වෙබ් ලිපිනය:

Saturday, September 14, 2024

කැමති හා අකැමැති අපේක්ෂකයෝ


මේ වෙද්දී ලංකාවේ ගොඩක් අය තමන් කැමතිම ජනාධිපති අපේක්ෂකයාව තෝරාගෙන අවසන්. ඒ කවුරු වුවත්, මේ ගොඩක් අයට තමන් කැමති අපේක්ෂකයා හැර අනෙක් අපේක්ෂකයින් සම්බන්ධව අප්‍රසාදයක් තිබෙන බවත් පෙනෙන්න තිබෙන දෙයක්. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් කාලයක සිටම එක් එක් අපේක්ෂකයාට තිබෙන කැමැත්ත හෝ අකැමැත්ත ගැන විමසනවා. මෙයින් අදහස් වන්නේ ඡන්දය දීමේ අභිප්‍රාය නෙමෙයි. ඒ දෙක දෙකක්. හැබැයි මේ වගේ අවස්ථාවක ඔය දෙක එක කිට්ටුවෙන් යන්න සෑහෙන ඉඩකඩක් තිබෙනවා. 

ජනාධිපතිවරණයේදී කෙනෙකුට මනාප තුනක් දක්වා දෙන්න පුළුවන්. පළමු මනාපය හෝ එකම මනාපය දෙන්නේ තමන් වැඩියෙන්ම කැමති අපේක්ෂකයාටනේ. හැබැයි ඒක එහෙම නොවී අඩුවෙන්ම අකැමැති අපේක්ෂකයාට පළමු මනාපය දෙන අයත් ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් සියලුම අපේක්ෂයින් තමන් අකැමැති අපේක්ෂයින් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් කාට හෝ ඡන්දය දෙනවා. 

ඔය විදිහටම අපේක්ෂයින් දෙදෙනෙකුට හෝ වැඩි දෙනෙකුට කැමති (හෝ අකැමැත්තක් නැති) අය ඉන්නත් පුළුවන්. නමුත් ඒ සියලු දෙනාටම මනාප දෙන බවක් එයින් අනිවාර්යයෙන් අදහස් වෙන්නේ නැහැ. ඒ නිසා, එක් එක් අපේක්ෂයාට තිබෙන කැමැත්ත හෝ අකැමැත්ත සහ ඡන්දය දීමේ අභිප්‍රාය කියන්නේ වෙන වෙනම කරුණු දෙකක්. 

මේ සමඟ පළ කරන රූප සටහනේ දැකිය හැකි "සමස්ත හිතකරත්වය" කියන එකෙන් අදහස් වෙන්නේ එක් එක් අපේක්ෂකයාට තිබෙන ප්‍රසාදයේ හා අප්‍රසාදයේ සාරාංශයක්. හතර දෙනාටම තියෙන්නේ සෘණ අගයන්. ඒ කියන්නේ මේ කවුරු ගත්තත් කැමති ප්‍රමාණයට වඩා අකැමැති ප්‍රමාණය වැඩියි කියන එක. 

අඩුම පිරිසක් අකැමැති අපේක්ෂකයා අනුර. වැඩිම දෙනෙක් අකැමැති නාමල්ට. රනිල් හා සජිත් ඔය අතර ආසන්නව එක මට්ටමේ ඉන්නවා. 

මෙම අගයන් ඇසුරෙන් අපට එක් එක් අපේක්ෂකයාට කැමති හා අකැමැති ප්‍රතිශත පිළිබඳ දළ අදහසක් ගන්න පුළුවන්.

අනුර:

කැමති ප්‍රතිශතය = 39.5%

අකැමැති ප්‍රතිශතය = 100% - 39.5% = 60.5%

වෙනස = 39.5% - 60.5% = (-21%)


සජිත්:

කැමති ප්‍රතිශතය = 34%

අකැමැති ප්‍රතිශතය = 100% - 34% = 66%

වෙනස = 34% - 66% = (-32%)


රනිල්:

කැමති ප්‍රතිශතය = 33.5%

අකැමැති ප්‍රතිශතය = 100% - 33.5% = 66.5%

වෙනස = 33.5% - 66.5% = (-33%)


නාමල්:

කැමති ප්‍රතිශතය = 5.5%

අකැමැති ප්‍රතිශතය = 100% - 5.5% = 94.5%

වෙනස = 94.5% - 5.5% = (-89%)


දැන් අපිට මේ එක් එක් එක් අපේක්ෂකයාට කැමති ප්‍රතිශත දෙස බලන්න පුළුවන්.

අනුර = 39.5%

සජිත් = 34%

රනිල් = 33.5%

නාමල් = 5.5%

එකතුව = 112.5%


එකතුව 100%ට වඩා 12.5%කින් වැඩියි. ඒ කියන්නේ 12.5%ක් එක් අයෙකුට වඩා වැඩි අපේක්ෂයින් ගණනකට කැමැත්ත පෙන්වා තිබෙනවා. පළමු වටයේ ඡන්ද සැලකුවොත් ඔය 12.5% ගොඩවල් හතරෙන් කොයි විදිහකට හෝ අඩු විය යුතුයි. ඒ 12.5% කියන්නේ කාට හෝ ලැබෙන දෙවන මනාපද?

Friday, September 13, 2024

දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය


මෙම වසරේ (2024) දෙවන කාර්තුව තුළ, පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව, ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%කින් වර්ධනය වී තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ 1.7%ක හා සේවා අංශයේ 2.5%ක වර්ධනයක් සිදු වෙද්දී කර්මාන්ත අංශය 10.9%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තය නැවත පණ ගසා නැගිටමින් 15.5%ක වර්ධනයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන කරුණක්. 

වසරේ පළමු මාස හයේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 14,702ක් වන අතර පෙර වසරේ පළමු මාස හයේ එම අගය වූ රුපියල් බිලියන 13,422ට සාපේක්ෂව 9.5%ක නාමික වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව මූර්ත ආර්ථික වර්ධනය 5.0%ක්. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය මත පදනම් වූ උද්ධමනය 4.3%ක් පමණයි. 

පළමු අර්ධයේ ආර්ථික වර්ධන වේගය 5.0% මට්ටම දක්වා ගොස් ඇති බැවින් දෙවන අර්ධයේදී ආර්ථිකය වර්ධනය නොවී පෙර වසරේ මට්ටමේම පැවතියද 2024 වාර්ෂික ආර්ථික වර්ධනය 2.5% මට්ටමට යනවා. ඒ අනුව, වසරේ ආර්ථික වර්ධන වේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර ඇති 2.0% මට්ටම ඉක්මවන බව ඉතාම පැහැදිලියි. මෙම වසරේ වාර්ෂික වර්ධන වේගය බොහෝ විට ස්ථායීකරන වැඩ සටහනේ දිගුකාලීන ඉලක්කය වන 3.1% මට්ටමද ඉක්මවා යා හැකියි. දෙවන අර්ධය තුළ වර්ධන වේගය 1.2% මට්ටමෙහි පවත්වා ගත්තද වාර්ෂික වර්ධනය 3.1% මට්ටමට යන බව සරල ගණිතයෙන් වුවද තේරුම් ගත හැකි දෙයක්. 

ආර්ථික වර්ධනය මේ අයුරින් අරමුදලේ ඇස්තමේන්තු ඉක්මවා යද්දී දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය මත පදනම් වූ උද්ධමනය පවතින්නේ අරමුදලේ ඇස්තමේන්තුව වූ 9.8%ට වඩා බෙහෙවින්ම අඩු මට්ටමක් වන 4.3% මට්ටමේ. දෙවන අර්ධය තුළ මෙම අගය තවත් පහත වැටිය හැකි බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. 

ශ්‍රී ලංකාවේ අනාගත අභියෝගය වන්නේ මෙම යහපත් වර්ධනයන් දිගටම එලෙසින්ම පවත්වාගෙන යාමයි.

Wednesday, September 11, 2024

සමීක්ෂණ ප්‍රතිඵල - අගෝස්තු මාසය


සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අගෝස්තු මාසය හා අදාළ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය පිළිබඳ ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සඳහා සැප්තැම්බර් 2 දින දක්වා දිවයින පුරා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ 19,721ක දත්ත උපයෝගී කර ගෙන තිබෙනවා. 

මෙම ඇස්තමේන්තු හා ප්‍රවණතා අනුව පෙනී යන්නේ මෙම ජනාධිපතිවරණ තරඟය ඇතැම් අයගේ විශ්ලේෂණ වල සඳහන් ආකාරයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතර තරඟයක් වීමේ ඉඩක් කිසිසේත්ම නොපෙනෙන බවයි. එය මේ වන විට පැහැදිලි තුන් කොන් සටනක් බවට පරිවර්තනය වී අවසානයි. 

මෙම ඇස්තමේන්තු අනුව තවමත් ඉදිරියෙන් සිටින්නේ අනුර කුමාර දිසානායක වන අතර දෙවන තැන සිටින්නේ සජිත් ප්‍රේමදාසයි. කෙසේ වුවත්, තෙවන තැන සිටින රනිල් වික්‍රමසිංහ වේගයෙන් ඉදිරියට පැමිණෙමින් සිටීම කැපී පෙනෙන කරුණක්. එහි හානිය වැඩි වශයෙන් සජිත්ටත් ඉතා සුළු වශයෙන් අනුරටත් සිදුව ඇති බව දැකිය හැකියි. 

බැලූ බැල්මට මීට වඩා බොහෝ වෙනස් සේ පෙනෙන අනෙකුත් විවිධ "මත විමසුම්" වල දත්තද සංඛ්‍යානමය ගැලපුම් සිදු කිරීමෙන් පසුව මෙම ඇස්තමේන්තු හා සැසඳෙනවා. එමෙන්ම ප්‍රධාන කඳවුරු වල ප්‍රතිචාර වලින් පෙනී යන්නේ දැනට පවතින බලතුලනය පිළිබඳව එම කඳවුරු තුනටම අවබෝධයක් ඇති බවයි. 

මේ අනුව, පැහැදිලිව දැකිය හැක්කේ ජනාධිපතිවරණ සටන වඩා තියුණු තුන් කොන් සටනක් බවට පත්ව ඇති ආකාරයයි. මෙම ජනාධිපතිවරණය අපේක්ෂකයින් 39 දෙනාගේම ඡන්ද වලට වටිනාකමක් ලබා දෙන ජනාධිපතිවරණයක්. එවැනි තත්ත්වයක් මීට පෙර පැවතී නැහැ. 



දේශපාලන අවදානම හා පොලී අනුපාතික

 

ජනාධිපතිවරණ දිනය ආසන්න වෙද්දී ඉහළ ගොස් ඇති දේශපාලන අවදානම හමුවේ අද (සැප්තැම්බර් 11) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට රුපියල් බිලියන 180ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කළද, රජයට විකුණාගත හැකිව තිබෙන්නේ රුපියල් බිලියන 164.8ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. එම ප්‍රමාණය මිල දී ගෙන තිබෙන්නේද පොලී අනුපාතික නැවත 10% සීමාව ඉක්මවීමට ඉඩ හරිමිනුයි.

ඉදිරි සතියේ වෙන්දේසියට රුපියල් බිලියන 175ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබෙනවා. එය ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියයි. 

Monday, September 9, 2024

උපකල්පන වෙනස් වී ඇති ආකාරය

 

පෙර ලිපියෙහි විස්තර කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය ප්‍රයෝජනයට ගැනීමේදී සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කර ඒ මත පදනම්ව නිගමන වලට එළැඹෙන්නට සිදු වෙනවා. සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කරන්නේ ඒ වන විට තිබෙන දත්ත මත පදනම්ව, පුරෝකථන ආකෘති යොදා ගනිමින් සාදාගන්නා ඇස්තමේන්තු මතයි. අලුත් දත්ත එකතු වෙද්දී මෙම ඇස්තමේන්තු වෙනස් වන විට උපකල්පනද වෙනස් කර ණය තිරසාරත්වය නැවත ඇගයීමට ලක් කරනවා.

සාමාන්‍යයෙන් අරමුදල විසින් මේ අයුරින් අලුත් දත්ත යොදාගෙන ණය තිරසාරත්වය නැවත ඇගයීමට ලක් කරන්නේ සයමාසික විමර්ශන සිදු කරන අවස්ථා වලදීයි. ඇගයීමෙන් පසුව ණය තිරසාරත්ව දර්ශක සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත්නම් වැඩසටහනේ ඉලක්ක හා ගැලපෙන පරිදි අලුත් නිර්දේශ ඉදිරිපත් කරනවා. මෙය සාමාන්‍යයෙන් සිදු වන ක්‍රියාවලියයි. කෙසේ වුවත්, පුරෝකථන, එම පුරෝකථන මත පදනම් වූ උපකල්පන හා එම උපකල්පන මත පදනම්ව ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය අනුව සිදු කෙරෙන නිගමන සය මසක කාලයක් තුළ විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. 

මේ සමඟ පළ කෙරෙන වගුවේ දැකිය හැක්කේ අරමුදලේ පළමු හා දෙවන විමර්ශන අතර කාලයේදී සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම පිළිබඳ උපකල්පන වෙනස් වී ඇති ආකාරයයි. 

2023 මූර්ත ආර්තික වර්ධනය:
පළමු විමර්ශනය = (-3.6%)
දෙවන විමර්ශනය = (-2.3%)

2024 මූර්ත ආර්තික වර්ධනය:
පළමු විමර්ශනය = 1.8%
දෙවන විමර්ශනය = 2.8%

2023 දදේනි අවධමනකයේ වෙනස්වීම මත මනින උද්ධමනය:
පළමු විමර්ශනය = 20.4%
දෙවන විමර්ශනය = 17.5%

2024 දදේනි අවධමනකයේ වෙනස්වීම මත මනින උද්ධමනය:
පළමු විමර්ශනය = 10.1%
දෙවන විමර්ශනය = 9.8%

2023 ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි %):
පළමු විමර්ශනය = (-0.7)%
දෙවන විමර්ශනය = 0.6%

2024 ප්‍රාථමික අයවැය ශේෂය (දදේනි %):
පළමු විමර්ශනය = 0.8%
දෙවන විමර්ශනය = 1.0%

2023 නාමික දළ දේශීය නිෂ්පාදිතය (රු බිලියන):
පළමු විමර්ශනය = 28,033
දෙවන විමර්ශනය = 27,630

2024 නාමික දළ දේශීය නිෂ්පාදිතය (රු බිලියන):
පළමු විමර්ශනය = 31,422
දෙවන විමර්ශනය =30,917

මේ අනුව, පහසුවෙන්ම පහත නිරීක්ෂණ සිදු කළ හැකියි.
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා ඉක්මණින් ආර්ථිකයේ හැකිලීම නැවතී නැවත වර්ධනය වීම
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා වැඩි වේගයකින් උද්ධමනය පහත වැටීම 
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළාට වඩා වැඩි ප්‍රාථමික අයවැය ශේෂයක් වාර්තා වීම.

මේ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ රටේ ණය තිරසාරත්වය පිළිබඳ දර්ශක මුලින් අරමුදල විසින් ඇස්තමේන්තු කළ තත්ත්වයට වඩා හොඳ මට්ටමකට පැමිණ තිබීමයි. දෙවන විමර්ශනයෙන් පසුව ලැබුණු දත්ත අනුව පෙනී යන්නේ මේ තත්ත්වය මේ වන විට තවත් හොඳ අතට හැරී තිබිය යුතු බවයි. 

කෙසේ වුවත්, මේ අයුරින් කෙටිකාලීනව සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම අරමුදල විසින් උපකල්පනය කළාට වඩා හොඳ තත්ත්වයක ඇති බව පෙනී යාමෙන් පසුව වුවද, අරමුදල විසින් ඔවුන්ගේ දිගුකාලීන පුරෝකථන හෝ උපකල්පන වෙනස් කර නැති බවද පෙනී යා යුතුයි. ඔවුන් එම උපකල්පන වලට එළැඹෙන්නේ ඔවුන්ගේ පුරෝකථන ආකෘති හා ලංකාවේ සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ දිගුකාලීන හැසිරීම මත පදනම්වයි. 

වෙනත් විදිහකින් කිවුවොත් වසරක් හෝ දෙකක් "කරලා පෙන්නීමෙන්" පසුව අරමුදල විසින් ඔවුන්ගේ කෙටිකාලීන උපකල්පන වෙනස් කරනවා. එහෙත් දිගුකාලීන උපකල්පන වෙනස් කරනු ඇත්තේ වසර ගණනාවක් එක දිගට "කරලා පෙන්නීමෙන්" පසුවයි. 

Sunday, September 8, 2024

ණය තිරසාරත්ව විශ්ලේෂණයක් යනු කුමක්ද?


පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකු විසින් DSA යන යෙදුම භාවිතා කරනු දැකිය හැකි වුනා. මෙම අකුරු තුනෙන් කෙටි කර තිබෙන්නේ Debt Sustainability Analysis එනම් ණය තිරසාරත්ව විශ්ලේෂණය යන්නයි. ණය තිරසාරත්ව විශ්ලේෂණයක් යනු කුමක්ද?

ඉතා කෙටියෙන් කිවුවොත් මෙයින් අදහස් වන්නේ ඉදිරි කාලයේදී කිසියම් රටක රජයකට සිය රාජ්‍ය ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී සහ ණය වාරික පැහැර නොහැර නිසි කලට ගෙවීමේ හැකියාව පිළිබඳ විශ්ලේෂණයක්. 

ඇත්තටම මෙවැනි ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කරන්නේ රාජ්‍ය ණය හා අදාළව පමණක් නෙමෙයි. පුද්ගලයින් හා ආයතන සම්බන්ධවත් මෙවැනි විශ්ලේෂණ සිදු කෙරෙනවා. කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් බැංකුවකින් ණයක් ලබා ගැනීම සඳහා අයදුම් කිරීමෙන් අනතුරුව අදාළ බැංකුව විසින් ණය අනුමත කරන්නේ ණය තිරසාරත්ව විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුවයි. පුද්ගලයෙක්ගේනම් වැටුප් වාර්තා, වෙනත් වත්කම් ආදිය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටින්නේ මේ නිසා. සමාගමක් හා අදාළව වුවද පසුගිය ගිණුම් වාර්තා ආදිය බැංකුවට ලබා දෙන්නට සිදු වෙනවා. 

ස්ථාපිත ආයතන හා අදාළ ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කරන්නේ ඔවුන්ට ණය දෙන ආයතන විසින් පමණක් නෙමෙයි. තමන්ගේ ආයතනයේ ඉදිරි අවදානම් හඳුනා ගැනීම පිණිස එවැනි ආයතන විසින්ද මෙවැනි විශ්ලේෂණ සිදු කරනවා. රජයයන් විසින්ද රාජ්‍ය ණය හා අදාළව මෙවැනි විශ්ලේෂණ නිරන්තරයෙන් සිදු කරනවා. එසේ කරන්නේ අර්බුදකාරී අවස්ථා වලදී පමණක් නෙමෙයි. මෙය නිරන්තරව හා අඛන්ඩව සිදු වන දෙයක්. 

සිය සාමාජික රටවල රජයයන්ගේ ණය තිරසාරත්වය හා අදාළ විශ්ලේෂණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද වරින් වර සිදු කරනවා. එම අරමුදල විසින් රටකට ණය දීමට පෙර හා ඉන් පසුව මෙවැනි විශ්ලේෂණ අනිවාර්යයෙන්ම සිදු වන අතර එසේ ණය ගැනීමක් සිදු නොවන අවස්ථා වලදීද අරමුදල විසින් උපදේශනාත්මක කාර්යයක් ලෙස ස්වාධීන ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කරනවා. එම විශ්ලේෂණ අදාළ රජයයන්ගේ ණය තිරසාරත්ව විශ්ලේෂණ වලට වඩා වෙනස් වෙන්න පුළුවන්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය තිරසාරත්වය අර්ථ දක්වන්නේ පහත ආකාරයෙනුයි.

“In general terms, public debt can be regarded as sustainable when the primary balance needed to at least stabilize debt under both the baseline and realistic shock scenarios is economically and politically feasible, such that the level of debt is consistent with an acceptably low rollover risk and with preserving potential growth at a satisfactory level."

මෙම අර්ථදැක්වීම අනුව, සාමාන්‍යයෙන් අපේක්ෂා කළ හැකි මට්ටමේ ආර්ථික කම්පනයකට ඔරොත්තු දී ස්ථාවරව සිටීමට (එනම් ණය පැහැර හරින තත්ත්වයකට ඇද නොවැටීමට) ප්‍රමාණවත් තරමේ ප්‍රාථමික අයවැය ශේෂයක් පවත්වා ගැනීමට ආර්ථික වශයෙන් හා දේශපාලනික වශයෙන් හැකියාවක් ඇත්නම් ණය තිරසාරත්වය ඇති සේ සැලකෙනවා. එම තත්ත්වය යටතේ ආර්ථික වර්ධනය තිරසාර ලෙස සතුටුදායක මට්ටමක පවත්වා ගැනීමට හැකි විය යුතු අතර නිසි කලට ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය වන අරමුදල් සපයා ගැනීමට අලුත් ණය ගැනීමේ හැකියාව හොඳ මට්ටමක පැවතිය යුතුයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය තිරසාරත්ව විශ්ලේෂණයක් සිදු කර කිසියම් රටක ණය තිරසාරත්වය පරීක්ෂාවට ලක් කරන්නේ කෙසේද?

මේ සඳහා ආකෘතියක් අවශ්‍ය වෙනවා. අරමුදල විසින් කරන්නේ මෙම ආකෘතියට තොරතුරු ඇතුළත් කර ලැබෙන ප්‍රතිඵල අනුව කිසියම් රටක ණය තිරසාරත්වය පරීක්ෂාවට ලක් කිරීමයි. ඉතාම සරල ලෙස මෙවැනි හැඳින්වීමක් කළත් මෙය විශාල වෙහෙසක් දරා කළ යුතු හා විශේෂඥ දැනුමක් අවශ්‍ය සංකීර්ණ කාර්යයයක්. 

ශ්‍රී ලංකා රජය ඇතුළු රජයයන් විසින් ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කරන්නේද මේ ක්‍රමයටයි. එහෙත්, එහිදී යොදා ගන්නා ආකෘතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආකෘතියම නොවෙන්න පුළුවන්. යම් හෙයකින් එම ආකෘතියම යොදා ගත්තද, ආකෘතිය යටතේ ඇතුළු කරන පරාමිතීන් වෙනස් වීම හේතුවෙන් වෙනත් ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්.

මෙය කිසියම් පුද්ගලයෙක් බැංකුවකින් ණයක් ගැනීමේදී සිදු වන ක්‍රියාවලියට සමාන කළ හැකියි. පොලු තියන්න බලාගෙනම ණය ගන්න හදන අයත් සිටිය හැකි වුවත්, සාමාන්‍යයෙන් කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් ණයක් සඳහා අයදුම් කරන්නේ තමන්ගේ විශ්ලේෂණය අනුව එම ණය පැහැර නොහැර ගෙවිය හැකි බව පෙනෙන නිසයි. නමුත් බැංකුවේ විශ්ලේෂණය අනුව ඒ බව නොපෙනේනම් ඔවුන් ණය අනුමත කරන්නේ නැහැ.

කෙසේ වුවත්, එක් බැංකුවකින් ණයක් ලබා ගත නොහැකි පුද්ගලයෙකුට ඇතැම් විට වෙනත් බැංකුවකින් ණයක් ලබා ගැනීමට හැකි වෙනවා. ඊට හේතුව, ණය තිරසාරත්ව විශ්ලේෂණ සඳහා එක් එක් බැංකු විසින් යොදා ගන්නා ආකෘති සමාන නොවීමයි. 

විවිධ පුද්ගලයින් හා ආයතන විසින් එකම තොරතුරු මත පදනම්ව වෙනස් ආකාරයෙන් ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කිරීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. නමුත් ණයක් ගැනීම වැනි අවස්ථාවක වඩා වැදගත් වන්නේ ණය දෙන්නාගේ විශ්ලේෂණයයි. මෙය තේරුම් ගැනීම සඳහා විශේෂඥ ඥානයක් අවශ්‍ය වන්නේ නැහැ. බැංකු ණයක් අනුමත කරද්දී වැදගත් වන්නේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳව බැංකුවේ විශ්ලේෂණය මිසක් අයදුම්කරුගේ විශ්ලේෂණය නෙමෙයි.

කිසියම් රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගැනීමේදී බලපාන්නේද මේ රීතියයි. ශ්‍රී ලංකාව විසින් කවර ස්වාධීන විශ්ලේෂණ කළත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තීරණ ගන්නේ ඔවුන්ගේ ආකෘතිය අනුව ඔවුන් එළැඹෙන නිගමනය අනුවයි. ණය ඉල්ලන රටකට එම ආකෘතිය වෙනුවට වෙනත් ආකෘතියක් යෝජනා කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යොදා ගන්නේ පොදු ආකෘතියක් මිසක් ලංකාව වෙනුවෙන්ම හැදූ විශේෂ ආකෘතියක් නෙමෙයි. 

මේ අනුව, ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීමේදී ඔවුන්ගේ ආකෘතිය සම්බන්ධව හෙට්ටු කිරීම් කිරීමට කිසිදු හැකියාවක් නැහැ. 

මෙවර ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියේ ණය පැහැර හැරි රටක් ලෙසයි. පසුගිය 16 වාරයේදීම එවැනි තත්ත්වයක් පැවතුනේ නැහැ. ඒ නිසා, අරමුදලේ ණය ලැබුණේ වුවද එහි උදවුවෙන් පමණක් රටට ණය තිරසාරත්වය ඇති කරගැනීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා දැනට ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන්නට සිදු වෙනවා. එය කළ හැක්කේ ණයහිමියන්ගේ එකඟතාවයෙන්.

මේ කාර්යයේදී ණයහිමියන් විසින්ද ස්වාධීනව ලංකාව හා අදාළ ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කරනවා. එසේ කරන්නේ ඔවුන්ගේ අවදානම් අඩු වන පරිදි, ඔවුන්ට වාසිදායක ලෙසයි. ශ්‍රී ලංකා රජයේ ණය තිරසාරත්ව විශ්ලේෂණ පිළිගන්නට ඔවුන් එකඟ වන්නේ නැහැ. ණය පැහැර හැරීම මගින්, එම විශ්ලේෂණ වැරදි බව ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් ඔප්පු කර හමාරයි. ඒ නිසා, ශ්‍රී ලංකා රජයට තමන්ගේම ණය තිරසාරත්ව විශ්ලේෂණයක් මත පදනම්ව ණයහිමියන් සමඟ හෙට්ටු කර එකඟත්වයකට පැමිණීම අසීරු කාර්යයක්. 

මේ තත්ත්වය තුළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමක් නැත්නම්, එක්කෝ ශ්‍රී ලංකා රජයට ණයහිමියන්ගේ කොන්දේසි වලට එකඟ වෙන්නට සිදු වෙනවා. එසේ නැත්නම් එකඟතාවයක් ඇති නොවීමේ අවදානම ගන්නට සිදු වෙනවා. කෙසේ වුවත්, ස්වාධීන තෙවන පාර්ශ්වයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් වීම තුළින් දෙපාර්ශ්වයට යම් එකඟතාවයකට පැමිණීම සඳහා පාලමක් හැදෙනවා. ඒ නිසා, මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණය සාමාන්‍ය අවස්ථාවකදී එම විශ්ලේෂණයට වඩා බොහෝ වැදගත්.

සාමාන්‍ය අවස්ථාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණය හෝ වෙනත් කොන්දේසි සමඟ ශ්‍රී ලංකා රජයට එකඟ විය නොහැකිනම් අරමුදලෙන් ණය නොගෙන සිටීමේ විකල්පය ගැන සිතිය හැකියි. (එයින්ද අවාසි සිදුවීම හා අවදානම් ඉහළ යාම පැත්තක තියමු.) නමුත් මේ අවස්ථාවේදී එසේ කිරීමෙන් ඊට වඩා වැඩි විශාල අවදානමකට ශ්‍රී ලංකා රජයට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ, ණයහිමියන් සමඟ එකඟතාවකයට පැමිණීමේ හැකියාවද ගිලිහී යාමයි. එසේ නැත්නම් වඩා අවාසිදායක කොන්දේසි යටතේ එවැනි එකඟතාවයකට පැමිණීමට සිදු වීමයි. අරමුදලේ මැදිහත්වීම හා සහයෝහය තිබියදී වුවද ණය ප්‍රතිව්‍යුහත කිරීමේ එකඟතාවයක් ඇති කර ගැනීම පහසු කටයුත්තක් නෙමෙයි. 

ඉහත පැහැදිලි කළ පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය අපට "දෙන ලද තත්ත්වයක්" සේ සලකන්නට සිදු වෙනවා. ඒ සම්බන්ධව හෙට්ටු කිරීම් කළ නොහැකියි. එය බැංකුවකින් ණයක් ඉල්ලන කෙනෙක් ඒ බැංකුවේ අවදානම් කළමනාකරණ ආකෘතිය වෙනස් කරන මෙන් ඉල්ලනවා වගේ වැඩක්. 

කෙසේ වුවත්, එයින් අදහස් වන්නේ කතා කරන්නට හා හෙට්ටු කරන්නට කිසිම දෙයක් නැති බව නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය මත පදනම්ව නිගමන වලට එළඹීමේදී යොදා ගන්නා පරාමිතීන් හා සම්බන්ධව ශ්‍රී ලංකාවට යම් හෙට්ටු කිරීමක් කළ හැකියි.

මෙය උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරන්නේනම්, ආදායම ප්‍රමාණවත් නොවීමේ පදනම මත බැංකු ණයක් ප්‍රතික්ෂේප වීමෙන් පසුව, ණය අයදුම්කරුවෙකුට පෙර බැංකුවට ලබා දී නොමැති වෙනත් ආදායම් ප්‍රභව පිළිබඳ තොරතුරු බැංකුවට ලබා දෙන්න පුළුවන්. එවිට බැංකුව විසින් නැවත සලකා බලා ණය අනුමත කිරීමට යම් ඉඩක් තිබෙනවා. නමුත් මෙහිදී බැංකුව විසින් යොදාගන්නේ කලින් යොදාගත් ආකෘතියමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය හා අදාළව මෙවැනි පරාමිතීන් හා අදාළව වුවද තිබෙන්නේ ඉහත උදාහරණයේ මෙන් සරල තත්ත්වයක් නෙමෙයි. එම පරාමිතීන් බොහොමයක් සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම පිළිබඳ පුරෝකථනයි. මෙම පුරෝකථන සිදු කිරීම සඳහාද අරමුදල විසින් නිශ්චිත ආකෘති යොදා ගන්නවා. එම ආකෘති ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෝ මුදල් අමාත්‍යංශය විසින් යොදා ගන්නා ආකෘති වලට හරියටම සමාන නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය සාමාන්‍යයෙන් ලංකාව වැනි රටක රජයට ස්වාධීනව හදාගත හැකි එවැනි ආකෘතියකට වඩා නිවැරදියි. ඒ නිසා බොහෝ රටවල් අරමුදලේ ආකෘතිය එලෙසම හෝ මාර්ගෝපදේශන ආකෘතියක් ලෙස යොදා ගන්නවා. නමුත් සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම පිළිබඳ පුරෝකථන කිරීම සඳහා ලංකාව වැනි රටකට වඩා නිවැරදි ආකෘති යොදා ගන්න බැරිකමක් නැහැ. 

ඊට පළමු හේතුව අරමුදල මේ ආකෘති හදන්නේ ලෝකයේ හැම රටකටම එක සේ ගැලපෙන පරිදි වීමයි. ලංකාව වෙනුවෙන් පමණක් හදන ආකෘතියක ලංකාවට අනන්‍ය ලෙස බලපාන කරුණු ඇත්නම් ඒවාද සලකා බැලිය හැකියි. දෙවන හේතුව, ලංකාවේ සාර්ව ආර්ථික විචල්‍යයන් කෙරෙහි බලපාන සාධක වල වෙනස් වීම් පිළිබඳව ශ්‍රී ලංකා රජයට හා මහ බැංකුවට අරමුදලට වඩා කලින්ම දැන ගන්නට හැකි වීමයි. 

මේ හේතු නිසා, දිගුකාලීනව බොහෝ විට අරමුදලේ පුරෝකථන වඩා නිවැරදි වුවත්, කෙටිකාලීනව ශ්‍රී ලංකා පාර්ශ්වයට වඩා නිවැරදි ලෙස සාර්ව ආර්ථික විචල්‍යයන් පුරෝකථනය කළ හැකියි. 

කෙටිකාලීන අවදානම් විශ්ලේෂණය සඳහා අරමුදල විසින් බහුවිචල්‍ය විශ්ලේෂණ ආකෘතියක් (Multivariate model) යොදා ගන්නවා. මෙහිදී සිදු වන්නේ මෑතකාලීන අතීත දත්ත මත පදනම්ව හා එම විචල්‍යයයන් මෑතකාලීනව වෙනස් වෙමින් පවතින ප්‍රවණතා අනුව ඉදිරි කාලය තුළද වෙනස් වනු ඇතැයි යන උපකල්පනය යටතේ අනාගත වෙනස්වීම් පුරෝකථනය කිරීමයි.

මෙය මෙවැනි පුරෝකථන සිදු කරන සම්මත ක්‍රමයක්. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ජනාධිපතිවරණ ඡන්ද අභිප්‍රාය පිළිබඳ ඇස්තමේන්තු සකස් කර තිබෙන්නේද මෙම ක්‍රමයටයි. කෙසේ වුවත්, අලුත් දත්ත ලැබෙන විට මෙම පුරෝකථන වෙනස් වෙනවා. ඒ දත්ත අලුත් වෙද්දී විචල්‍යයන්ගේ මෑතකාලීන හැසිරීම් ප්‍රවණතා පිළිබඳ ඇස්තමේන්තුද වෙනස් වන නිසා. එහෙත්, එවැනි වෙනස්කම් සිදු වන්නේ මූලික ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය මෙන්ම පුරෝකථන ආකෘතියද නොවෙනස්ව තිබියදීයි.

මෙවැනි පුරෝකථන ආකෘතියක් අනුව, පුරෝකථන සිදු කරන්නේ කොතරම් දුරස්ථ අනාගතයක් සඳහාද යන්න අනුව, පුරෝකථන වල නිරවද්‍යතාවය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ නිසා, මැදිකාලීනව පුරෝකථනය කළ හැක්කේ සාර්ව ආර්ථික විචල්‍යයන් විචලනය වීමට ඉඩ තිබෙන පරාසය පමණයි. කාලය වඩා ඉදිරියට යද්දී මෙම පරාසය ක්‍රමක්‍රමයෙන් පුළුල් වෙනවා. එහෙත්, අලුත් දත්ත ලැබෙන විට මෙම අවිනිශ්චිතතාවය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා.

මෙවැනි ආකෘතියක් තුළ සාමාන්‍යයෙන් සලකා නොබලන කරුණු (උදාහරණයක් ලෙස මැතිවරණය නිසා කොටස් වෙළඳපොළට සිදුව තිබෙන බලපෑම වැනි දේ) නිසාද කෙටිකාලීනව සාර්ව ආර්ථික විචල්‍යයන් වෙනස් වෙනවා. මෙවැනි වෙනස්කම් ගැන සලකා බලමින් පුරෝකතන "අතින් වෙනස් කිරීම" අරමුදල විසින් කරන්නේ ඉතා සුළු වශයෙන් පමණයි. ඒ නිසා, ශ්‍රී ලංකා පාර්ශ්වයට අමතර කරුණු ඉදිරිපත් කර හෝ හෙට්ටු කර අරමුදලේ නිගමන වෙනස් කර ගැනීම සඳහා තිබෙන්නේ ඉතාම සුළු අවකාශයක් පමණයි.

කෙසේ වුවත්, හැම මොහොතකම මෙන් අලුතෙන් දත්ත එකතු වන බැවින් එම දත්ත පවතින ආකෘතියට ඇතුළු කරද්දී පළමුව සාර්ව ආර්ථික විචල්‍යයන් පිළිබඳ පුරෝකථනත්, දෙවනුව ණය තිරසාරත්ව විශ්ලේෂණ ප්‍රතිඵලත් වෙනස් වෙනවා. මෙය ස්වයංක්‍රීය ලෙසම සිදු වන දෙයක්. මස හයකට වරක් අරමුදල විසින් සිදු කරන විමර්ශන වලදී මේ අයුරින් අලුත් දත්ත ඇතුළු කරමින් ණය තිරසාරත්වය පිළිබඳ තත්ත්වය නැවත සලකා බලනවා. එසේ සලකා බැලීමෙන් පසුව නිර්දේශ ඉදිරිපත් කරනවා. කෙසේ වුවත්, ණය තිරසාරත්වය පිළිබඳ නිගමන වෙනස් වන්නේ බොහෝ දුරට යාන්ත්‍රික ලෙසයි.

මාස හයකට වරක් සිදුවන මෙම විමර්ශන වලදී ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් අමතර තොරතුරු ඉදිරිපත් කරමින් හා තමන්ගේ ආකෘති මත ලැබෙන පුරෝකථන ඉදිරිපත් කරමින් අරමුදල සමඟ හෙට්ටු කිරීමක් කරනවා. හෙට්ටු කිරීමක් යන වචනය යොදාගත්තත් ඇත්තටම මේවා තාක්ෂණික කරුණු මත සිදුවන විද්වත් සාකච්ඡා මිසක් පොලෙන් දෙල් ගනිද්දී සිදුවන ආකාරයේ හෝ ඉඩමක් වාහනයක් ගනිද්දී සිදු වන ආකාරයේ හෙට්ටු කිරීම් නෙමෙයි. හෙට්ටු කිරීමක් කළ හැක්කේ තාක්ෂණික පදනමකින් පමණයි. එසේ කළද, අරමුදල විසින් ඔවුන්ගේ පුරෝකථන වෙනස් කරන්නේ කෙටිකාලීන පුරෝකථන සිය පුරෝකථන ආකෘතියෙන් බැහැරව වෙනස් කිරීම සඳහා ඔවුන්ට තිබෙන සීමිත අවකාශය තුළ පමණයි.

මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණය වෙනස් කර ගැනීමටනම් ඔවුන්ගේ අදාළ ආකෘතියට ඇතුළු කෙරෙන පරාමිතීන් වෙනස් කරන්නට සිදු වෙනවා. ඒ සඳහා ඔවුන්ගේ පුරෝකථන ආකෘති අනුව පෙනෙන සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම වෙනස් විය යුතුයි. එය සිදුවන යාන්ත්‍රනය වන්නේ වත්මන් දත්ත වල හැසිරීම වෙනස් වීමයි. 

ඒ නිසා, ණය තිරසාරත්ව විශ්ලේෂණය වෙනස් කර ගැනීම සඳහා වත්මන් සාර්ව ආර්ථික විචල්‍යයන් අරමුදලේ ඉලක්ක වලටත් වඩා හොඳ මට්ටමක පවත්වා ගන්න සිදු වෙනවා. ඒ හැර වෙන ක්‍රමයක් නැහැ. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා රජය හා මහ බැංකුව විසින් කර තිබෙන්නේත්, දැනට කරමින් සිටින්නේත් එයයි. ආකෘති වලින් බොහෝ දුරට යාන්ත්‍රිකව ලැබෙන දෙයක් වන රටේ ණය තිරසාරත්වය පිළිබඳ අවසන් නිගමන වෙනස් කරගත හැකි සාර්ථක හා ප්‍රායෝගික එකම ක්‍රමය එයයි. 

Saturday, September 7, 2024

ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳ අපේක්ෂාවන්


පහත තිබෙන්නේ 2,700 දෙනෙකුගේ ප්‍රතිචාර මත පදනම්ව නම්බර්ස් ඩොට් එල්කේ මගින් සිදු කර ඇති විශ්ලේෂණයකට අනුව, එක් එක් ප්‍රධාන අපේක්ෂකයාට සහයෝගය දක්වන අය ජනාධිපතිවරණ ප්‍රතිඵලය පුරෝකථනය කරන ආකාරයයි.

අනුරගේ ආධාරකරුවෝ:

අනුර - 50%

සජිත් - 27%

රනිල් - 15%

නාමල් - 5%


සජිත්ගේ ආධාරකරුවෝ:

සජිත් - 46%

අනුර - 24%

රනිල් - 19%

නාමල් - 8%


රනිල්ගේ ආධාරකරුවෝ:

රනිල් - 42%

සජිත් - 30%

අනුර - 21%

නාමල් - 6%


නාමල්ගේ ආධාරකරුවෝ:

නාමල් - 30%

සජිත් - 27%

රනිල් - 21%

අනුර - 18%


Friday, September 6, 2024

විවිධ ජන කාණ්ඩ වල ඡන්දය දීමේ අභිප්‍රාය


සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් මීට දින දෙකකට පෙර (සැප්තැම්බර් 4) ඔවුන්ගේ සමීක්ෂණ දත්ත පිළිබඳ විස්තරාත්මක තොරතුරු ප්‍රසිද්ධ කළා. පහත තිබෙන්නේ එක් එක් ජන කාණ්ඩය ඇතුළත මෙම ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අභිප්‍රායයි.

සිංහල 

අනුර - 41.4%

සජිත් - 30.8%

රනිල් - 23.0%


ශ්‍රී ලංකා දෙමළ 

අනුර - 24.7%

සජිත් - 51.0%

රනිල් - 22.4%


කඳුකර දෙමළ 

අනුර - 25.9%

සජිත් - 56.7%

රනිල් - 16.7%


මුස්ලිම් 

අනුර - 23.3%

සජිත් - 65.4%

රනිල් - 11.1%


පිරිමි 

අනුර - 42.7%

සජිත් - 37.4%

රනිල් - 16.7%


ගැහැණු 

අනුර - 32.3%

සජිත් - 37.2%

රනිල් - 26.1%


වයස 18-29 අතර 

අනුර - 54.4%

සජිත් - 34.7%

රනිල් - 8.5%


වයස 30-59 අතර 

අනුර - 36.8%

සජිත් - 38.2%

රනිල් - 22.0%


වයස 60ට වැඩි 

අනුර - 16.3%

සජිත් - 38.2%

රනිල් - 37.6%


අඩු ආදායම්ලාභීන් 

අනුර - 34.9%

සජිත් - 42.2%

රනිල් - 18.6%


මැදි ආදායම්ලාභීන් 

අනුර - 35.3%

සජිත් - 35.4%

රනිල් - 24.0%


ඉහළ ආදායම්ලාභීන් 

අනුර - 41.5%

සජිත් - 34.4%

රනිල් - 22.2%


මෙම දත්ත අගෝස්තු 19 දක්වා දත්ත. මෙම ප්‍රතිශත වෙනස් වෙමින් තිබුණු ප්‍රවණතාව රූප සටහනෙහි දැකිය හැකියි.

Thursday, September 5, 2024

අයිස් කන්ද දිය වෙනවා වගේද?


මම හිතන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය හා අදාළව ලොකු බලපෑමක් කළ හැකිව තිබුණු අයිස් කන්ද දැන් දියවෙන්න පටන් අරගෙන. තුනෙන් එකක් පමණවත් දැනටම දිය වෙලා ඇති. බොහෝ විට අවසන් ප්‍රතිඵලය මේ වෙද්දීත් ලියැවිලා අවසන්ව තියෙන්න පුළුවන්. ඒක විසි දෙවෙනිදාට බලා ගන්න පුළුවන් වෙයි.

මේක පුරෝකථනයක් නෙමෙයි. අවසන් ප්‍රතිඵලය කුමක් වෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත්, ඒක කුමක් වුනත්, මාලිමාව වගේම රනිලුත් දැනටම දිනලා ඉවරයි. 

දැන් තිබෙන බලතුලනය අනුව අනුර එක්කෝ දිනයි. නැත්නම් පරදියි. හැබැයි අනුර පැරදුනොත් දිනන අපේක්ෂකයාට දිනන්න වෙන්නේ සුවිශේෂී තත්ත්වයන් දෙකක් යටතේ. ඒ දෙකෙන්, අඩු වැදගත් කරුණ උතුරු නැගෙනහිර ඡන්ද වල උදවුවෙන් දිනන්න සිදු වීම. වඩා වැදගත් කරුණ දෙවන වටයෙන් දිනන්න සිදු වීම. 

ඔය අඩු වැදගත් කරුණ වුනත්, ඉන් පසුව ජන විඥානය කෙරෙහි විශාල බලපෑමක් කරන්න ඉඩ තිබෙන එකක්. මේ වැඩේ මීට කලින් 2015දී සිදු වුනා. සිංහල බහුතර ප්‍රදේශ සියල්ලේම වගේ මහින්ද ඉදිරියෙන් සිටිද්දී ජනාධිපති වුනේ මෛත්‍රීපාල සිරිසේන. පොහොට්ටුව හැදුනේ ඔය කම්පනය එක්කයි. 2019දී සිංහල බහුතර ප්‍රදේශ වල ඡන්ද වලින් ගෝඨාභය ජයග්‍රහණය කිරීම දක්වාම විකාශනය වුනේ ඔය කම්පනයේ පසු තරංග.

දෙවැන්න සිදු වුනොත් වෙන්නේ හිතාගන්න බැරි තරමේ කම්පනයක්. නිකමට හිතන්නකෝ අනුර පළමු වටයෙන් සැලකිය යුතු ලීඩ් එකක් අරගෙන දිනුවට පස්සේ දෙවන වටයෙන් යාන්තමින් පැරදුනොත් ඇති වෙන තත්ත්වය. මේ වගේ දෙයක් පිළිබඳ පූර්වාදර්ශයක් (precedent) ලංකාවට නැහැ. ඒ වගේ තත්ත්වයකට ලංකාවේ සමාජය මොන විදිහට ප්‍රතිචාර දක්වයිද කියලා හිතා ගන්නත් අමාරුයි. 

කොහොම වුවත් අනුර හැර වෙනත් අපේක්ෂකයෙක් දිනුවොත්, ඊට පස්සේ හැදෙන්නේ ඉතාම දුර්වල ආණ්ඩුවක්. ඒක ගෙනියන්න වෙන්නේ අමාරුවෙන් අටවාගෙනයි. එහෙම ආණ්ඩුවක් කරද්දී, කිසිම සහයෝගයක් දෙන්න සූදානමක් නැති, පුළුවන් පළමු අවස්ථාවේම ආණ්ඩුව ගෙදර යවලා රාජ්‍ය බලය ලබා ගන්න බලාගෙන ඉන්න ශක්තිමත් විපක්ෂයක් එක්ක ගැටෙන්නත් වෙනවා. ඔය තත්ත්වයන් එක්ක මෙවර අනුර පැරදුනොත් වෙන්නේ ඊළඟ වාරයේ, සමහර විට ආණ්ඩුවක සම්පූර්ණ කාලය ඉවර වෙන්නත් කලින්, මාලිමාවට ආණ්ඩු බලයට කිට්ටු කරන්න ඉඩ ලැබෙන තත්ත්වයක්. කොහොමටත් මාලිමාව දැන් තුන් වන පක්ෂයක සීමාවෙන් එළියට ඇවිත් ඉවරයි. 

තුන් වන පක්ෂයක් විදිහට දශක ගණනාවක් දේශපාලනය කරපු, අවසන් ජාතික මැතිවරණ වලදී 3% සීමාවේ හිටපු පක්ෂයක් විදිහට මාලිමාව දැනටමත් දිනලා ඉවරයි කිවුවේ ඔය හේතුව නිසා. දැන් ඉන්න තැනට ආවට පස්සේ පැරදුනත් දිනන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

රනිල්ගේ පැත්තෙන් බැලුවොත් ඒත් රනිල් දිනලා. මාලිමාව එක්ක බලද්දී රනිල් කියන්නේ තනි පුද්ගලයෙක්. රනිල් කියන පුද්ගලයාගෙන් මේ වෙලාවේ නියෝජනය වෙන්නේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්ති පැකේජ් එකක්. රනිල් පැරදිලා ගෙදර ගියාට පස්සෙත් ඒ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්ති පැකේජ් එක දිගටම ක්‍රියාත්මක වෙනවානම් ජනාධිපතිවරණ ප්‍රතිඵලය කුමක් වුවත් ඒක රනිල්ගේ ජයග්‍රහණයක්. 

මම අපේ පවුලේ වැඩිමලා. පොඩි කාලේ ඉඳලම මට විභාග වලට එහෙම ටිකක් හොඳට ලකුණු තිබුණා. මගේ පවුලේ බාල සහෝදර සහෝදරියෝ පසුව කියපු දෙයක් තමයි ඒක ඔවුන්ට විශාල පීඩනයක් වුනා කියන එක. මං හිතන්නේ මම කියන දේ තේරෙනවා ඇති. පවුලේ වැඩිමලා විශ්ව විද්‍යාලයකට තේරුණාම බාල අයට ඒකේ පීඩනය එනවා. මොකද තමන් යා යුතු අවම සීමාව කලින්ම වෙන කෙනෙක් ලකුණු කරලා. 

දැන් රනිල් කරලා තියෙන්නෙත් ඔය වැඩේ. අලුත් ආණ්ඩුවකට කාර්ය සාධනය පෙන්වන්න සිදු වන අවම සීමාව රනිල් දැනටමත් ලකුණු කරලා ඉවරයි. ඒක අභියෝගාත්මක සීමාවක්. අලුත් ආණ්ඩුවක කාර්ය සාධනය ඒ සීමාවෙන් පහළට වැටුනොත් විවේචනය කරන්න බලාගෙන සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා, කාට වුනත් වැඩිය සෙල්ලම් දාන්න පුළුවන් ඉඩක් ඉතිරි වෙලා නැහැ. අවසන් ජාතික මැතිවරණ වලදී 2% සීමාවේ හිටපු රනිල් අවුරුදු දෙකකින් ඔය තරම් හරියක් කරලා ගෙදර ගියොත් එය ඔහුගේ පරාජයක් වෙන්නේ නැහැ. 

ඡන්ද ශ්‍රේණිගත කිරීම් කොහොම වුනත් අනුරගේ (මාලිමාවේ) සැබෑ ප්‍රතිවාදියා රනිල්. මේ කතාව මේ විදිහටම වගේ @Anuruddha Pradeep Karnasuriya විසින් ලියලා තිබුණා. ඔහු ලියා තිබෙන හැම දෙයකටම එකඟ වෙන්නේ නැතත්, ඔහුගේ මූලික තර්කය නිවැරදියි. ඔහු පෙන්වා දෙන විදිහට (මම හිතන්නේ මීට සමාන දෙයක් මමත් කලින් කියලා ඇති), මාලිමාව 3% සිට පටන් ගනිද්දී රනිල්ට පටන් ගන්න වෙන්නේ 2% ඉඳලා. ගොඩක් අය ඒක අමතක කරනවා වෙන්න පුළුවන්. හැබැයි මමනම් මේ කරුණ නොසලකා හැරලා නැහැ.

දැන් මෙහි තර්කය වන්නේ අනුරට වගේම රනිල්ටත් තරඟ කරන්න වෙන්නේ එකම ඡන්ද ටික වෙනුවෙන් කියන එක. ඒ කියන්නේ පොහොට්ටුවේ ඡන්ද ටික වෙනුවෙන්.

මම නිරීක්ෂණය කරපු විදිහට මුල ඉඳලම මාලිමා කණ්ඩායමේ විග්‍රහය වුනේත් මේක. එය @Anuruddha Pradeep Karnasuriyaගේ විග්‍රහය එක්ක සමපාත වීම අහම්බයක්ද නැද්ද කියන්න මම දන්නේ නැහැ. මාලිමාව දිගටම හිටියේ මේ තරඟය අවසානයට කිට්ටු වෙද්දී ප්‍රධාන තරඟකරුවන් දෙන්නෙක් අතර තරඟයක් බවට පත් වෙනවා කියන ස්ථාවරයේ. ඒ තර්කය අනුවම රනිල් 7%කට වඩා ගන්නේ නැහැ කියලා @Anuruddha Pradeep Karnasuriya කැට තියලා කියනවා. 

ඔය වගේ පුරෝකථන එක්ක එකඟ වෙන්න හෝ නොවෙන්න තරම් මට කිසිම අපේක්ෂයෙක් එක්ක ආත්මීය බැඳීමක් නැහැ. රනිල් 7%කට වඩා ගන්නේ නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. රනිල් දිනන බව තවත් කෙනෙකුට කියන්න පුළුවන්. කරුණු හා දත්ත මත පදනම්ව හෝ සංඛ්‍යානය මත පදනම්ව ඔය දෙකෙන් එකක් ගැනවත් නිශ්චිත ලෙස කියන්න බැහැ. 

රනිල්ගේ පැත්තෙන් කොහොම වුනත් මාලිමාවේ පැත්තෙන් බැලුවහම මේ තර්කය හරියටම හරි. රනිල්ව පැත්තකින් තිබ්බොත්, මාලිමාව පටන් ගත්තේ 3% මට්ටමේ ඉඳලා. ඉලක්කය 50%ක්. එතකොට 47%ක අඩුවක් තිබෙනවා. ඒක නිකම් රුපියල් පනස් දාහක් අතේ තියාගෙන කාර් එකක් ගන්න විදිහ ගැන හිතනවා වගේ වැඩක්. හැබැයි මාලිමාවට මේ ඉලක්කය හඹා යාම සඳහා අවශ්‍ය වූ වාස්තවික තත්ත්වයන් නිර්මාණය වෙලයි තිබුණේ. එහෙම චාන්ස් හැමදාම ලැබෙන්නේ නැහැ. 

මාලිමාව මුල ඉඳලම ඉව ඇල්ලුවේ ගෝඨාභයගේ 52%ට. මේ ප්‍රවේශයේදී සජිත්ගේ 42% සජිත්ටම දීලා ඒ ගැන බලාපොරොත්තු අත ඇරලයි මාලිමාව හිටියේ. සජිත්ගේ ඡන්ද ප්‍රමාණය ගැන දැනටත් @Anuruddha Pradeep Karnasuriya කියන්නේ  "ඒ ඡන්ද ප්‍රමාණය ලොකු වෙනසක් නැතිව අද වෙනතුරු තියෙනවා වගේ." කියලයි.

ඔය දෙවන මතයට මම එකඟ නැහැ. කොහොම වුනත්, @Anuruddha Pradeep Karnasuriyaගේ පළමු මතය වගේම, මාලිමාවේ පැත්තෙන් ඔවුන්ගේ ප්‍රවේශයත් සාර්ථක එකක්. මොකද සජිත්ගේ ඡන්ද ගලවන එක මාලිමාවට ලේසි වැඩක් නෙමෙයි. නමුත් අයිතිකාරයෙක් නැති පොහොට්ටු ඡන්ද එකතු කරන එක ඒ තරම් අමාරු නැති වැඩක්. මේ වෙද්දී මාලිමාව ඒ වැඩේ සෑහෙන තරම් සාර්ථක ලෙස කරලා තියෙනවා.

ඒ වගේම මෙහි මූලධාර්මික කරුණකුත් තිබෙනවා. සාමාන්‍යයෙන් වාමාංශික පක්ෂ වලට කවුරු හෝ සතුරෙක්ව අවශ්‍යයි. ඔවුන් තමන්ගේ කඳවුර ගොඩ නගා ගන්නේම මේ සතුරු කඳවුරට ප්‍රතිපක්ෂව ස්ථානගත කරමිනුයි. සමහර වෙලාවට සතුරාව අර්ථ දක්වද්දී ජාතිකවාදී හෝ ජාතිවාදී මුහුණුවරක් එන්නත් පුළුවන්. ඔවුන්ට ලෝකය දකින්න පුළුවන් ඔය රාමුව ඇතුළේම තමයි. ජවිපෙ ඉතිහාසය දිහා බැලුවත් මේක පැහැදිලිව පේනවා. (වාමාංශික නොවන පක්ෂයක වුනත් මේ ලක්ෂණය තියෙන්න පුළුවන්.).

ජවිපෙ ඉතිහාසය බැලුවොත්, ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකම ඔවුන් විසින් හඳුනාගෙන තිබුණේ සතුරු කඳවුරු විදිහටයි. වරින් වර තාප්පය පාත් කරපු වෙලාවල් තිබුණත් පටු ඉඩක ගහගත්ත තාප්පයක් තිබුණා. තාප්පය ඇතුළේ තිබුණු ඉඩ ප්‍රමාණයේ හැටියට තමයි ජවිපෙ 3%ට සීමා වුනේ. 

ජවිපෙ මාලිමාව වෙද්දී කළේ ඔය තාප්පය ඉස්සරහට ගෙනියන එක. ඒ එක්ක, කලින් ඇතුළට රිංගන්න බැරි විශාල පිරිසකට ඉඩ හැදුනා. පොහොට්ටු කණ්ඩායමේ උඩම තට්ටුවේ ටික දෙනෙක්ට ඇරෙන්න වෙන ඕනෑම කෙනෙකුට ඉතාම සුළු මහන්සියකින් මාලිමාවේ වේදිකාවක වාඩිවෙන්න පුළුවන් තත්ත්වයකට තමයි දැන් ඔවුන් පක්ෂය වෙනස් කරලා තියෙන්නේ. 

ප්‍රධාන පක්ෂ වලට ඔය වගේ පටු සීමා මායිම් තිබුණේ නැහැ. කලින් ජවිපෙ ක්‍රියාකාරීන් ප්‍රධාන පක්ෂ වලට යන එක දිගින් දිගටම සිදු වුනු දෙයක්. 

මාලිමාව ඔය වෙනස්කම කර ගත්තත් ජවිපෙ උරුමය නිසා මාලිමාවට ස්ථානගත වෙන්න පුළුවන් සතුරු කඳවුරකට ප්‍රතිපක්ෂවම තමයි. මේ වෙලාවේ තෝරාගත්ත සතුරු කඳවුර සජිත්ගේ කඳවුර. පොහොට්ටු කඳවුර පෝෂක කඳවුර. වෙනත් සන්දර්භයකදී වුනත්, 88/89දී පැවතුනෙත් ඔය වගේම තත්ත්වයක්. එජාපය සතුරු කඳවුර. ඒ වෙද්දී දුර්වල වෙලා හිටපු ශ්‍රීලනිපය පෝෂක කඳවුර. 

දැන් මාලිමාවට මේ තමන්ගේ පෝෂක කඳවුරෙන් පොහොට්ටු ඡන්ද එකතු කරද්දී තරඟ කරන්න වෙන්නේ රනිල් එක්කයි. ප්‍රධාන ප්‍රතිවාදියා විදිහට සජිත්ගේ කඳවුර පැත්තක තියෙද්දී මාලිමාව දිගින් දිගටම සජිත්ට ගහනවා වෙනුවට රනිල්ට ගහන ප්‍රවේශයක හිටියේ ඒ නිසායි. පෙසපෙ මාලිමාවට ගහන්නෙත් ඔය හේතුව නිසා. මොකද පෙසපෙට සාපේක්ෂව පෝෂක කඳවුර මාලිමා කඳවුර. ඉතිං ඒ නිසා @Anuruddha Pradeep Karnasuriyaගේ පළමු තර්කය හරියටම හරි.

හැබැයි මාලිමාවට තරඟය තියෙන්නේ රනිල් එක්ක කියන එකෙන් එහි විලෝමය ඒ විදිහටම අදහස් වෙන්නේ නැහැ. මොකද රනිල්ගේ පැත්තෙන් තියෙන්නේ වෙනත් තත්ත්වයක්.

රනිල් මුල සිටම සිටියේ සතුරු මිතුරු සේ කඳවුරු බෙදන ප්‍රවේශයකට වඩා සියලු කඳවුරු එක් සේසත් කරන ප්‍රවේශයක. ඒ ප්‍රවේශය සාර්ථක වීම හෝ නොවීම වෙනම කරුණක්. මාලිමාව 3% ඉඳලා පටන් ගනිද්දී රනිල්ට පටන් ගන්න වුනේ 2% ඉඳලා කියන එක ඇත්ත. නමුත් රනිල්ට පෝෂක කඳවුරු දෙකක් තිබුණා. ඔය දෙක එකතු කළොත් එතැන 94%ක්. ඒ වගේම, රනිල්ට යම් තරමකින් හෝ දෙවන මනාපයේ වාසියත් තිබුණා. ඒ නිසා, අනුරට වගේ 50% ඉලක්ක කරන්න අවශ්‍ය වුනේ නැහැ. 

නමුත්, දෙවන මනාපයේ වාසිය ගන්න පුළුවන් වෙන්නේ පළමු වටයේ මුල් අපේක්ෂයින් දෙන්නා අතරට පැමිණියොත් පමණයි. රනිල් තරඟයට එනකොට අනෙක් අපේක්ෂකයෝ දෙන්නාම සෑහෙන දුරක් දුවලා ඉවරයි. ඒ නිසා, අඩු වශයෙන් දෙවන තැනට එන්නනම්, ඉන්න දෙවෙනියාව පහු කරන්න වෙනවා.

අනුර ගොඩක් ඉස්සරහට ගිහින් තිබුණත් පොහොට්ටු ඡන්ද සියල්ලම අනුර විසින් එකතු කරගෙන තිබුණේ නැහැ. ප්‍රමාණය හරියට දැන සිටියේ නැතත් තවත් පොහොට්ටු ඡන්ද ඉතිරිව තිබෙනවා කියන එක පෙනෙන්න තිබුණු දෙයක්. ඒ වගේම, සජිත් පටන් ගත්තේ 42% ඉඳලා නෙමෙයි. ඒක වැරදි උපකල්පනයක්. 2019දී සජිත් 42%ක් ගත්තත්, 2020දී ඒ ප්‍රමාණය 24%ට බැහැලයි තිබුණේ. රනිල් තරඟයට එනකොටත් සජිත් ඒ මට්ටමෙන් ගොඩක් උඩට ගිහින් තිබුණේ නැහැ. 

ඇත්තටම කියනවානම් සජිත් හිටියේ 24% මට්ටමටත් පහළින් වෙන්නත් පුළුවන්. මොකද අරගලය එක්ක ආපු විරෝධය රාජපක්ෂලාට තරම්ම නැති වුනත් බලයේ හිටපු පක්ෂ දෙකටම ආවා. ඒ නිසා, සජිත් පටන් ගත්තේ 24%ටත් පහළ තැනකින්. සජිත් කොයි වෙලාවකවත් 42% මට්ටමට ආවේ නැහැ. 

එජාපය දෙකඩ වෙද්දී සම්ප්‍රදායික එජාප පාක්ෂිකයාට තිබුණු ප්‍රධාන ප්‍රශ්නය රනිල්ට දිනන්න බැහැ කියන එක. වැඩි පිරිසක් රනිල් එක්ක එකතු නොවී සජිත් එක්ක එකතු වුනේ ඒ නිසා. ඒ ඇරෙන්න සම්ප්‍රදායික එජාප පාක්ෂිකයාට රනිල් සහ සජිත් අතර ලොකු වෙනසක් නැහැ. 

රනිල් ඇත්තටම දැන් වුනත් නියෝජනය කරන්නේ එජාපය මිසක් පොහොට්ටුව නෙමෙයි. රනිල්ගේ භාෂාව එජාප භාෂාව. ඒ භාෂාව පොහොට්ටු ඡන්දදායකයාට ආගන්තුක භාෂාවක්. ඒ නිසා රනිල්ගේ ප්‍රචාරණය නිසා පහසුවෙන්ම එකතු වෙන්නේ සජිත්ට නොගිය එජාප ඡන්ද. ඇත්තටම සජිත්ට ගිය එජාප ඡන්ද වුනත් රනිල්ට එකතු වෙන්න පුළුවන්. 

ඒ වගේම, දැන් තිබෙන තත්ත්වය අනුව රනිල්ට වඩා වැදගත් දෙවන තැනට එන එක. ඒ සඳහා රනිල්ට තරඟය තියෙන්නේ සජිත් එක්ක. 

මේ මැතිවරණ වටයේදී මුල සිටම මාලිමාවේ ප්‍රධාන උපාය මාර්ගයක් වුනේ මාලිමාවට දිනන්න පුළුවන් කියන මතය ජනගත කිරීම. ඉන් පසුව එය මාලිමාව දිනනවා කියන එක දක්වාත්, දැන් දැන් මාලිමාවට කෝටියක් වගේ ටැග් ලයින් දක්වාත් වෙනස් කර තිබෙනවා. මේ ප්‍රචාරණ ව්‍යාපෘතිය ඇත්තටම සාර්ථකයි. මාලිමාවේ ඡන්ද ගැන ඔවුන්ට සතුටු විය නොහැකි තක්සේරුවක් දකින විට බොහෝ මාලිමා ආධාරකරුවන්ට මළ පනින්නේ මේ ප්‍රොපගැන්ඩා කැම්පේන් එක ඔවුන්ට ඉතාම වාසිදායක නිසා. 

මුලින් මාලිමාව හිටියේ කවුරුවත් නැති පිට්ටනියක. සජිත් තරඟයට ආවට පස්සේ ඒ තත්ත්වය වෙනස් වෙලා මාලිමාව කොහොමටත් දිනනවා කියන එක අභියෝගයට ලක් වුනා. ඒ එක්ක මාලිමා රැල්ලත් පසු බැස්සා. නමුත් රනිල් තරඟයට ආවාට පස්සේ නැවතත් මාලිමාවට පහසුවෙන් දිනන්න පුළුවන් කියලා බොහෝ දෙනෙකුට ඒත්තු ගිහින් තියෙනවා. ඒ එක්ක ඉතිරි වී තිබුණු පොහොට්ටු ඡන්ද වලින් තවත් කොටසක් මාලිමාව පැත්තට ගිහින් හා යමින් තියෙනවා. 

රනිල් ඉදිරියට යද්දී වෙන්නේ දිනන අපේක්ෂකයා ලෙස කලින් හඳුනාගෙන සිටි සජිත්ට දිනන්න බැහැ කියන එක වැඩි වැඩියෙන් පේන එක. එහෙම වෙද්දී පාවෙන පොහොට්ටු ඡන්ද වැඩි වැඩියෙන් අනුරට ආකර්ෂණය වෙනවා. රනිල් ඉදිරියට එන එක මාලිමාවට වාසියක් වෙන්නේ ඔය විදිහටයි. ඕක වෙනස් වෙන්නේ රනිල් දෙවැනි තැනට පැමිණ ඇති බව පැහැදිලිව පෙනුනොත් පමණයි. තවමනම් එවැනි තත්ත්වයක් පේන්න නැහැ. පොහොට්ටු ඡන්ද වැඩි වැඩියෙන් මාලිමාව පැත්තට යද්දී රනිල්ගේ පෝෂක කඳවුර එන්න එන්නම කුඩා වීමකුත් වෙනවා.

රනිල්ගේ ප්‍රවේශය එකතු කිරීමේ ප්‍රවේශයක් වුනත් ප්‍රචාරණ ව්‍යාපෘතිය ඇතුළේ දැකිය හැක්කේ මාලිමාව සතුරෙක් ලෙස පෙන්වන ප්‍රවේශයක්. ඇත්තටම මේක තමයි මාලිමාවට අවශ්‍යම ප්‍රවේශය. ජවිපෙ අතින් "සිදු නොවිය යුතු දේ සිදු වී තිබෙනවා" කියලා අනුරම කියලා තියෙනවනේ. මේවා නැවත නැවත මතක් කළා කියලා අනුරට අවාසියක් වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ වාසියක්. ඒ දවස් වලම වුනත්, වැඩි වැඩියෙන් බය දැනෙද්දී වුනේ මිනිස්සු ඒ පැත්තටම හේත්තු වෙන එක. උතුරේ තිබුනෙත් ඔය වගේම තත්ත්වයක්නේ. ගොඩක් අය බලන්නේ කෝකටත් හොඳයිනේ කියලා "වෙනසේ කොටස්කරුවෙක්" වෙන්න. අර අරගලයට කලාකරුවෝ එක දාගන්න ගියා වගේ. 

මම හිතන්නේ රනිල් සහ පොහොට්ටුවේ උඩ තට්ටුව ඉතිරි වී තිබෙන පොහොට්ටු ඡන්ද පිළිබඳව ඉඳලා තියෙන්නේ ලොකු අධි තක්සේරුවක විය හැකි බවයි. පේන්න තියෙන්නේ පොහොට්ටුව දිය වෙලාම ගිහින් වගේ තත්ත්වයක්. ඒ "හිටපු පොහොට්ටු" මාලිමාවට දැනටමත් ගොස් නැත්නම් අතර මං වූ ගන්ධබ්බ ඡන්ද මිසක් පොහොට්ටු ඡන්ද නෙමෙයි. මේ මැතිවරණයේදී ඒවා භාවිතා නොවෙන්න පුළුවන්. 

ගොඩක් අය ගණන් හදන්නේ මුළු ඡන්ද වලින් 83%ක් පමණ වැටෙයි කියලා උපකල්පනය කරගෙන. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී ඡන්ද භාවිතය ඔය වගේ ඉහළ මට්ටමක තිබෙනවා. නමුත් මෙවර එසේ නොවෙන්න පුළුවන්. භාවිතා වෙන ඡන්ද ප්‍රමාණය ප්‍රතිඵලය කෙරෙහි විශාල බලපෑමක් කරන්න ඉඩ තිබෙනවා. ඡන්ද භාවිතය 75%ක් වුනොත්, 38%ක් එයින් බාගයකට වඩා වැඩියි. 

Wednesday, September 4, 2024

කළුතර, රත්නපුර හා කෑගල්ල


පෙර සටහන් වල දකුණු පළාතේ හා බදුල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වයන් විග්‍රහ කළා. ඊයේ මාතර දිස්ත්‍රික්කයේ තනි නියැදියට තවත් නියැදියක් (දික්වැල්ල) එකතු වී තිබෙනවා. ඒ අනුව. මාතර සඳහා වඩා නිවැරදි ඇස්තමේන්තුවක් සකස් කරගන්න පුළුවන්. නියැදි දෙකක් වුනත් ප්‍රමාණවත් නැහැ. නමුත්, නියැදි  එකකට වඩා නියැදි දෙකක එකතුවක් නිවැරදියි.

මාතර දිස්ත්‍රික්කය (N = 360)

අනුර = 38.7%

සජිත් = 18.1%

රනිල් = 5.8%

නාමල් = 0.3%

බත්තරමුල්ලේ සීලරතන හිමි = 0.3%

තීරණය කර නැති = 37.0%

මාතර දිස්ත්‍රික්කයේ 2019 ඡන්ද ප්‍රතිඵල අනුව මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 62.0%ක් ආකර්ශනය කරගෙන තිබෙනවා. 

සජිත්ගේ 18.1% ඔහුගේ 2019 ප්‍රතිශතය වූ 22.6%ට ආසන්න වුවත් අඩුයි. සජිත්ගේ හා රනිල්ගේ ප්‍රතිශත එකතු කළ විට එම ප්‍රතිශතයට වඩා මදක් වැඩියි. නමුත්, සජබ හා එජාප නියැදි කුඩා නිසා ඒ අනුසාරයෙන් බරපතල නිගමන වලට පැමිණිය නොහැකියි. දික්වැල්ල ප්‍රතිඵලය අප වෙත යොමු කළ පාඨක හිතවතාට අනුව දික්වැල්ලේ සමීක්ෂණය සිදු කර ඇති ප්‍රදේශය එජාපයට වඩා බර ප්‍රදේශයක්. (මෙම ඇස්තමේන්තු සකස් කිරීම අපට පහසු වී තිබෙන්නේ පාඨක හිතවතුන් කිහිප දෙනෙකු විසින් මෙවැනි මත විමසුම් ගැන සොයා බලමින් ඒවා අප වෙත යොමු කරන බැවිනුයි. ඔවුන්ට ස්තුතියි!)

වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ පොහොට්ටු ඡන්ද මේ වන විට මාලිමාව වෙත ආකර්ෂණය වී ඇත්තේ කෙසේද යන්නයි. දැනට දකුණු පළාතේ තත්ත්වය මෙසේයි.

හම්බන්තොට - 67.1%

මාතර - 62.0%

ගාල්ල - 67.1%

හම්බන්තොට ප්‍රතිඵලය වඩා නිවැරදියි. මාතර ප්‍රතිඵලයේ නිරවද්‍යතාවය අඩුයි. ගාල්ල ප්‍රතිඵලයේ නිරවද්‍යතාවය ඊටත් වඩා අඩුයි. මාතරෙන් හා ගාල්ලෙන් තවත් නියැදි ලැබුනොත් මෙම ප්‍රතිඵල කෙලෙස වෙනස් වෙයිද?

හම්බන්තොට හා ගාල්ල අනුව මාතර ප්‍රතිශතයද 67.1% විය යුතුද?

එසේ නැත්නම්, වඩා රතු හම්බන්තොට සිට තරමක් අඩුවෙන් රතු මාතරට එද්දී සිදු වන අඩු වීම අනුව ගාල්ලේ ප්‍රතිශතය මාතර ප්‍රතිශතයට වඩා අඩු විය යුතුද?

මේ දෙකෙන් ඕනෑම එකක් වෙන්න පුළුවන්. පිළිතුරු දීම සඳහා දත්ත ප්‍රමාණවත් නැහැ. 

දැන් අපි දකුණු පළාතේ සිට යාබද සපරගමු පළාත වෙත යමු.

රත්නපුර දිස්ත්‍රික්කය 

පසුගිය සතියේදී රත්නපුර දිස්ත්‍රික්කය තුළ සමීක්ෂණ හතරක් සිදු කර තිබෙනවා. ඒ රත්නපුර, ඇඹිලිපිටිය, ගොඩකවෙල හා පැල්මඩුල්ල ප්‍රදේශ වලදී. රත්නපුර සමීක්ෂණ හතරේ (N = 804) සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය පහත තිබෙනවා. 

අනුර = 28.0%

සජිත් = 26.4%

රනිල් = 9.2%

නාමල් = 2.5%

දිලිත් ජයවීර  = 3.7%

තීරණය කර නැති = 35.8%

රත්නපුර දිස්ත්‍රික්කයේ 2020 ඡන්ද ප්‍රතිඵල අනුව මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 51.0%ක් ආකර්ශනය කරගෙන තිබෙනවා. එමෙන්ම, 2019 සජිත්ගේ ඡන්ද ප්‍රතිශතය වූ 30.6% මට්ටමට සජිත් පැමිණ නැති බවත්, ඉතිරි එජාප ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි කොටසක් රනිල් සතුව ඇති බවත් පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ රනිල් විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටු ඡන්ද වලින් යම් කොටසක් ආකර්ශනය කරගෙන ඇති බවයි. 

කෑගල්ල දිස්ත්‍රික්කය 

දෙමසකට පෙර දෙහිඕවිට හා යටියන්තොට ප්‍රදේශ වලදී සමීක්ෂණ දෙකක් සිදු කර තිබුණා. පහත තිබෙන්නේ සංයුක්ත ප්‍රතිඵලයයි (N = 276). 

අනුර = 14.5%

සජිත් = 26.1%

රනිල් = 18.8%

නාමල් = 1.8%

තීරණය කර නැති = 38.8%

මෙහි දැකිය හැක්කේ පොහොට්ටු ඡන්ද වලින් 25.3%ක් පමණයි. කෙසේ වුවත්, නියැදි දෙකක් මත පමණක්ම පාදක වූ මෙම ඇස්තමේන්තු ඒ තරම්ම විශ්වාසනීය නැහැ. 

කළුතර දිස්ත්‍රික්කය 

කළුතර දිස්ත්‍රික්කය පිහිටා තිබෙන්නේ දකුණු හා සපරගමු පළාත වලට යාබදවයි. මසකට පමණ පෙර කළුතර දිස්ත්‍රික්කය තුළ සමීක්ෂණ දෙකක් සිදු කර තිබෙනවා. ඒ කළුතරදී හා හොරණදී. පහත තිබෙන්නේ සංයුක්ත ප්‍රතිඵලයයි (N = 276). 

අනුර = 25.8%

සජිත් = 28.4%

රනිල් = 9.6%

ධම්මික පෙරේරා  = 4.8%

තීරණය කර නැති = 31.5%

එතරම් විශ්වාසනීය නොමැති මෙම ප්‍රතිඵලය තුළින් පිළිබිඹු වන්නේ මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 48.5%ක් ආකර්ශනය කරගෙන ඇති බවයි. 

දත්ත එතරම් විශ්වාසනීය නොමැති වුවත්, කෑගල්ල දිස්ත්‍රික්කය "කොළ" දිස්ත්‍රික්කයක් බව පැහැදිලියි. එහෙත් රත්නපුර හා කළුතර දිස්ත්‍රික්ක පැහැදිලි ලෙස රතු හෝ කොළ ලෙස වර්ග කිරීම අසීරුයි. මෙම දිස්ත්‍රික්ක වලින්  මාලිමාව විසින් ආකර්ශනය කර ගෙන ඇති බව පෙනෙන පොහොට්ටු ඡන්ද ප්‍රමාණය ආසන්න වශයෙන් 50%කට සමානයි. ඒ නිසා, දැනට අප‍ට මෙම දිස්ත්‍රික්ක සලකුණු කළ හැක්කේ අතරමැදි වර්ණයකින්. ඒ සඳහා අපි කහ පැහැය යොදා ගනිමු. 

එමෙන්ම, ගාල්ල දිස්ත්‍රික්කයට යාබදව ඇති රත්නපුර, කළුතර හා මාතර දිස්ත්‍රික්ක වල රටාව අනුව අප‍ට නිගමනය කළ හැක්කේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 55%-60% අතර ප්‍රමාණයක් ආකර්ශනය කරගෙන තිබිය යුතු බවයි. 

Tuesday, September 3, 2024

ගාල්ල හා මාතර


පසුගිය දවස් වල විවිධ අය විවිධ දේවල් ගැන ලියන මෙන් ඉල්ලීම් කර තිබුණා. සමහර විට ප්‍රසිද්ධියේ. සමහර විට පෞද්ගලිකව. සාමාන්‍යයෙන් මම එවැනි ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වනවා. නමුත් මේ වෙලාවේ ලිවිය යුත්තේ මොන වගේ දේවල්ද කියන එක ගැන දෙවරක් හිතන්න වෙනවා.

ජනාධිපතිවරණයට තවත් තියෙන්නේ දවස් 18ක් පමණයි. මේ වෙද්දී ලංකාවේ සමාජය හොඳටම ධ්‍රැවීකරණය වෙලා. කලාතුරකින් කෙනෙක්ගේ ඇරුණු විට අපේ පාඨකයින් බොහෝ දෙනෙක්ගේත් ඔලුවේ තියෙන්නේ ජනාධිපතිවරණය. මේ වගේ වෙලාවක ආර්ථිකය හා සම්බන්ධ බරසාර දේවල් කතා කරලා වැඩක් නැහැ.

සමහර අය සමහර දේවල් ගැන ලියන්න කියන්නේ අභියෝග විදිහට.

"පුලුවන්නම් මේක ගැනත් ලියන්න!"

ඔය එකම වචන ටික සමහර වෙලාවට ඇත්තටම කාරුණික ඉල්ලීමක්. තවත් වෙලාවට අභියෝග කිරීමක්. තවත් සමහරක් වෙලාවට "මාර්ගෝපදේශනයක්". ඉල්ලීම ඔය කොයි කැටගරියේ වුනත්, ලියන එකෙන් කාට හෝ වැඩක් වෙයි කියා හිතෙනවානම් මම ලියනවා. 

හැබැයි ගොඩක් වෙලාවට අභියෝග විදිහට එන ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වන්න මම මහන්සි වෙන්නේ නැහැ. මොනවා හෝ වලින් පුරවා ගත්ත භාජන වලට අලුතෙන් දේවල් පුරවන්න බැහැ. ඒවා අපතේ යනවා පමණයි. 

ඒ වගේම, වෙනත් අයට "පහර දීමට" අවි සපයා ගැනීම සඳහා කරන මාර්ගෝපදේශන මාදිලියේ ඉල්ලීම් වලට ඒ බව දැන දැනම සමහර වෙලාවට ප්‍රතිචාර දක්වන්නේ ඒ මහින් කවර හෝ ආකාරයක දැනුවත් කිරීමක් සිදු කළ හැකි නිසා. මේ වගේ අවස්ථාවක ඒ වැඩේ වෙන්නේ නැහැ. 

විශේෂයෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂයින්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන හෝ ඡන්ද පොරොන්දු ගැන මේ වෙලාවේ කතා කරන එක කිසිම තේරුමක් නැති දෙයක්. ඒ වගේ දෙයක් ඕනෑම කෙනෙක් කියවා ගන්නේ තමන්ගේ දේශපාලන පක්ෂපාතිත්වය එක්ක ගලපා ගනිමිනුයි. 

ඔය දේවල් ගැන කතා කළා කියලා මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් වෙන්නෙත් නැහැ. දැන් මැතිවරණ ප්‍රතිඵලය බොහෝ දුරට තීරණය වෙලා ඉවරයි. තවමත් ප්‍රතිඵලයට බලපෑමක් කළ හැකි ලොකු අයිස් කන්දක් පැත්තක තියෙනවා තමයි. ඒ අයිස් කන්ද ගැන කෙටි අර්ථදැක්වීමක් කළොත් "ෆේස්බුක් එන්නේ නැති ඡන්දදායකයෝ" කියලයි කියන්න වෙන්නේ. ඒ නිසා, ෆේස්බුක් සටන් වලින් තව දුරටත් මහ පොළොවේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. 

ගොඩක් අයට අවශ්‍ය මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන කරුණු ගැන දැනගන්න. මම එහි පිටකවරය දැක්කා. ඒ හැර එය කියවා බැලුවේ නැහැ. මේ වගේ වෙලාවක එය කියෙවුවා හෝ ඒ ගැන ලිවුවා කියලා ඇති වැඩකුත් නැහැ. 

මීට කලින් මාලිමා ආර්ථික ප්‍රතිපත්ති ගැන සටහනක් ලියා තිබෙනවා. එය ලිවුවේ අලුත් ප්‍රතිපත්ති හදන්න කලින්. අවශ්‍යනම් එයින් ගන්න තියෙන දෙයක් ගන්න. නමුත් දැන් අලුත් එක හදලා ඉවරයි. දැන් මොනවා ලිවුවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. මාලිමාව දිනුවොත් වඩා වැදගත් වෙන්නේ ඇත්තටම කරන දේවල් මොනවාද කියන එකයි. ඒ ගැන කතා කරන්න (හෝ නොකරන්න) තව ඕනෑ තරම් කල් තිබෙනවා. 

ඊළඟට මේ ඡන්ද කටේ ආණ්ඩුව කියන දේවල්. ඒවා අදාළ වෙන්නෙත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක්ද කියන එක මතයි. ආර්ථිකය හා අදාළව බැලුවත්, මේ වෙලාවේ වැදගත්ම දේ ඊළඟ ආණ්ඩුව කුමක්ද කියන එකයි. අනෙක් හැම දෙයක්ම ඒ මත වෙනස් වෙන්න පුළුවන් දේවල්. 

හැබැයි කිසිම ස්වයං වාරණයක් දාගෙන නැහැ. ඒ වෙලාවට හිතෙන දෙයක් ලියනවා. ඉදිරි සති දෙක තුනේ කියලා ඒකේ වෙනසක් නැහැ. ඒ නිසා, විවිධ ඉල්ලීම් කරන අයට එහෙම කරන්න එපා කියලා මම කියන්නේ නැහැ. 

අපි මොනවා ලිවුවත් කියවන අය ඒවා කියවා ගන්නේ තමන්ට අවශ්‍ය විදිහට. ඡන්ද කාලයක ඒ තත්ත්වය වඩා දරුණුයි. මගේ පෙර සටහන් කිසිවක මම මැතිවරණ ප්රතිඵල පුරෝකථනය කරලා නැහැ. මම කරලා තියෙන්නේ වෙනත් අය විසින් සිදු කර තිබෙන සමීක්ෂණ හෝ පුරෝකථන පිළිබඳව පැහැදිලි කිරීම් කරන එක. 

මැතිවරණ ප්රතිඵලය ගැන යම් අදහසක් ගන්න පුළුවන් දත්ත අප අවට තිබෙනවා. ඒවා නිවැරදිව කියවා ගන්න එක කාට වුනත් ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. තමන්ගේ දේශපාලන පක්ෂපාතිත්වය අනුව එය වෙනස් වෙන්නේ නැහැ. 

පසුගිය සතියේ මම බදුල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්ක ගැන කතා කළා. බදුල්ල දිස්ත්‍රික්කය හා අදාළව ඉතා හොඳ මට්ටමේ දත්ත තිබෙනවා. මේවා විද්‍යාත්මක සමීක්ෂණ නොවුනත් සමහර විට විද්‍යාත්මක සමීක්ෂණ වලටත් වඩා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. 

ඊයේ ඉදිරිපත් කළ ප්‍රතිඵලයට අද තවත් නගරයක් එකතු කරන්න පුළුවන්. ඒ ඇටම්පිටිය. ඒ එක්ක බදුල්ලේ නියැදිය 1,686 දක්වා ඉහළ යනවා. ප්‍රතිඵලය විශාල ලෙස වෙනස් වී නැහැ. අලුත් දත්ත එකතු වෙද්දී ප්‍රතිඵලයේ දැනෙන වෙනසක් සිදු නොවීමෙන් පෙනෙන්නේ එය බොහෝ දුරට නිවැරදි බවයි. 

අනුර = 17.4%

සජිත් = 21.7%

රනිල් = 9.3%

නාමල් = 0.5%

සරත් ෆොන්සේකා = 0.1%

තීරණය කර නැති = 51.2%

සුදත්තගේ සමීක්ෂණ වල විශ්වාසනීයත්වය පිළිබඳව මතු වන ප්‍රධානම ගැටලුව ඔහුගේ දේශපාලන නැමියාවයි. ඔහු සෘජු ලෙස කිසිදු දේශපාලන ධාරාවක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැතත්, රාජපක්ෂලා හා පොහොට්ටුව ඉතා දැඩි ලෙසත්, රනිල්ව සෑහෙන තරමකිනුත් විවේචනය කරනවා. මේ විවේචන කරන්නේ ප්‍රසිද්ධියේ. ඒ නිසා, ඔහු සමීක්ෂණ වීඩියෝ ඉදිරිපත් කිරීමේදී හොර බොරු කරන්නේ නැහැ කියා උපකල්පනය කළත්,  ඔහුගේ මත විමසුම් වල නිරවද්‍යතාවය ගැන යම් සැකයක් මතු වෙනවා. උදාහරණයක් ලෙස නාමල්ට ඡන්දය දීමට සිටින කෙනෙක් සුදත්තට ඒ බව නොකියන්න පුළුවන්. 

බදුල්ලේ සමීක්ෂණ කරන්නේ සුදත්ත නෙමෙයි. නමුත් එම සමීක්ෂණ ප්‍රතිඵල සහ සුදත්තගේ සමීක්ෂණ ප්‍රතිඵල අතර විශාල නොගැලපීම් දැකිය නොහැකියි. ඒ අනුව පෙනී යන්නේ සුදත්තගේ සමීක්ෂණ සම්බන්ධව ඉහත සැකය පහසුවෙන්ම දුරු වන බවයි. මෙයට හේතුව ඔහුගේ සමීක්ෂණ වලට සහභාගී වන වැඩි දෙනෙක් ඔහුව නොදන්නා අය වීම වෙන්න පුළුවන්.

සුදත්ත විසින් ඊයේ වලස්මුල්ලේ අලුත් සමීක්ෂණයක් සිදු කර හම්බන්තොට නියැදිය 866 දක්වා වැඩි කර තිබෙනවා. පහත තිබෙන්නේ හම්බන්තොට අලුත් තත්ත්වයයි. 

අනුර = 44.6%

සජිත් = 11.4%

රනිල් = 4.4%

නාමල් = 1.5%

නුවන් බෝපගේ = 0.1%

දිලිත් ජයවීර = 0.1%

තීරණය කර නැති = 37.9%

බදුල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක දෙකේම තීරණය කර නැති ඡන්ද ප්‍රතිශතයේ යම් අඩු වීමක් දැකිය හැකියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස බදුල්ලේදී සජිත්ගේ ගොඩත්, හම්බන්තොටදී අනුරගේ ගොඩත් සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. මෙය මැතිවරණ දිනය ආසන්න වෙද්දී සිදු විය හැකි දෙයක්. 

"පොහොට්ටු ඡන්ද ඔක්කොම දැන් මාලිමාවට ගිහින් ඉවරයි!"

"පොහොට්ටු ඡන්ද ඕනෑනම් වැඩිම වුනොත් 30%ක් මාලිමාවට යයි!"

"සජිත් දැන් 2019 ඡන්ද ටික අරගෙන ඉවරයි!"

ඔය වගේ "පුරෝකථන" ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් මම කරන්නේ එවැනි දෙයක් නෙමෙයි. මම කරන්නේ සොයාගත හැකි දත්ත වල තිබෙන තොරතුරු ග්‍රහණය කර ගන්න උත්සාහ කරන එක. ඒ දත්ත සියයට සියයක් නිවැරදි නැහැ. නමුත් නිකම්ම හිතන එක සහ දත්ත මත පදනම්ව හිතන එක අතර පැහැදීලි වෙනසක් තිබෙනවා. 

බදුල්ල හා හම්බන්තොට තරමටම අනෙකුත් හැම දිස්ත්‍රික්කයක් හා අදාළවත් තොරතුරු තිබෙනවානම් එයින් එහාට වෙනත් ආකෘතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අවාසනාවට අනෙකුත් හැම දිස්ත්‍රික්කයක් හා අදාළවම මෙවැනි දත්ත නැහැ. ඒ නිසා, යම් ආකාරයකින් ඒ දිස්ත්‍රික්ක වල තත්ත්වය අපෝහණය කරගන්න වෙනවා. ඒ සඳහා ආකෘතියක් අවශ්‍ය වෙනවා.

පොහොට්ටු ඡන්ද කොපමණ ප්‍රතිශතයක් මාලිමාවට ගිහින්ද?

මට මේ ප්‍රශ්නයට පිළිතුරක් අවශ්‍ය වෙන්නේ ඒ පිළිතුරේ උදවුවෙන් වැඩිමනත් තොරතුරු නැති දිස්ත්‍රික්ක ගැන යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් නිසා. උදාහරණයක් විදිහට හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්ක වල පොහොට්ටු ඡන්ද වලින් 70%ක් මාලිමාවට ගිහින් බව පේනවානම් මාතර තත්ත්වයත් ඒකමයි කියන නිගමනයට එන්න පුළුවන්. ඊට පස්සේ මාතර 2020 ප්‍රතිඵල මත පදනම්ව ඇස්තමේන්තුවක් හදාගන්න පුළුවන්. 

දැනට තිබෙන තොරතුරු අනුව, 

- බදුල්ලේ පොහොට්ටු ඡන්ද 31.3%ක් මාලිමාවට ගිහින්.

- හම්බන්තොට පොහොට්ටු ඡන්ද වලින් 67.1%ක් මාලිමාවට ගිහින්. 

මේ දිස්ත්‍රික්ක වලින් ලබාගෙන තිබෙන නියැදි ප්‍රමාණය සහ නියැදි වල ප්‍රමාණ අනුව මේ ඇස්තමේන්තු විශාල ලෙස වෙනස් වෙන්න බැහැ. 

බදුල්ල හා හම්බන්තොට කියන්නේ ලංකාවේ දේශපාලන ධ්‍රැවීකරණයේ අන්ත දෙකක්. ඒ නිසා, අපිට මේ දිස්ත්‍රික්ක දෙක දිහා බලලා ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්ක වල පොහොට්ටු ඡන්ද කොපමණ මාලිවාවට ගිහින්ද කියන එක ගැන යම් අදහසක් ගන්න පුළුවන්. 

මාතර දිස්ත්‍රික්කය 

මාතර දිස්ත්‍රික්කය කියන්නේ හම්බන්තොට හැරුණු විට ලංකාවේ වඩාත්ම රතු දිස්ත්‍රික්කය කියා කියන්න පුළුවන්. ඒ නිසා ප්‍රතිඵලය හම්බන්තොට ප්‍රතිඵලයට ආසන්න විය යුතුයි. මේ බව පරීක්ෂා කිරීම සඳහා අප සතුව තිබෙන්නේ එක් නියැදියක් පමණයි. ඒ දෙවිනුවර නියැදිය. එක නියැදියක් පමණක් යොදාගෙන ඒ තරම්ම නිවැරදි ඇස්තමේන්තුවක් ලබා ගන්න බැහැ. එහෙමයි කියලා කරන්න දෙයකුත් නැහැනේ. ලද දෙයින් සතුටු වෙන්න වෙනවා. 

පහත තිබෙන්නේ දෙවිනුවර සමීක්ෂණ ප්‍රතිඵලය.(N = 167)

අනුර = 50.6%

සජිත් = 16.9%

රනිල් = 6.3%

නාමල් = 1.3%

බත්තරමුල්ලේ සීලරතන හිමි = 0.6%

තීරණය කර නැති = 30.0%

මාතර දිස්ත්‍රික්කයේ 2019 ඡන්ද ප්‍රතිඵල අනුව මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 84.3%ක් ආකර්ශනය කරගෙන තිබෙනවා. 

ගාල්ල දිස්ත්‍රික්කය 

දකුණු පළාතේ ඉතිරි දිස්ත්‍රික්කය ගාල්ලනේ. ගාල්ල දිස්ත්‍රික්කයේ අලුත් සමීක්ෂණ කිසිවක් නැහැ. මාස පහකට කලින් අම්බලන්ගොඩදී කළ එක සමීක්ෂණයක් පමණක් තිබෙනවා. මෙය තනි නියැදියක් වීමේ ප්‍රශ්නයට අමතරව තවත් ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් මාස පහකට පසුව තත්ත්වයේ වෙනසක් සිදු වී තිබිය හැකි වීම. දෙවැන්න අම්බලන්ගොඩ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරනවද කියන එක. ඒ නිසා, ප්‍රතිඵලයේ නිරවද්‍යතාවය ගැන ලොකුවට බලාපොරොත්තු තියන්න බැහැ. නමුත් නියැදිය තරමක් විශාල වීම වාසියක්. 

අම්බලන්ගොඩ ප්‍රතිඵලය (N = 296)

අනුර = 29.4%

සජිත් = 22.0%

රනිල් = 4.4%

නාමල් = 3.7%

තීරණය කර නැති = 40.5%

දැන් මේ නියැදියෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය වෙනවා කියලා උපකල්පනය කළොත් ගාල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටු ඡන්ද වලින් 67.1%ක් මාලිමාව විසින් ආකර්ශනය කරගෙන තිබෙනවා. මෙම අගය හම්බන්තොට ප්‍රතිඵලය සමඟ හරියටම ගැලපෙනවා. 

ගාල්ල හා මාතර තනි නියැදි වලින් ලොකු නිගමන වලට එන්න බැහැ. නමුත් ඒ නියැදි දෙක සහ හම්බන්තොට නියැදි එකට ගත් විට කියැවෙන්නේ එකම කතාවක්. ඒ අනුව, අප‍ට දකුණු පළාත ගැන පොදුවේ යම් තක්සේරුවක් කරන්න පුළුවන්. දකුණේ පොහොට්ටු ඡන්ද වලින් 70%ක් පමණ මාලිමාවට ගිහින් බව පැහැදිලියි. 

Monday, September 2, 2024

හම්බන්තොට හා බදුල්ල


හම්බන්තොට දිස්ත්‍රික්කය

රාජපක්ෂලාගේ මූල කඳවුර වන හම්බන්තොට දිස්ත්‍රික්කය යනු රටේ දිස්ත්‍රික්ක අතරින් පොහොට්ටු පක්ෂයට වැඩිම සහයෝගයක් ලබා ගත හැකි වූ දිස්ත්‍රික්කයයි. 2019 ජනාධිපතිවරණයේ මුළු ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 57.4%ක්ද, 2020 මහ මැතිවරණයේදී මුළු ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 57.0%ක්ද ඡන්දය දුන්නේ එම පක්ෂයටයි. 

හම්බන්තොට දිස්ත්‍රික්කය යනු පසුගිය දශක කිහිපය පුරාවටම ජවිපෙට මෙන්ම ඉන් පසුව මාලිමාවටද වැඩිම සහයෝගයක් ලබා ගත හැකි වූ දිස්ත්‍රික්කයයි. 2019 ජනාධිපතිවරණයේ මුළු ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 5.4%ක්ද, 2020 මහ මැතිවරණයේදී මුළු ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 6.4%ක්ද ඡන්දය දුන්නේ එම පක්ෂයටයි. 

සජිත් ප්‍රේමදාස දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ දේශපාලනය කළේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ වුවද, ඔහු තරඟ කළ 2019 ජනාධිපතිවරණයේදී එජාපයට අඩුම සහයෝගයක් ලබාගත හැකි වූ දිස්ත්‍රික්කය වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. එම ප්‍රතිශතය 22.4%ක් පමණයි.

දෙමළ බහුතරයක් සිටින යාපනය හා මඩකලපුට දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක අතරීන් 2020දී සජබයට වඩාත්ම අඩු සහයෝගයක් ලැබුණු දිස්ත්‍රික්කය හම්බන්තොට දිස්ත්‍රික්කයයි. එය 10.5%ක් පමණයි.

දෙමළ බහුතරයක් සිටින යාපනය, වන්නි හා මඩකලපුට දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක අතරීන් 2020දී එජාපයට වඩාත්ම අඩු සහයෝගයක් ලැබුණු දිස්ත්‍රික්කයද හම්බන්තොට දිස්ත්‍රික්කයයි. එය 1.0%ක් පමණයි. අනෙක් දිස්ත්‍රික්කය මොණරාගල දිස්ත්‍රික්කයයි (0.9%).

ඉහත ඓතිහාසික සංඛ්‍යාලේඛණ අනුව, අවසන් ජාතික මැතිවරණයේදී පැවති තත්ත්වය.

පොහොට්ටුව = 57.0%

මාලිමාව = 6.4%

සජබ = 10.5%

එජාප = 1.0%

2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද = 22.4% - 10.5% - 1.0% = 10.9%

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කිසිසේත්ම ලංකාවේ තත්ත්වය නියෝජනය වන්නේ නැහැ. ලංකාවේ දිස්ත්‍රික්ක අතරින් වඩාත්ම "රතු" දිස්ත්‍රික්කය හම්බන්තොට දිස්ත්‍රික්කය බව බොහෝ දෙනෙකු විසින් පිළිගනු ඇතැයි මා සිතනවා. එම දිස්ත්‍රික්කයේ ඡන්දදායක නැමියාව පිළිබඳව අප‍ට දැනට කිව හැක්කේ කුමක්ද?

ආසන්න වශයෙන් පසුගිය සතියක පමණ කාලය තුළ සුදත්ත තිලකසිරි විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයයේ ස්ථාන හතරක මත විමසුම් සිදු කර තිබෙනවා. ඒ වීරකැටිය, මිද්දෙනිය, බෙලිඅත්ත හා තංගල්ල යන ස්ථානයි. මේ මත විමසුම් අහඹු නියැදි සමීක්ෂණ නොවන බැවින් එම මත විමසුම් වලින් දිස්ත්‍රික්කයේ ජනමතය හරියටම නිවැරදිව මැනීමේ හැකියාවක් නැහැ. එහෙත්, එවැනි "පිරිසිදු දත්ත" නොමැති විටෙක කවර හෝ තිබෙන දත්ත නොසලකා නොහැර ප්‍රයෝජනයට ගැනීම සාමාන්‍ය මූලධර්මයයි. 

අදාළ මත විමසුම් හතරේ සංයුක්ත ප්‍රතිඵලය (N = 710) පහත දක්වා තිබෙනවා. මෙම නියැදි හතරෙන් එක් එක් නියැදියේ ප්රතිඵලය සංඛ්‍යානමය ලෙස අසමාන නොවන බවද පරීක්ෂා කර තහවුරු කරගත හැකියි. ප්‍රමාණවත් නියැදියක් තිබීමත්, එම නියැදිය වෙනස් ස්ථාන හතරකින් එකතු කර ගෙන තිබීමත්, ඒ නියැදි සංඛ්‍යානමය ලෙස අසමාන නොවීමත් සැලකූ විට මෙම ප්‍රතිඵලය තුළින් සෑහෙන තරම් නිවැරදිව හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය වන බව සිතිය හැකියි. 

අනුර = 43.0%

සජිත් = 12.0%

රනිල් = 4.8%

නාමල් = 1.1%

නුවන් බෝපගේ = 0.1%

තීරණය කර නැති = 39.0%

මෙවැනි මත විමසුමකදී තමන්ගේ අභිප්‍රාය සෘජුව ප්‍රකාශ කරන පිරිස අදාළ අපේක්ෂකයාට ඡන්දය ලබා දෙනු ඇති බව විශ්වාස කළ හැකියි. එසේ නොවන්නේනම්, කැමරාවක් ඉදිරිපිට ඒ බව කියන්නේ නැහැ. 

දැන් මෙම දත්ත අනුව, අනුරගේ 43.0%ක ප්‍රතිශතයෙන් 6.4%ක් සම්ප්‍රදායික ජවිපෙ ඡන්ද බැවින් අලුතෙන් එකතු වී ඇති කොටස 36.6%ක් පමණයි. එම එකතු වීම සිදු වුනේ සම්ප්‍රදායික එජාප ගොඩෙන් කියා හිතන්න අමාරුයි. මේවා 2020 පොහොට්ටු ඡන්ද. එම පොහොට්ටු ඡන්ද ප්‍රමාණය 57.0%ක් සේ සැලකූ විට එයින් 64.2%ක් අනුර වෙත ආකර්ෂණය වී තිබෙනවා. 2019 පොහොට්ටු ඡන්ද සැලකුවොත්, 63.8%ක්. 

පොහොට්ටු ඡන්ද වලින් නාමල් වෙත ඉතිරිව තිබෙන්නේ 1.9%ක් පමණයි. මේ අනුව, පොහොට්ටු ඡන්ද වලින් 34%ක් පමණ තවමත් "ඉතිරිව" තිබෙනවා. මුළු ඡන්ද ප්‍රමාණයෙන් 19.4%ක් පමණ. 

සජිත්ගේ ගොඩ දෙස බැලුවොත්, 2020 ඔහුගේ ප්‍රතිශතය වූ 10.5%ට අලුතෙන් එකතු වී තිබෙන්නේ තවත් 1.5%ක් පමණයි. දැන් අපි 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද දෙස බැලුවොත්, එයින් සජිත්ට ගොස් ඇති සේ සැලකිය හැක්කේ 1.5%ක් පමණක් බැවින් තවත් 9.4%ක් ඉතුරුයි. ඒ කියන්නේ 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද වලින් සජිත් විසින් ලබා ගෙන තිබෙන්නේ 13.8%ක් පමණයි. තවත්, 86.2%ක්ම ඉතුරුයි. 

රනිල්ට 3.8%ක් අලුතෙන් එකතු වී තිබෙනවා. එම කොටස එකතු වුනේ 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද ගොඩෙන්ද නැත්නම්, ඉතිරි පොහොට්ටු ඡන්ද ගොඩෙන්ද කියා නිශ්චිතව කියන්න අමාරුයි. නමුත් සම්ප්‍රදායික එජාප ඡන්ද සජිත් වෙත නොගොස් ඉතිරිව තිබීම සහ රනිල්ගේ ගොඩ වැඩිවීම සැලකූ විට වඩා හොඳ උපකල්පනය වන්නේ මේ ඡන්ද සම්ප්‍රදායික එජාප ඡන්ද ලෙස සැලකීමයි. මෙම ප්‍රමාණය 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද වලින් 34.9%ක්. ඒ අනුව, මෙම ඡන්ද වලින් 13.8%ක් සජිත්ට හා 34.9%ක් රනිල් වෙත යාමෙන් පසුව තවත් 51.3%ක් ඉතිරිව තිබෙනවා. මුළු ඡන්ද ප්‍රමාණයෙන් 5.6%ක්.

අනුර හෝ නාමල් සතුව නැති ඉතිරිව තිබෙන පොහොට්ටු ඡන්ද ප්‍රමාණය 19.4%ක් පමණ වෙද්දී ඉතිරිව තිබෙන එජාප ඡන්ද ප්‍රමාණය 5.6%ක්. මේ ගොඩවල් දෙකම එකතු කළ විට මුළු ඡන්ද ප්‍රමාණයෙන් 25.0%ක්. 

දැනට තීරණය කර නැති ගොඩෙන් (39%) ඉහත 25.0% ඉවත් කළ විට ඉතිරි වන 14% නොවැටෙන ඡන්දයි. ඊට අමතරව මෙම 25.0%ක ඡන්ද ප්‍රමාණයෙන්ද යම් කොටසක් නොවැටෙන්නට ඉඩ තිබෙනවා. ඉතිරි කොටස රනිල්, අනුර හා සජිත් අතර යම් අනුපාතයකින් බෙදී යා යුතුයි. 

දැනට සජිත් හා රනිල් අතර පරතරය 7.8%ක්. සජිත්ගේ ප්‍රතිශතය එසේම තිබියදී රනිල් විසින් ඉහත 25.0%ක ගොඩෙන් 31.2%ක් ලබා ගතහොත් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ රනිල්ට දෙවන තැනට පැමිණිය හැකියි. මෙම 25.0%ක ගොඩෙන් 22.4%ක් සම්ප්‍රදායික එජාප ඡන්ද. එම කොටස තවමත් රනිල් හෝ සජිත් විසින් ලබා ගෙන නැහැ. මේ ඡන්ද ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුට ලැබෙනවා. ඉතිරි කොටස තවමත් තීරණය නොවූ පොහොට්ටු ඡන්ද. ඒ ඡන්ද රනිල්, නාමල්, අනුර, දිලිත් වගේම සජිත් වැනි ඕනෑම කෙනෙක්ට ලැබෙන්න පුළුවන්. මේ අය අතරින් අනුර හා සජිත් කාලයක් තිස්සේම තරඟය තුළ සිටියා. අලුතෙන් තරඟයට ආවේ රනිල්, නාමල් සහ දිලිත්. ඒ අය අතරින් ජයග්‍රහණය කිරීමේ යම් විභවයක් තිබෙන්නේ රනිල්ට පමණයි. 

හම්බන්තොට දිස්ත්‍රික්කය වැනි සාපේක්ෂව වාසිදායක ස්ථානයකදී අනුර වෙත ආකර්ෂණය වී තිබෙන පොහොට්ටු ඡන්ද ප්‍රමාණය ආසන්නව 64%ක් පමණයි. එම කඳවුරට ඉතිරි ගොඩෙන් තවත් ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට ඇති ඉඩකඩ සලකමින් මා දැනට ඔවුන්ට පොහොට්ටු ඡන්ද වලින් 70%ක් පමණ ලබා ගත හැකි සේ උපකල්පනය කර තිබෙනවා. 

පොහොට්ටු ඡන්ද වලින් නාමල් විසින් ලබාගෙන තිබෙන්නේ 2%ක් පමණයි. මම මෙය 5%ක් සේ සලකා තිබෙනවා.

සජබ 2020 ඡන්ද ප්‍රමාණයට අමතරව, 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද ගොඩෙන් සජිත් විසින් දැනට ලබා ගෙන තිබෙන්නේ 14%ක් පමණයි. මා උපකල්පනය කර තිබෙන්නේ සජිත්ට මෙම ඉතිරි එජාප ඡන්ද ප්‍රමාණයෙන්  20%-50% අතර ප්‍රමාණයක් ලබා ගත හැකි බවයි. 

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දැනට රනිල් වෙත ගොස් තිබෙන ඡන්ද ප්‍රමාණය සමාන වන්නේ 2020 එජාප ප්‍රතිශතයේ සහ 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද ප්‍රතිශතයෙන් 35%ක එකතුවටයි. පොහොට්ටු ඡන්ද කිසිවක් එහි නැහැ. පොහොට්ටු ඡන්ද ලබා ගැනීමේ විභවයක් රනිල් සතුව ඇතත්, ඒ විභවය මිස ඇත්තටම ඒවා ලබා ගැනීමක් තවමත් සිදු වී නැහැ. 

ඉහත කී අයුරින් අනුරට, නාමල්ට හා සජිත්ට යම් වාසිදායක සීමාවක් සලකුණු කිරීමෙන් පසුවද, විශාල ඡන්ද ප්‍රතිශතයක් ඉතිරි වෙනවා. එම ප්‍රමාණය කිසිසේත්ම දැනට රනිල් සතුව නැහැ. එහෙත් මේ ඉතිරි කොටස ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කළ හැකි තරම් විශාලයි. හම්බන්තොට දිස්ත්‍රික්කය සැලකුවහොත් තවමත් තීරණය වී නැති හා භාවිතා වීමට ඉඩ ඇති සම්ප්‍රදායික එජාප හා පොහොට්ටු ඡන්ද ප්‍රමාණය මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 25.0%ක්. ඊට සාපේක්ෂව සජිත් ඉන්නේ 12.0% මට්ටමේ. රනිල් ඉන්නේ 4.8% මට්ටමේ. 

දැනට දැකිය හැකි තත්ත්වය තුළ ඉදිරියෙන් සිටින අපේක්ෂකයින් දෙදෙනා වන්නේ අනුර හා සජිත්. රනිල් සිටින්නේ තෙවන තැනයි. එහෙත්, රනිල් විසින් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයට මුල් අපේක්ෂකයින් දෙදෙනාගේ බල තුලනය කෙරෙහි විශාල බලපෑමක් කිරීමේ විභවයක් තිබෙනවා. 

බදුල්ල දිස්ත්‍රික්කය 

සිංහල බහුතර දිස්ත්‍රික්ක අතරින් (එනම් උතුරු නැගෙනහිර පළාත් හා නුවරඑළිය දිස්ත්‍රික්කය හැර අනෙකුත් දිස්ත්‍රික්ක) පසුගිය 2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි වූ දිස්ත්‍රික්කය බදුල්ල දිස්ත්‍රික්කයයි. එම ප්‍රතිශතය 38.3%ක්. එහෙත්, 2020 මහ මැතිවරණයේදී සජබ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 21.6%ක් පමණයි. කෙසේ වුවද, එම ප්‍රතිශතයද එම මැතිවරණයේදී සජබ විසින් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයක්. සජබ ඊට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළේ කොළඹ, නුවරඑළිය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලදී පමණයි. බදුල්ල දිස්ත්‍රික්කය පොහොට්ටුවට, මාලිමාවට මෙන්ම, සජබ නැති එජාපයටද සුවිශේෂී දිස්ත්‍රික්කයක්ව පැවතුණේ නැහැ. 

බදුල්ල දිස්ත්‍රික්කය ලංකාවේ දිස්ත්‍රික්ක අතරින් වඩාත්ම "කොළ" දිස්ත්‍රික්කය ලෙස මා හඳුන්වන්න කැමතියි. අවසන් ජාතික මැතිවරණ වලදී බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද බෙදී ගොස් තිබුණේ පහත පරිදියි. 

පොහොට්ටුව = 46.3%

මාලිමාව = 2.9%

සජබ = 21.6%

එජාප = 1.4%

2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද = 38.3% - 21.6% - 1.4% = 15.3%

බදුල්ල ටීවී විසින් පසුගිය සතිය තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ හතක සිදු කර ඇති මත විමසුම් අප විසින් සලකා බැලුවා. එම ප්‍රදේශනම්, වැලිමඩ, ඌවපරණගම, බණ්ඩාරවෙල, මහියංගනය, හපුතලේ, දියතලාව, හාලිඇල සහ කන්දකැටිය-වියලුව ප්‍රදේශයි. 

අදාළ මත විමසුම් හතේ සංයුක්ත ප්‍රතිඵලය (N = 1,641) පහත දක්වා තිබෙනවා.

අනුර = 17.5%

සජිත් = 21.3%

රනිල් = 9.3%

නාමල් = 0.5%

සරත් ෆොන්සේකා = 0.1%

තීරණය කර නැති = 51.5%

දිස්ත්‍රික්කය තුළ ඉදිරියෙන් සිටින්නේ සජිත්. එහෙත්, සජිත් විසින් තහවුරු කරගෙන තිබෙන ඡන්ද ප්‍රතිශතය සජබ 2020 ප්‍රතිශතයටද වඩා අඩුයි. ඒ කියන්නේ 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්ද කිසිවක් සජිත් විසින් ආකර්ෂණය කරගෙන නැහැ. ඒ අනුව, රනිල් විසින් 7.9%ක් වැඩි කරගෙන තිබෙන්නේ එම ඡන්ද ආකර්ෂණය කර ගැනීමෙන් කියා සිතන්න පුළුවන්. එම ප්‍රමාණය 2019දී භාවිතා වූ 2020දී නොවැටුණු එජාප ඡන්දවලින් 51.6%ක්. 

වැදගත්ම කරුණ වන්නේ 2019දී සජිත් වඩාත්ම ශක්තිමත්ව සිටි බදුල්ල දිස්ත්‍රික්කයේ දැන් සජිත් සිටින්නේ 2020දී සිටි තැනටත් පහළින් බවයි. රනිල්ගේ හා සජිත්ගේ ප්‍රතිශත ඉවත් කළ විට සම්ප්‍රදායික එජාප ඡන්ද ප්‍රතිශතය සේ සැලකිය හැකි 38.3%ක ප්‍රමාණයෙන් 7.7%ක ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ අතීරක ඡන්ද ලෙසයි. 

බදුල්ල දිස්ත්‍රික්කය තුළ මාලිමාව ස්ථානගත වී සිටින්නේ කොහොමද?

මාලිමාව විසින් ආකර්ෂණය කරගෙන ඇති 17.5%ක ඡන්ද ප්‍රමාණයෙන් 2.9%ක් සම්ප්‍රදායික මාලිමා ඡන්දයි. ඒ අනුව, ඉතිරි කොටස 14.6%ක්. එම ප්‍රමාණය පොහොට්ටුවේ 46.3% ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 31.5%ක්. මේ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටු ඡන්ද වලින් 31.5%ක් මාලිමාව විසින් ආකර්ෂණය කරගෙන තිබෙනවා. නාමල් සතු කරගෙන තිබෙන්නේ එම ඡන්ද වලින් 1.1%ක් පමණයි. ඒ අනුව, ඉතිරි කොටස 67.4%ක්. මුළු ඡන්ද ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 31.2%ක්.

බදුල්ල දිස්ත්‍රික්කයේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 31.2%ක් තවමත් "පාවෙන" පොහොට්ටු ඡන්ද. තවත් 7.7%ක් පාවෙන එජාප ඡන්ද. එකතුව 38.9%ක්. තීරණය කර නැති 51.5%ක ප්‍රමාණයෙන් ඉතිරි 12.6% සාමාන්‍යයෙන් භාවිතා නොවන ඡන්ද. කොයි පැත්තකට හෝ පා වී යා හැකි මෙම 38.9% අනුර, සජිත් හා රනිල් විසින් අයිති කරගෙන තිබෙන ප්‍රතිශත වලට වඩා බෙහෙවින්ම වැඩියි. 

සියලුම ජනමත සමීක්ෂණ හා මත විමසුම් වල පිළිබිඹු වන්නේ අයිස් කන්දක මතුපිට කොටස පමණයි. දිය යට තිබෙන කොටස විශාල කොටසක්. කෙසේ වෙතත්, හම්බන්තොට හා බදුල්ල දෙස බලා යම් නිගමන වලට පැමිණිය හැකියි.

1. සාපේක්ෂව අවාසිදායක බදුල්ල වැනි "කොළ" දිස්ත්‍රික්කයකදී පවා මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 31%ක් ආකර්ෂණය කරගෙන ඇති බව.

2. සාපේක්ෂව වාසිදායක හම්බන්තොට වැනි "රතු" දිස්ත්‍රික්කයකදී පවා එම ප්‍රමාණය 64%ක් නොඉක්මවන බව.

3. සජිත් විසින් දැනට ආකර්ශනය කරගෙන තිබෙන්නේ 2020 සජබ ඡන්ද ප්‍රමාණය මිස 2019දී ඔහු විසින් ලබාගත් සම්ප්‍රදායික එජාප ඡන්ද සියල්ල නොවන බව.

4. රනිල් හා සජිත් එකතුව ආකර්ෂණය කරගෙන තිබෙන්නේද සම්ප්‍රදායික එජාප ඡන්ද ප්‍රමාණයෙන් කොටසක් පමණක් බව සහ ඉතිරි කොටස තවමත් "ඉතිරිව" ඇති බව.

5. නාමල් සතුව පොහොට්ටු ඡන්ද එපමණ ප්‍රමාණයක් රැඳී නොමැති බව. 

6. මාලිමාව වෙත දැනටමත් විතැන් වී නොමැති පොහොට්ටු ඡන්ද විශාල ප්‍රමාණයක් තවමත් "පාවෙමින්" ඇති බව සහ එම ඡන්ද රනිල් විසින් තවමත් ආකර්ශනය කරගෙන නොමැති බව.

මේ සටහන් පළ කිරීමේ අරමුණ මැතිවරණ ප්‍රතිඵල පුරෝකථනය කිරීම නොව අපට ලබාගත හැකි දත්ත වල ඇති තොරතුරු තේරුම් ගත හැකි ආකාරය, අඩු වශයෙන් මා පෞද්ගලිකව තේරුම් ගන්නා ආකාරය, පැහැදිලි කිරීමයි. මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි වෙනත් කරුණු රැසක් බලපෑ හැකියි. එහෙත්, එවැනි කරුණු පිළිබඳව විග්‍රහ කළ හැක්කේ වෛෂයික ලෙස (subjectively) පමණයි.

Sunday, September 1, 2024

දැන් තත්ත්වය මොන වගේද?


ජනාධිපතිවරණයට තවත් තිබෙන්නේ තෙසතියකට වඩා අඩු කාලයක්. පෙර ලිපි කිහිපයකින්ම විවිධ මත විමසුම් හා සමීක්ෂණ පිළිබඳව තාක්ෂණික පැහැදිලි කිරීම් කළා. ඒ හැම එකකම අඩු වැඩි වශයෙන් අඩුපාඩු තිබුණත් ප්‍රතිඵලය පිළිබඳව යම් අදහසක් ගැනීම සඳහා ඒවා ප්‍රයෝජනවත්.

සියලුම මත විමසුම් හා සමීක්ෂණ වල තිබෙන තොරතුරු සැලකිල්ලට ගැනීමෙන් පසුව මට පෙනී යන්නේ මේ වන විටද ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා අතර විවෘත තරඟයක් පවතින බවයි. පහත එක්සෙල් වර්ක්ෂීට් එකේ තිබෙන්නේ විය හැකියාවන් තුනක්. ලැබෙන අලුත් තොරතුරු අනුව මා මෙහි පරාමිතීන් දිනපතා වෙනස් කරනවා. මේ අද මා දකින තත්ත්වයයි.

ඔබට ඔබේ දැක්ම අනුව මෙහි උපකල්පන වෙනස් කර ප්‍රතිඵලය පරීක්ෂා කළ හැකියි.

https://docs.google.com/spreadsheets/d/1BHyD8UhD1DtYwEhQRcaKuab6PAlqujjP/edit?gid=1638881459#gid=1638881459

සජබ හා මාලිමා කඳවුරු වල ප්‍රචාරක කටයුතු මුල සිටම ඉහළ මට්ටමකින් පැවති බැවින් ඉදිරි තෙසතිය තුළ ප්‍රතිඵලය සඳහා තීරණාත්මක ලෙස බලපාන්නේ රනිල් කඳවුර කොපමණ ක්‍රියාශීලී වනු ඇත්ද යන්නයි. රනිල් කඳවුර ක්‍රියාශීලී වීම මාලිමා කඳවුරට වාසිදායක ලෙස බලපාමින් තිබෙනවා.


2024 Presidential Election- Possible Outcomes

Definitions:

SLPP_block = Average of SLPP vote percentages in 2019 and 2020

NPP_block = Average of NPP vote percentages in 2019 and 2020

SJB_block = SJB percentage in 2020

UNP_block = UNP percentage in 2020

TNA_block = TNA percentage in 2020

UNPR_block = UNP percentage in 2019 - UNP percentage in 2020 - SJB percentage in 2020 - TNA percentage in 2020

Other_block = Other percentage in 2019

(All percentages are based on the total number of voters, not actual votes or valid votes).

Red_belt = Western, Sothern and North Central provinces and Puttalam and Monaragala Districts which include 10 districts.

Green_belt = Central, Sabaragamuwa, Northern and Eastern provinces and Kurunegala and Badulla districts.

 

Assumptions:

NPP votes = NPP_block  + 70% of SLPP_block in Red_belt + 50% of SLPP_block in Green_belt

Other votes = 5% of of SLPP_block + Other_block

 

Derivation:

SLPPR_block = 25% of SLPP_block in Red_belt + 45% of SLPP_block in Green_belt

 

Scenario 1 (No strong RW campaign):

SJB votes = SJB_block + TNA_block + 50% 0f UNPR_block

UNP votes = UNP_block + 50% 0f UNPR_block + 50% of SLPPR_block

 

Scenario 2 (Aggressive RW campaign):

SJB votes = SJB_block + TNA_block + 20% 0f UNPR_block

UNP votes = UNP_block + 80% 0f UNPR_block + 100% of SLPPR_block

 

Scenario 3 (In between situation):

SJB votes = SJB_block + TNA_block + 35% 0f UNPR_block

UNP votes = UNP_block + 65% 0f UNPR_block + 75% of SLPPR_block

 

Scenario 1 Results:

AKD: 4,888,140 (38.5%)

SP: 4,414,957 (34.8%)

RW: 2,656,190 (20.9%)

Others: 724,193 (5.7%)

Total valid votes: 12,683,479 (75.3%)

Outcome: SP is more likely to win during the second round.

 

Scenario 2 Results:

AKD: 4,888,140 (35.1%)

SP: 3,749,769 (26.9%)

RW: 4,574,107 (32.8%)

Others: 724,193 (5.2%)

Total valid votes: 13,889,923 (82.4%)

Outcome: RW is more likely to win during the second round.

 

Scenario 3 Results:

AKD: 4,888,140 (36.8%)

SP: 4,054,720 (30.5%)

RW: 3,615,148 (27.2%)

Others: 724,193 (5.5%)

Total valid votes: 13,395,466 (79.5%)

Outcome: AKD is more likely to win during the second round.

 

I think now we are moving away from Scenario 1 towards Scenario 3.


වෙබ් ලිපිනය: