Thursday, October 11, 2018

සතුට, කුඩු හා ණය


අපි සතුට ගැන කතා කරමින් හිටියනේ. ඇතැම් අය සතුට තියෙන්නේ මුදල් වල කියා හිතනවා. තවත් අය එහි අනිත් අන්තයට ගිහින් මුදල් නිසා සතුට නැති වනවා කියා හිතනවා.

සාමාන්‍යයෙන් මුදල් නිසා සතුට නැති වන්නේ නැහැ. නමුත්, එසේ විය හැකි තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒ වගේම, මුදල් වැඩි වූ පමණින් හැම විටම සතුට වැඩි වෙන්නේ නැති වුවත්, ඇතැම් අය හා අදාළව එය එසේ වෙන්න පුළුවන්. මිනිස්සු එකෙක් අනෙකාගෙන් වෙනස්.

බොහෝ දෙනෙක් හා අදාළව මුදල් හා සතුට අතර තිබෙන්නේ වක්‍ර සම්බන්ධයක්. මුදල් නිසාම සතුට වැඩි නොවන නමුත් මුදල් යහමින් ඇති අයෙකුට තමන්ගේ සතුට වැඩි කරන වෙනත් දේවල් වෙනුවෙන් ඒ මුදල් යොදවන්න පුළුවන්. මුදල් යහමින් නැති කෙනෙකුට වෙන්නේ තිබෙන දෙයින් සතුටු වන්නයි.

කොහොම වුනත්, මුදල් එක් රැස් කර ගැනීමෙන් සතුටු වන අයත් ලෝකයේ ඉන්නවා. එවැනි අය ගැන කතා බෞද්ධ සාහිත්‍යයේ වගේම වෙනත් ආගමික සාහිත්‍යයන් වලත් දැකිය හැකියි. ඒ කියන්නේ ඒ වර්ගයේ මිනිස්සු සහශ්‍ර ගණනකටත් පෙර සිට ලෝකයේ හිටියා. එහෙම නැතුව ධනවාදයක් හෝ වෙන කෙහෙම්මලක් නිසා ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි.

මුදල් හැරුණු විට දැනුම, සෞඛ්‍යය, ආගමිකත්වය, පවුල් සම්බන්ධතා, සමාජ සම්බන්ධතා, ලිංගික සම්බන්ධතා, බලය, කීර්තිය වගේ වෙනත් බොහෝ දේවල් වලින් මිනිස්සු සතුටු වෙනවා. ඇතැම් අය, ඇතැම් විට, මේ වගේ වෙනත් දෙයකින් ලැබෙන සතුට වෙනුවෙන් තමන්ගේ අතේ තිබෙන මුදල් කැප කරනවා.

සමහර අය උපුටා දක්වන ඇතැම් පාඨ අනුව ඇතැම් අය ජීවිත කාලයෙන් සෑහෙන කොටසක් මුදල් හොයන්න වෙන් කරලා අන්තිමේදී ධනවතුන් වෙනවා. ඉන් පසුව, ඔවුන්ට තේරෙනවා තමන්ට දැනුම, සෞඛ්‍යය, ආගමිකත්වය, පවුල් සම්බන්ධතා වගේ සතුට ලැබිය හැකි බොහෝ දේ මග හැරී ඇති බව. නමුත්, ඒ වන විට පරක්කු වැඩියි!

දැන් ඔය කතාව උපුටා දක්වන ගොඩක් අය එයින් පෙන්වන්නේ මුදල් පස්සේ පැන්නීමේ තිබෙන නිරර්ථක බවයි. නමුත්, ඔය කතාවේ වෙනත් පැති තිබෙනවා.

සාහිත්‍යකරුවන් ඇතුළු විවිධ කලාකරුවන් ඉහත කතාවට ප්‍රචාරයක් ලබා දෙනවා. ඒ මගින්, එක අතකින් කරන්නේ කොයි තරම් මුදල් ඉපැයූවත් ඒ මුදල් ඉතා ඉක්මණින් නාස්ති කර වත්මන් සතුට වෙනුවෙන් අනාගත සතුට කැප කරන මෙවැනි ඇතැම් අයගේ ජීවන රටාව සාධාරනීකරණය කිරීමයි. කලාකරුවන්ගේ අදහස් ඉතා පහසුවෙන් සාමාන්‍ය ජනතාව අතරට යන නිසා වෙනත් බොහෝ අයත් මුදල් පස්සේ පැන්නීම නිරර්ථක දෙයක් කියා හිතනවා.

ජීවිත කාලයෙන් වැඩි කොටසක් මුදල් පස්සේ පන්නලා ධනවතෙක් වුනාට පස්සේ තමන් එතැනට එද්දී මග හැරුණු වෙනත් දේවල් ගැන කණගාටු වන අය ඕනැ තරම් ඇති. නමුත්, ජීවිතයේ අවසන් කාලය සතුටින් ගෙවන්න තරම් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කර ගැනීම ගැන නොසිතමින් ජීවිතයේ මුල් කාලය වෙනත් දේවල් වලට යෙදවීම ගැන අන්තිම කාලයේදී පසුතැවෙන අය ඇතැම් විට ඊට වඩා ගොඩක් වැඩි ඇති.

මෙතැන තියෙන අවුල මුදල් පස්සේ පැන්නීම හෝ නොපැන්නීම නෙමෙයි. ස්වභාවිකවම ජීවිතයේ තිබෙන අවිනිශ්චිතභාවය හා ඒ අවිනිශ්චිතභාවය ගැන අපට තිබෙන නොදැනුමයි.

අවසන් කාලයේදී තමන්ගේ සෞඛ්‍යය ගැන කණගාටු වෙන්න වෙන බව ස්ථිරවම දන්නවානම් යමෙක් බොහෝ විට මුල් කාලයේදී සල්ලි හොයන්න යොදවන කාලයෙන් කොටසක් සෞඛ්‍යය වෙනුවෙන් යොදවන්න ඉඩ තිබෙනවා. ඒ වගේම, අවසන් කාලයේ සල්ලි නැති කමින් පීඩා විඳින්න වන බව ස්ථිරවම දන්නවානම් මුල් කාලයේ තමන්ගේ සතුට කැප කරලා මුදල් ඉතිරි කරන්න පෙළඹෙන්න ඉඩ තිබෙනවා.

මිනිස්සු හැම වෙලාවෙම ගන්නේ තමන්ගේ සතුට ඉහළ නංවන, තමන්ට හොඳම තීරණ වුවත් ඒ තීරණ නිසා අනාගත සතුටට සිදුවන බලපෑම ගැන නිවැරදි තක්සේරුවකට පැමිණීම හැම විටම කෙරෙන දෙයක් නෙමෙයි.

මත්ද්‍රව්‍ය භාවිතයෙනුත් මිනිස්සු සතුටක් ලබනවා. අපි පහසුවට කුඩු ගැහීම කියා කියමු.

මිනිස්සු කුඩු ගහන්නේ එයින් සතුටක් ලැබෙන නිසා. ඒ සතුට ක්ෂණික සතුටක්. නමුත් සතුට දිගටම පවතින්නේ නැහැ. පැය කිහිපයකට පස්සේ කික් එක නැතුව යනවා. එවිට නැවතත් කුඩු ඕනෑ වෙනවා.

මේ විදිහට සතුටින් ඉන්න දිගින් දිගටම කුඩු ගහන කෙනෙක් කලක් යද්දී කුඩු වලට ඇබ්බැහි වෙනවා. එවිට ඇති වන්නේ වෙනත් තත්ත්වයක්. දැන් සතුටින් සිටීම කෙසේ වෙතත් කුඩු නැතුව ඉන්න වෙලාවට හැදෙන සික් එක නිසාම කුඩු ගහන්න වෙනවා. කලින් ගත්ත ප්‍රමාණයම ගත්තා කියා දැන් ආතල් එකක් නැහැ. සික් එක නැති වෙන එක විතරයි වෙන්නේ. ඒත් පැය කිහිපයකට විතරයි. ආතල් ගන්නනම් කලින් ප්‍රමාණයට වඩා කුඩු අවශ්‍යයි.

ඔය විදිහට දිගින් දිගටම ආතල් ගන්නනම් ගන්න කුඩු ප්‍රමාණය දවසින් දවස වැඩි කරන්න වෙනවා. කලින් ප්‍රමාණයම ගත්තොත් වෙන්නේ සික් එක නැති වෙන එක විතරයි. ඒකත් නොගත්තොත් ඉන්නම බෑ. මේ වැඩේ කෙළවර වෙන්නේ කොතැනින්ද?

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය නොවී තිබෙනවානම් හොඳයි. නමුත්, ඒ සඳහා මහලු කාලය සතුටින් ගෙවීම පිණිස දැන් මහන්සි වී මුදල් ඉතිරි කරන කෙනෙක් වගේ වැඩ කළ යුතුයි. ඒ කියන්නේ අනිත් හැමදේම අමතක කරලා සල්ලි හොයන්න මැරෙනවා කියන එක නෙමෙයි. තමන්ගේ ආදායම්, වියදම් හා ඉතිරි කිරීම් බැලන්ස් කර ගැනීමයි කළ යුත්තේ. සමහර වෙලාවට තමන්ගේම අනාගත සතුට වෙනුවෙන් තරමක් දුරට අද සතුට කැප කරන්න වෙනවා.

ඩොලර් වලින් ණය අරගෙන රුපියල බැලන්ස් කරන එක හරියටම කුඩු ගහනවා වගේ වැඩක්. සල්ලි එනකොට ආතල්. ආර්ථිකයේ නිර්ණායක හැම එකක්ම වගේ හොඳින් පෙනෙන්න තියෙනවා.

ආයෝජන සිදු වෙනවා. හැබැයි අනුන්ගේ සල්ලි වලින්. ඒ නිසා දළ දේශීය නිෂ්පාදිතය වේගයෙන් වර්ධනය වෙනවා. හැබැයි ස්වභාවිකව නෙමෙයි.

ඩොලර් එකේ මිල අඩුයි. හැබැයි ණයට ගත්ත ඩොලර් වෙළඳපොළට එකතු වන නිසා. ඩොලර් එක අඩු නිසා ආනයනික භාණ්ඩ වල මිල අඩුයි. ඒ නිසා උද්ධමනයත් අඩුයි. රටේ නිපදවන බඩු වලට වඩා අඩු මිලකට ආනයනික බඩු මිල දී ගන්න පුළුවන්. අපනයන වලට වඩා ආනයන වැඩි නිසා රටේ පරිභෝජනය හා ආයෝජනය රටේ ආදායමට වඩා වැඩියි. මිනිස්සුන්ගේ සතුට වැඩියි.

දේශීය කර්මාන්ත එකින් එක වැහිලා ගියත් රටේ විරැකියාව අඩුයි. හැබැයි ඒ රජය විශාල කරමින් රැකියා ලබා දෙන නිසා මිස ඵලදායී වැඩක් කෙරෙන නිසා නෙමෙයි. වැඩිවන රජයේ වියදම් අර ණය වලින් ආවරණය වෙන නිසා බදු වැඩි කරන්නත් අවශ්‍ය නැහැ.

ඩොලර් වලින් ණය වැඩි වුනත් ඒ ඩොලර් යොදාගෙන රුපියල අධිප්‍රමාණය කරන්න පුළුවන් නිසා රුපියල් වලින් බැලුවහම ණය අඩු වෙලා. ඒ එක්කම, ණය වලින් රජයේ ආයෝජන ඇතුළු වියදම් ඉහළ යන නිසා දළ දේශීය නිෂ්පාදිතයත් වැඩි වෙනවා. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බැලුවහම පෙනෙන්නේ රජයේ ණය අඩුවන බවයි.

රුපියල ශක්තිමත් වෙන නිසා පිටරට තිබෙන ඩොලර් ලංකාවට ගේන එක දවසකින් හෝ පරක්කු කළොත් පාඩුයි. ඒ නිසා, එලියේ තිබෙන හැම ඩොලරයක්ම ක්ෂණිකව රට ඇතුළට එනවා. නමුත්, පිටට යවන ඩොලර් දවසක් හෝ පරක්කු කරල යවන තරමට වාසියි.

එළියෙන් 2-3% පොලියකට ඩොලර් වලින් ණය ගන්න පුළුවන්. ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර ආදියට 10%ක විතර පොලියක් ලැබෙනවා. ඒ අතර රුපියලත් අධිප්‍රමාණය වෙනවා. රුපියල 2-3%කින් ඉහළ ගියොත් එළියෙන් ගන්න ණය වල පොලිය ගෙවන්න ඒ වෙනසම ඇති. එතකොට අර 10%ක පොලිය එහෙම්මම ලාබ. අවදානමක් නැති ලාබයක් (සාපේක්ෂ පදනමකින්).

අවදානමක් නැතිව ලාබයක් ගන්න පුළුවන් නිසා ආයෝජකයෝ සල්ලි අරගෙන එන්නේ පෝලිමේ. දැන් රුපියල වැඩි මහන්සියක් නැතුව තවතවත් ශක්තිමත් වෙනවා.

හැම දේම නියමෙටම වෙනවා තමයි. හැබැයි මේ හැම දෙයක්ම රඳා පවතින්නේ ඩොලර් වලින් ණය අරගෙන රුපියල බැලන්ස් කිරීම මතයි. කුඩු ගහල ගන්න ආතල් එක වගේම තමයි. ණය ආපහු ගෙවන්න වෙනකොට කික් එක ඉවර වෙලා සික් එක හැදෙනවා.

ණය ගෙවන්න රජයට සල්ලිත් නැහැ. බදු වැඩි කරලා සල්ලි හොයාගත්තත් රුපියල් ඩොලර් කරන්න රටේ ඩොලරුත් නැහැ. ඒ නිසා ණය ගෙවන්න වෙන්නේ තවත් ණය අරගෙනයි.

රජය වෙළඳපොළෙන් නැති ඩොලර් ගන්න ගිය වහාම වෙන්නේ රුපියල ඉතා වේගයෙන් අවප්‍රමාණය වීමයි. එතකොට අර කලින් ඩොලර් අරගෙන ඇවිත් ආයෝජනය කරපු අය බලන්නේ පුළුවන් ඉක්මණින් තමන්ගේ ඩොලර් එළියට ගෙනියන්නයි. එළියේ ඩොලර් තියෙන එය බලන්නේ ඒවා ගේන එක හැකිතරම් පරක්කු කරන්නයි.

ඩොලර් එක වැඩි වෙන කොට ආනයනික බඩු වල මිල වැඩි වෙලා උද්ධමනය ඉහළ යනවා. රජයට වගේම පෞද්ගලික අංශයටත් වැටුප් වැඩි කරන්න වෙනවා. පෞද්ගලික අංශයේ ලාබ අඩුවෙලා රජයට ඒ මාර්ගයෙන් ලැබෙන බදු අඩු වෙනවා. රජයේ සේවක වැටුප් ඉහළ යාම නිසා රජයේ අයවැය හිඟය ඉහළ යනවා. රජයට වක්‍ර බදු ඉහළ දමන්න වෙනවා. වියදම් සීමා කරන්න වෙනවා. ආතල් ඔක්කොම ඉවරයි.

හැබැයි විසඳුමක් තිබෙනවා. ඒ තව ණය ගන්න එක. පොලියත් ගෙවන්න තිබෙන නිසා කලින් ප්‍රමාණයම අරගෙන මදි.

ගන්න කුඩු මාත්‍රාව එන්න එන්නම වැඩි කළොත් ආතල් එක දිගටම තියාගන්න පුළුවන්. පහුගිය ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය වුණේ එයයි. දැන් ආණ්ඩුව කුඩු ගහන්නේ සික් එක නැති කරගන්න අවශ්‍ය තරමට විතරයි. ඒ නිසා ආතල් නැහැ. හැබැයි සික් එක නැති කරගන්න අවශ්‍ය කුඩු ප්‍රමාණය වුවත් එන්න එන්නම වැඩි වෙනවා.

කුඩු ගහන්න පුරුදු වුන කෙනෙක්ව පුනරුත්ථාපනය කරන එක අමාරු හා කල් යන වැඩක්. ඒ කාලයේ සික් එක අමාරුවෙන් හෝ විඳවන්න වෙනවා. අමාරුව වැඩි කමට වැඩේ අත ඇරියොත් ආපහු හිටපු තැනමයි.

(Image: http://www.thequotepedia.com/you-cant-buy-happiness-but-you-can-buy-drugs-and-thats-kind-of-the-same-thing-drugs-quote/)

13 comments:

  1. Well structured article.
    "..ඩොලර් වලින් ණය අරගෙන රුපියල බැලන්ස් කරන එක හරියටම කුඩු ගහනවා වගේ වැඩක්. සල්ලි එනකොට ආතල්..." Perfect example. understood this, only because you have explained it so nicely.

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා,

    විනිමය අනුපාත අර්බුදය නිසා ශ‍්‍රී ලංකාව දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ජාත්‍යන්තර ආයතන සදහන් කරයි. මෙම විනිමය අනුපාත අර්බුදය හේතුවෙන් ආයෝජකයන් බියට පත්ව සිටින බවද වාර්තාවේ දැක්වෙයි.

    මෙසේ විනියම අර්බුදය නිසා ශ‍්‍රී ලංකාව අවදානම් තත්වයට පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි. ශ‍්‍රී ලංකාව අධි අවදානම් තත්වයේ ඇතැයිද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

    ReplyDelete
  3. //කුඩු ගහන්න පුරුදු වුන කෙනෙක්ව පුනරුත්ථාපනය කරන එක අමාරු හා කල් යන වැඩක්. ඒ කාලයේ සික් එක අමාරුවෙන් හෝ විඳවන්න වෙනවා. අමාරුව වැඩි කමට වැඩේ අත ඇරියොත් ආපහු හිටපු තැනමයි.//

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන පරිසර ප්‍රධානි නොර්වේජියානු ජාතික "එරික් සෝල්හයිම්" (නෝර්වේ හිටපු අමාත්‍ය මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු තනාපතිවරයෙකු වේ) එක්සත් ජතින්ගේ සංවිධානයේ යටතේ පවත්වාගෙන යනු ලබන එ ජාතීන්ගේ පරිසර ව්‍යප්තියේ U.N. Environmental programme-UNEP විශාල මුදල් ප්‍රමාණයක් තමන්ගේ වියදම් සඳහා යොදා ගෙන ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභ්‍යන්තර විගණන අංශය සොයාගෙන ඇත.

    මේ එරික් සෝල්හයිම් එල් ටී ටී සංවිධානයේ ඉතා ප්‍රසිද්ධ හිතවතකු මෙන්ම වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මිත්‍රයෙකි. (මේ දිනවල අගමැති රනිල් වික්‍රමසිංහද නෝර්වේ රටේ විශේෂ සංචාරයක යෙදිමින් සිටි)

    ශ්‍රී ලංකා හමුදාව 2006-2009 දි කොටි ත්‍රස්තවාදී සටන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ පරාජය කරන විට යුරෝපා රටවල් හරහා මෙන්ම එදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හරහා සමා සාකච්ඡා මහින් විසඳුමක් අවශ්‍යයි කියා එම සටන නැවත්වීමට විශාල උත්සහයක් ගත් ප්‍රධානතම පුද්ගලයා අද චෝදනා ලබා සිටින නෝර්වේ ජාතික එරික් සෝල්හයිම්ය.

    ReplyDelete
  4. නියමයි සහෝදරයා...

    යම් විෂයයක් පිළිබඳව හදාරා නොමැත්තෙකුට පැහැදිලිව වැටහෙන පරිදි ඒ විෂයානුබද්ධ කරුණු පැහැදිලි කිරීමට විශේෂ දක්ෂතාවයක් එමෙන්ම හැකියාවක් අත්‍යාවශ්‍යයයි.

    සම්මා සම්බුදු පසේ බුදු යන දෙදෙනාගේ වෙනස ඒකයි. පසේ බුදු වරයකුට ධර්මය අවබෝධකරගැන්මට හැකි උනාට තමන් වටහාගත් ධර්මය තවත් කෙනෙකුට වටහා දීම උගහටයි.

    ඉකෝන් ඔබ ඒ අතින් ඉතා විශිෂ්ඨයි..බොහොමත්ම ස්තූතියි!!

    ReplyDelete
    Replies
    1. ඉකෝන් ලංකාව යනු ආර්ථික වශයෙන් දුර්වල නිසි ඉදිරිගාමී සැලැස්මක් නැතිව ඉබාගාතේ යන රටක් ලෙස පැවතීමට ප්‍රධානම හේතුව කුමක් දැයි ශ්‍රී ලංකාවේ පුරවැසියන්නේ විමසුවහොත් අති බහුතරයක් පවසන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලකයින් අමු හොරු වීම බවයි.

      නමුත් ඉකෝන් ලංකාවේ ඉදිරි ගමන වළක්වන ප්‍රධානම බාධකය “දේශපාලනඥයින් හොරු වීම” නොව මේ රටේ ජනතාව, විශේෂයෙන් "උගත් බුද්ධිමත්" යයි කියා ගන්නා ජනතාව දේශපාලන දැනුවත්භාවය අතින් දක්වන අධික දුර්වලතාවයි. ලංකාව සාක්ෂරතාවයෙන් ඉහළ රටක් යැයි සැළකුවද දේශපාලන සවිඥානික බව අතින් ඉතාම දුප්පත, විශේෂයෙන් “ලංකාවේ ඉංග්‍රීසි උගත් බුද්ධිමත් ප්‍රජාව” අතර දේශපාලනය සම්බන්ධයෙන් ඇති දැනුවත්භාවය දුර්වලය. රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය මෙම සමාජමය ගැටළුවේ ප්‍රතිඵලයක් !

      තමරට මුහුණ දෙන අභියෝග හා තර්ජන, එහි නූතන දේශපාලන ඉතිහාසය හා ඒ ඒ දේශපාලකයින් ශ්‍රී ලංකාවට ලබා දුන් දායකත්වය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබෙන ජනතාවක් සිටියේ නම් රනිල් වික්‍රමසිංහ වැන්නෙකුට කිසිදා 2015 දී යළි මේ රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත්විය නොහැක. රටක් ලෙස එම අනවබෝධයේ ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින අතර අනාගතයටත් විඳිනු ඇත.

      වසර 40ක් පුරා ලංකාවේ දේශපාලනයේ නියැළී සිටි පුද්ගලයෙකි, රනිල් වික්‍රමසිංහ; සිව් වතාවක් ලංකාවේ අග්‍රාමාත්‍ය ලෙස පත්වුණු කෙනෙකි. නමුත් රනිල් විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් යහපත් දායකත්වයක් සොයා ගැනීමට ඉතා අපහසුය. කෙසේ වෙතත් ලංකාවේ ආන්දෝලනාත්මක හා අර්බුදකාරී සිදුවීම් ගණනාවකට ඔහුගේ නම ඈඳී තිබේ.

      බට ලන්ද වධකාගාර, මිලේනියම් සිටි සිද්ධිය හා බැඳුම්කර සිද්ධිය ලෙස ජනාධිපති කොමිසම් තුනකින්ම ඔහුගේ කාර්යභාරය පිළිබඳව ප්‍රශ්න කර තිබේ. එය දේශපාලකයෙකු වශයෙන් එතරම් යහපත් වාර්තාවක් නොවේ. වසර 30ක ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්, ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයට එරෙහිව හමුදා ක්‍රියාන්විත දෙකක් සිදුකළ රටක වන ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මැඩ ලීමට ඒ ඒ ආණ්ඩු දැඩි ක්‍රියාමාර්ග ගත් නමුත් වධාකාගාරයක් තුළ නිවෙසක පදිංචිව සිටි බවට සාක්ෂි වලින් තහවුරු කරගත් එකම දේශපාලකයා වන්නේත් රනිල් වික්‍රමසිංහයි. ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් සිරගත කළ ගෝනවල සුනිල් නැමැත්තා 1981 වසරේ දී ජනාධිපති සමාවක් ලබාගත්තේය. ඒ පිටුපස එවකට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලකයෙකු සිටි බව බොහෝ දෙනා දන්නා කාරණයකි. පසුව මෙම ගෝනවල සුනිල් නැමැත්තා 83 වසරේ වැලිකඩ දෙමළ සිරකරු ඝාතනය ඇතුළු පුද්ගල ඝාතන කිහිපයකට සම්බන්ධ අයෙකු විය. රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික ආරක්ෂකයා වූයේ ද මේ ගෝනවල සුනිල් නැමැත්තායි. රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති සමයේ දී කොළඹ පාසලකට දරුවෙකු ඇතුළත් කරගැනීමට අවශ්‍ය නම් ගෝනවල සුනිල් වෙත යායුතු බව ප්‍රසිද්ධ රහසකි. රනිල් වික්‍රමසිංහගේ එවකට ඡන්ද කොට්ඨාශය වූ බියගම ප්‍රදේශයේ සිට ජනතාව බිය වැද්දූ පාතාල නායකයා ගෝනවල සුනිල්ය. එපමණක් නොව ස්ත්‍රී දූෂණයකට වැරදිකරු වූ මේ පුද්ගලයාට සාමදාන විනිශ්චයකාර පදවියකුත් පිරිනැමුණි. මෙවැනි ඉතිහාසයක් ඇති රනිල් වික්‍රමසිංහ යටතේ යහපාලනය අපේක්ෂා කරන උගත් බුද්ධිමත් ජනතාවක් ගැන සිතා ගැනීමටත් අපහසුය.

      බටලන්ද වධකාගාර පවත්වා ගැනීම සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසමට අනුව රනිල් වික්‍රමසිංහ එම වධකාගාරය තිබූ භුමියට අයත් නිවසක දින ගණන් රැඳී සිට ඇත. එමෙන්ම ඉහළින් ලැබුණු නියෝග මත ශ්‍රී ලංකා පොලිසියේ ඩග්ලස් පීරිස් යන අය පුද්ගලයින් පැහැරගෙන ගොස් එහි රඳවා වධ බන්ධනයක්ට ලක් කර ඇත. පසුව ජනාධිපති කොමිසමට සාක්ෂි දීමට නොහැකි වන සේ මෙම ඩග්ලස් පීරිස් යන පුද්ගලයා ශ්‍රී ලංකාවෙන් පිටමං කෙරිණි. ඉන්පසුව 2000 වසරේ දී ජනාධිපතිනි චන්ද්‍රිකා නැවත ඩග්ලස් පීරිස් ශ්‍රී ලංකාවට ගෙන ආ විට, ඔහු ප්‍රකාශ කළේ තමාට රනිල් වික්‍රමසිංහගෙන් ජීවිත තර්ජන ඇති බවයි. බට ලන්ද වධකාගාරයේ සිටි ඩග්ලස් පීරිස්ගේ සාක්ෂි නැතිවත් ජනාධිපති කොමිසම නිර්දේශ කළේ බට ලන්ද වධකාගාර සිදුවීමට අදාළ දේශපාලකයා වන රනිල් වික්‍රමසිංහගේ සිවිල් අයිතිය ඉවත්කළ යුතු බවයි. ඒ අනුව 2001, 2015 යන වසර වල තුන් වතාවක් අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන්නේ සිවිල් අයිතිය අහෝසි කළ යුතු බවට ජනාධිපති කොමිසමක් විසින්ම නිර්දේශ කළ පුද්ගලයෙකි. නැවතත් රනිල් වික්‍රමසිංහ ලවා යහපාලනයක් උදාකරගැනීමේ උගත් බුද්ධිමතුන්ගේ සිහිනය මුලාවකි.

      Delete
    2. රවීට,
      සමහර දේවල් ලියන්නේ යම් යම් පුද්ගලයින් හෝ කණ්ඩායම් ඉලක්ක කරගෙන. මෙය කියවන අය අතරේ ආර්ථික විද්‍යාව සෑහෙන දුරකට ඉගෙන ගත්, රටේ ආර්ථිකය හා අදාළ තීරණ වලට සෘජුව බලපෑමක් ඇති ටික දෙනෙක් හෝ ඉන්නවා. ඒ අයට මා කියන දේ ඒත්තු ගන්වන්න හා එවැනිම වෙනත් අයට ඒත්තු ගන්වන්න උපකාර කරන්න තරමක් වෘත්තීය භාෂාවකින් ලියන්න වෙනවා. එය මම හිතාමතාම කරන්නේ. නමුත්, එසේ ලිවුවහම වෙනත් බොහෝ දෙනෙකුට නොතේරෙන නිසා වැඩි දෙනෙක් දැනගත යුතු දේවල් නැවත සරලව ලියන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා, ඇතැම් දේවල් වෙනස් ආකාර වලින් නැවත කියන්න වෙනවා.

      මේ කුඩු කතාව හරහා ප්‍රශ්නය සෑහෙන තරමකින් පැහැදිලි කරන්න පුළුවන්. පහුගිය ආණ්ඩුවේ කුඩු ගැහිල්ල ගැන විශාල ප්‍රචාරයක් කරලයි මේ ආණ්ඩුව බලයට ආවේ. නමුත් රාජපක්ෂ ආණ්ඩුව පරාජය වුනේ ඒ හේතුව නිසා නෙමෙයි. ආර්ථික අර්බුදයක් ගැන කතා කළත් මිනිස්සුන්ට එහෙම එකක් දැනිල තිබුණේ නැහැ. මිනිස්සුන්ගේ ආතල් එක ඒ විදිහටම තිබුණා. ආණ්ඩුව ණය පොම්ප කරමින් ආතල් එක පවත්වා ගත්තා. හොරකම් කතාවටනම් මිනිස්සු සංවේදී වුණා.

      දැන් වුනත් සාමාන්‍ය මිනිස්සුන්ට ආර්ථික අර්බුදයක් ලොකුවට ඇඟට දැනෙන්නේ නැහැ. එහෙත්, ඉදිකිරීම් වගේ ක්ෂේත්‍ර වල ඉන්න අයට වෙනස තේරෙනවා. දැන් පහුගිය ආණ්ඩුවට සම්බන්ධව සිටි අය පෙන්වා දෙන්නේ ආතල් එකත් නෑ කුඩු ගැහිල්ල නැවතිලත් නෑ කියලයි. ඇත්ත. ආර්ථික වර්ධනය අඩු වෙලා. ණයත් වැඩි වෙනවා.

      ඇත්තටම වෙලා තියෙන්නේ කුඩු ගැහිල්ල පොඩ්ඩක් අඩුවෙලා තිබීම හා ඒ හේතුවෙන් ආතල් එක නැති වීමයි. නමුත් කුඩු ගැහිල්ල නැවතිලා නැහැ. ඒක කරන්නනම් සික් එක අමාරුවෙන් දරාගන්න වෙනවා. ටික කාලයක් අධිෂ්ඨාන කරගෙන සික් එක දරාගෙන හිටියොත් ආතල් ගැනීම කෙසේ වෙතත් සික් එකෙන් සදාකාලිකව මිදෙන්න පුළුවන්. නමුත්, එයට මිනිස්සු සූදානම් නැහැ.

      ආණ්ඩුව වෙනස් වෙනවද නැද්ද කියන එක මට පෞද්ගලිකව ප්‍රශ්නයක් නෙමෙයි. නමුත්, ආණ්ඩු වෙනස් වෙද්දී රටේ ආර්ථික ප්‍රතිපත්ති තනිකරම කණපිට හැරීම ප්‍රශ්නයක්. අලුත් ආණ්ඩුවක් නැවතත් ආතල් දෙන තැනට තල්ලු වෙන්න සෑහෙන ඉඩක් තිබෙනවා. එය වෙන්න තිබෙන ඉඩ ඉහළ යන තරමටම මේ ආණ්ඩුව විසින්ම එය කරන්න ඉඩ තිබෙනවා. මේ හා අදාළව එකිනෙකා විවේචනය නොකර ප්‍රශ්නය තේරුම් ගෙන පොදු ජාතික ආර්ථික ප්‍රතිපත්තියකට නොගියොත් අමාරුවේ වැටෙන්නේ රටයි.

      ලංකාවේ රාජ්‍ය ණය සංඛ්‍යාලේඛණ වල පෙනෙනවාට වඩා ගොඩක් වැඩියි. සැබෑ තත්ත්වය ගැන අවබෝධයක් ආණ්ඩුවේ සිටින අයට වගේම ආණ්ඩුවේ විවේචකයින්ටත් තිබෙන බවක් පෙනෙන්නේ නැහැ. මේ කුඩු ගැහිල්ලේ අවසානය වෙන්නේ ලංකාවේ චීනයේ, ඉන්දියාවේ හා බටහිර රටවල පාපන්දුවක් වෙන එකයි. එහෙම වුනොත් රටක් ඉතිරි වෙන එකක් නැහැ.

      Delete
  5. කදිම විවරණයක්. මනා ගැලපීමක්.

    ReplyDelete
  6. එතඑතකො පසුගිය රජය කාලෙ රාජ්‍ය ණය, දල දේශීය නිශ්පාදිත යේ ප්‍රතිශතයක් ලෙස ගත්තම 101% ඉඳන් 70% අඩු වුනා කියන එක මොකක්ද ? දිගින් දිගටම ණය ගත්තනම් එහෙම වෙන්න පූළුවන්ද ?

    කුඩු උදාහරණය නම් එළ....😀

    ReplyDelete
    Replies
    1. //ඩොලර් වලින් ණය වැඩි වුනත් ඒ ඩොලර් යොදාගෙන රුපියල අධිප්‍රමාණය කරන්න පුළුවන් නිසා රුපියල් වලින් බැලුවහම ණය අඩු වෙලා. ඒ එක්කම, ණය වලින් රජයේ ආයෝජන ඇතුළු වියදම් ඉහළ යන නිසා දළ දේශීය නිෂ්පාදිතයත් වැඩි වෙනවා. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බැලුවහම පෙනෙන්නේ රජයේ ණය අඩුවන බවයි.//

      සංඛ්‍යාලේඛණ එක්ක පසුව පැහැදිලි කරන්නම්. මෙය වෙලාව යෙදිය යුතු වැඩක්. බ්ලොග් ලිය ලිය ඉඳලා අපිට පෞද්ගලිකව ආර්ථික අර්බුද වලට යන්නත් බෑනේ.

      Delete
    2. අනේ කරදර වෙන්න එපා ඉකොනො, මම කොහොමත් සංඛ්‍යාලේඛන වලට එච්චර සංවේදී නෑ. මගෙ ප්‍රශ්නෙට උත්තරේ ලිපියෙම තිබිලා බවයි ඔබේ උපුටනයෙන් පේන්නෙ. මම ඒක හරියට කියවලා නෑ.

      මොනා කරන්නත් ගෙදර ආර්තිකේ කෙලින් තියෙන්න ඕනා තමා. නැත්නම් අපිටත් වෙන්නෙ කුඩු ගහන්න...😀

      Delete
  7. "අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව තහනම් කරයි"
    කරුණාකර මේක පැහැදිලි කරලා ලිපියක් ලියන්න පුලුවන්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.