වෙබ් ලිපිනය:

Monday, August 11, 2025

චීනයට විකිණිය හැක්කේ මොනවාද?


පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක භාණ්ඩ ආනයනය කර තිබෙනවා. නමුත් චීනය ලංකාවෙන් ආනයනය කර තිබෙන්නේ එයින් 6%ක පමණ වටිනාකමක් තිබෙන, එනම් ඩොලර් මිලියන 272.9ක, භාණ්ඩ ප්‍රමාණයක් පමණයි. ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු සූත්‍රය අනුවනම් ලංකාව චීනයට 47%ක තීරු බද්දක් පැනවිය යුතුයි. 

තීරුබදු පැනවීම කෙසේ වුවත්, පසුගිය වසරේ ලංකාවේ වෙළඳ හිඟය වූ ඩොලර් මිලියන 6,069.4ක මුදලින් ඩොලර් මිලියන 4,092.8කටම දායක වී තිබෙන්නේ ලංකාව හා චීනය අතර සිදු වන ද්විපාර්ශ්වික වෙළඳාමයි. මෙම වෙළඳාමෙහි විශාල අසමතුලිතතාවයක් තිබෙනවා. ඇමරිකාව සමඟ ලංකාව විසින් කරන ද්විපාර්ශ්වික වෙළඳාමෙහි වාසිය සීමා වුවහොත්, චීනය සමඟ වෙළඳාමෙහි දැනට තිබෙන අවාසිදායක තුලනය දිගටම පවත්වා ගෙන යාම ලංකාවට අසීරු වෙන්න පුළුවන්. 

ලංකාවෙන් චීනය වගේ රටකට අපනයනය කළ හැක්කේ මොන වගේ දේවල්ද?

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරයේදී CGTN නිවේදකයෙකු විසින් මේ ප්‍රශ්නය ඔහුගෙන් අසනවා. මේ ප්‍රශ්නයට ඔබට දිය හැකි පිළිතුර ගැන සිතා බැලුවොත් මෙය පෙනෙන තරම් සරල ප්‍රශ්නයක් නොවන බව අවබෝධ වෙයි.

පසුගිය ආර්ථික අර්බුද සමයේ ලංකාවට වෙනත් රටවලට අපනයනය කළ හැකි අමතර දේවල් ගැන මමත් ටිකක් සොයා බැලුවා. ඇත්තම කතාවනම් ලෝක වෙළඳපොළේ ලොකු පංගුවක් අල්ලා ගන්න තරම් මහ ලොකු දේවල් ලංකාවේ දැනට නැහැ. අපනයනය කළ හැකි දේවල් කවුරු හෝ විසින් දැනටත් අපනයනය කරනවා.

ඉහත ප්‍රශ්නයට පිළිතුරු ලෙස ජනාධිපති දිසානායක විසින් භාණ්ඩ වර්ග තුනක් ගැන සඳහන් කරනවා. ඒ, කුකුළු මස්, මැණික් හා ස්වර්ණාභරණ සහ කුළුබඩු. 

මම දන්නා තරමින් කුකුළු මස් අපනයනය කෙරෙහි මෙතෙක් ලංකාවේ ලොකු රාජ්‍ය අවධානයක් යොමු වී නැහැ. ඒ කෙරෙහි අවධානය යොමු කිරීම අලුත් දෙයක් වෙන්න පුළුවන්. මැණික් හා ස්වර්ණාභරණ සහ කුළුබඩු කියන්නේනම් මට මතක තිබෙන කාලයේ සිටම රජය විසින් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ අපනයන කාණ්ඩ දෙකක්. වයසින් මගේ සමකාලීනයෙකු වන ජනාධිපති දිසානායකටත් මේ උත්සාහයන් පිළිබඳ මතකයක් නැති වෙන්න බැහැ. 

අපි නිකමට හිතමු මැණික් හා ස්වර්ණාභරණ සහ කුළුබඩු සඳහා චීනයෙන් සැලකිය යුතු ආනයන ඉල්ලුමක් ආවා කියලා. මේ වර්ග දෙකෙන් එකකවත් නිෂ්පාදනය විශාල ලෙස වැඩි කිරීමේ හැකියාවක් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් නිෂ්පාදනය පරිමාණනය කිරීමේ හැකියාව (scalability) ඉතාම සීමිතයි. දශක ගණනාවක් තිස්සේ රජය මේ වෙනුවෙන් මැදිහත් වී තිබෙනවා. ඒ හරහා යම් ප්‍රගතියක් අත් කරගෙනද තිබෙනවා. නමුත් යම් වාස්තවික සීමාවකින් පසුව නිෂ්පාදනය පරිමාණනය කිරීම අසීරුයි.

නිෂ්පාදනය පරිමාණනය කිරීම අසීරු වුවත්, අවසාන වශයෙන් වැදගත් වන, අපනයන ආදායම් වැඩි කර ගැනීමනම් නොකළ හැක්කක් නෙමෙයි. එය කළ හැකි ප්‍රායෝගික ක්‍රමය ඉලක්ක වෙළඳපොළ තුළ ලංකාවේ සන්නාම ජනප්‍රිය කර ගැනීම මගින් වැඩි මිලක් ලබා ගැනීමයි.

දැනටමත් කාලයක් උත්සාහ කර තිබෙන ඉහත කාණ්ඩ දෙකට සාපේක්ෂව චීනයට කුකුළු මස් අපනයනය කිරීම විභවයක් ඇති දෙයක්. එමෙන්ම කුකුළු මස් නිපදවීම පහසුවෙන් පරිමාණනය කළ හැකියි. 

ලංකාව දැනටත් කුකුළු මස් අපනයනය කරන නමුත් එමගින් උපයන්නේ ඩොලර් මිලියන පහක පමණ මුදලක් පමණයි. මෙම අපනයන මුළුමනින්ම මෙන් යන්නේ මාල දිවයිනටයි. මේ ආණ්ඩුව විසින් සිංගප්පූරුව හා චීනය වැනි අලුත් වෙළඳපොළවල් ඉලක්ක කරමින් සිටින බව පේනවා. 

චීනය වසරකට ඩොලර් බිලියන හතරකට ආසන්න කුකුළු මස් ආනයන සිදු කරනවා. ශ්‍රී ලංකාවට ආසන්නව පිහිටි තායිලන්තය චීනයට කුකුළු මස් අපනයනය කර වසරකට ඩොලර් මිලියන 500ක් පමණ උපයා ගන්නවා. මෙවැන්නක් ලංකාවට නොකළ හැක්කක් නෙමෙයි. 

සාමාන්‍යයෙන් රටක ඒක පුද්ගල ආදායම යම් සීමාවක් ඉක්මවා ඉහළ යද්දී ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය විශාල ලෙස ඉහළ යනවා. චීනයේ කුකුළු මස් ඉල්ලුම ඉදිරි කාලයේදීද විශාල ලෙස ඉහළ යාමට නියමිත ඉල්ලුමක්. 

කුකුළු මස් වලට මෙන්ම ඌරු මස් වලටද චීනයේ විශාල ආනයන ඉල්ලුමක් තිබෙනවා. ඒ නිසාම, ලංකාව වැනි රටකට අපනයන විභවයක්ද තිබෙනවා. නමුත් ප්‍රශ්නයකට තිබෙන්නේ කුකුළු මස් වලට සාපේක්ෂව ඌරු මස් නිෂ්පාදනය කෙරෙහි සංස්කෘතික සාධක වල වැඩි බලපෑමක් තිබීමයි. 

අපනයන වෙළඳපොළ අමතක කළත් ලංකාවේ ඒක පුද්ගල ආදායම තවත් ඉහළ යද්දී දේශීය කුකුළු මස් හා බිත්තර ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමට නියමිතයි. දැනටමත් දේශීය ඉල්ලුම රට තුළින් සැපයෙන බැවින් මේ වන විට මෙම කර්මාන්තය පවතින්නේ රටින් එළියට යා යුතු අදියරකයි. දේශීය වෙළඳපොළේ මිල ස්ථාවරව තබා ගැනීම සඳහාද රටින් ඔබ්බට වෙළඳපොළ පුළුල් කර ගැනීමක් අවශ්‍ය වෙනවා. 

දැනට චීනය සමඟ පවතින වෙළඳ පරතරය පහසුවෙන් පියවා ගත හැකි පරතරයක් නෙමෙයි. එහෙත්, කුකුළු මස් වැනි දෙයක් ඉලක්ක කිරීමෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කර ගැනීමේ විභවයක් තිබෙනවා. එම මෙනුපතටම ඌරු මස්ද යම් තරමකින් එකතු කිරීමට බැරිකමක් නැහැ. 

Sunday, August 10, 2025

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව

 

අපනයන වල සැබෑ වර්ධනයක් සිදු නොවුනත්, රුපියල් හෝ ඩොලර් වලින් බලද්දී, කිසියම් වසරක් තුළ අපනයන ආදායම් වැඩි වෙනවා. එයට හේතුව උද්ධමනය නිසා ලෝකයේ හැම රටකම මෙන්ම බොහෝ වසර වලදී මිල ගණන් යම් ප්‍රමාණයකින් ඉහළ යාමයි. ඒ නිසා කිසියම් වසරකදී "ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" ලැබී තිබීම ඉතාම සාමාන්‍ය කරුණක් මිසක් විශේෂ තත්ත්වයක් නෙමෙයි. එය කිසියම් වසරක් තුළ වැඩෙන වයසේ දරුවෙකුගේ බර වැඩිවීම වැනි දෙයක්. 

රුපියල් වලින් බැලුවොත්, 2011-2022 කාලය ඇතුළත "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වී නැත්තේ 2015 හා 2020 වසර දෙකේදී පමණයි. ඉන් පසුව, 2023 හා 2024 වසර දෙක තුළද 2022 වාර්තාව ඉක්මවා ගොස් නැත්තේ ඩොලරයක මිල අඩු වූ නිසායි. එසේ නොවන්නට, එම වසර වලදීද රුපියල් වලින්  "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වෙනවා. 

ඇමරිකාවේ උද්ධමනය ලංකාවට සාපේක්ෂව අඩු නිසා ඩොලර් වලින් බලද්දී "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" මේ තරම්ම සුලභ නැති වුනත්, ඒ තරම්ම දුලබත් නැහැ. 2011-2022 අතර වසර හතකදීම ඩොලර් වලින් බැලුවත් "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වී තිබෙනවා. එසේ වාර්තා වී නැත්තේ වසර පහකදී පමණයි. 

ඩොලර් වලින් බැලුවත්, රුපියල් වලින් බැලුවත්, දැනට ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම් වාර්තා වී තිබෙන්නේ 2022 වර්ෂයේදීයි. ඊට හේතුව, දැනට ලෝක වෙළඳාමේ ඩොලර් අගය වැඩිම මට්ටමක තිබී ඇති වර්ෂය 2022 වසර වීමයි. 2023 හා 2024 වසර වලදී ලෝක වෙළඳාම පැවතුණේ 2022 මට්ටමට වඩා පහළින්. 

කිසියම් වසරක "ලෝක ඉතිහාසයේ වැඩිම ලෝක වෙළඳාම" පැවතීම වුවද ඉතාම සාමාන්‍ය දෙයක්. 2011-2022 කාලය ඇතුළත වසර හතකදීම එසේ සිදු වී ඇති අතර එසේ සිදු වී නැත්තේ වසර පහකදී පමණයි. සාමාන්‍ය කරුණක් ලෙස "ලෝක ඉතිහාසයේ වැඩිම ලෝක වෙළඳාම"  වාර්තා වන වසර වලදී ඩොලර් වලින් බැලු විට "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්"  වාර්තා වෙනවා. මීට හේතුව ලංකාවේ අපනයන ආදායම බොහෝ දුරට ලෝක වෙළඳාමට සමානුපාතික වීමයි. මෙයම වෙනත් විදිහකින් කිවුවොත්, ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව බොහෝ දුරට නොවෙනස්ව පැවතීමයි. 

මෙම 2025 වසර තුළ නැවතත් "ලෝක ඉතිහාසයේ වැඩිම ලෝක වෙළඳාම"  වාර්තා වීමට නියමිතව ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස "ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම්" වාර්තා වීමක්ද සිදු වීමට නියමිතයි. නමුත් එය විශේෂ කරුණක් නෙමෙයි. 50%ක පමණ සම්භාවිතාවක් ඇති දෙයක්. 

අපනයන ආදායම් වල සැබෑ වැඩි වීමක් සේ සැලකිය හැක්කේ එම ආදායම් වල ඩොලර් අගය ඩොලරයක වටිනාකම අඩු වීම ඉක්මවා වර්ධනය වන්නේනම් පමණයි. එහෙත්, රටක් ලෙස බලද්දී එවැනි වර්ධනයක් වුවද සතුටු විය හැකි වර්ධනයක් වන්නේ නැහැ. ඊට හේතුව එම මූර්ත ආදායම සැලකුවද, ලෝක වෙළඳාම වර්ධනය වෙද්දී ලෝකයේ බොහෝ රටවල් විසින් වර්ධනය කර ගනු ලැබීමයි. ඒ නිසා, ලංකාවේ අපනයන ආදායම් මූර්ත පදනමින් ඒ මට්ටමේම පැවතියද, අනෙක් රටවල අපනයන ආදායම් මූර්ත පදනමින් ඉහළ ගියහොත් ලෝක වෙළදපොළ තුළ ලංකාවේ පංගුව පහත වැටෙනවා. 

රටක් ලෙස ලෝකය තුළ ලංකාවේ තත්ත්වය පවත්වා ගැනීමටනම් අවම වශයෙන් ලෝක වෙළඳපොළ තුළ ලංකාවේ පංගුව තිබෙන මට්ටමේ හෝ පවත්වා ගත යුතුයි. ඒ සඳහා අවම වශයෙන් ලෝක වෙළඳාම වර්ධනය වන වේගයෙන් ලංකාවේ අපනයන ආදායම් වර්ධනය විය යුතුයි. ලංකාවට ලෝකය තුළ ඉදිරියට යාමට අවශ්‍යනම් මෙම පංගුව වර්ධනය කරගත යුතුයි. මෙය මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ පවා කතා කර තිබුණු දෙයක්. 

ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව වැඩි කර ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද? සරල, මැජික් පිළිතුරක් මා ළඟ තිබුණානම් මම එය හොරා වගේ හංගාගෙන ඉන්නේ නැහැ. මා ළඟ එවැනි පිළිතුරක් නැහැ. ඒ වගේම, මේ ප්‍රශ්නයට ආර්ථික විද්‍යා න්‍යාය වලින් පමණක් පිළිතුරු හොයන්න බැහැ. එයින් ඔබ්බට ගිය දේශපාලනික හා උපාය මාර්ගික ප්‍රවේශයක් ඒ සඳහා අවශ්‍යයි. එවැනි ප්‍රවේශයන් අනුගමනය කරද්දී රටක් විදිහට කිසියම් මිලක්ද ගෙවන්න වෙනවා. 

උදාහරණයක් විදිහට ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය එක්ක ගැට ගසන එක එක් ප්‍රවේශයක්. නමුත් හරියකට ප්‍රතිඵලයක් ගන්නනම් ලංකාව කියන්නෙත් ඉන්දියාවේම කොටසක් කියලා සාමාන්‍ය ඉන්දියානුවන්ට ඒත්තු යන මට්ටමට ඔය වැඩේ සිදු විය යුතුයි. එහෙම කළාට පස්සේ ලංකාවට ඉන්දියාවෙන් තොර ස්වාධීන පැවැත්මක් නැති වෙනවා. ඔය විදිහේ උපාය මාර්ග මිසක් රැවුලත් කැඳත් බේරා ගත හැකි උපාය මාර්ග නැහැ. සිංගප්පූරුව ලෝක වෙළඳාම තුළ ඔවුන්ගේ පංගුව වැඩි කර ගත්තේ නොබැඳි පිළිවෙත් අත ඇරලා. 

රටක් සතු ලෝක වෙළඳාම තුළ තමන්ගේ පංගුව වැඩි කර ගැනීම එය නැති කර ගන්නවා වගේ පහසු වැඩක් නෙමෙයි. නිදහස ලැබී දශක තුනක් යන්නත් කලින් ලංකාවට තමන් සතු වූ වෙළදපොළ පංගුවෙන් 90%ක්ම පහසුවෙන්ම නැති කරගන්නනම් පුළුවන් වුනා. ඒ ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම මගින්. ඔව්. දැන් ඇමරිකාව අනුගමනය කරන්නෙත් ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති තමයි. ඒක වෙනම දෙයක්. මේ ලංකාවට සිදු වුන දෙය.

නිදහස ලැබෙන විට (1948දී) ලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව 0.0052ක් හෙවත් 0.52%ක්. 2024 වන විට මෙම පංගුව 0.00052ක් හෙවත් 0.052%ක්. හරියටම දහයෙන් එකක්. 1976 වන විට, ඒ කියන්නේ නිදහස ලබලා අවුරුදු 28ක් යන විට, ඔය කඩා වැටීම සිදු වෙලා ඉවරයි. එම වසර වන විට ලංකාවේ වෙළඳපොළ පංගුව 0.006 දක්වා පහත වැටිලා. 

හැත්තෑ හතේ ලංකාවේ ආර්ථිකය විවෘත වුනා කියන එක ලංකාවේ ජනප්‍රිය අදහසක් මිසක් පිළිගත් විද්වත් මතයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ලංකාවේ ආර්ථිකය විවෘත වූ සේ සැලකෙන්නේ අනූව දශකයේදීයි. පෞද්ගලීකරණය කිරීම් ගොඩක් සිදු වුනේ එම දශකයේදීයි. නමුත් හැත්තෑ හතේදීත් යම් විවෘත වීමක් සිදු වුනා. එහි උදවුවෙන් ලෝක වෙළඳාමේ ලංකාවේ පංගුව තරමක් ඉහළ ගියා. අනූව දශකයේදී තවත් ටිකක් ඉහළ ගියත්, දෙදාහ දශකයේදී නැවතත් ඒ වැඩිවීම ආපසු හැරවුනා. ඒ නැවතත් ආරක්ෂණවාදය හා ආර්ථික ජාතිකවාදය වෙත පසු බැසීමේ ප්‍රතිඵලයක් විදිහටයි. 

ආර්ථික අර්බුදය පසු කර රටේ ආර්ථිකය නැවත හිස ඔසොවමින් තිබෙන පසුබිම තුළ මේ අවුරුද්දේ ලංකාවේ වෙළඳපොළ පංගුවේ යම් වැඩිවීමක් සිදු විය හැකි වුවත් එසේ අපේක්ෂා කළ හැක්කේ ඉතාම සුළු වෙනසක් පමණයි. නිදහස ලබද්දී ලෝක වෙළඳාමේ ඩොලර් සීයකින් ලංකාවේ පංගුව ඩොලර් ශත පණහක් පමණ. නමුත් දැන් පංගුව ඩොලර් ශත පහක් පමණයි. ඇමරිකාව තීරුබදු දමද්දී ලංකාවට කළ හැක්කක් නැති වී තිබෙන්නේ ඔය විදිහට ලංකාව ශත පහට වැටී තිබෙන නිසා. ඒ ඉන්න තැනින් ඉහළට යන්න ස්නේක් ඇන්ඩ් ලැඩර් වර්ගයේ සරල ඉනිමං නැහැ. ෂෝට්කට් නැහැ. රටේ තනි පුද්ගලයින්ට හා ආයතන වලට ලෝකය තුළ තරඟ කරලා වෙළඳපොළ අල්ලගන්න වෙනවා. 

ප්‍රස්ථාරය සකස් කිරීම සඳහා යොදාගත් දත්ත ලෝක බැංකු වෙබ් අඩවියේ තිබෙනවා (https://data.worldbank.org/indicator/TX.VAL.MRCH.CD.WT). 



Saturday, August 9, 2025

ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම මේ අවුරුද්දේදීද?


ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාර්ලිමේන්තු කතාව අනුව, "2015 සිට 2025 දක්වා ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ දත්ත පිළිබඳ විමසා බැලූ විට මේ වසරේ මුල් මාස හය තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබා ගෙන තිබෙනවා."

මේ කතාව ඇත්තද?

පහත තිබෙන්නේ මහ බැංකු දත්ත අනුව අදාළ වසර වල පළමු මාස හයක කාලය තුළ ලංකාව විසින් ඉපැයූ අපනයන ආදායම්.

2015- ඩොලර් මිලියන 5,444.4
2016- ඩොලර් මිලියන 5,130.3
2017- ඩොලර් මිලියන 5,397.6
2018- ඩොලර් මිලියන 5,731.9
2019- ඩොලර් මිලියන 5,999.2
2020- ඩොලර් මිලියන 4,412.8
2021- ඩොලර් මිලියන 5,699.1
2022- ඩොලර් මිලියන 6,522.2
2023- ඩොලර් මිලියන 5,871.0
2024- ඩොලර් මිලියන 6,144.4
2025- ඩොලර් මිලියන 6,492.1

මෙම දත්ත දෙස බැලූ විට පෙනී යන පරිදි, වෙනස සුළු වෙනසක් වුවත්, වසරේ පළමු අර්ධය තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම් වාර්තා වී තිබෙන්නේ මෙම (2025) වසරේදී නොව 2022 වසරේදීයි. 

ඒ කියන්නේ අනුර පාර්ලිමේන්තුවේදී කිවුවේ බොරුවක්ද?

අනුර මේ ප්‍රකාශය කරන්නේ මහ බැංකු දත්ත මත පදනම්ව නොව අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත මත පදනම්ව විය යුතුයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත අනුව, 2025 පළමු මාස හයෙහි අපනයන ආදායම ඩොලර් මිලියන 6,504.7ක් ලෙස සඳහන් වන නමුත් එම අගය සැලකුවද 2022 පළමු මාස හයෙහි අපනයන ආදායම ඉක්මවා යන්නේ නැහැ. 

අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත වලට වඩා මහ බැංකුවේ දත්ත නිවැරදි සේ සැලකිය හැකියි. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මුලින්ම ප්‍රකාශයට පත් කරන දත්ත සහ  මහ බැංකුවේ දත්ත අතර සාමාන්‍යයෙන් යම් වෙනසක් තිබෙනවා. එහෙත් බොහෝ විට අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත පසුව සංශෝධනය කෙරෙනවා. එම සංශෝධිත දත්ත සාමාන්‍යයෙන් මහ බැංකුවේ දත්ත සමඟ ගැලපෙනවා. ඊට හේතුව මහ බැංකුව විසින් දත්ත ප්‍රකාශයට පත් කරන්නේ රේගුවෙන් ලබා ගන්නා දත්ත පරීක්ෂාවට ලක් කර, නොගැලපීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය නිවැරදි කිරීම් කිරීමෙන් පසුව වීමයි. 

ඉහත දත්ත භාණ්ඩ අපනයන ආදායම් හා අදාළ දත්තයි. මෙයට සේවා ලැබීම්ද එකතු කළ විට, මහ බැංකු දත්ත අනුව, තත්ත්වය මෙසේයි.

2015- ඩොලර් මිලියන 8,539.7
2016- ඩොලර් මිලියන 8,623.5
2017- ඩොලර් මිලියන 9,156.5
2018- ඩොලර් මිලියන 9,979.5
2019- ඩොලර් මිලියන 9,910.7
2020- ඩොලර් මිලියන 6,448.6
2021- ඩොලර් මිලියන 6,683.6
2022- ඩොලර් මිලියන 8,178.5
2023- ඩොලර් මිලියන 8,306.8
2024- ඩොලර් මිලියන 9,462.7
2025- ඩොලර් මිලියන 10,101.6

මේ අනුව පෙනී යන්නේ භාණ්ඩ අපනයන ආදායමට සේවා ලැබීම්ද එකතු කළ විට වැඩිම අගය වාර්තා වී තිබෙන්නේ මෙම වසර තුළදී බවයි. 

කෙසේ වුවද, අනුර කුමාර ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණ ඉහත ගණන් වලට වඩා වෙනස්. ඔහුට අනුව, 2025 පළමු මාස හයේ අපනයන ආදායම ඩොලර් බිලියන 8.4ක්. ඔහු මේ කතා කරන්නේ අපනයන ආදායමට සේවා ආදායම් වලින් කොටසක් පමණක් එකතු කොට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන සංඛ්‍යාලේඛණයක් මත පදනම්වයි. එයට ඉදිකිරීම්, මූල්‍ය, ප්‍රවාහන, තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන හා වෙනත් ව්‍යාපාරික සේවා සැපයීම් වෙනුවෙන් ලැබුණු විදේශ විණිමය ආදායම් ඇතුළත් වන නමුත් සංචාරක, මූල්‍ය, රක්ෂණ, නඩත්තු, නිෂ්පාදන, විනෝදාස්වාද ඇතුළු වෙනත් සේවා ගණනාවක් වෙනුවෙන් ලැබුණු විදේශ විණිමය ආදායම් ඇතුළත්ව නැහැ. 

මෙම වසරේ පළමු මාස හය තුළ ලැබුණු භාණ්ඩ අපනයන ආදායමට ඉහත සේවා අංශ වලින් ලැබුණු ආදායම පමණක් එකතු කළ විට මුළු අගය ඩොලර් මිලියන 8,337.9ක්. දැනට වැඩිම භාණ්ඩ අපනයන ආදායමක් වාර්තා වී ඇති 2022 වසරේදී ඉහත අගය ඩොලර් මිලියන 7,476.8ක් පමණයි. මේ අනුව පෙනෙන පරිදි, 2022 වසරට සාපේක්ෂව 2025 වසරේ පළමු මාසය හයේ භාණ්ඩ අපනයන ආදායම සුළු වශයෙන් අඩු වුවත්, සේවා ආදායම් ඉහළ යාම නිසා අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණයේ ඉහළ යාමක් දැකිය හැකි වී තිබෙනවා. 

මේ තත්ත්වය ගැන කොයි තරම් සතුටු විය හැකිද?

භාණ්ඩ අපනයනය පමණක් සැලකුවද, වසරේ දෙවන අර්ධයේ අපනයන ආදායම් වල සැලකිය යුතු වර්ධනයක් සිදු වුවහොත්, මෙම වසර ඉහළම අපනයන ආදායමක් වාර්තා වන වසර විය හැකියි. නමුත් එය එසේ වුවද ඒ හේතුව නිසාම සතුටු විය හැකි කරුණක් වන්නේ නැහැ. 

රටේ අපනයන ප්‍රමාණයේ කිසිදු වර්ධනයක් සිදු නොවුවද අපනයන ආදායම් සේ ලැබෙන ඩොලර් ප්‍රමාණය වසරින් වසර ඉහළ යාම ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. ඊට හේතුව ඇමරිකාවේ උද්ධමනය නිසා ඩොලරයක වටිනාකම වසරින් වසර බාල්දු වීමයි. උදාහරණයක් ලෙස 2022 ජූනි මාසයේ ඇමරිකන් ඩොලර් 100ක 2025 ජූනි වටිනාකම ඩොලර් 108.86ක්. ඒ කියන්නේ රටේ අපනයන වල කිසිදු වර්ධනයක් සිදු නොවුවද, මෙම කාලය තුළදී රටට ලැබෙන අපනයන ආදායමේ ඩොලර් අගය 8.86%කින් ඉහළ යා යුතු බවයි. ඒ නිසා, කිසියම් වසරක අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව අඩු වී ඇත්නම් එය කනස්සළු විය යුතු කරුණක් වුවත්, ඇමරිකාවේ උද්ධමන බලපෑම නොඉක්මවන අපනයන ආදායම් වර්ධනයක් කියන්නේ සතුටු විය යුතු කරුණක් නෙමෙයි.

ඇමරිකන් ඩොලරයේ අගය වෙනස් වීම සැලකූ විට 2022 පළමු මාස හයේ අපනයන ආදායමේ දැන් වටිනාකම ඩොලර් මිලියන 7,100.0ක්. ඒ අනුව, සිදු වී තිබෙන්නේ 2022 වසරට සාපේක්ෂව 2025දී ලංකාවේ භාණ්ඩ අපනයන ප්‍රමාණය 8.6%කින් අඩු වී තිබීමයි. 

සේවා ලැබීම්ද සලකන්නේනම් මීට පෙර වැඩිම නාමික ඩොලර් ප්‍රමාණයක් ලැබී තිබෙන්නේ 2018 පළමු මාස හයක කාලය තුළයි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 9,979.5ක්. ඩොලරයේ වටිනාකම වෙනස්වීම සැලකූ විට මෙය 2025 ජූනි ඩොලර් වලින් මිලියන 12,774.4කට සමානයි. මේ හා සංසන්දනය කරද්දී 2025 පළමු මාස හයක කාලය තුළ උපයා ඇති ඩොලර් මිලියන 10,101.6 මගින් පෙන්නුම් කරන්නේ 20.9%ක අඩුවීමක්. ඒ අනුව පෙනෙන පරිදි, මෙම වසරේ පළමු මාස හය තුළ "ඉතිහාසයේ වැඩිම භාණ්ඩ හා සේවා අපනයන ආදායම්" උපයා ඇතත් එය ඩොලරයේ වටිනාකම අඩු වීම නිසා සිදු වී තිබෙන නාමික වර්ධනයක් පමණයි. 

Friday, August 8, 2025

රුපියල් ට්‍රිලියනයේ සංචිතය කුමක්ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක රුපියල් ට්‍රිලියනයක සංචිතයක් ගැන කිවුවනේ. මේ සංචිතය කුමක්ද?

සංචිතය කියා කියද්දී ගොඩක් අයට එකවර මතක් වෙන්නේ රටේ නිල විදේශ සංචිතයනේ. නමුත් මේ කියන්නේ විදේශ සංචිතය ගැන නෙමෙයි. විදේශ සංචිතය රුපියල් වලින් ගණන් හැදුවොත් ට්‍රිලියන 1.8කටත් වඩා වැඩියි. 

සංචිතයක් කියන එකෙන් අදහස් වෙන්නේ කිසියම් ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා එකතු කර තබා ගන්නා දෙයක් කියන එක. එවැන්නක් තෙල් සංචිතයක් හෝ හාල් සංචිතයක් වැනි භාණ්ඩ සංචිතයක් වෙන්න පුළුවන්. එසේ නැත්නම් අරමුදල් සංචිතයක් වෙන්න පුළුවන්. 

අරමුදල් සංචිතයක් රුපියල් වලින් හෝ විදේශ මුදල් වලින් තියා ගන්න පුළුවන්. රටේ නිල විදේශ සංචිතය විදේශ මුදල් වලින් තබා ගන්නා සංචිතයක්. නිල විදේශ සංචිතයට අමතරව වාණිජ බැංකු සහ වෙනත් ආයතන හා පුද්ගලයින් සතුවත් විදේශ මුදල් වලින් සංචිත තිබෙනවා. රුපියල් සංචිතනම් රටේ බොහොමයක් ආයතන හා පුද්ගලයින් සතුව තිබෙනවා. සරලව කිවුවොත් ඔබේ බැංකු ගිණුමේ ශේෂය ඔබ විසින් පවත්වාගෙන යන රුපියල් සංචිතයක්. 

ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා අරමුදල් සංචිතයක් පවත්වා ගැනීම ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් කළ යුතු දෙයක්. තමන්ගේ ආදායමෙන් හතරෙන් එකක් ආපතික සංචිතයක් ලෙස පවත්වා ගත යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ පවා කියලා තියෙන දෙයක්නේ.

"චතුත්ථං ච නිධාපෙය්‍ය - ආපදාසු භවිස්සති"

නමුත් පසුගිය දශක ගණනාවක් පුරාම ශ්‍රී ලංකා රජය සතුව ඔය විදිහේ ආපතික සංචිත අරමුදලක් තිබුණේ නැහැ. ඒ නිසාම, අපිට මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් වී තිබුණත්, ඇත්තටම මේ තත්ත්වය ඉතාම අසාමාන්‍ය තත්ත්වයක්. සාමාන්‍යයෙන් ඕනෑම රජයක් හදිසියකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ආපතික සංචිතයක් නඩත්තු කරනවා. ණය නැති රටක් සේ සැලකිය හැකි සිංගප්පූරුව වැනි රටක් සැලකුවත්, ලෝකයට හා රටට විශාල ලෙස ණය ඇමරිකාව වැනි රටක් සැලකුවත්, එම රටවල් සතුව විශාල ආපතික සංචිත තිබෙනවා.

නිදහස ලැබෙන තුරු වගේම නිදහස ලැබී යම් කාලයක් යන තුරුත් ශ්‍රී ලංකා රජය සතුව මෙවැනි ආපතික සංචිත තිබුණා. නමුත් කල් යද්දී ඒ ආපතික සංචිත නඩත්තු කිරීම නැවතිලා හදිසියකට පවා මහ බැංකුවෙන් ණය ගන්නා තත්ත්වයකට ශ්‍රී ලංකා රජය පත් වුනා. මහින්ද සිරිවර්ධන - රනිල් වික්‍රමසිංහ කාලයේ ඔය තත්ත්වය නැවත වෙනස් කරන තුරු ශ්‍රී ලංකා රජය සතුව ආපතික සංචිතයක් කියා එකක් තිබුණේම නැහැ.

රජයක් ණය ගන්න සාමාන්‍යම ක්‍රමය භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන එකනේ. නමුත් භාණ්ඩාගාර බිල්පත් විකිණීම හා මිල දී ගැනීම කියන්නේ පාර්ශ්ව දෙකක් අතර සිදු වෙන ගනුදෙනුවක්. රජයට ණය ගන්න අවශ්‍යයි වගේම ඔය භාණ්ඩාගාර බිල්පත් ආයෝජන සිදු කරන අයට ඒ ආයෝජන අවස්ථාවත් අවශ්‍යයි. සාමාන්‍ය මූලධර්මයක් විදිහට ණය දීම සඳහා රජයක් තරම් සුරක්ෂිත වෙනත් ආයතනයක් නැහැ. ලංකාවේ රජය විසින් සිදු කළාක් මෙන් ණය පැහැර හැරීම්ද සිදු වුවත්, එවැනි දේ වෙන්නේ කලාතුරකින්. 

ඉහත හේතුව නිසා සාමාන්‍යයෙන් රජයකට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ඉතා අඩු පොලියකට අරමුදල් සපයා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇමරිකන් රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න ඇමරිකාවේ වගේම ලෝකය පුරාම ඉන්න ආයෝජකයෝ පොර කනවා. ඒ නිසා ඇමරිකන් රජයට ඉතා අඩු පොලියකට ණය ලැබෙනවා. 

කිසියම් රටක පොලී අනුපාතික ආකෘතියම තීරණය වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මත පදනම්වයි. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික පහළ මට්ටමක තියාගන්න පුළුවන්නම් අනෙක් පොලී අනුපාතික සියල්ලද පහළ යනවා. එය පොදුවේ ආයෝජන හා ව්‍යවසායකත්වය දිරිමත් කරනවා. ආර්ථික වර්ධනයට හේතු වෙනවා. 

ඇමරිකන් ෆෙඩරල් රජය ආදායමට වඩා වියදම් කරන නිසා කොහොමටත් ණය ගන්න වෙනවා. නමුත් සිංගප්පූරු රජය සැලකුවොත් එසේ ණය ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වුනත්, සිංගප්පූරු රජය පවා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. ඒ කියන්නේ ණය ගන්නවා. මීට හේතුව සිංගප්පූරු රජයට ඉතා අඩු පොලියකට ණය ලබා ගැනීමේ විභවයක් තිබීමයි. මේ විදිහට එකතු කර ගන්නා අරමුදල් සිංගප්පූරු රජය විසින් ආයෝජනය කරලා ගෙවිය යුතු පොලිය ඉක්මවා යන ප්‍රතිලාභයක් ලබා ගන්නවා. ඊට අමතරව, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික පහළ මට්ටමක තිබෙන නිසා, සිංගප්පූරුවේ අනෙක් පොලී අනුපාතිකත් පහළ මට්ටමක නඩත්තු වෙනවා. 

ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් වලට රටෙන් පිටත ඉල්ලුමක් නැති තරම්. ඉල්ලුමක් තිබුණත් එය ඉතාම කුඩා ඉල්ලුමක්. මේ වන විට නිකුත් කර තිබෙන බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය සැලකුවොත්, 99.4%ක්ම විකිණිලා තියෙන්නේ රට ඇතුළේ. ඕක තමයි සාමාන්‍ය තත්ත්වය. 

රට ඇතුළේ කියා කිවුවත්, බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරන්නේ රටේ සීමිත පිරිසක්. මෑතක් වන තුරුම ගොඩක් අය මේ ආයෝජන අවස්ථා ගැන දැනගෙන හිටියේම නැති තරම්. බැංකු සාමාන්‍යයෙන් බිල්පත් හා බැඳුම්කර ගැන පාරිභෝගිකයින් දැනුවත් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ අඩු පොලියකට තැන්පතු එකතු කරගෙන ලාබයක් තියාගෙන බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරන එකයි. ගොඩක් වෙලාවට රජය නිකුත් කරන බිල්පත් හා බැඳුම්කර මිල දී ගන්නේ සීමිත පාරිභෝගිකයින් පිරිසක් විසින්. 

ඉහත තත්ත්වය තුළ ලංකාවේ බිල්පත් හා බැඳුම්කර ආයෝජකයින්ට කාටලයක් සේ ක්‍රියාකිරීමේ යම් හැකියාවක් තියෙනවා. ඒ හරහා පොලී අනුපාතික වැඩි කරගන්න පුළුවන්. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස සමස්තයක් ලෙස ණය පොලී අනුපාතික ඉහළ යාමක්ද සිදු වෙනවා. ඒ වගේම, බිල්පත් හා බැඳුම්කර පොලී අනුපාතික ඉහළ මට්ටමක තිබීම කොටස් වෙළඳපොළ වර්ධනයටද බාධාවක්. අවදානම අඩු ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභ ලැබෙද්දී අවදානම වැඩි ආයෝජන කරන්න තිබෙන පෙළඹවීම අඩුයි.

ශ්‍රී ලංකා රජය සතුව කාලයක් තිස්සේම කිසිදු ආපතික සංචිතයක් නොතිබීම මේ තත්ත්වයට විශාල ලෙස දායක වී තිබෙනවා. අතේ සතයක් නැතුව වෙන්දේසියට යනවා කියන්නේ, රෑට කන්න හාල් ගන්න සල්ලි නැතුව කරාබු දෙක උගස් කරන්න පොලී මුදලාලි ළඟට යනවා වගේ වැඩක්. හෙට්ටු කර කර ඉන්න පුළුවන්කමක් නැහැ. අතේ කිසියම් සංචිත මුදලක් තිබෙනවානම්, සල්ලි තියාගන්න කියලා ආපහු හැරිලා එන්න පුළුවන්. ශ්‍රී ලංකා රජයට පහුගිය කාලය මුළුල්ලේම ඔය ක්‍රමයට බිල්පත් හා බැඳුම්කර ආයෝජකයින් එක්ක හැප්පිලා පොලී අනුපාතික අඩු කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ.

නමුත් ශ්‍රී ලංකා රජය සතුව බිල්පත් හා බැඳුම්කර ආයෝජකයින් එක්ක හැප්පෙන්න පුළුවන් වෙනත් ආයුධයක් තිබුණු නිසා මේක ලොකු ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒ තමයි මහ බැංකුවට බිල්පත් විකිණීම. බිල්පත් ආයෝජකයින් විසින් ඕනෑවට වඩා වැඩි පොලියක් ඉල්ලන සේ පෙනුණු විට රජය කළේ බිල්පත් ඔවුන්ට නොවිකුණා මහ බැංකුවට විකුණන එක. මේ විදිහට මහ බැංකුව විසින් බිල්පත් මිල දී ගන්නවා කියා කියන්නේ සල්ලි අච්චු ගැහීම බව අපි දන්නවනේ. 

ශ්‍රී ලංකා රජය විසින් මහ බැංකුවෙන් ණය ගත්, ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමට හේතු වුනු, එකම ආකාරය මහ බැංකුවට බිල්පත් විකිණීම නෙමෙයි. කාලයක් තිස්සේම මහ බැංකුවේ තිබුණු ශ්‍රී ලංකා රජයේ ගිණුම තිබුණේ අයිරා (overdraft) තත්ත්වයේ. ආර්ථික අර්බුදයට ආසන්න කාලයේදී ඔය විදිහට ශ්‍රී ලංකා රජය විසින් මහ බැංකුවෙන් ණය ගැනීම උපරිමයකට ගියා. එහි ප්‍රතිඵලය අපි දන්නවනේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කරන්න අවශ්‍ය වුනේ ඔය තත්ත්වයන් එක්කයි. පෙර ලිපි වල පැහැදිලි කර ඇති පරිදි, එයින් මූලික වශයෙන් අදහස් කරන්නේ මහ බැංකුවට හිතේ හැටියට වැටුප් වැඩි කරගැනීමට හැකි වීම හෝ රටට වග කියන්නේ නැතුව හිතුමතේට කටයුතු කරන්න බලපත්‍රයක් දුන්නා කියන එක නෙමෙයි. ලබා දී තිබෙන උද්ධමන ඉලක්කය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට හැර රජයේ අයවැය හිඟය පියවීමට හෝ රජයට අඩු පොලියට ණය ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීමට සල්ලි අච්චු ගැසීමට බල කිරීමක් තවදුරටත් සිදු නොවන බවයි. 

රටේ ආර්ථිකය අර්බුදයට යද්දී ශ්‍රී ලංකා රජය විසින් මහ බැංකුවට රුපියල් බිලියන 2,368.4ක බිල්පත් විකුණා තිබුණා. බැංකු අයිරාව රුපියල් බිලියන 344.7ක් වෙලා තිබුණා. ඒ කියන්නේ මහ බැංකුව විසින් ඒ වෙද්දී රුපියල් ට්‍රිලියන 2.7ක් අච්චු ගහලා රජයට ලබා දී තිබුණා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරද්දී මෙම ණය වලින් වැඩි කොටසක් (රුපියල් බිලියන 2,492ක්) භාණ්ඩාගාර බැඳුම්කර බවටත්, ඉතිරිය (රුපියල් බිලියන 220.8ක්) භාණ්ඩාගාර බිල්පත් බවටත් පර්වර්තනය කෙරුණා. රජය විසින් මහ බැංකුවෙන් ලබාගත් ණය බැඳුම්කර බවට පරිවර්තනය කිරීම නිසා රජයට එම ණය ආපසු ගෙවීම සඳහා 2038 වසර දක්වා වන දීර්ඝ කාලයක් ලැබුණා. නමුත් ණය එලෙසම තිබෙනවා. 

ඔය විදිහට මහ බැංකුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සමාන්තරව මහ බැංකුව ස්වාධීන වීමත් සිදු වුනානේ. දැන් මහ බැංකුවට බිල්පත් වෙන්දේසියට මැදිහත් වෙන්න බැහැ. ඒ නිසාම, කලින් විස්තර කළ බිල්පත් ආයෝජකයින් එක්ක හෙට්ටු කිරීමේ බලය රජයට නැති වුණා. තිබුණු ආයුධය සල්ලි අච්චු ගැසීමේ හැකියාවනේ. ඔය තත්ත්වයත් එක්ක බිල්පත් ආයෝජකයින්ට වැඩි පොලියක් ඉල්ලා සිටීමේ ඉඩකඩක් ඇති වුණා. 

මේ තත්ත්වයට මුහුණ දෙන්නනම් නැති වුනු ආයුධය වෙනුවට අලුත් ආයුධයක් හොයා ගන්න අවශ්‍ය වුණා. මහින්ද සිරිවර්ධන - රනිල් වික්‍රමසිංහ කාලයේදී නැවත ගොඩ නගා ගත්ත රුපියල් සංචිතය කියන්නේ මේ ආයුධය. මේ ආණ්ඩුව බලයට පත් වෙද්දී රුපියල් බිලියන 650ක සංචිතයක් හදලා මේ ආණ්ඩුවට භාර දීලයි කලින් ආණ්ඩුව ගෙදර ගිහින් තියෙන්නේ. අනුර කුමාර දිසානායක ඔහුගේ කතාවේදී කලින් ආණ්ඩුවට මේ වෙනුවෙන් ස්තුති කරනවා.

රනිල් ගෙදර ගියත් මහින්ද සිරිවර්ධන තවත් කාලයක් මේ ආණ්ඩුව එක්ක වැඩ කළානේ. ඒ කාලයේදී මේ සංචිතය තවත් වැඩි වෙන්න ඇති. අනුර කුමාරගේ කතාව අනුව මේ වෙද්දී සංචිතය රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.

මේ විදිහේ සංචිතයක් හදා ගත්තට පස්සේ එය පවත්වා ගෙන යන එක සහ වැඩි කර ගන්න එක සාපේක්ෂව පහසුයි. නමුත් මුලින්ම එවැන්නක් ගොඩ නගා ගන්න එක ඉතාම අසීරු වැඩක්. සංචිතය හදන්න වෙන්නෙම ණය අරගෙන. ඒ සඳහා වියදමට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ණය ගන්න සිදු වෙනවා. ණය වැඩියෙන් ගන්න උත්සාහ කරද්දී හෙට්ටු කිරීමේ හැකියාව අඩු වෙන නිසා වැඩි පොලියක් ගෙවන්න වෙනවා. නමුත් කොහොම හරි අමාරුවෙන් සංචිතය හදා ගත්තට පස්සේ හෙට්ටු කිරීමේ හැකියාව විශාල ලෙස ඉහළ යනවා. ඒ නිසා මේ වැඩේ කාගේ අදහසක් වුනත් ඉතාම දූරදර්ශී වැඩක්.  

ඔය සංචිතය ගොඩ නගන කාලයේම තමයි ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් බවට පත් කරගනු ලැබුවේ. එවැන්නක් සිදු නොවුනානම් මේ වගේ සංචිතයක් හදාගන්න එක හීනයක් වෙන්න තිබුණා. නමුත් ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් වීම නිසා මෙය කළ හැක්කක් බවට පත් වුනා. ඒ මෙහෙමයි.

රජයේ පැත්තෙන් ණය ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා වගේම ආයෝජකයින්ගේ පැත්තෙන් රජයට ණය දීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා කියලා මම කලින්ම කිවුවනේ. රජයට බිල්පත් විකිණිය හැක්කේ රට ඇතුළේම බව ඇත්ත. ඒ වගේම අනෙක් පැත්තෙන් ඔය බිල්පත් ආයෝජකයින්ටත් වෙන විකල්ප නැහැ. බිල්පත් ගන්නම වෙනවා. 

උදාහරණයක් විදිහට අපි හිතමු කවුරු හෝ බිල්පත් ආයෝජකයෙක් සතුව රුපියල් බිලියන 100ක් තියෙනවා කියලා. දැන් මේ සල්ලි 10% පොලියට බිල්පත් වල ආයෝජනය කරනවා. වසරකට පසුව, රජයෙන් රුපියල් බිලියන 110ක් ලැබෙනවා. ඔය රුපියල් බිලියන 110ම නැවත බිල්පත් වල ආයෝජනය කළේ නැත්නම් ඒ සල්ලි ආයෝජනය කරන්න වඩා හොඳ විකල්පයක් නැහැ. ඒ නිසා, රජයට පහසුවෙන්ම ඔය රුපියල් බිලියන 110 ණය විදිහට ලබා ගන්න පුළුවන්. 

අපි හිතමු රජයේ ප්‍රාථමික අයවැය හරියටම තුලනය වුනා කියලා. දැන් රජයේ ආදායම් සහ පොලී ගෙවීම් හැර අනෙක් වියදම් හරියටම ගැලපිලා. අලුතෙන් ණය ගන්න අවශ්‍ය වෙන්නේ පරණ ණය හා පොලී ගෙවන්න පමණයි. කලින් උදාහරණය ගත්තොත් රුපියල් බිලියන 100ක ණය සහ ඒ වෙනුවෙන් පොලිය ලෙස රුපියල් බිලියන 10ක් ගෙවන්න රුපියල් බිලියන 110ක් අලුතෙන් ණයට ගන්න අවශ්‍යයි. මොකද ආදායමෙන් වියදම් අඩු වුනාට පස්සේ ණය හෝ පොලී ගෙවන්න ඉතිරියක් නැහැ. ඒ වගේම, ප්‍රාථමික අයවැය හරියටම තුලනය වෙලා නිසා ඔය රුපියල් බිලියන 110ට වඩා වැඩියෙන් ණය අවශ්‍ය වෙන්නෙත් නැහැ. 

අපි හිතමු කිසියම් සතියක රජයට ගන්න අවශ්‍ය මුළු ණය ප්‍රමාණය ඔය රුපියල් බිලියන 110 පමණක් කියලා. දැන් රජය වෙන්දේසියට යන්නේ හරියටම ඔය රුපියල් බිලියන 110 වෙළඳපොළෙන් එකතු කර ගන්නයි. ඒ සල්ලි අවශ්‍ය වන්නේ කල් පිරෙන බිල්පත් වල මුල් මුදල සහ පොලිය පියවන්න. නමුත් ඒ සල්ලි ලබාගන්නා ආයෝජකයින්ට සල්ලි ගෙදර අරන් යන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ලැබෙන මුළු මුදලම නැවත ආයෝජනය කරන්නයි. හරියට ස්ථිර තැන්පතුවක් අලුත් කරනවා වගේ. ඒ නිසා ඔවුන් වෙන්දේසියට එන්නේත් මොන විදිහෙන් හරි රජයට රුපියල් බිලියන 110ක් ණයට දෙන්නම බලාගෙනයි. 

ඉහත පැහැදිලි කළ පරිදි, රජයේ ප්‍රාථමික අයවැය හරියටම තුලනය වෙලානම්, බිල්පත් වෙන්දේසියේ විකිණුම්කරු වන රජය සහ ගැනුම්කරුවන් අතර තුලනයක් තිබෙනවා. එක් පාර්ශ්වයකට වැඩිපුර හෙට්ටු කිරීමේ බලයක් නැහැ. නමුත් ප්‍රාථමික අයවැය තුලනය වෙලා නැත්නම් තත්ත්වය වෙනස්.

අපි හිතමු ඔය රුපියල් බිලියන 110ට අමතරව ප්‍රාථමික අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජයට තවත් රුපියල් බිලියන 20ක් අවශ්‍යයි කියලා. දැන් රජය වෙන්දේසියට එන්නේ රුපියල් බිලියන 130ක් එකතු කරගන්න බලාගෙන. නමුත් ගැනුම්කරුවන්ට කෙසේ හෝ ආයෝජනය කරන්න අවශ්‍ය වන්නේ රුපියල් බිලියන 110ක් පමණයි. ඉතිරි රුපියල් බිලියන 20 ලබා ගන්නනම් ඒ සඳහා ඔවුන් පොළඹවා ගත හැකි තරමේ ඉහළ පොලියක් ගෙවන්න වෙනවා. හෙට්ටු කිරීමේ බලය තියෙන්නේ ගැනුම්කරුවන් අතේ. 

ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් වූ ගමන් ඔය තත්ත්වය කණපිට හැරෙනවා. අපි හිතමු අතිරික්තය රුපියල් බිලියන 20ක් කියලා. දැන් රජයට අවශ්‍ය වන්නේ රුපියල් බිලියන 90ක් පමණයි. නමුත් ආයෝජකයින්ට රජයට රුපියල් බිලියන 110ක් ණය දෙන්න අවශ්‍යයි. හෙට්ටු කිරීමේ බලය තියෙන්නේ රජය අතේ. රුපියල් සංචිතය ගොඩ නගා ගන්න පුළුවන් වුනේ ඔන්න ඔය තත්ත්වයෙන් ප්‍රයෝජන අරගෙනයි. 

රුපියල් සංචිතය හදා ගත්තට පස්සේ රජය සතු හෙට්ටු කිරීමේ හැකියාව විශාල ලෙස ඉහළ යනවා. මේ අතින් මෙය රජයට මහ බැංකුවට බිල්පත් විකුණන්න පුළුවන් වූ කාලයේදී පැවති තත්ත්වයට සමානයි. අපි හිතමු මේ අතිරික්ත අරමුදල් තියෙන්නේ මහ බැංකුවේම ගිණුමක කියලා. මම හිතන විදිහට ඇත්තම තත්ත්වයත් ඒකයි. දැන් කිසියම් වෙන්දේසියක් සඳහා ඉදිරිපත්ව තිබෙන ලංසු ඕනෑවට වඩා වැඩියි වගේ පේනවානම් මහ බැංකුවට පුළුවන් ඉස්සර වගේම බිල්පත් මිල දී ගන්න. හැබැයි ඒ විදිහට බිල්පත් මිල දී ගන්නේ මහ බැංකුවේ සල්ලි වලින් නෙමෙයි. ඒ කියන්නේ අච්චු ගහපු සල්ලි වලින් නෙමෙයි. රජයේම සල්ලි වලින්. 

මේ ක්‍රමය ඉතාම සාර්ථක ක්‍රමයක්. මෑතකාලීන වෙන්දේසි වලදී පොලී අනුපාතික ස්ථාවරව තබාගෙන යාමට හැකි වී තිබෙන්නේ ඔය රුපියල් සංචිතයේ උදවුවෙන්. රනිල් හෝ මහින්ද සිරිවර්ධන මේ ගැන කවදාවත් හොඳ සන්නිවේදනයක් කළේ නැහැ. මහින්ද සිරිවර්ධන විසින් යම් සන්නිවේදනයක් කළත් එය හොඳ සන්නිවේදනයක් කියා කියන්න බැහැ. 

මේ වෙද්දී අනුර කුමාර දිසානායක කුප්පිය දාගෙන තියෙනවා වගේම මේ වැඩේ ඉදිරියට ගෙන යාමේ වැදගත්කම තේරුම් අරගෙන තියෙනවා. ඊට අමතරව පොදුවේ ස්ථායිකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ වැදගත්කමත් හොඳින් අවබෝධ කරගෙන ඇති බව පේනවා. රනිල්ට සාපේක්ෂව හොඳ සන්නිවේදකයෙක් වන ඔහුට මේ වගේ දේවල් තේරුම් ගන්න යම් කාලයක් අවශ්‍ය වුනත්, තේරුම් ගැනීමෙන් පසුව තේරුම් ගත් දෙය හොඳින් සන්නිවේදනය කළ හැකියි.

රටේ ණය බර සැලකිය යුතු තරම් අඩු වන තුරු ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමේ හෝ ඊට වඩා ඉහළින් තබා ගැනීමේ වැදගත්කම ඔහු විසින් පැහැදිලිව අවධාරණය කර තිබෙනවා වගේම ඒ සඳහා වන කැපවීම ප්‍රකාශිතව ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් අදහස් වන්නේ දැනට රුපියල් ට්‍රිලියනයක් වී ඇති මහා භාණ්ඩාගාරයේ රුපියල් සංචිතය තවත් වැඩි කර ගැනීමේ හැකියාවක් ඇති බවයි. 

මෙම රුපියල් සංචිතය ඉහළ යන තරමට පොලී අනුපාතික ස්ථාවර, පහළ මට්ටමකට තබා ගැනීමේ හැකියාවද ඉහළ යනවා. එය ආර්ථික වර්ධනයට උදවුවක්. මේ මොහොතේ දුරස්ථ ඉලක්කයක් වුවත්, කාලයක් එක දිගට මෙම රුපියල් සංචිතය ගොඩ නගා ගත හැකිනම්, එයින් කොටසක් විදේශ මුදල් බවට හරවා ගන්න වුනත් පුළුවන්. සිංගප්පූරුව කළේ එයයි. 

දැනටනම් විදේශ සංචිත ගොඩ නගා ගැනීම මහ බැංකුව හමුවේ තිබෙන අභියෝගයක්. එහෙත්, ඉතා දුරස්ථ ඉලක්කයක් වුවත්, යම් සීමාවකින් පසුව මහ බැංකුවට තව දුරටත් විදේශ සංචිත වැඩි කරගැනීමට නොහැකි මට්ටමක් එනවා. ඊට හේතුව විදේශ සංචිත වැඩිවීම කියන්නේද මහ බැංකුවේ සංචිත මුදල් වැඩිවීම වීමයි. රජය විසින් විදේශ සංචිත පවත්වා ගැනීම එවැනි තත්ත්වයක් යටතේ වුවද කළ හැකි දෙයක්. ප්‍රමාණවත් රුපියල් සංචිත ගොඩ නගා ගැනීම ඒ සඳහා අවශ්‍ය වන මූලික පියවරක්.


Thursday, August 7, 2025

නිල විදේශ සංචිත - ජූලි 2025


ගෙවුණු (2025) ජූලි මාසය අවසානයේදී දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,144ක් ලෙස වාර්තා වෙනවා. මෙම ප්‍රමාණය පෙර මාසයට වඩා ඩොලර් මිලියන 63කින් වැඩියි. වර්ෂාවසාන සංචිත ඉලක්කය ඩොලර් මිලියන 7,255ක්. 

වාහන ආනයන පුරෝකථන ඉක්මවා ඉහළ යමින් තිබීම රජයේ බදු ආදායම් ඉලක්ක ලඟා කරගැනීම කෙරෙහි හිතකර ලෙස බලපා ඇතත්, විදේශ සංචිත එකතු කර ගැනීම වඩා අසීරු කර තිබෙනවා. 

Wednesday, August 6, 2025

පළමු මාස හය අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


මේ වන විට මෙම (2025) වසරේ පළමු මාස හය අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා. සමස්තයක් ලෙස එම සංඛ්‍යාලේඛණ තුළින් පිළිබිඹු වන්නේ සුබදායී තත්ත්වයක්.

බදු ආදායම

වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 2,152ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 25.9%ක වර්ධනයක්. වසරේ අවසන් මාස හය තුළද මෙම අනුපාතයෙන්ම බදු ආදායම් ඉහළ ගියහොත්, වසර අවසන් වන විට අපේක්ෂිත බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 4,590 ඉක්මවිය හැකියි. අදාළ ප්‍රක්ෂේපණය රුපියල් බිලියන 4,665ක්. 

වසරේ පළමු මාස හය අවසන් වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කයෙහි ඔවුන්ගේ පංගුවෙන් 47.3%ක්ද, රේගුව විසින් ඔවුන්ගේ පංගුවෙන් 46.4%ක්ද, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ පංගුවෙන් 45.0%ක්ද එකතු කර ගෙන ඇති අතර සමස්තයක් ලෙස වර්ෂාවසාන ඉලක්කයෙන් 46.9%ක් එකතු වී තිබෙනවා. පසුගිය වසරේ පළමු මාස හය අවසන් වන විට එකතු වී තිබුණේ එම වසරේ මුළු බදු ආදායමෙන් 46.6%ක් පමණයි. සුළු වෙනසක් වුවත්, මෙය ඊට වඩා හොඳ තත්ත්වයක්.

බදු ආදායම් වැඩි වීම සඳහා දායක වී තිබෙන්නේ වක්‍ර බදු ආදායම් ඉහළ යාමයි. වර්ෂාවසාන වැට් බදු ඉලක්කයෙන් 48.7%ක් දැනටමත් එකතු වී ඇතත්, වර්ෂාවසාන ආදායම් බදු ඉලක්කයෙන් එකතු වී තිබෙන්නේ 41.9%ක් පමණයි. ඒ අනුව, සෘජු බදු වලින් ආදායම් වර්ධනය කෙරෙහි ලොකු දායකත්වයක් ලැබී නැහැ. මෙයින් පිළිබිඹු වන්නේ බදු එකතු කරගැනීමේ ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම වීමට වඩා පරිභෝජනය යාමේ බලපෑමයි. වාහන ආනයන වලින් වසරේ පළමු මාස හයක කාලය ඇතුළත රුපියල් බිලියන 129.1ක බදු ආදායමක් එකතු වී ඇති අතර ඉන්ධන වලින් රුපියල් බිලියන 112ක බදු මුදලක් එකතු වී තිබෙනවා. 

සමස්ත රාජ්‍ය ආදායම 

වසරේ පළමු අර්ධය අවසන් වෙද්දී බදු නොවන ආදායම් හා ප්‍රදානද ඇතුළුව රජයේ සමස්ත ලැබීම් රුපියල් බිලියන 2,325ක් වන අතර මෙය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 24.7%ක වර්ධනයක්. මෙම වර්ධන වේගය මෙලෙසම පැවතුනහොත් වර්ෂාවසාන ලැබීම් රුපියල් බිලියන 5,100ක් පමණ දක්වා ඉහළ යා හැකි අතර එම ප්‍රක්ෂේපණය අයවැය ඇස්තමේන්තු වල සඳහන් රුපියල් බිලියන 4,990ට වඩා රුපියල් බිලියන 110කින් පමණ වැඩි අගයක් .

පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් 

වසරේ පළමු මාස හය තුළ පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 1,242ක් සේ වාර්තා වන අතර මෙය පෙර වසරට සාපේක්ෂව 15.5%ක වර්ධනයක්. මෙම අනුපාතය මෙලෙසම පැවතුනහොත් වසර අවසන් වන විට පුනරාවර්තන වියදම අයවැය ඇස්තමේන්තු වල සඳහන් රුපියල් බිලියන 2,970 මට්ටමට යන්නේ නැහැ. 

ප්‍රාග්ධන වියදම් 

වසරේ පළමු මාස හය තුළ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 224කට සීමා වී ඇති අතර, මෙය පෙර වසරේ පළමු මාස පහට සාපේක්ෂව 8.6%ක අඩු වීමක්. මේ අනුව, රාජ්‍ය ආදායම ඉලක්ක කරා යමින් තිබියදී පොලී ගෙවීම් හැර අනෙකුත් පුනරාවර්තන වියදම් මෙන්ම ප්‍රාග්ධන වියදම්ද සීමා වී ඇති ආකාරය දකින්නට පුළුවන්. 

ප්‍රාථමික අයවැය අතිරික්තය 

පළමු මාස හයක කාලය තුළ රුපියල් බිලියන 859ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් දැකිය හැකි අතර එය පෙර වසරේ පළමු මාස හයක කාලයට සාපේක්ෂව 58.0%කින් වැඩියි. මෙම අතිරික්තය වසර අවසන් වන විට පවත්වා ගත යුතු ප්‍රාථමික අයවැය අතිරික්තය (දදේනියෙන් 2.3%) ඉක්මවා යන්නක් වන අතර ඇස්තමේන්තුගත දදේනියෙන් 2.6%කට ආසන්නයි. 

සමස්ත අයවැය හිඟය 

වසරේ පළමු මාස හය අවසන් වෙද්දී පොලී ගෙවීම්ද ඇතුළුව ඇතුළුව සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 406කට සීමා වී තිබෙනවා. මෙය අයවැය ඇස්තමේන්තු වල ඇති රුපියල් බිලියන 2,200ක හිඟයට වඩා බෙහෙවින්ම අඩුයි. 

සමස්ත චිත්‍රය 

මේ අනුව, මේ වන විට ආණ්ඩුව විසින් කාලයක් පාලනයකින් තොරව අයාලේ ගිය රාජ්‍යමූල්‍ය කළමණාකරණ සරුංගලයේ නූල අතට ගැනීමට සමත්ව තිබෙනවා. මෙය දෙවසරකට පෙර ආරම්භ වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වුවත්, පසුගිය වසරකට ආසන්න කාලය තුළද එම මාර්ගය තුළම ඉදිරියට යාම මගින් තත්ත්වය වඩා හොඳ අතට හරවාගෙන ඇති බව කිසිසේත්ම බැහැර කරන්න බැහැ. 

වසරේ ඉදිරි කාලය තුළ අරමුදල් ඉතිරි කිරීමේ පීඩනයක් රජයට නැහැ. මේ වන විට මහා භාණ්ඩාගාරය සතුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා රුපියල් සංචිත තිබෙනවා. ඒ අනුව, ආණ්ඩුවට ඔවුන්ගේ දේශපාලන අභිලාෂ පරිදි වියදම් ප්‍රමුඛතා වෙනුවෙන් හෝ ණය බර අඩු කර ගැනීම වෙනුවෙන් එම අතිරික්ත අරමුදල් වැය කිරීමේ හැකියාවක් තිබෙනවා. මෙම මූල්‍ය විනය අගය කළ යුතුයි. 

රජය සතුව අතිරික්ත රුපියල් සංචිත ඇති බැවින් විදේශ ණය ගෙවීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම සඳහා වුවද එම රුපියල් වැය කළ හැකියි.  මේ වන විට මහ බැංකුවට රජයේ අවශ්‍යතා වෙනුවෙන් සල්ලි අච්චු ගැසීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නැහැ. එහෙත්, මහ බැංකුවකට රටේ ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට අලුතෙන් රුපියල් නිකුත් කරන්නට සිදු වෙනවා. රජයට ණය දීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් මහ බැංකුවට රුපියල් නිකුත් කරන්නට වෙන්නේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම මගිනුයි. එය නිල විදේශ සංචිත ගොඩ නගා ගැනීමට උදවුවක්. 

අවශ්‍යනම් මූල්‍ය අරමුදලේ අවම අවශ්‍යතාවය වන දදේනියෙන් 2.3% ඉක්මවන ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමේ හැකියාවක් රජය සතුව තිබෙනවා. එවැන්නක් කිරීම මගින් ණය බර වඩා වේගයෙන් අඩු වේනම්, ඒ මගින් සිදුවන විශ්වාසය ඉහළ යාම හේතුවෙන් රටට විදෙස් ආයෝජන වඩා වැඩියෙන් ආකර්ෂණය විය හැකි අතර එමගින් රාජ්‍ය වියදම් අඩු වීමෙන් ආර්ථික වර්ධනය කෙරෙහි සිදු විය හැකි නිශේධනාත්මක බලපෑම් ඉක්මවන ධනාත්මක බලපෑමක් අපේක්ෂා කළ හැකියි. ඉන්දියාවට වඩා අඩු තීරු බදු අනුපාතයක් ඇමරිකාවෙන් ලබා ගැනීමට හැකි වීමද ලංකාවේ ජයග්‍රහණයක් වන අතර එය කලාපයට එන ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උදවුවක්. 

Sunday, August 3, 2025

මුදල් සැපයුම වැඩි වුන හැටි...


ගෙවුණු 2025 ජූනි මාසයෙන් අවසන් වූ මාස දොළහක කාලය තුළ පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 1,427.9කින් වැඩි වී තිබෙනවා. මෙය 10.4%ක වර්ධනයක්. අපට මුදල් සැපයුමෙහි මෙම වර්ධනය ඊට පෙර අදාළ කාල පරිච්ඡේද සමඟ සංසන්දනය කළ හැකියි.

2018 ජූනි සිට 2019 ජූනි දක්වා - 8.7%

2019 ජූනි සිට 2020 ජූනි දක්වා - 14.0%

2020 ජූනි සිට 2021 ජූනි දක්වා - 21.5%

2021 ජූනි සිට 2022 ජූනි දක්වා - 17.1%

2022 ජූනි සිට 2023 ජූනි දක්වා - 5.2%

2023 ජූනි සිට 2024 ජූනි දක්වා - 9.8%

2024 ජූනි සිට 2025 ජූනි දක්වා - 10.4%

මේ අනුව, ආර්ථික අර්බුදයට ආසන්න පෙර වසර වලදී මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් මුදල් සැපයුම වැඩි වේගයකින් ප්‍රසාරණය වූ ආකාරයත්, ඉන් පසුව මහ බැංකුව විසින් දැඩි මුදල් ප්‍රතිපත්තියකට මාරු වීමෙන් පසුව මුදල් සැපයුමේ වර්ධන වේගය අඩු වූ ආකාරයත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි. මහ බැංකුව විසින් නැවතත් මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පුළුල් මුදල් සැපයුමෙහි වර්ධන වේගය නැවතත් තරමක් ඉහළ ගොස් තිබෙනවා.

සියයට පහකට ආසන්න මූර්ත ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන අතරතුර මහ බැංකුවට ලබා දී තිබෙන 5%ක උද්ධමන ඉලක්කය වෙත යාම සඳහා 10%ක පමණ වේගයකින් මුදල් සැපයුම වර්ධනය වීමේ ප්‍රශ්නයක් නැතත්, මෙම වර්ධන වේගය මීටත් වඩා වැඩි වුවහොත් එහි ප්‍රතිඵලය උද්ධමන ඉලක්කය ඉක්මවීම වෙන්න පුළුවන්. 5%ක ආර්ථික වර්ධන වේගයක් සැලකිය හැක්කේ අපේක්ෂා කළ හැකි උපරිම වර්ධන වේගයක් ලෙසයි. සැබෑ ආර්ථික වර්ධන වේගය ඊට වඩා අඩු මට්ටමක පවතින්නට වැඩි ඉඩක් තිබෙනවා. 

පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මහ බැංකුව විසින් පොලී අනුපාතික වෙනස් කළේ නැහැ. එමෙන්ම, වාහන ආනයනය කිරීම් හා අදාළව සීමා දැඩි කිරීම සැලකිය යුත්තේ මුදල් සැපයුමේ වර්ධනය පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි. එනම් දැඩි මුදල් ප්‍රතිපත්තියක අංගයක් ලෙසයි. මේ අනුව පෙනී යන්නේ මුදල් සැපයුමේ අපේක්ෂිත වර්ධන වේගය සහ එහි බලපෑම් පිළිබඳව මහ බැංකුව නිවැරදි තක්සේරුවක සිටින බවයි.

නිල දර්ශකය අනුව තවමත් තිබෙන්නේ අවධමන තත්ත්වයක්. එහෙත් එයට ප්‍රධාන හේතුව ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්ව පැවතීමයි. ඇමරිකන් තීරුබදු හේතුවෙන් විණිමය අනුපාතය හා ආර්ථික වර්ධන වේගය කෙරෙහි යම් නිශේධනාත්මක බලපෑමක් ඇති විය හැකිව තිබුණත්, මේ වන විට එම අවදානම පහව ගොස් තිබෙනවා. ඇමරිකන් තීරුබදු ප්‍රශ්නය ආණ්ඩුව විසින් සාර්ථක ලෙස විසඳාගත් "සැබෑ ප්‍රශ්නයක්" ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා, මුදල් සැපයුමේ වර්ධනය පාලනය වන අතරතුර විණිමය අනුපාතය මත ඇති වන  ආතතිය හේතුවෙන් උද්ධමනය සීමාව ඉක්මවා ඉහළ යාමේ අවදානමද මේ වන විට පාලනය වී තිබෙනවා.

පුළුල් මුදල් සැපයුමේ වර්ධනයට කරුණු දෙකක් හේතු වෙනවා. ඒ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුමෙහි සිදු වන වර්ධනය, එනම් සල්ලි අච්චු ගැසීම, සහ වාණිජ බැංකු විසින් සිදු කරන මුදල් මැවීමයි. ගෙවුණු 2025 ජූනි මාසයෙන් අවසන් වූ මාස දොළහක කාලය තුළ සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 242.5කින් වැඩි වී තිබෙනවා. මෙය 17.1%ක වර්ධනයක්. පුළුල් මුදල් සැපයුමෙහි රුපියල් බිලියන 1,427.9ක වර්ධනයෙන් 17.0%කට පමණ හේතුව සංචිත මුදල් සැපයුම ඉහළ යාමයි. වාණිජ බැංකු වල මුදල් මැවීමේ ක්‍රියාවලිය හරහා මෙසේ අලුතෙන් එකතු වූ මුදල් ප්‍රමාණය හය ගුණයකින් පමණ වර්ධනය වී තිබෙනවා. 

Thursday, July 31, 2025

එළවළු, මාළු හා පොල් මිල හා අවධමනය


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී තිබෙන්නේද 0.3%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මේ එම දර්ශකය අනුව එක දිගට අවධමනයක් වාර්තා වන එකොළොස්වන මාසයයි.

විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පසුව අපගේ අදහස වූයේ අවධමනය පසුගිය මාසයෙන් අවසන් වනු ඇති බව වුවත්, සැපයුම් සාධක වල බලපෑම නිසා ජූලි මාසය තුළ සමස්ත මිල මට්ටමේම පහත වැටීමක් සිදු වී තිබෙනවා. කෙසේ වුවද, ජූලි මාසය අනිවාර්යයෙන්ම අවධමනයක් වාර්තා වන අවසන් මාසයයි. 

පසුගිය මාසය තුළ එළවළු, මාළු හා පොල් මිල ගණන් වල විශාල අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, සමස්තයක් ලෙස ආහාර මිල ගණන් 2.5%කින් පහත වැටී තිබෙනවා. විදුලි ගාස්තු සහ ඉන්ධන මිල ගණන් ඉහළ යාම නිසා භාණ්ඩ පැසෙහි ආහාර නොවන වියදම් රුපියල් 1,122කින් ඉහළ ගොස් ඇතත්, සමස්තයක් ලෙස ආහාර වියදම රුපියල් 1,531කින් අඩු වීම හේතුවෙන් එම ඉහළ යාමේ බලපෑම නිශේධනය වී තිබෙනවා. 

පාරිභෝගික මිල දර්ශකය තුළ පොල් මිල අඩු වීමේ බලපෑම රුපියල් 567ක්ද, මාළු මිල අඩු වීමේ බලපෑම රුපියල් 616ක්ද, එළවලු මිල අඩු වීමේ බලපෑම රුපියල් 664ක්ද වන අතර, සැපයුම් සාධක නිසා තාවකාලිකව ඉහළ ගොස් තිබුණු දිය ලුණු මිල නැවත යථා තත්ත්වයට පත් වීම නිසා රුපියල් 150ක බලපෑමක් සිදුව තිබෙනවා.

ඉහත මිල ගණන් සියල්ල පහත වැටී තිබෙන්නේ වෙළදපොළ සාධක මතයි. ලංකාවේ එළවලු, මාළු මිල ගණන් වෙළඳපොළ තරඟය තුළ රට තුළම ඉල්ලුම් සැපයුම් තුලනය හරහා තීරණය වෙනවා. සැපයුම අඩු වෙන විට මෙම මිල ගණන් ඉහළ ගියද නැවත මිල අඩු වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. මෙවැනි වෙළඳපොළ කෙරෙහි රජයට බලපෑමක් කළ නොහැකි අතර එසේ කිරීමේ අවශ්‍යතාවයක්ද නැහැ. 

හාල්, පොල් මිල ගණන් ඉහළ යද්දී විවිධ ප්‍රවාද ඉදිරියට ආවත්, පොල් මිල ඉහළ යාමට හේතු වී තිබුණේද සැපයුමේ සාමාන්‍යයෙන් සිදු වන තාවකාලික විචලනයන්ගේ බලපෑමයි. එම අවස්ථාවේදී පොල් නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් ආනයනය කිරීමට රජය විසින් ගත් තීරණය හොඳ තීරණයක්. එයින් දේශීය පොල් මිල නැවත ස්ථාවර වීමට බලපෑමක් වෙන්න ඇති. රිලා සංගණනයනම් ඉතිහාසයට එකතු වූ විහිළුවක් පමණයි. නමුත් වඩා සැලසුම් සහගතව කරන්නේනම් එවැන්නක ප්‍රයෝජනයක් තිබෙනවා. සහල් මිලෙහිද, විශේෂයෙන්ම ලංකාවේ දිස්ත්‍රික්ක වැඩි ගණනක ජනප්‍රියම සහල් වර්ග වන රතු කැකුළු සහ සුදු නාඩු සහල් වර්ග වල මිල අඩු වීමක් ජූලි මාසය තුළ සිදු වී තිබෙනවා. දිය ලුණු මිල පහත වැටීම මගින් පෙන්නුම් කරන්නේ දේශීය දිය ලුණු සැපයුමද නැවතත් යථා තත්ත්වයට පත් වී ඇති බවයි.

සැපයුම් සාධක මත එළවලු, මාලු, හාල්, පොල් මිල ගණන් පහත වැටීම මගින් පිළිබිඹු වන්නේ නිෂ්පාදනය ඉහළ යාමයි. මෙහි බලපෑම තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය තුළද පිළිබිඹු විය යුතුයි. 

Monday, July 28, 2025

ක්‍රිස්ගෙන් එදා ඇසූ ප්‍රශ්නය


රාජ්ය අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ දවස් වල වැඩියෙන්ම අවධානය යොමු වී තිබෙන මාතෘකාවක් නිසාත්, මේ මාතෘකාව කාලයක් තිස්සේ මෙහි අඩු වැඩි වශයෙන් කතා කර තිබෙන මාතෘකාවක් නිසාත් ඒ පැත්තට පොඩ්ඩක් අවධානය යොදවමු. ලංකාවේ ඊනියා නිදහස් අධ්‍යාපනය හා අදාළව පසුගිය වසර ගණනාවක් තිස්සේ හිතාමතාම කතා කිරීම මග හැර සිටි පැත්තක් ගැන දැන් කතා කළාට ප්‍රශ්නයක් නැහැ කියා හිතනවා. 

"ක්‍රිස්, ඔය වැඩේ කළොත් පොල් ගෙඩියක්වත් කඩා ගන්න කෙනෙක් නැති වෙයි නේද?"

සමහර විට ඔය වගේ ප්‍රශ්නයක් කවදාවත් කවුරුවත් කාගෙන්වත් ඇහුවේ නැති වෙන්න පුළුවන්. කවුරු හරි කාගෙන් හෝ ඇහුවා වෙන්නත් පුළුවන්. 

ඔය ප්‍රශ්නය හා අදාළ වාද විවාද ගොඩක් තැන් වල මම දැකලා තිබෙනවා. ඒ වාද විවාද වලට සහභාගී වෙන පාර්ශ්ව දෙකේම එක් පොදු ලක්ෂණයක් දකින්න පුළුවන්. ඒ මේ ප්‍රශ්නය වැරදි ප්‍රශ්නයක් සේ හඳුනා ගැනීම. වාදය සිදු වෙන්නේ ඔය වැරදි ප්‍රශ්නය ඇත්තටම ඔය විදිහට ඇහුවද නැද්ද කියන කාරණය සම්බන්ධවයි. මේ ප්‍රශ්නය ඇත්තටම අහපු එකක් වුනත්, කවුරුවත් අහපු නැති එකක් වුනත්, ප්‍රශ්නයේ පැත්ත වෙනුවෙන් කවුරුවත් පෙනී සිටිනවා මම දැකලා නැහැ. 

ප්‍රශ්නය අසනු ලැබූ හෝ අසනු ලැබූයේයැයි දැන් කියවෙන අවස්ථාවේදී වගේම ඉන් පසු කාලය හා අදාළව වුවත් මේ ප්‍රශ්නය ඇසිය යුතු ප්‍රශ්නයක්. කොයි තරම් යහපත් අරමුණකින් සිදු කරන මැදිහත් වීමක වුනත් හානි තිබෙනවා. ඒ නිසා, ඒ හානි ලැබෙන වාසි එක්ක කිරා මැන බැලීම ඉතාම වැදගත් දෙයක්. හානි අමතක කරලා වාසි පැත්ත ගැන විතරක් කතා කරන්න බැහැ. ලංකාවේ නිදහස් අධ්‍යාපනය (හා නිදහස් සෞඛ්‍යය) ගැන කතා කරද්දී තනිකරම මෙන් අවධානය යොමු වෙන්නේ වාසි පැත්තට පමණයි. 

ඕනෑම දෙයක දෙපැත්තක් තිබෙනවා. ඒ දෙපැත්තෙන් අපි කැමති, ඒ නිසාම අපි හිටගන්න පැත්තක් තිබෙනවා. නමුත් ඒ පැත්ත දිහා විතරක් බලද්දී ලොකු චිත්‍රයේ කොටසක් මග හැරෙනවා. ඉහත ප්‍රශ්නය කවුරු හෝ විසින් ඇහුවත් නැතත්, නිදහස් අධ්‍යාපනය නිසා ඇත්තටම ගම් වල පොල් ගෙඩියක්වත් කඩා ගන්න කෙනෙක් නැති වුනේ නැද්ද? 

ගමේ පොල් කඩ කඩ සිටිය හැකිව තිබුණු කෙනෙක් දොස්තර කෙනෙක් හෝ ඉංජිනේරුවෙක් වී තිබේනම් ඔය ප්‍රශ්නයේ කතා කරන්න තරම් දෙයක් නැහැ කියා ගොඩක් අයට හිතෙනවා වෙන්න පුළුවන්. තනි පුද්ගල මට්ටමෙන් ප්‍රශ්නය දිහා බැලුවොත් ඒක එහෙමයි. නමුත් රටක් විදිහට බැලුවොත් ඒක එහෙමම නැහැ. නිදහස් අධ්‍යාපනය (හා නිදහස් සෞඛ්‍යය) රටක් විදිහට බැලුවොත් ලංකාවේ වත්මන් සමාජ හා ආර්ථික ප්‍රශ්න ගණනාවකටද හේතු වී තිබෙනවා. 

නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් බරපතල ලෙස පෙනී සිටින අයෙකු වුවත් මේ තත්ත්වයන් තේරුම් ගත යුතුයි. හානි අවම කර ගත හැක්කේ හානි හඳුනා ගන්නේනම් පමණයි. සමහර විට මුල් අවස්ථාවේදීම මේ තත්ත්වයන් හඳුනාගත් අය සිටියා වෙන්න පුළුවන්. එවැනි කෙනෙකු වුවත් ඉහත ආකාරයේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්.

දැන් නිදහස් වෙළඳපොළ ගැන වාචිකව වගේම ප්‍රායෝගිකවත් රටේ ජනතාවට පැහැදිලි කරන සමහර අයට ඒ දේවල්ම කියපු අය "රනිල්ගේ කුක්කන්" වී සිටි වසරකට වඩා නුදුරු අතීතයේදී  කුමක් හෝ වෙළඳපොළ හිතවාදී අදහසක් ඉදිරිපත්  කළ අයෙකුගෙන් පෙරළා අසනු ලැබූ ප්‍රචලිත ප්‍රශ්නයක් වූයේ මෙවැන්නක්.

"ඔය කියන්නේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නැති කරලා ඒවාත් සල්ලි තියෙන අයට පමණක් සීමා කරන්න කියන එකද?"

ඒ කාලයේදී තමන් දක්ෂිණාංශික කඳවුරේ සිටින්නෙකු සේ හඳුනාගත් අය අතරින්ද කිසිවෙකු හෝ ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නැති කළ යුතුයි කියා කිවුවේ නැහැ. එසේ කියන අය දැනට වුනත් දකින්න නැහැ. එවැනි අය බොහෝ විට පෙනී සිටියේ මුදල් ඇති අයට මුදල් ගෙවා මෙම සේවාවන් ලබා ගැනීමේ අයිතිය වෙනුවෙනුයි. 

නමුත් ලෝක මට්ටමට ගියොත් අධ්‍යාපනය හා සෞඛ්‍යය සෞඛ්‍යය වුවද රජය මැදිහත් වී සුබසාධනය නොකළ යුතුයි කියන දෘෂ්ඨිවාදයේ නැගී සිටීමක් පැහැදිලිව දකින්න පුළුවන්. කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් නොමැති පූර්ණ ධනවාදී ක්‍රමයක් යටතේ අධ්‍යාපනය හා සෞඛ්‍යය රජය මැදිහත් වී සුබසාධනය කිරීම සාධාරණීකරණය කෙරෙන්නේ නැහැ. අධ්‍යාපනය හා සෞඛ්‍යය සුබසාධනය කිරීම වාමාංශික අදහසක් මිසක් දක්ෂිණාංශික අදහසක් නෙමෙයි. 

මේ වෙද්දී මේ අන්තවාදී ධනවාදය වෙනුවෙන් පෙනී සිටින සුළු පිරිසක් ලංකාවේත් ඉන්නවා. ඔවුන් මුදල් ක්‍රමය තුළ පවතින මහ බැංකු ඒකාධිකාරයට පවා එරෙහිව කතා කරන නමුත් නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍යයට එරෙහිව වචනයක්වත් කතා කර ඇති බවක් මා දැක නැහැ. හේතුව පැහැදිලියි. ගුටිකන්න වෙන වැඩ වලට කවුරුවත් කැමති නැහැ!

මා දන්නා තරමින් ලෝකයේ හැම රටකම මෙන් අධ්‍යාපනය හා සෞඛ්‍යය සුබසාධනය කිරීම වෙනුවෙන් රජය මැදිහත් වෙනවා. වෙළඳපොළ මත සියල්ල තීරණය වන පූර්ණ ධනවාදී රටවල් ලෝකයේ කොහේවත් නැහැ. සෛද්ධාන්තිකව එවැනි ක්‍රමයක් ඇති වුවහොත් ආදායම් විෂමතා විශාල ලෙස ඉහළ යාම නිසා සමාජයේ පහළ ස්ථර මත ඇති වන පීඩනය පුපුරා ගොස් එම ක්‍රමය බිඳ වැටීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. (නමුත් ස්වයංකරණය හා කෘතීම බුද්ධිය ආදිය නිසා අනාගතයේදී මේ තත්ත්වය වෙනස් විය හැකියි)

ධනවාදී රටවල් සේ සැලකෙන රටවල් වල සමාජ දේශපාලන අර්බුද වලට නොගොස් කාලයක් තිස්සේ ස්ථාවරව පවතින්නේ එම රටවල පවතින ද්විපක්ෂ ක්‍රමය තුළ ධනවාදය නියාමනය වන නිසා. ධනවාදය සම්පත් ජනනය පිළිබඳව වග බලා ගනිද්දී ප්‍රජාතන්ත්‍රවාදය විසින් එසේ ජනනය වන සම්පත් බෙදී යාම නියාමනය කරමින් සමාජ සාධාරණත්වය පවත්වා ගැනීම පිළිබඳව වග බලා ගන්නවා. ධනවාදී රටක දේශපාලන ආස්ථානාවලිය තුළ  ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය නියෝජනය කරන්නේ වාමාංශයයි. 

කොයි තරම් ප්‍රතිතර්ක ගෙන හැර පෙන්වන්නට උත්සාහ කළ හැකි වුවද නියාමනය නොවන ධනවාදී ක්‍රමයක් තුළ සියලු මිනිසුන් සමාන වන්නේ නැහැ. පුද්ගලයෙකු සතු ප්‍රාග්ධනය වැඩි වන තරමට එම පුද්ගලයා සතු තීරණ ගැනීමේ (දේශපාලන) බලයද වැඩියි. 

සමාගමක කොටස්හිමියන් විසින් සාමූහික තීරණ ගැනීමේදී එක් කොටස්හිමියෙකුට ලැබෙන ඡන්ද ප්‍රමාණය තීරණය වන්නේ එම පුද්ගලයාට අයිති කොටස් ප්‍රමාණය මතයි. ඒ අනුව සියලු කොටස් වලට සමාන දේශපාලන බලයක් හිමි වෙතත්, සියලු කොටස්හිමියන්ට සමාන දේශපාලන බලයක් හිමිවන්නේ වන්නේ නැහැ. ධනවාදයේ අප්‍රකාශිත නීතිය වන්නේද මෙයයි. සමාජය කෙරෙහි යමෙකු සතු බලය අවසාන වශයෙන් තීරණය කරන්නේ එම පුද්ගලයා සතු ප්‍රාග්ධනයයි.

ඉහත මූලධර්මය හා අදාළව ප්‍රජාතන්ත්‍රවාදයේ කාර්යභාරය හාත්පසින්ම වෙනස් එකක්. ඒ අනුව, සියලුම "කොටස්හිමියන්" සමාන පුද්ගලයින් සේ සැලකෙනවා. ඒ අනුව, කිසියම් රාජ්‍ය මැදිහත්වීමක් මගින් සියලු "කොටස්හිමියන්ගේ" පොදු යහපත සැලසේනම් එය ක්‍රියාත්මක වෙනවා. මෙහිදී සිදු වන වත්කම් විතැන් වීම රටේ සමස්ත ධනොත්පාදනය කෙරෙහි අවාසිදායක ලෙස බලපාන්න පුළුවන්. ආර්ථික කාර්යක්ෂමතාව පමණක් සලකන්නේනම් රටේ ධනය සීමිත පිරිසක් අතේ රැඳී තිබීම වඩා කාර්යක්ෂමයි. 

ලංකාවේ ගොඩක් අයට අනුව නිදහස් අධ්‍යාපනය කියා කියන්නේ ඔවුන්ට ලැබුණු අත්තටු. මෙය කියවන වැඩි දෙනෙකු මගේ පරම්පරාවේ සහ ඊට පහළ පරම්පරාවේ අයයි. මගේ පරම්පරාවට ඉහළ පරම්පරාවේ අයද සුළු පිරිසක් ඇති. මේ පරම්පරා තුන නිදහස් අධ්‍යාපනයේ පළමු, දෙවන හා තුන්වන පරම්පරා සේ හැඳින්විය හැකියි. 

ඉහත පරම්පරා තුනෙන් තෙවන පරම්පරාව ලොකු මහත් වෙද්දී නිදහස් අධ්‍යාපනයට විකල්ප තිබුණත්, මගේ පරම්පරාව සතුව තිබුණු එකම විකල්පය නිදහස් අධ්‍යාපනය සැලකිය සේ සැලකිය හැකියි. ඒ නිසාම, මේ අත්තටු කතාව කියන ගොඩක් අය මගේ පරම්පරාවේ අයයි. 

නිදහස් අධ්‍යාපනයේ උදවුවෙන් ඉහළට පැමිණි අප බොහෝ දෙනෙකුට "පෙනෙන" තත්ත්වය වන්නේ නිදහස් අධ්‍යාපනය නොවන්නට අප දැන් සිටින තැන් වල නොමැති බවයි. එහිදී අප විසින් චිත්‍රණය කරගන්නේ ලෝකයේ අනෙකුත් හැම දෙයක්ම එලෙසම නොවෙනස්ව තිබියදී "මට පමණක් නිදහස් අධ්‍යාපනය නොලැබුණේනම්" සිදු විය හැකිව තිබුණු දෙයයි. එවැන්නක් වීනම්, අනිවාර්යයෙන්ම, අපට මේ අත්තටු ලැබෙන්නේ නැහැ. 

නමුත් අප බොහෝ දෙනෙකු විසින් මානසිකව සිදු කරන මේ සංසන්දනය වැරදි සංසන්දනයක්. නිදහස් අධ්‍යාපනයක් නොපැවතියේනම් ලෝකය (ලංකාව) පවතිනු ඇත්තේ අප දැන් දකින ආකාරයෙන්ම නෙමෙයි. ක්ෂුද්‍ර ආර්ථිකය දෙස බලන ආකාරයෙන්ම සාර්ව ආර්ථිකය දෙස බැලිය නොහැකියි. තනි පුද්ගල ක්‍රියාකාරකම් නිසා රටකට සිදු වන බලපෑම එම තනි පුද්ගල ක්‍රියාකාරකම් වල සම්ප්‍රයුක්තයට සමාන නැහැ. 

ඔව්. නිදහස් අධ්‍යාපනය නොතිබුණේනම් පොල් ගෙඩියක් කඩා ගැනීම සඳහා යොදා ගත හැකි ප්‍රමාණවත් ශ්‍රමයක් ගම් වල ඉතිරි වෙනවා. මෙයින් සංකේතවත් වන කාරණය ගත්තොත්, නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමෙන් පසුව පැවති තත්ත්වයට සාපේක්ෂව, අඩු අධ්‍යාපනයක් සහිත සැලකිය යුතු ශ්‍රම බලකායක් රටේ ඉතිරි වෙනවා. ඒ නිසාම, එම ශ්‍රමය යොදා ගෙන කළ හැකි ආයෝජනද වැඩි වැඩියෙන් සිදු වී දැන් සිටිනවාට වඩා වැඩි ප්‍රාග්ධනහිමියන් පිරිසක් රටේ බිහි වෙනවා. රටේ සමස්ත ප්‍රාග්ධනයද ඉහළ යනවා. මාක්ස්වාදී අර්ථයකින් මෙය සිදු වන්නේ "ශ්‍රමය සූරාකෑම" සඳහා ප්‍රාග්ධනහිමියන්ට වැඩි අවස්ථා ලැබෙන නිසා කියන්න පුළුවන්. 

දහනවවන සියවසේ දෙවන අර්ධයේදී සහ විසිවන සියවසේ මුල් දශක වල ලංකාවේ අලුත් ධනවතුන් විශාල ලෙස බිහි වී තිබෙනවා. ඒ අතර, ඉතාම පහළ මට්ටමක සිට ඉහළට ගිය අයත් ඉන්නවා. ඔවුන් අධ්‍යාපනය නිසා අත්තටු ලැබූ අය නෙමෙයි. ඇතැම් විට කිසිදු අධ්‍යාපනයක් නොලැබූ අය. (මෙය අධ්‍යාපනය අවතක්සේරු කිරීමක් නෙමෙයි.)

මේ ආකාරයෙන් රටේ තිබෙන ප්‍රයෝජනයට නොගත් ශ්‍රම සම්පතෙහි වාසිය ලබා ගනිමින් කිසියම් පිරිසක් ප්‍රාග්ධනය එක්රැස් කර ගනිද්දී, එම ප්‍රාග්ධනය නැවත නැවත ආයෝජනය වීම නිසා රටේ රැකියා අවස්ථා ඉහළ යනවා. විදේශ ආයෝජන සඳහා වූ බාධාවන් නොවීනම් මෙය තවත් වේගයෙන් සිදු වෙනවා. ඒ නැතත්, පැවති තත්ත්වයට සාපේක්ෂව රට තුළ වැඩි ප්‍රාග්ධන සමුච්ඡනයක් සිදු වෙනවා.

ඔය විදිහට පෞද්ගලික අංශය මුල් වී සිදු කරන ආයෝජන නිසා රට තුළ වැඩි වැඩියෙන් රැකියා ජනනය වීනම්, යම් අවස්ථාවකදී ප්‍රාග්ධනහිමියන්ට අවශ්‍ය පමණ ශ්‍රමය රට තුළින් හොයාගන්න අමාරු තත්ත්වයක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ශ්‍රමයේ මිල ඉහළ යනවා. මුල් කාලයේදී ශ්‍රමය "සූරාකෑමක්" සිදු වුනා කියා කාට හෝ කියන්න පුළුවන්කමක් තිබුණානම්, ඒ විදිහට ශ්‍රමය "සූරාකෑමේ" ප්‍රතිඵලයක් විදිහටම වැඩි ප්‍රාග්ධන සමුච්ඡනයක් සිදු වී වැඩි වැඩියෙන් රැකියා බිහි වීම නිසා ඒ තත්ත්වය නිශේධනය වෙනවා. ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ ඒ විදිහටයි. 

නිදහස් අධ්‍යාපනයක් නොතිබුණු විකල්ප ඉතිහාසයක් තුළ ඔය විදිහට රැකියා ඉහළ ගිහින් ශ්‍රමය සීමාකාරී සාධකයක් වුනාට පස්සේ විදේශ ආයෝජකයෙක් සමහර විට තමන්ගේ ප්‍රාග්ධනය වෙනත් රටකට විතැන් කරගන්න පුළුවන්. නමුත් එහෙම වුනත් ගොඩක් වෙලාවට සිදු වෙන්නේ ඒ වෙනුවට දේශීය ප්‍රාග්ධනහිමියෙක් ආදේශ වෙන එකයි. කාලයක් මෙසේ සිදු වුනත්, යම් අවස්ථාවකදී මුල් කාලයේ සිදු කළ මූලික ශ්‍රමය යොදා සිදු කරන නිෂ්පාදන වලින් විශාල ප්‍රතිලාභයක් ලබා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා.

ඉහත සීමාවට ආවාට පස්සේ රටේ බිහිවී ඉන්න ප්‍රාග්ධනහිමියන්ට වඩා ඵලදායී ආයෝජන වෙත මාරු වෙන්න සිදු වෙනවා. උදාහරණයක් විදිහට පොල් වතුහිමියෙක් පොල් කර්මාන්තයෙන් යොදවා උපයාගත් අතිරික්ත ප්‍රාග්ධනය යොදවා කිසියම් කාර්මික නිෂ්පාදනයක් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේ වැඩකට ගම් වල ඉන්න පොල් කඩන්න පුළුවන් මිනිස්සුන්ගේ ශ්‍රමය ප්‍රමාණවත් නැහැ. කිසියම් ආකාරයක පුහුණු ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. නමුත් එවැනි පුහුණු ශ්‍රමයක් රටේ නැත්නම් මොකද කරන්නේ?

රටේ ප්‍රාග්ධනහිමියන් සිටිනවානම්, ඔවුන්ගේ ලාබ ලැබීමේ අධිෂ්ඨානය ප්‍රබලනම්, මේ වගේ හේතුවක් නිසා ඔවුන් පසුබට වෙන්නේ නැහැ. අවශ්‍ය පුහුණුව වෙනුවෙන් ඔවුන් ආයෝජනය කරනවා. ඒ එක්කම අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද යම් ආකාරයකින් ශ්‍රමිකයින්ට හිමිවෙනවා. අද වුනත්, කොයි තරම් උපාධි ලබා තිබුණත්, බොහොමයක් රැකියා සඳහා අවශ්‍ය වන නිශ්චිත කුසලතා ශ්‍රමිකයින්ට ලබා දීම සඳහා ආයෝජනය කරන්නේ ආයතනහිමියන් විසින්. 

නිදහස් සෞඛ්‍යයක් නොතිබුණානම් වෙන්නෙත් ඔය වගේ දෙයක්. ආයතනයකට අවශ්‍ය වන්නේ නිරෝගී සේවකයින්. තමන්ගේ ශ්‍රමිකයින්ගේ සෞඛ්‍යය වෙනුවෙන් ආයෝජනය කරන එක ප්‍රාග්ධනහිමියෙකුට අවාසිදායක දෙයක් නෙමෙයි. රජය මැදිහත් වී ඒ ආයෝජනය කරනවානම් ඔවුන්ට මේ ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් රාජ්‍ය මැදිහත්වීමක් නැත්නම් ඔවුන් අතින් මේ වැඩේ වෙනවා. ගොඩක් තේ වතු වල වතු දොස්තරලා සිටීම උදාහරණයක්. 

වසර විස්සකට පමණ පෙර මමත් පැත්තක හිටපු එක් රැස්වීමකට ලංකාවේ ප්‍රධාන පෞද්ගලික ආයතන ගණනාවක සභාපතිවරුන් හෝ ප්‍රධාන විධායක නිලධාරීන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක්ම සහභාගී වුනා. එහිදී රාජ්‍ය අංශයෙන් ඉදිරිපත් වූ එක් යෝජනාවක් වුනේ රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබා දීමෙන් පසු එහි වියදම සඳහන් බිල්පතක් ලබා දිය යුතු බවයි. මේ වෙනුවෙන් මුදල් අය කිරීමක් අදහස් වුනේ නැහැ. "ඔබට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් මෙපමණ මුදලක් වැය කර ඇත" කියා දැනුම්දීමක් කරන එකයි අදහස් කළේ. තරමක් දුරට අපේ ප්‍රාන්ත රජය බදු ආදායම වියදම් කරන විදිහ දැනුම් දීමට සමාන දෙයක්. සමහර විට මේ අදහස පෞද්ගලික අංශයේ පැසසුමට ලක් වෙයි කියා හිතුවා වෙන්න පුළුවන්.

ඉහත අවස්ථාවේදී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් එහි සිටි පෞද්ගලික අංශයේ ලොක්කන් සියලු දෙනාම එක හෙළා පෙනී සිටිමින් අදහස් දැක්වුවා. මෙය එහි සිටි රාජ්‍ය අංශයේ නිලධාරීන් විසින් අපේක්ෂා නොකළ දෙයක් කියා මා සිතනවා. ඔවුන් කියා සිටියේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නොවන්නට එම වියදමද ඔවුන්ට සේවක වැටුප් වලට එකතු කරන්නට සිදු වන බවයි. වෙනත් විදිහකින් කියනවානම් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නිසා ඇත්තටම ඔවුන්ට සිදු වන්නේ වාසියක් බවයි. 

විකල්ප ඉතිහාසයට නැවත ගියොත්, කිසියම් ආයතනයකට ඔවුන්ගේ ශ්‍රමිකයින්ව පුහුණු කළ හැකි වුවත්, එය කරන්නත් යම් මූලික අධ්‍යාපනයක් අවශ්‍ය වෙනවා. එම මූලික අධ්‍යාපනය එක් එක් ආයතනය විසින් වෙන වෙනම ලබා දෙන එක කාර්යක්ෂම නැහැ. රටේ ආර්ථිකය විසින් මෙවැනි මූලික පොදු අධ්‍යාපනයක් ඉල්ලා සිටින තත්ත්වයට ආවට පස්සේ කොහොමටත් එය කරන්නට සිදු වෙනවා. මෙහිදී ඉල්ලීම එන්නේ රටේ ප්‍රාග්ධනහිමියන්ගේම පැත්තෙන්. ඒ නිසා, බදු මගින් පිරිවැය ආවරණය කර ගැනීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

රටේ ආර්ථිකය ක්‍රමයෙන් දියුණු වෙද්දී, ශ්‍රම බලකාය සඳහා අවශ්‍ය වන මූලික පුහුණුවේ මට්ටමත් එන්න එන්නම ඉහළ යනවා. එවිට රජය මුල් වී ලබා දෙන පොදු අධ්‍යාපනය සඳහා දේශපාලන තෙරපුමද ඉහළ යනවා. මේ තෙරපුම එන්නේ ප්‍රාග්ධනය පැත්තෙන්මයි. ඒ නිසා, මෙයට සමාජ සාධාරණත්වය, අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වීමට සියල්ලන්ටම තිබෙන අයිතිය වගේ සංකල්ප අදාළ හෝ අවශ්‍ය වන්නේ නැහැ. අධ්‍යාපනයේ අරමුණ වන්නේම රැකියා වෙළඳපොළ සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් බිහි කිරීම නිසා ඔය දෙක අතර තුලනය දිගටම තියෙනවා. ඉගෙනගත් කෙනෙකුට රැකියාවක් නැති වෙන්නේ නැහැ. 

ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් අවස්ථාවේදී එය නොකළත් යම් කාලයකට පසුව එය සිදු වෙනවා. ඒ නිසා, නිදහස් අධ්‍යාපනය නොතිබුණානම් අපි දැන් ඉන්න තැන නෑ කියා හිතන එක සිදු නොවිය හැකිව තිබුණු තත්ත්වයක් හිතින් මවා ගෙන කරන සංසන්දනයක්. හැබැයි එය මේ විකල්ප ක්‍රමයට සිදු වුනානම් එය සිදු වන්නේ වඩා ප්‍රශස්ත ආකාරයකටයි. එහෙම වුනානම් රටට දැන් මුහුණ දෙන්න සිදු වී තිබෙන ප්‍රශ්න ගණනාවක් ඒ විදිහටම ඇති වන්නේ නැහැ. රටට ප්‍රමාණවත් ප්‍රාග්ධන සංචිතයක් නොමැති වීමේ ඉඳලා සංක්‍රමණ ප්‍රශ්නය දක්වා ප්‍රශ්න ගණනාවකට හේතු වී තිබෙන කරුණු අතර ඕනෑවට වඩා කලින් හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයද එක් හේතුවක්. 

කෙටිකාලීනව හා මැදිකාලීනව ප්‍රශ්න වලට පිළියමක් වුනත්, ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් කියා කියන්නේත් ඇත්තටම දිගුකාලීනව රටට ප්‍රශ්නයක්. රටේ නිෂ්පාදන ආර්ථිකයක් නොහැදෙන්න සහ අපනයන තරඟකාරිත්වය නැති වෙන්න ප්‍රධාන හේතුවක් වන්නේ රටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ. මේ ගැන පෙර ලිපියක විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා. ශ්‍රමික ප්‍රේෂණ මත යැපෙන්න සිදු වී තිබෙන්නේ රටේ ප්‍රමාණවත් රැකියා අවස්ථා නැති නිසා. රටේ ප්‍රමාණවත් රැකියා අවස්ථා නැත්තේ ප්‍රමාණවත් ප්‍රාග්ධන ආයෝජන කළ හැකි ප්‍රාග්ධනහිමියෝ රටේ නැති නිසා. එවැන්නන් රටේ නැති වීමට නිදහස් අධ්‍යාපනය හේතුවෙන් පොල් කඩන්නවත් කෙනෙක් ගම් වල නැති වීමත් හේතුවක්. සමාජ සාධාරණත්වය වෙනම කරුණක්. 

ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමේ අරමුණ වුනේ සමාජ සාධාරණත්වය වැනි දෙයක් මිසක් රැකියා වෙළඳපොළ අවශ්‍යතාවය කියලා මම හිතන්නේ නැහැ. නමුත් ඉංග්‍රීසි පාලනයේ ඊට පෙර කාලයේදී අධ්‍යාපනය ලබාදීම සහ රැකියා වෙළඳපොළ අවශ්‍යතා සැපිරීම එකට ගියා. පල්ලි හා පන්සල් වෙනත් අරමුණු වලින් අධ්‍යාපනය ලබා දුන්නා. එහෙත් එය වෙනත් අයට බරක් වුනේ නැහැ. 

නිදහස් අධ්‍යාපනය නිසා වුනේ කකුල් දෙකට කලින් සපත්තු දෙක යනවා වගේ වැඩක්. අධ්‍යාපනය සඳහා ප්‍රවේශයට සම අයිතිය ලබා දීම සෝවියට් දේශයේ පැවති ආකාරයේ මධ්‍යගත සැලසුම් ක්‍රමයකට ගැලපෙනවා. එවැනි ක්‍රමයක් තුළ එක් පැත්තකින් විවිධ රැකියා අතර ආදායම් විෂමතා අඩුයි. අනෙක් පැත්තෙන් නිෂ්පාදනය සහ බෙදා හැරීම මධ්‍යගතව සිදු වන නිසා රැකියා සැපයීමද මධ්‍යගත සැලසුමේම කොටසක්. ඒ නිසා, මධ්‍යගත සැලසුම ඇතුළේම, අධ්‍යපනය සඳහා ප්‍රවේශයට සම අයිතිය ලබා දීම ලොකු අවුලකට හේතු වෙන්නේ නැහැ. රැකියා අවශ්‍යතා එක්ක එකට යන විදිහට අධ්‍යපනය මධ්‍යගතව සැලසුම් කරන්න පුළුවන්.

ලංකාවේ ඔය විදිහේ පූර්ණ මධ්‍යගත සැලසුමක් තිබුණේ නැහැ. ඒ නිසා, අධ්‍යාපනය මධ්‍යගත ලෙස සැලසුම් වෙද්දී විරැකියාව ප්‍රශ්නයක් වෙලා අනවශ්‍ය විදිහට රාජ්‍ය සේවය පුරවන්න සිදු වුනා. මේ ප්‍රශ්නය මෑතක් වන තුරුම තිබුණු ප්‍රශ්නයක්. ප්‍රශ්නය ඔය මට්ටමෙන් හෝ විසඳී තිබෙන්නේ රැකියා සඳහා විදේශගත වීම් සහ සංක්‍රමණය නිසා. කාලයක් සිවිල්  යුද්ධයත් ප්‍රශ්නයට විසඳුමක් වෙලා තිබුණා. දකුණේ කැරළි දෙක නිසාත් ප්‍රශ්නයේ බර යම් තරමකින් අඩු වුනා.

සමහර සමාජ ප්‍රශ්න හෝ බැලූ බැල්මටම පෙනෙන විකෘති වලටත් නිදහස් අධ්‍යාපනය හේතු වී තිබෙනවා. නිදහස් අධ්‍යාපනය නොතිබුණානම් වෛද්‍යවරයෙකු වෙන්නේ සැලකිය යුතු ධනයක් තිබෙන පවුලක කෙනෙක් පමණයි. එවැන්නෙක් වෛද්‍යවරයෙක් වී මුලින්ම රැකියාව පටන් ගනිද්දී වෛද්‍යශාලාවක් දමාගන්න අවශ්‍ය ප්‍රාග්ධනය පවුල ඇතුළේම තිබෙනවා. වාහනයක් ගන්න සල්ලි තිබෙනවා. ඒ නිසා මේ දේවල් ගැන ලොකුවට වද වෙන්න අවශ්‍ය නැහැ. සමහර විට වෛද්‍යවරයෙකුගේ දරුවෙකුම වෛද්‍යවරයෙකු වී පියාගේ රැකියාව දිගටම කරගෙන යයි. දන්ත වෛද්‍ය (දන්ත කාර්මික) රැකියාව කාලයක් සිදු වුනේ ඔය විදිහට. මේ තත්ත්වය දැනටත් ඇමරිකාවේ එතරම් දුලබ නැහැ.

ඉංජිනේරු රැකියාවක් වගේ දෙයක් ගැන හිතමු. අඩු ආදායම්ලාභී පවුලක දරුවෙකුට අධ්‍යාපනය හරහා ඉහළ නැගීම කළ නොහැක්කක්නම්, ඉංජිනේරු අධ්‍යාපනය තෝරා ගන්නේ ඒ සඳහා විශේෂ කැමැත්තක් තිබෙන අයෙකු පමණයි. එවැන්නෙකු අධ්‍යපනය නිම කිරීමෙන් පසුව කිසියම් ව්‍යවසායයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය පවුල ඇතුළේම තිබෙනවා. ඒ නිසා, රැකියා ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. ඒ වෙනුවට සිදු වෙන්නේ රැකියා කිහිපයක් අලුතෙන්ම හැදෙන එකයි. ඒ හරහා එම අධ්‍යාපනය ලබා නොමැති අඩු ආදායම්ලාභීන්ටද අවස්ථාවක් ලැබෙනවා.

වෛද්‍ය අධ්‍යපනය මෙන් ලංකාවේ නීති අධ්‍යාපනය විශ්ව විද්‍යාල පද්ධතිය තුළට අවශෝෂණය කර ගැනුනේ නැහැ. ඒ නිසාම, නිල බාධාවක් නැතිවම, කාලයක් ලංකාවේ නීති වෘත්තීය සීමිත කවයකට සීමා වී තිබුණා. නීතිඥයින්ගේම දරුවන් බොහෝ විට නීතිඥයින් වී පියාගේ රැකියාව කරගෙන ගියා. ඔවුන්ට රැකියාව ඇරඹීම සඳහා මූලික ප්‍රාග්ධනය ප්‍රශ්නයක් වූයේ නැහැ. නීතිඥයින්ට රැකියා සැපයීමේ බර රජය මත පැටවුනේද නැහැ. නිදහස් අධ්‍යාපනය නිසා සිදු වූ වෙනස්කම් නොවන්නට වෛද්‍ය වැනි අනෙකුත් රැකියා හා අදාළව පැවතිය හැකිව තිබුණේද මෙවැනිම තත්ත්වයක්. 

නිදහස් අධ්‍යාපනය සාධාරණීකරණය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යද මේ ලිපිය තුළම තිබෙනවා. ඒ පැත්ත ගැන ඕනෑ තරම් කතා කෙරී තිබෙන නිසා මම ඒ ගැන බර තබන්නේ නැහැ. මෙහි උත්සාහ කළේ වැඩිපුර නොදකින පැත්ත පෙන්වා දීමටයි.

නිදහස් අධ්‍යාපනය නොතිබුණේනම් පරම්පරා තුනක් තුළ පොල් කැඩූ අයෙකුගේ දරුවෙකු ගුරුවරයෙකු වී ඒ  ගුරුවරයාගේ දරුවා වෛද්‍යවරයෙකු වෙන එකක් නැහැ. ඒ අර්ථයෙන් බලද්දී, පෞද්ගලිකව  බොහෝ දෙනෙකුගේ දෘෂ්ඨි කෝණ වලින්, නිදහස් අධ්‍යපනය කියන්නේ අපට ලැබුණු අත්තටු කියා හිතන එක හරි. නමුත් රටේ පැත්තෙන් බලනවානම් මෙය ලංකාවට සිදු වූ හොඳම දෙයක් කියා අනිවාර්යයෙන් කියන්න බැහැ. 

"ක්‍රිස්, ඔය වැඩේ කළොත් පොල් ගෙඩියක්වත් කඩා ගන්න කෙනෙක් නැති වෙයි නේද?"

මේ ප්‍රශ්නය එදා කවුරු හෝ විසින් ඇහුවානම් එය එවකට සමාජ ධුරාවලියේ පහළම සිටි අය ඉහළට පැමිණීම වැළැක්වීමේ පටු අරමුණින් ඇසූ ප්‍රශ්නයක් නොවන්න පුළුවන්. රටේ අනාගතය ගැන පුළුල් දැක්මක් තිබුණු දූරදර්ශී ප්‍රතිපත්ති සම්පාදකයෙකුට මේ වගේ ප්‍රශ්නයක් අහන්න වලංගු හා සාධාරණ හේතු තිබෙනවා.

කවුරු ඉදිරිපත් කළත්, නිදහස් අධ්‍යාපන යෝජනාව කියා කියන්නේ වාමාංශික දේශපාලනයේ කොටසක්. ක්‍රිස්ගෙන් අහපු ප්‍රශ්නය ඇතුළේ තියෙන්නේ දක්ෂිණාංශික දේශපාලනය. සමාජ සාධාරණත්වයට ඉහළින් සමස්තයක් ලෙස රට ගැන හිතපු කෙනෙකුට ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. 

Saturday, July 26, 2025

ඇමරිකාවේ අධ්‍යාපනය සුබසාධනය වන හැටි...


ටික දවසකට කලින් අපේ ප්‍රාන්තයේ ආදායම් දෙපාර්තමේන්තුවෙන් විද්‍යුත් ලිපියක් ලැබුණා. එහි සඳහන්ව තිබුණේ එම දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක් (message) එවා ඇති බව සහ එම දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ගොස් අපගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුළු කර අදාළ පණිවිඩය කියවිය යුතු බවයි.

ප්‍රාන්ත ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රාන්ත වැසියෙකුට පණිවිඩයක් එවන්නට තිබේනම් එය බදු ගෙවීම් හා අදාළ එකක් විය යුතුයි. බදු ගෙවීම් හා අදාළව සිදු කෙරෙන දැනුම් දීමක් හොඳ එකක් වෙන්න තිබෙන ඉඩකඩ අඩු නිසා මෙවැනි විද්‍යුත් ලිපියක් ලැබී අදාළ වෙබ් අඩවියේ ඇති ගිණුමට ඇතුළු වෙද්දී ඇති වන්නේ මේ කඩා පාත් වී තිබෙන්නේ මොන මරාලයක්ද වැනි හැඟීමක්. 

නමුත් වෙබ් අඩවියට ගොස් පරීක්ෂා කරද්දී ලැබී තිබුණු පණිවුඩය බිය විය යුතු එකක් නෙමෙයි. එය පසුගිය (2024) වසර සඳහා ප්‍රාන්තයට ගෙවූ ආදායම් බදු මුදල් වැය කළ ආකාරය පිළිබඳව විස්තරාත්මක දැනුම් දීමක්. බදු මුදල් එකතු කර ගැනීමෙන් පසුව සිදු වන ක්‍රියාවලිය පිළිබඳව මුලින්ම විස්තර කිරීමක් සිදු කර තිබුණා. ඒ අනුව, එකතු කර ගන්නා බදු මුදල් සියල්ලම මුලින්ම ප්‍රාන්ත රජයේ පොදු අරමුදලකට බැර කෙරෙන අතර ඉන් පසුව ව්‍යවස්ථාදායකය විසින් විවිධ කටයුතු සඳහා එම මුදල් වෙන් කරනවා. ගෙවූ බදු මුදල එක් එක් කාර්යය සඳහා යොදවා ඇති ආකාරය බදු ගෙවන්නෙකුට දැනගත හැකියි.

අපේ ප්‍රාන්තයේ වැසියන් සියළු දෙනෙකු විසින්ම එකම අනුපාතයකින් ප්‍රාන්ත ආදායම් බදු ගෙවිය යුතුයි. බදු නිදහස් සීමාව එක් බදු ගෙවන්නෙකුට වසරකට ඩොලර් 1000ක් පමණයි. එම සීමාවෙන් ඉහළ ආදායම් වෙනුවෙන් සියලුම ආදායම් උපයන්නන් විසින් 3.05%ක ආදායම් බද්දක් ගෙවිය යුතුයි. මීට අමතරව තමන් ජීවත් වන කවුන්ටියට වෙනම ආදායම් බදු ගෙවිය යුතුයි. උදාහරණයක් ලෙස ප්‍රාන්ත අගනුවර පිහිටි කවුන්ටියට ගෙවිය යුතු ආදායම් බද්ද 2.02%ක්. මේ ආදායම් බදු ගෙවිය යුත්තේ සියලුම ඇමරිකානුවන් විසින් ගෙවිය යුතු ෆෙඩරල් ආදායම් බදු ගෙවීමෙන් අනතුරුවයි. ෆෙඩරල් ආදායම් බදු අනුපාතය ආදායම් මට්ටම අනුව වැඩි වන්නක්. 

මෙහි අප අවධානය යොමු කරන්නේ ප්‍රාන්ත ආදායම් බදු වැය කර ඇති ආකාරය වෙතයි. වසරකට ඩොලර් 102,000ක් උපයන පවුලක දෙදෙනෙකු විසින් එකතුව බදු ගොනු කරන්නේයැයි සිතමු. මෙම අගය ප්‍රාන්තයේ පවුලක මධ්‍යන්‍ය ආදායමට වඩා අඩු, එහෙත් මධ්‍යස්ථ ආදායමට වඩා වැඩි අගයක්. ඒ අනුව, එක් අයෙකුට ඩොලර් 1000 බැගින් ඩොලර් 2000ක මුදලක් ප්‍රාන්ත ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඉතිරි ඩොලර් 100,000 වෙනුවෙන් ඩොලර් 3,050ක් බදු සේ ගෙවිය යුතුයි. එම මුදල වැය කෙරෙන්නේ පහත පරිදියි.

පොදු (පාසැල්) අධ්‍යාපනය - ඩොලර් $1441.74 (47.27%)

සමාජ සේවා - ඩොලර් $832.34 (27.29%)

උසස් අධ්‍යාපනය - ඩොලර් $306.22 (10.04%)

රාජ්‍ය පරිපාලන වියදම් - ඩොලර් $186.05 (6.10%)

අපරාධ යුක්තිය - ඩොලර් $175.99 (5.77%)

ආර්ථික සංවර්ධනය - ඩොලර් $64.36 (2.11%)

මහජන ඡන්දයෙන් පත් වන්නන්ගේ වියදම් - ඩොලර් $19.52 (0.64%)

පරිසරය හා ස්වභාවික සම්පත් - ඩොලර් $17.69 (0.58%)

යටිතල පහසුකම් - ඩොලර් $6.10 (0.20%)

මෙහි සඳහන්ව තිබෙන්නේ ප්‍රාන්තය විසින් අය කරන පුද්ගල ආදායම් බදු වැය කර ඇති ආකාරය මිස ප්‍රාන්ත රජයේ සමස්ත ආදායම වැය කර ඇති ආකාරය නෙමෙයි. පුද්ගල ආදායම් බදු ප්‍රාන්ත රජයේ සමස්ත ආදායමෙන් 37.4%ක් පමණයි. ප්‍රාන්ත රජයේ ආදායමෙන් 49.5%ක් පමණ ලැබෙන්නේ විකිණුම් හා භාවිත බදු (sales and use taxes) වලිනුයි. සමාගම් ආදායම් බදු වලින් ලැබෙන කොටස 6.1%ක්. ඉතිරිය ඉන්ධන, මත්පැන්, දුම්වැටි, සූදු, රක්ෂණ ආදිය මත පනවා ඇති විශේෂ බදු හා බලපත්‍ර ගාස්තු ආදියයි. එම ආදායම් වෙනත් විවිධ ආකාර වලින් වැය කෙරෙනවා. උදාහරණයක් ලෙස ඉන්ධන බදු වැය කෙරෙන්නේ මාර්ග සංවර්ධනය හා නඩත්තුව පිණිසයි. 

වැදගත්ම කාරණය මෙයයි. අපේ ප්‍රාන්තයේ පුද්ගල ආදායම් බදු වලින් 57.31%ක්ම වැය කෙරෙන්නේ අධ්‍යාපනය සඳහායි. 

පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, පසුගිය (2025 ජූනි) මාසයේදී ඇමරිකාවේ ෆෙඩරල් රජය විශාල කාලයකට පසු අයවැය අතිරික්තයක් වාර්තා කළා. මෙය එක් මාසයකදී පමණක් සිදුව ඇති දෙයක්ද නැත්නම් දිගටම පැවතිය හැකි දෙයක්ද කියා කියන්නට තවමත් කල් වැඩි වුවත්, මේ ප්‍රතිඵලය ලැබුණේ බදු ආදායම් ඉහළ යාමේ සහ වියදම් අඩු වීමේ සංයුක්ත ප්‍රතිඵලයක් ලෙසයි. වියදම් අඩුවීමක් කියා කිවුවත් ඇත්තටම අඩු වී තිබුණේ ෆෙඩරල් රජය විසින් අධ්‍යාපනය සඳහා වැය කළ වියදමයි. අනෙකුත් බොහෝ වියදම් ඉහළ ගොස් තිබුණා. 

මේ අයුරින් ඇමරිකාවේ ෆෙඩරල් රජය විසින් අධ්‍යාපන වියදම් කප්පාදු කිරීමේ පදනම වූයේ ඇමරිකන් ව්‍යවස්ථාව අනුව අධ්‍යාපනය ප්‍රාන්ත රජයන්ට අයිති විෂයයක් වීමයි. අපේ ප්‍රාන්ත රජය වැනි ප්‍රාන්ත රජයයන් විසින්ද අධ්‍යාපන වියදම් කප්පාදු කරමින් සිටීමේ දේශපාලන නැඹුරුව වෙනම කරුණක්. 

ඇමරිකන් ව්‍යවස්ථාව අනුව අධ්‍යාපන විෂය කෙරෙහි ෆෙඩරල් රජයට මැදිහත්වීම් කිරීමට බාධාවක් නැහැ. එහෙත් එය ෆෙඩරල් රජය විසින් අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක් නෙමෙයි. ෆෙඩරල් රජයේ කාර්යයක් සේ ව්‍යවස්ථාවේ සඳහන් නොවන කාර්යයයන් සැලකෙන්නේ ප්‍රාන්ත රජයන්හි කාර්යයන් ලෙසයි. ඒ නිසා, ඇමරිකාවේ අධ්‍යාපනය නියාමනය කිරීම හා සුබසාධනය කිරීම බොහෝ දුරට සිදු වන්නේ ප්‍රාන්ත මට්ටමෙන් හෝ ඊටත් වඩා පහළ මට්ටමකින්. 

සාමාන්‍යයෙන් ඇමරිකාවේ ඕනෑම සිසුවෙකුට පාසැල් අධ්‍යාපනය නොමිලේ ලබා ගත හැකියි. ඒ සඳහා තමන්ට ලඟම පාසැලට යන්නට සිදු වෙනවා. පාසැල වෙනස් කරන්නනම් පදිංචියද වෙනස් කරන්නට සිදු වෙනවා.

අපේ ප්‍රාන්තයේ පාසැල් අධ්‍යාපනය සඳහා වැය වන මුදල් වලින් වැඩි කොටසක් (55%-60% පමණ) ලබා දෙන්නේ ප්‍රාන්ත රජය විසින්. කවුන්ටි බදු වල දායකත්වයද ඉතා විශාල (35%-40%) වන අතර ෆෙඩරල් රජයෙන් සිදු කෙරෙන වෙන් කිරීම් සාමාන්‍යයෙන් 5% ඉක්මවන්නේ නැහැ.

ප්‍රාන්තය සහ කවුන්ටිය විසින් අය කරන ආදායම් බදු, ආදායමට අනුපාතිකව, අඩු හා ඉහළ ආදායම්ලාභීන්ගෙන් එක සේ අය කරනවා කියන්නේ පොදු අධ්‍යාපනයේ බරපැන අදාළ ප්‍රදේශයේම සේවාලාභී පවුල් විසින් පොදුවේ බෙදා ගැනීමට කිට්ටු තත්ත්වයක්. මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩි ආදායම්ලාභීන් ජීවත් වන ප්‍රදේශ වල ඇති පාසැල් වලට වැඩි සම්පත් ප්‍රමාණයක් ලැබෙනවා. අඩු ආදායම්ලාභීන් ජීවත් වන ප්‍රදේශ වල ඇති පාසැල් වලට ලැබෙන්නේ අඩු සම්පත් ප්‍රමාණයක්. ෆෙඩරල් රජයේ වැඩසටහන් මගින් සිදු වූ එක් ප්‍රධාන කාර්යයක් වූයේ සම්පත් අඩු පාසැල් වලට විවිධ ක්‍රම වලින් සම්පත් ලබා දීම මගින් මෙම විෂමතාවය අඩු කිරීමයි. 

ඇමරිකාවේ පාසැල් අධ්‍යාපනය නොමිලේ ලබා ගත හැකි වුවත්, උසස් අධ්‍යාපනය නොමිලේ ලබා දීමක් සිදු වන්නේ නැහැ. එහෙත්, ප්‍රාන්ත රජයයන් විසින් උසස් අධ්‍යාපන වියදම් සුබසාධනය කිරීමක් කරනවා. ඒ නිසා, තමන්ගේ ප්‍රාන්තයේම පිහිටි රාජ්‍ය විශ්ව විද්‍යාලයකට යන සිසුවෙකු විසින් ටියුෂන් ගාස්තු ලෙස ගෙවිය යුත්තේ සැලකිය යුතු අඩු මුදලක්. 

උදාහරණයක් ලෙස අපේ ප්‍රාන්තයේ විශාලම රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ප්‍රධාන විශ්ව විද්‍යාලයේ වාර්ෂික සාමාන්‍ය ටියුෂන් ගාස්තුව ඩොලර් 42,300ක් පමණ වන නමුත් ප්‍රාන්තයේ සිසුවෙකු විසින් ගෙවිය යුත්තේ ඩොලර් 12,150කට ආසන්න මුදලක් පමණයි. ඉතිරි කොටස ප්‍රාන්ත රජය විසින් සුබසාධනය කරනවා. 

මේ අයුරින් ප්‍රාන්ත රජයයන් විසින් ප්‍රාන්තයේ උසස් අධ්‍යාපන වියදම් සුබසාධනය කිරීමෙහිද ආර්ථික අරමුණක් තිබෙනවා. ප්‍රාන්තයේ පවුලක දරුවෙකු ප්‍රාන්තයේම පිහිටි සරසවියකින් උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසුව ප්‍රාන්තය තුළම රැඳී සිට රැකියාවක් කිරීමට හෝ ව්‍යාපාරයක් කිරීමට වැඩි ඉඩක් තිබෙනවා. එහිදී උසස් අධ්‍යාපනයේ උදවුවෙන් උපයන වැඩි ආදායම් වලින් ප්‍රතිශතයක් පුද්ගල ආදායම් බදු බවට පත් වී ප්‍රාන්ත රජයේ අනාගත ආදායම් බවට පත් වෙනවා. මෙය ආයෝජනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයක්. 

Sunday, July 20, 2025

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්.

බදු ආදායම

වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 20.9%ක වර්ධනයක්. වසරේ අවසන් මාස හත තුළද මෙම අනුපාතයෙන්ම බදු ආදායම් ඉහළ ගියහොත් වසර අවසන් වන විට රුපියල් බිලියන 4,477.7ක පමණ බදු ආදායමක් අපේක්ෂා කළ හැකියි. 

මෙම වසර සඳහා අයවැය ඇස්තමේන්තු අනුව, අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 4,590ක් වන අතර, ඉහත ප්‍රක්ෂේපිත ආදායම ඊට වඩා රුපියල් බිලියන 133කින් පමණ අඩු මට්ටමක්. මූල්‍ය අරමුදලේ අවසන් පුරෝකථනය වූයේ මෙම වසරේ බදු ආදායම රුපියල් බිලියන 4,439ක් වනු ඇති බවයි. ඉහත  ප්‍රක්ෂේපනය ඊට වඩා තරමක් හොඳ මට්ටමක්.

අනෙකුත් ආදායම් හා ලැබීම් 

වසරේ පළමු මාස පහ තුළ අනෙකුත් ආදායම් හා ලැබීම් රුපියල් බිලියන 139.9ක් සේ වාර්තා වන අතර මෙය පෙර වසරට සාපේක්ෂව 9.3%ක වර්ධනයක්. මෙම අනුපාතය සලකා ප්‍රක්ෂේපනය කළ විට වසර අවසන් වෙද්දී අනෙකුත් ආදායම් හා ලැබීම් රුපියල් බිලියන 422.1 මට්ටමට යනවා.

සමස්ත රාජ්‍ය ආදායම 

ඉහත ප්‍රක්ෂේපන අනුව වසර අවසන් වන විට සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,899.9ක් විය යුතු අතර අයවැය ඇස්තමේන්තු වල සඳහන් රුපියල් බිලියන 4,990ට වඩා රුපියල් බිලියන 90කින් පමණ අඩුයි. එහෙත් මූල්‍ය අරමුදලේ අවසන් ඇස්තමේන්තුව වන රුපියල් 4,819ට වඩා රුපියල් බිලියන 80කින් පමණ වැඩියි.

වාහන ආනයන සිදු වන ආකාරය අනුව වසරේ අවසන් මාස හත තුළ බදු ආදායම් වර්ධනය පළමු මාස පහේ වර්ධන වේගයට වඩා වැඩි මට්ටමක පැවතීමේ විභවයක් තිබෙන බැවින් යාන්තමින් හෝ ආදායම් ඉලක්ක සපුරා ගැනීමේ හැකියාවක් තවමත් තිබෙනවා.

පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් 

වසරේ පළමු මාස පහ තුළ පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 1,024.1ක් සේ වාර්තා වන අතර මෙය පෙර වසරට සාපේක්ෂව 17.5%ක වර්ධනයක්. මෙම අනුපාතය සලකා ප්‍රක්ෂේපනය කළ විට වසර අවසන් වෙද්දී පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 3,113.4 පමණ දක්වා ඉහළ යා හැකියි. මෙය අයවැය ඇස්තමේන්තු වල සඳහන් රුපියල් බිලියන 2,970ට වඩාරුපියල් බිලියන 143කින් වැඩියි. මූල්‍ය අරමුදලේ අවසන් ඇස්තමේන්තු අනුවද වර්ෂාවසාන පුනරාවර්තන වියදම (පොලී ගෙවීම් හැර) රුපියල් බිලියන 2,952ක් පමණයි. 

ප්‍රාග්ධන වියදම් 

වසරේ පළමු මාස පහ තුළ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 175.4කට සීමා වී ඇති අතර, මෙය පෙර වසරේ පළමු මාස පහට සාපේක්ෂව 9.2%ක අඩු වීමක්. මේ අනුව පෙනී යන්නේ පුනරාවර්තන වියදම් අයවැය ඉලක්ක ඉක්මවා ඉහළ යාමේ අවදානමක් ඇති තත්ත්වයක් තුළ සමස්ත රාජ්‍ය වියදම පාලනය කර ගනිමින් ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය අවම මට්ටමේ පවත්වා ගැනීම සඳහා ප්‍රාග්ධන වියදම් දැඩි ලෙස සීමා කිරීමක් සිදු වී ඇති බවයි. මෙම අනුපාතය අනුව ප්‍රක්ෂේපනය කළ විට වසර අවසන් වෙද්දී ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 717.7 ඉක්මවන්නේ නැහැ.

අයවැය මගින් රුපියල් බිලියන 1,315ක ප්‍රාග්ධන වියදම් වෙන් කිරීමක් සිදුව පැවති අතර, මගේ මතකය නිවැරදිනම්, ජනාධිපති දිසානායක විසින් මෙය ඉතිහාසයේ ඉහළම ප්‍රාග්ධන වියදම් වෙන් කිරීම බවට පාරම්බෑමක්ද සිදු කළා. ඉතිහාසයේදී ලංකාවේ අයවැය ඇත්තටම තුලනය වී ඇති ආකාරය ගැන යම් හෝ අවබෝධයක් වීනම් ඔහු මේ කරුණ මේ තරමින් අවධාරණය නොකර සිටිය හැකිව තිබුණා. අරමුදලේ ඇස්තමේන්තු අනුව වර්ෂාවසාන ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1,130ක්. 

අයවැය ඇස්තමේන්තු ඉක්මවා පුනරාවර්තන වියදම් ඉහළ යාම සහ එම ඇස්තමේන්තු වලට වඩා බදු ආදායම් අඩු වීම සාමාන්‍යයෙන් ලංකාවේ සිදු වන දෙයයි. මෙහිදී අයවැය තුලනය පවත්වා ගැනීම සඳහා බොහෝ විට අනුගමනය කරන ක්‍රියාමාර්ගය වන්නේ ප්‍රාග්ධන වියදම් කප්පාදු කිරීමයි. කෙසේ වුවද, දැනට ප්‍රාග්ධන වියදම් සීමා කර ඇති මට්ටම පුනරාවර්තන වියදම් ඉහළ යාමේ හා බදු ආදායම් අඩු වීමේ සමස්ත බලපෑම නිශේධනය කරන මට්ටමට වඩා වැඩි නිසා අවසන් මාස හතක කාලය ඇතුළත ඉහත ප්‍රක්ෂේපනය ඉක්මවා ප්‍රාග්ධන වියදම් සිදු කිරීමේ විභවයක් තිබෙනවා. 

ප්‍රාථමික අයවැය අතිරික්තය 

පළමු මාස පහක කාලය තුළ රුපියල් බිලියන 742.9ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් දැකිය හැකි අතර එය පෙර වසරේ පළමු මාස පහක කාලයට සාපේක්ෂව 34.0%කින් වැඩියි. මෙම අතිරික්තය වසර අවසන් වන විට පවත්වා ගත යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයට (දදේනියෙන් 2.3%කට) ආසන්නව සමාන වන අතර යාන්තමින් ඉක්මවා යනවා. 

මේ අනුව, වසරේ ඉදිරි මාස හත තුළ අරමුදල් ඉතිරි කිරීමේ පීඩනයක් රජයට නැහැ. මෙම වාසිදායක තත්ත්වය නිසා, ඉදිරි මාස හතක කාලය තුළ පුනරාවර්තන වියදම් සඳහා අවශ්‍ය අරමුදල් බදු ආදායමෙන් වෙන් කිරීමෙන් පසුව ඉතිරි වන අරමුදල් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වැය කළ හැකියි. එසේ කිරීම මගින් අයවැය ඉලක්ක සහ සත්‍ය ප්‍රාග්ධන වියදම අතර පරතරය අඩු කර ගන්න පුළුවන්. පුනරාවර්තන වියදම කවර ආකාරයකින් හෝ අයවැය ඉලක්ක තුළ රඳවා ගත හැකිනම් ප්‍රාග්ධන වියදම් තව දුරටත් අයවැය ඉලක්ක ආසන්නයට ගන්න පුළුවන්.

පසුගිය (2024) දෙසැම්බර් මාසයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගාස්තු පුනරාවර්තන වියදම් වලට එකතු වී ඇත්නම්, එම ගාස්තු පසුගිය වසරට අනන්‍ය වියදමක් බැවින්, ඉහත සිදු කර ඇති වර්ෂාවසාන පුනරාවර්තන වියදම් ප්‍රක්ෂේපනය සිදු කළ යුතු වන්නේ පසුගිය වසරේ පුනරාවර්තන වියදම් වලින් අදාළ වියදම ඉවත් කිරීමෙන් පසුවයි. මේ ගැන නිශ්චිතව නොදන්නා නිසා මා එසේ කර නැහැ. මෙවැන්නක් සිදුව ඇත්නම් පුනරාවර්තන වියදම් හා අදාළවද අයවැය ඉලක්ක වලට යාමේ විභවයක් තවමත් තිබෙනවා. 

Saturday, July 19, 2025

ගනුදෙනු වල ආරම්භය කුමක්ද?

සම්භාව්‍ය ආර්ථික විද්‍යාව ගොඩ නැගී තිබෙන්නේ නිදහස් ගනුදෙනු සිදුවන්නේ ස්වාර්ථය මතයි කියන අදහස පාදකවයි. ඇඩම් ස්මිත්ට අනුව ඔබට පාන් ලැබෙන්නේ බේකරිහිමියාගේ කරුණාව නිසා නොව බේකරිහිමියා ස්වාර්ථය මත ක්‍රියා කිරීම නිසායි. මේ ප්‍රකාශයේ වරදක් නැතත්, මෙවැනි අදහස් ඉදිරියට යද්දී එයින් එහාට ගිය ගනුදෙනු සිදු වන්නේ ස්වාර්ථය මත පමණක්ය යන අදහස ඉස්මතු වීමක්ද දැකිය හැකියි. ධනවාදයේ සදාචාරත්මක පදනම වන්නේද මෙම අදහසයි.

නූතන ආර්ථික විද්‍යාවට අනුව ගනුදෙනු සිදු වන්නේ ස්වාර්ථය මත පමණක්ම නෙමෙයි. පරාර්ථය නිසාද ගනුදෙනු සිදු වෙනවා. ඒ කියන්නේ ඇතැම් විට බේකරිහිමියාගේ කරුණාව නිසාත් ඔබට පාන් ලැබෙන්න පුළුවන්. මෙය චර්යා ආර්ථික විද්‍යාවේදී දිගින් දිගටම පර්යේෂණාත්මකව තහවුරු වී ඇති දෙයක්. 

ඇත්ත වශයෙන්ම ඇඩම් ස්මිත් වුවද, ගනුදෙනු සිදු වන්නේ ස්වාර්ථය මත පමණක්යැයි කියන්නේ නැහැ. ඔහු කියන්නේ වෙනත් අයෙකු විසින් පරාර්ථය මත සිදු කරන දේවල් පිළිබඳව පමණක් ඔබට බලාපොරොත්තු තැබිය නොහැකි බවයි.

"But man has almost constant occasion for the help of his brethren, and it is in vain for him to expect it from their benevolence only."

කෙසේ වුවත්, සම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ උපකල්පන මත ගොඩ නැගී ඇති ආකෘති සැබෑ ලෝකයෙහි වැඩ කරනවා. ඊට හේතුව එම ආකෘති වැඩ කිරීම සඳහා මුලින් එම ආකෘති ගොඩ නැගීමේදී සිදු කෙරුණු උපකල්පන සියල්ලක්ම අනිවාර්යයෙන්ම අවශ්‍ය නොවීමයි. සීමිත උපකල්පන යටතේ වුවද ආකෘති බොහොමයක් වැඩ කරනවා.

මුදල් ක්‍රමයේ විකාශනය ගැන විස්තර කෙරෙද්දී සෘජු භාණ්ඩ හුවමාරුව යන්නෙන් අදහස් වන්නේ ස්වාර්ථය මත පදනම් වූ ගනුදෙනු. ඒ නිසාම, සෘජු භාණ්ඩ හුවමාරුව ඇරඹුණු කාලය සේ සැලකෙන්නේ ස්වාර්ථය මත පදනම් වූ ගනුදෙනු සිදු වූ බවට සාක්ෂි ඇති කාලයයි. 

නිදහස් ගනුදෙනු යනු පුළුල් ලෙස අර්ථකථනය කළ හැකි අදහසක්. එයට ස්වාර්ථය මත පදනම් වූ ගනුදෙනු පමණක් ඇතුළත් විය යුතු නැහැ. දෙදෙනෙකු අතර ස්ව කැමැත්තෙන් සිදු වන ඕනෑම ගනුදෙනුවක් නිදහස් ගනුදෙනුවක් සේ සැලකිය හැකියි. 

ජීව විද්‍යාත්මක හේතු මත සිදු වන ගනුදෙනු මූලිකම මට්ටමේ ගනුදෙනු සේ සලකන්න පුළුවන්. මෙවැනි මූලික ගනුදෙනු ස්වාර්ථය මත මෙන්ම පරාර්ථය මත වුවද සිදු විය හැකියි. 

ඕනෑම සත්ත්ව ගහණයක් වඳ නොවී පැවතිය හැක්කේ තිරසාර ලෙස වර්ගයා බෝවීමක් සිදු වන්නේනම් පමණයි. මිනිසුන් ඇතුළු බොහෝ සතුන් හා අදාළව මේ සඳහා ගැහැණු හා පිරිමි සතුන් අතර ලිංගික එක්වීමක් අවශ්‍ය වෙනවා. මෙවැන්නක් සිදු විය හැකි ආකාර දෙකක් තිබෙනවා. එකක් ලිංගික බලහත්කාරය. දෙවැන්න නිදහස් කැමැත්ත මත සිදු වන එක් වීම. 

මිනිසුන් අතර වුවද බලහත්කාරය මත පදනම් වූ ලිංගික එක් වීම් සිදු වෙනවා. නමුත් බොහෝ විට දැකිය හැක්කේ කැමැත්ත ලබා ගැනීම පිණිස සිදු කරන පොළඹවා ගැනීමුයි. මේ තත්ත්වය සතුන් අතරද දැකිය හැකියි. සාමාන්‍යයෙන් ඕනෑම අහඹු ගැහැණු සතෙකු හා පිරිමි සතෙකු අතර ලිංගික එක්වීමක් සිදු වන්නේ නැහැ. 

මීට පෙර වාලම්පුරි ගැන ලියා ඇති ලිපියක විස්තර කර ඇති පරිදි, කටුව දක්ෂිණාවර්තව කැරකුණු බෙල්ලන් ඉතා දුලබයි. කටුව දක්ෂිණාවර්තව කැරකුණු බෙල්ලෙකුට කටුව වාමාවර්තව කැරකුණු බෙල්ලෙකු හා ලිංගිකව එක්වීම භෞතික වශයෙන් ඉතා අසීරු දෙයක්. අපේ ප්‍රදේශයේ ඇති සත්ත්ව උද්‍යානයක එක්තරා බෙල්ලන් වර්ගයක කටුව දක්ෂිණාවර්තව කැරකුණු සතෙකු හිටියා. එම සතාගෙන් ජනිතයින් බිහි කරගැනීමේ අරමුණින් එවැනිම තවත් සතෙකු සොයා ගැනීම සඳහා විශාල උත්සාහයක් දැරීමෙන් පසුව එවැනි තවත් සතෙකු සොයා ගැනීමට හැකි වුනා. නමුත් මේ සතුන් දෙදෙනා අතර ලිංගික එක් වීමක් සිදු වූයේ නැහැ.

වඩා දියුණු මොළයක් සහිත සතුන් අතර ලිංගික සහකරුවන් තෝරා ගැනීමේ චර්යාව පැහැදිලිව දකින්න පුළුවන්. ක්ෂීරපායීන්, පක්ෂීන් මෙන්ම යම් දුරකට මත්ස්‍යයන් විසින්ද මෙම චර්යාව පෙන්නුම් කරනවා. මෙහි පදනම සවිඥානිකත්වය මත පදනම් වූ නිදහස් කැමැත්තක්ය යන්න එයින් අනිවාර්යයෙන් ගම්‍ය වන්නේ නැහැ. මෙය සිදු වන්නේ ජීව විද්‍යාත්මක හේතු මතයැයි සලකන්නේනම්, මේ කාරණය හා අදාළව මිනිස් හැසිරීම්ද එවැනිම පදනමකින් සිදු වීමේ හැකියාව බැහැර කරන්න බැහැ. 

ලිංගික එක්වීම් හා අදාළව පැහැදිලි වන පරිදි මිනිසුන් විසින් විරුද්ධ ලිංගිකයෙකුගේ කැමැත්ත ලබා ගැනීම සඳහා විවිධ දේවල් කරනවා. එසේ කළ පමණින් අනිවාර්යයෙන්ම අනෙකාගේ කැමැත්ත ලැබෙන්නේ නැහැ. මෙය මිනිසුන්ට අනන්‍ය දෙයක් නෙමෙයි. ඇතැම් සතුන්ටද පොදු දෙයක්. අවසාන වශයෙන් මෙහි තිබෙන්නේ ස්වාර්ථය පිණිස සිදු කරන ගනුදෙනුවක් හෝ එහි මූලික ස්වභාවයක්. 

මිනිසුන් පොදු අරමුණක් වෙනුවෙන් සාමූහිකව කටයුතු කරන්නාක් මෙන්ම සතුන්ද සාමූහිකව කටයුතු කරනවා. වෘකයින් කණ්ඩායමක් ලෙස සාමූහිකව දඩයමේ යනවා. නමුත් මේ අවස්ථාවේදී වුවද සහයෝගීතාවයක් ඇති වීමේ පදනම ස්වාර්ථ සාධනයයි. 

එහෙත් සිය ජනිතයින් ලොකු මහත් කර ගැනීම පිණිස කාලය හා ශ්‍රමය වැය කරද්දී මෙවැනි ස්වාර්ථ සාධන අරමුණකින් ඔබ්බට ගිය පරාර්ථකාමී අරමුණක් දකින්න පුළුවන්. මෙය මිනිසුන්ට අනන්‍ය වූ තත්ත්වයක් නෙමෙයි. සිය ජනිතයින් කෙරෙහි වන මෙම පරාර්ථකාමී අරමුණ නොවන්නේනම් මිනිස් ගහණය ඇතුළු බොහෝ සත්ත්ව ගහණයන් මේ වන විට වඳ වී ගිහින්. 

පරිනාමිකව ඉදිරීයෙන් සිටින සත්ත්ව ගහණයක තිරසාර පැවැත්ම සඳහා ස්වාර්ථ සාධනය මුල් කර ගනිමින් ආහාර සපයා ගැනීම මෙන්ම පරාර්ථකාමය මත පදනම්ව ජනිතයින් ලොකු මහත් කිරීමද අවශ්‍ය වෙනවා. ඒ නිසා, ස්වාර්ථය මත මෙන්ම පරාර්ථය මත පදනම්ව සිදු වන ගනුදෙනු වලටද ජීව විද්‍යාත්මක පදනමක් තිබෙනවා. 

මිනිසුන් අතර සිදු වන සංකීර්ණ ගනුදෙනු ගහණයේ පැවැත්ම සඳහා අවශ්‍ය මූලික සීමාවෙන් ඔබ්බට ගිය ගනුදෙනු බව පෙනෙන්නට තිබෙනවා. මෙවැනි සංකීර්ණ ගනුදෙනු වල මූලාරම්භය කුමක්ද? 

සත්ත්ව චර්යා දෙස බැලූ විට පෙනෙන්නේ ජීව විද්‍යාත්මක සම්බන්ධයක් නොමැති සතුන් දෙදෙනෙකු අතර සිදු වන ගනුදෙනු මුලින්ම ආරම්භ වන්නේ ස්වාර්ථය මුල් කොටගත් ක්‍රියාවකින් නොව පරාර්ථය මුල් කොට ගත් ක්‍රියාවකින් විය හැකි බවයි. මෙම පරාර්ථය මුල් කොට ගත් ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් දැක්වීම හේතුවෙන් (reciprocal altruism) එම පරාර්ථකාමී ක්‍රියාව ගනුදෙනුවක් බවට පත් වෙනවා. ඉන් පසුව, පරාර්ථය මත පදනම් වූ ගනුදෙනු මගින් ලබා ගත් "අධ්‍යාපනය"හේතුවෙන්  ස්වාර්ථය මත පදනම්වද එවැනි ගනුදෙනු සිදුවිය හැකියි.

ලේ උරා බොන වවුලෙකු විසින් වෙනත් වවුලෙකුට ආහාර සැපයීම හෝ  වඳුරෙකු විසින් වෙනත් වඳුරෙකුගේ සිරුර පිරිසිදු කිරීම උදාහරණ සේ පෙන්වන්න පුළුවන්. මුලින්ම මෙවැන්නක් කරන්නේ ස්වාර්ථය මුල් කරගත් ගනුදෙනුවක් ලෙස නෙමෙයි. තමන්ගේ ජනිතයෙකු වෙනුවෙන් කරන ආකාරයේ පරාර්ථකාමී ක්‍රියාවක් ලෙසයි. මෙවැනි එක් පරාර්ථකාමී ක්‍රියාවක් නිසා වෙනත් සතුන්ද එසේ කිරීමට පෙළඹෙනවා. නමුත් සියල්ලන්ම මෙවැනි ක්‍රියාවකට ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස අහඹු අයෙකුට උදවු කිරීම වෙනුවට අන්‍යෝන්‍ය වශයෙන් උදවු කර ගැනීමේ චර්යාවක් ගොඩ නැගෙන්න පුළුවන්. එවිට එය ස්වාර්ථය මත පදනම් වූ ගණුදෙනුවක්. 

මිනිස් ක්‍රියාකාරකම් බොහොමයකට කිසියම් ජානමය සම්බන්ධයක් තිබෙනවා. ආහාර තේරීම්, මත්ද්‍රව්‍ය සඳහා වන කැමැත්ත වැනි දේවල් වල සිට මුදල් ඉතිරි කිරීමේ නැඹුරුව දක්වා විශාල පරාසයක ක්‍රියාකාරකම් වල මේ සම්බන්ධය දැකිය හැකියි. ඒ නිසා, මිනිසුන්ගේ තීරණ මුළුමනින්ම ඔවුන්ගේ පාලනය යටතේ තිබෙන තීරණ නෙමෙයි. නමුත් ස්වාධීන කැමැත්තක් නොමැති බවක් එයින් අදහස් වන්නේ නැහැ. පුහුණු වීම මගින් මුත්‍රා කිරීම වැනි අතිශය ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් පවා පාලනය කිරීමේ හැකියාවක් මිනිසුන්ට තිබෙනවා. එහෙත් මිනිසුන් කියන්නේත් අනෙක් සතුන් වැනිම කාබනික යන්ත්‍ර.

සතුන්ට පමණක් නැති සවිඥානිකත්වයක් මිනිසුන්ට පමණක් ඇති බව යල් පැන ගිය හෝ ආගමික අදහසක් පමණයි. දර්පණ පරීක්ෂණය යමෙකුගේ ස්වයං දැනුවත්භාවය (self-awareness) පිළිබඳ පරීක්ෂාවක්. දර්පණයකින් පෙනෙන්නේ ඔබේම ප්‍රතිබිම්බයක් බව ඔබට හඳුනා ගත හැකිද? දර්පණයක ඇති ප්‍රතිබිම්බයක් දෙස බලාගෙන ඔබේ සිරුරේ ඇති කිසියම් සලකුණක් ස්පර්ශ කිරීමේ හැකියාවක් ඔබට ඇත්නම් එයින් අදහස් වන්නේ ඔබට ස්වයං දැනුවත්භාවයක් ඇති බවයි.

මිනිස් දරුවන් දර්පණ පරීක්ෂණය සමත් වන්නේ මාස 18-24 අතර වයසකදීයි. එයින් අදහස් වන්නේ මිනිසුන් තුළ ස්වයං දැනුවත්භාවය ගොඩ නැගෙන්නේ එම කාලයේදී බවයි. චිම්පන්සි, බොනබෝ වඳුරන්, අලි, ඩොල්ෆින් මත්ස්‍යයින් මෙන්ම පොල්කිචි වර්ගයේ පක්ෂීන් විසින්ද මෙම දර්පණ පරීක්ෂණය සමත්ව තිබෙනවා. 

වඳුරෙකු විසින් වෙනත් වඳුරෙකු විසින් තමන් සතු ආහාර දුටු බව දැකීමෙන් පසුව එම ආහාර සඟවනවා. කපුටන් විසින්ද වෙනත් කපුටෙකු විසින් තමන් සතු ආහාර දුටු බව දැකීමෙන් පසුව එම ආහාර සඟවනවා. මෙයින් පෙනී යන්නේ එම සතුන්ට අනෙක් සතුන්ගේ හැසිරීම් පිළිබඳව පවා අවබෝධයක් ඇති බවයි. එමෙන්ම ආයුධ භාවිතයද බොහෝ සත්ත්ව වර්ග විසින් කරන දෙයක්. 

ඉහත කරුණු අනුව සියල්ල එක්ව ගත් විට පෙනී යන්නේ සවිඥානිකව හා ස්වාර්ථය මුල් කරගෙන, අනෙකාගේ කැමැත්ත පිළිබඳවද තක්සේරුවක් ඇතිව, ගනුදෙනු කිරීමේ හැකියාවක් සතුන්ට පවා ඇති බව බැහැර කළ නොහැකි බවයි. එය එසේනම් මිනිස් සත්ත්වයා විසින් ස්වාර්ථය මුල් කරගෙන ගනුදෙනු කිරීමේ හැකියාව  වර්ධනය කර ගන්නට ඇත්තේ මිනිසා සතුන්ගෙන් විභේදනය වීමටද පෙර කාලයකදීයි. 

කෙසේ වුවද දඩයම් සතෙකු වූ මිනිසා කෘෂිකාර්මික සතෙකු බවට පත් වී පෞද්ගලික දේපොළ මත පදනම් වූ සමාජ ගොඩ නැගුනු පසු මිනිසාගේ ස්වාර්ථ සාධන අරමුණ වෙනුවෙන් කරන ගනුදෙනු වේගයෙන් ඉහළ යනවා. එයට ප්‍රධාන හේතුවක් වන්නේ මෙවැනි සමාජ ක්‍රමයකදී ශ්‍රම විභජනයේ වාසි ඉහළ යාමයි. ඊටම සම්බන්ධ අනෙක් හේතුව නිෂ්පාදන අතිරික්තය සහ ඒ මගින් වත්කම් බිහිවීමයි.

සෛද්ධාන්තිකව භාණ්ඩ හුවමාරු ක්‍රමයක් වෙනත් සත්ත්ව ගහණයක වුනත් ඇති වෙන්න බැරිකමක් නැහැ. ඒ සඳහා අවශ්‍ය වන මූලික කොන්දේසි වන ස්වයං දැනුවත්භාවය සහ අනෙකාගේ හැසිරීම් තේරුම් ගැනීමේ හැකියාව ඇතැම් සත්ත්ව වර්ග විසින් පවා ප්‍රදර්ශනය කර තිබෙනවා. නමුත් සත්ත්ව සමාජ කිසිවක භාණ්ඩ හුවමාරු ක්‍රමයක් බිහි විය හැකි වාස්තවික තත්ත්වයන් ගොඩ නැගී නැහැ. ඒ සඳහා සංකීර්ණ සමාජ ගොඩ නැගුමක් අවශ්‍ය වෙනවා.

මිනිසුන්ගේ වුවද, දඩයම් සමාජයක මේ වාස්තවික තත්ත්වයන් නැහැ. භාණ්ඩ හුවමාරු ක්‍රමයක් ඇති වීම සඳහා පළමුව පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ අදහස සමාජයක සාමූහික විශ්වාසයක් බවට පත් විය යුතුයි. දඩයම් සමාජයක් කෘෂිකාර්මික සමාජයක් බවට පරිණාමය වෙද්දී මේ වෙනස සිදු වෙනවා. මා වගා කළ දෙයක අස්වැන්න මගේ දෙයක්. ඔබ වගා කළ දෙයක අස්වැන්න ඔබේ දෙයක්. ඔබට අයිති දෙය ඔබේ කැමැත්ත ලබා නොගෙන මා විසින් ලබා ගැනීම වරදක්. සොරකම වරදක් වන්නේ පෞද්ගලික දේපොළ අයිතිය පිළිබඳ අදහස සමාජයක සාමූහික විශ්වාසයක් බවට පත් වීමෙන් පසුවයි. පෞද්ගලික දේපොළ අයිතිය සමාජ සම්මතයක් වන තුරු සොරකම කියන වරදට අර්ථයක් නැහැ. 

පෞද්ගලික දේපොළ අයිතිය සංකල්පයේ මූලිකම අවස්ථාවක් වන්නේ සිය දරුවන් පිළිබඳව මවට තිබෙන අයිතියයි. මෙය සතුන්ටද තිබෙන හැඟීමක්. සපයා ගන්නා ආහාර වල අයිතිය පිළිබඳ හැඟීමද මෙවැනි මූලික දෙයක්. තමන් සතු මෙවැනි "දේපොළ" ආරක්ෂා කර ගැනීම සඳහා සාපේක්ෂව දියුණු මොළයක් තිබෙන ඕනෑම සතෙක් සටන් කරනවා. නමුත් භාණ්ඩ හුවමාරු ක්‍රමයක් ඇති වෙන්නනම් පෞද්ගලික දේපොළ අයිතියේ පරාසය මීට වඩා විශාල විය යුතුයි. දඩයම් සමාජයක් ඒ සීමාව පනින්නේ නැහැ. 

කිසියම් සමාජයක පෞද්ගලික දේපොළ පරාසය විශාල වීමෙන් පසුව වුවද හැම පෞද්ගලික දේපොළක්ම හුවමාරු භාණ්ඩ බවට පත් වන්නේ නැහැ. ඉඩමක් වැනි දෙයක අයිතිය හුවමාරු කර ගැනීම සඳහා සංකීර්ණ සමාජ සම්මුතීන් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව ඉඩමක් අතින් අරගෙන යන්න බැහැ. නමුත් කුකුළෙක් හෝ එළුවෙක් අතින් අරගෙන යන්න පුළුවන්. ඒ නිසා කුකුළෙක් හෝ එළුවෙක් කියන්නේ කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික දේපොළක් කියන සාමූහික විශ්වාසය ගොඩ නගා ගත්තාට පස්සේ එවැනි දේ භාණ්ඩ හුවමාරු ආර්ථිකයක වෙළඳ භාණ්ඩ බවට වීමේ විභවයක් ඇති වෙනවා.

මේ සියල්ල සිදු වූ පමණින්ද භාණ්ඩ හුවමාරු ආර්ථිකයක් ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා ශ්‍රම විභජනය මත පදනම් වූ සමාජ ක්‍රමයක් ගොඩ නැගෙන්නත් අවශ්‍යයි. ස්වයංපෝෂිත ආර්ථික ඒකක පමණක් තිබෙන සමාජ ගොඩනැගුමක භාණ්ඩ හුවමාරු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. 

කෘෂිකාර්මික සමාජ ක්‍රමයක මූලික අදියරේදී බිහි වන්නේ ඔය විදිහේ ස්වයංපෝෂිත ආර්ථික ඒකකයි. දඩයම් කර ආහාර සපයා ගැනීම වෙනුවට වගා කොට හෝ සත්ත්ව පාලනය මගින් ආහාර සපයා ගැනීම ආදේශ වෙනවා. නමුත් එපමණකින්ම තමන්ගේ මූලික අවශ්‍යතා සපයා ගැනීම සඳහා අනෙකෙකු සමඟ කරන ගනුදෙනු පිළිබඳව විශ්වාසය තැබීමක් සිදු වන්නේ නැහැ.

පෞද්ගලික දේපොළ අයිතිය සම්මුතියක් බවට පත් වී, වත්කම් ගොඩ නැගීමක්ද සිදු වීමෙන් පසුව, කිසියම් සමාජ කණ්ඩායමක් තුළ යම් ප්‍රමාණයක හෝ වත්කම් විෂමතාද ඇති වෙනවා. මෙයින් අදහස් කෙරෙන්නේ මූලික ආර්ථික ඒකකය මූලික සමාජ ඒකකයකට වඩා විශාල වූ තත්ත්වයක්. සාමාන්‍යයෙන් දඩයම් සමාජයක හෝ සත්ත්ව ගහණයක සමාජ ඒකකයක් හා ආර්ථික ඒකකයක් අතර වෙනසක් නැහැ. ඒ නිසාම, එකට ජීවත් වන කණ්ඩායමක් අතර සම්පත් විෂමතා නැහැ.

කෘෂිකාර්මික හැරවුමකින් පසුව මිනිස් සමාජයේ මේ මූලික සැකැස්මේ වෙනසක් සිදු වෙනවා. මූලික ආර්ථික ඒකකය පවුල. මූලික සමාජ ඒකකය ගම හෝ ගෝත්‍රික කණ්ඩායම. මෙවැනි සමාජ ඒකකයක් තුළ ආර්ථික ඒකක අතර වත්කම් විෂමතා පැවතීම සාමාන්‍ය තත්ත්වයක්. එහෙත්, සමාජ ඒකකය තුළ පවතින පොදු බැඳීම නිසා ආර්ථික ඒකක අතර පරාර්ථය මත පදනම් වූ ගනුදෙනු සිදු වෙන්න පුළුවන්. වැඩිපුර ආහාර තිබෙන අයෙකු විසින් ආපසු යමක් අපේක්ෂා නොකර ආහාර නොමැති අයෙකුට ආහාර ලබා දීමක් සිදු වෙන්න පුළුවන්. 

මෙවැනි අවස්ථාවකදී පෞද්ගලික දේපොළ සමාජ සම්මතයක් වී ඇති කණ්ඩායමක් තුළ අනෙකෙකුගේ උපකාර ලබන අයෙකුට තමන් විසින් ලබා ගත් දේ වෙනුවෙන් ආපසු යමක් කිරීමේ පෙළඹුමක් ඇති වෙන්න පුළුවන්. ඒ පෙළඹුම නිසා මුල් ගනුදෙනුව පසුව ආපසු හැරවෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී ණය දීමේ සහ ණය ලබා ගැනීමේ සංස්කෘතියක මූලික බීජය පැල වෙනවා. ඒ නිසා, කාලයක් යද්දී ණය දීම හා ගැනීම සම්මුතියක් සහ ස්වාර්ථ සාධනය මත පදනම් වූ ගනුදෙනුවක් බවට පත් වෙන්න පුළුවන්. 

මෙවැනි තත්ත්වයක් යටතේ වුවද සිදු වන්නේ භාණ්ඩ හුවමාරුවක්. එකම වෙනස ගනුදෙනුවේ සංරචක දෙක අතර කාල වෙනසක් පැවතීමයි. එවැන්නක් සිදු විය හැක්කේ අදාළ පාර්ශ්ව දෙක අතර සැලකිය යුතු මට්ටමේ විශ්වාසයක් ගොඩ නැගී ඇත්නම් පමණයි. නමුත් එසැණින් අවසන් වන භාණ්ඩ හුවමාරුවක් සඳහා මෙවැනි විශ්වාසයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, භාණ්ඩ හුවමාරුව සඳහා අවශ්‍ය වන්නේ ණය ගනුදෙනු සිදු වීම සඳහා අවශ්‍ය වන වාස්තවික තත්ත්වයන්ට වඩා අඩු කොන්දේසි ප්‍රමාණයක්. 

ණය ගනුදෙනු ඇති වීමට හෝ භාණ්ඩ මුදල් බිහි වීමට පෙර භාණ්ඩ හුවමාරු ක්‍රමය ඇති වීම තර්කානුකූලව සිදු විය යුතු දෙයයි. ඒ සඳහා අවශ්‍ය වන කොන්දේසි වල ස්වභාවය නිසා ලෝකයේ විවිධ කලාප වල මෙය සිදු වන්නට ඇත්තේ විවිධ කාල වකවානු වලයි. 

පුරා විද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රිස්තු පූර්ව 9000 වැනි කාලයක පවා භාණ්ඩ හුවමාරු සිදුව ඇත්තේයැයි විශ්වාස කෙරෙනවා. මෙම විශ්වාසයේ පදනම වන්නේ කිසියම් ස්ථානයක සිට කිලෝ ඈතින් පමණක් ලබා ගත හැකි දේ අදාළ ප්‍රදේශයේ වීමයි. වත්මන් ඊශ්‍රායලය, තුර්කිය හා පකිස්ථානය රටවලට අයත් විවිධ පෙදෙස් වලින් මෙවැනි සාක්ෂි හමු වී තිබෙනවා. නමුත් එයින් අදහස් වන්නේ මුදල් විකාශනයේ ඊළඟ අදියරකට යාමෙන් පසුව එම ප්‍රදේශ වලින් භාණ්ඩ හුවමාරු ක්‍රමය අතුරුදහන් වූ බව නෙමෙයි. අද පවා යම් සීමිත තත්ත්වයන් යටතේ භාණ්ඩ හුවමාරු ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. 

මෙවැනි භාණ්ඩ හුවමාරු ගනුදෙනු සංකල්පීය ලෙස ස්වාර්ථය මුල් කොට ගෙන සිදු වන මූලික මට්ටමේ ගනුදෙනු සේ සැලකිය හැකියි. ලිපියෙහි විස්තර කර ඇති පරිදි භාණ්ඩ හුවමාරු ගනුදෙනු සිදු වීම සඳහා මුලින්ම ඒ සඳහා අවශ්‍ය වාස්තවික තත්ත්වයන් ඇති විය යුතුයි. එහෙත් කිසියම් සමාජ කණ්ඩායමක් තුළ මේ අවශ්‍ය වාස්තවික තත්ත්වයන් ගොඩ නැගී භාණ්ඩ හුවමාරු ගනුදෙනු ආරම්භ වීමෙන් පසුව එම කණ්ඩායමට එවැනි වාස්තවික තත්ත්වයන් ගොඩ නැගී නොමැති සමාජ කණ්ඩායම් සමඟ වුවද භාණ්ඩ හුවමාරු ගනුදෙනු සිදු කළ හැකියි. ඒ නිසාම, අවසාන වශයෙන්, වාස්තවික තත්ත්වයන් ගොඩ නැගී නොමැති සමාජ කණ්ඩායම් දෙකක් අතර වුවද මේ භාණ්ඩ හුවමාරු ගනුදෙනු සිදු විය හැකියි. 

පෙර ලිපියක විස්තර කර ඇති පරිදි, පරීක්ෂණ තත්ත්වයන් යටතේ, කැපුචින් වඳුරන් මිදි වෙනුවට ඇපල් හුවමාරු කරගෙන තිබෙනවා. මෙයින් අදහස් වන්නේ ස්වාර්ථය මත පදනම්ව, සවිඥානික තේරීමක් හා හුවමාරුවක් කිරීමේ හැකියාව එම වඳුරන් සතු බවයි. මෙය තොප්පි වෙළෙන්දාගේ කතාවේ වඳුරන්ගේ ප්‍රතිචාරය වැන්නක් නෙමෙයි. එහෙත් මෙවැනි හුවමාරුවක් සිදු වන්නේ පර්යේෂකයින් විසින් එම වඳුරන්ට මුලින්ම මිදි ලබා දී පසුව එම මිදි වෙනුවට ඇපල් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දුන් නිසා. ස්වභාවික තත්ත්වයන් යටතේ වඳුරන් සතුව මෙවැනි හුවමාරු කළ හැකි පෞද්ගලික දේපොළ හෝ හුවමාරු කිරීමේ අවස්ථාවන් නැහැ. ඒ නිසාම වඳුරන් අතර භාණ්ඩ හුවමාරු ආර්ථික ක්‍රමයක්ද නැහැ. 

භාණ්ඩ හුවමාරුව ආරම්භ වීමට පෙර දඩයම් සමාජයක් තුළ පවතින්නේද මෙවැනි තත්ත්වයක්. එහෙත්, යම් කෘෂිකාර්මික සමාජයක් තුළ භාණ්ඩ හුවමාරුව ආරම්භ වීමෙන් පසුව, ඔවුන්ට දඩයම් සමාජයක් සමඟ වුවද භාණ්ඩ හුවමාරු ගනුදෙනු සිදු කළ හැකියි. වඳුරන්ට තේරෙන තරමේ දෙයක් මිනිසුන්ට තේරුම් ගන්න අමාරු නැහැ. 

මුදල් ක්‍රමයේ විකාශනයේ පසු අදියර වලදී සිදු වී තිබෙන්නේද මෙවැන්නක්. එම විකාශනයේ බොහෝ පසුකාලීන අදියරක් ගැන එකවරම දැනගන්නා සමාජයකට ඒ අදියරට යාම සඳහා මුල් අදියර සියල්ල සම්පූර්ණ කර පැමිණෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. එකවරම පියවර ගණනාවකින් ඉදිරියට යන්න පුළුවන්. නමුත් ස්වභාවික විකාශනය හරහා පසු අදියරකට යාමටනම් මුල් අදියර පසු කරන්නට සිදු වෙනවා. 

මේ හේතුව නිසා මුදල් ක්‍රමයේ ඓතිහාසික විකාශනය පිළිබඳ ආකෘති වල ආකෘති සලකද්දී ලොකු වැරැද්දක් නැහැ. නමුත් මේ ආකෘති ඉතිහාසය සමඟ ගලපන්න ගියොත් අනිවාර්යයෙන්ම විශාල නොගැලපීම් හමු වෙනවා. මේ සටහන "ගනුදෙනු වල ආරම්භය කුමක්ද?" යන ලිපියේ මාතෘකාවට පිළිතුරක් නෙමෙයි. එම ප්‍රශ්නයද මුල් කරගෙන මුදල් ක්‍රමයේ විකාශනය පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාවක් පමණයි. 

ඉතිහාසය කියා කියන්නේ දැනට අපට සිදු කළ හැකි නිරීක්ෂණ ඇසුරෙන් හදා ගන්නා කතාවකටයි. මෙහි දැනට අපට සිදු කළ හැකි නිරීක්ෂණ කියද්දී එයට අපට පෙර පරම්පරා වලින් දැනගන්නට ලැබුණු ඉතිහාස කතන්දරද ඇතුළත්. මේ කතා සහ අතීතයේ ඇත්තටම සිදු වූ දේවල් අනිවාර්යයෙන්ම සමාන විය යුතු නැහැ.

සමහර වෙලාවට, සමහර කරුණු හා අදාළව බොහෝ වෙලාවට, මේ ඉතිහාස කතා හැදෙන්නේ ඒ මොහොතේ පවතින දේශපාලනික අවශ්‍යතා මතයි. ඒ නිසා, විකල්ප කතා ගණනාවක් තියෙන්න පුළුවන්. මේ කතා අතරින් හරි කතාව තෝරා ගැනීම පහසු දෙයක් නෙමෙයි.

කිසියම් දෙයක ඓතිහාසික විකාශනය තේරුම් ගත හැකි විකල්ප ක්‍රමයක් වන්නේ දැනටත් අප‍ට නිරීක්ෂණය කළ හැකි, එම විකාශනයේ මුල් අදියරක තවමත් සිටින සමාජ පරීක්ෂාවට ලක් කිරීමයි. සියවසකට හෝ දෙකකට පෙර එවැනි මිනිස් සමාජ තිබුණත් මේ වෙද්දීනම් නැති තරම්. මෙයට එක් විසඳුමක් වන්නේ සත්ත්ව ලෝකය වෙත අවලෝකනය කිරීමයි. 

වඳුරන් සමඟ සිදු කර ඇති ගනුදෙනු ගැන මෙම ලිපියෙහි මෙන්ම පෙර ලිපියකද කතා කළා. නමුත් මේ ගනුදෙනු පර්යේෂණ තත්ත්ව යටතේ සිදු කර ඇති ගනුදෙනු පමණයි. ඒ කිසිම අවස්ථාවක් වඳුරන් හෝ වෙනත් සතුන් මිනිසුන් සමඟ ගනුදෙනු කිරීමට ඉදිරිපත් වූ අවස්ථා නෙමෙයි.

සාපේක්ෂව මෑතකදී ඉන්දුනීසියාවේ බාලිහි පූජනීය ස්ථාන ආශ්‍රිතව සිදු කර ඇති වීඩියෝ විශ්ලේෂණය කිරීමේදී පෙනී ගොස් ඇති පරිදි, මිනිසුන් විසින් සෘජුව පුහුණු නොකරම වදුරන් විසින්ම ගනුදෙනු කිරීමට ඉගෙන ගෙන ඇති බවද දකින්නට ලැබී තිබෙනවා. මෙවැනි ගනුදෙනු දඹුල්ල වැනි තැන් වල සිටින ලංකාවේ රිළවුන් විසින් වුවද කරනවා වෙන්න පුළුවන්.

මේ වඳුරන් වඩා වටිනා දෙයක් සමඟ හුවමාරු කරගැනීමේ අරමුණින්ම ඔවුන්ට වැඩක් නැති, මිනිසුන්ට වටිනා දේවල් පැහැර ගන්නවා. මෙය දරුවෙකු පැහැරගෙන කප්පම් ඉල්ලීමකට සමානයි. 

ඔවුන් කරන්නේ පැහැදිලි ගණුදෙනුවක්. පූජනීය ස්ථාන වලට පැමිණෙන සංචාරකයින්ගෙන් මේ පැහැර ගැනීම් කරද්දී ඔවුන් කිසි විටෙකත් මිනිසුන්ට හිරිහැර කරන්නේ නැහැ. සැලසුම් කර, කල් යල් බලා, ඉතා ක්ෂණිකව තමන්ට අවශ්‍ය දේ පැහැර ගැනීමයි හැම විටම මෙන් සිදු කර තිබෙන්නේ. එසේ පැහැර ගැනීමෙන් පසුව ඔවුන් මිනිසුන්ට ලඟා විය නොහැකි තරම් ඈතකට යන්නේ නැහැ. ගනුදෙනුවක් සිදු කළ හැකි සීමාවක රැඳෙනවා.

ජංගම දුරකථනයකින්, කාන්තා අත් බෑගයකින් හෝ උපැස් යුවලකින් වඳුරෙකුට වැඩක් නැහැ. විශ්ලේෂණ අනුව පෙනී ගොස් ඇති පරිදි වඳුරන් මෙවැනි දේ පැහැර ගන්නේම හුවමාරුවක් කර ගැනීමේ අරමුණින්. ඒ වගේම, මේ වඳුරන්ට මිනිසුන්ට වටිනා දේවල් ගැන අවබෝධයක් තිබෙනවා. එය අත්දැකීම් ඇසුරෙන් ලබාගත් අවබෝධයක්. හුවමාරු වටිනාකමක් නැති, මිනිසුන්ට එතරම්ම නොවටිනා දේ වඳුරන් විසින් පැහැර ගන්නේ ඔවුන්ට එහි වටිනාකමක් ඇත්නම් පමණයි.

මෙවැනි පැහැර ගැනීම් කරන්නේ ආහාර නොමැතිකම නිසාද නෙමෙයි. මේ වඳුරන්ට ප්‍රමාණවත් තරම් ආහාර ලැබෙනවා. ඔවුන්ගේ ඉලක්කය වන්නේ වඩා කැමති දෙයක් ලබා ගැනීමයි. පැහැර ගත් දෙයක් ආපසු ඉල්ලා සිටි විට වඳුරන් විසින් ඵලදායී හෙට්ටු කිරීමක් කරනවා. ඔවුන්ට සාපේක්ෂ වටිනාකම් තිබෙනවා. එම වටිනාකම් වඳුරාගෙන් වඳුරාට වගේම, අවස්ථාව අනුවද වෙනස් වෙනවා. තමන්ට ලබා ගත හැකි උපරිම මිල ලැබෙන තුරු ඔවුන් පැහැර ගත් දෙය ආපසු දෙන්නේ නැහැ. අඩු මිල අර්පණයන් සියල්ල පැහැදිලි ලෙස ප්‍රතික්ෂේප කරනවා. මෙම වඳුරන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම මගින් මිනිසුන් අතර භාණ්ඩ හුවමාරු සංස්කෘතියක් ඇති වූ ආකාරය ගැන යම් අදහසක් ලබා ගන්න පුළුවන්. 


මුදල් ක්‍රමයේ විකාශනය පිළිබඳ කතාව


මුදල් ක්‍රමයේ විකාශනය පිළිබඳව පිළිගත් සම්මත කතාවක් තිබෙනවා. ඒ කතාව අඩු වැඩි වශයෙන් පහත සාරාංශගත කර තිබෙන ආකාරයට සමානයි. 

සෘජු භාණ්ඩ හුවමාරුව ↓ භාණ්ඩ මුදල් ↓ ලෝහ කාසි ↓ නියෝජිත මුදල් ↓ ෆියට් මුදල් ↓ ඉලෙක්ට්‍රොනික මුදල් ↓ ඩිජිටල් සහ ක්‍රිප්ටෝ මුදල්


සමහර විට මේ කතාව මීට වඩා පියවර ගණන අඩු, සරල එකක් වෙන්න පුළුවන්. 

සෘජු භාණ්ඩ හුවමාරුව ↓ භාණ්ඩ මුදල් ↓ නියෝජිත මුදල් ↓ ෆියට් මුදල්

කතාවේ මූලික ආකෘතිය දෙවැන්න ලෙසත්, පළමුවැන්න ඒ තුළට අප්‍රධාන පියවර එකතු කර පුළුල් ලෙස හදපු ආකෘතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. 

මේ ආකෘති වල ලොකු වැරැද්දක් නැතත්, ආකෘතිය විස්තර කරද්දී සහ තේරුම් ගනිද්දී සමහර වෙලාවට මෙය ආකෘතියක් කියන එක අමතක වෙනවා. ඒ නිසා, මේ විකාශනය තේරුම් ගැනෙන්නේ වැරදි අවබෝධත් එක්ක විය හැකි අවස්ථා තිබෙනවා.

ආකෘතිය විස්තර කරද්දී, ගොඩක් වෙලාවට, එයට කාල වකවානු යෙදීමක් සිදු වෙනවා. ඒ කාල වකවානු ලෝකයේ හැම කලාපයකටම ගැලපෙන්නේ නැතත්, සාමාන්‍යයෙන් ඒ කරුණට අවධානය යෙදවෙන්නේ අඩුවෙන්. ඒ වැරැද්ද නිවැරදි කෙරෙන විස්තර කිරීමකදී වුවත්, මේ විකාශනය අනිවාර්ය රේඛීය ගලායාමක් විදිහට තේරුම් යනවා. නමුත් එය එසේම විය යුතු නැහැ. ඉදිරි පියවරක සිට පසු පියවරකට ආපසු ඇවිත් නැවත ඉදිරියට ගිය අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම මේ හැම පියවරක්ම අනිවාර්ය නැහැ. පියවර පැනලා ඉදිරියට යන්න බැරිකමක් නැහැ. ලෝකයේ බොහෝ කලාප වල එය එසේ සිදු වී තිබෙනවා.

මේ ආකෘතිය කාලානුක්‍රමනික (chronological) විකාශනයක් ලෙස තේරුම් නොගෙන සංකල්පීය විකාශනයක් ලෙස තේරුම් ගත්තොත් අවුල් අඩුයි. 

සෘජු භාණ්ඩ හුවමාරුව (Barter system)

ගනුදෙනු වල මූලිකම අවස්ථාව සෘජු භාණ්ඩ හුවමාරුව (Barter system) කියන එක බොහෝ දෙනෙකුට පහසුවෙන්ම එකඟ වෙන්න පුළුවන් කරුණක්. මේ අවස්ථාවේදී ගනුදෙනු සිදු වුනත්, මුදල් කියා දෙයක් නැහැ. සංකල්පීය වශයෙන් වගේම ප්‍රායෝගිකවත්, ගනුදෙනු කරන්න මුදල් කියා දෙයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, මේ පියවර ආකෘතිගත කරන්න වෙන්නේ ඕනෑම මුදල් වර්ගයක් භාවිතා කරන අදියරකට පෙර අදියරක් ලෙසයි.

සෘජු භාණ්ඩ හුවමාරු ක්‍රමයේදී හුවමාරුවක් සිදු වෙන්නනම් එක් එක් පුද්ගලයා සතුව අනෙක් පුද්ගලයාට අවශ්‍ය දෙයක් තිබිය යුතුයි. උදාහරණයක් විදිහට මා සතුව වී තිබුණත් පොල් නැහැ. මට පොල් අවශ්‍යයි. තවත් අයෙකු සතුව පොල් තිබුණත් වී නැහැ. ඒ පුද්ගලයාට වී අවශ්‍යයි. ඔය වගේ තත්ත්වයක් යටතේදී හුවමාරුවක් සිදු වෙනවා. මේ විදිහට අවශ්‍යතා ද්විත්වයක සමපාත වීමක් සිදු නොවුවහොත් ගනුදෙනුවක් සිදු වෙන්නේ නැහැ. 

භාණ්ඩ මුදල් (Commodity money)

මේ තමයි මුදල් කියන සංකල්පයේ මූලිකම අවස්ථාව. භාණ්ඩ මුදල් භාවිතය සෘජු භාණ්ඩ හුවමාරු ක්‍රමයේ සීමාවන් අතික්‍රමණය කරනවා. උදාහරණයක් ලෙස මා සතුව වී තිබුණත් පොල් නැහැ. මට පොල් අවශ්‍යයි. තවත් අයෙකු සතුව පොල් තිබෙනවා. පොල් හුවමාරු කරගන්නත් කැමතියි. නමුත් ඒ පුද්ගලයාට අවශ්‍ය වන්නේ බිත්තර මිසක් වී නෙමෙයි. ඒ නිසා, හුවමාරුවක් වෙන්නේ නැහැ. 

භාණ්ඩ මුදල් ක්‍රමයකදී මේ පුද්ගලයා විසින් මා සතු වී ලබාගෙන ඒ වෙනුවට පොල් ලබා දෙනවා. නමුත් එසේ කරන්නේ ඒ පුද්ගලයාට වී අවශ්‍ය නිසා නෙමෙයි. වෙනත් අයෙකු එක්ක වී වෙනුවට බිත්තර හුවමාරු කර ගැනීමේ අරමුණෙන්. එසේ කරන්නේ වී වෙනුවට බිත්තර හුවමාරු කර ගැනීමට කැමති කෙනෙක් සිටියි කියන විශ්වාසය මතයි. මේ ගණුදෙනුවේදී වී භාණ්ඩ මුදලක් සේ ක්‍රියා කරනවා. 

භාණ්ඩ මුදලක් විය හැක්කේ මොන වගේ භාණ්ඩයක්ද?

භාණ්ඩ මුදලක් විය හැක්කේ බොහෝ දෙනෙකුට අවශ්‍ය වන භාණ්ඩයක්. හුවමාරු කර ගැනීමේ ශක්‍යතාවය වැඩි වන්නේ භාණ්ඩ මුදලක් වැඩි දෙනෙකුට අවශ්‍ය භාණ්ඩයක් වූ තරමටයි. ඊට අමතරව භාණ්ඩ මුදලක් නැවත හුවමාරුවක් සිදු කරන තුරු කල් තබා ගත හැකි ද්‍රව්‍යයක් විය යුතුයි. ඒ නිසා, බිත්තර වැනි දෙයක් මේ වැඩේට ගැලපෙන්නේ නැහැ. වී ගැලපෙනවා. 

මුදල් වලින් කාර්යයන් තුනක් ඉටුවන සේ සැලකෙනවා. ඒ කාර්යයන් තුන භාණ්ඩ මුදල් ඇසුරෙන් වුවත් පැහැදිලි කළ හැකියි.

1. ගනුදෙනු කිරීමේ මාධ්‍යයක් ලෙස - තමන්ට වී අවශ්‍ය නැති කෙනෙක් තමන් සතු පොල් වෙනුවට වී හුවමාරු කර ගන්නවා. ඉන් පසුව වී වෙනුවට බිත්තර හුවමාරු කරගන්නවා. අවසාන වශයෙන් වෙලා තියෙන්නේ පොල් වෙනුවට බිත්තර ලබා ගැනීම. කෙළින්ම පොල් වෙනුවට බිත්තර හුවමාරු කර ගත හැකි වුනානම් වෙන්නෙත් මේ වැඩේමයි. නමුත් බිත්තර සතු වූ පුද්ගලයාට අවශ්‍ය වී තිබුණේ වී මිසක් පොල් නෙමෙයිනම්, ඒ වගේ ගනුදෙනුවක් සිදු වෙන්නේ නැහැ. ගනුදෙනු කිරීමේ උපකරණයක් ලෙස වී යොදා ගත හැකි වූ නිසා මේ වැඩේ සිදු වුනා. 

2. වටිනාකම් සංසන්දනය කිරීමේ ඒකකයක් ලෙස - කිසියම් භාණ්ඩයක් භාණ්ඩ මුදලක් වූ විට එම භාණ්ඩය ඇසුරෙන් අනෙක් භාණ්ඩ වල වටිනාකම් මනින්න පුළුවන්. පොල් ගෙඩියක් වී සේරුවයි, බිත්තර පහක් වී සේරුවයි යනාදී වශයෙන්. ඔය විදිහේ සම්මතයක් හදාගත්තට පස්සේ පොල් වල සහ බිත්තර වල වටිනාකම් වී වලින් කියන්න පුළුවන්. ප්‍රායෝගිකව කොහොම වෙතත්, සෛද්ධාන්තිකව වී කියන දේ එකවරම ලෝකයෙන් අතුරුදහන් වුනත් ඔය සම්මතය දිගටම පවත්වා ගෙන යමින් වී වලින් වටිනාකම් මනින්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ සාමූහික එකඟතාවයක් නැත්නම් සම්මුතියක් පමණයි. නමුත්, මේ විදිහට වටිනාකම් සංසන්දනය කිරීමේ ඒකකයක් සම්මුතියක් බවට පත් වෙන්නනම් මුලින්ම අදාළ දෙය  ගනුදෙනු කිරීමේ මාධ්‍යයක් වෙන්න ඕනෑ. ඒ නිසා මුදලක පළමු කාර්යය දෙවන කාර්යයට වඩා ප්‍රමුඛයි. 

3. වටිනාකම් ගබඩා කළ හැකි දෙයක් ලෙස - වටිනාකම් ගබඩා කිරීම සඳහා මුදල් කියා දෙයක් තිබීම තබා ගනුදෙනු සිදුවීම හෝ අවශ්‍ය වන්නේ නැහැ. ඔය දෙකෙන් එකක්වත් නැතත් කෙනෙකුට වටිනාකම් ගබඩා කර ගන්න පුළුවන්. තමන්ටම අයිති වී තමන් විසින්ම ගබඩා කර ගනිද්දීත් වටිනාකම් එක්රැස් වීමක් වෙනවා. ඒ නිසා, මේ කාර්යය වෙනුවෙන් පමණක් මුදල් කියා දෙයක් අවශ්‍ය වන්නේ නැහැ. මුදලක කාර්යයන් තුනෙන් අඩුවෙන්ම වැදගත් කාර්යය මෙයයි. මුදල් නොවන දෙයක් වටිනාකම් ගබඩා කිරීම සඳහා යොදා ගත් විට එය වත්කමක් වෙනවා. ඒ නිසාම, මුදල් කියන්නේද වත්කමක් වුවත්, වත්කම් කියන්නේ මුදල් පමණක් නෙමෙයි.

භාණ්ඩ මුදල් ලෙස යම් කිසි මුදල් වර්ගයක් භාවිතයට එනවාද කියන එක තීරණය වෙන්නේ ඉහත එක් එක් අවශ්‍යතාවය කොයි තරම් වැදගත්ද කියන එකත්, කිසියම් භාණ්ඩයක් භාණ්ඩ මුදල් සේ භාවිතා කිරීමෙන් එම අවශතාවය කෙතෙක් දුරට ඉටු වේද කියන එකත් මතයි. 

සෘජු භාණ්ඩ හුවමාරු ක්‍රමයක ඉඳලා භාණ්ඩ මුදල් භාවිතයට ක්‍රමයෙන් පුරුදු වෙද්දී ගනුදෙනු කිරීමේ මාධ්‍යයක් ලෙස මුදලක් යොදා ගැනීමේ හැකියාව ගැන බොහෝ දෙනෙකුට ලොකු විශ්වාසයක් නැහැ. එවැනි තත්ත්වයක් යටතේදී යම් තරමකින් හෝ විශ්වාසය තැබිය හැක්කේ වී වැනි දෙයක් මතයි. ගනුදෙනුවක් සඳහා යොදා ගන්න බැරි වුනොත් පරිභෝජනය සඳහා හෝ ගන්න පුළුවන්. 

නමුත් ගනුදෙනු සංස්කෘතියක් ඇති වෙලා කිසියම් මුදලකින් ගනුදෙනු කිරීමේ හැකියාව ගැන සාමූහික විශ්වාසයක් ඇති වුනාට පස්සේ මේ වැඩේට පරිභෝජනය කළ හැකි දෙයක්ම අවශ්‍ය වන්නේ නැහැ. එවිට වැදගත් වන්නේ නරක් නොවී කල් තබා ගත හැකි වීම. ඒ කියන්නේ තුන් වන කාර්යය වන වටිනාකම් විනාශ නොවී ගබඩා කර තබා ගැනීම. 

කුකුළන්, එළුවන් වැනි පණ තිබෙන සතුන්ද භාණ්ඩ මුදල් ලෙස භාවිතා වී තිබෙනවා. මේ සතුන් බෝ වෙන නිසා ප්‍රතිලාභයකුත් තිබෙන වත්කමක් සේ සලකන්න පුළුවන්. නමුත් සත්තු හදිසියේ මැරෙන්න පුළුවන් නිසා අවදානමකුත් තිබෙනවා. 

ලෝකයේ විවිධ කලාප වල විවිධ කාල වකවානු වල විවිධ භාණ්ඩ භාණ්ඩ මුදල් සේ භාවිතා වී තිබෙනවා. ඒ අතර, රන්, රිදී, තඹ වැනි ලෝහ වර්ගද තිබෙනවා. මෙවැනි ලෝහ වර්ග භාණ්ඩ මුදල් සේ ජනප්‍රිය වීමට හේතු වී තිබෙන්නේ විනාශ නොවී කල් තබා ගැනීමේ හැකියාව නිසා විය යුතුයි. ඒ කියන්නේ මේ ලෝහ වර්ග විසින් වත්කම් ලෙස ඉටු කළ කාර්ය භාරය. 

මේ වර්ග අතරින්ද රන් බොහෝ විට භාවිතා වී තිබෙන්නේ මුදලකට වඩා වත්කමක් ලෙසයි. මුදල් ලෙස වැඩිපුරම භාවිතා වී තිබෙන්නේ රිදී. ඊට හේතුව කලාප කිහිපයක හැර, කිසිම විටෙක ගනුදෙනු සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට රන් සැපයුමක් ලෝකයේ තිබී නොමැති වීමයි. ඊට සාපේක්ෂව ගනුදෙනු සඳහා ප්‍රමාණවත් රිදී සැපයුමක් ලෝකයේ බොහෝ ප්‍රදේශ වල තිබී ඇති බව පේනවා. 

රන් හෝ රිදී කියන්නේ වී හෝ කුකුළන් වැනි පරිභෝජනය සඳහා බොහෝ දෙනෙකුට අවශ්‍ය වන දේවල් නෙමෙයි. ඒ නිසා, භාණ්ඩ මුදල් ක්‍රමය තුළම වී හෝ කුකුළන් වෙනුවට රන් හෝ රිදී ආදේශ වෙද්දී පසුකාලීන අදියරකදී භාවිතයට ආ ෆියට් මුදල් වල මූලික ස්වරූපයක් මුදල් ක්‍රමයට එකතු වෙනවා. යමෙක් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් ෆියට් මුදල් භාර ගන්නේ ඒ ෆියට් මුදල් වෙනත් අයෙකුට දී තමන්ට අවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගත හැකි වේයැයි යන විශ්වාසය නිසා. මුදල් ලෙස රන් හෝ රිදී භාර ගනිද්දී සිදු වෙන්නෙත් ඔය දෙයමයි. 

ඉහත හේතුව නිසා අවශ්‍යනම් කෙනෙකුට රන් හෝ රිදී කියා කියන්නේ භාණ්ඩ මුදල්ම නෙමෙයි කියලා කියන්නත් පුළුවන්. භෞතිකව වී හෝ කුකුළන් වගේම රන් හා රිදී කියන්නෙත් භාණ්ඩ. නමුත් සංකල්පීයව මේ දෙවර්ගයේ වෙනසක් තිබෙනවා. ඔය දෙවර්ගය එකට දමනවා වගේම අවශ්‍යනම් රන් හා රිදී, ඒවා මත පදනම් වූ නියෝජිත මුදල් සහ ෆියට් මුදල් ආදී වර්ග සියල්ලම එක ගොඩකට දමලා ඉරක් අඳින්නත් පුළුවන්. ඓතිහාසික විකාශනයන් විස්තර කරද්දී සිදු කරන යුග බෙදීම් හා අදියර බෙදීම් කියන්නේ ආකෘති ඇතුළේ තිබෙන වෛෂයික බෙදීම් මිසක් වාස්තවික බෙදීම් නෙමෙයි. 

වෙබ් ලිපිනය: