වෙබ් ලිපිනය:

Friday, December 14, 2018

රජෙක් පිස්සෙක් වුනොත්?



ඉඩියට් (idiot) කියන ඉංග්‍රීසි වචනයේ විධිමත් නීතිමය හා මනෝවිද්‍යාත්මක අර්ථය වන්නේ මානසික මට්ටමෙන් අවුරුදු දෙකකට වඩා වයසෙන් අඩු, තමන්ගේ ආරක්ෂාව තමන්ටම සපයාගත නොහැකි මනස නොවැඩුණු පුද්ගලයෙක් කියන එකයි. ඉහත ප්‍රකාශය පදනම් වෙන්නේ විකිපීඩියාවේ තියෙන කරුණු මතයි. ඒ හැර වඩා විශ්වාශනීය මූලාශ්‍ර වල තිබෙන අර්ථදැක්වීම් මොනවාද කියලා මම හෙවුවේ නැහැ. මේ වචනය ගූගල් කළාම විකිපීඩියා පිටුව පෙන්වනවා. මේ විදිහට ගූගල් සෙවුමේ "images" ක්ලික් කළොත් උඩින්ම දැකිය හැක්කේ ජනාධිපති කෙනෙක්ගේ ඡායාරූපයි. ලංකාවේ ජනාධිපතිගේනම් නෙමෙයි.

පසුගිය අඟහරුවාදා ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායිට ඇමරිකන් කොංග්‍රසයේ කමිටුවක් ඉදිරියේ මේ ගැන කරුණු පැහැදිලි කරන්න සිදු වෙලා තිබෙනවා. මේ වැඩේ කිසිවෙකු විසින් හිතාමතා කරන දෙයක් නොවන බව පැහැදිලි කරන්න ඔහුට පහසු වෙලා නැහැ.

විධිමත් අර්ථයෙන් ගත්තොත් ජනාධිපති ට්‍රම්ප් ඉඩියට් කෙනෙක් නෙමෙයි. නමුත්, මේ වචනයට අවිධිමත් අර්ථයකුත් තිබෙනවා. එය වඩා ප්‍රචලිතයි. සිංහලෙන් පිස්සා කියා කියන්නේ මානසික රෝගීන්ටම නොවන්නාක් මෙන්. බොහෝ දෙනෙක් ට්‍රම්ප් කියන වචනය ඉඩියට් කියන වචනයත් එක්ක සම්බන්ධ කර භාවිතා කරන විට ගූගල් මෘදුකාංගය ඒ වචන දෙක අතර සම්බන්ධයක් ඇති බව තීරණය කරනවා.

ජනාධිපති ට්‍රම්ප්ට මානසික ආබාධයක් හා ආබාධ කිහිපයක් ඇති බවට ඇතැම් අය අදහස් පළ කර තිබෙනවා. මේ අය අතර අදාළ වෘත්තිකයින්ද සිටිනවා. වෘත්තිකයින් (මානසික වෛද්‍යවරුන්) විසින් නිසි රෝග පරීක්ෂාවක් නොකර, ප්‍රසිද්ධියේ පෙන්වන හැසිරීම් මත පදනම්ව, මෙවැනි ප්‍රකාශ කිරීම වෙනත් වෘත්තිකයින්ගේ විවේචනයටද ලක් වී තිබෙනවා. තමන් යහපත් මානසික සෞඛ්‍යයකින් සිටින බව පැහැදිලි කිරීමට ජනාධිපති ට්‍රම්ප් විසින් උත්සාහ කිරීමෙන් පෙනෙන්නේ මේ ප්‍රකාශ ගැන ඔහු කණස්සල්ලෙන් පසුවන බවයි. එය තේරුම් ගත හැකි දෙයක්. යහපත් මානසික සෞඛ්‍යයක් නැති බව තහවුරු වුවහොත් එය ඔහුගේ තනතුරට බලපානවා.

ජනාධිපති ට්‍රම්ප් කියන්නේ මානසික රෝගයකින් පෙළෙන බවට සැක කෙරුණු පළමු ඇමරිකන් ජනාධිපති නෙමෙයි. එක් පර්යේෂණ පත්‍රිකාවකට අනුව ඇමරිකන් ජනාධිපතිවරුන්ගෙන් අඩක් පමණ කවර හෝ මානසික ආබාධයකින් පෙළී තිබෙනවා. මානසික ආබාධයකින් පෙළෙන අයෙකු විධායකයේ ප්‍රධානියා වීම භයානක ප්‍රතිවිපාක වලට හේතු විය හැකියි.

පිස්සෙක් රජෙක් වීම වගේම රජෙක් පිස්සෙක් වීමත් භයානකයි. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර නිසි බලතුලනයක් තිබීම වැදගත් වන්නේ ඒ නිසයි.


Source: Davison et al (2006) .Journal of Nervous & Mental Disease 194(1):47-51

22 comments:

  1. ඉකොනොමැට්ටා ලංකාවේ ජනාධිපති පිස්සුසිරා කියන්නේ මානසික රෝගයකින් පෙළෙන බවට සැක කෙරුණු පළමු ලංකාවේ ජනාධිපති. ලංකාවේ ඡාතික යැයි කියා ගන්නා ආණ්ඩුවක් තිබුනා, ඒ හින්දා කැබිනට් එක 49 දක්වා වැඩි කලා, ඒක පාර්ශවයක් (ඡාතික) ආණ්ඩුවෙන් ඉවත් වුනා, ආණ්ඩුව කඩන් වැටුනා, ජනාධිපති අළුත් ආණ්ඩුවක් පිහිටෙව්වා, අළුත් අගමැතිට පාර්ලිමේන්තුවේ හෝ රටේ විශ්වාසය කඩන කිසිවක් කරන්න ඉඩ ලැබුනේ නෑ, නමුත් විශ්වාස භංගයක් ආවා. චෝදනා මුකුත් නෑ, තිබුන එකම චෝදනාව තමයි මෙයාට අපි කැමති නෑ, අපි විරුද්ධයි. ඔන්න ලංකාවේ දේශපාලනය.

    මට තේරෙන හැටියට ඉකොනොමැට්ටා මේ නාට්‍යය සිරාගේ හොර ගේමක් මහින්දව චාටර් කරන්න කරපු. සිරා, කතානායක කරු ජයසූරිය, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් රහසේ සිදු වී ඇති බව වාර්තා වෙනවා. ඊයේ රාත‍්‍රී අධිකරණ තීන්දුවෙන් පසුව අතිශය පුද්ගලික ලෙස මෙම හමුව පවත්වා ඇතැයිද සදහන් වෙනවා.

    පිස්සුසිරා ඔය රග දැක්වූයේ ”දෙවැනි ආප්ප වටය” කියලත් හිතෙනවා. දැන් පහුගිය දවස් ටිකේ පිස්සුසිරාව කරේ තියාගෙන ගිය මෝඩ බයියන්ගේ කටවල් වල පිට්ටුද?

    ReplyDelete
    Replies
    1. Ano 9.16 AM

      මැදමුලන ගන් කබර පොල් රැවුලා (මහින්ද රාජපක්ෂ) හෙට විශේෂ ප්‍රකාශයක් කර අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙනවා. මැදමුලනයාට ඕක නොගෙනම ඉන්න තිබ්බෙ. දැං ඉතිං හිටුකො අර මොකාද එකා වගේ. කොහොම වුනත් රනිලා වගේ එල්ලිලාම ඉන්නෙ නැහැ වගේ.

      හිටමා ඇටවුවොත් ආය හොදම උගුලක් තමා. රනිලා හොර වැඩ වලට මොලකාරයා හින්දා යංතං ගොඩ ගියා. ඕකටත් මොලේ තියෙන්නෙ හොර තක්කඩිකම් වලට විතරයි. දැං ඉතිං මේ අවුරුදු දෙකේ අපට තමයි කෙළවෙන්න යන්නේ. ආයෙත් මෙලෝ රහක් නැති කාලකණ්ණි රනිල් ගෝත කරැමේ එන්ඩ යන්නේ. නොදකින්...

      Delete
    2. //අළුත් අගමැතිට පාර්ලිමේන්තුවේ හෝ රටේ විශ්වාසය කඩන කිසිවක් කරන්න ඉඩ ලැබුනේ නෑ, නමුත් විශ්වාස භංගයක් ආවා. චෝදනා මුකුත් නෑ, තිබුන එකම චෝදනාව තමයි මෙයාට අපි කැමති නෑ, අපි විරුද්ධයි. ඔන්න ලංකාවේ දේශපාලනය.//

      ෆේස්බුක් පෝස්ට් මත තීරණය නොකර විශ්වාස භංග යෝජනාව කියෙවුවොත් විශ්වාසය භංග වීමට හේතුව ලෙස ඉදිරිපත් කර තිබෙන කාරණාව කුමක්ද කියා පැහැදිලි වෙයි. එම පදනම වන්නේ මහින්ද රාජපක්ෂව අගමැති සේ පත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ හෝ රටේ විශ්වාසය කඩන කිසිවක් කිරීම නෙමෙයි. එවැනි චෝදනාවක් එජාපය, ජවිපෙ, දෙමළ රාජ්‍ය පක්ෂය ඇතුළු පක්ෂ විසින් ඉදිරිපත් කළානම් එය එසේ විශ්වාසය කඩන අවස්ථාව වන තුරු රටේ අගමැති මහින්ද රාජපක්ෂ වූ බව ව්‍යවස්ථාදායකය විසින් පිළිගැනීමක් වෙනවා. නමුත්, සම්මත වූ විශ්වාස භංග යෝජනා අනුව ව්‍යවස්ථාදායකය විසින් මහින්ද රාජපක්ෂ කිසිවිටෙකත් (මේ වසරේදී) ලංකාවේ අගමැති වූ බව පිළිගෙන නැහැ. එයින් පිළිගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් නීති විරෝධී ලෙස එවැනි පත්වීමක් සිදු කර ඇති බව පමණයි. විශ්වාසය භංග වීමට හේතුව එම පත් වීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී එකක් වීමයි. එම පත්වීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී වන්නේ අගමැති කෙනෙකු පත් කිරීම සඳහා එම ධුරය පුරප්පාඩු වී තිබිය යුතු නිසයි. රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය ව්‍යවස්ථානුකූලව අහෝසි වන තුරු අගමැති ධුරය පුරප්පාඩු වෙන්නේ නැහැ. ඒ නිසා, මේ පදනම මත මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමක් හෝ රනිල් අගමැති සේ නැවත දිවුරුමක් දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එසේ කළොත්, දේශපාලන අර්බුදය අවසන් වෙන්න පුළුවන්. නමුත් නෛතික/ව්‍යවස්ථා අර්බුදය එයින් අවසන් වෙන්නේ නැහැ. එය අවසන් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුව ලැබීමෙන් පසුවයි. ඒ අනුව, අදාළ පත්වීම ව්‍යවස්ථා විරෝධී බව තීන්දු වුවහොත් එයට සම්බන්ධ හා අනුබල දුන් සියල්ලන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන් බවට පත්වෙනවා. ඒ තීන්දුවට පූර්වාදර්ශයක් සපයන, මේ වන විට ලබා දී තිබෙන, නෛතික වශයෙන් මේ නඩුවට බොහෝ සමානකම් තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැනීමේදී දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති හා ඒවා අතර සම්බන්ධය පිලිබඳව පැමිණ තිබෙන නිගමන අනුව රනිල් වික්‍රමසිංහගේ අගමැති පත්වීම අහෝසි වී නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන්නට වැඩි ඉඩක් තිබෙන බව මගේ අදහසයි.

      Delete
    3. ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ හැර වෙනත් අයෙකු අගමැති සේ පත් කරන්න කැමැත්තෙන් සිටින්නේත් එසේ කිරීමෙන් ඔහු කළ ව්‍යවස්ථා විරෝධී කටයුත්ත සාධාරනීකරණය කරන්න පහසුවෙන නිසයි. එජාපය එවැනි යෝජනාවකට කැමති වුනොත් එය ජනාධිපතිවරයාට අගමැති ඉවත් කිරීමට හැකි බව පිළිගැනීමක්ද වෙනවා. ජවිපෙ කියන ආකාරයට රනිල් අගමැති සේ සිටීම වෙනුවෙන් ඔවුන් පෙනී සිටින්නේත් මේ නීතිමය පදනම මත බවයි. රනිල් හැර එජාපයේම වෙනත් අයෙකුව අගමැති සේ පත් කළත් රටේ ඕනෑම පුරවැසියෙකුට ඒ පත්වීමට එරෙහිව අධිකරණයට යා හැකියි. රනිල් ඉවත් කරනවානම් එය කළ හැක්කේ පවතින නීති රාමුව ඇතුළතයි. එය නොකර වෙනත් අයෙකු අගමැති සේ පත් කළ නොහැකියි.

      Delete
    4. අනේ මෝඩ ඇනෝලා, බලපන් මේ ඉරිදා පෙරවරු දහයට අපේ ඉකොනොමැට්ටාගේ සිංහයා රනිල් මැතිතුමා ආයෙ අගමැති ධූරයෙ දිවුරුම් දුන්නට පස්සෙ කොහොමද කියලා. අනිවාර්යයෙන්ම ෆ්‍රී වයිෆයි දෙනවා, වොක්ස්වැගන් එක ඕපන් කරනවා, පුංචි කාර් මිල අඩු කරනවා, තරුණ තරුණියන්ට චුවින්ගම්, බ්‍රේස්ලට් දෙනවා, බුදුදහමට නොදී අනිත් ආගම් වලට ප්‍රමුඛත්වය සේ සළකනවා, සිංහලයට නොදී අනිත් ජාතීන්ට මුල්තැන දෙනවා ��

      එතකොට මේ මහ බයියටයි පොඩි බයියොන්ටයි ගොඩාආආආක් රිදෙයි ඈ �� අපේ ඉකොනොමැට්ටාගේ රනිල් සිංහයගෙ පැමිනීමත් එක්ක අපේ ඉකොනොමැට්ටාගේ ඇගට අලුත් පනක් ලැබුන වගේ නේහ් ��❤️

      Delete
    5. //ඉකොනොමැට්ටාගේ සිංහයා//
      අපිටනම් ඔය කවුරුවත් සිංහයෝ නෙමෙයි, ඇනෝ. කොයි සිංහයාත් බලු වෙන වෙලාවල් තියෙන බව අපි අත්දැකීමෙන්ම දන්නවා.

      Delete
    6. හැබැයි එජාප නිල බ්ලොග් මාධ්‍ය ප්‍රකාසක ඉකොනොමැට්ටා සිංහයා නම් කිසිදා බලු නොවෙතැයි කියන ගජසිංහයෙක් නේද? ඉකොනොමැට්ටා බලු වෙන වෙලාවල් නැහැ නේ.

      Delete
    7. අපි සිංහයෝ වගේවත් බල්ලෝ වගේවත් හැසිරෙන්න උත්සාහ කරලා නැහැ. ඒ නිසා අපිට ඔය කොයි එකත් ඔට්ටුයි.

      Delete
  2. //මේ වචනය ගූගල් කළාම විකිපීඩියා පිටුව පෙන්වනවා. මේ විදිහට ගූගල් සෙවුමේ "images" ක්ලික් කළොත් උඩින්ම දැකිය හැක්කේ ජනාධිපති කෙනෙක්ගේ ඡායාරූපයි. //

    ඉකොනො මේවා පිටි පස්සේ අනිවාර්යයෙන් ඇමරිකන් දේශපාලුවන් ඉන්නවා උන් අල්ලනකම් මේවා නවත්වන්න බැහැ, මේක පිටි පස්සෙ ඉන්න ඇමරිකන් දේශපාලන හස්තයත් හෙලි කලොත් තමා හොද.

    ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති ලෙස පත්වීමෙන් අපේක්ෂා භංගත්වයට පත් ඩිමොක්‍රටික් පක්ෂයේ ආධාරකරුවන් කර විරෝධතා කාලයක් තිස්සේ මාර්ග අවහිර කර දුරට විහිදුනු වාහන පෝලිම් දක්නට ලැබුණි. වීදි බැස තම අසතුට මුදා හළ ඩිමොක්‍රටික් විරෝධතාකරුවෝ තවත් දහස් ගණනක පිරිසක් නිව්යෝර්ක් නගරයේ 'ට්‍රම්ප් කුළුන' අභියසට පැමිණ සංක්‍රමණික ගැටලුව, සමලිංගික අයිතීන් සහ ප්‍රජනනය සම්බන්ධ අයිතීන් පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වලට එරෙහිව හඬ නැගූව මතකයට එනව.

    ට්‍රම්ප් විරෝධී පාඨ කියමින්, ට්‍රම්ප් කුලුණ අසල ඇමෙරිකානු ධජය හා ට්‍රම්ප් අනුරූ ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරී, ලොස් ඇන්ජලීස්, ඕක්ලන්ඩ්, සීට්ල්, වොෂිංටන්, ඔස්ටින්, බොස්ටන්, චිකාගෝ, පිලඩෙල්ෆියා, සැන් ෆ්රැන්සිස්කෝ නගර වලද ඩිමොක්‍රටික් විරෝධතාකරුවන් මෙලෙස රැස්වී සිටි අතර සමාජ මාධ්‍ය ජාලාවලද පැතිරගිය ජනප්‍රිය යෙදුමක් වූ "Not my President - ඔහු මගේ ජනපති නොවෙයි" යන පාඨය කියමින් හඬ නැගූ මෙම විරෝධතාකරුවෝ මේවා පිටි පස්සේ ඉන්නේ. ඉකොනො මේවා හෙලි කරන්න.

    -අපතවංශ

    ReplyDelete
    Replies
    1. සුන්දර් පිචයි කියන්නේ නම් හේතු 200කටත් වැඩියෙන් තියේය කියායි, අංක එකට වැරදිකරු වෙන්නේ ට්‍රම්පප්ටට ඇමරිකන් ඉඩියට් කියල නමක් පට බැඳපු එංගලන්තේ සුද්දදොලු.

      Delete
  3. සබ්බේ පෘතග්ජනා උන්මන්තකා...

    හොඳට ඉන්න මිනිහෙක්ව පිස්සෙක් කරන එක සුළු දෙයක්...අනිත් එක පිස්සො ⁣⁣ගොඩක් ඉන්න තැන පිස්සු නැති එකා පිස්සෙක්..

    ReplyDelete
  4. වැරදියිනේ, මේ මිනිස්සු රජ වුනාට පස්සේ පිස්සුවටිලා නොවෙයිනේ, පිස්සෝ රජ වෙලා. කැලේ සත්තු නිල් නාපු නරියාව රජ කලේ වූ ඌ වෙනස්ව පෙනුණු නිසයි, අපිත් කරන්නේ එහෙමයි.

    ReplyDelete
  5. බල තුලන නාඩගමෙන් වුණු ලොකුම හොඳක් තියෙනවා. උපාධිය ගත්තට පස්සේ වුණත් ආයෙමත් මොන්ටිසෝරි යන්න අපේ ලොක්කන්ට ලැජ්ජාවක් නැහැ කියලා එළි වුණා. ඒ වගේම ඇට නැති දිවවල් කොච්චර අපූරුවට එහා- මෙහා කරමින් අවනීතිය නීතිය කරන්නට කරන ප්‍රකාශ වැහි වැස්සාද කියලත් රට්ටුන්ට පෙනුණා. අපේ දේශපාලුවන්ගේ නිරුවත; ලජ්ජා නැතිකම; ගැතිකම හොඳටම එළිදරව් වුණා. කබ්බොත් ෆෝම් වුණා තමයි!

    ReplyDelete
    Replies
    1. දේශපාලනඥයින් ඔය විදිහට හැසිරෙන එකේනම් ඒ තරම්ම අමුත්තක් නැහැ කියමුකෝ. වැඩේ කියන්නේ නීතිඥයින් වන බොහෝ දේශපාලනඥයින් වගේම දේශපාලනඥයින් නොවන ඇතැම් නීති වෘත්තිකයිනුත් ක්‍රියා කළ වගකීම් රහිත ආකාරයයි. රටේ මූලික නීතියවත් හරියට තේරුම් ගත නොහැකි එවැනි අයට නඩුවක් බාර දෙන්න කලින් දෙවරක් හිතන එක හොඳයි. ඔබ කියනවා වගේම මේ සිද්ධියේදී බොහෝ "වීරයෝ" නිරාවරණය වුණා. ටිකක් දුරට කබ්බොත් ෆෝම් වුණා.

      Delete
    2. වැඩිය පොරටෝක් දෙන්නෙපා ඉකොනො, ඕක ලබ්බෙ නීතියෙ මගුලක් නෙවෙයි. මේක දෙපැත්තටම 50% තිබිල අන්තිමට රනිල්ලා දිනුව කේස් එකක් නිසා හොඳයි. අනික් පැත්තට ගියානම්? එහෙනම් ඉකොනොමැට්ටා 2018 පළාත් පාලන මැතිවරණය ගැන ප්‍රෙඩික්ට් කළා වගෙ වෙයි. හාඃ හා, මතක් වෙද්දීත් හිනා, ඔබ කියනවා වගේම මේ සිද්ධියේදී මරාවාදීන් කුජීත වුණා වගෙයි.

      Delete
    3. //මේක දෙපැත්තටම 50% තිබිල අන්තිමට රනිල්ලා දිනුව කේස් එකක් නිසා හොඳයි. අනික් පැත්තට ගියානම්?// අනික් පැත්තට යන්නත් සැලකිය යුතු ඉඩක් තිබුණා කියන එක ඇත්ත. නමුත්, මේක 50%:50% කේස් එකක් නෙමෙයි.

      Delete
    4. //එහෙනම් ඉකොනොමැට්ටා 2018 පළාත් පාලන මැතිවරණය ගැන ප්‍රෙඩික්ට් කළා වගෙ වෙයි.//

      පසුගිය මහ මැතිවරණයේදී එජනිසය ලබාගත්තේ ඡන්ද ලක්ෂ 47ක් පමණි. පළාත් පාලන මැතිවරණ වලදී අළුත් පක්ෂයක් වූ පොදුජන පෙරමුණ මේ ප්‍රමාණයද ඉක්මවා ඡන්ද ලබා ගනු ඇතැයි උග්‍රම මහින්දවාදීන් පවා පුරෝකථනය කර තිබුණේ නැත. මා දුටු ඉහළම ඇස්තමේන්තුව වූයේ එම ඡන්ද වලින් 95%ක් පොදුජන පක්ෂය විසින් ලබාගනු ඇති බවයි. මගේ ඇස්තමේන්තුව වූයේ පොදුජන පෙරමුණ එම ඡන්ද වලින් 65-80% පමණ ප්‍රමාණයක් ලබා ගනු ඇති බවයි. රටේ දේශපාලන සංයුතියේ විශාල වෙනසක් සිදු වී ඇති අවස්ථාවක මැතිවරණ ප්‍රතිඵල පුරෝකථනය කිරීම පහසු කටයුත්තක් නොවේ. මැතිවරණ ප්‍රතිඵලයක් වෙනස් ලෙස සිතන එක් එක් ඡන්දදායකයා සිතන ආකාරය මත තීරණය වන්නකි.

      අධිකරණ තීන්දුවක් යනු එවැන්නක් නොවේ. අධිකරණයක විනිසුරුවරුන් තීරණ ගන්නේ ඔවුන් පුහුණුව ලබා ඇති නිශ්චිත ක්‍රමවේදයක් අනුවය. ඒ තීරණද පුද්ගල සාධක මත වෙනස් විය හැකි නමුත් මැතිවරණයකදී මෙන් විශාල ලෙස විචලනය වන්නට ඉඩක් නැත. අනෙක් අය කෙසේ වෙතත් නීතිය පිළිබඳ පුහුණුවක් ඇති අයෙකු මෙවැනි කරුණක් ගැන කතා කළ යුත්තේ විධිමත් රාමුවෙන් පිට නොපනිමිනි. එසේ නොකිරීමෙන් සිදුවෙන්නේ පොදුවේ නීතිය පිළිබඳව ඇති මහජන විශ්වාසය බිඳ වැටීමයි.

      කොහොම වුනත්, ඔබේ විවේචනය නිහතමානීව පිළිගනිමි. ඔබ කියන්නාක් මෙන් ඉතිරි නඩුවේ තීන්දුවද අනික් පැත්තට ලබා දීමට යම් ඉඩක් තිබේ. එහෙත්, ඒ ඉඩ 50%කට වඩා බොහෝ අඩු ඉඩකි. මේ නඩුවේ තීන්දුව කියවූ විට එය වඩා පැහැදිලි වේ.

      Delete
  6. ඉකොනොමැට්ටාගේ විවේචනය නිහතමානීව පිළිගනිමි. ඉකොනොමැට්ටා, මෙච්චර ලොකු විනාශයක් රටට කරල තියෙන රනිල්, හොරෙක්, මිනීමරුවෙක්, පාවාදෙන්නෙක් කියල ඔබ පිලිගන්නෙ නැහැ කවමදාවත්මොකද එච්චරටම පක්ෂයට, පුද්ගලයට වහල්.

    මහින්දටත් ඉන්නව ඔය වගේම සෙට් එකක්. අනුර කුමාරටත් ඉන්නව. වහල් සෙට් එකක් කවදාවත් තමන් කැමති එකා වැරදි කරනව කියල පිලිගන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. රනිල් හෝ වෙනත් අයෙක් හොරෙක්, මිනීමරුවෙක්, පාවාදෙන්නෙක් බව හෝ නොවන බව මා කියා ඇතැයි මම හිතන්නේ නැහැ. මා පුද්ගලික මට්ටමෙන් කිසිවකු විවේචනය කර ඇත්නම් ඒ පැහැදිලි මූලාශ්‍රයක් ඇති විටෙක පමණයි. එවැනි අවස්ථා වල පවා පුද්ගලයෙකුගේ කිසියම් ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් විවේචනය කරනු මිස හොරෙක්, මිනීමරුවෙක්, පාවාදෙන්නෙක් ලෙස ලේබල් කර නැහැ.

      Delete
    2. අනිත් එක ඔබ ඔහොම කමෙන්ට් දමන නිසා "මධ්‍යස්ථ බව" පෙන්වන්න රනිල්ට චෝදනා කරන්නත් මට අවශ්‍ය නැහැ. ලියන දේවල් මත කැමති නිගමනයකට පැමිණීමේ නිදහස ඔබ සතුයි.

      Delete
  7. මන්තිරි වරු විකිනෙනවා
    වට අඩි ගානට යනවා
    ලී මඩුවක දාල තියෙන
    බුරුත කඳන් වගේ

    යන්නට විතරක් නොවේය
    ඉන්නට ඕනෑ වෙනවද
    හැමදේටම "මොණර කොලේ"
    දෙපැත්තෙන්ම ඇදේ

    හදන්න බෑ මේ බයියෝ
    උන් විතරද ඇයි ටොයියෝ
    පනින්න බැරිවෙන පනතක්
    ඕනෑකර තිබේ

    ReplyDelete
  8. write an article on USA gov. shut down. thanks

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: