වෙබ් ලිපිනය:

Friday, December 6, 2024

ශ්‍රමික ප්‍රේෂණ අඩු වුනේ ඇයි?


මෙම වසරේ පළමු මාස දහයක කාලය ඇතුළත, සමස්තයක් ලෙස, පෙර වසරේ එම කාලයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ වල 11.7%ක වර්ධනයක් දැකිය හැකි වුනා. වසරේ සෑම මාසයකදීමද දැකිය හැකි වූයේ පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ වල යම් වැඩි වීමක් සිදු වී ආකාරයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2023 පළමු මාස දහය ඇතුළත ඩොලර් මිලියන 4,862ක ශ්‍රමික ප්‍රේෂණ ලැබුණු අතර, 2024 පළමු මාස දහය ඇතුළත මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 5,431 දක්වා ඉහළ ගියා.

අලුත්ම දත්ත අනුව පෙනී යන්නේ නොවැම්බර් මාසයේදී මෙම ප්‍රවණතාවයෙහි යම් වෙනසක් සිදු වී ඇති බවයි. 2023 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 537.3ක ශ්‍රමික ප්‍රේෂණ රටට ලැබී තිබුණත්, 2024 නොවැම්බර් මාසයේදී ලැබී තිබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 530.1ක් පමණයි. මෙම අඩු වීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැහැ. මෙය තාවකාලික තත්ත්වයක් පමණක්ද යන්න විමසිල්ලෙන් බලා සිටින්නට වෙනවා.

මේ අයුරින් ශ්‍රමික ප්‍රේෂණ අඩු වීමක් දැකිය හැකි වුවත්, සමස්තයක් ලෙස විදේශ විණිමය වෙළඳපොළ සමතුලිතතාවය හොඳ තත්ත්වයක පැවතී ඇති අතර මාසය ඇතුළත මහ බැංකුව විසින් ඩොලර් මිලියන 327ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. මෙය විශාල ප්‍රමාණයක්. මෙම මැදිහත්වීම හමුවේ පවා මාසය ඇතුළත ඩොලරයක මැදි මිල රුපියල් 2.80කින් පහත වැටී තිබෙනවා. ඇතැම් විට මේ අයුරින් ඩොලරයක මිල සැලකිය යුතු ලෙස පහත වැටීම ශ්‍රමික ප්‍රේෂණ කෙරෙහි අහිතකර ලෙස බලපා තිබෙනවා විය හැකියි.

නොවැම්බර් මාසය අවසානයේදී රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,462 දක්වා ඩොලර් මිලියන 10කින් පහත වැටී තිබෙනවා. මහ බැංකුව විසින් ඩොලර් මිලියන 327ක් වෙළඳපොළෙන් මිල දී ගැනීමෙන් පසුවද සංචිත ප්‍රමාණය වැඩි නොවීමෙන් පෙනෙන්නේ මෙසේ මිල දී ගත් ඩොලර් මහ බැංකුවේ ණය ගෙවීම පිණිස යොදවා ඇති බවයි. මේ වන විටද මහ බැංකුව විසින් වර්ෂාවසාන සංචිත ඉලක්කය ලඟා කරගෙන අවසන් බැවින් මිල දී ගන්නා අමතර ඩොලර් මහ බැංකුවේ ණය ආපසු ගෙවීම සඳහා යෙදවිය හැකියි.

වාහන ආනයන වලට නැවත ඉඩ ලැබෙද්දී විදේශ විණිමය වෙළඳපොළ සමතුලිතතාව වෙනස් වන බව පැහැදිලි කරුණක්. එහෙත් මේ වන විට රටේ විදේශ අංශය ඒ සඳහා මුහුණ දිය හැකි තරමට ස්ථාවරව තිබෙනවා. ඩොලර් ඉල්ලුම ඉහළ යද්දී ඩොලරයක මිල යම් තරමකින් ඉහළ යාමට ඉඩ ඇතත්, එය ශ්‍රමික ප්‍රේෂණ වල පහත වැටීම නැවත යථා තත්ත්වයට පත් වීමටටද හේතු විය හැකියි. ඒ අතර අලුත් ආණ්ඩුවටද, ඔවුන්ගේ පූර්ව සැලසුම් අනුව කෙටි කලකින් ශ්‍රමික ප්‍රේෂණ වැඩි කර ගැනීම සඳහා කටයුතු කිරීමට මෙය හොඳ අවස්ථාවක්. 

ශ්‍රමික ප්‍රේෂණ පහත වැටීම තාවකාලික තත්ත්වයක් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇතත්, මේ සංඥාව අවතක්සේරු කර නොසලකා හැරිය යුතු එකක් නෙමෙයි. 

3 comments:

  1. හඳුන්නෙත්ති කිව්වේ එයාලා බලයට ආපු ගමන් රට ඉන්නා ලාංකීය අය ඩොලර් එවනවා කියලා.
    එතකොට ඒක එහෙම වෙලා නැද්ද ඉකොනෝ කියන්නේ?

    මම කියන්නේ මැදපෙරදිග, කොරියාවේ වගේ ඉන්නා අය හැමදාම එවන සල්ලි නෙමේ. අනික් රට වල ඉන්නා අය. පදිංචි වෙලා ඉන්නා අය

    ReplyDelete
    Replies
    1. මෙහෙම වෙන්නෙ ඇයි? කෝ අර පිටරටවල ඉඳන් ලංකාව හදන්න වැළලුණ කට්ටිය සල්ලි දාන්නෙ නැද්ද?

      මෙහෙ වැඩේ ලේසි නැහැ පුතා. ලක්ෂ 14ක රජයක්, තව ලක්ෂ දෙකහමාරක් ඉන්න සංස්ථා, මණ්ඩල ආදිය, ලක්ෂ හතහමාරක් විශ්‍රාමිකයන් ලක්ෂ 20ක් විතර වෙන අස්වැසුම ප්‍රතිලාභීන් ආදිය වෙනුවෙන් රජය අතිවිශාල ධනස්කන්ධයක් වැය කරන්නට ඕනැ. රජයේ බදු ආදායම ඒකට මදි. තව ණය ගෙවන්නත් තියෙනවා. සංවර්ධනය ගැන තව අවුරුදු පහකින් විතර පස්සෙ කතාකරමු. එතකල් මේ තියෙන එක පවත්වාගෙන යන්නට පවා ඔබේ අනුග්‍රහය නැතුව බැහැ.

      ඔහොම බැහැ. ඩොලර් එකේ වටිනාකම පහළ වැටුණායි කියලා ශ්‍රී ලංකාවට ඔහොම කරන්න එපා. සල්ලි හරි මාර්ගෙන් එවන්න.

      උන්ඩියල් කළොත් බැසිල්ට යනව කියල ඒගොල්ලන් කිව්ව මතකද?

      Delete
  2. සංස්ථාවේ මාළු රසයි. අජිත් ධර්මා ඔක්කොම කයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: