මෑතකදී AЯRIVAL FROM SWEDEN සංගීත කණ්ඩායම ලංකාවට පැමිණීම නිසා ලංකාවේ බොහෝ දෙනෙකුගේ AᗺBA සංගීත කණ්ඩායම පිළිබඳ වූ මතකය අලුත් වුනා කියා මම හිතනවා. AЯRIVAL FROM SWEDEN සංගීත කණ්ඩායම AᗺBA සංගීත කණ්ඩායම අනුකරණය කරන සංගීත කණ්ඩායම් සියයකට වැඩි ප්‍රමාණය අතරින් වඩාත්ම ජනප්‍රිය සංගීත කණ්ඩායමක්.
AᗺBA සංගීත කණ්ඩායම කාලයක් ලෝකයේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක්. ඒ වගේම, මේ සංගීත කණ්ඩායම ලංකාවේ බොහෝ දෙනෙක් එවකට දැන සිටි බටහිර සංගීත කණ්ඩායම් අතළොස්සෙන් එකක් කියා කියන්නත් පුළුවන්.
AᗺBA සංගීත කණ්ඩායමේ ස්වර්ණමය යුගය හැත්තෑව දශකය කියා කිව හැකි වුවත්, මට පෞද්ගලිකවව AᗺBA සංගීත කණ්ඩායම සම්මුඛ වූයේ එම දශකයේ අවසන් කාලයේදී විය යුතුයි. ලංකාවේ තවත් බොහෝ දෙනෙකුට මෙන්ම මටත් ඒ කාලයේ ඉංග්‍රීසි සිංදුවක් අහන්න තිබුණු එකම ක්‍රමය වූයේ ගුවන් විදුලියේ ඉංග්‍රීසි සේවයයි.
ආසන්න වශයෙන් ඔය කාලයේදී රූපවාහිණිය ව්‍යාප්ත වුනා. මුල් කාලයේදී රූපවාහිනි කාලයෙන් සැලකිය යුතු කොටසක් වෙන් වී තිබුණේ ඉංග්‍රීසි සංගීත වැඩසටහන් ඇතුළු ඉංග්‍රීසි මාධ්‍ය වැඩ සටහන් වලටයි. ඒ වෙද්දී සිංහල වැඩ සටහන් විශාල ලෙස නිෂ්පාදනය වුනේ නැහැ. ඔය කාලයේදී, ඒ කියන්නේ අසූව දශකයේ මුල් කාලයේදී, AᗺBA සංගීත කණ්ඩායම ගුවන් විදුලිය හරහා මෙන්ම රුපවාහිණිය හරහාද ඉදහිට හෝ හමු වුනා කියා මම හිතනවා.
මීට සමාන්තරව ලංකාවේ ව්‍යාප්ත වූ කැසට් වෙළඳපොළක්ද තිබුණා. මගේ මතකය වනුයේ AᗺBA වැනි ජනප්‍රිය බටහිර සංගීත කණ්ඩායම් වල ගීත ඔය යුගයේදී කැසට් පට ලෙසද ලංකාවේ අලෙවි වූ බවයි. මේ ගැන දැන් සිතා බලද්දී පෙනී යන්නේ මෙවැනි කැසට් පට ලංකාව තුළ ප්‍රති නිෂ්පාදනය කළ "හොර කොපි" විය යුතු බවයි.
මෙවැනි කැසට් පටයක් හොයා ගෙන මිල දී ගැනීමට විකල්පයක් වූයේ රෙකෝඩ් බාර් එකකින් හිස් කැසට් පටයක් මිල දී ගෙන අවශ්‍ය සිංදු ලැයිස්තුව රෙකෝඩ් කර ගැනීමයි. මෙහිදී එක් ගීතයකට යම් මුදලක් ගෙවිය යුතු වුනා. මෙහි වූ වාසිය තමන් කැමති සිංදු ලැයිස්තුවක් රෙකෝඩ් කර ගත හැකි වීමයි. කඩෙන් සෘජුව මිල දී ගන්නා කැසට් පට වල අදාළ ගායකයාගේ හෝ සංගීත කණ්ඩායමේ කැමති ගීත වගේම ඒ තරම් කැමැත්තක් නැති ගීතත් කලවමේ තිබුණා. මේ අයුරින් මා සතු වූ රෙකෝඩ් කරගත් ඉංග්‍රීසි සිංදු කැසට් පටයක AᗺBA සිංදු කිහිපයක්ද තිබුනා.
AᗺBA සංගීත කණ්ඩායමේ සිංදු අහනවාට අමතරව විවිධ පුවත්පත් හා සඟරා ආදියේ මෙම සංගීත කණ්ඩායම පිළිබඳ තොරතුරු පළ වූ අවස්ථාද තිබුණා. එසේ එම සංගීත කණ්ඩායම ගැන තොරතුරු පළ වූයේ ඉංග්‍රීසි පුවත්පත් හා සඟරා ආදියේ පමණක් නෙමෙයි. සිංහල පුවත්පත් හා සඟරා ආදියේද මෙවැනි තොරතුරු පළ වුනා. ඒ නිසා, AᗺBA සිංදු ගැන පමණක් නොව AᗺBA සංගීත කණ්ඩායම ගැනද ලංකාවේ සැලකිය යුතු පිරිසක් දැනගෙන සිටියා කියා මම හිතනවා.
AᗺBA සිංදු වගේම AᗺBA නමද හොඳින් මතක හිටින නමක්. ඊට හේතුව ඒ නම ලියන අපූරු ආකාරය සහ විශේෂයෙන්ම එහි ඇති සමමිතියයි. එම සංගීත කණ්ඩායම තුළද මෙම සමමිතිය දැකගත හැකි වුනා. දැන් AᗺBA අනුකරණය කරන AЯRIVAL FROM SWEDEN වැනි සංගීත කණ්ඩායම් වල දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේද මෙම සමමිතිය එලෙසම පවත්වා ගෙන යාමයි.
AᗺBA සංගීත කණ්ඩායමේ සාමාජිකයින් සිවු දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු පිරිමින්ද ඉතිරි දෙදෙනා ගැහැණුන්ද වුනා. මැද අකුරු දෙකෙන් සංකේතවත් වන්නේ පිරිමි සාමාජිකයින් දෙදෙනා. අන්ත වල අකුරු දෙකෙන් අදහස් වන්නේ ගැහැණු සාමාජිකයින් දෙදෙනා. ඔවුන් විවාහක යුවල දෙකක්වද සිටියා.
ඒ වගේම, මේ අකුරු වලින් ඔවුන්ගේ නම් නිරුපණය වෙනවා. පිරිමි දෙදෙනා Björn (බියෝන්) සහ Benny (බෙනී). මුලින්ම එකට එකතු වී වැඩ කරන්න පටන් ගන්නේ මේ B අකුරු දෙකයි. ඒ හැටේ දශකයේදී. එම දශකය අවසන් වෙද්දී ඔවුන්ගේ සහකාරියන් වන A අකුරු දෙක, එනම් Agnetha (අහ්නීතා) සහ Anni-Frid (අනිෆ්රිඩ් හෙවත් ෆ්රිඩා), එකතු වීමෙන් AᗺBA සංගීත කණ්ඩායම හැදෙනවා.
බියෝන් සහ අහ්නීතා 1971දී විවාහ වෙනවා. 1979දී ඔවුන්ගේ විවාහය දික්කසාදයකින් කෙළවර වෙනවා. අවිවාහක සහකරුවන් සේ එකට ජීවත් වන බෙනී සහ ෆ්රිඩා විවාහ වෙන්නේ 1978දී. 1981දී ඔවුන්ගේ විවාහයද දික්කසාදයකින් අවසන් වෙනවා. මේ ආකාරයෙන් පෞද්ගලික ජීවිතයේ සම්බන්ධතා බිඳී යද්දී AᗺBA සංගීත කණ්ඩායමද බිඳී යනවා. ඒ 1981දී පමණ. ඊට පෙර දශකයක පමණ කාලය AᗺBA සංගීත කණ්ඩායමේ ස්වර්ණමය යුගය සේ සැලකිය හැකියි.
සිංහල, ඉංග්‍රීසි වැනි භාෂා කියවන්නේ වමේ සිට දකුණටයි. අරාබි වැනි ඇතැම් භාෂා දකුණේ සිට වමට කියවනවා. AᗺBA නමෙහි විශේෂත්වය වන්නේ එය වමේ සිට දකුණට මෙන්ම දකුණේ සිට වමටද කියවිය හැකි වීමයි. මෙවැන්නක් Ambigram යන නමින් හඳුන්වනවා. Ambigram එකක් වීමට එය ලියන ආකාරයේ සමමිතිය බලපානවා. ABBA ලෙස නොලියා AᗺBA ලෙස ලියන්නේ මේ සමමිතිය ගන්නයි.
මේ අයුරින් B අකුරේ පැත්ත වෙනස් නොකර නියම විදිහටම ලිවුවොත් එය Palindrome එකක්. Palindrome එකක් වමේ සිට මෙන්ම දකුණේ සිටද කියවිය හැකියි. එහෙත්, අකුරෙන් අකුර එකින් එක ගෙන කියවිය යුතුයි. Palindrome එකක් Ambigram එකක්ද වෙන්නේ අඩංගු අකුරු සියල්ලම සමමිතිකනම් පමණයි.
සිංහල අකුරු මෙන් නොව ඉංග්‍රීසි අකුරු විශාල ප්‍රමාණයක් සමමිතිකයි. ඒ වගේම, ඇතැම් අකුරු වල පැත්ත මාරු කිරීමෙන් වෙනත් අකුරක් හදාගන්න පුළුවන්. b පැත්ත මාරු කළ විට d. ඒ වගේම, p පැත්ත මාරු කළ විට q. සිංහල අකුරු වල මේ ලක්ෂණය නැහැ. සිංහල අකුරු අතරින් සමමිතික අකුරු වන්නේ ප, පි, ෆ, ෆි, ඝ වැනි අකුරු කිහිපයක් පමණයි. ඒ නිසා, සිංහල Palindrome හදා ගැනීම ඒ තරම්ම අමාරු නැතත් සිංහල Ambigram හදන එක ටිකක් අමාරු වැඩක්. "පිංපි" වැනි වචනයක මෙම සමමිතිය දකින්න පුළුවන්.
AᗺBA සංගීත කණ්ඩායම හදද්දී ස්වීඩනයේ එනමින් ටින් මාළු ව්‍යාපාරයක් තිබුනා. ඒ නිසා එම සන්නාමයේ අයිතිය තිබුණේ අදාළ සමාගමටයි. කෙසේ වුවත්, AᗺBA සංගීත කණ්ඩායමට මෙම සන්නාමය භාවිතා කිරීමට දීමට එම සමාගම එකඟ වුනා. දැන් මේ සන්නාමය අයිති AᗺBA සංගීත කණ්ඩායමටයි.
AᗺBA සංගීත කණ්ඩායම ලොව පුරා ජනප්‍රිය වීම සහ පසුව එම කණ්ඩායම බිඳ වැටීම හේතුවෙන් "AᗺBA උපහාර සංගීත කණ්ඩායම්" යනුවෙන් සංගීත කණ්ඩායම් මාදිලියක් ලොව පුරා බිහි වුනා. ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ, ස්වීඩනයේ මෙන්ම තවත් රටවල් වල මෙවැනි සංගීත කණ්ඩායම් සිය ගණනක් තිබෙනවා. ලංකාවට පැමිණි AЯRIVAL FROM SWEDEN සංගීත කණ්ඩායම ඒ අතරින් ප්‍රමුඛතම කණ්ඩායමක් සේ සැලකෙනවා. උපහාර සංගීත කණ්ඩායම් කියා කීවත් මෙවැනි සංගීත කණ්ඩායම් විසින් කරන්නේ AᗺBA අනුකරණය කරමින් එම සංගීත කණ්ඩායමේ ජනප්රිත්වය මුදල් කර ගැනීමයි.
මෙවැනි උපහාර සංගීත කණ්ඩායම් වලට එරෙහිව AᗺBA සංගීත කණ්ඩායම විසින් වරින් වර නඩු පවරා ඇති අතර සිය සංගීත කණ්ඩායමේ නමේ කොටසක් ලෙස ABBA යන්නට කිට්ටු නමක් යොදාගත් ඇතැම් සංගීත කණ්ඩායම් වලට පසුව නම වෙනස් කරගන්නට සිදු වී තිබෙනවා. එහෙත්, BANDABBA, ABBAFAB, ABBAMANIA ආදී කිට්ටුවෙන් යන නම් මෙවැනි සංගීත කණ්ඩායම් වල නම් ලෙස දැනටත් භාවිතා වෙනවා.
ලංකාවට පැමිණි AЯRIVAL FROM SWEDEN සංගීත කණ්ඩායමේ නමෙහි ABBA යන්න නැහැ. ඔවුන්ගේ ප්රචාරක දැන්වීම් වල ABBA යන නම යොදාගෙන තිබුණත්, එම නම AᗺBA ලෙස ප්‍රචාරය කෙරුණේ නැහැ. ඒ නිසා, ලංකාවේදී දැකිය හැකි වූයේ වමෙන් පමණක් කියවිය හැකි, දකුණෙන් කියවිය නොහැකි නමක්. එය Palindrome එකක් වුනත් Ambigram එකක් වුනේ නැහැ.
මෙම සංගීත කණ්ඩායම ලංකාවට පැමිණීම විශේෂ අවධානයට යොමු වූයේ ආණ්ඩුවේ සහ ආණ්ඩු පක්ෂයේ ලොක්කන් සඳහා එහි විශේෂ මේසයක් වෙන් වීමයි. මෙම සිද්ධිය සමාජ ජාලා වල විශාල ලෙස කතාබහට ලක් වුවත්, එයින් ආණ්ඩුව කලබල වූ බවක් පෙනුනේ නැහැ. මා හිතන විදිහට මෙහිදී වුයේ සමාජ ජාල වල සිදු වූ ප්‍රචාරයන් ආණ්ඩුවේ දේශපාලනික අවශ්‍යතා සමඟ සමාපත වීමයි.
පැවති ජාතික මැතිවරණ වලට පෙර මෙන්ම දැනටත් ආණ්ඩු විරෝධීන් විසින් සිදු කරන බැලු බැල්මට ආණ්ඩු විරෝධී ප්රචාරක කටයුතු බොහොමයකින් ඇත්තවශයෙන්ම සිදු වන්නේ ආණ්ඩුවට අවශ්‍ය දෙයයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටියදීද මෙවැනි තත්ත්වයක් දැකිය හැකි වුනා.
ලංකාවේදී ABBA නම දකුණෙන් නොකියවී වමෙන් පමණක් කියැවුණු අයුරින්ම, ආණ්ඩුවට එරෙහිව කරන දකුණේ ප්‍රචාර බොහොමයක්ද වමෙන් කියවා කරන විවේචනයි. ආණ්ඩුවේ ඉහළ තට්ටුවෙන් කොටසක් AЯRIVAL FROM SWEDEN ප්‍රසංගයට සහභාගී වී සිදු කළේ බොහෝ දෙනෙකුගේ, විශේෂයෙන්ම ආණ්ඩු විරෝධී කඳවුරේ, වම දකුණ පැටලවීමයි. ඒ උපක්‍රමය සාර්ථක වුනා.
මෙය ආණ්ඩුව විසින් බොහෝ දෙනෙකුගේ වම දකුණ පටලවනු ලැබූ එකම අවස්ථාව නෙමෙයි. මැතිවරණ වලට පෙර සිටම මෙය දිගින් දිගටම සිදු වෙමින් පවතිනවා. දේශපාලනයේදී වත්මන් ආණ්ඩු පක්ෂ කණ්ඩායම ඉන්නේ වත්මන් විපක්ෂ කණ්ඩායම් වලට වඩා ගවු ගණනක් ඉදිරියෙන්. ඒ ගැන දැනට ඇති.
හපොයි නොදකින්, අනේ අපි වඳින්නම් ඔය අන්තිමට කියල තියෙන එක වහාම මකලා දාන්න පුළුවන්ද ඉක්මනින්ම ඉකොනෝ
ReplyDeleteරනිලාට වෙච්ච දේ මාලිමාවටත් වෙන්න ඉඩ දෙන්න බෑ, ඕක ඔහොම තිබුණොත් ඊළඟට එන පලාත් පාලන මැතිවරණය මාලිමාවට ඇපත් නැති වෙයි, හපොයි දෙයියනේ කටවහ කපන්න හොඳ කට්ටඩියෙක් හොයාගන්න ඕනේ ඉක්මනින්ම 😵💫😓🤯
දේශපාලනෙත් කෙළියකි කෙළිය යුතු
ReplyDeleteඉම් මායිම් හොඳින් දැනගෙන සිටිය යුතු
අදිතොත් තුරුම්පුත් නිසි ලෙස යොමා නෙතු
සිරිලකටම හොඳක් වෙයි - ළඟ දිනෙක මතු
අප්පා ඉකොනෝමැට්ටා ආණ්ඩුව හොදයි කියලා කිව්වා නං මේ ආණ්ඩුව මාස 6 ක් තියෙන එකක් නැහැ. ඒ වගේ පොරක් තමයි ඉකොනෝ කියන්නේ.
ReplyDeleteමතකනේ ඉකොනොගේ පුරෝකථන. ගෝටා පැරදෙනවා, සජිත් දිනනවා කිව්වා.
බයිඩන් පැරදෙනවා කිව්වා. රනිල් බලයට ආවම කිව්වා මාස 6 යි ඉන්නේ කියලා. ආර්ථික අර්බුදය උත්සන්න වෙනවා කිව්වා.
මේ පාර රනිල් දිනයි කිව්වා. ඉකොනෝ මෙන්න වැන්දා. ඔය හූනියම් කට වහගන්න. පුළුවන් නං කටේ ගඳ යන්න ලුණු කැටයක් හපලා වතුර ටිකක් බොන්න. විටක් තියෙනවා නං කන්න. ඇස් වහා කටවහ යයි එතකොට.
පිංපි කියන්නෙත් ambigram එකක් නෙමෙයි.
ReplyDeleteමෙයත් AᗺBA වගේම තමයි. අකුරු ටික ත්‍රිමාණ ලෙස හදලා ඉදිරියෙන් බැලුවත්, පිටුපසින් බැලුවත් පේන්නේ එකම විදිහට. බිංදුව මැදින් සිරස් ඉරක් ඇන්දොත් දකුණු හා වම් කොටස් mirror image. ( "ප" ලියන විට වම් පැත්ත විවෘත ලෙස ලියන්න වෙනවා. නැත්නම් ambigram එකක් වෙන්නේ නැහැ.)
Deleteප වම් පැත්තෙ ගැටයක් තියෙනවනෙ. නැතිනම් ප නෙමෙයි.
DeletePalindrome එකක් අකුරු පේලියක් වුනත්, Ambigram එකක් කියන්නේ රූප සටහනක්. එහිදී අකුරු කියවාගත හැකි වීම ප්‍රමාණවත්. ඒ නිසා, AᗺBA ලෙස ᗺ අනෙක් පැත්තට ලිවීම ප්‍රශ්නයක් නැහැ. Ambigram යන්න Ambigram එකක් වෙන්නේ නිශ්චිත ආකාරයකට ලිවුවොත් පමණයි. mom හෝ noon වැනි වචනයක් Ambigram එකක් වෙන්නේ m, n සමමිතික ලෙස ලිවුවොත් පමණයි. සිරස් ඉරකින් පටන් ගත්තොත් Ambigram එකක් වෙන්නේ නැහැ. සමහර font වල m, n සමමිතිකයි. "ප" ගත්තත් ඒ වගේ. සමහර ෆොන්ට් වල ගැටය නැහැ. මේ වෙද්දී එයත් සම්මතයේම කොටසක්. යම් හෙයකින් ගැටය සම්මතයේ කොටසක් වුනත්, ගැටය සහිත හා ගැටය නැති එක වගේ අකුරු දෙකක් නැති නිසා ගැටය නැතත් "ප" ලෙස හඳුනාගන්න පුළුවන්. "ච" අකුරේ තිරස් ඉර වගේ එකක්නම් නැති කරන්න බැහැ, "ව" වෙන නිසා. "අ", "ඉ", "උ", "එ", "ඔ", "ක", "ඩ", "ත", "ද", "න" ආදී සිංහල අකුරු බොහොමයක් ගැටයකින් පටන් ගත්තත්, දැනට භාවිතා වන ෆොන්ට් බොහොමයකම ගැටය නැහැ. ඒ වුනත්, ඒවා අදාළ අකුරු නෙමෙයි කියලා කවුරුවත් කියන්නේ නැහැ. පිංපි කියන එක ගැටය එක්ක ලිවුවොත් එය (ඔබ කියන ලෙසම) Ambigram එකක් වෙන්නේ නැහැ.
Deleteපැහැදිලියි. ABBA ambigram එකක් විදියට සලකන්න පුලුවන්නම් පිංපි ත් එහෙම සලකන්න පුලුවන් කියන තර්කය හරි
Deleteඉකොනොමැට්ටා, කැලිෆෝර්නියා වල මර්යූආනා (මර්ජුවානා) ලීගල් නේද?. මේ පින්තූරයේ පිටුපස කතාවේ හැටියට මේක ජෝ රෝගන් පොඩ්කාස්ට් එකේදී ඊලොන් මස්ක් ජෝ රෝගන් එක්ක මේ ජොයින්ට් එක ගහනවා ඊට පස්සේ තමයි ලස්සනම වැඩේ වෙන්නේ මස්ක් ගේ ඩො.බිලියන් 4 ක් ලොස්ට් වෙනවා ඉදිරි දින කීපයේදී ඒ මස්ක් ජොයින්ට් එකක් ගහපු හින්ද කියලා තමයි කියන්නේ, මස්ක්ගේ ස්ටොක් වැලියු උඩ පාත යන එක ඉතින් නම් නිතර වෙන දෙයක්.
ReplyDelete