වෙබ් ලිපිනය:

Monday, December 17, 2018

බිලියන දාහ පාඩු වුනේ කොහොමද?


පෙර ලිපියකට ප්‍රතිචාර දක්වමින් කතා කතු විසින් ලියා තිබුණේ මා පෙර ලියූ බැඳුම්කර ලිපි පෙළින් කර තිබෙන්නේ රනිල්ට එල්ල වන චෝදනා තනුක කිරීම බවයි. අප ලියන ලිපි අතරින් එජාපයට වාසිදායකයැයි ඔහු සිතන (හා බොහෝ විට මගේ මතය අනුවද සැබෑවටම එජාපයට වාසිදායක) ඇතැම් දේ ඔහු විසින් වරින් වර විවේචනය කර තිබෙනවා. පළමුව කිව යුත්තේ අප ලියන දේ සැලකිල්ලෙන් කියවීම වගේම ලියන දේ හා අදාළව තමන්ට සිතෙන දේ සටහන් කිරීම අප අගය කරන බවයි. විවේචන ලියන දේවල් හා අදාළනම් හා ශිෂ්ඨ බසින් ලියන්නේනම් අප ලියන ඕනෑම දෙයක් හා එකඟ නොවෙමින් ප්‍රතිචාර දැක්වීමේ කිසිදු වරදක් නැහැ. එවැනි විවේචන අපගේ ලිපි වලට එළියක්.

මා ලියන දෙයින් රනිල්ට හෝ වෙනත් අයෙකුට හෝ එජාපයට හෝ වෙනත් දේශපාලන පක්ෂයකට වාසියක් වෙනවාද නැද්ද යන්න මට වැදගත් කරුණක් නොවෙයි. එවැනි වාසියක් සිදුවන්නට ඉඩක් තිබීමේ හේතුවෙන් මා ලිවිය යුතු දෙයක් නොලියා ඉන්නේ නැහැ. වඩා නිවැරදිව කියනවානම් මගේ බැඳුම්කර ලිපි පෙළින් රනිල් වික්‍රමසිංහ වෙත එල්ල වී තිබෙන චෝදනා තනුක කරනු තබා මා ඔහුට කිසිදු චෝදනාවක් එල්ල කර හෝ නැහැ. දැන් කරන්නේත් නැහැ. විස්වාසනීය ලෙස එවැනි චෝදනාවක් එල්ල කිරීමට තරම් සාක්ෂියක් තවමත් මට හමු වී නැහැ.

ඊයේ ජනාධිපතිවරයා විසින් සිදුකර තිබෙන කථාවට අනුව 2007 සිට බැඳුම්කර ගනුදෙනු වලින් රජයට සිදුව ඇති හානිය රුපියල් බිලියන 1000ක්. ඔහුට මේ බව පෙන්වා දී තිබෙන්නේ ආර්ථික විශේෂඥයින් විසිනුයි. මේ කියන ආර්ථික විශේෂඥයින් කවුද කියා ජනාධිපතිවරයා හරියටම කිවුවේ නැහැ.

ජනාධිපතිවරයාට උපදෙස් දෙන නීති විශේෂඥයින්ද සිටින බව ඔහුගේ කතාවේ සඳහන්ව තිබෙනවා. ඒ විශේෂඥයින්ගේ උපදෙස් අනුව කටයුතු කර දැන් ඔහු හොඳටම ඇණගෙනයි ඉන්නේ. පුද්ගලයෙකුට සෑම විෂයකම ප්‍රවීණයෙකු විය නොහැකියි. ඒ නිසා විශේෂඥයින්ගේ උපදෙස් ගන්න වෙනවා. මේ විදිහට විශේෂඥයින් තෝරා ගැනීමේදී තමන්ව අමාරුවේ නොදමන විශේෂඥයින් තෝරා ගැනීමට කුසලතාවයක් නොතිබුණොත් අමාරුවේ වැටෙන්නේ උපදෙස් ගත් පුද්ගලයා මිස උපදෙස් ලබාදුන් පුද්ගලයා නෙමෙයි.

බැඳුම්කර සිදුවීම ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ ලොකුම මූල්‍ය වංචාව බව බොහෝ දෙනෙක් විශ්වාස කරන කරුණක්. එසේ විශ්වාස කරන අය අතර එජාප පාක්ෂිකයින්ද සිටිනවා. එහෙත්, මා තවමත් එසේ සිතන්නේ නැහැ. මා නිගමන වලට එළැඹෙන්නේ මා දන්නා කරුණු මත පදනම්වයි. මේ හා අදාළව මා නොදන්නා කරුණු තිබිය හැකියි. එවැනි කරුණු හමුවුවහොත් මගේ අදහස වෙනස් විය හැකියි.

බැඳුම්කර සිදුවීම සම්බන්ධව යමක් ලිවීම මා කලක් හිතාමතාම අතපසු කරමින් සිටියා. ඒ, ඒ වන විට වටින් ගොඩින් කියැවුණු මේ හා අදාළ බොහෝ කරුණු ගැන දැනගන්නට පිළිගතහැකි මූලාශ්‍රයක් මා සතු නොවූ නිසයි. මේ කාලයේ මා මේ ගැන නොලියන බවට ඇතැම් බ්ලොග්කරුවන් දිගින් දිගටම චෝදනා කළා. කතාකතුත් ඒ අතර වූ බවට යාන්තම් මතකයක් තිබෙනවා. මගේ මතකය නිවැරදි නොවෙන්න පුළුවන්. මා මේ හා අදාළව මුලදීම ලිවුවානම් කොහොමටත් ලියන්න වෙන්නේ බොහෝ දෙනා කියූ කරුණු ඇත්ත වුවත් බොරු වුවත් එම කරුණු නීතිය ඉදිරියේ ඔප්පු කළ හැකි සාක්ෂි නොතිබුණු බව පමණයි.

පසුව විගණකාධිපති වාර්තාව හා කෝප් වාර්තාව ප්‍රසිද්ධියට පත් වූ පසුව මේ හා අදාළ වැඩිමනත් තොරතුරු දැනගන්නට ලැබුණා. මගේ ලිපිපෙළ පදනම් වූයේ මේ වාර්තා දෙකෙහි වූ කරුණු මතයි. අදාළ වාර්තා අනුව, අදාළ කාලයේ "අසාමාන්‍ය" බැඳුම්කර වෙන්දේසි දෙකක් සිදු වී තිබුණු අතර එම වෙන්දේසි දෙක නිසා රජයට සිදුව හැකිව තිබුණු උපරිම පාඩුව රුපියල් බිලියන 1.674 ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණා. ඒ 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියෙන් වූ රුපියල් 889,358,050ක පාඩුවක් හා 2016 මාර්තු 29 දින තවත් 784,898,755ක පාඩුවක් ලෙසයි. මේ ඇස්තමේන්තු සකස් කිරීමේ පදනම වී තිබුණේ මුලින් දැනුම් දුන් බැඳුම්කර ප්‍රමාණය මිල දී ගත හැකිව තිබුණු මුදලටම අවසාන වශයෙන් මිලදී ගත් බැඳුම්කර ප්‍රමාණයද මිල දී ගත හැකිව තිබුණේය යන්නයි. මගේ පළමු ලිපිපෙළේ අවසානයේදී මා පෙන්වා දුන්නේ මේ උපකල්පනය නිවැරදි නැති බව හා සැබෑ පාඩුව මීට වඩා අඩු විය යුතු බවයි. විගණකාධිපති වාර්තාවේ හා කෝප් වාර්තාවේ ඇස්තමේන්තු සකස් කිරීමේදී මේ හා අදාළ සංකීර්ණ තාක්ෂණික කරුණු සියල්ල සැලකිල්ලට ගෙන තිබුණේ නැහැ.

පසුව ප්‍රකාශයට පත් කෙරුණු ජනාධිපති කොමිෂමේ වාර්තාව පෙර වාර්තා දෙකට සාපේක්ෂව පුළුල් හා සංකීර්ණ ලෙස කරුණු හා සාක්ෂි සොයා බලමින් සකස් කර තිබුණු පිටු 1,154ක දීර්ඝ වාර්තාවක්. එහි නිගමන සමඟ මට ලොකු ප්‍රශ්නයක් නැහැ. ඇතැම් අය උනන්දුවක් දක්වන නිසා ඉදිරි කාලයේ ඉඩ ලැබෙන පරිදි එහි ඇති දේ ගැන ලියන්නම්.

ජනාධිපති කොමිෂමේ වාර්තාවේ සඳහන් වන්නේ 2015 පෙබරවාරි 1 දින සිට 2016 මාර්තු 31 දක්වා පැවති සියළු වෙන්දේසි වලින් රජයට සිදුව තිබෙන අලාභය රුපියල් 688,762,100ක් බවයි. මේ අලාභය සිදු වී තිබෙන්නේ  2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී. එම අලාභයට හේතුව හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හරහා පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම විසින් මිල-සංවේදී හෝ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම බව කොමිසම විසින් නිගමනය කර තිබෙනවා. ඒ අනුව, එම අලාභය අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් හා පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමෙන් අය කරගත ගත යුතු බව එම කොමිසම විසින් නිර්දේශ කර තිබෙනවා. 2016 මාර්තු 29 දින හෝ අදාළ කාලය තුළ වෙනත් දිනක මෙවැනි අක්‍රමිකතාවයක් සිදු වී තිබෙන බව එම කොමිසම විසින් නිරීක්ෂණය කර නැහැ. ඒ වගේම, මේ සිද්ධියට රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධයක් ඇති බවත් නිරීක්ෂණය කර නැහැ.

රුපියල් මිලියන 689ක් නැත්නම් බිලියන 0.69ක් කියන්නේ අප බොහෝ දෙනෙක්ට විශාල මුදලක්. නමුත්, ජනාධිපති සිරිසේනගේ කතාවේ කියන රුපියල් බිලියන 1000ට සාපේක්ෂව ඉතාම සුළු මුදලක්. ජනාධිපතිවරයාම පහුගිය දවස්වල කියපු ආකාරයට පසුගිය සති වල මන්ත්‍රීවරයෙක් විකිණිලා තියෙන්නෙත් රුපියල් මිලියන 500කට. දෙපැත්තේ තරඟය තව පොඩ්ඩක් වැඩි වුණානම් ඔය මිල රුපියල් මිලියන 689 පන්නනවා. ඔයිට වඩා විශාල පාඩු රජයට සිදු වූ අවස්ථා ඕනෑතරම් තියෙනවා. නීතිවිරෝධීව සිදු කළ හෙජිං සූදුව නිසා සිදු වූ පාඩුව මීට වඩා ගොඩක් වැඩියි. ඒ ගැන ලියූ වෙලාවේ "හෙජිං ගිවිසුම අනීතික උපකරණයක් නොවන බව" එක ඇනෝ කෙනෙක් ලියල තිබුණා. "හෙජිං යනු පිළිගත් අවදානම් අඩු කර ගැනීමේ ක්‍රමවේදයක්" බව කතා කතු ලියලා තිබුණා. නමුත්, සිදුවී තිබුණේ අවදානම් අඩුකර ගැනීමේ ක්‍රියාමාර්ගයක් නොවන සමපේක්ෂණ සූදුවක් බවත්, අදාළ ගිවිසුම නීත්‍යානුකූල නොවන ශුන්‍ය එකක් බවත් ජාත්‍යන්තර අධිකරණ වලදී පෙන්වා දුන්නේ තෙල් සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විසින්මයි.

කතා කතු මේ හෙජිං ගණුදෙනුව හා මහින්ද රාජපක්ෂ අතර සම්බන්ධයක් ගැන කතා කර තිබුණා. එහෙත්, මම එවැනි දෙයක් ලිවුවේ හෝ අදහස් කළේ නැහැ. නමුත්, ඒ ගැන හිතපුවහම ඇත්තටම සම්බන්ධයක් තිබෙනවා. මොකද මේ ගිවිසුම අත්සන් කළේ අමාත්‍ය මණ්ඩලයේ සාමූහික තීරණයක් අනුවයි. එවකට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා මහින්ද රාජපක්ෂයි. බැඳුම්කර සිදුවීම හා රනිල් අතර එවැනි සම්බන්ධයක් කිසිවෙකු පෙන්වා දී නැහැ. තිබෙන ප්‍රධානම චෝදනාව වන්නේ රනිල් විසින් අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති සේ පත් කිරීමට යෝජනා කර තිබීමයි. ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව 2004 සිට සිදු කෙරුණු අධිපති පත්වීම් වලට සාපේක්ෂව මෙය යෝග්‍ය පත්කිරීමක්. මට රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටින්න අවශ්‍ය නැහැ. නමුත්, කතාකතුගේ හා ඇනෝගේ විවේචන වලට මා ප්‍රතිචාර දිය යුතුයි. එහි වාසිය රනිල්ට වීම හා අවාසිය මහින්දට වීම ගැන මට කරන්න දෙයක් නැහැ. එය මට අදාළ කරුණක් නෙමෙයි.

බැඳුම්කර සිදුවීමට නැවත පැමිණියොත්, ඇතැම් අය මේ සිදුවීම නිසා දිගුකාලීනව පොලී අනුපාතික ඉහළ ගිය බවට බොරු තර්කයක් ගොඩ නැගුවා. නමුත්, කොමිෂන් වාර්තාවේ පැහැදිලිව කියන්නේ පොලී අනුපාතික විචලනය වීමට වෙනත් සාධක විශාල ගණනක් බලපාන නිසා එවැනි නිගමනයකට පැමිණිය නොහැකි බවයි. එසේනම්, ජනාධිපති සිරිසේන කියන රුපියල් බිලියන 1000න් ඉතිරි රුපියල් බිලියන 999.3ක පාඩුව රජයට වුණේ 2015 පෙබරවාරි 1ට පෙරද? ඔහු කියන්නේ මේ අලාභය 2007 සිට සිදු වී ඇති සමස්ත අලාභය බවයි. නමුත්, 2015 පෙබරවාරි සිට සිදුව තිබෙන අලාභය රුපියල් බිලියන 0.7ක් පමණයි.

මේ වන විට නිකුත් කර තිබෙන මුළු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේම වටිනාකම රුපියල් බිලියන 4000ක් පමණ වෙනවා. ජනාධිපතිවරයා කියන ආකාරයට එයින් 25%කටම හේතු වී තිබෙන්නේ ඉහත අක්‍රමිකතාවනුයි. ඒ වගේම, රටේ මුළු ණය වලින් 10%කට පමණ හේතු වී තිබෙන්නේ ඉහත අක්‍රමිකතාවයි. 2007-2015 කාලයේදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වූ අක්‍රමිකතා හේතුවෙන් රජයට එවැනි අලාභයක් සිදු වූ බව මා විශ්වාස කරන්නේ නැහැ. නමුත්, එම කාලයේ හෝ ඉන්පසුව මෙම අලාභය සිදු වූ ආකාරය ඇස්තමේන්තු කර ඇති වෙනත් රහසිගත වාර්තාවක් ජනාධිපති සිරිසේන සතුව තිබෙනවාද කියා මම දන්නේ නැහැ. එවැන්නක් තිබෙනවානම් එය දකින්න ලැබුණු දවසක අදහස් දැක්විය හැකියි.

(Images: https://www.colombotelegraph.com/index.php/maithripala-to-appoint-presidential-commission-to-investigate-bond-scam/)

14 comments:

  1. සිරිසේන කියන දේවල් සීරියස් අරගන්නේ කවුද ?
    විශේෂයෙන්ම ගණන් මිමි වලදී එයා කියන්නේ කටට එන ගණනක්.
    ඉකොනො අපරාදේ කාලේ නාස්ති කර ගත්තේ.

    ReplyDelete
  2. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඉතා කෙටි ඉතිහාසයක් ඇති ව්‍යාපාරයක්. මෙම ගනුදෙනුවෙන් ඉතා ඉහළ ලාභයක් ලබා තිබෙනවා.මන්ත්‍රීවරු 118කට විවිධ ආකාරයෙන් මුදල් ගෙවා තිබෙනවා.කවුද ඒ මන්ත්‍රීවරු කියා හෙළිදරව් වියයුතුය.මේ රජය බලයට පත් උනේ යහපාලනය ගෙන ඒමටයි. රට ණය කන්දක ගිලිලා ඇති මොහොතක බලයට ආ රජයක හැසිරීම මීට වඩා සාධාරණ වියයුතුය.මට මතක හැටියට වගකිවයුතු අය අතුරින් "මෙතන වරදක් වෙලා තියෙනවා" යනුවෙන් පැවසූ එකම කෙනා හර්ෂ ද සිල්වා පමණි. ජේආර් ගෝනවල සුනිල්ට සමාව දුන් ආකාරය පහුගිය දවසක ප්‍රසිද්ධ උනා.කෙනෙකුට සමාව දීමට ජනපතිට බලතල තිබේනම් මෙහිදී තමා විසින් වරදක් නොකළ බව පවසා තිබුණා. යහපාලන ලේබලය යටතේ ජනතා අභිලාෂය එවන් පිළිතුරක් නොවේ. ව්‍යවස්ථා අර්බුදය පැවති දිනවල "කොළඹ ගමයා" හි මා පලකල කවි පංතියක් මෙහි යළි පලකිරීමට අවසර දෙන්න.

    පටු අදහස් නම්
    පවුරින් දේශය
    කැබලි වලට නොබෙදී
    ඥාණය නිවහල්වී

    මහින්ද සමගින්
    වික්‍රමසිංහද
    එක සිරගෙයි
    තනිවී

    මහජන දේපල
    අවභාවිතයට
    කූරු ගනින හැටි
    බලන්න හැකි වේදෝ

    එහෙව් නිදහසේ
    ස්වර්ග රාජ්‍යයට
    මාගේ දේශය
    අවදි කරනු මැන
    පියාණනේ!



    ReplyDelete
  3. සිලිසෙන ගෙන් රනිල් බිලියනයට බින්දු කීයක්ද කියල අහයි කියන බයට වෙන්නැති ජනමාද්‍ය වාරණයක් කොලේ.

    ReplyDelete
  4. ෙම්ක ඉතා ෙහාඳ විග්‍රහයක් - අවාසනාවකට ෙමන් ෙම් ගැන කරුණු පළ කරන විට අැතැම් පිරිස් "ඔන්න හාමුව ෙබ්රන්න හදනවා" ෙලස ෙවනතකට හරවන්න හදනවා -

    ReplyDelete
  5. මම සමාන්නයන් මද්යස්තව තමා මේවා බල්ලනේ... එම නිසා තමා මම පහත comment එක දැම්මේ...

    "මම නම් හිතන්නේ නැ ඉකොනොමැට්ටා මහින්දට විතරක් පහර ගහන්න උත්සාහ කරනවා කියල මේක Genuine පක්ෂ විපක්ෂ තොරව කාගේත් හොද නරක පැහැදිලි කරනවා. ඔයා බැදුම්කර ගැන ලිපි පෙළ කියවලා Comments දැම්මොත් වඩාත් හොදා...
    පාට කන්නාඩි දාගෙන හැම දෙයක්ක්ම බලන්න එපා"

    නමුත් මෙම ලිපියට නම් මම ඔබ සමග 100% එකග නැත..

    1) "2007-2015 කාලයේදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වූ අක්‍රමිකතා හේතුවෙන් රජයට එවැනි අලාභයක් සිදු වූ බව මා විශ්වාස කරන්නේ නැහැ"
    2) "මේ ඇස්තමේන්තු සකස් කිරීමේ පදනම වී තිබුණේ මුලින් දැනුම් දුන් බැඳුම්කර ප්‍රමාණය මිල දී ගත හැකිව තිබුණු මුදලටම අවසාන වශයෙන් මිලදී ගත් බැඳුම්කර ප්‍රමාණයද මිල දී ගත හැකිව තිබුණේය යන්නයි. මගේ පළමු ලිපිපෙළේ අවසානයේදී මා පෙන්වා දුන්නේ මේ උපකල්පනය නිවැරදි නැති බව හා සැබෑ පාඩුව මීට වඩා අඩු විය යුතු බවයි."

    Based on the published accounts of PTL, Mirror Business last week reported that the primary dealer recorded a profit-after tax of Rs. 5.1 billion for the year ended March 31, 2016, against a Rs.960 million profit in the year before.
    Link : http://www.dailymirror.lk/117433/Perpetual-Treasuries-month-profit-exceeds-Rs-bn-leaked-CB-report

    ReplyDelete
    Replies
    1. ඇනෝ, ඇත්තටම මුළු කාලයම ගත්තහම පර්පෙචුවල් ලාභ ඔබ කියන ගණන මෙන් දෙගුණයක් පමණ. මගේ පළමු ලිපි මාලාවෙන් (විස්සෙන්) මා කතා කළේ රජයට වූ අලාභය ගැනයි. මෙහි කතා කළේත් ඒ ගැනයි. රජය ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ මධ්‍යම රජයයි. ඉන්පසුව පර්පෙචුවල් ලාභ ගැන දෙවන ලිපි මාලාවක් ලිවුවා. මෙය කරුණු දෙකක්. පර්පෙචුවල් සමාගම ලාභ ලබනවා කියන්නේ රජය (හෝ වෙනත් අයෙක්) සමාන පාඩුවක් ලැබීම වීම විය යුතුම දෙයක් නෙමෙයි.සාමාන්‍ය නිදහස් ගනුදෙනුවකදී වුවත් අයෙක් ලාබ ලබනවා කියන්නේ වෙනත් අයෙක් පාඩු ලැබීම නෙමෙයි. නමුත්, පර්පෙචුවල් ලාභ අසාමාන්‍ය බව පැහැදිලියි. එසේ ලාබ ලැබීමට එම සමාගම වෙනත් ආයතන වල අභ්‍යන්තර/මිල සංවේදී තොරතුරු ලබා ගැනීම හේතු වී තිබෙන බව ජනාධිපති කොමිසමේ නිරීක්ෂණයයි. මේ ලාභ වලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ රාජ්‍ය බැංකු තුන හා EPF සමඟ කළ ද්වීතියික වෙළඳපොල ගනුදෙනු වලින්. එය ප්‍රාථමික වෙන්දේසි වලට සෘජු ලෙස සම්බන්ධ නැහැ. මේ මඟින් බොහෝ දුරට සිදු චී තිබෙන්නේ ඉහත කී රාජ්‍ය ආයතන වලට පාඩුවක් වීමට වඩා ලැබිය හැකිව තිබුණු ලාභයක් නොලැබී යාම (එනම් ආවස්ථික පිරිවැයක්) බව කොමිෂම විසින් නිරීක්ෂණය කර තිබෙනවා. මෙය මම හඳුන්වන්නේ පොදුවේ රාජ්‍ය ආයතන වල පවතින අකාර්යක්ෂමතාවයේ හා දූෂණයේ කොටසක් ලෙසයි. මගේ පළමු ලිපි මාලාව අවසානයේදීම මා මෙවැනි දෙයක් සිදුවිය හැකිව තිබිය හැකි බව පෙන්වා දුන්නා. ඒ පර්පෙචුවල් ලාභ වාර්තා වෙන්නත් කලින්. මහ බැංකුව යටතේ පාලනය වන EPF එකේ එවැනි කටයුතු වලට සම්බන්ධ වූ ඇතැම් නිලධාරීන් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම රාජ්‍ය බැංකු වලත්. මෙවැනි දේ මුල සිටම සිදු වී තිබෙන බවත්, සොයා බැලුවොත් අනෙකුත් ප්‍රාථමික වෙළඳුන් විසින්ද කර තිබෙන බවත් මගේ අදහසයි. වෙනත් සමාගම් වල අභ්‍යන්තර/මිල සංවේදී තොරතුරු ලබා ගැනීම කියන්නේ පොදුවේ ලංකාවේ ආයතනික සංස්කෘතියේ කොටසක්. එය දැන් වෙනස් වී තිබෙනවා විය හැකියි. නමුත්, ඔය කාලය දක්වාම එය ඉතා සාමාන්‍ය දෙයක් වූ බව මා පෞද්ගලිකව දන්නා කරුණක්. රාජරත්නම්ට නඩු දමන කාලය වන තුරු ඇමරිකාවේ පවා ඇතැම් විට ප්‍රායෝගිකව මෙය අද මෙන් බරපතල වරදක් සේ සැලකුණේ නැහැ.

      Delete
  6. මා ගේ ප්‍රතිචාරය සම්බන්ධව ඔබ දක්වන සැළකිල්ල ගැන ස්තූතියි. මා නැවතත් මගේ මූලික පෙන්වා දීම වෙත එන්නම්.

    මා පෙන්වා දෙන්නේ ඔබ (ඉකොනොමැට්ටා) මහින්ද රාජපක්‍ෂට පහර ගැසීමට හැකි සෑම අවස්ථාවක්ම ඒ සඳහා යොදා ගන්නා බවයි. මා එය වරදක් කියනවා නොවෙයි. "මේ ඉකොනොමැට්ටා ගේ බ්ලොග් එක බවත්, එහි ලියන්නේ ඔහුට වැදගත් දේ බවත්, ඒ ගැන කිසි බලපෑමක් කිරීමට අපට හැකියාවක් නැති බවත්, මා මෙන්ම ඉකොනොමැට්ටාත් හොඳින්ම දන්නා කාරණයක්." යනුවෙන් මා කලින් ලියුවේ ඒ නිසයි.

    ඊට වෙනස්ව දෙතිස් කතාවේ මා අගමැති රනිල් වික්‍රමසිංහට පහර ගසන බව පැහැදිළි (obvious) කරුණක් - එය නොපෙනෙන්නා අන්ධයෙක් විය යුතුයි. දෙතිස් කතාවේ ආස්ථානය පැහැදිළියි. නමුත් ඒ ආස්ථානය රනිල් විරෝධී වීම නොවෙයි. දෙතිස් කතාව අප තුල සිටිනා සිංහලයාගේ (කැමති කෙනෙකුට සිංහල ජාතිවාදියාගේ කියා සිතා ගත හැක) ප්‍රකාශනයයි. රනිල් වික්‍රමසිංහ, ලිච්ඡවී පාලනය ලෙස ඔහු විසින් හැඳින්වෙන ඔහුගේ ගජ මිතුරු පාලනය සහ කොටින් කියතොත් ඔහුගේ පාලන උපාය-උපක්‍රම සිංහල විරෝධී වෙයි. "අප රනිල් විරෝධී නැත - රනිල් අප විරෝධී ය" යනුවෙන් (හෝ මීට සමාන අරුතක් දෙන වැකියක්) දෙතිස් කථාවේ කිසියම් පාඨකයෙකුට අප විසින් ප්‍රතිචාරයක් ලෙස දැමූ බව මතක තිබේ.

    බෝජුන්හළේ ආස්ථානය එය නොවෙයි. එය රනිල් වික්‍රමසිංහගේ උපාය-උපක්‍රම සහ විධි ගැන විවේචනයක් නොකරයි. බොජුන්හල විසින් කෙරෙන විවේචන වික්‍රමසිංහට වාසිදායක යැයි කෙනෙක් යෝජනා කළත් ඉකොනොමැට්ටා එය ශාස්ත්‍රීය අයුරින් මග හරියි (උදා: "මා ලියන දෙයින් රනිල්ට හෝ වෙනත් අයෙකුට හෝ එජාපයට හෝ වෙනත් දේශපාලන පක්ෂයකට වාසියක් වෙනවාද නැද්ද යන්න මට වැදගත් කරුණක් නොවෙයි"). එහි ද වරදක් නෑ.

    දැන් උඩ ඇති පින්තූරය බලන්න.

    මහබැංකු කොල්ලයට චෝදනා එල්ල වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් සමග ජනාධිපති සිරිසේන සිටින පින්තූරයක් මෙහි යොදා ගත්තේ ඩුබායි සිට මහේන්ද්‍රන් මෙහි ගෙන්වාගෙන ඔහුට කොල්ලකෑමට මහබැංකුව බාර දුන්, හොරකම අසු වූ විට කිසි වංචාවක් වී නැතැයි පාර්ලිමේන්තුවේ බෙරිහන් දුන්, ජනාධිපති මැදිහත් වී ඒ ගැන සෙවීමට ගිය අවස්ථාවේ මේ වංචාව තවදුරටත් වසා දැමිය නොහැකි මට්ටමට ඇති බව දැනගෙන තම පක්‍ෂයේ නීතිඥයින් කිහිප පොළක් ලවා වාර්තාවක් තනා වංචාවට වගකිව යුත්තන් බේරා හැරීමට උත්සුක වූ රනිල් වික්‍රමසිංහ සමග අර්ජුන් මහේන්ද්‍රන් පෙනී සිටින පින්තූරයක් මුළු අන්තර්ජාල අවකාශය පුරාම සොයා ගත නොහැකි වූ නිසාම ද?

    පිළිතුරකුත් මා ම දෙන්නම්. ඒ අපගේ ගෞරවයට ලක් වන ඉකොනෝ තුමා ගේ පහසුව තකා.

    මේ ලිපියේ විවේචනය කරන්නේ ජනාධිපතිගේ (නැවතත් ජනාධිපති. ඔහු මේ මොහොතේ සිටින්නේ රනිල් විරෝධී කණ්ඩායමේ) ප්‍රකාශයක්. ඒ හේතුවෙන් පින්තූරයේ ජනාධිපතිත් සිටිය යුතුයි. එසේම බැඳුම්කර වංචාව ගැන චෝදනා එල්ල වී ඇති උසස්ම නිලධාරියා හිටපු අධිපති. ඒ හේතුවෙන් ඔහුත් ඒ පින්තූරයේ සිටීම යෝග්‍යයි.

    ඉතුරු ටික තෝරා බේරා ගැනීම ප්‍රතිචාර දැක්වූ ඇනෝලාට ම බාරයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ පිළිතුරට ස්තුතියි! පින්තූරය ගැන "අපගේ පහසුව තකා" ඔබ විසින්ම පිළිතුරක් සපයා තිබෙන නිසා අමුතුවෙන් යමක් ලියන්නේ නැහැ. ඒ වගේම, විවේචන ශාස්ත්‍රීය අයුරින් මග හරිනවා කියන ඔබේ අදහස ගැනත් මම කිසිවක් කියන්නේ නැහැ. පහත කරුණු දෙක ගැන මා සිතන දේ සටහන් කරන්නම්.

      //බෝජුන්හළේ ආස්ථානය එය නොවෙයි. එය රනිල් වික්‍රමසිංහගේ උපාය-උපක්‍රම සහ විධි ගැන විවේචනයක් නොකරයි.//
      //මා පෙන්වා දෙන්නේ ඔබ (ඉකොනොමැට්ටා) මහින්ද රාජපක්‍ෂට පහර ගැසීමට හැකි සෑම අවස්ථාවක්ම ඒ සඳහා යොදා ගන්නා බවයි.//

      මගේ අදහස අනුව ඇත්තටම මා කර තිබෙන්නේ එහි අනික් පැත්තයි. මහින්ද රාජපක්‍ෂට පහර ගැසීමට අවශ්‍ය වූයේනම් මට ඒ වෙනුවෙන් ලිවිය හැකි දේවල් ඕනෑ තරම් තිබුණේය. දැනටත් තිබේ. එහෙත්, මා මුල් කාලයේදී හිතාමතාම එසේ කළේ නැත. නමුත්, රනිල් වික්‍රමසිංහගේ උපාය-උපක්‍රම සහ විධි ගැන විවේචන තිබුණු හැම විටකම වාගේ (මා වෙත ඒ ඒ අවස්ථාවලදී පරිශීලනය කරන්නට ලැබුණු තොරතුරු හා කාලවේලා සීමාවන්ට යටත්ව) මා ඒවා පෙන්වා දී ඇත. එසේ කර නැත්නම් (පොදු වශයෙන්) එයින් අදහස් වන්නේ රනිල් වික්‍රමසිංහගේ උපාය-උපක්‍රම සහ විධි ගැන ඇත්තටම මට විවේචනයක් නොතිබුණු බවයි. එසේ කළේ මහින්දට යහපතක් කිරීමේ අරමුණින් හෝ රනිල්ට අයහපතක් කිරීමේ අරමුණින් නොව වෙනත් කරුණු කිහිපයක් හේතුවෙනි. පළමුව, ආණ්ඩු බලය නොතිබුණු මහින්දව විවේචනය කිරීමෙන් සිදු කළ හැකි වෙනසක් නොතිබුණු අතර පවතින ආණ්ඩුවේ මා දකින වැරදි විවේචනය කළ විට ඒවා නිවැරදි වීමට යම් ඉඩක් තිබුණේය. ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් අය මේ බ්ලොගය කියවූ බව හා ඇතැම් කරුණු සැලකිල්ලට ගත් බවද අපට නිරීක්ෂණය විය. ඒ හැර මේ ආණ්ඩුව විවේචනය කිරීමෙන් මහින්දගේ ආණ්ඩුව අදාළ දේවල් නිවැරදිව කළ බව ඉඟි කිරීම අපගේ අරමුණක් වූයේ නැත.දෙවනුව, මුල් කාලයේ සිංහල බ්ලොග්කරුවන් බොහෝ දෙනෙකු සිටියේ ආණ්ඩුවට පක්ෂපාතී ස්ථාවරයකය. ඒ නිසා, ආණ්ඩුවේ අප දකින වැරදි හැමවිටම වාගේ විවේචනය කිරීම වඩා යෝග්‍ය බව අපගේ අදහස විය.

      පසුකාලීනව, විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණ වලින් පසුව ඉහත ස්ථාවරය යම් තරමකින් වෙනස් කළේ හිතාමතාමය. එයට පළමු හේතුව ඒ වන විට ආණ්ඩුව විවේචනය කරන්නට ඕනෑ තරම් පිරිස් සිටීම හා ආණ්ඩුව කරන (අපගේ ස්ථාවරය අනුව) වැඩදායක කටයුතු වෙනුවෙන් පෙනී සිටින්නට අඩු වශයෙන් ආණ්ඩුවම හෝ කටයුතු නොකිරීමයි. දෙවන හේතුව වූයේ, මහින්ද පාර්ශ්වය නැවත බලය ලබා ගැනීමේ සැලකිය යුතු ඉඩක් පෙනෙන්නට තිබුණු බැවින් 2015 පරාජයට හේතු වූ වැරදි නැවත සිදු නොකෙරෙන ආකාරයේ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ වෙනුවෙන් බලපෑමක් කිරීමයි. පසුගිය දෙමස තුළ මහින්ද පාර්ශ්වය විසින් කටයුතු කළ ආකාරයෙන් පෙනෙන්නේ ඔවුන් තවමත් පෙනී සිටින්නේ ආර්ථිකය වත්මන් අර්බුදය තුළ හිර කිරීමට හේතු වූ ආර්ථික වැඩ පිළිවෙළ වෙනුවෙන්ම බවයි. මහින්ද සම්බන්ධව අපට කිසිදු පෞද්ගලික ප්‍රශ්නයක් නැතත් ඔහුගේ ආර්ථික වැඩපිළිවෙළ කෙතරම් විනාශකාරීද යන්න අපට පැහැදිලිව පෙනේ. ඒ නිසා ණය මත දුවන, අකාර්යක්ෂම, විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවෙන් ඔහු පෙනී සිටින තුරු හා විශේෂයෙන්ම ඔහුට රාජ්‍ය බලය ලබා ගැනීමේ ශක්‍යතාවයක් පවතින තත්ත්වයන් යටතේ අපගේ විවේචන අවසන් වන්නේ නැත. මෙයින් අදහස් කෙරෙන්නේ එජාප රජයේ ආර්ථික වැඩපිළිවෙළ අප සම්පූර්ණයෙන් අනුමත කරන බව නොවේ. අප එජාප ප්‍රතිපත්ති විවේචනය කරන්නේද එකම පදනමකනි.

      ලංකාවේ, ඇමරිකාවේ හෝ ලෝකයේ වෙනත් ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය හා නිදහස් වෙළඳාම වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු. එය අපේ සමාජ-දේශපාලනික ස්ථාවරයයි. ඒ අතරම සංස්කෘතික වශයෙන් අපට අහඹු ලෙස ලැබී තිබෙන අපගේ අනන්‍යතාවන් වෙනුවෙන්ද අප පෙනී සිටිමු. එහෙත්, අප එය කරන්නේ ස්වොත්තමවාදී පදනමකින් නොවන නිසා වෙනත් අයගේ එවැනි සංස්කෘතික අනන්‍යතාවන්ටද අපි ගරු කරන්නෙමු. දාර්ශනික වශයෙන් අප සිටින්නේ අඥෙයවාදී ස්ථාවරයක වුවත්, ප්‍රායෝගිකව කටයුතු කිරීමේදී නිරපේක්ෂ සත්‍ය නොවන බව අප දන්නා බොහෝ දේ සත්‍ය සේ සලකමින් අප කටයුතු කරන්නෙමු. එමෙන්ම, මෙය ආරූඪ නාමයකින් ලියැවෙන්නක් නිසා සමපේක්ෂණය මත පදනම් නොවී, හැකි සෑම විටකම වෙනත් පිළිගත හැකි මූලාශ්‍ර වල ඇති කරුණු මත පදනම්ව අදහස් දැක්වීමට අප උත්සාහ කරන්නෙමු. ඉතා සංක්ෂිප්තව බොජුන්හලේ ස්ථාවරය මෙයයි.

      Delete
    2. මචන් කතාකතු, ඔය කියනවිදියට පොලිය ඉහල ගිහිල්ල පාඩුව මේ ලෝක ධාතුව තියෙනකන් පැටව් ගහනවා කියන තර්කෙ පිළිගත්ත කියමුකෝ. එතකොට ඒ තර්කෙන්ම උඹලගේ මරා ගොන් තඩිය හොර පාරෙන් බලේ අල්ලන්න ගිහින් රට පත්කරපු තත්වේ නිසා රේටින්ග්ස් කොම්පැනි වලින් ලංකාව ඩවුන්ග්‍රේඩ් කරපුනිසා පොලිය ඉහල යන එකෙනුත් ඒ වගේම පාඩුව පැටව් ගහනවද? උඹලගේ මෝඩ උපකල්පන වගේ නෙමෙයි හැබැයි, Fitch එක කෙලින්ම කියල තියෙනවා ඩවුන්ග්‍රේඩ් කරන්නේ උඹලගේ කුමන්ත්රණේ නිසාමයි කියල.

      Delete
  7. මල්ලි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ?

    ReplyDelete
  8. ඔබේ අදහස් හා විවේචන අගතිගාමී නොවන බවයි මට නම් පෙනෙන්නේ.

    ReplyDelete
  9. Well my friends, we all are born to a political party (just like our religion) Most of us have/had a father with strong political views, so we inherited that. Migrating to west did change our political views little bit (not much) however we are either Green, blue or red. So there are no politically un-bias Sri Lankan people, news paper or TV. I guess we should just enjoy writing reading and of course arguing (see we have 5 star democracy among bloggers) Thanks Econ and 32, keepup the good work.

    ReplyDelete
  10. ඉකොනොමැට්ටා

    නාලක ගොඩහේවා ඔබගේ ලිපි කියවනවාද මා දන්නේ නැහැ - නමුත් ඔහු කියනවා ග්‍රීක බැඳුම්කර පාඩුව රනිල්ගේ බැඳුම්කරය හා සලකන විට අල්පතර බව - ඔබගේ අදහස් දැනගන්න සතුටුයි

    "The impact of Greek Bonds was neutralized by the investments that produced desired results. This is not an unusual situation by any means. Any business would make a number of investments and one of them might go wrong. This, however, doesn't make the entire business a failure," he explained.

    "The total loss incurred by Green bonds is less than 1 Billion. However, the current government caused far more serious financial losses to the country through their illogical and short-sighted policy decisions," Godahewa said.

    "The compensation paid to China for delaying the Port City project is far greater than the loss incurred by Greek Bonds. They also made a similar blunder by attempting to cancel the contracts relating to Grand Hyatt hotel and ended paying a massive compensation," he said.

    http://www.asianmirror.lk/news/item/28847-nalaka-godahewa-says-the-loss-caused-by-greek-bond-minuscule-compared-to-massive-policy-blunders-by-yahapalanaya-govt

    ReplyDelete
    Replies
    1. ග්‍රීක බැඳුම්කර නිසා සිදු වූ පාඩුව කොපමණද කියා මට හරියටම මතක නැහැ. කෙසේ වුවත්, ග්‍රීක බැඳුම්කර හා හෙජිං ගණුදෙනු යන අවස්ථා දෙකේදීම සිදුවුනේ ලාභ හා අවදානම් සමතුලනය කර කළමනාකරණය කිරීමට උත්සාහ කිරීමක්. එසේ කිරීමේ යෝග්‍යතාවය පිළිබඳ ප්‍රශ්න තියෙන්න පුළුවන් වුනත් මේ කටයුතු දෙකෙන් එකකදී හෝ වංචාවක් සිදුවී ඇති බවක් කිසිවකු විසින් පෙන්වා නැහැ. නමුත්, බැඳුම්කර සිදුවීමේදී මූල්‍ය වංචාවක් සිදු වී තිබෙන බව මේ වන විට තහවුරු වී තිබෙන කරුණක්. ඒ නිසා, වැඩි පාඩුව හෙවීම වැදගත් කරුණක් නෙමෙයි. එක රුපියලක් වුවත් මූල්‍ය වංචාවක් සිදුවී ඇත්නම් එය වැරදියි. නමුත්, යහපත් අරමුණකින් කළ දෙයකින් විශාල අලාභයක් සිදු වී ඇත්නම්, එයින් එවැනි දේ කළ අය විසින් ආර්ථිකය මෙහෙයවූ ආකාරයේ අඩුපාඩු පෙනුණත්, හොරකමක් සිදුවී ඇතැයි කියන්න බැහැ.

      දැන් ඔය ග්‍රීක බැඳුම්කර සිදුවීමේදී වගේම මෑතකාලීන බැඳුම්කර සිදුවීමේදීත් ලොකුම පාඩුව වුනේ EPF එකටනේ. වඩා වැදගත් වන්නේ මේ පාඩු සිදුවෙන්න මූලික හේතුව කුමක්ද කියන එකයි. වැඩකරන මිනිස්සුන්ගෙන් සල්ලි EPF එක විසින් "බලහත්කාරයෙන්" හිර කරගෙන සිටිනවා. ඒ සල්ලි ආයෝජනය කළ යුතු ආකාරය ගැන සල්ලි අයිති මිනිස්සුන්ට තීරණය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, අරමුදලේ පාලකයින් වරින් වර ඔය වගේ පිස්සු කෙළිනවා. මුදල් ආයෝජනය කළ යුතු ආකාරය ගැන අරමුදල් අයිති අයට තීරණය කරන්න ඉඩ දුන්නනම් ප්‍රශ්නයක් නැහැ. රජය විසින් ඒකාධිකාරයක් තියාගෙන අරමුදල් පාලනය කරන තුරු ඔය වගේ පාඩු වෙන එක වලක්වන්න බැහැ. වැරැද්ද ක්‍රමයේ මිසක් පුද්ගලයින්ගේ නෙමෙයි. ඒ ක්‍රමයට රටේ වැඩිදෙනෙක් කැමති නිසා ඔය වගේ පාඩු විඳින්න වෙන එක අනාගතයේදීත් වෙයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: