වෙබ් ලිපිනය:

Saturday, December 1, 2018

මහින්ද නිදහස් කළ කෝටිය


ඉරාන ජාතිකයෙකු විසින් රටින් පිටතට ගෙන යාමට උත්සාහ කරද්දී රේගුව විසින් අත් අඩංගුවට ගෙන රාජසන්තක කර තිබුණු ඇමරිකන් ඩොලර් 53,455ක මුදලක් එම පුද්ගලයා වෙත නැවත ආපසු භාර දෙන මෙන් මහින්ද රාජපක්ෂ විසින් නියෝග කර තිබුණු බව පසුගිය දවස් වල කතාබහට ලක් වූ පුවතක්. මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ විසින් මේ පිළිබඳව පැහැදිලි කරමින් පුවත්පත් නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඉහත කී පුවත්පත් නිවේදනය අනුව, කතාබහට ලක් වූ මුදල අලි රිසාසද් මෝෆ් නම් වූ අදාළ පුද්ගලයා විසින් ඉරාන සමූහාණ්ඩු මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වන උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සේවය කර ඉපැයූ මාසික වැටුප් මුදල්. මේ මුදල නිදහස් කිරීමේ නීතිමය හෝ සදාචාරාත්මක පසුබිම ප්‍රශ්න කරන්න නෙමෙයි මේ ලිපිය ලියන්නේ.

උමාඔය ව්‍යාපෘතිය බොහෝ ප්‍රශ්නකාරී ව්‍යාපෘතියක්. හිටපු බ්ලොග් රචකයෙකු හා මේ ව්‍යාපෘතිය ගැන නිතර කතා කළ පුද්ගලයෙකු වූ සමන්ත විද්‍යාරත්න වැනි ඇතැම් අය විසින් මෙය හැඳින්වූයේ උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතිය නමින්. ව්‍යාපෘතිය නිසා සිදු වූ පාරිසරික හානිය ගැන ඕනෑ තරම් කතා වෙලා තිබෙනවා. මා හිතන්නේ මේ වන විට අදාළ ප්‍රධාන පාරිසරික ප්‍රශ්නය විසඳා තිබෙනවා කියායි.

මේ ව්‍යාපෘතියේ වියදමෙන් 85%ක් (ඩොලර් මිලියන 450ක්) ලැබීමට නියමිතව තිබුණේ ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය මුදලක් ලෙසයි. ඉතිරිය ලංකාවෙන්. ව්‍යාපෘතියේ වියදම් ඇස්තමේන්තුව මුල සිටම විවේචනයට ලක් වූ දෙයක්. විස්තරාත්මක කරුණු පිළිබඳ එකඟතාවයක් නැතිව, ඉරාන රජය සමඟ හදිසියේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව එහි කොන්ත්‍රාත්කරු වූ ඉරාන සමාගම දිගින් දිගටම ඇස්තමේන්තු මුදල ඉහළ දැමූ බවත්, ලංකාවේ ඉංජිනේරුවන් එයට එකඟ නොවූ බවත් වාර්තා වී තිබුණා. අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ ඉල්ලා අස්වීමක් පවා සිදු වුණා.

මේ වගේ බහුකාර්ය ව්‍යාපෘති වලින් ලැබෙන වාසි රැසක් තිබෙනවා. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. නමුත්, ප්‍රශ්නය වන්නේ මේ වාසි වෙනුවෙන් ගෙවිය යුතු මිල ඒ වාසි වලට වඩා අඩුද වැඩිද කියන එකයි.

ඉරානයෙන් ණය මුදල ලැබෙන්නේම අදාළ කොන්ත්‍රාත්තුව ඉරාන සමාගමකට ලබා දීමේ කොන්දේසිය එක්කයි. ඒ එක්කම ඒ සමාගමේ ලාබ ලෙස ණය මුදලෙන් සැලකිය යුතු කොටසක් ආපසු ඉරානයට යාම සහතික වෙනවා. වෙනත් අවශ්‍ය දේවල් බොහොමයක් ඉරානයෙන්ම ආනයනය කෙරෙන්නත් ඉඩ තිබෙනවා. ඒ මුදලත් ආපසු යනවා. අවසාන වශයෙන් ව්‍යාපෘතියේ සේවය කරන්න එන අලි රිසාසද් මෝෆ් වගේ අය ඔවුන්ගේ වැටුප් ලෙස තවත් මුදල් ප්‍රමාණයක් ආපසු ගෙනියනවා. අන්තිමට ඉරානය දුන් මුදලින් සැලකිය යුතු කොටසක් ආපහු ඉරානයේ.

කොහොම වුනත් ගත් මුළු ණය මුදල සහ පොලිය ලංකාව විසින් ගෙවිය යුතුයි. එසේ ගෙවන්න තරම් ප්‍රමාණවත් මුදලක් මේ ව්‍යාපෘතිය නිසා ජනනය වෙනවද? එහෙම වෙනවනම් ප්‍රශ්නයක් නැහැ. නමුත්, බොහෝ විට එසේ වෙන්නේ නැහැ. එතකොට පාරිසරික හානි ඇතුළු අනෙකුත් අවාසි වල ආවස්ථික පිරිවැය හා වන්දි ලබා දීම් වැනි වියදම්?

මෙය උමා ඔය ව්‍යාපෘතිය හා පමණක් අදාළ හෝ ඉරානය හා පමණක් අදාළ තත්ත්වයක් නෙමෙයි. කිසියම් ව්‍යාපෘතියක් නිසා අනාගතයේ ජනනය වෙන අමතර ආදායම හා විදේශ විණිමය ප්‍රමාණය ණය ආපසු ගෙවන්න තරම් ප්‍රමාණවත්ද යන්න බොහෝ විට සැලකිල්ලට ගැනෙන්නේ නැති වීම ලංකාව ගෙවුම් ශේෂ අර්බුදයක හිර වී සිටින්න එක් හේතුවක්.

ඕනෑම යහපත් දෙයක් වෙනුවෙන් ගෙවිය යුතු මිලක් තිබෙනවා.

(Image: https://srilankamirror.com/news/3698-hartal-against-uma-oya-project-disrupts-bandarawela-pictures)

11 comments:

  1. ඉතිං එහෙම හරි ඉරානය සල්ලි දුන්නානි. ඇමරිකාව වත් යුරෝපේ වත් උදව් කරාද ලංකාවද? අඩුම ගානේ ඇමරිකාවට, යුරෝපයට ඔච්චර කඩේ යන ධනපති අගමැති රනිල්ටවත් මේ රටවල් උදව් කරාද? චීන ආයෝජන නැත්තං මොකවත් නෑ.

    මිනිස්සුත් හිතං හිටියේ එක්සත් ජාතික පක්ෂය යටතේ යුරෝපීය, ඇමරිකානු උදව් ආයෝජන එයි කියලා. කිසි දෙයක් නෑ. රනිල්ගේ ආණ්ඩුව අතින් මොන වැරදි තිබුනත් හරියට ලොකු ආයෝජන ටිකක් ඇවිත්,මුදල් කැරකුනා නං මිනිස්සු ඒකත් එක්ක ඉන්නවා. දැන් උනේ මිනිස්සුන්ට කිසිම පේන සවර්ධනයක් වෙන්නෙත් නෑ. ණය ගෙවනවා කියන බයිලේ කිය කියා හිටියා අවුරුදු තුනක්. පළාත් පාලන ජන්දෙන් පේනවනි එජාපෙ පසුබැහිම.

    ඉකොනෝ වගේ හරියට පොතේ තියරියට හිතන ආර්ථික උපදේශකයන් නිසා තමයි මේ පාරත් එජාපය කෙලවා ගත්තේ. 2002 ආණ්ඩුවත් උනේ ඒක.

    ඉකොනෝගේ තියරි ලංකාවේ මිනිස්සුන්ට වැඩක් නෑ. මේ රටේ මිනිස්සුන්ට ගැලපෙන විදියට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕනි. මහින්ද රාජපක්ෂ ඒක කරන්නේ. එහෙම නැතිව අවුරුදු 20, 30 ගැන ඉස්සර බලලා දේශපාලනය කරන්න ලංකාවේ බෑ .කෙටි කාලින වාසි බලන්න ඕනි. මොකද දැන් අවුරුදු දෙක තුනෙන් මිනිස්සුන්ගේ මතය වෙනස් වෙනවා. රනිල් තාම ඉස්සර රාජ ආණ්ඩු තිබ්බ කලේ වගේ හිතං ඉන්නේ අවුරුදු 15,20 මිනිස්සු බලං ඉදියි කියලා. දැන් එහෙම ඉන්නේ නෑ. එහෙම කරන්න ගියොත් වෙන්නේ විරුද්ධ පක්ෂය බලය අල්ලා ගන්න එක.

    මිනිස්සුන්ට ඕනි කෙටි කාලින ආර්ථික වාසි. මුදල් ගැවසෙන එක. එහෙම නැතිව තව අවුරුදු 5 ක් ඉන්න, ආර්ථිකය හදලා දියුණු කරලා අතට සල්ලි එන ක්‍රමයක් හදන්නම් කිව්වට මිනිස්සු බලං ඉන්නේ නෑ. ඉකොනෝ කොච්චර ලිව්වත් ඕක තමයි ලංකාවේ යථාර්තය.

    ReplyDelete
    Replies
    1. ලිපියේ ලියා තිබෙන දෙයට ණය ගන්නේ කොහෙන්ද කියන එක අදාළ නැහැ. ඉරානයෙන් ගත්තත්, ඇමරිකාවෙන් ගත්තත් ඔය කතාව අදාළයි. අනිත් එක ඔය උදවුවට ණය දෙනවා කියන කතාව සුන්දර සිහිනයක් විතරයි. කවුරුවත් අත ලෙවකන්න මී කඩන්නේ නැහැ.

      Delete
    2. Ano 12.41 am, 2015 යහපාලන ජයග්‍රහණය පිටුපස ඉකොනොමැට්ටාගේ ඇමරිකාව වගේම යුරෝපේ වගේ අදිසි බලවේග රැසක් හිටියා. බල පෙරලියට අවශ්‍ය මුල්‍යමය හා මූලෝපාමය සහාය ආවේ පිටතින්.

      ඒ බලවේග යහපාලන රජයෙන් බලාපොරොත්තු වූ කාර්‍යභාරය ඉටුකිරීම සදහා යම් කිසි කාලයක් ඔවුන්ට ගැලපෙනම නායකයා වූ රනිල් වික්‍රමසිංහව බලයේ තබා ගන්නට අවශ්‍ය වුනා. ඒ නිසා තමයි 19 ව්‍යවස්ථා සංශෝදනය ගෙන ආවේ. පාර්ලිමේන්තුව වසර 4 1/2 විසුරවන්න බැහැ කියන 70(1) කොන්දේසිය රිංගවා ගත්තේ ඒ අනුවයි.

      නමුත් ඔවුන්ට යමක් වැරදුනා, 33 (2) වගන්තිය අනුව ජනාධිපත්වරයාට හැකියාව තිබුනා පාර්ලිමේන්තුව විසුරවන්න.

      අද උසාවියේ අභියෝගයට ලක්ව ඇත්තේ මින් කුමක්ද බලගතු යන්නයි.

      අද ජනතාව අසන ප්‍රශ්ණය මහින්ද රාජපක්ෂ ඉක්මන් වුනාද යන්නයි, මේ වෙලාවේ කිසිසේත්ම නැහැ. ඔක්තෝබර් 26 අගමැති කම බාරගෙන ඔහු රට ලොකු අනතුරකින් ගලවා ගත්තා. ඒ නව ව්‍යවස්ථාවක් හරහා වසර ගනනාවක ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරනයත් යන දෙකම කල් දමා ගැනීමට තිබුන කපටි කුමන්ත්‍රණයක් පරාජය කිරීමයි. නව ව්‍යවස්ථාව සම්මත උනා නම් පාර්ලිමේන්තුව විසින් තෝරාගනු ලබන ජනාධිපතිවරයෙක් පත් වෙනවා.

      ඔක්තෝබර් 26 ට පෙර පාර්ලිමේන්තුවේ බල තුලනය තිබූ විදියට අනිවාර්යයෙන්ම පත්වන්නේ රනිල් වික්‍රමසිංහට අවශ්‍ය ජනාධිපතිවරයෙක්. ඊට පස්සේ ජනාදිපතිවරණය 2019 එන්නෙ නැහැ.

      අලුත් ව්‍යවස්ථාව සම්මත වූ පසු පාර්ලිමේන්තුවේ ආසන ගනන වෙනස් වෙනවා. ඒ සදහා සීමා නීර්න කමිටුවකින් වාර්ථාවක් දිය යුතුයි අලුතින් පත් වු ජනාධිපතිවරයාට.

      නමුත් මේ සදහා කොපමන කාලයක් දෙන්වාද, එය යලිත් කල් දමන්වාද යන්න තීරණය කිරීමේ බලය තිබෙන්නේ වත්මන් පාර්ලිමේන්තුව විසින්ම පත් කරනු ලබන අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහගේ අන පිලිපදින්නෙක් වන දුර්වල ජනාධිපතිවරයෙකු විසිනුයි.

      ඒ කියන්නේ තව බොහෝ කලකට මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේත් නැහැ.

      දැන් ඔබට තේරුම් යනවා ඇති තවත් බලා සිටියා නම් පහසුවෙන් චන්දයකට ගොස් දිනන්නට තිබුනා යන මතය වැරදි බව. අපේ ප්‍රජාතන්ත්‍රවාදී චන්ද අයිතිය උදුරාගන්නට ඔවුන් සැලසුම් කොට තිබු කපටි උපක්‍රමයයි මහින්ද රාජපක්ෂ අගමැතිකම බාරගැනීමෙන් වැලකුනේ.

      නමුත් ජනතාවට මහින්ද රාජපක්ෂවත් එදා ඒකාබද්ධ විපක්ෂයේ සිටි කන්ඩායමවත් මේ ආකාරයට බලයේ සිටින්නට අවශ්‍ය නැහැ. ජනතාවට අවශ්‍ය මැතිවරණයකට යන්නයි.

      ලංකාවේ ස්ථාවර රජයක් පිහිටවීම සදහා නව පාලකයින් පත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට ලබා ගැනීමටයි අවශ්‍ය.

      Delete
  2. Anonymous December 2, 2018 at 12:41 AM

    මෙතන වෙන දේ සරලයි, ඇමරිකාවට සහ එංගලන්තෙට (දියුනුයි කියා පම්පෝරි ගහන බටහිර යුරෝපයේ බොහෝමයක් රටවල් වලට) මේ වෙලාවේ ඕනේ චිනේ අතට ලංකාවේ සම්පත් යාම වැලක්වීමයි. ඒ කියන්නේ හිගන මට්ටමේ ලංකාව තබා ගැනීමයි.

    චීනයට ඕනේ ලංකාවේ වැදගත් ස්ථාන අත්පත් කරගෙන ලෝකයේ බලවතා වීමයි.

    මෙය ලාංකිකයකුගේ පැත්තේ සිට බැලුවොත් චිනේ විශාල ලෙස විදේශ වෙලදාම් බටහිරට සපයනවා නම් ලංකාව ට ආර්ථික දියුණුවක් ලැබෙනවා.

    මෙහිදී ලංකාවේ සම්පත් දක්ෂ ලෙස පාවිච්චි කරන්න පුළුවන් රජයක් අපට සිටියානම් අපට ලැබෙන ප්‍රතිලාභ දැන් ලැබෙන්න නියමිත ප්‍රමාණයට වඩා 100000% පමණ වෙන්න පුළුවන්.

    නමුත් අපට හොහෙද එහෙම දෙසපලුවෝ???

    කොහොම උනත් ඉදිරි වසර (2019) ලංකාවේ පුරවැසියන්ට ඉතා අවාසනාවන්ත කාලයක් වෙයි, නමුත් මේ කාලයේ ඉදිරි වසර 3ක පමණ කාලයකදී (2021/22දී) ශ්‍රී ලංකාව මේ තියන මඩගොහොරුවෙන් එලියට එයි කියල මට හිතන්නේ, ඉදිරි වසර අවසානයේ හොදින් හෝ නරකින් චීනය තම සංවර්දන වැඩ වේගවත් කරන නිසයි.

    චීනයේ විතරක් නෙමෙයි ඉන්දියාව හා සිංගප්පූරුවේ සහායත් ලැබිලා රාජපක්ෂලා සිරිසේනලා කෝටිපති වෙලා ලංකාව ගොඩ එයි කියලාත් මට හිතෙනවා.

    ReplyDelete
  3. ඩොලර් 53455ක මුදලක් කෙනෙකුට රටින් පිටතට ගෙනයන්න පුලුවන්ද? රෙගු නීතියට අනුව බැහැනේ. නීතිය කාටත් එකයි. රේගුව කල දේ හරි.නමුත් ඉරානය බැංකු ක්‍රම නිසිලෙස ක්‍රියාත්මක වෙන රටක් නෙවෙයි. ඔබාමාගේ කාලයේ ඩොලර් ලක්ෂ ගණනක් ගුවන් යානයක පටවලා පිටත් කලා.මෑතකදී යුරෝපා රටක්ද ඒ දේම කලා. සල්ලි රටින් පිට යවාගන්න ඉරාණ ජාතිකයට වෙන ක්‍රමවේදයක් සොයාගන්න තිබුණා. මහින්ද කලේ "ශිරාණි බණ්ඩාරනායක" පන්නයේ වැඩක්.

    ReplyDelete
  4. ඉකොනො, 2035 දී නාසා ආයතනයෙන් කරන්න යන අඟහරු ජනාවාසකරණ කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස දැනටමත් ‍තෝරාගෙන පුහුණුව ලබන තාරුක රාමසිංහ පුංචි පුතා ගැන මුළු රටේම කතා බහට ලක් වෙලා.

    තාරුක වයස අවුරුදු 5 දී ඇමරිකාවේ කැලිෆෝනියා වලට පිටත් වුණේ ඔහුගේ පියාට එහි සමාගමකින් ලැබුණ ඉංජිනේරු ‍රැකියාව නිසයි. එදා ඉඳන් ඔහු පාසල් අවසන් වීමෙන අනතුරුව පියාගේ සමාගමේ තමයි කාලය ගත කළේ. සුපර්ශීල්ඩ් නැමති එම සමාගම නාසා ආයතනයේ සුපර්සොනික් ජේට් නිපදවන කරන සමාගමක්.

    කතාව දිග් ගැස්සෙන නිසා ඉතිරිය කෙටියෙන් කියන්නම්. අවුරුදු 08 දී සැහැල්ලු ගුවන් යානා ලයිසන් එක ගත්තා. දැන් ඔහුට වයස අවුරුදු 14 යි. එයාර්බස් 380 නැමති දැවැන්ත මගී ප්‍රවාහන ගුවන් යානාවේ ලයිසන් ඔහුට දැන් තියෙනවා. කැලිෆෝනියාවේ මිනිසුවිච් යුනිවර්සිටි එකෙන් මේ වනකොටත් ඔහුට ඩිප්ලෝමා එකක් තියෙනවා. වයස අවුරුදු 16 වෙද්දී ඔහු සිය ප්‍රථම උපාධිය B.Eng අවසන් කිරීමට නියමිතයි.

    ඔහුගේ අසාමාන්‍ය හැකියාව ගැන ආරංචි වුණ නාසා ආයතනයේ පයිලට් කමාන්ඩර් ඉන් චීෆ් ඩොක්ටර් ස්ටීවන් ඇලෙක්සැන්ඩර් මහතා තාරුක ගැන අධ්‍යයනය කරලා ඔහුව නාසා ආයතනයේ විශේෂ පුහුණුවකට බඳවා ගත්තා. ඒ අන් කිසිවක් නෙමෙයි 2035 දී අඟහරු ජනාවාසකරණයේ සාමාජිකයෙක් විදිහට පුහුණු වීමටයි.

    වයස අවුරුදු 5 දී ශ්‍රී ලංකාවෙන් පිටත් වුණත් තාරුක ඉතාමත් චතුරව හෙළ බස කතා කරනවා. ඔහු කියල තියෙනවා තමන්ගේ මව් බසින් පළමුවරට අඟහරු ග්‍රහයාගේ සිට මුළු ලෝකයම් අමතමින් විශේෂ ප්‍රකාශයක් කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා.

    හෙළයො කියන්නෙ උපතින්ම අසහාය දක්ෂතාවයකින් හෙබි පුදුමාකාර මිනිස්සු. මේ බව ගොඩක් අය දන්නේ නෑ. එදා අරිසෙන් අහුබුදුවන් හෙළයින්ගේ අසහාය දක්ෂතාවය ගැන කියද්දී මේ රචකයා ඊට සිනා සුණා. ඒත් අද ඔහු එදා කී දේවල් ඇත්ත බව වැටහෙනවා.

    ReplyDelete
    Replies
    1. තාරුක රාමසිංහ පුංචි පුතාට නිවන් සැප සම්පත්තිය පාර්ථනා කරමු...

      Delete
  5. මේ වගේ ව්‍යාපෘති ගැන තීරණ ගන්න මිනිසුන් (දේශපාලුවන්) ක්‍රියා කරන්නේ අයිතිකරුවන් ලෙස නොව අතරමැදියන්/තැරැව්කරුවන් ලෙස වීම තමයි ප්‍රධාන හේතුව!

    ReplyDelete
  6. /* හිටපු බ්ලොග් රචකයෙකු හා මේ ව්‍යාපෘතිය ගැන නිතර කතා කළ පුද්ගලයෙකු වූ සමන්ත විද්‍යාරත්න */

    මං නම් සමන්ත විද්‍යාරත්න බ්ලොග් ලිවීම අරඹපු බව දැන ගත් මොහොතේම හිතුණා, පක්‍ෂ දේශපාලනයේ ඉන්න මිනිෙෑකුට අවංකවම බ්ලොග් ලියන්න බැරි බව.

    මෙන්න මං ඔහුගේ දුයිෂෙන්ගේ අඩවිය හඳුන්වා දෙමින් ලියූ ලිපිය
    http://rasikalogy.blogspot.com/2016/05/just-my-opinion.html

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: