වෙබ් ලිපිනය:

Sunday, March 20, 2016

කළු, කැත කපුටා හා ලස්සන මොණරා


අද ලිපිය පටන්ගන්නේ රන්දිල් නෝනා විසින් පරිවර්තනය කර නිදහස් සිතිවිලි වියුණුවේ පළකර ඇති කතාවකිනි.

තමන්ගේ ජිවිතය ගැන බොහොම තෘප්තිමත් සිතින් පසු වූ හුදෙකලා කපුටෙක් ඈත ඈත වනන්තරයේ වාසය කළේය. නමුත් පළමු වරට හංසයෙකු දුටු දා පටන් ඔහුගේ සිතුවිලි වෙනස් විය.

“අනේ අප්පේ, මේ හංසයා සුදු ම සුදුයිනේ” කපුටා සිතුවේය.

“ඒකට මම!, මම කට්ට කලුයි. මේ ලෝකේ ඉන්න ප්‍රීතිමත් ම කුරුල්ලා මේ හංසයා වෙන්න ඕනෑ”

අනතුරුව තමන්ගේ සිතුවිල්ල පිළිබඳ ව ඔහු හංසයා සමග පැවසීය.

“ඇත්තටම,” හංසයා පිළිතුරු දුන්නේය.

“පාට දෙකක් තියෙන, ගිරවෙකු දකින කං මාත් මං ගැන හිතාගෙන හිටියේ එහෙම තමයි. එයා දැකපු දවසේ මට තේරුණා ප්‍රීතිමත් ම කුරුල්ලා මං නෙමෙයි ඒ ගිරවා තමයි කියලා.”

ඉක්බිති අපේ මේ කපුටා ඒ ගිරවා සොයාගෙන ගියේය. ගිරවා ඔහුට සිය සිතුවිලි මෙසේ පැහැදිලි කළේය.

“මම ඉතාමත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ එක ඇත්ත. හැබැයි ඒ මොණරෙකු දකින කං විතරයි. මට තියෙන්නේ පාට දෙකයි. ඒකට මොණරාට! එයාට තියෙන පාට ගනින්න මගේ මේ ඇ‍ඟේ තියෙන පිහාටු මදි. ඒ තරමට එයාගේ පිහාටුවෙන් පිහාටුවට එක එක පාට”

ඉතිරි කොටස කියවීමට කැමති කෙනෙකුට නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියට පිවිස කියවීමට පුළුවන.

දැන් මේ කතාව අනුව,
-කපුටා කළුය.
-හංසයා සුදුය.
-ගිරවාට පාට දෙකකි.
-මොණරාට පාට මහ ගොඩකි.
-කළු පාටට වඩා සුදුපාට ලස්සනය.
-සුදු පාටට වඩා පාට දෙකක් ලස්සනය.
-පාට දෙකකට වඩා පාට මහ ගොඩක් ලස්සනය.

අවුරුදු දහස් ගණනක් පුරා අපි කුරුල්ලන් ගැන ඔයාකාරයට හිතුවෙමු. පහතින් ඇත්තේ අවුරුදු දහස් ගණනක් පැරණි සංස්කෘත සුභාෂිතයක් හා එහි සිංහල තේරුමයි.

काकः कृष्णः पिकः कृष्णः को भेद पिककाकयोः
वसन्तसमये प्राप्ते काकः काकः पिकः पिकः

කපුටාත් කළුය කොවුලාත් කලුය.
එසේනම් කපුටාගේත් කොවුලාගේත් වෙනස කුමක්ද?
වසන්ත කාලය පැමිණි කළ,
කපුටාගේ කාකනාදයත් කොවුලාගේ කූජනයත් ඇසෙනු ඇත!

මෙතැනදීත් අපේ සිතීම මෙවැන්නකි.
-කපුටා කළුය.
-කොවුලාද කළුය.
-ඒ නිසා පෙනෙන හැටියට කපුටාගේත් කොවුලාගේත් වෙනසක් නැත.
-කපුටු හඬ අමිහිරිය.
-කොවුල් හඬ මිහිරිය.
-හඬේ වෙනසින් කපුටාත් කොවුලාත් වෙනස් බව දැනගත හැකිය.

(කපුටාගේත් කොවුලාගේත් වෙනසක් නොපෙනෙන්නේ කටවහගෙන ඉන්න තාක්කල් පමණි. අවශ්‍යනම්, වැඩක් කරන්නට අවස්ථාවක් ලැබෙන තුරු හෝ විපක්ෂයේ ඉන්න තාක්කල් කියන්නත් බැරිකමක් නැත.)

උත්තර අර්ධගෝලයේ රටවලට අද (මාර්තු 20) වසන්තය එළැඹේ. ලංකාවේනම් දැන් කපුටෝත්, කෝකිලයෝත් හවුලේ කුණු අහුලාගෙන කති. මගේ ආයතනයේ සේවකයින්ගෙන් විද්‍යුත් ලිපියක් මඟින් ඊයේ කාරුණිකව ඉල්ලා තිබුණේ ආයතන භූමිය පුරා නිදහසේ සැරිසරන පාත්තයින් කණ්ඩායම් වලට කෑම දීමෙන් වැළකෙන ලෙසය. ඒ පාත්තයින් පිලිබඳ වූ තරහකට නොවේ. පාත්තයින්ගේම හොඳටය.

මිනිස්සු බොහෝවිට පාත්තයින්ට දෙන්නේ උන් ස්වභාවික පරිසරයෙන් අහුලාගෙන කන කෑමම නොවේ. තමන් කන කෑමයි. මේ වැඩේ දිගටම කරන විට උන් මිනිස් කෑම වලට පුරුදු වෙති. උන්ගේ සිරුරු පරිණාමය වී ඇත්තේ මිනිස් ආහාර බුදීමට නොවන බැවින් මේ ආහාර නිසා පාත්තයෝ නොයෙක් රෝගාබාධ වලට ලක්වෙති. අර විද්‍යුත් ලිපියෙන් පාත්තයින්ට කෑම නොදමන ලෙස ඉල්ලා සිටියේ ඒ නිසාය. මිනිස්සු පාත්තයින්ට දමන්නේ තමන් කන "හොඳ කෑම" වුවත් අවසාන ප්‍රතිඵලය ලංකාවේ කුණු අහුලාගෙන කන කපුටන්ගේ හා කොවුලන්ගේ තත්ත්වයෙන් වෙනස් නැත. ඇත්තටමනම්, කුණු අහුලාගෙන කන කපුටන්ට හා කොවුලන්ට මීට වඩා තේරීමක් තිබේ.

අප බොහෝ විට සිතන්නේ අපේ දෑස් වලට ලස්සනට පෙනෙන, දෙසවනට මිහිරි නාද සේ ඇසෙන, දිවට රස අහර සේ දැනෙන සියළු දේ වෙනත් අයටත් එසේම පෙනෙන, ඇසෙන, දැනෙන බවයි. එහෙත්, ඇත්ත එය නොවේ.

(දෙවන කොටසක්ද ඇතත් තවමත් ලියා නැති බැවින් එය පළ කෙරෙන දිනය හරියටම කිව නොහැක.)

(Image: www.moralstories.org)

33 comments:

  1. අර කළු කපුටා කවදා හෝ කළු හංසයෙකු දැක්කොත් මොනවා නොසිතාවිද?

    මා කළු හංසයින් නවසීලන්තයේදීත්, ඕස්ටේ‍ර්ලියාවේදීත් දැක තිබේ.

    ReplyDelete
    Replies
    1. අපි නම් ලංකාවේද දැක තිබේ....

      Delete
    2. කළු හංසයින් මාද රටවල් කිහිපයකදීම දැක තිබේ.

      Delete
  2. // අප බොහෝ විට සිතන්නේ අපේ දෑස් වලට ලස්සනට පෙනෙන, දෙසවනට මිහිරි නාද සේ ඇසෙන, දිවට රස අහර සේ දැනෙන සියළු දේ වෙනත් අයටත් එසේම පෙනෙන, ඇසෙන, දැනෙන බවයි. එහෙත්, ඇත්ත එය නොවේ. //

    යහපාලන පොරොන්දු ගැන එසේ සිතා රැවටුනු කපුටන් අතර.... හ්ම්ම්..........

    ReplyDelete
    Replies
    1. //කපුටන් අතර.... හ්ම්ම්..........// බකමූනෙක්ද?

      Delete
  3. මැට්‍රිික්ස් ෆිල්ම් එක මතක් උනා.

    ReplyDelete
  4. මිරිවැඩි සඟලක් ඉල්ලා හැඩුවෙමි පා යුග නැති ඔබ දකින තුරා...

    ReplyDelete
  5. Mama lagadee ape gedara issara watthe kurullanta kema dena kramayak sakas kara. Eke mama bath , parippu, palathuru denawa. Me wade honda nadda.

    ReplyDelete
  6. Mama lagadee ape gedara issara watthe kurullanta kema dena kramayak sakas kara. Eke mama bath , parippu, palathuru denawa. Me wade honda nadda.

    ReplyDelete
    Replies
    1. ඔය කියපු තැන අයට අවශ්‍යනම් කුරුළුකෑම ගැනීමේ විකල්පය තියෙනවා, ජගත්.

      Delete
  7. හ්ම්ම්ම්.... දෙව්නි කොටසත් කියවලාම ඉන්නම්.මොන පැත්තට කැරකෙයිද මංදා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දැන් ඉකොනොමැට්ටගේ ලිවිල්ල ගැන ටිකක් දන්නව වගේ!

      Delete
  8. පාත්තයන්ට දළඳා මාළිගාවෙනුත් කෙණෙහිළි කම් කලා ලු නේද?

    ReplyDelete
    Replies
    1. ‘‘පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න‘‘ වික්ටර් රත්නායකගෙ සින්දුව ගැන වෙන්න ඇති නේද මේ කියන්නෙ... මටත් තියෙනවා ලියන්නම වටින අත්දැකීමක් දළදා මාලිගාවෙදි වුණ දෙයක්.. තවම ලියවුණේ නැහැ...

      https://www.youtube.com/watch?v=U1dKwAc_RWg

      Delete
    2. පාත්තයෝ කියන්නේ පසුගිය සියවසේ මුල හිටපු සුළු ජාතියක්.

      Delete
  9. ‘‘අප බොහෝ විට සිතන්නේ අපේ දෑස් වලට ලස්සනට පෙනෙන, දෙසවනට මිහිරි නාද සේ ඇසෙන, දිවට රස අහර සේ දැනෙන සියළු දේ වෙනත් අයටත් එසේම පෙනෙන, ඇසෙන, දැනෙන බවයි. එහෙත්, ඇත්ත එය නොවේ.‘‘

    මේ ඇත්ත තේරුම් නොගන්නා නිසාම අපේ සමීප සම්බන්ධතා ඇතුළෙ අපි කොයි තරම් ගැටෙන, අසරණ වෙන වෙලාවල් තියෙනවද?

    ReplyDelete
  10. අපිට හොඳ දේ අනිකාට නොහොඳනම් ඌට පිස්සු කියන්නේ නිකන්යෑ...

    ReplyDelete
    Replies
    1. පිස්සු කියන්නෙම අපිට නොහොඳ දේ.

      Delete
  11. ලංකාවේ ගොඩක් මිනිස්සු සතුන්ට ආදරය සහ ඇති කැමැත්ත නිසාද සමහර අවස්ථාවලදී ගෙදර කෑම ඉතිරිවන නිසාද විවිධ ආහාර වර්ග සතුන්ට ලබාදෙයි, එලෙස ලබාදීම හොද ගුණයක් ලෙස සාමාන්‍යයෙන් ලංකාවේ මිනිසුන් සිතයි. එහෙත් පරිසරවේදින්ගේ මතයට හා සත්ව වෛද්‍ය විද්‍යාව අනුව එය නරක ක්‍රියාවක්ය......

    ලංකාවේ කිසිම පුද්ගලයෙකු විසින් සුරතලෙකු ලෙස ඇති නොකරන දඩාවතේ යන බල්ලන්ද විශාල ප්‍රමාණයක් සිටින අතර සත්වවේදින්ට අනුව එම සතුන් ස්වභාවික නොවන ක්‍රමයක් මගින් වද කිරීම නරක වැඩක්ය, එහෙත් සමහර පුද්ගලයින්ට මෙය කරදරයක් වන අතර ඔවුන් මගින් විවිධ අපහසුතාවයන්ට ලක්වන බැවින් සමහරක් මිනිසුන් බල්ලන්ව මරා දැමිම හෝ කුමන ක්‍රමයකින් හෝ වද කිරීමට පක්ෂය. මේ ආකාරයේම පිඩාවන් වදුරන් හා රිලවුන්ගෙන්ද මිනිසුන්ට ඇත.

    ලංකාවේ ගොඩක් ගෙවල්වල සාමාන්‍යයෙන් සෑම දිනකම තමන් ආහාරයට ගන්නා ප්‍රමාණයට වැඩියෙන් ප්‍රමාණයක් ආහාර සකස් කරයි. මෙලෙස කරන්නේ බොහෝවිට කිසිවෙකු හෝ වැරදිලා හරි ආවොත් වැනි කල්පනාවක් සහිත යහපත් ප්‍රර්තනාවක් සහිතවය, එහෙත් බොහෝ දිනවල මෙම ආහාර ප්‍රමාණය විධිමත් ක්‍රමවේදයකින් තොරව පරිසරයට මුදාහරියි, ආහාර වලට අමතරව ආහාර ඔතාගෙන ආ ද්‍රව්‍යද එලෙස බැහැර කරයි.....

    එමෙන්ම ලංකාවේ සිටින සතුන් බහුතරයක් මිනිසුන් විසින් මෙලෙස කැලි කසල ලෙස බැහැර කරන ද්‍රව්‍ය ආහාරයට ගෙන ජිවත්වෙයි, මෙලෙස විධිමත් කුණු බැහැර කිරීමේ ක්‍රියාවලියක් නොමැතිවීම නිසා විවිධ වර්ගයේ සතුන් මෙන්ම මිනිසුන්ද විශාල අපහසුතාවයකට ලක්වෙයි. විධිමත් නොවන කසල බැහැර කිරීම් නිසා ඒවා ආහාරයට ගැනීමට බොහෝ සතුන් පුරුදු වනවා මෙන්ම එයින් ජල මුලාශ්‍ර, වාතය හා පොලව දුෂණයට ලක්වේ. මෙය පරිසර පද්දතියේ සමතුලිතබව තබා ගැනීමට විශාල ගැටලුවක් වනු ඇතිබව මම සිතමි....

    සතුන්ට ආහාර ලබාදීම හොද ගුණයක් සේ සලකා කටයුතු කරන මිනිසුන්ගෙන් සිදුවන හානියට වැඩි හානියක් තමන් විධිමත් නොවන ආකාරයට කැලි කසල බැහැර කිරිමෙන් තමන්ටත් සතුන්ටත් සිදුවේ, එබැවින් විධිමත්ව කැලි කසල බැහැර කිරීම සදහා මිනිසුන්ව පුරුදු කිරීම සහ ඒ වෙනුවෙන් වන හොද ක්‍රමවේදයක් ගොඩනැගිම සතුන්ගේ සහ අපගේ ශරිර සෞඛ්‍යට හිතකරය.....


    ReplyDelete
    Replies
    1. ඔබ කියා ඇති දේ වලට එකඟයි, ප්‍රදීප්. එකම දේ සතුන්ට හොඳ දේ කුමක්ද කියන එක අපිට අනුමාන කිරීම පමණයි කළ හැක්කේ. සත්තුන්ට හොඳ දේ දන්නේ සත්තුම තමයි.

      Delete
  12. අර කතාවෙන්නම් ගතයුතු කරුණු බොහොමයි.
    ආයතනයට අයිති ප්‍රදේශයක සතුන් සිටීම එතරම් සුදුසු නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ආයතනයට අයිති ප්‍රදේශයක් කියලා සත්තු දන්නේ නෑනේ, ලලිත්.

      Delete
  13. කතන්දරය වටිනවා පොඩි මෙන්ඩට

    ReplyDelete
    Replies
    1. කතන්දරේ ක්‍රෙඩිට් එකනම් රන්දිල් නෝනට දෙන්න ඕනෑ. තවත් ලස්සන කතා කිහිපයක් දාල තිබුණේ.

      Delete
  14. සත පහ දැක්කේ අදනේ මමත් ගහලා අවා රුපියල් අස්සේ අලුක් කාලක්

    ReplyDelete
  15. මමත් කාලයක් තිස්සෙම කුරුල්ලන්ට බත් දීමේ කටයුත්තක නිරත වෙලා ඉන්නවා.. දැන් උන් මම බත් දෙන වෙලාවට ඇවිත් බත් කන්න පුරුදු වෙලා.. උනුත් දැන් කෑම තෝරන්න රැගෙන.. ජැස්මින් වලින් උයන සුදු බත් උන් කන්නේ හරිම අඩුවෙන්.. කැකුළු හාල් සහ ප්‍රා බොයිල් , බාස්මතී වලටනම් හුඟක් මනාපයි.. වෙනසකටත් එක්ක ජැස්මින් දැම්මොත් බත් ඇට ටික සීතලට හාල් ඇට තරමට වේලුනත් උන් කන්නේ හරිම අඩුවෙන්.. අනික් බත් නම් එදිනෙදා දාන ටික හවස් වෙනකොට කාල ඉවර කරනවා.. මම කරපු වැඩේ වැරදියි කියල තේරුනේ මේ පොස්ට් එක කියෙව්වයින් පස්සේ තමා.. අදම ගිහින් කුරුළු කෑම බෑග් එකක් අරන් එන්න ඕන.. බොහොම ස්තුතියි මේ ලිපිය ලිව්වට..

    ReplyDelete
    Replies
    1. කුරුල්ලන්ට බත් දෙන එක හොඳයි කියලත් අපි තීරණය කරනවා. කලක් ගිහින් එය එතරම් හොඳ නැහැ කුරුළු කෑම දෙන එක හොඳයි කියලත් අපිම තීරණය කරනවා. කුරුල්ලන්ට තියෙන ස්වභාවික තේරීම් නැති නොකර ඉන්න අපට බැරි නිසා පළමු විකල්පයට වඩා දෙවන එක හොඳයි.

      Delete
  16. දෙහිවල සත්තු වත්තේ කොච්චර දැන්වීම් ගහලා තිබ්බත් සත්තුන්ට කෑම දෙන්න එපා කියලා සත්තු නරබන්න එන අය එව්වා ගැන කිසිම තැකීමක් නොකර සත්තුන්ට කෑම දෙනවා ඕන තරම් මා දැක තියෙනවා.එක මිනිසුන්ගේ නොදැනුවත් කමට වඩා හිතුවක්කාරකම නිසා කරන වැඩක් කියලායි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔවු, එතැන තියෙන්නේ නොදැනුවත්කම නෙමෙයි. සමහර අය කෑමට කොහෙත්ම නුසුදුසු දේත් දානවා. සත්තු කීදෙනෙක් ඒ නිසා මැරුණද? ඇත්තටම ඒකටනම් කියන්න තියෙන්නේ අශීලාචාරකම කියලා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: