දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වූ පසුගිය (2023) වසර තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් රුපියල් බිලියන 467.2ක දැවැන්ත ලාභයක් වාර්තා කර තිබෙනවා. මෙය එම අරමුදල විසින් ඉතිහාසයේ ලබා ඇති විශාලතම ලාභයයි.
ඉහත ලාභයෙන් රුපියල් බිලියන 61.9ක මුදලක් බදු ලෙස රජයට ගෙවීමෙන් අනතුරුව, ඉතිරි වූ ලාභ යොදා ගනිමින් සාමාජික ගිණුම් ශේෂ මත 13.0%ක පොලියක් ගෙවා තිබෙනවා. එය පසුගිය වසර 13ක කාලය තුළ ගෙවා ඇති ඉහළම පොලියයි.
වසර තුළ සේවක අර්ථසාධක අරමුදල විසින් උපයා ඇති ආයෝජන ආදායම රුපියල් බිලියන 469.5ක් වන අතර, අරමුදල කළමනාකරණය කිරීම සඳහා මහ බැංකුව විසින් රුපියල් බිලියන 1.5ක මුදලක්ද, කම්කරු දෙපාර්තමේන්තුව විසින් තවත් රුපියල් බිලියන 0.8ක්ද වැය කර තිබෙනවා.
වසර තුළ සේවක අර්ථසාධක අරමුදලේ ශුද්ධ වත්කම් රුපියල් බිලියන 3,857.4 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙය රුපියල් බිලියන 397.5ක වැඩි වීමක්.
පෙර (2022) වසර අවසන් වෙද්දී සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික ශේෂ වැඩි වශයෙන්ම ආයෝජනය කර තිබුණේ භාණ්ඩාගාර බැඳුම්කර වලයි. ඒ වෙනුවෙන් වැය කර තිබුණු මුදල රුපියල් බිලියන 3,068.7ක්. එහෙත්, 2022 අවසානය වන විට මෙම බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 1,914.4 දක්වා පහත වැටී තිබුණා. එය මෙම වත්කම් වල වටිනාකම 37.5%කින් අඩු වීමක්.
පසුගිය (2023) වසර තුළ භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් බිලියන 3,234.8 දක්වා රුපියල් බිලියන 166.1කින් ඉහළ යද්දී, එම ආයෝජන වල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,168.0 දක්වා රුපියල් බිලියන 1,253.6කින් ඉහළ ගොස් තිබෙනවා. මෙයට හේතුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව පොලී අනුපාතික විශාල ලෙස පහත වැටීමයි.
විශ්‍රාම වැටුප් අරමුදලකට වාර්ෂිකව නිශ්චිත ලෙස මුදල් ගලා එන නමුත් එම මුදල් ආපසු ගෙවීමට අවශ්‍ය වන්නේ විශාල කාලයකට පසුවයි. එබැවින් විශ්‍රාම වැටුප් අරමුදලක් විසින් සාමාන්‍යයෙන් කරන්නේත්, කළ යුත්තේත්, තමන්ගේ භාරයේ ඇති අරමුදල් සඳහා දිගුකාලීනව වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි පරිදි, දිගුකාලීනව ආයෝජනය කිරීමයි. මෙවැනි ආයෝජනයක ඵලදායීතාවය විමසා බැලිය යුත්තේද දිගුකාලීනවයි.
දිගුකාලීන බැඳුම්කර වල අරමුදල් ආයෝජනය කළ විට සිදු විය හැකි එක් දෘශ්‍යමාන අවාසියක් වන්නේ කෙටිකාලීනව පොලී අනුපාතික ඉහළ ගිය විට එහි වාසිය ලබා ගන්නට නොහැකි වීමයි. එවැනි අවස්ථා වලදී දිගුකාලීන බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම පහත වැටෙනවා. එහෙත්, කෙටිකාලීනව ඉහළ යන පොලී අනුපාතික දිගින් දිගටම එවැනි ඉහළ මට්ටමක නොපවතින බැවින් දිගුකාලීන ප්‍රතිලාභ සලකද්දී හැමවිටම මෙන් වඩා වාසිදායක වන්නේ දිගුකාලීනව ආයෝජනය කිරීමයි.
මේ වන විට කෙටිකාලීන පොලී අනුපාතික 9% සීමාවෙන්ද පහතට වැටී තිබෙනවා. එය කෙටිකාලීනව ආයෝජනය කර ඇති අයට විශාල අවාසියක්. ඉහළ පොලී අනුපාතික වලට ආයෝජනය කර ඇති ඔවුන්ගේ අරමුදල් දැන් නැවත ආයෝජනය කරන්නට සිදු වෙන්නේ බෙහෙවින්ම අඩු පොලී අනුපාතිකයක් යටතේයි.
එහෙත්, සේවක අර්ථසාධක අරමුදලේ අරමුදල් දිගුකාලීනව ආයෝජනය කර ඇති බැවින්, පොලී අනුපාතික පහත වැටෙද්දී එම අරමුදලට කිසිදු අවාසියක් නොවනවාක් මෙන්ම අරමුදලේ ආයෝජන වල වෙළඳපොළ වටිනාකම විශාල ලෙස ඉහළ යාමක්ද සිදු වෙනවා. අරමුදලේ මෙම (2024) වසරේ ගිණුම් ප්‍රකාශයට පත් වූ පසුව, අදාළ වාසිය කොපමණදැයි හරියටම දැනගන්නට ඉඩ ලැබෙනු ඇති.
සේවක අර්ථසාධක අරමුදල විසින් පසුගිය (2023) වසර තුළ ලැබූ ශුද්ධ ලාභය කොපමණද යන්න රටේ ප්‍රධාන මූල්‍ය ආයතන කිහිපයක බදු ගෙවීමට පෙර ලාබ සමඟ සංසන්දනය කිරීමෙන් අවබෝධ කරගත හැකියි.
සේවක අර්ථසාධක අරමුදල - රුපියල් බිලියන 468.0
ලංකා බැංකුව - රුපියල් බිලියන 40.3
මහජන බැංකුව - රුපියල් බිලියන 15.3
සම්පත් බැංකුව - රුපියල් බිලියන 29.8
කොමර්ෂල් බැංකුව - රුපියල් බිලියන 31.9
හැටන් නැෂනල් බැංකුව - රුපියල් බිලියන 32.7
LOLC හෝල්ඩින්ග්ස් (2023/24) - රුපියල් බිලියන 30.2
සේවක අර්ථසාධක අරමුදල විසින් පෙර වසර වල ලාබ ලැබුවේ පහත අයුරිනුයි.
2019 - රුපියල් බිලියන 257.7
2020 - රුපියල් බිලියන 284.0
2021 - රුපියල් බිලියන 340.7
2022 - රුපියල් බිලියන 313.9
2023 - රුපියල් බිලියන 467.2
අරමුදලේ ශුද්ධ වත්කම් ඉහළ ගොස් තිබෙන්නේ මෙලෙසයි.
2019 - රුපියල් බිලියන 2540.4
2020 - රුපියල් බිලියන 2824.3
2021 - රුපියල් බිලියන 3166.1
2022 - රුපියල් බිලියන 3459.9
2023 - රුපියල් බිලියන 3857.4
සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වසරෙන් වසර ක්‍රමක්‍රමයෙන් ක්ෂය වී යන ආකාරය ගණන් හදා පෙන්වූ අයත් හිටියේ වැඩි කාලයකට පෙර නෙමෙයි.
මේ 13% ප්‍රතිලාභය කියන්නෙ මොකක්ද? කාටද ඒව හම්බ වෙන්නෙ? Epf එකේ මුදල් ගන්න පුලුවන් රස්සාවෙන් අයින් වෙල විශ්‍රාම යනකොට නේද?
ReplyDeleteබැලන්ස් එකට වාර්ෂිකව යම් අනුපාතයකින් ප්‍රතිලාභ එකතු වෙනවා. එම අනුපාතය. ඇත්තටම වැදගත් වෙන්නේ සල්ලි ගන්න කොට කීයක් වෙලාද කියන එකයි. අතරමැද එහාමෙහා වීම් ඒ තරම් වැදගත් නැහැ.
Deleteඒක හරි. හැබැයි ජීවිත කාලයක් බලන් ඉඳල ගන්න යනකොට 2022 ක් ආවම එපා වෙනව ඇති
Deleteසාමාන්‍යයෙන් විශ්‍රාම වැටුප් අරමුදලක වටිනාකම ඔය වගේ තත්ත්වයක් යටතේදී විශාල ලෙස අඩු වෙනවා. එවිට සාමාජික ශේෂද අනුපාතික ලෙස අඩු වෙනවා. EPF එකේ බැඳුම්කර ආයෝජන වල වටිනාකම 2022දී නාමික අගයට සාපේක්ෂව 37%කින් අඩු වුනා. මීට සමාන දෙයක් සිදු වුනු 2008දී ඇමරිකාවේ කොටස් වෙළඳපොළ කඩා වැටීම නිසා ඒ වසරේ සහ 2009දී විශ්‍රාම ගන්න හිටපු බොහෝ දෙනෙකුට එම තීරණය ප්‍රමාද කරන්න සිදු වුනා. නමුත් ලංකාවේ EPF එක ප්‍රතිලාභ ගෙවන ක්‍රමය අනුව එවැනි තත්ත්වයක් ඇති වුනේ නැහැ. අරමුදලේ වටිනාකම 37%කින් අඩු වෙද්දීත් ඔවුන්ගේ ගිණුම් ශේෂ 9%කින් වැඩි වුනා මිසක් සතයකින්වත් අඩු වුනේ නැහැ. අරමුදලට කොපමණ පාඩු වුනත් එම ගිණුම් ශේෂ කීයකින් හෝ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය විශ්‍රාම ඉතුරුම් ගිණුමක ශේෂය වැඩි වෙන්න වගේම අඩු වෙන්නත් පුළුවන්. විශ්‍රාම වැටුප් අරමුදලක් විසින් ගොඩක් වෙලාවට කරන්නේ තරුණ කාලයේදී අවදානම් ආයෝජන (කොටස් ආයෝජන) කරලා විශ්‍රාම වයස කිට්ටු වෙද්දී බැඳුම්කර වලට මාරු කරන එක. විශ්‍රාම යන අවුරුද්ද අනුව වෙන වෙනම portfolio හදනවා.
Delete