වෙබ් ලිපිනය:

Sunday, November 4, 2018

නොවැම්බර් 14 කාගේ නැකතද?


පාර්ලිමේන්තුව නැවත කැඳවන දිනය පිළිබඳව වූ අවිනිශ්චිතතාවය මේ වන විට අවසන් වී තිබෙනවා. අද නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අනුව 14 වෙනිදා පාර්ලිමේන්තුව නැවත රැස් වෙනවා.

පාර්ලිමේන්තුව කල් තබා තිබුණේ නොවැම්බර් 16 දින දක්වා. මේ අනුව, දැන් පාර්ලිමේන්තුව රැස් වෙන්නේ ඊට දින දෙකකට පෙරයි. මීට පෙර පාර්ලිමේන්තුව නොවැම්බර් 5 දින රැස් වන බව මහින්ද රාජපක්ෂ විසින් කියා තිබුණා. ඉන් පසුව ඒ දිනය නොවැම්බර් 5 නොව නොවැම්බර් 7 බව කියවුණා. ඇතැම් වාර්තා වලට අනුව නොවැම්බර් 5 මහින්දගේ ශුභ දිනය. නොවැම්බර් 7 මෛත්‍රීපාල සිරිසේනගේ සුබ දිනය.

සමහර විට නොවැම්බර් 14 මහින්ද මෛත්‍රී දෙන්නාටම සුබ දිනයක් වෙන්න පුළුවන්. නමුත්, මේ ගැන මම ඒ තරම් සරල ලෙස හිතන්නේ නැහැ. මේ දිනය නොවැම්බර් 14 වීමෙන් කරුණු කිහිපයක්ම පිළිබිඹු වෙනවා.

මුලින් සැලසුම් කර තිබුණු සේ නොවැම්බර් 16 දින දක්වා නොසිට නොවැම්බර් 14 පාර්ලිමේන්තුව රැස් කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කිරීමෙන් හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව රැස් කරන මෙන් රට ඇතුළේ හා රටින් පිටත විවිධ කණ්ඩායම් විසින් කළ ඉල්ලීමේ පීඩනය ඔහුට දැනී තිබෙන බව පෙනෙනවා.

මේ කණ්ඩායම් අතරින් එජාප කණ්ඩායමට හෝ රට ඇතුළේ සිට පාර්ලිමේන්තුව වහාම නැවත රැස් කරන මෙන් ඉල්ලා සිටි වෙනත් කණ්ඩායම් වලට දවස් දෙකක් කලින් පාර්ලිමේන්තුව රැස් කළා කියා ලැබෙන වාසියක් නැහැ. පාර්ලිමේන්තුව කල් තැබීම නිසා ඔවුන්ට සිදු වන හානිය ඒ වන විට මුළුමනින්ම වාගේ සිදු වී අවසන්.

කොහොමටත් මහින්ද-මෛත්‍රී කණ්ඩායම රට ඇතුළෙන් ආ විරෝධය යාන්තමින් හෝ ගණන් ගත්තා කියන්න බැහැ. එවැනි විරෝධයක් එන බව ඔවුන් නොදැන සිටියා නෙමෙයි. එය තමන්ට පාලනය කර ගත හැකි මට්ටමක පවතිනු ඇති බව ඔවුන් කළින්ම ගණන් හදා බලා තිබුණා.

ඒ වගේම, රනිල් කණ්ඩායමේ විරෝධයට තවතවත් අවි එකතු කරමින් ගින්නට පැට්‍රෝල් නොදමා සිටින්න මහින්ද-මෛත්‍රී කණ්ඩායම විසින් මෙතෙක් වග බලාගෙන තිබෙනවා. රනිල්ට තවමත් අරලියගහ මන්දිරයේ ඉන්න හැකි වී තිබෙන්නේත්, එජාප හා මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට එරෙහි විරෝධතා බාධාවකින් තොරව පැවැත්වෙන්නේත් ඒ නිසයි. පාර්ලිමේන්තුව රැස් වන තුරු අරලියගහ මන්දිරය හැර යාම රනිල් වික්‍රමසිංහට කළ නොහැක්කක් වන බව වගේම ඔහු එසේ සිටීම තමන්ගේ කණ්ඩායමට ප්‍රශ්නයක් නොවන බව මහින්ද-මෛත්‍රී කණ්ඩායම විසින් නිවැරදිව ගණන් බලා තිබෙනවා.

පෙර සැලසුමේ දිනයට වඩා දින දෙකකට කලින් පාර්ලිමේන්තුව රැස් කරන්න මහින්ද-මෛත්‍රී පාර්ශ්වය තීරණය කර තිබෙන්නේ ජාත්‍යන්තර පීඩනයට දක්වන ප්‍රතිචාරයක් ලෙසයි. වහාම පාර්ලිමේන්තුව රැස් කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බටහිර රටවල් ගණනාවක් විසින් ජනාධිපතිවරයා වෙත බලපෑම් කළා. ඒ සියලු ඉල්ලීම් නොතකා නොවැම්බර් 16 දින දක්වාම පාර්ලිමේන්තුව රැස් නොකර හිටියානම් එය සැලකෙන්නේ ජාත්‍යන්තර ඉල්ලීම් සත පහකට මායිම් නොකිරීමක් ලෙසයි. දවස් දෙකක් කලින් පාර්ලිමේන්තුව නැවත රැස් කිරීම හරහා "හරි, ඕගොල්ලෝ කියපු දේ අපි ඇහුවා!" කියා පණිවුඩයක් මහින්ද-මෛත්‍රී පාර්ශ්වය විසින් ජාත්‍යන්තරයට යවනවා.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වය විසින් පාර්ලිමේන්තුව කැඳවන්න තීරණය කර තිබීමෙන් ඔවුන් බහුතරය හදාගෙන තිබෙන බවක් පෙනෙනවා. ඒ වෙනුවෙන්, ඔවුන්ට මේ වන විට විශාල මිලක් ගෙවන්න සිදු වී තිබීම කැපී පෙනෙන කරුණක්. එය මුල් ඇස්තමේන්තුවට වඩා අඩුද වැඩිද කියා මා හරියටම දන්නේ නැහැ. මගේ අදහස එය හිතුවාට වඩා තරමක් වැඩි විය හැකි බවයි.

මෙහිදී, මිල යන්නෙන් මා අදහස් කරන්නේ මන්ත්‍රීවරයෙකු තමන්ගේ පැත්තට ගැනීමේ ආවස්ථික පිරිවැයයි. එයට ඇතුළත් වන්නේ  රංගෙ බණ්ඩාරට පිරිනමා ඇති ආකාරයේ මුදල් අල්ලස් පමණක් නෙමෙයි. දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානයේ මන්ත්‍රීවරයෙක් මහින්ද පාර්ශ්වයට එකතු කර ගැනීමේදී මුදල් අල්ලස් නොදුන්නත් ඔවුන්ට එහි විශාල ආවස්ථික පිරිවැයක් තිබෙනවා. එවැන්නෙක් ගන්න යොමු වෙන්නේ ඊට වඩා වියදම් අඩු විකල්ප නැති නිසායි.

කොහොම වුනත්, මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට මේ වෙලාවේ මොන ආකාරයෙන් හෝ බහුතරය හදාගන්න වෙනවා. එහිදී, පසුකාලීන ප්‍රතිඵල ගැන හිත හිතා හිටීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. හරියටම රනිල්ට අරලියගහ මන්දිරය හැර යාමේ හැකියාවක් නැහැ වගේ.

මේ වන විට මහින්ද-මෛත්‍රී පාර්ශ්වය සමඟ මන්ත්‍රීවරු 105ක් පමණ සිටින බව පෙනෙනවා. එජාප පැත්තේ දැනට සිටින, තමන්ගේ පැත්තේ බව කිසිම සැකයක් නැති, කිහිප දෙනෙකුත් සිටිනවා විය හැකියි. එවැනි අය අවසන් මොහොත තෙක්ම එළිදරවු නොවෙන්න පුළුවන්. මම හිතන්නේ මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට තිබෙන ලොකුම ප්‍රශ්නය ඇතැම් එජනිස මන්ත්‍රීවරුන්ගේ පක්ෂපාතීත්වය පිළිබඳව ඔවුන්ට සැක තිබීමයි. එස්බී-රංගෙ බණ්ඩාර සංවාදයෙන් පෙනෙන්නත් එයයි.

පවතින අවිනිශ්චිතතාවය හමුවේ හරියටම 113 තිබුණා වුවත් මහින්ද-මෛත්‍රී පාර්ශ්වය පාර්ලිම්න්තුව නොවැම්බර් 16 දිනට පෙර නැවත රැස් කරන්න ඉඩක් නැහැ. ඔවුන් බොහෝ විට උත්සාහ කරන්න ඉඩ තිබෙන්නේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බිලී බාගෙන අවිනිශ්චිතතාවය අඩු කර ගන්නයි. නොවැම්බර් 14 වැනි ඈත දිනයක් ගැසට් කිරීමෙන් පෙනෙන්නේ පවතින පීඩනයට මුහුණ දීම සඳහා දිනයක් ගැසට් කළත්, මහින්ද-මෛත්‍රී කණ්ඩායමට ඔවුන් අපේක්ෂා කරන තරමේ මන්ත්‍රීවරුන් ගණනක් එකතු කර ගැනීමට තවමත් නොහැකි වී ඇති බවයි.

එහෙමනං, නොවැම්බර් 5 පාර්ලිමේන්තුව රැස් කරන බව මහින්ද කිවුවේ ඇයි? ඒ වන විට බහුතරය තිබිලා පස්සේ අවුලක් වුනාද? පස්සේ නොවැම්බර් 7 කියා ප්‍රචාරයක් ගියේ ඇයි? මෙතැන තියෙන්නේ නැකැත් පිළිබඳ ප්‍රශ්නයක්ද?

මගේ අදහසනම් මේ දේවල් වුනේ සැලසුම්සහගතව බවයි. මෙතැනදී වුනේ බටහිර රටවල් රැවැට්ටීමක්. මහින්දලා එකම උපක්‍රමය යොදා ගනිමින් දෙවන වතාවටත් බටහිර රටවල් රැවැට්ටුවා.

මේ වෙලාවේ බටහිර රටවල් වලින් ජනාධිපති සිරිසේනට විශාල පීඩනයක් ආ බව රහසක් නෙමෙයිනේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් ජනාධිපති සිරිසේනට දුන් දුරකථන ඇමතුම ගැන දෙපැත්තේ ප්‍රවෘත්ති නිවේදන වල එකම දේ නොකියැවුනත් ඇන්තෝනියෝ ගුතෙරස්ගේ ඉංග්‍රීසි ජනාධිපති සිරිසේනට නොතේරුණා කියා මම හිතන්නේ නැහැ.

ඔය වගේම, නැත්නම් ඔයිටත් වඩා විශාල පීඩනයක් ලංකාවේ රාජ්‍ය නායකයින්ට ජාත්‍යන්තරයෙන් ආපු කාලයක් තිබුණනේ. අර ජනාධිපති සිරිසේන යුද්ධය අවසන් කරපු අන්තිම සති දෙකේදී.

ඒ වෙලාවේ ලංකාව කළේත් බටහිර රටවල් නොමඟ යවන එකනේ. ඔවුන් උපක්‍රමයට අහුවුනා. වැඩේ තේරෙන කොට යුද්දේ ඉවර වෙලා.

මේ වෙලාවේ කළෙත් ඒකම තමයි. පාර්ලිමේන්තුව නොවැම්බර් 5 රැස් කරනවා කියලා මහින්ද කියපු ගමන් බටහිර මාධ්‍ය වල තිබුණු ගැම්ම නැති වෙලා ගියා. ඇදගෙන යන්න පුළුවන්කම තිබුණු ප්‍රශ්නේ ඕකනේ. ඒ අස්සේ, මෙහෙ ඩීල් ටික සෙට්ල්.

සමහර අය හිතනවා පාර්ලිමේන්තුව කල් තැබීම හදිසියේ ගත් තීරණයක් කියා. ඒ කතාවට අනුව, මහින්දලා හිතුවේ මහින්දව අගමැති සේ පත් කළ වහාම කලින් චන්ද්‍රිකා විසින් රනිල්ව අයින් කරපු වෙලාවේ වගේ රනිල් අකුලගෙන යයි කියලා. රනිල් ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කළාම මහින්ද-මෛත්‍රී පාර්ශ්වය අවුල් වුනා.

ඔය කතාවත් මහින්ද-මෛත්‍රී පාර්ශ්වය විසින්ම පතුරුවපු කතාවක්. මෙදා සැරේ රනිල් අගමැතිකම දාලා ගෙදර නොයන බව මහින්දලා පැහැදිලිව දැනගෙන හිටියා. මේ වෙලාවේ තියෙන්නේ කලින් තිබුණු ව්‍යවස්ථාව නොවන බව රනිල්ලා වගේම මහින්දලාගේ ටීම් එකේ අයත් දන්නවා. ඒ බව රනිල්ලා දන්නා බවත් දන්නවා. රනිල් පාර්ලිමේන්තුවාදියෙක් බවත් දන්නවා. අගමැති ඉවත් කිරීමෙන් පසුව පළමු කටයුත්ත විදිහට රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය සියල්ලේ පාලනය අතට ගත්තේත්, තමන්ට අවශ්‍ය ඇත්ත හා බොරු සියල්ල කිසිදු පැකිලීමක් නැතුව වේගයෙන් සමාජගත කළේත් ඒ නිසයි. රනිල්ලා වැටුණු ප්‍රධානම පෙරමුණ මෙතැන.

පාර්ලිමේන්තුව නොවැම්බර් 5 රැස් කරන බව කිවුවම බටහිර රටවල් වගේම රනිල්ලාගේ සමීපතම කණ්ඩායමත් රැවටුනා. බටහිර රටවල් වල මිනිස්සු හිතන පතන ක්‍රියා කරන ක්‍රමයක් තියෙනවා. ඔවුන් හදිසි තීරණ ගන්නේ නැහැ. කරුණු කාරණා හොයා බලලා, සැලසුමක් ඇතුවයි වැඩට බහින්නේ. රනිල් සහ රනිල් වටේ ඉන්න අය හිතන්නේ හා වැඩ කරන්නෙත් ඔය විදිහටම තමයි.

කලින් පාර අගමැතිකම දාලා ගෙදර යන්න වූ බව රනිල් අමතක කරපු දෙයක් නෙමෙයි. එකම දේ නැවත සිදු වෙන්න ඉඩ තියන්න ඔහුට අවශ්‍ය වුණේ නැහැ. දහනමවෙනි සංශෝධනය ගෙනාවේ ඒකයි.

දහනමවෙනි සංශෝධනය හරහා තමන්ගේ අගමැතිකම සුරක්ෂිතව පවතින බවට ලොකු විශ්වාසයක් රනිල්ට තිබුණා. ඔහු තමන්ගේ රාජ්‍ය පාලන වැඩ පිළිවෙළ සැලසුම් කළේ කාලය ඉවර වෙද්දී පීක් එකට එන්නයි. ඒ අතර කාලයේ මිනිස්සු දැනුවත් කිරීම වැදගත් දෙයක් ලෙස ඔහු සැලකුවේ නැහැ.

නිදහසින් පසු ලංකාවේ කවදාවත් දැන් සිදු වී තිබෙන ආකාරයේ බල හුවමාරුවක් සිදු වී නැහැ. ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පිටින් යන්න ඉඩක් තිබෙන බව රනිල් හෝ ඔහු වටා සිටි කිසිවෙක් කලින් හිතුවා කියා මම හිතන්නේ නැහැ.

මහින්දව අගමැති සේ පත් කිරීම සමාජජාලා වල කියනවා වගේම රනිල්ට සර්ප්‍රයිස් එකක්. එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කොහොමද කියන එක ගැන රනිල්ට පෙර සැලසුමක් තිබුණේ නැහැ.

ප්‍රතිවාදියා සම්ප්‍රදායයෙන් පිට පැන්නහම සැලසුම්සහගතව වැඩ කරන අය ලොකු අමාරුවක වැටෙනවා. කුන්ග්-ෆූ සටනකදී එක පාරට පොල් අඩියක් වැදුණොත් ක්‍රීඩකයෙක් හොල්මන් වෙනවා. සනත් ජයසූරියගේ සාර්ථකත්වයේ රහස තිබුණෙත් එතැනයි.

සැලසුම් සහගතව වැඩ කරන අය බොහෝවිට දිගුකාලීනව සාර්ථක වෙනවා තමයි. නමුත්, සැලසුම් සහගතව වැඩ කරන අයෙක් ක්‍රියා කරනු ඇත්තේ කොහොමද කියන එක පුරෝකථනය කිරීම එතරම් අපහසු නැහැ. මහින්ද-මෛත්‍රී පාර්ශ්වය මෙහි වාසිය ගත්තා. මහින්ද-මෛත්‍රී පාර්ශ්වය කළ දේ රනිල් පාර්ශ්වයට සර්ප්‍රයිස් එකක් වුනත් රනිල්ලා කළ දේවල් මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට සර්ප්‍රයිස් වුනේ නැහැ. ඔවුන් හිටියේ සූදානම්වයි.

අර්බුදය එක්ක වේගයෙන් ඉදිරියට එන හෙළ උරුමයේ චම්පික හා පරණවිතාන වගේ අය රනිල්ලාගේ රාමුව ඇතුළේ පමණක් සිතිය හැකි අය නෙමෙයි. මහින්ද-මෛත්‍රී පාර්ශ්වය ක්‍රියා කරන ආකාරය ගැනත්, ප්‍රතිවාදියාව තක්සේරු කරන ආකාරය ගැනත් ඔවුන්ට රනිල්ගේ සමීපතම කණ්ඩායමට වඩා හොඳ ඇස්තමේන්තුවක් තියෙනවා.

රනිල් තමන්ගේ අගමැතිකමේ නීත්‍යානුකූලභාවය ගැන බටහිරට ආඩපාලි කිය කියා ඉන්දැද්දී මහින්දලා ඉන්ධන මිල අඩු කිරීම ආදිය හරහා තමන් රාජ්‍ය බලය අත්පත් කරගෙන සිටින බව රටට පෙන්නන්න පටන් ගත්තා. නියම ආණ්ඩුව තමන්නම් හොර ආණ්ඩුවක් තමන්ට ඕනෑ දේවල් කරනකම් බලාගෙන ඉන්නේ මොන කෙහෙම්මලකටද කියා රටේ බහුතර මිනිස්සු හිතන බව රනිල් තේරුම් නොගත්තත් චම්පික තේරුම් ගත්තා. ඔහු තමන්ගේ අමාත්‍යංශයට ගිහිං මොහොතකට හෝ ඇමති පුටුවේ වාඩි වීමේ තියෙන්නේ විශාල සංකේතාත්මක වටිනාකමක්.

පාර්ලිමේන්තුව රැස් කරන සේ ඉල්ලමින් රටවටා පැවැත්වෙමින් තිබෙන රැස්වීම් වල හෙළ උරුමයේ ඉතිරි වෙලා ඉන්න මන්ත්‍රීවරු දෙන්නාගේ කාර්ය භාරය කැපී පෙනෙනවා. මේ හරහා ඔවුන් එජාප සාමාජිකයින් අතර වගේම, පාවෙන ඡන්දදායකයින් අතරත් පදනමක් හදාගැනීමේ කාර්යයට අත ගැහුවා. පාර්ලිමේන්තුව නැවත කැඳවන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් මහින්ද-මෛත්‍රී පාර්ශ්වය චම්පිකලාගේ ප්‍රධාන සටන් පාඨය අවලංගු කර දමන්න උත්සාහ කර තිබෙනවා. නමුත්, මේ දිනය බොහෝ ඈත දිනයක් නිසා ඔවුන් ඔවුන්ගේ විරෝධතා නවත්වා දමයි කියා හිතන්න අමාරුයි.

චම්පිකලා වගේම ජවිපෙත් මේ සිද්ධිය හරහා පාවෙන ඡන්දදායකින් ආකර්ෂණය කරගනිමින් සිටිනවා. මෙය 2015ටත් පෙර සිට ජවිපෙ විසින් බලාගෙන සිටි මොහොතක්. මේ වෙලාවේ ඔවුන්ට කරන්න තියෙන්නේ මොකවත්ම නොකර පැත්තකට වී බලාගෙන සිටීම පමණයි. මෙතක් කල් ලංකාවේ ආණ්ඩු මාරු වුනේ බලයේ හිටපු පක්ෂයේ ජනප්‍රිත්වය පිරිහීම නිසා මිසක් විපක්ෂය ලොකු දේවල් කළ නිසා නෙමෙයි. එජාප මන්ත්‍රීවරු ලොකු ගණන් වලට විකිණෙන විට මිනිස්සුන්ට එපා වෙන්නේ මුදල් ගෙවා ඒ අයව මිල දී ගන්නා අය පමණක්ම නෙමෙයි.

යුද්ධය වෙලාවේ බටහිර රටවල් රැවැට්ටීම සිංහලයින්ට ප්‍රශ්නයක් වුනේ නැහැ. නමුත්, මේ වෙලාවේ බෙදුම් රේඛාව වැටී තිබෙන්නේ උගත් නූගත් කණ්ඩායම් මැදින් මිසක් සිංහල දෙමළ කණ්ඩායම් මැදින් නෙමෙයි. මෙහිදී මම නූගත් කියන වචනය යොදාගන්නේ අපහාසාත්මක අර්ථයකින් නෙමෙයි. දළ වශයෙන් කිවුවොත් පොතේ හැටියට හිතන වැනි අර්ථයකින්.

ජනාධිපතිවරයා විසින් රනිල්ව ඉවත් කර මහින්දව පත් කිරීම ව්‍යවස්ථානුකූලද කියන එක ලංකාවේ ගම් වල ගොඩක් අයට ප්‍රශ්නයක් නෙමෙයි. මහින්දගේ පැත්තේ අය මොන විදිහට හෝ මහින්ද බලයට පැමිණීම ගැන සතුටු වෙනවා. රනිල්ගේ පැත්තේ අය කණගාටු වෙනවා. සමහර අයට මළ පැනලා. හැබැයි මේ දෙගොල්ලන්ටම ව්‍යවස්ථාව හෝ දහනවවන සංශෝධනය වැදගත් දෙයක් නෙමෙයි. ඔය දෙන්නගෙන් කවුරු අගමැති වුනත් මේ කණ්ඩායමේ මිනිස්සු එය පසුව පිළිගනියි. මහින්ද-මෛත්‍රී කණ්ඩායම එය දන්නවා. චම්පිකලා වගේ අයත් දන්නවා. රනිල් ඒ ගැන ඒ විදිහටම හිතනවද කියා මම දන්නේ නැහැ.

උගත් අයට මෙය ඒ තරම් සරල ප්‍රශ්නයක් නෙමෙයි. ඔවුන් බොහෝ දෙනෙක් මෙය ව්‍යවස්ථාවට අනුකූල නොවන බව දන්නවා. ඒ අය අතර මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට විශාල පක්ෂපාතිත්වයක් තිබෙන අය සහ ඒ කණ්ඩායමෙන් වාසි ලබන අයත් ඉන්නවා. ව්‍යවස්ථාවේ පරස්පර හොයමින් මහින්දව පත් කිරීම සුජාත කරන්න හදන අයගෙන් වැඩි දෙනෙක් මේ කණ්ඩායමේ අය. ඒ වගේම, එජාපය පැත්තේ ඉන්න, මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ වැදගත්කම ගැන කතා කරන සියලුම දෙනා එසේ කරන්නේ අවංකවමයි කියා කියන්න බැහැ. ඔවුන් ව්‍යවස්ථාව වෙත යන්නේත් තමන්ට එයින් ලැබෙන වාසිය ගැන සලකමිනුයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු ටෝක් දෙන කෙනෙක් තමන්ගේ මිල ලැබුනහම අනිත් පැත්තේ ඉන්නවා දකින්න ලැබුනොත් කවුරුත් පුදුම වෙන්න අවශ්‍ය නැහැ.

කොහොම වුනත්, අවංකවම මේ වෙලාවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සෑහෙන පිරිසකුත් ඉන්නවා. රටේ අනාගතය ගැන කම්පා වෙන අය ඉන්නවා. ඒ ගොඩක් අය වර්ග කරන්න පුළුවන් වෙන්නේ පාවෙන ඡන්දදායකයින් විදිහටයි. ලංකාවේ මෑතකදී පැවැත්වුණු මැතිවරණ සියල්ලේදීම වගේ අවසන් ප්‍රතිඵලය තීරණය කළේ මේ පිරිසයි.

කෙළින්ම නොකිවුවත්, බටහිර රටවල් හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව රැස් කරන්න කියා කියන කොට එසේ කිරීම රනිල්ට වාසිදායක බව නොසලකා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පමණක්ම හිතුවා කියා මම හිතන්නේ නැහැ. දවස් දෙකකට පෙර පාර්ලිමේන්තුව රැස් කිරීම මඟින් ඔවුන්ගේ ඉල්ලීම ගැන සැලකිල්ලක් දැක්වූ බව මහින්ද-මෛත්‍රී පාර්ශවයට කියන්න පුළුවන් වුනත්, තමන් රැවටුණු බව බටහිර රටවල් තේරුම් ගැනීම වලක්වන්න බැහැ. මේ ඔවුන් මේ ආකාරයට රැවැටුණු දෙවන අවස්ථාව. ඔවුන් මෙය අමතක කර දමන එකක් නැහැ.

පසුගිය අවුරුදු තුනේ රනිල් බැනුම් අහමින් රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන්න සෑහෙන දේවල් කළත් අලුත් ආණ්ඩුවකට පිස්සු කෙළින්න පුළුවන් තරම් ස්ථාවර ආර්ථිකයක් රනිල්ලා හදලා නැහැ. ආර්ථික ස්ථාවරත්වයක් නැත්නම් දේශපාලන ස්ථාවරත්වයක් පවත්වා ගැනීම ලේසි නැහැ. නොවැම්බර් 14 හා ඊට පෙර දවස් දහය ඇතුළත මොනවා වුනත් ඉදිරි අවුරුදු දෙක ලංකාවට ඒ තරම් හොඳ කාලයක් නොවෙන්න පුළුවන්.

(Image: https://www.newsfirst.lk/2016/11/20/mps-monthly-wage-allowances-become-focus-attention/)

16 comments:

  1. Mahinda is one of the most popular leaders that rule/d Sri Lanka in the recent history. While more than enough facts available to deduce that MR does not have any ambition or strategy to transform Sri Lanka to a developed economy, it is amazing how well educated Sri Lankans still prefer him. Now this by no means imply that the RW government policies are great, but some level of discipline was demonstrated by them during the past 2-3 years.
    It is obvious that our external debt interests have grown exponentially. Can’t see a realistic way out unless –
    • We find some high demand and high yield natural resource and get it to the market aggressively. - This is unlikely due to the low probability of such discovery, the wide spread corruption, lack of capital investment, technological limitations.
    • The debtors’ write-off our debts.
    • Some miracle
    Bottom line, the future is not very bright for the next generations in our country.
    On top of that, the poor governance has/ will deteriorate the morale values of the country, we are already seeing how people rationalize the wrong doings of both sides.
    As people have to compete for the limited resources and opportunities, we should be seeing an escalation in unfairness, corruption , crime in the near future.
    Sigh..


    ReplyDelete
  2. What's your prediction for the result of the next general election?

    ReplyDelete
  3. මෙන්න රණ විරුවෝ හිරේට ....

    තෙල් සංස්ථාව මැරයන්ගෙන් බේරගත්ත විරෝධාර Police නිලධාරියා හිරේට ...

    වෙනස සැපද?????

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ තුපාරක් පෙරාපු එකා විජයකළා මෙතඩ් එකෙන් සවසට ගෙදර යනෝ

      Delete
  4. ඉකොනො ලංකාවේ මෙතුවක් පහල වෙච්චි කුජිතම කතා නායක පාර්ලිමේන්තුව නැවත රැස් වෙන දවසේ පාර්ලිමේන්තු වැඩ කටයුත කර ගෙන යාමට ඉඩ නොදී කුණුහරුපෙන් බැන වැදීමටත්, සෙන්කොලය පහර ගැනීමටත්, රජයට එක්වෙය කියා සිතන මන්ත්‍රීවරුන සගවා තැබීමටත් චන්ද්‍රිකා, රනිල්, මංගල, රාජිත, ටෝමියා, පොන්සේකා, රතු අලි පටිය අනුර, චමපික සහ NGO නඩය කුමන්ත්‍රණයක් දියත් කිරීමට හදනවලු.

    ReplyDelete
  5. බලන් ගියාම රනිල්ව බේරගන්න ඉන්නේ රනිල්ගෙන් සැලකුම් ලබපු ඔහුගේ ගජ මිතුරු රෝයල් ගැන්සිය නොව, ඔහුව බලයට ගේන්න දරදිය ඇදපු, හැබැයි බලයට පැමිණි පසු හලලා දාපු උන් එක්ක JVP උන් ඉකොනො...

    හැබැයි ඉතින් ඉකොනො කොච්චර කොටන් ඇද්දත් රනිල් මුන්ව පෙරහැරේ ගෙනියන්නේ නැති බව මුන් තවමත් ඉගෙන ගෙන නැත...

    ReplyDelete
  6. මට හිතෙන්නේ මෛත්‍රීපාල මහතාව මහින්ද මහතා විසින් අන්දවා ඇති බවයි. තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන බවත්, තමාට අගමැතිකම නොදී යහපාලනය දිගටම තියාගන්න උත්සාහ කලොත් අයවැය පරද්දලා තමා බලය අල්ලා ගන්නා බවට කටමැත දෙඩවීමක් හෝ තර්ජනය කිරීමක් මගින් ජනාධිපතිට වෙනත් විකල්පයක් නැති තැනට තල්ලු කර ඇති බව පේනවා. මහින්ද මහතා ජනාධිපතිතුමාගේ විරුද්ධවාදියෙකු හැටියට අගමැති කමට එනවට වඩා, අගමැතිකමට ආරාධනා කරලා, පත්කලාම ජනපතිතුමාට හිරිහැරයක් වෙන එකක් නැහැ කියා හිතන්න ඇති . ඒ වගේම මහින්ද මහතා වටේ ඉන්න කේවට්ටයෝ ටිකත් මහින්ද මහතාට '113 හදලා දෙන එක සුළු දෙයක්' කියලා අන්දලා තියන බවත් පේනවා. මේ ලියන මොහොත (ලංකාවේ 4.30PM ) වනවිටත් රතන හාමුදුරුවොත් එක්කම මහින්ද පිලේ ඉන්නේ 105 පමණක් බව දැක්කාම ඒක හොඳින්ම පැහැදිලි වෙනවා . කොහොම උනත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීන්දු තීරණ ජනපතිකමට තියා ග්‍රාම සේවක කමටවත් නුසුදුසු බව නම් කිව යුතුමයි. මේවා ඔක්කොම මම හිතින් මවාගත්ත දේවල් බවත්, මට ලංකාවේ චන්ද බලය නොමැති බවත් (තිබුන කාලයේ නම් අපේ පවුලේ හැමෝටම හෝමාගම ආසනයේත්, ඒ හා සමගම හා කෝට්ටේ/කඩුවෙල/හෝ මහරගම යන තුනෙන් එකකටත් ද්විත්ව චන්ද තිබුන බවත් ) කිවයුතුයි .

    ReplyDelete
  7. මේවා ඔක්කොම මම හිතින් මවාගත්ත දේවල් බවත්, මට ලංකාවේ චන්ද බලය නොමැති බවත් (තිබුන කාලයේ නම් අපේ පවුලේ හැමෝටම හෝමාගම ආසනයේත්, ඒ හා සමගම හා කෝට්ටේ/කඩුවෙල/හෝ මහරගම යන තුනෙන් එකකටත් ද්විත්ව චන්ද තිබුන බවත් ) කිවයුතුයි .......

    සංක්‍රමික වූ ඔබ මෙව්න්දෙයක් ප්‍රකාශය කිරීම ඉතා අගේනේ කොට සලකමි.
    නමුත් සංක්‍රමිකයන්වශයෙන් රටෙන් පිටවීඑහි පුරවැසිකම් ගෙන [තමාගේ වාසියටම] මුදල් ගෙවා නැවත ලංකාවේ පුරවැසිකම මිලදී ගෙන ගෙන ලංකාව හදන්න පට්ට පඩ ටෝක් දෙයි උදා රසිකලොජිය කරන කෙනා කැනඩාවේ සිටින මානසික දොස්තර එංගලන්තයේ ඉන්න අජිත් කවරදාකවත් නැවත ලංකාවේදී මහජන චන්දකදී චන්දය පාවිච්චි නොකර අල වගේද ගෝවා වැනි දේශපාලන ටෝක් දෙති ලියති


    ReplyDelete
    Replies
    1. I also agree with this part mate. Well said.

      ++++++++++++++++++++++++++

      Delete
    2. විදෙස් ගත ලාංකිකයන් ශ්‍රී ලංකාවට ඩොලර් එවන නිසා ඔවුන්ට කොහොමත් අයිතියක් තියෙනවා ලංකාවේ තත්වය ගැන කතා කරන්න.

      වර්තමානයේ ලංකාවේ ප්‍රධානතම ආදායමක් තමයි විදෙස්ගත ලාංකිකයන් මාස්පතා ශ්‍රී ලංකාවට එවන මුදල්..

      Delete
    3. ලංකාවේ මහජන මුදලින් ඉගෙන ගෙන විදේශ ගතවන්නන් කාන්ඩ 4 ක් සේ සලකන්න.

      1) මහජන මුදලින් ඉගෙන ගෙන විදෙස් ගතවී මුදල් උපයා එම ඉපයීම් ලන්කාවට එවන අය

      2) මහජන මුදලින් ඉගෙන ගෙන තම මුදලින් පෞද්ගලික විද්යාලවලින් ඉගෙන ගෙන විදෙස් ගතවී මුදල් උපයා එම සියලු ඉපයීම් ලන්කාවට එවන් අය

      3) මහජන මුදලින් ඉගෙන ගෙන පවුල් පිටින් විදෙස් ගතවී මුදල් උපයා සතයක්වත් ලන්කාවට නො එවන අය.

      4) මහජන මුදලින් ඉගෙනගෙන නයත් අරගෙන විදෙස් ගතවී මුදල් උපයා එම ඉපයීම් ලන්කාවට එවීමක් හෝ නය ගෙවීමක් නොකරන අය

      මේ අය සාමාන්‍ය උපාධි නොමිලේ කරලා රට පැන්න අය, මේ රටේ ජනතාවට, තමන්ගේ දෙමාපියන්ට, තමන් උපාධි අවස්ථාව නැති කල කෙනා...etc ආදිය වෙනුවෙන් ද වන්දි ගෙවිය යුතුයි. අවස්ථාවාදීන්....

      ඉතාමත් සුළු පිරිසක් මැදපෙරදිග සේවයෙන් ලංකාවට විදේශ මුදලක් එවනවා.

      ලංකාවේ ඉගෙනුම ලත් ඉංජිනේරුවන් දැන් වෙනත් රටවල ජීවත් වෙනවා.

      ලංකාවේ තිබුණු ගෙවලුත් විකුණලා ඒ සල්ලිවලින් ඔස්ට්‍රලියාවේ ගෙවල් ගත්ත අයත් ඉන්නවා.

      ඒ සියලු අයගෙන් මහජන මුදලින් නොමිලේ ලබාගත් උපාධිය වෙනුවෙන් රජයට මුදලක් අයකර ගත යුතුයි.

      Delete
    4. AnonymousNovember 5, 2018 at 8:36 PM

      ඇනෝ කියන පරිදි අංක 1 2 වනාහි රටට සම්පතකි අවන්කවම් ඔවුන් අගය කලයුතුය ඔවුන් නිහඬව සේවයක් කරයි බොරු කයිවාරු ද නැත. හැකිතරම්ම් හරි හම්බකරගෙන මව් රට බලා යයි

      අංක 3 සහ 4හිමි පාහරයින් ලාංකීය නිදහස් අධ්යාපන ලබා සංක්‍රමිකයන් වී රට රටවල් වලට ගොස් එහෙ සිට රට හදන්න පකඩ්ටෝක් දෙමින් ලාංකීය දේශපාලනයට කඩේ යමින් සුද්දන්ගේ සෙකන්ඩ් ක්ලාස් පෙපර් කොලිෆයිඩ් මයිග්රන්ට් වැසියන් වශයෙන් කුජිතව ජිවත්වන එවුන්ය.

      Delete
  8. @ Sam Perera

    ලංකාව හදන්න හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වා තුනෙන් දෙකක ජනවරමක් සහිත ව ශ්‍රී.ල.නි.ප. පොදුජන පෙරමුණු ආණ්ඩුවක් හදන්න ඕන. ආසන්න ම මැතිවරණය වූ පෙබරවාරි මැතිවරණයට අනුව දැනටමත් මේ ආණ්ඩුවට 59%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් තියෙනවා. මැතිවරණයකින් තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ තව ඡන්ද සුළු ප්‍රතිශතයක් පමණයි. එය ලබා ගන්න පුළුවන්.

    ලංකාවේදී පාර්ලිමේන්තුව අවුරුදු හතර හමාරකට පෙර විසුරුවා හරින්න ක්‍රම දෙකක් තිබෙනවා. එකක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් සම්මත කිරීම. එවැනි යෝජනාවක් මෛත්‍රිපාල - මහින්ද ආණ්ඩුවට ම ගෙන එන්න පුළුවන්. එයට එ ජා පෙරමුණ ඡන්දය දෙනවා ද කියා එවිට බලන්න පුළුවන්. එ ජා පෙරමුණ මොන වහසි බස් දෙඩෙවුවත් ඔවුන් දන්නවා අද මැතිවරණයක් තිබ්බොත් තමන් පරදින/ කුජීත වන බව.

    නවක මන්ත්‍රීන් එවැනි යෝජනාවකට ඡන්දය දේවි ද යන්න ඒ අතර ප්‍රශ්නයක්. එවැනි යෝජනාවක් ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීමට හරස් ව සිටිනවා, එයට පිළියමක් යොදන්න ආණ්ඩුවට හැකි විය යුතුයි.

    තවත් ක්‍රමයක් නම් අයවැය යෝජනා දෙවරක් පරාජය කිරී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ටමයි. එහෙත් මේ ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ අතුරු අයවැයක්. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ අයවැය යෝජනා (විසර්ජන පනත) ගෙනෙන එක සංකීර්ණ කියාවලියක්. අයවැය එක් වරක් පරාජය කිරීමෙන් නම් කලින් කියා ඇති පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ නැහැ.

    ආණ්ඩුව ම මැදිහත් වී නවක මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නයට පිළියමක් සොයා ගත හැකි නම් හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම රටට කරන යහපතක්. එවිට මැතිවරණයකින් ඊනියා කුඩා පක්‍ෂවලට බලපෑම් කළ නොහැකි තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගත හැකියි.

    ReplyDelete
  9. මන්ත්‍රීලට ගෙවන විශ්‍රාම වැටුප් වහා නතර කල යුතුය.

    ReplyDelete
  10. අද 'ජන මහිම ය ' වීඩියො දැක්කම මට හිතුන දෙයක් තමයි MR -MS දීගෙ එච්චර comfortable නෑ කියල. දෙන්නගෙන් කවුද Husband කියලත් තාම තීරණය වෙලා නෑ වගේ. මේ කසාදෙ ඇතුලෙ තමන්ට හිමි තැන මොකද්ද කියල ටික ටික තේරුම් ගනිද්දි මයිත්‍රී ක්‍රමක්‍රමයෙන් nervous වෙන ගතියක් පේන්න තියෙනවා.

    බලන්න අද රැලියේ ජාතික ගීය කියන අවස්ථාවේ video. පැහැදිලිවම ගෘහ මූලිකයා මහින්ද කියල පේනව . අවාසනාවකට වගේ මයිත්‍රීට ඒක වැදුනෙ shock එකක් වගේ. මහින්ද 'ජාතික ගීය යනව ' කියල තදින් කිව්වට පස්සෙ මිනුත්තු කීපයෙ මයිත්‍රිගේ pose එක බලන්න. something is not correct . මහින්දටත් තේරුණා මෙයා පැද්දෙනවා ටිකක් වැඩියි කියල. දෙපාරක් විතර හැරිල බලනව .

    මයිත්‍රී ගැලරියට කතා කරන්න හිතුවෙත් මේ break down එකේම ප්‍රතිඵලයක් හැටියට වෙන්නත් පුළුවන්.

    බලන්න මහින්ද දිහා මයිත්‍රී සමනල 'විහීලුව ' කරන වෙලාවෙ . clearly embarrassed . මහින්ද ඒ කතාව අනුමත නොකරන බව පෙන්නන්න try කරනව වගෙයි. එයා uncomfortable බව නම් පැහැදිලියි.

    කොහොම උනත්, එක දෙයක් පැහැදිලියි. මයිත්‍රී හිතන් හිටිය නම්, මහින්ද අගමැති කරලා එයා 'ජනාධිපති ' විදියටම ඉන්න, ඒ ප්ලෑන් එක කෙරෙන්නේ නෑ කියල අද එයාට වැටහුනා. එයාට ඕනෙම නම් 'ජනාදිපති ' වගේ ඉන්න නම් ලැබෙයි. පව්! (ද?)

    ReplyDelete
  11. මයිත්‍රී ගෙ inabilities and insecurities සීඝ්‍රයෙන් නිරාවරණය වෙමින් පවතිනව .
    මෙයා රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වත් , රාජ්‍ය පාලකයෙක් වත්, ඇත්ත කියන කෙනෙක් වත් නෙවෙයි කියන එකනම් දැන් රටටම පේනව ,
    මේ සන්දර්භය ඇතුලෙ , මයිත්‍රී ගේ 'අගමැති පෙරළිය ' තීරණයත් පිස්සුවෙන් කරපු දෙයක් වෙන්න පුළුවන්.
    අයියො සිරි ලංකාව !

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: