වෙබ් ලිපිනය:

Thursday, December 20, 2018

මහ බැංකු ස්වාධීනත්වය


ඊයේ දිනයේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් නැවත වරක් ඉලක්ක පොලී අනුපාතික ඉහළ දැම්මා. මේ අනුව, මේ වන විට ඉලක්ක පොලී අනුපාතික පරාසය 2.25-2.5 ලෙස පවතිනවා. මේ, මේ වසර තුළ මෙලෙස පොලී අනුපාතික ඉහළ දමනු ලැබූ සිවුවන වතාවයි.

පසුගිය නොවැම්බර් මාසයේදීත් ඇමරිකාවේ සේවා වියුක්ති අනුපාතිකය 3.7% මට්ටමේ පැවතුණා. එය එක දිගටම මාස තුනක්ම තිබෙන්නේ එම මට්ටමේ. එය දිගුකාලීනව පැවතිය යුතු සාමාන්‍ය මට්ටමට වඩා අඩු මට්ටමක්. ඒ අතර නොවැම්බර් මාසයේ ඇමරිකාවේ උද්ධමනය 2.2% මට්ටමේ පැවතුනා. මෙය සුළු වශයෙන් වුවත් ෆෙඩරල් සංචිත බැංකුවේ ඉලක්ක උද්ධමන මට්ටම වන 2%ට වඩා වැඩියි.

මේ දර්ශක දෙකෙන්ම පෙන්වන්නේ ඇමරිකාවේ පවතින ආර්ථික ක්‍රියාකාරීත්වය නියම මට්ටමට වඩා තවමත් වැඩි බවයි. ෆෙඩරල් සංචිත බැංකුව විසින් මේ දර්ශක දෙස සැලකිල්ලෙන් බලමින්, ආර්ථික වර්ධනය තරමක් අඩාල වන අයුරින් පොලී අනුපාතික ඉහළ දමා තිබෙනවා. ඒ තීරණය දැනුම් දීමෙන් පසුව ඩවු-ජෝන්ස් කොටස් වෙළඳපොල දර්ශකය ඊයේ දිනය ඇතුළත ඒකක 352කින් (1.5%කින්) පහළ ගියා.

ආර්ථික වර්ධනය අඩාල කරමින් ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. පොලී අනුපාතික ඉහළ යාම ගැන රජයකට අසතුටු වෙන්න හේතු දෙකක් තිබෙනවා. එක පැත්තකින් එය රජයේ මූල්‍යකරන පිරිවැය ඉහළ දැමීමට හේතු වෙනවා. අනික් පැත්තෙන් ආර්ථික වර්ධනය අඩාල වීම රජයේ බදු ආදායම් සීමා කරනවා. මේ හේතු දෙකෙන්ම රජයක අයවැය හිඟය තුලනය කිරීම අසීරු කරනවා. එහෙත්, මහ බැංකුවක මූලික ඉලක්කය මුදලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම නිසා ඇතැම් තත්ත්වයන් යටතේදී ආර්ථික වර්ධනය අඩාල වෙන්නට ඉඩ හරිමින් පොලී අනුපාතික ඉහළ දමන්න සිදුවෙනවා. රටක මහ බැංකුව රජයෙන් ස්වාධීන නොවේනම් එය කිරීම අපහසුයි.

ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව යනුවෙන් පහසුව තකා මා ඉහත සඳහන් කළත් නිවැරදි වචනය ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය යන්නයි. එයට හේතුව වෙනත් රටවල මහ බැංකු මෙන් ඇමරිකාවේ "මහ බැංකුව" තනි ආයතනයක් නොවීමයි. එය ආයතනික පද්ධතියක්.

ෆෙඩරල් සංචිත පණතින් සංචිත බැංකු කටයුතු හා අදාළව ඇමරිකාව කලාප 12කට වෙන් කර තිබෙනවා. මේ එක් කලාපයක් ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයක් ලෙස හැඳින්වෙන අතර එය එම කලාපය තුළ ෆෙඩරල් සංචිත බැංකුව පිහිටි නගරය අනුවත්, දිස්ත්‍රික්කය හඳුනා ගැනෙන කිසියම් අංකයකිනුත් හැඳින්වෙනවා. උදාහරණ විදිහට නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව විසින් දෙවන ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයේ කටයුතු නියාමනය කරන අතර සැන් ෆ්‍රැන්සිස්කෝ ෆෙඩරල් සංචිත බැංකුව විසින් දොළොස්වන ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයේ කටයුතු නියාමනය කරනවා. දොළොස්වන දිස්ත්‍රික්කයට කැලිෆෝර්නියා, නෙවාඩා, යූටා, වොෂින්ටන්, ඔරෙගන්, අයිඩහෝ, ඇලස්කා, හවායි හා ඇරිසෝනා යන ප්‍රාන්ත නවයත් ගුවාම්, ඇමරිකන් සමෝවා හා උතුරු මරියානා දූපත් යන ප්‍රදේශත් අයත් වෙනවා. දෙවන දිස්ත්‍රික්කයට නිවුයෝර්ක් ප්‍රාන්තය, නිවුජර්සි ප්‍රාන්තයේ උතුරු කොටස, කනෙක්ටිකට් ප්‍රාන්තයේ බටහිර කොටසක් හා පෝර්ටරිකෝ හා ඇමරිකන් වර්ජින් දූපත් අයත් වෙනවා. මේ ෆෙඩරල් සංචිත බැංකු සියල්ලේ කටයුතු අධීක්ෂණය කරන ෆෙඩරල් අධිපති මණ්ඩලය වොෂින්ටන් ඩීසීහි පිහිටා තිබෙනවා.

එක් එක් ෆෙඩරල් සංචිත බැංකුවේ "අයිතිය" තිබෙන්නේ අදාළ දිස්ත්‍රික්කයේ බැංකු වලටයි. මේ එක් එක් බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් 9 දෙනෙකුගෙන් 6 දෙනෙක්ම පත්කරගන්නේ එම බැංකු විසිනුයි. ඉතිරි තිදෙනාව ෆෙඩරල් අධිපති මණ්ඩලය විසින් පත් කරනවා. බැංකු විසින් පත් කර ගන්නා අධ්‍යක්ෂවරුන් හය දෙනාගෙන් තිදෙනෙක් වෘත්තීය බැංකුකරුවන් විය යුතු අතර ඉතිරි තිදෙනා කෘෂිකාර්මික, කර්මාන්ත, පාරිභෝගික හා කම්කරු ක්ෂේත්‍ර වල කැපී පෙනෙන නායකයින් අතරින් තෝරා පත් කර ගත යුතුයි. ෆෙඩරල් අධිපති මණ්ඩලය විසින් පත් කර කරන නියෝජිතයින් තිදෙනා වාණිජ බැංකුවක නිලධාරීන්, කොටස් හිමිකරුවන් හෝ සේවකයින් නොවිය යුතුයි. එක් එක් ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිවරයාව තෝරා ගැනෙන්නේ මේ අධ්‍යක්ෂවරුන් අතරින් ඔවුන්ගේ ඡන්දයෙනුයි. එහිදී, බැංකුකරුවන්ට ෆෙඩරල් අධිපති මණ්ඩලයට වඩා වැඩි බලයක් තිබෙන බව පැහැදිලි කරුණක්.

ෆෙඩරල් අධිපති මණ්ඩලය සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විතයි. ඔවුන්ව ඇමරිකාවේ ජනාධිපති විසින් පත් කරනු ලැබ සෙනෙට් සභාව විසින් අනුමත කළ යුතු වෙනවා. මේ අයුරින් පත් කරන සාමාජිකයෙකුගේ ධුර කාලය වසර 14ක්. කෙසේ වුවත්, ජනාධිපතිවරයෙකුට සාමාජිකයින් හත් දෙනාම එක වර පත් කළ නොහැකියි. ඒ සඳහා ධුරයක් පුරප්පාඩු විය යුතුයි. මේ ධුර හතෙන් එක් ධුරයක් වසර දෙකකට වරක් බැගින් පුරප්පාඩු වෙනවා. එවිට, ජනාධිපතිවරයාට සෙනෙට් සභාවේ අනුමැතියට යටත්ව තමන් කැමති අයෙකු එම ධුරයට පත් කළ හැකියි. එහෙත්, එසේ පත් කිරීමෙන් අනතුරුව වසර 14ක කාලයක් යන තුරු ඔහුව හෝ ඇයව එම තනතුරෙන් ඉවත් කළ නොහැකියි.

ෆෙඩරල් අධිපති මණ්ඩලයේ සාමාජිකයෙකුගේ ධුර කාලය වසර 14ක් වුවත්, ඇමරිකන් ජනාධිපතිවරයෙකුගේ ධුරකාලය වසර හතරක් පමණයි. ඒ වගේම, එකම පුද්ගලයෙකුට ඇමරිකන් ජනාධිපති තනතුර දැරිය හැක්කේ උපරිම වශයෙන් වසර අටක කාලයක් පමණයි. ඒ නිසා, එක් ජනාධිපතිවරයෙකුට වෙනස් කළ හැක්කේ ෆෙඩරල් අධිපති මණ්ඩලයේ සාමාජිකයින් හත් දෙනෙකුගෙන් හතර දෙනෙක් පමණයි. එය කළ හැක්කේද දෙවන වරට පත් වුවහොත් එම දෙවන ධුර කාලය අවසන් වෙන්න කිට්ටුවයි.

ඇමරිකාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඇතුළු මුදල් ප්‍රතිපත්ති තීරණ ගන්නේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසිනුයි. එයත් ෆෙඩරල් සංචිත පද්ධතියට අයත් ආයතනික ව්‍යුහයේ කොටසක්. එහි සාමාජිකයින් දොළොස් දෙනෙකු සිටිනවා. එයින් බහුතරය එනම් හත් දෙනෙකු ෆෙඩරල් අධිපති මණ්ඩලයේ සාමාජිකයින්. ඉතිරි පස් දෙනා තෝරා ගැනෙන්නේ ෆෙඩරල් සංචිත බැංකු සභාපතිවරුන් අතරෙනුයි. මේ ආකාරයේ සංකීර්ණ ආයතනික ව්‍යුහයක් තිබෙන නිසා ඇමරිකන් රජයට හෝ ජනාධිපතිවරයාට ඇමරිකාවේ මුදල් ප්‍රතිපත්ති තීරණ වලට සෘජු බලපෑමක් කළ නොහැකියි.

ලංකාවේ බැඳුම්කර වංචාව ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව 2015 පෙබරවාරි 27 දින පැවති බැඳුම්කර වෙන්දේසියේදී සිදුවී තිබෙන අක්‍රමිකතාව හේතුවෙන් රජයට රුපියල් මිලියන 689ක පමණ පාඩුවක් සිදු වී තිබෙනවා. මහබැංකු අධිපතිවරයා විසින් ඉහත අක්‍රමිකතාවය සිදු කරද්දී, අදාළ කටයුත්ත නිසා රජයට සිදුවිය හැකි හානිය ගැන අවබෝධයක් තිබිය යුතු, පළපුරුදු නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනා නිහඬව සිටීම ගැන කමිටුව විමතිය පළකර තිබෙනවා. ලංකාවේ පවතින ආයතනික සංස්කෘතිය හා ආයතනික රාමුව ඇතුළේ මේ අයුරින් දෙවැන්නන් විසින් ලොක්කන් විසින් කියන දේ කටවහගෙන අනුමත කිරීම පිළිබඳව මටනම් විමතියක් නැහැ. රාජ්‍ය ආයතන වගේම ලංකාවේ ව්‍යවස්ථාදායකය හා දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වෙන්නෙත් ඔය විදිහටමයි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ වර්තමාන ස්වරූපයත් එයයි. මේ තත්ත්වය වෙනස් වෙන්න තව කලක් යයි.

ජනාධිපති කොමිසමේ පරීක්ෂාවට භාජනය වූ කාලය තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ලබා ඇති ලාභ ඉහත ඇස්තමේන්තුවේ තිබෙන රජයට වූ අලාභයට වඩා ගොඩක් වැඩියි. ඒ ලාභය රුපියල් බිලියන එකොළහක් පමණ වෙනවා. එයින් වැඩි කොටසක් උපයා තිබෙන්නේ රාජ්‍ය ආයතන හා සිදුකළ ගණුදෙනු හරහායි. කෙසේවුවත්, මෙහිදී සිදුවී තිබෙන්නේ එම රාජ්‍ය ආයතන වලට පාඩුවක් වීම නොවෙයි. ලැබිය හැකිව තිබුණු ලාබයක් අහිමි වීමයි.

රාජ්‍ය ආයතනයකට වෙළඳපොළේ වැඩි මිලකට විකිණිය හැකි දෙයක් අඩු මිලකට විකිණීමට සිදුවන විට ලැබිය හැකි ලාබ නොලැබී යනවා. ඒ ලාබ වෙනත් අයෙකු විසින් ලබා ගන්නවා. මෙහිදී සිදු වී තිබෙන්නේත් එයයි. අදාළ රාජ්‍ය ආයතන වලට රජයට වැඩි පොලියකට මුදල් ලබා දී ලබාගත හැකිව තිබුණු ලාබය කිසියම් හේතුවක් නිසා අහිමි වී තිබෙනවා. මේ "කිසියම් හේතුව" කුමක්ද?

මහ බැංකුව විසින් හෝ මහා භාණ්ඩාගාරය (මුදල් අමාත්‍යාංශය) විසින් රාජ්‍ය බැංකු වලට හා සේවක අර්ථසාධක අරමුදලට පොලී අනුපාතික පහළින් තබා ගන්නා මෙන් බලපෑම් කරන බව මේ ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් දන්නා දෙයක්. මෙය අද ඊයේ සිට සිදුවන දෙයක් නෙමෙයි. සදාචාරාත්මක හේතු මත, මා පෞද්ගලිකව දන්නා, එහෙත් ප්‍රසිද්ධ තොරතුරු නොවන දේ ගැන කතා කරන්නට මා එතරම් කැමති නැහැ. දැන් මා මේ ගැන සෘජුව කතා කරන්න නොපැකිලෙන්නේ ජනාධිපති කොමිසම විසින් ප්‍රසිද්ධ කර තිබෙන දුරකථන සංවාද වලින් මේ කරුණ සනාථ වී අවසන් නිසයි.

රජය ණය ගන්නවනම් එහි මිල ගෙවන්නට රජයට සිදු වෙනවා. තමන්ට බලපෑම් කළ හැකි ආයතන වලින් "කුණු කොල්ලයට" ණය ගත්තත්, පෞද්ගලික ආයතන වලින් එසේ කුණු කොල්ලයට ණය ගන්න බැහැ. ඔවුන් නියම මිල අය කරනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ රාජ්‍ය බැංකු හා සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන වල ලාබ අඩු වීමයි. උදාහරණයක් විදිහට කිසියම් ප්‍රාථමික වෙළෙන්දෙක් 12%ක පොලී අනුපාතිකයකට රජයට ණය දෙනවා. එය රජය විසින් ගෙවිය යුතු "නියම" මිලයි. නමුත්, රාජ්‍ය බැංකුවකට රජයෙන් ඒ මිල අය කර ගැනීම වලක්වා තිබෙනවා. නියම මිලට වඩා අඩුවෙන්, 9%ක පොලී අනුපාතිකයකට රජයට ණය දෙන්නට එම රාජ්‍ය බැංකුවට සිදුවෙනවා. අදාල රාජ්‍ය බැංකුවට රජයට සෘජුව ණය ලබා දී ලබා ගත හැක්කේ 9%ක පොලී අනුපාතිකයක් පමණක් නිසා ඔවුන් කරන්නේ ප්‍රාථමික වෙළෙන්දෙකුට 9.5%කට ණය දෙන එකයි. එසේ කිරීම රාජ්‍ය බැංකුවට වාසියි.

ඉහත අවස්ථාවේදී රාජ්‍ය බැංකුවට රජයට 12%කට ණය දීමේ හැකියාව වලක්වා තිබෙන්නේ ප්‍රසිද්ධියේ නෙමෙයි. එය කරන්නේ  අදාළ නිලධාරියෙකුට කරන වාචික බලපෑමක් හරහායි. මේ බව දැනගන්නා ප්‍රාථමික වෙළෙන්දෙකු විසින් (තාක්ෂණිකව වඩා සංකීර්ණ අයුරකින් වුවත්) කරන්නේ 9.5% බැගින් රාජ්‍ය බැංකුවකින් ණය ලබාගෙන අනික් පැත්තට 12% පොලියට රජයට ණය ලබා දීමයි. එසේ කිරීම රාජ්‍ය බැංකුවටත් ලාබයි. රජයට 9% බැගින් ණය දීම රාජ්‍ය බැංකුවට ඊට වඩා පාඩුයි. මෙතැනදී රාජ්‍ය බැංකුවට ලබාගත හැකිව තිබුණු ලාබය නැති කර තිබෙන්නේ අර ප්‍රාථමික වෙළෙන්දා නෙමෙයි. ඔවුන්ට 12% බැගින් රජයට ණය ලබා දීමට තිබුණු අවස්ථාව අහිමි කළ මහ බැංකුවේ හෝ මහා භාණ්ඩාගාරයේ නිලධාරියා විසිනුයි.

ඉහත අවස්ථාවේදී රාජ්‍ය ආයතනයකට පොලී අනුපාතික පහළින් තබා ගන්නා සේ "නියෝග කරන" මහ බැංකුවේ හෝ මහා භාණ්ඩාගාරයේ නිලධාරියා එසේ කරන්නේ ඇයි? බොහෝ විට ඔහු හෝ ඇය එසේ කරන්නේ පෞද්ගලික වාසියක් වෙනුවෙන් නෙමෙයි. මෙහි අරමුණ රජයේ පොලී වියදම් පහළින් තියා ගැනීමයි. මහා භාණ්ඩාගාරයේ වගේම රාජ්‍ය ණය කළමනාකරණය කරන මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනුත් රජයේ පොලී වියදම් හැකිතාක් අවම කරගැනීමට උත්සාහ කිරීම කළ යුතු දෙයක්. නමුත්, ගැටළුව තිබෙන්නේ මෙය කරන්නේ වෙනත් රාජ්‍ය ආයතනයක වියදමින් වීමයි. එහි බරපැන වැටෙන්නේ සේවක අර්ථසාධක මුදලේ අරමුදල් හිමිකරුවන් හා රාජ්‍ය බැංකු වල තැන්පතුකරුවන් වන සාමාන්‍ය මහජනතාවටමයි.

සෘජු නිකුතු කියා කරන්නෙත් රාජ්‍ය ආයතන මත මුදල් අමාත්‍යංශයට හා මහ බැංකුවට ඇති අධිකාරී බලය උපයෝගී කරගනිමින් "බලහත්කාරයෙන්" අඩු පොලියට ණය ගැනීමයි. මෙය රජයට ලාබදායක බවට කෝප් කමිටු සාමාජිකයින් හා ජනාධිපති කොමිෂන් සාමාජිකයින්ට පෙනී යාමේ වැරැද්දක් නැතත් ඒ ලාබය රජයට ලැබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල් සාමාජිකයින්ගේ හා රාජ්‍ය බැංකු වල තැන්පතුකරුවන්ගේ වියදමින් කියන එක ගැන ඔවුන් අවබෝධ කරගෙන තිබෙන බවක් පෙනෙන්නේ නැහැ.

මෙහි තිබෙන්නේ පිළිසිඳියා ගැටුමක්. ලංකාවේ මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අමතරව රාජ්‍ය ණය කළමනාකරණය කිරීමත්, සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීමත් කරනවා. රාජ්‍ය ණය කළමනාකරණයේ ඉලක්කය වන්නේ හැකි හැමවිටම පොලී අනුපාතික පහළින් තබා ගැනීමයි. සේවක අර්ථසාධක අරමුදලේ ඉලක්කය වන්නේ අරමුදල් වෙනුවෙන් හැකි තරම් ඉහළ පොලී අනුපාතිකයක් ලබා ගැනීමයි. මුදල් ප්‍රතිපත්ති ඉලක්කය පවතින සාර්ව ආර්ථික තත්ත්වය අනුව ඔය දෙකෙන් කොයි එක හෝ වෙන්න පුළුවන්. මහබැංකුවේ කාර්යභාරය විය යුත්තේ  සාර්ව ආර්ථික තත්ත්වයන් වෙනස් වන ආකාරය නිරීක්ෂනය කරමින් පොලී අනුපාතික අවශ්‍ය පරිදි අඩු හෝ වැඩි කිරීමයි. දෙකෙන් එකක් මිස දෙකම නෙමෙයි.

මේ කටයුතු ස්වාධීනව කිරීම සඳහා මහ බැංකුවේ වෙන වෙනම දෙපාර්තමේන්තු තිබෙන බව ඇත්තක් වුවත් ඒ දෙපාර්තමේන්තු සියල්ලම තියෙන්නේ මුදල් මණ්ඩලයේ පාලනයට යටත්වයි. මහබැංකු අධිපති පත්වීම දේශපාලනික පත්වීමක්ව තිබීමට, අමතරව මුදල් අමාත්‍යාංශයේ ලේකම් නිල බලයෙන්ම මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු වීම ප්‍රශ්නය තවත් උග්‍ර කරනවා. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ලාබ ලබා තිබෙන්නේ ආචාර ධාර්මික සීමාවන් ඉක්මවමින් බව පැහැදිලි කරුණක්. නමුත්, මෙහි විස්තර කර තිබෙන තත්ත්වයන් නොසලකා හරිමින් ඒ ආචාර ධාර්මික වැරදි දිහා වියුක්ත ලෙස බැලීම නිවැරදි නැහැ.

(Image: https://federalreserveonline.org/)

11 comments:

  1. බැඳුම් කරේ
    කරමුලටම හිටියා
    නොදන්න ගානට
    හිටියයි පැටියා

    මුදල් ඇමති ලෙස
    සිටියෙමි එවකට
    බැංකු දෙකම රජ
    මගේ අණසක පිට

    සුපිරි නිවාසෙක
    මම දිවි ගෙව්වා
    කුලිය කීය දැයි
    නොදනී කිව්වා

    රාජරත්නම්ගෙ
    සල්ලි ගෙන්නුවා
    නිදොස් නැතත්
    ඉන් නිදහස් වූවා

    ආණ්ඩු පෙරලී
    ආණ්ඩු ආවා
    විදුලි ඇමතිකම
    අතටම ආවා!


    ReplyDelete
  2. සති දෙකෙන් උග්‍ර ලෙසට එජාපයට වහල් ඉකොනොමැට්ටා වගේ ස්මාට් ටොයියෙකු (උගත් බුද්ධිමත් ජනයෙක්) වන ආකාරය සරළව​;

    1. සිහි තබා ගත යුතු මූලිකම කරුණ ඔබ *ස්මාට්* ටොයියෙක් බවයි. ඔබ යූඑන්පී කාරයෙක් නොවේ. ඔබ ඡන්දය දෙන්නේ යූඑන්පී එකට බව සැබෑය​. නමුත්, පිටතට පෙන්විය යුත්තේ ඔබ ස්වාධීන​, අදීන​, උගත්, බුද්ධිමත් පුරවැසියෙක් බවයි. මේ ඔබේ පළමු සහ වැදගත්ම නීතියයි.

    මෙය ලොකුවට ලියා ඔබේ කොම්පියුටරය ඉදිරියේ බිත්තියේ අලවා ගත්තාත් කම් නැත.

    2. ඔබ හැකි සෑම විටම එජාප රජය විවේචනය කළ යුතුය​. නමුත් මෙය ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ. ඉතාම පරෙස්සමෙන් කළ යුත්තකි. අධෝ මුඛයෙන් කඩු ගිලීම වැනි ඉතාම අවදානම් කටයුත්තකි.එජාප රජය විවේචනය කිරීමේදී විවේචනය කළ යුතු සහ නොකළ යුතු යනුවෙන් පිරිස් දෙකක් සිටී.

    3. විවේචනය කළ යුතු අයගෙන් ප්‍රධාන වන්නේ මයිත්‍රීපාල සිරිසේනයි. සිරිසේන ඔබට අවශ්‍යය මැටීරියල් ඕනවටත් වඩා සපයනු ඇත​. ඔබට ඇත්තේ උඩ පැන පැන සිරිසේන විවේචනය කිරීමයි. සිරිසේන විවේචනය කරන​ හැම අවස්ථාවකම "සෞදි ගමරාළ​" වැනි විශේෂන පදයක් භාවිතා කිරීමට වග බලා ගන්න​.

    4. ඊට අමතරව පාලිත තෙවරප්පෙරුම සහ සජිත් ප්‍රේමදාස වැන්නවුන් ද ලාවට් විවේචනය කළාට අවුලක් නැත​.

    5. නමුත් කිසිම අවස්ථාවක කුමන හේතුවක් මත වත් රනිල් වික්‍රමසිංහ, හර්ෂ ද සිල්වා, අකිල විරාජ්, මංගල සමරවීර වැන්නවුන් විවේචනය නොකිරීමට පරිස්සම් විය යුතුය​. මේ අය ඔබේ පෙළැන්තියේ නියෝජිතයන් ය​. ඔවුන්ව පණ මෙන් ආරක්‍ෂා කරන්න​.

    6. බැඳුම්කර සිද්ධිය යනු මුරලි ගේ දුස්‍රා පන්දුවක් වැනි ඉතාම අසීරු අවස්ථාවකි. ඔබේ පාදය සහ පිත්ත එක ළඟ තබාගෙන ඊට මුහුණ දිය යුතුය​. හැකි සෑම විටම සංවාදය මග හරින්න​. මග හැරීමට කිසිසේත්ම නොහැකි වන අවස්ථාවකදී "කෙසේවුවත්, මෙහිදී සිදුවී තිබෙන්නේ එම රාජ්‍ය ආයතන වලට පාඩුවක් වීම නොවෙයි. ලැබිය හැකිව තිබුණු ලාබයක් අහිමි වීමයි." "ඔව් මචං ඕකුන් ඔක්කොම එකයි. කාටවත් රට ගැන කැක්කුමක් නෑ" "මුනුත් දැන් මහින්දගෙ ගානටම එනව වගේ නේද​?" වැනි යමක් පවසන්න​.

    ගැලවීමට ඉතාම අපහසු අවස්ථාවක රවී කරුණානායක සහ සුජීව සේරසිංහ වැන්නෙක්ට යන්තම් පොඩ්ඩක් බැණ වදින්න. කිසිම හේතුවක් මත රනිල් වික්‍රමසිංහ මහතා ගැන අකුරක්වත් නොකීමට වග බලා ගන්න​.

    7. මැතිවරණයක් ළඟ එන විට ඔබ ක්‍රමයෙන් ජවිපෙ හිතවාදියෙක් ලෙස පෙනී සිටීමට කටයුතු කළ යුතුය​. සමාජවාදය ගැන ඇටිකෙහෙළක් වත් නොදැනීම හෝ අරටු බැහැපු ධනවාදියෙක් වීම ඊට බාධාවක් කරගත යුතු නැත​. "වංචාව, දූෂනය නැති කළ හැක්කේ ජවිපෙට පමණි" යන පාඨය දිනෙකට එකසිය තුන් වතාවක් මතුරන්න​. "මචං මම ජෙප්පෙක් නෙවෙයි. මටත් උං ගැන විවේචන තියෙනවා. ඒත් මේ පාර උන්ට චාන්ස් එකක් දීල බලමු" වැනි කතා නිතර කියන්න​, අනුර කුමාර දිසානායක සහෝදරයා මහින්ද රාජපක්‍ෂ පල්හොරාට බැණ වදින පෝස්ට් ෂෙයාර් කරන්න​. ඡන්දය දවසේ උදේම Xක කරේ තියාගෙන ඡන්ද පොළට ගොස් අලියා [UNP, not Republican] ඉදිරියේ කතිරය ලකුණු කරන්න​.

    8. හැකි සෑම විටෙකම මහින්ද රාජපක්‍ෂ​, ගෝඨාභය රාජපක්‍ෂ යන හොරුන් විවේචනය කරන්න​. "ගොට්ලර්" "මරා" "ගංකබරයා" වැනි වචන නිතර භාවිතා කරන්න​. විමල් වීරවංශ​, උදය ගම්මන්පිළ​, දිනේෂ් ගුණවර්ධන වැනි හොරුන්ද අමතක නොකරන්න​.

    9. විද්‍යාව ගැන සංවාදයක් යන තැනකට ගොස් ජනේලයෙන් Xක ඇතුළට දමා "නලින් ද සිල්වා" "නාථ දෙවියො හීනෙන් කිව්වා" වැනි යමක් පවසන්න​. විද්‍යාව ගැන මී බෙට්ටක් තරම් දෙයක් දැන නොසිටීම ප්‍රශ්නයක් කරගත යුතු නැත​. නමුත් කිසි විටෙකත් දීර්ඝ ලෙස සංවාදයට සහභාගී නොවන්න​. ඔබේ රෙදි ගැලවී යනු ඇත​.

    10. සිංහල ජාතියට​, බුද්ධාගමට සහ 2500 අම්මගෙ රෙද්දට උඩ පැන පැන පහර දෙන්න​. මේවාට පහර දීම ඔබේ ප්‍රධාන කාර්‍යය විය යුතුයි. අදාලම නැති දෙයකට පවා (උදා: වඳුරෙක්ට පඩයක් යාම​) 2500 අම්මගෙ රෙද්ද සම්බන්ධ කර ගැනීමේ හැකියාව ප්‍රගුණ කරන්න​.

    මම හරි නේද ඉකොනොමැට්ටා ???

    ReplyDelete
    Replies
    1. //මම හරි නේද ඉකොනොමැට්ටා ???//

      ලිස්ට් එක අසම්පූර්ණයි. පහත ලින්ක් එකේ ඉතුරු ටිකත් තිබෙනවා.

      http://elakiri.com/forum/showthread.php?t=1857939

      Delete
  3. මහින්ද නියම නායකයා උධ්ධය නැති කරපු නායකයා කියල කට්ටිය කියනවා. දැන් මට නම් හිතෙන්නේ උධ්ධය චිනගේ උනන්දුව නිසා ඉවර උනා කියල...

    ReplyDelete
  4. // සේවා වියුක්ති අනුපාතිකය 3.7% මට්ටමේ පැවතුණා. එය එක දිගටම මාස තුනක්ම තිබෙන්නේ එම මට්ටමේ. එය දිගුකාලීනව පැවතිය යුතු සාමාන්‍ය මට්ටමට වඩා අඩු මට්ටමක් //
    සේවා වියූක්තිය අඩුවීම හොඳ දෙයක් නේද?
    එය ගැටළුවක් වන අයුරු පැහැදිලි කළ හැකිද?

    ReplyDelete
    Replies
    1. මෙය ආර්ථික විද්‍යා විෂය කරුණක්. පහත ලිපිය මේ ප්‍රශ්නයට තරමක් අදාළයි. අවශ්‍යනම් පසුව වෙනම විස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්නම්.

      http://emgesathapaha.blogspot.com/2018/08/blog-post_14.html

      Delete
    2. බොහොම ස්තුතියි. මම ලිපිය නැවත කියවා මතකය අලුත්කර ගත්තා.මම තේරුම් ගත්තෙ අදාළ සියලු තොරතුරු ලබා කිසිවෙකුට නොහැකි නිසා ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වෙනවා.ඒක නිසා 100% සමතුලිත තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මම තේරුම් ගත්තා නිවැරදිද? හැකිනම් තවදුරටත් පැහැදිලි කර ලිපියක් පලකරන්න.

      Delete
    3. //මම තේරුම් ගත්තෙ අදාළ සියලු තොරතුරු ලබා කිසිවෙකුට නොහැකි නිසා ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වෙනවා.//

      "අදාළ සියලු තොරතුරු ලබා කිසිවෙකුට නොහැකි නිසා (A)" හා "ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වෙනවා (B)" කියන දෙකම නිවැරදි වුවත්, B සිදුවීමට එකම හේතුව A නෙමෙයි. දැනට ඔබට තේරුම් ගැනීමට මේ ටික ප්‍රමාණවත් වෙයි. මෙහි ලින්ක් එක දමා තිබෙන ලිපියේ ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් තිබුණත් හැම දෙයම නැහැ. විරැකියා අනුපාතය විචලනය වීම හා අදාළ වැඩි විස්තර පසුව වෙලාවක දමන්නම්.

      Delete
  5. ඇමෙරිකාවේ ව්‍යවස්ථාව කොච්ච්චර විතර විශාල-ලොකු පිටු ගණනක එකක්ද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ව්‍යවස්ථාව තරම් දිග හෝ සංකීර්ණ නැහැ. :)

      https://photos.state.gov/libraries/amgov/30145/publications-english/constitution.pdf

      Delete
  6. ඉකොන්, දැන් මහ බැංකුව, රාජ්‍ය බැංකු සහ සේවක අර්ථසාධක අරමුදලට බලපෑම් කර පොලී අනුපාතිකය පහලින් තබන්නේ ඔවුන්ගෙන් ණය ගන්න බලාගෙන නෙවෙයිද? එහෙම ඒ රාජ්‍ය ආයතන වල පොලී අනුපාතිකය පහලින් තබාගැනීමට බලපෑම් කර, 'නියම මිලට' පෞද්ගලික ආයතන වලින් ණය ලබාගැනීමේ තේරුම මොකද්ද? මේ පොලී අනුපාතිකය පහලින් තබාගැනීමට බල කිරීමට හේතුව එසේ අඩු පොලියට ඔවුන්ගෙන් ණය ලබාගැනීමට අමතරව වෙනත් කාරණයක්ද? ඒක මේ බැඳුම්කර සිද්ධියේදි පමණක් වුනු දෙයක්ද නැත්නම් සාමාන්‍ය තත්වයද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: