වෙබ් ලිපිනය:

Wednesday, June 17, 2015

පොල් ලෙලිගසන මැෂිම සහ වතුරෙන් දුවන කාර්

යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හැදෑරූ ඉකොනොමැට්ටාගේ යාළුවෙක් පොල් ලෙලිගසන මැෂිමක් හැදුවේය. යාළුවෙක් කිවුවාට ටිකක් ජේෂ්ඨ උත්තමයෙකි. හැදුවේ ඔහු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හැදෑරූ කම්මලේ සංවත්සර ප්‍රදර්ශනයකටය.


මේ මැෂිමේ ඇති විශේෂත්වය වන්නේ එහි ක්‍රියාකාරීත්වය සඳහා කිසිදු බාහිර ශක්ති ප්‍රභවයක් අවශ්‍ය නොවීමයි. එහි එක් පසෙක ඇති විවරයකින් ලෙල්ල සහිත පොල් ගෙඩියක් ඇතුළු කළවිට අනෙක් පස ඇති විවරයකින් ලෙලි ගැසුණු පොල්ගෙඩිය එළියට එයි. මේ සඳහා විනාඩි දෙකක් පමණ ගත වේ.


මේ පොල් ලෙලිගසන මැෂිම ඉංජිනේරු විද්‍යා ප්‍රදර්ශනයේ නැගලා යන අයිටම් එකකි. දිවා ආහාර පැය වෙනුවෙන් ප්‍රදර්ශනය පැයකට තාවකාලිකව නවත්වන විටත් මැෂිම බැලීමට පෝලිමේ සෙනඟය.


දිවා ආහාර පැයෙන් පසු ප්‍රදර්ශනය ආපසු විවෘත විය. අක්බාර් කැන්ටිමෙන් අඩුවක් අසා වෙලාවටම පැමිණි ජේෂ්ඨ උත්තමයා ලෙල්ල පිටින් පොල් ගෙඩියක් මැෂිමට ඇතුළු කළේය. විනාඩි දෙකක් ගියේය. පොල් ගෙඩිය ලෙලිගැසී එලියට ආවේ නැත. විනාඩි තුනක් ගියේය. හතරකුත් ගියේය. ඒත් නැත.


ජේෂ්ඨ උත්තමයා දැන් හොඳටම නොසන්සුන්ය. ප්‍රදර්ශන කුටිය තාවකාලිකව වසා දැමූ ජේෂ්ඨ උත්තමයා එහි පැත්තක වූ තහඩුවක් ඉවත් කර මැෂිම ක්‍රියා විරහිත වීමට හේතුව සොයාගත්තේය.


"අඩෝ, එන්ජිමා! නැගිටපන් යකෝ. එළියේ සෙනඟ පෝලිමේ."


මැෂිම ඇතුළේ තිබුණු පොල්උලට හේත්තුවී හොඳට නිදාගෙන සිටි ෆ්‍රෙෂා ඇහැරුණු පසු හවස් වරුවේත් මැෂිම ලෙඩ නොදී හොඳට වැඩ කළේය.


ඔය ඇතුළේ සිටි ෆ්‍රෙෂා ටිකක් සීනියර් වී ජේෂ්ඨ උත්තමයෙක් වූ පසු ඔහුට වතුරෙන් දුවන මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට අදහසක් ඇතිවිය. එක පාරටම වැඩේට නොබැස ඔහු පළමුව කළේ ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීමයි. ඔහොම එකක් හදාගත් විට මුලින්ම පත්තර කාරයෙක්ව කඩේ යවා දෙවනුව ලොකු මෝරෙක් මරා ගැනීමට බැරි නැත.


පැට්‍රල් වාහන ගෑස් වලට පරිවර්තනය කිරීම නැගලා ගිය ඔය කාලයේ එන්ජිමා කල්පනා කළේ සරල තාක්ෂණයක් යොදාගෙන පැට්‍රල් කාරයක් වතුරෙන් දිවිය හැකි පරිදි පරිවර්තනය කර ගැනීමටය. ඔහුගේ ගණන් බැලීම් අනුව වැඩේට මාස තුනක් පමණ ගතවනු ඇත.


පළමුවෙන් කළ යුත්තේ පැට්‍රල් ලීටරයකට වතුර බින්දුවක් දමා වාහනය ධාවනය කිරීමයි. වාහනය සාමාන්‍යයෙන් දුවන එකක්නම් අවුලක් නැතුව පණගැන්වී ධාවනය වනු ඇත. ඉන්පසු, වතුර ප්‍රමාණය බිංදුවෙන් බිංදුව වැඩි කරමින් මෙය දිගටම සිදු කළ යුතුය. එක වතුර බිංදුවක් වැඩි වුණා කියා වාහනය ධාවනය නොවීමට ඉඩක් නැති නිසාය. අවසානයේදී  පැට්‍රල් නැතුවම වතුරෙන් වාහනය දුවනු ඇත.


පසුව වෙන ව්‍යාපෘතියක් පටන්ගෙන ගඟෙන් එගොඩ පැදීමට පටන් ගැනීම නිසා එන්ජිමා මේ ව්‍යාපෘතිය අත්හැර නොදැමුවානම් අද අපි කාර් දුවන්නේ වතුරෙනි.


ඔය තාක්ෂණයම උපයෝගී කරගෙන සාමාන්‍ය වැඩිහිටියෙකුට වැඩුණු හරකෙකු අත්දෙකෙන් එසවීමට පුළුවන. මේ සඳහා කළයුත්තේ වහුපැටියා ඉපදුණු දින ඌව අවශ්‍ය පරිදි එසවීමයි. (ඒකවත් බැරි අයටනම් මේ තාක්ෂණය හරියන්නේ නැත.) ඉන්පසු, මෙය දිනපතාම කළ යුතුය. අද උස්සපු හරකා හෙට ඉස්සීමට බැරිකමක් තිබිය නොහැක. වහුපැටියා ක්‍රමයෙන් ලොකු වන විට ලොකු හරකෙකු පහසුවෙන් එසවීමට ඔබට හැකි වනු ඇත. අත්දුටුවයි! සත්තයි!!

එන්ජිමා වැඩේ අතහැර දැම්මාට වෙන ගොඩක් අය වැඩේ දිගටම ගෙන ගියේය. 2008 වසරේදී, ශ්‍රී ලාංකික තරුණයෙක් සෑදූ වතුරෙන් දුවන මෝටර් රථයකින් තවත් බොහෝ දෙනෙකු සමඟ එවකට අගමැති වූ රත්නසිරි වික්‍රමනායක මැතිතුමාද කඩේ ගියේය. කඩේ යාමෙන් අනතුරුව "මෙවැනි නව නිර්මාණ නිසා අපේ රටේ දක්ෂ තරුණයන් පිළිබඳව ලෝකයේම අවධානය යොමු වන බවත් මෙය ලෝකයේ මානව ශිෂ්ටාචාරයේ නව පෙරැළියක් බවත් මේ නිපැයුම දියුණු කිරීමට කවුරුත් උදව් දිය යුතු බවත් අගමැතිවරයා අවධාරණය කළේය".


http://www.silumina.lk/2008/07/20/_art.asp?fn=af0807201


මේ තරුණයාව මුදල් වංචා මත සිරගත කෙරුණු බව පසුව වාර්තා විය.
http://www.lankanewspapers.com/news/2008/10/33666_space.html


වසර හතරකට පසු 2012 මැදදී පකිස්ථානුවෙක් නැවතත් මෙවැනිම නිර්මාණයක් කළේය. බලශක්ති සීමා වලින් මිදුණු නව පකිස්ථානයක අරුණලු වැටෙද්දී මේ මෝටර් රථයෙන්ද පකිස්ථානයේ පකිස්ථාන් විද්‍යා සහ කාර්මික පර්යේෂණ කවුන්සිලයේ විද්වතුන් සහ දේශපාලන නායකයින් ඇතුළු බොහෝ දෙනෙකු කඩේ ගියෝය.
http://tribune.com.pk/story/416542/the-water-car-fraud/


මේ නිෂ්පාදකයාද අවසානයේදී නැවතුනේ සිරමැදිරියකය.


ජලය සෑදී ඇත්තේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අනු වලින් නිසා ඒවා නැවත වෙන් කර හයිඩ්‍රජන් ලබාගත හැකිය. මෙසේ ලබා ගන්නා හයිඩ්‍රජන් දහනය කිරීමෙන් ශක්තිය ලබාගත හැකි අතර මෙහිදී නැවතත් ජලය සෑදේ. කෙසේ වුවද, ජල අනුවක් බිඳීමට අවශ්‍ය ශක්තිය හයිඩ්‍රජන් දහනයේදී නිදහස් වන ශක්තියට සමාන නිසා වෙනත් ශක්ති ප්‍රභවයක් නැතිව තනිකරම වතුරෙන් කාර් දිවවීම තාපගතික විද්‍යා නියමයන්ට අනුවනම් කළ නොහැක්කකි. (හයිඩ්‍රජන් මිශ්‍ර කර වෙනත් බලශක්ති ප්‍රභවයක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වැනි දෙයක් කළ හැකි විය හැක.)


කෙසේ වුවද, මෙවැනි 'විද්‍යාත්මක' මිත්‍යාවක් එළියට දැමූ විට වෙනත් 'මිත්‍යාවන්ට' ගරහන අයද ඇතුළු බොහෝ දෙනෙක් කඩේ යාමට ඉදිරිපත් වන නිසා වතුරෙන් දුවන කාර් තවමත් හොඳ ආදායම් උල්පතකි.


(රසාස්වාදය සඳහා උඩින්ම ඇති කතා දෙක ඉකොනොමැට්ටාට පේටන්ට් අයිතියක් නැති කාඩ් දෙකකි. ඉකොනොමැට්ටා පොඩ්ඩක් ස්පයිස් එකතු කළා පමණි.)

43 comments:

  1. මාත් හදනව වතුරෙන් දුවන කාර් එකක් :-)

    මේවගේ නිර්මාණ කරන එවුන්/පත්තර කාරයො කියන කතාවක් තියනව, දැකල තියනවද?
    "මම ටිකක් හැදුව, මේක වැඩිදියුණු කරන්න/වැඩිදියුණු කරන්න අතහිත දීම, කාගෙ කාගෙත් යුතුකමක්"

    ReplyDelete
    Replies
    1. මගේ උදාහරණ දෙකේදී නිර්මාණකරුවෝ නොදැනුවත්කමට මේ වැඩේට අත ගැහුවා වෙන්ඩ පුළුවන්. ඒත් සල්ලි ගරා ගන්ඩ හිතාමතාම මේ වගේ වැඩ කරන අයත් ගොඩක් ඉන්නවා.

      Delete
  2. ඔය හොරු කියන අනිත් කතාව තමයි "ජපානෙන්, ඇමරිකාවෙන් මගෙන් මේ තාක්ෂණය ඉල්ලනවා, ඒත් මං කැමති මේක් මේ රටේම දියුණු කරන්නයි" කියන එක.

    ReplyDelete
    Replies
    1. "මේකට ඇමෙරිකාවෙන් කොරියාවෙන් ඉල්ලීම් එනවා. ඒත් මා මේක දෙන්නේ නැහැ. ශ‍්‍රී ලාංකිකයෙක් ලෙස රාජ්‍ය අනුග‍්‍රහය ලබාදෙන වතුරෙන් දුවන වාහන එන්ජින් කම්හලක් අපේ රටේම ඉදි කරන්නයි මා ඉන්නේ. ඒකට කාගේත් උදව් ඕනෑ" http://www.silumina.lk/2008/07/20/_art.asp?fn=af0807201
      අර ඇමතිතුමාගේ අඩිය නැති සෙරෙප්පු දෙකත් මිලියන් ගාණකට ඉල්ලපු ඇමරිකන් කාරයොනේ. වෙන්ඩ ඇති.

      Delete
    2. සිළුමිනේ ගිය ඒ ලිපිය කියෙව්වා. මූ මාර පොරක්නෙ. මූණ දැක්කහමනම් මෙහෙම අනාදි යකෙක් කියල හිතෙන්නෙ නෑ. අගමැතිවයි පොලීසියයි ව්‍යාපාරිකයෙකුයි අන්දල. රටම රවට්ටල.
      මට හිතෙන්නෙ මුන් මෙච්චර ගොන් වුනේ ඇයි කියල.මම මේ නිව්ස් එක අහපුවෙලේම මේ මොන බොරුවක්ද කියල හිතුන. මේ තාක්ෂනය තවම පර්යේශන මට්ටමේ තියන එකක්. මේ වගෙ හූනු බිජ්ජෙකුට ගේ පිටිපස්සෙ ඩිහන් තනියම කරන්න පුළුවන් එකක් නෙමෙයි.
      සබ්ජෙක්ට් එක දන්න අය මේව පරීක්ෂා කරන්නෙ නැද්ද. අඩුගානෙ නිකම් බලන්නවත් විද්වතෙක් එන්නෙ නැද්ද

      Delete
    3. සමහර විට පොර ඇත්තටම ඇඳගෙන ඉන්න ඇති. මෙතන වැරැද්ද තියෙන්නේ මිනිස්සු මේ වගේ බොල් දේවල් පස්සේ පිස්සුවෙන් වගේ පන්නන එකෙයි. පකිස්තාන් කේස් එකේදේත් මුළු රටම ඔයිටත් වඩා හෝල්සේල් ඇනගත්තා.

      Delete
    4. එහෙම වෙන්න බෑ නේද
      මේ වාහනේ කිලෝමීටර් ගනනක් පදවල තිබෙනව. ඒ කියන්නෙ පෙට්‍රල් වලින්.පෙට්‍රල් ටැංකිය ලගින් බොරුවට වතුර ටැංකියකුත් හයිකරන්න ඇති.ඒකට වතුර පුරවල වහල පෙට්‍රල් වලින් යන්න ඇති. මූ ඇන්දිලා හිටිය කියන්න බෑ . පට්ටපල් හොරෙක්.

      Delete
    5. මම හරියටම කරුණු නොදැන චෝදනා කරන්න ඒ තරම් කැමති නැති වුනත් ගොඩක් මේ වගේ අයගේ පසුකාලීන ක්‍රියාවලින් පේන්නේ හොරු බව තමයි. මුළු රටම අන්දපු පකිස්තාන්කාරයා අන්තිමට හිරේ ගියේ බැංකුවක් කඩලා. ඔබ කියනවා වගේ කොහේ හරි පැට්‍රල් ටිකක් තිබුනා විය හැකියි. එසේ නැත්නම්, කලින් චාජ් කරගත් බැටරියක විදුලි බලයෙන් ජල අණු බිඳ හයිඩ්‍රජන් නිපදවා හයිඩ්‍රජන් වලින් යම් දුරක් ධාවනය කළා විය හැකියි. හැබැයි එසේ නිපදවන බලයෙන් නැවතත් බැටරිය චාජ් කරන්නනම් බැහැ. ඒ සඳහා වෙනත් ප්‍රභවයක් අවශ්‍යයි.

      Delete
    6. ඔය හොරු කියන අනිත් කතාව තමයි "ජපානෙන්, ඇමරිකාවෙන් මගෙන් මේ තාක්ෂණය ඉල්ලනවා, ඒත් මං කැමති මේක් මේ රටේම දියුණු කරන්නයි" කියන එක.-සහතික ඇත්ත

      Delete
  3. ඇත්තටම ලංකාවේ නව නිර්මාණකරුවන්ගෙන් වැඩ ගන්න හැකි නියම ඇහැක් තියෙන ආයතනයක් නැහැ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් පුළුල් ප්‍රශ්නයක එක කොටසක්.

      Delete
  4. අපේ පත්තර කාරයෝ නේද ...., විභාගයට වාඩිවෙන්න ඉන්න ළමයි පන්සල්,දේවාලවලට කැන්දගෙන ගිහින් භාරහාර වෙන විද්‍යා ගුරුවරුන් ඉන්න රටවල වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

    ReplyDelete
  5. ලඟදී සොයාගත් එ්ඩ්ස් බෙහෙත ගැන ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ඒඩ්ස් පර්යේෂනනම් දැනට දශක ගානක ඉඳලා ක්‍රමානුකුලව සිදු වුණා. ඒඩ්ස් තව දුරටත් මාරාන්තික ලෙඩක් නෙමෙයි. ඔබ කියන්නේ කුමන බෙහෙත ගැනද කියා ලින්ක් එකක් දැමිය හැකිද?

      Delete
  6. වතුරෙන් දුවන වැඩේ නම් මරු වගේ...මාත් ට්‍රයි කොරලා බලන්ට ඕනෙ..

    ReplyDelete
    Replies
    1. ඇල්වතුර නිවල ගත්තනම් වැඩේ හොඳටම ෂුවර්!

      Delete
  7. ඇල් වතුර කාරයො කියන්නෙම හොරු බං

    ReplyDelete
    Replies
    1. හොරු සමඟ හෙළුවෙන් හිටගන්න කට්ටිය?

      Delete
  8. ඔය යාලුවගේ පොල් ලෙලිගහන මැෂිම ගැන කියෙව්වහම මට ඔය වගේම තව මැෂිමක් ගැන මතක් වුනා. මේක අවුරුදු හතලිහකට වඩා උඩදී හදපු එකක්.
    මිහිර පත්තරේ ගිය යෝධයා පඬිතුමා චිත්‍ර කතාව මතකද? ඕකේ පඬිතුමා හැමදාම රාලාමි හෙවත් යෝදයගෙ කපටිකම් වලට අහු වෙනවා. දවසක් යෝදයා පඬිතුමාට තෑගි දෙනවා පිඟන් හෝදන මැෂින් එකක්.අතින් කරකවන බෙල්ට් එකක් උඩ පිඟාන තියල පෙට්ටියකින් වැහිලා තියන කොටස ඇතුලට යන්න කරකවලා විනාඩි දෙකක් ගියහම ආයි බෙල්ට් එක කරකවලා අනිත් පැත්තෙන් හේදුන පිඟාන එලියට ගන්නවා.යෝදයා ඩිමෝ එකකුත් කරල පෙන්නනවා.ඉතින් පඬිතුමා මේක ගෙදර ගෙනිහින් ඒත් ටිකක් සැකයි මේකත් යෝදයගෙ උප්පරවැට්ටියක්ද කියල. කොයිකටත් කියල වහල තියන කොටස ඇරල බලනව.ඒක ඇතුලෙ ඉන්නෙක් බල්ලෙක්.බල්ල ලෙවකාල තමයි පිඟාන හේදෙන්නෙ.ඔයාගෙ යාලුව මෙක කොපි කරලද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. යාලුවට ගහපු කාඩ් එකට සමහර විට ඔය කතාව පාදක වෙන්ඩ ඇති. එස් ඒ දිසානායකගේ යෝධයා, පඬිතුමා, බූ හා බටකොළ ආච්චි ගැනනම් මටත් තියෙන්නේ සොඳුරු මතකයක්.

      Delete
  9. ජේෂ්ඨමාධ්‍යවේදීයෙක්වගේකෙනෙක්June 18, 2015 at 2:04 PM

    ලංකාවේ පාසැල් සිසුවාගේ HIV ඖෂදේත් මෙහෙම වෙයිද em?

    බලන්න:
    http://sandbox.mawbima.lk/55-87404-news-detail.html

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට ස්තුතියි! අවසාන ප්‍රතිපලය කෙසේ වුවත් ඔහුට තමන් අත ගසා ඇති කාර්යයේ සංකීර්ණත්වය ගැන අවබෝධයක් සහ විශාල උනන්දුවක් ඇති බව පේනවා. ඔහුගේ වයසට මෙය ඉතා හොඳ ප්‍රවේශයක්. නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කර කාලයක් මහන්සි වී වැඩ කළොත් හොඳ ප්‍රතිපලයක් ලැබීමේ සම්භාවිතාවක් තිබෙනවා. කෙසේ වුවත්, පළමුව අවශ්‍ය විෂය දැනුම විධිමත් ලෙස ලබාගෙන මේ පිළිබඳව දැනට සිදු කෙරී ඇති සාර්ථක වූ සහ නොවූ පර්යේෂණ ගැනත්, සිදු කෙරෙමින් පවතින පර්යේෂණ ගැනත් අධ්‍යයනය කළ යුතුයි. මොහු වතුරෙන් කාර් දුවවන ගොඩට දැමිය හැකි කෙනෙක්නම් නොවෙයි. ඒත් ඔහුගෙන් අපිට 'මැජික්' බලාපොරොත්තු විය නොහැකියි. මෙවැනි කාර්යයක් ප්‍රවීණ පර්යේෂකයෙකුට වුණත් කල් ගතවෙන දෙයක්. වැඩි විස්තර කියවා බැලිය යුතුයි.

      Delete
    2. අන්තර්ජාලයේ ඇති කරුණු අනුව ඔහු වයසින් අඩු වුවත් වසර ගනනක පර්යේෂණ පළපුරුද්දක් සහ සැලකිය යුතු විෂය දැනුමක් ඇති තරුණයෙක් බව සහ වෙනත් පර්යේෂකයන් සමඟ එක්ව වැඩ කර ඇති බවයි පෙනෙන්නේ. පුවත්පත් කලාවේදියා විසින් පාඨක අවධානය ගැනීමට එකතු කර ඇති කරුණු ඉවත් කළ විට ඔහු කියා ඇති දේ නිවැරදි බවයි මගේ අදහස. ඔහුට අනුව මේ පර්යේෂණය තවමත් තියෙන්නේ මූලික අදියරේ. කෙසේවුවත්, රෝගයක් සාර්ථකව මැඩලන බෙහෙතක් වුවත් මිනිස් පරිභෝජනයට සුදුසු ලෙස අනුමත කර ගැනීමට පෙර කඩුලු රැසක් පැනිය යුතුයි.

      Delete
    3. රඛිත, ඇත්තෙන්ම අපට ආඩම්බර වෙන්න පුළුවන් යොවුන් පර්යේෂකයෙක් පව හැඟෙනවා, ඒත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා පළවුන පුවත් වාර්තා සියල්ල ම නොමඟ යවන සුළු වැරදි ප්‍රවෘත්තිවලින් ගහණයි, ඉතින් එකවරම හිතෙන්නේ තවත් මැජික් කොල්ලෙක් බිහි වෙලාද කියල. අපට දැන් විද්‍යඥයන්ට වඩා අවශ්‍ය නිවැරදි වාර්තාකරණයේ යෙදෙන දක්ෂ වාර්තා කරුවන් සහ පත්‍රකලාවේදීන්. නාලක ලා, චානුක ලා දැන් මුහුකුරා ගිය වෙනත් තලයක ක්‍රියාත්මක වෙන අය, ඒත් ඔවුන් ගේ තැන ගන්න අළුත් අය බිහි වී නෑ,

      Delete
    4. සමහර විට අවුල ඇත්තේ අපි ඡන්දෙ දීල තොරගත්ත පේමදාසල, මහින්දල අපි වෙනුවෙන් තෝර ගත්ත එඩිටර්ලගේ වෙන්න ඇති.
      සමහර විට මේ වෙනකොට කොවුර් හිටියනං, එයත් කාලෝත් එක්ක ජෝඩු දාල කතරගම යන්න තිබ්බ පඬුරු දාන්න.

      Delete
    5. කියන්නේ ඇණයක් වුණත් කතාවනම් සහතික ඇත්ත. චානුකලා, නාලකලා වගේ අය අළුත් පරම්පරා වල නැති වෙන්ඩනම් විදියක් නැහැ. එහෙම අයව හොයලා උඩට ගන්ඩ කෙනෙක් නැතුව ඇති. සමහර විට එහෙම අයගේ උවමනාවකුත් නැතුව ඇති. නවනිර්මාණකරුවන්ගෙන් මැජික් බලාපොරොත්තු වන මිනිස්සු පත්තරකාරයන්ගෙනුත් මැජික්මනේ බලාපොරොත්තු වෙන්නේ. ඉතිං එහෙම අය බිහිවෙනවා. උඩට යනවා. ඔය විෂම චක්‍රය කඩන්ඩ පුළුවන් එඩිටර් කෙනෙක්ටම තමයි.

      Delete
    6. කෙසේ වුවත් රඛිතගේ ප්‍රකාශයක් ලෙස පළ කර ඇති පහත කරුණු දෙකනම් නිවැරදි නැත. "ඒ වගේම දැනට සංඛ්‍යාත්මකව ගත්තාම අනාගත ලෝකයේ ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක් තියෙනවා. ඒත් දැනටත් එච්.අයි.වී. වලට ගැළපෙන ඔෟෂධයක් සොයාගෙන නැහැ." ඒඩ්ස් තත්ත්වයට වර්ධනය නොවී එච්.අයි.වී පාලනය කළ හැකි ඖෂධ ගණනාවක් (තිහකටත් වඩා) දැන් වසර ගණනක් තිස්සේ මිලියන් ගණනක් ආසාදිතයින් විසින් භාවිතා කරනු ලබන අතර ඒඩ්ස් සෑදීමේ අවදානම මේ ඖෂධ මඟින් නැත්තටම වාගේ නැති වන නිසා එච්.අයි.වී. යනු තවදුරටත් මාරාන්තික හෝ දරුණු රෝගයක් නොවේ. කොලෙස්ටරෝල් වැනි පාලනය කළ යුතු අවදානම් තත්ත්වයක් පමණි. ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රමාණයද වසර ගණනක සිට සීග්‍රයෙන් අඩුවෙමින් පවතී. වැඩි විස්තර ඉදිරි සටහනක පළ වනු ඇත. රඛිතව ඕනෑවට වඩා පිම්බීම හොඳ පර්යේෂකයෙකු වීමේ විභවයක් ඇති බව පෙනෙන මේ තරුණයාට කළ හැකි ලොකුම හානියයි.

      Delete
    7. වෙන්ඩදජේෂ්ඨමාධ්‍යවේදීයෙක්වගේකෙනෙක්June 19, 2015 at 3:16 PM

      උදාහරන -1

      ලෝහ බම්බුවක් ඇරගෙන එන්ජිමක් සවිකලාම හඳට යන්න පුලුවන් යැයි කෙනෙක් පැවසුවහොත් ,

      1. ඔහු සත්‍යක් පවසයී. ඔහුට රොකට් එකක් නිර්මානය කිරීමේ සංකීර්ණ සාමූහික දැනුම ඇත.
      2. ඔහු සත්‍යක් පවසයී. නමුත් ඔහුට රොකට් එකක් නිර්මානය කිරීමේ සංකීර්ණ සාමූහික දැනුම නැත.
      3.ඔහු අසත්‍යක් පවසයී.(මනෝවිකාරයක්)

      HIV වලට ඖෂධයක් සොයාගැනීම ඉතා විශිෂ්ඨය,
      නමුත් ලංකාවේ මෑත කාලීන සොයාගැනීම් වල දැනුම් පද්ධතියේ කෙලවරක නාථ දෙවියන් හමුවේ.(මිත්‍යාව)
      පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වාම පසුගාමී අධ්‍යාපනයක් ඇති රටක HIV වලට ඖෂධයක් සොයාගැනීම කිසිසේත් සිදුවිය නොහැක. මෙය තවත් සුපර්ස්ටාර් වැඩක් පමනී.

      Delete
    8. කිරි කලයක් දොවල අන්තිමට ඒකට ගොම බින්දුවක් දානව වගෙ වැඩක්නෙ ඉකොනොමැට්ට කරන්නෙ. ඒඩ්ස් වලට බේත් හොයපු කතාව මම කියෙව්වෙවත් නෑ කියවන කාලෙත් අපරාදෙ නිසා.ලෝකෙම විද්‍යාඥයන්ට අවුරුදු ගනනාවක පර්යේශනවලිනුත් සාර්ථක බේතක් හොයන්න බැරිවෙලා. ලංකාවෙ උසස් පෙළ ශිෂ්‍යයෙක් බේත් හොයාගෙන.
      ඔබ කියනව ඔහුට ලොකු දැනුමක් තියනවලු පර්යේශකයො ඇසුරු කරලලු.උසස් පෙළ ශිෂ්‍යය දැනුම ලබාගත්තෙ ඒඩ්ස් ගැන පත්තරවල තිබුන ලිපි කියවල වෙන්න ඇති. ඔහුට පර්යේශකයො නැසුරුකරන්න කාලයක් තියනවද උසස් පෙළ කරද්දි.

      Delete
    9. පරීක්ෂණ නිරීක්ෂණ නිගමන: මේ තරුණයා ගැන මම දැනගත්තේ මෙතන ජේෂ්ඨමාධ්‍යවේදීයෙක්වගේකෙනෙක් දැමූ ලින්ක් එකෙන්. ඒ නිසා ඔහු ගැන මට තියෙන්නේ ඉතාම සීමිත දැනුමක් බව පළමුව කිව යුතුයි. ලිපිය කියෙවුවහම මට ආපු පළමු අදහස සාමාන්‍ය මැජික් කාරයෙක් කියන එකයි. එහෙත් මේ ලිපිය සහ තවත් කරුණු කියවුවහම (සහ ඔහුගේ LinkedIn profile එක, ඔලිම්පියාඩ් ජයග්‍රහණය හා අදාළ වාර්තා ආදිය) මට තේරුණා ඔහු කොළඹ විශ්ව විද්‍යාලයයේ සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) පර්යේෂකයින් සමඟ එක්ව අඩු වශයෙන් වසර පහක් කටයුතු කර ඇති බව. ඔහුගේ ක්‍රමවේදයේ බැලූ බැල්මට මූලික ප්‍රශ්නයක් නැහැ. පාසැල් සිසුවෙකුට මෙවැනි අවස්ථාවක් ලැබුණු ආකාරය මා නොදන්නා නමුත් එසේ ලැබුණානම් ඔහුගේ සැබෑ දක්ෂතාවක් නිසා විය යුතුයි. හැබැයි ඒ ලංකාවේ ඔහුගේ වයසේ අනෙක් ශිෂ්‍යයන්ට සාපේක්ෂව. ඔහු ඒඩ්ස් වලට බෙහෙතක් සොයාගෙන නැහැ. ඔහු ඒ සඳහා වන ක්‍රමවේදයක මූලික කටයුත්තක් විතරයි කරලා තියෙන්නේ. ඔහුගේ ප්‍රකාශය සැලකිල්ලෙන් කියෙවුවොත් එය පෙනෙනවා. මේ අවදිය පසු කරන පර්යේෂකයෙකුට (එවැනි අය අඩු වශයෙන් දසදහස් ගණනක් ඇති) බෙහෙතක් සාදන අවසාන අදියරට යන්න තව බොහෝ දුර යා යුතුයි. මා අගය කරන්නේ 'මැජික්' නොකර ඔහු නිශ්චිත ක්‍රමවේදයක ගමන් කිරීමයි. කෙසේ වුවත් මේ මා දන්නා සීමිත කරුණු අනුව මට හිතෙන හැටි පමණයි.

      Delete
    10. http://www.inespo.org/media/news/231-congratulations-inespo-2015

      මේ පිටුවේ අැති අනිත් ලින්ක් එකත් බලන්න. එ් අනුව මොහුගේ සොයාගැනීම එ්ඩ්ස් පිලිබඳ නොව පිලිකා සම්බන්ධවයි. පොඩ්ඩක් බලන්න මට වැරදිලාද?

      Delete
    11. තවත් කරුණු කිහිපයක්. "ලෝකෙම විද්‍යාඥයන්ට අවුරුදු ගනනාවක පර්යේශනවලිනුත් සාර්ථක බේතක් හොයන්න බැරිවෙලා" යන්න නිවැරදි නොවේ. ඇමරිකාවේදී එච්අයිවී ආසාදිතයෙකුගේ අපේක්ෂිත ආයුකාලය සහ සාමාන්‍ය පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයුකාලය අතර දැන් සැලකිය යුතු වෙනසක් නැත. වයිරසයේ ක්‍රියාකාරීත්වය පාලනය කර ඒඩ්ස් තත්ත්වයට වර්ධනය වීම වැළැක්විය හැකි බෙහෙත් වර්ග රාශියක් තිබේ. (බෙහෙත් වර්ග රාශියක් අවශ්‍යවන්නේ වයිරසය ඇතැම් අයගේ සිරුරු වලදී බෙහෙතකට 'පුරුදු විය හැකි' නිසාය.) අප්‍රිකානු රටවල පවා මෙවැනි බෙහෙත් භාවිතය දැන් ඉතා ඉහළය. කෙසේ වුවද කොලෙස්ටරෝල් හෝ සීනි පාලනය කරන අයුරින් මේ බෙහෙත් නොකඩවා දිනපතා ගත යුතුය. එසේ බෙහෙත් නොගත යුතු තත්ත්වයට සුව වූ අයද කිහිප දෙනෙකු මේ වන විට සිටිති.

      මා විශේෂඥයෙකු නොවන නිසා වැරදි විය හැකි වුවත්, මා දන්නා තරමින්නම් රඛිත විසින් උපයෝගී කරගෙන ඇති නැනෝ තාක්ෂනය පරිගණක තාක්ෂනය මෙන් අවශ්‍ය මූලික දැනුම ලබාගත් විට ශ්‍රී ලාංකිකයෙකුට (හෝ සමාගමකට) ඉදිරියට යාහැකි තාක්ෂණයකි.

      Delete
    12. තනි අලියා:

      ඔහුගේ linkedin පිටුවේද ඇත්තේ ඔබ සඳහන් කරන ලියුකේමියා පර්යේෂණය ඇතුළු නැනෝතාක්ෂණය මඟින් කර ඇති තවත් පර්යේෂණ කිහිපයක් පිලිබඳවය. ඔහුට නැනෝතාක්ෂණය ගැන දැනුමක් හා පළපුරුද්දක් ඇති බව මා තීරණය කලේ ඒ අනුවය. එච්අයිවී ගැන කිසිවක් ඔහු එහි සඳහන් කර නැත්තේ එය තවමත් ඇත්තේ ඉතා මූලික අදියරක නිසා විය හැකිය.

      https://www.linkedin.com/pub/rakitha-d-malewana/93/b03/252

      වෙනත් අයගේ ප්‍රකාශ ලෙස මාධ්‍ය වල උපුටා දැක්වෙන ප්‍රකාශද ලියුම්කරුගේ අදහස් (හිතාමතා හෝ අවබෝධයේ ප්‍රමාණය අනුව) විය හැකි නිසා [එවැනි තත්ත්වයන්ට මාද පෞද්ගලිකව මුහුණ පා තිබේ] රඛිතගේ ප්‍රකාශයේ ඇති අඩුපාඩු මත ඔහුව (අව)තක්සේරු කිරීම සුදුසු නැතත් වැරදි කරුණු හඳුනාගත යුතුය.

      Delete
    13. වෙන්ඩදජේෂ්ඨමාධ්‍යවේදීයෙක්වගේකෙනෙක්June 20, 2015 at 1:37 PM

      -
      "මට තේරුණා ඔහු කොළඹ විශ්ව විද්‍යාලයයේ සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) පර්යේෂකයින් සමඟ එක්ව අඩු වශයෙන් වසර පහක් කටයුතු කර ඇති බව".
      - ඉකොනොමැට්ටා , June 20, 2015 at 9:27 AM

      Pfizer, Novartis, Sanofi, Hoffmann-La Roche , Merck, GlaxoSmithKline වැනි බහුජාතික ඖෂධ සමාගම් වල පර්යේෂනාගාර,පර්යේෂකයෝ සහ නවතම පර්යේෂන ගැන සොයා බලා පසුව, කොළඹ විශ්ව විද්‍යාලය සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය ගැනත් ඒවාහී පර්යේෂකයෝ සහ නවතම පර්යේෂන සොයා බලන්න.

      අවවාදයයී!
      ලංකාවේ ආයතන හා පුද්ගලයන් පිලිබදව ඇති ඔබේ අවබෝධය Up-date වෙන බැවින් කරුනාකර සංවේදී අය මෙම කරුනු සොයා නොබලන්න.


      Delete
    14. නමුත් මා පෙන්වා අැති ලින්ක් එක අනුව (මෙය ඔහුට සම්මානය පිරිනැමූ අායතනය බව පෙනේ) සම්මානය ලැබී අැත්තේ anticancer සොයාගැනීමකටය

      Delete
  10. ජනමාධ්‍ය විසින් හරකුන් බවට පත් කරන ලද ජනතාවක් සිටින රටක වතුර වලින් වාහන දිවීමට සමත් එන්ජින් හදන මිකැනික්ලා , ඩෙංගු , පිළිකා නිට්ටාවට සුව කරව වෙද්දු , විශ්ව ශක්තිය , රාවනා බලය ඇති ඉර්ශිවරුන් , එලොවින් ආ ජීවකයන් (එලොවින් ආ ජීවකයා ගැන කුලියට පච ලියු නන්දසේන සුරියආරච්චි දැන් රිවිර පුවත් පතේ මාධ්‍යවේදියෙකි ) ගැන මොවුන් බොරු ලියා නුගත් ජනතාව අමාරුවේ දමති.

    මේ ජනමාධ්‍යකරුවන් විසින් ඔසවා තබා අහිංසකයන්ගේ තුට්ටු දෙකට කෙලිය සක්විති රණසිංහ ඊයේ පෙරේදා උසාවියේ ඇඳිවත උනා තමා නිර්දෝෂී බව කිවේය. සක්විති කිවේ අර්ධ සත්‍යකි. ඔහුට තැන්පතු කරුවන්ගේ මුදල් වංචා කිරීම සඳහා පසුතලය සකසා දුන්නේ මෙරටේ ප්‍රධාන ජාතික පුවත්පත් විසිනි. ඉන්පසු ඒ පුවත්පත්ම සක්විති උසාවියේ රෙදි ගැලවූ බව කියති.

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල සක්විතිගේ වටේ හිටපු අය ගැන මතක ඇතිනේ.

      Delete
    2. නන්දසේන සූරියාරච්චිගෙ බොරුවලට රැවටුන අය කිව්වෙ මෙයා මේ ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදියෙක් .මෙහෙම වගකීමෙන් තොරදේවල් ලියයිද කියල. කුලියට කසිප්පු බෝතලේට ලියන සම්ප්‍රදාය ගැන ජනතාව දැනුවත් ව නැති එකයි වරද

      රිවිරෙ බොරු අතිරේකෙ වෙනම යන නිසා පාඨකයෙකුට වුනත් අවුලක් නෑ. රිවිර පොලිස් මිනීමැරුම් සාධාරණීකරනය කරනව. අවුරුදු 16 කොල්ල ආයුධ පෙන්නන්න ගිහින් තුවක්කුවෙ එල්ලුනහම හතර පෝයට අටසිල් ගන්න රාලහාමිලගෙ අතින් පත්තු වුනාලු.
      ඔය පොලිස් මිනීමරුවන්ගෙ විනෝදාංශෙත් මිනී මැරීම.
      ටයර් දාල මරපු පාසල් සිසුවගෙ මිනීමරුවන් සාධාරණීකරනය කරන රිවිරට මොනව කරන්න බැරිද

      මාතෘකාවට අදාල නැතත් රිවිර ගැන කියපු නිසා මතක් වුනේ. මෙහෙම සක්කිලි මාධ්‍ය කලාවක් රිවිරට තියෙන්නෙ.

      Delete
  11. මෙන්න අපේ IESL (Institution of Engineers, Sri Lanka) එකේ තත්වය:
    http://sinhala.lankanewsweb.net/news/17391-2015-06-18-12-10-15

    වැටත් නියරත් ගොයම් කාට නම් කාට කියමුද ඒ අමාරුව?

    ReplyDelete
    Replies
    1. ගොයම් නොවෙයි පිදුරු!!!

      Delete
    2. ස්තුතියි, ලින්ක් ටිකට! හා ගුලෙන් රිංගූ විට ඇලිස්ට පෙනෙන්නේ විස්මලන්තයේ සාමාන්‍ය දේවල්ය. එහි ඔලුවෙන් හිටගත් පූසන් බිහිවීම විශේෂ දෙයක් නොවේ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: