වෙබ් ලිපිනය:

Tuesday, November 27, 2018

තෑන්ක්ස්ගිවිං නයෙක්!


කීයක් හරි අඩුවෙන් බඩුවක් මිල දී ගන්න පෝලිමේ ඉන්න එක මම කැමති දෙයක් නොවුණත් පසුගිය බ්‍රහස්පතින්දා මෙවැනි දෙයක් නොකර ඉන්න බැරි වූ බව මම කිවුවනේ. මිල දී ගන්න සැලසුම් කර තිබුණේ, තනියම ඔසොවන්න අමාරු, රූපවාහිනියක් නිසා මේ වැඩේට දෙන්නෙක් යා යුතුම වුනා.

පසුගිය ලිපියට ප්‍රතිචාර දක්වමින් ගොඩක් අය ලියා තිබුණේ දැන් කලක සිටම ලංකාවේ පෝලිම් දකින්න නැති බවයි. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. පසුගිය කාලයේ ලංකාවේ පෝලිම් ක්‍රමක්‍රමයෙන් අඩු වී තිබෙනවා. එයට ප්‍රධානම හේතුවක් වන්නේ මිනිස්සුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ යාමයි.

ස්තුති කිරීමේ සති අන්තයේදී වට්ටම් සහිතව බඩු විකුණුවා කියා හැම ඇමරිකානුවෙක්ම පෝලිම් වලට එකතු වෙන්නේ නැහැ. එය තීරණය වෙන්නේ එක් එක් පුද්ගලයාගේ පෝලිමේ සිටීමේ ආවස්ථික පිරිවැය හා වට්ටම නිසා ලැබෙන මුදල් වාසියේ ප්‍රමාණය අනුවයි. ලංකාව ගත්තත් එය එහෙමයි.

උදාහරණයක් විදිහට පසුගිය දවසක ලංකාවේ ඉන්ධන මිල ඉහළ දැමීමක් කලින් දැනුම් දීම නිසා, මිල වැඩි වෙන්න පෙර ඉන්ධන ලබාගන්න ගොඩක් අය පෝලිම් ගැහුණා. ඒත් හැමෝම එය කළේ නැහැ. ලැබෙන වාසිය රස්තියාදුවේ ආවස්ථික පිරිවැයට වඩා වැඩි අය පමණයි මේ විදිහට පෝලිම් වලට එකතු වුණේ.

මා පාසැල් යන කාලයේ මසකට වරක් සෑහෙන වෙලාවක් ගත කරපු තැනක් වුනේ සීසන් පෝලිමයි. ඒ දවස්වල අප පාසැල් ගියේ ලංගම බස් වල. ඒ කාලයේ පාසැල් සිසුන්ට වාර ප්‍රවේශපත්‍ර ලබා දුන්නේ ඉතාම අඩු මිලකට. සාමාන්‍ය මාසයක් තුළ දවස් 22ක් පමණ ගමන් කළ හැකි වූ වාර ප්‍රවේශපත්‍රයක් සඳහා ගෙවිය යුතු වූ මිල ආසන්න වශයෙන් දවස් හතරක බස් ගාස්තුවට සමානයි.

සෑම මසකම අවසන් දින දෙකකදී පමණ හා මුල් දින දෙකකදී පමණ අපේ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළේ වාරප්‍රවේශ පත්‍ර නිකුත් කරන කවුළුවක් විවෘත කර තිබුණා. පාසැල අවසන්ව දෙකට පමණ මේ පෝලිමට එකතු වුනත් සමහර වෙලාවට හවස හතරට හෝ පහට වාරප්‍රවේශ පත්‍ර කවුළුව වහන තුරුත් කවුළුව වෙත ළඟා වෙන්න ලැබෙන්නේ නැහැ. දින කිහිපයක්ම මේ වැඩේ වුනොත්, තුන්වනදායින් පසුව වාර ප්‍රවේශ පත්‍රය මිල දී ගන්න ඩිපෝවටම යන්න වෙනවා. වාරප්‍රවේශ පත්‍රය මිල දී ගන්නා තුරු බස් වලට ටිකට් ගත යුතුයි. මේ කියන කාලය හැත්තෑ හතට වඩා දශකයකට පමණ පසු කාලයක්.

ඒ කාලයේත් වඩා හොඳ ප්‍රවාහන සේවා භාවිතා කළ අය අපේ පන්ති වල හිටියා. හැබැයි කලාතුරකින්. පාසැලට ඉතාම ආසන්නයේ හෝ ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිටි කිහිප දෙනෙක් හැර අනෙක් බොහෝ දෙනෙක් පාසැල් ආවේ වාර ප්‍රවේශපත්‍ර වලින්.

මේ වන විට ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පන්තිකයින්ගේ ළමුන් බොහොමයක් පාසැල් යන්නේ පාසැල් වෑන් රථ වලින්. ඒ නිසා ඔවුන් සීසන් පෝලිම් වල කාලය නාස්ති කළ යුතු නැහැ. අපේ කාලයේ දරුවෙක් සීසන් පෝලිමේ රස්තියාදු වීමේ වගේම ඉන්පසුව පාසැල් බස්රථය නොපැමිණි දවසක ලංගම බසයක්ම එන තුරු රස්තියාදු වීමේ ආවස්ථික පිරිවැය ගැන දෙමවුපියන් වැඩිපුර නොහිතුවේ ඒ රස්තියාදුව නැති කළ හැකි විකල්ප ඔවුන්ගේ ආදායම් වලට සාපේක්ෂව ගොඩක් මිල අධික වූ නිසයි. නමුත්, දැන් තත්ත්වය වෙනස් බව කිවයුතු නැහැ.

මිල පාලනයක් තිබූ පමණින්ම පෝලිම් ඇති වෙන්නේ නැහැ. පෝලිමක් හෝ භාණ්ඩ හිඟයක් ඇති වන්නේ නියම කරන මිල සමතුලිත මිලට වඩා අඩු මිලක්නම් පමණයි. ලංකාවේ ඉන්ධන වලට තියෙන්නේ පාලන මිලක්. නමුත්, විශේෂ තත්ත්වයක් යටතේ හැර සාමාන්‍යයෙන් ඉන්ධන මිල දී ගන්න ලොකු පෝලිම් නැහැ. එයට හේතුව බොහෝ විට රජයෙන් නියම කරන ඉන්ධන මිල එතරම් අඩු මිලක් නොවීමයි. ඒ මිලට, පවතින ඉල්ලුමට වඩා වැඩියෙන් වුවත් ඉන්ධන සපයන්න බැරිකමක් නැහැ. අනෙක් අතට මිල අඩු මිලක් වුවත් පාඩු විඳගෙන ඒ මිලට දිගටම තෙල් විකිණීමේ හැකියාව රජය සතුව තිබෙනවා. එවිට අලාභය රටේ සියල්ලන් අතර බෙදී යනවා.

හැත්තෑ හතට පෙර පෝලිම් තිබුණේ සමතුලිත මිලට වඩා අඩුවෙන් බොහෝ භාණ්ඩ වල මිල නියම කර තිබුණු නිසයි. නමුත්, ඒ කාලයේ පවා ඇති හැකි අය මේ පෝලිම් වලට ගියේ නැහැ. මුදල් යහමින් තිබුණු අය කළේ වැඩි මිලක් ගෙවා කළු කඩෙන් බඩු ගන්න එකයි. පෝලිමේ රස්තියාදු වීමේ ආවස්ථික පිරිවැය වැඩි අය වැඩිපුර මුදලක් වැය වීම ගැන කණගාටු වුණේ නැහැ. කෙනෙකුගේ ආදායම් ඉහළ යන තරමට ඔහුගේ හෝ ඇයගේ තේරීම වෙන්නේ පෝලිමේ රස්තියාදු වීම වෙනුවට වැඩි මිලක් ගෙවා භාණ්ඩය මිල දී ගැනීමයි.

ඇමරිකාවේ වගේම ලංකාවෙත් ඒක පුද්ගල ආදායම වසරින් වසර ඉහළ යනවා. ඇමරිකාව, ජපානය, ජර්මනිය වගේ තාක්ෂනය අතින් පෙරමුණේ සිටින රටකට තවත් වර්ධනය විය හැක්කේ නව නිර්මාණ හරහා කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමෙන් පමණයි. නමුත්, ඉන්දියාව, චීනය, ලංකාව වැනි ආදායම් අතින් හා තාක්ෂනය අතින් පෙරමුණේ නොසිටින රටවලට පෙරමුණේ සිටින රටවල තාක්ෂනය උකහාගෙන වඩා වේගයෙන් වර්ධනය වීමේ හැකියාව තිබෙනවා.

ලෝකයට විවෘත වන තරමට ආර්ථික වශයෙන් පසුගාමී රටකට වඩා වේගයෙන් ඉදිරියට යා හැකියි. ඒ එක්කම දියුණු රටවල් හා අඩු දියුණු රටවල් අතර පරතරය ක්‍රමයෙන් අඩු වෙනවා. එය වෙනත් බාධා කිරීම් නැත්නම් තාක්ෂනය කාන්දු වීම නිසා ස්වභාවිකවම සිදු වන දෙයක්.

අද සාමාන්‍ය ඇමරිකන් නිවෙසක රූපවාහිනී යන්ත්‍ර දෙකකට වඩා තිබෙනවා. නිවෙස් 40%ක පමණ රූපවාහිනී යන්ත්‍ර තුනක් හෝ වැඩි ප්‍රමාණයක් තිබෙනවා. නමුත්, වසර පණහකට හැටකට පෙර එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ.

බැක් ටු ද ෆියුචර් චිත්‍රපටියේ මාටි මැක්ෆ්ලයි 1984 වසරේ ඉඳලා 1956 වසරේ ඔහුගේ මවගේ නිවසට යනවා. ඒ වන විට ඇගේ නිවසට රූපවාහිනියක් ගෙනැල්ලා. මාටිගේ ගෙදරත් රූපවාහිනියක් තිබෙනවද කියා ඔවුන් අසනවා. මාටි අනාගතයෙන් පැමිණි බව ඔවුන් දන්නේ නැහැ. මාටි කියන්නේ තමන්ගේ නිවසේ රූපවාහිනී යන්ත්‍ර දෙකක්ම තිබෙන බවයි.

"ඔබ හොඳටම පෝසත් කෙනෙක් විය යුතුයි!" කුඩා දරුවෙකු වන මාටිගේ මාමා කෙනෙක් කියනවා.

"ඔහු විහිළු කරනවා. කොයි ගෙදරකවත් රූපවාහිණී දෙකක් නැහැ!" මාටිගේ ආච්චි කියනවා.

මාටි පැමිණි 1984 අවුරුද්දේදී ඇමරිකානු ගෙදරක රූපවාහිනී යන්ත්‍ර දෙකක් තිබීම අසාමාන්‍ය දෙයක් නොවෙන්න ඇති. නමුත්, ලංකාවේනම් ඒ කාලය වෙද්දී රූපවාහිනී යන්ත්‍රයක් තිබීමම තරමක් ලොකු දෙයක්. ඒ වන විට ලංකාවට රූපවාහිනී ඇවිත් විශාල කාලයක් ගෙවී තිබුණේ නැහැ. හරියට 1956දී ඇමරිකාවේ වගේ.

මාටි මැක්ෆ්ලයි අනාගතයටත් යනවා. ඒ 2012ට. ඒ වන විට ෆ්ලැට් ටීවී හැමතැනම දකින්න තිබෙනවා. බැක් ටු ද ෆියුචර් හදපු කාලයේ ෆ්ලැට් ටීවී තිබුණේ නැහැ. දැන් ඇමරිකාවේනම් දැකිය හැක්කේ ෆ්ලැට් ටීවී විතරයි. ලංකාවෙත් ගොඩක් ගෙවල් වල දැන් තිබෙන්නේ ෆ්ලැට් ටීවී. තාක්ෂනය වේගයෙන් ලෝකය පුරා පැතිරෙනවා. එය වලක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි.

මා පසුගිය බ්‍රහස්පතින්දා උදෙන්ම ගියේ රූපවාහිණියක් ගන්නයි. අඟල් 55ක ස්මාර්ට් රූපවාහිණියක් ඩොලර් දෙසීයකට අඩුවෙන් ගන්න ලැබෙනවා කියන්නේ නරක දෙයක් නෙමෙයි. මෙය සාමාන්‍ය මිලෙන් අඩක්. පූර්ව ප්‍රචාරණ අත් පත්‍රිකාව අනුව එක් වෙළඳසැලකින් විකුණන්නේ රූපවාහිණී යන්ත්‍ර 20ක් පමණයි. එක් අයෙකුට එකයි.

සේල් මිල වලංගු වන්නේ උදේ හයේ සිට නිසා ඊට පැය කාලකට පමණ කලින් එහි යන්න සිදු වුනා. හරියටම හය වෙද්දී ගත්තේ නැත්නම් රූපවාහිණී යන්ත්‍ර 20 විකිණී අවසන් වෙනවා. පැය බාගයක පමණ රස්තියාදුව කඩේකට ගියාම කොහොමත් සිදු වන දෙයක්. මෙහි වූ ආවස්ථික පිරිවැය උදේ පාන්දරින්ම කඩේ යන්න වීමයි. උදේ පාන්දර කඩේ නොගියත්, මා කොහොමත් උදෙන් නැගිටින නිසාත්, මේ වෙළඳසැල නිවසේ සිට විනාඩි පහක පමණ දුරක තිබුණු එකක් නිසාත්, ලැබුණු වාසියට සාපේක්ෂව ආවස්ථික පිරිවැය නොසලකා හැරිය හැකියි.

උදේ හය වෙද්දීම රුපවාහිනී යන්ත්‍ර 20 විකිණී අවසන් වුවත්, මෙය මිල දී ගන්න මහා ලොකු පෝලිමක් තිබුණේ නැහැ. රූපවාහිණී අවශ්‍ය අය එතරම්ම නැතුව ඇති. එසේ නැත්නම් ඉල්ලුම තියෙන්නේ වඩා හොඳ සන්නාම වලට හෝ වඩා විශාල ඒවාට වෙන්න ඇති. වෙනත් බොහෝ තැන් වල මෙවැනි සේල් තිබෙන නිසා වෙන්නත් පුළුවන්. එසේ නැතුව මිල ප්‍රශ්නයක් නිසානම් වෙන්න බැහැ. මේ වගේ වෙළඳසැලක තාවකාලික සේවකයෙකුට වුවත් මේ දවස් වල දින දෙකක් වැඩ කරලා ඩොලර් දෙසීයකට වඩා උපයගන්න පුළුවන්.

කඩේට ගියාට පස්සේ දැක්කේ අයිෆෝන් එකකුත් සාමාන්‍ය මිලෙන් අඩකට ගත හැකි බව. ඒ විදිහට දුන්නේ අයිෆෝන් හතරක් පමණයි. ගිය එකේ ෆෝන් එකකුත් ගත්තා. ඒකටත් විශාල පෝලිමක් තිබුණේ නැහැ. පරණ මාදිලියක් නිසා වෙන්න ඇති.

මේ වගේ සේල් නොතිබුණත්, ස්මාර්ට් ටීවී එකක මිල දැන් ගොඩක් අඩුයි. එක හේතුවක් මෙය චීනයේ නිපදවූවක් වීම. චීනය ඔවුන්ගේ මුදල් ඒකකය අවප්‍රමාණය කර පවත්වා ගන්නා නිසා විදේශිකයින්ට චීන බඩු ලාබයි. එහි අවාසිය චීන ශ්‍රමිකයන්ටයි. අනෙක් අතට ඇමරිකාවේ හදනවාට වඩා අඩුවෙන් චීනයෙන් බඩුවක් ආනයනය කළ හැකියි කියන්නේ ඇමරිකාවටත් වාසියක්. රූපවාහිණියක් නිපදවන්න ඇමරිකාවේදී වැඩි වියදමක් යනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඇමරිකන් ශ්‍රමය වඩා මිල අධික බවයි. ඒ කියන්නේ රූපවාහිණී හදනවා වෙනුවට ඇමරිකන් ශ්‍රමය වඩා ඵලදායී වැඩකට යෙදවෙනවා කියන එකයි.

(Image: https://www.sickchirpse.com/tag/watching-tv/)

10 comments:

  1. මල්ලි ටීවී එකක් ගත්තේ රතු ග්‍රහයා මතට මුලින්ම පා තැබූ කැලිෆෝර්නියාවේ වැන්ඩන්බර්ග් මහතාගේ සංචාරය බලන්නද?

    ReplyDelete
    Replies
    1. අයිය හරි අයියා! කොහොමද ගෙස් කළේ?

      Delete
    2. 'අයිය හරි අයියා! කොහොමද ගෙස් කළේ?'

      මල්ලි සමලිංගික නිසා.

      Delete
    3. AnonymousNovember 28, 2018 at 2:44 AM...

      මේ කොමන්ට් එක අනිවාර්යෙන් සිනුවර සිපිපියාගේ.. කසාද බන්දලා හිටියට එයාගේ හීනෙ සමලිංගික නිසා සැමවිට. සිනුවර සිට ලොජිය කරන අයියා....මල්ලී ටෝක් දෙන්නේ එයාම තමයි

      මේ ලඟදි බෙරේකුත් එල්ලෙගෙන ලේන්සුවක් ඔලුවේ ගැටගහගෙන පිට්ටනියක් මැද්දේ ජෝගියකුත් නැටුවා අපි බලාගෙන උන්නේ.

      Delete
  2. මේ යකා හැම වෙලේම චීනෙට බැන බැන ඉන්නේ. හැබැයි අඩුවට දෙන නිසා චීනේ හදපු ටීවී එකක් අරං. ගනින්කෝ ජපන් එකක් වත්. මුගේ කයිය විතරයි තියෙන්නේ. වෙන මිනිහෙක් චීනෙන් මොකක් හරි ගත්තොත් මූට පුදුම අමාරුවක් තියෙන්නේ. ඌ කරද්දී හොදයි.

    ලංකාවට චීනේ උදව් කරන එකටත් මූ එක එක ලබෙබ් විශේලේෂණ දදා 'චී ණය' කියකියාත් අපහාසාත්මක පොස්ට් ලිව්වා. කිසි ප්‍රතිපත්තියක් නැති අමු දෙබිඩ්ඩේක් මේකා නං.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ලොකුම ගැටළුව ආර්ථික ප්‍රශ්න නෙමෙයි.
      ලොකුම ප්‍රශ්ණය රටේ ප්‍රධාන සංස්කෘතිය කුමක්විය යුතුද කියන කරුණයි.
      බටහිරයන් සහ ඉන්දියානුවන් මෙරට ප්‍රධාන සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව පිලිගන්නේ නැහැ.
      නමුත් චීනය සිංහලයාට හිමිතැන පිලිගන්නා ජාතියක්.
      ඒ නිසා මම චීනයට ආදරෙයි. ලඞ්කාව චීන යටත් විජිතයක් වුනත් මම කැමතියි.

      Delete
    2. @ Jagath Pathirana,

      පෝස්ට් එකට අදාළ නැතත් ඉකොනොමැට්ටා වගේ කට්ටිය පුරුද්දට වගේ කියන තෑන්ක්ස්ගිවිං (Thanksgiving) එහෙමත් නැත්නම් ස්තුති-පුදකිරීම, ප්‍රශංසා-කිරීම, ආදී නොයෙක් විදියට කිවුව වුනත් ඇමරිකානු තෑන්ක්ස්ගිවිං ස්තුති කිරීමේ සති අන්තය ඇමරිකානු කළුකුම් ප්‍රජාවට නම් සන්තෝස දවසක් නෙවෙයි, මේ තෑන්ක්ස්ගිවිං දවසේ හැම ඇමරිකානු ගෙදරකම වගේ කළුකුමෙක් පුරවලා මේසෙ මැද්දෙ තියාගන කපාගෙන කාලා දවස නිවාඩු පාඩුවේ, ක්‍රීඩා කරමින් හෝ ක්‍රීඩා තරඟයක් නරඹමින් ගෙවා දමනවා, හරියට ලංකාවෙ අළුත් අවුරුද්ද දවස වගේ.

      කිසි ප්‍රතිපත්තියක් නැති ඇමරිකන් තරුණ පිරිස් තම තමන්ගේ දෙමාපියෝ බලන්න, පවුල් පිටින් ආච්චිලා සීයලාගේ ගෙවල්වල යන්න තමයි මේ දවස යොදාගෙන තියෙන්නේ, ඊට පසු දා ඇමරිකන් කළු සිකුරාදා (Black Friday) ගෙවෙන්නේ අඩු මිලට බඩු ගන්න තැන් හොයන්න. (Black Friday කළු ඇමරිකන් නෙමෙයි) ඇමරිකාවේ හැම කළු සිකුරාදාම නොසිතූ පරිදි සමහර දේවල මිල පහත දානව, විශේෂයෙන් කෑම බීම හැර, ඉලෙක්ට්‍රොණික් බඩු, ඇඳුම්, ඇතුළු බොහෝ දේ වල මිල 50 % සිට 70% පමණ පහත දානවා ඒ ඒ වෙළඳසැල් වල, මේ නිසා ඇමරිකාවේ බොහොමයක් පිරිස් පැය ගණන් සීතලේ පෝලිම් වල රස්තියාදු වෙලා මේ භාණ්ඩ ගන්න පොර කනව, සමහර වෙලාවට හොඳ දේ වුනත්, කිසි ප්‍රතිපත්තියක් නැති ඇමරිකාවේ බොහොමයක් වෙලාවට නරක දේ අහුවෙලා අමාරුවෙ වැටෙනවා.

      කිසි සංස්කෘතියක් නැති ඇමරිකාවේ Thanksgiving නිවාඩුව ලැබුණේ ඇමරිකා ජනපද වැසියන් (British colonists of America) තම අස්වැන්න සහ දිවිරැක ගැනීමට උදව්වීම යන කරුණු නිසා දෙවියන්ට ස්තුති කිරීමේ කටයුත්තක් ලෙසයි. නමුත් කිසි සංස්කෘතියක් නැති ඇමරිකාවේ එයත් දැන් දැන් වානිජ්‍යකරණය වෙලා හැම අතින්ම. කළ-ගුණ සැලකීම යන වචනයේ ඉංග්‍රිසි තේරුම (Gratitude) කියන වචනය ලතින් භාෂාවේ Gratia යන්නෙන් බිඳී ආවක්, එහි තේරුම් වන්නේ grace, graciousness, හෝ gratefulness යන්නයි. සමහරවිට මෙය මේ තේරුම් සියල්ලලේ එකතුවක්.

      සංස්කෘතියක් නැති ඇමරිකාවේ Gratitude යන්න ඇඟට දැනෙන නොදැනෙන සියළු ලැබීම් වෙනුවෙන් කරන ස්තූතිවන්ත ඇගැයීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. එමගින් ඇමරිකාවේ මිනිසුන් තමන් තුළ ඇති යහපත් බව අනුමත කර පිලිගැනීමකුයි සිදු වන්නේ. ඇමරිකාවේ තමන් යහපත් නැතිව අනෙක් අය සිදු කරන ක්‍රියාවක්, දීමක් අගය කිරීම සිදු වන්නේ නැහැ. මේ නිසා මෙමගින් ඇමරිකාවේ දානයක් දීමක් වැනි පරාර්ථ කාමී කටයුත්තක යෙදීමේ අවස්ථාවක් ඇමරිකාවේ ඔවුනට උදා වෙනවා. මේ නිසායි මේ දිනයේ දී කිසි ප්‍රතිපත්තියක්/සංස්කෘතියක් නැති ඇමරිකාවේ බොහෝ නිවෙස්වල දොරවල් ආගන්තුකයන්ට පවා විවෘත වන්නේ.

      Delete
  3. Replies
    1. Of course, the share of online sales in retail trade has increased drastically during the past years, Pra, and that has avoided the need for physical queues during the Thanksgiving week. However, similar queues are there too- Just not physical. Customers need to act fast when a window of discounted shopping opens.

      Delete
  4. ඉකොනොමැට්ටා ප්‍රශ්න ආවම ඒකෙන් පැනල ගිහින් හරි යන් නෑ මචන්... තරුණ පිරිස් ඔක්කොම එකති වෙල මේ රට (ලංකාව) හදනව නම් මුල ඉදන් ආකල්ප වෙනස් කරානම් කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී රට (ලංකාව) වෙනුවෙන් වැඩ කරමු අපි....

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: