති. ඒ සඳහා විවිධ අන්තවාදී මිනීමරු කල්ලි පෝෂණය කරමින් සැබැවින්ම ත‍්‍රස්තවාදයේ නියැලෙන ඇමරිකා අධිරාජ්‍යවාදීහු ඒ අතරම ත‍්‍රස්තවාදය මැඩලීමට යයි පවසමින් වෙනත් රටවලට බලහත්කාරයෙන් කඩා වදිමින් ධනවාදී ලෝකය යළි ම්ලේච්ඡත්වය වෙත රැගෙන යමින් සිටිති. මැද පෙරදිග ඉරාකයට කළ දේම සිරියාවටද කිරීමට ඇමරිකා අධිරාජ්‍යවාදීන් උත්සාහ කරන බව පසුගිය දිනවල සිරියාවට එල්ල කළ ගුවන් ප‍්‍රහාර දෙස බලන විට පෙනේ.

    මේ තත්වය තුළ අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහිව සමාජ ප‍්‍රගතිය සඳහා පෙරමුණ ගැනීමේ වගකීම පැවරී ඇත්තේ, වැඩකරන ජනතාව ප‍්‍රමුඛ පීඩිත පංතියටය.

    ඇමරිකා අධිරාජ්‍යවාදයත් ධනවාදයත් පරදා සමාජවාදය වෙනුවෙන් වන අරගලයට නව පණක් දීම හැර ධනවාදී ලෝකය මුහුණදී ඇති අර්බුදයෙන් මිදීම සඳහා ලෝක වැඩකරන ජනතාව ඉදිරියේ අන් විකල්පයක් නැත. ලොව පුරා වැඩකරන ජනයාගේ අදිටන විය යුත්තේ එයය.

    දූෂිත රාජපක්ෂ රෙජිමේ කෲරතර විනාශය නිසා මේ වනවිට ලංකාවද දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්ව ඉන් ගොඩ ඒමට නොහැකිව ඒ තුළම ගිලෙමින් තිබේ. රට මත ගොඩගැසී ඇති දැවැන්ත ණය කන්දරාවත් විදේශ වෙළඳාමේ පාඩුව හා විදේශ වත්කම් විශාල ලෙස පහළ වැටීමත් නිසා රුපියල පවා බාල්දුවෙමින් විශාල අර්බුදයකට මඟ විවර කර තිබේ. ඩොලර් මිලියන කිහිපයක් වෙනුවෙන් හම්බන්තොට වරාය චීනයට බදු දුන් ආණ්ඩුව ඉන් නොනැවතී ඉඩම්, දූපත්, තෙල් ටැංකි ඇතුළු වටිනා සම්පත් විදේශ සමාගම්වලට බදු දීමට හෝ විකුණා දැමීමට කටයුතු කරමින් සිටින්නේ මේ අනුවය. තත්වය එසේ තිබියෙදී ජනතාව මත බදුබර වැඩිකර ඇති, ජනතාවගේ සහන කපන, රජයේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප පවා කප්පාදු කරන, පෞද්ගලික අංශයේ සේවක අර්ථසාධක අරමුදල පවා කොල්ලකන ආණ්ඩුව ජනාධිපති අගමැති ඇතුළු මැති ඇමතීන්ට වාහන ගෙන්වීමටත් ගොඩනැගිලි ගැනීමටත් උත්සව සඳහාත් රුපියල් කෝටි බිලියන ගණනින් නාස්ති කරමින් සිටියි. මේ තත්වය තුළ වඩාත් පීඩාවට හා වේදනාවට ලක්වන්නේ, වැඩකරන ජනයා ඇතුළු පීඩිත ජනතාවය. දැන් මෙම අර්බුදය සමාජ අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ.

    ReplyDelete
    Replies
    1. ආර්ථිකයේ අර්බුදය එලෙස පවතිද්දී පාලක පංතියේ අර්බුදයද උත්සන්න වී තිබේ. දැන් රට ආණ්ඩුවක් නැති තත්වයට පත්ව අරාජික වී තිබේ. එසේම එජාපයේ අභ්‍යන්තර අර්බුද හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බෙදීමද, අන්ත දූෂිත අශීලාචාර පොහොට්ටු කල්ලියේ විකාරරූපී විඝටන විසින් පාලක කණ්ඩායමේ අර්බුදය මතුපිටට ගෙනවිත් තිබේ. මින් පෙන්වන්නේ, ධනවාදයේ අර්බුදයට ධනපති ක‍්‍රමය යටතේ විසඳුම් නොවන බවත් ධනවාදී අර්බුදය ධනපති පක්‍ෂ හා ආණ්ඩු තුළින්ද ප‍්‍රකාශ වීම ආරම්භ වී ඇති බවත්ය.

      ශ‍්‍රී ලංකා රාජ්‍ය තුළ මේ මොහොතේ මතුව ඇති අතිශය බරපතළ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික අර්බුදය විසින් හා වසර 70ක තට්ටු-මාරු දේශපාලනයේ අහිමිරි අත්දැකීම් විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද? ඒ අන් කිසිවක් නොව ලංකාවේ ධනවාදයට මෙරට ජනතාව වෙනුවෙන් කිසිවක් අලුතින් නිර්මාණය කළ නොහැකි බවත් මෙම දුෂ්ඨ අශීලාචාර බංකොළොත් ධනපති ක‍්‍රමය වෙනස් කළ යුතු බවත්ය. බංකොලොත් ධනවාදය වෙනුවට නවීන සමාජවාදී සමාජයක් සඳහා නව සමාජ පරිවර්තනයක අවශ්‍යතාවය මේ මගින් යළි යළිත් අවධාරණය කෙරෙමින් තිබේ. බංකොළොත් ධනවාදයේ වත්මන් අර්බුදයට සැබෑ විසඳුම් සෙවීමට හෝ රටට ආර්ථික සංවර්ධනය හෝ ප‍්‍රගතිය ගෙන ඒමට එජාපයටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත් රාජපක්ෂ වහලුන් අටවන වෙනත් කුඩා කල්ලි කණ්ඩායම්වලටත් නොහැක. ඒ සඳහා කම්කරු පංතිය ප‍්‍රමුඛ වැඩකරන ජනතාවත් පීඩිත ජනතාවත් පෙරමුණ ගත යුතුය. ඒ හැර අන් මඟක් නැත. ඊට දේශපාලන නායකත්වයක් අවශ්‍ය වන අතර, එම දේශපාලන නායකත්වය මේ මොහොතේ ලබා දිය හැකි, ජනතාවට විශ්වාස කළ හැකි, විකල්ප වැඩපිළිවෙලක් ඇති කැපවීම හා ධෛර්යය ඇති එකම පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ පමණක්ය.

      එබැවින් බංකොලොත් හා අර්බුදයට ගිය ධනවාදී ක‍්‍රමයත් බංකොලොත් ධනපති පක්‍ෂත් පරදවා ඒ වෙනුවට සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩනගන ජනතාවාදී පාලනයක් හෙවත් නව සමාජවාදී සමාජයක් ගොඩනැගීම සඳහාත් එය ඉලක්ක කරගත් පුළුල් සමාජ පරිවර්තනයක් සඳහාත් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් වැඩකරන ජනතාව පෙරටු කොටගත් දැවැන්ත ජනතා බලයක්, ජනතා ව්‍යාපාරයක්, ජනතා මධ්‍යස්ථානයක් ගොඩනැගිය යුතුය.

      ලංකාවේදී ඉතාමත් පුළුල් ලෙසට දැනටමත් ගොඩනැගෙමින් තිබෙන එම ජනතා ව්‍යාපාරය වඩාත් සවිමත් කළ යුතුය. ඒ වෙනුවෙන් අධිෂ්ඨානයෙන් යුතුව, කැපවීමෙන් යුතුව ක‍්‍රියාත්මක විය යුතුය. කම්කරු පංතිය ප‍්‍රමුඛ පීඩිත පංතියේත් සියලු ප‍්‍රගතිශීලී ජනතා බලවේගවලත් අයිතීන් දිනාගත හැක්කේත් ජනතාව සඳහා වඩා හොඳ හෙටක් නිර්මාණය කළ හැක්කේත් ගොඩනගන එවැනි ජනතා බලයක් මගිනි. එම ජනතා බලය ජයග‍්‍රහණය කිරිම මගිනි; එමගින් නව සමාජ පරිවර්තනයක් කිරීම මගිනි. එබැවින් නවීන සමාජවාදය ගොඩනැගිය හැකි එවන් ජනතා පාලනයක් සඳහා පෙරට එන ලෙසත් සටන් වදින ලෙසත් ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ වටා ඒකරාශී වන ලෙසත් මෙරට කම්කරු පංතිය ඇතුළු වැඩකරන ජනතාවගෙන්, ගොවි ජනතාවගෙන්, ධීවර ජනතාවගෙන්, තරුණයන්ගෙන්, කාන්තාවන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන්, වෘත්තීයවේදීන්ගෙන්, උගතුන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් සාහිත්‍ය කලාශූරීන්ගෙන් පරිසරවේදීන්ගෙන්, මාධ්‍යවේදීන්ගෙන් සියලු මානව හිතවාදීන්ගෙන්, ප‍්‍රගතිශීලීන්ගෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගෙන් හා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
      කෲරතර ධනවාදී ක‍්‍රමයත් බංකොලොත් ධනපති පක්‍ෂත් පරදවා ඒ වෙනුවට සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩනගන ජනතාවාදී පාලනයක් හෙවත් නව සමාජවාදී සමාජයක් ගොඩනැගීම සඳහාත් එය ඉලක්ක කරගත් පුළුල් සමාජ පරිවර්තනයක් සඳහාත් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් වැඩකරන ජනතාව පෙරටු කොටගත් දැවැන්ත ජනතා බලයක්, ජනතා ව්‍යාපාරයක්, ජනතා මධ්‍යස්ථානයක්, නව සමාජවාදී සමාජයක් ගොඩනැගීම සඳහා ඉකොනොමැට්ටාගේ සහයෝගය ලබාදෙනවා නේද?

      Delete
    2. දශක ගාණක් තිස්සේ අහල තියෙන, දිගින් දිගටම අසාර්ථක හා ප්‍රතික්ෂේප වී තිබෙන අදහස් මිස අලුත් කිසිවක් ඔතැන නැහැනේ, ඇනෝ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: