Saturday, November 10, 2018
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා නියෝජිතයාගේ ප්‍රජාතන්ත්‍රවාදය
තවත් සිකුරාදා මධ්‍යම රාත්‍රී ගැසට් නිවේදනයක් මේ වන විට නිකුත් වී තිබෙනවා. මෙය කිසිවෙකුටත් කලින් එක තරමේ සර්ප්‍රයිස් එකක් වුනා කියා මා හිතන්නේ නැහැ.
කලින් ගැසට් නිවේදනයෙන් වෙනස්ව මෙවර නිවේදනයේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරවීමට තමන්ට බලතල ලැබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර වගන්ති වලින්ද යන්න සඳහන් කර තිබෙනවා. අදාළ වගන්ති පමණක් තනිව ගත්තොත් ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීම නිවැරදියි. නමුත්, ව්‍යවස්ථාවක වගන්ති ඒ ආකාරයෙන් අනෙක් වගන්ති වලින් වියුක්තව අර්ථ දක්වන්න බැහැ.
එක වරදක් කළ පසු එය වහගන්න තවත් වැරදි ගොඩක් කරන්න වෙනවා. දැන් වෙලා තියෙන්නේ එයයි.
මේ සිදුවීම් දාමයෙන් පැහැදිලිව පෙනෙන්නේ 1978 ව්‍යවස්ථාව කෙතරම් භයානක එකක්ද කියන එකයි. දහනවවන සංශෝධනය හරහා යම් වෙනස්කම් සිදු කර තිබුණත් තවමත් ජනාධිපතිවරයාගේ බලය ඉතා විශාලයි.
ජනාධිපතිවරයා විසින් හිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවානම්, බලය අයුතු ලෙස භාවිතා කරනවානම් හෝ ජනාධිපතිවරයා මානසික රෝගයකින් පෙලෙනවානම් සාමාන්‍යයෙන් සිදු නොවන දේ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ව්‍යවස්ථාව අනුව තත්ත්වය සමනය කරන්න කළ හැක්කේ කුමක්ද?
මේ වගේ වෙලාවක යමක් කිරීමේ හැකියාව තිබෙන්නේ ව්‍යවස්ථාදායකයටයි. 38(2) අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා හිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බව, බලය අයුතු ලෙස භාවිතා කරන බව හෝ මානසික රෝගයකින් පෙලෙන බව ඇතුළු කරුණු ගණනාවක් සිදුවන අවස්ථා වලදී කථානායකවරයාට දැනුම් දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුළුවන්. අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වඩා අත්සන් කර ඇත්නම් කථානායකවරයාට එවැනි යෝජනාවක් භාර ගන්නත් පුළුවන්.
නමුත්, එවැනි ක්‍රියාමාර්ගයක් තේරුමක් තිබෙන අවසානයක් දක්වා ගෙන යා හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබේනම් පමණයි. එපමණක් වුවත් මදි. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ එකඟතාවයත් අවශ්‍යයි. වෙනත් විදිහකින් කිවුවොත් දහනවවන සංශෝධනයෙන් පසුව වුවත් ලංකාවේ විධායක ජනාධිපතිවරයාට පිස්සු කෙළින්න විශාල අවකාශයක් ඉතිරි වී තිබෙනවා. සති දෙකක් තිස්සේ නටපු නාඩගම නිසා පැහැදිලිව පෙනුණු පළමු කරුණ මෙයයි.
විධායකය විසින් පිස්සු කෙළීමේ ප්‍රතිඵලය රාජ්‍ය යාන්ත්‍රණයේ ඉතිරි කොටස් දෙක වන අධිකරණය හෝ ව්‍යවස්ථාදායකය යන දෙකෙන් එකක් ව්‍යවස්ථා විරෝධී සේ අකර්මන්‍ය කර දැමීම වුවහොත් ඇති වන තත්ත්වය කුමක්ද?
පළමුවැන්න වසර කිහිපයකට පෙර සිදු වුනා. වැරැද්ද නිවැරදි කරන්න වසර කිහිපයක්ම ගියා. මේ හේතුව නිසා 2013 ජනවාරි සිට වසර දෙකක් පමණ කාලයක් ලංකාවේ අගවිනිසුරුවරියට සිය ධුරයේ කටයුතු කරන්න ඉඩ ලැබුණේ නැහැ. දැන් දෙවැන්න සිදු වී තිබෙනවා.
පොදුජන පෙරමුණ පැත්තෙන් බැලුවොත් මහා මැතිවරණයකට යාම ඔවුන් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය දැකීමෙන් පසුව ඔවුන්ට මැතිවරණ ජයග්‍රහණයක් ගැන සැකයක් තිබුණේ නෑ කියා හිතන්න පුළුවන්.
නියමිත කාලය තෙක් සිටියානම් රනිල්ගේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය තවත් අඩු වී මහින්දලාට තව තවත් වාසි වෙන්න තිබුණා. ඒ වගේම, අලුත් මැතිවරණ ක්‍රමය ආවානම් එය පොදුජන පෙරමුණට (හෝ සිංහල බෞද්ධයන්ගේ බහුතර ඡන්ද දිනාගත හැකි කණ්ඩායමට) විශාල වාසියක් වෙනවා. බොහෝ විට පාර්ලිමේන්තු මැතිවරණයකදී සිංහල බෞද්ධයන්ගේ බහුතර ඡන්ද දිනාගත හැකි කණ්ඩායම පැරදවිය නොහැකි වෙනවා.
එසේ තිබියදීත් රාජපක්ෂලා ඉතිරි කෙටි කාලය ගෙවෙන තුරු බලා නොසිට වහා ක්‍රියාත්මක වුනේ රාජපක්ෂ පවුලේ ඇතැම් සාමාජිකයින්ට එරෙහිව විභාග වෙමින් පැවති නඩු නිසා බව කියැවෙනවා. එය එසේ වෙන්න පුළුවන්.
මහින්දලාට මෛත්‍රීව ඕනෑ වුනේ පැවති ආණ්ඩුව කවර ආකාරයෙන් හෝ කලින් බිඳ දමන්නයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාවක් තිබුණු බවක් ඔවුන් විශ්වාස කළානම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කලින්ම කරන බව පැහැදිලි කරුණක්. නමුත්, ජනාධිපතිවරයා එසේ කළේ නැහැ.
පාර්ලිමේන්තුව විසුරවා හරින්න දින දෙකකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින්, අර්බුදය ඇරඹීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් අළුතෙන් පත් කළ නිලධාරියෙකුගේ අත්සනින් ප්‍රකාශයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේය යන්න සංවිධානාත්මක කණ්ඩායම් විසින් පතුරුවා හරින අසත්‍ය හා පදනම් විරහිත කටකතාවක් බවයි.
බදාදා වන විටත් මහින්ද-මෛත්‍රී කණ්ඩායම විසින් බහුතරය හදා ගැනීමේ අපේක්ෂාව අත හැර නොතිබුණු බව පැහැදිලියි. ඉන් පසු දින දෙක තුළ තත්ත්වයේ වෙනසක් සිදුවන්නට ඇති බව පෙනෙනවා.
ලංකාවේ දැනට වලංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනාධිපතිවරයා විසින් අර්ථ දක්වන ආකාරය නිවැරදිනම් පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමේ කිසිදු තේරුමක් නැහැ. මැතිවරණ ප්‍රතිඵලය කුමක් වුවත් ජනාධිපතිවරයාට තමන් කැමැති අයෙක්ව අගමැති සේ පත් කරන්න වගේම එසේ පත්කරන අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතර බලය හදාගත හැකි බවක් නො පෙනේනම් පාර්ලිමේන්තුව රැස් නොකරම හෝ වෙනත් ඕනෑම වෙලාවක හේතු නොදක්වා විසුරුවා හරින්න වුවත් පුළුවන්.
එහෙම බැලුවොත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට තිබෙන අයිතියට පමණයි. ඉන් පසු, ඔහු හෝ ඇය බලයේ සිටින තාක් කල් සියල්ල සිදුවන්නේ ඒ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදියි. මේකට කියන්න වෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියා නෙමෙයි. නියෝජිතයාගේ ප්‍රජාතන්ත්‍රවාදය කියලයි. තෝරාගන්නා නියෝජිතයාගේ අභිමතය වෙනස් වන ආකාරය අනුව නියෝජිතයාගේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය වෙනස් වන නිසා සාධාරණ වශයෙන් නියෝජිතයාගේ ප්‍රජාතන්ත්‍රවාදය කියා නොකියා නියෝජිතයාගේ නමින්ම හඳුන්වන්නත් පුළුවන්.
ලිපිය අවසන් කිරීම පිණිස පහත කොටස මා උපුටා ගන්නේ ජනාධිපති සිරිසේනගේ 2015 රාජාසන කතාවෙන්.
"ගරු කථානායක තුමනි, යම් රටක් හෝ ජාතියක් ස්වකීය අනන්‍යතාවේ පදනම වශයෙන් සලකන්නේ එරටෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජාතියේ උත්තරීතර ලේඛනය ලෙස අප සලකන්නේ ඒ හේතුවෙන්. නිදහසේ සිට ගෙවුණු වසර 60ක කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් අප ක්‍රියාවට නංවා තිබෙනවා. එහෙත් අද වන තෙක් අපට ශ්‍රී ලාංකික ජාතියෙහි පදනම ලෙස සියලු දෙනාට එකඟ විය හැකි ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට නොහැකි වීම අභාග්‍යයක්. විශේෂයෙන් ම, අද අප රටේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වූ දිනයේ පටන්ම එහි පදනම වන විධායක ජනාධිපති ධුරය හා මැතිවරණ ක්‍රමය පිළිබඳව බොහෝ පාර්ශ්වයන්ගේ මැසිවිලි සහ විරෝධතා එල්ල වෙමින් පවතිනවා. "මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්" ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් වූ දහ නව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම මාගේ මැතිවරණ ප්‍රකාශනයේ එක් පොරොන්දුවක් ඉටු කිරීමක්. "විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පැවතිය යුතු ද, එසේනම් එහි ස්වභාවය කෙසේ විය යුතු ද?" යන්න පිළිබඳව අවසන් නිගමනය ගැනීම ඔබ අසුන්ගෙන තිබෙන මේ පාර්ලිමේන්තුවේ වගකීමක්."
(Image: http://www.pmdnews.lk/policy-statement-delivered-by-president-maithripala-sirisena-addressing-the-8th-parliament-of-sri-lanka-on-september-1-2015/)
Labels:
දේශපාලන අර්බුදය,
දේශපාලනය,
නීතිය,
ප්‍රජාතන්ත්‍රවාදය,
මෛත්‍රීපාල සිරිසේන
Subscribe to:
Post Comments (Atom)
In the Mahinda-Maithripala "Cat & Mouse" alliance the question is not whether Rajapaksa will topple Sirisena but WHEN? -Tisaranee Gunasekera
ReplyDeleteඅපි හිතමු මීටත් වඩා පැහැදිලිව විසුරුවන්න බැහැමයි කියල ලියල තිබුන කියල.
ReplyDeleteඑහෙම උනත් මේකට විරුද්දව ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් නැහැ නේද. දේශීය විදේශීය ඇතුළුව?
පුළුවන්. චන්ද්‍රිකා 2005 දී වෝටර්ස් එජ් එකේ ඉඩම් ගොල්ෆ් සමාගමට දුන්නේ. ඒක වලක්වන්න පුළුවන් උනානි උසාවියෙන්. ඒත් චන්ද්‍රිකාට එරහිව නඩු දාන්න බැරි උනා, එතැනදී කලේ චන්ද්‍රිකාගේ නියෝගය ක්‍රියාත්මක කරපු නිලධාරීව උසාවියෙන් හිර කරලා, අර දේ කරන එක වලක්වන එක.
Deleteඒ කියන්නේ සරලව කිව්වොත් ජනාධිපතිට නඩු දාන්න බැරි උනාට එයා දෙන නියෝග ක්‍රියාත්මක නිලධාරීන්ට නඩු දාන්න පුළුවන.
දැන් ඔය කියනවා වගේ පාර්ලිමේන්තුව විසිරුවා හැරපු එකත් නිතිවිරෝධී කියලනි කියන්නේ. එතකොට ඒ නියෝගය අනුව ජන්දයක් තියන එකත් නිතිවිරෝධීයි. මැතිවරණ කොමිසම ජන්දයක් තියන්න හදනවා නං එක අභියෝග කරන්න පුළුවන් උසාවියේ.
ඒ බන් උසාවියේ ඉන්න කාලකන්නි හරියට තීන්දුව දෙනවනංනේ. චන්ද්‍රිකාගේ තීන්දුව දුන්නේ බන් මහින්දගේ කාලෙනේ. උඹ හිතන්නේ ඒ තීන්දුව ඇවිල්ල අපේ උසාවිය කොන්ද පණ තියෙන නිසා දුන්න තීන්දුවක් කියලද? ඇහැරියන්.. ජනාධිපති කිව්වත් මම වැරදියි මට සුදුසු තීන්දුවක් දෙන්න කියල, ඕකුන්ට එත් බැහැ.
Deleteඋසාවිනියෝගය ජනාධිපතිට එරෙහිව ගියොත් පාර්ලිමේන්තුව කැඳවන්න වෙනවා නේද
ReplyDeleteයයි යයි.. බලන් හිටපන්
Delete