Saturday, December 29, 2018
ලීනි සිබරල් කානි සිවුද?
දැන් ළමයි කොහොමද දන්නේ නැහැ. අපිනම් දෙවන භාෂාවක් ඉගෙන ගත්තේ ගොඩක් පොඩි කාලෙදිමයි. ඒ පෙරළි භාෂාව. බස් පෙරළීම හා "බස්" පෙරළීම කියා දෙකක් තියෙනවනේ! ඊට පස්සේ තුන්වන භාෂාවකුත් ඉගෙන ගත්තා. ඒ සීනි භාෂාව.
ඔය භාෂා තුන ඔය පිළිවෙළටම මිසක් වෙනත් පිළිවෙලකට ඉගෙන ගන්න බැහැ. පෙරළි භාෂාව ඉගෙන ගන්න කලින් සිංහල ඉගෙන ගන්න වෙනවා. අර සිංහල උගත් ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක් හා ඒ කාලයේ ජීවත් වූ හිමිනමක් අතර පළමු පංතියේ දුම්රිය මැදිරියකදී වූ කතාබහක් ගැන කතාව අහල ඇතිනේ. සුද්දට ඇනගන්න වුනේ සිංහල කොයි තරම් හොඳින් ඉගෙනගෙන තිබුණත් පෙරළි භාෂාව ගැන දැනගෙන නොසිටි නිසයි. සීනි භාෂාව ඉගෙන ගන්නනම් සිංහලයි පෙරළි භාෂාවයි දෙකම කලින් හදාරලා තියෙන්න ඕනෑ.
දෙවන, තුන්වන ආදී භාෂා කොපමණ ඉගෙන ගත්තත් මවු භාෂාව හසුරුවන එක වඩා පහසුයි. ලියන්න වගේම කියවන්නත්. හැබැයි තමන්ට පහසුම භාෂාවෙන් ලියා තිබෙන දෙයක් වුවත් හැමෝම කියවන්නේ එකම විදිහට නෙමෙයි. එකම අකුරු හා වචන තමයි. නමුත්, කියවන එක් එක් පුද්ගලයා ඒ වචන වලින් තේරුම් ගන්නේ තම තමන්ට අවශ්‍ය දේවල්. එයත් අප අතර තිබෙන විවිධත්වයේ කොටසක්.
රනිල් ප්‍රධාන එජාප ආණ්ඩුව ලිබරල් මතවාදී ආණ්ඩුවක් ලෙස බොහෝ දෙනෙක් සලකනවා. එහෙමනම්, මහින්දලා ප්‍රති-ලිබරල්ද?
රනිල්ගේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ලෙස රාජිත විසින් යෝජනා කළ පැණි බීම සඳහා වූ සීනි බද්ද මහින්ද විසින් ඉවත් කළා. මේ බද්ද දමපු වෙලාවේ ඒ ගැන බටහිර මාධ්‍ය වාර්තා වල ඉතා පැහැදිලිවම ලියා තිබුණේ මෙය ප්‍රති-ලිබරල් ක්‍රියාමාර්ගයක් බවයි. එහෙමනම් බද්ද ඉවත් කිරීම ලිබරල් තීරණයක්. කවුරු හෝ පුද්ගලයෙක්, ප්‍රතිපත්ති සම්පාදකයෙක් හෝ ආණ්ඩුවක් විසින් සමස්තයක් ලෙස කටයුතු කරන ආකාරය හා එවැනි පුද්ගලයකු හෝ ආණ්ඩුවක් විසින් ගන්නා හුදෙකලා ප්‍රතිපත්ති තීරණ දිහා එකම අච්චුවේ දමා බලන්න බැහැ.
ලිබරල් වගේ පුළුල් තේරුමක් තියෙන බර වචන පැත්තකින් තියලා නිදහස් වෙළඳපොළ කියන සාපේක්ෂව සරල සංකල්පය වෙත හැරෙමුකෝ. නිදහස් වෙළඳපොළක් කියන්නේ රජයේ මැදිහත්වීමක් නැතුව පුද්ගලයින් දෙදෙනෙකු අතර ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනු වලට ඉඩලැබෙන තැනක්. හරියට පැණිබීම නිෂ්පාදකයෙකු හා පාරිභෝගිකයෙකු අතර සිදුවන ගනුදෙනුවක් වගේ. ගනුදෙනුව සිදුවන මිල තීරණය කරන්නේ ඒ දෙන්නා. දෙන්නාගෙන් කාට හෝ පාඩුනම් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ගනුදෙනුවක් වෙනවනම් එයින් කියන්නේ දෙන්නටම වාසි බවයි.
සීනි බද්ද කියන්නේ රජය විසින් ඉහත කී ගනුදෙනුවට අකුල් හෙළන නියාමන ක්‍රියාමාර්ගයක්. එය නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට බාධාවක්. එවැනි ක්‍රියාමාර්ගයක් යුක්තියුක්ත කළ හැක්කේ කවර පදනමකින්ද?
මේ ආකාරයේ බදු වලට කියන්නේ පිගෝවියන් බදු කියලා. කිසියම් හෝ හේතුවක් නිසා නිදහස් ගනුදෙනු වලට ඉඩ හැරීමෙන් සමාජයට අයහපතක් සිදුවෙනවාය යන උපකල්පනය මත ඒ අයහපත නැති කරන එකයි මෙවැනි බදු පැනවීමෙන් අපේක්ෂා කරන්නේ. ඇතැම් භාණ්ඩ මත පිගෝවියන් බදු පැනවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබෙනවා. මත්පැන් හා දුම්වැටි උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. වසර කිහිපයක සිට සීනි බදුත් මේ නිර්දේශ අතරට එකතු වී තිබෙනවා.
දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ අවසන් ඇමරිකානුවා වූ රිචඩ් ඕවර්ටන් වසර 112ක් හා දින 230ක් ආයු වළඳා පෙරේදා (දෙසැම්බර් 27) මිය ගියා. ඔහු නොකඩවා දිනපතාම දුම්පානය කළ, උදේට කෝපි එක්ක හෝ අමුවෙන්ම විස්කි වඩියක් සප්පායම් වූ, හැමදාම රෑට අයිස්ක්‍රීම් එකක් කන්න ප්‍රිය කළ පුද්ගලයෙක්. රිචඩ් ඕවර්ටන් වැනි ප්‍රති-උදාහරණ පෙන්විය හැකි වුවත්, අධික මත්පැන් භාවිතය හා දුම්වැටි භාවිතය නිසා පුද්ගලයෙකුට සෞඛ්‍යමය හානි වෙනවා කියන එක පිළිගත හැකි, පැහැදිලි කරුණක්.
ආර්ථික විද්‍යාවේ මූලික න්‍යායයක් වන්නේ හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි පුද්ගලයෙක්ට තමන්ට හොඳම දේ තෝරාගැනීමේ හැකියාවක් තිබෙනවා කියන එකයි. ඒ අනුව, කවුරු හෝ දුම්වැටියකට ගෙවන මිල ගෙවන්නේ මේ හානි ගැන සැලකීමෙන්ද පසුව ඔහු හෝ ඇය දුම්වැටියෙන් ලබන සතුට ගෙවන මිලට වඩා වැඩි නිසයි. ඒ පදනම මත බැලුවොත් කවුරුහරි දුම්පානය හේතුවෙන් පෙනහළු පිළිකාවක් හදා ගත්තොත් ඒක ඒ පුද්ගලයාගේ පෞද්ගලික ප්‍රශ්නයක්.
හැබැයි පුද්ගලයෙක් දුම්වැටියකට ගෙවන මිල තීරණය කරද්දී ඒ නිසා තමන්ට ලැබෙන සතුට හා සිදුවිය හැකි හානි ගැන මිසක් වෙනත් අයට සිදුවිය හැකි හානි ගැන හිතන්න හේතුවක් නැහැ. කවුරු හෝ මගේ සේවා ස්ථානයේ, නිවසේ හෝ වෙනත් පොදු ස්ථානයක සිට දුම්පානය කරද්දී, මටත් සිගරට් දුම ආඝ්‍රාණය වෙනවා. ඒ නිසා, මගේ පෙනහළු පිළිකා අවදානම ඉහළ යාම වෙනුවෙන් මට ලැබෙන දෙයක් නැහැ. පිගෝවියන් බදු පිටුපස තිබෙන අදහස වන්නේ දුම්පානය කරන පුද්ගලයාගෙන් හා සිගරැට් වෙළෙන්දාගෙන් මුදලක් අය කරගෙන තෙවන පාර්ශ්වයක් වන මගේ හානිය ප්‍රතිපූරණය කළ යුතු බවයි. මත්පැන් පානය කිරීමේ පුරුද්ද නිසා ගෘහස්ථ හිංසනයේ ගොදුරු වන අය, රිය අනතුරු වලට ලක්වෙන අය ආදීනුත් මෙවැනි තෙවන පාර්ශ්ව සේ සැලකිය හැකියි. සීනි වැඩිපුර බීමෙන් මේ විදිහට කවර හෝ තෙවන පාර්ශ්වයන්ට හානි වෙනවද?
තෙවන පාර්ශ්වයන්ට හානි වෙන අවස්ථා වලදී නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය කිසියම් නියාමනයකට ලක් කිරීම පිළිබඳව මගේ මූලික ප්‍රතිවිරෝධතාවයක් නැහැ. නමුත්, එසේ කරන්න කලින්, ඒ විදිහට තෙවන පාර්ශ්වයන්ට හානි වෙන බවත්, නියාමන ක්‍රියාමාර්ග නිසා ඒ හානි අඩුවන බවත් පැහැදිලිව පෙන්වා දෙන්න නියාමකයින්ට හැකි විය යුතුයි.
ඇතැම් විට ඉහත මූලධර්මයට අමතරව වෙනත් මූලධර්ම මතත් නියාමන ක්‍රියාමාර්ග ගැනෙනවා. උදාහරණයක් විදිහට මත්පැන් හා දුම්වැටි මිල දී ගැනීමේදී අවම වයස් සීමාවක් පැනවීම පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී යොදා ගැනෙන මූලධර්මය වන්නේ මේ දේවල් වල හොඳ නරක කිරා මැන බැලීමේ හැකියාවක් තිබෙන්නේ වැඩිහිටි පුද්ගලයින්ට පමණක් බවයි. තවත් උදාහරණයක් ගත්තොත් බොහෝ බටහිර ඖෂධ විකිණිය හැක්කේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කර ඇත්නම් පමණයි. මොකද ප්‍රමාණවත් පුහුණුවක් නැත්නම් මේ ඖෂධ වල හොඳ නරක කිරා මැන බලන්න සාමාන්‍ය පුද්ගලයෙකුට බැහැ. මේ ආකාරයේ නියාමනයක් තිබීම ගැන වෛද්‍යවරුන් නොවන වැඩිහිටි පුද්ගලයින්ගේ විරෝධයක් නැහැ. ඒ නිසා, නියාමනය සමාජයේ පොදු තීරණයක්.
මේ විදිහට බැලුවොත්, මත්පැන්, දුම්වැටි හා පැණි බීම මත බදු පැනවීමෙන් මේ දේවල් වල සෞඛ්‍යමය හානි පිළිබඳව සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙක්ට වුවත් අවබෝධයක් නැති බව පිළි ගැනෙනවාද? මේ වගේ තත්ත්වයක් නැහැ කියා කියන්න බැහැ. එහෙම තත්ත්වයක් තියෙනවනම් එයට විසඳුම කුමක්ද?
මෙය දේශපාලනික කරුණක්. පළමු විසඳුම වන්නේ වෛද්‍යවරුන් බෙහෙත් නිර්දේශ කරනවා වගේ "දන්නා අය විසින්" අනෙක් අයට ඔවුන්ගේ තේරීම් සිදු කළ යුතු ආකාරය නියම කිරීමයි. දෙවන විසඳුම දන්නා අය විසින් ඒ අයගේ දැනුම් පරතරය අඩු කරගන්න උදවු කිරීමයි. මගේ දේශපාලනික තේරීම දෙවැන්නයි. නමුත්, සියළුම දේශපාලනඥයින් අඩු වැඩි වශයෙන් පෙනී සිටින්නේ පළමු විසඳුම වෙනුවෙනුයි. ඔවුන්ට වෘත්තීය පැවැත්මක් තිබෙන්නේ ඒ තුළයි.
(Image: http://www.dailymirror.lk/article/Snaring-children-in-the-sugary-drink-trap-140964.html)
Subscribe to:
Post Comments (Atom)
රිචඩ් ඕවර්ටන් වැනි, මත්පැන් වලින් ආයුෂ අඩු වෙනවා කියන එක වැරදියි කියා ඔප්පු කළවුන් බොහොමයක්, පැරණි සොල්දාදුවන් වීම අහම්බයක් විය හැකිද ?. බොහෝ කලකට පෙර එවකට ඕස්ට්‍රේලියාවේ ජීවතුන් අතර සිටි අවසාන පළමු ලෝක යුද්ධයට සහභාගී වූ සොල්දාදුවෙකු සමග ගුවන් විදුලියෙන් කෙරුණු සාකච්චාවකට මම සවන් දුන්නා. ඔහු ජැක් ලෙස හැඳින්වුන (John Campbell Ross 1899-2009) සොල්දාදුවෙකු වූ අතර ඔහුට ඉදිරිපත් කල පළමු ප්‍රශ්නය වූයේ ධීර්ඝායුෂ ලැබීමේ රහස කුමක්ද ? What's the secret to your longevity ?? කියන එකයි. වෙවුලන කටහඬකින් ජැක් ගේ පිළිතුර වුයේ Plenty of Scotch කියන එකයි. ඔබගේ දොස්තර ඔබට මත්පැන් වල ආදීනව පැහැදිලි කලේ නැතිද ? කියා ඇසූ ඊළඟ පැනයට පිළිතුර වූයේ , 'ඔව්,ඔහු එහෙම කළා, නමුත් මීට බොහෝ කලකට පෙර ඔහු මියගියා' කියන එකයි.
ReplyDeleteලබන්නාවූ 2019 නව වසරට සුභ පැතුම්.
ඔබටත් සුබ නව වසරක්!
Deleteමා හිතවත් අයෙක් සිටිනවා. ඔහුගේ වයස අවුරුදු 70 ට වැඩි දැන්. ඔහු ව්‍යාපාරිකයෙක්. ඔහු අවුරුදු 20 සිට වගේම සිගරට්,මත්පැන් භාවිතයට පුරුදුව ඉන්නේ.
ReplyDeleteහැමදාම සිගරට් පැකට් එකක් බොනවා. ඒ දවස් වල නං බ්‍රිස්ටල් බිව්වේ. දැන් ගෝල්ඩ්ලීෆ්. හවසට ගල් අරක්කු බෝතලයක් බොනවා.
මේ දින චර්යාව දැන් අවුරුදු දශක ගානක් තිස්සේ සිද්දවෙනවා. ඒත් ඔහු ඉතාම හොදින් ව්‍යාපාරයත් කරගෙන, යාන වාහන තියාගෙන ඉන්නවා. කිසිම ලෙඩක් නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ පිරිමියෙක්ගේ සම්පුර්ණ ආයුකාලයට ආසන්න ආයු කාලයක් ඔහු ගෙවලා ඉන්නේ දැන් කිසි ලෙඩ දුකක් නැතිව.
මේ අතරේ මා දන්නා තවත් අයෙක් ඉන්නවා. ඔහු වෛද්‍යවරයෙක්. කුඩා කල සිටීම ඉතාම තෝරා බේරා අහාර රැගෙන, ඉතාම සැලකිල්ලෙන් ජිවත් වුනේ. මත්පැන්,සිගරට් ආදිය භාවිතා කරන්නේ නැහැ. නරක යැයි කියන සෞඛ්‍ය පුරුදු නැහැ. හැබැයි ඔහුට පිළිකා රෝගයක් සැදුනා අවුරුදු 35 වෙනකොට. දැන් අධික වියදම් සහිත ප්‍රතිකාර කරමින් ඉන්නේ.
මත්පැන්, දුම්වැටි,සිනි, ක්ෂණික අහාර භාවිතා කිරීම හොද නැහැ කිව්වට ඕක ඇත්තම නෙමේ. විවිද මිනිස්සුන්ට මේක බලපාන්නේ එක එක ආකාරයට. මේවා ඕනා තරම් ආහාරයට ගෙන කිසිදු ලෙඩක් නැතිව සම්පුර්ණ ආයු කාලයම ගෙනියට අය ඉන්නවා.
වොරන් බුෆේ නේද වරක් කිව්වේ ඔහු දිනපතා කොකාකෝලා බිමට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා. ඒත් ඔහු හොදට ඉන්නවා නේද?
//විවිද මිනිස්සුන්ට මේක බලපාන්නේ එක එක ආකාරයට. මේවා ඕනා තරම් ආහාරයට ගෙන කිසිදු ලෙඩක් නැතිව සම්පුර්ණ ආයු කාලයම ගෙනියට අය ඉන්නවා.//
Deleteඔබ හරි. විවිධ මිනිස්සුන්ට බලපාන්නේ වෙනස් අයුරින්. නමුත්, කිසියම් පුද්ගලයෙකු ගත්තහම හොඳට බලපාන්න තිබෙන ඉඩට වඩා නරකට බලපාන්න තිබෙන ඉඩ වැඩියි. උදාහරණයක් විදිහට අධික ලෙස සීනි භාවිතා නිසා දියවැඩියාව හැදෙන්න ලොකු ඉඩක් නැති අය (ජානමය සාධක හෝ වෙනත් හේතුවක් නිසා) 10%ක් ඉන්නවා කියා නිකමට හිතමු. ඉතිරි 90%ට දියවැඩියාව හැදෙන්න ලොකු ඉඩක් තිබෙනවා (උදාහරණය සඳහා ගත් ගණන් පමණයි). ප්‍රශ්නය තිබෙන්නේ මා ඉන්නේ මොන ගොඩේද කියා හරියටම දැනගැනීම අසීරු වීමයි. හරියටම දන්නේ නැත්නම් 10%ගොඩේ ඉන්නවා කියා හිතන එක අනවශ්‍ය අවදානමක් ගැනීමක්. බෙහෙත් වල ප්‍රතිඵල/අතුරු ආබාධ ආදියත් එහෙමයි. ජාන විශ්ලේෂණය කර "පෞද්ගලික ඖෂධ" නියම කිරීම ව්‍යාප්ත වූ විට මේ අවිනිශ්චිතතා අඩුවිය හැකි වුවත් එවැනි දේ ලබා ගත හැකි වනු ඇත්තේ මුදල් අතේ තිබෙන ඉතාම සීමිත පිරිසකට පමණයි.
රජයේ (බදු) වියදමෙන් අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අනෙකුත් පහසුකම් ගන්න රටක නිදහස් මිනිස්සු නැහැ. තුන්වන පාර්ශවය කියන්නේ ඔහු/ඇය වෙනුවෙන් වියදම් කරපු/කරන සමාජය.සීනි බද්ද කියන්නේ යමෙක් දියවැඩියාව හෝ සීනි නිසා හැදෙන රෝගයක් නිසා සමාජයට සිදුවන පාඩුව සඳහා අගයක් කියන්නත් පුළුවන් නේද?
ReplyDeleteනිෂ්පාදනය/ආනයනය සීමා කිරීම මගින් වෙළදපොල හරහා මිල වැඩිකිරීමෙන් පරිභෝජනය සීමාකිරීමට වඩා බදු ක්‍රමය හා සීනි මට්ටම පිළිබද ස්ටිකරය ලිබරල් කියල කියන්න පුලුවන් නේද?
මත්ද්‍රව්‍ය නීතිවිරෝදී කිරීමත් ලිබරල් නොවන බව ඇතැමුන් තර්ක කරනවා.
ඔව්, ඇනෝ. මේ කරුණු තමයි මට සාකච්ඡාවට ලක් කරන්න අවශ්‍ය.
Delete