වෙබ් ලිපිනය:

Thursday, October 18, 2018

මව්බිමේ ජනතාවට ද්‍රෝහියෙක් නොවනු!


ලංකාවේ රජයේ සරසවියක සේවය කරමින් සිටියදී බැඳුම්කරයකට අත්සන් තබා උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමෙන් පසුව ආපසු නොපැමිණි අය රජයට ගෙවිය යුතු මුදල් ප්‍රමාණ දවස කිහිපයකට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ප්‍රසිද්ධ කරලා තියෙනවා. මේ ලැයිස්තුවේ 485 දෙනෙකුගේ නම්, තනතුරු, ලිපින, ගෙවිය යුතු මුදල් ප්‍රමාණ, ඇපකරුවන්ගේ නම් ඇතුළු විස්තර රැසක් ඇතුළත්. 

මා මේ ගැන දැනගත්තේ ගොසිප්ලංකා වෙබ් අඩවියෙන්. එහි සඳහන් විදිහට ජාතික පුවත්පත් වල පිටු 4ක් පුරා දැන්වීමක් ලෙස මේ තොරතුරු පළ කර තිබෙනවා. රජයට අයවිය යුතු මුළු මුදල රුපියල් මිලියන 813ක්. ඩොලර් මිලියන පහකට ටිකක් අඩුයි. මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ලබා දීම නිසා රජයට අහිමි වූ බදු මුදලෙන් අටෙන් එකකට ආසන්න මුදලක්. වැඩිම මුදල ගෙවිය යුතු තැනැත්තා රුපියල් මිලියන 26.5ක් ගෙවිය යුතුයි. එක වාහනයකින් අහිමි වන බදු මුදලට තරමක් අඩු මුදලක්. රුපියල් 1,127ක් තරම් අඩු මුදලක් ගෙවිය යුතු අයත් ලැයිස්තුවේ ඉන්නවා.

මටනම් මෙය රජයේ අකාර්යක්ෂමතාවය පිළිබිඹු කරන තවත් එක් කටයුත්තක් පමණයි. මම එහෙම කියන්නේ මගේ හෝ මා පෞද්ගලිකව දන්නා කිසිවකුගේ නම් මේ ලැයිස්තුවේ තිබෙන නිසා නෙමෙයි. මෙහි නම් සඳහන් කිසිවකු මා පෞද්ගලිකව දන්නේ නැහැ. ඇතැම් විට මේ කටයුත්ත පසුපස වෙනම ගේමක් තියෙනවා වෙන්නත් පුළුවන්. මේ වගේ පුවත්පත් දැන්වීමකින් රජයට එල්ලවන මිනිස්සුන්ගේ විරෝධය තාවකාලිකව වෙනත් අතකට යොමු කරන්න පුළුවන්. ඉටු කරගත හැකි වෙනත් අරමුණුත් තිබෙනවා.

ගොසිප්ලංකා පුවත අනුව පුවත්පත් දැන්වීමේ මෙවැනි ඉල්ලීමක් තිබෙනවා. 

"මෙරට ජනතාව අනේකවිද දුක්ඛ දෝමනස්සයන් මැද එදා වේල පිරිමසා ගැනීම පිණිස ඉතා වෙහෙසකර ලෙස උපයා ගත් මුදලින් ගෙවන ලද බදු මුදලින් පළමු වසරේ සිට උසස් පෙළ දක්වා ඔබට අධ්‍යාපනය ලබා දුනි. රජයේ විශ්වවිද්‍යාලයන්හි උපාධිය දක්වා ඔබට අධ්‍යාපනය ලබා දුන්නේ ද ඔවුන්ගේම මුදලෙනි. ඔබ බොහෝ දෙනෙකුට මහපොළ ශිෂ්‍ය ආධාර ලබා දුන්නෙමු. ඔබට පශ්චාත් උපාධි සඳහා ණය ආධාරය ලබා දුන්නේ ද එම ජනතාව ලේ, දහඩිය, කඳුළු වගුරා උපයා ගත් මුදලෙනි. 

ඔබ එසේ ලබාගෙන බැඳුම්කර කොන්දේසි උල්ලංඝනය කරමින් ගෙවීම් පැහැර හැර ඇති මුදල රුපියල් මිලියන 813 ඉක්මවා ඇත.

එසේ ලද මුදල්වලින් ඔබ අද උගතකු වී වෙනත් රටවල හෝ ආයතනවල උසස් නිලතල හොබවමින් වැජඹෙන බව අප දනිමු. අනාගත පරම්පරාවට අධ්‍යාපනය ලබාදීම සඳහා ඔබ ජනතාවගෙන් ලබාගත් ණය මුදල මෙම මොහොතේ අපට ඇවැසිව ඇත. උපන් බිමට සහ මව්බිමේ ජනතාවට ඔබ ද්‍රෝහියෙක් නොවනු ඇතැයි අප විශ්වාස කරමු. ණයකරුවනි, ඇපකරුවනි පහත සඳහන් මුදල් සහ ඒ මත පොලී මුදල් වහාම ගෙවා ණයෙන් නිදහස් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි."

රජයේ නිවේදනයක් වුවත් ලියල තියෙන්නේ අර අසූ අට අසූ නමය කාලේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අත් පත්‍රිකා වල තිබුණු භාෂාවෙන්. මෙහි මුල් කොටස ප්‍රස්තුතයට සෘජුව අදාළ දෙයක් නෙමයි. මේ මුදල් ගෙවිය යුත්තේ පශ්චාත් උපාධි සඳහා පිටව යාමේදී අත්සන් කර තිබෙන බැඳුම්කරයේ කොන්දේසි අනුව මිසක්, පළමු වසරේ සිට උසස් පෙළ දක්වා හෝ ඉන්පසුව රජයේ විශ්වවිද්‍යාලයන්හි උපාධිය දක්වා ඉගෙන ගැනීම වෙනුවෙන් නෙමෙයි. ඒ කොටස එකතු කර තිබෙන්නේ මේ මුදල් ගෙවිය යුතු අය වෙනුවෙන් නෙමෙයි. එහි ඉලක්කය කුමක්ද කියන එක ඔබම හිතා බලන්න.

මේ ලැයිස්තුවේ ඉන්න බොහෝ දෙනෙකුට එහි කියන ආකාරයට පශ්චාත් උපාධි සඳහා ණය ආධාර ලබා දී තිබෙනවා කියා මා හිතන්නේ නැහැ. අනිවාර්යයයෙන්ම මෙහි සිටින අතිමහත් බහුතරය තමන්ගේ කුසලතා මත විදෙස් රටකින් ශිෂ්‍යත්වයක් ලැබ රටින් පිටවූ අය විය යුතුයි. එහෙම නැතුව රජයේ සරසවි ඇදුරෙකුට පශ්චාත් උපාධි හැදෑරීමේ මුළු වියදමම "ජනතාව ලේ, දහඩිය, කඳුළු වගුරා උපයා ගත්" මුදලින් ලැබෙනවානම් එය ඉතාම කලාතුරකින් සිදුවන්නක් විය යුතුයි. එහෙම නැත්නම් මේ විදිහට ජනතාව කියා කියන්නේ බටහිර රටවල් වල බදු ගෙවන ජනතාව ගැනත් හිතාගෙනද දන්නෙ නැහැ.

මේ අයගෙන් සෑහෙන පිරිසක් වැටුප් සහිත නිවාඩු අරගෙන ගිය අය වෙන්න පුළුවන්. ඒ අනුව, බොහෝ විට මේ ණය කියන්නේ එසේ අධ්‍යාපනය සඳහා රටින් පිටව සිටියදී ලබාගත් වැටුප්.

රැකියාවෙන් අස් නොවී පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදෙස්ගත වන සරසවි ඇදුරෙකුගේ බැඳුම්කර මුදලට ඇතුළත් වන්නේ ඒ කාලයේ ලබාගත් වැටුප් පමණක් නෙමෙයි. වැටුප් රහිත නිවාඩු ගත්තත් බැඳුම්කරයට මුදලක් එකතු වෙනවා. ඒ වගේම ඇතැම් විදේශ ශිෂ්‍යත්වලාභීන්ගේ ශිෂ්‍යත්ව මුදලේ වටිනාකමත් බැඳුම්කරයට එකතු වෙනවා. මේ අවස්ථා වලදී ඇත්තටම මහජන මුදල් වැයවීමක් සිදු වෙන්නේ නැහැ.

කොහොම වුනත්, බැඳුම්කරයකට අත්සන් තබා රටින් පිටවන අයෙක් එසේ රටින් යන්නේ නැවත සේවයට වාර්තා නොකළොත් බැඳුම්කරයේ මුළු මුදලම රජයට ගෙවන්න එකඟ වෙලයි. ඒ නිසා, රටට ආපසු එන්නේ නැත්නම් බැඳුම්කරයේ කොන්දේසි අනුව ගෙවිය යුතු මුදල අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි. එහි කතා දෙකක් නැහැ.

එහෙම ගෙවුවේ නැත්නම් කළ යුත්තේ කුමක්ද?

බැඳුම්කරය අනුව ගෙවිය යුතු මුදල ආපසු ගෙවීම කවුරු හෝ විසින් පැහැර හරිනවානම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් කළ යුත්තේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. රටින් පිට සිටින තැනැත්තාව අල්ලගන්න බැරිනම් ලංකාවේ සිටින ඇපකරුවන්ව අල්ලගන්න පුළුවන්. ඔවුන්ව ඇපකරුවන් සේ පිළිගෙන තිබෙන්නේ අදාළ මුදල ආපසු ගෙවන්න පුළුවන් තරම් ආදායමක් තිබෙන නිසයි. 

බැඳුම්කර අත්සන් කර විදෙස්ගත වී ආපසු නොඑන හැමෝම අදාළ මුදල ගෙවීම පැහැර හරින්නේ නැහැ. නමුත් එසේ පැහැර හරින අය ඉන්නවා. ඒ අයට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග නොගැනීම රජයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක්. එයින් වෙන්නේ ගෙවිය යුතු මුදල් නිසි පරිදි ගෙවන අයට තමන් මෝඩයින් සේ දැනෙන එකයි. ඒ නිසා, තවත් අය මුදල් ආපසු ගෙවීම පැහැර හරින්න ඉඩ තියෙනවා. හැබැයි මුදල් ආපසු අය කර ගැනීමට ක්‍රියා කළ යුත්තේ ගිවිසුමේ කොන්දේසි අනුව නීතිමය වශයෙන් මිසක් පුවත්පත් දැන්වීම් පළ කිරීම වැනි මහජන මුදල් නාස්ති කරමින් කරන සෝබන වැඩ හරහා නෙමෙයි.

මගේ විශ්වාසය අනුව පුවත්පත් දැන්වීමේ නම් සඳහන් බොහෝ දෙනෙක් තමන් ගෙවිය යුතු මුදල ගෙවීම පැහැර හැර සිටින අය නෙමෙයි. මේ ඇතැම් අය ගොසිප්ලංකා පුවතට ප්‍රතිචාර දක්වමින් ඒ බව සඳහන් කර තිබෙනවා. ගොඩක් අය මුල් ගිවිසුමේ කොන්දේසි අනුව හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ පසුව ඇති කරගත් එකඟතාවයක් මත මාසික වාරික සේ තමන් ගෙවිය යුතු මුදල් පියවමින් සිටිනවා. පුවත්පත් දැන්වීමේ තිබෙන්නේ පසුගිය වසර අවසාන වෙද්දී ඒ අයට ගෙවන්න ඉතිරිව තිබුණු හිඟ ශේෂයයි. ඉන්පසුව ගත වූ මාස අට තුළ මේ ඇතැම් අය හිඟ මුදල් සියල්ලම පියවා අවසන්ව ඇති බව ඔවුන් සඳහන් කරනවා. 

ලැයිස්තුවේ අවසානයට නම් තිබෙන 60 දෙනෙක් පමණ ගෙවිය යුතුව තිබෙන්නේ රුපියල් ලක්ෂයකට වඩා අඩු මුදලක්. 180 දෙනෙක් පමණම ගෙවිය යුත්තේ ලක්ෂ 5කට වඩා අඩු මුදලක්. මේ අය අතර පසුගිය මාස දහය ඇතුළත තමන්ගේ ණය වාරික ගෙවා අවසන් කළ අය ඉන්න පුළුවන්. ඒ නැතත්, ගිවිසුම අනුව වාරික වශයෙන් තමන් ගෙවිය යුතු මුදල් ගෙවමින් සිටින අයෙක් බැඳුම්කරයේ කොන්දේසි අනුව මුදල් ගෙවීම පැහැර හැර තිබෙන අයෙක් සේ සලකන්න බැහැ.

ජාතික පුවත්පතක පිටුවක දැන්වීමක් සඳහා රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වැය වනවා කියා මම හිතනවා. ඒ අනුව පත්තර හතරක දැන්වීම් දැම්මොත් ලක්ෂ හයක්. එක පිටුවක නම් 120ක් පමණ තිබෙන නිසා එක නමක් පළ කරන්න වියදම රුපියල් පන්දාහක් පමණ වෙනවා. ඊටත් අඩු මුදලක් ගෙවිය යුතු අයත් මේ ලැයිස්තුවේ ඉන්නවා.

බැඳුම්කරයක් අත්සන් කර රටින් පිටවී එහි කොන්දේසි අනුව ගෙවිය යුතු මුදල නොගෙවා සිටීම ඉතා පැහැදිලිවම වරදක්. ඒ වරද කරන්න ඉඩ හැරීමෙන් වෙන්නේ තවත් අය ඒ වරදට පෙළඹවීමක්. නමුත්, බැඳුම්කරයේ කොන්දේසි අනුවම හෝ පසුව ඇති කරගත් එකඟතාවයක් මත වාරික වශයෙන් මුදල් ගෙවමින් සිටින අයගේ නම් මේ ලැයිස්තුවේ තිබෙනවානම් එය අදාළ පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට හානි කිරීමක්. ඒ වගේම මුදල් අය කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය නිසිපරිදි අනුගමනය නොකර පුවත්පත් දැන්වීම් දැමීම තවත් මහජන මුදල් නාස්තියක් පමණයි.

ලංකාවට ආපහු ආපු නැති එක ගැන මේ අයට පොඩි හරි අවුලක් තිබුණනම් ලංකාවේ වෙන මේ වගේ විහිළු වැඩ දැක්කම හිත හදාගන්න පහසුවක් වෙයි.

6 comments:

  1. ආණ්ඩුව මොලේ ඇති වැඩක් කලාමයි මයෙ හිතේ, ඉකොනොමැට්ටා මහජන මුදලින් ඉගෙන ගෙන විදේශ ගතවන්නන් කාන්ඩ 4 ක් සේ සලකන්න.

    1) මහජන මුදලින් ඉගෙන ගෙන විදෙස් ගතවී මුදල් උපයා එම ඉපයීම් ලන්කාවට එවන අය

    2) මහජන මුදලින් ඉගෙන ගෙන තම මුදලින් පෞද්ගලික විද්යාලවලින් ඉගෙන ගෙන විදෙස් ගතවී මුදල් උපයා එම සියලු ඉපයීම් ලන්කාවට එවන් අය

    3) මහජන මුදලින් ඉගෙන ගෙන පවුල් පිටින් විදෙස් ගතවී මුදල් උපයා සතයක්වත් ලන්කාවට නො එවන අය.

    4) මහජන මුදලින් ඉගෙනගෙන නයත් අරගෙන විදෙස් ගතවී මුදල් උපයා එම ඉපයීම් ලන්කාවට එවීමක් හෝ නය ගෙවීමක් නොකරන අය

    මේ අය පිලිබද අපේ ඉකොනොමැට්ටාගේ තක්සේරුව??

    මේ වගේම සාමාන්‍ය උපාධි නොමිලේ කරලා රට පැන්න අය, මේ රටේ ජනතාවට, තමන්ගේ දෙමාපියන්ට, තමන් උපාධි අවස්ථාව නැති කල කෙනා...etc ආදිය වෙනුවෙන් ද වන්දි ගෙවිය යුතුයි. අවස්ථාවාදීන්.... ලංකාවේ ඉගෙනුම ලත් ඉංජිනේරුවන් දැන් වෙනත් රටවල ජීවත් වෙනවා.

    ඉතාමත් සුළු පිරිසක් මැදපෙරදිග සේවයෙන් ලංකාවට විදේශ මුදලක් එවනවා.

    ලංකාවේ තිබුණු ගෙවලුත් විකුණලා ඒ සල්ලිවලින් ඔස්ට්‍රලියාවේ ගෙවල් ගත්ත අයත් ඉන්නවා.

    ඒ සියලු අයගෙන් මහජන මුදලින් නොමිලේ ලබාගත් උපාධිය වෙනුවෙන් රජයට මුදලක් අයකර ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. මේවට කියන්නේ ගොන් පාර්ට් කියල... මිනිස්සු නොමග යවන දේවල් ... දැන් බලන්න ඉකෝ උනත් මේ වගේ වැඩක් නැති දෙයකට පොස්ට් එකක් දැම්ම..
      1) ආණ්ඩුව දිනුම්.. ඉකෝ මේකට අහුඋන..
      2) Comment එක දාන මමත් ආණ්ඩුව ගැටේට අහුඋන..

      මිට වඩා දේවල් තියනවා හොයන්න
      1) බැදුම්කර හොරකමේ සල්ලි නැවත ගන්න එක
      2) 1111111 හදුරුම්පත් අංකයකින් සිරිලිය ගිණුමේ සල්ලි නැවත ගන්න එක
      3) ඇමති වරු අදායම් නොපෙන්ව LKR 5000 පමණක් දඩ මුදලක් ගෙවන එක
      4) කොමිස් සුගීව & මලික් ලොක්ක
      5) ඓතිකරුවක් නැති ගම්පහ මාලිගාව
      6) කුඩු කන්ටනෛ ගෙන්න කවුරුද කියල
      7) ජෝනිගේ සතොසේ හොරකම්
      8) බදුරුදීන් කැලේ හොරකම් & ජාවාරම්..
      9) Dubai මැරියට් හෝටලය කාගේද?
      10) CSN , කාල්ටන් මොන්ටිසෝරි සල්ලි කාගේද

      many more...............

      Delete
    2. හද පිරි මේවුවා එක, උබේ comment එකට බං !

      මේ නම් ටික එලි කරපු එක මරු .....

      මෙහෙත් (ඔසී) ඉන්නවා හෙන සෙට් එකක් අලි වන්සෙන් ඉන්න ඔසී කියලා, දැන් බලනකොට ණයට ඉදලා තියෙන්නේ

      තමන් ඉගෙන ගත්ත රටට බනින්න කලින් ණය ගෙවලා හිටපල්ලා ..... හිහි

      Delete
  2. ඉකෝ
    මම හිතුවා ඔයා මීට වඩා මේ ගැන විග්‍රහයක් කරාවී කියලා

    කො නෑනේ

    ReplyDelete
  3. ඉකොනො,

    අපි දකිනවා ෆේස් බුක්, blogs, vlog, web සයිට් වල මේකේ පවා ලොකුවට දානවා ලංකාව මහා ජරා රටක් එකේ ඉන්න මිනිස්සුත් මහා ජරා.....

    දැන් ඉන්න රට මාර ශෝක් මෙහෙ මිනිස්සු මාරයි ... ලංකාව අතෑරලා වෙන රටකට යන්න ... ආයෙත් ඉපදෙන්නවත් එපා ඔය රටේ ...
    ඔන්න ඔහොම විලාප දකිනවා නේද?

    ඒකෙ අත්තක් නැත්තේම නෑ, නමුත් මේ අතර මේ වගේ රටේ සල්ලි වලින් ගිහින් තව කෙනෙක්ගේ අවස්ථාවකුත් නැති කරන් ඉන්න අය නැද්ද?
    ඔවුන් අනුන්ට බැන්නට රටට බැන්නට කොතරම් අපරාදයක් කරලද?

    මේවා කියන කොට ඉකොනොමැට්ටාට නම් තරහ යාවි නමුත් මේක නෙමේද ඇත්ත?

    ReplyDelete
  4. ඉකොනො ,

    ඔබේ විග්‍රහය කදිමයි . සැසදීම හොදයි . තවත් දැනෙන කරුණු එකතු කලා නම් හොදයි . මේක නීතිමය ක්‍රියාමාර්ග නොගෙන ප්‍රසිද්ධ කරන එක වැරදියි . පෞද්ගලික තොරතුරු අපහරණය යටතේ මේ අය නඩු දැම්මොත් ආණ්ඩුවට මේ වගේ කිහිප ගුණයක් මුදල් ගෙවන්න වේවි . හැම දේශපාලන යාන්ත්‍රණයක ම ඉන්න පිරිස් වෙනුවෙන් කරන වියදම් ඔය විදිහට පත්තර වල දාන එක වෙනුවට මේ කරල තියෙන්නෙ විහිළුවක් . ඒ වගේම තවත් මුදල් නාස්තියක් .

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: