වෙබ් ලිපිනය:

Wednesday, October 31, 2018

චීන සුබ පැතුමේ සිට ඉන්දියානු නිහඬතාවය දක්වා...


ලංකාවේ පවතින තත්ත්වය මේ වන විට ඉතා වේගයෙන් බටහිර මාධ්‍ය වල අවධානය දිනා ගනිමින් තිබෙනවා. මේ හා අදාළ වාර්තා පිරික්සන විට සුවිශේෂී කරුණු කිහිපයක්ම කැපී පෙනෙනවා.

මහින්ද රාජපක්ෂව අගමැති සේ පත් කිරීම හා අදාළ පුවත වාර්තා කෙරෙන්නේ එක්කෝ ව්‍යවස්ථාවට එරෙහිව සිදු වූවක් ලෙස. එසේ නැත්නම් ව්‍යවස්ථාවට එරෙහිවද යන්න පැහැදිලි නොමැතිව ලෙස.

මහින්ද රාජපක්ෂ නම බොහෝ විට ලියැවෙන්නේත් නිකම්ම නෙමෙයි. "මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලට ලක් වී ඇති", "මාධ්‍ය මර්දනය කිරීමේ චෝදනා වලට ලක් වී ඇති" වැනි හඳුන්වාදීම්ද සමගයි.

ඒ එක්කම අර්ජුනගේ ආරක්ෂකයෙකු විසින් කළ වෙඩි තැබීම ඇතුළුව මේ වන විට සිදුව තිබෙන මරණ දෙකකට විශාල බරක් වැටෙමින් තිබෙන බව පෙනෙනවා. නමුත්, මේ ගැන බොහෝ විට කියැවෙන්නේ පසුබිම් කතා නැතිව "බල අරගලය නිසා මේ වන විටත් ජීවිත හානි සිදු වී තිබෙනවා" වැනි කතා. විශාල ජීවිත හානියක් සිදු වීමේ අවදානමක් ගැන බොහෝ විට අවධාරණය කෙරෙනවා.

මහින්ද රාජපක්ෂව පත් කර වැඩි වෙලාවක් යන්න කලින්, 27 සෙනසුරාදා, චීන නායකයාගේ සුබ පැතුමක් සමඟ චීන තානාපතිවරයා ඔහුව හමු වුනා. ඔහු එදිනම රනිල් වික්‍රමසිංහවත් හමු වී තිබෙනවා. ප්‍රශ්නය මේ තරම් දුරදිග යයි කියා චීනය ඒ වන විට දැන සිටියාද කියා මා දන්නේ නැහැ.

මේ වන විට චීනයේ ස්ථාවරය වී තිබෙන්නේ ප්‍රශ්නයට මැදිහත් නොවී සිටීමයි. දින දෙකකට පෙර (29 සඳුදා) චීන විදේශ අමාත්‍යංශය විසින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙය රට ඇතුළේ විසඳා ගත යුතු ප්‍රශ්නයක් බවයි.

නියම අගමැතිවරයා කවුද කියන ප්‍රශ්නය දිග් ගැස්සෙද්දී, අනෙකුත් රටවල් මුලින් කළේ විමසිල්ලෙන් බලා සිටීම පමණයි. ඔවුන් එක්වරම කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් සෘජුව පෙනී සිටියේ නැහැ. එසේ වුවත්, එක්සත් රාජධානිය, යුරෝපීය රටවල් කිහිපයක්, කැනඩාව හා ඉන්දියාව ව්‍යවස්ථාව අනුව ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් ඉල්ලා සිටියා. මේ වන විට (27 සෙනසුරාදා) රනිල් වික්‍රමසිංහ විසින් ඉහත රටවල් ඇතුළු තෝරාගත් රටවල් කිහිපයක තානාපතිවරුන් ගෙන්වා ඔහුගේ ස්ථාවරය පැහැදිලි කර උදවු ඉල්ලා සිටි බව වාර්තා වී තිබුණා.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වය වගේම රනිල් පාර්ශ්වයත් අද දක්වාම කියන්නේ ව්‍යවස්ථාව අනුව තමන් නිවැරදි බවයි. ඒ නිසා, ව්‍යවස්ථාව අනුව ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් ඉල්ලා සිටීම පසුව ඕනෑ පැත්තකට නැවිය හැකි පතෝල ප්‍රකාශයක් පමණයි.

ඉරිදා (28) වෙද්දී කථානායකවරයා විසින් ව්‍යවස්ථානුකූල අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ බව තීරණය කර තිබුණා. එයට සමාන්තරව ඒ වන විට ජනාධිපතිවරයා විසින් කල් තබා තිබුණු පාර්ලිමේන්තුව වහාම නැවත කැඳවන මෙන් ඉල්ලීමක් එජාපයෙන් මතු වුණා. ඒ ඉල්ලීමට මහින්ද-මෛත්‍රී කණ්ඩායම් හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් කොටස්ද එකතු වුනා.

එදිනම (28 ඉරිදා) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත්කරගෙන ඇති මහජන නියෝජිතයන්ට ආණ්ඩුව මෙහෙයවිය යුත්තේ කවුරුන් විසින්දැයි තීරණය කිරීමට ඉඩ ලබාදෙමින්, කතානායකවරයා සමඟ සාකච්ඡා කොට වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කෙරුණා. මෙයින් ඇමරිකාව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහව පිළිගන්නා බවක් අදහස් නොවුනත්, පාර්ලිමේන්තුව කල් තැබීම ඇමරිකාව අනුමත නොකරන බව ප්‍රකාශ වුනා. එය රනිල් පාර්ශ්වයට වාසිදායක ප්‍රකාශයක්.

සඳුදා (29) වෙද්දී කැනඩාවත් මේ ඉල්ලීම කරමින් ඇමරිකාවට එකතු වුනා. එයට අමතරව මාධ්‍යවේදීන්ගේ හා මානව හිමිකම් ක්‍රියාකාරිකයින්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කරන මෙන්ද කැනඩාව ඉල්ලා සිටියා. පාර්ලිමේන්තුව හරහා ඉක්මණින් ප්‍රශ්නය විසඳා ගන්නා මෙන් මේ වන විට (31 බදාදා) ඕස්ට්‍රේලියාවද ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපති සිරිසේන විසින්ද පසුගිය සඳුදා (29) තානාපතිවරුන් හමු වී තිබෙනවා. එයින් අනතුරුව, නිවේදනයක් නිකුත් කරමින් යුරෝපීය සංගමය විසින්ද වහාම පාර්ලිමේන්තුව කැඳවීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.

සඳුදා (29) එක්සත් රාජධානිය විසින් නිකුත් කෙරුණු නිවේදනයෙන් වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් කර තිබෙන ඉල්ලීමට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා සංහිඳියාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක් වී ශ්‍රී ලංකා රජය හා ජනතාව සමඟ කටයුතු කිරීමට කැප වී සිටින බව අවධාරණය කර තිබෙනවා.

පසුගිය ඉරිදා ඉන්දියාව විසින් කරපු පතෝල අදහස් දැක්වීමෙන් පසුව තවමත් ඒ පැත්තෙන් සද්දයක් නැහැ.

කූඹියෝ බලපු අය දන්නවා ඇති සමහර ගේම් ගැහුවේ කවුද කාටද කියා දැන ගන්න සෑහෙන කාලයක් යන බව.

7 comments:

  1. "චීන නායකයාගේ සුබ පැතුමක් සමඟ චීන තානාපතිවරයා ඔහුව හමු වුනා" . චීන නයකයගෙන් නිල සුභපැතුමක් ලැබුන බවට සාක්ෂි (ලිපියක්) නෑ නේද?

    ReplyDelete
    Replies
    1. දන්නා තරමින් එවැන්නක් නැහැ.

      Delete
  2. ඉකොනොමට්ටා පහුගිය දවස් ටිකේම නලියගේ මහා මොලයෙන් ගොඩනගපු ස්වාදීන තර්කයක් ගැන කතා කළා නේද. මෙන්න ඒ වගේම තවත් එකක්.
    http://www1.kalaya.org/2015/02/blog-post_25.html

    ReplyDelete
    Replies
    1. සංගත බවේ උපරිමේ.මේකත් බලන්න විනාඩි 11 විතර ඉඳල බලන්නකෝ.
      https://www.youtube.com/watch?v=5vPq2AsabYQ&t=1261s

      Delete
  3. "ජනපති නම් මගේ පියා"
    චතුරිකාගෙ පොත කියවා
    පොළවෙන් අඩි හයක් යටට
    සිරා යවන හැටි දුටු මා
    බියවී මරහඬ දීගෙන
    නින්දෙන් ඇහැරුණ විතරයි

    මෙන්න බොලේ එක පාරට
    පොතේ දුෂ්ටයා එකවිට
    සිරාගෙ අගමැතිය වෙලා!

    අනිත් පැත්ත හැරිලා මං
    යළිත් නින්දටම වැටුනා
    මතු දිනයක මං ලියනා
    පොතේ නමත් හිතේ තියං
    "චී චී චතුරිකා"

    ReplyDelete
  4. ගොස්පදින් පුටින් මහතාත් සින් එකේ ඉන්නවා වගෙයි, අපේ පරණ මොස්කව් සහෝදරවරුන්ටත් දැන් බොහොම තනතුරු / ජනමාද්‍ය වගකීම් ලැබිලයි තියෙන්නේ.

    ReplyDelete
  5. එක්කෝ උං දිගටම රට කාගෙන කාගෙන කාගෙන යාවි, නැතිනම් මුං කලින් රට කාගෙන කාගෙන කාගෙන ගිහින් නවත්තන්න වුනු තැන ඉඳලා ආපහු ආරම්භ කරලා රට කාගෙන කාගෙන කාගෙන යාවි!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: