වෙබ් ලිපිනය:

Tuesday, July 24, 2018

වූල්වර්ත්ස් ලාබ අසාධාරණද?

ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් සමාගම් සමූහයේ මාර්ක්-අප් එක ගැන අපි පෙර ලිපියෙන් කතා කළා. නමුත්, එම සමාගමේ ලාභ ගැන හරියටම කතා කළේ නැහැ. වූල්වර්ත්ස් සමාගම ඇමරිකාවේ වෝල්මාර්ට් සමාගමට හෝ ලංකාවේ කාර්ගීල්ස් සමාගමට වඩා ලොකු මාර්ක්-අප් එකක් තබා ගන්නා බව පෙනුනත් ඒ හේතුව නිසාම ඒ සමාගම අධික ලාභ උපයන බවක් අදහස් වෙන්නේ නැහැ.

වූල්වර්ත්ස් වැනි සමාගමක සේවක වියදම්, ගොඩනැගිලි හා වාහන කුලී හෝ නඩත්තු වියදම්, ප්‍රවාහන වියදම්, ණය පොලී, විදුලි බිල් වැනි ගෙවීම් ඇතුළු අටෝරාසියක් වියදම් ආවරණය කරගන්න වෙන්නේ මේ මාර්ක්-අප් එකෙනුයි. ඒ සියලු වියදම් පියවීමෙන් පසුව ඉතිරිවන ශුද්ධ ලාභයෙනුත් කොටසක් රජයට බදු සේ ගෙවීමෙන් පසුවයි සමාගම වෙනුවෙන් ආයෝජනය කර ඇති කොටස් හිමිකරුවන්ට එහෙමත් නැත්නම් සමාගමේ අයිතිකරුවන්ට තමන්ගේ ආයෝජනය වෙනුවෙන් ප්‍රතිලාභ ලබාගත හැක්කේ.

තවත් දෙයක් කිවයුතුයි. අප මේ ලිපිමාලාවේදී අවධානයට ලක්කළ ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස්, ඇමරිකාවේ වෝල්මාර්ට් හා ලංකාවේ කාර්ගීල්ස් වැනි සුපිරි වෙළඳසැල් කර්මාන්තයේ නියැලෙන ප්‍රධාන සමාගම් හැම එකක්ම වගේ අදාළ රටවල කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කර තිබෙන පොදු සමාගම්. ඒ නිසා, මෙවැනි සමාගමක අයිතිකරුවෙකු වෙන්න ඕනෑම පුද්ගලයෙකුට පුළුවන්කම තිබෙනවා. යම් හෙයකින් කිසියම් ලැයිස්තුගත සමාගමක ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ඉතා ඉහළ බව පෙනෙනවනම් ඒ ප්‍රතිලාභ තමන්ටත් ලබා ගන්න කිසිවෙකුට බාධාවක් නැහැ. ඒ නිසා, එකම පුද්ගලයෙකු එක වරම මෙවැනි සමාගමක පාරිභෝගිකයෙකු, සේවකයෙකු හා අයිතිකරුවෙකු විය හැකියි. ඒ හැර, සමාගම් අයිතිකරුවන් කියා ඉරකින් වෙන්කළ හැකි නිශ්චිත පුද්ගලයින් කණ්ඩායමක් නැහැ.

සමාගමක කොටස් හිමිකරුවෙකුට තමන්ගේ ආයෝජනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ ලාභාංශ වශයෙනුයි. ශුද්ධ ලාභය මත රජයට බදු ගෙවීමෙන් පසුව ඉතිරි වන මුදල හෝ එයින් කොටසක් මෙසේ ලාභාංශ සේ කොටස්කරුවන් වෙත ලබා දෙනවා. එහෙත්, ඇතැම් විට සමාගමට ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා අමතර ප්‍රාග්ධනය අවශ්‍යනම් මේ ලාභ වලින් කොටසක් හෝ මුළු මුදලම ලාභාංශ සේ මුදා නොහැර සමාගම වෙතම තබාගන්නත් පුළුවන්. එය අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කළමණාකාරිත්වයේ තීරණයක්.

සමාගමක කොටස් හිමිකරුවෙකුට ප්‍රතිලාභ ලබාගත හැක්කේ ලාභාංශ හරහා පමණක් නෙමෙයි. සමාගමේ කොටසක වෙළඳපොළ මිල ඉහළ ගිය විටෙක ගැනුම් මිලට වඩා වැඩි මිලකට කොටසක් එකවර විකුණා ප්‍රාග්ධන ලාභයක් ලබන්නත් පුළුවන්. නමුත්, කොටස් මිල පහළ වැටෙන්නත් ඉඩ තිබෙන නිසා මෙය ප්‍රාග්ධන අලාභයක් වෙන්නත් බැරි නැහැ. මේ අනුව, සමාගමක කොටස් හිමිකරුවෙකුට තමන්ගේ ආයෝජනය වෙනුවෙන් ලැබෙන සමස්ත ප්‍රතිලාභය කියන්නේ ලැබුණු ලාභාංශ වල හා ප්‍රාග්ධන ලාභයේ හෝ අලාභයේ එකතුවයි.

සමාගමක ලාභ ඉහළ යන විට සාමාන්‍යයෙන් කොටස් හිමිකරුවන්ට ගෙවන ලාභාංශත් ඉහළ යනවා. දිගින් දිගටම සමාගමක ලාභ හා ලාභාංශ ඉහළ යන විට සමාගමේ අනාගත ලාභ හා ලාභාංශ පිළිබඳ අපේක්ෂාවන්ද ඉහළ යන නිසා එහි කොටස් මිලත් වැඩි වෙනවා. මෙවැනි අවස්ථාවක කොටස්හිමියෙකුට තමන්ගේ කොටස් විකුණා ලොකු ප්‍රාග්ධන ලාභයක් ලැබිය හැකි වුවත් එය රන් බිජු දමන කිකිළියකගේ බඩ පලනවා වැනි දෙයක් වෙන්න පුළුවන්. කොටස් විකුණා නොදැම්මොත්, අතට මුදල් නොලැබෙන නමුත් මුදල් නොකළ ප්‍රාග්ධන ලාභ නිසා කොටස් හිමිකරුවෙකුගේ වත්කම් ඉහළ යනවා. ඇමසන් සමාගමේ කොටස් මිල ඉහළ යද්දී ජෙෆ් බෙසෝස් ලෝකයේ ලොකුම වත්කම්හිමියා බවට පත් වුණේ මේ විදිහටයි.

සමාගමක ලාභ ලාභාංශ සේ බෙදා නොහැර සමාගමේ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සඳහා වෙන් කරන්නේ එසේ කිරීමෙන් එහි අනාගත ලාභ තවත් වැඩි කර ගත හැකි බව පෙනෙන විටයි. ඒ නිසා, සමාගමක ලාභ ඉහළ ගොස් ඒවා ලාභාංශ ලෙස බෙදා නොහැර සමාගමේම ඉතිරි කරගත් විටත් එහි අනාගත ලාභ හා ලාභාංශ පිළිබඳ අපේක්ෂාවන් ඉහළ කොටස් මිල වැඩි වීම නිසා කොටස් හිමිකරුවන්ගේ වත්කම් ඉහළ යනවා. කොටස් හිමිකරුවෙකුට අවශ්‍යනම් තමන්ගේ වත්කම් වලින් කොටසක් මුදල් කිරීමේ හැකියාව තිබෙන නිසා සමාගමේ ලාභ ලාභාංශ ලෙස ලබා නොදී සමාගමේම රඳවාගත්තාය කියා දිගුකාලීනව එවැන්නෙකු විසින් ලබන ප්‍රතිලාභ වල ලොකු වෙනසක් වෙන්නේ නැහැ.

පහත වගුවේ හා රූප සටහන් තුනේ පෙන්වා තිබෙන්නේ පසුගිය වසර දහය තුළ වූල්වර්ත්ස් කොටස්හිමිකරුවන්ට ගෙවූ ලාභාංශ, එම සමාගමේ කොටස් මිල විචලනය වූ ආකාරය හා කොටස් මිලට සාපේක්ෂව ලාභාංශ වල ප්‍රතිලාභ අනුපාතිකයයි.

වූල්වර්ත්ස් සමාගම සාමාන්‍යයෙන් වසරකට දෙවරක් ලාභාංශ ගෙවා ඇති බව පෙනෙනවා. ඒ වසරේ පළමු හා තෙවන කාර්තු අවසානයේදී. පුරුද්දක් ලෙස තෙවන කාර්තුව අවසානයේදී සුළුවෙන් වුවත් තරමක් වැඩි මුදලක් ලාභාංශ සේ ගෙවා තිබෙනවා.





ඉහත කී සේ සයමසකට වරක් ලාභාංශ වශයෙන් කොටස් හිමිකරුවෙකුට ගෙවා ඇති මුදල කොටසක වෙළඳපොල වටිනාකමේ ප්‍රතිශතයක් සේ ගත්තොත් මධ්‍යන්‍ය අගයක් ලෙස 2% කට වඩා තරමක් අඩුයි. ඒ කියන්නේ, කොටස් හිමියන්ගේ ආයෝජන වෙනුවෙන් ලාභාංශ සේ වසරකට ලැබී ඇති ප්‍රතිලාභය 4% මට්ටම ඉක්මවා නැහැ. 2008 මාර්තු හා 2018 මාර්තු අතර කාලය සැලකුවොත් වූල්වර්ත්ස් කොටසක මිලෙහි අඩුවීමකුයි දැකිය හැක්කේ. එම මිල ඕස්ට්‍රේලියානු ඩොලර් 29.35 සිට 26.29 දක්වා පහත වැටී තිබෙනවා. මේ වන විට මේ කොටස් මිල නැවතත් ඕස්ට්‍රේලියානු ඩොලර් 30.99 මට්ටමට පැමිණ තිබෙන බව සැලකුවත් එය වසරකට 0.5% කට වඩා නොවැඩි වර්ධනයක්. ඒ නිසා, වූල්වර්ත්ස් කොටස් හිමියකු විසින් ලබා තිබෙන සාමාන්‍ය ප්‍රතිලාභය වසරකට 4.5% කට වඩා නැහැ.

වසර දහයකට පෙර, එනම් 2008 වසරේ මුල් අර්ධය තුළ ඕස්ට්‍රේලියානු රජය විසින් නිකුත් කළ දස අවුරුදු බැඳුම්කර වෙනුවෙන් ලැබිය හැකිව තිබුණු ප්‍රතිලාභය 6% මට්ටමටත් වඩා වැඩියි. මේ බැඳුම්කර කොටස් ආයෝජන මෙන් අවදානම් ආයෝජන නෙමෙයි. ඕස්ට්‍රේලියානු රජය විසින් නිකුත් කරන දස අවුරුදු බැඳුම්කරයක් වෙනුවෙන් පොරොන්දු වන ප්‍රතිලාභය නොලැබී යන්න ඉඩක් නැති තරම්. මේ පදනම මත බැලුවොත් වූල්වර්ත්ස් කොටස්හිමිකරුවෙක් 2008 මුලදී තමන්ගේ කොටස් මුදල් කර ඕස්ට්‍රේලියානු රජයේ බැඳුම්කර මිල දී ගත්තානම් මේ වන විට 6% ඉක්මවන ප්‍රතිලාභයක් ලබා අවසන්. එසේ නොකර වූල්වර්ත්ස් ලාභ මත විශ්වාසය තබාගෙන සිටීම නිසා ඔවුන්ට සිදුවී තිබෙන්නේ ආයෝජනය කළ මුදලින් 1.5% ක් ඉක්මවන අලාභයක්.

තත්ත්වය මෙසේනම්, වූල්වර්ත්ස් අයිතිකරුවන් පාඩු විඳිමින් මේ ව්‍යාපාරය තුළ රැඳී සිට ඇත්තේ ඇයි? ඔවුන් අපේක්ෂා කරන්නට ඇත්තේ පසුගිය දස වසර තුළ එම සමාගමේ ලාභ මීට වඩා වැඩි වනු ඇති බවයි. එහෙත්, සේවක වියදම් ඉහළ යාම, ඉහල ගිය තරඟකාරිත්වය හෝ වෙනත් හේතුවක් මත එය එසේ සිදු වී නැහැ. ස්වයංකරණය හඳුන්වා දෙමින් සේවක වියදම් අඩු කර ලාභ වැඩිකරගන්නට ඔවුන් උත්සාහ දරා තිබුණත්, හොරකම් වැඩි වීම හෝ වෙනත් හේතුවක් නිසා එසේ කිරීමෙන් පසුවත් ඔවුන්ට අවශ්‍ය පමණ ලාභයක් ලබන්නට හැකි වී නැහැ.

මා වූල්වර්ත්ස්හි සුළු කොටස්හිමියෙක්ව සිටියානම් මේ වෙලාවේ උනන්දුවෙන් බලා සිටින්නේ අනාගත ලාභ වැඩි කරගැනීම සඳහා සමාගමේ කළමනාකාරිත්වය විසින් කවර ක්‍රියාමාර්ග ගන්නේද යන්න දෙසයි. එවැනි ක්‍රියාමාර්ග ගන්නා බවක් පෙනෙන්නේ නැත්නම් මා කරන්නේ මගේ කොටස් විකුණා දැමීමයි. මේ වෙලාවේ ඕස්ට්‍රේලියානු රජය විසින් නිකුත් කරන දස අවුරුදු බැඳුම්කරයක ඵලදා අනුපාතිකය 2.7% පමණ මට්ටමක තිබුණත් ආසන්නම වසර කිහිපය තුළ වූල්වර්ත්ස් සමාගමේ ලාභාංශ අනුපාතික දෙස බැලූ විට අවදානම අඩු බැඳුම්කර වලට මුදල් මාරු කිරීම වුණත් නරකම නැහැ. හොයා බැලුවොත්, අවදානමට සාපේක්ෂව වැඩි ප්‍රතිලාභ ලැබීමේ ඉඩක් තිබෙන වෙනත් ඕස්ට්‍රේලියානු සමාගම් වල කොටස් ඕනෑ තරම් ඇති.

බොහෝ දෙනෙක් මෙසේ සිතා තමන් සතු වූල්වර්ත්ස් කොටස් විකුණන්න පෙළඹුනොත් සිදුවන්නේ වූල්වර්ත්ස් කොටසක මිල දැන් තිබෙන මට්ටමට වඩා පහළට වැටීමයි. එය එසේ නොවන්නටනම් එහි කළමනාකාරිත්වයට ඉතා ඉක්මණින්ම සමාගමේ ලාභ වැඩි කරගැනීමේ උපාය මාර්ගයක් ගැන හිතන්නට වෙනවා.

4 comments:

  1. අද නිකුත්වුණු නිවේදනයකට අනුව, වූල්වර්ත්හි ප්‍රධාන තරගකරුවාවන කෝල්ස් සමාගමේ (33% of market share) හිමිකරුවන වෙස්ට් ෆාමර්ස් සමාගම එය (Coles) විකුණා දමන්නට සැරසෙන්වා. හේතුව අධික තරගය විය හැකියි. කෝල්ස් සඳහා වෙස්ට්ෆාමර්ස් ආයෝජනය තම මුළු වත්කඟෙන් 66%ක් වුනත්, ලාභය සමස්ත ලාභයෙන් 33% පමණයි ලු!

    තුන්වෙනි තරගකරුවාවන ජර්මන් ඇල්ඩි (Aldi) සාප්පුදාමයට අමතරව තවත් ජර්මානු සමාගමක් ඔසී වෙළඳපොළට ඉව අල්ලන බව ද කියවුණා!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඕල්ඩි එක ඕස්ට්‍රේලියානු වෙළඳපොළෙහි ක්‍රියාකාරී වීමෙන් පසු වෙස්ට්ෆාමර්ස්ලා කෝල්ස් මිලදී ගන්න අවස්ථාවේ කර්මාන්තයේ තිබුණු තරඟකාරිත්වය විශාල ලෙස ඉහළ ගොස් මුලින් අපේක්ෂා කළ ලාභ නැති වුනු බවයි. දැන් ඔවුන් කෝල්ස් එක වෙනම සමාගමක් කරන්න යන්නේ එහි බහුතර කොටස් පසුව විකුණා දැමීමේ අරමුණින් වෙන්න ඇති. බොහෝ විට මෙය විකුණන්න ලැබෙන්නේ මේ කර්මාන්තය තුළම ඉන්න සමාගමකටයි. එය ජර්මන් හෝ වෙනත් විදෙස් සමාගමක් වෙන්න පුළුවන්. කවර හෝ සමාගමක් විසින් කෝල්ස් බහුතර කොටස් මිල දී ගත්තොත් එසේ කරන්නේ වෙස්ට්ෆාමර්ස්ලාට ලබාගත නොහැකි ලාබ ලබාගත හැකි කිසියම් හෝ උපාය මාර්ගික වාසියක් තිබෙන නිසයි. එවැනි සමාගමක් ඕස්ට්‍රේලියානු වෙළඳපොළට අතදැම්මොත් වූල්ස්වර්ත් සමාගමට සිදුවන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි දෙයක්.

      Delete
    2. අම්මට සිරි බල්ලොත් ඕස්ට්‍රේලියාවෙ ..

      Delete
  2. අනුන්ගේ ලාබ අලාබ ගැන හොයා හොයා හුල්ලන්නේ ලජ්ජා නැද්ද බං?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: