වෙබ් ලිපිනය:

Tuesday, December 19, 2017

ලෝකයේ ධනවත්ම පවුල?



මේ වන විට ලෝකයේ වැඩිම වත්කම් හිමි පුද්ගලයා වී සිටින්නේ ඇමසන් ඩොට් කොම්හි සභාපති ජෙෆ් බෙසෝස්ය. අද (දෙසැම්බර් 19)  උදෑසන, මේ ලිපිය ලියන මොහොත වන විට ඔහුගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 99.9ක්ව පැවති අතර දවස ඇතුළත මේ ගණන ඩොලර් බිලියන 100 ඉක්මවන්නට ඉඩ තිබේ. ඉතිහාසයේ ජීවත්ව සිටි, අද මුදලින් මීට වඩා වත්කම් හිමිව තිබුණු පුද්ගලයින් ගැන ලිපියක් ටික දවසකට පෙර දේශකයා විසින් පළ කර තිබුණේය

කාලයෙන් කාලයට විවිධ පුද්ගලයින් විසින් මෙවැනි විශාල වත්කම් ප්‍රමාණයන් එක් රැස් කරගන්නා අතර ඔවුන්ගේ ඇවෑමෙන් පසු සාමාන්‍යයෙන් සිදුවන්නේ ඒ වත්කම් අදාළ පුද්ගලයාගේ උරුමකරුවන් අතර බෙදී යාමයි. මේ අයුරින් උරුමයෙන් විශාල ධනයක් ලබන ඇතැම් අය උනන්දුවක් නැති කමින් හෝ දක්ෂතාවයක් නැති කමින් එසේ ලැබුණු වත්කම් ක්ෂය කර ගන්නා නමුත්, ඒ වත්කම් තව දුරටත් වර්ධනය කරගන්නා අයද සිටිති. ඒ නිසා, ධනවතෙකුගේ උරුමකරුවන්ද බොහෝ විට ධනවතුන් ලෙසම ජීවත් වන නමුත් මෙය සදාකාලිකවම හා හැමවිටම මෙසේ වන්නේ නැත. උරුමකරුවන් වැඩි දෙනෙකු අතර ධනය බෙදී යාමත්, පසු පරම්පරා වල අය මුල් පරම්පරාවේ අය තරම් කාර්යක්ෂම ලෙස සිය වත්කම් කළමනාකරණය නොකිරීමත් නිසා කිසියම් අයෙකු විසින් එක් රැස් කරගන්නා ධනය හේතුවෙන් බොහෝ විට හත් මුතු පරම්පරාවක්ම ගොඩ යන්නේ නැත.

ෆෝර්බ්ස් ඇස්තමේන්තු අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයා ජෙෆ් බෙරෝස් වුවත්, ඇමරිකාවේ ධනවත්ම පවුල ලෙස සැලකෙන්නේ වෝල්මාර්ට් ව්‍යාපාර සමූහයේ කොටස් වලින් අඩකට වඩා උරුමයෙන් හිමිකරගෙන සිටින වෝල්ටන් පවුලයි.

ඇමරිකාවට වරක් හෝ පැමිණ ඇති අයෙකු වෝල්මාර්ට් සුපිරි වෙළඳ සැලකට වරක් හෝ ගොඩ වී තිබෙන්නට ඉඩ තිබේ. ඇමරිකාව පුරා විසිරී ඇති වෝල්මාර්ට් සුපිරි වෙළඳ සැල් යනු ඇමරිකානු සංකේතයක් කියා කියන්නට පුළුවන. වසර 55ක ඉතිහාසයක් ඇති වෝල්මාර්ට් ව්‍යාපාර ජාලය තුළ මේ වන විට ලෝකය පුරා විසිරුණු සිල්ලර වෙළඳසැල් 11,700ක් පමණ දක්වා ව්‍යාප්ත වී තිබේ. එහෙත්, තවමත් ප්‍රධාන වෝල්මාර්ට් යනු බොහෝ දුරට ඇමරිකා එක්සත් ජනපදයේ දේශීය වෙළඳපොල ඉලක්ක කරගත් ආයතනයකි.  

වෝල්මාර්ට් නිර්මාතෘ සෑම් වෝල්ටන් හා ඔහුගේ සොහොයුරු බඩ් වෝල්ටන් විසින් 1962 වසරේදී අර්කන්සාස් හිදී පළමු වෝල්මර්ට් වෙළඳසැල ආරම්භ කළේ පාරිභෝගිකයින්ට අඩු මිලකට, තත්ත්වයෙන් හොඳ භාණ්ඩ ලබා දීමේ අරමුණිනි. පසුගිය ඔක්තෝබර් අවසානය වන විට ඇමරිකාවේ පමණක් වෝල්මාර්ට් සුපිරි වෙළඳසැල් 3,552ක්, සෑම්ස් ක්ලබ් වෙළඳසැල් 660ක් ඇතුළු සිල්ලර වෙළඳසැල් 5,412ක් තිබීමෙන් පෙනෙන්නේ සෑම් වෝල්ටන්ගේ සංකල්පයේ සාර්ථකත්වයයි. 

සෑම් වෝල්ටන් පිළිකාවකින් මිය යන්නට වසරකට පෙර, 1991දී මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටිහි සෑම්ස් ක්ලබ් වෙළඳසැලක් ආරම්භ කරමින් වෝල්මාර්ට් ආයතනය පළමු වරට ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටතට සිය ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කළේය. මේ වන විට මෙක්සිකෝව පුරා විසිරී ඇති වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැල්  ගණන 2,317කි. මීට අමතරව කැනඩාවේද  වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැල් 410ක් ඇති අතර ඒ අනුව උතුරු ඇමරිකාව තුළ පමණක් ඇති වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැල් ගණන 8,000 ඉක්මවයි. 

බ්‍රසීලයේ වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැල් 485ක්ද, ආර්ජන්ටිනාවේ 107ක්ද, චිලියේ (වෙනත් වෙළඳනම් වලින්) 371ක්ද, කොස්ටරිකාවේ 244ක්ද, එල් සැල්වදෝරයේ 91ක්ද, හොන්ඩියුරාස්හි 101ක්ද, ගෝතමාලාවේ 232ක්ද, නිකරගුවාවේ 95ක්ද ලෙස දකුණු හා මධ්‍යම ඇමරිකාව තුළද වෝල්මාර්ට් ජාත්‍යන්තර ජාලය මේ වන විට ව්‍යාප්ත වී තිබේ. එක්සත් රාජධානිය තුළ "ඇස්ඩා" වෙළඳ නාමය යටතේ ක්‍රියාත්මක වන සිල්ලර වෙළඳසැල් 638ක අයිතියද, ජපානය තුළ "සෙඉයු" වෙළඳ නාමය යටතේ ක්‍රියාත්මක වන සිල්ලර වෙළඳසැල් 638ක අයිතියද වෝල්මාර්ට් ව්‍යාපාර ජාලය සතුය.

වෝල්මාර්ට් ව්‍යාපාර ජාලය 1996දී චීනය තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර මේ වන විට චීනය තුළ වෝල්මාර්ට් සුපිරි වෙළඳසැල් 386ක් ඇතුළු වෝල්මාර්ට් සිල්ලර වෙළඳසැල් 424ක් ක්‍රියාත්මකව පවතී. වෝල්මාර්ට් ව්‍යාපාර ජාලය ඉන්දියාවට ඇතුළු වුණේ 2009දීය. මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත 9ක වෝල්මාර්ට් ව්‍යාපාර ජාලයට අයත් සිල්ලර වෙළඳසැල් 20ක් වෙනත් වෙළඳ නාමයකින් විවෘතව පවතී. අප්‍රිකානු මහාද්වීපයේ දකුණු අප්‍රිකාව, ඝානා, බොට්ස්වානා, කෙන්යාව, සැම්බියාව, උගන්ඩාව, මලාවි, මොසැම්බික්, ටැන්සානියාව, ස්වාසිලන්තය, උගන්ඩාව, නයිජීරියාව, ලෙසොතෝ වැනි රටවල් ගණනාවකද වෝල්මාර්ට් ක්‍රියාත්මකය.

වෝල්මාර්ට් නිර්මාතෘ සෑම් වෝල්ටන් 1992 වසරේදී මිය යාමෙන් පසු ඔහුගේ උරුමය සෑම් වෝල්ටන්ගේ දරුවන් සිවුදෙනා වූ රොබ්, ජෝන්, ජිම් හා ඇලිස් අතර බෙදී ගියේය. 1995දී සෑම් වෝල්ටන්ගේ සොහොයුරු හා වෝල්මාර්ට් සම-නිර්මාතෘ බඩ් වොල්ටන්ද මිය ගියේය. ඉන් පසුව, බඩ් වෝල්ටන්ගේ උරුමය ඔහුගේ දියණියන් දෙදෙනා වූ ඈන් හා නැන්සි අතර බෙදී ගියේය. ඉන් පසුව, 2005දී ගුවන් යානා අනතුරකින් සෑම් වෝල්ටන්ගේ දරුවෙකු වූ ජෝන් වෝල්ටන්ද මිය ගියේය. ජෝන් සතු වූ වෝල්මාර්ට් කොටස් හිමිකම් වලින් අඩක් පුණ්‍ය කටයුතු සඳහා වෙන් කෙරුණු අතර, තුනෙන් එකක් ඔහුගේ පුත් ලූකාස්ටත්, හයෙන් එකක් දෙවන බිරිඳ වූ ක්‍රිස්ටිටත් හිමි විය. මේ අනුව, රොබ්, ජිම්, ඇලිස්, ඈන්, නැන්සි, ලූකාස් හා ක්‍රිස්ටි අතර මේ වන විට වෝල්මාට් නිර්මාතෘන්ගේ උරුමය බෙදී ගොස් තිබේ. මේ හත් දෙනාට දැනට වෝල්මාර්ට් කොටස් වලින් 54%ක් පමණ අයිතිය. අද (දෙසැම්බර් 19) වන විට වෝල්මාර්ට් පවුලේ එක් එක් සාමාජිකයාගේ වත්කම් මෙසේය.

රොබ් වෝල්ටන්- ඩොලර් බිලියන 45.5
ජිම් වෝල්ටන්- ඩොලර් බිලියන 46.5
ඇලිස් වෝල්ටන්- ඩොලර් බිලියන 46.2
ඈන් වෝල්ටන්- ඩොලර් බිලියන 6.6
නැන්සි වෝල්ටන්- ඩොලර් බිලියන 5.8
ලූකාස් වෝල්ටන්- ඩොලර් බිලියන 16.0
ක්‍රිස්ටි වෝල්ටන්- ඩොලර් බිලියන 7.4

මේ අනුව වෝල්මාර්ට් පවුලේ සාමාජිකයින්ගේ වත්කම් වල එකතුව අද වන විට ඇමරිකන් ඩොලර් බිලියන 174කි. මේ අය අතරින් ජිම්, ඇලිස් හා රොබ් පිළිවෙලින් ලෝකයේ ඉහළම වත්කම් හිමිකරුවන්ගේ ලැයිස්තුවේ 14, 15 හා 16 ස්ථාන වල සිටිති.

17 comments:

  1. අම්මේ එච්චර සල්ලි ගොඩක්

    ReplyDelete
    Replies
    1. ලංකාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයම ඩොලර් බිලියන 80යි.

      Delete
  2. ඉකොන්ට ස්තුතීයි මගේ පෝස්ටුවටත් ලින්කුවක් දැමීම සම්බන්ධව..

    වොල්ටන් ෆැමිලි එක මොකක්ද කියල හිතෙනවා රොත්ස්චයිල්ඩ් ෆැමිලි එකක් එක්ක. ඩොලර් බිලියන 350 කට අධික වත්කමක්.. ඒ ගානට කිට්ටු වෙන්නේ අර මන්සා මියුසා විතරයි මයේ හිතේ.. (සමහර විට මේ අයගේ හෙළි නොකල වත්කම් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියනය ඉක්මවනවා කියලත් කියනවා.. )

    ReplyDelete
    Replies
    1. පුද්ගලයෙකුගේ හෝ පවුලක වත්කම් නිවැරදිව ඇස්තමේන්තු කිරීම ඉතාම අසීරු කටයුත්තක්.

      Delete
  3. what is your opinion on Russian ban of SL tea?

    ReplyDelete
  4. ඒ වත්කම් හරහා ආණ්ඩුවට කොපමණ බදු මුදලක් එනවා ඇතිද ? අපේ අයනම් වත්කම්,බැරකම් සඟවනවා උනත් මේ බිලියනපතියෝ එහෙම කරන්නේ නැතිද හෝ එහෙම කරන්න තියෙන හැකියාව එක්සත් ජනපදය තුල සිමාසහිතද ? ෆෝර්බ්ස් කිව්වාට වඩා තමන්ගේ වත්කම් වැඩි බව "ඩොනල්ඩ් ට්‍ර්ම්ප්"
    කිව්වා කියලා තිබ්බා ජනාධිපතිවරණය කාලයේදී.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ ආදායම් මත මිස වත්කම් මත බදු අය කිරීම සිදුවන්නේ සීමිත තත්ත්වයන් කිහිපයකදී පමණයි. ප්‍රධාන වශයෙන්ම නිවාස වල වටිනාකම අනුව අයකරන දේපොළ බදු හා මිලියන 4.5කට වඩා වැඩි වත්කම් තිබෙන අයගෙන් මිය ගිය විට අය කරන බදු ලෙසයි. කොටස් හිමිකම් විකිණුවේ නැත්නම් සාමාන්‍යයෙන් බදු ගෙවන්න වෙන්නේ ලැබෙන ලාභාංශ ආදායම මත පමණයි. ෆෝර්බ්ස් ඇස්තමේන්තු නිවැරදි නොවෙන්න කිසියම් ඉඩක් තිබෙනවා.

      Delete
  5. ලංකාවටත් එනවනම් හොඳයි . මොකද ලංකාවේ සුපර්මාකට් දැන් කස්ටමර් නොදකිං ගානට වැටිල.

    ReplyDelete
    Replies
    1. එසේනම් මෙය ලංකාවේ අයෙකුට සිතන්නට පුළුවන් ව්‍යවසායකත්ව අවස්ථාවක්.

      Delete
  6. බොහේ ලෝක නායකයන් මේ කිහිප දෙනාගේ න්‍යය පත්‍ර එහෙම නැත්තම් පිටපත් වලට අනුව ලෝකය පාලනය කරන බව කිව යුතුය .

    ReplyDelete
  7. වෝල්ටන් පවුලට ජය
    විචාරක දියණිය

    ReplyDelete
  8. What about the Rothschild,Rocefeller families?

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: