වෙබ් ලිපිනය:

Friday, October 26, 2018

අගමැති හටන


ජනාධිපති සිරිසේන විසින් මහින්ද රාජපක්ෂව ලංකාවේ අගමැති ලෙස පත් කරලා තියෙනවා. ඒ අතර, රනිල් වික්‍රමසිංහ තමන්  තවදුරටත් අගමැති ලෙස කටයුතු කරන බව කියනවා. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමන් තවමත් ලංකාවේ අගමැති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රනිල් වික්‍රමසිංහ කියන කතාව හරි. එහි 46(2) අනුව්‍යවස්ථාවේ තියෙන්නේ මේ විදිහටයි.

"අග්‍රාමාත්‍යවරයා-

(අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත්, හෝ 
(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුවහොත්, හෝ

මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේ ය."

මේ කරුණු කිසිවක් මේ අවස්ථාවේ සිදු වෙලා නැහැ. ජනාධිපති සිරිසේනට අවශ්‍යනම් මහින්ද රාජපක්ෂව අගමැති ලෙස පත් කිරීමේ හැකියාව තිබෙන බවට වූ මතයක් පහුගිය කාලයේ ඇතැම් අය විසින් ප්‍රචලිත කළා. පුළුවන් තමයි. ඒකනේ ඔය කරල තියෙන්නේ. නමුත්, ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එහෙම කරන්න පුළුවන්ද කියන එකයි.

පුළුවන් කියා කියන අය එසේ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) අනුව්‍යවස්ථාව අනුවයි. එහි තිබෙන්නේ මේ විදිහටයි.

"ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේතුවේ විශ්වාසය උපරිමයෙන් ඇති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය."

මේ අනුව, වැදගත් වෙන්නේ ජනාධිපතිවරයාගේ මතයයි. පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවාද වැනි කරුණු මෙහිදී සෘජුව වැදගත් වෙන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සේ දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහව පත් කළේ ඔය වගන්තියේ විධිවිධාන අනුවයි.

මේ විදිහට අලුත් අගමැතිවරයෙක් පත් කිරීමෙන් පසුව අගමැතිවරයාගේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩලයක් අලුතෙන් පත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ 43(1) හා 43(2) අනුව්‍යවස්ථා වල තිබෙනවා. ඒ වගේම, අගමැතිවරයාගේ උපදෙස් අනුව මේ ඇමතිවරුන් වෙනස් කළ හැකි වුවත් ඒ හේතුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට බලපෑමක් නොවන බව 43(3) අනුව්‍යවස්ථාවේ කියැවෙනවා.

මේ අනුව, අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම තිබෙන තාක් කල් අගමැති වන්නේ රනිල් වික්‍රමසිංහයි. ඔහුගේ නිර්දේශ අනුව ජනාධිපති වරයා විසින් ඉවත් කළොත්, ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වුවහොත් මිස අගමැති වෙනස් නොවන තාක් කල් ඇමති වරයෙකුගේ ධුරයක් හෝ වෙනස් වෙන්නේ නැහැ. අමාත්‍ය මණ්ඩලය පවතින තුරු ඔවුන් ඇමතිවරු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) අනුව්‍යවස්ථාව අනුව අලුත් අගමැතිවරයෙක් පත් කරන්නනම් එම ධුරය හිස් වී තිබිය යුතු බව පැහැදිලි කරුණක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ එවැන්නක් සිදු වී නැති බැවින් තමන් තවමත් අගමැති බවයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සේ දිවුරුම් දීමෙන් පසුව ඒ වන විට අගමැති සේ කටයුතු කළ දි.මු. ජයරත්නව ඉවත් කරලා රනිල් වික්‍රමසිංහව අගමැති ලෙස පත් කළා. දැන් කරලා තිබෙන පත්වීම නීත්‍යානුකූල බව පෙන්වන්න උත්සාහ කරන අය ඉහත සිද්ධිය පූර්වාදර්ශයක් ලෙස පෙන්වනවා. නමුත්, එදා තත්ත්වය හා අද තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. ඒ වන විට දහනවවන සංශෝධනය සම්මත වෙලා තිබුණේ නැහැ.

දහනවවන සංශෝධනය සම්මත වන්නට පෙර, ධුර කාලය අවසන් වෙන්නට පෙර අගමැතිවරයාගේ තනතුර නැති විය හැකි ඉහත 46(2) අනුව්‍යවස්ථාවේ තිබෙන ක්‍රම දෙකට අමතරව තවත් ක්‍රමයක් තිබුණා. ඒ ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන සහිත ලිපියක් මගින් අගමැතිවරයාව ධුරයෙන් ඉවත් කිරීම. එය ඉතා පහසුවෙන් කළ හැකිව තිබුණු දෙයක්. නමුත්, ඒ ප්‍රතිපාදනය මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. ඒ නිසා, මේ වෙලාවේ ජනාධිපති සිරිසේන විසින් කර තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධී කටයුත්තක්.

ජනාධිපති සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත යවා තිබෙන ලිපියේ වගේම අදාළ ගැසට් නිවේදනයේත් "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාව අනුව" තමන් ඔහුව පත් කළ බව කියන නමුත් "මා වෙත පැවරී ඇති බලතල අනුව" කියා කියනවා මිසක් ඉවත් කරන්න බලතල ලැබුණේ කොහොමද කියා කියන්නේ නැහැ.

දැනට පවතින ව්‍යවස්ථාවට අනුකූලව රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරන්න තිබුණු පහසුම ක්‍රමය විශ්වාස භංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය කිරීමයි. එවිට, අමාත්‍ය මණ්ඩලය වගේම අගමැතිවරයාත් අලුතින් පත් කිරීමේ බලතල ජනාධිපතිවරයාට හිමිවෙනවා. ඒ සඳහා උත්සාහයක් දැරුවත් එය සාර්ථක වුනේ නැහැනේ. මේ විදිහට ව්‍යවස්ථාවට පිටින් ගිහින් අගමැති ඉවත් කිරීමේ අදහස එන්න ඇත්තේ ඉන් පසුව වෙන්න ඇති.

මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතර බලය වුවත් නැති වෙන්න පුළුවන්. ඔහුට බහුතර බලය තිබෙනවානම් අලුතෙන් පත්වන ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේදී පරාජය කළ හැකියි. නමුත්, එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ ඔහු අගමැති ධුරය හැර ගියොත්. එසේ ධුරය හැර යනවා කියන්නේ ඔහු ජනාධිපතිගේ ක්‍රියාවේ නීතිමය වලංගු භාවය පිළිගැනීමක්. රනිල් එහෙම කරයිද?

රනිල් නීතිය මත ඕනෑවට වඩා විශ්වාසය තියාගෙන ඉඳලා තිබෙන බව පේනවා. ලංකාව වගේ රටක මිනිස්සු හිතන විදිහ ගොඩක් වෙලාවට නීතියට වඩා බලවත්. ඒ තත්ත්වය වෙනස් කරන්න රනිල්ගේ කාලයේදී යම් උත්සාහයක් දැරුවත් ලොකු වෙනසක් වෙලාද කියන එක සැක සහිතයි.

ඒ නිසා, මේ වෙලාවේ ඇත්තටම ලංකාවේ සෑහෙන අවුලක් තියෙනවා. ඒ අවුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම විසඳෙයි කියා හිතන්න අමාරුයි. පොතේ නීති තිබුණත් සාමාන්‍ය කරුණකදී ඒ නීති ලංකාවේ බොහෝවිට ක්‍රියාත්මක වුනේ පොතේ හැටියටම නෙමෙයි. දැන් මේ තත්ත්වය සාමාන්‍ය කරුණු නොවන ලොකු කරුණු දක්වාම දුර දිග ගිහින්.

මිනිස්සු ඉන්නේ මහින්ද එක්ක කියා පෙනෙන විට රනිල් පහුබහින්න ඉඩතිබෙනවා. රනිල් අගමැති ධුරය අතහැර ගියොත් එජාප මන්ත්‍රීවරුන් අනිත් පැත්තට පනින එක වලක්වන්න කොහොමත් බැරි වෙනවා. ඒ නැතත්, රනිල් ඉදිරියේ තියෙන්නේ සෑහෙන අවදානමක්.

රනිල් පරාජය බාර ගනීද? තමන් අවුරුදු තුනක් තිස්සේ රටේ අධිකරණ පද්ධතිය කොයි තරම් ශක්තිමත් කරලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න යයිද? මේ තත්ත්වයට වෙනත් රටවල් කවර ආකාරයෙන් ප්‍රතිචාර දක්වයිද? දැන් ටිකකට පෙර පළ කර තිබෙන ටයිම්ස් ඔෆ් ඉන්දියා ලිපියක් කියෙවුවහම ලංකාවේ දේශපාලනයට ඉන්දියාව කොයි තරම් දුරට මැදිහත් වෙනවද කියන කරුණ පැහැදිලියි. වෙන්නේ මොනවාද කියලා බලා ඉන්න තමයි තියෙන්නේ.

10 comments:

  1. Well, people may feel like the new change is positive, but I believe in the grand scheme of things, this is a huge regressive move for the country.
    End of the day, it is people’s choice. If they are happy to party now and their offspring to pay for those , so be it.

    ReplyDelete
  2. "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේ ය."

    මහින්දගෙ පාර්ශවයෙන් කියන විධිහට ඔය කාරණය සම්පූර්ණයි නේද? ජාතික ආණුඩුව අවසන් වන මොහොතේදීම අමාත්‍ය මණඩලය අහෝසි වෙනවා නේද, මොකද 30කට වැඩි ඇමති මණ්ඩලයක් පවත්වා ගන්න පුළුවන් ජාතික ආණ්ඩුවක් පවතින අවස්ථාවක විතරයි කියලා 19වන සංශෝධනයෙන් දක්වලා තියනවා කියන තර්කය තමා ඔවුන් ගේන්නේ..

    ReplyDelete
    Replies
    1. ජාතික ආණ්ඩුවෙන් පක්ෂයක් ඉවත් වුනා කියා අමාත්‍ය මණ්ඩලය අහෝසි වෙන්නේ නැහැ. රනිල්ගේ තර්කය වන්නේ මුස්ලිම් කොංග්‍රසය ඉන්න නිසා තවමත් ජාතික ආණ්ඩුව තිබෙන බවයි. මම හිතන්නේ එය තර්කයක් ලෙස නිවැරදියි. නමුත්, මුස්ලිම් කොංග්‍රසයේ නමින් තේරී පත් වූ එක් මන්ත්‍රීවරයෙක් පමණයි ඉන්නේ. ජාතික ආණ්ඩුවක් නැති ලෙස සැලකුවත් අගමැති ධුරය හෝ අමාත්‍ය මණ්ඩලය අහෝසි වෙන්නේ නැහැ. අමාත්‍ය ධුර ගණන 30කට සීමා කරන්න වෙනවා පමණයි. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉවත් වූ විට කොහොමත් ඉන්නේ 30කට අඩු ගණනක්. ව්‍යවස්ථාව අනුව කළ යුත්තේ අගමැතිගේ උපදෙස් මත ජනාධිපති විසින් අදාළ ඇමතිවරුන්ගේ කාර්යභාරයන් ආණ්ඩුවේ ඉතිරිව ඉන්න වෙනත් අයට පැවරීමයි.

      Delete
    2. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මැති වරණයකින් පසු අගමැති වරයකු පත්කිරීම නම් අරඹන්නේ 42 (4) අනු-ව්‍යවස්ථාවෙන්. ඒ අනුව ජනාධිපති වරයාට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ලැබිය හැකි මන්ත්‍රීවරයා අගමැති ලෙස පත් කළ හැකියි. මෙහි වැදගත් වචන වන්නේ "තම මතය අනුව" හා "විශ්වාසය" යන්න. මෙහි කියැවෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ උපරිම ඡන්ද බලය ඇති අය අගමැති කළ යුතු ය කියා. ජනාධිපති තීරණය කරන්නේ තම මතය අනුව, එපමණක් නොව පත් කරන්නේ තම විශ්වාසය දිනාගත හැකි අයකු පමණයි.

      ජනාධිපති විසින් අගමැති පත් කිරීමෙන් පසු 43 (1) හා (2) අනුව අගමැතිගේ අදහස් විමසා උපදෙස් මත අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යවරුන් ද පත් කළ යුතුයි. මෙහි දී අපි තවත් අනු-වයස්ථාවක් දක්වමු. ඒ 43(3) යි. ඒ අනුව ජනාධිපතිට කවර අවස්ථාවක දී වුව ද අමාත්‍යවරුන්ගේ කාර්ය භාරයද, අමාත්‍ය මණ්ඩලයේ සංයුතියද වෙනස් කරන්න පුළුවන්, ඒ අගමැති විමසන්නේ නැතිව. ඊළඟට අපට වැදගත් වන්නේ 46(1) (අ) හා (ආ), ඒ අනුව ඇමතිවරුන් සංඛ්‍යාව 30 නොඉක්ම විය යුතු අතර අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 නොඉක්ම විය යුතුයි. එහෙත් 46 (4) (1) අනුව (ඊනියා) ජාතික ආණ්ඩුවක් ඇති විට ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් ආදීන්ගේ සංඛ්‍යාව පාර්ලිමේන්තුව තීරණය කළ යුතු ය.

      දැන් අපට ප්‍රශ්නය වන්නේ අගමැති වරයකු හා ඇමති මණ්ඩලයක් සිටින විට නව අගමැති වරයකු හා නව ඇමති මණඩලයක් පත් කරන්නේ කෙසේද යන්න, 'ජාතික ආණ්ඩුව'ක් තිබේද නැද්ද යන්න මෙහි දී ප්‍රශ්නයක් වන්නේ නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැති අස්කරන්නත් බැහැ, 19 පෙර අගමැති අස්කරන්න පුළුවන්කම තිබුණා, එබැවින් "පත් කළ තැනැත්තාට ඉවත් කළ හැකිය" යනුවෙන් ඇති අර්ථ දැක්වීම් ආඥා පනත අදාළ වන්නේ නැහැ. එමෙන්ම (ඊනියා) ජාතික ආණ්ඩුවක් තිබී ඉන් එක් පක්‍ෂයක් ඉවත් වුවත් අගමැති ඉවත් වන්නේ නැහැ. එක් පක්‍ෂයක් ඉවත් වුවොත් සිදුවන්නේ ඇමති නියෝජ්‍ය ඇමති ආදී සංඛ්‍යාවලට සීමා පැමිණවීම පමණයි. අගමැති පත් කෙරෙන්නේ 42(4) යටතේ. ඇමති වරුන් ආදීන් පත්කෙරෙන්නේ අගමැති පත් කිරීමෙන් පසු 43(1) හා (2) යටතේ. ඊනියා ජාතික ආණ්ඩුවක් අහෝසි වීමෙන් පසු ඉන්න අගමැතිගේ උපදෙස් මත ඇමතිවරුන් 30 දෙනකු ආදී වශයෙන් පත් කරන්න වෙනවා. ඒ කියන්නෙ රනිල්ගෙ උපදෙස් මත තිස්දෙනකුගෙන් යුත් නව ඇමති මණ්ඩලයක් පත් කිරීම, අද කෙරී ඇත්තේ එය නොවෙයි. දැන හෝ නොදැන හෝ වෙනත් දෙයක්. ඊනියා ජාතික ආණ්ඩුවෙන් අස්වීම යන්න වැඩකට නැති කොන්දේසියක්. කටයුතු සිදු වී ඇත්තේ ඒ කොන්දේසිය අනුව කටයුතු කිරීමෙන් යැයි කවුරුන් කීවත් එය වැරදියි. එසේ සිතා ගැනීමට වුවමනාවක් තිබෙනවා නම් එසේ කිරීමට හැකියි, ඒ වෙනුවට 43(3) යොදා ගෙන ඇමතිවරුන්ගේ කාර්ය හා සංයුතිය වෙනස් කිරීම, (43) (3)න් කියන්නේ අගමැතිගේ කාර්යද වෙනස් කරන්න පුළුවන්. 2015 ජනවාරි 09 දි මු ජයරත්න සිටිය දී රනිල් ද, 2018 ඔක්තෝම්බර් 26 රනිල් සිටිය දී මහින්ද පත්කරනු ලැබුවේ ද ඒ අනුවයි. දි මු ගේ කාලයේ දහනවයට පෙර ඒ අනුව්‍යවස්ථාව 44(3) වූවා. අංකය කුමක් වුවත් දෙකෙන් ම කෙරුණේ එකම කාර්යයක්. වත්මන් 43(3) යොදා ගැනීමේ දී පළමුව ඉන්න අගමැති වෙනුවට වෙනත් අගමැතිවරයකු පත් කර දෙවනුව ඒ නව අගමැතිගේ උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලය පත්කර ගත හැකියි. අද මෙහි පළමු පියවර ඉටු වී අවසන්. මහින්ද අගමැති ලෙස පත් කෙරිලා. දැන් ඇත්තේ දෙවැනි පියවර ඒ මහින්දගේ උපදෙස් මත නව ඇමති මණ්ඩලයක් පත් කිරීම. මෙය ඊනියා ජාතික ආණ්ඩුවක් නොවන බැවින් ඇමතිවරුන් සංඛ්‍යාව 30 නො-ඉක්මවිය යුතුයි.

      යම්තාක් නිසා මෙහි ව්‍යවස්ථා අවුලක් අර්බුදයක් නැහැ. කළ යුත්තේ 43(3) හා 42(4) යොදා ගැනීම පමණයි. ඒ අනුව්‍යවස්ථා හා 46 (2) හැරෙන්න වෙනත් ව්‍යවස්ථාවක් සලකා බලන්න අවශ්‍ය නැහැ. 46 (2)න් කියන්නේ අමාත්‍ය මණ්ඩලය පවත්නා තාක් 46 (2) හි (අ) හා (ආ) ට යටත්ව අගමැති ස්වකීය ධුරය දරන බව. එහෙත් 43(3) යොදා ගෙන ඒ තත්වය නොසලකා සිටිය හැකියි. 43 (3) අනුව රනිල් සිටිය දී මහින්ද අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නැහැ. 43(3) යටතේ මහින්ද අගමැති ලෙස පත් කළ විගස රනිල්ගේ අගමැති කම අහෝසි වෙනවා. රනිල් හැකි ඉක්මණින් අරලියගහ මැදුරෙන් පිටවිය යුතුයි.

      Delete
    3. //ඒ වෙනුවට 43(3) යොදා ගෙන ඇමතිවරුන්ගේ කාර්ය හා සංයුතිය වෙනස් කිරීම, (43) (3)න් කියන්නේ අගමැතිගේ කාර්යද වෙනස් කරන්න පුළුවන්.//
      මේ උපුටනයේ අදාළ හා වැරදි කොටස තමයි උඩින් තියෙන්නේ. පහතින් තියෙන්නේ 43(3) අනුව්‍යවස්ථාව.

      "ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමද කරනු ලැබිය හැක්කේය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේය."

      මේ අනුව ජනාධිපතිවරයාට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකි වුවත් ඒ හේතුව නිසා අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම නැති නොවන බව පැහැදිලිව කියා තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම තිබෙන තාක් අගමැතිවරයා සිය ධුරය දරන බව 46(2) අනුව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන්ව තිබෙනවා. පහත තිබෙන්නේ එයයි. මේ අනුව නීත්‍යානුකූල ආණ්ඩුවේ බලය බලහත්කාරයෙන් පැහැර ගැනීමේ උත්සාහයක් මිස මෙහි කිසිදු ව්‍යවස්ථා අවුලක් පෙනෙන්න නැහැ.

      "අග්‍රාමාත්‍යවරයා-

      (අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත්, හෝ
      (ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුවහොත්, හෝ

      මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේ ය."

      උඩ තර්කය ගෙන එන්නේ එහි "අමාත්‍ය මණ්ඩලය" කියන වචනයට අගමැතිවරයාත් අයත් කියන අදහසින්. 43(3) අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට අගමැතිවරයා විසින් දරන ඇමතිකමක් වෙනත් අයෙකුට පවරන්න හැකි බව පෙනුනත් අගමැතිකම වෙනත් අයෙකුට පැවරීමේ හැකියාවක් නැහැ.

      ව්‍යවස්ථාවේ වගේම පණත් වලත් එක් එක් අනුව්‍යවස්ථාව (ඡේදය) ඉදිරියේ එය අදාළ වන්නේ කුමන කරුණු අරභයාද කියන එක කෙටියෙන් සඳහන් වෙනවා. 42 අනුව්‍යවස්ථාව තිබෙන්නේ "අග්‍රාමාත්‍ය වරයා සහ අමාත්‍ය මණ්ඩලය" කියන කෙටි මාතෘකාව යටතේ. එයින් පැහැදිලි වෙනවා "අමාත්‍ය මණ්ඩලය" කියන වචනයට අගමැති වරයා සහ ජනාධිපතිවරයා ඇතුළත් නොවන බව. නමුත්, 43 අනුව්‍යවස්ථාව තිබෙන්නේ "අමාත්‍යවරයන් සහ ඔවුන් විෂය සහ කාර්ය" කියන කෙටි මාතෘකාව යටතේ. එයට අගමැතිවරයා ඇතුළත් නොවන බව ඉතාම පැහැදිලියි. ඒ නිසා, ඔය උඩ තර්කය පුහු තර්කයක්. ව්‍යවස්ථාවේ දිගින් දිගටම අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්, අමාත්‍ය මණ්ඩලයේ නොවන ඇමතිවරුන් හා අගමැතිවරයා ගැන වෙන වෙනමයි කතා කරන්නේ. ඇමති මණ්ඩලය 30කට සීමා කළ යුතු බව කියද්දීත් එසේ කියන්නේ ජනාධිපති හා අගමැති අත් හැර. ඒ නිසා, ඔය තර්කය කිසිම පදනමක් නැති එකක්. දිමුව ඉවත් කළේ එවකට තිබුණු බලතල අනුවයි.

      Delete
  3. ඉකොනොමැට්ටා,

    ඉකොනොමැට්ටාලාගේ එජාප ආණ්ඩුව රැක ගැනීම සදහා පැමිණි ජනතාව අමතමින් අරලිගහ මන්දියරයේ මංගල උත්සව ශාලාවේදී "ජනාධිපති සිරිසේන පර බල්ලෙක්, මෝඩයෙක්" බවත් ඔහුට විරුද්දව දෝෂාභිියෝගයක් ගෙන එන බවත් පවසන හිටපු ඇමති මංගල සමරවීර පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්‍ෂයට ඇති තෙක් බය වීමට උවමනාවක් නැති බවද සදහන් කරයි.

    අපි එදා ජනපතිතුමාගේ දේශපාලන බාවිතව ගැන පැහැදීමක් තිබුනේ නෑ, නමුත් ජනපතිතුමා පමාවී හෝ රටට දැඩි සේ හානි කරන එජාප ආණ්ඩුව එලවා දැමීමට කටයුතු කිරීම ගැන එතුමාට ප්‍රශංසා කරනවා, එතුමා මෙතුවක් කල් ගත්ත හොඳම තීරණය ඉකොනොමැට්ටලගේ නායක රනිල් වික්‍රමසිංහ නමැති විජාතික ගැත්තා බලයෙන් පහකරන්න ගත්තු තීරණය, රට විනාශ වන්න තිබුනේ තව පියවර කිහිපයක් පමණයි, අන්තිම මොහොතේ හරි රට බේරා ගැනීමට ගත්තු පියවර ප්‍රසංශනියයි.

    ReplyDelete
  4. ඉකොනො ලංකාවේ මේ දේශපාලන අවුලෙන් වැඩියෙන්ම මානසික ව්‍යාකූල බවකට පත් වෙලා ඉන්නෙ අර අපිත් එක්ක යහපාලනය ගේනවා කියල social මීඩියා වල උදේ හවා දොඩවල දොඩවල රනිල් ආවට පස්සේ ඔය එක එක රජයේ ආයතන වලට රිංගා ගත්ත/ මීඩියා ආයතන වලට රිංගා ගත්ත සෙට් එක. මුන් ඇත්තටම කළේ අපි වගේ මිනිස්සුන්ව පාවල දුන්න එක.

    ඉකොනො මා ඇතුළු බොහොමයක් මහින්දව එලවන්න සහය වුනේ අවංකවම යම් වෙනසක් මුන් කරාවි කියන බලාපොරොත්තුවෙන්, හැබැයි ඔය සෙට් එක නම් කළේ අපි වගේ මිනිස්සු අන්දලා උන්ගේ බඩගෝස්තරය වඩා ගත්ත එක. දැන් ඉතින් බඩේ ගින්දරෙන් හිටපියව්. ඒ ගැන මතක් වෙනකොට නම් මහින්දට අකමැති වුනත් යම් කාළකන්ණි සතුටක් දැනෙනව! ��

    ReplyDelete
    Replies
    1. Anonymous October 27, 2018 at 12:24 PM

      මටත් ඔය වගේ බඩගෝස්තර කාරයෝ එක්ක හැමදාම අවුල්, විශේෂයෙන්ම මානවවාදය, සමාජ සාධාරණය ගැන පට්ට ටෝක්ස් ඉෂූ කරල ඊට පස්සෙ අර උන්ගෙ එක්ක එකතු වෙච්ච මිනිස්සුන්ටම කොකා පෙන්වන ජාතියේ එවුන්ව.

      ජ.වි.පෙ. හැත්ත එපා වුනේම ඔය වගේ වැඩ නිසා. උන් ලොවෙත් නැති සමාජ සාධාරණයක්, සිහින ලෝකයක් මවල හැමදාම කළේ ලාංකික සමාජය තම පක්ෂයේ උන්නතිය වෙනුවෙන් අවුලෙන් අවුලට ඇදල දාපු එක.

      ඒ වගේම තමයි මේ බඩගෝස්තර සෙට් එකත්. දැන් ඉතින් බඩේ බිත්තර තම්බ තම්බා හිටපියව්, දැන් ඉතින් ඔය ගැලවුණු රෙදි ආයේ ඇඳගන්නවා නම් බොරු, ඒවා සුම්මා.

      Delete
  5. අපේ රටේ උගත් අර්ධ උගත් බොහෝ දෙනා කැමති නිතී රීති තුට්ටුවකටක් මායිම් නොකර තමන්ට කැමති කැමති විධියට ජීවත් විය හැකි රටක්. එතනදී democracy, good governance, equality වැඩක් නෑ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: