වෙබ් ලිපිනය:

Monday, December 31, 2018

සැන්ඩි එපා!


සමහර වෙලාවට "සෝඩා ටිකක් දාල පොඩ්ඩක් ගේන්නද?" කියල ඇහුවහම විවිධ පිළිතුරු ලැබෙනවා. "පාවිච්චියක් නෑ!", "දැන් නවත්තල ඉන්නේ!", "දැන් බෑ!", "එහෙනං පොඩ්ඩක් ගම්මුකෝ!" ඉඳලා "සෝඩා එපා!" දක්වා විවිධ ප්‍රතිචාර ඔය අතර තිබෙනවා. ලාල්කාන්ත සහෝදරයා වගේ "උවමනාවක් නැතත්" යාලුවන්ගේ වදේට හරි "මානුෂික සම්බන්ධතා පවත්වාගැනීමේ ස්වරූපයක් විදිහට" හරි ගන්න අයත් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඉතිං ඔතැන උවමනාවක් නෑ කියන එකෙන් කියන්නේ ඔය විදිහට වෙනත් කෙනෙක් බල නොකළානම් හොයාගෙන ගිහින් ගන්න උවමනාවක් නෑ කියන එක පමණයි. වෙනත් අයෙකුගේ බල කිරීමට යටවෙන කෙනෙක් වුනත් කරන්නේ අවසාන වශයෙන් තමන් කැමති දේ. එහෙම නැත්නම් නොකර ඉන්න බැරිකමක් නැහැනේ!

සැර මත්පැන් පැණිබීම වලින් සැන්ඩි කරන එක ලංකාවේ සාමාන්‍ය දෙයක්. එයට ආර්ථික සාධක වගේම සංස්කෘතික සාධකත් හේතු වෙනවා.

සැන්ඩි කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මත්වීම පාලනය කරගැනීම. අනෙක් පැත්තට මූලික වශයෙන්ම මත්පැන් බොන්නේ මත්වෙන්න කියා හිතුවොත් මේ චර්යාවේ පරස්පරයක් පේනවා. වෙනත් විදිහකින් කිව්වොත්, බොනවා තමයි- ඒත් මත්වීමේ උවමනාවක් නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ විදිහට සැන්ඩි කරමින් බොන්නේ, යාලුවන්ගේ බල කිරීමට යටවුණේ නැත්නම්, හොයාගෙන ගිහිං බොන්න තරම් උවමනාවක් නැති අය බවයි. ඒ නිසා, මේක මානුෂික සම්බන්ධතා පවත්වාගැනීමේ ස්වරූපයක් කියන එකේ වැරැද්දක් නැහැ.

සමහර සාමූහික චර්යා වලින් පිළිබිඹු වෙන්නේ පුද්ගල චර්යා වල එකතුව නෙමෙයි. සමූහයක කිසිම තනි පුද්ගලයෙකුට පෞද්ගලිකව කරන්න අවශ්‍ය නොවන දෙයක් එවැනි පුද්ගලයින් සමූහයක් විසින් කරන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. බුදු පිළිමයක් කැඩීම, පල්ලියකට ගලක් ගැහීම, හදිසි අනතුරකින් පසු රියදුරාට පහර දීම වගේම සංචාරයක යෙදීම, සිල් ගැනීම වගේ තනි තනිව කරන්න කිසිවෙකුට උවමනාවක් නැති ගොඩක් දේවල් ඔය විදිහට පුද්ගලයින් කණ්ඩායමක් විසින් කරන්න පුළුවන්. එවැනි උවමනාවක් තිබෙන එක් පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකු විසින් කවර ආකාරයෙන් හෝ සමූහයක් මෙහෙයවීම වෙනම කරුණක්. මා කියන්නේ ඒ ගැන නෙමෙයි.

සමාජගත වීම සඳහා මත්පැන් බොන ඇතැම් කණ්ඩායම් වල කිසිවෙකුටත් තනිතනිව මත්පැන් බොන්න අවශ්‍ය නැහැ. නමුත්, "අනිත් අය ගැන හිතා" හැමෝම සෙට් වෙනවා. සමාජ සත්ත්වයෙක් වන මිනිසාගේ ඔය වගේ හැසිරීම් ඕනෑ තරම් තියෙනවා. මේ වගේ හැසිරීම් ක්‍රීඩා න්‍යාය (game theory) ඇසුරෙන් පැහැදිලි කරන්න පුළුවන්.

තමන්ගේ උවමනාවට තනිව මත්පැන් බොන පුද්ගලයෙක්ට සැන්ඩි වැදගත් නැහැ. නමුත්, යාළුවන්ගේ උවමනාවට සෙට් වෙන කොටනම් සැන්ඩි නැතුවම බැහැ. මෙතැන ගේම් එක ඩෝප් නොවී වැඩි වෙලාවක් අල්ලගෙන ඉන්න එකයි. මොකද සතුට තියෙන්නේ සෙට් වෙන එකේ මිසක් මත්පැන් වල නෙමෙයි. මත්පැන් වලින් කරන්නේ සෙට් වෙන්න හේතුවක් සපයන එක පමණයි.

සංඛ්‍යාලේඛණ මත පදනම් නොවී නිගමන වලට එළැඹෙන එක නිවැරදි නැති වුවත්, මම හිතන විදිහට බටහිර රටක මිනිස්සුන්ට සාපේක්ෂව ලංකාවේ මිනිස්සු මේ විදිහට සෙට් වෙන්න වැඩි කාලයක් වෙන් කරනවා. කාලයේ ආවස්ථික පිරිවැය සාපේක්ෂව අඩුවීම මෙයට එක් හේතුවක් කියන්න පුළුවන්.

බටහිර රටකදීනම් මේ වගේ එකතුවකදී කියන වෙලාවට හැමෝම වගේ එනවා. පැමිණිය යුතු වෙලාව වගේම සාදය අවසන් වන වෙලාවත් බොහෝ විට ඇරයුමේම තියෙනවා. ඒ වෙලාවට සභා තොමෝ සතුටින් විසිර යනවා. හැබැයි මේ කියන්නේ ලංකාව වැනි රටවලින් ආ සංක්‍රමණිකයින් ගැන නෙමෙයි. (ඔවුන්ගේ හැසිරීම ග්‍රාම්‍යයි කියා කියන්න හදනවත් නෙමෙයි).

ලංකාවේ ඔය වැඩේ ඔය විදිහට නොවන බව කියවන කවුරුත් දන්නවනේ. "මචං, පොඩ්ඩක් පරක්කුයි. තව පැය බාගෙන් ඔතැන." කියා කියන එකා එන්නේ තව පැය එකහමාරකින් වීම කාටවත් පුදුමයක් නෙමෙයි. ඒ වගේම එක්කෙනෙක් දෙන්නෙක් ආපහු ගියා කියා වැඩේ නවතින්නෙත් නැහැ. ඉතුරු අය ඇදගෙන යනවා. ඉවර වෙන වෙලාව වැඩේ සංවිධානය කරපු කෙනාටවත් කලින් කියන්න පුළුවන් කමක් නැහැ. මෙයට හේතුව ලංකාවේ පොදු ප්‍රවාහනයේ දුර්වලතා හෝ මාර්ග තදබදය පමණක්ම නෙමෙයි. ඔය විදිහට තැනකට වෙලාවට නොඑන ඇතැම් අය ඇතැම් වැදගත් දේ මොන විදියෙන් හෝ හරියටම නැකැත් වෙලාවකට කරනවා.එහෙම නැකතකට වැඩක් වෙනවා කියලා දන්නා අවස්ථා වලදී කොහොම හරි වෙලාවට එනවා.

ඇත්ත නැත්ත කොහොම වුවත් මත්පැන් මත පනවා තිබෙන විශාල බද්ද සාධාරනීකරණය කරන්නේ සමාජ යහපත ඉස්සරහට දාලනේ. මෙහි එක අතුරු ඵලයක් වන්නේ "කලවම් බඩු" විශාල ලෙස වෙළඳපොළට එන එක. මේ වැඩේ කරන්න පහසු වෙන්න හේතු වී තිබෙන එක් කරුණක් වන්නේ සැන්ඩි කිරීමේ පුරුද්දයි.

කාලයක් ඇතැම් අය ගෙන ආ තර්කයක් වුනේ සැර අඩු මත්පැන් මිල අඩු කර සැර වැඩි මත්පැන් භාවිතයේ හානි අඩු කළ යුතු බවයි. නමුත්, සමාජශීලී වෙන්න බොන ලංකාවේ ගොඩක් අය බොන්නේ සැර අඩු මත්පැන් වර්ග වලටත් වඩා තනුක කරලා. ප්‍රශ්න විසඳගන්න බොන අය කොහොමටත් සැර අඩු මත්පැන් හොයනවා අඩුයි.

බටහිර රටක මත්පැන් මිල සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසා, කිසියම් පෞද්ගලික සාදයක් වගේ තැනක වුවත් මත්පැන් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා, බොන කෙනෙකුට විකල්ප වැඩියි. ලංකාවේ අධික මත්පැන් මිල එක්ක විකල්ප සීමා වෙනවා. ඒ නිසා, ඇල්කොහොල් සාමූහිකයක් ඇතුළේදී "ප්‍රජාතන්ත්‍රවාදය අනුව" බහුතරයේ කැමැත්තට අනික් අයට යට වෙන්න වෙනවා. එවිට, පුද්ගල කැමැත්ත යටපත් වෙනවා. සැන්ඩි කිරීම ප්‍රචලිතව තිබීම ඇතුලෙ තිබෙන්නේ ඒ විදිහට පොදු කැමැත්ත ඇතුළේ යට වෙන පුද්ගල කැමැත්ත මතු වෙන ආකාරයයි. එක් එක් පුද්ගලයා විසින් කරන්නේ තිබෙන එකම ඇල්කොහොල් විකල්පය තමන්ට අවශ්‍ය තරමට සැන්ඩි කරගෙන තමන්ට අවශ්‍ය නිෂ්පාදනය හදාගන්න එක. මේ පුරුද්ද නිසා, එකම බෝතලයෙන් වුවත් එක් එක් පුද්ගලයාට අවශ්‍ය දේ බොන්න ඉඩ සැලසිලා තිබෙනවා.

අපි ලියන දේවල් වුනත් කියවන අය කියවන්නේ තමන්ට අවශ්‍ය පමණට සැන්ඩි කරගෙන. ඒකත් පුද්ගල කැමැත්ත. කෙනෙක් ලියන දේවල් වැඩිපුර බීලා වෙනත් කෙනෙක් මත්වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි සමහර වෙලාවට සමහර අය කියවන්නේ එනකොට අරන් එන සැන්ඩිම විතරයි!

වෙන ලිපි වල වගේම මේ ලිපියේ තියෙන දේවලුත් තමන්ට කැමති පමණ සැන්ඩි කරගෙන කියවන්න. අරගෙන ආපු සැන්ඩි විතරක්ම වුනත් කමක් නැහැ. එය ඔබේ කැමැත්ත.

සුබ නව වසරක්!

23 comments:

  1. ඉකොනෝ ලාල්කාන්ත සහෝදරයා ගැන අරෝවක් ඇතිකරගත්තේ ලාල්කාන්තගේ පහත ප්‍රකාශය නිසා නේද?

    'අපේ අය නම් බටහිර රටවලට ගියත් වෙනස් වෙන්නේ නැහැ. මම ළඟදී ජිනීවාවල ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ගියා. අපි බොහෝවිට අපේ හිතමිත්‍රයන්ගේ තැන්වල ඉන්නේ. එයාලා ඒ රටවල පුංචි ලංකාවක් හදාගෙනයි ජීවත්වෙන්නේ. ගෙදර කන්න උයන්නේ පරිප්පුයි බතුයි. එකතුවෙලා පුංචි පන්සලක් එහෙම හදාගන්නවා. මේක නම් පසුගාමීත්වයක්. මම වතාවක් කටාර් ගියා. අපි යද්දී හොඳ පිළිගැනීමක් එක්ක කිරිබත් හදලා තිබුණා. මහන්සි වෙලා හදලා තිබුණේ. ඒත් මම හිත නොරිද්දාම කීවා මම මෙහෙන් යනකල් මට ලංකාවෙ කෑම නම් එපා කියලා. මම වෙන රටකට ගියොත් එහේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා ආවේ නැත්නම් වැඩක් නැහැ. එහේ ගිහිල්ලත් කිරිබතුයි ලු‍ණුමිරිසුයි කන්නෙ ඇයි? මේවා විකෘති.
    '

    'තව කෙනෙක්ව පීඩාවට පත්වෙන්නේ නැත්නම් ඕනෑ දෙයක් අවුලක් නැහැ. කාල්මාක්ස් කියලා තියෙනවා මානුෂීය වූ කිසිවක් මට අරුචි නොවේ කියලා. අපි මෙතැන බෝතලයක් ගහනවා කියලා හිතමු. අපි ඉන්නේ අපේ පෞද්ගලික අවකාශයක. සද්දබද්ද නෑ. ඉතින් ඒක මානුෂීයයි නේද? අපි දෙන්නා බොන ගමන් පරණ කතා මතක් කරනවා කියලා හිතමු. කාටවත් මොකක්ද තියෙන ප්‍රශ්නය. හැබැයි මට පොඩි සීමාවක් තියෙනවා. මොකද දැන් කෝල් එකක් එන්න පුළුවන් හදිසි තත්ත්වයක් තියෙනවා, එන්න කියලා. අපට සමාජ වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි ටිකක් නොබී ඉන්නවා නම් මම නොබී ඉන්නේ. ඒ කාලේ ඉඳන් ආර්ථික අමාරුකම් එක්ක පක්ෂයේ හැදුණ මත්පැන් නොබොන සංස්කෘතියක් තියෙනවා. තව කෙනෙක් අහන්න පුළු‍වන් නොකා නොබී ජීවත්වෙලා ඇති වැඬේ මොකක්ද කියලා. අපේ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා, ඉස්කෝලේ 83 කණ්ඩායම වාර්ෂිකව සාදයක් එහෙම දානවා. එතකොට මම යනවා. උංගෙන් ඉතින් බේරෙන්න බෑ බීපං කියලා. ඉතින් චුට්ටක් බොනවා. ඒක මට බොන්න තියෙන වුවමනාවක් නෙවෙයි. ඒත් ඒක තමයි එතැන මම පවත්වන මානුෂීය සම්බන්ධයේ ස්වරූප'

    ඉකොනෝට ඉහත මුල් ප්‍රකාශයෙන් රිදිලා තියෙන අන්දම මේ ටිකේම හැම පොස්ට් එකටම ලාල්කාන්ත ගැන මොකක් හරි කියන එකෙන් පේනවා.

    ඉකොනෝ වගේ සමාජශීලි නැති, හැම දේම මුදලින් මනිනා අයට නම් මිනිස් සබදතා තේරෙන්නේ නැහැ. අපිට සමහර වෙලාවට අපි අකමැති දේවලුත් කරන්න වෙනවා මේ අවකාශය තුලදී. ඉකොනෝට ඕක තේරෙන්නේ නැහැ. මොකද ඔබට එහෙම ජිවිතයක් නැහැ. ඔබ කිසි ජිවිතයක් නැති මනුස්සයෙක්. මම මේක කලිනුත් මේ බ්ලොග් එකේ කොතැනක හරි කිව්වා.

    ReplyDelete
    Replies
    1. උඩින්ම තියෙන දෙයට එකඟ නැතත් මට ලාල්කාන්ත එක්ක අරෝවක් නැහැ. ඒවගේම කාල්මාක්ස් කියල තියෙන්නේ මොනවා වුවත්, දෙවන කොටස ගැනත් ප්‍රශ්නයක් නැහැ.

      //අපිට සමහර වෙලාවට අපි අකමැති දේවලුත් කරන්න වෙනවා මේ අවකාශය තුලදී.//
      ඒක විකල්ප නැති වීම පිළිබඳ ප්‍රශ්නයක්. මම මේ ලිපියෙන් හා පෙර ලිපියෙන් පැහැදිලි කරන්න උත්සාහ කළේ එයයි. එවැනි අවස්ථා වල පවා මිනිස්සු තෝරාගන්නේ තමන්ට වඩාත්ම හොඳ දේ. එය නරක දෙකකින් අඩු නරක තෝරාගැනීම වෙන්න පුළුවන්.

      උදාහරණයක් විදිහට කවර හෝ "දේශප්‍රේමී" සංවිධානයකින් දැනුම් දෙනවා අද රැකියාවට ගියොත් ඝාතනය කරනවා කියලා. ඔවුන් ඒ විදිහේ ඝාතන කරලත් තිබෙනවා. රජයෙන් කියනවා රැකියාවට නොගියොත් අස්කරනවා කියලා. ඊට වඩා වැඩි දේවලුත් වෙන්න ඉඩක් තිබෙන බව පේනවා. එතකොට තේරීම තිබෙන්නේ තමන් අකැමැති විකල්ප දෙකක් අතරයි. ඔය දෙකම නොවන තුන්වන විකල්පයක් ලැබුණොත් පමණයි මෙහි වෙනසක් වෙන්නේ. නැත්නම් ඔබ කියන ආකාරයට තමන් අකැමැති, එහෙත් අඩුවෙන් අකැමැති, දේ කරන්න වෙනවා.

      තවත් උදාහරණයක් ගත්තොත් උසස් අධ්‍යාපනය සඳහා තිබෙන්නේ රජයේ සරසවි විකල්පය පමණක්නම් හෝ පෞද්ගලික සරසවි විකල්පය පමණක්නම් ඒ දෙක අතර තේරීමක් කිරීමේ හැකියාවක් නැහැ. රජයේ සරසවියකට දරුවෙක්ව යවන්න අකැමැති, පිටරටකට යවන්න තරම් මුදල් නැති කෙනෙක්ට අකැමැත්තෙන් හෝ දරුවාව රජයේ සරසවියකට යවන්න වෙනවා. මොකද ළමයාව ගෙදර තියා ගැනීම වඩා නරක විකල්පයක් නිසා. නමුත්, ඔය වර්ග දෙකම තිබෙන වෙලාවක කෙනෙක් දරුවාව පෞද්ගලික සරසවියට යවනවානම් එයින් කියැවෙන්නේ එය ඔහු වඩා කැමති විකල්පය බවයි. මොකද ඔහුට දරුවාව රජයේ සරසවියකට යැවීමේ හෝ ගෙදර තියා ගැනීමේ විකල්ප නැති වෙලා නැහැ. අනෙක් දෙකෙන් එකක් කැමති විකල්පයනම්, දරුවාව අකැමැත්තෙන් පෞද්ගලික සරසවියකට යවන්න අවශ්‍ය නැහැ.

      Delete
    2. 'අපේ අය නම් බටහිර රටවලට ගියත් වෙනස් වෙන්නේ නැහැ. මම ළඟදී ජිනීවාවල ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ගියා. අපි බොහෝවිට අපේ හිතමිත්‍රයන්ගේ තැන්වල ඉන්නේ. එයාලා ඒ රටවල පුංචි ලංකාවක් හදාගෙනයි ජීවත්වෙන්නේ. ගෙදර කන්න උයන්නේ පරිප්පුයි බතුයි. එකතුවෙලා පුංචි පන්සලක් එහෙම හදාගන්නවා. මේක නම් පසුගාමීත්වයක්. මම වතාවක් කටාර් ගියා. අපි යද්දී හොඳ පිළිගැනීමක් එක්ක කිරිබත් හදලා තිබුණා. මහන්සි වෙලා හදලා තිබුණේ. ඒත් මම හිත නොරිද්දාම කීවා මම මෙහෙන් යනකල් මට ලංකාවෙ කෑම නම් එපා කියලා. මම වෙන රටකට ගියොත් එහේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා ආවේ නැත්නම් වැඩක් නැහැ. එහේ ගිහිල්ලත් කිරිබතුයි ලු‍ණුමිරිසුයි කන්නෙ ඇයි? මේවා විකෘති.

      ටික දිනකට සංචාරයකට යන කෙනා එම රටේ හෝ ප්‍රදේශයේ කෑම, සංස්කෘතිය දැකගන්න ඕනෙකම තියෙනවනං බොහොම හොඳයි.
      ලාල් කාන්ත ගියේ ටික දවසකට පමණයි. එම රටවල ඉන්න අය එහෙම නෙවෙයි. ඒ ය කන්නේ තමන්ට කාල පුරුදු සාදන්න පුරුදු කෑම.
      මෙහෙම හිතමු, ලාල් කාන්ත ජිනීවා ගිහිල්ල කෑමට ගියා අරාබි ජාතිකයෙකුගේ ගෙදර. ඒගොල්ල මෙයාට දෙන්නේ 'සුවීස්‌' කෑමද? බොහෝවිට අරාබි කෑම.
      අනුන්ගේ හැමදේම වැරදිම දකින ලාල් කාන්තල වගේ කට්ටිය කොච්චර කෑ ගැහුවත් මොලේ දෙන්න බැහැ නේ.
      යකෝ සංචාරෙකට ගියානං හෝටලේක නැවතිලා රෙස්ටුරන්ට් වලින් කාල වරෙන්කො. ගජේ ගහල තව කියවන්නත් එනවා.

      Delete
  2. මට ලංකාවේ මත්පැන් ගැන පොතක් ලියන්න පුලුවන්. එහෙම නැතුව ඔබගේ ප්‍රවේශය ගැන එකක් කියන්නම්. මම දන්න කෙනෙක් ඉන්නවා මුලදීම කියන්නේ අද බොන්නෙ නැහැ කියලා. ටික වෙලාවක් යනකොට පොඩි එකක් ගමු කියලා එකක් ගන්නවා. අන්තිම වෙනකොට ඔක්කොම නැවැත්තුවත් මිනිහ තවම බොනවා. හැමෝම මේ ගැන දන්නවා. මිනිහට විහිළුත් කරනවා. ඒත් හැමදාම එකම විදිහට නොබොන කථාවෙන් තමයි පටන් ගන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය චර්යාවට හේතු කිහිපයක්ම තිබෙන්න පුළුවන්. ඒ විවිධ කණ්ඩායම් ඔබ හොඳින් හඳුනනවා ඇති.

      Delete
    2. සැන්ඩි නැතිව අරක්කු බී, හොදට බොරේ හිටින්නට හදාපු හරක් මස් කරියක් සමග කිරිබත් කා අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කරමු !!!

      Delete
  3. ඉකොනෝ, ඉස්සෙල්ලාම සුබස් නව වසරකට සුපැතුම්!

    මං මත්පැන් බොන්නෙක් නෙවෙයි. ඒත් මගේ නෑයෝ, යහළුවෝ වැඩි හරියක් බොන අය. ඒ අය ලොකු පරාසයක විහිදෙන්නෝ. සමහරුන් සමහර ජාතිවලට - මෙව්වා තමා සැන්ඩිවලට ගන්නේ- කියනවා. ඒකෙනුයි මං දැනගත්තේ ඒ ඒ මත්පැන් වර්ගවලට උචිතම සැන්ඩි වර්ගත් තියෙන බව.
    සමහර අයට නම් එහෙම පුරුද්දක් නැහැ. අයිස් කැට නැතිනම් අයිස් වතුර හරිත්, ඒකත් නැති නම් නිකම්ම වතුර හරිත් කවලං කර ගන්නවා. ඒ මදිවට එහෙම අයගෙන් හුඟකට බෝතලේ අඩිය බලන්නත් ඕනේ පදම ඉක්මවා ගිහින් තිබුණත්.

    නරකම අය විස්කි ගහලා හිටියත්, බියර් විතරක් බොන අය බීලා ඉතිරි බියර් වුණත් ඇදලා අරින බාබෙද්දෝ.
    හැබැයි ඔය වැඩි දෙනා බොන්නේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක හිංදා කියලයි කියන්නේ.
    ඔය කොයි කෙරුමන්ලට වුණත් භෞතික බයිට්වලට අමතරව රට, ජාතිය, ආගම, දේශපාලනය වගේ සංකල්පමය බයිටුත් නැතිවම බැහැ.
    මට හිතෙන්නේ නම් අපේ ඇත්තන් මත්පැන්වලට වඩාත් කෑදර බවයි. තමන්ට තමන්ව පාලනය කර ගන්න බැරි උදවිය බවයි. මේක මට හමු වුණු අය අනුව එළඹී නිගමනයක් නිසා වැරදි වෙන්නත් පුළුවන්.

    ඒත් විදේශික අය ගොඩ දෙනා බොන්නේ නම් සමාජ ඇසුර පවත්වා ගැනීමට විතරයි වගේ.
    එංගලන්තයේදී මා දුටු හුඟ දෙනාට ගෙදරම මිනි බාර් තිබුණා. ඒත් තිස්සෙම දෙකක් දාගන්න ඕනේ කියන ආකල්පය තිබුණේ නැහැ.
    අපේ නංගිත්, එයාගේ සැමියාගේ පවුලේ අයත් බීම විකුණන සාප්පු හතරක් කරගෙන ගියා. ගෙදරත් බෝතල් තිබුණා. හැබැයි මස්සිනාලා තුන් දෙනාම එයාලගෙ ලිකර් ෂොප්ස් වැහුවට පස්සේ ළඟම තියෙන pub එකට ගිහිල්ලයි බිව්වේ. මාත් කිහිප වතාවක්ම ඒවාට ගියා, මං නොබොන කෙනෙක් කිව්වාට පස්සේ එයාලගෙ යහළුවෝ කවුරුන්වත් මට බොන්නයි කියලා බල කළේ නැහැ. ඒක තමා මං එහෙදි දුටු විශේෂම දේ.

    මං වැඩ කළ ප්‍රින්ටින් ප්‍රෙස්වලදී අලුතින්ම ගම්වලින් වැඩට එන ගැටවර අය -මං බොන්නේ නැහැ- කිව්වත් සාදයක් වගේ වෙලාවක අනෙක් වැඩිහිටි, ප්‍රවීන උදවිය එයාලට නොබී ඉන්න දුන්නෙම නැහැ. අර ගැටවු හැමෝටම බලෙන් හරි පෙව්වා. ටික කාලෙකින්ම ඒ හුඟක් අයත් බේබද්දෝ වුණා!

    දැන් වුණත් අපේ යාළුවො ගොඩ දෙනෙක් වාහනේ එලවන්න තියෙද්දී වුණත් ටිකක් හරි බොනවා. වෙන රටවලදී නම් අපේ සෙට් එකක් වුණත් වාහනේ පදවන කෙනා නොබී ඉන්නවානේ. අන්තිමට වෙන්නේ සමාජ ඇසුර පවත්වා ගන්න හරි බීපු උදවිය නිසා පාරේ යන-එන නොබිපු මිනිසුන්ට වන්දි ගෙවන්නයි!

    ReplyDelete
    Replies
    1. ඔබේ දිගු අදහස් දැක්වීමට ස්තුතියි! විදේශිකයින් අතරත් සමාජ ඇසුර පවත්වා ගැනීමට මත්පැන් බොන අය, මත්පැන් නොබී ඉතා හොඳ මට්ටමින් සමාජ සම්බන්ධතා පවත්වා ගන්නා අය වගේම සමාජ ඇසුර පවත්වා ගැනීම නොවන වෙනත් හේතු මත මත්පැන් බොන අය ආදී විවිධ පිරිස් ඉන්නවා. සමහර විට සංයුතියේ වෙනස්කම් ඇති. මත්පැන් බී රිය පැදවීමනම් පාලනය වී තිබෙන්නේ දැඩි සේ නීතිය ක්‍රියාත්මක වන නිසා.

      Delete
  4. ඉකොනෝ ට සුබ නව වසරක් පතලා මමත් ප්‍රතිචාරයක් ලියන්නම්. මමත් බොන කෙනෙක්. හැබැයි වෘත්තීය බේබද්දෙක් නොවයි. ඉස්සර ලංකාවේ ඉන්දැද්දී කලාතුරකින් බාල විස්කි ටිකක් (ඒ කාලේ ග්‍රාන්ට්ස්, රෙඩ් ලේබල්, බ්ලැක් ඇන්ඩ් වයිට්, වැට් 69 තමයි 'විස්කි' කියන්නේ කියලානේ අපි හිතාගෙන හිටියේ ) බොන්න ලැබුනත් VSOA , DD , ඕල්ඩ් ඇරක් නැතිනම් ගල්, පොල් වලින් තමයි අපි විනෝද උනේ. SLSC රෙඩ් රම් එකත් බිව්වා. නමුත් හොඳට හිතලා බලපුවාම ඒවා එකක්වත් කොකා කෝලා, ස්ප්‍රයිට් වගේ දෙයක් කලවම් කරන්නේ නැතිව බොන්න බැහැ. එතරම්ම සැර, අප්‍රසන්න රසක් හා ගඳක් ඒවායේ තිබුනා. මම හිතන්නේ 'සැන්ඩි' කිරීමට මූලිකම කරුණ එයයි.

    ඒ වගේම ලංකාවේ බහුතරයක් කරන්නේ 'කට කපලා ' එකක් දාගෙන එක උගුරට ගහලා දාන එකයි. මේ ලියන මමත් (එකල) එහෙමයි. ඒකට මුලිකම හේතු දෙකක් මම දකිනවා. එකක් තමයි අපි තරුණ කාලේ බිව්වේ (වැඩිහිටියන්ට) හොරෙන්. ඉතින් වීදුරුව අතේ තියාගෙන ඕවා තොල ගගා ඉඳීම 'සෞඛ්‍යය ට' අහිතකරයි. අනික් හේතුව පහු පහු වෙනකොට බඩු ඉවර වීමයි. ඒ නිසා දෙක දාගන්නකොට උතුර දකුණ මාරු වෙනවා. ඒ මොකද 'දෙකක්' කියන්නේ බෝතල් කාලක්, 3/8 විතරනේ. ඊට පස්සේ හරියකට කන්නත් බැහැ. පහුවදාට ඔලුව උස්සන්නත් බැහැ. අතින් සල්ලි වියදම් කරලා දුක් විඳිනවා.

    මම සංක්‍රමණය උනාට පසුව ටික ටික බීම එන්ජෝයි කරන්න ඉගෙන ගත්තා උනත් මුලදී අපි විස්කි බිව්වේ සැන්ඩි දාලයි. නමුත් හොඳ හොඳ විස්කි වර්ග වල රස හඳුනා ගැනීමත්, ඒවා කට කපලා එක උගුරට බීලා වැඩක් නැති බවත්, ඒවාගේම 'බඩු' ඕනෑතරම් තියන බවත් ටික ටික තේරුම් ගියා. මීට වසර ගණනාවකට පෙර මම ග්ලෙන්ෆිඩික් (Glenfiddich) ප්‍රොමෝෂන් එකකින් තෑග්ගක් දිනුවා. ඒකෙ ත්‍යාගය උනේ බෝතලයක් ඩොලර් 25,000 පමණ වූ වසර පනහක් පැරණි ග්ලෙන්ෆිඩික් (Glenfiddich 50) බෝතලයකින් 'ෂොට්' එකක් සහ memorabilia රාශියකුයි. මට නම් ඒ ෂොට් එක (මිලි ලීටර් 35 පමණ ) දත් අස්සේ යන්නත් මදි උනාට අනිකුත් ත්‍යාගලාභීන් ඒ එක ෂොට් එක පැය බාගයක් විතර ලෙව කෑවා. ඔවුන් එහි රස ගැන කියාපු දේවල් මට අදාළ නොවුනේ මම ඒ වෙනකොටත් විස්කි බිව්වේ වෙරි වෙන්න මිසක් එහි රසවිඳීම සඳහා නොවන නිසයි. දැන් නම් සිංගල් මෝල්ට් හෝ සීමිත බ්ලෙන්ඩඩ් ස්කොච් වර්ග කිහිපයකට පමණක් හුරුවෙලා ඉන්න මම, අයිස් කැටයක් දාන්නෙත් ග්‍රීෂ්ම කාලයේදී විතරයි.

    ඒ වාගේම ලංකාවේ උදවියට 'වෙලාව' කියන දේ පිලිබඳ තියන නොසැලකිල්ල තේරුම් යන්නේ සුද්දන්ට පාටියකට ඉන්වයිට් කලාමයි. හයයි තිහට එන්න කියලා සුද්දන්ට ඉන්වයිට් කලාම දොර අරින්න වෙන්නේ එකවරයි. මොකද සියලු දෙනාම 6.30 දොර ළඟ. අපේ කට්ටියගේ ප්‍රමාදයට විරෝධය පලකිරීම සඳහා මගේ දරුවන් කුඩා කාලයේ උපන් දින කේක් එක කැපුවේ "කියාපු වෙලාවට" මිස සියලු දෙනාම ආවාම නොවෙයි. මම ඒකට හේතුව හැටියට කිව්වේ, නියමිත වෙලාවට ආපු ආරාධිතයින් සිසිල් බීම වීදුරුවක් විතරක් බීලා කේක් එක කපා පාටිය ආරම්භ කිරීමට අනිකුත් අය එනතෙක් වේලි වේලි ඉන්න සිදුවීම ඒ මිනිසුන්ට කරන අසාධාරණයක් කියලයි. ඒකෙන් සිදු වෙන්නේ වෙලාවට නොගිහින් පමා වී යාමට ඔවුනුත් පෙළඹවීමයි. ඒ නිසා මගේ මිතුරන් බොහෝ දෙනෙක් කියූ වෙලාවට එන්න පුරුදු වෙලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අපි ගොඩක් දෙනෙකුගේ අත්දැකීම් එක වගේ. ඔබටත් සුබ නව වසරක්!

      Delete
  5. චීනය නව ලෝක බලවතාය. දැනට සිටින බලවතුන් ඇමරිකාව හා යුරෝපීයයන්ය. ඔවුහු අපිව පාලනය කරති. අපට තරවටු කරති. අපට පාට් එක දමති.
    චීනය මෙන්ම අපට ණයද දෙති. ඔවුන් කියනා ලෙසකට වැඩ නොකරයි නම් අපට දෙන ණය කපා හරිති. අපි මුරණ්ඩු රටක් නම් අපට සම්බාධක පනවති.

    බටහිර රටවල් සංස්කෘතික වශයෙන්ම අරියාදු කාරයින්ය. ( Bullies) ඔවුන් ලෝකය යටත් විජිතයක් කරගෙන සිටියහ. අනෙක් රටවල සම්පත් මිලකළ නොහැකි තරමින් ඔවුන්ගේ රටවලට ගෙනගොස් පෝසතුන් වූහ.

    තමන්ට වඩා හමේ වර්ණය වෙනස් මිනිසුන් වහලුන් ලෙස භාවිතා කලහ. බටහිර රටවල් එකල මහා මාර්ග දුම්රිය මාර්ග හා වෙනත් විස්මිත ඉදිකිරීම් සිදු කලේ වහලුන් යොදාගෙනය.

    බටහිර රටවල් චීනුන් විසින් සොයාගත් උත්සව සදහා භාවිතා කල වෙඩි බෙහෙත් මිනිසාගේම විනාශයට හේතු වන ගිනි අවි සෑදීම සඳහා භාවිතා කලේය.

    බටහිර රටවල් ස්වභාවයෙන්ම යුද්ධයට ප්‍රියය. විශේෂයෙන්ම අනෙක් රටවල් වලට ගොස් ඔවුන්ගේ යුද්ධ වලට මැදිහත් වීමට කැමතිය. ආයුධ නිපදවීම ප්‍රධාන වෙළඳාමක් කරගෙන ජීවත් වෙයි. වසරකට යුධ උපකරණ දහස් ගණනින් නිෂ්පාදනය කරයි. ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් වලට ඔවුන්ගේ යුධ ශක්තිය පෙන්වා බය කරගෙන සිටිති. අපි ඇත්තටම බය විය යුතු වෙමු. ඔවුන් එදා ජපානයට පිට පිට පරමාණු බෝම්බ දෙකක් හෙලා අහිංසක මිනිස් ජීවිත දාස් ගණනක් විනාෂ කල අවස්ථාවේ මනුෂ්‍යත්වය ගැන දශමයක් වත් සැලකිල්ලට ගත්තේ නැත.

    අද ඔවුහු අපව ඔවුන්ගේ ආර්ථිකය, යුධ බලය හා දැනුම යනු තුන්විධි ආකාරයෙන්ම යටත් කරගෙන පාලනය කරගෙන සිටිති. අප ගැන සැබෑ සැලකිල්ලක් නොදක්වන අතර අපේ රට දියුණු වෙනවා දකින්න ඔවුන්ට කිසිම ඕනෑ කමක් නැත. යහපාලනයේ නාමය යටතේ හෝ ඔවුන්ට කීකරු රටක් ලෙස සිටීම පමණක් ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙයි. ඒ සඳහා GSP+ සහන කප්පාදු කරයි.

    බටහිර රටවල් වලින් ණය ලබාගෙන ඔවුන්ට කීකරුව හිඳ දියුණු වූ රටක් ලෝක ඉතිහාසයේ නැත. ලෝක අර්බුදයකදී අප රට ඔවුන්ට යුධ කඳවුරක් වශයෙන් භාවිතා කල හැකි බව ඔවුන්ගේ අප කෙරෙහි ඇති එකම උනන්දුවයි.

    චීනය නැඟී එන ලෝක බලවතාය. චීනය සමඟ අපරට ආර්ථික සංවර්ධන ගිවිසුම් වලට යනු දැකීම සුලභය. චීනය අප අයත් වන මහද්වීපයටම අයිති බලවත්ම රටය. චීනය සමඟ අප යුධ ගිවිසුම් වලට ගොස් නැත. අප චීනයට කීකරු වී සීටිය යුතූද නැත. යටත් විය යුතුද නැත.

    චීනය අපරට සමඟ මිත්‍ර වනවාට බටහිර කඳවුර කැමති නැත. අප රට තුළ බටහිර කඳවුරේ සහයෙන් දේශපාලනය කරන එජාපයද චීනයට කැමති නැත. ඒ නිසාවෙන්ම මේ දිනවල ඇ.එ.ජනපදය විසින් චීනයට විරුද්ධ වන්නැයි කරන ප්‍රභල බල කිරීම අප රට තුළ දැකිය හැක. මෙසේ බොරු චීන විරෝධයක් පෙන්වන්නේ එජාපයේ දේශපාලනය තුළින් පමණි.

    සෑම එජාප පාක්ෂිකයෙක් තුළම චීන බය ඇති කිරීමට එජාප දේශපාලනඥයින් සමත් වී ඇත.
    කොළඹ අවට සංවර්ධන ව්‍යාපෘති වල චීන ජාතිකයන් වැඩකරනු දුටු විට බියෙන් වෙව්ලයි. චීන අකුරු වලින් ලියූ බෝඩ් ලෑල්ලක් දුටුවොත් අඬන්නට පටන් ගනී.

    චීනයට ප්‍රභාකරන්ටත් වඩා බිය වෙයි. මේ සියල්ලට වග කිව යුත්තේ මහින්ද රාජපක්ෂ බවද කියන්නට අමතක කරන්නේ නැත.

    අප රට තුළ මේ වන විට සිටින ස්ථිර පදිංචි හෝ තාවකාලික සියලුම චීන ජාතිකයන් සංඛ්‍යාව එකතු කලත් එජාප පාක්ෂිකයන් ගණනට වඩා අඩුය.
    ඒ අනුව චීන ව්‍යාප්තිවාදීන්ට වඩා චීන විරෝධීන් මේ රටේ සිටින බව නම් කිව යුතුය.

    අලුත් අවුරුදු සුභ පැතුමක් එක් කල විට එයට චීන ව්‍යාපත්වාදය යැයි කියමින් කොළඹ අවට මැන්ඩරින් භාෂා පන්ති හොයන සිංහලයින් කොට්ටාසයක් බලාගත හැක්කේ ඒ නිසාය.

    ඔබ සියලු දෙනාට සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  6. මත්වී සිහිය විකල් නොවන තරමට බිව්වොත් පස්වන සිල්පදය කැඩුවා වෙනවද?

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන ලොකුම ප්‍රශනයක් මත් පැන් බීමෙන් පවක් වෙන්නේ කොහොමද කියන එක.

      Delete
    2. පවු හා පින් කියන සංකල්ප සමාජයට හා පුද්ගලයාට සිදුවන යහපත හා අයහපත සලකා කවුරු හෝ විසින් පොදුවේ කර තිබෙන නිර්දේශ සේ සැලකිය හැකියි. ප්‍රධාන ආගම් ගණනාවක මත්පැන් පානය කිරීම පුද්ගලයාගේ අයහපතට හේතු වන බව කියා තිබෙනවා. ආගමික පදනමක් නැතිව වෙනත් විශේෂඥයින් හෝ ආයතන විසින්ද එවැනි නිර්දේශ කර තිබෙනවා. ආර්ථික විද්‍යාඥයෙක් අද මේ පිළිබඳව නිගමනයකට එනවානම් එය කරන්නේ සමස්තයක් ලෙස එයින් පුද්ගලයෙකුට හා සමාජයට සිදුවන යහපත හා අයහපත විශ්ලේෂණය කර සසඳා බැලීමෙන් (cost benefit analysis) පසුවයි. පහත උපුටා දක්වන කුරාන පාඨය දෙස බැලූ විට මත්පැන් පානය පවක්ය යන නිගමනයට පැමිණ තිබෙන්නේත් එවැනි පදනමකින් විය හැකි බව පෙනෙනවා.

      ""(නබියේ!) සුරාව ගැනද, සූදුව ගැනද ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: "මේ දෙකෙහිම විශාල පාපයන් ඇත්තේය. මිනිසුන්ට (සමහර) ප්‍රයෝජනද ඇත්තේය. නමුත්, ඒ දෙකෙහි ඇති පාපය, ඒ දෙකෙහි ඇති ප්‍රයෝජනයට වඩා අති විශාලය."
      -අල් බකරා (2):229.

      Delete
  7. කිහිප විටක් ගොස් ඇති government services club එකේ පරන බිල් දෙනවා අත පිහින්න. අරක්කු බෝතලයි සෝඩා බෝතලයයි වඩේ තුනයි .. ඒවගේ.. රාජ්‍ය සේවය ඒ දවස් වල හරි සාන්ද්‍රයි

    ReplyDelete
  8. සුභ නව වසරක් ඉකොනොමැට්ටා... මම අයිති වෙන්නේ සමාගමයට ප්‍රිය නිසා බොන්න සෙට් වෙන ගොඩට. සැන්ඩි දානවා පහසුවෙන් බොන්න පුළුවන් වෙන්න. එන්න එන්න සැන්ඩි වැඩි වෙනවා.. අන්තිමේ නිකං සැන්ඩිම විතරයි වගේ... මට මතක් වුණේ ඇමරිකාවට සැන්ඩි කුණාටුවක් ආව එක.. කාටූන් එකක තිබ්බනේ සැන්ඩි කුණාටුවක් ආවත් විස්කි පොඩ්ඩක්වත් නැත්තං මොකද්ද ඇති වැඩේ කියලා...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: