වෙබ් ලිපිනය:

Friday, November 29, 2024

උද්ධමන අපේක්ෂා පහත වැටෙද්දී පොලී අනුපාතික තවත් පහළට!


නොවැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය -2.1% ලෙස, එනම් 2.1%ක අවධමනයක් ලෙස, වාර්තා වී තිබෙනවා. මේ අනුව, 2024 වසර අවසන් වනු ඇත්තේ සමස්තයක් ලෙස අවධමනයක් වාර්තා කරමින් බව පැහැදිලියි. අපගේ ඇස්තමේන්තු අනුව, අවධමන තත්ත්වය ඉදිරි වසරේ මැද භාගය දක්වා පැවතිය හැකි අතර, ජනවාරි මාසය වන විට -5% පමණ මට්ටමකට යා හැකියි.

අවධමන තත්ත්වයක් පවතිද්දී මූර්ත පොලී අනුපාතික නාමික පොලී අනුපාතික ඉක්මවා යනවා. මූර්ත පොලී අනුපාතික යනු නාමික පොලී අනුපාතිකයෙන් උද්ධමනය අඩු කළ විට අගයයි. උද්ධමනය සෘණ අගයක් වූ විට මෙම අගය නාමික පොලී අනුපාතික ඉක්මවා යනවා. නාමික පොලී අනුපාතික 8.5% හා උද්ධමනය -2.0% යන්නෙන් අදහස් වන්නේ මූර්ත පොලී අනුපාතිකය 10.5%ක් බවයි.

ඉහළ මූර්ත පොලී අනුපාතිකයක් තිබීම ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. එවැනි තත්ත්වයක් යටතේදී සාමාන්‍යයෙන් මහ බැංකුවක් විසින් කරන්නේ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් පොලී අනුපාතික පහතට ගැනීමයි. මේ සඳහා වෙළඳපොළට මුදල් මුදා හැරීමක් කරන්නට සිදු වෙනවා. එය කරන්නේ විවට වෙළඳපොළ කටයුතු හරහායි.

මේ වන විට මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ලෙස යොදා ගන්නේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයයි. එම අනුපාතිකය 8.0% ලෙස මහ බැංකුව විසින් නිර්ණය කර තිබෙනවා. ඒ අනුව, ඒක්ෂණ මුදල් වෙළඳපොළේ පොලී අනුපාතිකය 8.0% මට්ටමේ පවත්වා ගත හැකි පරිදි විවට වෙළඳපොළ මෙහෙයුම් කටයුතු කිරීමට මහ බැංකුවට සිදු වෙනවා.

අද දින සිදු වූ ඒක්ෂණ මුදල් වෙළඳපොළ ගනුදෙනු වල බරිත සාමාන්‍ය අගය 8.15% මට්ටමේ පැවතුනු අතර ප්‍රතිමිලදී ගැනීම් (රිපෝ) වෙළඳපොල බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය 8.20% මට්ටමේ පැවතුනා. මෙම අගයයන් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා මඳක් වැඩියි.

පොලී අනුපාතික ඉලක්ක මට්ටමට වඩා ඉහළින් ඇති විට මහ බැංකුවට වෙළඳපොළට මුදල් මුදා හැරීම මගින් එම සමතුලිතතාවය වෙනස් කරගන්නට සිදු වෙනවා. මේ අයුරින් මුදල් මුදා හැරීම ස්ථිර පදනමකින් හෝ තාවකාලික පදනමකින් කළ හැකියි. දැනට මහ බැංකුව විසින් අනුගමනය කරන්නේ පළමු ක්‍රමයයි.

ඊයේ දිනයේ මහ බැංකුව විසින් එක් දින ප්‍රති විකුණුම් (රිවර්ස් රිපෝ) ලෙස රුපියල් බිලියන 40ක මුදලක් වෙළඳපොළට මුදා හැර ඇති අතර එම මුදල් වෙන්දේසි වී තිබෙන්නේ 8.00-8.20% පරාසය තුළයි. ඊට අමතරව තවත් රුපියල් බිලියන 4.4ක මුදලක් 8.50%ක පොලියක් ගෙවා එක් දින ප්‍රති විකුණුම් ක්‍රමයට මහ බැංකුවෙන් ලබා ගෙන තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ ඇතැම් බැංකු සැලකිය යුතු ද්‍රවශීලතා හිඟයකින් පෙලෙන බවයි. එය වෙළඳපොළ පොලී අනුපාතික පහත වැටීමට බාධාවක්ව පවතිනවා.

කෙසේ වුවත්, රුපියල් බිලියන 210 ඉක්මවන මුදලක්  ඊයේ දිනම 7.5% පොලියට මහ බැංකුවේ තැන්පත් කර තිබෙනවා. එම මුදල ඉහත සඳහන් කළ රුපියල් බිලියන 44ක ප්‍රති විකුණුම් ගනුදෙනු ප්‍රමාණයට වඩා බෙහෙවින්ම වැඩි මුදලක්. මේ අනුව පෙනී යන්නේ වෙළඳපොළ තුළ 8.0-8.5% පොලියකට ණය දීමේ අවස්ථාව තිබියදී ඇතැම් බැංකු විසින් ඊට වඩා අඩු 7.5% පොලියට මහ බැංකුවේ මුදල් තැන්පත් කිරීමට පෙලැඹී ඇති බවයි. 

පොලී අනුපාතික යනු මුදල් වෙළඳපොළ ගනුදෙනු සිදු කරද්දී සලකා බලනු ලබන එකම සාධකය නෙමෙයි. මුදල් ණයට දීමේ අවදානමද එහිදී සලකා බැලෙනවා. ශ්‍රී ලංකා රජය ණය පැහැර හැර ඇති තත්ත්වයක් තුළ බොහොමයක් දේශීය බැංකු වලට ණය දීම සැලකෙන්නේද ඉහළ අවදානමක් ඇති කටයුත්තක් ලෙසයි. ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීමෙන් පසුව මේ තත්ත්වය වෙනස් වේයැයි අපේක්ෂා කළ හැකියි.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ වලට ප්‍රතිචාර දක්වමින් නොවැම්බර් 27 දින පැවති භාණ්ඩගාර බිල්පත් වෙන්දේසියේදී දින-91 බිල්පත් වල ඵලදා අනුපාතික පෙර සතියට සාපේක්ෂව 0.57%කින් පහත වැටී ඇති අතර, දින 182 ඵලදා අනුපාතික 0.63%කිනුත්, දින-364 ඵලදා අනුපාතික 0.70%කිනුත් පහත වැටී තිබෙනවා. මේ අනුව, පෙනී යන්නේ පොලී අනුපාතික වල මැදිකාලීන හැසිරීම පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවන් පහත වැටෙමින් ඇති ආකාරයයි. 

භාණ්ඩාගාර බැඳුම්කර ඵලදා අනුපාතික වලද මෙම පහත වැටීම නිරූපනය වී තිබෙනු දැකිය හැකියි. නොවැම්බර් 28 දින (ඊයේ) පැවති වෙන්දේසියේදී 2028 ඔක්තෝබර්හිදී කල් පිරෙන බැඳුම්කර වෙන්දේසි වූයේ 10.62% අනුපාතිකයටයි. 

Thursday, November 28, 2024

උසස්පෙළ ප්‍රශ්නයක්!


"2023 නව මහ බැංකු පණත මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වළක්වාලනු ලැබ ඇත්තේ,

(1) මුදල් අච්චු ගැසීමෙනි 

(2) ආණ්ඩුවට සෘජුව හෝ වක්‍රව ණය ලබා දීමෙනි.

(3) ආණ්ඩුවේ බැංකුකරුවා ලෙස ඉටුකරනු ලබන කාර්යය කිරීමෙනි.

(4) මූල්‍ය ප්‍රතිපත්ති උපකරණයක් ලෙස විවට වෙළඳපොළ කටයුතු කිරීමෙනි 

(5) විදේශ විණිමය වෙළඳපොළට මැදිහත් වීමෙනි."

මෙය පාඨකයෙකු විසින් අප වෙත යොමු කර ඇති මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ එන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට පිළිතුර කුමක්ද?

නව මහ බැංකු පණතේ 37 වගන්තිය අනුව, ඉහත (5) මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක්. ඒ වගේම, 31 වගන්තිය අනුව (4) කියන්නේත් මහ බැංකුවේ ප්‍රධාන කාර්යයක්. පණතේ 81 වගන්තියෙන් (3) සඳහා ඉඩ සලසා ඇති බැවින් පිළිතුර එයද විය නොහැකියි. ඒ අනුව, "අපේක්ෂිත පිළිතුර" විය හැක්කේ (1) හෝ (2).

"මුදල් අච්චු ගැසීම" කියන එක ඇත්තටම අවුල් සහගත යෙදුමක්. එය සාමාන්‍ය භාවිතයේදී යොදා ගැනෙන යෙදුමක් මිසක් තාක්ෂණික වචනයක් නෙමෙයි. ඒ නිසා, නව මහ බැංකු පණතේ හෝ පැරණි පණතේ මේ වචනය ඒ ආකාරයෙන්ම භාවිතා කර නැහැ.

වචන වල සාමාන්‍ය අර්ථයෙන් "මුදල් අච්චු ගැසීම" කියද්දී හැඟවෙන්නේ මුදල් නෝට්ටු අච්චු ගැසීම. නව මහ බැංකු පණතේ 44 වගන්තිය අනුව මහ බැංකුවට ශ්‍රී ලංකාව තුළ මුදල් නිකුත් කිරීම සඳහා අනන්‍ය බලයක් හිමි වෙනවා. තෙවන පාර්ශ්වයක් හරහා මේ වැඩේ කරගත්තත් අදාළ කාර්යය සිදු වන්නේ මහ බැංකුවේ අභිමතය පරිදියි.

කෙසේ වුවත්, සාමාන්‍ය ව්‍යවහාරයේ "මුදල් අච්චු ගැසීම" කියා කියද්දී එයින් අදහස් වෙන්නේ මහ බැංකුව විසින් සංචිත මුදල් සැපයුම වැඩි වෙන යම් ක්‍රියාමාර්ගයන් ගැනීමයි. සංචිත මුදල් සැපයුම කියා කියන්නේ සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණයේත්, වාණිජ බැංකු හා රජය විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යන ගිණුම් ශේෂ වලත් එකතුවයි. 

මහ බැංකුව විසින් (4) හා (5) කරද්දීත්, තවත් දේවල් කරද්දීත්, සංචිත මුදල් සැපයුම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා, (1) නිවැරදි පිළිතුරක් සේ සලකන්න බැහැ. එවිට ඉතිරි වෙන්නේ (2).

නව මහ බැංකු පනතේ 86(1) වගන්තියෙහි මෙසේ සඳහන් වෙනවා.

"මහ බැංකුව විසින්, සෘජුව හෝ වක්‍රාකාරව, ආණ්ඩුව වෙත හෝ ආණ්ඩුවට අයත් යම් පොදු අධිකාරියක් වෙත හෝ වෙනත් යම් රාජ්‍ය අස්ථිත්වයක් වෙත ණය ප්‍රදානය නො කළ යුතුය."

මෙම වගන්තිය අදාළ නොවෙන ව්‍යතිරේඛ ගණනාවක් තිබුණත්, ඉහත පිළිතුරු අතරින් "වඩාත්ම සුදුසු" පිළිතුර සේ සැලකිය හැක්කේ (2) පිළිතුරයි. ආර්ථික විද්‍යා අර්ථයකින් බැලුවොත්නම්, (1), (4) හා (5) මගින් රජයට වක්‍ර ලෙස ණය දීමක් සිදු වෙන්න පුළුවන්. නමුත් මෙහිදී පිළිතුර තෝරා ගන්න වෙන්නේ පණතේ සඳහන්ව තිබෙන නිශ්චිත වචන අනුවයි.

Wednesday, November 27, 2024

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය අලුත් ක්‍රමවේදයකට!


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අලුත් ක්‍රමවේදයක් භාවිතයට ගෙන තිබෙනවා. මෙවැනි වෙනසක් කරන බව කලින්ම දැනුම් දී තිබුණා.

මෙතෙක් පැවති ක්‍රමය අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙකක් තිබුණා. ඒ නිත්‍ය ණය පොලී අනුපාතිකය හා නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකයයි. මෙතෙක් පැවති ක්‍රමය අනුව, මහ බැංකුව විසින් ඉලක්ක කළේ වෙළඳපොළ පොලී අනුපාතිකය මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක අතර මැද මට්ටමක පවත්වා ගැනීමටයි. 

අලුත් ක්‍රමය අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙකක් නැහැ. තිබෙන්නේ එකක් පමණයි. මෙම පොලී අනුපාතිකය "එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය" ලෙස නම් කර තිබෙනවා. මහ බැංකුව විසින් මින් ඉදිරියට ඉලක්ක කරන්නේ වෙළඳපොළ එක්දින පොලී අනුපාතික ඉලක්කගත නිශ්චිත මට්ටමෙහි පවත්වා ගැනීමටයි. 

අලුත් ක්‍රමය හඳුන්වා දීමට සමාන්තරව මහ බැංකුව විසින් පොලී අනුපාතික පහත හෙලීමක්ද සිදු කර තිබෙනවා. ඒ අනුව, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පවත්වා ගැනීමට අපේක්ෂා කරන්නේ 8% මට්ටමේයි. 

කෙසේ වුවත්, පෙර පැවති මහ බැංකුවේ නිත්‍ය ණය පොලී අනුපාතිකය හා නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය තවමත් පැරණි අර්ථයෙන්ම ක්‍රියාත්මකව පවතිනවා. එහෙත්, එම පොලී අනුපාතික තව දුරටත් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සේ සැලකෙන්නේ නැහැ. 

මෙයින් ඉදිරියට මහ බැංකුව විසින් ප්‍රති මිල දී ගැනීම් (රිපෝ) වෙන්දේසි කරද්දී ලන්සු පිළිගන්නේ එම ලන්සු ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා අඩුනම් පමණයි. එමෙන්ම ප්‍රති විකිණුම් (රිවර්ස් රිපෝ) ලන්සු පිලිගන්නේ එම ලන්සු ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා වැඩිනම් පමණයි. 

අලුත් ක්‍රමයේදී වෙළඳපොළ එක් දින පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වෙතට දෙපැත්තකින් තෙරපීමක් සිදු වෙනවා. ඒ නිසා, මහ බැංකුවට පොලී අනුපාතික පාලනය කිරීම වඩා පහසු වෙනවා. ඒ හේතුව නිසාම උද්ධමනය පාලනය කිරීමද වඩා පහසු වෙනවා.

මේ ප්‍රතිපත්ති වෙනස්කම (එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8% ලෙස තීරණය කිරීම) හේතුවෙන් වෙළඳපොළ පොලී අනුපාතික අඩු වශයෙන් 0.5%කින් පමණ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. 


Tuesday, November 26, 2024

ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහකරණය ඇරඹේ!


ශ්‍රී ලංකා රජය විසින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහකරණය කිරීමේ පළමු පියවර ලෙස එම බැඳුම්කර ස්වේච්ඡාවෙන් හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. බැඳුම්කර හුවමාරුව සිදු වනු ඇත්තේ ජනාධිපතිවරණයට පෙර ඇති කර ගනු ලැබූ එකඟතා මත පදනම්වයි.

ස්වේච්ඡාවෙන් බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කිරීමට සති තුනක පමණ කාලයක් ලබා දී ඇති අතර එම කාලය දෙසැම්බර් 12 දිනෙන් අවසන් වෙනවා. මේ අනුව පෙනී යන්නේ වසර අවසන් වීමට පෙර ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීම රජයේ ඉලක්කය බවයි. 

ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් ඇති කරගෙන තිබෙන එකඟතා අනුව මෙම බැඳුම්කර වලින් 50% ඉක්මවන ප්‍රමාණයක් හුවමාරු වන බව පැහැදිලි නමුත් අවම වශයෙන් බැඳුම්කර වලින් 40%ක් පමණ අයිති අනෙකුත් ණයහිමියන් එවැනි එකඟතාවයකට පැමිණ නැහැ. ඔවුන්ගේ තීරණය දැනගන්නට දෙසැම්බර් 12 දින දක්වා බලා සිටින්නට සිදු වෙනවා.

දැනටමත් නඩු මගට ගොස් සිටින හැමිල්ටන් රිසර්ව් බැංකුව වැනි පාර්ශ්ව ණය හුවමාරුව සඳහා අයදුම් නොකර මුළු මුදලම පොරොන්දු පරිදි ලබා ගැනීමට උත්සාහ කරන්නට ඉඩ තිබෙනවා. එමෙන්ම තවත් යම් පිරිසක් ඒ මගම යාමට ඉඩ තිබෙනවා.

සැලකිය යුතු පිරිසක් දෙසැම්බර් 12 දිනට පෙර ස්වේච්ඡා ණය හුවමාරුව සඳහා අයදුම් නොකළහොත් ඒ සඳහා ලබා දී තිබෙන කාලය දීර්ඝ කිරීමට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, ශ්‍රී ලංකා රජය විසින් උත්සාහ කරන්නේ ණයහිමියන් හැකි තරම් පිරිසක් ඉතා ඉක්මණින් මේ හුවමාරුවට කැමති කර ගැනීමටයි.

මේ අනුව පෙනී යන්නේ "වෙනත් ණය ප්‍රතිව්‍යුගත කිරීම් වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව අවාසිදායක ගනුදෙනුවකට යාම" "පිළිකුල් සහගත (odious) ණය නොගෙවා සිටීම" වැනි පූර්ව-මැතිවරණ ජනප්‍රිය තර්ක වත්මන් පරිපාලනය විසින් බැහැර කර ඇති බවයි. මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන ඇමතිද වන ජනාධිපති අනුර දිසානායක මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ සඳහන් කර තිබෙනවා. 

"අද දින නිල වශයෙන්නි නිවේදනය කෙරෙන පෞද්ගලික ණයහිමියන් සමඟ වූ මෙම ණය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ශ්‍රී ලංකාවට ඉතා වැදගත් සන්ධිස්ථානයක්. මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ විදේශ ණයහිමියන්ට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ යහපත් චේතනාවෙන් මේ සම්බන්ධව අප සමඟ හෙට්ටු කළ ණයහිමියන්ගේ නිල කමිටුවට අපට මේ සන්ධිස්ථානයට පැමිණීමට උදවු කිරීම පිළිබඳව අප ස්තුතිවන්ත වෙනවා. ...මෙය ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට දීප්තිමත් අනාගතයක් කරා යාමට මංපෙත් විවර කිරීමට නියමිතයි."

Sunday, November 24, 2024

Fiscal Situation at the End of the Third Quarter


Overview

Following the announcement of the most recent general election, the Secretary to the Treasury issued the Pre-Election Budgetary Position Report, as mandated by the recently enacted Public Financial Management Act. This report provided a comprehensive overview of the fiscal situation as of the end of August.

Subsequently, fiscal data for the end of September was released, indicating further improvements in Sri Lanka’s fiscal position during that month. Under its agreement with the Sri Lankan government, the International Monetary Fund (IMF) has set operational targets for each quarter as part of the ongoing economic stabilization program. The end-September fiscal data enables direct comparison with these targets.


Tax Revenue

The government’s tax revenue target for the third quarter of 2024, as determined during the IMF’s second review, was LKR 2,400 billion. Actual collections exceeded this target, reaching LKR 2,688.57 billion—an increase of LKR 288.57 billion (12.0%). This performance underscores enhanced tax collection efficiency. Compared to the same period in the previous year, tax revenue rose by an impressive 39.0%.


Total Revenue

During the first three quarters of 2024, non-tax revenue amounted to LKR 229.73 billion, reflecting a 30.2% year-over-year increase. Additionally, grants received by the government grew by 14.6%. Consequently, total government revenue for the period reached LKR 2,918.31 billion, marking a 38.3% increase. Including grants, total receipts amounted to LKR 2,927.79 billion, up 38.2%.

The prior administration had planned to revise personal income tax brackets to capitalize on this over-performance, with the IMF expressing agreement. The interim budget to be proposed by the new government will clarify how they will take advantage of this situation.


Expenditure

Total government expenditure for the first three quarters was LKR 3,897.77 billion, reflecting a 4.4% year-over-year increase. Capital expenditure totaled LKR 463.19 billion (up 14.5%), while recurrent expenditure grew by 3.2%.

Recurrent expenditure of LKR 3,434.58 billion included LKR 1,754.88 billion in interest payments, which rose by 1.0%. Excluding interest payments, total expenditure increased to LKR 2,142.89 billion, reflecting a 7.4% rise. This is noteworthy when compared to the 38.3% growth in state revenue, signifying considerable progress in fiscal management.

The IMF sets expenditure limits relative to state revenue. Based on actual revenue collections, the government could have spent up to LKR 2,488.57 billion (excluding interest payments). However, actual expenditure was 13.9% below this ceiling.


Primary Budget Surplus

Stronger-than-expected tax revenues (12.0% above the target) and lower-than-expected expenditures (13.9% below the target) yielded a primary budget surplus of LKR 784.89 billion for the first nine months—significantly surpassing the target of LKR 220 billion. The previous administration intended to allocate part of this surplus to public sector salary increases.


Future Outlook and Policy Options

The IMF requires Sri Lanka to achieve a primary surplus of LKR 300 billion by year-end. If the current trend persists, the surplus could exceed LKR 1 trillion. The new government has several options for utilizing this surplus:

  1. Introduce Tax Concessions:
    Reducing tax rates would lower the primary surplus. However, this politically appealing option which provides immediate relief to taxpayers could jeopardize revenue targets in future years.
  2. Increase Expenditure:
    Enhancing public expenditure, such as raising public sector salaries as planned by the previous government or investing in education and healthcare as promised in the election manifesto of this government, would reduce the surplus while maintaining revenue levels. As most health and education expenses pertain to salaries, raising public sector salaries would also allow the government to claim increased allocations for health and education.
  3. Maintain Current Surplus Levels:
    Preserving a substantial primary surplus would help reduce public debt and interest burdens faster, fostering long-term economic stability and growth. Despite a substantial primary surplus, the total budget balance remains a high deficit due to interest payments. Maintaining fiscal discipline would gradually lower borrowing needs, reduce interest rates, and stimulate private sector investment—ultimately driving economic growth. This will also induce a favorable spiral effect on government’s budget.

Conclusion

Fiscal management decisions, however, will ultimately align with the political priorities of the new administration. These strategies will become evident with the presentation of the interim budget proposals.

#Economatta

තෙවන කාර්තුව අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණතේ නියෝග අනුව, පසුගිය මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා. එම වාර්තාවෙහි අගෝස්තු මාසය අවසන් වන විට පැවති රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳව විස්තරාත්මක තොරතුරු අඩංගු වුනා.

ඉහත වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මේ වෙද්දී, සැප්තැම්බර් මාසය අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරුද ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව, පෙනී යන්නේ සැප්තැම්බර් මාසය තුළ ශ්‍රී ලංකා රජයේ රාජ්‍යමූල්‍ය තත්ත්වය තවත් හොඳ අතට හැරී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාර්ව ආර්ථික මෙහෙයුම් ඉලක්ක ලබා දී තිබෙන්නේද එක් එක් කාර්තුවේ අවසානය සඳහා බැවින් ඉහත සංඛ්‍යාලේඛණ ස්ථායීකරණ වැඩ සටහනෙහි ඉලක්ක සමඟ සෘජුව සැසඳිය හැකියි.

බදු ආදායම 

දෙවන විමර්ශනයේදී අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා අනුව 2024 තෙවන කාර්තුව අවසානයේදී රජයේ බදු ආදායම අවම වශයෙන් රුපියල් බිලියන 2,400ක් විය යුතුයි. එහෙත් රජය විසින් සැබෑවටම එකතු කරගෙන තිබෙන බදු ආදායම රුපියල් බිලියන 2,688.57ක්. මෙයින් පෙනී යන්නේ පසු ගිය කාලය තුළ බදු එකතු කර ගැනීමේ ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම වී ඇති ආකාරයයි. 

තෙවන කාර්තුව අවසානයේ රජයේ බදු ආදායම රුපියල් බිලියන 288.57කින් හෙවත් 12.0%කින් ඉලක්කය ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම පසු ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව බදු ආදායමෙහි 39.0%ක වර්ධනයක් දැකිය හැකියි.

සමස්ත ආදායම 

වසරේ මුල් කාර්තු තුන ඇතුළත බදු නොවන ආදායම් ලෙස රුපියල් බිලියන 229.73ක් එකතු වී ඇති අතර මෙය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 30.2%ක වර්ධනයක්. මීට අමතරව ශ්‍රී ලංකා රජයට ලැබුණු ප්‍රදාන වලද 14.6%ක වර්ධනයක් දැකිය හැකියි. මේ අනුව පළමු කාර්තු තුනේ රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 2,918.31 දක්වා 38.3%කින් ඉහළ ගොස් ඇති අතර සමස්ත ලැබීම් රුපියල් බිලියන 2,927.79 දක්වා 38.2%කින් ඉහළ ගොස් තිබෙනවා.

ඉහත තත්ත්වය සැලකිල්ලට ගනිමින් පසුගිය ආණ්ඩුව විසින් පුද්ගල ආදායම් බදු සීමා ලිහිල් කිරීමක් යෝජනා කර ඒ සඳහා මූල්‍ය අරමුදලේ අනුමැතියද ලබා ගෙන තිබුණා. මේ හා අදාළව අලුත් ආණ්ඩුවේ ප්‍රවේශය පිළිබඳව දැනගත හැකි වනු ඇත්තේ අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුවයි. 

සමස්ත වියදම 

වසරේ පළමු කාර්තු තුන ඇතුළත රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3,897.77ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව 4.4%ක ඉහළ යාමක්. එයින් රුපියල් බිලියන 463.19ක් ප්‍රාග්ධන වියදම් වන අතර එම වියදම් 14.5%කින් වර්ධනය වී තිබෙනවා. පුනරාවර්තන වියදම් වර්ධනය වී තිබෙන්නේ 3.2%කින් පමණයි. 

රුපියල් බිලියන 3,434.58ක් වන පුනරාවර්තන වියදම් වලින් රුපියල් බිලියන 1,754.88ක්ම වැය වී තිබෙන්නේ පොලී ගෙවීම පිණිසයි. පොලී වියදම් 1.0%කින් ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව, පොලී වියදම් හැර රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 2,142.89ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙය 7.4%ක වර්ධනයක්. මෙම වර්ධනය රාජ්‍ය ආදායමෙහි 38.3%ක වර්ධනය හා සැසඳූ විට පසුගිය මාස නවය තුළ රාජ්‍යමූල්‍ය කළමණාකරණයේ කාර්ය සාධනය පැහැදිලි ලෙස කැපී පෙනෙනවා. 

මූල්‍ය අරමුදල විසින් රාජ්‍ය වියදම් ඉලක්ක සකස් කර තිබෙන්නේ රාජ්‍ය ආදායමට සාපේක්ෂවයි. ලබා ඇති රාජ්‍ය ආදායම අනුව, රජයට උපරිම වශයෙන් රුපියල් බිලියන 2,488.57ක මුදලක් පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් සඳහා වැය කළ හැකිව තිබුණා. එහෙත් රජය විසින් වැය කර ඇත්තේ ඊට වඩා 13.9%කින් අඩු මුදලක්.

ප්‍රාථමික අයවැය ශේෂය 

ඉහත සඳහන් කළ පරිදි රජයේ බදු ආදායම් ඉලක්ක ඉක්මවා 12.0%කින් ඉහළ යාමත්, රාජ්‍ය වියදම් ඉලක්කයට වඩා 13.9%ක් අඩුවෙන් පැවතීමත් නිසා ඉලක්කගත ප්‍රාථමික අයවැය අතිරික්තය වූ රුපියල් බිලියන 220ට සාපේක්ෂව පළමු මාස නවය ඇතුළත රුපියල් බිලියන 784.89ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. පැවති ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සැලසුම් කළේ මෙම අතිරික්ත අතිරික්තය සැලකිල්ලට ගනිමිනුයි.

ඉදිරි කාර්තුව හා ඉදිරි ක්‍රියාමාර්ග

අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක අනුව, වසර අවසාන වන විට ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 300ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත යුතුයි. එහෙත්, මේ වන විටද ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 784.89 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට පවතින ප්‍රවණතාව අනුව, වසර අවසන් වන විට මෙම අතිරික්තය රුපියල් බිලියන 1000 ඉක්මවීම පහසුවෙන්ම සිදු විය හැකි දෙයක්. 

මේ තත්ත්වය හමුවේ අලුත් ආණ්ඩුවට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කිහිපයක්ම තිබෙනවා. පළමුවැන්න යම් බදු සහන ලබා දීමයි. එහිදී රාජ්‍ය ආදායම් අඩු වී ප්‍රාථමික අයවැය ශේෂය අඩු වෙනවා. එහෙත් මෙය අවදානම් කටයුත්තක් වන්නේ අරමුදල විසින් මේ වර්ෂය සඳහා ලබා දී ඇති රාජ්‍ය ආදායම් ඉලක්ක ඉක්මවූවද, දිගුකාලීනව රාජ්‍ය ආදායම් තව දුරටත් වැඩි කරගත යුතුව ඇති නිසා. එමෙන්ම, මෙවැන්නක් කිරීම රාජ්‍ය අංශය ප්‍රසාරණය කිරීමේ අලුත් ආණ්ඩුවේ දේශපාලන ඉලක්ක සමඟද ගැලපෙන්නේ නැහැ.

දෙවන විකල්පය වන්නේ පසුගිය ආණ්ඩුව විසින් සැලසුම් කර තිබුණු පරිදි රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම වැනි ක්‍රමයකින් වියදම් වැඩි කිරීමයි. එහෙත් එසේ නොකර අධ්‍යාපනය, සෞඛ්‍යය හෝ වෙනත් එවැනි අංශ වල ප්‍රාග්ධන වියදම් වැඩි කිරීමේ හැකියාවක්ද තිබෙනවා. රජයේ අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් වලින් වැඩි කොටසක්ද  රාජ්‍ය සේවක වැටුප්ම බැවින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම මගින්ද අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් ඉහළ දැමූ බව පෙන්විය හැකියි. දැනට රජයේ අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් වල සැලකිය යුතු වර්ධනයක් නොපෙනීමට ප්‍රධාන හේතුවක් වන්නේ රාජ්‍ය සේවක වැටුප් වැඩි නොවීමයි.

තෙවන විකල්පය වන්නේ ආදායම් අඩු කර නොගෙන හා වියදම් වැඩි කර නොගෙන ප්‍රාථමික අයවැය අතිරික්තය ඉහළ මට්ටමක පවත්වා ගනිමින් රජයේ ණය බර අඩු කරගැනීමයි. දිගුකාලීනව බලන්නේනම් හොඳම ප්‍රවේශය වන්නේ මෙයයි.

රජය විසින් සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තද, පොලී වියදම් ඊට වඩා වැඩි බැවින් තවමත් සමස්ත අයවැය ශේෂය විශාල හිඟයක්ව පවතිනවා. ඒ නිසා රජයට තව දුරටත් දිගින් දිගටම ණය වීමට සිදු වී තිබෙනවා. හැකි තරම් මුදලක් පොලී ගෙවීම් වෙනුවෙන් වෙන් කිරීම මගින් ණය ගෙවීම සඳහා අලුතෙන් ණය ගන්නට සිදු වීම කෙසේ වුවත්, පොලී ගෙවීම සඳහා අලුතෙන් ලබා ගත යුතු ණය ප්‍රමාණය සීමා කරගත හැකියි. 

දිගින් දිගටම දැනට පවතින මට්ටමේ හෝ ඊට වඩා වැඩි ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත හැකිනම් රජයේ ණය අවශ්‍යතාවය ක්‍රමයෙන් පහත වැටෙන නිසා වෙළඳපොළ ණය සැපයුමට සාපේක්ෂව ණය ඉල්ලුම පහත වැටී පොලී අනුපාතිකද පහත වැටෙනවා. පොලී අනුපාතික පහත වැටෙන තරමට රජයේ පොලී වියදම් අඩු වී සමස්ත අයවැය ශේෂය හොඳ අතට හැරෙනවා. අනෙක් පැත්තෙන් අඩු පොලී අනුපාතික නිසා පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් වීම ආර්ථික වර්ධනය කෙරෙහි සාධනීය බලපෑමක් කරන නිසා අවසාන වශයෙන් රජයේ බදු ආදායම් වඩා වේගයෙන් ඉහළ යනවා.

කෙසේ වුවත්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය පිළිබඳව තීරණ ගත හැක්කේ රටේ දේශපාලන අධිකාරියට වන අතර ඔවුන් එම තීරණ ගනු ඇත්තේ තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති හා ගැලපෙන ආකාරයටයි. අතුරු අයවැය යෝජනා ඉදිරිපත් වෙද්දී මෙම ප්‍රතිපත්ති වඩා පැහැදිලිව ප්‍රදර්ශනය වෙයි. 

Saturday, November 23, 2024

තෙවන විමර්ශනය අවසන් වෙයි!


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන විමර්ශනය මේ වන විට අවසන්ව ඇති අතර ඒ මත පදනම්ව නිලධාරී මට්ටමේ එකඟතාවයක් ඇති කර ගෙන තිබෙනවා. නිලධාරී මට්ටමේ එකඟතාවයක් පසුව අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීම සාමාන්‍ය තත්ත්වයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟතා ඇති කරගන්නේ සහ ගිවිසුම්ගත වන්නේ ශ්‍රී ලංකා රජය සමඟ මිස රනිල් වික්‍රමසිංහ හෝ අනුර කුමාර දිසානායක සමඟ නෙමෙයි. එහෙත් මෙවැනි එකඟතාවයකදී රටේ දේශපාලන අධිකාරිය සිටින ස්ථාවරය ඉතා වැදගත්.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මුලින්ම ගිවිසුම්ගත වෙද්දී රටේ රාජ්‍ය නායකයාව සිටියේ රනිල් වික්‍රමසිංහයි. මේ හා අදාළව, විශේෂයෙන්ම විපක්ෂ කණ්ඩායම් වල, විවේචනයක් වූයේ රට වෙනුවෙන් මෙම ගිවිසුමට එළැඹෙන්නේ ජනමතයක් නොමැති ආණ්ඩුවක් බවයි. 

පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහජන ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ අතර ඉන් පසුව පැවති මහ මැතිවරණයෙන් ඔහුගේ පක්ෂයට විශාල ජනවරමක් ලැබුණා. දැන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වන්නේ එසේ විශාල ජනවරමක් ලැබූ ආණ්ඩුවක් යටතේයි. ඒ නිසා, මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියට යාම සදහා ජනමතය ලැබීමක් ලෙසද සැලකිය හැකියි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සිතන ආකාරය පිළිබඳව පසු ගිය දිනෙක ඔහු විසින්ම පැහැදිලිව ප්‍රකාශ කර තිබුණා.

"අප ජනාධිපතිවරණයේ දී ප්‍රකාශයට පත් කර තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණෙන ලද රාජ්‍යයක් තමයි අපට ලැබෙන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් තිබෙන රාජ්‍යයක, එම එකඟතාව බිඳ වට්ටා අපට ඉදිරි ගමනක් නැති බව අප තේරුම්ගෙන ඇති බව. ඒ අනුව අප ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ජනතාවට පොරොන්දුවක් දුන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන මෙම එකඟතාවන්ට අනුරූපවන පරිදි ආර්ථිකය හැසිරවීමට අප සූදානම් බව."

මෙවර මහ මැතිවරණ ප්‍රතිඵලය මාලිමා කණ්ඩායමේ ඉහළ ස්ථරය ඇතුළු බොහෝ දෙනෙකුට සාපේක්ෂව අපේක්ෂාවන් ඉක්මවා ගිය තත්ත්වයක් වුවත්, ආණ්ඩුව පිහිටුවන්නේ එම කණ්ඩායම විසින් බව සිහි බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට ජනාධිපතිවරණයෙන් පසුව සක් සුදක් සේ පැහැදිලිව තිබුණු කරුණක්. එම විශ්වාසය මත පදනම්ව, එමෙන්ම සිදු විය යුතු පරිදි, මහ මැතිවරණයට පෙර සිටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ඇති කර ගැනීම සඳහා පසුබිම සැකසෙමින් පැවතුණා. මැතිවරණය අවසන් වූ වහාම තෙවන විමර්ශනයද අවසන් වන්නේ එසේ සියල්ල කලින්ම සැලසුම්ව පැවති බැවිනුයි.

දැන් පවතින දේශපාලන වාතාවරණය තුළ ස්ථායීකරණ වැඩපිළිවෙළ බාධාවකින් තොරව දිගටම ඉදිරියට යාමේ විභවය වඩා පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව අනුර කුමාර දිසානායක හොඳ මහජන සන්නිවේදකයෙකු වීමද වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී වාසිදායක සේ බලපානවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුවත්පත් නිවේදනය මිස විමර්ශන වාර්තාව තවමත් ප්‍රසිද්ධියට පත් කර නැහැ. අදාළ එකඟතා පිළිබඳ නිශ්චිත තොරතුරු ඇතුළත්ව තිබෙන්නේ එම විමර්ශන වාර්තාවේයි.

වැඩසටහනේ මෙතෙක් ප්‍රගතිය පිළිබඳව අරමුදල මෙසේ පවසනවා.

“සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර 2024 ජූනි මස අවසානයට මෙන්ම  සැප්තැම්බර් මස අවසානයට අදාළ සියලු ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක සපුරා ගැනීමත් සමග වැඩසටහන් කාර්ය සාධනය ශක්තිමත් විය. 2024 ඔක්තෝබර් මස අවසානයට පෙර සිදු කිරීමට නියමිතව පැවැති බොහෝ ව්‍යුහාත්මක මිනුම් දඬු නිසි කලට සම්පූර්ණ කර හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත; මැතිවරණ ක්‍රියාවලිය හේතුවෙන්  ඇතැම් මිනුම් දඬු සපුරා ගැනීම ප්‍රමාද විය."

ඒ සමඟම අරමුදල විසින් යෝජිත ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමේ වැදගත්කම අවධාරණය කරනවා.

"වැඩසටහනේ අරමුණු සඳහා නව රජයේ කැපවීම, විශ්වසනීයත්වය වර්ධනයකර ඇති අතර ප්‍රතිපත්ති අඛණ්ඩතාව සහතික කරයි. මේ දක්වා වැඩසටහන යටතේ අත් පත් කරගත් දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමට සහ ආර්ථිකය කල් පවත්නා පරිදි යථා තත්ත්වයට පත්වීමක් හා ස්ථාවර මෙන්ම සැමට ප්‍රතිලාභ සැලසෙන වර්ධන මාවතක් කරා ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තිරසාර ලෙස පවත්වා ගැනීම ඉතා වැදගත් වේ" 

මෙහි සඳහන් අපේක්ෂිත ප්‍රතිතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ නිශ්චිත තොරතුරු කාර්ය මණ්ඩල විමර්ශන වාර්තාව ප්‍රසිද්ධ කිරීමෙන් පසුව දැනගත හැකි වනු ඇති අතර බොහෝ විට මුල් එකඟතා වලින් එතරම් වෙනස් නොවිය හැකියි. 

ඇතිකරගත් කාර්ය මණ්ඩල එකඟතාවය සඳහා අධ්‍යක්ෂ්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමටනම් ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ප්‍රධාන කරුණු දෙකෙක් ඉටුවිය යුතුයි. එයින් පළමුවැන්න වැඩසටහනේ පරාමිතීන් හා ගැලපෙන පරිදි 2025 අයවැය ලේඛණය සකස් කිරීමයි. දෙවැන්න විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමයි.

“පහත සඳහන් කරුණු සපුරාලීම මත මෙම කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය සඳහා ඉදිරි කාල සීමාව තුල ජා. මූ. අරමුදලෙහි කළමනාකාරිත්වය සහ එහි විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇත: (i) බලධාරීන් විසින් වැඩසටහන් අරමුණුවලට අනුකූල වන පරිදි 2025 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීම ඇතුළු පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම; සහ (ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්යේ කැපවූ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ ණය ප්‍රතිවුහගත කිරීම නියමිත වේලාවට සහ වැඩසටහයන් ණය ඉලක්කයට අනුකූලව අවසන් වනු ඇති බවට විශ්වාසයක් ලබා දීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කරන මූල්‍යන සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම."

මේ අනුව, 2025 අයවැයෙහි මූලික පරාමිතීන් මේ වන විටද තීරණය වී අවසන්. එහෙත්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශය අනුව ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ මුලින් මාස හතරක කාලයක් සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කොට 2025 මාර්තු මාසයේදී අයවැය සම්මත කර ගැනීමටයි. 

"අපට ඉක්මණින් අය වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් නැහැ. ඉදිරි මාස 04ක් සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා දෙසැම්බර් මාසයේ මුල අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. පෙබරවාරි මාසයේ මුල වන විට අය වැය ලේඛනය ඉදිරිපත් කර මාර්තු මාසයේ සම්මත කර ගැනීමට අප අපේක්ෂා කරනවා."

මෙම තීරණයට ආර්ථික, දේශපාලන මෙන්ම ප්‍රායෝගික හේතු පාදක වී ඇතැයි සිතිය හැකියි. ඉතා ඉක්මණින් අයවැයක් සකස් කළහොත් එමගින් කිසිදු කැපී පෙනෙන වෙනස් කමක් කිරීමේ ඉඩක් අලුත් ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ. ඇතැම් විට එහිදී ජනප්‍රිය නොවන තීරණ ගන්නට වුවත් සිදු විය හැකියි. මෙම කාලය ඇතුළත පළාත් පාලන මැතිවරණ පවත්වා අවසන් වනු ඇති අතර එය ආණ්ඩුවට දේශපාලනික අවදානමක් මග හැර යාමට ඉඩ සලසනවා. 

කෙසේ වුවත්, ආණ්ඩුවේ පැත්තෙන්, එම දේශපාලනික හේතුව හැර තවත් හේතු ගණනාවක් තිබෙනවා. පළමුව, දෙසැම්බර් පමණ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත සාර්ථක ලෙස අවසන් කරනු ලැබුවහොත් ඉන් අනතුරුව දැනට පවතින ඇතැම් අවිනිශ්චිතතාවයන් ඉවත් වී යනවා. ඒ හා සමඟම වාහන ආනයනය සඳහා ඉඩකඩ විවෘත කළහොත් විණිමය වෙළඳපොළ තුලනය පිළිබඳ වඩා නිවැරදි අදහසක් ලබා ගත හැකියි.

ඉහත කරුණු වලට අමතරව, මේ ආණ්ඩුවට ලැබුණේ කාර්ය සාධන ඉලක්ක ඉක්මවා ආදායම් ඉලක්ක සපුරාගෙන හා වියදම් සීමා කරගෙන ඇති රාජ්‍යමුල්‍ය ගිණුමක්. එහි වාසිය හරියටම ගණන් බැලිය හැක්කේ වසර අවසාන වීමෙන් පසුවයි. එමෙන්ම ඒ වෙද්දී දළ දේශීය නිෂ්පාදිතය සම්බන්ධ වඩා නිවැරදි ඇස්තමේන්තුද ලැබෙනවා. ඒ නිසා, දැනට පවතින තත්ත්වයට සාපේක්ෂව ඉදිරි වසරේ පෙබරවාරි මාසය වන විට මේ ආණ්ඩුවට, අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවය තුළ රැඳී සිටින අතරම, කවර හෝ වෙනස්කමක් සහිතව අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා වැඩි අවකාශයක් ලැබෙනවා.

Wednesday, November 20, 2024

නිවුයෝර්ක් අධිකරණයෙන් තවත් දින දහයක්!


ශ්‍රී ලංකාවට එරෙහිව හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් නිවුයෝර්ක්හි අධිකරණයක ගොනු කොට ඇති නඩුව විභාගයට ගැනීම තෙවන වරටද තාවකලිකව අත් හිටවා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රජය විසින් එම අධිකරණයෙන් කර ඇති ඉල්ලීමකට අනුවයි. කෙසේ වුවද, මෙවර අදාළ නඩුව විභාගයට ගැනීම අත් හිටුවා තිබෙන්නේ ඉතා කෙටි කාලයකටයි. එනම්, මෙම නොවැම්බර් මාසය අවසන් වන තුරු පමණයි.

හැමිල්ටන් රිසර්ව් බැංකුව සහ එම බැංකුව වෙත බලය පවරා ඇති අනෙකුත් පාර්ශ්ව වෙත ශ්‍රී ලංකා රජය විසින් ස්වෛරිත්ව බැඳුම්කර වල මුහුණත අගය ලෙස ඩොලර් 242,990,000ක් සහ කූපන් පොලිය ලෙස ඩොලර් 7,137,831.25ක් වශයෙන් ඩොලර් මිලියන 250ක් පමණ මුදලක් ආපසු ගෙවිය යුතුයි. එම බැංකුව විසින් අදාළ මුදල ලබා ගැනීම සඳහා අධිකරණ සහාය අපේක්ෂා කරනවා.

මෙම නඩුව විභාගයට ගැනීමට පෙර ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා අදාළ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. එහෙත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා බාධාවක් වන බැවින් නඩුවේ තීන්දුව ලබා දීම ප්‍රමාද කරන මෙන් 2023 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව විසින් කළ ඉල්ලීම එම අධිකරණය විසින් පිළිගත්තා. මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ වාසියට ලැබුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ රජය විසින් (නීතිපති) මෙන්ම එක්සත් රාජධානිය හා ප්‍රංශයද අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නිසයි. මේ අනුව 2024 පෙබරවාරි මාසය තෙක් මාස හතරක පමණ කාලයකට නඩු තීන්දුවක් ලබා දීම ප්‍රමාද කළ නමුත් ඒ වන තුරුද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වුනේ නැහැ. 

පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව විසින් මෙම වාරණ නියෝගයේ කාලය තවත් මාස පහකින් දීර්ඝ කරන මෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව දෙවන වරටද නඩුව විභාගයට ගැනීම කල් තබනු ලැබුවා. දැන් නැවත වරක් නඩුව විභාගයට ගැනීම කල් දමා තිබෙනවා. එහෙත්, එසේ කල් දී තිබෙන්නේ මෙම නොවැම්බර් මාසය අවසන් වන තුරු පමණයි.

හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් පසුගිය ඔක්තෝබර් 1 දින අධිකරණයට ලිපියක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබුනේ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපති සේ තේරී පත්වීම හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය ප්‍රමාද වනු ඇති බවයි. එහෙත්, මෙයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය විසින් ඔක්තෝබර් 4 වන දින එම අධිකරණයට දැනුම් දුන්නේ නව රජය විසින්ද හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය අවසන් කිරීමට කටයුතු කරනු ඇති බවයි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතා අනුව දිගටම කටයුතු කෙරෙනු ඇති බවයි. නිවුයෝර්ක් අධිකරණය විසින් මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන තිබෙනවා. එමෙන්ම මෙතෙක් නඩුව විභාගයට ගැනීම කල් දැමීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සාර්ථක ලෙස ඉදිරියට යාමට උදවු වී ඇති බවද එම අධිකරණය විසින් නිගමනය කර තිබෙනවා.

හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් කර ඇති එක් ඉල්ලීමක් වන්නේ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය අවසන් කළද ඔවුන්ට ලැබිය යුතු මුදල් කිසිදු අඩුවක් නොමැතිව ආපසු ගෙවන බවට ශ්‍රී ලංකා රජය විසින් සහතිකයක් ලබා දිය යුතු බවයි. එහෙත්, අධිකරණය විසින් ශ්‍රී ලංකාවට එවැනි කොන්දේසියක් පනවා නැහැ.

ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය හා අදාළ එකඟතා සියල්ල මේ වන විට අවසන්ව ඇති අතර දැන් ශ්‍රී ලංකා පාර්ශ්වයට අවශ්‍යව තිබෙන්නේද මේ කටයුත්ත ඉක්මණින් අවසන් කර ගැනීමටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විමර්ශනය අවසන් වූ පසුව මෙම කටයුත්ත මීළඟ අදියරට යනු ඇතැයි සිතිය හැකියි. කෙසේ වුවත්, හැමිල්ටන් රිසර්ව් බැංකුවේ නඩුව විභාගයට නොගැනීම සඳහා දැනට ඉතිරිව තිබෙන්නේ දින දහයක කාලයක් පමණක් බැවින්, ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියේ ඊළඟ අදියර ඉතා ඉක්මණින් ආරම්භ නොවුවහොත් ශ්‍රී ලංකාවට තවත් වරක් ප්‍රස්තුත අධිකරණය වෙත යන්නට සිදු විය හැකියි. 

Tuesday, November 19, 2024

කොළඹට පෙනෙන සමනල කන්ද...

 


කොළඹ ආසන්න මුහුදේ සිට කැමරා ඇසට අසු කර ගත් දර්ශනීය ඡායාරූපයක් මේ දවස් වල වත්පොතේ සංසරණය වෙනවා. එම ඡායාරූපය පසුබිමෙහි සමනල කන්ද ඉතා දර්ශනීය ලෙස දැකගත හැකියි. (ඡායාරූපයේ අයිතිය හා ඒ පිළිබඳ ගෞරවය එහි හිමිකරුට). 

කොළඹට පෙනෙන සමනල කන්දේ මනරම් දසුන සියවස් ගණනාවක් පුරා ලංකාවට පැමිණි නාවිකයින් හා සංචාරකයින් කුල්මත් කළ දසුනක්. මේ ගැන බොහෝ දෙනෙකු විසින් සටහන් කර තිබෙනවා. ඒ අතරින් එක් අයෙකු වන්නේ නෙලී බ්ලයි යන අන්වර්ථ නාමයෙන් ලියූ එලිසබෙත් ජේන් කොක්‍රේන් නම් නිවුයෝර්ක් වර්ල්ඩ් පුවත්පතේ මාධ්‍යවේදිනියයි.

එලිසබෙත් ජේන් කොක්‍රේන් 1889 නොවැම්බර් 14 වනදා තනිවම ලෝකය වටා චාරිකාවක් ආරම්භ කර දින 72කින් මේ චාරිකාව අවසන් කරනවා. එය එවකට ලෝක වාර්තාවක්. මෙම චාරිකා විස්තරය "ලෝකය වටා දින හැත්තෑ දෙකකින්" නමින් 1890 වසරේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

අපේ මේ කථානායිකාවගේ ගමනේ අරමුණ වුනේ 1872දී පළ වූ ජූර්ස් වර්න්ගේ "ලෝකය වටා දින අසූවකින්" ප්‍රබන්ධය සැබෑවක් කිරීමයි. සමහර ප්‍රබන්ධ වලින් ලෝකයට සැබෑ බලපෑමක් කළ හැකියි. 

ඔගස්ටා වික්ටෝරියා නෞකාවෙන් නිවුයෝර්ක් සිට ගමන් අරඹන අපේ කථානායිකාව රටවල් ගණනාවක් පසු කර සැලසුම් කළ දිනට දින දෙකකට පෙර 1889 දෙසැම්බර් 8 වන දින උදේ නවය වෙද්දී කොළඹ වරායට සේන්දු වෙනවා. ඈ නවතින්නේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ. චීනය බලා පිටත් වීමට පෙර ඈ දින පහක් කොළඹ නැවතී සිටිනවා. මේ දවස් පහ තුළ ඈ විසින් ලංකාව පිළිබඳ බොහෝ දේ දැක බලාගෙන වාර්තා කර තිබෙනවා.

"With all our impatience we could not fail to be impressed with the beauties of Colombo and the view from the deck of our incoming steamer. As we moved in among the beautiful ships laying at anchor, we could see the green island dotted with low arcaded buildings which looked, in the glare of the sun, like marble palaces. In the rear of us was the blue, blue sea, jumping up into little hills that formed into snow drifts which softly sank into the blue again. Forming the background to the town was a high mountain, which they told us was known as Adam's Peak."

"ගොඩබිමකට සේන්දු වන තුරු දින ගණනාවක් නොඉවසිල්ලෙන් බලා සිටි අපට අපේ දුම්නැවෙහි නැව් තට්ටුවට දර්ශනය වන කොළඹ නගරයෙහි මනරම් දර්ශනයෙන් වශී නොවී සිටිය නොහැකි විය. වරායෙහි නැංගුරම් ලා තිබූ දර්ශනීය නැව් අතරින් අපේ නැව රිංගා යද්දී, හිරු රශ්මිය වැදී කිරිගරුඬ මාලිගා සේ දිස් වූ ආරුක්කු ගොඩනැගිලි තැනින් තැන විසිරී තිබුණු මේ හරිත දිවයින අපට වඩා හොඳින් දැකගත හැකි විය. අප පසුපස වූයේ සුදු හිම කඳු රටා මවමින් හිතුවක්කාරී ලෙස වරින් වර අහසට පනින, නැවත මෘදු ලෙස නිල් පැහැය තුළ ගිලී සැඟවී යන, විසල් සාගර තලයයි. නගරය පසුබිමෙහි දැකිය හැකි වූයේ ආදම්ගේ කන්දයැයි හඳුන්වන බව පැවසුණු උස් කන්දයි."

මේ ඡායාරූපය දකිද්දී වසර 135කට පෙර ජේන් කොක්‍රේන්ට පෙනුණු කොළඹ නගරයේ දසුන මනසෙහි චිත්‍රනය නොවන්නේද?

Tuesday, November 12, 2024

දේශපාලන මාලිමාව

ඔබ දරන දේශපාලනික අදහස් අනුව, ද්විමාන සමාජ-ආර්ථික දේශපාලන අවකාශය තුළ ඔබ මතවාදී ලෙස ස්ථානගත වී සිටින ආකාරය දැන ගැනීමට ඔබට අවශ්‍යද?

The Political Compass වෙබ් අඩවියෙන් මෙම පරීක්ෂණය කර ගත හැකියි.

(https://www.politicalcompass.org/test)

මෙහි සිංහල සංස්කරණයක් පහත සබැඳියේ තිබෙනවා. මේ හා අදාළ ඔබේ ප්‍රතිචාර දැන ගැනීමට කැමතියි.

(https://pihituma.blogspot.com/2024/11/maliwawa.html)

Monday, November 11, 2024

තෙල් සංස්ථාවේ පසුගිය වසරේ ලාබ


තෙල් සංස්ථාව මේ දවස් වල බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබෙන තවත් ආයතනයක්. විශේෂයෙන්ම තෙල් සංස්ථාවේ පසුගිය වසරේ ලාභය හා එම ලාභය පාරිභෝගිකයින් වෙත බෙදා හැරීමේ හැකියාව පිළිබඳව.

පසුගිය වසරේදී තෙල් සංස්ථාව රුපියල් මිලියන 120,346ක ලාභයක් වාර්තා කර තිබෙනවා. ඒ, ඊට පෙර (2022) වසරේදී රුපියල් මිලියන 617,689ක දැවැන්ත අලාභයක් වාර්තා කිරීමෙන් පසුවයි. 2022 වසර අවසන් වෙද්දී තෙල් සංස්ථාවේ සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 1,032,316ක්ව පැවතුනා. මේ වන විට එම අලාභය රුපියල් මිලියන 912,113 දක්වා අඩු වී තිබෙනවා. එසේ අඩු වූ ආකාරය පසුව විස්තර කරන්නම්.

රුපියල් මිලියන 1,032,316ක සමුච්ඡිත අලාභයක් කියා කියන්නේ 2022 වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.3%කට සමාන අලාභයක්. රටේ ජනගහණයෙන් බෙදූ විට රුපියල් 46,541ක මුදලක්. අලාභයේ තරම හිතාගන්න මේ සංසන්දන ප්‍රමාණවත් විය යුතුයි. 

දෙදහස් විසි දෙක වසර අවසන් වන විට ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 28,487ක මුදලක් තෙල් සංස්ථාවෙහි ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කර තිබුණා. එහෙත් ඒ වන විට එම ආයතනයේ ශුද්ධ වටිනාකම රුපියල් සෘණ 86,732ක්. ඒ කියන්නේ දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ වන විට තෙල් සංස්ථාවේ වත්කම් එහි බැරකම් වලට වඩා එපමණකින් වැඩි වී තිබුණු බවයි. 

ඉහත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 884,093ක මුදලක් තෙල් සංස්ථාව වෙත පොම්ප කරනු ලැබුවා. ඇත්ත වශයෙන්ම මෙහිදී මුදල් පොම්ප කිරීමක් සෘජුව සිදු වූයේ නැහැ. සිදු වුනේ තෙල් සංස්ථාවේ ණය එපමණ ප්‍රමාණයක් රජය විසින් භාර ගැනීමයි. ඒ අනුව, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රාග්ධනය ලෙස තෙල් සංස්ථාවෙහි හිර කර ඇති මුදල රුපියල් මිලියන 912,582 දක්වා ඉහළ ගියා.

පෙර සඳහන් කළ තෙල් සංස්ථාවේ රුපියල් මිලියන 120,346ක ලාභය රජය විසින් එහි යොදවා ඇති ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස සැලකුවහොත් 13.2%ක්. එම වසරේදී රජයේ බැඳුම්කර ණය වෙනුවෙන් ගෙවිය යුතු වූ ඵලදා අනුපාතිකය මීට වඩා බෙහෙවින්ම වැඩි 30% පමණ දක්වා ඉහළ ගොස් තිබුණු ප්‍රතිශතයක්. මේ වන විටද දිගුකාලීන බැඳුම්කර ඵලදා අනුපාතික පවතින්නේ 13.2%ට ආසන්න මට්ටමකයි. 

වෙනත් අයුරකින් කිවහොත්, ශ්‍රී ලංකා රජය විසින් භාරගෙන තිබෙන තෙල් සංස්ථාවේ ණය සඳහා ගෙවිය යුතු පොලිය සැලකුවහොත්, ඉහත ලාභය තව දුරටත් ලාභයක් වෙන්නේ නැහැ. මෙහිදී සලකා බැලිය යුතු තවත් කරුණක් වන්නේ තෙල් සංස්ථාව සාමාන්‍ය සමාගමක් වී නම් ලාභයෙන් 30%ක් ආදායම් බදු ලෙසද ගෙවන්නට සිදුවන බවයි. එසේ ගෙවීමෙන් පසුව, ආයෝජනය සඳහා හිමි වන්නේ 9.2%ක පමණ ප්‍රතිලාභයක්. ඒ නිසා, මෙසේ වාර්තා වන තෙල් සංස්ථාවේ ලාභ යනු හුදෙක් ගිණුම්කරණ ලාභ මිස සැබෑ ආර්ථික ලාභ නෙමෙයි.

කෙසේ වුවද, තෙල් සඳහා මිල සුත්‍රය සකස් කර තිබෙන්නේ ආසන්න වශයෙන් ආර්ථික ලාභ ශුන්‍ය වන පරිදි බව පෙනෙන්නට තිබෙනවා. ගිණුම්කරණ ලාබය ආසන්න වශයෙන් යෙදවූ ප්‍රාග්ධනය සඳහා වාර්ෂිකව ගෙවිය යුතු මුදලට සමාන වීමෙන් පෙනී යන්නේ එයයි. ආර්ථික ලාභ ශුන්‍ය වන තත්ත්වයක් කියා කියන්නේ පෞද්ගලික සමාගමකට පැවතිය හැකි අවම මට්ටමයි. මෙම අවම මට්ටමට සමාන ලාභයක් ලැබිය නොහැකිනම් පෞද්ගලික ආයතනයක් දිගටම ව්‍යාපාරය පවත්වා ගෙන යන්නේ නැහැ. 

මේ අනුව, 2022 වසරේදී තෙල් මිල පැවතී තිබෙන්නේ ආසන්න වශයෙන් නියම මට්ටමේ කියා කියන්න පුළුවන්. එයින් අදහස් වන්නේ වෙළඳපොළ තරඟකාරී වීනම් ව්‍යාපාරය වසා නොදමා දිගටම පවත්වා ගෙන යාම පිණිස අය කළ යුතු අවම මිල ගණන් බවයි.

මිල ගණන් මීට වඩා පහත හෙළීම කිසිසේත්ම නොකළ හැකිව තිබුණු බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ දමා ගැනීම මගින් මීට වඩා අඩු මිලකට තෙල් විකිණීමේ හැකියාවක් තිබුණා. එහෙත්, පැවති කාර්යක්ෂමතා මට්ටම අනුව මීට අඩුවෙන් තෙල් විකිණීමේ හැකියාවක් සංස්ථාවට තිබුණේ නැහැ. එවැන්නක් කිරීමටනම් රජයෙන් සෘජුව හෝ වක්‍රව සහනාධාරයක් ලැබිය යුතුයි. 

ඉන්ධන වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක මිල සුබසාධනය කිරීම දේශපාලනිකව කළ යුතු දෙයක් වෙන්න පුළුවන්. එය ආර්ථික කරුණු වලින් පරිබාහිර දෙයක්. එහෙත් මේ අයුරින් රජය විසින් සුබසාධනය කළ යුත්තේ කවුද යන ප්‍රශ්නය මෙහිදී පැන නගිනවා. එසේ සුබසාධනය කළ යුත්තේ තෙල් සංස්ථාවේ සේවකයින්ය යන්නට බොහෝ දෙනෙකු කැමති වන එකක් නැහැ. යම් හෙයකින් සුබසාධනය කරන්නේනම් කළ යුත්තේ පොදුවේ පාරිභෝගිකයින්ව හෝ ඔවුන්ගෙන් තෝරාගත් කොටසකුයි.

මේ අනුව, යම් සහනාධාරයක් ලබා දෙනවානම් එය සෛද්ධාන්තිකව ලබා දිය යුත්තේ පාරිභෝගිකයාටයි. එයින් වෙළඳපොළ විකෘතියක් (විකල්ප තත්ත්වයට සාපේක්ෂව) සිදු වන්නේ නැහැ. පාරිභෝගිකයින්ට අඩුවට තෙල් ලැබෙන අතරම තෙල් සංස්ථාවට ආර්ථික ලාභ සෘණ කර නොගනිමින් පැවතිය හැකියි. එවිට තෙල් මිල සුබසාධනය කිරීම තෙල් සංස්ථාවේ ව්‍යාපාරික ඉලක්කයට සෘජු සම්බන්ධයක් නොමැති රාජ්‍ය ප්‍රතිපත්තියක කොටසක් පමණක් වෙනවා.

ඉහත ආකාරයේ සුබසාධනයකින් වෙළඳපොළ තරඟයට බාධාවක් සිදු වන්නේ නැහැ. සහනාධාරය ලබන පාරිභෝගිකයෙකුට තමන් කැමති තෙල් සැපයුම්කරුවෙකුගෙන් තෙල් මිල දී ගත හැකි බැවින් තෙල් සැපයුම්කරුවන් අතර තරඟය එලෙසම තිබෙනවා. 

කෙසේ වුවත් මේ අයුරින් පාරිභෝගිකයින් වෙත යම් මුදලක් සහනාධාරයක් ලෙස ලබා දීම පරිපාලනමය ලෙස අපහසු වැඩක්. ඒ නිසා ප්‍රායෝගිකව මෙවැනි රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී කරන්නේ පාරිභෝගිකයින්ට ලැබිය යුතු සහනාධාර මුදල ඔවුන් වෙනුවෙන් සැපයුම්කරුවන් වෙත ලබා දීමයි. එවිට ඔවුන්ට එම මුදල අඩු කර අඩු මිලකට තෙල් විකිණිය හැකියි. මෙවැනි ක්‍රමයකදී සියළුම සැපයුම්කරුවන් සහනාධාරය බෙදා හැරීමේ කටයුත්තට සම්බන්ධ කර ගැනීමට සිදු වෙනවා. 

කෙසේ වුවත් ලංකාවේ දැනට පවතින සන්දර්භය තුළ මේ අයුරින් සහනාධාර දීමක් කළ යුතුනම් එය මීටත් වඩා පහසුවෙන් කළ හැකියි. ඒ සඳහා කළ යුතු වන්නේ තෙල් වලින් අය කරන බදු මුදල අවශ්‍ය ප්‍රමාණයෙන් අඩු කිරීමයි. 

මෙය එසේ කළ යුතුයැයි කරන යෝජනාවක් නෙමෙයි. දැනට ශ්‍රී ලංකාව සිටින ස්ථායීකරණ වැඩපිළිවෙළ අනුව බදු ආදායම් අඩු කර ගැනීමට ප්‍රායෝගික හැකියාවක් නැහැ. ඒ නිසාම ඉන්ධන සඳහා සහනාධාර ලබා දීමේ හැකියාවක්ද නැහැ. එසේ කරන්නටනම් මුලින්ම අවශ්‍ය මුදල උපයා ගත හැකි ක්‍රමයක් ගැන සිතන්නට සිදු වෙනවා. තෙල් සංස්ථාවේ ලාබය රජයට පවරාගෙන ඇති එහි ණය වල පොලිය ගෙවීම සඳහා යෙදවීමෙන් පසුව සහනාධාර දීම සඳහා එයින් කිසිවක් ඉතිරි වන්නේ නැහැ. ඒ නිසා එවැන්නක් කරන්නේනම්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ගැලපෙන පරිදි, පැහැර හැර ඇති බදු වඩා කාර්යක්ෂම ලෙස අය කර ගැනීම වැනි වෙනත් ක්‍රමයකින් රජයේ ආදායම් වැඩි කර ගෙන සිටීමට සිදු වෙනවා. 

කෙසේ වුවද, යම් හෙයකින් රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව මිල පිරිවැය මට්ටමෙන් පහතට ගෙන ආ යුතුමනම් එය කළ හැකි පහසුම ක්‍රමය බදු අඩු කිරීමයි. පසුගිය වසරේදී ඛණිජ තෙල් නිෂ්පාදන මත අය කර තිබුණු නිෂ්පාදන බදු ප්‍රමාණය රුපියල් මිලියන 143,642ක්. මෙම මුදල, සැබෑ ආර්ථික ලාබයක් නොවන, තෙල් සංස්ථාවේ නාමික ගිණුම්කරණ ලාබයට වඩා වැඩි මුදලක්. මුළු බදු ප්‍රමාණය මීටත් වඩා වැඩි විය හැකියි. බදු අඩු කළ විට මිල පහත වැටෙනවාක් මෙන්ම සැපයුම්කරුවන් අතර තරඟයට බාධාවක් වන්නේද නැහැ. 

Friday, November 8, 2024

විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් සල්ලි අච්චු ගහන හැටි!


විවට වෙළඳපොළ මෙහෙයුම් කියන්නේ මොනවාද? මේ ගැන විස්තර කරන මෙන් කිහිප දෙනෙක්ම ඉල්ලා තිබුණා. මේ ගැන පැහැදිලි කරන්න කලින් භාණ්ඩාගාර බිල්පත් ආයෝජන ගැන කලින් වැඩිපුර විස්තර කර නැති දෙයක් විස්තර කරලා ඉන්නම්.

භාණ්ඩාගාර බිල්පත් කියන්නේ ණය උපකරණයක්. ඒ කියන්නේ රජය ණය ගන්නා ක්‍රමයක්. නමුත් පුද්ගලයෙකුගේ පැත්තෙන් බැලුවොත් මෙය මුදල් ආයෝජනය කිරීම සඳහා තිබෙන විකල්ප ක්‍රමයක්. ගොඩක් වෙලාවට භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමෙන් ස්ථිර තැන්පතුවකින් ලබා ගන්නවාට වඩා වැඩි පොලී අනුපාතිකයක් ලබා ගන්න පුළුවන්.

මීට පෙර භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීම ගැන මෙහි පළ කළ ලිපි කියවා ඒ වැඩේ පටන් ගත් බොහෝ දෙනෙක් ඉන්නවා. සාමාන්‍ය පුද්ගලයෙක් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්නේ බැංකුවක් හෝ ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමක් හරහා. සාමාන්‍ය පුද්ගලයෙකුට රජයෙන් සෘජුවම භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න බැහැ.

ලොකු මුදලක් ආයෝජනය කරන කෙනෙකුට බැංකුවක් හෝ ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමක් හරහා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්න පුළුවන්. එහිදී වෙන්නේ අදාළ බැංකුව හෝ ප්‍රාථමික ගනුදෙනුකාර සමාගම විසින් යම් කොමිස් මුදලක් හා/හෝ ගාස්තුවක් අය කර රජය හා තමන්ගේ ගනුදෙනුකරු අතර අතරමැදියෙකු ලෙස කටයුතු කරන එක. අවසාන වශයෙන් බිල්පතේ අයිතිකරු වෙන්නේ ගනුදෙනුකරුවා.

නමුත් ප්‍රායෝගිකව සාපේක්ෂව අඩු මුදලක් ආයෝජනය කරද්දී වෙන්නේ ඔය වැඩේම නෙමෙයි. මෙහිදී ඇත්තටම වෙන්නේ අර කලින් කියපු ආකාරයට භාණ්ඩාගාර බිල්පතක් මිල දී ගන්නවාට වඩා වෙනස් වැඩක්. පැහැදිලි කිරීමේ පහසුවට මේ වෙන වැඩේ බැංකුව විසින් පාරිභෝගිකයාට භාණ්ඩාගාර බිල්පත කුලියට දීමක් කියා කියන්න පුළුවන්.

මේක හරියට යම් සීමිත කාලයකට රඹුටන් ගහක් බදු දෙනවා වගේ වැඩක්. අදාළ කාලය අවසන් වන තුරු රඹුටන් ගහෙන් ලැබෙන ප්‍රතිලාභ ලබා ගන්නේ බදු ගත් තැනැත්තා. 

සාමාන්‍ය මුදලක් බැංකුවක් හරහා භාණ්ඩාගාර බිල්පතක ආයෝජනය කරද්දී වෙන්නෙත් ඔය වැඩේ. බැංකුව විසින් කලින් මිල දී ගෙන තිබෙන භාණ්ඩාගාර බිල්පතකක් මුදල් ආයෝජනය කරන කාලයට පාරිභෝගිකයාට පවරනවා. කාලය අවසන් වූ පසු බිල්පතේ අයිතිය නැවතත් බැංකුවටම ලැබෙනවා.

උදාහරණයක් විදිහට බැංකුව විසින් ජනවාරි 15 වෙනිදා මාස හයකින් කල් පිරෙන බිල්පතක් මිල දී ගන්නවා. එය කල් පිරී මුදල් ආපසු ලැබෙන්නේ ජූනි 15 වෙනිදා. ඔය අතර පෙබරවාරි 20 පරිභෝගිකයක් ඇවිත් බැංකුවට කියනවා මාස තුනකට භාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දමන්න ඔනෑ කියලා. දැන් බැංකුව කරන්නේ සල්ලි අරගෙන එහි හිලවුවට මාස තුනක කාලයකට තමන් කලින් ගත් බිල්පතේ අයිතිය පාරිභෝගිකයාට පවරන එක. ඒ කියන්නේ පෙබරවාරි 20 සිට මැයි 20 දක්වා කාලයට. ඔය මාස තුනක කාලය තුළ බිල්පත සඳහා රජයෙන් ලැබෙන පොලිය අයිති වෙන්නේ පාරිභෝගිකයාටයි.

ඔය විදිහට විස්තර කළාට රජය දවස ගානේ බිල්පත් වලට පොලී ගෙවන්නේ නැහැ. පොලියත් එක්ක මුල් මුදල ලැබෙන්නේ කල් පිරුණු පසුවයි. මේ උදාහරණයේදීනම් ජූනි 15. නමුත් බැංකුව පාරිභෝගිකයාට සල්ලි ආපහු ගෙවන්න ජූනි 15 වන තුරු ඉන්නේ නැහැ. මාස තුන ඉවර වූ ගමන් සල්ලි සහ පොලිය ගෙවනවා. ඒ නිසා, ඇත්තටම වෙන්නේ ඒ කාලය තුළ පාරිභෝගිකයාට තමන්ගේ සල්ලි වෙනුවෙන් ඇපයක් විදිහට භාණ්ඩාගාර බිල්පතක අයිතිය ලැබෙන එකයි.

මේ විදිහේ ගනුදෙනු වලට කියන්නේ ප්‍රති-මිල දී ගැනීම් ගනුදෙනු කියලා. ඉංග්‍රීසියෙන් repurchase transaction කියන එක. කෙටියෙන් රිපෝ කියලා කියනවා. ඉතින් ඇත්තටම ගොඩක් අය භාණ්ඩාගාර බිල්පතක ආයෝජනය කරනවා කියලා කරන්නේ බැංකුව එක්ක රිපෝ ගනුදෙනුවක් කරන එක.

මේ රිපෝ නැත්නම් ප්‍රති-මිල දී ගැනීම් කියන එකේ තේරුම මේකයි. බැංකුව ගණුදෙනුකරුට භාණ්ඩාගාර බිල්පතක් විකුණනවා. හැබැයි ඒ විකුණන්නේ නිශ්චිත කාලයකට පසුව එය බැංකුවටම ආපසු විකිණීමේ පොරොන්දුව මත. ආපසු විකිණිය යුතු දවස වගේම විකුණන මිල ගැනත් මුලින්ම එකඟතාවයකට එනවා. ඇත්තටම කියනවානම් ප්‍රති-මිල දී ගැනීම් ගනුදෙනුවක් කියන්නේ එක විටම එකඟ වෙන ගනුදෙනු දෙකක්. 

දැන් මේ විදිහට බැංකුව වෙනත් අයෙකුට ප්‍රති-මිල දී ගැනීම් පදනම මත බිල්පතක් විකුණද්දී ඒ පුද්ගලයාගේ පැත්තෙන් වෙන්නේ මිල දී ගැනීමක්. ඒ නිසා ඒ පැත්තෙන් මේකට කියන්නේ ප්‍රති-විකිණුම් ගනුදෙනුවක් කියලා. ඉංග්‍රීසියෙන් reverse repurchase transaction හෙවත් සාමාන්‍ය වහරේදී රිවර්ස් රිපෝ කියලා කියනවා.

බැංකු බැංකු අතරත් ඔය රිපෝ ගනුදෙනු සිදු වෙනවා. එක බැංකුවකට රිපෝ ගනුදෙනුවක් අනෙක් බැංකුවට රිවර්ස් රිපෝ ගනුදෙනුවක්. සාමාන්‍ය පාරිභෝගිකයෙක් සහ බැංකුවක් අතර ගනුදෙනුවක් වෙද්දී හැම විටම වගේ පාරිභෝගිකයාට අවශ්‍ය වෙන්නේ රිපෝ එකක් කරන්න. රිවස් රිපෝ එක කරන්නේ බැංකුව. නමුත් බැංකුවකට යම් දවසක රිපෝ කරන්න අවශ්‍ය වෙන්න වගේම රිවර්ස් රිපෝ ගනුදෙනුවක් කරන්න අවශ්‍ය වෙන්නත් පුළුවන්.

බැංකුවකට තවත් බැංකුවක් එක්ක රිපෝ ගනුදෙනුවක් කරන්න අවශ්‍ය වෙන්නේ මුදල් අතිරික්තයක් ඇති විට. මුදල් හිඟයක් ඇති විට රිවර්ස් රිපෝ ගනුදෙනුවක් කරනවා. ඔය දෙකෙන් කොයි එක කළත් නිශ්චිත දින ගණනකට පසුව ගනුදෙනුව ආපසු හැරවීමට ආරම්භයේදීම එකඟ වෙනවා. මේ දින ගණන දවසක් තරම් කෙටි කාලයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අද බිල්පතක් විකුණලා හෙට ආපසු මිල දී ගන්නවා. නැත්නම් අද මිල දී ගෙන හෙට ආපසු විකුණනවා. 

බැංකු මේ විදිහට රිපෝ (හෝ රිවර්ස් රිපෝ) ගනුදෙනු කරන්නේ තාවකාලික මුදල් හිඟයක් හෝ තාවකාලික මුදල් අතිරික්තයක් ඇති විටයි. මුදල් හිඟය හෝ අතිරික්තය දිගටම තියෙන එකක් බව පේනවානම් කරන්නේ බිල්පතක් ස්ථිර ලෙසම විකිණීම හෝ මිල දී ගැනීම. ඒ කියන්නේ ආපසු හැරවීමේ ගිවිසුමක් නැතිව ගනුදෙනුව ඉවරම කරලා දමන එක. 

බැංකු බැංකු අතර ඔය විදිගේ රිපෝ ගනුදෙනු සිදු වෙනවා වගේම මහ බැංකුව හා බැංකු අතරත් රිපෝ ගනුදෙනු සිදු වෙනවා. හැබැයි මේ ගනුදෙනු සිදු වන්නේ උපරිම වශයෙන් සතියකින් ආපසු හැරවෙන පරිදියි. ඊට අමතරව, මේ දවස් වල නොකළත්, මහ බැංකුව අනෙකුත් බැංකු එක්ක බිල්පත් ස්ථිර ලෙසම විකිණීමේ හෝ මිල දී ගැනීමේ ගනුදෙනුත් කරනවා. මේ ගනුදෙනු සියල්ලටම පොදුවේ කියන්නේ විවට වෙළඳපොළ ගනුදෙනු කියලා.

විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් මහ බැංකුව විසින් බැංකුවකින් බිල්පතක් මිල දී ගනිද්දී ඒ වෙනුවෙන් අලුතෙන් මුදල් නිකුත් කිරීමක් සිදු වෙනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් සිදු වෙනවා. මහ බැංකුව විසින් කෙළින්ම බිල්පත් වෙන්දේසියෙන් බිල්පත් මිල දී ගනිද්දී සිදු වන දෙයම තමයි. 

කෙළින්ම වෙන්දේසියෙන් බිල්පත් මිල දී ගන්න එක සාමාන්‍යයෙන් මහ බැංකුවක් කරන වැඩක් නෙමෙයි. නමුත් ලංකාවේ දිගින් දිගටම ඔය වැඩේ සිදු වුනා. දැන් අලුත් මහ බැංකු පණත අනුව ඒ වැඩේ කරන්න බැහැ. නමුත් විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගන්න එක ලෝකයේ හැම රටකම වගේ මහ බැංකු විසින් කරන සාමාන්‍ය දෙයක්. මහ බැංකුවේ රස්සාවේ ප්‍රධාන අංගයක්. අලුත් මහ බැංකු පණතෙන් ඒ වැඩේට කිසිම බාධාවක් නැහැ.

විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගනිද්දී රටේ සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. ඒ වගේම, මහ බැංකුව විසින් කලින් මිල දී ගත් බිල්පත් විකුණන විට සංචිත මුදල් ප්‍රමාණය පහත වැටෙනවා. මහ බැංකුවක් මුදල් සැපයුම අවශ්‍ය මට්ටමේ තියාගන්නේ මේ ක්‍රමයටයි. ඒ නිසා, මුදල් සැපයුම නිසි මට්ටමේ තියා ගැනීම සඳහා මහ බැංකුවකට විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගැනීම හා විකිණීම කරන්නම වෙනවා.

මහ බැංකුවක ප්‍රධානම කාර්යය උද්ධමනය පාලනය කිරීම. එය කරන්නේ පොලී අනුපාතික පාලනය කිරීම මගිනුයි. උද්ධමනය ඕනෑවට වඩා ඉහළ ගිය විට එය පාලනය කිරීම සඳහා පොලී අනුපාතික වැඩි කරන්න වෙනවා. නමුත් උද්ධමනය අඩු වුනාට පස්සේ නැවත පොලී අනුපාතික පහළට ගන්න වෙනවා. 

එහෙම කළේ නැත්නම් නැවතත් උද්ධමනය ආපු වෙලාවක පොලී අනුපාතික තවත් වැඩි කරන්න වෙනවා. දිගටම එහෙම කරන්න ගියොත් වෙන්නේ උද්ධමනය එන එන සැරේට පොලී අනුපාතික දිගින් දිගටම ඉහළ යන එකනේ. ඒ නිසා, උද්ධමන තර්ජනයක් නැති වෙලාවට පොලී අනුපාතික පුළුවන් තරම් පහළට ගත යුතුයි. එහෙම පහළට අරන් තිබුණහම නැවතත් උද්ධමන තර්ජනයක් එන වෙලාවක ප්‍රශ්නයක් නැතිව වැඩි කරන්න පුළුවන්.

පොලී අනුපාතික තීරණය වෙන්නේ මුදල් වලට තිබෙන ඉල්ලුම හා මුදල් සැපයුම අනුව. ඉල්ලුමට වඩා සැපයුම අඩුනම් පොලී අනුපාතික ඉහළ යනවා. සැපයුම වැඩිනම් පොලී අනුපාතික පහළ යනවා. ඒ නිසා මහ බැංකුවට පුළුවන් මුදල් සැපයුම පාලනය කිරීම මගින් පොලී අනුපාතික පාලනය කරන්න. මුදල් සැපයුම පාලනය කරන්නේ කලින් විස්තර කරපු විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා බිල්පත් මිල දී ගැනීම හෝ විකිණීම මගිනුයි. 

මුදල් ඉල්ලුම කියන්නේ දිනපතාම වෙනස් වන දෙයක්. අද ඉල්ලුම වැඩි වුනාට හෙට නැවත අඩු වෙන්න පුළුවන්. ඒ නිසා, මහ බැංකුව විසින් බිල්පත් මිල දී ගැනීම හා විකිණීම මගින් සැපයුම වෙනස් කළ යුත්තේ වෙළඳපොළ මුදල් ඉල්ලුම ස්ථිර ලෙසම වෙනස් වී ඇති බවක් පෙනේනම් පමණයි. මුදල් ඉල්ලුම තාවකාලිකව විචලනය වෙද්දී කරන්නේ රිපෝ හෝ රිවර්ස් රිපෝ ගනුදෙනු කිරීම මගින් පොලී අනුපාතික ස්ථාවරව තියා ගන්න එක. දැන් ටික කාලයක ඉඳලම මහ බැංකුව කරන්නේ ඒක.

මේ දවස් වල විවට වෙළඳපොළ මෙහෙයුම් මගින් මහ බැංකුව විසින් රිවර්ස් රිපෝ කරන ක්‍රම තුනක් තිබෙනවා. ඔය ක්‍රම තුනෙන් කොයි ක්‍රමයට කළත් වෙන්නේ මහ බැංකුවෙන් සල්ලි එළියට යන එකයි. ඒ කියන්නේ සංචිත මුදල් වැඩි වෙන එකයි. නමුත් ගනුදෙනුව කරන්නේම ඒ සල්ලි නැවත මහ බැංකුවට ආපසු එන ගිවිසුමත් අත්සන් කරලා. ක්‍රම තුන මේකයි.

1. එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය: මේ ක්‍රමයට මහ බැංකුව විසින් නිශ්චිත රිපෝ ගනුදෙනු ප්‍රමාණයක් සඳහා වෙන්දේසි ක්‍රමයට මිල ගණන් කැඳවනවා. එහිදී අඩුම ලන්සු තබන අයට එම පොලී අනුපාතික වලට මහ බැංකුව එක්ක රිපෝ ගනුදෙනුවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මහ බැංකුවේ පැත්තෙන් රිවර්ස් රිපෝ ගනුදෙනුවක්. ඊළඟ වැඩ කරන දිනයේදී සල්ලි නැවත මහ බැංකුවට එනවා. මහ බැංකුව විසින් ඇපයට තියාගත් බිල්පත නැවත අදාළ බැංකුවටම අයිති වෙනවා. පසුගිය කාලයේදී සෑම වැඩ කරන දවසකම වගේ මහ බැංකුව විසින් රිවර්ස් රිපෝ වෙන්දේසි පවත්වලා තියෙනවා. අදාළ දවසේ මුදල් හිඟයක් තිබෙන බැංකු වලට වාසිදායකම විකල්පය මේක.

2. සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය: මේකත් කලින් ක්‍රමයම තමයි. නමුත් වෙනස ගනුදෙනුව ආපසු හැරෙන්නේ දවස් හතකින් පසුව වීමයි. එක දිගට සතියක් සල්ලි හිඟ බව පෙනෙන බැංකුවකට මේ වැඩේ හොඳ විකල්පයක්. ඒ දවස් හතට බිල්පතක අයිතිය අහිමි වෙනවා. මහ බැංකුව සල්ලි දෙන්නේ බිල්පතක් ඇපයට තියාගෙනනේ. පසුගිය සති වල අඟහරුවාදා දවස් වල මහ බැංකුව විසින් සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසි පවත්වලා තිබෙනවා.

3. නිත්‍ය ණය පහසුකම: මේ ක්‍රමයට සිදු වෙන්නෙත් එක් දින රිවර්ස් රිපෝ ගනුදෙනුවක්ම තමයි. ඒ කියන්නේ එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය හරහා සිදු වන දේ. නමුත් වෙන්දේසියට මහ බැංකුව විසින් ඉදිරිපත් කරන්නේ නිශ්චිත බිල්පත් ප්‍රමාණයක්. වෙන්දේසියෙන් ඒ බිල්පත් ගන්න ඉඩක් නොලැබුණු සහ දවස අන්තිමේදී මුදල් හිඟයක් තිබෙන බැංකුවකට දවස අවසානයේදී නිත්‍ය ණය පොලී අනුපාතිකය යටතේ රිපෝ ගනුදෙනුවක් කරන්න වෙනවා. ඒ පොලී අනුපාතිකය වෙන්ද්සියේ පොලී අනුපාතිකයට වඩා වැඩියි. පොලී අනුපාතිකයේ මේ වෙනස හැර වෙනත් වෙනසක් නැහැ. ඊළඟ වැඩ කරන දිනයේදී සල්ලි ආපසු ගෙවුවට පස්සේ බිල්පතේ අයිතිය ලබා ගන්න පුළුවන්.

මහ බැංකුව රිවර්ස් රිපෝ කරන ඔය ක්‍රම තුනෙන්ම තාවකාලිකව මුදල් සැපයුම වැඩි වී නැවත මුල් මට්ටමට එනවා. මීට අමතරව මහ බැංකුවට විවට වෙළඳපොළ මෙහෙයුම් හරහා රිපෝ වෙන්දේසි තියන්නත් පුළුවන්. ළඟකදීනම් රිපෝ වෙන්දේසි තියලා නැහැ.

මහ බැංකුව රිපෝ ගනුදෙනුවක් කළ විට සිදු වන්නේ බැංකුවක් විසින් මහ බැංකුවෙන් බිල්පතක් ඇපයට ගෙන මහ බැංකුවේ සල්ලි තැන්පත් කරන එකයි. නමුත් මේ දවස් වල බැංකු විසින් මහ බැංකුවෙන් ඇපයක් නොගෙනම විශාල මුදල් ප්‍රමාණයක් මහ බැංකුවේ තැන්පත් කරනවා. ඒ නිසා මහ බැංකුවට රිපෝ වෙන්දේසි තියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ සල්ලි වෙනුවෙන් මහ බැංකුව ගෙවන පොලී අනුපාතිකය මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය. 

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කියා කියන්නේ ඔය නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය සහ කලින් කියපු නිත්‍ය ණය පහසුකම යටතේ රිවර්ස් රිපෝ ගනුදෙනුවක් කරද්දී බැංකුවක් විසින් මහ බැංකුවට ගෙවිය යුතු නිත්‍ය ණය පොලී අනුපාතිකය කියන පොලී අනුපාතික දෙකටයි.

දැන් මේ විදිහට බැංකුවක් නිත්‍ය තැන්පතු පහසුකම ප්‍රයෝජනයට ගනිද්දී සංචිත මුදල් සැපයුම අඩු වෙනවා. ඊළඟ දවසේ ඒ සල්ලි ආපසු ගනිද්දී මුදල් සැපයුම කලින් පැවති මට්ටමටම එනවා.

උදාහරණයක් විදිහට අපි පසුගිය අඟහරුවාදා (නොවැම්බර් 5)  දින සිදු වූ විවට වෙළඳපොළ ගණුදෙනු පරීක්ෂා කර බලමු.

මහ බැංකුවෙන් රිවර්ස් රිපෝ ක්‍රමයට ලබා දුන් ණය:

එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 16,665

සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 50,000

නිත්‍ය ණය පහසුකම - රුපියල් මිලියන 550

එකතුව = රුපියල් මිලියන 67,215

සමහර වෙබ් අඩවි වල මහ බැංකුව අච්චු ගහපු සල්ලි කියලා පෙන්වලා තියෙන්නේ ඔය විදිහට එළියට ගිය මුදල් ප්‍රමාණය. මේ ගණන් මහ බැංකුව දිනපතා ප්‍රකාශයට පත් කරනවා. නමුත් ආපසු එන සල්ලි ගැන විශේෂයෙන් කියන්නේ නැහැ. රිවර්ස් රිපෝ කියලා කිවුවහම දන්න ඕනෑම කෙනෙකුට ඒ සල්ලි ආපහු එන බව තේරුම් ගන්න අමාරු නැහැ.

පහත තියෙන්නේ ඔය කියන දවසේදීම (නොවැම්බර් 5) කලින් කරපු රිවර්ස් රිපෝ ආපසු හැරවෙද්දී මහ බැංකුවට ආපසු පැමිණි මුදල් ප්‍රමාණය. 

මහ බැංකුවෙන් රිවර්ස් රිපෝ ක්‍රමයට ලබා දුන් ණය ආපසු ගෙවීම්:

එක් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 20,000

සත් දින රිවර්ස් රිපෝ වෙන්දේසිය - රුපියල් මිලියන 70,000

නිත්‍ය ණය පහසුකම - රුපියල් මිලියන 50

එකතුව = රුපියල් මිලියන 90,050

දැන් පේනවනේ. රුපියල් මිලියන 57,215ක් එළියට ගියත් රුපියල් මිලියන 70,050 ආපසු මහ බැංකුවට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් රුපියල් මිලියන 22,835ක මුදලක් මහ බැංකුවට ඇවිත් තියෙනවා. 

මීට අමතරව, ඔය කියන දවසේදී නිත්‍ය ණය පහසුකම් ලෙස රුපියල් මිලියන 165,567ක මුදලක් මහ බැංකුවට ඇවිත් තියෙනවා. ඒ එක්කම අනෙක් පැත්තට කලින් දවසේ ඒ විදිහටම තැන්පත් කරපු රුපියල් මිලියන 166,012ක් ආපසු ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් රුපියල් මිලියන මිලියන 445ක් මහ බැංකුවෙන් එළියට ගිහින් තියෙනවා. ඔය ගණන කලින් ගණනෙන් අඩු කළොත් සමස්තයක් විදිහට රුපියල් මිලියන 22,390ක් මහ බැංකුවට ආපහු ඇවිත් තියෙනවා. 

මේ පසුගිය අඟහරුවාදා තත්ත්වයනේ. ඊට කලින් දවසේ, ඒ කියන්නේ සඳුදා තත්ත්වය ඔය විදිහටම ගණන් හැදුවොත්, එදා වෙලා තියෙන්නේ රුපියල් මිලියන 39,409ක් එළියට යන එකයි. ඒ කියන්නේ එපමණකින් සංචිත මුදල්ද ඉහළ යනවා කියන එක. නමුත් ඔය වගේ දෙයක් දවසක් වුනා කියන්නේ අමුතු දෙයක් හෝ කලබල විය යුතු දෙයක් නෙමෙයි. සමහර දවස් වල වැඩියෙන් සල්ලි එළියට එනවා. සමහර දවස්වල වැඩියෙන් මහ බැංකුවට එනවා. ඒක වෙන්නේ මුදල් ඉල්ලුම වෙනස් වෙන විදිහ අනුවයි. 

නොවැම්බර් මාසයේ අද දක්වා වැඩ කරන දවස් හයක කාලය සැලකුවහොත් විවට වෙළඳපොළ ගනුදෙනු හරහා ශුද්ධ වශයෙන් රුපියල් මිලියන 13,911ක් නැවත මහ බැංකුවට එන එකයි සිදු වී තියෙන්නේ. සාමාන්‍යයෙන් ධන හා සෘණ විචලනයන් අවලංගු වී ගියාම ඒ තරම් විශාල නැති ධන හෝ සෘණ ගණනක් තමයි එන්නේ. හැබැයි මේ ගණන දිහා බලලා වුනත් මහ බැංකුව කොයි තරම් සල්ලි අච්චු ගහලද කියන එක ගැන අදහසක් ගන්න බැහැ. විවට වෙළඳපොළ ගනුදෙනු කියා කියන්නේ සංචිත මුදල් වෙනස් වෙන එක ක්‍රමයක් පමණයි. විදේශ විණිමය ගනුදෙනු, රජය සමඟ කරන ගනුදෙනු වැනි තවත් හේතු ගණනාවක් නිසා සංචිත මුදල් සැපයුම වෙනස් වෙනවා.

Thursday, November 7, 2024

නිල සංචිත වල විශාල වර්ධනයක්!

 

පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත වල ඩොලර් මිලියන 473ක විශාල වර්ධනයක් සිදු වී ඇති අතර ඒ අනුව ඔක්තෝබර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,467 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර පසුගිය වසර හතරක කාලය තුළ වාර්තා වූ ඉහළම අගයයි. ජනාධිපතිවරණයට පෙර පැවති අවිනිශ්චිතතාවය හමුවේ රඳවා ගෙන සිටි විදේශ විණිමයද ඉන් පසු මාසයේදී වෙළඳපොළට පැමිණියා විය හැකියි.

ඔක්තෝබර් මාසය තුළ ඩොලරයක මැදි මිල රුපියල් 299.36 සිට රුපියල් 293.72 දක්වා පහත වැටුනා. එසේ පහත වැටුණේ මහ බැංකුව විසින් මෙපමණ විදේශ විණිමය ප්‍රමාණයක් මිල දී ගෙන තිබියදීයි. 

ඩොලරයක් රුපියල් 294ක් සේ සැලකුවද ඩොලර් මිලියන 473ක් මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 139 ඉක්මවන මුදලක් අවශ්‍ය වෙනවා. මහ බැංකුව විසින් එවැනි මුදලක් වැය කරනවා යන්නෙන් අදහස් වෙන්නේ සංචිත මුදල් සැපයුම එපමණකින් වැඩි වන බවයි. එනම් එපමණ සල්ලි අච්චු ගැසීමක් සිදු වන වන බවයි. එය එසේ නොවන්නටනම් එම රුපියල් ප්‍රමාණය වෙනත් ක්‍රමයකින් නැවත එකතු කරගත යුතුයි.

සැප්තැම්බර් මාසය අවසානයේදී සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,523.6ක්ව පැවතුණා. ඔක්තෝබර් 30 දින වන විට සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,474.6 දක්වා රුපියල් බිලියන 49.0කින් අඩු වී තිබුණා. ඒ අනුව පෙනී යන්නේ විදේශ සංචිත මිල දී ගැනීම සඳහා වැය කළ මුදලටද වඩා වැඩි මුදලක් මහ බැංකුව විසින් විවට වෙළඳපොළ කටයුතු වැනි අනෙකුත් ක්‍රම මගින් වෙළඳපොළෙන් එකතු කරගෙන ඇති බවයි. විවට වෙළඳපොළ කටයුතු මහ බැංකුවක් විසින් වෙළඳපොළට මුදල් නිකුත් කරන හා වෙළඳපොළෙන් මුදල් නැවත එකතු කරගන්නා ප්‍රධානම ක්‍රමයයි. 

Tuesday, November 5, 2024

ශ්‍රීලංකන් ගුවන් සේවය කෝටි 387ක් ලාබ ලබයි!


මෙම (2024) වසරේ මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 387ක,  එසේත් නැත්නම් රුපියල් මිලියන 3,871ක, ශුද්ධ ලාභයක් වාර්තා කර තිබෙනවා. එම ගුවන් සේවය මේ අයුරින් ලාබ වාර්තා කරන්නේ 2008 වර්ෂයෙන් පසු ප්‍රථම වරටයි. 

පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන් පසුව එයාර් ලංකා ලෙසත් හැඳින්වුණු රාජ්‍ය ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනයේ සුළුතර කොටස් අයිතිය හා පරිපාලනය එමිරේට්ස් ආයතනය වෙත පවරනු ලැබූ අතර, වසර දහයකට පසුව 2008දී ශ්‍රී ලංකා රජය විසින් මෙම ආයතනයේ පරිපාලනය නැවත පවරා ගනු ලැබුවා.

ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවරා ගන්නා විට එම ආයතනය ලාබ ලබමින් පැවති ආයතනයක්. ඒ වන, මෙම ආයතනයේ ශුද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 15,536ක් වූ අතර එයින් රුපියල් මිලියන 9,288ක්ම පෙර වසර වලදී උපයාගෙන, ලාභාංශ ලෙස කොටස්හිමියන් විසින් ඉවත් කර නොගෙන, ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් රඳවා ගෙන තිබුණු ලාබයි.

රජය විසින් නැවත පවරා ගනු ලැබීමෙන් පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලැබුවේ පහත පරිදියි.

2009 - රුපියල් මිලියන (-9,306)

2010 - රුපියල් මිලියන (-2,698)

2011 - රුපියල් මිලියන (-382)

2012 - රුපියල් මිලියන (-19,778)

2013 - රුපියල් මිලියන (-26,089)

2014 - රුපියල් මිලියන (-32,408)

2015 - රුපියල් මිලියන (-16,495)

2016 - රුපියල් මිලියන (-12,622)

2017 - රුපියල් මිලියන (-28,930)

2018 - රුපියල් මිලියන (-17,214)

2019 - රුපියල් මිලියන (-44,023)

2020 - රුපියල් මිලියන (-47,197)

2021 - රුපියල් මිලියන (-45,231)

2022 - රුපියල් මිලියන (-166,370)

2023 - රුපියල් මිලියන (-73,622)

මා පෙර සඳහන් කළ පරිදි, ශ්‍රී ලංකා රජය විසින් නැවත පවරා ගන්නා විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශුද්ධ වටිනාකම, එනම් එහි වත්කම් හා බැරකම් අතර වෙනස, රුපියල් මිලියන 15,536ක්. එහෙත්, 2009-2011 කාලයේ ලැබූ පාඩු හේතුවෙන් මෙම ආයතනයේ ශුද්ධ වටිනාකම රුපියල් මිලියන 3,217 දක්වා පහත වැටුනා. මෙම කාලය තුළ ආයෝජනය වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් නොලැබුණු බව අමුතුවෙන් කිව යුතු නැහැ. 

ඉන් පසුව, 2012 වසරේදී තවත් රුපියල් මිලියන 19,778ක අලාබයක් එකතු වීමෙන් පසුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශුද්ධ වටිනාකම සෘණ අගයක් දක්වා පහත වැටුණා. එයින් අදහස් වන්නේ එම ආයතනයේ සියලුම වත්කම් වල වටිනාකමට වඩා එහි බැරකම් වැඩි බවයි. එවැනි පාඩුවක් සිදු වන්නේ මෙම ගුවන් සේවය පවරා ගනිද්දී එහි වටිනාකම වූ රුපියල් මිලියන 15,536 නැත්තටම නැති වීම සහ ආයෝජනය වෙනුවෙන් වසර ගණනාවක්ම කිසිදු ප්‍රතිලාභයක් නොලැබීමේ පාඩු වලට අමතරවයි.

මේ ආයතනය පෞද්ගලික ආයතනයක් වීනම් කරන්නේ මෙවැනි තත්ත්වයක් ඇති වන්නට පෙර, "සොහොන් ලකුණු" පෙනෙද්දීම, ආයතනය වසා දැමීමයි. ශුද්ධ වටිනාකම සෘණ අගයක් වීමෙන් පසුව ආයතනයක් විකුණා දැමීමේ හෝ හැකියාවක් නැහැ. එසේ කරනවානම් කළ හැක්කේ බැරකම් කොටස රඳවාගෙන වත්කම් කොටස පමණක් විකුණන්නේනම් පමණයි.

කෙසේ වුවත්, රාජ්‍ය ආයතන වලට මෙවැනි තත්ත්වයක් යටතේ ගත හැකි විකල්ප ක්‍රියාමාර්ගයක් තිබෙනවා. ඒ පාඩු ලබන රාජ්‍ය ආයතනයක බර බදු ගෙවන්නන් මත පටවමින් ආයතනය දිගටම පවත්වාගෙන යාමයි. ශ්‍රී ලංකා රජය සැලකුවහොත්, දිගින් දිගටම වියදමේ තරමට බදු ආදායම් එකතු කර ගෙන නොමැති තත්ත්වයක් යටතේදී, කළ හැකි වන්නේ ණය ලෙස ලබා ගන්නා මුදල් මෙවැනි රාජ්‍ය ආයතනයකට පොම්ප කරමින් එහි පාඩු වල බර අනාගත බදු ගෙවන්නන් මත පැටවීමයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය දිගටම පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2012දී කළේ හරියටම මෙයයි. එම වසරේදී රුපියල් මිලියන 15,423ක භාණ්ඩාගාර බැඳුම්කරයක් නිකුත් කර එම මුදල ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත ලබා දුන්නා. මෙය වසර 5ක බැඳුම්කරයක්.

වෙනත් ලිපි වල විස්තර කර ඇති පරිදි රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර එම මිලටම විකිණෙන්නේ නැහැ. මෙම බැඳුම්කරය විකිණුනේ රුපියල් මිලියන 14,166ක මුදලටයි. ඒ නිසා, ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත පොම්ප කෙරුණේ එම මුදලයි. එහෙත් බැඳුම්කරය කල් පිරෙද්දී ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 15,423ක් ගෙවන්නට සිදු වුනා. මීට අමතරව වසරකට 8% බැගින් කූපන් පොලී ගෙවන්නටද සිදු වුනා.

මේ විදිහට ශ්‍රී ලංකා රජය විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර ලබා ගන්නා ණය මුදල් හා පොලී ආපසු ගෙවන්නේ නැවත අලුතෙන් ණය ලබා ගෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා, මේ ණය මේ වන විට කිහිප ගුණයකින් වැඩි වී ශ්‍රී ලංකා රජයේ නොගෙවූ ණය ගොඩේ තිබෙනවා. දැනටත් කරන්නේ සතිපතා අලුතෙන් රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කරමින් පරණ ණය හා පොලී ගෙවන එකයි.

කෙසේ වුවත්, ඔය විදිහට ණයට ගත් මුදල් පොම්ප කළා කියා ශ්‍රීලංකන් ගුවන් සේවය ගොඩ ගියේ නැහැ. 2013දී තවත් විශාල අලාභයක් එකතු වුනා. එවරද කළේ පෙර වසරේ කළ දෙයමයි. රුපියල් මිලියන 13,124ක, 8.5% වාර්ෂික කූපන් පොලියක් සහිත, වසර පහකින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරයක් රුපියල් මිලියන 12,600කට විකුණා එම මුදල ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත ලබා දුන්නා. අනාගත බදු ගෙවන්නට තවත් ණයක් එකතු වුනා.

ඊළඟ (2014) අවුරුද්දේදී වුනෙත් ඔය සන්තෑසියම තමයි. ඒ අවුරුද්දේදී වසර පහකින් කල් පිරෙන 10.6% වාර්ෂික කූපන් පොලියක් සහිත තවත් භාණ්ඩාගාර බැඳුම්කරයක් නිකුත් කරලා ශ්‍රීලංකන් ගුවන් සේවයට තවත් රුපියල් මිලියන 19,585ක මුදලක් ලබා දුන්නා. 

ඔය විදිහට 2012, 2013 හා 2014 වසර වලදී ශ්‍රීලංකන් ගුවන් සේවයට සල්ලි පොම්ප කිරීම සඳහා නිකුත් කරපු භාණ්ඩාගාර බැඳුම්කර පිළිවෙලින් 2017, 2018 හා 2019 වසර වලදී කල් පිරුණා. ඒ කාලයේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා ලබා ගත්ත සල්ලි වලින් කරපු දේවල් ලැයිස්තුවේ ඔය ණය සහ පොලී ආපසු ගෙවපු එකත් ඇති. ඔන්න සල්ලි වලින් කරල තියෙන දේවල්!

රජය ව්‍යාපාර කරද්දී සිදු වෙන එකම පාඩුව ඔය විදිහට අනාගත බදු ගෙවන්නන් මත බර පැටවෙන එක පමණක් නෙමෙයි. ඔය වගේ දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතනයක බර හෙමින් සීරුවේ වෙනත් රාජ්‍ය ආයතන මත පටවන්නත් පුළුවන්. ඔය කාලයේදී ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වගේ ආයතන වගේම සේවක අර්ථසාධක අරමුදලත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොටස් වල ආයෝජනය කරලයි තිබුණේ. ප්‍රායෝගිකව ඔය තීරණ ඔක්කොම ගන්නේ එකම තැනකින්නේ. 

දැන් මේ වැඩෙන් වුනේ කුමක්ද? ඔය විදිහට ආයෝජනය කරපු සල්ලි වලට සත පහක ප්‍රතිලාභයක් නැහැ. ඒකේ බර වැටෙන්නේ කා මතද? ඕක අඩුවෙන්නේ ලංකා බැංකුවේ, මහජන බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත්කරුවන්ට ලැබිය හැකිව තිබුණු පොලියෙන්. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන්න තියෙන පොලියෙන්. ඔය පාඩු සිදු වෙන්නේ බදු ගෙවන්නන් මත පැටවෙන බරට අමතරවයි. 

ඔය විදිහට දිගින් දිගටම රජය ණය වෙවී ශ්‍රීලංකන් ගුවන් සේවයට සල්ලි පොම්ප කළත් ශ්‍රීලංකන් ගුවන් සේවය ලාබ ලැබුවේ නැහැ. රජය ණය වෙවී සල්ලි පොම්ප කිරීම නිසා සිදු වුනු එකම දේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගිණුම් වල පාඩු අඩුවෙන් පෙනුණු එක පමණයි. මොකද පාඩුවෙන් කොටසක් දැන් තියෙන්නේ වෙන තැනක නිසා. ඔය උඩින් පෙන්වා තිබෙන පාඩු වල රජය ණය වී සල්ලි පොම්ප කිරීම නිසා ඒ වෙනුවෙන් ගෙවන්න වුනු පොලී වල පිරිවැය කොටස නැහැ. ඒ කොටසත් එකතු කළොත් ඔය පාඩු පේනවට වඩා ගොඩක් වැඩියි.

යහපාලන කාලයේදී ඔය විදිහට සල්ලි පොම්ප කරන එක තාවකාලිකව නැවතුණා. පාඩු ලබන එකනම් නැවතුණේ නැහැ. ඒ නිසා, සිදු වුනේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශුද්ධ වටිනාකම එන්න එන්නම අඩු වීම. ඒ කියන්නේ සෘණ අගය වැඩි වීම. 

ආණ්ඩුව වෙනස් වුනාට පස්සේ 2021 හා 2022 වසර වලදී ඔය කලින් කරපු සල්ලි පොම්ප කරන වැඩේ නැවතත් පටන් ගත්තා. 2021දී භාණ්ඩාගාර බැඳුම්කරයක්  නිකුත් කරලා රුපියල් මිලියන 27,734ක් දුන්නා. 2022දී ඔය විදිහටම තවත් රුපියල් මිලියන 17,318ක් දුන්නා. ඔය බැඳුම්කර දෙකනම් තවමත් කල් පිරිලා නැතුව ඇති. ඔය කාලයේනම් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කළේ නැහැනේ. ඒ වෙනුවට කළේ සල්ලි අච්චු ගහපු එකනේ. 

අවුරුද්දෙන් අවුරුද්ද ඔය තරම් සල්ලි කන්දරාවක් පොම්ප කරලත්, 2023 මාර්තු 31 වෙද්දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත අලාබය රුපියල් මිලියන 610,488ක්. මේ අවුරුද්දේ රුපියල් මිලියන 3,871ක ලාබයක් ලබපු නිසා දැන් ඔය සමුච්ඡිත අලාබය රුපියල් මිලියන 607,614 දක්වා අඩු වෙලා තියෙනවා. හැබැයි ඒ විදිහට ලාබයක් ලැබුවේ කොහොමද කියල දන්නවද?

ඔන්න රහස! කාටවත් කියන්න එහෙම එපා. ලැජ්ජයිනේ. මොකද ශ්‍රීලංකන් ගුවන් සේවය කියන්නේ ලංකාවේ ජාතික අභිමානය. පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත තවත් රුපියල් මිලියන 106,000ක දැවැන්ත මුදලක් පොම්ප කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔය ලාබය වාර්තා කරලා තියෙන්නේ.

එතකොට ඔහොම සුදු අලියෙක්වද දිගටම නඩත්තු කරන්න යන්නේ?

ප්‍රශ්නය විකල්පය මොකක්ද කියන එකයි. අපි හිතමු ශ්‍රීලංකන් ගුවන් සේවය විකුණලා දමලා මේ බරෙන් නිදහස් වෙනවා කියලා. මේ ආයතනය කීයකට විකුණන්න පුළුවන් වෙයිද?

ඔය ලිපියේ විස්තර කරපු විශාල සල්ලි කන්දරාව පොම්ප කරලා, ඒ වෙනුවෙන් ගත්ත ණය වල පොලී දිගින් දිගටම ගෙවමින් හිටියත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ දැන් වටිනාකම රුපියල් මිලියන සෘණ 400,535ක්. 2023දී ඔය ගණන රුපියල් මිලියන සෘණ 509,175ක්. දැන් ඔය ගණනට අඩු වෙලා තියෙන්නේ පහුගිය අවුරුද්දේ 106,000ක දැවැන්ත මුදලක් පොම්ප කරලා ණය ගෙවපු නිසා. හැබැයි තවමත් වටිනාකම රුපියල් මිලියන සෘණ 400,535ක්. ඒ කියන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයයේ මුළු වත්කම් ප්‍රමාණයට වඩා බැරකම් ප්‍රමාණය එපමණකින් වැඩියි.

කාට හරි විකුණන්න පුළුවන් වත්කමක්නම්. නමුත් මේක තනිකරම ණය ගොඩක්. කවුද සල්ලි දීලා ණය ගොඩක් බාර ගන්නේ?

එක්කෝ ඔය ඉතුරු ණය ටික එක පාරම බදු ගෙවන්නන් මත පටවලා ශ්‍රීලංකන් ගුවන් සේවය කීයකට හරි දීලා දාන්න වෙනවා. එහෙම නැත්නම් ශ්‍රීලංකන් ගුවන් සේවය ඔය විදිහටම තියාගෙන ඔය ණය බර හෙමිහිට ටිකෙන් ටික බදු ගෙවන්නන් මත පටවන්න වෙනවා. ඔය දෙකෙන් කොයි වැඩේ කළත්, අන්තිමට ඔය ණයට බදු ගෙවන ජනතාවට කර ගහන්නම වෙනවා. වෙන කිසිම විකල්පයක් නැහැ. පාඩුව වෙලා ඉවරයි.

එහෙම ආයතනයක් දිගටම තියාගෙන ඉන්න එකේ තේරුමක් තියෙනවද?

මම හිතන්නේ ඒක මේ මොහොතේ ලංකාවේ ජනතාවගේ කැමැත්ත. ශ්‍රීලංකන් ගුවන් සේවය දිගටම පවත්වා ගෙන යනවා කියලා මේ ජනාධිපතිවරයා සහ ඔහුගේ පක්ෂය පැහැදිලිවම කිවුවා. ජනතාව ඒක අනුමත කරලා තියෙනවා. ඒ වගේම, ඔය පරණ පවු වලට මේ ආණ්ඩුව වගකියන්න අවශ්‍යත් නැහැ.

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ හොඳ පරීක්ෂාවක්. රජය ව්‍යාපාර කරන එකේ ප්‍රශ්න ගණනාවක් තිබුණත් ශ්‍රීලංකන් ගුවන් සේවය හා අදාළව ඒ හැම එකක්ම අදාළ වෙන්නේ නැහැ. ශ්‍රීලංකන් ගුවන් සේවය තිබුණා කියලා වෙන පෞද්ගලික ආයෝජකයෙකුට අවශ්‍යනම් ගුවන් සේවයක් ආරම්භ කරන්න බාධාවක් නැහැ. ඒ වගේම, ශ්‍රීලංකන් ගුවන් සේවයට තරඟයකට මුහුණ නොදී ලාබ ගන්න බැහැ. ඒ නිසා, ලංවිම, තෙල් සංස්ථාව වගේ ආයතන වලට තිබෙන ඒකාධිකාරයේ වාසිය රජයට නැහැ. තිබෙනවානම් ඉතා අඩුවෙන්. (ඔව්, තෙල් සංස්ථාව තවමත් ඒකාධිකාරයක් තමයි!)

ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගිය කාලයේදී රජයේ පාලනය යටතේ තිබුනාට වඩා කාර්යක්ෂම කරන්න බැරිකමක් නැහැ. තිබුණු කාර්යක්ෂමතාවය ගැන විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා රාජ්‍ය අංශයේ ව්‍යවසායයක් විදිහට ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ප්‍රමාණවත් ලාබ පෙන්නන්න පුළුවන්නම් ඒක මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සාධාරනීකරණය කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. හැබැයි නිකම්ම ගිණුම්කරණ ලාබ නෙමෙයි. දැනට යට කරලා තිබෙන මහජන මුදල් වල පොලී ගෙවන්න පුළුවන් තරමේ ප්‍රතිලාභයක් ලාබ වලින් පෙනෙන්න ඕනෑ. තිබුණු හැටියට හොඳ එකක් වුනත්, පසුගිය අවුරුද්දේ උපයපු රුපියල් මිලියන 3,871ක ශුද්ධ ලාභය එහෙම එකක් නෙමෙයි. 

වෙබ් ලිපිනය: