වෙබ් ලිපිනය:

Wednesday, October 17, 2018

ගැලවීමේ මාර්ගය සේවා ආර්ථිකයයි!

ලංකාව කියන්නේ තව දුරටත් කෘෂි කාර්මික හෝ කාර්මික රටක් නෙමෙයි. පසුගිය 2017 වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 57%ක්ම සේවාවන්. වසරක් තුළ ආර්ථිකය ප්‍රසාරණය වීමේදී සේවා අංශයේ දායකත්වය ඊටත් වඩා වැඩියි. ඒ කියන්නේ මේ 57% ප්‍රතිශතය ක්‍රමයෙන් වැඩි වෙමිනුයි තියෙන්නේ.

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය ආදිය වෙනුවෙන් කරන පොදු වියදම් හරහා ලංකාව මානව ප්‍රාග්ධනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. ඒ අතරම, රටේ ඉතුරුම් අනුපාතය ආයෝජන අනුපාතයට වඩා අඩු නිසා, විදේශ ණය නැත්නම්, ප්‍රාග්ධන සංචිත ප්‍රසාරණය වීමක් සිදු නොවන තරම්. 

කෘෂිකාර්මික හා කාර්මික අංශ වලට සාපේක්ෂව සේවා නිෂ්පාදන සඳහා වැඩිපුර අවශ්‍ය වෙන්නේ මානව ප්‍රාග්ධනයයි. ඒ නිසා, මානව ප්‍රාග්ධනය වේගයෙන් වර්ධනය වන, එහෙත් භෞතික ප්‍රාග්ධනය එසේ වර්ධනය නොවන ලංකාව වගේ රටක කාර්මික නිෂ්පාදන වර්ධනය කරනවාට වඩා සේවා නිෂ්පාදන වර්ධනය කිරීම පහසුයි. ඇත්තටම ස්වභාවිකව වෙන්නෙත්, විය යුත්තේත් ඒකම තමයි. 

බැටින් ලයින් එක ශක්තිමත්නම් පුළුවන් තරම් ස්කෝර් කරන්න ඕනෑ. බෝලිං ලයින් එක හොඳනම් විකට් ගන්න ඕනෑ. එහෙම නැතුව බැරි මගුල පස්සේ පන්නමින් හිටියොත් මැච් එක පරදිනවා.

මානව ප්‍රාග්ධනය තරඟකාරී මට්ටමක තිබෙන ලංකාව වගේ රටකට සේවා නිෂ්පාදනයේදී වෙනත් රටවල් එක්ක තරඟ කිරීම පහසුයි. ඒ නිසා, ජාත්‍යන්තර වෙළඳාමේදී භාණ්ඩ නිපදවා අපනයනය කර ආදායම් උපයනවාට වඩා පහසුවෙන් සේවා අපනයනය හරහා විදේශ විණිමය ඉපැයිය හැකියි. 

කොහොමටත් ලංකාවේ භාණ්ඩ අපනයන ආදායමට සාපේක්ෂව සේවා අපනයන  ආදායම ක්‍රමයෙන් වර්ධනය වෙමිනුයි තියෙන්නේ. අවශ්‍ය දිරි ගැන්වීම් නොකඩවා ලැබුණොත් තව වසර කිහිපයක් යද්දී ලංකාවේ සේවා අපනයන ආදායම භාණ්ඩ අපනයන ආදායමට වඩා වැඩි වෙයි. දැනටත් සේවා අපනයන වලින් ලැබෙන ඩොලර් ප්‍රමාණය භාණ්ඩ අපනයනයෙන් ලැබෙන ප්‍රමාණයෙන් 70%කට පමණ ආසන්නයි.

බළලා මැටියෙන් වුනත් මීයෝ අල්ලනවනම් ප්‍රශ්නයක් නෑ කියනවනේ. ඒ වගේ, රටට ඩොලර් එනවනම් ඒ භාණ්ඩ අපනයනයෙන්ද නැත්නම් සේවා අපනයනයෙන්ද කියන එකේ ප්‍රශ්නයක් නැහැ. භාණ්ඩ අපනයන හා ආනයන අතර හිඟයක් තිබුණත්, එය ඉක්මවන අතිරික්තයක් සේවා වෙළඳාමෙන් ගන්න පුළුවන්නම් රටට ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් එන්නේ නැහැ.

ගොඩක් අය කියන කතාවක් තමයි ඩොලර් එක කීයට ගියත් වාහන, ඉන්ධන වගේ දේවල් ආනයනය අඩු නොවන බව. ඒ වගේම අපේ අපනයන ඩොලර් එකේ මිලට ප්‍රතිචාර නොදක්වන බවත් අහන්න ලැබෙනවා. මේ කතා වල යම් කිසි පදනමක් තිබෙනවා. 

මේ වන විට ඩොලර් හිඟය නිසා ලංකාවේ අත්‍යාවශ්‍ය නොවන ආනයන සෑහෙන තරමකට අඩු වෙලයි තියෙන්නේ. ඒ නිසා, ඩොලර් එක කීයට ගියත් ආනයන පරිමාව විශාල ලෙස අඩුවෙන එකක් නැහැ. ඒ වගේම, අපනයන වැඩි කරන එක එක පාරටම කරන්නත් බැහැ.

එහෙමනං ඉකොනොමැට්ටා කියනවා වගේ තවදුරටත් ඩොලර් එකේ මිල ඉහළ යන්න ඇරියොත් රට අමාරුවේ නේද?

නෑ. එහෙම වෙන්නේ නැහැ.

අවුල ලිහන යතුර තියෙන්නේ සේවා ආර්ථිකයේ. අපනයන වෙළඳපොළට භාණ්ඩ නිෂ්පාදනය කරන එක ක්ෂණිකව කරන්න බැරි වුනත්, සේවා නිෂ්පාදන ඉහළ දමන එක ක්ෂණිකව කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සම්පත් රට ඇතුළේ තියෙනවා. 

මේ ආණ්ඩුව බලයට පත් වුනාට පස්සේ යම් තරමකින් විණිමය අනුපාතිකය ඉහළ යන්න ඉඩ දුන්නා. ඒ හේතුව නිසා වෙළඳ ගිණුමේ හිඟය ලොකුවට අඩු වුනේ නැතත්, සේවා ගිණුමේ අතිරික්තය දැනෙන තරමට ඉහළ ගියා. මේ අවුරුද්දේ තවත් ඉහළ යයි.

ඉකොනොමැට්ටා අනාවැකිකරුවෙක් නොවෙයි. එහෙත්, මේ වසර ඉවර වෙද්දී රුපියල් 180 පමණ මට්ටමටත්, 2019 වසර තුළදී  රුපියල් 220-230 මට්ටමටත් ඩොලරයක මිල ඉහළ යන්න ඇරලා පහුගිය කාලයේ සිදුවුණු ඓතිහාසික වැරැද්ද නිවැරදි කළොත් 2020 වෙද්දී ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් නැති වෙයි කියන එක මගේ දැඩි විශ්වාසයයි.

මේක වෙන්නේ කොහොමද?

දැනටත් මූල්‍ය සේවා අංශය හැර ලංකාවේ අනෙකුත් සේවා අංශයන් සියල්ලම ඩොලර් උපයනවා. උදාහරණයක් විදිහට අපි සංචාරක අංශය ගනිමු. 2017 වසරේදී ලංකාවට පැමිණි සංචාරකයින් රටට ඩොලර් බිලියන 3.9ක් ගෙනාවා. ලංකාවේ අය විදේශ සංචාර වෙනුවෙන් ඩොලර් බිලියන 1.6ක් වැය කළා. මේ අනුව, ඩොලර් බිලියන 2.4ක් ලංකාවේ ඉතිරි වුනා. 

ඩොලර් එක වැඩි වන විට ලාංකිකයින්ට විදේශ සංචාර වඩා මිල අධික වෙනවා. එවිට ඔය ඩොලර් බිලියන 1.6න් කොටසක් ඉතුරු වෙනවා. ඒ වගේම සංචාරකයින්ට ලංකාව වඩා ලාභදායී වන නිසා රටට එන ඩොලර් ඉහළ යනවා. මෙය සංචාරකයින් ප්‍රමාණය ඉහළ යාම මගින් වගේම ඔවුන් වියදම් කරන මුදල් ප්‍රමාණය වැඩි වීමෙනුත් වෙන්න පුළුවන්. 

අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඩොලර් අතිරික්තය ඉහළ යන එකයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කරලා ඉතුරු කරගන්න සොච්චමකට වැඩිය ලොකු ගාණක් මේ විදිහට ඉතුරු වෙයි.

ගුවන් ප්‍රවාහනය වගේ වෙනත් අංශයක් ගනිමු. විදේශිකයෙක් ශ්‍රී ලන්කන් ප්‍රවේශ පත්‍රයක් මිල දී ගන්නා විට රටට ඩොලර් එනවා. ලාංකිකයෙක් වෙනත් ගුවන් සේවයක් භාවිතා කරන කොට ඩොලර් එළියට යනවා. ගුවන් සේවා සැපයීමේ වියදම බොහෝ දුරට ඉන්ධන වියදම. එය කොයි ගුවන් සේවයටත් සමානයි. පිරිවැය වෙනස් වෙන්නේ අනෙකුත් වියදම් වලින්. ඩොලර් එක ඉහළ යන කොට ලංකාවට සාපේක්ෂව අනෙක් රටවල මේ අනෙකුත් වියදම් ඉහළ යනවා. එතකොට ශ්‍රී ලන්කන් එකට සාපේක්ෂව අඩු මිලකට ප්‍රවේශපත් විකිණිය හැකියි. ඒ හරහා වෙනත් ගුවන් සේවා වලට යන ලාංකිකයින්ගේ මුදල් ඉතුරු කර ගත්තොත් එතැනම සෑහෙන ඩොලර් ප්‍රමාණයක්.

සේවා ආනයන අපනයන සිදුවන ආකාරය මතුපිටින් පෙනෙන්නේ නැහැ. පිටරටක කෙනෙක් ලංකාවට කතා කරන හැම වෙලාවෙම ලංකාවට මුදල් එනවා. කතා කරන්නේ මොබිටෙල් දුරකථනයකටනම් ඒ සමාගමටයි මුදල් එන්නේ. දුරකථන ඇමතුමට මුදල් අය කලේ ස්කයිප් එකෙන් කියමු. කෝල් එක එන්නේ මොබිටෙල් එකකටනම් එම සමාගම කරන්නේ සේවා සැපයීමක්. ඔවුන් එහි මිල අය කරගන්නවා. මේ විදිහටම වෙනත් රටක දුරකථනයකට ලංකාවේ සිට කතා කරද්දී ඩොලර් එළියට යනවා. ඩොලර් එකේ මිල වැඩි වෙද්දී මේ සමතුලනය වහාම වෙනස් වෙනවා. භාණ්ඩ නිෂ්පාදනයේදී වගේ කාලයක් ගත වෙන්නේ නැහැ.

මහ බැංකු වාර්තාවෙන් උපුටාගෙන පළ කරන පහත වගුවේ තිබෙන්නේ ලංකාවේ සේවා ගෙවීම් හා ලැබීම්. 2017 වසරේදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 11.36ක් රටට එනකොට සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 7.76ක්ම ලැබී තිබෙනවා. ඒ වගේම වෙළඳ ගිණුම ඩොලර් බිලියන 9.62ක හිඟයක් පෙන්වද්දී සේවා ගිණුමේ තිබෙන්නේ ඩොලර් බිලියන 3.3ක අතිරික්තයක්. 


ඩොලර් එක කීයට ගියත් ජංගම ගිණුමේ ශේෂය වෙනස් නොවන බව ඇතැම් අය කියනවනේ. සාමාන්‍ය අයත් නෙමෙයි. ලංකාවේ ආර්ථිකය මෙහෙයවීමේ බලය තිබුණු, තිබෙන හෝ ඉදිරි කාලයේදී ගන්නට ඉඩ ඇති අය. ඩොලර් එක මේ තරමට හෝ ඉහළ යන්න ඉඩ දීමේ බලපෑම කොයි තරම්ද කියන එක ඉදිරි ලිපියකින් පෙන්වන්නම්.

1 comment:

  1. ඉකොනොමැට්ටා,

    ම‌ෙත‌ෙක් සත පහක ආධාරයක් නැතුව ක‌ොළඹ දිස්ත්‍රික්කය‌ේ අක්කර 20 ක ප‌ොල් ඉඩමක ගම්මිරිස් වගාවක් සහ ක‌ොම්ප‌ොස්ට් ප‌ොහ‌ොර ව්‍යාපෘතියක් ආරම්භ කර, කරග‌ෙන යන මග‌ේ තරැණ පුතාට පලාත‌ේ ග‌ොවිජන ස‌ේවා කාර්යාලය‌ෙ‌න් සහන ණයක් (ලක්ෂ 10ක්) පාස් ව‌ෙලා ඇප කරැවන් අත්සන් කරල දැන් මාස තුන හතරක් ව‌ෙ‌නවා. මාස‌ෙ‌කට ඉස්ස‌ෙ‌ල්ලා අදාල නිලධාරින් කිව්ව‌ෙ ච‌ෙ‌ක් එකත් ලිව්වා කියල.

    තරැණය‌ෙ‌ක් ග‌ෙ ක‌ොම්ප‌ොස්ට් ව්‍යාප්‍යතියක් දියුනු ක‌ර ගන්න රජය‌ෙන් ආධාර දුන්නා කියල ර‌ේඩිය‌ෝ එක‌ේ වැඩසටහනකුත් කලා. ක‌ොළඹ නිලධාරින් ඇවිල්ලා අප‌ේ ග‌ෙ‌දර ජනතාව දැනුවත් ක‌ොරන වැඩ සටහනතුක් ක‌ලා.

    නිලධාරීන් දැන් කියනවා 2018 ට ව‌ෙ‌න් කල සල්ලි ඉවරලු එයාලට ලැජ්ජලු ව‌ෙච්ච වැඩ‌‌ෙ‌ිිට. ගම්පරෙලියත් බ‌ොරැවක්. ‘Enterprise Sri Lanka’ HNB එක‌ෙන් ණය ඉල්ලලා ව‌ෙච්ච ද‌ේ ගැන පසුව ලියන්නම්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: