වෙබ් ලිපිනය:

Friday, October 5, 2018

බොරු නොකියන මිනිස්සු


ඊයේ මා සහභාගී වූ රැස්වීමකදී එක් අයෙක් යම් කරුණක් ගැන සඳහන් කරමින් කිවුවේ එය ට්‍රම්ප් බොරුවකටත් වඩා ලොකු බොරුවක් බවයි. බොරු කියන එක හොඳ දෙයක් කියා සැලකෙන්නේ නැති වුනත් බොරු කියන්නන් නැති තැනක් නැහැ.

බොරු කීම කියන කරුණ දිහා සදාචාරාත්මක හෝ ආගමික පදනමකින් බලන්නේ නැති වුනත් මම සාමාන්‍යයෙන් බොරු කියන්නේ නැහැ. ඒ බොරුවක් කියන එක ස්වභාවිකවම මට අමාරු දෙයක් නිසා.

මටනම් බොරුවක් කියන්න හිතන එකත් ආතතියක් ඇති කරන දෙයක්. ඒ වුනත්, කටේ තොලේ නොගැවී බොරු කියන අය ඕනෑ තරම් ඉන්නවා. සමහර අයටනම් ස්වභාවිකවම ඇත්ත කියන එක ගොඩක් අමාරු වැඩක්ද කියලා හිතෙන තරම්.

බොරු කියන්න අකැමැති වුනත් ඇත්ත කියන්න අමාරු අවස්ථා ඕනෑ තරම් එනවා. ඒ වෙලාවට බොරුවක් නොකියා ඇත්තත් නොකියා බේරෙන්න කුමක් හෝ උපක්‍රමයක් යොදන්න වෙනවා. මේ ප්‍රශ්නයට මුහුණ දෙන විවිධ අය භාවිතා කරන උපක්‍රම සමහර විට සමාන ඇති.

"මං බොරු කියන්නේ නෑ. ඒත් ඕනේ තරම් අවස්ථා උදාවෙනවා සත්‍යය හෙළි කරන්නත් බැරි. ඒ වෙලාවට තමා මං උපක්‍රමශීලි වෙන්නේ. මෙන්න ගුරුමුෂ්ටි නැතිවම මගේ ප්‍රයෝග. රිසි නම් අත්හදා බලන්න. කිසිදු ගෙවීමක් කළ යුතු නොවේ!

ඇත්ත බොරුවක් විදියට කීම: හිතමුකෝ කවුරු හරි මගෙන් අහනවා 'තමුසේ මාව අමාරුවේ දැම්මා නේද අරයාට මේක කියලා?'. ඒකට ඍජු උත්තරේ 'ඔව්' කියන එක එයාට කියන්න මට ඕනේ නැති නම් මං මෙහෙම කියාවි. "ආනේ, ඔයා කොහොමද ඕක ඔච්චර හොඳට දැනගත්තේ?" - "බලාගෙන ගියාම ඔයාට හොඳට පේන කියන්නත් පුළුවන්නේ. නරකයිද ඒක පටන් ගත්තොත්!" - "ඔයා එහෙම හිතනවා නම් මං මොකටද ආයේ නැහැයි කියන්නේ." - "ෂාහ්! මෙයා දැන් ෂර්ලොක් හෝම්ස්ටත් වැඩිය හපනෙක් වෙලානේ,රහස් හෙවිල්ලෙදී." වගේ ප්‍රකාශවලින් එකක්.

මඟ හැර යාම: "මහත්තයෝ, තරහ නැතිව ගෙනෙනවාද ලොකු කොළයක්, මං සේරම සහසුද්දෙන්ම ලියලා දෙන්න?"

අභියෝග කිරීම: "එක්කන් එන්නකෝ ඔය කතාව ඔයාට කිව්ව මනුස්සයාව. මං එයාගෙ ඉස්සරහම ඔයාට කියන්නම්." - " ඔයා මගේ අදහස් ප්‍රකාශ කිරීමේ මානව නිදහසත් උල්ලංඝනය කරන්නයි සුදෝ හදන්නේ!"  

ඔයාලා ඔතැනදී ඉතාම ප්‍රවේසම් විය යුතුයි වචන තෝරා ගැනීමේදීත්. ප්‍රතිවාදියාව ප්‍රකෝප නොවෙන විදියේ වදන්, ඔහුට ගරු කරන විදියටයි මං නම් කියන්නේ. ඔය මොනවා කිව්වත් ඉඟි-බිඟිවලින්, උච්චාරණයෙන් පොලිෂ් කරලා ගන්නත් ඕනේ. එව්වා වරදින්නෙ නැහැ, මට නම්."

උඩින් තිබෙන කොටස ලිවුවේ මම නෙමෙයි. නිදිගේ පංච තන්තරේ ලියන නිමල් දිසානායක. අපූරු ලේඛණ ශෛලියක් හා ලියන්න ඕනෑ තරම් අත්දැකීම් තිබෙන බව පෙනෙන බ්ලොග්කරුවෙක්. පහුගිය මාස හයට ලිපි 79ක් ලියල තියෙනවා.

ඉකොනොමැට්ටා ලියන්න පටන් ගත්තේ අවුරුදු තුනහමාරකට කලින්. ඒ කාලයේ බ්ලොග් ලියමින් සිටි ඇතැම් අය දැන් පෙනෙන්න නැහැ. තවත් ඇතැම් අය ලිපියක් පළ කරන්නේ අවාරෙට පොල් වැටෙනවා වගේ. ඒ වුනත්, ඒ අඩුව පිරිමැහෙන්න අලුත් බ්ලොග් ආරම්භ වීම සතුටට කරුණක්.

අහස් ගව්වෙන් එහා ලෝකය මාස තුන හතරකට කලින් පටන් අරන් තිබෙන තවත් බ්ලොග් එකක්. ලියන්නේ අනුරුද්ධ වැලිගමගේ. කැනඩාවේ ජීවත් වන ලාංකිකයෙක්. ඔහු ලියන දේවල් කියවන්න වගේම කැනඩාවේ සිට විකාශනය වන සවණ ගුවන් විදුලියට සවන් දෙන්නත් ඔහුගේ බ්ලොග් අඩවියෙන් ඉඩ සලසනවා.

නිමල් දිසානායක වගේ අයට බොරු කියන්න අමාරුයි කිවුවත් ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන එක පැහැදිලි නැති වෙලාවට අපි කියන්නේ ඇත්තක්ද බොරුවක්ද කියන එක අපිටවත් හරියටම නිර්ණය කරන්න අමාරුයි. ඒ වගේ වෙලාවට බොරු නොකියා ඉන්න උපක්‍රමයක් තියෙනවද?

අහස් ගව්වෙන් එහා ලෝකය හරහා සවන් දිය හැකි සවණ ගුවන් විදුලියේ ප්‍රචාරය වී තිබෙන කිසි දිනෙක බොරු නොකී මිනිහා කතාවට සවන් දුන්නොත් එහෙම උපක්‍රමයක් ගැනත් දැන ගන්න පුළුවන්.

සවණ ගුවන් විදුලියට මේ කතාව අරගෙන තිබෙන්නේ තවත් බ්ලොග් අඩවියකින්. එයනම් අලුත් එකක් නෙමෙයි. නිලූක කදුරුගමුව ලියන පරිවර්තන බ්ලොග් එක. අප්‍රිකානු ජනකතාවක් කියා කියන මේ කතාව අවුරුදු කිහිපයකට පෙර එහි පළ වී තිබෙන කතාවක්.

අපි ඉතිං බොරු කියන්නේ නෑනේ. ජීවිතේටම කියල තියෙන එකම බොරුව තමයි ඔය අන්තිමටම කිවුවේ!

(Image: https://www.parhlo.com/i-am-a-muslim-and-i-support-donald-trump-because/)

5 comments:

  1. අවාරෙට ොල් වැටෙන කතාවනම් කණට ගැහුවා වගේ වැදුනා....😀

    ReplyDelete
  2. //අපි ඉතිං බොරු කියන්නේ නෑනේ.//
    -----මම ආසම බොරුව..

    ඔන්න එහෙනම් අපිත් ආව උඹේ ලියුම් කියුම් කියෝලා කරලා යන්න...

    ආපහු එන්නම්..

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා,

    වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෝ 2012 වසරේදී කැරැල්ලක් ගැසූහ. වැලිකඩ බන්ධනාගාරයේ මත්කුඩු අල්ලන්නට පොලිස් විශේෂ කාර්ය බළකාය එහි යෑමට විරෝධය පා සිරකරුවෝ, එස්ටීඑෆ් නිලධාරීන්ට එරෙහිව කැරළි ගසන්නට වූහ. එයට පිළිතුරු ලෙස එස්ටීඑෆ් නිලධාරීන් විසින් කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කරන ලදී.

    අවසානයේ සිරමැදිරි කඩාගෙන එළියට ආ සිරකරුවෝ බන්ධනාගාර අවි ගබඩාව කඩා ගිනි අවි අතට ගෙන රජයේ ආරක්ෂක අංශ සමඟ යුද වදින්නට වූහ. පසුව මෙම කැරැල්ල මර්දනය කිරීමට යුද හමුදාව බන්ධනාගාරය වෙත ළඟා වූහ. එදා යුද හමුදා ඛණ්ඩ දෙකක් එහි පැමිණ තිබිණි. එස්ටීඑෆ් නිලධාරීන් ඉවත් කෙරිණි. සියල්ල යුද හමුදාවට භාර විය. අවසානයේ සිරකරුවන් යුද්ධ කළේ යුද හමුදාව සමඟය.

    මේ අනුව අවසානයේ සියල්ල නිමා වූයේ සිරකරුවන් විසිහත් දෙනකුට මරණය ළඟා කර දෙමිනි. යුද්ධයකදී මරණය සිල්ලරය, එහි කතා දෙකක් නැත. එහිදීත් මිය ගොස් තිබුණේ සමාජයට සදාකාලික පිළිලයන් වූ දරුණු අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවෝය. වැලිකඩ කැරැල්ලේදී එදා සිදු වූ කතාව සරලව කිවහොත් එසේය. මෙකී සිද්ධිය අරබයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව අත්අඩංගුවට ගෙන තිබේ.

    රංගජීව වැලිකඩ සිද්ධිය හමුවේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කුමන පදනමක් යටතේද? සියල්ල සිදු වෙමින් තිබෙන්නේ එදා වැලිකඩ කැරැල්ල අවස්ථාවේදී සිරගතව සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් කිහිපදෙනකුගේ සාක්ෂි පදනම් කරගෙනය.

    ලාංකික සමස්ත කුඩු ජාවාරම්කාරයන්ට රංගජීව යනු විෂබීජයකි. ඔවුන් එදා බන්ධනාගාරගතව සිටියේ කුඩු ජාවාරම නිසාය. ඒ ඔහුගෙන් කිසිවිටකත් ගැලවීමක් නැති නිසාය. එකී කුඩු ජාලයට සම්බන්ධ වූවන් කිහිප දෙනකු අද කියන්නේ එදා වැලිකඩ කැරැල්ල අවස්ථාවේ පොලිස් පරීක්ෂක රංගජීව පැමිණ සිරකරුවන් තෝර තෝරා මරා දැමූ බවය.

    වැලිකඩ කැරැල්ල මර්දනය කළේ යුද හමුදාව, රංගජීව වැඩ කරන්නේ පොලිසියේ, එසේ නම් රංගජීවට යුද හමුදාව අතරට කඩා වැදී මෙවැන්නක් කිරීමට හැකිවේද? ප‍්‍රශ්නය එසේ තිබියදී, රංගජීව අත්අඩංගුවට ගත් පසු ඔහුට ලක්වූ ඉරණම කෙබඳු වනු ඇද්ද?

    ලාංකික කුඩු ජාවාරමට එරෙහිව ඔහු සිදු කළ වැටලීම් අනුව දැනට මහාධිකරණ හමුවේ පවරා ඇති 200 ක් පමණ වන නඩු අරාජික විය හැකිය. ඉන් වාසි සැලසෙන්නේ කුඩු ජාවාරමුන්ටය. ඒ අතරේ මේ රටට කිලෝ ගණනින් කුඩු පොම්ප කළ ප‍්‍රධාන පෙළේ ජාවාරම්මු ද සිටිති. කුඩු ජාවාරම්කරුවෝ එක්ව රංගජීවව මරන්නට හැදුවේ පිළියන්දලදීය. එය වැළකී ගියේ, රංගජීව බරපතළ තුවාල ලබා රෝහල් ගතවීමෙනි. එසේ තර්ජන මැද සිටින රංගජීව මාස පහක් හිර බත් කා දැන් හෝ ඇප ලබා සිටීම යම් තරමේ සතුට දනවන කාරණයකි.

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා,

    බොරු කියන්න අකැමැති වුනත් ඇත්ත කියන්න අමාරු අවස්ථා ඕනෑ තරම් එනවා, ඇමෙරිකාවේ ප්‍රධානතම බුද්ධි අංශය වන CIA එක ගැනත් කියවෙන කටකතා බොහොම යි.

    නමුත් කලකට පසු ව සැබෑවක් බවට තහවුරු වූ CIA හි රහසිගත ව්‍යාපෘති ගණනාවක් ම ගැන අහන්න ලැබෙනවා. ඒ අතරිනුත් සැබෑ විද්‍යාත්මක පදනමකින් තොර වගේ ම මානුෂීය බව ගැන බරපතළ ගැටලු ඇති කළ ව්‍යාපෘතිත් තිබෙනවා. එයින් ප්‍රධාන ම එකක් තමයි MK Ultra ව්‍යාපෘතිය.

    මේ ගැන හෙළිදරව් වන්න පෙරම CIA ආයතනය එයට අදාළ වාර්තා සහ ලිපි ගොනු සියල්ල ම වගේ විනාශ කර දමා තිබුණු නිසා ඒ ගැන පැහැදිලි තොරතුරු හොයා ගන්න පහසු නැහැ, නමුත් අදාළ ව්‍යාපෘතියට දායක වුණු පිරිස ලබාදුන් දිවුරුම් ප්‍රකාශ සහ සාක්ෂ්‍ය අනුව මේ රහසිගත ව්‍යාපෘතිය ගැන තොරතුරු බොහොමයක් හෙළි කරගන්නට හැකි වී තිබෙනවා.

    CIA ආයතනය MK Ultra ව්‍යාපෘතිය යටතේ සිදු කළ පර්යේෂණ සියල්ල අතිශයින්ම රහසිගතව සිදු වුණේ. ඇමෙරිකාව සහ කැනඩාව තුළ පැවති විශ්ව විද්‍යාල, රෝහල්, බන්ධනාගාර යොදා 1953 සිට 1964 දක්වා කාලයේ තමයි මේ පර්යේෂණ බහුතරයක් සිදු වී තිබුණේ.

    CIA ආයතනයහි වැඩි අවධානයට ලක් වුණු ක්‍රමයක් වුණේ “lysergic acid diethylamide” හෙවත් LSD කියන රසායනිකය ශරීර ගත කිරීම ගැන යි. පොදුවේ Acid යන නමින් හැඳින්වුණු, අතිශයින්ම ප්‍රබල ලෙස මනස විකාර රූපී කරන්න හැකියාවක් තිබුණු මේ රසායනිකය භාවිතයෙන් කෙනෙකුගේ මනස අවශ්‍ය ලෙස හැඩගැස්විය හැකි බවට CIA හි ප්‍රධාන රසායනික හා විෂ පිළිබඳ විශේෂඥයා වූ සිඩ්නි ගොට්ලීබ් විශ්වාස කළා.ඒ අනුව LSD ලබාදීම ගැන පර්යේෂණවලට මුදල් ලබාදෙමින් විවිධ විශ්ව විද්‍යාලවල ඒවා සිදු කරවන්න CIA එක කටයුතු කළා. කොහොම නමුත් ඒ සඳහා යොදා ගැනුණේ සත්‍යය සඟවමින් නිර්මාණය කළ විද්‍යාත්මක අරමුදල්. මේ පර්යේෂණ CIA වෙනුවෙන් සිදුවන බවට අදාළ විශ්ව විද්‍යාලවත්, ඒවාට ලක් වූ රෝගීන්වත් කිසිසේත් දැන සිටියේ නැහැ. කෙසේ නමුත් විශ්ව විද්‍යාලවල පර්යේෂණවලට බොහෝ විට යොදා ගැනුණේ කැමැත්තෙන් ම මේ සඳහා දායක වූ විශ්ව විද්‍යාල සිසුන්.

    ReplyDelete
    Replies
    1. මේ වෙනුවෙන් කිසිසේත් සදාචාරාත්මක නොවන ක්‍රමවේදත් යොදා ගැනුණා. තමන් වෙත එන පුද්ගලයන් විශේෂයෙන් සකසන ලද හෝටල් කාමර වෙත ගෙන යන්නටත්, ඔවුන් වෙත LSD මිශ්‍ර මත්පැන් පානයට ලබා දෙන්නටත් CIA ආයතනය කුලී ගණිකාවන් යොදා ගනු ලැබුවා. මෙම කාමරවල සැඟ වූ පටිගත කිරීමේ උපාංග සහ එකපසක සිට විනිවිද දැකිය හැකි කන්නාඩි හරහා ඔවුන්ගේ හැසිරීම් වෙනස් වීම අධ්‍යයනය කෙරුණා, බන්ධනාගාර රැඳවියන් යොදාගෙන වද දීම පිළිබඳ පරීක්ෂණ කර තිබෙනවා.

      මීට අමතර ව LSD හොර රහසේ එකිනෙකාට ලබාදෙන්නට CIA සේවකයන් ම පොළඹවා ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කළ බවට පවා සාක්ෂ්‍ය තිබෙනවා. රෝහල්වලට මානසික ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාරවල මුවාවෙන් ඔවුන්ට LSD ලබාදුන් බවත්, බන්ධනාගාර රැඳවියන් යොදාගෙන පර්යේෂණ සිදු කළ බවත් කියවෙනවා. මීට අමතර ව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් තවත් මත්ද්‍රව්‍ය ලබාදෙමින් LSD පර්යේෂණවලට කැමැත්තෙන් ම දායක වන්නට පොළඹවාගෙන තිබෙනවා, LSDවලට අමතර ව MDMA, salvia, psilocybin වැනි තවත් මනස විකාර කරන රසායනික ලබාදෙමින් පර්යේෂණ සිදුකර තිබෙනවා.

      CIA හි වෛද්‍යවරුන් මානසික රෝග නිසා රෝහල්ගත වුණු රෝගීන් හට විදුලි සැර වද්දවා ස්නායු දුර්වල කරවීම, CIA හි වෛද්‍යවරුන් යොදවාගෙන මතකය විකෘති කරන විදුලි ප්‍රතිකාර ලබාදීමත් සිදු වුණා. විවිධ නිද්‍රාශීලී බෙහෙත් ලබා දී සති තුනක් පමණ එක දිගට නිදාගන්නට සලස්වා අදාළ කාලය පුරාවට ම සිරුරේ ස්නායුවල පණිවිඩ හුවමාරුවට බාධා වන ලෙස ප්‍රබල විදුලි සැර ලබාදීම් සිදුකර තිබෙනවා. මේ ක්‍රියාවලියෙන් ස්නායු අඩපණ වන අතරේ ම පටිගත කළ විවිධ පණිවිඩ දිගට ම ඇසෙන්නට සලස්වනු ලැබුවා. මෙයින් ඔවුන් උත්සාහ ගත්තේ කෙනෙකු ගොඩනගා ගත් ස්වයංපාලනය සම්පූර්ණයෙන් ම අක්‍රීය කර දමා, කියන දේ කරන පුද්ගලයෙක් කළ හැකි ද කියා බලන්නයි. මෙය සාර්ථක වූ බව කියවෙනවා.

      මේ ප්‍රතිකාරයන්ට මුහුණ දුන්නු බොහෝ දෙනෙකුට එයින් පසු ව විවිධ පුද්ගලයන් පැමිණ ප්‍රශ්න කරන විට තමන් ඒවාට පිළිතුරු දීම පාලනය කරගත නොහැකි වූ බව පවසා තිබෙනවා. ඔවුන් කියා සිටින්නේ තමන් සම්පූර්ණයෙන්ම පිටස්තරයන්ගේ පාලනය යටතේ සිටින බවක් හැඟුණා කියලයි.

      ඍජුව ම නීතියට සහ සදාචාරයට පටහැනි නිසාත්, එය පැහැදිලි විද්‍යාත්මක පදනමක් ඇති ව්‍යාපෘතියක් නොවුණු නිසාත් 1987 දී මේ ව්‍යාපෘතිය සීමා කරන්නට CIA ආයතනය කටයුතු කළා. 1993 දී තව දුරටත් ව්‍යාපෘතිය සීමා කරන්නටත්, ඉන්පසුව 1997 නිල වශයෙන් නවතා දමන්නත් සිදු වී තිබෙනවා. ඉන්පසු ව අතිශය රහසිගතභාවය නිසා MK Ultra ව්‍යාපෘතියට අදාළ සියලුම ලිපි ලේඛන සහ වාර්තා විනාශ කරන්නටත් එකල CIA අධ්‍යක්ෂකවරයා නියෝග කළා. ඇමෙරිකානු කොන්ග්‍රසයේ චර්ච් කමිටුවේ සහ නව ජනාධිපති කමිටුවේ පර්යේෂණවලින් 1999 තමයි මේ ගැන මහජනතාවට හෙළිදරව් වුණේ. MK Ultra පිළිබඳ ව විනාශ නොවී තිබුණු ලිපි ලේඛන ප්‍රමාණය ඉතා ම සීමිත නිසා බොහෝ දුරට ඒවාට සහභාගී වූ සහ මුහුණ දුන් අයගේ වාර්තා යොදාගන්නට ඔවුන්ට සිදු වුණා.

      ඉන් පස්සේ 1999 දීත් ඊට සම්බන්ධිත වාර්තා ගණනාවක් මහජනතාවට නිකුත් කෙරුණා. මේ ගැන වාර්තා වැඩසටහන් සහ පුවත්පත් වාර්තා බොහොමයකින් නොදැන CIA පර්යේෂණවලට ලක් වූ පුද්ගලයන් ගැන තොරතුරු හෙළිදරව් වී තිබෙනවා. ඔවුන්ගෙන් ඇතැමුන් නඩු මාර්ගයෙන් වන්දි ලබාගන්න පවා ක්‍රියා කළා. කොහොම වුණත් MK Ultra ව්‍යාපෘතිය වෙනුවෙන් සිදු කළ අමානුෂික ක්‍රියාකාරකම් ගණනාවක් (බෝම්බ ගෙන ගොස් පුපුරවාලීමට පුහුණු කළ බව කියවෙන දැරියන්) තවම හෙළිදරව් වී නැති බවයි කියවෙන්නේ.

      එයට අදාළ තවත් වාර්තා මහජනයාට නිකුත්කරන ලෙස අදටත් ඉල්ලීම් ඉදිරිපත් කෙරෙනවා. ඒ වගේ කතා ඉකොනොමැට්ටා ලියල තියෙනවාද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: